ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක් තුළ නිෂ්පාදනය සිදුවන ආකාරය විස්තර කිරීම සඳහා අපට චක්‍රීය ප්‍රවාහ ආකෘතිය යොදා ගන්න පුළුවන්. එහි සරලම මට්ටමේ ආකෘතියෙන් අපි පටන් ගනිමු. මෙහිදී, අපේ පහසුව සඳහා රජයේ, විදේශ අංශයේ හා බැංකු වල කාර්ය භාරය අපි නොසලකා හරිනවා. අවශ්‍යනම් මේ ආකෘතිය වඩා සංකීර්ණ කර ගන්න පුළුවන්.
චක්‍රීය ප්‍රවාහ ආකෘතිය තුළදී හඳුනාගන්නා මූලික ඒකක වර්ග දෙකක් තිබෙනවා. ඒ ගෘහස්ථ ඒකක හා ව්‍යාපාර ඒකකයි. ගෘහස්ථ ඒකක වල සිටින පුද්ගලයින් විසින් භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනවා. මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ ව්‍යාපාර ඒකක විසින්. අවශ්‍යනම් සමාගම් කියා කියන්න පුළුවන්.
සමාගම් කියා කියන්නේ ඇත්තටම පවතින දෙයක් නෙමෙයි. දෙවියන් කියන සංකල්පය වගේම මිනිස්සු විසින් හදාගත් වියුක්ත සංකල්පයක්. හැබැයි මෙය ඉතාම ප්‍රයෝජනවත් සංකල්පයක්.
දෙවියන් පෙනෙන්න නැතත් සමාගම් පෙනෙන්න තිබෙන බව ඇතැම් අය කියන්න පුළුවන්. සමාගමක් පෙන්වන්න පුළුවන් කාටද? සමාගම් සතු වාහන, ගොඩනැගිලි, යන්ත්‍රසූත්‍ර ආදිය තිබෙනවා. බොහෝ මිනිසුන් සමාගම් වෙනුවෙන් වැඩ කරනවා. එහෙත්, ඇත්තටම සමාගම් කියා "දෙයක්" නැහැ. අප එවැනි දෙයක් පවතින බව පොදුවේ පිළිගන්නවා පමණයි. දෙවියන් වගේම තමයි.
දෙවියන් කියන දේ අහන මිනිස්සු වගේම අහන්නේ නැති මිනිස්සුත් සමාගම් කියන දේවල් අහනවා. දෙවියන් වෙනුවෙන් වැඩ කරන මිනිස්සු වගේම දෙවියන් පිළි නොගන්න මිනිස්සුත් සමාගම් වෙනුවෙන් වැඩ කරනවා. දෙවියන්ට පඬුරු දමන මිනිස්සු වගේම නොදමන මිනිස්සුත් සමාගම් වෙනුවෙන් මුදල් යොදවනවා. සමාගම් වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ගෙන් කොටසක් සමාගමේ අතිරික්තය ගණන් හදලා සමාගම වෙනුවෙන් ශ්‍රමය හෝ ප්‍රාග්ධනය යෙදවූ මිනිසුන් වෙත බෙදා දෙනවා. එය කරන්නේ සමාගම වෙනුවෙන් සමාගමේ භාරකරුවෙකු ලෙසයි. කපුවෙක් දෙවියන් වෙනුවෙන් වැඩ කරනවා වගේ.
චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ඇතුළේ සමාගම් හෝ සමාගම් නොවන වෙනත් ආකාර වල ව්‍යාපාර ඒකක හා ගෘහස්ථ ඒකක අතර අන්තර් ක්‍රියාවක් සිදු වෙනවා. මේ ව්‍යාපාර ඒකක කියන්නේ වියුක්ත අදහසක් වීම ප්‍රශ්නයක් නෙමෙයි. වියුක්ත අදහස වැඩ කරන හා ප්‍රයෝජනයක් තිබෙන වියුක්ත අදහසක්.
ව්‍යාපාර ඒකකයක් තුළ සිදු වන්නේ ගෘහස්ථ ඒකක වල තිබෙන ශ්‍රමය (L) හා ප්‍රාග්ධනය (K) ප්‍රයෝජනයට අරගෙන පරිභෝජනය කළ හැකි නිෂ්පාදිතයක් (Y) බවට පරිවර්තනය කරන එකයි.
K,L ➞ Y
වෙනත් විදිහකින් කිවුවොත්, ව්‍යාපාර ඒකකයක් තුළදී වෙන්නේ K සහ L යොදා ගනිමින් අතිරික්ත වටිනාකමක් නිර්මාණය කරන එක. Y කියන්නේ එසේ නිර්මාණය කළ අතිරික්ත වටිනාකම. පෙර ලිපි වලින් විස්තර කළ කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයෙන් විස්තර කළේ මේ වැඩේ කරන්න උපයෝගී කර ගන්නා නිෂ්පාදන තාක්‍ෂණයේ ස්වභාවය ආකෘතිගත කළ හැකි එක් ආකාරයක්. එය වෙනත් ආකාර වලින්ද කළ හැකියි.
ව්‍යාපාර ඒකකයක් තුළදී Y කියන අතිරික්ත වටිනාකම නිර්මාණය කිරීමේදී K සහ L යම් තරමකින් ක්ෂය වන නමුත් නිෂ්පාදන කාර්යයෙන් පසුවද K සහ L ඉතිරි වෙනවා. ඊට අමතරව අතිරික්තයක් ලෙස Y නිර්මාණය වෙනවා. එය පරිභෝජනය කළ හැකි දෙයක් වුවත් අතථ්‍ය පුද්ගලයෙකු වන සමාගමකට පරිභෝජනය කරන්න බැහැ. පරිභෝජනය කළ හැක්කේ ගෘහස්ථ ඒකක වල සිටින තථ්‍ය පුද්ගලයින්ටයි. සමාගම් වල නිපදවෙන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය සපයනු ලැබූ අනුපාතය අනුව ගෘහස්ථ ඒකක වෙත බෙදා හැරෙනවා. ඒ වැටුප්, පාරිතෝෂික, වෙනත් ශ්‍රමික වරප්‍රසාද, ලාභාංශ, පොලී ගෙවීම් ආදිය ලෙසයි. මේ සියලු දේ ශ්‍රමයේ ප්‍රතිලාභ (w) හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ (r) ලෙස වර්ග කළ හැකියි.
Y ➞ w,r
කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය සැලකුවොත් මේ බෙදීම සිදු වන්නේ (1-α):α අනුපාතයටයි. α කොටසක් ප්‍රාග්ධනය වෙනුවෙන් හා 1-α කොටසක් ශ්‍රමය වෙනුවෙන්. අනුභූතික දත්ත මත පදනම් වූ ඇස්තමේන්තු අනුව සාමාන්‍යයෙන් මේ බෙදීම ආසන්න ලෙස 2:1 බෙදීමක්.
ව්‍යාපාර ඒකක ඇතුළේ සිදුවන දේ අපි කලින් ලිපි දෙකේ කතා කළානේ. වැටුප් (w) හා පොලී (r) ගෙවීමේ පදනම මත තාවකාලිකව ගෘහස්ථ ඒකක වලින් ලබා ගන්න ශ්‍රමය (L) හා ප්‍රාග්ධනය උපයෝගී කරගෙන පරිභෝජනය කළ හැකි භාණ්ඩ හා සේවා (Y) හදන එකනේ වෙන්නේ. වැටුප් (w) හා පොලී (r) ලෙස ඔය හදන භාණ්ඩ හා සේවා (Y) ඒ විදිහටම දෙන්න පුළුවන්කම තිබුණත් නූතන ධනවාදී ආර්ථිකයක එය ඒ විදිහටම වෙන්නේ නැහැ. රාජකාරි ක්‍රමය වගේ ක්‍රම තියෙද්දීනම් එහෙම වුනා. දැන් වෙන්නේ හදන භාණ්ඩ හා සේවා (Y) මුදල් කරලා මුදල් වලින් වැටුප් (w) හා පොලී හෝ ලාභාංශ (r) ගෙවන එකයි. භාණ්ඩ හා සේවා විකුණන්න වෙන්නේ ගෘහස්ථ ඒකක වලට. එය සිදු වෙන්නේ භාණ්ඩ හා සේවා වෙළඳපොළේදී.
භාණ්ඩ හා සේවා වෙළඳපොළ චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ඇතුළේ සංකල්පීය ලෙස එක තැනක් සේ සැලකුවත්, මහ පොළොවේ බැලුවොත් තැන් තැන් වල විසිරී තිබෙන ව්‍යාපාරික ස්ථාන රාශියකුයි තියෙන්නේ. ගමේ පොළ, මාළු කඩේ, බාබර් සාප්පුව වගේ විවිධ තැන්. ඔය කොයි තැනක වුනත් වෙන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් මුදල් වලට පරිවර්තනය වෙන එකයි. ඒ මුදල් එකතු කර ගන්නා භාණ්ඩ හා සේවා නිෂ්පාදකයා එහි තිබෙන අතිරික්ත වටිනාකම වැටුප් (w) හා පොලී (r) ලෙස මුදල් වලින් ගෘහස්ථ ඒකක වලට ගෙවනවා. ඒ වගේම, මුදල් ගෙවා ශ්‍රමය හා ප්‍රාග්ධනය මිල දී ගන්න එකත් කරනවා.
ව්‍යාපාර ඒකක විසින් මුදල් ගෙවා ශ්‍රමය හා ප්‍රාග්ධනය මිල දී ගැනීම සිදු වන්නේ නිෂ්පාදන සාධක වෙළඳපොළේදී. මෙහිදී ගැනුම්කරු වෙන්නේ ව්‍යාපාර ඒකක. විකිණුම්කරු ගෘහස්ථ ඒකකයක්. භාණ්ඩ හා සේවා නිෂ්පාදකයා වෙළඳපොළේදී සිදුවන දෙයෙහි අනෙක් පැත්ත. ප්‍රාග්ධනය හුවමාරු වෙන එක කොටස් වෙළඳපොළක් වගේ තැනකදී සෘජුවම සිදු වෙනවා. බැංකු වැනි අතරමැදියන් හරහාත් සිදු වෙනවා. ශ්‍රමය අලෙවි වන නිශ්චිත තැනක් මහ පොළොවේ නැති වෙන්න පුළුවන්. පුවත්පත් වල රැකියා පුරප්පාඩු දැන්වීම්, සම්මුඛ පරීක්ෂණ වගේ දේවල් හරහා මේ ශ්‍රම වෙළඳපොළ ක්‍රියාත්මක වෙනවා කියා කියන්න පුළුවන්.
ව්‍යාපාරික ඒකකයක් ඇතුළේ සිදුවන දේ අපි සෑහෙන තරම් දුරකට කතා කළානේ. ගෘහස්ථ ඒකක ඇතුළේ වෙන්නේ කුමක්ද? ආකෘතිය අනුව ගෘහස්ථ ඒකක ඇතුළේ භාණ්ඩ හා සේවා හදන්නේ නැහැ. ගෘහස්ථ ඒකක විසින් කරන්නේ මුදල් ගෙවා ව්‍යාපාරික ඒකක වලින් භාණ්ඩ හා සේවා මිල දී ගෙන පරිභෝජනය කරන එකයි. ගෘහස්ථ ඒකක වල නිෂ්පාදනය කරන්නේ නිෂ්පාදන සාධක. ඒ කියන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය. ඒ වගේම, ව්‍යාපාරික ඒකක ඇතුළේ නිෂ්පාදන සාධක හදන්නේ නැහැනේ. ව්‍යාපාරික ඒකක විසින් කුලියට ගන්නේ ගෘහස්ථ ඒකක ඇතුළේ හදන ශ්‍රමය හා ප්‍රාග්ධනය.
ව්‍යාපාරික ඒකක වලින් ගෘහස්ථ ඒකක වලට කොපමණ මුදලක් සම්ප්‍රේෂණය වෙනවාද? වැටුප් හා වෙනත් ශ්‍රම ප්‍රතිලාභ ලෙස wL මුදලක් හා පොලී, ලාභාංශ ඇතුළු ප්‍රාග්ධන ප්‍රතිලාභ ලෙස rK මුදලක් කියා අපි කලින් ඉගෙන ගත්තනේ. යම් නිශ්චිත ගෘහස්ථ ඒකකයකට ඔය දෙකම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත්, අන්තිමේදී කොයි විදිහට හෝ ලැබෙන්නේ මුදල් නිසා කොහොම ලැබුණත් වෙනසක් නැහැ. ඒ වගේම, wL + rK = Y කියලාත් අපි ඉගෙන ගත්තනේ. ඒ කියන්නේ අවසාන වශයෙන් නිෂ්පාදන අතිරික්තය සම්පූර්ණයෙන්ම යන්නේ ගෘහස්ථ ඒකක වලට. ඒ සල්ලි වලට වෙන්නේ කුමක්ද?
මේ සල්ලි වලින් කොටසක් භාණ්ඩ හා සේවා මිල දී ගන්න වැය වෙනවා. ඉතිරි කොටස ප්‍රාග්ධනය ලෙස ඉතිරි වෙනවා.
Y = wL + rK = C + S
මෙහි C කියන්නේ පරිභෝජනය සඳහා වැය වන කොටස. S කියන්නේ ඉතිරි කිරීම්. මේ S කොටස ගෘහස්ථ ඒකකයක් සතු ප්‍රාග්ධන සංචිතයට එකතු වෙනවා. එවිට ප්‍රාග්ධන සංචිතය ඉහළ යනවා වගේම ප්‍රාග්ධනය ආයෝජනය කරලා ලබා ගත හැකි ආදායමද ඉහළ යනවා.
අපි හිතමු කිසියම් අවස්ථාවක ගෘහස්ථ ඒකකයක් සතුව තිබෙන ප්‍රාග්ධන සංචිතය K0 හා ශ්‍රම සංචිතය L0 කියලා. මේ සංචිත වලින් වැඩක් ගත්තත් නැතත් කාලයත් එක්ක සංචිත ක්ෂය වෙනවා. ශ්‍රම සංචිතය අඩුනොවී තිබෙන මට්ටමේම පවත්වා ගන්න වුවත් දිගටම යම් වියදමක් දරන්න වෙනවා. යම් සම්පත් ප්‍රමාණයක් වැය කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය වගේ දේවල් වලට. වැඩියෙන් සම්පත් වැය කරලා ශ්‍රම සංචිතය වැඩි කර ගන්නත් පුළුවන්. හැබැයි වියදම් කළ පලියටම ශ්‍රම සංචිතය වැඩි වෙන්නේ නැහැ. මත්පැන්, මත්ද්‍රව්‍ය වගේ සමහර වියදම් නිසා ශ්‍රම සංචිතය අඩු වෙන්නත් පුළුවන්.
ප්‍රාග්ධන සංචිතයත් ක්ෂය වෙනවා. ඒ අඩු වෙන ප්‍රමාණය ඉතිරි කිරීම් වලින් පිරෙවුවේ නැත්නම් සංචිතය ටිකෙන් ටික ක්ෂය වෙලා යනවා. ඉතිරි කිරීම් වැඩිනම් සංචිතයත් ටිකෙන් ටික වර්ධනය වෙනවා.
යම් ගෘහස්ථ ඒකකයකට යම් ආරම්භක මොහොතක තිබෙන ප්‍රාග්ධන සංචිතයේ හා ශ්‍රම සංචිතයේ ප්‍රමාණයට වඩා අනාගතය තීරණය කරන්නේ ලැබෙන ආදායම වියදම් කරන්නේ කොහොමද කියන එකයි. K0=0 වුවත්, S ගොඩක් වැඩිනම් එන්න එන්නම K වැඩි වෙනවා. ආරම්භයේදී K0 ගොඩක් විශාල වුනත්, ක්ෂය වන ප්‍රමාණය තරම් ඉතිරි නොකළොත් ප්‍රාග්ධන සංචිතය ටිකෙන් ටික ක්ෂය වෙලා යනවා. ඒ නිසා, දියුණු වූ ධනවාදයක් ඇත්නම් කෙනෙක් උපදින්නේ අත පය හතර පමණක් අරගෙනද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
සමාගම් තියේ ජයටම බොරුත් තියේ
ReplyDeleteහොර-බොරු කරන්නට ඉඩකඩ හොඳට තියේ
ජනතා මුදල්; දේපල කති දිවා රැයේ
නීතියෙනුත් ගැලවෙති හොරු අන්තිමයේ
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
ReplyDeleteEcono you mentioned that to understand the fallacy of Socialism one should know the theories of economics. Do you think in US majority of people understands economic explanation of the facts like this article. My feeling is more simpler theories in that regard may be more useful...of course for educated people this may appeal.
ReplyDeleteMost Americans either understand or blindly believe the fallacy of Socialism. So, there is no need to use theories of economics like this to explain it to them. Economics is taught in the US even in the primary schools and people see the beauty of capitalism, experience it firsthand, and enjoy it every day. They do not need complex math to understand the facts they clearly see. This type of explanations is needed for people who are brainwashed by socialist propaganda. They believe Marxist theories are correct even when they have failed numerous times in practice right in front of their eyes.
Deleteමේ වන විටත් සිදුවෙමින් පවතින GameStop සහ වෙනත් සමාගම් වල කොටස් මිල ඉහල යාම ගැන ලිපියක් ඔබගෙන් බලාපොරොත්තු වෙමු. මම හිතන්නේ මේ ගත වෙන්නේ කොටස් වෙළඳපොලේ ඉතිහාසගත හැරවුමක් බවයි.
ReplyDeletehttp://emgesathapaha.blogspot.com/2017/09/blog-post.html
Deleteමේ ලිපියත් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ගැන ලිපියත් තබා ගන්නවා පසුව වඩා හොඳින් අධ්‍යයනය කරන්නට. මම කියව තිබෙන්නේ ප්‍රාග්ධනය පොත පමණක් හා (එවනි තවත් කිහිපයක් බැවින්) වෙනම ගෙන කල්පනා කලයුතු ලිපියක්.
ReplyDeleteY = wL + rK = C + S
ReplyDeleteමේවගේ දෙයක් කතා කරන්නේ මාක්ස් ගේ ප්‍රාග්ධනය 2 කෘතියේ , ඒක මම නැවතත් හැදෑරිය යුතු එකක් . එනිසා මේ ලිපි තුනටම කිසයම් පිළිතුරක් දීමෙන් වැලකී සිටිනවා.