ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වී බයිඩන් දිනුවේ කොහොමද කියන එක පිළිබඳව මගේ අදහස කුමක්ද කියා අපේ හිතවත් පාඨකයෙක් අසා තිබුණා. තවමත් බයිඩන් නිල වශයෙන් ජයග්‍රහණය කර නැතුවාක් මෙන්ම ට්‍රම්ප් පරාජය බාර අරගෙනත් නැහැ. නමුත්, සමස්තයක් විදිහට ඇමරිකානු ජනතාව වගේම ජාත්‍යන්තරයත් මේ වෙද්දී ජෝ බයිඩන් මීළඟ ඇමරිකානු ජනාධිපති සේ පිළිගෙන අවසානයි.
වසර හතරකට වරක් ඇමරිකාවේ ජනාධිපති වෙනස් වීම (හෝ නොවීම) සිදුවන ඉතාම නිශ්චිත නීතිමය ක්‍රියාදාමයක් තිබෙනවා. ඒ ක්‍රියාදාමය ඉතාම පැහැදිලියි. කාගේවත් හිතුමනාපයට වෙනස් කරන්න බැහැ. අවුලක් ඇති වුනොත්, ඒ අවුලට විසඳුමත් බොහෝ විට නීතියේ නිශ්චිත ලෙස සඳහන්ව තිබෙනවා.
මේ ක්රියාදාමයේ ආරම්භය මැතිවරණය නොවුණත් මැතිවරණ දිනය වැදගත්ම දිනයක්. එම දිනය වන්නේ නොවැම්බර් 2-8 අතර එළඹෙන අඟහරුවාදා දිනයයි. එය වෙනස් වන්නේ නැහැ. මේ අවුරුද්දේනම් නොවැම්බර් 3 වෙනිදා. එහෙත් ජනාධිපතිවරයාගේ නිල කාලය ආරම්භ වෙන්නේ ජනවාරි 20 වනදා. එය වෙනස් නොවන නිශ්චිත දිනයක්. මේ දින දෙක අතර දින 79-85 අතර කාලයක පරතරයක් තිබෙනවා. බල හුවමාරුව සඳහා එවැනි සාපේක්ෂව දිගු කාල පරාසයක් අවශ්‍ය ලෙස තීරණය කර තිබෙන්නේ යම් හෙයකින් ඇති විය හැකි අවුල් සියල්ල ලෙහාගෙන සුමට බල හුවමාරුවක් කර ගැනීමට ඉඩ සලසමිනුයි.
ඇමරිකාවේ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ මැතිවරණය දිනයට බොහෝ පෙරයි. මා පෙර ලිපි වල පැහැදිලි කර ඇති පරිදි එක් එක් දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුද කියා තීරණය කරන්නේත් මහජන ඡන්දයෙන්. ප්‍රාථමික මැතිවරණ සේ හැඳින්වෙන මේ මැතිවරණ නොවැම්බර් මැතිවරණ දිනයට මාස ගණනකට පෙර සිට පැවැත්වෙනවා.
මැතිවරණ දිනයේදී බොහෝ විට ඡන්දය සලකුණු කරන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයටයි. ඒ නිසා, ඡන්දය ගණන් කරන්න අමුතු මහන්සියක් වෙන්න අවශ්‍ය නැහැ. පරිගණක පද්ධතියෙන් පහසුවෙන් හා ඉක්මණින් වාර්තාවක් ගන්න පුළුවන්. එහෙත්, තැපැල් ඡන්ද එකින් එක පරීක්ෂා කර දත්ත පරිගණක පද්ධතියට ඇතුළු කළ යුතුයි. එය කාලය අවශ්‍ය වන කටයුත්තක්. සාමාන්‍යයෙන් මැතිවරණයකදී ඕනෑම ඡන්දදායකයෙකුට තැපෑලෙන් ඡන්දය දමන්නට අවසර ලැබෙන්නේ නැහැ. ඒ නිසා, තැපැල් ඡන්ද ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්.
බොහෝ ප්‍රාන්ත වල මැතිවරණ දිනයේදී තැපැල් කර මැතිවරණ දිනයෙන් පසුව ලැබෙන තැපැල් ඡන්දද වලංගු ඡන්ද සේ සැලකෙනවා. වොෂින්ටන් ප්‍රාන්තය වැනි ඇතැම් ප්‍රාන්තයක මැතිවරණ දිනයේ සිට 20 වන දින දක්වාම තැපෑලෙන් ලැබෙන, මැතිවරණ දින දින මුද්‍රාව සහිත, තැපැල් ඡන්ද ගණන් කරනු ලබනවා. ඒ නිසා, ලංකාව වැනි රටක සිටින ඇමරිකානු පුරවැසියෙකු විසින් මැතිවරණ දිනයේදී තැපැල් කර එවන ඡන්දයක් වුවත් අපතේ යන්නේ නැහැ. මේ අවුරුද්දේනම් නොවැම්බර් 23 දින දක්වාම වොෂින්ටන් ප්‍රාන්තයේ ඡන්ද ගොඩට අලුත් ඡන්ද එකතු වෙන්න පුළුවන්.
ලංකාවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් හා සමාන කළ හැකි කිසියම් කවුන්ටියක හෝ එවැනි කවුන්ටි ගණනාවකින් සමන්විත ප්‍රාන්තයක අවසන් මැතිවරණ ප්‍රතිඵල නිසි බලධාරියෙකු විසින් නිශ්චිත දිනයකට පෙර සහතික කළ යුතුයි. එම දිනය අදාළ ප්‍රාන්තයේ නීතිය අනුව තීරණය වන්නක්. පෙර කතා කළ වොෂින්ටන් ප්‍රාන්තයේ කවුන්ටි හා අදාළව මේ දිනය මැතිවරණ දිනයේ සිට 21 වන දිනයයි. මේ අවුරුද්දේනම් නොවැම්බර් 24. කැලිෆෝර්නියා ප්‍රාන්තයේ එම දිනය මැතිවරණ දිනයේ සිට 31 වන දිනයයි. මේ අවුරුද්දේනම් දෙසැම්බර් 4.
කවුන්ටි වල මැතිවරණ කොමිසම් මගින් සහතික කළ ප්‍රතිඵල ප්‍රාන්ත ලේකම් වෙත ලැබුණු පසු ප්‍රාන්ත ලේකම් හෝ අදාළ වෙනත් නිසි බලධාරියෙකු විසින් එම ප්‍රතිඵල ලැයිස්තුගත කර සමස්ත ප්‍රතිඵලය පිළියෙල කර සහතික කළ යුතුයි. ඒ අනුව, ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ප්‍රාන්තයේ ඡන්දදායකයින් වෙනුවෙන් ඡන්දය දෙන ප්‍රාන්තයේ මැතිවරණ නියෝජිතයින් තෝරා ගත යුතුයි. මෙය කළ යුත්තේ මැතිවරණ දින සිට 38 වන දිනයි. මේ අවුරුද්දේනම් දෙසැම්බර් 11.
සෑම ප්‍රාන්තයක් විසින්ම අදාළ ප්‍රාන්තයේ ක්‍රමවේදය අනුව ප්‍රාන්තයේ මැතිවරණ නියෝජිතයින් තෝරා ගැනීමෙන් පසුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිණිස ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්නේ දෙසැම්බර් මාසයේ දෙවන බදාදාට පසුව එළැඹෙන සඳුදා දිනයේදීයි. දෙසැම්බර් 13-19 අතර යෙදෙන මේ දිනය මේ අවුරුද්දේ වැටෙන්නේ දෙසැම්බර් 14 දිනටයි. එයින් පසුව කොංග්‍රසය රැස්වී මේ ඡන්ද ගණන් කර ජනාධිපතිවරයාව තෝරා පත් කර ගන්නේ ජනවාරි 6 වන දිනයි.
ඇමරිකාවේ ජනාධිපතිවරයාව ජනවාරි 6 දින නිල වශයෙන් තෝරා පත් කර ගැනීමෙන් පසුව දිවුරුම් දීම සිදුවන ජනවාරි 20 දක්වා දින 14ක කාලයක් තිබෙනවා. ඒ නිසා අලුතෙන් මුල් වරට පත් වෙන ජනාධිපතිවරයෙකුට වුවත්, පෙර සූදානම් වීම් සඳහා යම් අවම කාලයක් ලැබෙනවා.
ප්‍රායෝගිකව මේ කාලය දින 14කට වඩා ගොඩක් වැඩියි. මැතිවරණයෙන් පසුව ඊළඟට පත් වීමට ඉඩ තිබෙන ජනාධිපතිවරයා කවුද කියන එක පැහැදිලි වූ වහාම බුද්ධි අංශ විසින් ජාතික ආරක්ෂාව හා අදාළ රහස් තොරතුරු සම්බන්ධව ඔහුව (හෝ ඇයව) දැනුවත් කිරීම ඇරඹෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්රතිපාදනද නිශ්චිත ලෙස නීතියේ සඳහන්ව තිබෙනවා. මේ අවුරුද්දේ ප්‍රතිඵලයේ තිබෙන අවිනිශ්චිත ස්වභාවය නිසා තවමත් මේ කටයුත්ත ඇරඹී නැහැ.
ඒ වගේම පත් වීමට නියමිත ජනාධිපතිවරයාටද කාර්යාල පහසුකම්, ප්‍රවාහන දීමනා ආදිය කලින් සිටම ලැබෙනවා. රජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමට නියමිත පුද්ගලයින්ගේ පසුබිම් තොරතුරු හැකි ඉක්මණින් පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ට අදාළ කාර්යාල වලට ගොස් තොරතුරු ලබා ගැනීමට පහසුකම් සැලසෙනවා. ඒ නිසා, තමන්ගේ තනතුර නිල වශයෙන් භාර ගන්නා අවස්ථාව වන විට ඔවුන්ට මනා පෙර සූදානමක් තිබෙනවා. ඇමරිකාවේ සාපේක්ෂව පහළ මට්ටමේ තනතුරු හා සම්බන්ධවද මෙවැනි පෙර සූදානම් අවස්ථා තිබීම ඉතා සාමාන්‍ය දෙයක්.
මෙවර මැතිවරණ ප්‍රතිඵල විකාශනය කිරීමේදී ප්‍රධාන මාධ්‍ය බොහොමයක්ම එය කළේ ජෝ බයිඩන්ට ඇත්තටම තිබෙනවාට වඩා වාසිදායක තත්ත්වයක් ඇති බව පෙන්වමිනුයි. හොඳම උදාහරණය වන්නේ කළින්ම බයිඩන්ට ලියා දුන් ඇරිසෝනා ජයග්‍රහණයයි. මෙය මුලින්ම කළේ ප්‍රංශ පුවත් සේවය විසින්. පසුව වෙනත් මාධ්‍ය ආයතන විසින්ද ඇරිසෝනා ප්‍රාන්තය රතු පාටින් පාට කළා.
මේ මොහොත වන විට ඇරිසෝනා ප්‍රාන්තයේ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 11,034 දක්වා අඩු වෙලා. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 0.3%ක වෙනසක් පමණයි. ප්‍රංශ පුවත් සේවය අනුව යමින් ඇරිසෝනා ප්‍රාන්තය රතු පාට කළ සීඑන්එන් එක දැන් ඇරිසෝනා ප්‍රාන්තයේ රතු පාට අයින් කර නැවත අළු පාට කරලා. වැඩි ඡන්ද ප්‍රතිශතය 0.1% මට්ටමට අඩු වුවහොත් ඉල්ලීමක් නැතත් ඇරිසෝනා නීතිය අනුව අනිවාර්යයෙන්ම ඡන්ද නැවත ගණන් කළ යුතුයි.
දැනට ජෝර්ජියා ප්‍රාන්තයේ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 14,106ක් පමණයි. මෙයත් ප්‍රතිශතයක් ලෙස 0.3%ක් පමණයි. මෙම ප්‍රතිශතය 0.5%ට අඩුනම් ප්‍රාන්ත නීතිය අනුව නැවත ගණන් කරන සේ ඉල්ලීමක් කළ හැකියි. ජෝර්ජියා ඡන්ද නැවත ගණන් කෙරෙනු ඇති බව දැනටමත් ප්‍රකාශ වී තිබෙනවා.
විස්කොන්සින් ප්‍රාන්තය තුළ දැනට බයිඩන් ඉදිරියෙන් ඉන්නේ වැඩි ඡන්ද 20,546 කින් පමණයි. මෙය 0.6%ක ප්‍රතිශත වෙනසක්. මෙම වෙනස 1%ට අඩුනම් විස්කොන්සින් නීතිය අනුව ඡන්ද නැවත ගණන් කරන සේ ඉල්ලා සිටිය හැකියි. පළමු වටයේ අවසන් ප්‍රතිඵල ලැබුණු සැණින් මෙම ඉල්ලීම ඉදිරිපත් වීමට නියමිතයි.
දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව, ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රමාණ වලින් දිනාගෙන තිබෙන ඇරිසෝනා, ජෝර්ජියා හා විස්කොන්සින් ප්‍රාන්ත තුනම බයිඩන්ගේ ගොඩට දැමීමෙන් පසුව ඔහුගේ ප්‍රාන්ත නියෝජිතයින් ගණන 306 දක්වා ඉහළ යනවා. ට්‍රම්ප්ගේ ගොඩ 232 දක්වා පහළ බසිනවා. පසුගිය ජනාධිපතිවරණයේදී සිදුවුනේ මෙහි අනෙක් පැත්තයි. එවර ට්‍රම්ප් විසින් නියෝජිතයින් 322ක් දිනා ගනිද්දී හිලරි ක්ලින්ටන් විසින් නියෝජිතයින් 232ක් දිනා ගත්තා. 2016ට සාපේක්ෂව මෙවර ප්‍රතිඵලය වෙනස් වන්නේ ට්‍රම්ප්ගේ ගොඩේ තිබුණු පෙනිසිල්වේනියා, මිචිගන්, ඇරිසෝනා, ජෝර්ජියා හා විස්කොන්සින් යන ප්‍රාන්ත පහ සහ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ දෙවන දිස්ත්‍රික්කය බයිඩන්ගේ ගොඩට පැමිණීමෙනුයි.
ඇරිසෝනා (11), ජෝර්ජියා (16) හා විස්කොන්සින් (10) ප්‍රාන්ත තුනේ නියෝජිතයින් ගණන් වල එකතුව 37ක්. අලුතින් දිනාගත් නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයේ නියෝජිතයාවත් එකතු කළොත් 38ක්. මේ 38 දෙනා නොවන්නට බයිඩන්ට හිමි වන්නේ නියෝජිතයින් 268 දෙනෙකු පමණයි. එසේනම්, ට්‍රම්ප් විසින් නියෝජිතයින් 270 සම්පූර්ණ කර තරඟය ජය ගන්නවා. මේ අනුව, බයිඩන්ගේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක සේ බලපා තිබෙන්නේ ඉහත ප්‍රාන්ත තුනෙන් හා නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයෙන් ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයි. එම ප්‍රමාණය, දැනට ගණන් කර අවසන් ඡන්ද මත පදනම්ව, නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද 21,607ක්ද ඇතුළුව, 67,244ක් පමණයි. මෙම ප්‍රමාණය මීටත් වඩා අඩු වෙන්න වුනත් බැරිකමක් නැහැ.
මේ වන විට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය මිලියන 150ක් පමණ වෙනවා. ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා විසින් ලබාගත්තේ මිලියන 12.5ක පමණ ඡන්ද ප්‍රමාණයක්. මේ අනුව, ඇමරිකාවේ ප්‍රතිඵලය සමාන කළ හැක්කේ ගෝඨාභය විසින් සජිත්ට වඩා ඡන්ද 5,650 ක් පමණක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමක් වැනි තත්ත්වයකටයි. එවැනි තත්ත්වයක් ඇති වුනානම් සජිත් එකවර පරාජය භාර නොගන්නා බව ඉතාම පැහැදිලියි.
ට්‍රම්ප් පරාජය වී බයිඩන් දිනුවේ කොහොමද කියන ප්‍රශ්නයට ප්‍රතිචාරයක් සේ මේ කරුණු ලිවුවේ බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වලින් පෙන්වන පරිදි ඇමරිකාවේ මහා විශාල පෙරළියක් සිදු වුනේ හෝ බයිඩන් රැල්ලක් හමා ගියේ නැති බව පෙන්වන්නයි. අවසාන ප්‍රතිඵලය ලැබෙන විට නියෝජිතයින් ගණන අනුව බයිඩන් කොපමණ ඉදිරියෙන් සිටියේ වුවත්, ඔහුගේ දිනුම කෙස් ගහෙන් ලබන ජයක්. මේ කරුණ ඉතා වැදගත් කරුණක් වන්නේ කොංග්‍රසයේ බල තුලනය, එම බලතුලනය දෙවසරකට වරක් මාරු වීම හා කෝවිඩ්-19 වසංගතයේ බලපෑම අවම වශයෙන් තවත් වසරක කාලයක් යන තුරුවත් තිබිය හැකි වීම ආදී අවශේෂ කරුණුද සැලකිල්ලට ගත් විටයි.
ඒ වගේම, ඇමරිකාවේ මෙවැනි රැළි හමා යාම සාමාන්‍ය දෙයක් නොවන බවත් කිව යුතුයි. බොහෝ විට එවැනි තත්ත්වයන් මවා පෙන්වන්නේ මාධ්‍ය විසින්. දැන් බයිඩන් රැල්ලක් නැතුවාක් මෙන්ම, වසර හතරකට පෙර, 2016දී ට්‍රම්ප් රැල්ලක් තිබුණේත් නැහැ. එවර ට්‍රම්ප් ජයග්‍රහණය කළේත් මේ වගේම කෙස් ගහෙන්. ට්‍රම්ප් විසින් සුළු වැඩි ඡන්ද ප්‍රමාණ වලින් ජයග්‍රහණය කළ හා මෙවර බයිඩන් විසින් ට්‍රම්ප්ගෙන් ආපසු ලබාගත්, මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා ප්‍රාන්ත නොවන්නට පසුගිය ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා වන්නේ හිලරි ක්ලින්ටන්. එමෙන්ම ඇය සමස්තයක් ලෙස ට්‍රම්ප්ට වඩා ඡන්ද මිලියන 2.8ක් ඉක්මවා ලබාගත්තා.
මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා ප්‍රාන්ත තුනෙන් ට්‍රම්ප් විසින් ලබා ගත්තේ වැඩි ඡන්ද 77,744ක් පමණයි. ඒ වෙනුවෙන් ඔහුට ප්‍රාන්ත නියෝජිතයින් 46 දෙනෙකුගේ ඡන්ද ලැබුනා. එම ඡන්ද නොවන්නට සමස්තයක් ලෙස ට්‍රම්ප්ට ලැබිය හැකිව තිබුණේ නියෝජිතයින් 260 දෙනෙකුගේ ඡන්ද පමණයි. එසේ වූවානම් නියෝජිතයින් 278 දෙනෙකුගේ සහයෝගය ලැබූ හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ 45වන ජනාධිපතිවරයා (ජනාධිපතිවරිය) වගේම එම ධුරයට පත් වූ පළමු කාන්තාව විය හැකිව තිබුණා. ඉතිහාසය වෙනස් කළේ ඉහත කී 77,744ක "සුළු" ඡන්ද ප්‍රමාණයයි. මේ අයුරින්ම මෙවර ඡන්ද ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කර තිබෙන්නේ ඡන්ද 67,283ක් හෝ ආසන්න ප්‍රමාණයක්.
මෙවර බයිඩන් දිනුවේ කෙස් ගහෙන් බව මා මුලින් පැහැදිලි කළා. දැන් මා පැහැදිලි කර තිබෙන පරිදි මේ විදිහට කෙස් ගහෙන් දිනා ඇමරිකාවේ ජනාධිපතිවරයෙකු පත් වෙන එක ඉතාම සාමාන්‍ය දෙයක්. ට්‍රම්ප් දිනුවේත් ඔය විදිහටමයි. ඡන්දදායකයින්ගේ හැසිරීමේ ඔය වගේ පොඩි වෙනසක් වෙන්න මහා ලොකු හේතු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, මීටත් වඩා ඉතාම අඩු ඡන්ද ප්‍රමාණයකින්, කෙස් ගහකින් ඉරපු රීප්පයක් වැනි ඡන්ද 537ක ප්‍රමාණයකින්, ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරී වුනු අවස්ථාද තිබෙනවා.
(Image: https://commons.wikimedia.org/wiki/File:Vice_President_Biden_visit_to_New_Zealand,_July_20-21,_2016_(27824840164).jpg)