වෙබ් ලිපිනය:

Sunday, September 27, 2020

ගංජා, හරක්මස් හා සංස්කෘතිය


ඇමරිකාවේ ජනාධිපතිවරණයට තවත් සති පහක් පමණයි තියෙන්නේ. කෝවිඩ් අර්බුදය නිසාත්, ඉන් පසුව ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය එක්ක මතු වූ තත්ත්වයන් එක්කත් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය යම් තරමකින් පහත වැටුණා කියලා මම හිතනවා. පසුගිය අවුරුද්දේ අන්තිම කාලය වගේ වෙද්දීත් ඇමරිකාවේ ජාතිකවාදී ප්‍රවණතාව සෑහෙන තරමට පීක් වෙලයි තිබුණේ. ජනවාරි මැදදී ඇමරිකාව චීනය එක්ක වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමෙන් සංකේතවත් වුනේ වසර ගණනක් ඇදුණු ඇමරිකා-චීන වෙළඳ යුද්ධය ඇමරිකාව විසින් ජයග්‍රහණය කිරීමක් කියා කියන්න බැරි කමක් නැහැ. 

ඔය දවස් වෙද්දී ඇමරිකාවේ කෝවිඩ් ප්‍රශ්නයක් තිබුණේ නැහැනේ. ගෙදර ඉඳන් වැඩ කරන්න පටන් ගත්තේ මාර්තු මැද ඉඳලා. සේවා ස්ථානයට යන්න මිනිත්තු හතළිස් පහක් විතර යනවා. ඔය යන එන අතරේ මම සාමාන්‍යයෙන් එෆ්එම් නාලිකාවකට සවන් දෙනවා. සමාජ දේශපාලනික කරුණු සාකච්ඡා කරන ප්‍රාදේශීය නාලිකාවක්. ටිකක් රිපබ්ලිකන් පැත්තට බරයි. වාහනයේ යද්දී හොඳින්ම ඇහෙන්නේ ඔය නාලිකාවයි.

ඔය එෆ්එම් චැනල් නඩත්තු වෙන්නේ වෙළඳ දැන්වීම් වලින්නේ. ගුවන් විදුලි හෝ රූපවාහිණී නාලිකාවක එහෙමත් නැත්නම් වෙබ් අඩවියක කොයි තරම් වෙළඳ දැන්වීම් දමනවාද කියන එකත් සංකීර්ණ ප්‍රශ්නයක්. වෙළඳ දැන්වීම් වැඩිපුර ලැබෙන්නේ අසන්නන්, නරඹන්නන් හෝ කියවන්නන් වැඩි වන තරමටයි. හැබැයි මේ අය ආකර්ෂණය වන්නේ වෙළඳ දැන්වීම් නිසා නෙමෙයි. වෙළඳ දැන්වීම් වැඩි වුනොත් ඇත්තටම වෙන්නේ අසන්නන්, නරඹන්නන් හෝ කියවන්නන් අඩු වෙන එකයි. එවිට අවසාන වශයෙන් වෙළඳ දැන්වීමුත් නැතිව යනවා. ජනප්‍රිය ගුවන් විදුලි හෝ රූපවාහිණී නාලිකා ලෙස හරි වෙබ් අඩවි ලෙස හරි  දිගටම පවතින්නේ ප්‍රසස්ථ වෙළඳ දැන්වීම් ප්‍රමාණය හරියට තෝරා ගත් අයයි.

මේ වගේ මාධ්‍යයක ප්‍රචාරය කරන වෙළඳ දැන්වීම් ප්‍රමාණය වගේම ඒ වෙළඳ දැන්වීම් මොනවාද කියන එකත් නිවැරදිව තීරණය කළ යුතුයි. රිපබ්ලිකන් පැත්තට බර නාලිකාවක් වැඩිපුර අහන්නේ ඒ දේශපාලන මතයේ ඉන්න අය. ඩිමොක්‍රටික් පැත්තට බර නාලිකාවක් වැඩිපුර අහන්නේ ඩිමොක්‍රටික් දේශපාලන මතයේ ඉන්න අය. අපි වගේ අහම්බෙන් ඔහේ අහුවුණු නාලිකාවක් අහන අයත් ඉන්නවා තමයි. 

ඔය කලින් කියපු නාලිකාවේ නිතර ඇහුනු එක වෙළඳ දැන්වීම් ශානරයක් වුනේ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරන ඒවා. මොකක් හෝ අදාළ භාණ්ඩය ගැන කියද්දී මේ වගේ කතාත් කියනවා.

"සම්පූර්ණයෙන්ම දේශීය අමුද්‍රව්‍ය වලින් හදා ඇත."

"අප අමුද්‍රව්‍ය ලබා ගන්නේ දේශීය සැපයුම්කරුවන්ගෙන් පමණයි."

පාරිභෝගිකයාට වැදගත් වන්නේ අදාළ භාණ්ඩයේ ගුණාත්මක භාවය හා මිල පමණක්නම් අමුද්‍රව්‍ය ආවේ කොහෙන්ද කියන එක වැදගත් නැහැනේ. එහෙමනම්, ඔය වගේ කතාවක් කිවුවා කියලා අමුතුවෙන් භාණ්ඩ විකිණෙන්න හේතුවක් නැහැ. නමුත්, මේ වගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය වන එකෙන් පෙනෙන්නේ දේශීය අමුද්‍රව්‍ය වලින් පමණක් හදන භාණ්ඩයක ආනයනික අමුද්‍රව්‍ය යොදාගෙන හදන භාණ්ඩයක නැති අමතර වටිනාකමක් තිබෙනවා කියන එකයි.

සමහර විට මේ අමතර වටිනාකමට හේතුව තිබෙන්නේ අමුද්‍රව්‍ය වල ගුණාත්මක භාවය පිළිබඳ විශ්වාසයන්හි වෙන්න පුළුවන්. වාහන අමතර කොටස් මිල දී ගන්න කොට ජපන්ද තායිවාන්ද කියන එක අනුව ගුණාත්මක භාවය පිළිබඳ විශ්වාසය වෙනස් වෙනවා වගේ. හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්.

ඇමරිකානුවන්ගේ ජාතිකවාදී හැඟීම වැඩිවන තරමට දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන හදපු භාණ්ඩ සඳහා වන ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. මෙහිදී ගුණාත්මක භාවය වැඩි වෙන්න අවශ්‍ය නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා ගැනීම කියන එකම භාණ්ඩයේ ගුණාත්මක භාවය බවට පත් වීමක්. 

ඇමරිකානුවන්ගේ ජාතිකවාදී හැඟීම වැඩි වන විට සමාන ගුණාත්මක භාවයක් තිබෙන ඇමරිකානු භාණ්ඩයක මිල ආනයනික භාණ්ඩයක මිලට වඩා වැඩි වෙන්න පුළුවන්. නමුත්, ඇමරිකානුවන්ගේ ජාත්‍යන්තරවාදී හැඟීම වැඩි වන විට මේ වෙනස නැති වෙලා සමාන ගුණාත්මක භාවය තිබෙන දේශීය හා ආනයනික භාණ්ඩ වල මිල සමාන වෙනවා. 

භාණ්ඩයක උපයෝගීතා අගය පමණක් සැලකුවොත් මේ වෙනසට හේතුව පැහැදිලි කරන්න බැහැ. මෙහිදී වෙන්නේ ජාතිකවාදී ඇමරිකානුවන්ට තමන්ගේ එම ජාතිකවාදී හැඟීම නඩත්තු කිරීම සඳහා මිලක් ගෙවන්න සිදු වීමයි. එහෙමත් නැත්නම් ඔවුන්ගේ මතවාදය නඩත්තු කිරීමේ මිල වෙළඳපොළ තුළ නිශ්චය වීමයි.

මේක මහා අමුතු දෙයක් නෙමෙයි. සන්නාම වෙනුවෙන් ගෙවන මිලත් බොහෝ විට මේ වගේම මිලක්. ස්පොන්ජ් බොබ් වගේ කාටුන් චරිතයක් මුද්‍රණය කළ ළමා ඇඳුමක මිල වෙනත් එවැනිම ඇඳුමක මිලට වඩා වැඩියි. ඒ වගේම, මේ මිල මේ ආකාරයට තීරණය වෙන්න මුදල් ගනුදෙනු සම්බන්ධ විය යුතුම නැහැ. ඇතැම් දේශපාලන මතවාද විශ්වාස කරන අය එම මතවාද වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා කියන්නේත් තමන්ගේ දේශපාලන මතවාදය නඩත්තු කිරීම වෙනුවෙන් එහි මිල ගෙවන එකයි.

ධනවාදය තුළ ලාබ ලබන්න පුළුවන් වෙන්නේ වටිනාකම් නිර්මාණය කළ හැකි අයටයි. වටිනාකම තීරණය කරන්නේ පාරිභෝගිකයින් විසින්. පාරිභෝගිකයින් විසින් වටිනාකම් තීරණය කරන්නේ නිරපේක්ෂ අවකාශයක නෙමෙයි. ඔවුන්ගේ දේශපාලන, ආගමික, සංස්කෘතික පසුබිම එයට බලපානවා. ඒ අනුව, පුද්ගලයෙකුට තමන්ගේ දේශපාලන මතවාද, ආගමික විශ්වාස, සංස්කෘතිය ආදිය නඩත්තු කිරීම සඳහා මිලක් ගෙවන්න වෙනවා. 

සමාජවාදී රටක මේ විදිහට පුද්ගලයෙකුට තමන්ගේ දේශපාලන මතවාද, ආගමික විශ්වාස, සංස්කෘතිය ආදිය නඩත්තු කිරීම සඳහා අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඒ සඳහා ගෙවිය යුතු මිල ඉතාම විශාලයි. ඒ නිසා, දෙන පැකේජ් එක කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් භාර ගන්න වෙනවා. ධනවාදී සමාජයක ඒ අවස්ථාව ලැබෙනවා. හැබැයි නොමිලේ නෙමෙයි!

කිසියම් පුද්ගලයෙකු දේශපාලන මතවාදයක, ආගමික විශ්වාසයක හෝ සංස්කෘතියක දැඩිව එල්බගත් තරමට ඒ වෙනුවෙන් දැරිය යුතු පිරිවැයද ඉහළ යනවා. අනෙක් අතට, එවැනි සීමාවන් නැති වූ තරමට පුද්ගලයෙකු සතු වෙනත් අයව සතුටු කර තමන්ගේ ලාබ වැඩි කරගැනීමේ අවස්ථා ඉහළ යනවා.

පහුගිය දවස් වල ලංකාවේ සාකච්ඡා වුනු කරුණු දෙකක් වුනේ ගංජා නිපදවා අපනයනය කිරීම හා හරක් මස් නිපදවීම නවත්වා ආනයනය කිරීමයි. මම කතා කරන්න යන්නේ මේ අදහස් දෙක ගැන මිසක් අදාළ දේශපාලන තීරණ ගැන නෙමෙයි.

ගංජා යෝජනාව අනුව ලංකාවේ ගංජා වවා ගංජා භාවිතය නීතිගත රටවලට අපනයනය කරනවා. එහෙත්, රට ඇතුළේ ගංජා භාවිතය නීතිගත කිරීමක් වෙන්නේ නැහැ. මේ යෝජනාව පසුපස තිබෙන සංකල්පය අනුව ගංජා භාවිතය නරක දෙයක්. එයට හේතුව සෞඛ්‍යමය, ආගමික හෝ සංස්කෘතික කරුණක් වෙන්න පුළුවන්. රට ඇතුළේ ගංජා නීතිගත නොකරන්නේ මොන හේතුවක් හෝ නිසා එය රටට අහිතකර නිසයි. හැබැයි ඒ අහිතකර දෙය වෙන රටක මිනිස්සු භාවිතා කළාට කමක් නැහැ. මොකද අපි යැව්වේ නැතත් ඒ මිනිස්සු ගංජා උරනවා. අපි කරන්නේ පැත්තක ඉඳලා ලාබයක් ගන්න එකයි.

හරක් මස් යෝජනාව අනුව ලංකාවේ හරක් මැරීම තහනම් කරනවා. එයට හේතුව ආගමික හෝ සංස්කෘතික කරුණක් වෙන්න පුළුවන්. නමුත්, වෙන රටක මිනිස්සු අපි වෙනුවෙන් හරක් මැරුවට ප්‍රශ්නයක් නැහැ. අපි වෙනුවෙන් හරක් මරන ඒ මිනිස්සුන්ට ඒ වෙනුවෙන් අමතර මිලක් ගෙවන්න අපි සූදානම්.

මේ කරුණු වල විසංවාදයක් තිබෙන බව ඇතැම් අය කියනවා. බොහෝ විට එහෙම කියන්නේ ජාතිකවාදය කියන එකේ මූලික ගුණාංග ගැන නොසලකමිනුයි. 

සමාජවාදය හෝ ධනවාදය වගේ අදහසක් ගත්තොත් එහි තිබෙන්නේ නිශ්චිත අදහසක්. එයින් අදහස් වන්නේ මේ මතවාදයක් දරන සියළු දෙනාම එකඟ වෙනවා කියන එක නෙමෙයි. උදාහරණයක් විදිහට විවිධ සමාජවාද තිබෙනවා. නමුත්, කවුරු හෝ සමාජවාදියෙක් ගත්තොත් ඔහුට හෝ ඇයට සාපේක්ෂව නිවැරදි එක් නිශ්චිත සමාජවාදයක් තිබෙනවා. ඒ අතින් සමාජවාදය වගේම ධනවාදයත් ආගමිකයි. නමුත්, ජාතිකවාද මිසක් ජාතිකවාදයක් කියා නිශ්චිත එකක් නැහැ. එය ජාතිකවාදීන් අතර තිබෙන ප්‍රශ්නයක් නෙමෙයි. ජාතිකවාදය කියන සංකල්පය ඇතුළේම තිබෙන වෙනසක්. 

ඇමරිකානු ජාතිකවාදය බොහෝ දුරට ආර්ථික ජාතිකවාදයක්. එහෙත්, ලංකාවේ ජනප්‍රියව තිබෙන්නේ සංස්කෘතික ජාතිකවාදයක්. මා මේ කතා කරන්නේ ප්‍රධාන සංරචකය ගැනයි. පුළුල් ලෙස බැලුවොත් ඔය දෙකේම අඩු වැඩි වශයෙන් සංරචක දෙකම තිබෙනවා.

ලංකාවේ ජනප්‍රියව තිබෙන සංස්කෘතික ජාතිකවාදයේ මූලික ලක්ෂණයක් වන්නේ ලෝකයේ විවිධ රටවල විවිධ සංස්කෘතීන් ඇති බව පිළිගැනීම. ඒ නිසා, කවර හෝ හේතුවක් නිසා ලාංකිකයෙක් ගංජා ඉරීම සුදුසු නැති වූ පමණින් වෙනත් රටක පුද්ගලයෙක් ගංජා ඉරීම වැරැද්දක් වෙන්නේ නැහැ. වෙනත් රටක පුද්ගලයෙක් ගංජා ඉරීම වැරැද්දක් නොවන බව ඒ රටේ මිනිස්සු විසින් තීරණය කර තිබෙනවානම් ඒ රටට ගංජා අපනයනය කර ආදායමක් හොයා ගන්න එකේත් වැරැද්දක් නැහැ. 

මේ යෝජනාව ප්‍රායෝගික තත්ත්වයන් යටතේ තේරුමක් තිබෙන යෝජනාවක් නොවූවත් සංකල්පීය වැරැද්දක් තිබෙන යෝජනාවක් නෙමෙයි.

හැබැයි හරක් මස් යෝජනාවේනම් සංකල්පීය අවුලක් තිබෙනවා. දැන් මේ යෝජනාව අනුව ලාංකිකයින්ගේ හරක්මස් කෑමේ අයිතිය පිළිගැනෙනවා. හරක්මස් කන්නනම් කවුරු හරි හරක් මරන්න ඕනැනේ. ඒ නිසා, ලාංකිකයින්ගේ හරක්මස් කෑමේ විනෝදය වෙනුවෙන් කොහේ හෝ ඉන්න කවුරු හරි කෙනෙක් හරක් මරන එකත් පිළිගැනෙනවා. නමුත්, ලංකාව ඇතුළේ හරක් මරන්න බැහැ.

යෝජනාවේ පසුබිම ආගමික එකක් වෙන්න බැහැ. බෞද්ධයින් සතුන් මැරීමේ මිස මස් කෑමේ වරදක් නොදකින බව ඇත්ත. ප්‍රායෝගිකව සතුන් නොමරා මස් කන්නනම් වෙන කවුරු හෝ කෙනෙක් සතුන් මැරිය යුතුයි. බෞද්ධයින් කිසිවෙක් හරක් මරන්න කැමති නැත්නම්, හරක් මස් කන්නත් ඕනෑනම් කැමැත්තෙන් හරක් මරන කෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලබා දී එහි මිල ගෙවන්න වෙනවා. එය තමන්ගේ ආගමික විශ්වාස නඩත්තු කිරීම වෙනුවෙන් කැමැත්තෙන් ගෙවන මිලක්.

ආගමික පදනමකින් බැලුවොත් ලංකාවේ හරකෙකුගේත් පිටරටක හරකෙකුගේත් ජීවිත වල වටිනාකම් වෙනසක් තියෙන්න බැහැ. එහෙත්, ආර්ථික පදනමකින් බැලුවොත් වෙනසක් තිබෙනවා. ආනයනය කරන හරක් මස් කිලෝවක් වෙනුවෙන් අනිවාර්යයෙන්ම වැඩි මිලක් ගෙවන්න වෙනවා. ඒ මිල ගෙවන්න වෙන්නේ හරක් මස් කන අයටයි.

සංස්කෘතික පදනමකින් හරක් මැරීම ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ හින්දු හා බෞද්ධ ආගමිකයින්ටයි. ඉස්ලාම් හා කතෝලික/ ක්‍රිස්තියානි ආගමිකයින්ට එහි සංස්කෘතික ගැටළුවක් නැහැ. විශේෂයෙන්ම ඉස්ලාම් ආගමිකයින් අතර හරක් මරන්න කැමති අය ඕනෑ තරම් ඉන්නවා. එවැනි අයෙකු විසින් මරන හරකෙකුගේ මස් කන්න කැමති බෞද්ධයින්ද සැලකිය යුතු පිරිසක් ඉන්නවා. හරක් මස් තහනම නිසා වෙන්නේ ඒ අයට වැඩි මිලක් ගෙවා ආනයනික හරක් මස් කන්නයි. 

ඒ වැඩි මිල ඔවුන්ගේ ආගමික හෝ සංස්කෘතික මතවාද නඩත්තු කිරීම වෙනුවෙන් ගෙවන්න සිදු වී තිබෙන මිලක් නෙමෙයි. ලංකාවේ ජීවත් වන වෙනත් පිරිසකගේ ආගමික හෝ සංස්කෘතික මතවාද නඩත්තු කිරීම වෙනුවෙන් ගෙවන්න සිදු වන අසාධාරණ මිලක්. වෙනත් විදිහකින් කිවුවොත් හරක් මස් නොකන අයව වෙනත් පිරිසකගේ සංස්කෘතික ආධිපත්‍යයකට බලහත්කාරයෙන් යටත් කිරීමක්. 

මෙයින් පෙනෙන්නේ ආර්ථික ජාතිකවාදයක හා සංස්කෘතික ජාතිකවාදයක තිබෙන මූලික වෙනසක්. ආර්ථික ජාතිකවාදයක් යටතේ කිසියම් පුද්ගලයෙකුට තමන්ගේ සංස්කෘතිය නඩත්තු කිරීමට අවශ්‍යනම් ඒ සඳහා මිලක් ගෙවන්න වෙනවා. සංස්කෘතික ජාතිකවාදයක් යටතේ බහුතර සංස්කෘතිය නඩත්තු කිරීමට අවශ්‍ය නැති අයටත් වෙනත් අයගේ බහුතර සංස්කෘතිය නඩත්තු කිරීමේ උවමනාව වෙනුවෙන් මිලක් ගෙවන්න වෙනවා.

Tuesday, September 22, 2020

මාළු නටන කතාවක්!

ශ්‍රී ලංකා රේගුවෙන් ලද තොරතුරු මත බන්දුල ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවේදී කර ඇති ප්‍රකාශයකට අනුව 2015- 2019 අතර  කාලයේ දී ශ්‍රී ලංකාව රුපියල් බිලියන 38 ක මාළු ආනයනය කර තිබෙනවා. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව අදාළ කාලයේදී ලංකාවේ මාළු හා මාළු නිෂ්පාදන ආනයන වියදම අඩු වශයෙන් මේ කියන ගණන මෙන් පස් ගුණයක්වත් විය යුතුයි. සාමාන්‍යයෙන් මේ දත්ත පදනම් වෙන්නේ රටවල් දෙකකින්ම ගන්නා තොරතුරු මතයි. ඒ නිසා, එක රටකින් ලබා ගන්නා දත්ත වලට වඩා නිවැරදියි.

දත්ත අනුව ලංකාවේ මාළු ආනයන වියදම් වේගයෙන් ඉහළ ගොස් තිබෙන්නේ 2005-2015 කාලයේදී. 2016න් පසුව ආනයන වියදම් ක්‍රමයෙන් අඩු වී තිබෙනවා. 2005-2015 කාලයේදී මේ ආකාරයට මාළු ආනයන වියදම් දෙතුන් ගුණයකින්ම ඉහළ යාම එම කාලය තුළ පොදුවේ ලංකාවේ ආනයන වියදම් විශාල ලෙස ඉහළ යාමේම දිගුවක්. එසේ ආනයන වියදම් විශාල ලෙස ඉහළ යන්න හේතු වුනේ ඒ කාලයේ අනුගමනය කළ විදේශ විණිමය ප්‍රතිපත්තියයි. 

ආනයන වියදම් අඩු කළ හැකි පහසුම ආකාරය රුපියල එය තිබිය යුතු මට්ටමට රැගෙන ඒමයි. එසේ නොකර ආනයන සීමා පැනවීමෙන් සිදු වනු ඇත්තේ භාණ්ඩ හිඟයක් ඇති වීම, මිල විශාල ලෙස ඉහළ යාම හා කළු කඩ ඇතිවීම පමණයි. කහ වලට වෙලා තියෙන්නෙත් ඒකයි.


Sunday, September 20, 2020

හතරවෙනි 25%?


මෑතකදී දිලිත් ජයවීර විසින් ව්‍යවසායකත්වය පිළිබඳ බෞද්ධ අදහස ගැන හෝ ඊට සමාන දෙයක් ගැන කතා කර තිබුණා. මේ කතාවේ පදනම සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් බුදු හිමියන් විසින් සිඟාලකට දුන් අවවාද අතර තිබෙන පහත කොටසයි.

ඒකේන භෝගේ භුඤෙජය්‍ය

ද්වීහි කම්මං පයෝජයෙ

චතුත්ථංච නිධාපෙය්‍ය

ආපදාසු භවිස්සති

මේ ගාථා ඛණ්ඩය අර කාලාම සූත්‍රයේ ජනප්‍රිය පාඨය වගේම අධිනිශ්චය වී ඇති පාඨයක්. පුද්ගලයෙක් තමන්ගේ ආදායම වැය කළ යුත්තේ කොහොමද කියා උගන්වන එක බුදු හාමුදුරුවන්ගේ ඉලක්කයක් වුනේ නැහැ. බුදු හාමුදුරුවන් ඉලක්ක කළේ හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ අතරේ බුදු දහමේ මූලික කරුණු වලට අදාළ නැති වෙනත් අවශේෂ කරුණු ගැන සඳහන් කළ මෙවැනි අවස්ථාද තිබෙනවා. ඒවාට ඕනෑවට වඩා බරක් දැමිය යුතු නැති බව බොහෝ බෞද්ධයින් විසින් පිළිගනු ඇතැයි මා සිතනවා. කොහොම වුනත් අපේ කතාවට ප්‍රවේශයක් විදිහට අපි මේ ගාථා ඛණ්ඩය යොදා ගනිමු.

දැන් මෙහි කියන ආකාරයට කිසියම් පුද්ගලයෙක් විසින් තමන්ගේ ආදායම කොටස් හතරකට බෙදා එයින් එක් කොටසක් පරිභෝජනය කළ යුතුයි. කොටස් දෙකක් කර්මාන්තයෙහි ආයෝජනය කළ යුතුයි. හතරවන කොටස හදිසි ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා නිදන් කළ යුතුයි. දිලිත් ජයවීර කියන විදිහට ඔහු සාර්ථක වී තිබෙන්නේ මේ ක්‍රමය අනුගමනය කරලා. ඔහු එසේ කියනවානම් මට ඔහුගේ ඒ ප්‍රකාශයට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ.

සිඟාලෝවාද සූත්‍රය අනුව බුදු හිමියන් විසින් මේ අවවාදය දී තිබෙන්නේ එක් නිශ්චිත පුද්ගලයෙක්ටයි. මෙහි සඳහන් 1:2:1 අනුපාතය සිඟාලකගේ ආදායම් මට්ටම අනුව ප්‍රශස්තම අනුපාතය වෙන්න පුළුවන්. සමහර විට මේ අනුපාතය දිලිත් ජයවීරටත් ගැලපෙනවා වෙන්න පුළුවන්. නමුත්, එම අනුපාතය ඕනෑම කෙනෙකුට හරියනවාද නැද්ද කියා අපට කියන්න බැහැ. බුදු හිමියන් විසින් මෙහි කර තිබෙන්නේ එවැනි සාධාරණ ප්‍රකාශයක් කියා කියන්න අපට සාධක නැහැ. 

කොහොම වුනත් මට කතා කරන්න අවශ්‍ය කරුණ එය නෙමෙයි. මෙහි පළමු කොටස ඉතා පැහැදිලිවම පරිභෝජන වියදම්. දෙවන කොටස ආයෝජන වියදම්. එතකොට හතරවෙනි කොටස කුමක්ද? දිලිත් ජයවීර තේරුම් අරගෙන තිබෙන ආකාරයටනම් බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ හතරවෙනි කොටසත් ආයෝජනය කරන්න කියලයි. ඒ කියන්නේ, 25%ක් පරිභෝජනය කරලා 75%ක් ආයෝජනය කරන්න කියලා. එහෙමනම්, ඒ බව කෙළින්ම නොකියා හතරවෙනි කොටසක් ගැන වෙනම කතා කරන්නේ ඇයි? 

මෙහි කියැවෙන හතරවන පංගුව තවත් ආයෝජනයක් නෙමෙයි. එය හරියටම එම ගාථා ඛණ්ඩයෙන් කියැවෙන දෙයමයි. එය හදිසි ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා නිදන් කරන කොටසක්. අද ලෝකයේ ව්‍යාපාරික භාෂාවෙන් කියනවානම් රක්ෂණ වාරිකයක්. 

රක්ෂණ වාරිකයක් කියා කියන්නේ එක පැත්තකින් බැලුවොත් පරිභෝජන වියදමක් හෝ ආයෝජන වියදමක් නෙමෙයි. අනෙක් පැත්තෙන් බැලුවොත් පරිභෝජන වියදමක් වගේම ආයෝජන වියදමක්. පරිභෝජන වියදමක් කියන්නේ තමන්ගේ ආදායමෙන් තමන්ගේ මේ මොහොතේ සතුට වෙනුවෙන් වැය කර අවසන් කරන කොටසක්. එයින් වෙනත් අනාගත ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ආයෝජන වියදමක් කියා කියන්නේ අනාගත ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අද වැය කරන මුදලක්. අනාගතයේදී එම අපේක්ෂිත ප්‍රතිලාභ නොලැබී යාමේ අවදානමක්ද තිබෙනවා. 

රක්ෂණ වාරිකයක් කියන්නේ අවදානමක් අරගෙන කරන ආයෝජනයක් නෙමෙයි. අනාගත අවදානම් වල හානිය අවම කර ගැනීම සඳහා වෙන් කර තබා ගන්නා මුදලක්. මේ කොටස ආයෝජන කොටස මෙන් දිගින් දිගටම සමුච්ඡය වන කොටසක් නෙමෙයි. නමුත්, පරිභෝජන කොටස මෙන් කිසිසේත්ම සමුච්ඡය නොවන කොටසක්ද නෙමෙයි. කෙටිකාලීනව සමුච්ඡය වන එහෙත් දිගුකාලීනව සමුච්ඡය නොවන කොටසක්. ආයෝජන කොටස දිගින් දිගටම සමුච්ඡය වීම සඳහා මෙවැනි සිවුවන කොටසක් අනිවාර්යයෙන්ම පවත්වා ගත යුතුයි. දිගුකාලීනව පරිභෝජන කොටස ටිකෙන් ටික වර්ධනය කර ගැනීම සඳහා ආයෝජන කොටස දිගින් දිගටම සමුච්ඡය විය යුතුයි. මේ අනුව, දිගුකාලීනව පරිභෝජනය වැඩි කර ගැනීම සඳහා ඉහත හතරවන කොටස අනිවාර්යයෙන්ම අවශ්‍යයි. 

ලංකාවේ ගොවියාගේ ප්‍රශ්නය ආයෝජන කොටස පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. එය මූලික වශයෙන්ම හතරවන කොටස පිළිබඳ ප්‍රශ්නයක්. 

පොදුවේ ගත් විට ලංකාවේ ගොවීන් පාඩු ලබන්නේ නැහැ. ඔවුන්ට තමන්ගේ පරිභෝජන වියදම් හැර සැලකිය යුතු මුදලක් ඉතිරි කරගත හැකිවාක් මෙන්ම ඔවුන් එම මුදල ආයෝජනය කරනවා. ඒ කියන්නේ ඔවුන් අපේක්ෂිත අනාගත ප්‍රතිලාභ වෙනුවෙන් අවදානමක් ගන්නවා. බොහෝ විට එම අපේක්ෂිත ප්‍රතිලාභ ලැබෙනවා. එහෙත් සමහර වෙලාවට අවදානම මතු වෙනවා. එවිට ගොවියන් අන්ත අසරණ තත්ත්වයකට පත් වෙනවා. ගොවියන් ගැන මූලිකවම කතා කළත් මෙය වෙනත් ව්‍යවසාය වලටත් අදාළයි.

ඇතැම් විට බොහෝ ලාංකිකයින් ව්‍යවසායකයින් සේ අසාර්ථක වීමට හේතුව, දිලිත් ජයවීර කියනාවක් මෙන්, ආයෝජන භාගය ප්‍රමාණවත් නොවීම වෙන්න පුළුවන්. එහෙත්, දිලිත්ගේ ප්‍රකාශය හරහා මතුවන වැරදි අදහස ආයෝජන භාගය වැඩි කරන තරමට ප්‍රතිලාභද වැඩි වන බවයි. ඇතැම් අය හා අදාළව "වාසනාවට" එසේ විය හැකි වුවත්, අධි-ආයෝජනය යනු සූදුවක්. එය හානිකරයි. ආයෝජනයේ ප්‍රතිලාභ ලබාගත යුතු අතරම අවදානම් කලමණාකරණය කර ගැනීමද ඉතා වැදගත්. ඒ නිසා අන්තිම හතරෙන් පංගුව කිසිසේත්ම ආයෝජනය කළ යුතු නැහැ.

කෘෂිකර්මය ගත්තොත් කෘෂිකාර්මික ව්‍යවසායකයෙකු මුහුණ දෙන ප්‍රධාන අවදානම් දෙකක් තිබෙනවා. පළමුවැන්න වගා හානි අවදානමයි. වියලි කාලගුණය, අධික වර්ෂාව, සේනා දළඹුවන් වැනි කෘමි උවදුරු, වල් අලි වැනි සතුන් වගාව විනාශ කිරීම ආදිය උදාහරණ සේ පෙන්වන්න පුළුවන්. ආයෝජන වැඩි කළ පමණින් මෙවැනි හානි දුරු වන්නේ නැහැ. දෙවන අවදානම මිල පහත වැටීමේ අවදානමයි. බොහෝ විට මිල පහත වැටෙන්නේ අස්වනු ඉහළ යාමට සමාන්තරවයි. අස්වනු ඉහළ යද්දී දැනෙන සතුට මිල දැනගත් වහාම නැති වී යනවා.

මේ අවදානම් වල හානිය අවම කර ගත හැකි ධනවාදී විසඳුම රක්ෂණයයි. වගා හානි රක්ෂණ හා මිල හානි රක්ෂණ ප්‍රචලිතව ඇත්නම් ගොවීන්ගේ ජීවිත අදට වඩා බොහෝ සැපවත් වෙනවා. සිඟාලකගේ යුගයට ගියොත්, ගොවීන්ට මේ හානි අවම කර ගත හැකි වූයේ තමන්ගේ ආදායමෙන් හතරෙන් එකක් නැවත ආයෝජනය නොකර, පරිභෝජනයද නොකර, නිදන් කර තබා ගැනීමෙනුයි. වසර හතරක් මෙසේ කළ විට තමන්ගේ වාර්ෂික ආදායමට සමාන කොටසක් පැත්තක එක්රැස් වෙනවා. ඒ නිසා, වසර හතරකට වරක් තමන්ගේ අපේක්ෂිත ආදායම නැත්තටම නැති වී ගියත් ඒ හේතුව නිසා ගොවියාගේ සාමාන්‍ය පරිභෝජන මට්ටම පහළ බහින්නේ නැහැ. ආයෝජන අඩුවී ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීම නවතින්නේත් නැහැ. වට්ටක්කා විකුණා ගන්න බැරි වුනා කියා හෝ හේනට අලි ගැහුවා කියා හෝ වගා ණය ගෙවන්න විදිහක් නැහැ කියා රජයට බැගෑපත් වෙන්න හෝ කණේරු ඇට කන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

වගා හානි රක්ෂණ හා මිල හානි රක්ෂණ හරහා තමන්ගේ අවදානම් කළමනාකරණය කර ගත හැකි බව අවබෝධ කර ගැනීමට ගොවීන්ට කාලයක් යන්න පුළුවන්. එතෙක්, රජයට මැදිහත් වී යම් දිරිගැන්වීමක් කළ හැකියි. ඇමරිකාවේ රජය විසින් ගොවීන් සුබසාධනය කරන ප්‍රධානම ආකාරය වගා හානි රක්ෂණ හා මිල හානි රක්ෂණ සඳහා ගෙවිය යුතු වාරික මුදල් වලින් කොටසක් සුබසාධනය කිරීමයි. 

ලංකාවේ තිබෙන වී සඳහා වන සහතික මිල ක්‍රමයෙන් කෙරෙන්නේද මිල හානි අවදානම අඩු කරන එකයි. මෙහි ඇති ගැටළුව රජයට සහතික මිලට මිල දී ගත හැකි වී ප්‍රමාණය රජය සතු ගබඩා පහසුකම් ධාරිතාවට සීමා වීමයි. වී ගොවියන්ගෙන් සහතික මිලට වී මිලදී ගන්නවා වෙනුවට ඔවුන්ට වෙළඳපොළ මිලට වී විකුණන්නට ඉඩ හැර ඒ හේතුව නිසා සිදුවන පාඩුව රජය විසින් ප්‍රතිපූරණය කරනවානම් මේ ප්‍රශ්නය මතු වන්නේ නැහැ. මේ ක්‍රමය තක්කාලි හෝ වට්ටක්කා වැනි වෙනත් ඕනෑම වගාවක් සඳහාද ක්‍රියාත්මක කළ හැකියි. මෙහිදී පිරිවැය ආවරණය කර ගැනීම සඳහා ගොවීන්ට රක්ෂණයක් විකිණිය හැකියි. එවිට එම රක්ෂණ වාරිකයේ වියදමද ඔවුන්ගේ සාමාන්‍ය වියදම් වලම කොටසක් බවට පත් වෙනවා. කාලයක් යද්දී රජයේ මැදිහත්වීමක් නැතිවම රක්ෂණ වෙළඳපොළ ක්‍රියාත්මක වෙයි.

Saturday, September 19, 2020

මහපාරේ විනය

පසුගිය දවස් වල ලංකාවේ පාරවල් වල වාහන මං තීරු ප්‍රතිපත්තිය සම්බන්ධ වෙනසක් කරන්න ගිහින් අවුලක් වෙලා තිබුණා. අවසන් ප්‍රතිඵලය කුමක් වුවත්, මේ වගේ වෙනසක් කරන්න පෙළඹෙන්න ඇත්තේ ලංකාවේ පාරවල් වල වාහන ධාවනය කරන ආකාරයේ අවුලක් තිබෙන නිසානේ. එවැනි අවුලක් තිබෙනවා කියන කාරණය සම්බන්ධව කියවන හැම දෙනෙක්ම වගේ එකඟ වෙයි කියා හිතනවා.

ඇමරිකාවේ හෝ යුරෝපයේ වාහනයක් එළවන තරම් පහසුවෙන් ලංකාවේ වාහනයක් එළවන්න බැහැ. ඒ සඳහා වෙනම කුසලතාවයක් අවශ්‍යයි. පුරුදු නැති කෙනෙකුට ලංකාවේ පාරක ගමන් කිරීම ඉතාම ත්‍රාසජනක අත්දැකීමක්. කොයි වෙලේ කොහෙන් වෙනත් වාහනයක ගෑවෙයිද කියා වාහනයක් එළවන කාටවත් විශ්වාසයක් නැහැ. මෙය වෙනස් විය යුතු තත්ත්වයක් කියන එක සම්බන්ධවත් විවිධ දේශපාලන මත දරන අයට එකඟ වෙන්න අමාරු නැහැ කියා මම හිතනවා.

බටහිර සංස්කෘතිය තිබෙන රටවල පිළිවෙලකට වාහන ධාවනය සිදු වෙද්දී ලංකාවේ එසේ නොවීම සංස්කෘතික ප්‍රශ්නයක් කියා අදහස් පළ වී තිබෙනු මම දැක තිබෙනවා. එහෙත්, මා එසේ සිතන්නේ නැහැ.

අපි අසූව දශකයට පමණ යමු. මම දැන් විස්තර කරන්න යන අත්දැකීම විඳ තිබෙන බොහෝ දෙනෙක් කියවන අය අතර ඇති. සමහර විට මේ කියන තත්ත්වය දැකිය හැකි ගම් තවමත් ලංකාවේ ඇති.

කලින් වාහනයක් ගමන් කළ හැකි පාරක් නොතිබුණු ගමකට යා හැකි පරිදි අළුතින් පාරක් සංවර්ධනය වෙනවා. ඉන් පසු, එම ගමට යන්න ලංගම බස් රථයක් වැටෙනවා. බස් රථය දවසකට හතර පස් පාරක් ගමට එනවා. බස් රථයේ රියදුරු හා කොන්දොස්තර සේ සේවය කරන දෙදෙනාව ගමේ කවුරුත් වගේ දන්නවා. 

බස් රථය හැරුණු විට ගමේ තවත් වාහන තිබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. මේ වාහන කිහිපය ගැන කාටත් පොදු දැනුමක් තිබෙනවා. පිට ගමකින් වෙනත් වාහනයක් ගමට එන්නේ කලාතුරකින්. 

පාරේ වාහන දෙකකට මාරු වෙන්න බැහැ. මාරු වෙන්න පුළුවන් නිශ්චිත තැන් කිහිපයකදී පමණයි. වෙනත් තැනකදී වාහන දෙකක් මුහුණට මුහුණ හමු වුනොත් එක වාහනයක් පසුපසට ගන්න වෙනවා. තවත් වාහනයක් එන බව ඈතදීම දැක්කොත් බොහෝ විට රියදුරා වාහනය කලින්ම පාරේ ඉඩ තිබෙන තැනක නවත්වා ගෙන අනෙක් වාහනය මාරු වන තුරු බලා ඉන්නවා. වාහන දෙක මාරු වෙන්නේ රියදුරන් දෙදෙනා නලා හඬවා එකිනෙකාට ආචාර කිරීමෙන් පසුවයි.

ඔය වගේ තත්ත්වයක් තිබෙන ගමක රියදුරන්ගේ වාහන ධාවනය පිළිබඳ ආචාර ධාර්මික ගැටළුවක් තිබෙන බවක් කාටවත් කියන්න බැහැ. මතක් කර ගත හැකි වයසක අයෙක්ගෙන් අසා දැනගත්තොත්, ලංකාවේ හැම පාරකම වගේ වාහන ධාවනය ආරම්භ වූ කාලයේ තත්ත්වය ඔය වගේ. ඔය තත්ත්වය වෙනස් වෙන්නේ වාහන ක්‍රමයෙන් වැඩි වෙද්දී. එහෙමනම්, ලංකාවේ වාහන ධාවනය කිරීමේ අක්‍රමික ස්වභාවය සංස්කෘතියේ වැරැද්දක් කියා කියන්න බැහැ. 

ලංකාවේ පාරවල් වල දැකිය හැකි පැහැදිලි අවුල සංස්කෘතියේ අවුලක් නොවෙයිනම් ඒ කුමක්ද? රටේ වාහන වැඩිකමද? එහෙම නැත්නම් තිබෙන වාහන ප්‍රමාණයට වාහන මදිකමද?

ලෝකයේ එක් එක් රටවලට ගැලපෙන අනන්‍ය සංවර්ධන ආකෘති තිබෙනවා. එක රටකට හරියන දෙයක් වෙනත් රටක ඒ ආකාරයෙන්ම යොදාගෙන සාර්ථක ප්‍රතිඵල ලබන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුනත්, මේ වගේ කාරණයකදී ලෝකයේ විවිධ රටවල් සංසන්දනය කිරීම ප්‍රශ්නය තේරුම් ගන්න හොඳ ප්‍රවේශයක්.

පහත වගුවේ තිබෙන්නේ තෝරාගත් රටවල් කිහිපයක ජනගහණය දහසකට හා මාර්ග කිලෝ මීටරයකට ඇති වාහන ප්‍රමාණයයි. දත්ත අලුත්ම ඒවා නොවුණත් කියන කාරණය පෙන්වා දෙන්න මේ දත්ත ප්‍රමාණවත් කියා මම හිතනවා.



ඉහත නිර්ණායක දෙකෙන් කොයි එක දිහා බැලුවත් ලංකාවේ වාහන වැඩියි කියා කියන්න බැහැ. එය ඉතා පැහැදිලියි. එහෙමනම්, ප්‍රශ්නය වාහන ප්‍රමාණය වැඩිවීම කියා කියන්න බැහැ. ලංකාවේ රියදුරුන් වාහන එළවන ආකාරයේ අවුලක් තිබෙනවා කියන එක අපට බැහැර කරන්න බැහැ. ඒ අවුල නිවැරදි විය යුතු අවුලක්.

මේ ආකාරයේ අවුල් ස්වභාවික ලෙසම නිවැරදි වෙන්නේ නැහැ. අපි හිතමු කවුරු හෝ "හොඳ රියැදුරෙක්" වාහනය පාරට දැම්මා කියලා. මළාට ගමන යන්න බැහැ. මේ අත්දැකීම මට පෞද්ගලිකවත් තිබෙනවා. ඇමරිකාවේ ක්‍රමයට ලංකාවේ වාහන එළවන්න බැහැ. ලංකාවට ඇවිත් දවසකින් දෙකකින් ලංකාවේ ක්‍රමයට ඔලුව හැදෙනවා. ඊට පස්සේ අවුලක් නැතුව වාහනේ එළවන්න පුළුවන්. මේ ආකාරයේ සමතුලිතතා තනි පුද්ගලයින්ට වෙනස් කරන්න අමාරුයි. එහෙම වෙනස් කරන්න හදන කෙනෙක් කලක් යද්දී පවතින ක්‍රමයට අනුගත වෙන එකයි සිද්ධ වෙන්නේ. මේ වගේ තත්ත්වයකදී රජයට මැදිහත්වීමක් කරන්න සිදු වෙනවා.

මම කලින් විස්තර කළ ආකාරයේ ලංකාවේ ගම් අද තිබෙන තත්ත්වයට වෙනස් වී තිබෙන්නේ සාපේක්ෂව කෙටි කාලයක් ඇතුළතයි. සරල තත්ත්වයක් ක්‍රමයෙන් වඩා සංකීර්ණ වෙද්දී පරණ ආචාර ධාර්මික රීති ප්‍රමාණවත් නොවන අවස්ථාවක් එනවා. ඒ වෙද්දී, ආචාර ධාර්මික රීති තවදුරටත් පවත්වා ගන්න නීති වලින් පිටිවහලක් ලැබිය යුතුයි. බටහිර රටවල් වල මාර්ග පද්ධති ටිකෙන් ටික දියුණු වෙද්දී හා වාහන වැඩි වෙද්දී මාර්ග භාවිතය හා අදාළ නීති හා එම නීති ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදයන්ද  ක්‍රමයෙන් දියුණු වී තිබෙනවා. එහෙත්, ලංකාවේ එසේ සිදු වී නැහැ. එසේ සිදු වී නැති දෙය දැන් හෝ සිදු විය යුතුයි.

මාර්ග විනය හදන්නනම් එක දිගට කාලයක් දැඩි සේ නීති ක්‍රියාත්මක කරන්න වෙනවා. මුලදී මෙයට කැමති වනු ඇත්තේ සුළුතරයක් වන "හොඳ රියැදුරන්" හා හොඳ රියැදුරන් වෙන්න කැමති අය පමණයි. එහෙත්, එක දිගට කාලයක් නීති ක්‍රියාත්මක කරද්දී මේ ගොඩ වැඩි වෙයි. එවිට නීති එතරම්ම අවශ්‍ය වන එකකුත් නැහැ. 

විවිධ වාහන වර්ග සඳහා මංතීරු වෙන් කළ යුත්තේ කෙසේද කියා මම යෝජනා කරන්නේ නැහැ. එය අදාළ විශේෂඥයින්ගේ වැඩක්. මෙය කොයි ආකාරයෙන් කළත් මුලදී රථවාහන තදබදයක් ඇති වෙයි. එහෙත්, පසුව තත්ත්වය නිවැරදි වෙයි. 

මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ ලංකාවේ ජනප්‍රිය වී තිබීමට එක් මූලික හේතුවක් වන්නේ වාහන වලින් අයකරන ඉතා අධික තීරු බදු මුදල වුවත්, පාරේ පදික වේදිකා වලින් පවා දමා එහෙන් මෙහෙන් රිංගා යන්න හැකි වීමත් එක් හේතුවක්. මෙසේ රිංගා යාමේ අවස්ථාව නැති වුනොත්, ඒ විශේෂ වාසිය නැති වෙනවා. මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ වලටත් අනෙක් වාහන වලට වගේම පාරේ රස්තියාදු වෙන්න සිදු වෙනවා. මේ වාහන වලට තිබෙන ඉල්ලුම අඩු කරන්න අවශ්‍යනම් මං තීරු සීමා කර ඒ විදිහට පාරේ රස්තියාදු වෙන්න ඉඩ හැරීමත් ඒ සඳහා එක් විකල්පයක්. 

Friday, September 18, 2020

ජාතික ආර්ථිකය නැංවීම හා ආරක්ෂණවාදය


කෝවිඩ් ලෝකයේ හැම රටකම වගේ ආර්ථික ව්‍යුහයන්ට විශාල බලපෑමක් කරලා තිබෙනවා. හැම රටක්ම කිවුවහම ලංකාවත් අනිවාර්යයෙන්ම ඇතුළත්නේ. මේ බලපෑමේ එක් ප්‍රතිඵලයක් වන්නේ රටවල් යම් තරමකින් සංවෘත ආර්ථිකයන් බවට පත් වීම.

මම මේ කතා කරන්නේ ආනයන සීමා කිරීම් වගේ දේවල් ගැන නෙමෙයි. රජයයන් මැදිහත් වී කරන එවැනි දේ අපි පැත්තකින් තියමු. එවැනි මැදිහත් වීමක් නැතත්, සංචාරක කර්මාන්තය, ගුවන් සේවා වගේ අංශ ස්වභාවිකම හැකිළී තිබෙනවා. 

මේ මාදිලියේ කම්පනයකින් කිසියම් රටක ආර්ථිකයට සිදු වන බලපෑම රටක් කොයි තරම් දුරකට ජාත්‍යන්තර වෙළඳාමට නිරාවරණය තිබුණාද කියන එක මත සෑහෙන දුරකට තීරණය වෙනවා. එහෙත්, එය එකම සාධකය නෙමෙයි.

ලෝකය ජාත්‍යන්තර වෙළඳාම හරහා එකම යායක් සේ සම්බන්ධ වීම 1970 දශකයේ මුල පමණ සිට දැකිය හැකි වූ ප්‍රවණතාවක්. සමස්ත ලෝකයම ගත් විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පරිමාව 1970 දී තිබුණු 27% මට්ටමේ සිට වේගයෙන් වර්ධනය වී 2008 වෙද්දී 60% මට්ටම ඉක්මවා ගියා. එහෙත්, 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් පසුව මේ ප්‍රවණතාවය වෙනස් වී ජාත්‍යන්තර වෙළඳාම පසුගිය දශකයකට වඩා වැඩි කාලය තුළ 60% මට්ටම ඉක්මවිය නොහැකිව "ගල් වී" තිබෙනවා. කෝවිඩ් ආවේ එවැනි පසුබිමකයි.

ඉහත කී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පරිමාව යනු එක් එක් රටෙහි ආර්ථිකය කෙතරම් දුරට ලෝකයට නිරාවරණය වී ඇත්දැයි පිරික්සිය හැකි පිළිගත් නිර්ණායකයක්. ලෝක මට්ටමේදී ජාත්‍යන්තර වෙළඳ පරිමාවේ හැසිරීම් රටාව හා ඇමරිකා එක්සත් ජනපදයේ එම රටාව බොහෝ දුරට සමානයි. එයින් පෙනෙන්නේ සමස්ත ලෝකයේ ජාත්‍යන්තර වෙළඳ පරිමාවට ඇමරිකාවේ දායකත්වය කොපමණද කියන එකයි.

ජාත්‍යන්තර වෙළඳාමට ඇමරිකාවේ බලපෑම එපමණ වුවත් ඇමරිකාවට ජාත්‍යන්තර වෙළඳාමේ බලපෑම එතරම්ම විශාල නැහැ. ලෝකයේ වෙනත් රටවල් සමඟ ඉහත කී නිර්ණායකය සංසන්දනය කළ විට මේ කරුණ පැහැදිලිව පෙනෙනවා. 

තෝරාගත් රටවල් කිහිපයක දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පරිමාව පහත දැක්වෙන පරිදියි. මේ අගය අඩුනම් එයින් අදහස් වන්නේ අදාළ රටේ ආර්ථිකයට බාහිර සාධක වල බලපෑම අඩු බවයි. වෙනත් විදිහකින් කිවුවොත් අදාළ රටේ ජාතික ආර්ථිකය කොයි තරම් ශක්තිමත්ද කියන එකයි.

ඕස්ට්‍රේලියාව - 46%

බ්‍රසීලය - 29%

කැනඩාව - 65%

ජර්මනිය - 88%

එක්සත් රාජධානිය - 64%

ඉන්දියාව - 40%

පකිස්ථානය - 30%

බංග්ලා දේශය - 37%

ජපානය - 37%

චීනය - 36%

රුසියාව - 49%

කියුබාව - 27%

මියන්මාරය - 61%

සිංගප්පූරුව - 319%

ලංකාව - 52%

ඇමරිකා එක්සත් ජනපදය - 26%


මේ සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට අඩු වශයෙන් කරුණු දෙකක් පැහැදිලි විය යුතුයි. පළමුවැන්න තමයි ධනවාදය කියා කියන්නේ හැම දෙයක්ම පිටරටකින් ගෙන්වන එක නොවන බව. ධනවාදය හා හැම දෙයක්ම පිටරටින් ගෙන්වීම කියන්නේ එකම දෙයනම් මේ ලැයිස්තුවේ තිබෙන වැඩියෙන්ම ධනවාදී රට සේ සැලකිය හැකි ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෙළඳ පරිමාව ජාතික ආදායමේ ප්‍රතිශතයක් විදිහට චීනය, කියුබාව, රුසියාව, ලංකාව ඇතුළු ලැයිස්තුවේ අනෙක් හැම රටකටම වඩා අඩු වෙන්න විදිහක් නැහැනේ. 

ලැයිස්තුවේ නැති රටවල්ද ඇතුළත්ව ලෝකයේ රටවල් 216ක් අතරින් ජාතික ආදායමේ ප්‍රතිශතයක් විදිහට ජාත්‍යන්තර වෙළඳ පරිමාව අඩුම රට ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ කියන්නේ ලෝකයේ ශක්තිමත්ම ජාතික ආර්ථිකය තිබෙන රට ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ අතරම, ලෝකයේ මේ සියලුම රටවල් අතරින් ජාත්‍යන්තර වෙළඳ පරිමාව වැඩිම රටත් ඇමරිකා එක්සත් ජනපදයයි. 

ඇමරිකා එක්සත් ජනපදය කියා කියන්නේ තමන්ගේ රටේ නිෂ්පාදකයින්ට එකිනෙකා සමඟ වගේම ලෝකයේ අනෙක් රටවල නිෂ්පාදකයින් සමඟත් තරඟ කරන්න ඉඩ හැර සිටින රටක්. ඒ තරඟයට මුහුණු දිය නොහැකි නිෂ්පාදකයින්ව රජය මැදිහත් වී ආරක්ෂා කර ගැනීම ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉතාම අඩුවෙන් සිදු වන දෙයක්. ඒ වගේම, ඇමරිකාවේ පාරිභෝගිකයින්ට ලෝකයේ ඕනෑම රටක නිෂ්පාදනයක් මිල දී ගැනීම අමාරු වැඩක් නෙමෙයි. 

ඒ අනුව අපට ඉහත දත්ත වලින් තහවුරු කරන දෙවන කරුණ විස්තර කළ හැකියි. ජාත්‍යන්තර වෙළඳාමට නිරාවරණය වූ පමණින් ජාතික ආර්ථිකයක් දුර්වල වෙන්නේ නැහැ. ඒ නිසා, ජාතික ආර්ථිකයක් ගොඩ නංවන්න ආරක්ෂණවාදය වෙත පසු බසින්න අවශ්‍ය නැහැ.

Wednesday, September 16, 2020

ආනයන වියදම් අඩුවීම තිරසාර වෙනසක්ද?

බොහෝ දෙනෙකු විසින් ලංකාවේ වත්මන් ආණ්ඩුව ජාතිකවාදී ආණ්ඩුවක් සේ සලකනවා. පසුගිය යහපාලන ආණ්ඩුව හා අදාළව කවුරුවත් එවැනි කතාවක් කිවුවේ නැහැ. ආර්ථික ජාතිකවාදය ජාතිකවාදී රාජ්‍ය ප්‍රතිපත්තියක වැදගත්ම කොටසක්. එහෙත්, ආර්ථික ජාතිකවාදය යන්නෙන් අදහස් වන්නේ ආරක්ෂණවාදය විය යුතු නැහැ. අන්තවාදී ආරක්ෂණවාදයක් වෙත තල්ලු නොවී ජාතික ආර්ථිකයක් ශක්තිමත් කළ හැකියි.

ආණ්ඩුවක ප්‍රතිපත්ති විශ්ලේෂණය කළ යුත්තේ කරනවා කියා කියන හෝ පෙන්වන්න හදන දේවල් වලින් නෙමෙයි. ඇත්තටම කරන දේවල් වලින්. අනෙක් ප්‍රතිපත්ති කෙසේ වුවත්, මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් දිහා බැලුවහම පෙනෙන්නේ 2004-14 මුහුණු ටිකමයි. මුහුණු සමාන වුවත් ප්‍රතිපත්ති සමාන නොවෙන්න බැරිකමක් නැහැ තමයි. කාලයත් එක්ක ටිකෙන් ටික මිනිස්සුන්ගේ ප්‍රතිපත්තිත් වෙනස් වෙනවා. සමහර විට එක පාරටම යූ-ටර්න් ගන්න අවස්ථාත් තිබෙනවා.  

හැබැයි මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති දිහා බැලුවහම එක මූලික කරුණකින් පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලින් පොඩ්ඩක්වත් වෙනස් වෙලා බවක් පෙනෙන්නේ නැහැ. ඒ තමයි විදේශ විණිමය ප්‍රතිපත්තිය. මේ ආණ්ඩුව විසින් නැවතත් ගමන් කරමින් සිටින්නේ රටේ ජාතික ආර්ථිකය විනාශ කරන, චීන ගැති, ඉන්දියා ගැති විදේශ විණිමය ප්‍රතිපත්තියක් දෙසටයි. 

මතු පිටින් පේන්න තියෙන විදිහටනම් ආණ්ඩුව පරිප්පු ආනයනය නවත්තලා ඒ වෙනුවට බඩ ඉරිඟු ආදේශ කරන එක වගේ දේවල් කරනවා. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලයේත් ප්‍රදර්ශනාත්මකව ඔය වගේ දේවල් කළා. ඊට සාපේක්ෂව, යහපාලන ආණ්ඩුව දේශීය ගොවියා නගා සිටුවීම වගේ ආදර්ශ පාඨ වල එල්ලිලා හිටියේ නැහැ. නමුත්, කියන දේවල් හෝ පෙන්වන දේවල් වලට වඩා වැදගත් ඇත්තටම සිදු වෙන්නේ කුමක්ද කියන එකයි. 

මේ ආණ්ඩුවේ පළමු මාස හත තුළ, පසුගිය වසරේ පළමු මාස හතට සාපේක්ෂව ආනයන වියදම් වල සැලකිය යුතු අඩු වීමක් පෙනෙන්න තිබෙනවා. එහෙත් එය එක පැත්තකින් කෝවිඩ් වසංගතයේ බලපෑම නිසාත්, අනෙක් පැත්තෙන් ආනයන පාලනය කිරීම නිසාත් ඇති වී තිබෙන තත්ත්වයක්. ප්‍රශ්නය මේ අඩුවීම තිරසාර එකක්ද කියන එකයි.

මේ විදිහට ආනයන පාලනය කරන්න සිදු වී තිබෙන්නේම ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ වැරැද්දක් නිසා. විදේශ විණිමය ප්‍රතිපත්තිය නිවැරදිනම් කෝවිඩ් අර්බුදය හමුවේ වුවත් ආනයන පාලනය කරන්න අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. මෙහි තිබෙන්නේ නැති ප්‍රශ්නයක් හදාගෙන ඒ ප්‍රශ්නයට විසඳුම් සෙවීමක්.

වසරේ පළමු මාස හත තුළ ආනයන වියදම් ඩොලර් මිලියන 2,344කින් පහළ ගොස් තිබෙනවා. අදාළ විස්තර පහත වගුවේ තිබෙනවා.

ඉහත වගුවේ පෙන්වා දී තිබෙන සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන පරිදි වැඩිපුරම පහළ ගොස් තිබෙන්නේ ඉන්ධන ආනයන වියදම්. එම අඩුවීම 37.7%ක්. ඉන්ධන ආනයන වියදම් අඩු වෙන්න ප්‍රධානම හේතුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස පහළ යාමයි. දෙවන හේතුව රටේ ඉන්ධන අවශ්‍යතාවය පහළ යාම. මේ දෙකටම හේතුව කෝවිඩ් වසංගතයයි. වසංගතය අවසන් වෙද්දී ඉන්ධන ආනයන වියදම් නැවත ඉහළ යාම වැළැක්විය හැකි දෙයක් නෙමෙයි.

ඉන්ධන වලට අමතරව ඉන්ධන නොවන අනෙකුත් අතරමැදි භාණ්ඩ ආනයනය 17.7%කිනුත්, ආයෝජන භාණ්ඩ ආනයනය 24.4%කිනුත් පහළ ගොස් තිබෙනවා. මේ අතරමැදි භාණ්ඩ යොදා ගැනෙන්නේ අපනයන වෙළඳපොළ හෝ දේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් නිමි භාණ්ඩ රට ඇතුළේ නිපදවීම සඳහායි. උදාහරණයක් විදිහට මේ අඩුවීමෙන් බාගයකටත් වඩා ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය අතරමැදි භාණ්ඩ. කෝවිඩ් හේතුවෙන් රටේ ආර්ථික කටයුතු සාමාන්‍ය මට්ටමින් සිදු නොවන පසුබිමක මේ අඩුව ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. එහෙත්, දිගින් දිගටම මේ අතරමැදි භාණ්ඩ ආනයනය නොකර ඉන්න පුළුවන්කමක් නැහැ. 

අතරමැදි භාණ්ඩ ආනයනය අඩු වීමේ ආර්ථික හානිය ක්ෂණික හා කෙටිකාලීන එකක්. ආයෝජන භාණ්ඩ ආනයනය අඩුවීමේ හානිය සාපේක්ෂව දිගුකාලීනයි. මේ ආණ්ඩුව විසින් යහපාලන ආණ්ඩුව කාලයේ පැවති අඩු ආර්ථික වර්ධන වේගය විවේචනය කරමින් සිටින එකෙන් පෙනෙන්නේ ඊට වඩා ඉහළ ආර්ථික වර්ධනයක් ඉලක්ක කරනවා කියන එකයි. එවැනි ආර්ථික වර්ධනයක් ලබා ගන්නනම් ගෙවුම් ශේෂ ප්‍රශ්න අමතක කර ආයෝජන භාණ්ඩ වැඩියෙන් ආනයන කරන්න වෙනවා. එහෙම නැත්නම් ආර්ථිකයේ විදේශ අංශය බේරා ගන්න මන්දගාමී ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කරන්න වෙනවා. රැවුලයි කැඳයි දෙකම බේරගන්න බැහැ. 

ආහාර හැර අනෙකුත් පාරිභෝගික භාණ්ඩ ආනයනයේත් 15.6%ක අඩු වීමක් තිබෙනවා. මේ අඩුවීමෙන් තුනෙන් දෙකක්ම වාහන ආනයන වියදම්. මෙයත් ආනයනය සීමා කිරීම් නිසා ඇති වී තිබෙන තාවකාලික කෘතීම තත්ත්වයක්. දිගුකාලීනව පවත්වාගන්න පුළුවන්කමක් නැහැ. සමස්තයක් වශයෙන් ගත්තහම ආයෝජන, අතරමැදි හා ආහාර නොවන පරිභෝජන භාණ්ඩ ආනයනය සඳහා යන වියදම් අඩු වීම රටේ ආර්ථිකයේ විදේශ අංශයේ ආකෘතිමය නිවැරදිවීමක් නෙමෙයි. කෝවිඩ් අවසන් වෙද්දී මේ සියලුම ආනයන වියදම් නැවත වේගයෙන් ඉහළ යන එක වලක්වන්න බැහැ.

වැදගත්ම වෙනස ආහාර ආනයන වියදම් වලයි. අනෙක් සියලුම අංශ වල ආනයන වියදම් අඩුවීමක් පෙනෙන්න තිබුණත් 2020 පළමු මාස 7 ඇතුළත ආහාර ආනයන වියදම් 14.8%කින් ඉහළ ගිහින්. පහුගිය කාලයේ දකින්න ලැබුණු ගෙවතු වගා රැළි ඇතුළු වගා සංග්‍රාම වල ප්‍රතිඵලය ඕකද? ආහාර ආනයන වියදම් වැඩි වීමෙන් 63%කටම හේතුව එළවළු ආනයන වියදම් වැඩි වීමයි. රටේ වට්ටක්කා විකුණගන්න බැරිව කුණු වෙද්දී එළවළු ආනයන වියදම් 38%කින් ඉහළ යනවානම් එතැන ලොකු අවුලක් පේන්නේ නැද්ද? මෙය විසඳුමක් නැති ප්‍රශ්නයක් නෙමෙයි. විසඳිය යුතු, විසඳිය හැකි ප්‍රශ්නයක්. ඕනෑනම් ප්‍රශ්නයේ මුල හොයාගෙන විසඳුම් නොදී එළවළු ආනයනය තහනම් කරලා ප්‍රශ්නය වණ කරන්නත් පුළුවන්.  

බොහෝ විට ප්‍රචාරය කෙරෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ජාතිකවාදී බවයි. එය එසේනම් රාජපක්ෂ ආණ්ඩු යටතේ ආනයන අඩු විය යුතුයි. දේශීය කෘෂිකර්මයට බර දමන බව පෙන්වන ආකාරයට සමස්ත ආනයන කෙසේ වුවත් ආහාර ආනයන වියදම් හෝ අඩු විය යුතුයි. පහළ වගුවේ තිබෙන්නේ යහපාලන ආණ්ඩු කාලය සමඟ සංසන්දනයක්. මේ සංසන්දනය කරන්නේ රාජපක්ෂ ආර්ථික ප්‍රතිපත්ති ජාතිකවාදී බවත්, යහපාලන ආර්ථික ප්‍රතිපත්ති එසේ නොවූ බවත් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න නිසා.


යහපාලන ආණ්ඩුව පැවති අවුරුදු හතර තුළ ලංකාවේ ආහාර ආනයන වියදම් 12.7%කින් අඩු වුනා. පසුගිය රාජපක්ෂ දශකයේදී වුණේ ආහාර ආනයන වියදම් 109.7%කින්, එනම් දෙගුණයකටත් වඩා වැඩියෙන් ඉහළ යාමයි. යහපාලන ආණ්ඩු කාලයේදී සමස්ත පරිභෝජන වියදම් වගේම සමස්ත ආනයන වියදම්ද ඉහළ ගියේ 2.7%කින් පමණයි. එහෙත්, රාජපක්ෂ දශකය තුළ සමස්ත පරිභෝජන වියදම් 137.4%කිනුත්, සමස්ත ආනයන වියදම් 142.7%කිනුත් ඉහළ ගියා. වඩා ජාතිකවාදී ඔය දෙකෙන් කොයි එකද?

මේ ආණ්ඩුව දේශීය කෘෂිකර්මය ගොඩ දාන්න කොයි තරම් මහන්සි වුනත්, මිනිස්සු කොයි තරම් වගා සංග්‍රාම කළත්, ආහාර ආනයන වියදම් තව තවත් ඉහළ යන එකෙන් පෙනෙන්නේ ඔය දේවල් වලින් පමණක් හදන්න බැරි මූලික වැරැද්දක් තිබෙනවා කියන එකයි. වැරැද්ද තිබෙන්නේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ. යහපාලන ආණ්ඩුව දේශීය ආර්ථිකයක් ගැන කතා නොකළත්, ඒ කාලයේ ආහාර ආනයන වියදම් විශාල ලෙස අඩු වුනේ, අවශ්‍ය පමණටම නොවුණත්, යම් තරමකින් විණිමය අනුපාතිකය අවප්‍රමාණය වෙන්න ඉඩ සැලසීම නිසයි.

ආනයන වියදම් අඩු කරන්න හා ජාතික ආර්ථිකය දිරිගන්වන්න අවශ්‍යනම් කළ යුතු හා පහසුවෙන් කළ හැකි එකම දෙය විණිමය අනුපාතිකය නිවැරදි කිරීමයි. එසේ නොකර ආනයන සීමා කරන්න යාමෙන් සිදු වනු ඇත්තේ එළවළු ඇතුළු ආහාර මිල ගණන් විශාල ලෙස ඉහළ යාම පමණයි. එසේ වීමෙන් පසුව හාල් කඩේට ජනාධිපති පැන්නා කියා වැඩේ ගොඩදාන්න පුළුවන් වෙන එකක් නැහැ.

Sunday, September 13, 2020

අපේ අලුත් ජීවිතය

බ්ලොග් එක පැත්තේ ආවේ සති දෙකකටත් පස්සේ. මම හිතන්නේ තිබෙන කාර්ය බහුල තත්ත්වය නොවැම්බර් මැද වන තුරු අවසන් වන එකක් නැහැ. ඒ නිසා, එතෙක් කල් බ්ලොග් එක පණ පිටින් තියා ගන්න ඉඳහිට මේ වගේ යමක් ලියනවා හැර වැඩි දෙයක් කරන්න ලැබෙන එකක් නැහැ. 

පසුගිය වසර පහක පමණ කාලය තුළ වසරකට ලියා තිබෙන සාමාන්‍ය ලිපි ප්‍රමාණය මේ වසරේ දැනටමත් ලියා අවසන් නිසා ඉතිරි මාස කිහිපයේ වැඩිපුර නොලිවුවා කියා අඩුවක් දැනෙන එකක් නැහැ. කියවන්න අවශ්‍ය අයට කියවන්න ලිපි විශාල ප්‍රමාණයක් බ්ලොග් එකේ තිබෙනවා වගේම තවමත් සැලකිය යුතු පිරිසක් දිනපතාම පරණ ලිපි කියවනවා.

සැප්තැම්බර් මාසය කාර්ය බහුල වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. පසුගිය සැප්තැම්බර් මාසයේදීත් මෙහි පළ කර තිබෙන්නේ ලිපි තුනක් පමණයි. පෞද්ගලිකව ගත්තහම සැප්තැම්බර් මාසය බොහෝ දේ සැලසුම් කර ගත යුතු අවුරුද්දක ආරම්භය වැනි කාලයක්. මේ අවුරුද්දේ සුවිශේෂී ස්වභාවය නිසා තවත් අමාරුයි.

මේ වෙද්දී ඇමරිකාවේ කෝවිඩ් "දෙවන රැල්ල" මන්දගාමී වෙමින් යන නමුත් තවමත් දවසකට රෝගීන් හතළිස් දහසක් පමණ අලුතෙන් හඳුනා ගැනෙනවා. මරණ දහසකට කිට්ටුව සිදු වෙනවා. මා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් පසුගිය මාර්තු මාසයේ සිට තවමත් ඉන්නේ නිවස ඇතුළේ. මෙය ස්වේච්ඡාවෙන් සිරගත වීමක්. අපේ රැකියා වල ස්වභාවය නිසා අපට මේ අවස්ථාව හිමි වී තිබෙනවා.

පසුගිය මාසයේ ග්‍රීෂ්ම නිවාඩුවෙන් පසුව නැවතත් පාසැල් වාරය ආරම්භ වුනා. පාසැල් වල වගේම සරසවි වලත් බොහෝ විට සිදු වන්නේ තමන්ගේ රුචිකත්වය පරිදි පන්ති කාමරයට පැමිණ හෝ ගෙදර සිට ඉගෙන ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීමයි. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ සිසුන් 22,000ක් වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ගේ තේරීම් අනුව සිසුන් 7,000ක් මෙම පාසැල් වාරය අවසන් වන තුරු නිවෙස් වල සිට අධ්‍යයන කටයුතු කරන්නට කැමැත්ත පළ කර තිබෙනවා.

ඉතිරි සිසුන් 15,000 පන්ති කාමරයේ සිට ඉගෙන ගන්නවාට ඔවුන්ගේ දෙමවුපියන් කැමතියි. දරුවන් ගෙවල් වල තබා ගැනීම නිසා ඇති වන අමතර ප්‍රශ්නත් මෙයට හේතුවක්. අප නිවසේ සිට රැකියාව කරන නිසා දරුවන්ද නිවසේ සිටීම අපට ප්‍රශ්නයක් නොවූවත්, රැකියා සඳහා නිවෙසින් බැහැර යා යුතු දෙමවුපියන්ට එය ප්‍රශ්නයක්. තමන්ගේ දරුවන්ගේ අධ්‍යයන කටයුතු නිසි සේ සිදුවන බවට වග බලා ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඒ වගේම, කොහොමටත් ගෙදරින් එළියට යන නිසා දරුවන් බැහැර ගියා කියා ඔවුන්ගේ අවදානම අමුතුවෙන් වැඩි වෙන්න දෙයකුත් නැහැ. 

පාසැල් සිසුන්ගේ (දෙමවුපියන්ගේ) වගේම සරසවි සිසුන්ගේ රුචිකත්වයන් දෙස බැලූ විට පැහැදිලිව පෙනෙන එක් දෙයක් වන්නේ පළමු පරම්පරාවේ සංක්‍රමණික පවුල් වල, විශේෂයෙන්ම ආසියානු සම්භවයක් ඇති පවුල් වල, ජනප්‍රිය තේරීම නිවසේ සිට අධ්‍යාපනය ලැබීම බවයි. මෙයට හේතු ගණනාවක් තිබෙනවා. 

පළමු පරම්පරාවේ සංක්‍රමණික පවුලකට ඇමරිකාව ඇතුළේ ඥාති සම්බන්ධතා ජාලයක් නැහැ. එසේ තිබියදී, පවුලේ අයෙකුට කෝවිඩ් ආසාදනය වී ඉතිරි අයටද බෝ වුනොත් බලන්න කෙනෙක් නැති කමින් අසරණ වෙනවා. ඥාති සම්බන්ධතා ජාලයක් තිබෙන කෙනෙකුට මේ වගේ අවස්ථාවක උදවු ලබා ගත හැකි සුරක්ෂිතතා දැලක් තිබෙනවා. ඒ නිසා, සංක්‍රමණිකයන්ට බය වෙන්න හේතු වැඩියි. 

ඉන්දියාව, චීනය වැනි ආසියානු රට වලින් ඇමරිකාවට සංක්‍රමණය වී සිටින බොහෝ දෙනෙක් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත ඇමරිකාවට සංක්‍රමණය වී සිටින වෘත්තීය රැකියා කරන අයයි. ඒ අයට බොහෝ විට නිවසේ සිට තමන්ගේ රැකියාව කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ නිසා, දරුවන්ද නිවසේ තබා ගැනීමට තිබෙන නැඹුරුව වැඩියි.

අනෙක් අතට මෙවැනි සංක්‍රමණික පවුල් වල දෙමවුපියන් බොහෝ විට ඉලක්ක කරන්නේ තමන්ගේ දරුවන්ටත් උසස් අධ්‍යාපනයක් ලබා දී හොඳ රැකියාවක් ලබා ගැනීමේ ඉඩකඩ වැඩි කරන්නයි. ඒ වගේම ඇමරිකාවේ ඉපදුනු සංක්‍රමණික පවුල් වල දරුවන් අතර පවා ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් උරුම වූ විභාග ඉලක්ක කළ අධ්‍යාපනය කෙරෙහි යම් නැඹුරුවක් තිබෙනවා. ඉලක්කය විභාගය හෝ ලකුණු වූ විට ඉගෙන ගන්නේ කොහොමද කියන එක එතරම් වැදගත් නැහැ.

හැම විටම නොවූවත්, පරම්පරා ගණනක් ඇමරිකාවේ ජීවත් වන සුදු හෝ කළු ඇමරිකානු පවුල් වල සිසුන්ගේ හා ඔවුන්ගේ දෙමවුපියන්ගේ ඉලක්කය අධ්‍යාපනය මිස විභාග හෝ ලකුණුම නෙමෙයි. ඔවුන් බලාපොරොත්තු වන අධ්‍යාපනය පූර්ණ එකක් වන්නේ සිසුන්ට පංති කාමරය තුළ අනෙක් සිසුන් සමඟ ගැටෙන්නට අවස්ථාව ලැබේනම් පමණයි. 

ඇමරිකාව හැම තැනම තත්ත්වය මා දන්නේ නැතත්, අපේ ප්‍රදේශයේ පාසැල් හා සරසවි විවෘත කර තිබෙන්නේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමිනුයි. සිසුන් හැම විටම මුහුණු ආවරණ නිසි පරිදි පැළඳ සිටිය යුතු අතර අඩි හයක පරතරය පවත්වා ගත යුතුයි. මේ කොන්දේසි යටතේ පන්ති කාමරයක ඉඩ තිබෙන්නේ සීමිත සිසුන් පිරිසකට පමණයි. ඒ නිසා, පාසැල් යාමට කැමති සිසුන් සියලු දෙනාටම ඒ අවස්ථාව ලබා දීමේ හැකියාවක් නැහැ.

අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පංති කාමරයේ සිට ඉගෙන ගැනීමට කැමති සිසුන්ට සතියේ දින පහෙන් දෙකක් එසේ පාසැල් යාමට අවස්ථාව ලැබෙනවා. ඉතිරි දින වල නිවසේ සිට ඉගැන්වීම් කටයුතු වලට සම්බන්ධ විය යුතුයි. වාසගමේ මුල් අකුරු අනුව ගෙදර සිටින දවස් හා පාසැල් යන දවස් තීරණය වෙනවා. 

ගෙදර හතර දෙනෙක් තැන් තැන් වලට වී සාමාන්‍යයෙන් නිවසෙන් පිටත පන්ති කාමරයක හෝ රැකියා ස්ථානයක කරන කටයුතු කිරීමත් පහසු වැඩක් නෙමෙයි. සමහර වෙලාවට එක ගාලගෝට්ටියක්! සංගීතය, සරඹ වගේ විෂයයනුත් තියෙනවනේ!!

(Image: https://www.reddit.com/r/funny/comments/fxgm1p/my_roommates_zoom_meeting_attire/)

Thursday, August 27, 2020

වරක් හැදුනත් ගැලවුමක් නැද්ද?


කෝවිඩ්-19 වරක් ආසාදනය වූ අයට නැවතත් එම වෛරසය ආසාදනය වී ඇති බවට වූ වාර්තා වරින් වර පළ වුණත් මේ වාර්තාවන්හි විශ්වාසනීයත්වය පිළිබඳව ප්‍රශ්න තිබුණා. රෝගය සුව වීමෙන් පසුවත් වෛරසයේ ශේෂ වූ කොටස් (හෝ අදාළ ක්‍රියාවලිය තුළ හැදෙන ද්‍රව්‍ය) කාලයක් සිරුරේ රැඳී තිබෙන නිසා මෙසේ දෙවන වරට ආසාදනය වී ඇති සේ හඳුනා ගැනෙන්නේ සැබෑවටම දෙවන වරට සිදු වූ ආසාදනයක් නොවීමට ලොකු ඉඩක් තිබීම ඊට හේතුවයි. 

කෝවිඩ්-19 වරක් ආසාදනය වූ අයෙකුට නැවතත් එම වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට හොංකොං සරසවියේ පර්යේෂක කණ්ඩායමක් විසින් පළමු වරට තහවුරු කර තිබෙනවා. දෙවන වරට වෛරසය ආසාදනය වී තිබෙන්නේ පළමු වරට ආසාදනය වී දින 142කට පසුවයි. 

මෙසේ දෙවන වරටද වෛරසය ආසාදනය වී තිබෙන්නේ අවුරුදු 33ක හොංකොං වැසියෙකුටයි. ඔහු පළමු ආසාදනය සිදු වන විට මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිටි අයෙක්. පළමු වරට ඔහුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන්නේ පසුගිය මාර්තු 23 වනදා. මාර්තු 26 වනදා ඔහු රෝහල්ගත වී තිබෙන අතර පරීක්ෂණ දෙකකින්ම කෝවිඩ්-19 සුව වී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුව අප්‍රේල් 14 වනදා ඔහු රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මේ පුද්ගලයාට දෙවන වරටද කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව හඳුනා ගැනෙන්නේ අගෝස්තු 15 වනදා හොංකොං ගුවන් තොටුපොළේදීයි. ඒ ස්පාඤ්ඤ සංචාරයකින් පසුව එක්සත් රාජධානිය හරහා නැවත සියරට පැමිණෙන අවස්ථාවේදී. මේ අනුව, ඔහුව රෝහල් ගත කර ඇතත් පළමු වර මෙන් ඔහුට කැස්ස, උණ, හිසරදය හා උගුර ආසාදනය ආදී රෝග ලක්ෂණ පහළ වී නැහැ. 

දෙවන ආසාදනය පළමු ආසාදනයට සම්බන්ධ නැති අලුත් ආසාදනයක් බව තහවුරු කර ගැනීම පහසු වී තිබෙන්නේ ඔහු දෙවන වර ආසාදනයට ගොදුරු වී තිබෙන්නේ විදේශ සංචාරයක යෙදෙද්දී වීම නිසයි. ජෙනෝම විශ්ලේෂණය මගින් තහවුරු කරගෙන තිබෙන පරිදි, දෙවන ආසාදනයට හේතු වී තිබෙන වෛරසය ස්පාඤ්ඤයේ පැතිරෙන, හොංකොංහි මුලින් පැතිරුණු වෛරස ප්‍රභේදයෙන් වෙනස් එකක්.

ඉහත පර්යේෂණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බෙල්ජියම හා නෙදර්ලන්තය වැනි වෙනත් රට වලින්ද මෙවැනි දෙවන ආසාදනයන් පිළිබඳව තොරතුරු හෙළිදරවු වෙමින් පවතිනවා.

මේ වන විට ලොව පුරා හඳුනාගෙන තිබෙන කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය මිලියන 24කට වඩා වැඩියි. ඒ අනුව, එක පැත්තකින් බැලූ විට මෙසේ දෙවන වරට ආසාදනය වූ පුද්ගලයින් කිහිප දෙනෙකු හමු වී ඇතත් එය ඉතා දුලබ සිදු වීමක්. එමෙන්ම, මෙසේ දෙවන වරට ආසාදනය වූ පුද්ගලයින් විසින් මුල් වර මෙන් රෝග ලක්ෂණ පෙන්වා නොතිබීමද සැනසිල්ලට කරුණක්. ඩෙංගු වැනි ඇතැම් රෝග දෙවන වරට ආසාදනය වූ විට තත්ත්වය පළමු ආසාදනයට සාපේක්ෂව වඩා දරුණු වන නමුත් මෙහිදී පෙනෙන්නට තිබෙන්නේ එහි අනෙක් පැත්තයි.

අනෙක් පැත්තෙන් බැලූ විට, ගුවන් තොටුපොළ හරහා හොංකොං වෙත පැමිණෙන පුද්ගලයින් පරීක්ෂාවට ලක් නොකරන්නට මේ පුද්ගලයාව ආසාදිතයෙකු සේ හඳුනා ගැනෙන්නේ නැහැ. එමෙන්ම, පළමු වර මෙන් කිසිදු රෝග ලක්ෂණයක් පහළව නොතිබූ නිසාත්, වරක් ආසාදනය වී සුව වී සිටි නිසාත් අඩු වශයෙන් ඔහු හෝ තමන් ආසාදිතයෙකු බව සැක කරන්නේ නැහැ. එසේ වුවත් ඔහු රෝග වාහකයෙක්. ගුවන් තොටුපොළේදී පරීක්ෂා කර හඳුනා නොගැනෙන්නට එවැන්නෙකු විසින් තවත් බොහෝ පිරිසකට රෝගය බෝ කළ හැකිව තිබුණා.  

Sunday, August 23, 2020

දොළොස්වෙනි මරණය

කිහිප දෙනෙක්ම ප්‍රතිචාර ලෙස විවිධ ප්‍රශ්න අසා තිබෙනවා. ඇතැම් අය ප්‍රශ්න අසා විද්‍යුත් ලිපි එවා තිබෙනවා. ඊට අමතරවත් කතා කළානම් හොඳ මාතෘකා ගණනාවක් තිබෙනවා. නමුත්, මේ දවස් වල බ්ලොග් එක වෙනුවෙන් වැය කිරීම සඳහා කාලයක් හොයා ගන්නම බැරි තරම්. විවේකයක් ලැබෙන විට මේ දේවල් ගැන අපි කතා කරමු.

ලංකාවේ දොළොස්වන කෝවිඩ් මරණය වාර්තා වී තිබෙනවා. ඇය පිළිකා රෝගියෙකුව සිට ඇති බවද වාර්තා වෙනවා. මේ ආකාරයෙන් වෙනත් රෝග වලින් පීඩා විඳිමින් සිටින අයෙකු කෝවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය පසුව එම මරණය ඇත්තටම කෝවිඩ් මරණයක්ද කියන එක කතාබහට ලක් වෙනවා.

මෙය සරල ප්‍රශ්නයක් නෙමෙයි. හේතු ගණනාවක සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය නිසා ඇති වන සංසිද්ධියක් තනි හේතුවකට ඌණනය කරන්න ගියාම ඇති වන සංකල්පීය ප්‍රශ්නයක්. මිනිහෙක් මැරුණේ ඇයි කියන එකට හැම වෙලාවකම නිශ්චිත තනි හේතුවක් දෙන්න පුලුවන්ද? බීමතින් රිය පදවා සිදුවන අනතුරකින් කෙනෙක් මිය ගියාම එය රිය අනතුරක් නිසා සිදු වූ මරණයක්ද නැත්නම් මත්පැන් නිසා සිදු වූ මරණයක්ද? එය මත්පැන් නිසා සිදු වූ මරණයක් කියා කිව හැකිනම්, එම අනතුරෙන්ම මිය ගිය මත්පැන් පානය නොකරන අයෙකුගේ මරණයට හේතුව කුමක්ද?

කිසියම් සංසිද්ධිකයට හේතුකාරක වූ තනි කරුණක් ගැන විද්‍යාත්මක පදනමකින් කතා කරද්දී බොහෝ විට එය කරන්නේ කවර හෝ ප්‍රතිපරිසිද්ධික තත්ත්වයකට සාපේක්ෂවයි. උදාහරණයක් ලෙස කෝවිඩ් ආසාදනය වීමෙන් පසුව මිය ගිය පිළිකා රෝගියෙකු කෝවිඩ් ආසාදනය නොවූවද අදාළ කාලය තුළ පිළිකා රෝගයෙන් මිය යා හැකිව තිබුණේනම් එය කෝවිඩ් හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස හඳුන්වනවාට වඩා පිළිකා මරණයක් සේ හැඳින්වීම නිවැරදියි. ඒ වගේම, පිළිකාව නොතිබුණත් කෝවිඩ් නිසා මිය යා හැකිව තිබුණේනම් එය කෝවිඩ් මරණයක් කියා කියන්න පුළුවන්.

මේ වගේ සංකල්පීය රාමුවක් යොදා ගත්තත් ප්‍රශ්නය එයින්ම විසඳෙන්නේ නැහැ. පිළිකා රෝගියෙකු කෝවිඩ් ආසාදනය වී සිටි තත්ත්වය යටතේ මිය ගිය බව අපට නිරීක්ෂණය කළ හැකි වුවත්, කෝවිඩ් ආසාදනය වී නොසිටි තත්ත්වයක් යටතේ ඇය මිය යා හැකිව තිබුණාද නැත්නම් තව දුරටත් ජීවත්ව සිටිය හැකිව තිබුණාද යන්න අපට නිශ්චිතව දැන ගත හැකි ක්‍රමයක් නැහැ. එය ප්‍රායෝගික ප්‍රශ්නයක් නෙමෙයි. සංකල්පීය ලෙසම කළ නොහැකි දෙයක්.

මේ ආකාරයෙන්ම කෝවිඩ් ආසාදනය වී සිටි පිළිකා රෝගියෙකු පිළිකාවක් වැළඳී නොසිටි තත්ත්වයක් යටතේ මිය යා හැකිව තිබුණාද නැත්නම් තව දුරටත් ජීවත්ව සිටිය හැකිව තිබුණාද යන්නත් අපට නිශ්චිතව දැන ගත හැකි ක්‍රමයක් නැහැ. මෙවැනි ප්‍රතිපරිසිද්ධික තත්ත්වයන් පිළිබඳව සරල උපකල්පන කිරීම නිවැරදි නැහැ. ප්‍රතිපරිසිද්ධික තත්ත්වයන් පිළිබඳව නිගමන වලට පැමිණිය යුත්තේ පිළිගත හැකි ආකෘතිමය හා විශ්ලේෂණ රාමුවක් තුළ පමණයි. එසේ කළ පමණින්ද එවැන්නක් සර්ව සම්පූර්ණ වන්නේ නැහැ.

කිසිසේත්ම කළ හැකි නොවූවත් යම් ආකාරයකින් ඉහත කී ප්‍රතිපරිසිද්ධික තත්ත්වයන් දෙක අපට නිරීක්ෂණය කිරීමට හැකි වුනා කියා අපි හිතමු. එවිට අප දකින්නේ මෙවැනි දෙයක් වෙන්න පුළුවන්.

- කෝවිඩ් ආසාදනය වුවත් පිළිකා රෝගියෙකු නොවූවානම් ඇය මිය යන්නේ නැහැ.

- පිළිකා රෝගියෙකු වුවත් කෝවිඩ් ආසාදනය නොවූවානම් ඇය මිය යන්නේ නැහැ.

දැන් අප‍ට මේ ප්‍රතිපරිසිද්ධික තත්ත්වයන් නිරීක්ෂණය කිරීමෙන් පසුවත් මරණයට තනි හේතුවක් හොයා ගන්න බැහැ. මරණය සිදු වී තිබෙන්නේ පිළිකාවේ හා කෝවිඩ් ආසාදනයේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ලෙසයි. සැබෑ ලෝකයේ මරණයක් කියා කියන්නේ මෙවැනි සාධක විශාල ප්‍රමාණයක සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක්. ඒ නිසා, කිසියම් මරණයකට හේතුව කියා කියන්නේ අවසාන වශයෙන් ජීවත් වන අයගේ එකඟතාවයක් හෝ සම්මතයක් පමණයි. එවැනි එකඟතා රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට වගේම, කාලයෙන් කාලයටත් වෙනස් වෙන්න පුළුවන්.

කෝවිඩ් ආසාදනය වූ අයෙකු මිය ගිය විට එය බොහෝ විට වාර්තා කෙරෙන්නේ කෝවිඩ් හේතුවෙන් සිදු වූ මරණයක් ලෙසයි. ඇතැම් අවස්ථා වලදී මෙවැනි වර්ග කිරීම් ප්‍රශ්න කිරීමට ලක් වෙනවා. මේ මරණ සියල්ල කෝවිඩ් මරණ නොවන බව කෙනෙකුට තර්ක කළ හැකියි. හැබැයි ඒ වගේම මෙහි අනෙක් පැත්තක්ද තිබෙනවා. කෝවිඩ් වසංගතයේ අතුරු පලයක් ලෙස කෝවිඩ් ආසාදනය නොවී වෙනත් හේතුවකින් මියයන අයගේ මරණ උදාහරණයි. රෝහල් පහසුකම් කෝවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කිරීම නිසා අවශ්‍ය ප්‍රතිකාර නොලැබීමෙන් සිදු වන කෝවිඩ් ආසාදිතයින් නොවන අයගේ මරණ වල සිට රට වසා දැමීම නිසා රැකියාව අහිමි වී සිය දිවි නසා ගන්නා අයෙකුගේ මරණයක් දක්වා විවිධ කාණ්ඩ වල මරණ මේ ගොඩට දමන්න පුළුවන්.

කෝවිඩ් හේතුවෙන් ඉහළ ගිය මරණ ප්‍රමාණය ඇස්තමේන්තු කළ හැකි එක් ආකාරයක් වන්නේ පසුගිය කාලයේ කිසියම් රටක සිදු වූ මරණ ප්‍රමාණය වෙනත් "සාමාන්‍ය" වසරක සිදුවන මරණ ප්‍රමාණය සමඟ සංසන්දනය කිරීමයි. ලංකාව වැනි කෝවිඩ් විශාල ලෙස ව්‍යාප්ත නොවූ රටක් හා අදාළව මෙවැනි ඇස්තමේන්තුවක් නිවැරදිව කළ නොහැකි වුවත්, ඇමරිකාව වැනි රටක් හා අදාළව ඇස්තමේන්තු වරද අවම මට්ටමක තබා ගනිමින් එවැනි ගණනය කිරීමක් කළ හැකියි.

යේල් සරසවියේ ඩැනියෙල් වේන්බර්ගර් ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් 2020 මාර්තු 1 සිට මැයි අවසානය දක්වා වූ තෙමසක කාලය සඳහා එවැනි ඇස්තමේන්තුවක් කර තිබෙනවා. ඔවුන් පෙන්වා දී ඇති පරිදි එම කාලය තුළ ඇමරිකාවේ සිදුව ඇති මරණ ප්‍රමාණය වෙනත් වසරක එම කාලය තුළ ඇමරිකාවේ සිදුවන මරණ ප්‍රමාණයට වඩා 122,000 කින් වැඩියි. එහෙත්, එම කාලය තුළ වාර්තා වී තිබෙන කෝවිඩ් මරණ ප්‍රමාණය 95,235ක් පමණයි. ඒ අනුව, ඇමරිකාවේ සැබෑ කෝවිඩ් මරණ ප්‍රමාණය වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා 28%කින් වැඩිද?

මේ වන විට ඇමරිකාවේ කෝවිඩ් මරණ ප්‍රමාණය 180,182ක්. ඇමරිකාව වගේම ලෝකයේ වෙනත් බොහෝ රටවල් හා අදාළව බැලුවත් තවමත් කෝවිඩ් ව්‍යාප්තිය පාලනය වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. කෝවිඩ් සමඟ ගණුදෙනු කිරීමට සමාජය පුරුදු වීමකුයි සිදු වී තිබෙන්නේ.

Tuesday, August 18, 2020

කළුවරේ ජරමරේ...

නලින් ද සිල්වාගේ කාලය ලිපිය අද පටන් අරගෙන තිබුණේ මේ විදිහටයි. 

"ඊයේ ලිපිය වෙනදා තරම් පිරිසක් කියවා නැහැ. එහි මාතෘකාව බොහෝ දෙනාට එතරම් ආකර්ෂණීය වී නැහැ. මා හිතුවාට එහි සාහිත්‍ය රසයක් නොතිබෙන්න ඇති. ඔවුන් හරිනි වැදගත් නැහැ කියලත් හිතන්න ඇති."

මේ පාඨයෙන් ව්‍යංගයෙන් අදහස් වෙන්නේ තමන්ගේ ලිපිය වෙනදා තරම් පිරිසක් කියෙවුවානම් නලින් ද සිල්වා සතුටු වන බවයි. නලින් ද සිල්වා වැනි අයෙක් වගේම මා වැනි වෙනත් කෙනෙක් යමක් ලියා පොදු අවකාශයක පළ කරන්නේ කිසියම් පිරිසක් එය කියවනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්. එය අවිඥානික බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්.

මේ වගේ බලාපොරොත්තුවක් ඇති වන්නේ අහඹු පසුබිමක නෙමෙයි. බොහෝ විට මෙවැනි අපේක්ෂාවක පදනම වන්නේ වෙනත් "සාමාන්‍ය දිනක" ලිපිය කියවන පිරිසයි. එය එක්තරා ආකාරයක ඇබ්බැහියක්. 

අද මා මේ ලිපිය මේ ආකාරයෙන්ම ලිවීම වගේම ලිපියේ මාතෘකාවද අහම්බයක්. ඒ අහම්බයට එක් හේතුවක් වුනේ නලින් ද සිල්වාගේ ලිපියේ ඉහත කොටසයි. එහෙත්, එය පමණක්ම නොවෙයි. තවත් අහම්බයන් ගණනාවකම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය මේ ලිපිය මේ ආකාරයෙන් ලොවට බිහිවීමට හේතුවක්. ඒ අතරින් වඩාත්ම බලපෑමක් කළ අහම්බය ඊයේ ලංකාව පුරා විදුලිය ඇණ හිටීමයි. ඔය වගේ හදිසි විදුලිය බිඳ වැටීමක් නිසා අහම්බයන් ගණනාවක් ලොවට බිහි වෙන්න පුළුවන්. 

මේ අර්ථයෙන් ගත් විට අද මා පළ කරන මේ ලිපිය අහම්බයක්ම නෙමෙයි. එය මේ ආකාරයෙන් බිහිවීම සඳහා හේතු වූ නිශ්චිත සාධක ගණනාවක් තිබෙනවා. 

ගැඹුරෙන් හිතා බැලුවොත් අද ලිපියේ තේමාව හා කරුණු තෝරා ගැනීම සඳහා හේතු වූ නිශ්චිත සාධක මොනවාද කියා ලැයිස්තුගත කරන්න පුළුවන්. බැලූ බැල්මටම පෙනෙන පරිදි ඒවා අහඹු සිද්ධි. එහෙත්, ඒ එක් එක් සිද්ධිය ගත්තත් ඒවා ඒ විදිහට සිදු වීමට හේතු වූ වෙනත් සිද්ධි හොයාගෙන ලැයිස්තුගත කරන්න පුළුවන් වෙයි.

මේ අර්ථයෙන් ගත්තහම අප මේ ලෝකයට උපදින්නේත් අහම්බෙන් නෙමෙයි. මැරෙන්නෙත් අහම්බෙන් නෙමෙයි. මේ දේවල් සිදු වෙන්න ලෝකය යම් ආකාරයකට සකස් වී තිබිය යුතුයි. අහඹු ලෙස පෙනෙන දේ සිදු වන්නේ අහඹු පසුබිමක නෙමෙයි. සිදු වීමටකට එය සිදුවන පසුබිම බලපානවා. 

මේ ලිපිය කියවන පාඨකයින් ගණන අහඹු ගණනක් විය හැකි වුවත් ඒ අහඹු ගණන සාමාන්‍යයෙන් මේ බ්ලොග් එක කියවන සාමාන්‍ය පාඨකයින් ප්‍රමාණය මත තීරණය වන්නක්. අනෙක් අතට මෙවැනි පසුබිම් සකස් වන්නේ හුදෙකලා සිදුවීම් වලින් ස්වායත්තව නෙමෙයි. අද මා ලියන මේ ලිපියේ තිබෙන කරුණු අනුව මේ ලිපිය කියවන පාඨකයින් ප්‍රමාණය වගේම මේ බ්ලොග් එක කියවන සාමාන්‍ය පාඨකයින් ප්‍රමාණයද තීරණය වෙනවා.

නලින් ද සිල්වා ලිපි ලියා පළ කරන්නේ ඔහුගේ සතුට වෙනුවෙන් වුවත් එම ලිපි කියවන අය එසේ කරන්නේ ලිපි කියවීමෙන් ඔවුන් සතුටු වන නිසයි. ඒ නිසා, වැඩි දෙනෙක් තමන්ගේ ලිපි කියවීම තුළින් සතුටක් ලබන්නනම් පාඨකයින් සතුටු කිරීම ගැනත් නලින් ද සිල්වාට හිතන්න වෙනවා. හිතාමතා කරන දෙයක් නොවිය හැකි වුවත්, නලින් ද සිල්වා විසින් අවිඥානිකව හෝ මෙය කරනවා. තමන්ගේ පාඨකයින් වෙනදා තරම් සතුටු නොවුනේ ඇයි කියන එක විශ්ලේෂණය කරන්න ඔහු පෙළැඹී තිබෙන්නේ ඒ නිසයි. 

අපට අපේ එදිනෙදා ජීවිතය ඇතුළේ වැඩියෙන් සතුටු වෙන්න අවශ්‍යනම්, අසතුටෙන් දුරු වෙන්න අවශ්‍යනම් නිරන්තරයෙන්ම මෙවැනි විශ්ලේෂණ කරන්න වෙනවා. ඒ සඳහා, ආර්ථික විද්‍යාව හෝ වෙනත් විද්‍යාවක් හදාරා තිබීම අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි. අප එදිනෙදා කරන කියන දේවල් ඇතුළේ කොහොමටත් මේ වගේ විශ්ලේෂණය කිරීම් තිබෙනවා. බොහෝ විට ඒ බව අපිවත් දන්නේ නැහැ. ආර්ථික විද්‍යාවෙන් කරන්නේ මිනිසුන්ගේ බාහිර හැසිරීම් අනුසාරයෙන් ඒ හැසිරීම් වලට පාදක වන ක්‍රියාවලිය ආකෘතිගත කිරීමයි. 

ඊයේ නලින් ද සිල්වාගේ ලිපිය කියවූ පිරිස අඩු වීමට ඔහු විසින් හඳුනාගෙන තිබෙන සාධක හේතු වූවා වෙන්න පුළුවන්. නමුත්, බොහෝ විට කියවූ පිරිස අඩු වෙන්න ප්‍රධාන හේතුව වෙන්න ඇත්තේ ඊයේ ලංකාව පුරා සිදු වූ විදුලිය බිඳ වැටීමයි. එය අහම්බයක්. එහෙත් මෙවැනි අහම්බයන් සිදුවන පසුබිම අහම්බයක් නෙමෙයි. 

වසර කිහිපයකට කලින් මේ ආකාරයේ විදුලි බල පද්ධති බිඳවැටීමක් සිදු වූ අවස්ථාවක ලියූ ලිපියක් පහත තිබෙනවා.


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...