වෙබ් ලිපිනය:

Saturday, August 12, 2017

රෙදි හොරකමෙන් පසු...


පෙර ලිපියේ ලියූ පරිදි, ඉකොනොමැට්ටා පේරාදෙණියේ සිටි කාලයේදී ශිෂ්‍ය නේවාසිකාගාරයකට පැමිණි රෙදි හොරෙකුට ස්තුතිවන්ත වන්නට, එම සිදුවීමෙන් ටික කාලයක් යන තුරු ඉකොනොමැට්ටාට හෝදන්නට තිබුණු රෙදි ප්‍රමාණය විශාල ලෙස අඩු විය. කාලය ඉතිරි විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ තවත් ධනාත්මක දෙයක් වූයේ ඉකොනොමැට්ටාගේ සම්පත් උපයෝගීතාවය විශාල ලෙස ඉහළ යාමයි. රවී නිතරම කියන "පොසිටිව් තින්කින්" හෙවත් ශුභවාදී දැක්ම ගැන ඒ දවස්වලත් ඉකොනොමැට්ටා දැන සිටියේ ඩේල් කානගීගේ පොත් කියවා තිබුණු නිසා වන්නට ඇත. රවී කිවුවේ තවමත් මංගල සමඟ කටක රාශියේ සිටින රවී ගැන නොව නිදහස් සිතුවිලි රවී ගැනය.

ඩෙනිමක්, තවත් කලිසමක් හා ටී ෂර්ට් දෙක තුනක් එක දිගටම මාරුවෙන් මාරුවට අඳිමින් සිටි ඉකොනොමැට්ටාගේ සම්පත් උපයෝගීතාවය ඉහළ යවන්නට කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් මේ ඇඳුම් අතුරුදහන් කළාදැයි සිතෙන්නේ පේරාදෙණියේ නේවාසිකාගාරයක් ඇතුළට රිංගා ඇඳුම් හොරකම් කිරීම දුවගේ යාලුවෙක් අරන් දෙන නිවසක කුලියට ඉන්නවාටත් වඩා අවදානම් කටයුත්තක් බැවිනි.

පසුදින උදේ එළියට යන්නට පෙර ඉකොනොමැට්ටාට චීස්ද කන්නේ නැත්නම් බටර්ද කන්නේ කියා සිතමින් සිටින මීයෙක්ට මෙන් විශාල තේරීමක් කරන්නට නොතිබුණු නිසා ඒ කාලයද ඉතිරි විය. වෙනදාටනම් ඩෙනිමද අඳින්නේ නැත්නම් කාකි කලිසමද අඳින්නේ කියා හිතමින් තවත් තත්පර ගණනක් හෝ නාස්ති කරන්නට සිදු වේ. 

මිනිස්සුන්ට තේරීම් නැති වූ විට ජීවිතය සරලය. එවැනි මිනිසුන් තමන්ට නැති තේරීම් ගැන වද නොවී තියෙන දෙයින් සතුටු වීම නරක නැතත්, අඩුම වශයෙන් වැඩි තේරීම් ඇති අනාගතයක් ගැන සිහින දැකීම තමන්ගේ තේරීමක් කර ගැනීමට බැරිකමක් නැත. හැබැයි සිහින දකිමින්ම නොසිට ඒ සිහින සැබෑ කර ගන්නට මහන්සි වෙන්නටද අවශ්‍යය. වැඩි තේරීම් ඇති ජීවිතයකින් මිදී සරල ජීවිතයකට පලායන මිනිසුන්ද සිටින නමුත් එය බොහෝ මිනිසුන් හැසිරෙන සාමාන්‍ය තත්ත්වය නොවේ.

රෙදි නැතිවීමෙන් පසු ඉකොනොමැට්ටාට අඳින්නට හාල්පොත වගේ ඉතිරි වී තිබුණේ එක් කලිසමකි. මේ කලිසම ඉකොනොමැට්ටා අඳින්නට එතරම් ප්‍රිය නොකළ තරමක් පරණ කලිසමකි. එහි බොත්තම් පියවිය හැකි වුනේද තරමක් අසීරුවෙනි. මෙය ඒ දවස්වල ඉකොනොමැට්ටා අඳින්නට ප්‍රිය කළ (තවමත් අඳින්නට කැමති) ඩෙනිම් හෝ කාකි කලිසමක් නොවීය. අසූව දශකයේ අග කාලයේ ආ හාරා රෙද්දෙන් මැසූ කලිසමකි.

ඒ වගේම, ඒ දවස් වල ඉකොනොමැට්ටා කමිස වලට වඩා ප්‍රිය කළේ ටී ෂර්ට් වලටය. පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ අලිඛිත ඩ්‍රෙස් කෝඩ් එක අනුව, කිසිවකු කොලරය නැති ටී ෂර්ට් ඇන්දේ නැති නිසා නිතර ඇන්දේ රෙදි හොරා විසින් රැගෙන ගොස් තිබුණු කොලරය සහිත ටී ෂර්ට් දෙක හෝ තුනයි. රෙදි ෆෙස්ටිවල් එකකින් පසුව ඇරඹෙන රෙදි චක්‍රයේ පළමු දින මේ ටී ෂර්ට් දෙක තුන අතරින් තේරීමක් තිබුණේය. ඒවා හෝදන ගොඩට එකතු වන විට තේරීම් අඩු විය.

රෙදි අතුරුදහන් වීමෙන් පසුව, ටී ෂර්ට් කිසිවක් ඉතිරිව නොතිබුණු අතර අඳින්නට සිදු වුණේ එතරම් ප්‍රිය නොකල අත් දිග කමිසයකි. හානිය ප්‍රතිපූරණය කර ගන්නා තෙක් මේස්, යට ඇඳුම් ආදිය දිනපතා සෝදන්නට සිදු විය. එක අතකින් බැලූ විට රෙදි හොරා විසින් ඉකොනොමැට්ටාට පිළිවෙලකට වැඩ කිරීම ගැන පාඩමක්ද කියා දී තිබුණේය.

රෙදි හොරකම සිදු නොවුනේනම් ඉහත කී ඇඳුම් පාවිච්චියට ගනු ලැබිය හැකිව තිබුණේ ඉතා කලාතුරකිනි. දැන්නම් මෙවැනි ඇඳුම් සෑහෙන තොගයක් එකතු වී තිබේ. ලංකාවේදී අප පුරුදු වන්නේ එදිනෙදා භාවිතයේදී අවශ්‍ය නොවන කුණු කන්දල් සියල්ල කොහේ හෝ ගොඩගසාගෙන සිටින්නටය. මෙය ඇතැම් විට ලංකාවට පොදු නැති මා සමීපව ඇසුරු කර ඇති අයගේ පුරුද්දක් විය හැකිය. 

මගේ පියාගේ එක් පුරුද්දක් වන්නේ පාරේ හෝ මිදුලේ වැටී ඇති ඇතැම් දේවල් අහුලාගෙන විත් ඒවා එකතු කිරීමයි. මෙසේ එකතු කරන දේ වලට උදාහරණයක් ලෙස ඉස්කුරුප්පු ඇණ හෝ යකඩ ඇණ සඳහන් කළ හැකිය. කොහේ හෝ බිම වැටී ඇති ඇණයක් ඇත්නම් ඔහු ඒවා කිසියම් භාජනයක ඇති ඔහුගේ ඇණ එකතුවට එක් කරයි. මේ අයුරින් "කුණු ගොඩවල් එකතු කිරීම" බොහෝ විට අපේ විවේචනයට ලක් විය. එවිට ඔහුගේ ප්‍රතිචාරය වන්නේ "හදිස්සියට උඹලටමයි ඕව ඕනැ වෙන්නේ!" යන්නයි. 

ඔහු කියූ කතාවනම් සම්පූර්ණ ඇත්තකි. ඔහු එකතු කළ මේ "කුණු ගොඩවල්" වල තිබුණු දේ කොයි වෙලාවක හෝ ඕනෑ වුනෙත් අපටමය.

ලංකාවේ ගෙවල් වල පරම්පරා ගණනක් තිස්සේ ගොඩගසා ගත් අනවශ්‍ය දේ තිබේ. මෙසේ එදිනෙදා වැඩ කටයුතු වලට අවශ්‍ය නොවන දේ ගොඩගසා ගෙන සිටීම ඇමරිකානුවන්ගේ පුරුද්දක් නොවේ. මෙවැනි දේ එකතු වන විට "ගරාජ් සේල්" දැමීම ඇමරිකානුවන්ගේ පුරුද්දකි. (වෙනත් බටහිර රටවලද මෙය මේ අයුරින්ම හෝ තරමක් වෙනස් අයුරකින් සිදු වනවා විය හැකිය.)

ලංකාවෙන් පැමිණි කාලයේදී මේ ගරාජ් සේල් ක්‍රමයේ මට තේරුම් ගන්නට අමාරු ගොඩක් දේවල් තිබුණේය. එහෙත්, ටික කලක් යද්දී, මට පැහැදිලි වූයේ මේ ගරාජ් සේල් යනු බිම් මට්ටමේදී ඇමරිකාවේ ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ හොඳම නිදර්ශනයක්  බවයි.

ගරාජ් සේල් වලදී කෙරෙන්නේ යමෙකුට අනවශ්‍ය බඩු ඉතා අඩු මිලකට විකිණීමයි. ඇතැම් විට මේ මිල ඇමරිකන් ඩොලරයකටත් අඩු ඉතා සුළු මුදලක් වන්නට පුළුවන. එහෙත්, කිසියම් භාණ්ඩයක් මුදල් නොගෙන නොමිලේ දෙන්නේ ඉතා කලාතුරකිනි. 

අප ඇමරිකාවට පැමිණි කාලයේ මෙවැනි ගරාජ් සේල් එකකින් ඉතා හොඳ තත්ත්වයේ, 9"ක පමණ කුඩා තිරයක් සහිත රූපවාහිණී යන්ත්‍රයක් ඩොලර් තුනකට මිල දී ගත්තෙමු. ඒ අපේ දරුවෙකු වෙනුවෙනි. මේ කුඩා රූපවාහිණී යන්ත්‍රයට ඔහු ඉතා කැමති වූ අතර නිවස මාරු කරද්දී අප මෙය දමා ආවේ ඔහුගේ දැඩි අකැමැත්ත මධ්‍යයේය. ඔහු වසර කිහිපයක්ම ඔහුගේ කාමරයේ සිට කාටුන් බැලුවේ මේ කුඩා රූපවාහිණී යන්ත්‍රයෙනි. ඒ නිසා, ඒ කාලයේදී ඔහු වෙනුවෙන් රූපවාහිනියේ නාලිකා මාරු කරන්නට අවශ්‍ය නොවීය.

ඩොලර් තුනක් කියන්නේ ඒ කාලයේ ලංකාවේ මුදලින් බැලුවත් රුපියල් දෙසිය පණහකට මඳක් වැඩි, තුන් සීයකට අඩු මිලකි. මෙය ඇමරිකාවේ හැටියට ඉතාම සුළු මුදලකි. ඒ දවස් වල ලංකාවේදී මා විසින් මෙවැනි රූපවාහිණී යන්ත්‍රයක් විකුණන්නට සිතන්නේ අඩු වශයෙන් රුපියල් දෙතුන් දාහකවත් අතට ලැබෙන්නේනම් පමණි. එවැන්නක් රුපියල් තුන්සීයකට වඩා වැඩි මිලකට විකිණිය නොහැකිනම් බොහෝ විට මා විසින් කරනු හැකිව තිබුණේ එය නොවිකුණා පැත්තක තබා ගැනීමයි. එසේ නැත්නම් කාට හෝ නොමිලේ දීමයි. 

ඇමරිකානුවන් සිතන්නේ ඒ ආකාරයට නොවේ. 

ඉහත කී රූපවාහිණී යන්ත්‍රය මිල දී ගැනීමට මා විසින් ඩොලර් තුනක මුදලක් වැය කළේ එහි වටිනාකම මට ඩොලර් තුනකට වඩා බොහෝ වැඩි වූ නිසාය. මට සාපේක්ෂව එහි වටිනාකම හා මා ගෙවූ මිල අතර වෙනස මගේ පාරිභෝගික අතිරික්තයයි. මගේ පාරිභෝගික අතිරික්තය මා ලබන වාසියක් නිසා රූපවාහිණී යන්ත්‍රය මිල දී ගන්නට ඩොලර් තුනක් ගෙවන්නට වීම ගැන මට කිසිදු කණගාටුවක් නැත. 

අනෙක් අතට මේ රූපවාහිණී යන්ත්‍රය විකිණූ තැනැත්තිය ඒ වන විට එය ප්‍රයෝජනයට නොගෙන පැත්තකට කර තිබුණු නිසා ඇයට එහි වටිනාකම ශුන්‍යයක් හෝ ඇතැම් විට සෘණ අගයක් විය හැකිය. ඒ නිසා, ඇය ලද ඩොලර් තුන ඇගේ ලාභයකි. ඇගේ ආදායම් මට්ටම අනුව මේ මුදල ඉතා සුළු මුදලක් විය හැකි වීම වෙනම කරුණකි. ගනුදෙනුවෙන් අප දෙදෙනාටම සිදු වුණේ වාසියකි.

මේ ගරාජ් සේල් එක බලන්නට එහි ගිය පළමු තැනැත්තා මා නොවේ. මට පෙර බොහෝ දෙනෙකු එහි ගොස් තිබුණත් කිසිවකු විසින් ඩොලර් තුනක් ගෙවා මේ රූපවාහිණී යන්ත්‍රය මිලදී ගෙන නොතිබුණේ ඒ කිසිවකුට එහි ඩොලර් තුනකවත් වටිනාකමක් නොතිබුණු බැවිනි. එහෙත්, එය නොමිලේ ගෙන යන්නට ඉඩ දී එහි තබා තිබුණේනම්, එය ඇත්තටම අවශ්‍ය නොවූවත් කවරෙකු විසින් හෝ එය රැගෙන යා හැකිව තිබුණේය. 

සත විසිපහක් හෝ ගෙවන්නට සිදු වූ විට ඕනෑම කෙනෙකු දෙවරක් සිතයි. ඩොලර් තුනක් ගෙවා ඉහත කී රූපවාහිණිය රැගෙන ගියේ එය ලබාගත හැකිව තිබුණු පුද්ගලයින් අතරින්, එය වැඩියෙන්ම අවශ්‍ය කළ පුද්ගලයාය. එය නොමිලේ ගෙන යන්නට ඉඩ හැර තිබුණේනම් මා යන තුරු එය එහි ඉතිරි වන්නේ නැත. මිල සාධකයට කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් එය වඩාත්ම අවශ්‍ය පුද්ගලයා අතට පත් කිරීමේ හැකියාව තිබේ. එය කිසිවකුගේ සැලසුමකින් තොරව ස්වභාවික ලෙසම සිදු වන්නකි.

ලංකාවේදී බොහෝ විට සිදුවන්නේ මෙවැනි අනවශ්‍ය භාණ්ඩ "කවද හරි ප්‍රයෝජනයක් වෙයිනේ!" කියා ගොඩගසාගෙන සිටීමයි. එසේ නැත්නම් කාට හෝ නිකම් දීමයි. නිකම් දෙන මෙවැනි දේ රැගෙන යන්නට අය සොයා ගැනීම අපහසු නැත. එහෙත් එසේ නිකම් ගෙන යන අය බොහෝ විට කරන්නේද එය "කවද හරි ප්‍රයෝජනයක් වෙයිනේ!" කියා ගොඩගසාගෙන සිටීමයි.

ඇතැම් විටෙක, මෙවැනි එක් අයෙකුගේ දෙයක් ගෙන යන අයෙකු එයින් ලොකු ප්‍රයෝජනයක් ගන්නා අවස්ථාද තිබේ. එවැන්නක් දකින බොහෝ විට එය නොමිලේ දුන් පුද්ගලයා එය ලබාගත් පුද්ගලයාට ඊර්ශ්‍යා කරන්නට පටන් ගනී. නොමිලේ එය දීම ගැන දුක් වන්නටද පටන් ගනී. "අන්න තමුසෙ කැඩුන කියල නිකං දන්දුන්න ටීවී එක අර මනුස්සය හදාගෙන. ඔය යස අගට රූප පේන්නේ!" වැනි දෙබස් ලංකාවේ ගෙවල් වලට නුහුරු ඒවා නොවේ.

සත විසිපහක් හෝ ලබාගත් විට තමන් සතුව පෙර පැවති භාණ්ඩයේ දේපොළ අයිතිවාසිකම් ගැන තිබුණු ආශාව අත හරින්නට පහසුය. එහෙත්, නිකම් දුන් විට හිතෙන්නේ තවමත් ඒ භාණ්ඩයට තමන්ටත් අයිතියක් තිබෙන බවයි. 

ඇමරිකාවේ ගරාජ් සේල් වල විකුණන දේවල් අතර පරණ ඇඳුම්ද සුලභය. ඇමරිකාව වැනි රටක මිනිසුන් අනුන් ඇඳපු ඇඳුම් අඳිනු දැකීම මුල් කාලයේ තරමක් අවුල් සහගත දෙයක් ලෙස පෙනුණත් මෙයද ඇමරිකානු ධනවාදයේ පැතිකඩකි.

ඇමරිකාවේ නිපදවෙන භාණ්ඩයක් කුණු බක්කියකට යන්නේ එය අතින් අත ගොස් විශාල පිරිසක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් අනතුරුවය. එසේ නැතුව සල්ලි තියෙන ඇමරිකානුවන් විසින් අවශ්‍ය සහ අනවශ්‍ය හැම කෙහෙම්මලම සල්ලි දී මිල දී ගෙන ගොඩ ගසාගෙන සිටීමක් හෝ ඒ නිසා සල්ලි නැති අයට ජීවත් වන්නට අවශ්‍ය මූලික දේවල්වත් නොලැබීමක් සිදු වන්නේ නැත. ඒ අර්ථයෙන් බැලූ විට ඇතැම් අය කියන "භාණ්ඩයක් හිමි කර ගැනීම සඳහා පමණක්ම එය මිල දී ගන්නා පරිභෝජනවාදීන්" ලංකාවේ තරම් ඇමරිකාවේ නැත. මොනවා හෝ නිකම් ලැබෙන නිසා එය ගොඩගසා ගෙන සිටීමද ඉහත අර්ථය අනුවනම් පරිභෝජනවාදයකි.

ඇමරිකාවේ මුදල් යහමින් ඇති අය අලුත් මාදිලියක මෝටර් රථයක් පැමිණි විට පරණ එක විකුණා අළුත් එකක් මිල දී ගනිති. පරණ කාර් එක තවත් කෙනෙක් අතට යයි. මෙය දිගින් දිගටම සිදු වේ. අන්තිමට මෝටර් රථයක මිල හිතන්නටත් බැරි තරමට පහළ වැටේ. ඒ නිසා ඉතාම අඩු ආදායමක් ලබන අයෙකුට වුවත් මෝටර් රථයක හිමිකරුවෙකු වන්නට පුළුවන. 

දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ඇති ආයතනයක සේවය කරන මගේ තජිකිස්ථාන මිතුරෙක් ඔහුගේ ශිෂ්‍ය අවධියේදී මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා වැය කළේ ඩොලර් සීයක් පමණි. නිෂ්පාදිත වසර දශක කිහිපයක් පැරණි වුවත්, ඉතා හොඳ තත්ත්වයෙන් තිබුණු මේ මෝටර් රථය මුල් අයිතිකරු විසින් ඩොලර් පනස් දහසකට මිලදී ගෙන තිබුණු සුඛෝපභෝගී මෝටර් රථයකි. ඔහු රැකියාව සඳහා ස්විට්සර්ලන්තයට පිට වී යද්දී මේ මෝටර් රථය නැවතත් කිසියම් මිලකට අලෙවි කර ගියේය. 

මෝටර් රථ හා අදාළව ලංකාවේ සිදුවන්නේද මෙවැනිම දෙයක් නිසා මෙය තේරුම් ගැනීම අපහසු නැත. ඇඳුමක් වැනි දෙයක් හා අදාළව ලංකාවේදී මෙවැනි දේ ඉතා කලාතුරකින් හැර සිදු නොවෙතත් ඇමරිකාවේ එසේ වෙයි. ගෘහ භාණ්ඩ හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වැනි දේ විශාල ලෙස අතින් අත සංසරණය වෙයි. 

ගරාජ් සේල් දමා විකුණන්නට නොහැකි වන දේවල් නොමිලේ ලබාදෙන්නේනම් බොහෝ විට ඇමරිකානුවෙකු විසින් කරන්නේ එවැනි දේ පුණ්‍ය කටයුතු සදහා පවත්වාගෙන යන වෙළදසැලකට (charity shop) ප්‍රදානය කිරීමයි. මෙවැනි ආයතන ඇමරිකාවේ සෑම නගරයකම වාගේ තිබේ. ඒවායේ ලාබ යොදා ගැනෙන්නේ කිසියම් නිශ්චිත සුබසාධන කටයුත්තක් හෝ කිහිපයක් වෙනුවෙනි. උදාහරණයක් ලෙස ඇතැම් වෙළදසැල් වල ලාභ ඇමරිකානු පිළිකා සංගමයට යයි.

මෙවැනි තැනකට මුදල් නොගෙන ලබාදෙන දේ වෙනුවෙන්ද රිසිට් පතක් ලැබේ. ලබාදුන් භාණ්ඩ වල වටිනාකම එහි සඳහන් වන නිසා, වසර අවසානයේදී බදු ගොනුගත කිරීමේදී එමඟින් යම් මුදල් වාසියක් ලැබීමේ හැකියාවක්ද තිබේ. මේ ආකාරයේ වෙළදසැල් වල සේවය කරන බොහෝ දෙනෙක් එසේ කරන්නේ ස්වේච්ඡා පදනමිනි.

ඉහත කී චැරිටි ෂොප් වලින් මුදල් වැය නොකර ලබාගන්නා දේ විකුණන්නේ වෙනත් වෙළඳසැල් වල විකුණන මුදලට වඩා තරමක් අඩුවෙන් නිසා එවැනි තැන් වලින් බඩු මිලදී ගන්නා සැලකිය යුතු පාරිභෝගික පිරිසක්ද සිටිති. ඇතැම් විට වෙළඳපොළේ සොයා ගැනීමට අපහසු යල් පැනගිය උපකරණයක අමතර කොටසක් වැනි දෙයක් මෙවැනි තැනකින් සොයා ගන්නට පුළුවන.

බෞද්ධ භික්ෂුවක් විසින් සිවුරකින් ප්‍රයෝජන ගන්නා ආකාරය සද්ධර්ම රත්නාවලියේ විස්තර කර තිබේ. වෙනත් ප්‍රයෝජනයක් ගන්නටම නොහැකි තරම් දිරා ගිය පසු වැරහැලි වුනු රෙදි කැබලි අවසාන වශයෙන් මැටි සමඟ අනා බිත්තියට ගසන තුරු එය ප්‍රයෝජනයට ගන්නා ආකාරය  සද්ධර්ම රත්නාවලියේ අදාළ තැනින් උපුටා දක්වන්නට තිබුණානම් හොඳ වුවත් කාල වේලා මඳකම එයට බාධාවකි. එහිදී වෙන්නේ අදාළ සිවුර එකම අයෙකු විසින් හැකිතාක් ප්‍රයෝජනයට ගනු ලැබීමයි.

ඇමරිකාවට එන අළුත් ඇඳුමක් බොහෝ විට අවසන් ගමන් යන්නේ කිහිප දෙනෙකුගේම විලි වැසීමට වරින් වර උදවු කිරීමෙන් අනතුරුවය. මෙය සිදුවන්නේ මිල යාන්ත්‍රනය හරහාය. මෙහි අවසාන ප්‍රතිඵලයක් ලෙස ජීවත් වන්නට අවශ්‍ය බොහෝ පාරිභෝගික භාණ්ඩ මුදල් යහමින් ඇති අයෙකුට විශාල මිලක් ගෙවා මිල දී ගන්නටත්, අතේ වැඩි මුදලක් නැති අයටත් සුළු මුදලක් ගෙවා මිල දී ගන්නටත් ඇමරිකානු ධනවාදය විසින් ඉඩ සලසයි. මුදල් යහමින් ඇති අයෙකුට විශාල තේරීමක් ඇතත් මුදල් වැඩිපුර නැති අයෙකුට එවැනි තේරීමක් කිරීමේ හැකියාවක් නැත. එහෙත්, එවැන්නෙකුට වුවද බොහෝ විට අවශ්‍ය දෙය නොලැබී නොයයි.

ඇමරිකානුවන් අනවශ්‍ය බඩු හැකි ඉක්මණින් ඉවත් කිරීමත්, ලංකාවේ බොහෝ දෙනෙක් එසේ නොකිරීමත් ලාංකිකයින් විසින් කරන "වැරැද්දක්" නොවේ. ඇමරිකාවේ ජීවත් වන අයෙකුට හදිස්සියකට යකඩ ඇණයක් හෝ ඉස්කුරුප්පු ඇණයක් අවශ්‍යනම් ලඟම ඇති සුපිරි වෙළඳසැලකට ගොස් මහ රෑ මැද්දේ වුවත් ඇමරිකානුවෙකුගේ ආදායමට සාපේක්ෂව ඉතා සුළු මුදලක් ගෙවා එය මිලදී ගැනීමේ හැකියාව තිබේ. වෙනත් බොහෝ දේ සම්බන්ධවද තත්ත්වය මෙසේය. එහෙත්, ලංකාවේදීනම් ප්‍රායෝගිකව කළ හැකි හොඳම දෙය ගෙදර යකඩ ඇණයක් හොයාගන්නට නැත්නම් අල්ලපු ගෙදර හෝ ඇත්දැයි සොයා බැලීමයි. 

ඉකොනොමැට්ටා අඳින්නට එතරම් ප්‍රිය නොකළ පරණ හාරා කලිසම ඇතුළු ඇඳුම් කෑලි දෙක තුන හෝ නොතිබුණානම් රෙදි හොරකමෙන් පසුව ඉකොනොමැට්ටාට සිදුවිය හැකිව තිබුණු සන්තෑසිය අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නැත. ඒ නිසා මගේ පියාගේ යකඩ ඇණ එකතු කිරීම වැනි පුරුදු සමාජ පරිණාමය සමඟ ස්වභාවික ලෙසම වෙනස් වීමට නියමිත පුරුදු මිස, ඇමරිකානු සමාජය හෝ වෙනත් බාහිර සමාජයක් දෙස බලා කෘතීම ලෙස වෙනස් කිරීම හැමවිටම අවශ්‍යම දේවල් නොවේ.

තමන්ට ඇති තේරීම් ගණන අඩු වන විට කරන්නට වෙන්නේ එසේ ඉතිරිව ඇති සීමිත තේරීම් අතරින් තේරීමක් කරන්නටය. රෙදි හොරකමෙන් පසුව ඉකොනොමැට්ටාට සිදු වුණේ එයයි. රටේ දේශපාලනය වැනි වඩා "බරපතල" තේරීමක් කිරීමේදී වුවත්, ඒ තේරීම කරන්නට වෙන්නේ තිබෙන විකල්ප අතරිනි. 

15 comments:

  1. ඇත්තෙන්ම ඉතා හොඳ පෝස්ට් එකක් ඉකොනො, ගරාජ් සේල් සංකල්පය ජපානයේත් වෙනස් අයුරකින් ක්‍රියාත්මකයි, කෙසේ නමුත් ලංකාව වැනි රටවලින් යන පුද්ගලයින් චැරිටි ශොප් හා චැරිටි සේවා නමින් විශාල ලෙස හොරකම් කරනවා, උදා: ලෙස ලංඩනයේ වෙසෙන අජිත් ධර්මකීර්ති නමැති සූර චෞරයා ගතහැකියි. මොහුගේ හොරකම් එළිකළ විට මොහු කළේ තම දේශපාලන සබඳතා යොදා ලංකා-ඊ-නිව්ස් නම් මඩ වෙබ් අඩවිය ලවා එම පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීමයි.

    ReplyDelete
    Replies
    1. //ගරාජ් සේල් සංකල්පය ජපානයේත් වෙනස් අයුරකින් ක්‍රියාත්මකයි,//
      දැනගන්නනම් කැමතියි.

      //ලෙස ලංඩනයේ වෙසෙන අජිත් ධර්මකීර්ති නමැති සූර චෞරයා ගතහැකියි.//
      අජිත් ඔය ගැන පැහැදිලි කිරීමක් කරල තියෙනව නේද, ඇනෝ?
      https://kolambagamaya.blogspot.com/2017/08/blog-post.html

      ඔය මඩ ගහගැනිල්ල අවසාන වශයෙන් කාගෙවත් යහපතට හේතු නොවන දෙයක්. මඩ ගහන අයට වගේම පැත්තක ඉන්න අයටත් මඩ වැදෙන එක පමණයි වෙන්නේ.

      Delete
  2. ලංකාවෙ මිනිස්සුංගෙ (මේ මාත් ඇතුළුව) ඔය 'කුණු' එකතු කිරීම ගැනනං කියල වැඩක් නෑ.
    හැබැයි ඒව වැඩකට ගන්න වෙන්නෙ බොහොම කලාතුරකින් තමයි. අන්තිමට කාටවත් ප්‍රයෝජනයක් නැතුව බොහෝ දේවල් කුණු ගොඩට යනව.

    ReplyDelete
    Replies
    1. මේ පුරුද්දෙන් ගැලවෙන්න ලැබුණේ නිතර නිතර පදිංචිය වෙනස් කරන්න වුනු නිසයි.

      Delete
  3. Praසන්ன හායි!!

    ඔයා කොහෙද ,මන් අද කලවානේ , තංගල්ලේ ගිහින් රක්වානේ ආවට පස්සේ එන්නම් සියු සුන් බායි ලව් .

    ReplyDelete
  4. පරන මොබයිල් ෆෝන් එහෙමත් ගරාජ් සේල් දානවාද ? මා ලඟ තියෙනවා පරණ මොබයිල් ෆෝන් දුසිම් බාගයකට වැඩිය. තව හොඳට වැඩකරන ඒත් පාවිචිචි කරන්නනැති CRT TV දෙකක් තියනවා කරන් දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. එකට තියෙනවා 'ට්‍රේඅඩ් ඉන්' (Tread-In) කියල සංකල්පයක්! අලුත් මොබයිල් ෆෝන් එකක් ගද්දි පරණ එක දුන්නම ගානක් අඩු වෙනවා. හැබැයි බොහෝ විට මේක වෙළඳපොලේ වටිනාකමට වඩා ගොඩක් අඩු වෙන්න පුළුවන්. මේක කාර් වලටත් තියෙනවා.

      Delete
    2. ඔව්, ඇනෝ කියන එක හරි. ඊට අමතරව දැන් මේ වගේ දේවල් අන්තර්ජාලය හරහා විකුණන එකත් සුලභයි.

      Delete
  5. හැබැටම මේ සති කිහිපයකට උඩදී 'දෙමාපියන්ගේ තේරීම් වැඩි කරන්න, ප්‍රාථමික අධ්‍යාපනයේ වගකීමෙන් ආණ්ඩුව නිදහස් වියයුතුයි' වගේ අදහසක් දීපු ඉකොනොමට්ටමද මේ! එතකොට ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වලට නැඹුරු නිසා හොරු වුනත් ඉන්න UNP දේශපාලුවෝ ටිකම තෝරාගන්න කියන්නේ ඇයි?

    දැන් අහයි මම කොහෙද එහෙම ලියල තියෙන්නේ කියලා, එකට උත්තරේ සාලුවත් එක්කම හෝදලා වැලේ වනල ඇති!

    ReplyDelete
  6. ".... රවී නිතරම කියන "පොසිටිව් තින්කින්" හෙවත් ශුභවාදී දැක්ම ගැන ඒ දවස්වලත් ඉකොනොමැට්ටා දැන සිටියේ ඩේල් කානගීගේ පොත් කියවා තිබුණු නිසා වන්නට ඇත. රවී කිවුවේ තවමත් මංගල සමඟ කටක රාශියේ සිටින රවී ගැන නොව නිදහස් සිතුවිලි රවී ගැනය...."

    ඒ රවිගෙයි මේ රවිගෙයි සමානකම් කිහිපයක්ම තියෙනවා

    (1) දෙන්නටම් ලැබිච්ච සම්මාන දෙන්නම සුදුස්සෝ නෙමෙයි.

    (2) එක රවියක් අනුන්ට හොර හොර කියලා තමුන් ඊට වැඩ හොරකම් කරනවා, අනිකා අනුන්නට වහල්ලු කියකිය තමුන්ගේ බ්ලොග් එකේ නමත් 'නිදහස් සිතුවිලි' කියලා ගෙන් රනිල්ට වාල් කරනවා.

    ReplyDelete
    Replies
    1. අහක හිටපු මනුස්සයෙක්ව ගාවල මමත් කරගත්ත මෝඩ වැඩක්!
      (1) මගේ පෞද්ගලික අදහස ඒ සඳහා ඔහු සුදුසු බවයි. මෙය ලිපියේ අන්තිම වාක්‍යයටද සම්බන්ධය.
      (2) මම හිතන්නේ ඔහු තමන්ට අවශ්‍ය දේ නිදහසේ ලියන බවයි. "වහල්ලු" වචනය ගැනනම් මගේ අදහස ලිහිල් එකකි. යමෙකුට අවශ්‍යනම් තමන් කැමති පුද්ගලයෙකුගේ හෝ මතවාදයක වහලෙක් වීම මට ප්‍රශ්නයක් නොවේ.

      Delete
  7. මං හිතාගෙන හිටියේ ඇමරිකාවේ කියන්නේ යාඩ් සේල් කියා ය කියලායි!

    ළඟදී යන්න බැරි වුණත්, මං ගරාජ් සේල්වලට කැමති පරණ පොත් සහ පරණ රෙකෝර්ඩ්ස් ගන්න හැකි නිසයි. මං 1995 දී මෙල්බර්න් ආ කාලයේ ඩොලර් 10 ක් දී ගත් ලියන මේසය වසර ගණනාවක් ම පාවිච්චි කළා. පසුව විසි කළේ දුකෙන්.

    නමුත් මට නම් කවදාවත් ගරාජ් සේල් එකක් දාන්න බැරිවුණා. පරණ ඇඳුම් චැරිටි බින්වලට දාන්න පුළුවනි. වෙනත් බඩු එළියෙන් තැබුවාම කැමති අයෙකු අරගෙන යනවා. ඊට අමතරව කවුන්සිල් එකෙන් වසරකට හතර පාරක් අපේ ලොකු අපද්‍රව්‍ය ඉවත් කරන නිසා කෝල් එකක් දී වැඩේ අවසාන කර ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. යාඩ් සේලුත් තියෙනවා. අපේ නේබර්හුඩ් එකේ වාර්ෂිකව කමියුනිටි යාඩ් සේල් එකක් තියෙනවා. තව මූවිං සේලුත් තියෙනවා.

      Delete
  8. මම ගාව එල් සී ඩී මොනිටරයක් තිබෙනවා..එය විකුණාගැනීමට සිතන්නට ඕනි..රුපියල් පන්සීයකට වත් දීගන්න ලැබුනොත් මැදැයි..
    ඒ වගේම ගල්කිස්ස දිහා තියෙන පරණ ඇදුම් කඩයකින් මම ගත්තා පරණ ඇදුම් ටිකක්..එයින් ටී සර්ට් එකක් ගත්තේ රුපියල් සීයකට.. ඒ සීයට ගත්ත ටී සර්ට් එක මම සෑහෙන කාලයක් තිස්සේ අදිනවා..ඇන්දා වුනත් කොලිටිය අඩුවක් නැහැ..
    අපිට කොම්පනියෙන් සපත්තු දෙනකොට මට දුන්නේ සයිස් ලොකු එකක්.. ඒ සේෆ්ටි සූස් වර්ගේ සපත්තුව ලොකුයි.. මම දැන් ලබන සතිය දිහා පෙටා ගිහින් ඒ සපත්තු දෙකට වෙන මගේ සයිස් දෙකක් මාරුකරගන්නවා පෙටා සෙකන්ඩ් හෑන්ඩ් සපත්තු මාකට් එකෙන්.. මම ඒකෙන් ගත්ත රුපියල් දාහට විසාල ට්‍රෙකින් සපත්තු දෙකක්.. හප්පා ඒක දාගෙන මම නේපාලේ කදු උඩ හිම උඩ නැග්ගා.. මරු සපත්තු දෙක හැබැයි.. අවසාන හාඩ් ට්‍රැකින් එක සප්ත කන්‍යා වල වහිනකොටත් ඒකෙන් ලැබුන සහාය නම් කියල වැඩක් නෑ..
    ඇත්තටම සෙකන්ඩ් හෑන් බඩු විකිනීමත් මිලදී ගැනීමත් කියන්නේ හොදම සංකල්පයක්.. දැන් ඉක්මන් ඩොට් එල් කේ වගේ වයි බඩු විකුනත හැකි ලේසියෙන්..

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...