පසුගිය ලිපිය පිළිබඳව කිහිප දෙනෙක්ම ප්‍රසාදය පළ කරල තිබුණා. විශේෂයෙන්ම එක් මානවිකාවක් ලෙස අදහස් දක්වන හිතවතිය (කෙටියෙන් එමා කියමු. මේ කෙටි කිරීමට අකැමැතිද දන්නේ නැහැ), පැතුම්, සෙන්නා හා උදය ඇතුළු තවත් අය, පළමු කී දෙන්නා දීර්ඝ ලෙස, ඔවුන්ගේ අදහස් එකතු කරලා තිබුණා. මේ අදහස් ඇතුළේ තවත් බෝල හදන්න අවශ්‍ය නූල් කෑලි සෑහෙන්න තියෙනවා. ප්‍රතිචාර දැමූ සියල්ලන්ටම ස්තුතියි!
ප්‍රතිචාර සේ ලියැවී තිබෙන ගොඩක් දේවල් ගැන අඩු වැඩි වශයෙන් එකඟ වෙන්න පුළුවන්. සමහර අයට මේ ප්‍රතිචාර වලින් කියා ඇති දේවල් හා ලිපියේ කරුණු අතර පරස්පර පෙනෙනවනම් ඒ මේ දේවල් අතර තිබෙන සම්බන්ධය පැහැදිලිව නොපෙනීම නිසා වෙන්න පුළුවන්.
ගොඩක් අය ප්‍රසාදය පළ කරපු ලිපියකින් පසුව ඒ හා අදාළවම තවත් ලිපි ලියා කරුණු එකතු කරන්න ගියාම වෙන්නේ මුලින් වූ ප්‍රසාදය දියාරු වෙලා ගිහින් අර කලින් ආපු කික් එක නැති වෙන එකයි. ඒ වුණත්, ඉතිං කමක් නෑ. අපි අපිමනේ! මම කිවුවේ දැන් මේක කියවන ගොඩක් අය නිතර මෙහි යන එන අය මිසක් ආගන්තුකයෝම නෙමෙයිනේ...
"
ටෙලි නාට්‍ය, චිත්‍රපටි වලත් ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයා බිස්නස් ගැන විතරක් හොයන බිසී කෙනෙක් කරලා, එයාගේ බිරිඳ හා දරුවන් පාලුවෙන් කාන්සියෙන් ඉන්න අවස්ථා ගොඩනගනවා වැඩිපුර. අවංක පෙම්වතා ගොඩක් වෙලාවට දුප්පත්."
මෙහෙම කියන්නේ අපේ එමා. ඇත්ත නේද කතාව?
මට මෙතැන තිබෙන වැදගත් කරුණ මේක මේ විදිහට වෙන්නේ ඇයි කියන එකයි.
ටෙලි නාට්‍ය, චිත්‍රපටි කියන්නෙත් මූලික වශයෙන් ආදායම් ඉපදවීම මුල් කරගත් කර්මාන්ත. මේවා වෙනුවෙන් ආයෝජනය කරන අයට මුදල් හෙවීමට අමතරව වෙනත් අරමුණුත් තිබෙනවා වෙන්න පුළුවන්. නමුත්, එයින් අදහස් වෙන්නේ නැහැ මුදල් හෙවීමේ අරමුණක් නැති බව. ඔය ටෙලි නාට්‍ය, චිත්‍රපටි වලට සම්බන්ධ වන හැම දෙනෙක්ම වාගේ මේ කටයුතු හරහා තමන්ට කිසියම් මුදල් වාසියක් ලැබෙනවාට කැමතියි.
ටෙලි නාට්‍ය, චිත්‍රපටි ආදියෙන් මුදල් ලාභ ලබන්නනම් මේවා ජනප්‍රිය වෙන්න ඕනෑ. වෙනත් විදිහකින් කියනවානම් මේවා නැරඹීම වෙනුවෙන් ආවස්ථික පිරිවැයක් දරන්න කැමති විශාල පිරිසක් රටේ ඉන්න ඕනෑ.
ටෙලි නාට්‍ය හා අදාළව මේ මුදල් ප්‍රවාහය සිදුවෙන්නේ වක්‍රව. චිත්‍රපටයක් බලන වෙලාවකදී මෙන් ප්‍රේක්ෂකයෙක් ටෙලි නාට්‍යයක් බැලීම සඳහා සෘජුව මුදල් ගෙවන්නේ නැහැ. නමුත්, වැඩි දෙනෙක් අතර ජනප්‍රිය වෙන්න ඉඩ තිබෙන ටෙලි නාට්‍යයක් වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න කැමති ආයතනික අනුග්‍රාහකයෙක් හොයා ගන්න අපහසු නැහැ.
මේ වගේ අනුග්රාහකයෝ ටෙලි නාට්‍යය වෙලාවේ ප්‍රචාරය කරන තමන්ගේ වෙළඳ දැන්වීම් හේතුවෙන් ඉහළ යන තමන්ගේ භාණ්ඩ හෝ සේවා ඉල්ලුම හරහා හෝ වෙනත් ක්‍රමයකින් ප්‍රේක්ෂකයින්ගෙන් වක්‍රව මිලක් අය කරගෙන එයින් කොටසක් ටෙලි නාට්‍ය නිෂ්පාදකයාට දෙනවා.
සමහර වෙලාවට ඔය වෙළඳ දැන්වීම තිබෙන්නේ ටෙලි නාට්‍යය ඇතුළේම වෙන්නත් පුළුවන්. තිර පිටපත් රචකයා කලින් හිතාගෙන පිටපත ලිවුවේ නැතත් ඒ ඇතුළේ කිසියම් අනුග්‍රාහකයෙකු විසින් සොයමින් සිටින වෙළඳ දැන්වීම හමු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක එවැනි ටෙලි නාට්‍යයකට අනුග්‍රහය දක්වන්න අනුග්‍රාහකයා දෙවරක් හිතන්නේ නැහැ.
ටෙලි නාට්‍ය අනුග්රාහයකුගේ අවශ්‍යතාවය තමන්ගේ නිෂ්පාදනයක අළෙවිය ඉහළ දමා ගැනීම වගේ සරල එකක් නොවෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අනුග්‍රාහකයාගේ ආයෝජනයේ වාසිය ලැබෙන්නේ ටෙලි නාට්‍යය විසින් රටේ දේශපාලනයට සිදුකරන බලපෑමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස වෙන්න පුළුවන්.
හරි. ඔය කොහොම වුනත් වැදගත් කරුණ වන්නේ ටෙලි නාට්‍යය හෝ චිත්‍රපටිය ජනප්‍රිය වීමයි. ඔය කියන කරුණ හා අදාළව ගත්තහම එමාගේ ප්‍රතිචාරයේ සිටින දුප්පත් අවංක පෙම්වතාට ලංකාවේ මම දන්න කාලයේ ඉඳන්ම ලොකු ඉල්ලුමක් තිබෙනවා. පොදුවේ ඉන්දියානු සිනමාව ගත්තත් ඕක ඔහොමයි. මේ තත්ත්වය අදටත් වෙනස් වෙලා නැහැ.
ටික කලකට පෙර විකාශනය වූ බොහීමියානුවා ගොඩක් අය කැමති වූ ටෙලිනාට්‍යයක්. එහි සජිත අනුත්තර විසින් පණ දුන් බොහීමියානුවා (කල්ප) ඔය වර්ගයේ අවංක පෙම්වතෙක්. ඔහුට සල්ලි නෑ. නමුත් ඔහු ඒ හේතුව නිසා තමන්ගේ අරමුණ අතාරින්නෙත් නැහැ.
කල්පට අහම්බෙන් හමුවන ආදරය (උමාලි රඟපාන නූරිගේ චරිතය) ස්ථානගත වී තිබෙන්නේ කල්ප සිටින සමාජ ස්ථරයට වඩා ගොඩක් ඉහළින්. ඒ වගේම නූරි කල්පට ආදරය කරන්නේ ඇය ජීවත්වන මායාව ඇතුලෙ සිට තමන්ගේ අහිමි වූ පෙම්වතා මනසින් මවාගෙන මිසක් ඇත්තටම ඔහුව හඳුනාගෙන නෙමෙයි. ඇත්තක් නොවන බව දැනදැනත්, කල්ප නූරිගේ ඒ ආදරයට ආදරය කරනවා. ඒ වෙනුවෙන් අම්බානක කට්ටක් කනවා. මැරෙන්න පවා සූදානම්ව ඉන්නවා.
මෙතැන කල්පගේ දුෂ්ඨයා වන්නේ කවුද? ඒ වෙන පෙම්වතෙක් නෙමෙයි. නූරිට බොහෝ සේ ආදරය කරන නූරිගේ පියා (බුද්ධදාස විතානාරච්චි). ඔහු සමාජයේ පහළ ස්ථරයක ඉඳලා ඉතා අමාරුවෙන් උඩට ආ කෙනෙක්. ඔහු තමන්ගේ දුවට ගොඩක් ආදරෙයි. දුව දැන් සිටින සමාජ ස්ථරයෙන් පහළට වැටෙනවාට ඔහු කැමති නොවන්නේ ඒ නිසයි. සල්ලි නැති වන විට ආදරයට පමණක් පැවතෙන්න අමාරු බව ඔහු දන්නවා. කොහොම වුනත් ප්‍රේක්ෂකයින්ගේ වීරයා කල්ප මිසක් නූරිගේ පියා නෙමෙයි.
මට තිබෙන ප්‍රශ්න මේවායි. පළමුව, මේ දුප්පත් අවංක පෙම්වතාගේ චරිතයට ලංකාවේ ලොකු ඉල්ලුමක් තිබෙන්නේ ඇයි? එමා විසින් ලියා තිබෙනවාක් මෙන් මෙය කලාකරුවන් විසින් කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ මනසේ පින්තාරු කරපු චිත්‍රයක් කියා අපි හිතමු. එහෙමනම්, කලාකරුවන් විසින් එහෙම කරල තියෙන්නේ ඇයි? ආර්ථික විද්‍යා වාග්කෝෂයට ආවොත් මේ සමතුලිතතාවයට හේතු වන ඉල්ලුම් සාධක හා සැපයුම් සාධක මොනවාද?
ආර්ථික විද්‍යාව පැත්තෙන් බැලුවොත් මිනිසුන් අතර සිදුවන නිදහස් ගනුදෙනු වලින් හැම විටම වෙන්නේ අදාළ සියළු පාර්ශ්වයන් වඩා සතුටට පත් වීමයි. එහෙම නොවෙන වෙලාවලුත් තියෙන්න බැරිද?
මහ රෑ මැද්දේ දරුවාට සහලෝලා උණ. තාත්තා මැරිලා. අම්මගේ අතේ පිච්චියක් නැහැ. කහට කෝප්පේ උගුරට හලාගනිද්දී ලෙවකන්න අල්ලට හලාගන්න සීනි හැන්දක්වත් ගෙදර නෑ. ඉතිං කොහොමද දොස්තරට කාසි දෙන්නේ? අම්මා වැඩිමල් ගෑණු දරුවා ගෙට වුනු වෙලාවේ කණට දාපු කරාබු ජෝඩුව ඈ නිදා සිටිද්දීම ගලෝගෙන චීත්ත කොණේ ඔතාගෙන, අකුණු ගහන අනෝරා වැස්සේ කුඩයක්වත් නැතුව තෙමි තෙමී පොලී මුදලාලිගේ දොරට තට්ටු කරනවා.
මුදලාලි අන්තිමට දොර අරිනවා. මුදලාලි හාමිනේ ගමේ ගිහින්. මුදලාලිත් තට්ට තනියම. දරුවාගේ අම්මට කාසි ලැබෙනවා. ඒත් ඒ වෙනුවෙන් ඇයට කරාබු ජෝඩුවට අමතරව තවත් දේවල් දෙන්න වෙනවා. මොනව කරන්නද? පොඩි එකාව බේරගන්නත් එපායැ.
පනස්ගණන් වල හැටගණන් වල හදපු චිත්‍රපට වල ඔය වගේ දර්ශනයක් බොහෝ විට වැරදුණේ නැහැනේ. දැන් ඔය තරම්ම අමුවෙන් කියන්නේ නැහැ. නමුත්, කියන්නේ ඔය ටිකම තමයි.
ඔය වගේ වෙලාවක අම්මට සතුටු වෙන්න පුලුවන්ද? මේක තීරණය කරන්න වෙන්නේ ඇයට තිබෙන අනෙක් විකල්පයට සාපේක්ෂවයි. නරක සේ බැලූ බැල්මට පෙනෙන තේරීමකට කෙනෙක් යන්නේ අනෙක් තේරීම වඩාත් නරක එකක් නිසයි. වඩා නරක තේරීමට සාපේක්ෂව අඩු නරක තේරීම සතුටු විය හැකි එකක්.
සතුට කියන එක එක් එක් පුද්ගලයාට සාපේක්ෂව තීරණය වන දෙයක්. හැම දෙනෙක්ම සතුටු වෙන්නේ එකම දේවල් කිරීමෙන් නෙමෙයි. නමුත්, අපි බොහෝ වෙලාවට හිතන්නේ වෙනත් අය සතුටු වෙන්නෙත් අපි සතුටු වන දේවල් වලින්ම කියලයි. එහෙම හිතලා අපි වෙනත් දුක් විඳින මිනිස්සු ගැන දුක් වුණත් ඇතැම් විට ඒ මිනිස්සු අපට වඩා වෙනස් විදිහකට සතුටු වෙනවා වෙන්න පුළුවන්.
ධනපාල ලොකු ව්‍යාපාරිකයෙක්. ඔහුට ගොඩක් සල්ලි තිබෙනවා. ඔහු උදෙන්ම තමන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා පිටත්ව යනවා. සති අන්තයේ කියලත් වෙනසක් නැහැ. ගෙදර එන්නේ හොඳටම රෑ වෙලා. ඔහු සිංදුවක් අහන්නේ බොහොම කලාතුරකින්. චිත්‍රපටයක් බලන්නේ නැති තරම්. තරුපහේ හෝටල් වල තිබෙන ව්‍යාපාරික හමු වලදී වෙනත් ව්‍යාපාරිකයින් සමඟ මධුවිත තොල ගානවා.
ජීවක විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු රජයේ රෝහලක සේවය කරනවා. රෝහලට යන්න කලින් උදෙන්ම තමන්ගේ පෞද්ගලික සායනයේ පැයක් ගත කරනවා. සේවය ඉවර වෙලා කෙළින්ම යන්නේත් පෞද්ගලික සායනයට. ගෙදර එන්නේ රෑ වෙලා. සෙනසුරාදා දවස ගත කරන්නෙත් පෞද්ගලික සායනයේ. ඉරිදාට තමන්ගේ තේවත්ත බලන්න නගරයෙන් බැහැර යනවා. සිංදු අහන්නේ මෝටර් රථය තුළදී පමණයි. චිත්‍රපටයක් බලන්නේ ඉතාම කලාතුරකින්. ඔහු මධුවිතෙන් ඈත්වයි ඉන්නේ. ධනපාල තරමටම නැතත් ජීවකත් සෑහෙන තරමක ධනවතෙක්.
සංගීත් කලාකරුවෙක්. ඔහුට ගීත ගායනයට මෙන්ම තනු නිර්මාණයටත් දක්ෂතා තිබෙනවා. සංගීත භාණ්ඩ කිහිපයක්ම වාදනය කළ හැකියි. සංගීත සංදර්ශනයක් හෝ වෙනත් කලා කටයුත්තක් තිබෙන දවසට ගෙදර එන්නේ බොහෝ රෑ වෙලා. පහුවෙනිදාට නැගිටින්නේ හොඳටම දවල් වෙලා. එහෙම විශේෂ වැඩක් නැති දවසට කියලත් වැඩි වෙනසක් නැහැ. රෑ වෙනකම් සිංදු කියමින් හා වාදනය කරමින් කාලය ගෙවනවා. මධුවිතෙන් සප්පායම් වෙනවා. ගොඩක් දවසට තවත් යාලුවෝ එක්ක. ඒ අයත් කලාකරුවෝ. සමහර වෙලාවට මලකුත් ගහනවා. අතට සල්ලි ආවහම ලෝබ නැතුව වියදම් කරනවා. උපයන ආදායම කෙසේ වුවත්, ජීවක හා ධනපාලගේ මෙන් ධනයක් සංගීත්ගේ අතේ කවදාවත් රැඳී නැහැ.
දැන් මේ අයගෙන් වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? වැඩිපුරම ජීවිතය විඳින්නේ කවුද?
ලංකාවේ හැදෙන ගොඩක් චිත්‍රපට හා ටෙලිනාට්‍ය වලට අනුවනම් මේ තුන් දෙනාගෙන් සතුටෙන් ඉන්නේ සංගීත්. අනිත් දෙන්නා කරන්නේ සල්ලි හොයන්නම මැරෙන එකයි. ඔවුන්ට ජීවිතයක් නැහැ. ඔවුන් කියන විදිහට සල්ලි කියන්නේ ජීවිතය නෙමයි. සල්ලි හොයන්න මහන්සි වෙද්දී ජීවිතය මග හැරෙනවා.
ඇත්තටම කියනවානම් ධනපාල, ජීවක හා සංගීත් කියන තුන්දෙනාම ජීවිතය විඳිනවා. ඒ ඔවුන්ගේම ක්‍රම වලට.
ධනපාල උදේ ඉඳන් හවස් වෙනකම් ව්‍යාපාරික කටයුතු වල නිරතව ඉන්නේ සල්ලි හොයන්නම නෙමෙයි. ඒ ඔහු සතුටු වන විදිහ. සතුට එක්කම ඔහුට සල්ලිත් ගොඩක් ලැබෙනවා. ඒ සල්ලි නිසා ඔහුගේ සතුට තවත් වැඩි වෙනවා. ධනපාල සිංදු අහන්න, චිත්‍රපට බලන්න කාලය යොදවන්නේ නැත්තේ ඒ දේවල් වලින් ඔහුට සතුටක් නොලැබෙන නිසා. චිත්‍රපට ශාලාවක පැය දෙකක් හිර වී ඉන්න එක ඔහුට බිරිඳ එක්ක ෂොපින් යනවාටත් වඩා බෝරිං වැඩක්. ව්‍යාපාර ලෝකයේ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂනය කිරීමෙන් ඔහු සතුටක් ලබනවා. තමන්ගේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වන විට ඔහු සතුටු වෙනවා. ව්‍යාපාරික කටයුතු වලට විවිධ අභියෝග එල්ල වන විට ඒවාට උපායමාර්ගික ප්‍රතිචාර දක්වන ආකාරය ගැන හිතන එක ඔහුට ලොකු සතුටක්. ඔහුට ජීවිතය විඳීම වන්නේ මේ අභියෝග වල මුහුණ දීමයි.
ජීවක දිවා රෑ නොබලා පොල් කඩන්නේත් සල්ලි හොයන්නම නෙමෙයි. සල්ලි හෙවීමත් එක් අරමුණක් තමයි. නමුත්, ලෙඩ්ඩු එක්ක කතා කිරීමේ, ඔවුන්ගේ රෝග හඳුනා ගැනීමේ ආතල් එකකුත් තිබෙනවා. ඒ ආතල් එක මොකක්ද කියලා තේරෙන්නේ ඩොකෙක්ටම තමයි. දොස්තර මහත්තයා කලින් දුන්න බේත් ටිකෙන් දවස් දෙකට සනීප වුණා කියල ලෙඩෙක් කියන කොට ඔහුට දැනෙන්නේ මාර සතුටක්. ඒ සතුට එක්කම ලැබෙන සල්ලි නිසා සතුට තවත් වැඩි වෙනවා. ජීවක මත්පැනින් දුරස්ථව ඉන්නේ ඔහුට මත්පැන් බීම හිසරදයක් මිසක් සතුටට හේතුවන කරුණක් නොවන නිසා. ඔහු සිංදුවක් අහන්න, චිත්‍රපටයක් බලන්න අකැමැත්තක් නැතත් මේ වගේ දේවල් වෙනුවෙන් ඕනෑවට වඩා කාලය නාස්ති කිරීම තේරුමක් නැතැයි ඔහු සිතනවා. ලෙඩ්ඩු එක්ක කාලය ගත කිරීමේදී ලැබෙන සතුට හා ලැබෙන මුදල් නිසා එකතුවන සතුට එක ගොඩකට දැම්මහම චිත්‍රපටයකින් හෝ සිංදුවකින් ලැබෙන සතුට මොකක්ද?
සංගීත් ගෙදර ඉන්න දවසට කරන්නෙත් ගිටාරය වයමින් හෝ කී බෝර්ඩ් එක ඔබමින් සිංදු කියන එකයි. බැලුවහම කොයි වෙලාවෙත් සොමියෙන් ඉන්න එළ කොල්ලෙක්. හැබැයි මේ විදිහට ඔහු කරන්නේ ආතල් එකක් ගන්න එකම නෙමෙයි. තමන්ගේ වෘත්තීය දක්ෂතා පවත්වා ගැනීම පිණිස දිගින් දිගටම පුහුණු වෙන එකයි ඔහු කරන්නේ. වක්‍ර විදිහට මෙහිදී වෙන්නේ සංගීත් විසින් තමන්ගේ ආදායම් ඉපැයීමේ හැකියාව වැඩි දියුණු කර ගන්න එකයි.
සංගීත් හිතන්නේ තමන්ට සල්ලි නැතත් තමන් ධනපාලට හා ජීවකට වඩා සතුටින් ඉන්නා බවයි. රස්සාවටම හිර වුනු ජීවිත වල තිබෙන ප්‍රයෝජනේ මොකක්ද? නමුත්, ඔහුත් දවස තිස්සේම ඉන්නේ ඔහුගේ රස්සාව අස්සෙම හිර වෙලා. ඒ බව ඔහුට තේරෙන්නේ නැහැ. ඔහු හිතනවා ධනපාල හා ජීවකත් රස්සා වලම හිර වෙලා ඉන්නේ නැතුව චිත්‍රපටයක් බලලා, සිංදුවක් අහලා, අඩියක් ගහලා, දුමක් ඇදලා ජීවිතය විඳින්න යම් කාලයක් වෙන් කළ යුතුයි කියා. එහෙම නොකර සල්ලි පස්සෙම යන ජීවිතයක තේරුම මොකක්ද කියලා සංගීත්ට තේරෙන්නේ නැහැ.
ධනපාල හිතන්නේ වෙනත් විධිහකටයි. ඔහු හිතන විදිහට ඔහු ජීවිතය විඳින ගමන්ම සල්ලිත් උපයනවා. තවත් අයට රැකියා දී සල්ලි උපයන්න උදවු කරනවා. එහෙම නොකර හැමදාම සල්ලි නැතිකමින් දුක් විඳින සංගීත් වගේ අය ගැන ඔහුට තිබෙන්නේ අනුකම්පාවක්. ඔවුන් කලාව අතහැර "ප්‍රයෝජනවත්" වැඩක යෙදුනානම් මීට වඩා මීට වඩා සතුටින් ඉන්න තිබුණා කියා ධනපාල හිතනවා.
ජීවකට අනුව ධනපාල කියන්නේ සල්ලි පස්සෙම පන්නන මුදලාලි කෙනෙක්. නමුත්, තමන්නම් කරන්නේ සේවයක්. ඒ වගේම ඒ සේවය කරමින්ම තමන් තමන්ට සතුටු විය හැකි ජීවිතයකුත් ගෙවනවා කියලත් ඔහු හිතනවා. ඔහුට අනුව ඔහු ඉන්නේ සංගීත්ට වගේම ධනපාලටත් වඩා සතුටින්.
ඔය තුන් දෙනා අතරින් තමන් හිතන විදිහ සාමාන්‍ය මිනිස්සු විශාල පිරිසකට කියන්න ලැබෙන්නේ සංගීත් වගේ කලාකරුවන්ට පමණයි. ජීවකට හෝ ධනපාලට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මිනිස්සු දකින්නේ සංගීත් සතුටින් සිටින බව පමණයි. ධනපාලගේ හෝ ජීවකගේ ධනය මිනිස්සුන්ට දකින්නට ලැබුණත් ඔවුන්ගේ සතුට පිටට පෙනෙන්නේ නැහැ. සතුට පිටතට පෙන්වන සංගීත්ට ඔවුන්ට තරම් ධනයක් නැහැ. ඒ නිසා, ධනය විසින් සතුට පළවා හරින බවක් මිනිස්සුන්ට දැනෙනවා. නමුත්, එය ඇත්ත නෙමෙයි.
කොහොම වුණත්, සංගීත් ඔහුගේ වෘත්තිය අතහැර මුදලාලි කෙනෙක් වුණොත් ඔහු දැන් තරමට සතුටු වෙන එකක් නැහැ. ඒ ඔහු සතුටු වෙන්නේ ධනපාලගේ ක්‍රමයට නොවන නිසා. ඒ නිසා, ධනපාලට ආතල් එකක් ගන්න කියන එකේ වගේම සංගීත්ට සල්ලි හම්බවෙන වැඩකට අතගහන්න යෝජනා කරන එකෙත් තේරුමක් නැහැ.
මේ තුන් දෙනාගෙන් අවංක පෙම්වතෙක්, හොඳ සැමියෙක් වෙන්න පුළුවන් කාටද? ඒක තීරණය වෙන්නේ යම්කිසි ගැහැණියක් හොයන සතුට මොකක්ද කියන එක මතයි. වෛද්‍ය වෘත්තියේ හෝ හෙද වෘත්තිය වැනි කිට්ටුවෙන් යන වෘත්තියක නිරතව සිටින ගැහැණියකගේ අපේක්ෂා සමඟ ජීවකගේ ජීවන විලාසිතාව ගැලපෙනවා. ධනපාලගේ බිරිඳත් ඔහුගේ ව්‍යාපාරයේම කොටස්කාරියක්නම් ඇයට ධනපාලගේ රටාවේ අවුලක් පෙනෙන එකක් නැහැ. කලා ක්ෂේත්රයේම සිටින ගැහැණියක් සංගීත් එක්ක ජීවිතය බෙදාගන්න කැමති වෙයි.
යම් විදිහකින් සංගීත් ගැන සිහින මවමින් හිටපු, ඒ විදිහේ ජීවිතයකින් සතුටු වන ගැහැණියකට ධනපාල හෝ ජීවක එක්ක අකමැත්තෙන් විවාහ වෙන්න සිදුවුනොත්නම් ඔන්න අවුලක් තිබෙන්න පුළුවන්. මොකද ජීවිතය කියන්නේ සල්ලි නිසා හෝ වෙනත් දේවල් නිසා ලබන සතුට මිසක් සල්ලි හෝ ඒ වෙනත් දේවල් නොවන නිසා. ඒ වගේම, සංගීත්ගේ ක්‍රමයට අකැමැති ගැහැණියක් ඔහු එක්ක වැඩි කලක් ජීවත් වන එකකුත් නැහැ.
සල්ලි නිසා සතුට නැති වෙනවා කියා කවුරු හෝ කියනවානම් එය පට්ට බොරුවක්. සල්ලි නිසා සතුට නැති වෙන්නේ නැහැ. නමුත්, සල්ලි පස්සේ පැන්නීම නිසා මග හැරෙන වෙනත් දේවල් හේතුවෙන් නැති වෙන සතුට, සල්ලි හොයා ගත්තට පස්සේ සල්ලි නිසා ලැබෙන සතුටට වඩා වැඩි නොවන අවස්ථා තිබෙන්න පුළුවන්. එය පුද්ගලයෙකුගේ රුචිකත්වය හා අවස්ථාව අනුව තීරණය වන දෙයක්.
මේ එක නූල් කෑල්ලක් විතරයි. තව නූල් කෑලි කීපයක්ම ලැබුණු ප්‍රතිචාර අතරේ තියෙනවා.
(Image: /arthamagazine.blogspot.com/2016/10/bohimiyanuwa.html)