වෙබ් ලිපිනය:

Monday, October 1, 2018

මී වදේ


මේ දවස් වල වත්පොතේ හුවමාරු වන කතා දෙකක් ගැන කතා කරන්නයි යන්නයි. මේ කතා මෙය කියවන ගොඩක් අයට දැනටමත් හමු වෙලා ඇති. එකක් පැරණි කතාවක් අනිත් එක අලුත් කතාවක්. කතා දෙකම පටන් ගන්නේ මී වදයකින්. මී වදයකින් කිවුවේ මීයෙක්ගේ වදයකින්.

පළමු කතාවේ මී වදයට පාත්‍ර වෙන්නේ පිලිපීන ළමයෙක්. හරියටම කියා නැතත් තරුණ පිරිමි ළමයෙක් වගෙයි කතාවෙන් පේන්නේ. මේ තරුණයාගේ කාමරේට එන මීයා හැමදාම ඔහුගේ පාන් ගෙඩිය කනවා. රෑට වැලක් බලන කොට ඕකටත් උදැල්ල දානවා. සමහර වෙලාවට හෝදපු නැති පිඟන් කෝප්ප ලෙවකනවා. වතාවක් තෑග්ගකට ගෙනාපු චොකලට් හා රෝසමල් වලටත් වැඩේ දෙනවා. අන්තිමට වටිනා ජැකට් එකකුත් විනාස කරලා දානවා.

වැඩේ කෙළවරක් නොදකින තැන අන්තිමට මොහු තීරණය කරනවා දිය උගුලක් අටවලා මීයාව වතුරේ ගිල්වලා මරන්න. මීයාව උගුලට අහු වුනත් ඌ ජීවිත ආසාව අත් හරින්නේ නැහැ. වතුරේ නොගිලී ඉන්න දිගින් දිගටම උත්සාහ කරනවා. උගුල අටවපු තරුණයා මීයා ගිලී මැරෙනකම් බලා ඉන්නවා. ඔහොම ඉන්න අතර පැය තුනක් ගතවෙනවා.

ඔය කාලය ඇතුළත තරුණයාට මතක් වෙනවා තමන් ආහාර ගැනීමෙන් පසුව පිඟන් හේදුවානම්, කෑම නිසි තැන් වල තිබ්බනම්, කාමරය පිළිවෙලකට තියාගත්තනම් මී වදේට ලක්වෙන්න වෙන්නේ නෑ නේද කියල. එහෙමනම් වැරැද්ද මීයගෙද නැත්නම් තමන්ගෙමද?

මීයා ගොඩක් වෙලා නොගිලී ඉන්න උත්සාහ කරලා අන්තිමට ගිලෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඌව බේරාගන්නා මේ තරුණයා ඌට කන්න පාන් කෑල්ලකුත් දීලා තමන්ගේ කාමරය ඉදිරිපස උද්‍යානයට ගිහින් මීයාව නිදහස් කරනවා. මීයා නිසා තමන් පාඩම් ගණනාවක් ඉගෙනගත් බව ඔහු කියනවා.


වත්පොතේ පළවන මේ ආකාරයේ කතා (memes) වලට නූතන ජනකතා කියා කියන්න පුළුවන්. දෙවැනි කතාවනම් වඩා පැරණි එකක්. බෞද්ධ කතාවක ආකෘතිය තිබුණත් ජනකතාවක් කියා කිව හැකියි. ඇතැම් විට ථෙරවාද බෞද්ධ සාහිත්‍යයේ මෙයට කිට්ටුවෙන් යන කතාවක් හෝ කතා තිබෙනවා වෙන්න පුළුවන්. කතාව තායිලන්තයෙන්.

මේ කතාවේ කථානායකයා ඉන්න හිටින්න තැනක්වත් නැති තරුණයෙක්. ඔහුටත් අර පිලිපීන තරුණයාට වගේම මී වදෙන් ගැලවීමක් නැහැ. අමාරුවෙන් හොයාගන්න කෑම ගොඩක් වෙලාවට ආගිය අතක් නැහැ. දවසක මේ තරුණයාට හොරාව අහුවෙනවා.

"මම ඉන්න හිටින්නවත් තැනක් නැති කෙනෙක්. සල්ලි තියෙන මිනිස්සු ඕනැ තරම් ඉඳිද්දී ඇයි උඹ මගෙන්ම හොරකම් කරන්නේ?"

තරුණයා මීයාගෙන් අහනවා.

"ඔබේ කර්මය අනුව ඔබට ඔබ සතුව තියාගන්න පුළුවන් මොනවා හෝ දේවල් අටක් පමණයි. ඊට වඩා වැඩිපුර දෙයක් මොන විදිහකින් හරි හොයාගත්තොත් ඒක අනිවාර්යයෙන්ම නැති වෙනවා..."

" ඒ මොකද?"

"ඒකනම් මං දන්නේ නෑ, ඒක ඉතිං බුදුහාමුදුරුවන්ගෙන් තමයි අහගන්න වෙන්නේ..."

තරුණයා මේ ගැන අහන්න බුදුන් හොයාගෙන යනවා. ඔහොම යද්දී රෑ බෝ වෙනවා. රාත්‍රිය ගතකරන්න හිතාගෙන මග තිබෙන පෝසත් ගෙදරකට ගොඩ වදිනවා. අවසරත් ලැබෙනවා. උදේ ගෙදරින් පිටවෙන්න කලින් ගෙදර අය තරුණයාගෙන් ඉල්ලීමකුත් කරනවා.

"අපට අවුරුදු දාසයක ගොළු දුවෙක් ඉන්නවා. ඇයට කතාකරන්න පුළුවන් වෙන්න කළ යුතු දේත් බුදුන්ගෙන් අහගෙන එන්න.."

ඔහොම යද්දී විශාල කඳු පන්තියක් හමු වෙනවා. එහිදී හමුවන මායාකාරයෙක් තරුණයාගේ විස්තර අහල තමන්ගේ මායා යෂ්ඨියේ බලයෙන් ඔහුව කඳු පංතියෙන් එහාට ගෙනියනවා. ඔහුගෙන් තවත් ඉල්ලීමක්.

"මම අවුරුදු දාහක් තිස්සේම දිව්‍ය ලෝකේ යන්න මහන්සි වෙනවා. මම ඉගෙනගෙන තියෙන හැටියට මේ වෙද්දී ඒ වෙනුවෙන් කරන්න ඕනෑ හැම දෙයක්ම කරලයි තියෙන්නේ. නමුත්, තවම දිව්‍ය ලෝකේ යන්න බැරි ඇයි කියා බුදුන්ගෙන් අහගෙන එන්න."

ඊළඟට මේ තරුණයාට බාධකයක් වෙන්නේ විශාල ගංගාවක්. හොඳ වෙලාවට යෝධ කැස්බෑවෙක් ඔහුට ගඟ තරණය කරන්න උදවු කරනවා. කැස්බෑවාගෙන් තවත් ඉල්ලීමක්.

"මම අවුරුදු පන්සීයක් තිස්සේ මකරෙක් වෙන්න උත්සාහ කරනවා. මම ඉගෙනගෙන තියෙන හැටියට මේ වෙද්දී මකරෙක් වෙන්න ඕනෑ. එහෙම නොවෙන්නේ ඇයි කියල බුදුන්ගෙන් අහගෙන එන්න."

අන්තිමට තරුණයා බුදුන් හමුවට යනවා. හැබැයි තවත් ප්‍රශ්නයකට ඔහුට එතැනදී මුහුණ දෙන්න වෙනවා.

"ඔබට කැමති ප්‍රශ්න තුනක් මගෙන් අහන්න පුළුවන්. හැබැයි තුනක් පමණයි."

දැන් ඉතිං මොකද කරන්නේ. ප්‍රශ්නම හතරක්නේ! නාහා ඉන්නේ කොයි ප්‍රශ්නෙද?

"මායාකාරයා දිව්‍යලෝකේ යන්න අවුරුදු දාහක්ම උත්සාහ කරලා තියෙනවා. කැස්බෑවා මකරෙක් වෙන්න අවුරුදු පන්සීයක්ම උත්සාහ කරලා තියෙනවා. ගොළු තරුණියට කතා කරන්න නොලැබුනොත් ජීවිත කාලයම ඈ දුක් විඳියි. මේ අයගේ ප්‍රශ්න එක්ක බැලුවහම මගේ ප්‍රශ්නය මොකක්ද?"

අන්තිමට තමන්ගේ ප්‍රශ්නය බුදුන්ගෙන් නාහා ඉන්න තරුණයා තීරණය කරනවා. (ඒ නිසා ඔහුගේ කර්මයේ නිධාන කථාව අපට දැනගන්න විදිහක් නැහැ.) ඉතිරි ප්‍රශ්න තුනට පිළිතුරු අහගෙන තරුණයා ආපසු පිටත් වෙනවා.

"ඔබට මකරෙක් වෙන්න තිබෙන බාධාව ඔබේ කටුව. එය අත් හැරිය විට ඔබ මකරෙක් වෙයි."

කැස්බෑවා කටුව අතහැර එළියට එනවා. කැස්බෑවා දැන් මකරෙක්. මකරාට දැන් පියාඹන්න පුළුවන්. කටුව ඇතුලෙ තිබුණු ඉතා වටිනා මුතු වලින් මකරාට වැඩක් නැහැ. ඒ මුතු තරුණයාට ලැබෙනවා.

"ඔබට දිව්‍ය ලෝකයට යන්න තිබෙන බාධාව ඔබේ යෂ්ඨියයි. එය බිම දැම්මොත් ඔබට දෙව්ලොව යා හැකියි. "

මායාකාරයා යෂ්ඨිය පැත්තකට දමා දෙව්ලොව යනවා. මායා යෂ්ඨිය දැන් තරුණයා සතුයි. මුතු නිසා ධනයෙනුත්, මායා යෂ්ඨිය නිසා බලයෙනුත් ඔහුට දැන් අඩුවක් නැහැ. අන්තිමට ඔහු යන්නේ ගොළු තරුණිය සිටි පෝසත් ගෙදරට.

"ඇගේ ආදරවන්තයා හමු වූ විට ඇය කතා කරයි!"

තරුණියගේ පියාට බුදුන්ගේ පිළිතුර දැනුම් දෙන පරක්කුවට තරුණිය උඩු මහළින් පහළට පැමිණෙනවා.

"පසුගිය සතියේ අපේ ගෙදර දවසක් නැවතුන තරුණයා ඔබ නේද?"

තරුණයාගේ ඉතුරු ප්‍රශ්නයත් ගොඩ. මී වදේ නරකම නැහැ!




මේ කතා දෙකේම දිගින් දිගටම අවධාරණය කෙරෙන්නේ යමක් ලබාගන්නනම් ආවස්ථික පිරිවැයක් දැරිය යුතු බවයි. ආවස්ථික පිරිවැය ඉක්මවන වාසියක් තිබෙනවානම් නිදහස් ගනුදෙනුවක් සිදුවෙනවා. එයින් ගනුදෙනුවේ සියලු පාර්ශ්වයන්ට සැලසෙන්නේ යහපතක්.

18 comments:

  1. සරල නමුත් ලොකු ගැඹුරක් ඇති කතා දෙකක්. වත්පොතේ නැති නිසා කලින් දැක්කේ නෑ. ස්තුතියි බ්ලොග් එකේ පල කලාට !

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලට වැඩි මනාපයක් තියෙන අය ඉන්නවා එහෙනම් තාමත්. අපොයි ෆේස්බුක් එකටම ගිය රට කියලයි මම හිතාගෙන හිටියේ.

      Delete
    2. [බ්ලොග් වලට වැඩි මනාපයක් තියෙන අය ඉන්නවා එහෙනම් තාමත්]

      බ්ලොග් කරුවෝ තාම ඉතිරිවෙලා ඉන්නවා. හෙහ් හෙහ්

      Delete
    3. බ්ලොග් වලට වැඩි මනාපයක් තියෙන අය ඉන්නව තමයි. ඒකයි අපි මෙහෙම කොමෙන්ට් එකක් කාරිය දාගෙන ඉන්නෙ.

      Delete
  2. දෙවැනි කතාවේ ආවස්ථික පිරිවැය කතාවක් නෑ.
    එහි කියැවෙන්නේ තම සැපතට වඩා අනෙකාගේ සැපත ගැන සිතන්නාට ස්වභාවයෙන්ම පිහිට ලැබෙන බවයි.
    මෙය යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ එන පුද්ගලවාදයට ඉඳුරා වෙනස් ආචාරධර්මයක්.

    ReplyDelete
    Replies
    1. දෙවන කතාවේ ආවස්ථික පිරිවැය ගැන සඳහන් තැන් වලින් දෙකක්:
      -මායාකාරයා (සන්නාසියා වඩා ගැලපෙන වචනයක් කියා දැන් හිතෙනවා) දෙවුලොව යෑමේ ආවස්ථික පිරිවැය ඔහුගේ යෂ්ඨියයි. යෂ්ඨියක මිල ගෙවා ඔහු දෙවුලොව යයි (රජය නමැති යෂ්ඨියේ බලයෙන් දියුණු වී දෙවුලොව යන්නට සිතා සිටින අය මේ ගැන සිතිය යුතුය) .
      -කැස්බෑවා මකරෙකු වීමේ ආවස්ථික පිරිවැය ඔහුගේ කටුවේ මිලයි (ලංකාවේ ඉබි ගමන වෙනුවට චීන මකරා මෙන් පියාඹන්නටනම් ලාංකිකයින්ද කටු අතහැර එළියට ආ යුතුය).

      Delete
    2. දෙවැනි කතාවේ ආවස්ථික පිරිවැයක් නැත්තේ අපටය. එසේ වන්නේ සිංහල බෞද්ධයින්ට එනමින් සංකල්පයක් නැති බැවිණි.

      අපේ ගෞරවනීය ඉකොනොමැට්ටා මහතා ඇමරිකානුවෙකි. ඔහුගේ දරුවන් ඊට වඩා ඇමෙරිකානුවන්ය. ඔවුන් මේ කතාව අසන්නේ (කියවන්නේ) ඉංගිරිසියෙනි. ඒ කතාවේ 'ආවස්ථික පිරිවැය' අනිවාර්‍යයෙන්ම තිබේ. (සාපේක්ෂතාවාදය !)

      සිද්ධාර්ථ ගෞතමයන්ගේ නිර්වාණාවබෝධයේ ආවස්ථික පිරිවැය රාහුල බව සිද්ධාර්ථයන් විසින්ම පවසා තිබේ. ඉතිං තව කවර කතාද !

      Delete
    3. ඉකොනොමැට්ටා කුමක් කීවත් බෞද්ධ අපට මෙය අත්හැරීම ගැන කතාවකි.

      ගිහිගෙයි කළකිරී පැවිදි වූ මුත් උදැල්ල ගැන ආසාව අතහැර ගත නොහැකිව මගපල වලට පත් වන්නට නොහැකි වූ ඒ හේතුවෙන්ම කිහිප වරක් උපැවිදි වූ ගොවි රාළගේ කතාව දන්නේ යැයි සිතමි.

      Delete
    4. ආවස්ථික පිරිවැය කියන්නෙත් අත්හැරීමම තමයි. යමෙක් හැම විටම ස්වේච්ඡාවෙන් එක් දෙයක් අතහරින්නේ තමන්ට සාපේක්ෂව ඊට වඩා වටිනා දෙයක් බලාපොරොත්තුවෙන්. ආර්ථික විද්‍යාවේදී ලාභය කියා කියන්නේ එසේ යමක් අත්හැරීම නිසා සිදුවූ අපහසුතාවය හා ලබා ගත් දේ නිසා ලැබුණු සතුට අතර වෙනසයි. ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන දෙය අතහරින දෙයට වඩා වටිනා දෙයක් කියා හිතනවානම් මිස එය එසේ නොවන්නේනම් කිසිවෙක් එය ස්වේච්ඡාවෙන් අතහරින්නේ නැහැ. "ආවස්ථික පිරිවැය" කියන වචනය දැන සිටියත් නැතත්, සංස්කෘතිය කුමක් වුවත් මිනිස්සු සාමාන්‍යයෙන් ක්‍රියාකරන්නේ ඔය විදිහටයි. මුදල් හුවමාරුවක් සිදුවුණත් නැතත් ගනුදෙනුවක හෝ තේරීමක මේ ලාභය තියෙනවා. මුදල් කියන්නේ ඒ ලාභය මනින්න යොදාගන්නා අසම්පූර්ණ නිර්ණායකයක් පමණයි. ඒ වගේම ආවස්ථික පිරිවැය කියන වචනය සාමාන්‍ය ඇමරිකානුවෙකුගේ ශබ්දකෝෂයේ තිබෙන වචනයක් හෝ ඇමරිකානුවන් නිරායාසයෙන් තේරුම් ගන්නා සංකල්පයකුත් නෙමෙයි.

      Delete
  3. කතා දෙකම අහලා නෑ, බොහොම ස්තුතියි බෙදාගත්තට. දෙවෙනි කතාව නම් දරුවෙකුට කියා දෙන්න අගෙයි.

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා,

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉදිරියේදී US ඩොලර් බිලියන 2.5 ක් ඉක්මවූ මුදල් ප්‍රමාණයක් රැස් කර ගැනීමට සැලසුම් සකස් කර ඇති බවත් මේ වන විට මහ බැංකුව සතුව පවතින නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.3 ක් බවත් ඩොලර් බිලියන 1 ක ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවක්, ඩොලර් මිලියන 250 ක් බැගින් වූ පැන්ඩා හා සමුරායි බැඳුම්කර නිකුතු දෙකක් හා චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් වෙතින් ඩොලර් බිලියන 1 ක ණය මුදලක් මගින් මෙම අරමුදල් එක්රැස් කර ගැනීමට නියමිතය.

    චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් වෙතින් බිලියන 1 ක ණය මුදල ඉදිරි සතිය තුළ ලැබෙනු ඇත.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඉදිරියේදී මුහුණ දෙන්න වෙන ගැටලුව ඉදිරි වසර ‍2-3 කොහොමද හසුරවාගන්නේ කියන කාරණය, පේන විදිහට අපි ඉන්නේ ලෝක ආර්ථික අර්බුදයක් ආරම්භයේ., අපිට තාම ඒකේ අවසානයක් පේන්න නැහැ.

    ඉරානයට එරෙහිව මීළඟ මාසයේ සම්බාධක පැනවුවාම මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද ඉකොනොමැට්ටා?

    විනිමය අනුපාතයන් වෙනස් වන සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව හෝ වෙනත් රටක ජීවත් වන සෑම කෙනෙක්ටම සිදුවනවා ඔබ ලබාගන්න බෙහෙත් වගේම ආහාර ද්‍රව්‍ය සඳහා වැඩිපුර ගෙවන්න. කොච්චර කාලයක් මේ තත්ත්වය බලපායිද ඉකොනොමැට්ටා? සමහරු කියනවා මාස කිහිපයක් වෙයි කියලා, සමහරු අනුමාන කරනවා 2020 වෙනකම් මේ තත්ත්වය පවති කියලා. කොහොම වුණත් ආර්ථිකය ආරක්ෂා කරගන්න රනිල් ක්‍රියාමාර්ග කිහිපයක් ගන්නවා.

    01. පළවෙනි තීරණය කෙටි කාලීන පියවර ගන්නවා විදේශ විනිමය රටෙන් පිටතට යාම වළක්වන්න. නමුත් අපනයන ආර්ථිකය වැඩි කරන්න සිදුවෙනවා. අපනයන ආර්ථිකය කිව්වම අපනයන භා‍ණ්ඩ පමණක් නෙමෙයි සේවාවන් පවා ඊට ඇතුළත්.

    රනිල් බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහටම ආර්ථිකය පවත්වාගෙන යන ගමන් අධ්‍යාපනයට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වියදම් සිදුකරමින් ඒවාත් අඛණ්ඩව පවත්වාගෙන යන්න.

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා,

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාවේ ණය වැඩසටහන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මීට පෙර පුරෝකථනය කළ මට්ටමට වඩා 4% ටත් වඩා 2018 වසරේදී පහළ බැසිය හැකි බව පවසයි.

    මේ බව සඳහන් කර ශ්‍රී ලංකා රජයේ බදු ආදායම අපේක්ෂා කළ මට්ටමට වඩා අඩුවී ඇති බැවින් මීළඟ අයවැය තුළින් බදු ආදායම ඉහළ නැංවීමට අවධානය යොමු කරන ලෙස ද මූල්‍ය අරමුදල ශ‍්‍රී ලංකා රජයට දන්වා ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කළ පරිදි ඉන්ධන මිල සූත්‍රය හඳුන්වාදීම පැසසුමට ලක් කරන
    මූල්‍ය අරමුදල විදුලි සැපයුම සඳහා ද කඩිනමින් මිල සූත්‍රයක් හඳුන්වා දෙන්නයි රජයෙන් ඉල්ලා සිටී.

    ReplyDelete
  6. දෙවෙනි කතාවේ තරුණයාට පූරුවේ පවෙන් ගැලවීමක් නෑ.
    එතැන් සිට ජීවිතාන්තය දක්වා අර ගොළුව සිටි තරුණියගේ ඇරියස් කතා කිරීම අහගෙන ඉන්න වෙන්න ඇති!

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...