වෙබ් ලිපිනය:

Showing posts with label වසංගතවේදය. Show all posts
Showing posts with label වසංගතවේදය. Show all posts

Saturday, October 31, 2020

පොම්පියෝ හා වෙන්ටිලේටර්


පොම්පියෝගේ ලංකා ගමනට සමාන්තරව ඇමරිකාව විසින් යාන්ත්‍රික වෙන්ටිලේටර 200ක් ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. යාන්ත්‍රික වෙන්ටිලේටරයකින් කරන්නේ පෙනහළු දුර්වල වී තිබෙන රෝගියෙකුගේ පෙනහළු යථා තත්ත්වයට පත් වන තුරු පෙනහළු තුළට යාන්ත්‍රිකව ඔක්සිජන් පොම්ප කිරීමයි. කෝවිඩ් හා වෙන්ටිලේටර අතර විශාල සම්බන්ධයක් තිබෙනවා.

කෝවිඩ් යනු පෙනහළු වලට අමතරව මොළය, හෘදය වස්තුව, වකුගඩු, අක්මා වැනි අවයව ගණනාවකටම හානි කරන රෝගයක් බව මේ වන විට පෙනී ගොස් ඇතත්, ආරම්භයේදී කෝවිඩ් සැලකුණේ පෙනහළු වලට හානි කරන, පෙනහළු ආශ්‍රිත රෝගයක් ලෙසයි. ඒ අනුව, එවකට කිසිදු ප්‍රතිකාරයක් නොතිබුණු කෝවිඩ් රෝගියෙකු මිය යාම වලක්වා ගැනීම සඳහා කළ හැකි හොඳම දෙය ලෙස පෙනෙන්නට තිබුණේ යාන්ත්‍රික වෙන්ටිලේටරයකින් දිගින් දිගටම පෙනහළු වලට ඔක්සිජන් සැපයීමයි. චීනයේ වුහාන් වලත්, විශේෂයෙන්ම ඉන්පසුව ඉතාලියේත් බොහෝ මරණ සිදු වුනේ ප්‍රමාණවත් තරම් වෙන්ටිලේටර නොතිබුණු නිසා බව මුලදී තිබුණු අදහසයි.

අප්‍රේල් මැද වන විට ඇමරිකාවේ රෝහල් පද්ධතිය සතුව යාන්ත්‍රික වෙන්ටිලේටර 95,000කුත්, ඇමරිකන් රජයේ ජාතික සංචිතයේ තවත් යාන්ත්‍රික වෙන්ටිලේටර 10,000කුත් තිබුණා. ඇමරිකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳව මාර්තු මුලදී ඇස්තමේන්තු කර තිබුණු ආකාරයට මෙම වෙන්ටිලේටර ප්‍රමාණය අවශ්‍ය සියළු රෝගීන් සඳහා ප්‍රමාණවත් නොවිය හැකිව තිබුණා. වෙන්ටිලේටර නොමැතිකමින් බොහෝ කෝවිඩ් රෝගීන් මිය යාමට තිබුණු ඉඩකඩ පිළිබඳව බොහෝ දෙනෙකු කණස්සල්ලෙන් හිටියා. ඇමරිකාව ජනගහණයට සාපේක්ෂව ලෝකයේ වැඩිම රෝහල් පහසුකම් ඇති රටක් වුවත්, ඇතැම් අය ඇස්තමේන්තු කළේ රෝහල් පහසුකම්ද ප්‍රමාණවත් නොවනු ඇති බවයි.

දේශපාලන ප්‍රකාශයක් වුවත්, ජනාධිපති ට්‍රම්ප් විසින් මාර්තු මාසයේදී ප්‍රකාශ කර සිටියේ වෙන්ටිලේටර අවශ්‍ය වන කිසිදු ඇමරිකානුවෙකු වෙන්ටිලේටර නැතිකමින් මිය නොයනු ඇති බවයි. ඒ වන විට ඇමරිකානු නිෂ්පාදකයින් සතු ධාරිතාව අනුව වසරක් තුළදී නිෂ්පාදනය කළ හැකි වූයේ වෙන්ටිලේටර 29,000ක් පමණයි. එහෙත්, ඇමරිකන් රජය විසින් වෙන්ටිලේටර 200,000 පමණ දක්වා ප්‍රමාණයක් අවශ්‍යතාවය පරිදි මිල දී ගැනීමට ගත් තීරණයත් සමඟ ෆෝර්ඩ්, ජීඑම්, ටෙස්ලා වැනි මෝටර් රථ නිෂ්පාදකයින්ද වෙන්ටිලේටර නිෂ්පාදනයට අත ගැසුවා. 

කෙසේ වුවත් ක්ෂණිකව වෙන්ටිලේටර නිෂ්පාදනය ඉහළ දැමීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ සඳහා අවම වශයෙන් මාස ගණනක් ගත වෙනවා. ඊට පෙර කෝවිඩ් වේගයෙන් පැතිරී බොහෝ දෙනෙකුට වෙන්ටිලේටර අවශ්‍ය විය හැකිව තිබුණා. ඇමරිකාවේ ප්‍රාන්ත යම් ප්‍රමාණයකට "වසා දමමින්" වසංගත වක්‍රය පැතලි කිරීමේ එක් අරමුණක් වුණේ වෙන්ටිලේටර ඇතුළු අනෙකුත් සෞඛ්‍ය පහසුකම් ඉහළ නංවා ගන්නා තුරු කල් ගැනීමයි. 

ඇමරිකාව ගත් විවිධ ක්‍රියාමාර්ග නිසා වසංගත වක්‍රය හිතුවාටත් වඩා පැතලි වුනා. වක්‍රය පැතලි කළ විට රෝගීන් ප්‍රමාණය හෝ කොහොමටත් මිය යන ප්‍රමාණය අඩු වෙන්නේ නැතත්, රෝහල් පහසුකම් නැතිකමින් මිය යන ප්‍රමාණය අඩු වෙනවා. කෝවිඩ් රෝගීන් නිසා ඇමරිකාවේ රෝහල් ධාරිතාව ඉක්මවා ගියේ හෝ හෝ වෙන්ටිලේටර මදි වුනේ නැහැ. 

අනෙක් පැත්තෙන් කෝවිඩ් ප්‍රතිකාරයක් ලෙස යාන්ත්‍රික වෙන්ටිලේටර යොදා ගැනීම එතරම් ඵලදායී වුනේ නැහැ. වෙන්ටිලේටර වලට දැමූ බොහෝ රෝගීන් මිය ගොස් තිබෙනවා. ඊට සාපේක්ෂව ඖෂධ ප්‍රතිකාර වඩා සාර්ථක ප්‍රතිඵල අත් කර දී තිබෙනවා. මේ වන විට කෝවිඩ් ප්‍රතිකාරයක් ලෙස ඇමරිකාවේ අනුමත කර තිබෙන, වෙක්ලරි (Veklury) නමින් වෙළඳපොළට එන රෙම්ඩෙසිවිර් (remdesivir) ඖෂධය බොහෝ කෝවිඩ් ආසාදිතයින්ට ඉක්මණින් සුව වීමට උපකාරී වී තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප්ට ලබා දුන්නේද මෙම ඖෂධයයි.

එක පැත්තකින් යාන්ත්‍රික වෙන්ටිලේටර හිතූ තරම් අවශ්‍ය නොවීමත්, අනෙක් පැත්තෙන් රජය සමඟ අත්සන් කළ ගිවිසුම් අනුව වෙන්ටිලේටර නිෂ්පාදනය විශාල ලෙස ඉහළ යාමත් නිසා මේ වෙද්දී ඇමරිකන් රජය සතු ජාතික සංචිතයේ යාන්ත්‍රික වෙන්ටිලේටර ලක්ෂයක් පමණ ගොඩ ගැසී තිබෙනවා. එහෙත්, ලෝකයේ බොහෝ රටවල තවමත් ප්‍රමාණවත් තරම් යාන්ත්‍රික වෙන්ටිලේටර නැහැ. ඇතැම් රටවල තිබෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු යාන්ත්‍රික වෙන්ටිලේටර ප්‍රමාණයක්.

ඇමරිකාව සතු නිෂ්පාදන ධාරිතාවේ වාසිය ලබමින්, ඇමරිකන් රජය විසින් මේ වන විට USAID හරහා ලෝකයේ රටවල් ගණනාවකට යාන්ත්‍රික වෙන්ටිලේටර ප්‍රදානය කර තිබෙනවා. ඉන්දුනීසියාවට හා දකුණු අප්‍රිකාවට යාන්ත්‍රික වෙන්ටිලේටර 1000ක් බැගින් පරිත්‍යාග කිරීමට පොරොන්දු වී එයින් කොටසක් දැනටමත් ලබා දී තිබෙන අතර, රුසියාව, ඉන්දියාව, ලංකාව, පකිස්ථානය, නයිජීරියාව, කෙන්යාව, කොලොම්බියාව, බොලීවියාව ආදී රටවලට වෙන්ටිලේටර 200 බැගින්ද,  මාල දිවයිනට 60ක්ද ඊජිප්තුවට හා පේරු රාජ්‍යයට 250 බැගින්ද, ගෝතමාලාවට, මොසැම්බික් රාජ්‍යයට හා කොංගෝවට 50 බැගින්ද, හොන්ඩියුරාස් රටට හා රුවන්ඩාවට 100ක් බැගින්ද, හයිටියට 37ක්ද, එල් සැල්වදෝරයට 408ක්ද, මෙක්සිකෝවට 211ක්ද, ආදී වශයෙන් මේ වන විට ඇමරිකාව යාන්ත්‍රික වෙන්ටිලේටර විශාල ප්‍රමාණයක් ලෝකයේ විවිධ රටවලට ප්‍රදානය කර තිබෙනවා.

මගේ ඇස්තමේන්තුව අනුව ලංකාව සතුව තිබූ යාන්ත්‍රික වෙන්ටිලේටර ප්‍රමාණය 500-600 අතර ප්‍රමාණයකට වඩා වැඩි විය නොහැකියි. ඒ අනුව, තවත් වෙන්ටිලේටර 200ක් එකතු වෙනවා කියන්නේ රටේ හදිසි ප්‍රතිකාර සේවා ධාරිතාවේ සැලකිය යුතු වෙනසක්. මේ වෙන්ටිලේටර කෝවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය නොවුනත්, පෙනහළු ආශ්‍රිත රෝග වලින් සෑම වසරකදීම විශාල පිරිසක් මියයන ලංකාවේ එම මරණ සෑහෙන ප්‍රමාණයක් වලක්වා ගැනීමට මේ වෙන්ටිලේටර උපකාරී වෙයි.

මේ වෙන්ටිලේටර ප්‍රදානයත් ඇමරිකන් කුමන්ත්‍රණයක්ද? තාමනම් කවුරුත් එහෙම කියල තියෙනවා දැක්කේ නැහැ. 

(Image: https://lk.usembassy.gov/the-united-states-donates-200-ventilators-to-support-sri-lankas-response-to-covid-19/)


පොකුරු පොකුරු ඈ එන මග...


මේ වෙද්දී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය අවසන් අදියරට පැමිණ ඇති බව පෙනෙනවා. රජය විසින් කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දරමින් සිටියත්, වෛරසය මේ වෙද්දී රජයේ පාලනයෙන් නිදහස් වී අවසන් බව පැහැදිලියි. අලුත්ම පොකුර මුලින් බ්‍රැන්ඩික්ස් පොකුර නමින්ද, පසුව මිනුවන්ගොඩ පොකුර ලෙසින්ද හැඳින්වුවා. පසුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරු බවට පත් වෙලා තිබෙනවා. මේ පොකුරු කතාවට තව දුරටත් තේරුමක් තිබෙයි කියා හිතන්න අමාරුයි.

ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳව මා වරින් වර "අනාවැකි" පළකර තිබෙනවා. එහෙත්, ලංකාව සම්බන්ධව මා එවැනි අනාවැකි පළ කළේ නැහැ. ඇතැම් අය ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳ විවිධ පුරෝකථන කරද්දී මා එසේ නොකළාක් මෙන්ම එසේ නොකිරීමට හේතුවද පැහැදිලි කර තිබෙනවා.

කෝවිඩ් වැනි වසංගතයක් පැතිරෙන ආකාරය පිළිබඳව සෑහෙන තරම් නිවැරදි ලෙස අනාවැකි කිව හැකියි. මෙවැනි වසංගතයක් පැතිරෙන ආකාරය පුරෝකථනය කරන්නේ වසංගතවේදයේ ආකෘති අනුසාරයෙනුයි. එම ආකෘති සකස් කර තිබෙන්නේ යම් නිශ්චිත උපකල්පන මතයි. උපකල්පන නිවැරදි වන තරමට ආකෘතිය යොදාගෙන කරන පුරෝකථනද නිවැරදියි.

ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල කෝවිඩ් පැතිරෙන්නේ මෙවැනි ආකෘතියකින් පුරෝකථනය කර හැකි තරම් "නිශ්චිත" රටාවකට කියන එක පෙන්වා දෙන්න ගොඩක් තාක්ෂණික කරුණු කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පහත ප්‍රස්ථාර දෙස බැලූ විට ඕනෑම කෙනෙකුට එවැනි රටාවක් ඇති බව පැහැදිලිව පෙනෙනවා. 


ඇමරිකාවෙන් දිනකට හමුවන කෝවිඩ් රෝගීන් ප්‍රමාණය මාර්තු මැද සිට සති තුනක පමණ කාලයක් ක්‍රමයෙන් ඉහළ ගියා. ඉන් පසුව, ජූනි මැද දක්වා ටිකෙන් ටික අඩු වුනත් එතැන් සිට ජූලි මැද දක්වා නැවතත් ක්‍රමයෙන් වැඩි වුනා. ජූලි මැද සිට දෙමසක පමණ කාලයක් කෝවිඩ් ව්‍යාප්තිය අඩු වුනත්, සැප්තැම්බර් මැද සිට නැවතත් වැඩි වෙමින් තිබෙනවා. මේ අනුව දැන් යන්නේ තෙවන චක්‍රය කියා කිව හැකියි.


ඇමරිකාවේ රටාවෙන් වෙනස්ව ඉන්දියාවේ කෝවිඩ් වසංගත වක්‍රය අප්‍රේල් මැද සිට මාස පහක් පමණ එක දිගටම ඉහළ ගියා. සැප්තැම්බර් මැද සිට එම ප්‍රවණතාව ආපසු හැරවී තිබෙනවා.

ඇමරිකාවේ හෝ ඉන්දියාවේ වසංගත වක්‍රයේ හැසිරීම ආකෘතියක් ඇසුරෙන් පහසුවෙන් පැහැදිලි කරන්න පුළුවන්. වසංගතරෝග විද්‍යාඥයින් විසින් පසුගිය මාර්තු මාසයේදීම ඇමරිකාවේ වසංගත වක්‍රයේ හැසිරීම නිවැරදිව පුරෝකථනය කළා. එයින් අදහස් වෙන්නේ මිය යන ප්‍රමාණය හෝ ආසාදිතයින් ප්‍රමාණය හරියටම පුරෝකථනය කළා කියන එක නෙමෙයි. එවැනි දේ ආකෘතියක පරාමිතීන් වෙනස් වන විට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අප පෙර පැහැදිලි කර දී තිබෙන R0 අගය එවැනි පරාමිතියක්. 

ආකෘතියක පරාමිතීන් වෙනස් වන විට එය යොදාගෙන කරන පුරෝකථනද වෙනස් වෙනවා. මේ පරාමිතීන් ඇස්තමේන්තු කරන්න වෙන්නේ අනුභූතික දත්ත අනුසාරයෙන්. මිනිසුන්ගේ හැසිරීම් වෙනස් වන විට R0 අගය වැනි පරාමිතීන්ද වෙනස් වෙනවා. එහෙත්, එසේ වුනා කියා ආකෘති අහක දාන්න අවශ්‍ය නැහැ. මිරිස් කොටන මෝලේම කොත්තමල්ලිත් කොටන්න පුළුවන්.

එකම ආකෘතිය යොදාගත්තත් විවිධ රටවල් හා අදාළව ආකෘතියකින් පෙන්වන්නේ එකම ප්‍රතිඵලය නෙමෙයි. එයට හේතුව ආකෘති වල ආදාන සේ යොදාගන්නා පරාමිතීන් රටින් රටට වෙනස් වීමයි. එකම රටකට වුවත් එකම පරාමිතීන් හැමදාටම වලංගු වන්නේ නැහැ. කෙසේ වුවත්, ලංකාව සඳහා මෙතෙක් මෙවැනි සම්මත ආකෘතියක් යොදා ගැනීම කළ නොහැකි වුනේ ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය මෙතෙක් සිදු වුනේ වසංගත ව්‍යාප්තිය පැහැදිලි කරන SIR ආකෘතියට හෝ එහි ව්‍යුත්පන්න ආකෘතියකට ගැලපෙන ආකාරයෙන් නොවූ නිසයි.

ඉතාම මූලික මට්ටමේ SIR ආකෘතියකදී අහඹු ලෙස හමුවන ඕනෑම පුද්ගලයෙක් ආසාදිතයෙක් විය හැකියි. එහෙත්, කලාතුරකින් මිස මෙතෙක් ලංකාවෙන් එසේ අහඹු ලෙස ආසාදිතයින් හමු වුනේ නැහැ. ඔවුන් හමු වුනේ පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් අතරින්. ඇතැම් අය ලංකාවේ කෝවිඩ් සමාජ පැතිරීමක් නැති බව දිගින් දිගටම කිවුවේ මේ පදනමෙන්.

ඕනෑම අහඹු පුද්ගලයෙක් ආසාදිතයෙක් විය හැකියි කියන එක ඉතාම සරල SIR ආකෘතියකදී කරන උපකල්පනයක් පමණයි. සැබෑ ලෝකයේ එය එසේම වෙන්නේ නැහැ. ඇතැම් අය ආසාදිතයින් වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම මූලික මට්ටමේ SIR ආකෘතියකදී ඕනෑම අහඹු පුද්ගලයෙකුට වෙනත් ඕනෑම පුද්ගලයෙකු අහඹු ලෙස හමු විය හැකි බව උපකල්පනය කරනවා. සැබෑ ලෝකයේ එසේ වෙන්නේ නැහැ. 

මූලික මට්ටමේ වසංගත විද්‍යා පාඨමාලාවකදී මුලින්ම උගන්වන්නේ මෙවැනි සරල SIR ආකෘතියක් වුවත්, ඒ තරම්ම සරල ආකෘති ප්‍රායෝගිකව භාවිතා කරන්නේ නැහැ. වඩා සංකීර්ණ ආකෘතියක පරාමිතීන් වැඩි ප්‍රමාණයක් තිබෙනවා. කෙසේ වුවත්, එවැනි වඩා සංකීර්ණ ආකෘතියක් වුවත් සැබෑ ලෝකයේ ඇත්තටම රෝගය පැතිරෙන ආකාරයට වඩා ගොඩක් සරලයි. හයේ හතේ පන්ති වලදී පරාවර්තනය හෝ වර්තනය ඉගැන්වීම සඳහා ආලෝකය සරල රේඛීයව ගමන් කරන සේ සැලකීම ප්‍රමාණවත්. ඒ වගේම රෝගය පැතිරෙන ආකාරය ගැන අදහසක් ගන්න මේ ආකෘති ප්‍රමාණවත්.

ඇමරිකාව හෝ ඉන්දියාව වැනි රටක් ගත්තත් ඕනෑම අහඹු පුද්ගලයෙකු කෝවිඩ් ආසාදිතයෙකු වෙන්න තිබෙන සම්භාවිතාව සමාන නැහැ. එය විවිධ කරුණු ගණනාවක් මත වෙනස් වෙනවා. ඒ වගේම, මේ වෙද්දී වුනත් ඇමරිකාවේ කෝවිඩ් පැතිරෙන්නේ පොකුරු විදිහටයි. බොහෝ විට කෝවිඩ් පරීක්ෂාව කර ගන්න යන්නේ ආසාදිතයෙකු සමීපව ඇසුරු කළ අයයි. එහෙත්, රට පුරා මෙවැනි පොකුරු විශාල ප්‍රමාණයක් තිබෙන නිසා ඕනෑම අහඹු පුද්ගලයෙකු කෝවිඩ් ආසාදිතයෙකු වෙන්න පුළුවන් කියන උපකල්පනය මත ගොඩ නගපු ආකෘති වැඩ කරනවා.

සමාජ පැතිරීම හා පොකුරු පැතිරීම කියන්නේ ඉරක් ගහලා වෙන් කරන්න පුළුවන් තත්ත්වයන් දෙකක් නෙමෙයි. පොකුරු විදිහට පැතිරුණත් එය සමාජ පැතිරීමක්ම තමයි. වඩා වැදගත් වෙන්නේ ආකෘතියක් යොදාගෙන තේරුම් ගත හැකි තරමට පැතිරීමක් වෙලාද කියන එකයි. මගේ අදහස අනුව මේ වෙද්දී ලංකාව ඒ තත්ත්වයට අවතීර්ණ වෙලා.

ලංකාව ආරම්භයේ සිට කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත්තා. මේ ක්‍රියාමාර්ග හරහා කෝවිඩ් ව්‍යාප්තිය සෑහෙන දුරකට පාලනය කළ හැකි වුනා. එහෙත්, මේ පාලනය කොයි වෙලාවක හෝ ගිලිහීමේ අවදානම මුල සිටම තිබුණා. දැන් එය සිදු වී තිබෙනවා.

කෝවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් හොයාගෙන නිරෝධායන මධ්‍යස්ථානයක සති දෙකක් තියාගත් විට ඔවුන්ට කෝවිඩ් වැළඳී තිබුණානම් බොහෝ විට සති දෙක තුළ රෝග ලක්ෂණ මතු වෙනවා. ඒ නිසා, බාහිර සමාජයේ වෙනත් අයට වෛරසය ආසාදනය වීම පාලනය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. ලංකාවේ රජය දිගින් දිගටම කළේ මෙයයි.

මේ ක්‍රමයේ වූ ගැටළුව ආසාදිතයෙකු නොවූ අයෙකුට නිරෝධායන මධ්‍යස්ථානයේදී කෝවිඩ් ආසාදනය වීමේ ඉඩක් තිබීමයි. එය සිදු වුනේ සති දෙකක කාලය අවසන් වන දිනයේදීනම් රෝග ලක්ෂණ මතු වන්නේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිට වී සති දෙකකට පසුවයි. යම් හෙයකින් එවැන්නෙකු රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයෙකු වී තවත් අයට වෛරසය ආසාදනය කළේනම් එවැනි ආශ්‍රිතයෙකු රෝග ලක්ෂණ පෙන්වන්න මාසයක් පමණ ගත විය හැකියි. ලංකාවේ කෝවිඩ් මර්දන ක්‍රමවේදය අනුව සමාජයේ අහඹු පුද්ගලයෙකු ආසාදිතයෙකු වීනම් ඒ බව එකවර දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඕනෑම මොහොතක රටේ කොහෙන් හෝ කෝවිඩ් පොකුරක් හමු වීමේ අවදානම දිගටම තිබුණා. එසේ නොවීම වාසනාවක්.

දැන් කරුණු හොයාගෙන තිබෙන විදිහට කොරෝනා පොකුරට යුක්‍රේන සම්භවයක් ඇති බව කියනවා. සම්භවය කුමක් වුවත් මේ වෙද්දී කෝවිඩ් රටවටා පැතිරී අවසන්. ආසාදිතයින් සියලු දෙනාගේම ආශ්‍රිතයින් සොයමින් නිරෝධායනය කිරීම තව දුරටත් කළ හැකි බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා, ලංකාවේ රජය විසින් මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය තව දුරටත් වැඩ කරන එකක් නැහැ. 

පසුගිය සති තුනක පමණ දත්ත අනුව අපට පෙනී යන්නේ සම්මත වසංගතවේද ආකෘතියක් යොදාගත හැකි තරමේ පැතිරීමක් මේ වන විට ලංකාවේ සිදු වී ඇති බවයි. අපගේ ප්‍රාර්ථනාව නොවුනත් ඉදිරි කාලය ලංකාවට හොඳ කාලයක් වන එකක් නැහැ.




Sunday, October 25, 2020

කෝවිඩ් හටන


වර්ඩෝමීටර්ස් දත්ත අනුව පෙරේදා (ඔක්තෝබර් 23) දින ඇමරිකා එක්සත් ජනපදයෙන් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 81,414ක්. එම ප්‍රමාණය මෙතෙක් දිනකදී එක්සත් ජනපදයෙන් හමු වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි. එදිනම ලංකාවෙන් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 866ක්. එම ප්‍රමාණය මෙතෙක් දිනකදී ලංකාවෙන් හමු වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි. 

කෝවිඩ්-19 සමස්ත මිනිස් ප්‍රජාව මුහුණ දී සිටින පොදු ප්‍රශ්නයක්. තරඟය තිබෙන්නේ අදාළ රෝගකාරක වෛරසය හා හෝමෝ සේපියන්ස්ලා අතර මිස ලෝකයේ එක් එක් රටවල් අතර නෙමෙයි. ඒ නිසා, කෝවිඩ්-19 හා අදාළව ලෝකයේ රටවල් සංසන්දනය කිරීමේ තේරුමක් තිබෙන්නේ තර්ජනයට මිනිස් ප්‍රජාව සේ පොදුවේ මුහුණ දීමේදී වඩා සාර්ථක ක්‍රමවේදයන් හඳුනාගැනීමේ අරමුණින් පමණයි.

කෝවිඩ්-19 තර්ජනයට ලෝකයේ විවිධ රටවල ආණ්ඩු ප්‍රතිචාර දැක්වූයේ විවිධ ආකාර වලින්. එම ප්‍රතිචාර වල අදාළ ආණ්ඩු වල දේශපාලනය දැකගත හැකි වුනා. එහෙත්, ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් "වැරදි තීරණ" ගත්තේ නැහැ. හැම ආණ්ඩුවක් විසින්ම ගත්තේ ඔවුන්ගේ විශ්ලේෂණ හැකියාවන්ට සාපේක්ෂව නිවැරදිම තීන්දු. මේ විශ්ලේෂණ වලදී එක් රට හා අදාළ සුවිශේෂී භූගෝලීය, සමාජයීය, ආර්ථික, සංස්කෘතික, දේශපාලන කරුණු සැලකිල්ලට ගැනුණා. ඒ සාධක වෙනස් වූ ආකාරය අනුව විවිධ රටවල ප්‍රතිචාරද වෙනස් වුනා. එය එසේ සිදුවීම නරක දෙයක් නෙමෙයි. 

කෝවිඩ්-19 තර්ජනයට ප්‍රතිචාර දැක්වීමේදී ඉහත සාධක වල වෙනස්කම් වගේම කෝවිඩ්-19 හා අදාළ දැනුමේ සීමාවන්ද බලපෑම් කළා. වසංගතය පැතිරුණු මුල් කාලයේදී ඒ පිළිබඳව තිබුණේ සීමිත දැනුමක්. මේ දැනුම තවමත් සීමිත වුවත්, මුල් කාලයේදී තරම්ම සීමිත නැහැ. වසංගතය පිළිබඳ දැනුම වඩා සීමාකාරී වන තරමට වැඩිපුර "කණාපල්ලන්" ගහන්න වෙනවා. මේ විදිහට කණාපල්ලන් ගැහීමේදී වාස්තවික කරුණු වලට වඩා තීරණ ගන්නා අයගේ පෞද්ගලික මතිමතාන්තර ඉස්මතු වෙනවා. ඒ පෞද්ගලික මතිමතාන්තර වෙනස්වන ආකාරය අනුව විවිධ රටවල ප්‍රතිචාරද වෙනස් වෙනවා. එහෙත්, රෝගය පිළිබඳ දැනුම පුළුල් වෙද්දී වඩා නිවැරදි ප්‍රතිචාර හඳුනා ගැනීම පහසු වෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය වැනි විශාල රටක පොදු වශයෙන් බලපාන තීරණ ගැනීමේදී ලංකාව වැනි රටකට සාපේක්ෂව වැඩි පිරිසක් මැදිහත් වෙනවා. අවිනිශ්චිත තත්ත්වයන් යටතේ වුවත්, වැඩි පිරිසකගේ දායකත්වයෙන් ගන්නා තීරණ නිවැරදි වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ඊට සාපේක්ෂව තනි පුද්ගලයෙකු විසින් ගන්නා තීරණ වැරදෙන්න වැඩි ඉඩක් තිබෙනවා.

බලය කියා කියන්නේ ඕනෑම රටක ආණ්ඩුවකට වටිනාම දෙයක්. ආණ්ඩුවක් ජනප්‍රියයි කියා කියන්නේ ඒ ආණ්ඩුව සතු බලය වැඩියි කියන එකයි. ඒ නිසා ආණ්ඩුවකට ජනප්‍රිය විය හැකි දේ කරන්නත්, ජනප්‍රිය නොවන දේ නොකරන්නත් ස්වභාවික නැඹුරුවක් තිබෙනවා. 

කෝවිඩ්-19 නිසා රටක මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මැරෙද්දී කිසිම ආණ්ඩුවක ජනප්‍රියත්වය ඉහළ යන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවක් සතු බලය දුර්වල වෙනවා මිසක් වඩා ශක්තිමත් වෙන්නේ නැහැ. සමාජවාදී වේවා, ධනවාදී වේවා, ප්‍රජාතන්ත්‍රවාදී වේවා, ඒකාධිපති වේවා, ඕනෑම රටක ආණ්ඩුවක්, ඕනෑම රටක පාලකයෙක් එම රටේ කෝවිඩ්-19 පැතිරෙන එක වලක්වා ගත හැකිනම් එය නොකර ඉන්නේ නැහැ. හැම රටකම වගේ ආණ්ඩු කෝවිඩ්-19 හමුවේ තම තම නැණ පමණින් කළ හැකි දේ කර තිබෙනවා. ඒ කළ දේවල් හා කළ දේවල් වල ප්‍රතිඵල රටින් රටට වෙනස් වීම වෙනම කරුණක්.

චීන ආණ්ඩුවට හමු වුනු කෝවිඩ්-19 සතුරා හිටියේ රට ඇතුළේ. ඒ වෙද්දී චීනයෙන් පිටත කෝවිඩ්-19 තිබුණේ නැහැ. ඒ නිසා, චීනයට තිබුණේ පැහැදිලි, නිශ්චිත ඉලක්කයක්. චීනය මුලින්ම සතුරාව වට කරලා ඉන් පසුව සතුරා හඹා ගොස් පහර දී විනාශ කළා. 

ඒ වන විටත් සතුරු කණ්ඩායම් චීන ආණ්ඩුවේ ඉදිරි ආරක්ෂක වළල්ල කඩා ගෙන එළියට ගිහින් තිබුණා. එහිදී චීන ආණ්ඩුව විසින් කළේ සතුරා සිටිය හැකි වඩා විශාල ප්‍රදේශයක් වට කරලා ඉතිරි ප්‍රදේශ බේරගන්න එකයි. මධ්‍යගත පාලනයක් තිබෙන විශාල රටක් වීම මෙහිදී චීනයේ වාසියට හිටියා.

චීනය කෝවිඩ්-19 තුරන් කරලා නැහැ. තවමත් වරින් වර චීනයෙන් කෝවිඩ්-19 රෝගීන් හමු වෙනවා. එසේ හමු වෙන අවස්ථා වලදී ඉක්මණින් සතුරා හඳුනාගෙන, සතුරා හඹා ගොස් පහර දී විනාශ කිරීම චීනය විසින් තවමත් සාර්ථකව කරමින් සිටිනවා.

ඇමරිකාව ඇතුළු ලෝකයේ අනෙක් හැම රටකටම වගේ මුහුණ දෙන්න වුනේ වෙනස් ආකාරයක ප්‍රශ්නයකට. සතුරා හිටියේ රටින් පිට. ඒ නිසා, චීනය මෙන් වට කර පහර දීම වෙනුවට තමන්ගේ මායිම් ආරක්ෂා කර ගැනීමයි කළ යුතු වුණේ. ලංකාව කළේත්, ඇමරිකා එක්සත් ජනපදය විසින් කළේත් මෙයයි.

මේ කාර්යයේදී එක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළකින් (ප්‍රායෝගිකව) පමණක් ලෝකය හා සම්බන්ධ වී සිටි කුඩා දූපත් රාජ්‍යයක් වූ ලංකාවට හා අයිස්ලන්තය, නවසීලන්තය, සීෂෙල්ස් වැනි වෙනත් දූපත් රාජ්‍ය වලට තිබුණු භූගෝලීය වාසිය ඇමරිකා එක්සත් ජනපදයට තිබුණේ නැහැ. ඒ වගේම, රෝගය ගැන ලෝකය දැන ගන්නා අවස්ථාව වන විටත් කෝවිඩ්-19 ඇමරිකාවට ඇතුළු වී අවසන්.

ලංකාවේ ඇතැම් අය ඇමරිකාවට විරුද්ධව චීනයේ පැත්ත අරගෙන කුලියට කහින නමුත් ඇමරිකාව හා චීනය අතර තිබෙන ආර්ථික වගේම සංස්කෘතික සම්බන්ධතාත් ලංකාව හා චීනය අතර තිබෙන එම සම්බන්ධතා වලට වඩා කිහිප ගුණයකින් ප්‍රබලයි. චීනයෙන් පිටත චීනයේ ඉපදුණු පුද්ගලයින් වැඩිම ප්‍රමාණයක් ජීවත් වන රට ඇමරිකා එක්සත් ජනපදයයි. හොංකොං වල සිටින චීන ප්‍රධාන භූමියේ ඉපදුනු ප්‍රමාණය පවා ඊට අඩුයි. 

ඇමරිකාවට එන විදේශ සිසුගහණයෙන් තුනෙන් එකක්ම එන්නේ චීනයෙන්. චීන ජාතිකයින් සරණාගතයින් සේ වැඩිපුරම එන්නේත් ඇමරිකාවටයි. ඇමරිකාවෙන් පිටතට යැවෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් හතරෙන් එකක් යන්නේ චීනයට. චීන අපනයන වලින් පහෙන් එකක්ම මිල දී ගන්නේ ඇමරිකාවයි.

කාලයක් ලංකාවේ රාජ්‍ය නායකයින් ඇමරිකාව ඇතුළු බටහිර රටවල හයිය අරගෙන ඉන්දියාවට චණ්ඩි පාට් දැම්මා. එහෙත්, බටහිර රටවල් ඉන්දියාවේ වෙළඳපොල අමතක කර ලංකාවේ පැත්ත ගත්තේ නැහැ. චීනය ගැන කියන්න තියෙන්නේත් ඔය ටිකම තමයි. චීනය ලංකාවට කෑම මේසයේ වැදගත් තැනක් දුන්නත් ඒ තැන කරපිංචා වලට ලැබෙන තැනයි. ඇමරිකාවේ පමණක් නෙමෙයි ඉන්දියාවේ වෙළඳපොළ පවා වැඩි කල් නොයා චීනයට ලංකාවට වඩා වැදගත් වෙනවා.

චීනය පැත්තකට තියලා ලංකාවේ කෝවිඩ් වලට එමු. ලංකාව මුලදීම පිටින් රටට කෝවිඩ් එන එක පාලනය කරගත්තා. ඉන් පසුව, රට ඇතුළේ කෝවිඩ් සතුරා සිටින තැන් හඹා ගොස් වටකර පහර දුන්නා. වටකර කියා කිවුවත් අත් අඩංගුවට ගෙන පොලීසියේදී පහර දුන්නා කියන එක වඩා නිවැරදියි. මේ ක්‍රියාදාමය ඇතුළේ සතුරාට පහර දීමටත් වඩා ප්‍රමුඛ වුනේ සැක කටයුතු සතුරන් අත් අඩංගුවට ගැනීමයි.

නිරෝධායන මධ්‍යස්ථාන නමින් ලංකාවේ ආණ්ඩුව විසින් කළේ මහත මිනිස්සු එකතු කර කර රේල්පාරට තල්ලු කරන එකයි. මෙය නිරීක්ෂණයක් මිසක් විවේචනයක් නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ කැමැත්ත එයනම්, වැඩෙත් කෙරෙනවානම් විවේචනය කරන්න පදනමක් නැහැනේ.

වෙනත් පිරිසකගේ ජීවිත බේරාගැනීම සඳහා ආණ්ඩුව විසින් තමන්ව බිලි දෙනවාට කවුරුවත් කැමති වෙන්නේ නැහැ. එහෙත්, එහෙම අකැමැති වුනා කියා තනි පුද්ගලයෙකුට කළ හැකි දෙයක් නැහැ. ආණ්ඩුවේ බලය හමුවේ ඇස් දෙක පියාගෙන ට්‍රොලිය කිසියම් ආශ්චර්යයකින් තමන්ව යට නොකර බේරන තුරු බලා ඉන්නවා හැර වෙනත් කළ හැකි දෙයක් මහත මිනිහාට නැහැ. 

ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක ආණ්ඩුවකට මේ වගේ දෙයක් කරන්න බැහැ. හඬක් නැති මහත මිනිහා වෙනුවෙන් කතා කරන්න තවත් බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙනවා. එසේ කරන්නේ පෞද්ගලික නිදහස කියන සටන් පාඨය අරගෙන. හැබැයි බටහිර රටක ආණ්ඩුවකට ලීවරය ඇදලා ට්‍රොලිය අතුරු මාර්ගයකට හරවන්න පුළුවන්. ඒ වැඩෙන් වෙන්නෙත් පැත්තක ඉන්න කෙනෙක් මැරෙන එක. මේ වගේ වෙලාවකත් විවේචන ආවත් ඒ විවේචන ආණ්ඩුවේ ක්‍රියාවට බාධාවක් වෙන්න තරම්ම ප්‍රබල නැහැ. 

කෝවිඩ්-19 හමුවේ ආණ්ඩුවකට වැඩි දෙනෙකුගේ යහපත වෙනුවෙන් සුළු පිරිසක් බිල්ලට දෙන්න තිබෙන අයිතිය පිළිගන්නවානම්, උපයෝගීතාවාදී පදනමකින් බැලුවහම ලීවරය අදින එක නිවැරදි වෙන්නත්, මහත මිනිස්සු හොය හොයා නිරෝධායන කඳවුරු වල ගාල් කරන එක වැරදි වෙන්නත් තර්කානුකූල හේතුවක් නැහැ. මේ වගේ වෙලාවක හරි වැරැද්ද තීරණය වෙන්නේ බහුතර මතය අනුව. බහුතර මතය වෙනස් වන ආකාරය අනුව කිසියම් රටක ලොක්ඩවුන්, ඇඳිරි නීති, නිරෝධායන කඳවුරු ආදී ඕනෑම උපාය මාර්ගයක් හරි හෝ වැරදි වෙන්න පුළුවන්. 

ලංකාව අනුගමනය කළ නිරෝධායන කඳවුරු ක්‍රමය නිසා රටේ බොහෝ දෙනෙකුගේ කෝවිඩ්-19 අවදානම විශාල ලෙස අඩු වුනා. එහි මිල ගෙවන්න වුනේ එම කඳවුරු වල ගාල් වූ සුළු පිරිසකට. මගේ විශ්වාසය අනුව මේ නිරෝධායන කඳවුරු වලින් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් සැලකිය යුතු පිරිසකට වෛරසය අසාදනය වෙන්න ඇත්තේ එම කඳවුරකදී. ඉතාලියෙන් හා ඉන්දියාවෙන් ආ කණ්ඩායම් වල සිට හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනාම ඒ රටවලින් කෝවිඩ්-19 අරන් ආ අය කියා මම හිතන්නේ නැහැ. 

ලංකාවේ නිරෝධායන කඳවුරක් මම පෞද්ගලිකව නිරීක්ෂණය කරලා නැහැ. ඒ කඳවුරකදී එක් අයෙකුගෙන් වෙනත් අයෙකුට කෝවිඩ්-19 බෝවෙන්න විදිහක් නැහැ කියලා තර්ක කරන අය ඉන්න පුළුවන්. එහෙත්, කන්දකාඩු පොකුරෙන් පසුව එවැනි තර්කයකට වලංගු භාවයක් නැහැ.

නිරෝධායන කඳවුරු ක්‍රමය හරි හෝ වැරදිද කියන එක සදාචාරාත්මක ප්‍රශ්නයක්. පිළිතුර විෂයමූලිකයි. එහෙත්, මේ ක්‍රමය හා සමස්තයක් ලෙස ලංකාවේ කෝවිඩ් මර්දන ක්‍රමවේදය ඵලදායීද කියන එක විෂයමූලික නොවී සලකා බැලිය හැකි කරුණක්. මේ ක්‍රමය මෙතෙක් කල් ලංකාවට වැඩ කළා. එය තව දුරටත් එසේම වැඩ කරයිද?


Saturday, October 24, 2020

විස්ස දිනුවත් දහනවය පරාදද?


විස්ස නම් කොහොම හරි ගොඩ දාගත්තනේ. කොහොම හරි කිවුවත් කවුරුවත් නොහිතපු අමුතු දෙයක් වුනේ නැහැ. ආණ්ඩුව විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේ එය ඉන්තේරුවෙන්ම දිනන්න පුළුවන් බව දැනගෙන, එහෙමත් නැත්නම්, දිනන්න පසුබිම හදාගෙන බව, පොඩි හෝ දේශපාලන අවබෝධයක් තියෙන කෙනෙක් සැක කළා කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම ඒ තත්ත්වය වෙනස් කිරීමේ කිසිදු හැකියාවක් අදාළ සංශෝධනයට විරුද්ධ වූ ජවිපෙ හෝ සජබ වැනි පක්ෂ වලට තිබුණේ නැහැ. එහෙම පුළුවන්කමක් තිබුණානම් ඒ ආණ්ඩුව ඇතුළේම තිබුණු ප්‍රතිවිරෝධතා වල උදවුවෙන් පමණයි. එහෙත්, ඒ ප්‍රතිවිරෝධතා බොහොමයක් ලෙමන් පෆ් එකකින් ගහලා කඩන්න පුළුවන් තරමේ සබන් බෝල පමණක් වූ බවත් මුල සිටම පෙනෙන්න තිබුණු කරුණක්.

විස්ස ගැන ලියන්න ඕනෑ තරම් දේවල් තිබුණත් ඒ කිසිම දෙයක් ලියන එකේ කිසිම තේරුමක් තිබුණේ නැහැ. ඒ නිසා, චචන නාස්ති කරගන්න ගියේ නැහැ. කොහොම හරි දැන් විස්ස පාස්නේ. ඒ කියන්නේ දහනවය ෆේල්. 

එක දහනවයක් පරාද කළත් ජය පැන් සමරන්නවත් ඉඩක් නොතියා දැන් ආණ්ඩුවට තවත් දහනවයක් කරදර කරන්න පටන් අරන්. ඒ කෝවිඩ්-19. ආණ්ඩුවට අනුව "සමාජගත වෙලා" කියන එකේ අර්ථ දැක්වීම මොකක් වුනත් දැන් කෝවිඩ්-19 ආසාදිතයින් ලංකාව හැම තැනින්ම වගේ හමු වෙන්න පටන් අරන්. 

කෝවිඩ්-19 ලෝක වසංගතයක්. වෛරසය පැතිරෙන්නේ ජාති, ආගම්, ජාතිකත්ව, දේශපාලන මතවාද, රැකියා, අධ්‍යාපන මට්ටම්, ආදායම් මට්ටම් ආදිය බල බල නෙමෙයි. එහෙත්, රෝගය පැතිරෙන්නේ මේ කිසිවක් නොතකමින් තනිකරම අහඹු ලෙස කියා කියන්නත් බැහැ. වසංගතය පැතිරීමට ඉහත සාධක වලද යම් බලපෑමක් තියෙන්න පුළුවන්. ජාති, ආගම්, ජාතිකත්ව, දේශපාලන මතවාද, රැකියා, අධ්‍යාපන මට්ටම්, ආදායම් මට්ටම් ආදිය අනුව මිනිස්සුන්ගේ හැසිරීම් වෙනස් වෙනවා. කෝවිඩ්-19 පැතිරෙන ආකාරයට මිනිසුන්ගේ හැසිරීම් බලපානවා. ඊට අමතරව කිසියම් ආසාදිතයෙකුට කෝවිඩ්-19 නිසා ඇතිවන බලපෑම ප්‍රධාන වශයෙන්ම වයස හා ශරීරයේ බර ඇතුළු තවත් කරුණු ගණනාවක් මත වෙනස් වෙනවා.

මේ වන තුරු කිසිම රටක් කෝවිඩ් වලින් නිදහස් වී නැහැ. එහෙත් හැම රටක් වගේම කෝවිඩ් යම් තරමකින් පාලනය කරගෙන තිබෙනවා. ඒ කොපමණකින්ද කියන එක සංකීර්ණ කරුණු ගණනාවක් මත තීරණය වී ඇති දෙයක්. ආණ්ඩු වල මැදිහත්වීමේ ප්‍රමාණය ඒ කරුණු අතරින් එකක් පමණයි.

කෝවිඩ් පාලනය කිරීම සඳහා විවිධ රටවල ආණ්ඩු විවිධ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. මේ ඇතැම් ක්‍රියාමාර්ග දැඩි ක්‍රියාමාර්ග ලෙසත් තවත් ඒවා සාපේක්ෂව ලිහිල් ක්‍රියාමාර්ග ලෙසත් හඳුන්වන්න පුළුවන්. චීනය හා ලංකාව වැනි රටවල් රජයයන් මුල් වී දැඩි ක්‍රියාමාර්ග ගත් රටවල් සේ සැලකිය හැකියි. ස්වීඩනය වැනි රටවල් අනුගමනය කළේ සාපේක්ෂව බොහෝ ලිහිල් ක්‍රමවේදයක්. එහිදී රජය මුල් වී දැඩි නීති පනවනු වෙනුවට පුද්ගල විනය කෙරෙහි වැඩි විශ්වාසයක් තබා කටයුතු කළා.

කෝවිඩ්-19 පැතිරෙද්දී ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා බ්‍රසීලය වැනි රටවල රාජ්‍ය බලය හෙබවූයේ බොහෝ දෙනෙකු "දක්ෂිණාංශික" සේ හඳුන්වන දේශපාලන පක්ෂ විසිනුයි. මේ රටවල රාජ්‍ය නායකයින්, "වාමාංශික" පක්ෂ බලය හෙබවූ ජර්මනිය හා නවසීලන්තය වැනි වෙනත් බටහිර රටවල රාජ්‍ය නායකයන්ට සාපේක්ෂව කෝවිඩ්-19 ඒ තරම් ගණන් ගත්තේ නැහැ. ජනාධිපති ට්‍රම්ප්ට, අගමැති බොරිස් ජොන්සන්ට හා ජනාධිපති බොල්සොනාරෝට කෝවිඩ්-19 ආසාදනය වී සුවවීම අහම්බයන් සේ සැලකීමට බැරිකමක් නැතත් ඒ අහම්බයන් ඔවුන්ගේ දේශපාලන මතවාද වලින් වියුක්තයැයි සලකන්න බැහැ.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා බ්‍රසීලය යන රටවල් තුනම කෝවිඩ්-19 මරණ අනුපාතය අනුව (ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස) ලැයිස්තුවේ ඉහළින් සිටින රටවල්. බොහෝ විට මෙහි වරද මේ රටවල් පාලනය කළ ආණ්ඩු වලට බැර කෙරෙනු දැකිය හැකියි. ආණ්ඩු වල බලපෑමක් නැතැයි කිව නොහැකි වුවත් එය එකම සාධකය නෙමෙයි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා බ්‍රසීලය වැනි රටවල දක්ෂිණාංශික ආණ්ඩු බලයට පත් වී සිටින්නේ එම රටවල බහුතර ජනතාව හෝ අඩු වශයෙන් ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් දක්ෂිණාංශික අදහස් දැරූ නිසයි. මේ ජනමතය කෝවිඩ් වසංගතය පැතිරීමෙන් පසුව වෙනස් වී තිබිය හැකි වුවත්, වසංගතය පැතිරෙද්දී එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. අදාළ රටවල රාජ්‍ය නායකයින්ගෙන් නිරූපණය වුනේ එම රටවල විශාල පිරිසක් හිතන ආකාරයයි. 

මේ රටවල් අතරින් මා වැඩිපුර දන්නා ඇමරිකාවේ බොහෝ දෙනෙකු කෝවිඩ්-19 පිට දමා රටේ මිනිස් ජීවිත හැසිරවීමේ ලීවරය ආණ්ඩුව අතට ගන්නවාට කැමැත්තෙන් හිටියේ නැහැ. කාලයක් තිස්සේ ආණ්ඩුවේ රූකඩ සේ ජීවත් වීමට මිනිස්සුන්ව පුරුදු කර තිබෙන චීනය හෝ සිංගප්පූරුව වැනි රටක ආණ්ඩුවකට කළ හැකි දේ බටහිර රටක ආණ්ඩුවකට කළ නොහැකියි. මේ කරුණ "වාමාංශික" සේ සැලකෙන ආණ්ඩුවක් බලයේ සිටින ජර්මනිය වැනි රටකට වුවත් සාධාරණ ප්‍රකාශයක්.

ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයට බලය තිබුණු ප්‍රාන්ත කෝවිඩ්-19 හමුවේ රිපබ්ලිකන් පක්ෂයට බලය තිබුණු ප්‍රාන්ත වලට සාපේක්ෂව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රාන්ත වල වසංගතයේ ව්‍යාප්තිය මන්දගාමී වුනා. එහෙත්, එම ප්‍රාන්ත වසංගතයේ ව්‍යාප්තිය සීමා කිරීමට සමත්ව නැහැ. යුරෝපයේ රටවල් අතරින් සෑහෙන තරමකින් සාර්ථකව වසංගතය පාලනය කළ සේ සලකනු ලැබූ ජර්මනියේත් මේ වෙද්දී නැවතත් කෝවිඩ්-19 පැතිරෙනවා.

දැඩි ක්‍රියාමාර්ග හරහා කෝවිඩ්-19 පාලනය කරගත් රටක් ලෙස දැනට හඳුනාගත හැක්කේ චීනය පමණයි. චීනය විසින් මුලදීම කළේ උපයෝගීතාවාදී පදනමකින් ජීවිත පහක් බේරා ගැනීම සඳහා මහත මිනිහාව දුම්රිය මාර්ගයට තල්ලු කරන එකයි. එසේ නොවේනම් අවම වශයෙන් වැඩිදුර නොහිතා ක්ෂණිකව ලීවරය ඇද අතුරු මාර්ගයට ට්‍රොලිය හරවන එකයි. එයට සාපේක්ෂව බොහෝ බටහිර රටවල් විසින් කළේ අතුරු මාර්ගයේ සිටින පුද්ගලයාවත් බේරාගෙන ඉතිරි ජීවිත පහ බේරාගන්නා ආකාරය ගැන සැලසුම් හදමින් කල් ගැනීමයි. 

පසුගිය ඔක්තෝබර් 8 දින දක්වා චීනයේ සිදු වී ඇති කෝවිඩ් මරණ 4,634කින් 4,512ක්ම සිදුව තිබෙන්නේ හුබෙයි ප්‍රාන්තයේ. එයින්ද මරණ 3,869ක්ම සිදුව තිබුණේ මිලියන 11.1ක ජනගහණයක් සිටින වුහාන් ආශ්‍රිතවයි. වුහාන් ආශ්‍රිතව කෝවිඩ් පැතිරෙද්දී, චීන ආණ්ඩුව විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී අදාළ ප්‍රදේශය ලොක් ඩවුන් කළා. මෙහිදී චීනය විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ගය වූයේ මිලියන 1400ක් ඉක්මවන රටේ සෙසු ප්‍රදේශ වල සිටින ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා වුහාන් වල සිටින සීමිත ජනගහණය බිල්ලට දීමයි. 

මේ ක්‍රියාමාර්ගය නොවන්නට වුහාන් වල ජීවත් වූ පිරිස් "පණ බේරා ගැනීම" සඳහා ප්‍රදේශයෙන් පිටතට සංක්‍රමණය වීමත්, ඒ හරහා රට පුරා වසංගතය ව්‍යාප්ත වීමත් සිදු විය හැකිව තිබුණා. චීන ආණ්ඩුව විසින් ගත් ක්ෂණික ක්‍රියාමාර්ගය නිසා එක පැත්තකින් වුහාන් වැසියන්ට පණ බේරා ගන්න තිබුණු අවස්ථාව අහිමි වෙද්දී වුහාන් වලින් පිට සිටි අයගේ අවදානම අඩු වුනා.

කෙසේ වුවත්, ඒ වන විටත් වුහාන් වලින් පිටතට වසංගතය පැතිරී තිබුණා. ඒ නිසා චීනයට වුහාන් ඇතුළත් හුබෙයි ප්‍රාන්තයම ලොක් ඩවුන් කරන්න සිදු වුනා. 

දැන් අප දන්නා පරිදි කෝවිඩ්-19 මරණ අනුපාතය කලින් සිතා සිටියාට වඩා බෙහෙවින්ම අඩු වුවත්, ආරම්භයේදී මේ ප්‍රතිශතය 2% පමණ සේ ඇස්තමේන්තු කර තිබුණා. ඒ වගේම, ඇස්තමේන්තු කර තිබුණු R0 අගය අනුව රෝගය ස්වභාවිකවම පාලනය වීම සඳහා මුළු ජනගහණයෙන් 50%කට පමණවත් රෝගය වැළඳිය යුතුව තිබුණා. මේ අනුව, උපරිම වශයෙන් ජනගහණයෙන් 1%ක් පමණ මේ වසංගතයෙන් මිය යා හැකිව තිබුණා. 

මිලියන 11ක වුහාන් ජනගහණයෙන් 1%ක් කියා කියන්නේ 110,000ක පිරිසක්. දැනට ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබෙන කෝවිඩ්-19 මරණ ප්‍රමාණය මේ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩියි. බ්‍රසීලයේ හා ඉන්දියාවේ මරණ ප්‍රමාණද මීට වඩා වැඩියි. සමස්ත චීනයේම ජනගහණය අනුව බැලුවොත් මේ මරණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට 76ක පමණ ප්‍රමාණයක්. එය චීනයට දැනෙන මරණ ප්‍රමාණයක් නෙමෙයි. 

අනෙක් අතට මේ මරණ ප්‍රමාණය උපරිම සීමාවක්. සංචරණය සීමා කර R0 අගය පහත හෙළිය හැකි නිසා ජනගහණයෙන් 50%කට රෝගය ව්‍යාප්ත වන තුරු රෝගය පැතිරෙන්නේ නැහැ. චීන රජයට බය නැතිව ලීවරය අදින්න පුළුවන් වුනේ මේ සියළු තත්ත්වයන් එක්කයි.

විශාල ජනගහණයක් සිටින විශාල රටක් වන චීනයට තිබෙන සියළු වාසි ලංකාව වගේ පොඩි රටකට නැහැ. අනෙක් අතට ලංකාවට දූපතක් වීමේ වාසිය තිබෙනවා. කෙසේ වුවත්, දූපතක් වීමේ වාසිය තිබෙන්නේ යම් සීමාවක් තුළ පමණයි. දූපතකට පිටතින් කෝවිඩ් පැමිණීමේ අවදානමින් බේරී ඉන්න පුළුවන් වුනත්, රට ඇතුළේ කෝවිඩ් පැතිරුනොත් ඉතා ඉක්මණින් වසංගතය රට පුරා ව්‍යාප්ත වීමේ අවදානම එසේම තිබෙනවා.

(Image: https://www.cagle.com/tom-janssen/2020/03/corona-and-goliath)


Thursday, August 27, 2020

වරක් හැදුනත් ගැලවුමක් නැද්ද?


කෝවිඩ්-19 වරක් ආසාදනය වූ අයට නැවතත් එම වෛරසය ආසාදනය වී ඇති බවට වූ වාර්තා වරින් වර පළ වුණත් මේ වාර්තාවන්හි විශ්වාසනීයත්වය පිළිබඳව ප්‍රශ්න තිබුණා. රෝගය සුව වීමෙන් පසුවත් වෛරසයේ ශේෂ වූ කොටස් (හෝ අදාළ ක්‍රියාවලිය තුළ හැදෙන ද්‍රව්‍ය) කාලයක් සිරුරේ රැඳී තිබෙන නිසා මෙසේ දෙවන වරට ආසාදනය වී ඇති සේ හඳුනා ගැනෙන්නේ සැබෑවටම දෙවන වරට සිදු වූ ආසාදනයක් නොවීමට ලොකු ඉඩක් තිබීම ඊට හේතුවයි. 

කෝවිඩ්-19 වරක් ආසාදනය වූ අයෙකුට නැවතත් එම වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට හොංකොං සරසවියේ පර්යේෂක කණ්ඩායමක් විසින් පළමු වරට තහවුරු කර තිබෙනවා. දෙවන වරට වෛරසය ආසාදනය වී තිබෙන්නේ පළමු වරට ආසාදනය වී දින 142කට පසුවයි. 

මෙසේ දෙවන වරටද වෛරසය ආසාදනය වී තිබෙන්නේ අවුරුදු 33ක හොංකොං වැසියෙකුටයි. ඔහු පළමු ආසාදනය සිදු වන විට මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිටි අයෙක්. පළමු වරට ඔහුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන්නේ පසුගිය මාර්තු 23 වනදා. මාර්තු 26 වනදා ඔහු රෝහල්ගත වී තිබෙන අතර පරීක්ෂණ දෙකකින්ම කෝවිඩ්-19 සුව වී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුව අප්‍රේල් 14 වනදා ඔහු රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මේ පුද්ගලයාට දෙවන වරටද කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව හඳුනා ගැනෙන්නේ අගෝස්තු 15 වනදා හොංකොං ගුවන් තොටුපොළේදීයි. ඒ ස්පාඤ්ඤ සංචාරයකින් පසුව එක්සත් රාජධානිය හරහා නැවත සියරට පැමිණෙන අවස්ථාවේදී. මේ අනුව, ඔහුව රෝහල් ගත කර ඇතත් පළමු වර මෙන් ඔහුට කැස්ස, උණ, හිසරදය හා උගුර ආසාදනය ආදී රෝග ලක්ෂණ පහළ වී නැහැ. 

දෙවන ආසාදනය පළමු ආසාදනයට සම්බන්ධ නැති අලුත් ආසාදනයක් බව තහවුරු කර ගැනීම පහසු වී තිබෙන්නේ ඔහු දෙවන වර ආසාදනයට ගොදුරු වී තිබෙන්නේ විදේශ සංචාරයක යෙදෙද්දී වීම නිසයි. ජෙනෝම විශ්ලේෂණය මගින් තහවුරු කරගෙන තිබෙන පරිදි, දෙවන ආසාදනයට හේතු වී තිබෙන වෛරසය ස්පාඤ්ඤයේ පැතිරෙන, හොංකොංහි මුලින් පැතිරුණු වෛරස ප්‍රභේදයෙන් වෙනස් එකක්.

ඉහත පර්යේෂණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බෙල්ජියම හා නෙදර්ලන්තය වැනි වෙනත් රට වලින්ද මෙවැනි දෙවන ආසාදනයන් පිළිබඳව තොරතුරු හෙළිදරවු වෙමින් පවතිනවා.

මේ වන විට ලොව පුරා හඳුනාගෙන තිබෙන කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය මිලියන 24කට වඩා වැඩියි. ඒ අනුව, එක පැත්තකින් බැලූ විට මෙසේ දෙවන වරට ආසාදනය වූ පුද්ගලයින් කිහිප දෙනෙකු හමු වී ඇතත් එය ඉතා දුලබ සිදු වීමක්. එමෙන්ම, මෙසේ දෙවන වරට ආසාදනය වූ පුද්ගලයින් විසින් මුල් වර මෙන් රෝග ලක්ෂණ පෙන්වා නොතිබීමද සැනසිල්ලට කරුණක්. ඩෙංගු වැනි ඇතැම් රෝග දෙවන වරට ආසාදනය වූ විට තත්ත්වය පළමු ආසාදනයට සාපේක්ෂව වඩා දරුණු වන නමුත් මෙහිදී පෙනෙන්නට තිබෙන්නේ එහි අනෙක් පැත්තයි.

අනෙක් පැත්තෙන් බැලූ විට, ගුවන් තොටුපොළ හරහා හොංකොං වෙත පැමිණෙන පුද්ගලයින් පරීක්ෂාවට ලක් නොකරන්නට මේ පුද්ගලයාව ආසාදිතයෙකු සේ හඳුනා ගැනෙන්නේ නැහැ. එමෙන්ම, පළමු වර මෙන් කිසිදු රෝග ලක්ෂණයක් පහළව නොතිබූ නිසාත්, වරක් ආසාදනය වී සුව වී සිටි නිසාත් අඩු වශයෙන් ඔහු හෝ තමන් ආසාදිතයෙකු බව සැක කරන්නේ නැහැ. එසේ වුවත් ඔහු රෝග වාහකයෙක්. ගුවන් තොටුපොළේදී පරීක්ෂා කර හඳුනා නොගැනෙන්නට එවැන්නෙකු විසින් තවත් බොහෝ පිරිසකට රෝගය බෝ කළ හැකිව තිබුණා.  

Sunday, July 12, 2020

කෝවිඩ් නැත්තේ කොහේද?



මේ වන විට ලෝකය පුරා කෝවිඩ් ආසාදිතයින් මිලියන 13ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. සෑම දිනකම තවත් ලක්ෂ දෙකකට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් මේ ගණනට එකතු වෙනවා. ලංකාවත් මේ වෙද්දී කන්දකාඩුවෙන් පටන් ගත්  කොරෝනා පොකුර මර්දනය කර ගැනීම සඳහා වෙර දරමින් සිටිනවා. එය වැලිසර පොකුර පාලනය කළ තරම් පහසු වන එකක් නැහැ. එහෙත්, කළ නොහැක්කක් නෙමෙයි.

ලෝකයම කෝවිඩ් සමඟ සටන් කරමින් සිටින මේ මොහොතේ තවමත් කෝවිඩ් වලින් බේරී සිටින රටවල් තිබේද? ඒ මොනවාද?

උතුරු කොරියාව- මිලියන 25.6ක ජනගහණයක් සිටින උතුරු කොරියාව මුලින්ම කෝවිඩ් වසංගතය ආරම්භ වූ චීනයටත්, ඉන් පසුව වසංගතය පැතිරුණු දකුණු කොරියාවටත්, මේ වන විට වේගයෙන් කොරෝනා පැතිරෙන රුසියාවටත් මායිම් වී ඇති රටක් වුවත් නිල සංඛ්‍යාලේඛණ අනුව මෙතෙක් උතුරු කොරියාවෙන් කෝවිඩ් ආසාදිතයින් කිසිවකු හමු වී නැහැ. කවුරුත් දන්නා පරිදි උතුරු කොරියාව ඒකාධිපති සමාජවාදී පාලනයක් පවත්වා ගෙන යන ලෝකයෙන් වෙන්ව සිටින රටක්. දේශපාලනික හේතු මත ලෝකයෙන් වෙන්ව සිටීම මේ අවස්ථාවේදී උතුරු කොරියාවට වාසියක් වී ඇති බව පෙනෙනවා.

තුර්ක්මේනිස්ථානය- මිලියන 6ක ජනගහණයක් සිටින තුර්ක්මේනිස්ථානය මේ වන විට වේගයෙන් කොරෝනා පැතිරෙන ඉරානයට හා කසකස්ථානයට මායිම් වී ඇති මධ්‍යම ආසියානු රටක්. එහෙත්, නිල සංඛ්‍යාලේඛණ අනුව මෙතෙක් තුර්ක්මේනිස්ථානයෙන් කිසිදු කෝවිඩ් රෝගියෙකු හමු වී නැහැ. පැරණි සෝවියට් සංගමයේ සාමාජිකයෙකු වූ තුර්ක්මේනිස්ථානය සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසුව මේ වන විට තුර්ක්මේනිස්ථානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලෙස නම් කර ඇති තුර්ක්මේනිස්ථානු කොමියුනිස්ට් පක්ෂය යටතේ පාලනය වන, ලෝකයේ වඩාත්ම මර්දනකාරී රාජ්‍යයක් සේ සැලකෙන රටක්. උතුරු කොරියාව තරමටම නැතත් තුර්ක්මේනිස්ථානයද බොහෝ දුරට ලෝකයෙන් හුදෙකලාව සිටින රටක්. ඊට අමතරව ඉතා අඩු ජන ඝනත්වයක් ඇති රටක් වීමේ වාසියද තුර්ක්මේනිස්ථායට තිබෙනවා.

සොලමන් දූපත්- පැපුවා නිව්ගිනියාවට නැගෙනහිරින් පිහිටි 655,000ක පමණ ජනගහණයක් ජීවත් වන දූපත් රාජ්‍යයක්. කෝවිඩ් වසංගතය ආරම්භයේදීම දේශ සීමා වසා දමමින් රටට වෛරසය ඇතුළු වීම වලක්වා ගැනීමට සමත් වුනා. මේ වන තුරු වෛරසයෙන් බේරී සිටිනවා.

වන්වාතු- ජනගහණය 305,000ක් පමණ වන වන්වාතු සොලමන් දූපත් වලට නැගෙනහිරින් පිහිටි තවත් දූපත් රාජ්‍යයක්. පසුගිය මාර්තු අවසන් සතියේ සිට වන්වාතු දූපත් රාජ්‍යයද හදිසි තත්ත්වයක් දිගටම පවත්වා ගනිමින් කෝවිඩ් උවදුර රටට ඇතුළු වීම මෙතෙක්  වලක්වාගෙන සිටිනවා.

සමෝවා- ජනගහණය 202,000ක් වන පැසිෆික් සාගර මධ්‍යයේ පිහිටි දූපත් රාජ්‍යයක්. පෙබරවාරි මාසයේ සිටම රටට පැමිණෙන්නන් දැඩි ලෙස පාලනය කරමින් සිටිනවා. තවමත් කෝවිඩ් වලින් තොර රටක්.

කිරිබාස්- ලෝකයේ හරි මැද පිහිටි රටක් ලෙස සැලකිය හැකි කිරිබාස් දිවයින පැසිෆික් සාගරය මැද පිහිටි කුඩා දිවයිනක්. ජනගහණය 122,000ක් පමණ. හුදෙකලා භූගෝලීය පිහිටීමේ වාසිය ලබමින් කිරිබාස් දිවයින කෝවිඩ් සතුරාගෙන් තවමත් බේරී සිටිනවා.

මයික්‍රෝනීසියාව- ජනගහණය 105,000ක් පමණ සිටින, පැපුවා නිවුගිනියාවට උතුරෙන් පිහිටි සිංගප්පූරුවට වඩා මඳක් කුඩා දූපත් රාජ්‍යයක්. මාර්තු මැද පමණ සිට රටට ඇතුළු වන විදේශිකයින් අනිවාර්යයෙන්ම නිරෝධායනයට ලක් විය යුතු වූ අතර රටේ නිරෝධායන පහසුකම් ධාරිතාව සීමා වන අවස්ථා වලදී විදේශිකයින් පැමිණීමද සීමා කළා.

ටොංග- පැසිෆික් සාගරයේ ජාත්‍යන්තර දින රේඛාව ආසන්නයේ පිහිටි තවත් දූපත් රාජ්‍යයක්. ජනගහණය ලක්ෂයකට මඳක් වැඩියි. සිංගප්පූරුවට වඩා මඳක් විශාල රටක්. රටට ඇතුළු වීමට ඉඩ ලැබෙන්නේ කෝවිඩ් වලින් තොර වෙනත් රටක දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වීමෙන් පසුව පමණයි.

මාෂල් දිවයින්- පැසිෆික් සාගරය මැද හුදෙකලාව පිහිටි, ජනගහණය 58,000ක් වන දූපත් රාජ්‍යයක්. තවමත් කෝවිඩ් රකුසාගෙන් ගැලවී සිටිනවා.

පලාව්- ජනගහණය 18,000ක් පමණ. ලෝකයේ ජනගහණය අඩුම රටවල් හතරෙන් එකක්. තවමත් කෝවිඩ් වලින් තොර රටක්.

නවුරූ- මාෂල් දිවයින් වලට දකුණින් පිහිටි කුඩා දිවයිනක්. ජනගහණය 11,000ක් පමණයි. ලෝකයේ කුඩාම හා ජනගහණය අඩුම රටවල් තුනෙන් එකක්. තවමත් කෝවිඩ් වලින් බේරී සිටිනවා.

ටූවලූ- ජනගහනය 10,200ක් පමණයි. වතිකානුව හැරුණු විට ලෝකයේ ජනගහණය අඩුම රට. ලෝකයේ කුඩාම රටවල් හතරෙන් එකක්. කෝවිඩ් වෛරසය තවමත් මේ කුඩා රාජ්‍යයට ඇතුළු වීමට සමත් වී නැහැ.

බටහිර සහරාව- වර්ඩෝමීටර් අනුව බටහිර සහරාවෙන් මේ වන විට කෝවිඩ් රෝගීන් 10 දෙනෙකු හමු වී තිබෙනවා. එහෙත්, බටහිර සහරාව ලෙස හඳුන්වන රට කුමක්ද කියන එක මතභේදාත්මක කරුණක්. බටහිර සහරාව ලෙස පොදුවේ හැඳින්වෙන බිම්කඩෙන් තුනෙන් දෙකක් පමණ තිබෙන්නේ මොරොක්කෝවේ පාලනය යටතේ. මොරොක්කෝව විසින් සලකන්නේ බටහිර සහරාව මොරොක්කෝවේ කොටසක් ලෙසයි. සහරාවී අරාබි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙසින් හඳුන්වා ගන්නා බටහිර සහරාවේ නැගෙනහිර බිම් තීරුව පොලිසාරියෝ පෙරමුණ විසින් පාලනය කරනවා. බටහිර සහරාවෙන් මෙතෙක් හමු වී ඇති කෝවිඩ් රෝගීන් සියලු දෙනාම හමු වී තිබෙන්නේ මොරොක්කෝ පාලනය යටතේ ඇති බටහිර කොටසින්. නැගෙනහිර කොටසින් තවමත් කිසිදු කෝවිඩ් රෝගියෙකු හමු වී නැහැ.

Saturday, July 11, 2020

දෙවන පොකුර


ලංකාවෙන් නැවතත් කොරෝනා "පොකුරක්" මතු වෙලා. මීට පෙර මේ විදිහට කොරෝනා පොකුරක් මතු වුනේ වැලිසර නාවික හමුදා කඳවුරෙන්. මේ වන විට එම පොකුර පාලනය වී තිබෙනවා.

මා කොරෝනා ගැන මෙහි ලියන්නේ කොරෝනා කෝවිඩ් නමින් බෞතීස්ම කරන්නත් පෙර සිටයි. මගේ ලිපි දිගටම කියවූ අය දන්නා පරිදි හා නොකියවූ අයට දැනටත් කියවා තහවුරු කර ගත හැකි පරිදි මා කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ පිළිගත් ආකෘති, කොරෝනා පරීක්ෂාවන් ගැන හා කොරෝනා එන්නත් වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහි විස්තර කර තිබෙනවා. බොහෝ විට එසේ කර තිබෙන්නේ තාක්ෂණික කරුණු මත හා දත්ත මත පදනම්වයි.

මෙහි මා වරින් වර ලෝකයේ විවිධ රටවල කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ පුරෝකථනයන් සිදු කර තිබෙනවා. පුරෝකථනයන් හැම විටම නිවැරදි වෙන්නේ නැහැ. එහෙත්, අහඹු අනුමාන වලට වඩා නිසි ආකෘතියක් යොදාගෙන කරන පුරෝකථන නිවැරදියි. ඇමරිකාව කොරෝනා ආසාදිතයින් වැඩිම රටක් වන බව මා සටහන් කළේ එසේ වීමට ගොඩක් කලිනුයි. දැන් ඇමරිකාවට පසුපසින් සිටින බ්‍රසීලය, ඉන්දියාව හා රුසියාව ගැන ලිවුවේත් ගොඩක් කලින්. ඒ ආකාරයටම මෙක්සිකෝව හා දකුණු අප්‍රිකාව වේගයෙන් ලැයිස්තුවේ උඩට එමින් සිටින බව දැන් අපහසුවකින් තොරව කියන්න පුළුවන්.

ලෝකයේ විවිධ රටවල් ගැන මෙවැනි පුරෝකථන කළත් මා ලංකාව ගැන මෙවැනි පුරෝකථන කර නැහැ. එහෙත්, වෙනත් අය වරින් වර එවැනි පුරෝකථන සිදු කර ඇති බව පෙනෙන්නට තිබෙනවා. මා ලංකාව ගැන පුරෝකථන සිදු නොකළේ පැහැදිලි හේතුවක් ඇතුවයි.

ලංකාවේ කොරෝනා ගැන මා සිංහල අවුරුදු දින ලියූ ලිපියක් මෙහි පහත තිබෙනවා.

ලංකාවේ කොරෝනා

එම ලිපියේ මා ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය අදියර තුනකට වෙන් කළා. තෙවන අදියර ලෙස මා සැලකුවේ කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසු කාලයයි. එම ලිපිය අවසන් වුනේ මේ විදිහටයි.

"මේ කරුණු අනුව පෙනෙන්නේ දිනකට හමුවන රෝගීන් ප්‍රමාණය ස්ථාවර මට්ටමක තබා ගැනීමටනම් දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් එළෙසම පවත්වා ගත යුතු බවයි. රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ උපක්‍රම ලිහිල් කළහොත් ඉතා ඉක්මනින් තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. යම් හෙයකින් කටුනායක ඇරියොත්නම් වහාම ප්‍රශ්නය උග්‍ර වන බව පැහැදිලියි. ඒ වගේම දැනට කරන සියලු කටයුතු එක දිගටම එළෙසම කළත් ආසන්න දිනයකදී අලුත් රෝගීන් හමු වීම මුළුමනින්ම අවසන් වේයැයි හිතන්න අමාරුයි."

නාවික හමුදා පොකුර මතු වුනේ මේ ලිපිය ලිවීමෙන් අනතුරුවයි. ඒ අවස්ථාවේදී බොහෝ දෙනෙක් කලබල වුනත් මා ඒ ගැන එතරම්ම කලබල වුනේ නැහැ. දැන් අලුතෙන් තවත් පොකුරක් හමු වී තිබියදීත් මා එතරම් කලබල වෙන්නේ නැහැ. මගේ විග්‍රහය අනුව ලංකාව තවමත් තිබෙන්නේ ඉහත ලිපියේ සඳහන් කළ තෙවන අදියරේ.

මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ විවෘත කර ඇතත් තවමත් කොරෝනා ව්‍යාප්තිය හා අදාළ පාලකය රජයේ හස්තයෙන් ගිලිහී නැහැ. මානුෂිකව ඉතා සංවේදී කරුණක් වුවත් මැද පෙරදිග හිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ලංකාවේ රජයේ ස්ථාවරය තේරුම් ගන්න වෙන්නේත් මේ සන්දර්භය ඇතුළේ සිටයි. ලංකාවේ රජයේ උපක්‍රමය වී තිබෙන්නේ කෝවිඩ් ආසාදිතයින් සේ සැක කළ හැකි පිරිස රජයට සමීපව නිරීක්ෂණය කළ හැකි තරමට සීමා කර ගැනීමයි.

මුල සිටම කෙසේ වෙතත් අඩු වශයෙන් කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමෙන් පසුව ලංකාවේ රජයේ කෝවිඩ් මර්දන උපක්‍රමය වුනේ කෝවිඩ් ආසාදිතයින් වීමේ විභවයක් ඇති අය කලින් හඳුනා ගැනීමයි. ලංකාවේ පැවති හා තවමත් පවතින තත්ත්වයන් යටතේ මෙය සාර්ථක උපක්‍රමයක්. මෙය සාර්ථක උපක්‍රමයක් කියා මා කියන්නේ හේතු කිහිපයක් මත පදනම්වයි.

පළමුව, ලංකාවට කෝවිඩ් පරීක්ෂාවන් සිදු කළ හැකි සීමාවක් තිබෙනවා. මහා පරිමාණයෙන් අහඹු පරීක්ෂා සිදු කිරීමේ ආර්ථික ශක්තියක්, තාක්ෂනය හෝ මානව සම්පත් ලංකාවට නැහැ.

දෙවනුව, ලංකාවේ රජයේ මධ්‍යගත පාලනය යටතේ පුළුල් හා සංවිධානාත්මක නිරීක්ෂණ යාන්ත්‍රණයක් තිබෙනවා. මෙයට මහජන සෞඛ්‍ය විෂයද ඇතුළත්. මේ යාන්ත්‍රනය පොදු අරමුදලින් කොහොමටත් නඩත්තු කෙරෙන නිසා මේ වෙලාවේ ඒ වෙනුවෙන් අමුතු වියදමක් දරන්න වෙන්නේ නැහැ. මහජන සෞඛ්‍යය හා අදාළව කටයුතු කරන රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස් වලට අමතරව ලංකාවේ රජයට බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක සේවා නිලධාරීන්ද අමතර වියදමක් නොදරා මේ කටයුත්ත වෙනුවෙන් යොදා ගැනීමේ හැකියාව තිබෙනවා.

මේ වන විට ලංකාවේ සිදු කර තිබෙන කෝවිඩ් පරීක්ෂා ප්‍රමාණය 114,765ක් පමණයි. එම පරීක්ෂා හරහා කෝවිඩ් ආසාදිතයින් 2,464 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 2.15%ක්. වෙනත් විදිහකින් කිවුවොත් පරීක්ෂාවට ලක් වූ 47 දෙනෙකුගෙන් අයෙක් කෝවිඩ් ආසාදිතයෙක්.

ලංකාවේ ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් කෝවිඩ් ආසාදිතයින් හමු වී තිබෙන්නේ 0.01%ක් පමණයි. එහෙමත් නැත්නම් 8,691කට අයෙක් පමණයි. ලංකාවේ බුද්ධි අංශ හා මහජන සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු කණ්ඩායම විසින් සිදු කර ඇති පූර්ව විශ්ලේෂණ හරහා කෝවිඩ් ආසාදිතයෙකු වීමේ ඉඩකඩක් ඇති අයෙකු පරීක්ෂා කර හඳුනා ගැනීමේ ඉඩකඩ 186 ගුණයකින් ඉහළ නංවා ගැනීමට සමත් වී තිබෙනවා.

මා හිතන පරිදි ලංකාවේ කෝවිඩ් මර්දන ක්‍රමවේදයේ වඩාත්ම සාර්ථක තැන මේ අයුරින් පීසීආර් පරීක්ෂාවක් කිරීමට පෙර පරීක්ෂණ ප්‍රතිඵලය ධන වීමේ ඉඩකඩ වැඩි අය සැලකිය යුතු නිරවද්‍යතාවයකින් යුතුව කලින්ම හඳුනා ගැනීමට හැකි වීමයි. ඒ නිසා, ලංකාවේ දැනට පවතින පරාමිතීන් අනුව පීසීආර් පරීක්ෂාවන් මීට වඩා පුළුල් කිරීම අවශ්‍ය දෙයක් කියා මා හිතන්නේ නැහැ. එය සම්පත් නාස්තියක් පමණයි.

එසේනම් මේ ක්‍රමවේදය යටතේ රජයේ "දැලට" අහු නොවන අයට මොකද වෙන්නේ?

අනිවාර්යයෙන්ම මේ ක්‍රමය හරහා රටේ සිටින සියලුම කෝවිඩ් ආසාදිතයින් රජයේ දැල ඇතුළෙන්ම හමු වන බව සහතික කරන්න බැහැ. දැලට අහු නොවන අය අහුවෙන්නේ රෝග ලක්ෂණ මතු වූ පසුවයි. ඒ වන විට එවැනි අයෙක් තවත් බොහෝ දෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය කර තියෙන්න පුළුවන්. වැලිසර හා කන්දකාඩුව උදාහරණයි. එසේ වුවත්, මේ සම්භාවිතාව එතරම් විශාල නොවන බව පැහැදිලියි.

ලංකාවේ කොරෝනා මරණ අනුපාතය 0.45%ක් පමණයි. මා හිතන පරිදි මෙය සැබෑ කෝවිඩ් මරණ අනුපාතයයි. ඇමරිකාව වැනි රටවල මරණ අනුපාතය වඩා විශාල ලෙස පෙනෙන්නේ කෝවිඩ් ආසාදිතයින්ගෙන් 90%ක් පමණම හඳුනාගෙන නැති නිසයි. ඇමරිකාවේ පරීක්ෂා ඉහළ යද්දී මරණ අනුපාතය පහළ යනවා. ලංකාවේ මරණ ප්‍රමාණ හා ආසාදිතයින් ප්‍රමාණ සියයට සියයක්ම නිවැරදියි කියා මම විශ්වාස කරන්නේ නැහැ. එහෙත්, සමස්ත චිත්‍රය වෙනස් කළ හැකි තරමේ වැරැද්දක් නිල සංඛ්‍යාලේඛණ වල නැති බව මගේ අදහසයි. ලංකාවේ මරණ අනුපාතයෙන් පෙන්වන්නේ රජයේ දැලට පසුව හෝ අහු නොවුණු කෝවිඩ් ආසාදිතයින් ඇත්නම් ඉතාම සුළු ගණනක් බවයි.

දැනට රටේ ජනගහණයෙන් කෝවිඩ් ආසාදිතයින් සිටින්නේ 0.01%ක් පමණක් වන තත්ත්වයක් යටතේදී මුළු රටේම සියල්ලන්ම පීසීආර් පරීක්ෂාවන්ට ලක් කළත් එම පරීක්ෂාවන්හි ඇති මිනුම් වරද නිසා රජයේ දැලට අහු නොවනවාට වඩා ප්‍රතිශතයක් අහු නොවී බේරෙන්න පුළුවන්.

දැනට රජයේ උපක්‍රමය වන්නේ දැලට මුලින් යමෙක් අහු නොවුණු අවස්ථාවන් වලදී පසුව අවශ්‍ය පරිදි දැල පුළුල් කිරීමයි. වැලිසර සිද්ධියෙන් පසුව රජය කළේ මෙයයි. මේ දෙවන පොකුර හමුවීමෙන් පසුවද රජය එය කරමින් සිටිනවා. එයද සාර්ථක වනු ඇතැයි අපි සිතමු. එසේ වුවත්, ඉදිරියේදී මෙවැනි පොකුරු වරින් වර මතුවීම වලක්වන්න බැහැ. ඒ වගේම කිසියම් මොහොතක කෝවිඩ් ව්‍යාප්තිය රජයේ පාලනයෙන් ගිලිහීමේ අවදානමක්ද තිබෙනවා. හැබැයි ඒ අවදානම් තිබුණා කියා වෙනත් වඩා හොඳ විකල්පයක් නැහැ.

කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳ සම්මත ආකෘති හා ආර්-නෝට් අගය වැනි දේ අදාළ වන්නේ වසංගතයක් ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට පැමිණීමෙන් පසුවයි. අනාගතය ගැන කිසිවක් කිව නොහැකි වුවත් ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය මේ වන තුරුත් ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට ගොස් ඇති බවක් පෙනෙන්නට නැහැ. මගේ විග්‍රහය අනුව ලංකාව තවමත් ඉන්නේ තෙවන අදියරේ. ඒ නිසා පුරෝකථන කිරීමට සම්මත ආකෘති යොදා ගැනීම තේරුමක් නැති වැඩක්.

පහසු ඉලක්කයක් නොවුනත්, එන්නතක් වැඩි දියුණු කෙරෙන තුරු ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට යා නොදී ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කරගත හැකි වුවහොත් එය විශාල ජයග්‍රහණයක්. අවම වශයෙන් මහ මැතිවරණය අවසන් වන තුරු එවැන්නක් සිදු නොවුනොත් එයත් විශාල ජයග්‍රහණයක්. රටේ මානව සම්පතේ, ආර්ථිකයේ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේත් වැදගත්කම අවතක්සේරු කළ යුතු නැහැ.

(Image: Florence Weis  https://www.theartblog.org/2020/04/artists-in-the-time-of-coronavirus-an-ongoing-virtual-exhibition-part-13/)

Saturday, June 20, 2020

කොරෝනා උමග කෙළවර එන්නත් එළි


ලෝක මට්ටමෙන් සැලකූ විට කොරෝනා වසංගතය තවමත් එන්න එන්නම පැතිරෙනවා මිස පාලනය වී නැති බව ඉතාම පැහැදිලියි. ඊයේ (ජූනි 19) දිනය ඇතුළත හමු වූ අලුත් රෝගීන් ගණන වන 181,005 මෙතෙක් දිනකදී හඳුනාගත් වැඩිම රෝගීන් ප්‍රමාණයයි. ඊට පෙර දිනකදී වැඩිම රෝගීන් ප්‍රමාණයක් හඳුනා ගැනුණු ජූනි 17 දින හමු වුනේ රෝගීන් 146,111ක් පමණයි. ඊයේ හමු වූ රෝගීන් ගණන එම ගණනට වඩා 24%කින් වැඩියි.

මෙතෙක් ප්‍රධාන වශයෙන්ම බටහිර සංවර්ධිත රටවල ප්‍රශ්නයක්ව තිබූ කොරෝනා වසංගතය මේ වෙද්දී දකුණු ඇමරිකාවේ හා දකුණු ආසියාවේ ප්‍රශ්නයක් බවට රූපාන්තරණය වෙමින් පවතිනවා. ඊයේ දිනය ඇතුළත දකුණු ඇමරිකානු කලාපයේ බ්‍රසීලයෙන් රෝගීන් 55,209ක්ද, චිලී රටෙන් රෝගීන් 6,290 දෙනෙක්ද, මෙක්සිකෝවෙන් රෝගීන් 5,662ක්ද, පේරු රටෙන් රෝගීන් 3,537ක්ද, කොලොම්බියාවෙන් රෝගීන් 3,059ක්ද, ආජන්ටිනාවෙන් රෝගීන් 2,060ක්ද අලුතෙන් හමු වුනා. දකුණු ආසියාවේ ඉන්දියාවෙන් අලුත් රෝගීන් 14,721ක් හමු වෙද්දී, පකිස්ථානයෙන් රෝගීන් 4,944ක්ද, බංග්ලා දේශයෙන් රෝගීන් 3,243ක්ද අලුතෙන් හමු වුනා.

ලෝකයේ හැම රටක්ම වාගේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා කවර හෝ ක්‍රියාමාර්ග ගත්තා. ඇතැම් රටවල් වඩා දැඩි ක්‍රියාමාර්ග ගනිද්දී වෙනත් ඇතැම් රටවල් එවැනි දැඩි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. චීනය, ලංකාව වැනි රටවල් රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත් රටවල් සේ හඳුන්වන්න පුළුවන්. මේ දැඩි ක්‍රියාමාර්ග වල උදවුවෙන් මුලින්ම රෝගය පැතිරුණු චීනය රෝගය පාලනය කරගත් බව පැහැදිලි කරුණක්. රෝගය පාලනය කිරීමේදී ලංකාවද සාර්ථක ප්‍රතිඵල අත් කර ගත් රටක් ලෙස හැඳින්විය හැකියි.

චීනය හා ලංකාව විසින් අනුගමනය කළ ක්‍රමවේදයේ ප්‍රධාන දුර්වලතා දෙකක් තිබෙනවා. පළමුවැන්න, මේ තරම් දැඩි පාලනයකින් පසුවද කිසිදු රටක් රෝගයෙන් නිදහස් වී ඇති බවක් නොපෙනීමයි. ඊයේ දිනයේදීද චීනයෙන් අලුතින් රෝගීන් 27 දෙනෙක් හමු වී තිබෙනවා. ලංකාවෙන්ද තවමත් දිනපතා කිසියම් රෝගීන් ප්‍රමාණයක් හමු වෙනවා. යම් හෙයකින් මෙවැනි දැඩි පාලනයකින් කිසියම් රටක් කොරෝනා මුළුමනින්ම දුරු කළත්, ලෝකයේ අනෙක් රටවල රෝගය පැතිරෙන තාක් කල් කිසිදු තනි රටක් සුරක්ෂිත නැහැ. ලංකාව විසින් පවත්වා ගත් තරමේ දැඩි පාලනයක් ලෝකයෙන්ම කොරෝනා තුරන් වන තුරු දිගටම පවත්වා ගැනීම අසීරුයි. එක පැත්තකින් එවැනි දැඩි පාලනයක් ප්‍රායෝගික නොවන අතර අනෙක් පැත්තෙන් එවැනි දැඩි පාලනයක ආර්ථික බලපෑම කිසිදු රටකට දරා ගත නොහැකි තරම් විශාලයි. මෙය මේ ක්‍රමවේදයේ තිබෙන දෙවන දුර්වලතාවයයි.

අනෙක් අතට කිසිදු පාලනයක් නැතිව රෝගය පැතිරෙන්නට ඉඩ හැරීම ප්‍රසස්ථ ක්‍රමවේදයක් කියා කියන්න බැහැ. විශාල ලෙස රෝගය පැතිරුණු කිසිදු ප්‍රදේශයක තවමත් සාමූහික ප්‍රතිශක්තිය ඇති වීම සඳහා අවශ්‍ය මට්ටම කිට්ටුවකටවත් රෝගය පැතිරී නැහැ. සෑම රටකටම වගේ කිසියම් අදියරකදී රෝග ව්‍යාප්තිය පාලනය කිරීම ගැන හිතන්න සිදු වුනා.

සාමූහික ප්‍රතිශක්තිය කෙතරම් දුරස්ථ ඉලක්කයක්ද යන්නට උදාහරණයක් ලෙස ඇමරිකාවේ නිවුයෝර්ක් ප්‍රාන්තය පෙන්වන්න පුළුවන්. නිවුයෝර්ක් ජනගහණයෙන් 2.1%ක් මේ වන විට කොරෝනා ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙන අතර නිවුයෝර්ක් ජනගහණයෙන් 0.16%ක් කොරෝනා ආසාදිතයින් ලෙස මිය ගොස් තිබෙනවා. සසම්භාවී රුධිර පරීක්ෂණ ප්‍රතිඵල අනුව නිවුයෝර්ක් ප්‍රාන්ත වැසියන්ගෙන් 14.9%ක ගේ සිරුරු වල ප්‍රතිදේහ ඇති බව පෙනෙනවා.

මාස දෙක තුනකට පසු කෝවිඩ්-19 වැළඳුනු ඇතැම් අයගේ සිරුරු වලින් ප්‍රතිදේහ හමු වී නැති බව වාර්තා වී තිබෙනාවක් මෙන්ම වරක් කෝවිඩ්-19 වැළඳුනු අයෙකුට නැවත වෛරසය ආසාදනය නොවන බව තහවුරු වී නැහැ. ඒ කරුණු නොසලකා, යම් හෙයකින් 60%ක් ආසාදනය වීමෙන් පසුව සාමූහික ප්‍රතිශක්තිය ඇති වන බව සැලකුවත්, නිවුයෝර්ක් ප්‍රාන්තය තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති වීම සඳහා දැනට වෛරසය අසාදනය වී ඇති ප්‍රමාණය මෙන් හතර ගුණයක පිරිසකට වෛරසය ආසාදනය විය යුතුයි. එහිදී මරණ අනුපාතිකයද සමානුපාතිකව ඉහළ යනු ඇතැයි සැලකුවහොත් නිවුයෝර්ක් ජනගහණයෙන් 0.64%ක් කොරෝනා ආසාදිතයින් ලෙස මිය යනවා. මේ අනුපාතය ඇමරිකාවට යෙදුවොත් මිලියන 2.1ක පමණ මරණ ප්‍රමාණයක්. මෙය නීල් ෆර්ගසන් වාර්තාවේ ඇස්තමේන්තු කර තිබුණු මරණ ප්‍රමාණයට ආසන්නව සමානයි.

මේ වන විට ඇමරිකාවේ සිදු වී තිබෙන කෝවිඩ්-19 මරණ ප්‍රමාණය 121,000 ඉක්මවනවා. එම ප්‍රමාණයත් විශාල කම්පනයක් ඇති කරවන මරණ ප්‍රමාණයක්. මේ මරණ ප්‍රමාණය සිදු වී තිබෙන්නේ ඇමරිකාව රටේ ආර්ථිකයට විශාල හානියක් කර ගනිමින් රට වසා තිබියදී. ඇමරිකාව ගත් ක්‍රියාමාර්ග ලංකාව හෝ චීනය ගත් ක්‍රියාමාර්ග තරම් දැඩි නොවීම වෙනම කරුණක්. ඇමරිකාවේ ප්‍රාන්ත බොහොමයක් මේ වෙද්දී විවෘත කර හෝ විවෘත කෙරෙමින් තිබෙනවා. ඒ කොරෝනා ව්‍යාප්තිය යම් තරමකින් පාලනය වීමෙන් පසුවයි. එහෙත්, රට ක්‍රමයෙන් විවෘත වෙද්දී නැවතත් කොරෝනා ව්‍යාප්තිය වේගවත් වන බවක් පෙනෙන්න තිබෙනවා.

කොරෝනා නිසා ලෝකයේ හැම රටකටම මුහුණ දෙන්න සිදු වී තිබෙන්නේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ තත්ත්වයකටයි. රටවල් වහගෙන සිටීමේ ආර්ථික හා වෙනත් හානි සැලකූ විට එය කිසිදු රටකට දිගින් දිගටම කළ හැකි දෙයක් නෙමෙයි. එහෙත්, රටවල් විවෘත කිරීමේදී මරණ ප්‍රමාණ ඉහළ ගියොත් එය ආර්ථිකයටද බලපෑමක් කරනවා.

කෝවිඩ් ප්‍රශ්නයෙන් ලෝකයට ගොඩ යා හැක්කේ ප්‍රශ්නය ස්ථිර ලෙස විසඳුනොත් පමණයි. රටවල් වහගෙන සිටීම තාවකාලික විසඳුමක් මිසක් ස්ථිර විසඳුමක් නෙමෙයි. ප්‍රශ්නය ස්ථිර ලෙසම විසදෙන්නේ තත්ත්වයන් දෙකක් යටතේ පමණයි. පළමුවැන්න ස්වභාවික ලෙස සාමූහික ප්‍රතිශක්තිය ඇති වීම. දෙවැන්න කෘතීම ලෙස  සාමූහික ප්‍රතිශක්තිය ඇති කිරීම.

ස්වභාවික ලෙස සාමූහික ප්‍රතිශක්තිය ඇති වෙන තුරු රෝගය පැතිරුනොත් අඩු වශයෙන් ලෝක ජනගහණයෙන් 1%ක් පමණවත් මිය යා හැකියි. එයින් පසුවද සාමූහික ප්‍රතිශක්තිය ඇති වන බවට ස්ථිර විශ්වාසයක් නැහැ. වරක් රෝගය වැළඳුනු කෙනෙකුට නැවත නැවතත් වෛරසය අසාදනය නොවන බවට තවමත් කිසිදු සහතිකයක් නැහැ. ඒ නිසා, දැනට පෙනෙන්නට ඇති එකම ස්ථිර විසඳුම කෘතීම ලෙස  සාමූහික ප්‍රතිශක්තිය ඇති කිරීමයි. එය කළ හැක්කේ සාර්ථක එන්නතක් මගින්.

මේ වෙද්දී ලෝකයේ රටවල් ගණනාවක සමාගම් ගණනාවක් කෝවිඩ්-19 සඳහා එන්නත් වැඩි දියුණු කරමින් ඉන්නවා. මෙසේ එන්නත් වැඩි දියුණු කරමින් සිටින සමාගම් ගණන අවම වශයෙන් 237ක් නිසා මේ අතරින් කිහිපයක් හෝ සාර්ථක ලෙස කෝවිඩ්-19 පාලනය කිරීම සඳහා උදවු වනු ඇති බව පිළිබඳ සැකයක් නැහැ.

එන්නතක් වැඩි දියුණු කර භාවිතයට ගැනීමට පෙර පසු කළ යුතු පියවර ගණනාවක් තිබෙනවා.

පූර්ව සායනික පරීක්ෂණ අවදිය: මේ අවදියේ කරන්නේ මීයන්, වඳුරන් ආදී සතුන් යොදා ගෙන එන්නත පරීක්ෂා කිරීමයි. පරීක්ෂා කිරීමේ ඉලක්කය එන්නත ලබා දුන් පසු අපේක්ෂිත පරිදි ප්‍රතිදේහ හැදෙනවාද යන්නයි.

පළමු අදියරේ පරීක්ෂණ අවදිය: මෙහිදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයින් කිහිප දෙනෙකුට එන්නත ලබා දී අපේක්ෂිත පරිදි ප්‍රතිදේහ හැදෙන බවත්, වෙනත් හානියක් නැති බවත් තහවුරු කර ගන්නවා. පරීක්ෂාවේ ප්‍රධාන අරමුණක් වන්නේ එන්නතේ හානිකර ප්‍රතිඵල ඇත්දැයි හඳුනා ගැනීමයි.

දෙවන අදියරේ පරීක්ෂණ අවදිය: මෙහිදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බාල, තරුණ, මහළු, ස්ත්‍රී, පුරුෂ ආදී වෙනස් කාණ්ඩ වල   පුද්ගලයින් සිය ගණනකට එන්නත ලබා දී අපේක්ෂිත පරිදි ප්‍රතිදේහ හැදෙන බවත්, වෙනත් හානියක් නැති බවත් තහවුරු කර ගන්නවා. පරීක්ෂාවේ ප්‍රධාන අරමුණක් වන්නේ පොදුවේ හානියක් නැතත් විශේෂිත කණ්ඩායම් වලට එන්නතේ හානිකර ප්‍රතිඵල ඇත්දැයි හඳුනා ගැනීමයි.

තෙවන අදියරේ පරීක්ෂණ අවදිය: අවසාන හා වැදගත්ම අදියර මෙයයි. පරීක්ෂාවේ ප්‍රධාන ඉලක්කය එන්නතේ ඵලදායීතාවය පරීක්ෂා කිරීමයි. මේ අදියර සඳහා සාමාන්‍යයෙන් දහස් ගණනක පිරිසක් යොදා ගන්නවා. මෙසේ සහභාගී කර ගන්නා පිරිස අහඹු ලෙස කණ්ඩායම් දෙකකට බෙදා එක් කණ්ඩායමකට පමණක් එන්නත ලබා දෙන අතර අනෙක් කණ්ඩායමට "බොරු එන්නතක්" ලබා දෙනවා. ඕනෑම එන්නතකින් එය ලබා ගන්නා හැම දෙනෙකුටම රෝගය වැළඳෙන එක නවත්වන්න බැරුවා වගේම, එන්නත නොගන්නා හැම කෙනෙකුටම රෝගය හැදෙන්නෙත් නැහැ. ඒ නිසා, එන්නතේ බලපෑමක් ඇත්දැයි හරියටම දැන ගන්න පුළුවන් වෙන්නේ මෙවැනි සසම්භාවී නියැදි පරීක්ෂණයකින් පමණයි. එන්නත ලබා ගත් කණ්ඩායමට රෝගය වැළඳෙන්නේ අනෙක් කණ්ඩායමට වඩා බොහෝ අඩුවෙන්නම් එයින් පෙනෙන්නේ එන්නත ඵලදායී බවයි. එවැනි වෙනසක් පෙනෙන්නට නැත්නම් එන්නතෙන් වැඩක් වී තිබෙන බව කියන්න බැහැ.

අනුමැතිය ලැබීම: තෙවන අදියරේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමෙන් පසුව කිසියම් එන්නතක් තම රටේ භාවිතයට යෝග්‍යද යන්න එක් එක් රටේ අදාළ පාලනාධිකාරිය විසින් අනුමත කළ යුතුයි. මහා පරිමාණයෙන් එන්නත් හදන්නේ මෙසේ අනුමැතිය ලැබීමෙන් පසුවයි.

සාමාන්‍යයෙන් ඉහත අදියර සියල්ල පසු කිරීමට වසර දෙක තුනක් යන නමුත් කෝවිඩ්-19 වසංගත තර්ජනය හමුවේ බොහෝ සමාගම් වගේම රජයයන් විසින්ද මේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා විවිධ පියවර ගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට එන්නත් කිහිපයක් තෙවන අදියර දක්වාත්, තවත් කිහිපයක් දෙවන අදියර දක්වාත් පැමිණ තිබෙනවා.

විශේෂයෙන්ම ඉහත තෙවන අදියර ඉතා වියදම් අධික නිසා කිසියම් සමාගමක් විසින් එම වියදම අපතේ යාමේ අවදානම ගන්නේ දෙවන අදියරේ ප්‍රතිඵල හොඳනම් පමණයි. ඒ වගේම, අනුමැතිය ලැබෙන තුරු එන්නත් නිෂ්පාදනය වෙනුවෙන් මුදල් යට කරන්නේ නැහැ. එහෙත්, එන්නත් නිපදවීමේ තරඟයේ ඉදිරියෙන් සිටින තෝරාගත් සමාගම් කිහිපයකට ඇමරිකානු රජයේ මැදිහත්වීම මත මේ අවදානම් නොතකා වේගයෙන් ඉදිරියට යන්න ඉඩ ලැබී තිබෙනවා.

ලබන ජනවාරිය වන විට ඇමරිකානුවන් සඳහා එන්නත් මිලියන 300ක් නිෂ්පාදනය කර ගැනීම ඉලක්ක කරමින් ඇමරිකානු කොංග්‍රසය ඩොලර් බිලියන 10කට ආසන්න මුදලක් එන්නත් සංවර්ධනය වෙනුවෙන් වෙන් කර තිබෙනවා. මේ වැඩ සටහන යටතේ තරඟකාරී පදනමකින් එන්නත් පහක් තෝරා ගෙන තිබෙනවා. ඒ අතරින් එන්නත් තුනක පරීක්ෂණ කටයුතු මේ වන විට සෑහෙන ප්‍රගතියක් පෙන්වා තිබෙනවා.

මේ වන විට එන්නත් තරඟයේ ඉදිරියෙන්ම සිටින එක්සත් රාජධානිය පදනම් කරගත් බහුජාතික සමාගමක් වන ඇස්ට්‍රසිනිකා සමාගමේ හා ඔක්ස්ෆර්ඩ් සරසවියේ AZD1222 එන්නත මේ වන විට තෙවන අදියරට ගොස් තිබෙනවා. එංගලන්තයේ 10,260ක පිරිසක් යොදා ගනිමින් පසුගිය මාසයේදී තෙවන අදියරේ පරීක්ෂණ ආරම්භ වුනා.

ඇස්ට්‍රසිනිකා සමාගමට පසුගිය මැයි මාසයේදී ඇමරිකානු රජයෙන් රුපියල් බිලියන 1.2ක ආධාර මුදලක් ලබා දී තිබෙන අතර එන්නත් මිලියන 300ක් එම සමාගම විසින් ඇමරිකාවට ලබා දීමට එකඟ වී තිබෙනවා. එක්සත් රාජධානිය විසින්ද එම සමාගමට පවුම් මිලියන 65.5ක් ලබා දී එන්නත් මිලියන 100ක් ඇණවුම් කර තිබෙන අතර තවත් එන්නත් මිලියන 400ක් යුරෝපයට ලබා දීමටත්, එන්නත් බිලියනයක් ඉන්දියාවට ලබා දීමටත් එම සමාගම එකඟ වී තිබෙනවා. සමාගම සතුව එන්නත් බිලියන දෙකක් නිපදවීමේ ධාරිතාවක් තිබෙනවා.

මේ එන්නත් වලින් කොටසක් සැප්තැම්බර් සිට එක්සත් රාජධානියටත්, ඔක්තෝබර් සිට ඇමරිකාවටත් ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි. එමෙන්ම, මෙම එන්නත ලබා ගැනීමෙන් පසුව වසරක කාලයක් කෝවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි.

ඇමරිකානු සමාගමක් වන මොඩර්නා සමාගමේ mRNA1273 එන්නත මේ වන විට දෙවන අදියරේ සිටිනවා. මේ වෙනුවෙන් ඇමරිකානු රජය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 483 ක මුදල් ප්‍රදානයක් කළා. එළැඹෙන ජූලි මාසයේදී ඇමරිකානුවන් 30,000ක් යොදා ගනිමින් තෙවන අදියරට යාමට මොඩර්නා සමාගම සැලසුම් කර තිබෙනවා. ලබන ජනවාරිය වන විට මොඩර්නා සමාගමේ එන්නත් සූදානම්ව තිබෙනු ඇතැයි අපේක්ෂිතයි.

ඇමරිකාව පදනම් කරගත් බහුජාතික සමාගමක් වන පයිසර් සමාගමේ හා ජර්මනියේ බයෝඑන්ටෙක් සමාගමේ BNT162 එන්නතද මේ වන විට දෙවන අදියරට පැමිණ තිබෙනවා. මේ එන්නතද ලබන වසර මුල වන විට සූදානම්ව තිබෙනු ඇතැයි අපේක්ෂිතයි.

කෝවිඩ්-19 එන්නත් තරඟය තුළ චීනයද කරට කර තරඟ කරමින් සිටිනවා. එක පැත්තකින් මේ එන්නත් තරඟය සීතල යුද්ධය කාලයේදී පැවති තත්ත්වය මෙන් තමන් තාක්ෂනය අතින් ඉදිරියෙන් සිටින බව පෙන්වීමේ තරඟයක්. අනෙක් අතින් ඉතා දැඩි සීමා කිරීම් මගින් වසංගතය පාලනය කරගෙන සිටින චීනයට ප්‍රශ්නයෙන් ගැලවීම සඳහා හැකි ඉක්මණින් එන්නතක් වැඩි දියුණු කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා.

එන්නත් වැඩි දියුණු කිරීමට අත ගසා සිටින සමාගම් අතරින් අඩක් පමණම චීන සමාගම්. ඒ අතරින් චීන රජයට අයත් ආයතන හා සමාගම් පහක් පමණ මේ වන විට සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වා තිබෙනවා.

ඒ අතරින් කැනඩාව හා චීනය ඒකාබද්ධව කෑන්සිනෝ සමාගම විසින් නිපදවූ Ad5-nCoV එන්නත මේ වන විට දෙවන අදියරට පැමිණ තිබෙනවා. තවත් චීන සමාගමක් වන සිනෝවැක් බයෝටෙක් සමාගම ළඟදීම බ්‍රසීලයේ තෙවන අදියරේ පරීක්ෂණ සිදු කිරීමට සූදානම්ව මේ වන විට ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එම සමාගම විසින් වසරකට එන්නත් මිලියන 100ක් පමණ නිපදවීමට සැලසුම් කර තිබෙනවා.

උමග කෙළවර එළියක් පෙනෙන්නට තිබීම සතුටට කරුණක් වුවත්, උමග කෙළවර දක්වා ඉතිරි දුරද අතුරේ ගමනක්. විශේෂයෙන්ම ඇමරිකාව මේ වන විට සිටින්නේ අනෙකුත් බටහිර සංවර්ධිත රටවලට වඩා අවදානම් තැනකයි. මුලින් වෛරසය වේගයෙන් පැතිරුණු රටේ උතුරේ සීතල පළාත් වල රෝග ව්‍යාප්තිය තුනී වෙමින් යද්දී රටේ දකුණේ උණුසුම් පළාත් වල මේ වන විට රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

කෝවිඩ් රටෙන් තුරන් කළ නොහැකි වුවත් දකුණු ආසියාවේ අනෙකුත් රට වලට සාපේක්ෂව ඉතා හොඳින් රෝග ව්‍යාප්තිය කළමනාකරණය කර ගෙන සිටින ලංකාවට එහි වාසිය ගන්නනම් එන්නතක් වැඩි දියුණු වන තුරු තවත් මාස හයකවත් කාලයක් ප්‍රවේශම් වෙන්න සිදු වෙනවා. එය කළ නොහැකි දෙයක් නෙමෙයි.

Thursday, May 7, 2020

නෙගටිව් පොසිටිව් මාරු වීම


ගාණක් හදද්දී ධන සෘණ මාරු කරගත්තොත් සෑහෙන අවුලක් වෙනවා. විදුලිය එක්ක වැඩ කරද්දී  වුනත් ඔය ප්‍රශ්නය තියෙනවා. තවත් නොයෙක් හේතු නිසා වයර් මාරු වීම් වෙලා විවිධ අවුල් ඇති වෙනවා. මේ දවස් වල අහන්න ලැබෙන සමහර දේවල් වලට අපෙත් වයර් මාරු වෙනවා.

මේ වෙද්දී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 823ක්. හෙට වෙද්දී ඔය ගණන 850ක්වත් වෙන්න පුළුවන්. තව දාහතක් හොයා ගත්තොත් 850ක් වෙනවනේ. හැබැයි සමහර විට හෙට වෙද්දී ගණන 800ක් වෙන්න වුනත් බැරි නැහැ. දැනට පොසිටිව් වෙලා ඉන්න 23ක් නෙගටිව් කියලා හෙට වෙද්දී හොයා ගත්තොත් ගාණ 800 වෙනවනේ.

ලෝකේ අනෙක් රටවල පීසීආර් පරීක්ෂණ කරලා කොරෝනා ආසාදිත අය හා ආසාදිත නැති අය ලෙස ගොඩවල් දෙකකට වෙන් කරනවා. ලංකාවේනම් ඌණ ආසාදිත කියලා තුන් වන කොටසකුත් ඉන්නවා. චතුර්කෝටික කතාවක් වගේ. වෛරසය ආසාදනය වී ඇත්තේද නැති නැත්තේද නැති අයද? මැරිච්ච අය අතරේත් සම්පූර්ණයෙන් මැරිච්ච නැති අය ඉන්නවද?

පීසීආර් පරීක්ෂණයකින් කරන්නේ කොරෝනා වෛරසය හඳුනාගැනීමයි. තාක්ෂණික කරුණු ගැන උනන්දුවක් දක්වන අය කියවන අය අතර ඉන්න නිසා මේ වෛරසය කුමක්ද කියලා මුලින්ම බලමු.

වෛරස් වර්ග කාණ්ඩ හතකට වර්ග කෙරෙනවා. ඒ අතරින් කොරෝනා වෛරසය කියා පොදුජන වහරේ හැඳින්වෙන SARS-COV2 වෛරසය අයත් වන්නේ "පොසිටිව්-සෙන්ස් සිංගල්-ස්ට්‍රැන්ඩඩ් ආර්එන්ඒ වෛරස්" කැටගරියටයි. වාසගමේ කෑලි තුනෙන් මේ වයිරස් කාණ්ඩයේ ලක්ෂණ තුනක් විස්තර කෙරෙනවා.

මුලින්ම අපි ආර්එන්ඒ කියන කොටස ගනිමු. මේ වෛරසය හැදී තිබෙන ජානමය ද්‍රව්‍යය ආර්එන්ඒ. අපි හැදිලා තියෙන්නේ වගේම වෙනත් ඇතැම් වයිරස්ද හැදී තිබෙන්නේ ඩීඑන්ඒ වලින්. ආර්එන්ඒ අනුවක හා ඩීඑන්ඒ අනුවක මූලික වෙනස්කම් කිහිපයක් තිබෙනවා. මේ එක් එක් අණුවක් හැදී තිබෙන්නේ මූලික රසායන හතරක් කිසියම් රටාවකට වැලක් සේ සම්බන්ධ වීමෙන්.

ඇඩිනින් adenine (A)
සයිටොසින් cytosine (C)
ගුඇනින්  guanine (G)
තයිමීන් thymine (T) හෝ යුරසිල් uracil (U)

මේ රසායන වරහන් තුළ ඇති ඉංග්‍රීසි අකුරු වලින් කෙටියෙන් හඳුන්වනවා. ආර්එන්ඒ අණුවක් හා ඩීඑන්ඒ අණුවක් වෙනස් වන ප්‍රධාන කාරණයක් වන්නේ ඩීඑන්ඒ අණුවක තිබෙන තයිමීන් වෙනුවට ආර්එන්ඒ අණුවක යුරසිල් තිබීමයි. අදාළ වර්ග හතර වැලක් සේ සම්බන්ධව තිබෙනවා.

නිකමට හිතාගන්න වෙසක් එකට දමන පාට හතරක බල්බ් තිබෙන බල්බ් වැලක් කියා. ඩීඑන්ඒ අණුවක තිබෙන පාට තුනක්ම ආර්එන්ඒ අණුවකත් තිබෙනවා. හතරවන පාට පමණක් වෙනස්. මේ බල්බ් සම්බන්ධ වී තිබෙන්නේ සීනි හා පොස්පේට් රසායන වලින් හැදුණු වයර් එකකටයි. වයර් එකේ ප්ලග් බේස් එකට ගහන පැත්තක් තියෙනවා කියා හිතන්න. ඒ වගේ මේ දාමයේත් අන්ත දෙකක් තිබෙනවා. ඒවා හඳුන්වන්නේ 5' අන්තය හා 3' අන්තය ලෙසයි. මේ අනුව, බල්බ් වැලේ රටාව 5' 3' දිශාවට හෝ 3' 5' දිශාවට කියවන්න පුළුවන්.

අපි හිතමු 5' 3' දිශාවට රටාව මේ වගේ කියා.

A C G A T A G C C T

මේ රටාව 3' 5' දිශාවට කියෙවුවොත් රටාව මේ වගේ.

T C C G A T A G C A

සාමාන්‍යයෙන් DNA හෝ RNA අණුවක් ගොඩනැගෙන්නේ 5' අන්තයේ සිට පටන් අරගෙනයි. ඒ කියන්නේ 5' 3' දිශාවට. මිනිස් ජෙනෝමයක මේ වගේ "බල්බ්" බිලියන තුනකටත් වඩා තිබෙනවා. අපේ ජානමය සැකැස්ම ලියැවී තියෙන්නේ ඒ "බල්බ්" වල වර්ණ රටාවේ. SARS-CoV-2 බල්බ් වැල අපේ ජෙනෝමයට සාපේක්ෂව ඉතා කෙටියි. එහි තිබෙන්නේ බල්බ් තිස් දහසක පමණ ප්‍රමාණයක්.

දැන් අපි සිංගල්-ස්ට්‍රැන්ඩඩ් කියන කොටසට එමු. මේ විදිහට හඳුන්වන්නේ ඩබල්-ස්ට්‍රැන්ඩඩ් වෛරස්ද තිබෙන නිසයි. එය ඉහත කී ආකාරයේ බල්බ් වැල් දෙකක එකතුවක්. අපේ DNA එක හැදී තිබෙන්නේත් මේ වගේ බල්බ් වැල් දෙකකින්. එක වැලක තිබෙන හැම බල්බ් එකක්ම අනෙක් වැලේ බල්බ් එකක් එක්ක සම්බන්ධ වී තිබෙනවා. මේ විදිහට වැල් දෙකේ බල්බ් සම්බන්ධ වන රටාවක් තිබෙනවා.

- A හැම විටම T (හෝ U) සමඟ සම්බන්ධ වෙනවා.
- C හැම විටම G සමඟ සම්බන්ධ වෙනවා.

අපි මුලින් ගත් රටාව සමඟ සම්බන්ධ වන අනෙක් බල්බ් වැල දෙස බලමු.

A C G A T A G C C T
T G C T A T C G G A

උඩින් තිබෙන්නේ මුල් රටාව. දෙවනුව තිබෙන්නේ ඒ සමඟ සම්බන්ධ වන රටාව. ඔබට පෙනෙනවා ඇති මේ රටා දෙකෙන් එකක් දන්නවානම් අනිත් එක පහසුවෙන් හදාගන්න පුළුවන් බව. එකක් කිසියම් මූර්තියක් කියා හිතුවොත් අනිත් එක අච්චුව වගේ. අච්චුවෙන් මූර්තියේ පිටපත් ඕනෑ තරම් හදාගන්න පුළුවන්. ඒ වගේම මූර්තියෙන් ඕනෑ තරම් අච්චු හදාගන්නත් පුළුවන්.

මේ වැල් දෙකේ තවත් විශේෂත්වයක් වන්නේ ඒ දෙක හැම විටම ප්‍රතිවිරුද්ධ දිශාවන්ට පිහිටන පරිදි සම්බන්ධ වීමයි. පළමු රටාව යන්නේ 5' 3' දිශාවටනම් දෙවන රටාව යන්නේ 3' 5' දිශාවටයි.

SARS-COV2 වැනි සිංගල්-ස්ට්‍රැන්ඩඩ් වෛරසයක මේ වගේ කොටස් දෙකක් නැහැ. කොටස් දෙකක් තිබෙන විට පිටපත් වීමේදී සිදුවන දෝෂ පහසුවෙන් පරීක්ෂා කර නිවැරදි කරගත හැකියි. තනි වැලකින් හැදුනු වෛරසයකට එය කිරීම අසීරු නිසා පිටපත් හැදීමේදී වැරදි වැඩිපුර සිදු වෙනවා.

සිංගල්-ස්ට්‍රැන්ඩඩ් වෛරසයක එකට සම්බන්ධ වූ වැල් දෙකක් නැති නිසා තිබෙන එක 5' 3' දිශානුගත (පොසිටිව් සෙන්ස්) එකක් හෝ 3' 5' දිශානුගත එකක් (නෙගටිව් සෙන්ස්) විය හැකියි. SARS-COV2 වෛරසය පොසිටිව් සෙන්ස් එකක්.

මේ වගේ සිංගල්-ස්ට්‍රැන්ඩඩ් ආර්එන්ඒ වෛරසයක් "බෝ වෙන්නේ" මිනිස් (හෝ වෙනත් සත්ත්ව) සෛල වල තිබෙන ජීව ද්‍රව්‍ය අරගෙනයි. පොසිටිව් සෙන්ස් වෛරසයක් මුලින්ම එහි නෙගටිව්-සෙන්ස් අච්චු රාශියක් හදනවා. ඉන් පසු මේ එක් එක් අච්චුව පොසිටිව් සෙන්ස් වෛරස් හදන්න පටන් ගන්නවා. ඔය වැඩේ වැල වගේ වෙනවා.

පීසීආර් පරීක්ෂණයකින් කරන්නේත් මීට සමාන දෙයක් කෘතීම ලෙස කර මුල් සාම්පලයේ තිබෙන ආර්එන්ඒ අණු වලින් තවත් අනු විශාල ප්‍රමාණයක් හදන එකයි. එය කරන්නේ වෛරසය තිබෙන්නට ඉඩ ඇති ජීව ද්‍රව්‍ය සාම්පලයක් පෝෂක මාධ්‍යයක දමා නිශ්චිත කාලාන්තර වල උෂ්ණත්වය වෙනස් කිරීම මඟින්, උදාහරණයක් විදිහට මිනිත්තු 20ක් සෙන්ටිග්‍රේඩ් අංශක 50 උෂ්ණත්වයේ තබා, මිනිත්තු 3ක් සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්වය අංශක 95 දක්වා ඉහළ දමා ඉන්පසුව මිනිත්තුවක් තුළ සෙන්ටිග්‍රේඩ් අංශක 40 දක්වා සිසිල් කිරීම එක් චක්‍රයක් කියමු. මේ තාප චක්‍රය අවසන් වන විට එක් RNA අනුවකින් පිටපත් ගණනක් (අපි කියමු 50ක් කියා) හැදිලා. දෙවන චක්‍රය අවසන් වන විට එකකින් පිටපත් 50x50 = 2500ක් හැදිලා. ඔය විදිහට හැම තාප චක්‍රයක් අවසානයේදීම වෛරසය ඝාතීය ලෙස වර්ධනය වෙනවා.

ආපහු අපි අර පරණ බල්බ් කතාවට යමු. දැන් මේ බල්බ් වැලෙන් අච්චුවක් හදන එක අපි අතින් කරනවානම් අපිට එහි රටාව දෙස බලා A නම් T, G නම් C ආදී ලෙස ගැලපෙන බල්බ් තෝර තෝර එකින් එක අමුණන්න වෙනවනේ. අපි කියමු ඊළඟට අවශ්‍ය වෙන බල්බ් පිළිවෙළ මෙහෙමයි කියලා.

 A T C G

දැන් අපි වැලට අමුණන්න බල්බ් හොයා හොයා ඉන්න කොට හරියටම ඔය පිළිවෙලටම සම්බන්ධ වූ බල්බ් හතරක කෑල්ලක් හම්බ වුනොත් ඒ කෑල්ල අරගෙන අමුණනවා මිසක් එකින් එක වෙන වෙනම අමුණන්නේ නැහැනේ. වෛරස් පිටපත් හැදෙන කොටත් ඔය වැඩේම වෙනවා. ගැලපෙන කෑල්ලක් තිබුණොත් පටස් ගාලා කෑල්ල පිටින්ම ගන්නවා.

පීසීආර් පරීක්ෂණයේදී කරන්නේ ඔය වගේ කෑලි හදලා මිශ්‍රණයට එකතු කරන එකයි. හදන්න ඕනෑ මොන වගේ කෑල්ලක්ද කියන එක මුලින්ම තීරණය කරන්න ඕනෑ. අපි හිතමු මේ වගේ රටාවක්.

 A T C G A T C G C G  A T

පළමුව මේ රටාව තියෙන්නේ SARS-CoV-2 වෛරසයේ පමණක් විය යුතුයි. අනෙක් වෛරස් වල එම රටාව නැති විය යුතුයි. දෙවනුව හැම SARS-CoV-2 වෛරසයකම වගේ මේ රටාව තියෙන්නත් ඕනෑ. එක්‌ එක්‌ SARS-CoV-2 වෛරසයේ රටාව 100%ක්ම සමාන නැති බව මම කලින් ලිපි වල විස්තර කරල තියෙනවනේ. දැන් වෛරසයේ පිටපතක් අලුතින් හැදෙන හැම වෙලාවකම වගේ මේ එකතු කරපු කෑල්ලක් භාවිතයට ගැනෙනවා. මේවට කියන්නේ ප්‍රයිමර්ස් කියලා.

මිශ්‍රණයට පොසිටිව් ප්‍රයිමර්ස් හා නෙගටිව් ප්‍රයිමර්ස් දෙවර්ගයම එකතු කරනවා. එක වර්ගයක් අවශ්‍ය වෙන්නේ වෛරසයෙන් අච්චු හදන විට. අච්චු වලින් වෛරස් හදන කොට අනිත් වර්ගය අවශ්‍ය වෙනවා.

දැන් මම තවත් කරුණක් කියන්නම් බල්බ් වැල හදාගන්න රටාවක් හොයන කොට ඒක හම්බ වුනත් ඒ හම්බ වුන කෑල්ලේ අග අවශ්‍ය නොවන පාටක එක බල්බ් එකක් තියෙනවා. දැන් මොකද කරන්නේ? කෑල්ලම නොගෙන තනි තනි බල්බ් අමුණනවද නැත්නම් අර බල්බ් එක අයින් කරලා කෑල්ල ගන්නවද? තනි තනි බල්බ් අමුණන එක තේරුමක් නැහැනේ. අන්තිම බල්බ් එක අයින් කරන එක වඩා කාර්යක්ෂමයි. අර මම කියපු ප්‍රයිමර් වලත් මේ වගේ අමතර කොටසක් තිබෙනවා. ප්‍රයිමර් එක සම්බන්ධ වෙන කොට ඒ කෑල්ල කැඩිලා මිශ්‍රණයට එකතු වෙනවා. අපි මේ කෑල්ලට කියමු රිපෝටර් ප්‍රෝබ් එක කියලා.

දැන් අපි සැක සහිත ආසාදිතයෙකුගේ නාසයෙන් හෝ උගුරෙන් ගන්න ජීවද්‍රව්‍ය සාම්පලයක් පීසීආර් පරීක්ෂණ උපකරණයකට දමලා තාප චක්‍ර ක්‍රියාත්මක කරන වාරයක් පාසා සාම්පලයේ තිබුණු හැම වයිරසයකින්ම පිටපත් ගණනක් හැදෙනවා. මේ විදිහට මුල් සාම්පලයේ තුබුණු ආර්එන්ඒ අණු ටික ඝාතීය ලෙස වර්ධනය වෙනවා. පිටපතක් හැදෙන හැම වෙලාවකම රිපෝටර් ප්‍රෝබ් එකක් මිශ්‍රණයට එකතු වෙනවා. මේ විදිහට එකතුවන රිපෝටර් ප්‍රෝබ් ප්‍රමාණය එක සීමාවක් පැන්න ගමන් සංඥාවක් නිකුත් කරනවා. එය සිදු වන විට වයිරසයේ පිටපත් ඉතා විශාල ගණනක් හැදිලා.

රෝගියාගෙන් ගත්ත මුල් සාම්පලයේ RNA පිටපත් විශාල ප්‍රමාණයක් තිබුණානම් තාප චක්‍ර 20ක් පමණ යන කොට සංඥාව එනවා. පිටපත් ගණන අඩුයිනම් සංඥාව එන්නේ චක්‍ර 30ක් වගේ ගණනක් ගියහම. රෝගියාගේ වෛරල් ලෝඩ් එක වැඩි වූ තරමට අඩු චක්‍ර ගාණකින් සංඥාව ලැබෙනවා. පීසීආර් පරීක්ෂණයක් කරන කෙනෙකුට ප්‍රතිඵලය සේ ලැබෙන්නේ මේ චක්‍ර ගණනයි. එය C(t) අගය ලෙස හැඳින්වෙනවා. චක්‍ර 40ක් වැනි නිශ්චිත ප්‍රමාණයකට පසුව සංඥාව ආවේ නැත්නම් ආසාදනය වී නැති බව නිගමනය කරනවා.

පීසීආර් පරීක්ෂණ හදා තියෙන්නේ මුලින් ලබා ගන්නා ජීව ද්‍රව්‍ය සාම්පලයේ අඩු වශයෙන් RNA පිටපත් කිසියම් අවම ගණනක් (100ක් කියමු) තිබෙනවානම් චක්‍ර 40 යනකොට සංඥාව ලැබෙන ආකාරයටයි. බොහෝ විට ආසාදිතයෙකුගේ ජීව ද්‍රව්‍ය සාම්පලයක RNA පිටපත් ඊට වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත්, වෛරසය ආසාදනය වූ මුල් දවස් වලත්, ආසාදනය පාලනය වීමෙන් පසුවත් ජීවද්‍රව්‍ය සාම්පල වල RNA පිටපත් අවශ්‍ය අවම ප්‍රමාණය නොතිබෙන්න පුළුවන්. ඒ නිසා, පරීක්ෂණ ප්‍රතිඵලය සෘණ වෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් පීසීආර් පරීක්ෂණයකින් වරක් හෝ කෙනෙක් පොසිටිව් ලෙස හඳුනාගත්තානම් එයින් අදහස් වෙන්නේ අදාළ පුද්ගලයා ඇත්තටම පොසිටිව් කියන එකයි. දෙවන වර පරීක්ෂා කරන විට සිරුරේ වෛරසය පාලනය වී තියෙන්න පුළුවන්. නමුත්, නෙගටිව් කියන එකෙන් හරියටම නෙගටිව් බව ස්ථිරව කියන්න බැහැ. නැවත පරීක්ෂා කරන විට වෛරසය වර්ධනය වී පොසිටිව් වෙන්න පුළුවන්. මෙය පීසීආර් පරීක්ෂණ සම්බන්ධව පිළිගත් කරුණක්.

එහෙම තියෙද්දී වරක් කෝවිඩ්-19 ආසාදනය වූ අයෙක් සේ හඳුනාගත් අයෙක් පසුව එසේ නොවූ අයෙකු සේ නම් කිරීම ගැටළු සහගත කරුණක්. ඇතැම් විට ඌණ ආසාදිත කියන එකෙන් අදහස් කෙරෙන්නේ පොසිටිව් සංඥාව ආවේ අන්තිම හරියේදී කියන එක වෙන්න ඇති. ඒ කියන්නේ වෛරල් ලෝඩ් එක අඩුයි. එයට හේතුව සුව වෙන්න ආසන්නව සිටීම වෙන්න පුළුවන්. එවිට දෙවන වර නෙගටිව් වෙන්න පුළුවන්. හැබැයි එවැනි කෙනෙක්ගේ පළමු පරීක්ෂණය වැරදි බව නිගමනය කරන්න බැහැ.

ඇත්තටම ආසාදනය නොවූ කෙනෙක් වැරදියට පොසිට්ව් සේ හඳුනා ගැනෙන්න ඉඩ තිබෙන තවත් ක්‍රම දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය පරීක්ෂාව කරන කෙනා විසින් අත් වැරැද්දකින් සාම්පල් මිශ්‍ර කර ගැනීම. දෙවන ක්‍රමය යොදාගත් පරීක්ෂණ කට්ටල දෝෂ සහගත වීම. ඔය දෙකෙන් කොයි එක වුනත් එයින් අදහස් වෙන්නේ කෝවිඩ්-19 පරීක්ෂා කරන ක්‍රමවේදයේ වෙනත් රටවල නැති විශේෂ අවුලක් තිබෙන බවයි. නමුත්, ඔය දෙකම සිදු වී නැත්නම්, එයින් අදහස් වෙන්නේ කෝවිඩ්-19 හැදී සුව වී ඇති බවයි. එය එසේ නොවන බව තහවුරු කළ හැක්කේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිදේහ පරීක්ෂාවක් කිරීමෙන් පමණයි. දෙවන කෝවිඩ්-19 පරීක්ෂණයක් කර එවැනි නිගමනයකට එන්න බැහැ.

Wednesday, April 29, 2020

කොරෝනා කාලේ හොයපුවා...

ගූගල් සෙවුම් යන්ත්‍රය යොදාගෙන මිනිස්සු හොයන දේවල් වලින් කාලයෙන් කාලයට කිසියම් රටක මිනිස්සු උනන්දු වන දේවල් ගැන අදහසක් ගන්න පුළුවන්. මේ දවස් වලනම් ඉතිං කොරෝනා වලට වඩා වැදගත් වෙනත් දෙයක් නැහැනේ. පහත පළමු රූප සටහනේ තියෙන්නේ කොරෝනා ගැන ලංකාවේ මිනිස්සුන්ගේ උනන්දුව ඉහළ ගිය ආකාරයයි.


ලංකාවෙන් මුලින්ම කොරෝනා රෝගියෙක් හමු වීමෙන් පසුව කොරෝනා ගැන හොයන්න ඇති වුනු උනන්දුව පසුව නැති වෙලා ගිහින් දෙවන රෝගියා හමු වූ තැන් පටන් නැවත උනන්දුව වැඩි වූ ආකාරය මෙහි පැහැදිලිව පෙනෙනවා. මුලින්ම නව කොරෝනා වෛරසය ලෙස හැඳින්වුණු මේ රෝගය පසුව කෝවිඩ්-19 ලෙස නම් කිරීමෙන් පසුව මිනිස්සු ගූගල් හරහා කෝවිඩ් පිළිබඳව විපරම් කරන්න පටන් ගත්තා. එහෙත්, තවමත් ලංකාවේ වැඩිපුර ප්‍රචලිත කොරෝනා කියන යෙදුම බව ගූගල් සෙවුම් අනුව වුවත් පෙනෙනවා.


කොරෝනා වැඩි වෙද්දී රට පුරා ඇඳිරි නීතිය දැම්මා. ඒ වෙලාවේ මිනිස්සුන්ගේ ප්‍රධානම ප්‍රශ්නය වුනේ කන්නේ කොහොමද කියන එකයි. ඒ එක්ක මිනිස්සු කෑම ගැන හොයන එක ඉහළ ගියා. එහෙත්, ඉතා ඉක්මණින් මිනිස්සුන්ට ආහාර ලබා ගත හැකි ක්‍රමවේද හැදුනා. ඒ නිසා කෑම ගැන හොයන එක අඩු වෙලා ගියා. දෙවන රූප සටහන මේ බැව් පෙන්වනවා.


කොරෝනා නිසා ලංකාවේ පාසැල්, සරසවි වැහුණා. ඒ එක්ක අධ්‍යාපනය ගැන තිබුණු උනන්දුව පහත වැටී තිබෙන ආකාරය තුන්වන රූප සටහනෙන් පෙනෙනවා.


ලංකාව කියන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා සෙක්ස් ගැන හොයලා කප් ගහපු රටක්. කොරෝනා කාලයේ මේ තත්ත්වයේ වෙනසක් වුනාද? හතරවන රූප සටහනෙන් පෙනෙන පරිදි පොඩියට වුනත් සෙවුම් වැඩි වීමකුයි සිදු වී තියෙන්නේ.


කොරෝනා අස්සේ මැතිවරණය ගැන වූ උනන්දුව කොහොමද? නාම යෝජනා දෙන දවස් වල මැතිවරණය ගැන මිනිස්සු උනන්දු වෙලා තියෙනවා. ඒත් දැන්නම් මැතිවරණය ගැන කිසිම උනන්දුවක් පෙනෙන්න නැහැ.

Tuesday, April 28, 2020

පාත් කළ කන්ද

මේ වෙද්දී හඳුනා ගෙන සිටින මිලියන තුනකට අධික කෝවිඩ්-19 ආසාදිතයින්ගෙන් මිලියනයකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇමරිකානුවන්. තනි රටක් ලෙස බැලුවොත් වැඩිම මරණ ගණන වාර්තා වී තිබෙන්නේ ඇමරිකාවෙන්. ඒ වගේම වැඩිම පිරිසක් සුව වූ බව වාර්තා වී තිබෙන්නේත් ඇමරිකාවෙන්. කොහොම වුනත් ඇමරිකාවේ විශාල ජනගහණය ගැන නොසලකා මේ එක දෙයක් ගැනවත් විශ්ලේෂණය කරන්න යාම තේරුමක් නැති දෙයක්.

ඇමරිකාව කෝවිඩ්-19 ඉදිරියේ දණ ගහලද? සමහර අයනම් එහෙම කියනවා. එහෙත්, ඇමරිකාව කිසි විටෙකත් කෝවිඩ්-19 ඉදිරියේ දණ ගැහුවේ නැහැ. කෝවිඩ්-19 වලට බයෙන් හැංගුනෙත් නැහැ. හැබැයි එහෙම කියලා නිරායුධව සතුරා ඉදිරියට පැනලා නිස්කාරණේ විනාශයක් කර ගත්තේත් නැහැ. ඇමරිකාව සතුරාට මුහුණ දුන්නේ ඉතාම සැලසුම් සහගත ලෙසයි. ඒ සැලසුම් වල සාර්ථකත්වය මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

මෙහිදී මා ඇමරිකාව කියා කියන්නේ රටේ ජනාධිපති හෝ වෙනත් තනි පුද්ගලයෙක් නෙමෙයි. ඇමරිකාව සම්බන්ධව කිසිදු තනි පුද්ගලයෙකුට තීරණ ගන්න බැහැ. ඒ වගේම රටේ හැම පුද්ගලයෙක්ම එකාවන්ව එකතු වී තීරණ ගත්තා කියා කිවුවොත් එයත් විශාල බොරුවක්. එහෙම දෙයක් වුනෙත් නැහැ. එහෙත්, ප්‍රශ්නයේ ස්වභාවය පිළිබඳව නිවැරදිව අවබෝධ කර ගත හැකි වූ විශාල පිරිසක් රටේ හිටියා. ඒ අයට ප්‍රශ්නයේ ස්වභාවය පිළිබඳව වගේම එයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවත් තනි තනිව හිතා නිගමන වලට එන්න පුළුවන් වුනා.

මේ නිගමන වලට පැමිණුනේ එකම දැනුම් රාමුවක් මත සාක්ෂි මත පදනම්ව නිසා එසේ තනි තනිව නිගමන වලට පැමිණුනු අයට බොහෝ දේ පිළිබඳව පොදු එකඟතාවන්ට පැමිණෙන්නත් පුළුවන් වුනා. ඇමරිකානු ක්‍රමය තුළ ඔවුන්ට ඒ දේවල් ක්‍රියාත්මක කරන්නත් පුළුවන් වුනා.

අලුත් තොරතුරු ලැබෙන විට ඇතැම් විට කලින් ගත් තීන්දු තීරණ වෙනස් කරන්න සිදු වුනා. එහෙත්, එහිදී වුවත් බොහෝ දෙනෙකුට එකඟ වෙන්න අපහසු වුනේ නැහැ. කවුරුත් තීන්දු ගත්තේ සාක්ෂි මත පදනම්ව වීම එයට හේතුවයි. පැවති තත්ත්වය තනි තනිව විශ්ලේෂණය කර ගැනීමට තරම් විෂය දැනුමක් නොතිබුණු අය එවැනි දැනුමක් තිබුණු අය කෙරෙහි විශ්වාසය තබන අතරම තම තමන්ගේ විෂය දැනුම පුළුල් කර ගත්තා. විෂය දැනුමක් තිබුණු අය එයට උදවු කළා.

ඇමරිකානු ක්‍රමය තුළ ප්‍රමුඛතාවය ලැබුණේ හැකි තරම් විශාල පිරිසකට කරුණු ඇති සැටියෙන් දැන ගන්නට ඉඩ සැලැස්වීමට මිස බොරු කියා බය තුනී කරන්නට හෝ වැඩියෙන් බය කර පාලනය කරන්නට නෙමෙයි. මේ දෙකෙන්ම අවසාන වශයෙන් වෙන්නේ හානියක්. කරුණු ඇති සැටියෙන් දැන ගත් විට ඕනෑම කෙනෙකුට තමන්ට වඩාත්ම හොඳ තීරණය ගන්න පහසු වෙනවා.

ඇමරිකාව කෝවිඩ්-19 ප්‍රශ්නය මාසයකින් දෙකකින් කෙළවර නොවන ප්‍රශ්නයක් බව මුලදීම නිවැරදිව හඳුනා ගත්තා. ඒ නිසා, හැකි ඉක්මණින් අවසන් කෝවිඩ්-19 ආසාදිතයත් සුව කර වසංගතය රටෙන් තුරන් කිරීම වැනි කළ නොහැකි ඉලක්ක පසුපස ඇමරිකාව හඹා ගියේ නැහැ. ඇමරිකාවට දැනටත් එවැනි ඉලක්කයක් නැහැ. වසංගතයට මුහුණ දෙන්නට අනිවාර්යයෙන්ම සිදු වන බව ඇමරිකාව නිවැරදිව ගණනය කළා.


එහෙත්, සාමූහික ප්‍රතිශක්තිය ඇති වී ප්‍රශ්නය ස්වභාවිකව විසඳෙන තුරු කිසිවක් නොකර බලා සිටීමේ ප්‍රතිපත්තියක ඇමරිකාව සිටියේත් නැහැ. මුල් අවස්ථාවේ පෙනෙන්නට තිබුණු කරුණු මත පදනම්ව එක්සත් රාජධානිය විසින් ආරම්භයේදී එම විකල්පය සලකා බැලුවත්, වසංගතය පිළිබඳ වැඩිමනත් තොරතුරු ලැබෙද්දී ඉතා ඉක්මණින් ඔවුන්ගේ ස්ථාවරයද වෙනස් කර ගත්තා. ඇමරිකාවේ ස්ථාවරය වුනේ රටේ සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි මට්ටමට රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමයි.


කිසිවක් නොකර සිටියේනම් සාමූහික ප්‍රතිශක්තිය ඇති වී ප්‍රශ්නය ස්වභාවිකව විසඳෙන විට ඇමරිකානුවන්ගෙන් 60-70%ක් පමණවත් ආසාදනය වී සිටිය යුතුයි. එහෙත්, මේ වන විටත් කෝවිඩ්-19 ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙන්නේ ඇමරිකානුවන්ගෙන් 0.3%ක් පමණයි. හඳුනා නොගත් ආසාදිතයින් පිළිබඳව තවමත් තිබෙන්නේ සීමිත දැනුමක්. මේ ප්‍රමාණය හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය මෙන් දහ ගුණයක් වුවත්, තවමත් ඇමරිකානුවන්ගෙන් 97%කටම වෛරසය ආසාදනය වී නැහැ. ඇමරිකානුවන් 57,000කට අධික පිරිසක්  මිය ගොස් තිබෙන්නේ එවැනි තත්ත්වයක් යටතේදීයි.

ඇමරිකාවේ මරණ ගණන මෙපමණකින් සීමා කර ගත හැකි වූයේ රටේ සෞඛ්‍ය පද්ධතියට දරා ගත නොහැකි තරමට රෝගය ව්‍යාප්ත නොවූ නිසයි. එසේ වූවානම්, මරණ ගණන ගණන් කරන්න වෙන්නේ මිලියන වලින්. දැනට සිදුව ඇති මරණ රෝගීන්ට අවශ්‍ය සත්කාරක සේවාවන් ලබා දීමෙන් පසුව සිදුව ඇති මරණයි.

වසංගත වක්‍රය සමතලා කිරීම (Flattening the Curve) ලෙස හැඳින්වුණු ඇමරිකානු උපාය මාර්ගයේ ඉලක්කය වුනේ දිනකට හමුවන අලුත් රෝගීන් ප්‍රමාණය නිශ්චිත උපරිම සීමාවකට පහළින් තබා ගැනීමයි. මේ සීමාව රටේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව නො ඉක්මවන සීමාවක්. මේ වන විට ඇමරිකාව විසින් මේ ඉලක්කය සපුරාගෙන තිබෙනවා.

දැනට ඇමරිකාවේ රෝග ව්‍යාප්තිය පාලනය වී තිබෙන සීමාව රටේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවට වඩා බොහෝ පහළ  සීමාවක්. රෝගීන්ගෙන් 30%ක් පමණම හඳුනා ගැනුණු නිවුයෝර්ක් ප්‍රාන්තයේදී හෝ දෙවන හා තෙවන වැඩිම ආසාදිතයින් ප්‍රමාණ වාර්තා වී ඇති නිවු ජර්සි හා මැසචුසෙට්ස් ප්‍රාන්ත වල පවා සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා යාමක් සිදු වී නැහැ. අනෙක් බොහෝ ප්‍රාන්ත වල රෝගීන් ප්‍රමාණය සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව කිට්ටුවකටවත් ඇවිත් නැහැ.


Saturday, April 25, 2020

ඉන්දියාවේ කොරෝනා


ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නඩත්තු කරන කෝවිඩ්-19 දත්ත පුවරුවේ මෙන්ම වසංගත රෝග අංශය මඟින් ප්‍රකාශයට පත් කරන දෛනික වාර්තා වලද ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය හා ජර්මනිය පිළිබඳ සංසන්දනාත්මක දත්ත ඉදිරිපත් කරනවා. මේ රටවල් පහ ලෝකයේ වැඩිම කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණයක් හඳුනාගෙන ඇති රටවල් පහයි.

කෝවිඩ්-19 ව්‍යාප්තිය අතින් පහළින් සිටින ලංකාව ඉහත රටවල් සමඟ සංසන්දනය කිරීම කිසිම තේරුමක් නැති වැඩක්. මේ රටවල් තෝරා ගෙන ඇති පිළිවෙළ අනුව ලෝකයේ වෙනත් ඕනෑම රටක එම රටවලට වඩා හොඳ තත්ත්වයක් දකින්න ලැබෙන එක අනිවාර්ය කරුණක්. ඊටත් වඩා වැදගත් දෙය මේ රටවල් පහෙන් එකක්වත් කෝවිඩ්-19 ආසාදනය රටින් දුරු කිරීමේ ඉලක්කයක් ඇතුව කටයුතු නොකළ රටවල් වීම. එම රටවල ඉලක්කය වුනේ රෝගය ව්‍යාප්ත වීම අදාළ රටවල සෞඛ්‍ය පද්ධතීන්ට දරා ගත හැකි මට්ටමට පාලනය කර ගැනීමයි. ඒ කාරණයේදී ඇතැම් රටවල් සාර්ථක වී තිබෙනවා. තවත් රටවල් අසාර්ථක වී තිබෙනවා.

මීට අමතරව පෙර කී රටවල් හා ලංකාව අතර ආර්ථික තත්ත්වයේ, දේශගුණයේ, සංස්කෘතියේ හා සමාජ ක්‍රම වල විශාල වෙනස්කම් තිබෙනවා. ලංකාවේ කෝවිඩ්-19 සංඛ්‍යාලේඛණ වෙනත් රටක් සමඟ සසඳනවානම් ඒ වැඩේට වඩාත්ම යෝග්‍ය රට අසල්වැසි ඉන්දියාවයි. එහෙත්, ඉන්දියාව ලංකාව මෙන් 62 ගුණයක ජනගහණයක් සිටින රටක් නිසා මෙවැනි සංසන්දයක් කළ යුත්තේ ජනගහණ අනුපාතය ගැන සලකමිනුයි.

දකුණු ආසියානු කලාපයේ පළමු කෝවිඩ්-19 ආසාදිතයා හමු වුනේ ලංකාවෙන්. එහෙත්, ලංකාවේ කෝවිඩ්-19 පැතිරෙන්න පටන් ගත්තේ දෙවන ආසාදිතයා හමු වූ මාර්තු 11 දින සිටයි. ඉන්දියාවෙන් පළමු වරට කෝවිඩ්-19 ආසාදිතයෙකු හමු වුනේ ලංකාවේ පළමු කෝවිඩ්-19 ආසාදිතයා හමු වී සතියකට පසුව වුවත්, ලංකාවේ දෙවන කෝවිඩ්-19 ආසාදිතයා හමු වන විට ඉන්දියාවෙන් ආසාදිතයින් 62 දෙනෙකු හමු වී තිබුණා. මේ අනුව, එම රෝගියා හමු වන තුරු ලංකාවේ හා ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයින් හමු වී තිබුණේ ජනගහණ අනුපාතයටයි.

කටුනායක ගුවන් තොටුපොළ වසා දමන තුරු ගෙවුණු දෙවන අදියර තුළ ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වුනා. එහෙත්, ඉන්දියාවේ එවැන්නක් වුනේ නැහැ. මුල්ම අදියරේදී ඉන්දියාව ඉතා ඉක්මණින් දැඩි තීරණ ගැනීම එයට හේතු වුනා වෙන්න පුළුවන්. මාර්තු 19 දිනය අවසන් වන විට ලංකාවෙන් රෝගීන් 66 දෙනෙකු හමු වී සිටියා. ඉන්දියාවෙන් හමු වී සිටියේ රෝගීන් 104 දෙනෙකු පමණයි. ජනගහණය අනුපාතය සැළකු විට ඒ වන විට ලංකාවේ කෝවිඩ්-19  අවදානම ඉන්දියාවේ මෙන් 39 ගුණයක් දක්වා වැඩි වී තිබුණා.

කටුනායක වසා දැමීමෙන් පසුව තෙවන අදියරේදී ලංකාව කෝවිඩ්-19 පාලනය කිරීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත්තා. එම ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ කෝවිඩ්-19 පැතිරීම විශාල ලෙස සීමා වුනා. ඊට සාපේක්ෂව ඉන්දියාවේ වැඩි වේගයකින් වෛරසය පැතිරුණා. අප්‍රේල් 19 වන විට ලංකාවේ කෝවිඩ්-19 ආසාදිතයින් 271ක් හමු වී තිබුණා. ඉන්දියාවෙන් එමෙන් 65 ගුණයක් පමණ, එනම් ආසාදිතයින් 17,615 දෙනෙකු ඒ වන විට හමු වී තිබුණා. ඒ වෙද්දී දෙරට කෝවිඩ්-19 අවදානම් තත්ත්වයන් ආසන්නව සමාන වී තිබුණා. ලංකාව ඉන්දියාවට වඩා තරමක් හෝ ඉදිරියෙන් සිටියා.

එහෙත්, පසුගිය දින කිහිපය තුළ ලංකාවේ කෝවිඩ්-19 අවදානම ඉන්දියාවට සාපේක්ෂව ඉහළ යමින් ඇති බව පෙනෙනවා. මේ වන විට ලංකාව කෝවිඩ්-19 පැතිරීමේ හතරවන අදියරකට අවතීර්ණ වෙමින් ඇති බවයි පෙනෙන්නට තියෙන්නේ.

එල්ලෙන්නට පිදුරු ගහක්...


අද දවස ඇතුළත ලොව පුරා කෝවිඩ්-19 මරණ ගණන ලක්ෂ දෙක ඉක්මවයි. එයින් හතරෙන් එකක් පමණ ඇමරිකාවෙන්. ගොඩක් අය හිතන්නේ කෝවිඩ්-19 කියන්නේ විසඳුමක් නැති ප්‍රශ්නයක් බවයි. එහෙත්, කෝවිඩ්-19 කියන්නේ විසඳුමක් නැති ප්‍රශ්නයක් නෙමෙයි. සැබෑ ප්‍රශ්නය වන්නේ කෝවිඩ්-19 සඳහා තිබෙන විසදුම් වලින් අපට සෑහීමකට පත් වෙන්න බැරි වීමයි.

විසඳුම් ඇතැයි කියා ගොඩක් අය හිතන ඕනෑම ප්‍රශ්නයකටත් වඩා හොඳ විසඳුම් තියෙන්න පුළුවන්. විසඳුමක් තිබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ තිබෙන විසඳුම් වලින් බොහෝ දෙනෙකු සෑහීමකට පත් වෙනවා කියන එක පමණයි.

කිසියම් ප්‍රශ්නයකට දැනට තිබෙන විසඳුම් වලින් සෑහීමට පත් නොවන බොහෝ දෙනෙක් ඉන්න කොට වඩා හොඳ විසඳුමක් ඉදිරිපත් කළ හැකි අයට එසේ කර ආර්ථික වාසියක් ලබා ගැනීමේ අවස්ථාවද ලැබෙනවා. මේ විසඳුම් කොයි තරම් හොඳ විසඳුම්ද කියන එක දැන ගන්න පුළුවන් වෙන්නේ ඒ විසඳුම් වලට තිබෙන වෙළඳපොළ ඉල්ලුම දෙස බැලීමෙන් පමණයි. අවසානයේදී වෙළඳපොළේ ඉඩ ලබා ගන්නේ වඩාත්ම හොඳ විසඳුම හෝ විසඳුම් කිහිපයයි. ඕනෑම කෙනෙකුට ඕනෑම විසඳුමක් යෝජනා කරන්න පුළුවන්කම තිබුණත් ඉල්ලුමක් නැත්නම් අසාර්ථක විසඳුමකට වෙළඳපොළ පැවැත්මක් නැහැ.

විසඳුම් හෙවීම ආණ්ඩුවේ ඒකාධිකාරයක් කරගත් විට ඉහත කී කටයුත්ත ඒ විදිහටම සිදු වෙන්නේ නැහැ. සියල්ලන්ටම හොඳ විසඳුම තෝරන්නේ ආණ්ඩුවයි.

කෝවිඩ්-19 හමුවේ ලොව පුරා හැම රටකම වගේ ආණ්ඩු තමන්ගේ ඒකාධිකාර ශක්තිමත් කර ගනිමින් සිටිනවා. එහෙත්, කාලය විසින් තහවුරු කරමින් සිටින්නේ ආණ්ඩු වලින් යෝජනා කරන විසඳුම් පෙන්වන තරම් සාර්ථක විසඳුම් නොවන බවයි.

"මේ වෙලාව පිදුරු ගහක වුණත් ශක්තිය මැනලා බලන්න ඕනේ වෙලාවක් නේද?"

ගොඩක් අයට ඔය වගේ ප්‍රශ්නයක් මතු වන එක සාධාරණයි. ප්‍රශ්නයකට විසඳුමක් තමන්ටම හොයා ගන්න බැරි වුනහම මිනිහෙක්ට කරන්න වෙන්නේ වෙනත් අයෙකු විසින් ලබා දෙන විසඳුම් දෙස බලා සිටීම පමණයි.

අපි ගොඩක් දෙනෙකුට කෝවිඩ්-19 සඳහා එන්නතක් හෝ ප්‍රතිකාරයක් අලුතින් හොයා ගැනීමේ හැකියාවක් නැහැ. එවැනි වැඩක් කළ හැකි දැනුමක් හා පුහුණුවක් ඇති අය ඉන්නේ ඉතා සීමිත පිරිසක් පමණයි. ඒ නිසා, අපට ඒ අය විසඳුමක් දෙන තුරු බලා ඉන්න වෙනවා.

එහෙමනම් අපට කරන්නම දෙයක් නැද්ද? මේ වෙලාවේ කරන්න තිබෙන පළමු දෙය තමන් ගැන හිතීමයි. මේ වෙලාවේ නෙමෙයි වෙන වෙලාවක වුනත් එහෙමයි. තමන්ට තිබෙන වාසි වැඩි කරගැනීමක් ගැන හිතන්න බැරිනම් අවාසි හා අවදානම් අඩු කර ගන්නේ කොහොමද? මෙය එක් එක් පුද්ගලයා විසින් තනිව ගත යුතු තීරණයක්.

තමන් ගැන හිතීම කියා කියන්නේ ආත්මාර්ථකාමී වීමක් නෙමෙයි. කෙනෙකුට තමන් ගැන හිතන අතරම අනුන් ගැනත් හිතන්න බැරිකමක් නැහැ. විශේෂයෙන්ම කෝවිඩ්-19 ප්‍රශ්නය හා අදාළව බොහෝ දුරට තමන් ගැන හිතීම අනුන් ගැනද හිතීමක් වෙනවා.

විසඳුමක් නොපෙනෙන නිසා පිදුරු ගස් වල එල්ලිය යුතු නැහැ. කතාවෙන්ම කියවෙන්නේ ගඟේ ගහගෙන යන කෙනා පිදුරු ගහක වුවත් එල්ලෙන බවයි. පිදුරු ගහක එල්ලුනා කියා ගඟේ ගහගෙන යන එකෙන් බේරෙන්න බැරි බව කවුරුත් දන්නවා.

ගඟේ ගහගෙන යන කෙනා පිදුරු ගහක එල්ලුනා කියා වැඩක් වෙන්නේ නැතත් හානියක්ද නොවෙන බව කාට හරි කියන්න පුළුවන්. නමුත්, පිදුරු ගස් වල එල්ලීමෙන් බොහෝ විට වෙන්නේ හානියක්. පිදුරු ගහ අත හැර අතපය ටිකක් එහෙ මෙහෙ කළානම් බේරෙන්න යම් ඉඩක් හෝ තිබෙනවා.

කෝවිඩ්-19 සඳහා යෝජනා කෙරෙන ඇතැම් විසඳුම් සමාන කළ හැක්කේ පිදුරු ගහක එල්ලී ගඟකින් එගොඩ වෙන්න යෝජනා කිරීමකටයි. ගඟෙන් එගොඩ වෙන්න ඔරුවක් නැහැ. ඔරුවක් එන දවසක් ගැන සහතිකයකුත් නැහැ. ගඟ මෙගොඩ හිටියොත් කොයි වෙලාවක හරි වළහෙක්ගේ හෝ කොටියෙක්ගේ ගොදුරක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම සතෙක් තවම ළඟ පාතක පේන්න නැහැ.

පැත්තක ඉන්න අය පිදුරු ගස් දික් කරමින් ඒවායේ එල්ලී ගඟෙන් එගොඩ වෙන්න කියා යෝජනා කරනවා. මෙගොඩ හිටියොත් වළහෙක්ගේ කොටියෙක්ගේ ගොදුරක් විය හැකි බවත් පුන පුනා කියනවා.

කළ යුත්තේ කුමක්ද? පිදුරු ගහක් අරගෙන ගඟට පනිනවද? වළහෙක්ගේ හෝ කොටියෙක්ගේ ගොදුරක් වීමේ අවදානම අරගෙන ඔරුවක් එන තුරු තව ටිකක් බලනවද?

අද සෙනසුරාදා. සබන් කෑල්ලක් හප හප විෂබීජනාශක ෂොට් එකක් දාගන්න ගමන්!

(Image: https://www.veteranstoday.com/2020/04/24/lysol-maker-and-epa-issue-warning-please-ignore-trump-dont-drink-disinfectant-products-or-do-anything-else-he-says/)

Friday, April 24, 2020

නිවුයෝර්ක් නගරයේ 21%කට නොදැනම කොරෝනා හැදිලා!


කෝවිඩ්-19 ආසාදනය ඇතැම් අයට මාරාන්තික බව කවුරුත් දන්නා දෙයක්. එහෙත්, මේ වෛරසය ආසාදනය වන විශාල පිරිසකට කිසිදු රෝග ලක්ෂණයක් හෝ පහළ වන්නේ නැහැ. ඒ අයගෙන් විශාල පිරිසක් තමන්ට වෛරසය ආසාදනය වී නොදැනම සුව වී ඇති බව දන්නේවත් නැහැ. තමන්ට කෝවිඩ් ඇති බව සඟවාගෙන හිටියා කියා කෙනෙකුට චෝදනා කිරීම බරපතල වරදක් වන්නේ ඒ නිසයි.

සෑම රටකම වගේ කෝවිඩ්-19 සඳහා පරීක්ෂා කරන්නේ රෝග ලක්ෂණ පහළ වී ඇති අය හෝ ආසාදිතයින් ඇසුරු කළ අය වැනි වැඩි අවදානමක සිටින අය පමණයි. ඒ නිසා, මේ කාණ්ඩයේ ආසාදිතයින් කිසිදු රටක සංඛ්‍යාලේඛණ වලට මුළුමනින්ම ඇතුළත්ව නැහැ. එසේ සිටිනවානම් අයිස්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි මහා පරිමාණයෙන් අහඹු කෝවිඩ්-19 පරීක්ෂා කරන රටක පමණයි.

දැනට බහුලව භාවිතා කරන පීසීආර් පරීක්ෂණ මඟින් කෙරෙන්නේ කෙනෙකුගේ නාසය හා උගුර ආශ්‍රිතව වෛරසය ඇත්දැයි පරීක්ෂා කිරීමයි. කෝවිඩ්-19 සඳහා ඇති අනෙකුත් පරීක්ෂාව ප්‍රතිදේහ පරීක්ෂාවයි. ප්‍රතිදේහ පරීක්ෂාවක ඇති වාසිය වන්නේ එමඟින් නොදැනම හෝ වෛරසය ආසාදනය වී ඇති අය මෙන්ම එසේ ආසාදනය වී සුව වුනු අයද හඳුනාගත හැකි වීමයි. මෙහිදී පරීක්ෂාවට ලක් වන්නේ කෙනෙකුගේ සිරුරේ කෝවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රතිදේහ සෑදී ඇත්දැයි යන්නයි.

නිවු යෝර්ක් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශ ආවරණය කරමින් සිදු කළ ප්‍රතිදේහ පරීක්ෂාවක මූලික අදියරේ ප්‍රතිඵල අද දින ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව, පෙනී ගොස් ඇත්තේ පරීක්ෂාවට ලක් වුනු නිවු යෝර්ක් නගර වැසියන්ගෙන් 21.2%ක පිරිසකගේ සිරුරු වල කෝවිඩ්-19 ප්‍රතිදේහ ඇති බවයි. සමස්තයක් ලෙස නිවු යෝර්ක් ප්‍රාන්තයේ පරීක්ෂාවට ලක් වූ අයගෙන් 13.9%කගේ සිරුරු වලින් ප්‍රතිදේහ හමු වී තිබෙනවා.

මෙසේ පරික්ෂාවට ලක් වූයේ මේ අවස්ථාවේදී රැකියාව සඳහා නොයන, එනම් අත්‍යාවශ්‍ය සේවයක නොනියැලෙන, කිසියම් අවශ්‍යතාවයක් සඳහා, බොහෝ විට භාණ්ඩ මිල දී ගැනීම සඳහා, නිවසින් පිටතට ගිය අයයි. වයස 18ට අඩු අය පරීක්ෂාවට ලක් කර නැහැ.

මෙම පරීක්ෂණ ප්‍රතිඵල අනුව නිවු යෝර්ක් ප්‍රාන්තයේ 13.9%කට වෛරසය ආසාදනය වී ඇති සේ සැලකුවහොත් එම ප්‍රමාණය මිලියන 2.7ක් විය යුතුයි. එහෙත්, දැනට හඳුනාගෙන තිබෙන ආසාදිතයින් ප්‍රමාණය එම ගණනින් 10%ක් පමණයි. මෙයින් අදහස් වන්නේ හඳුනාගත් එක් ආසාදිතයෙකුට හඳුනා නොගත් ආසාදිතයින් දහ දෙනෙකු සිටින බව විය හැකියි. මේ පදනම මත සැබෑ කෝවිඩ්-19 මරණ අනුපාතය 0.5%ක් පමණක් විය හැකියි. මහා පරිමාණයෙන් ජනගහණ පරීක්ෂා කර ඇති අයිස්ලන්තයේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මරණ අනුපාතද තිබෙන්නේ 0.5% මට්ටමේ.

Thursday, April 23, 2020

ඇමරිකාවේ පූසන්ටත් කොරෝනා හැදිලා!


ඇමරිකාවේ සුරතලයට හදන පූසන් දෙදෙනෙකුටද කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ජාතික පශු වෛද්‍ය සේවා විද්‍යාගාරය විසින් ඊයේ (අප්‍රේල් 22) තහවුරු කළා. මේ ඇමරිකාවේදී පූසන්ට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණු ප්‍රථම අවස්ථාවයි. එහෙත්, මීට පෙර වෙනත් රට වලින් කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පූසන් පිළිබඳව වාර්තා වී තිබුණා.

මේ පූසන් දෙදෙනා හමු වුනේ මීට පෙර  කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ ව්‍යාඝ්‍රයෙකු (Tiger) හා සිංහයෙකුද හමු වූ නිවු යෝර්ක් ප්‍රාන්තයේ එකිනෙකට දුරස්ථ ප්‍රදේශ දෙකකින්. පූසන් දෙදෙනාගෙන් එක් පූසෙකුගේ අයිතිකරුද කෝවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇතත්, අනෙක් පූසා සිටි නිවසේ කිසිවකු කෝවිඩ්-19 ආසාදිතයින් සේ හඳුනාගෙන නැහැ. එමෙන්ම, ඒ නිවසේම සිටි තවත් පූසෙක්ටද වෛරසය ආසාදනය වී නැහැ.

සතුන් හරහා කෝවිඩ්-19 වෛරසය කෙතරම් දුරට පැතිරෙනවාද යන්න තවමත් අවිනිශ්චිත කරුණක්. මේ පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගැනීමට ඉඩ සැලසෙන තුරු පහත පියවර අනුගමනය කරන මෙන් ඇමරිකාවේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

- ඔබේ නිවසේ සිටින සුරතල් සතුන්ට නිවසෙන් බාහිර පුද්ගලයින් හෝ සතුන් ඇසුරු කිරීමට ඉඩ දෙන්න එපා.

- සුරතල් සතුන් නිවස ඇතුළේම තබා ගැනීමට හැකි තාක් උත්සාහ කරන්න.

- බල්ලන් නිවසෙන් එළියට ගෙන යනවානම් හැම විටම ඔවුන්ව බැඳ තබා ගෙනම ගෙන යන්න. වෙනත් මිනිසෙකු හෝ සතෙකු අසලක ඇති විට අඩි 6ක අවම පරතරයක් තබා ගන්න.

- මිනිසුන් හෝ බල්ලන් එක් රැස් වන තැන් මග හරින්න.

ඔබ කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ අයෙකු හෝ සැකයට බඳුන් වූ අයෙකුනම්,

- සුරතල් සතුන් ගැන බලා ගැනීම වෙනත් අයෙකුට භාර දෙන්න.

- සුරතල් සතුන් ස්පර්ශ කිරීමෙන්, ඔවුන් සමඟ ආහාර බෙදා ගැනීමෙන් හා ඔවුන්ට ඔබේ ඇඳ ඇතිරිලි ආදිය පරිහරණය කිරීමට ඉඩ හැරීමෙන් වැළකෙන්න.

- ඔවුන් ගැන බැලීම කළ යුතුමනම්, ඊට පෙර මුහුණ ආවරණය කර ගන්න. සතුන් වෙත සමීප වීමට පෙර හා පසුව හොඳින් අත් සෝදා ගන්න.

ඉදිරියේදී තව තවත් සතුන් කෝවිඩ්-19 සඳහා පරීක්ෂා කළ යුතු වනු ඇති බවට විශ්වාසය පළ කරන ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ හේතුව නිසා කෝවිඩ්-19 පරීක්ෂා කට්ටල හිඟයක් ඇති වනු ඇති බවට බියක් ඇති කර ගත යුතු නැති බවද සඳහන් කර තිබෙනවා.


(Image: https://www.foxnews.com/lifestyle/outdoor-cats-coronavirus-stay-inside)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...