වෙබ් ලිපිනය:

Showing posts with label ධනවාදය. Show all posts
Showing posts with label ධනවාදය. Show all posts

Saturday, April 10, 2021

ටොමී හිල්ෆිගර්- නින්දිත සූරාකන්නා


ලංකාවේ ඇඟලුම් සේවිකාවකගේ මාසික වැටුප රුපියල් 34,000ක්. ඈ විසින් මහන ටොමී හිල්ෆිගර් සන්නාමය සහිත ෂෝටක් ඇමරිකාවේ ඩොලර් 55කට විකිණෙනවා. එය ලංකාවේ මුදලින් රුපියල් 11,000ක්. මේ දවස් වල ඩොලරයක රුපියල් මිල ඉහළ යන වේගයට මෙය කියවන මොහොත වෙද්දී එකොළොස්දාහටත් වැඩි ඇති! ඒ කියන්නේ ලංකාවේ ලංකාවේ ඇඟලුම් සේවිකාවකට තමන්ගේ මාසික වැටුපෙන් මිල දී ගන්න පුළුවන් ඔය ෂෝට් තුනයි.

"මීට අවුරුදු 10 කට විතර කලින් වෘත්තීය සමිතියකින් රිසර්ච් එකක් කරලා තිබුනා. ඒක අනුව ඔක්කොම ගණන් හදලා බැලුවම ඇඟලුම් සේවිකාවක් තමන්ට දිනකට ලැබෙන වැටුපට සමාන ලාභයක් විනාඩි 25 ක් වැඩ කළාම හොයල ඉවරයි. ඉතිරි පැය 7 යි විනාඩි 35 ම සමාගමේ ලාභය.

(ඒ ගාණ හැදුවෙ ඉඩම්, ගොඩනැඟිලි, අමුද්‍රවය ඇතුළු සියලු පිරිවැය සලකලා සහ ඔවුන් වැඩකරන්නෙ දවසට පැය 8 යි ලෙස සලකලා.)

ඔන්න ඕකයි තත්වෙ. නින්දිත සූරා කෑමක්!
ඕක තමයි ධනවාදය!"

ඉහත ප්‍රකාශය ඇත්තනම් ලංකාවේ ඇඟලුම් සේවිකාවක් විනාඩි 25කදී තමන්ගේ දිනක වැටුප හොයනවා. නමුත් දිනකට පැය අටක්, ඒ කියන්නේ විනාඩි 480ක් වැඩ කරනවා. ඒ අනුව තමන් උපයන වැටුප වගේ 480/25 = 19.25 ගුණයක ලාබයක් හොයනවා. ඒ කියන්නේ සූරාකෑමක් නැත්නම් ඇගේ නියම මාසික වැටුප රුපියල් 652,800ක් විය යුතුයි. 

කොහොම වුනත් ධනවාදයේ නින්දිත සූරාකෑම නිසා ලංකාවේ ඇඟලුම් සේවිකාවකට ලැබෙන්නේ ඇගේ නියම වැටුපෙන් 1/19.25ක් පමණයිලු. ලංකාවේ අනෙක් අයගේ වැටුප් හැදෙන්නත් ඔය පදනම යටතේ කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඩොලර් 3,830ක් වන ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 73,700ක් පමණ විය යුතුයි. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායමටත් වඩා වැඩි අගයක්!

මේ සල්ලි සූරාකන සමාගම මොකක්ද කියලා හරියටම කියලා නැහැ. ලංකාවේ සමාගම වෙන්න බැහැනේ. එහෙමනම් ඔය සූරාකාපු සල්ලි ලංකාවේ තියෙන්න ඕනෑනේ. ඔය කියන සමාගම ටොමී හිල්ෆිගර් සන්නාමයට සම්බන්ධ සමාගමක් විය යුතුයි. 

මේ වෙද්දී ටොමී හිල්ෆිගර් සන්නාමය අයිති පීවීඑච් (පිලිප්-වැන් හුසේන්) සමාගමට. කැල්වින් ක්ලේන්, වැන් හුසේන් වගේ සන්නාම අයිතිත් මේ සමාගමට. පීවීඑච් සමාගම ලෝකයේ ලොකුම ඇඟලුම් සමාගමක්. පසුගිය (2021 ජනවාරි 31න් අවසන් වූ) වසර තුළ ඇඳුම් විකුණා ලබා තිබෙන ආදායම ඩොලර් මිලියන 7,133ක්. ලංකාවේ ඇඟලුම්ද ඇතුළු මුළු කාර්මික අපනයන ආදායමට කිට්ටු මුදලක්. ඇඳුම් වල වියදම ලෙස වැය වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 3,356ක් පමණයි. ඒ කියන්නේ ඇඳුම් විකුණලා තියෙන්නේ වියදම වගේ දෙගුණයකටත් වඩා වැඩියෙන්. විකිණුම් මිලෙන් 53%ක්ම ලාබ!

හැබැයි මේ විදිහට විකිණුම් මිල හා පිරිවැය අතර වෙනස සමාගමක ලාබ විදිහට සලකන එක අන්තිම බොළඳ වැඩක්. මේ පිරිවැය විචල්‍ය පිරිවැය. සේවක වැටුප්, ගොඩනැගිලි කුලී, ප්‍රවාහන වියදම්, ප්‍රචාරන වියදම් වගේ තවත් වියදම් අටෝරාසියක් තිබෙනවා. ඒවා ස්ථිර පිරිවැය. ෂෝටක් ඩොලර් 55කට විකුණන්නනම් ඔය පිරිවැය දරන්නම වෙනවා. එහෙම නැතුව පදික වේදිකාවේ දාලා විකුණන්න බැහැ. ඇඳුම් විකිණුවත් නැතත් මේ ස්ථිර පිරිවැය එහෙම්මම තියෙනවා. නියම ලාබය වන්නේ මේ ස්ථිර පිරිවැයත් අඩු කළාට පසු ඉතිරි වන කොටසයි.

පීවීඑච් සමාගම විසින් කාව හරි හූරං කාලා මහා ලොකු ලාබයක් ලබනවානම් ඔය සමාගමේ කොටස් මිල දී ගන්න මිනිස්සු පෝලිමේ එනවා. ඇමරිකාවේ සමාගමක කොටස් මිල දී ගන්න එක මහා ලොකු වැඩක් නෙමෙයිනේ. ටොමී හිල්ෆිගර් ෂෝට් දෙකක් මිල දී ගන්න සල්ලි වලින් සමාගමේ කොටසක් මිල දී ගන්න පුළුවන්. කෝවිඩ් පැතිරෙන්න පටන්ගත් පහුගිය 2020 මාර්තු මාසයේදී ඔය කොටසක් ඩොලර් 30ට පමණ බැස්සා. ඒ දවස් වල ගත්තානම් ලංකාවේ ඇඟලුම් සේවිකාවකගේ සතියක වැටුපෙන් වුනත් කොටසක් මිල දී ගන්න තිබුණා.

පසුගිය අවුරුද්දේ පීවීඑච් සමාගමේ මෙහෙයුම් පිරිවැය ඇතුළු අනෙකුත් වියදම් අඩු කළාට පස්සේ ඇත්තටම ඩොලර් මිලියන 1,193ක පාඩුවකුයි වෙලා තියෙන්නේ. මෙය විශාල පාඩුවක්. පාඩුවට හේතුව කෝවිඩ් නිසා ඇමරිකාවේ ඇඟලුම් වලට තිබෙන ඉල්ලුම විශාල ලෙස පහළ යාමයි. අලෙවිය අඩු වෙද්දී ආදායම් අඩු වන අනුපාතයට වියදම් අඩු නොවන නිසා එකට එකක ලාබ ආන්තිකයක් තියාගත්තත් එයින් ස්ථිර පිරිවැය ආවරණය කර ගන්න බැහැ. මෙය සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යාපාරයක ස්වභාවයයි.

පීවීඑච් වගේ සමාගමක් ව්‍යාපාරය මෙහෙයවන්නේ පාඩු ලබන්න නෙමෙයි. සාමාන්‍යයෙන් මේ වගේ සමාගමක් ලාබ ලබනවා.  එවිට සමාගමේ කොටස් හිමිකරුවන්ට ලාභාංශ ලැබෙනවා. නමුත් ඔවුන්ට පාඩු ලැබීමේ අවදානමද දරන්න වෙනවා. 2020 ජනවාරි 31න් අවසන් වූ පෙර වසරේදී පීවීඑච් සමාගම ඩොලර් මිලියන 444ක් ලාබ සේ උපයා තිබෙනවා. එක් කොටසක් වෙනුවෙන් ඩොලර් 5.60ක ලාභාංශ ලැබී තිබෙනවා. පීවීඑච් කොටසක මිල ඩොලර් 100කට ආසන්න නිසා මෙය 5.6%ක පමණ පොලී අනුපාතිකයකට සමානයි. අවදානම සැලකූ විට මෙය ඉහළ පොලී අනුපාතිකයක් නෙමෙයි. 

පීවීඑච් වගේ සමාගමක අයිතිකාරයෝ කියා කියන්නේ අමුතු මිනිස්සු කොට්ඨාශයක් නෙමෙයි. ඇමරිකාවේ හෝ ඇමරිකාවෙන් පිටත ජීවත් වෙන අපි වගේ සාමාන්‍ය මිනිස්සු. අද දවස අවසන් වෙද්දී පීවීඑච් කොටසක මිල ඩොලර් 110.50ක්. මට අවශ්‍යනම් ඔය මුදල ගෙවා කොටසක් මිල දී ගන්න පුළුවන්. නමුත් මම එහෙම නොකරන්නේ අවුරුද්දකට ඩොලර් 4ක ලාභාංශ කියා කියන්නේ මහා ලොකු ලාබයක් නොවන නිසා. වෙන සමාගමක කොටස් වල ආයෝජනය කළත් ඔය වගේ මට්ටමකින් ලාභාංශ උපයන එක අමාරු දෙයක් නෙමෙයි.

ධනවාදී ක්‍රමයක් යටතේ තරඟකාරී වෙළඳපොළක් තිබේනම් ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ඵලදායීතාවයත්, ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ඵලදායීතාවයත් හරියටම ලැබෙනවා මිස අමුතු ලාබයක් කාටවත් ලැබෙන්නේ නැහැ. සූරාකෑම කියන එක මාක්ස්ගේ කතන්දරයක්. හැබැයි ඔය වචනේ සීනියර් අයියලාගේ මුඛ පරම්පරාවෙන් වනපොත් කරලා ගිරවු වගේ වමාරන ගොඩක් අයට සූරාකෑම කියලා මාක්ස් කියන දේ ගැනවත් හරි අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නේ නැහැ.

මාක්ස්වාදයට අනුව නිර්ධන පන්තිකයින් හා ධනපතියන් කියලා මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. නිර්ධන පන්තිකයෝ කියා කියන්නේ තමන්ගේ ශ්‍රමය හැර කිසිදු ප්‍රාග්ධනයක් නැතිව උපදින අය. ඒ අයට විප්ලවයක් නොකර කවදාවත් විමුක්තිය ලබා ගන්න බැහැ. ජීවත් වෙන්න සොච්චමක් පමණක් දීලා ඉතුරු ටික ඔක්කොම ධනපතියෝ සූරා කනවා. ඒ නිසා විප්ලවයක් කරලා නිර්ධන පන්ති ආඥාදායකත්වයක් හදන තුරු ඒ කට්ටියට බලාගෙන ඉන්න වෙනවා. මාක්ස්ගේ අර්ථකථනය අනුව ඇමරිකාවේ වුනත් ධනපතියෝ ඉන්නේ බොහොම ටිකයි. අති මහත් බහුතරයක් ඇමරිකානුවන් උපදින්නේ ප්‍රාග්ධනයක් නැතුවයි. හැබැයි ඇමරිකානුවන් වැඩි දෙනෙක් ඉපදුනු විදිහටම මැරෙන්නේ නැහැ.

තෝමස් ජේකබ් හිල්ෆිගර් හෙවත් ටොමී හිල්ෆිගර් කියා කියන්නෙත් උපතින් උරුම වූ ප්‍රාග්ධනයක් නැතිව සාමාන්‍ය ඇමරිකානු පවුලක ඉපදුනු දරුවෙක්. මාක්ස්වාදී අර්ථකථනය අනුවනම් නිර්ධන පාන්තිකයෙක්. දරුවන් නව දෙනෙකුගෙන් යුත් ඔරලෝසු හදන්නෙකුගේ පවුලක දෙවැනි දරුවා. ගොඩක් ඉහළට ඉගෙන ගත් අයෙකුත් නෙමෙයි. 

ඇමරිකාවේ බොහෝ දරුවන් වගේම කුඩා ටොමීත් පාසැල් කාලයේ සිටම කීයක් හරි හොයා ගන්න පැට්‍රෝල් ෂෙඩ් එකක වැඩ කරනවා. මේවා ඇමරිකාවේ පහළම මට්ටමේ රැකියා. බොහෝ විට ලැබෙන්නේ අවම වැටුප. වැඩ කරන පැය ගණන අනුව. එහෙත් ඇමරිකන් දරුවෙක් තමන්ට මේ විදිහට වැඩක් කරලා කීයක් හෝ හොයා ගන්න තිබෙන අවස්ථාව අගය කරනවා මිස බුදු අම්මෝ මගෙ ශ්‍රමය සූරාකනවෝ කිය කියා මොර දෙන්නේ නැහැ. පෙට්‍රෝල් ෂෙඩ් එකේ රැකියාව කරලා අමාරුවෙන් උපයන සල්ලි එකතු කරන ටොමී හිල්ෆිගර් වයස අවුරුදු 17ක් වෙද්දී ඩොලර් 150ක ප්‍රාග්ධන හිමියෙක් වෙනවා. 

මේ විදිහට ටොමී හිල්ෆිගර් ඩොලර් 150ක මුදලක් ඉතිරි කර ගන්නේ 1968 අවුරුද්දේදී. ඒ මුදලේ දැන් වටිනාකම ඩොලර් 1000ක් පමණ වෙනවා. ලංකාවේ ඇඟලුම් සේවිකාවකගේ මාස හයක පඩිය. ඇමරිකාවේ පහළම මට්ටමේ රැකියාවක් කරන කෙනෙක් සති දෙක තුනකින් පමණ හොයන මුදලක්. තවත් යාලුවෙක් එක්ක එකතු වෙලා මේ මුදලින් බෙල්බොටම් කලිසම් 20ක් මිල දී ගන්න ටොමී ගාණක් තියාගෙන ඒ කලිසම් තමන්ගේ පාසැලේ මිතුරන්ට විකුණනවා. 

අවුරුද්දක පමණ කාලයක් ටොමී සහ ඔහුගේ යාලුවා ලැරී මේ බිස්නස් එක කරනවා වගේම එය තවත් දියුණු කර ගන්නවා. ඔවුන්ගේ මේ පුංචි ව්‍යාපාරය කරගෙන යන්න උදවු වෙන්නේ තමන්ගේ වයසේ අය කැමති මෝස්තර ගැන තිබෙන ටොමීට තිබෙන ඉව. ටොමී සහ ලැරී නිවුයෝර්ක් නගරයේ අහුමුලු පීරලා තමන්ගේ වයසේ අය අතර විකුණන්න පුළුවන් මෝස්තර වල ඇඳුම් හොයා ගන්නවා. 

ඔය කාලය තරුණයන් අතර හිපි ජීවන ක්‍රමය ජනප්‍රිය වී තිබුණු කාලයක්. හිපි මෝස්තරයේ ඇඳුම්, ආභරණ ආදිය අඩුවට හොයා ගන්න ටොමී මේ ඇඳුම් තමන්ගේ කාර් එකේ ඩිකියේ තියාගෙන ලාබයක් තියාගෙන තමන්ගේ යාළුවන්ට, ඔවුන්ගේ යාළුවන්ට හා වෙනත් තරුණ තරුණියන්ට විකුණනවා. වැඩේ නැගලා යනවා.

නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිය 1969 අවුරුද්ද වන විට ටොමී අවුරුදු 18ක තරුණයෙක්. කාර් එකේ ඩිකියේ තියාගෙන ඇඳුම් විකුණලා ඒ වෙද්දී ඔහු පොඩියට නමක් හදාගෙන. ඔය කාලයේ සමහර රටවල තරුණයෝ මාක්ස්ගේ කතන්දර වලට රැවටිලා රාජ්‍ය බලය පැහැරගෙන සූරා කෑම් නැති තමන්ගේ සිහින රාජ්‍යය ගොඩ නැගීමේ අරමුණින් කැලෑ වැදිලා අවි පුහුණුව ලබනවා. තමන් ප්‍රාග්ධනයක් නැතිව ඉපදුනේ තමන්ගේ වැරැද්දකින් නොවුනත්, ප්‍රාග්ධනයක් නැතිව මැරෙන්න වුනොත් එය තමන්ගේ වැරැද්දක් බව දන්න ටොමී තවත් පියවරක් ඉදිරියට තබමින් බේස්මන්ට් එකක තමන්ගේම ඇඳුම් කඩයක් අරිනවා.


ජනතා වෙළඳසැල (පීපල්ස් ප්ලේස්) නම් වූ මේ රෙදි කඩේ පටන් ගන්නේ ඉතාම සුළුවෙන්. අතින් ඇඳපු බෝඩ් එකක් මිසක් හරියකට බෝඩ් එකක්වත් නැහැ. ටොමී සහ ඔහුගේ යහළුවා පූර්ණකාලීනව කඩේ වැඩ කරනවා. වෙනත් යහළුවන් අර්ධකාලීනව වැඩ කරනවා. ඒ වෙනත් යහළුවන්ගේ ශ්‍රමය වෙනුවෙන් ටොමී ඔවුන්ට ඇඳුම් වලින් ගෙවනවා. ඒක සූරාකෑමක් කියලා කවුරුවත් ඔහුට චෝදනා කරන්නේ නැහැ. 

වැඩි කල් යන්න කලින් පීපල්ස් ප්ලේස් නම ජනප්‍රිය වෙනවා. නිවුයෝර්ක් ආසන්න විශ්ව විද්‍යාල ආශ්‍රිතව එහි ශාඛා ගණනාවක් අරින්න පුළුවන් වෙනවා. ඔය විදිහට ශාඛා 10ක් දක්වා මේ ව්‍යාපාරය පුළුල් වුනත් 1975 වෙද්දී මේ ව්‍යාපාරය බංකොළොත් වෙනවා. ව්‍යාපාර කිරීම අවදානම් වැඩක්!

පාසැලෙන් ඉවත් වූ ගමන් ඇඳුම් ව්‍යාපාරයට බහින ටොමීට තරුණ තරුණියන් කැමති විලාසිතා පිළිබඳව හොඳ ඉවක් තිබුණත් ව්‍යාපාරයක් ඉදිරියට ගෙනයන්න අවශ්‍ය ව්‍යාපාරකරණය, ගිණුම්කරණය වගේ දේවල් ගැන හොඳ දැනුමක් තිබුණේ නැහැ. මුලදී ඔහු මේ දේවල් එතරම් වැදගත් සේ සලකන්නේ නැහැ. එහෙත් ව්‍යාපාර බංකොලොත් වුනාට පස්සේ ඔහුට තමන්ගේ අඩුපාඩුව පැහැදිලිව පේන්න ගන්නවා. ඉන්පසුව තමන්ට අවශ්‍ය දැනුම ලබා ගැනීමට කාලය හා මුදල් ආයෝජනය කරනවා.

ඉන්පසුව ටොමීට මෝස්තර සැලසුම්කරුවෙකු ලෙස මුල සිට ජීවිතය පටන් ගන්න වෙනවා. දැන් නැවතත් ඔහු සතු ප්‍රාග්ධනයක් නැහැ. ඒ වන විට ඔහු තමන්ගේ වෙළඳසැලක සේවය කළ සේවිකාවක හා විවාහ වෙලා. ආදායමක් උපයන්න වෙන්නේ මේ දෙන්නා එක්කම මෝස්තර සැලසුම්කරණයේ යෙදෙමින් තමන්ගේ ශ්‍රමය විකුණලා. හැබැයි ඔහුට මේ වැඩේ කරන්න වෙන්නෙත් අවුරුද්දයි. දෙන්නාටම එකපාර රස්සා නැති වෙලා නැවතත් පාරට වැටෙනවා.

අතේ ලොකු මුදලක් නැතත්, මෝස්තර සැලසුම්කරුවෙකු ලෙස හොඳ වැටුපක් ලැබිය හැකිව තිබියදීත්, ටොමී කැමැත්තෙන් ඉන්නේ ගිලෙන්න හරි බලාගෙන නැවතත් වතුරට බහින්නයි. ඇඟලුම් ව්‍යාපාරයේ දැවැන්තයෙකු වූ මෝහන් මුර්ජානි මේ වෙද්දී මෝස්තර සැලසුම්කරුවෙකු හොයමිනුයි ඉන්නේ. මුර්ජානි සමාගම සමඟ එක් වන ටොමී තමන්ගේම සන්නාමයකින් වැඩ පටන් ගන්නවා. ඒ තමයි ටොමී හිල්ෆිගර් සන්නාමය.

ටොමී හිල්ෆිගර් සන්නාමය යටතේ ඇඳුම් නිර්මාණය වන්නේ 1985 වසරේදී. මුලින් මුර්ජානි සමාගම සමඟ වැඩ කරන ටොමී පසුව ඔවුන්ගෙන් අයින් වෙනවා. 1988 වන විට ටොමී හිල්ෆිගර් සන්නාමයේ අලෙවිය ඩොලර් මිලියන 25ක්. 1995 පමණ වන විට ඩොලර් මිලියන 500ක්. 2000 වන විට ඩොලර් බිලියනයක්. 2004 වන විට ටොමී හිල්ෆිගර් සමාගම ඩොලර් බිලියන 1.8ක අලෙවියක් තිබෙන, සේවකයින් 5,400කට රැකියා සපයන දැවැන්ත ව්‍යාපාරයක්. 2005 වසරේදී ටොමී හිල්ෆිගර් විසින් තමන්ගේ සමාගම ඩොලර් බිලියන 1.6ක මුදලකට බ්‍රිතාන්‍ය ආයෝජන සමාගමකට (Apax Partners) විකුණා දමනවා. පීවීඑච් සමාගම විසින් 2010 වසරේදී ඩොලර් බිලියන 3ක් ගෙවා ටොමී හිල්ෆිගර් සන්නාමය මිල දී ගන්නේ එම සමාගමෙන්.

තමන්ගේ ශ්‍රමය හැර වෙනත් ප්‍රාග්ධනයක් නැතිව ඉපදී, ඇමරිකාවේ පවතින ධනවාදී ක්‍රමයේ උදවුවෙන් හා තමන්ගේ මහන්සියෙන් හා උනන්දුවෙන් සැලකිය යුතු ප්‍රාග්ධනයක් උපයාගත් වෙනත් බොහෝ ඇමරිකානුවන් වගේම මේ "නින්දිත හූරාකන්නා" විසින්ද විවිධ ජනහිතකාමී කටයුතු වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය විශාල ලෙස වැය කර තිබෙනවා. 1995 පමණ සිටම තරුණයින් සවිබල ගැන්වීම වෙනුවෙන් හා ඔවුන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍යය නගා සිටවීම වෙනුවෙන් වැඩ කර තිබෙනවා. මේ වෙද්දී ජනහිතකාමී කටයුතු ටොමී හිල්ෆිගර්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවය කියා කියන්න පුළුවන්.

ටොමී හිල්ෆිගර් විසින් ඔහුගේ ජනහිතකාමී කටයුතු සිදු කර තිබෙන්නේ ඇමරිකාව තුළ පමණක් නෙමෙයි. ලෝකය පුරාම ළමුන්, පරිසරය, සෞඛ්‍යය ආදී විවිධ ක්ෂේත්‍ර වල පැතිරී තිබුණු ඔහුගේ ජනහිතකාමී කටයුතු මේ වෙද්දී ටොමීකෙයාර් සංවිධානය හරහා සිදු වෙනවා. 

අද වෙද්දී ලොකු අධ්‍යාපනයක් නොලැබූ ලංකාවේ තරුණියකට මසකට රුපියල් 34,000ක පමණ ආදායමක් ඉපැයිය හැකිව තිබෙන්නේ ටොමී හිල්ෆිගර් වැනි ව්‍යවසායකයන්ගේ පුරෝගාමී මෙහෙවර නිසයි. ලංකාවේ ඇඟලුම් ව්‍යාපාරය නොතිබෙන්නට මේ තරුණියන්ටත් සිදු වන්නේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට බෝඩ් අල්ලාගෙන ඉන්න හෝ බස් වලට නැගී කැට හොල්ලන්නයි. නැත්නම් තමන්ගේ විප්ලවවාදී ජීව ගුණය පෙන්වන්න අශූචි කානු වල ඉන්න මීයන් මරාගෙන කන්නයි. ඔවුන් තමන්ගේ මහන්සියෙන් උපයන මේ මුදලින් කොටසක් රජය විසින් බදු හරහා සූරාකමින් රටට ඵලදායී සේවයක් නොකරන පරපුටුවන් පිරිසක් නඩත්තු කරද්දී විවිධ වෘත්තීය සමිති ආදිය විසින්ද ඔවුන්ගේ වැටුපෙන් තවත් කොටසක් සූරාකනවා.

Monday, April 5, 2021

සකලබුජන් කොට කලිසම්

ටොමී හිල්ෆිගර් කොට කලිසමට නැවත එමු. ඇමරිකාවේ ඔය වගේ සාමාන්‍ය කොට කලිසමක මිල ඩොලර් 55ක් වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. එහෙත් එයින් අදහස් වන්නේ ඇමරිකාවේ කොට කලිසමක් ඩොලර් 55ක් කියන එකම නෙමෙයි. ඔය මිල ඇමරිකාවේ වුනත් ඔය වගේ සාමාන්‍ය කොට කලිසමකට ටිකක් ඉහළ මිලක්. 

මම පෞද්ගලිකව කවදාවත් කොට කලිසමකට ඩොලර් 20කට වඩා වියදම් කරලා නැතුව ඇති. ඒ වගේම, මම ඇඳුමක් ගනිද්දී සන්නාම බලන්නේ නැහැ. මගේ පවුලේ අනෙක් අයත් ඇඳුම් මිල දී ගනිද්දී සන්නාම පස්සේ යන්නේ නැහැ. මේ කාරණයේදී මම අවුට්ලයර් කෙනෙක් කියලයි මම හිතන්නේ.

මගේ ඇමරිකාවේ ජීවිතයට මම කැමති හේතු අතරින් එක හේතුවක් ඇඳුම් වෙනුවෙන් ඕනෑවට වඩා කාලයක් යොදවන්න අවශ්‍ය නොවීම. ඔය තියෙන එකක් ඇඳගත්තා. යන්න ඕනෑ තැනට ගියා. ටී ෂර්ට් එක කණපිට ඇඳගෙන යන එක සාමාන්‍යයෙන් මාසයකට පාරක්වත් වෙන දෙයක්. ඕවා කවුරුවත් ගණන් ගන්නවද නැද්ද කියලවත් මම දන්නේ නැහැ.

කොහොමටත් මට මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම් අවධානයට ලක් වෙන්නේ ඉතාම අඩුවෙන්. සමහර වෙලාවට කවුරු හරි අමුත්තෙක් සම්බන්ධව විස්තර කරද්දී අහන දෙයක් තමයි මොන පාට ඇඳුමක්ද ඇඳගෙන හිටියේ කියන එක. ඔය ප්‍රශ්නෙට මට ජීවිතේට උත්තර දෙන්න බැහැ. 

පාට මතක නැත්නම් ඇඳලා හිටියේ ගවුමක්ද සාරියක්ද කියලා මතකද? ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න සිදු වී ඇති වාර ගණනත් ඉතාම විශාලයි. මොන පිස්සුද? කාටද ඕවා මතක හිටින්නේ? හොඳ වෙලාවට පොලීසියක උසාවියක සාක්කි දෙන්න වෙලා නැහැ. හැබැයි අනෙක් පැත්තට සමහර වෙලාවට දකින වාහනයක නොම්මරේ, කණට ඇහෙන දුරකථන අංකයක්, උපන් දින වගේ ඒවානම් මතක හිටිනවා. 

ඇඳුම් ගනිද්දී සන්නාමය බැලුවේ නැති වුනත් වාහනයක් හෝ පරිගණයක් ගනිද්දී මම සන්නාමය බලනවා. ඔය වගේ සන්නාමය බලන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ටොමී හිල්ෆිගර් සන්නාමය ගැනනම් මම හොයා ගත්තේ අන්තර්ජාලය පීරලා. බලාගෙන ගියාම මගේ සමහර මිතුරි මිතුරියනුත් මේ සන්නාමයේ ෆෑන්ස්ලා.

ටොමී හිල්ෆිගර් වෙබ්සයිට් එකට ගිහින් කොට කලිසම් සර්ච් කළාම ආපු කලිසම තමයි උඩ තියෙන්නේ. එහි සාමාන්‍ය මිල ඩොලර් 55ක්. රුපියල් 200 ගානේ බැලුවොත් එකොළොස්දාහ හරි. හැබැයි විකුණන්නේ 51%ක් අඩු කරලා ඩොලර් 26.99කට. මේ මිලට දින දෙකක් ඇතුළත තැපැල් කර එවීමේ ගාස්තුවත්, කලිසම එපානම් ආපසු එවීමේ ගාස්තුවත් ඇතුළත්. ඒ අනුව බැලුවොත් කලිසම වෙන්නේ ඩොලර් විස්සක් වගේ.

ඔය ටොමී හිල්ෆිගර් වෙබ්සයිට් එකේ මිල. ඔය වගේ කලිසම් වෙන තැන් වලිනුත් මිල දී ගන්න පුළුවන්. අන්තර්ජාලයේ හෙවුවහම ඩොලර් 13ටත් තියෙනවා. මේක ඇමරිකාවේ සාමාන්‍ය තත්ත්වය. ඇඳුමක් ඩොලර් පනහක් හැටක් වුනත් ටිකක් හෙවුවොත් ඔය කියන ගානට වඩා ගොඩක් අඩුවෙන් මිල දී ගන්න පුළුවන්. ඔය සන්නාම සහිත ඇඳුම් විකුණන සාප්පුවකට ගියාම ඕනෑම දවසක විශාල වට්ටමකට විකුණන ඇඳුම් යම් ප්‍රමාණයක් තිබෙනවා. ගොඩක් අය මිල දී ගන්නේ ඔය ගොඩේ ඇඳුම්. හැබැයි තමන්ට ඕනෑ ඇඳුමම ගන්නනම් එහි මිල ගෙවන්න වෙනවා.

ඩොලර් පණහකට මිල කරලා තිබෙන ඇඳුමක් ඩොලර් විසිපහකට විකුණන එක සාමාන්‍ය තත්ත්වයක් කියා කියන්නේ ඇඳුම විකුණන්නේ එකට එකක් ලාබ තියාගෙන කියන එකනේ. ඇත්ත. එවැනි ලාබයක් ඔවුන් තියා ගන්නවා. මේක මේ කර්මාන්තයේ ස්වභාවය.

මම ඔහේ අහුවෙන ඇඳුමක් ඇඟේ දාගෙන ගියාට ගොඩක් අය ඇඳුම් ගැන සැලකිලිමත්නේ. ඒ වගේ අය තමන්ගේ ඇඟට ගැලපෙන, හොඳ, ඇඳුමක් හොයන්නේ තමන් ඇසුරු කරන අය අතර කැපී පෙනෙන්න. 

මේක මම නිශේධනීය අර්ථයකින් කියන දෙයක් නෙමෙයි. අපි හැමෝම විවිධ ආකාර වලින් අනෙක් අය අතර කැපී පෙනෙන්න උත්සාහ කරනවා. වෙනත් විදිහකින් කිවුවොත් විවිධ ආකාර වලින් "මම" කියන අනන්‍යතාවය නඩත්තු කරනවා. මේ එක ක්‍රමයක් හොඳ වෙන්නත් තව ක්‍රමයක් නරක වෙන්නත් හේතුවක් නැහැ.

හැමෝම අඳින විදිහේ ඇඳුමක් ඇඳලා කැපී පෙනෙන්න බැහැ. ඒකට ටිකක් වෙනස් ඇඳුමක් අඳින්න ඕනෑ. ඒ වෙනස් ඇඳුම හැමෝම මිල දී ගත්තොත් එය තව දුරටත් වෙනස් ඇඳුමක් වෙන්නේ නැහැ. ඒ නිසා හැමදාම අලුත් මෝස්තර වලට ඉල්ලුමක් තිබෙනවා. මේ ඉල්ලුම සපයන මෝස්තර කර්මාන්තයක් තිබෙනවා. ටොමී හිල්ෆිගර් සන්නාමයේ නිර්මාතෘ ටොමී හිල්ෆිගර් කියන්නෙත් මෝස්‌තර සැලසුම් ශිල්පියෙක්. 

අලුත් ඇඳුම් මෝස්තරයක් වෙළඳපොළට දමන එකේ ස්ථිර පිරිවැයක් තිබෙනවා. සාමාන්‍යයෙන් නිෂ්පාදන ක්‍රියාවලියක ස්ථිර පිරිවැය හදන ඒකක ප්‍රමාණය අතර බෙදී යනවා. එහෙත් මෝස්තර නිර්මාණය වගේ කටයුත්තකදී පිරිවැය බෙදා හැරිය හැක්කේ අදාළ මෝස්තරයේ ඇඳුම් සීමිත ප්‍රමාණයක් අතර පමණයි. එකම මෝස්තරයෙන් වැඩි ඇඳුම් ප්‍රමාණයක් හැදුවොත් මෝස්තරයේ වටිනාකම අඩු වෙනවා.

කොට කලිසමක් ඩොලර් පණහකට මිල කරන්නේ එහි මෝස්තරය වෙනුවෙන් වටිනාකමක් දෙන, මෝස්තරය වෙනුවෙන් මිලක් ගෙවන්න කැමති පාරිභෝගිකයන් ඉලක්ක කරලා. ටික දවසක් යද්දී ඒ ඉල්ලුම ඉවර වෙනවා. සමහර විට මෝස්තරය හිට් වෙන්නෙම නැහැ. අපි වගේ ඔය කොට කලිසම කොට කලිසමක් සේ පමණක් වටිනා සේ සලකා එයට අඩු වටිනාකමක් දෙන පාරිභෝගිකයන්ට ඩොලර් විස්සක් විසිපහක් ගෙවා කලිසම මිල දී ගන්න ලැබෙන්නේ ඊට පස්සේ.

කලිසම එකම වුනත් එයට එක් එක් පාරිභෝගිකයා විසින් දෙන්නේ වෙනස් වටිනාකම්. ඇමරිකාවේ සමහර සාප්පු වල ප්‍රසිද්ධ සන්නාම සහිත ඇඳුම් සාමාන්‍ය මිලට වඩා ගොඩක් අඩුවෙන් විකුණනවා. ඇඳුමේ සන්නාමය තිබුණත් ඒ වගේ සාප්පුවක ලොකු තේරීමක් නැහැ. එහෙම තැන් වලට යන්නේ ලාබෙට ඇඳුම් හොයන අය. පාරිභෝගිකයෝ ගොඩයි. ඇඳුම් ටිකයි. ලාබ ආන්තිකය ටිකයි. ලාබය එන්නේ විකිණෙන ප්‍රමාණයෙන්.

ඕකේ අනෙක් අන්තයත් තිබෙනවා. සමහර සාප්පු ඉලක්ක කරන්නේම ඇඳුමකට ඉහළ වටිනාකමක් ගෙවන්න සූදානම් පාරිභෝගිකයින්. ඒ වගේ තැනක පාරිභෝගිකයෙකුට තමන් කැමති ඇඳුමක් තෝරා ගන්න මෝස්තර විශාල ප්‍රමාණයක් තිබෙනවා. සාප්පුවේ ඇඳුම් ප්‍රමාණයට පාරිභෝගිකයෝ අඩුයි. විකිණෙන්නේ ඇඳුම් ටිකයි. නමුත් ලාබ ආන්තිකය ඉහළයි. සාප්පුවේ ලාබය එන්නේ ලාබ ආන්තිකයෙන්. 

ඩොලර් විස්සේ හෝ විසිපහේ කොට කලිසමක වටිනාකම ඩොලර් පනහක් හෝ පනස් පහක් වෙන්නේ ඔය වගේ සාප්පුවකදී. ලංකාවේ ඇඟලුම් කම්හලෙන් එළියට එද්දී ඔය කොට කලිසමේ වටිනාකම ඩොලර් පනස් පහක් වෙලා නැහැ. ඩොලර් පනස් පහේ ටැග් එක ගහන්නේනම් ලංකාවේදී වෙන්න පුළුවන්.

කලිසමට අන්තිම ඩොලර් තිහේ අගය එකතු වෙන්නේ එය විකුණන සාප්පුවේදී. කලිසමේ වටිනාකමට ඒ ඩොලර් තිහ එකතු වෙන්න සාප්පුවේ වෙනත් මෝස්තර වල කලිසම් විශාල ප්‍රමාණයක් තියෙන්න ඕනෑ. සැලකිය යුතු සේවක පිරිසක් ඉන්න ඕනෑ. සාප්පුව එය තිබෙන තැනම පවත්වාගෙන යන්න ඕනෑ. තව ගොඩක් දේවල් කරන්න ඕනෑ. කලිසමේ වටිනාකම ඩොලර් තිහකින් ඉහළ යද්දී ඔය අනෙකුත් වියදම්ද ඒ ප්‍රමාණයටම ඉහළ යනවා. 

ඉහළ ගිය ඩොලර් තිහේ වටිනාකම එහි වටිනාකම ඉහළ දැමීමට දායක වූ අයගේ ශ්‍රමයේ හෝ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය අනුව බෙදී යනවා. මේ විදිහට වටිනාකම අමතර ඩොලර් තිහකින් ඉහළ යාම තනිකරම ඇමරිකාවේදී සිදු වන දෙයක්. එයට ලංකාවේ ඇඟලුම් සේවිකාවන්ගේ දායකත්වයක් නැහැ. ලංකාවේදී තමන්ගේ කොටස මහලා පඩිය ගත්තට පස්සේ ඔවුන්ගේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ලැබිලා ඉවරයි.

ලංකාවෙන් එළියට එද්දී ඔය කොට කලිසමක් ඩොලර් විස්සක් වෙලත් නැහැ. වටිනාකම ඩොලර් විස්සක් වෙන්නෙත් අදියර ගණනාවකින්. ඒ හැම අදියරකදීම කලිසමේ වටිනාකමට එකතු වන අතිරික්ත වටිනාකම එම අතිරික්ත වටිනාකම සපයන අය අතර ඔවුන්ගේ ශ්‍රමයේ හෝ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවයට සමානුපාතිකව බෙදී යනවා. 

Sunday, April 4, 2021

එකොළොස් දාහේ කොට කලිසම


වත්පතේ විශාල ලෙස සංසරණය වුනායැයි සඳහන් සටහනක් අපේ වියුණුවේ ප්‍රතිචාර කොටසේ දෙවරක්ම පළ වී තිබුණා. පළමු වර ප්‍රතිචාරයක් නොදැම්මත්, දෙවන වරටත් මෙය නැවත පළ වීමෙන් පසුව කෙටි ප්‍රතිචාරයක් දැම්මා. ඒ ප්‍රතිචාරය ගැන අප සමඟ නිතර අදහස් හුවමාරු කර ගන්නා පාඨකයෙක් විසින් විමසීමක්ද කර තිබුණා.

කාගේ හෝ අදහසක් බොළඳ හෝ මෝඩ අදහසක් ලෙස වර්ග කර නොසලකා හැරීම හොඳ දෙයක් කියා මම හිතන්නේ නැහැ. අද ලෝකය මුහුණ පාන ගොඩක් ප්‍රශ්න වල හේතු වී තිබෙන්නේ උගතුන් හෝ බුද්ධිමතුන් ලෙස තමන් ගැන හිතන අය අනෙක් අයව කාලයක් තිස්සේ නොසලකා හැරීමයි. අන්තිමට ඒ වලේම වැටීම මගේ ඉලක්කයක් නෙමෙයි. මේ වියුණුව පටන් ගත්තේම බොළඳ හෝ මෝඩ අදහස් ලෙස බැහැර නොකර කාගේ වුවත් අදහස් වලට ඉඩක් විවර කර දිය යුතුයි කියන විශ්වාසය පෙරදැරිවයි. 

එය එසේ වුවත් අපගේ කාලයේ විශාල ආවස්ථික පිරිවැයක් තිබෙනවා. විවිධ පාඨකයින් අපගෙන් විවිධ දේ අපේක්ෂා කරන නමුත් ඒ හැම ඉල්ලීමක්ම ඉටු කිරීමේ හැකියාවක් අප‍ට නැහැ. ඒ නිසා ප්‍රමුඛතා හඳුනා ගැනීමක් කරන්න වෙනවා. බොළඳ හෝ මෝඩ අදහසක් ලෙස වර්ග කර බැහැර නොකළත් අපේ වියුණුව කියවන බවක් අප නොදන්නා කොහේවත් ඉන්න කෙනෙක් කොහේ හෝ කියා තිබෙන දෙයක් ගැන අදහස් දක්වන්න කාලය යොදවන එකේ ප්‍රයෝජනයක් තිබෙන්නේ එවැන්නක් අප මෙහි කතා කරන කරුණකට සම්බන්ධ වන මානයක් ඇත්නම් පමණයි. 

ප්‍රස්තුත ප්‍රතිචාරය ඇමරිකාවේදී රුපියල් 11,000ක පමණ මිලකට විකිණෙන රුපියල් 34,000ක මාසික වැටුපකට සේවය කරන ලංකාවේ ඇඟලුම් සේවිකාවන් විසින් මහන කොට කලිසමක් ගැනයි. ප්‍රතිචාරයේ ටොමී හිල්ෆයිටර් ලෙස සඳහන්ව තිබෙන්නේ ටොමී හිල්ෆිගර් සන්නාමය පිළිබඳව විය යුතුයි.

ෂැං‍ග්‍රිලා හෝටලය හදපු ශ්‍රමිකයෙකුට ෂැං‍ග්‍රිලා හෝටලය සල්ලි වලට ගන්න බැහැ වගේම එහි කාමරයක් කුලියට ගෙන නැවතී ඉන්න හෝ දිනපතා එම හෝටලයෙන් දවල් කෑම කන්න බැහැ. ඇමරිකාවේ බෝයිං සමාගමේ වැඩ කරන සේවකයෙකුට තමන්ගේ දායකත්වයෙන් හදපු ගුවන් යානයක් මිල දී ගන්න බැහැ. ටොමී හිල්ෆිගර් සන්නාමය දරන කොට කලිසමක් මහන්න දායකත්වය ලබා දෙන ඇඟලුම් සේවිකාවකට තමන් මහන කොට කලිසමක් මිල දී ගන්න පුළුවන් විය යුතුයි කියා සිතීම ඉතාම බොළඳ අදහසක්.

මේක අලුත් සංසිද්ධියක් නෙමෙයි. කතාවට කියන්නේ වඩුවාගේ ගෙදර පුටුවක් නැහැ කියලා. වඩුවාගේ ගෙදර පුටුවක් නැත්තේ වඩුවාට පුටුවක ලොකු වටිනාකමක් නැති නිසා. වඩුවා වැඩ නැතිව ගෙදර ඉන්න දවස් තිබෙනවා. එහෙම දවසක ඕනෑනම් මහන්සි වෙලා තමන්ගේ ගෙදර පාවිච්චියට පුටුවක් හදාගන්න බැරිකමක් නැහැ. නමුත් වඩුවාට ගෙදර පාවිච්චියට පුටුවක් හදනවාට වඩා ඒ දවස විවේකයෙන් ගත කරන එක වටිනවා. වටිනාකම් කියන ඒවා සාපේක්ෂයි.

දැන් මේ සකලබුජන් කොට කලිසම් තර්කයේ පදනම ලංකාවේ ඇඟළුම් සේවිකාව විසින් රුපියල් 11,000ක වාස්තවික වටිනාකමක් තිබෙන කොට කලිසමක් නිර්මාණය කරලා තිබෙනවා කියන එකයි. එහෙමනම් කාට වුනත් මේ කොට කලිසමක් රුපියල් 11,000ක් වටින්න ඕනෑ. ඒක එහෙම නොවන බව අපි දන්නවා. ඔය ඇඟලුම් සේවිකාවට මාසේ වැටුප් නොගෙවා හිල්ෆිගර් කොට කලිසම් හතරක් දුන්නොත් ඇය එය බාර ගනියිද?

කොට කලිසමක් රුපියල් 11,000ක් වටිනවානම් කලිසම් හතරක් රුපියල් 44,000ක් වටිනවා විය යුතුයි. ඒ කියන්නේ ඇඟලුම් සේවිකාවගේ මාසික වැටුප රුපියල් 10,000කින් වැඩි වෙලා. නමුත් එය එසේ නොවන බව කාට වුනත් තේරෙනවා කියා මම හිතනවා. මාසික වැටුප වෙනුවට ඔය කොට කලිසම් හතරක් නෙමෙයි දහයක් දුන්නත් ඇය එම අර්පණය භාර ගන්නේ නැහැ. ඇයට ඔය කොට කලිසමක් සමහර විට රුපියල් දාහක්වත් වටින්නේ නැහැ.

මෙතැන තියෙන්නේ ධනවාදය තමයි. හැබැයි ලංකාවේ ඇඟලුම් සේවිකාව විසින් නිර්මාණය කරන රුපියල් 11,000ක අතිරික්ත වටිනාකමකින් සොච්චමක් ඇයට ඉතිරි කර ඉතිරි කොටස ඇගෙන් සූරාගැනීමක් නෙමෙයි. මසා අවසන් වෙද්දී බොහෝ විට රුපියල් දාහක්වත් නොවටිනා කොට කලිසමේ අගය නිදහස් ගනුදෙනු හරහා රුපියල් 11,000ක් දක්වා ඉහළ යාමකුයි මෙහිදී වෙන්නේ. එහි වාසිය විශාල පිරිසක් අතර ඉතාම සාධාරණ ලෙස, ඔවුන්ගේ දායකත්වයට සමානුපාතිකව, බෙදී යනවා. මෙය සිදු වන ආකාරය ඉදිරියේදී විස්තර කරන්නම්.

දැන් ඩොලර් එක රුපියල් 200ක් පමණ. ඒ කියන්නේ රුපියල් 11,000ක් කියා කියන්නේ ඩොලර් 55ක් පමණ. ඔය වගේ මුදලකට හිල්ෆිගර් කොට කලිසමක් ඇමරිකාවේදී විකිණෙනවා කියන එක ඇත්ත. දැන් මේ කොට කලිසම ලංකාවේ මුදලින් රුපියල් 11,000ක් වෙන්නේම ඩොලරය රුපියල් 200ක් වීම නිසා. 

මීට අවුරුදු පණහකට පෙර ඇමරිකන් ඩොලරයක් රුපියල් පහක්වත් වුනේ නැහැ. විණිමය අනුපාතිකය ඒ මට්ටමේම තිබුණානම් මේ කොට කලිසමේ මිල රුපියල් වලින් 260ක් වගේ ගණනක්. ඒ වගේ මිලක් ලංකාවේ ඇඟලුම් සේවිකාවකට දරා ගන්න බැරි මිලක් නෙමෙයි. ඇමරිකන් ඩොලර් 55 රුපියල් 260ක් නොවී රුපියල් 11,000ක් වෙලා තියෙන්නේ ඩොලරයක මිල රුපියල් 4.76 ලෙස නොතිබී රුපියල් 200 වී තිබෙන නිසයි. මෙතැනදී වෙනස් වී තිබෙන්නේ ඇමරිකානුවන්ගේ වටිනාකම් ලංකාවේ මිනිස්සු දකින මිනුමයි.

රුපියල් 4.76ට තිබුණු ඩොලරය අවුරුදු පණහකට පස්සේ රුපියල් 200 වී තිබෙන්නේ කොහොමද? ඔය කාලය තුළ රුපියලේ වටිනාකම එපමණ බාල්දු වන තුරු සල්ලි අච්චු ගැසීම නිසා. සල්ලි අච්චු ගහන්න සිදු වී තිබෙන්නේ ඇයි? රජයේ අයවැය හිඟය නිසා. රජයේ අයවැය හිඟයට හේතුව කුමක්ද? ආදායම ඉක්මවා වියදම් කිරීම. 

නිදහසෙන් පස්සේ ලංකාවේ රජය විසින් දිගින් දිගටම කරලා තියෙන්නේ ආදායම ඉක්මවා වියදම් කිරීම. ඇමරිකාවේ ඩොලර් 55ට විකිණෙන ටොමී හිල්ෆිගර් කොට කලිසමක් රුපියල් 260ක් නොවී රුපියල් 11,000ක් වී තිබෙන්නේ ලංකාවේ රජය විසින් සල්ලි අච්චු ගැසීම හරහා දිගින් දිගටම කර තිබෙන, තවමත් කරන සූරාකෑම හරහා. ඔය සූරාකෑමට වග කියන්න ඕනෑ කවුද? එක පැත්තකින් මාක්ස්. අනෙක් පැත්තෙන් කේන්ස්.

ඇමරිකාවේ ඩොලර් 55කට විකිණෙන කොට කලිසමක රුපියල් අගය ලංකාවේ තරුණයෙකුට විහිළුවක් වන මට්ටමට රුපියල පිරිහී තිබෙන්නේ ලංකාවේ ඉපදුනු මාක්ස්ගේ දරුවන් හා කේන්ස්ගේ දරුවන් අතර සහජීවනය නිසා. 

Wednesday, March 24, 2021

චීනයේ මොකද වෙන්නේ?


ජිනීවා යෝජනාව ගැන මම වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. මෙය මට වැඩි දැනුමක් තිබෙන විෂයයක් නෙමෙයි. හැබැයි මේ යෝජනාව ලංකාවේ සුළු ජාතිකයින්ගේ මානව හිමිකම් කඩවීම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි කියන එක පැහැදිලි කරුණක්. 

දැන් ආණ්ඩුව මොනවා කියයිද දන්නේ නැතත් යෝජනාව සම්මත වීම වලක්වාගන්න ආණ්ඩුව සෑහෙන්න උත්සාහ ගත්තා. එහෙත් ඒ උත්සාහය සාර්ථක වුනේ නැහැ. යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දුන්, එහෙමත් නැත්නම් ඡන්දය නොදී සිටි කවර රටක්වත් එසේ කළේ යෝජනාවේ හොඳ නරක ගැන පමණක් සලකා බලා කියා කියන්න බැහැ. හැමතැනම තියෙන්නේ දේශපාලනය.

යෝජනාව ඉදිරිපත් කළේ බ්‍රිතාන්‍යය විසින්. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බොහොමයක් හිටියේ යෝජනාවට පක්ෂ ගොඩේ. කවර හෝ ආකාරයක ඒකාධිපති පාලනයක් ගෙන යන රටවල් බොහොමයක් හිටියේ යෝජනාවට විරුද්ධ ගොඩේ. යෝජනාව දෙපැත්තේ සිටි රටවල් වලින් මුළුමනින්ම නොවුනත් යම් තරමකින් නියෝජනය වුනේ වත්මන් ලෝක දේශපාලනයේ ප්‍රමුඛ බල කඳවුරු දෙක.

මේ බල කඳවුරු දෙකෙන් එකක් මේ වෙද්දී කේන්ද්‍රගත වී තිබෙන්නේ චීනය වටා. කාලයකට පෙර මේ ස්ථානයේ සිටියේ සෝවියට් දේශය. එහෙත් චීනය හා පැරණි සෝවියට් දේශය අතර සැලකිය යුතු වෙනස්කම් තිබෙනවා.

චීනය වගේම පැරණි සෝවියට් දේශයත් ගොඩ නැගුනේ මාක්ස්වාදය මත පදනම්වයි. මාක්ස්වාදය මිනිසුන් අතර සම්පත් බෙදීම හා සම්බන්ධව ධනවාදයට විකල්ප මතවාදයක්. එහෙත් එපමණක් නෙමෙයි. මාක්ස්වාදය මිනිසුන් අතර සම්පත් බෙදී යා යුතු ආකාරය පිළිබඳව වගේම මිනිසුන් අතර බලය බෙදීම සම්බන්ධවද විකල්පයක් යෝජනා කරනවා. ආර්ථික විද්‍යාවක් හෝ දේශපාලන විද්‍යාවක් ලෙස නොහඳුන්වා දේශපාලන ආර්ථික විද්‍යාවක් ලෙස මාක්ස්වාදය හඳුන්වන්නේ ඒ නිසයි.

ධනවාදය මාක්ස්වාදය මෙන් දේශපාලන ක්‍රමයක් නෙමෙයි. එය මිනිසුන් අතර සම්පත් බෙදන ක්‍රමයක් පමණයි. ඒ නිසා ධනවාදී රටක මිනිසුන් අතර බලය බෙදීම සිදු විය යුතු ආකාරය තීරණය කරන්නට දේශපාලන ක්‍රමයක්ද අවශ්‍ය වෙනවා. බොහෝ ධනවාදී රටවල මේ තැන අරගෙන සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර සහජීවනයක් බොහෝ විට ප්‍රායෝගිකව දැකිය හැකි වුවත් මේ දෙකේ මූලධර්ම සමාන නැතුවා වගේම එකිනෙක හා ගැටෙන අවස්ථාද තිබෙනවා. දේශපාලන ආර්ථික ක්‍රමයක් විදිහට සැලකුවොත් බොහෝ බටහිර රටවල තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විසින් නියාමනය කෙරුණු ධනවාදයක්. සංකල්පීය පූර්ණ ධනවාදයක් කොහේවත් ප්‍රායෝගිකව නැහැ. 

මාක්ස්වාදය මත පදනම් වූ ආර්ථික ක්‍රමයකට ධනවාදය මත පදනම් වූ ආර්ථික ක්‍රමයක් තරමට කාර්යක්ෂම වෙන්න බැහැ. සෝවියට් දේශය බිඳ වැටෙන්නට බොහෝ දුරට හේතු වුනේ මේ මූලධාර්මික ගැටළුවයි. එහෙත් චීනය සෝවියට් දේශය වැටුණු උගුලේ වැටුනේ නැහැ. මාක්ස්වාදී දේශපාලන ක්‍රමය පවත්වා ගන්නා අතරම ඔවුන් ක්‍රමයෙන් ධනවාදී ආර්ථික ක්‍රමයේ කාර්යක්ෂමතාවය ටිකෙන් ටික අවශෝෂණය කර ගත්තා. සෝවියට් සමාජවාදය අසාර්ථක බව පැහැදිලි වුවත් චීන සමාජවාදය අසාර්ථක වී ඇතැයි කියන්න බැහැ.

ගෙවුම් ශේෂ අර්බුදයක පැටලී ඉන්න ලංකාව චීනයෙන් යුවාන් බිලියන දහයක ණයක් අරගෙන තිබෙනවා. අවුරුදු තුනකට. මේ මුදලෙන් ලංකාවට ගෙවුම් ශේෂ අර්බුදයෙන් ගොඩ එන්න බැහැ. ඒ වගේම මේ සල්ලි චීනයේම රැඳෙනවා මිසක් ලංකාවට එන්නේවත් නැහැ. කොහොම වුනත් මේ ණය ජෙහාන්ගේ කෝල් එක වගේ "ගන්නම ඕනෑ ණයක්!". ඒ ගැනත් අපි දැනට වැඩිපුර කතා නොකර ඉඳිමු.

ජිනීවා යෝජනාව, යුවාන් බිලියන දහයේ ණය ආදිය හරහා ලංකාව චීනයට කිට්ටු වෙද්දී මේ දවස් වල චීනයේ ගොඩක් දේවල් සිදු වෙනවා. මේ වන විට පැවැත්වෙන චීන සංවර්ධන සමුළුව එවැන්නක්. චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස් සැමරුම් වැඩ සටහනේ ආරම්භය තවත් එකක්. ඒ අතර චීනයේ 14වන පස් අවුරුදු සැලැස්මද මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවසේ සිට චීන මහජන සමූහාණ්ඩුවේ සියවස දක්වා වන ඉදිරි වසර තිහක කාලය තුළ චීනයේ අපේක්ෂිත ගමන් මග මේ සැලසුමේ තිබෙනවා.

සම්ප්‍රදායික සමාජවාදී දේශපාලන ආර්ථික ආකෘතිය ඇතුළේ චීනයට අත්පත් කරගත හැකි වූ ප්‍රගතියක් නැහැ. එහෙත් ධනවාදී ප්‍රතිසංස්කරණ හරහා චීනයට වේගවත් ආර්ථික සංවර්ධනයක් අත් කර ගත හැකි වුනා. මේ වෙද්දී චීනය එම සංවර්ධන උපාය මාර්ගික ක්‍රියාවලියේ කඩඉමකට පැමිණ සිටිනවා.

චීන ආර්ථිකය වේගයෙන් වර්ධනය වුනේ ඇමරිකන් ආර්ථිකයේ එල්ලිලා. ඒ උපාය මාර්ගය හරහා චීන ආර්ථිකය ඇමරිකන් ආර්ථිකය තරමටම වගේ ප්‍රසාරණය කර ගන්න චීනය සමත් වුනා. ඒ එක්කම ඇමරිකාව පැත්තෙන් ප්‍රශ්න මතු වුනා. ට්‍රම්ප් ගිහින් බයිඩන් ආවා කියලා මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. චීනයට තව දුරටත් ඇමරිකාවේ එල්ලිලා ඉස්සරහට යන්න බැහැ. ඒ වගේම දැන් සිටින තැන අනුව චීනයට එසේ කරන්න අවශ්‍යත් නැහැ.

චීනයේ 14වන පස් අවුරුදු සැලැස්මෙන් චීනය මෙතෙක් අනුගමනය කළ උපාය මාර්ගය සැලකිය යුතු ලෙස වෙනස් කර තිබෙනවා. එක පැත්තකින් මෙය නැවත සමාජවාදය වෙතට හැරීමක්. අනෙක් පැත්තෙන් ලෝක බලවතා ලෙස තමන්ගේ තත්ත්වය තහවුරු කර ගැනීමේ උත්සාහයක්.  චීනය කියන විදිහට චීනයේ සැලසුම වන්නේ සෑම අංශයකින්ම ඉදිරියෙන් සිටින නූතන සමාජවාදී රාජ්‍යයක් බවට චීනය පරිවර්තනය කිරීමයි. චීනයේ විශාල ජනගහණය හා පවතින ලෝක තත්ත්වයට අනුවර්තය වීමේ හැකියාව එක්ක පැරණි සෝවියට් දේශයට නොකළ හැකි වූ දේ කිරීමේ හැකියාව චීනය සතුව තිබෙනවා.

Wednesday, March 10, 2021

ප්‍රාග්ධනය එක්රැස්වීම


කාර්මික විප්ලවයෙන් පස්සේ කෙටි කාලයක් ඇතුළත යුරෝපයේ විශාල සමාජ පරිවර්තනයක් ඇති වුනා. දිගු කාලයක් තිස්සේ පැවති නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් වීමත් එක්ක ඇති වුනු කම්හල් වල වැඩ හොයාගෙන ගම් වල හිටපු මිනිස්සු විශාල වශයෙන් නගර කරා ඇදුනා. ශ්‍රමය විකිණීම සඳහා තරඟය වැඩි වෙද්දී ශ්‍රමය ලාබ වුනා. ශ්‍රමිකයන්ට ඉතා අයහපත් තත්ත්වයන් යටතේ දිගු පැය ගණනක් වැඩ කරන්න සිදු වුනා. ඇඩම් ස්මිත්ගේ ඉඳලා කාල් මාක්ස් දක්වා වූ කාලයේ ජීවත් වුනේ මේ සමාජ පරිවර්තනය ඇහෙන් දැකපු උදවිය. ඔවෙන්, ෆුරියේ, මැල්තුස් වගේ අය ඔය අතරමැද කාලයේ ජීවත් වුනු අය.

ඔය කාලයේ ශ්‍රමිකයන්ගේ තත්ත්වය ගොඩක් නරක මට්ටමක තිබුණේ ඇයි කියන කාරණාව අපට දැන් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්. 

ශ්‍රම ඒකකයකට ගෙවන වැටුප් අනුපාතිකය w ලෙසත්, ප්‍රාග්ධන ඒකකයකට ගෙවන ලාභාංශ හෝ පොලී අනුපාතිකය r ලෙසත් සලකමු. එවිට, අපට ධනවාදී මූලධර්ම අනුව ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රතිලාභ බෙදී යා යුතු ආකාරය මෙසේ ලියන්න පුළුවන්.

w = ∂Y/∂L = (1-α)Y/L

r = ∂Y/∂K = αY/K

විශාල පිරිසක් සතුව ශ්‍රමය තියෙද්දී, ප්‍රාග්ධනය තිබෙන්නේ සුළු පිරිසක් සතුවනම් ඉහත w හා r වලට මොකද වෙන්නේ? Y හා  α නොවෙනස්ව තිබෙන තත්ත්වයක් යටතේ L වැඩි වන තරමට w පහළ යනවා. සාමාන්‍ය භාෂාවෙන් කිවුවොත් ශ්‍රමය විකුණන්න ඕනෑ තරම් අය ඉන්න නිසා ඒ අය අතර තරඟයෙන් වැටුප් පහළ යනවා. නමුත්, ප්‍රාග්ධන හිමියන් ඉන්නේ සුළු පිරිසක් නිසා ඒ අය අතර ඒ තරම් තරඟයක් නැහැ. එහෙම තරඟයක් ඇති වෙන්නේ ශ්‍රමය හොයා ගන්න අමාරු තරමේ හිඟයක් ආවානම් පමණයි. ඔය කාලයේ එවැනි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ප්‍රාග්ධනය හොයාගෙන ශ්‍රමය ආවා මිසක් ශ්‍රමය හොයා ගෙන ප්‍රාග්ධනයට යන්න වුනේ නැහැ. K අඩු නිසා r ඉහළ මට්ටමක තිබුණා.

ඔය කාලයේ උපත් පාලනයක් තිබුණේ නැහැනේ. සාමාන්‍ය ශ්‍රමිකයෙකුට දරුවන් විශාල ප්‍රමාණයක් හිටියා. පවුලක බඩවල් පුරවන එක ලේසි නැහැ. ලැබෙන වැටුපෙන් පවුලකට යාන්තමින් හෝ ජීවත් වෙන එක පහසු වුනේ නැහැ. පවුල නඩත්තු කරගෙන යාන්තමින් ජීවත් වෙන්න පැය ගාණක් වැඩ කරන්න වුනා. යාන්තම් කරදඬු උස්මහත් වෙද්දී ළමයින්ටත් කම්හලක රස්සාවක් හොයා ගන්න වුනා. 

මේ කම්කරුවන්ගේ දුක්ඛිත ජීවිත ගැන බොහෝ දෙනෙක් සානුකම්පිකව බැලුවා. විසඳුම් හෙවුවා. ඇඩම් ස්මිත් දැක්කේ එක විසඳුමක්. ඔවෙන් වෙන විසඳුමක්. මාක්ස් තවත් විසඳුමක්.

ඇඩම් ස්මිත්ගේ අදහස වුනේ ප්‍රාග්ධන හිමියන් අතර තරඟය වැඩි වෙද්දී ශ්‍රමය ආකර්ෂණය කර ගැනීම සඳහා කම්කරුවන්ට වඩා හොඳ වැටුප් ගෙවන්න සිදු වෙනවා කියන එකයි. මේ අදහස නිවැරදි බව අද වන විට පැහැදිලිව පෙනී ගොස් තිබෙනවා. එහෙත්, කාල් මාක්ස්ගේ පුරෝකථනය වුනේ ප්‍රාග්ධන හිමියන් විසින් දිගින් දිගටම ශ්‍රමිකයන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය අවම වැටුපක් පමණක් ලබා දෙමින් අතිරික්තය මුළුමනින්ම සූරාකන නිසා කම්කරුවන්ගේ තත්ත්වය කොහොමටවත්ම වෙනස් වෙන්නේ නෑ කියන එකයි.

ඇඩම් ස්මිත්ට සාපේක්ෂව මාක්ස්ට සියවසක ඉතිහාසයේ වාසිය තිබුණා. මාක්ස්ගේ ප්‍රවාද හැදුනේ ඇඩම් ස්මිත් විසින් ආර්ථික විද්‍යාවට එකතු කළ දේ, ඔවෙන් හා ෆුරියේ වැනි මනෝරාජික සමාජවාදීන්ගේ අදහස් හා හේගල්ගේ දර්ශනය උකහා ගනිමිනුයි. මාක්ස්ගේ තර්කය වුනේ නිවැරදි විද්‍යාත්මක ප්‍රවාදයකින් දැනට පවතින තත්ත්වය පමණක් පැහැදිලි කළ හැකි වීම ප්‍රමාණවත් නොවන බව හා මිනිස් ඉතිහාසයම පැහැදිලි කළ හැකි විය යුතු බවයි.

ගැලීලියෝගෙන් පස්සේ බටහිර භෞතික විද්‍යාවේ සීඝ්‍ර ප්‍රගතියක් ඇති වුනා. අලුත් භෞතික විද්‍යා නියම වලින් බොහෝ දේවල් පැහැදිලි කරන්න පුළුවන් වුනා. ඒ එක්කම ඒ විදිහටම සමාජ විද්‍යාවන්ද වර්ධනය කළ හැකි නියම හොයා ගන්න ලොකු උනන්දුවක් ඇති වී තිබුණා. දැනුම හොයා ගැනීමේ ඉලක්කය වුනේ පරම සත්‍යයක් එළිදරවු කර ගැනීමයි. ෆුරියේ වැනි අය උත්සාහ කළේ පදාර්ථ, පදාර්ථ වල ගුණ, ජීවය වගේම මිනිස් සමාජය ක්‍රියා කරන මූලික නියම එළිදරවු කර පැහැදිලි කරන්නයි. වෙනත් විදිහකින් කිවුවොත් දෙවියන් වහන්සේගේ සැලසුම එළිදරවු කර ගැනීම. 

කාල් මාක්ස් මේ සැලසුමෙන් දෙවියන් වහන්සේව අයින් කළා. එහෙත්, සැලසුමක් තිබෙනවා කියන අදහස අයින් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු දෙවියන් වහන්සේ නැතුව ඒ සැලසුම එළිදරවු කර පැහැදිලි කළා. කාල් මාක්ස් විසින් දැකපු විදිහට මිනිස්සුන්ට දුක් විඳින්න සිදුවන ආරම්භක පාපය පෞද්ගලික ප්‍රාග්ධනයයි. ඔහු දුටු අනාගත පාරාදීසියේ පොදු දේපොළ මිසක් පෞද්ගලික දේපොළ නැහැ.

මාක්ස්ගේ විග්‍රහය පටන් ගන්නේ මිනිස්සු සතුව ප්‍රාග්ධනය නැති අතීතයකින්. මා කලින් ලිපියක ලියූ පරිදි මිනිස්සු මිනිස්සු වෙන්නේම ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමට සමාන්තරවයි. ප්‍රාග්ධනය නැති මිනිස් සමාජයක් හා සත්තු අතර වෙනසක් නැහැ. කෙසේ වුවත්, ආන්තීය තත්ත්වයක් විදිහට අපිට මේ වගේ තත්ත්වයක් ගැන හිතන්න පුළුවන්.

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ α=0  වූ විට අපට මෙසේ ලියන්න පුළුවන්.

Y = F(K,L) = AKαL1-α = AK0L1-0 = AL

මෙහි L මිස K නැහැ. නිෂ්පාදිතයේ වටිනාකම ශ්‍රමයට සමානුපාතිකයි. මේ අනුව, නිෂ්පාදිතය කියන්නේ ශ්‍රමයේම වෙනත් ස්වරූපයක් කියා අපට කියන්න පුළුවන් නිසා, එම තර්කය මත පදනම්ව භාණ්ඩයක වටිනාකම ඒ වෙනුවෙන් යෙදවූ ශ්‍රම ඒකක ගණනට සමාන ලෙස අපට සලකන්න පුළුවන්. මෙය මාක්ස්වාදයේ මූලික උපකල්පනයක්. එහෙත් මෙය මාක්ස්ගේ කාලයේදී දැන සිටි දෙයක් මිසක් මාක්ස් විසින් එකතු කළ දෙයක් නෙමෙයි. ඇඩම් ස්මිත් විසින්ද මෙය මෙලෙසම සලකා තිබෙනවා. ඒ කාලය වෙද්දී භාණ්ඩයක වටිනාකම පිළිබඳ අද පිළිගැනෙන සම්මත න්‍යායයන් වැඩිදියුණු වී තිබුණේ නැහැ.

භාණ්ඩයක වටිනාකම හැදෙන්නේ එය නිපදවීම සඳහා යෙදවූ ශ්‍රමය නිසා පමණක්නම් එම වටිනාකමේ අයිතිය තිබෙන්නේ ශ්‍රමය යෙදවූ ශ්‍රමිකයාටයි. ඒ අනුව, ශ්‍රමය නොයොදවා ලාභයක් උපයන ප්‍රාග්ධන හිමියා විසින් කරන්නේ ශ්‍රමිකයා සතු දෙයක් සූරාකන එකයි. ඉතා සරලව මාක්ස්වාදයේ පදනම ඕකයි.

මාක්ස්වාදය තුළ, එහෙමත් නැත්නම් ඓතිහාසික භෞතිකවාදය තුළ, ඉහත කී ආකාරයෙන් ශ්‍රමය පමණක් නිශ්පාදනය සඳහා යොදවන, ප්‍රාග්ධනයක් නැති කාලය හැඳින්වෙන්නේ ආදි කොමියුනිස්ට් සමාජය විදිහටයි. ඊට පස්සේ වහල් යුගය, වැඩවසම් යුගය හා ධනවාදය ලෙස සමාජය විකාශනය වෙනවා. මාක්ස්ගේ ප්‍රවාදය අනුව ධනවාදයෙන් පස්සේ කොමියුනිස්ට් සමාජයක් එනවා. මේ පරිණාමය කවුරුවත් සැලසුම් කරන දෙයක් නෙමෙයි. කොහොමටත් සිදුවන දෙයක්. 

මාක්ස්වාදයටම අනුව වුනත් ධනවාදී නිෂ්පාදනය සිදු වෙන්නේ ශ්‍රමය පමණක් නිෂ්පාදන සාධක ලෙස යොදා ගනිමින් නෙමෙයි. නිෂ්පාදන සාධකයක් විදිහට ප්‍රාග්ධනයත් යොදා ගැනෙනවා. එහෙත්, මාක්ස්වාදයට අනුව ප්‍රාග්ධනය වෙනුවෙන් කිසිදු ප්‍රතිලාභයක් හිමි විය යුතු නැහැ. සියල්ල ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතුයි.

මේ තර්කයේ පදනම වන්නේ පෞද්ගලික ප්‍රාග්ධනය කියා කියන්නේම ඓතිහාසික "වැරැද්දක්" කියන එකයි. ආරම්භයේදී නිෂ්පාදිතය ශ්‍රමය මත පමණක් පදනම් වූ නිසා පෞද්ගලික ප්‍රාග්ධනය රැස් වන්නේ එක් අයෙකු විසින් වෙනත් අයෙකුගේ ශ්‍රමයේ ප්‍රතිලාභ තමන් සතු කර ගැනීමෙන් කියන එක මාක්ස්වාදී අදහසයි. උදාහරණයක් විදිහට වහල් හිමියෙක් විසින් වහලෙකුගේ ශ්‍රමය සූරාකමින් ප්‍රාග්ධනය එක්රැස් කර ගන්නවා.

ඓතිහාසිකව ප්‍රාග්ධනය එක්රැස් වීමේ ක්‍රියාවලිය මාක්ස් විසින් දැක්කේ ප්‍රචණ්ඩ ලෙස සිදු වූ දෙයක් විදිහටයි. පිරිසක් විසින් යම් ප්‍රදේශයක් කොටුකර ගෙන එහි සිටින තවත් පිරිසක් බැහැර කරනවා. එසේ බැහැර කරනු ලැබූ පිරිසට ජීවත් වීම සඳහා කුලී ශ්‍රමිකයන් වෙන්න සිදු වෙනවා. ප්‍රාග්ධන හිමියන් හා ශ්‍රමිකයන් කියා කොටස් දෙකක් හැදෙන්නේ ඔය විදිහටයි. 

මාක්ස්ට කලින් ඓතිහාසිකව ප්‍රාග්ධනය එක්රැස් වීමේ ක්‍රියාවලිය ඇඩම් ස්මිත් විසින් දැක තිබුණේ සාමකාමීව සිදු වූ දෙයක් විදිහටයි. නාස්තිකාරයෝ හා විවිධ විෂමාචාර වල යෙදෙන්නෝ ලැබෙන දේ අනෙක් අතට වියදම් කරද්දී මසුරෝ සල්ලි ඉතුරු කරනවා. මේ වැඩෙන් යම් පිරිසක් අතේ පමණක් ප්‍රාග්ධනය එකතු වෙනවා. අද නූතන ධනවාදී සමාජයක් දිහා බැලුවහම මාක්ස් විසින් සමච්චලයට ලක් කළ ඇඩම් ස්මිත්ගේ ප්‍රවාදය නිවැරදි බව පේනවා.

ඓතිහාසිකව ප්‍රාග්ධනය එක්රැස් වීම එකම ආකාරයකට පමණක් සිදු වුනා කියලා මම හිතන්නේ නැහැ. ඇඩම් ස්මිත් විස්තර කරපු ආකාරයට සාමකාමීව වගේම කාල් මාක්ස් විස්තර කළ ආකාරයට ප්‍රචණ්ඩ විදිහටත් ඔය වැඩේ වෙන්න ඇති. මේ හේතු දෙකට අමතර තුන් වන හේතුවක් විදිහට වාසනාව කියන සාධකයත් ඉදිරිපත් කරන්න පුළුවන්. වාසනාව කියා මම කියන්නේ අහඹුතාවය.

කාලයකට ඉස්සර රත්නපුර පැත්තේ ගොඩක් අය පතල් රස්සාව කළානේ. දැන් ඔය වගේ කර්මාන්තයකදී L විශාල ලෙස වැඩි කළා කියලා Y ඒ තරම් වැඩි වෙන්නේ නැහැ. Y වැඩි වෙන්නේ මැණිකක් හම්බ වුනොත් පමණයි. මෙහිදී වෙන්නේ A වැඩි වෙන එක. ඒ කියන්නේ Y/L හෙවත් ශ්‍රම ඒකකයකට නිෂ්පාදිතය. එකම මහන්සිය වෙන දෙන්නෙක් අතරින් වටිනා මැණිකක් හොයා ගන්න වාසනාව තිබුණු කෙනා ලොකු ධනවතෙක් වෙනවා. අනික් අය දිගටම දුප්පත්තු. මෙහිදී Y/L = A කියා කියන්නේ වාසනාව මිසක් තාක්ෂනය නෙමෙයි.

මේ උදාහරණයේදී තරම්ම පැහැදිලි නැතත් ඔය වාසනාව හෙවත් අහඹුතාවය බොහෝ කර්මාන්ත වල Y/L කෙරෙහි බලපෑමක් කරනවා. උදාහරණයක් විදිහට කාලගුණය, දේශගුණය, පසේ ස්වභාවය ආදී දේවල්. විශේෂයෙන්ම මුදල් කියන දේ හොයා ගත්තට පස්සේ.

ඉතිහාසයේ යම් අවස්ථාවක රන් හා රිදී මුදල් බවට පත් වෙනවා. ඒ එක්කම මිනිස්සුන්ට ධනවත් වෙන්න විකල්ප මාර්ගයක් හිමි වෙනවා. ඒ රන් හෝ රිදී හොයන එක. රන් හෝ රිදී හොයා ගන්න කෙනෙකුට ආහාර, රෙදි පිළි වගේ අත්‍යවශ්‍ය දේවල් හදාගන්න මහන්සි නොවී ඒවා හදන කෙනෙක්ගෙන් මිල දී ගන්න පුළුවන්. අනෙක් අතට ආහාර, රෙදි පිළි වගේ දේවල් නිපදවන කෙනෙකුට රන්, රිදී හාරන්න මහන්සි නොවී මිල දී ගැනීම හරහා ඒවා අයිති කරගෙන ධනවතෙක් වෙන්න පුළුවන්.

මුල්ම කාලයේදී නයිල් ගඟේ ඉවුරක ඇවිද ගෙන යන කෙනෙකුට අහම්බෙන් වගේ දිලිසෙන රත්තරන් කෑල්ලක් අහු වෙන්න ඇති. ලස්සන නිසා ළඟ තියාගෙන හිටපු මේ රත්තරන් කෑල්ල වෙනත් කෙනෙකුට දීලා මරපු සතෙක්ව ලබා ගන්න පුළුවන් බව පස්සේ තේරෙන්න ඇති. කොහොම කොහොම හරි කාලයක් යද්දී රන් හා රිදී ලෝකය වටේම ධන සංචිත ලෙස සැලකෙන්න පටන් ගත්තා.

රන් රිදී හැම තැනම නැහැ. මේවා තියෙන තැනක මිසක් නැති තැනක ඉන්න කෙනෙක් කොයි තරම් මහන්සි වෙලා පොළොව හෑරුවත් රන් රිදී හමු වෙන්නේ නැහැ. වාසනාව කියන සාධකය මෙහිදී බලපානවා. ලෝක ඉතිහාසය පුරා සමහර රටවල් ධනවත් වෙන්නත් තවත් සමහර රටවල් දුප්පත් වෙන්නත් රන් රිදී වගේ වටිනා වස්තු තිබීම වැනි අහඹු කරුණුත් යම් තරමකින් බලපෑවා. ලංකාවේ රන් රිදී නොතිබුණත් ඒ වගේම වටිනා මුතු හා මැණික් තිබුණා. ඇත්දළ වගේ දේවලුත් තිබුණා. මේ දේවල් සමඟ හුවමාරු කරලා රන් හා රිදී ලබා ගන්න පුළුවන් වුනා.

ඇමරිකන් ඩොලරය ජාත්‍යන්තර මුදල් ඒකකය බවට පත් වෙන්න කලින් ඒ තැන තිබුණේ බ්‍රිතාන්‍ය පවුමට. එහෙත් පවුමේ තිබුණේ එහි අඩංගු වූ රන් වල වටිනාකම. ඔය විදිහට ලෝකයේ විවිධ රටවල භාවිතා වූ කාසි වලට තිබුණේ ඒ කාසි වල තිබුණු රන් හෝ රිදී වල වටිනාකම. රන් හා රිදී වල වටිනාකම තීරණය වුනේ ඉල්ලුම හා සැපයුම මත. 

රන් වලට වඩා වැඩිපුරම මුදල් විදිහට භාවිතා වුනේ රිදී. රුපියල් කියන වචනය හැදිලා තියෙන්නෙත් රිදී යන අදහස තිබෙන රුප්‍ය (रूप्य) කියන සංස්කෘත වචනයෙන්. හීබෘ භාෂාවේ කෙසේ (כסף) කියන වචනයේ වගේම ආජෙන්ටුම් (argentum) කියන ලතින් වචනයේත් රිදී කියන තේරුම වගේම මුදල් කියන තේරුමත් තිබෙනවා.

අටවන සියවසේදී ඇන්ග්ලෝ සැක්සන් වරු භාවිතා කළේ ස්ටර්ලින් ලෙස හැදින්වුනු රිදී කාසි. මේ රිදී කාසි 240ක මළු ලොකු ගනුදෙනු වලදී යොදා ගත්තා වගේම බර මැනීමේ ඒකකයක් විදිහට භාවිතා වුනා. ඒ වගේ මල්ලක් පවුන් (Pound) එකක් ලෙස හැඳින්වුනා. පවුන් එකක එහෙමත් නැත්නම් රාත්තලක් බර ස්ටර්ලින් රිදී කාසි මළු වලින් ගනුදෙනු කළේ ලොකු පෝසත්තු. එංගලන්තය රිදී කාසි වෙනුවට රන් කාසි වලට මාරු වුනේ ගොඩක් පස්සේ. අයිසෙක් නිවුටන්ගේ කාලය වෙද්දී යුරෝපයේ රිදී කාසි ගොඩක් බාල්දු වෙලා. රන් මිල රිදී මිල මෙන් පහළොස් ගුණයක් පමණ වෙලා. නමුත්, ඒ කාලය වෙද්දීත් චීනයේ හා ඉන්දියාවේ වැඩි ඉල්ලුමක් තිබුණේ රිදී කාසි වලටයි.

Tuesday, February 23, 2021

ශ්‍රමයේ අනදාලත්වය පිළිබඳ ප්‍රශ්නය


කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයට නැවතත් එමු. මෙයින් ආකෘතිගත කරන්නේ ශ්‍රමය, ප්‍රාග්ධනය හා තාක්ෂනය යොදාගෙන අතිරික්ත වටිනාකමක් (නිෂ්පාදනයක්) නිර්මාණය කරන ආකාරයයි. චාල්ස් කොබ් සහ පෝල් ඩග්ලස් විසින් මේ නිෂ්පාදන ශ්‍රිතය ඇතුළත් පර්යේෂණ පත්‍රිකාව ඇමරිකන් එකොනොමික් රිවීව් ජර්නලයේ පළ කළේ 1928 වසරේදී. ඔවුන්ට පෙර පසුගිය සියවසේ ආරම්භයේදී හෝ ආසන්න වසරකදී පිලිප් වික්ස්ටීඩ් විසින් මේ ශ්‍රිතය ගැන අදහස ඉදිරිපත් කර තිබෙනවා. එහෙත්, ඊට පෙර මෙවැන්නක් කිසිවෙකු භාවිතයට ගෙන තිබුණේ නැහැ.

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය භාවිතා නොකළත් නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය, ප්‍රාග්ධනය හා තාක්ෂනය කියන සාධක තුන ඇසුරෙන් විස්තර කිරීම කාලයක සිටම සිදුවුණු දෙයක්. ඇඩම් ස්මිත්, කාල් මාක්ස් වගේ අයගේ පැහැදිලි කිරීම් වලත් මේ අදහස තිබෙනවා. වෙනස ඒ පැරැන්නන් අද මෙන් ගණිතය යොදා නොගැනීමයි. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය නිෂ්පාදනය සිදුවන ක්‍රියාදාමය පැහැදිලි කරන ආකෘතියක් නිසා එය දේශපාලන ක්‍රමයකට සම්බන්ධ දෙයක් නෙමෙයි. 

මෙහි නිෂ්පාදන අතිරික්තය, ශ්‍රමය හා ප්‍රාග්ධනය වසරින් වසර වෙනස් වන, ඒ වගේම වැඩි අපහසුවක් නැතිව මැනිය හැකි, විචල්‍යයන්. මේ විචල්‍යයන් තුනම සාමාන්‍යයෙන් කාලයත් සමඟ වර්ධනය වෙනවා. α එසේ වේගයෙන් වෙනස් නොවන පරාමිතියක්. එය වසර ගණනාවක දත්ත අනුසාරයෙන් ඇස්තමේන්තු කළ හැකියි. එසේ ඇස්තමේන්තු කිරීමෙන් පසුව බොහෝ විශ්ලේෂණ තුළ α නියතයක් ලෙස සලකා තාක්ෂනය වර්ධනය වූ ආකාරය විස්තර කෙරෙන A වෙනස් වන ආකාරය ඇස්තමේන්තු කරනවා. එය වසරින් වසර වර්ධනය වන එහෙත් සෘජුව මැනීම අසීරු විචල්‍යයක්.

චාල්ස් කොබ් සහ පෝල් ඩග්ලස් විසින් ඉදිරිපත් කළ ආරම්භක පර්යේෂණ පත්‍රිකාවේ ඇස්තමේන්තු අනුව α අගය සඳහා ගැලපුනේ 0.25 වැනි අගයක්. පසුකාලීන ඇස්තමේන්තු අනුව මේ අගය 0.3-0.35 අතර අගයක් ලෙස සැලකුණා. සෛද්ධාන්තිකව 0 හා 1 අතර තිබිය යුතු මේ අගය සෙමෙන් වුවත් කාලයත් සමඟ ඉහළ යන බව පෙනෙන්නට තිබෙනවා. නිෂ්පාදන තාක්ෂනය තුළ මිනිස් ශ්‍රමය ක්‍රමයෙන් විස්ථාපනය වෙමින් ස්වයංකරණය ආදේශ වෙද්දී  α අගයද ක්‍රමයෙන් ඉහළ යා යුතුයි. 

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ ආන්තීය (extreme) තත්ත්වයන් සේ සැලකිය හැකි α=0 හා α=1 තත්ත්වයන් දෙස බැලූ විට නිෂ්පාදන මාතය පරිණාමය වන ආකාරය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මෙය මා කරන දෙයක් මිසක් සම්මත දෙයක් නෙමෙයි. සමහර විට මා නොදැන වෙනත් අය මෙවැන්නක් කර තිබිය හැකියි.

α=0  වූ විට,

Y = F(K,L) = AKαL1-α = AK0L1-0 = AL

α=1  වූ විට,

Y = F(K,L) = AKαL1-α = AK1L1-1 = AK

α=0  වූ විට, Y = AL නිසා නිෂ්පාදනය සෘජුවම ඒ සඳහා යොදන ශ්‍රමයට සමානුපාතිකයි. ප්‍රාග්ධනය වෙනස්වීම මත අතිරික්තය වෙනස් වන්නේ නැහැ. යොදවන ශ්‍රමය හා අතිරික්තය අතර අනුපාතය තීරණය වන්නේ A අගය මතයි. නිෂ්පාදන කාර්යය තුළ ශ්‍රමයේ ආන්තික (marginal) ඵලදායීතාවය A නිසා ධනවාදී ක්‍රමයට ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභය A වලට සමානයි. මාක්ස්වාදය අනුවද එය එසේමයි. 

මේ වගේ තත්ත්වයක් යටතේදී ශ්‍රමය නොයොදවා නිෂ්පාදන අතිරික්තයෙන් කොටසක් ලබාගත හැකි වන්නේ එක්කෝ ශ්‍රමය යොදවන අයෙකුගේ අනුකම්පාව මත. එසේ නැත්නම් හොරකම් කිරීමෙන් හෝ පැහැර ගැනීමෙන් වගේ ක්‍රමයකින්. නිෂ්පාදන මාතය තුළ ප්‍රාග්ධනයට කිසිදු වැදගත්කමක් නැති නිසා කවර හෝ බාහිර සාධකයක් මත A ඉහළ ගිය අවස්ථාවක ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමේ අර්ථයක් නැහැ. ඒ වගේ වෙලාවක එක්කෝ තමන්ට පරිභෝජනය සඳහා අවශ්‍ය දේ නිපදවා ගැනීමට පමණට පමණක් ශ්‍රමය යොදවා නිකම් සිටිය යුතුයි. නැත්නම් තමන්ට පරිභෝජනය කළ නොහැකි අතිරික්තය වෙනත් අය සමඟ බෙදා ගත යුතුයි. වෙනත් අයෙකුගෙන් හොරකම් කිරීමක් හෝ පැහැර ගැනීමක් කළත් එසේ කරන්න අවශ්‍ය වෙන්නේ ක්ෂණිකව පරිභෝජනය කර අවසන් කළ හැකි මට්ටම දක්වා පමණයි.

හොරකම් කිරීම හා පැහැර ගැනීම අපි පැත්තකින් තියමු. පවුල් ඒකක තුළ හෝ වඩා විශාල කණ්ඩායම් ලෙස ජීවත් වන මිනිහෙක් හෝ වෙනත් සතෙක් පරිභෝජනය කර අවසන් කළ නොහැකි අතිරික්තය බෙදා ගන්නේ තමන්ගේ පවුල් ඒකකයේ හෝ කණ්ඩායමේ වෙනත් අය සමඟයි. මේ වගේ තත්ත්වයක් යටතේ පිරිමි සතෙකුට ගැහැණු සතුන් ආකර්ෂණය කර ගැනීම පහසු වෙනවා. වැඩියෙන් පැටවු හැදීම පහසු වෙනවා. ඒ පැටවු ලොකු වෙද්දී සාමාජික ඒකකය තුළ L වැඩි වන නිසා Y ද වැඩි වෙනවා. එහෙත්, Y/L අනුපාතය වෙනස් වන්නේ නැහැ. එය තීරණය වන්නේ A අගය මත.

අනෙක් අතට අහිතකර බාහිර සාධක නිසා A ඉහළ ගිය අවස්ථාවක වෙන්නේ කුමක්ද? ජීවිතය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවම පරිභෝජන මට්ටම හෝ නොලැබේනම් අතිරික්තය වෙනත් අය සමඟ බෙදාගන්න අමාරුයි. ජීවිතය පවත්වා ගැනීම සඳහා වැඩි වෙලාවක් ශ්‍රමය යොදවන්න වෙනවා. පිරිමි සතෙකුට ගැහැණු සතුන් ආකර්ෂණය කර ගැනීම අසීරුයි. ඉන්න පැටවුනුත් වැඩි දෙනෙක් ආහාර හා ආරක්ෂාව නැතිව මිය යනවා. L අඩු වී Y අඩු වෙනවා. එහෙත්, Y/L අනුපාතය වෙනස් වන්නේ නැහැ. එය තීරණය වන්නේ A අගය මත.

මේ වගේ තත්ත්වයකදී බාහිර සාධක මත A වෙනස් වෙද්දී L ද පසුව වෙනස් වී ඊට සමානුපාතිකව Y වෙනස් වන නමුත් දිගුකාලීනව Y/L වෙනස් වන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් බාහිර සාධක වාසිදායක අතට හැරෙද්දී ගහණයක් වර්ධනය වෙනවා. එම සාධක අවාසිදායක අතට හැරෙද්දී ගහණය කුඩා වෙනවා. ගහණයේ එක් සාමාජිකයෙකුගේ පරිභෝජන මට්ටම තාවකාලිකව අඩු වැඩි වුවත් දිගුකාලීනව තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. A වැඩි වූ වහාම පරිභෝජනය වැඩි වන නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස ගහණය විශාල වෙද්දී අතිරික්තය වැඩි දෙනෙකු අතර බෙදී යන නිසා නැවත හිටපු තැනටම වැටෙනවා.

නිෂ්පාදනය මාතය මේ වගේ එකක්නම් මිනිස්සු හා වෙනත් සත්තු අතර කිසිම වෙනසක් නැහැ. ස්වභාවික පරිසරයක සිටින සත්තුන්ගේ "සමාජ රටාව" හරියටම මේ වගේ. 

මේ අන්තයේ සිටි මිනිස්සු අනෙක් සත්තුන්ගෙන් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නේ ප්‍රාග්ධනය එකතු කර ගන්නට පුරුදු වීමත් සමඟයි. මිනිස් වර්ගයා විසින් ලබා ගෙන තිබෙන හැම ජයග්‍රහණයක් පසුපසම තියෙන්නේ ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමේ වාසිය. ඉතිහාසය පුරාම මිනිස්සු ප්‍රාග්ධනය එකතු කර ගෙන තිබෙන්නේ පෞද්ගලිකව මිස සාමූහිකව නෙමෙයි. පෞද්ගලික ප්‍රාග්ධනය ප්‍රාග්ධන හිමියාගේ කැමැත්ත පරිදි සාමූහිකව ආයෝජනය කිරීම හෝ ස්වේච්ඡාවෙන් අයිතිය අත හැර සාමූහික පරිභෝජනය වෙනුවෙන් යෙදවීම වෙනම දෙයක්. මාක්ස්වාදය හැර ලෝකයේ අනෙකුත් සෑම ආගමක්ම පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. 

ස්වභාව ධර්මයේ සමතුලිතතාවය තව දුරටත් එලෙසම භාර නොගනිමින් ප්‍රාග්ධනය ආයෝජනය කිරීම හරහා A වැඩි කරගැනීමට මිනිස්සු සමත් වෙනවා. A වැඩි වෙද්දී නිෂ්පාදන මාතයේ α අගයද හෙමින් හෙමින් වැඩි වෙන්න පටන් ගන්නවා.

මේ ක්‍රියාදාමයේ අනෙක් අන්තය මොන වගේ එකක්ද? 

α=1  වූ විට, Y = AK නිසා නිෂ්පාදනය සෘජුවම ඒ සඳහා යොදන ප්‍රාග්ධනයට සමානුපාතිකයි. කිසිම ශ්‍රමයක් යෙදවිය යුතු නැහැ. ධනවාදී අදහස අනුව ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු ආන්තික ප්‍රතිලාභ A වලට සමානයි. ශ්‍රමය යෙදවීමක් නැති නිසා ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභයක්ද නැහැ. මාක්ස්වාදය අනුව ශ්‍රමය යොදවන අය අතර ප්‍රතිලාභ බෙදී යා යුතු වුවත් දැන් ශ්‍රමය යොදවන කෙනෙක් නැහැ. ඒ නිසා මාක්ස්වාදයේ තර්කය තව දුරටත් වලංගු නැහැ. මෙහි තිබෙන්නේ ශ්‍රමයේ අනදාලත්වය පිළිබඳ ගැටලුවක් මිසක් ශ්‍රමය සූරාකෑම පිළිබඳ ගැටලුවක් නොවන නිසා ප්‍රාග්ධනය අහිමි, ශ්‍රමය පමණක් හිමි අයෙකුට කිසිදු හෙට්ටු කිරීමේ බලයක් නැහැ. ඔවුන්ට ලැබෙන කවර හෝ දෙයක් තීරණය වන්නේ තනිකරම ප්‍රාග්ධනය හිමි අයගේ අනුකම්පාව මතයි. 

මේ වගේ තත්ත්වයක් සමාන කළ හැක්කේ (බටහිර රටක) ගෙවල් වල හදන සත්තුන්ගේ තත්ත්වයටයි. ගෙදරක හදන බල්ලෙක්ට පූසෙක්ට ස්වභාවික පරිසරයක ජීවත් වන සතෙකුට තිබෙන ප්‍රශ්න නැහැ. පරිභෝජනය සඳහා ශ්‍රමය යෙදවිය යුතු නැහැ. මහන්සියක් නැතුවම කෑම, බීම, වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනවා. එහෙත් ඒ සියල්ල ලැබෙන්නේ ස්වාමියාගේ අනුකම්පාව මතයි. අවසාන වශයෙන් මේ වගේ ගෙදර හදන සතෙකුගේ විනෝදය කියන්නේ කුමක්ද කියා තීරණය කරන්නේත් ස්වාමියා විසින්.

මේ දෙකම ආන්තීය (extreme) තත්ත්ව. α අගය දැනට තිබෙන්නේ ඔය අන්ත දෙකෙන් එකකටවත් ආසන්නව නෙමෙයි. එහෙත්, α අගය හෙමින් හෙමින් වැඩි වෙනවා. ඒ එක්කම සූරාකෑම (exploitation) කියන අදහසේ වලංගු භාවය ක්‍රමයෙන් අඩු වෙමින් අනදාලත්වය (irrelevance) පිළිබඳ ප්‍රශ්නය ක්‍රමක්‍රමයෙන් ප්‍රමුඛ ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබෙනවා.

Friday, February 19, 2021

අරගල වලින් ලැබී තිබෙන ශ්‍රමයේ පංගුව


ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර තිබෙන ගැටුම, ප්‍රාග්ධනයේ ගෝලීය හැසිරීම, ලෝක ප්‍රාග්ධනයේ හැසිරීම තුළ ලංකාවට තිබෙන භූ දේශපාලනික බලපෑම වගේ දේවල් ගැන ගොඩක් අය බොහොම බරපතල විදිහට කතා කරනවා. ඔය වගේ දේවල් ගැන ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. එහෙත් එයින් අදහස් වන්නේ ඒ කියන දේවල් වලට හැම විටම තේරුමක් තියෙනවා කියන එක නෙමෙයි. කොහෙන් හෝ අහුලාගත් දෙයක් ගිරවු වගේ කියවන එක අමාරු වැඩක් නෙමෙයි.

බොහෝ විට මේ වගේ දේවල් සම්බන්ධව කළ හැකි ගුණාත්මක විශ්ලේෂණයකට තේරුමක් තියෙන්නේ එවැනි ගුණාත්මක විශ්ලේෂණයක් ප්‍රමාණාත්මක විශ්ලේෂණ මත පාදක වනවානම් පමණයි. සීනි වැඩිපුර ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකර බව කෙනෙකුට කියන්න පුළුවන්. එහෙම කියන ගොඩක් අය විසින් කරන්නේ තවත් අයෙක් කියපු දෙයක් පුනරුච්ඡාරණය කරන එක. මුලින් කියපු කෙනා කතාව කියන්නේ ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් මත පදනම්ව වුවත් පුනරුච්ඡාරණය කරන අය ඒ කොටස ග්‍රහණය කර ගන්නේ කලාතුරකින්. සීනි වැඩිපුර කියා කියද්දී වැඩිපුර කියන්නේ කොපමණද කියන එක නැතුව කතාවට ප්‍රායෝගික තේරුමක් නැහැ. වැරදිලා ඇල්කොහොල් තේ හැන්දක් පෙවුනොත් වකුගඩු වලට කොයි තරම් හානියක් වෙයිද?

මේකෙම අනෙක් පැත්තකුත් තිබෙනවා. ගණිතය හෝ සංඛ්‍යානය ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගන්න තියෙන මෙවලම් මිසක් ප්‍රශ්න වලට අවසාන හෝ නිවැරදි පිළිතුරු නෙමෙයි. ඒ නිසා, ගුණාත්මක විශ්ලේෂණ නැති හෝ වැරදි ගුණාත්මක විශ්ලේෂණ මත පදනම් වූ ප්‍රමාණාත්මක විශ්ලේෂණ ගොඩක් වෙලාවට "පට්ට පල් බොරු".

මම මේ බ්ලොග් එකෙන් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය හඳුන්වා දුන්නේ ඒ අනුසාරයෙන් තව ගොඩක් දේවල් පැහැදිලි කිරීමේ බලාපොරොත්තුවෙන්. මේ පැහැදිලි කිරීම් සඳහා කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය අවශ්‍ය නොවුනත්, මා එය යොදා ගන්නේ පැහැදිලි කිරීමේ පහසුවටයි. ලෝකයේ වෙනත් බොහෝ ආර්ථික විද්‍යාඥයින් විසින්ද එය සුලභව යොදා ගන්නවා. ඒ නිසා, කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය කොයි තරම් නිවැරදිද කියන එක වැදගත් ප්‍රශ්නයක් නෙමෙයි. නිවැරදි කෙසේ වුවත්, එය ලියෝන්ටිෆ් නිෂ්පාදන ශ්‍රිතය වැනි වෙනත් බොහෝ විකල්ප වලට වඩා මේ වැඩේට ගැලපෙනවා.

දැන් අපි මේ කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ගත්තොත්,

∂Y/∂L = (1-α)Y/L

∂Y/∂K = αY/K

∂Y/∂K: ශ්‍රමය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ප්‍රාග්ධනය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.

∂Y/∂L: ප්‍රාග්ධනය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ශ්‍රමය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.

ධනවාදයේ මූලධර්මය වන්නේ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය නිෂ්පාදනය සඳහා ප්‍රාග්ධනය සපයන අයටත්, ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය නිෂ්පාදනය සඳහා ශ්‍රමය සපයන අයටත් ලැබිය යුතු බවයි. එය කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයට සම්බන්ධයක් නැති දේශපාලනික කරුණක්. 

මාක්ස්වාදී අදහස වන්නේ ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස කිසිවක් ලැබිය යුතු නැති බවයි. ඒ අනුව, ඉහත කොටස් දෙකම නිෂ්පාදනය සඳහා ශ්‍රමය සපයන අයට ලැබිය යුතුයි. මාක්ස්වාදය තුළ ශ්‍රමය සූරාකෑම ලෙස අර්ථ දැක්වෙන්නේ ඉහත කී ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් නිෂ්පාදනය සඳහා ප්‍රාග්ධනය සපයන අය විසින් ලබා ගන්නා කොටසටයි.

මේ දෙකම මූලධාර්මික අදහස්. ඇත්තටම ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රතිලාභ බෙදෙන්නේ කොහොමද කියන එක වෙනම ප්‍රායෝගික කරුණක්.

ශ්‍රම ඒකකයකට ගෙවන වැටුප් අනුපාතිකය w ලෙසත්, ප්‍රාග්ධන ඒකකයකට ගෙවන ලාභාංශ හෝ පොලී අනුපාතිකය r ලෙසත් සලකමු. එවිට, අපට ධනවාදී මූලධර්ම අනුව ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රතිලාභ බෙදී යා යුතු ආකාරය මෙසේ ලියන්න පුළුවන්.

w = ∂Y/∂L = (1-α)Y/L

r = ∂Y/∂K = αY/K

මාක්ස්වාදී මූලධර්ම අනුව මේ බෙදීම සිදු විය යුත්තේ වෙනස් ආකාරයකටයි.

w = Y/L

r = 0

කෙසේ වුවත් මාක්ස්වාදය අනුවද ප්‍රායෝගික තත්ත්වයන් යටතේදී නිෂ්පාදිතයෙන් කොටසක් නැවත ආයෝජනය කළ යුතුයි. ඒ නිසා, නිෂ්පාදිතය (Y) මුළුමනින්ම ශ්‍රමය ලබා දුන් අය අතර බෙදා හැරීමේ හැකියාවක් නැහැ. අවම වශයෙන් ක්ෂය වන ප්‍රාග්ධනය ප්‍රතිපූරණය කර ගැනීම පිණිස Y වලින් කොටසක් වෙන් කරන්න සිදු වෙනවා. පොදු ප්‍රාග්ධනයක් මිසක් පෞද්ගලික ප්‍රාග්ධනයක් නැති නිසා, පොදු ප්‍රාග්ධනය ක්ෂය වී යද්දී අතිරික්තයෙන් කොටසක් ඒ වෙනුවෙන් නොයෙදෙවුවොත් ක්‍රමයෙන් K ක්ෂය වී යන නිසා Yද ක්‍රමයෙන් අඩු වී යනවා. 

මේ අනුව, ඇත්තටම මාක්ස්වාදී ක්‍රමයේදී වුවත් මූලධාර්මික ලෙස බැලුවොත් ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් කිරීමක් වැනි දෙයක් වෙනවා. මෙය හරියටම ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ වෙන් කිරීමක් ලෙස හැඳින්වීම නිවැරදි නැති වුවත්, සමාජවාදී ක්‍රමයකදී වුවද ප්‍රාග්ධන සංචිත පවත්වා ගැනීම හෝ වර්ධනය කර ගැනීම සඳහා අතිරික්තයෙන් කොටසක් නැවත ආයෝජනය කරන නිසා, අතිරික්තය මුළුමනින්ම ශ්‍රමයේ ප්‍රතිලාභ ලෙස බෙදා දීමක් වෙන්නේ නැහැ. 

අපි හිතමු මෙසේ නැවත ආයෝජනය කරන කොටස λ කියා. දැන් ශ්‍රමයේ ප්‍රතිලාභ ලෙස බෙදා දෙන්න වෙන්නේ (1-λ)Y කියන කොටස පමණයි. මේ λ කොපමණද කියන එක තීරණය කරන්නේ මධ්‍යගත සැලසුම් හදන අයයි. එය ධනවාදී ක්‍රමයකදී මෙන් නිදහසේ තීරණය වන දෙයක් නෙමෙයි. සමාජවාදී රටක ප්‍රාග්ධන සංචිත වර්ධනය වනවාද, ක්ෂය වනවාද, ස්ථායී ලෙස පවතිනවාද කියන එක තීරණය වන්නේ මේ වෙන් කිරීම සිදු කරන ආකාරය අනුවයි.

කොහොම වුනත් ප්‍රායෝගිකව යම් වෙන් කිරීමක් කරනවනේ. ඒ නිසා, ධනවාදී ක්‍රමයට මේ දිහා බැලුවොත් r = 0 වෙන්නේ නැහැ. අනෙක් අතට, w = Y/L වෙන්නේත් නැහැ. අපිට මෙය මෙලෙස ලියන්න පුළුවන්.

w = (1-λ)Y/L

r = λY/K

මෙහි මා r ලෙස හඳුන්වා තිබෙන්නේ නිෂ්පාදන අතිරික්තයෙන් නැවත ආයෝජනය කළ කොටස ආරම්භක ප්‍රාග්ධනයේ අනුපාතයක් ලෙස කොපමණද කියන එකයි. මාක්ස්වාදී ක්‍රමයේදී ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ බෙදීමක් සිදු නොවන නිසා මෙහි r ප්‍රාග්ධනය සඳහා ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය ලෙස හැඳින්වීම වැරදි වුවත් මා එසේ කරන්නේ ධනවාදය සමඟ සංසන්දනය කිරීම පහසු කරන්නයි. මා දන්නා තරමින් කිසිවෙකු මෙවැන්නක් කර නැහැ. මා මෙය කරන්නේ මාක්ස්වාදය පමණක් හදාරා ඇති අයට ධනවාදය තේරුම් ගැනීමත්, ධනවාදී ආර්ථික විද්‍යාව පමණක් හදාරා ඇති අයට මාක්ස්වාදය තේරුම් ගැනීමත් පහසු කිරීම සඳහා පමණයි. ඒ නිසා, ප්‍රාග්ධනය පොත ඇතුළු මාක්ස්වාදී ආර්ථික විද්‍යා පොත් වල හෝ ධනවාදී ආර්ථික විද්‍යා පොත් වල මෙවැනි දෙයක් හොයන්න උත්සාහ කරන්න එපා.

දැන් අපි නැවත ධනවාදය වෙත හැරෙමු. 

ධනවාදී මූලධර්ම අනුව ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර ප්‍රතිලාභ බෙදිය යුතු ආකාරය මෙසේ ලියන්න පුළුවන්.

w = ∂Y/∂L = (1-α)Y/L

r = ∂Y/∂K = αY/K

මෙහි එකම වෙනස λ වෙනුවට α තිබීමයි. α යනු λ මෙන් මධ්‍යගත සැලසුමක් යටතේ තීරණය වන දෙයක් නෙමෙයි. ඒ වගේම එය වෙළඳපොළ සාධක මත තීරණය වන දෙයක්ද නෙමෙයි. α යනු නිෂ්පාදන ක්‍රමවේදය හා සම්බන්ධ කරුණක්. එය වෙනස් වෙන්නේ තාක්ෂනය සමඟයි. එහි ධනවාදය හෝ සමාජවාදය සමඟ සම්බන්ධයක් නැහැ. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය නිෂ්පාදන ආකෘතියක් මිසක් දේශපාලනික ආකෘතියක් නෙමෙයි.

එහෙමනම් ධනවාදය හා α අතර තිබෙන සම්බන්ධය කුමක්ද? ධනවාදය විසින් යෝජනා කරන බෙදීම මේ පරාමිතිය සමඟ සම්බන්ධයි. ඒ කියන්නේ අවසාන වශයෙන් ධනවාදය විසින් යෝජනා කරන පරමාදර්ශී බෙදීම තීරණය කරන්නේ නිෂ්පාදන තාක්ෂනය විසින්. මෙයින් වෙනස්ව සමාජවාදී ක්‍රමයකදී λ අගය තීරණය කරන්නේ පොදු ප්‍රාග්ධනය පාලනය කිරීමේ බලය අතේ තිබෙන පිරිස විසින්.

ධනවාදය යටතේ අතිරික්තය බෙදිය යුතු සාධාරණ ආකාරය කියන එකෙන් අදහස් වෙන්නේ හැමවිටම ධනවාදී සේ සැලකෙන රටක නිෂ්පාදන අතිරික්තය ඒ විදිහටම බෙදෙනවා කියා කියන එක නෙමෙයි. එහෙමනම්, ධනවාදය යටතේ මේ පරමාදර්ශී බෙදීම ඒ විදිහටම සිදු වන බවට තිබෙන සහතිකය කුමක්ද? එහෙම වෙන්නනම් ශ්‍රමය සපයන අය අතරත්, ප්‍රාග්ධනය සපයන අය අතරත් ඔවුනොවුන් අතර වගේම ප්‍රතිවිරුද්ධ කණ්ඩායම සමඟද ප්‍රමාණවත් තරඟයක් තිබිය යුතුයි. මේ තරඟය තුළ හැකි තරම් අඩුවෙන් ශ්‍රමය සපයන්න ශ්‍රමිකයින් එකිනෙකා සමඟ තරඟ කරනවා වගේම හැකි තරම් අඩු මිලකට ප්‍රාග්ධනය සපයන්න ප්‍රාග්ධන හිමියන් එකිනෙකා සමඟ තරඟ කරනවා. එම තරඟය තුළ කිසිවෙකුට ලැබිය යුතු ප්‍රමාණයට වඩා දෙයක් නොලැබෙන බව සහතික කෙරෙනවා. 

මෙහි විශේෂත්වය වන්නේ තමන්ට "ලැබිය යුතු" කොටස උදුරා ගැනීම සඳහා අරගල කරලා අවසානයේදී ලබාගත හැකි දෙයම තමන් විසින් "දිය යුතු" කොටස ස්වේච්ඡාවෙන් ලබා දීමේ තරඟය තුළද ඒ විදිහටම ලැබෙන එකයි. ශ්‍රමය සඳහා වැඩිම මිල ලබා ගැනීම සඳහා කළ යුතු අරගලයක් බොහෝ විට ප්‍රචණ්ඩයි. හැකි තරම් අඩුවෙන් ශ්‍රමය සැපයීම සඳහා කරන තරඟය තුළ එවැනි ප්‍රචණ්ඩත්වයක් නැහැ. එය සිදු වන්නේ නිදහස් කැමැත්තෙන්. අපූරුම දෙය වන්නේ හැකි තරම් අඩුවෙන් ශ්‍රමය සැපයීම සඳහා කරන තරඟය තුළ අරගල කර ශ්‍රමය සඳහා ලබා ගත හැකි වැඩිම මිල අරගලයකින් තොරවම ලැබෙන එකයි.

මෙය මෙසේ සිදු වන බවට තිබෙන සහතිකය කුමක්ද? මෙය සිදු වෙන්නනම් මිනිස්සුන්ට තමන්ට වඩාත්ම වාසිදායක දේ කිරීමේ දැනුමක් හා නිදහසක් තිබිය යුතුයි. මේ තත්ත්වය වියුක්ත තත්ත්වයක් බව කාට හරි කියන්න පුළුවන්.

භෞතික විද්‍යාවේදී ඝර්ෂණය නැති සුමට පෘෂ්ඨ ගැන කතා කරනවා. එහෙත් එවැනි ඝර්ෂණය නැති සුමට පෘෂ්ඨ සැබෑ ලෝකයේ නැහැ. ඝර්ෂණය නැති සුමට පෘෂ්ඨයක සිදුවන චලිතයක් ඝර්ෂණය තිබෙන සුමට නැති පෘෂ්ඨයක ඒ විදිහටම වෙන්නේ නැහැ.

මිනිස්සු හැමෝම හැම විටම තමන්ට වඩාත්ම වාසිදායක දේ කරන්නේ නැහැ. හැබැයි එහෙම නොකළා කියලත් ඉහත ධනවාදී සමතුලිතතාවය වෙනස් වෙන්නේ නැහැ. පෘෂ්ඨය සුමට නැත්නම් අර අඟහරු වෙත ඊයේ ගිය පර්සිවියරන්ස් රෝවරයට වගේ පාර වෙනස් කරලා පෘෂ්ඨය වඩා සුමට තැනක් හොයා ගන්න මිනිස්සුන්ට පුළුවන්. එහෙම තැන් නැත්නම් සුමට පෘෂ්ඨ හදා ගන්න පුළුවන්. සාමූහික ක්‍රමයක් වන ධනවාදී නිදහස් වෙළඳපොළක් කාර්යක්ෂම වීම සඳහා අවශ්‍ය වන අනිවාර්ය පූර්ව කොන්දේසිය මිනිස්සු හැමෝම හැම විටම තමන්ට වඩාත්ම වාසිදායක දේ කිරීම නෙමෙයි. මිනිස්සු වැඩි දෙනෙක් බොහෝ විට තමන්ට වඩාත්ම වාසිදායක දේ කිරීම ඒ සඳහා ප්‍රමාණවත්. විශේෂ තත්ත්වයන් තිබුණත්, මේ කොන්දේසිය බොහෝ විට ප්‍රායෝගිකව සම්පූර්ණ වන කොන්දේසියක්.

රුපියල් දාහක් පොල් ගෙඩියකට ගෙවන්න කැමති කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. එහෙත් වැඩි දෙනෙක් පොල් ගෙඩියකට එවැනි විශාල මිලක් ගෙවන්න සූදානම් නැහැ. ඒ නිසා, පොල් ගෙඩියකට රුපියල් දාහක් ගෙවන්න සූදානමින් ඉන්න කෙනාටත් සීයකට එකසිය විස්සකට පොල් ගෙඩියක් මිල දී ගන්න ලැබෙනවා. රුපියල් පණහකට දවසක් පුරා කුලී වැඩ කරන්න කැමති කෙනෙක් හිටියත් බොහෝ විට ඔහුට ඊට වඩා වැඩි කුලියක් ලැබෙනවා. ඒ රටේ ශ්‍රමිකයන් බොහෝ දෙනෙක් ඒ තරම් අඩු කුලියකට වැඩ කරන්න කැමති නැති නිසා. කිසියම් රටක ධනවාදයක් නොතිබුණත් යම් තරමකට හෝ ධනවාදී මූලධර්ම වැඩ කරනවා. ඒ එම මූලධර්ම ස්වභාවිකත්වයට කිට්ටු නිසා. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය තිබුණත් නැතත් පොල් බිමට වැටෙනවා. 

ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර අතිරික්තය බෙදිය හැකි වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය (1-α): α අනුපාතයට බෙදීමයි. ධනවාදය යටතේ කාගේවත් සැලසුමක් නැතිවම මෙය සිදු වෙනවා. සමාජවාදය යටතේ මේ බෙදීම වෙන්නේ මා ඉහත විස්තර කළ පරිදි (1-λ): λ අනුපාතයටයි. එම λ අගය කවුරු හෝ පිරිසක් විසින් සැලසුම් කරන දෙයක් මිසක් ස්වභාවික දෙයක් නෙමෙයි. කොහොම වුනත්, එක දෙයක් කියන්න පුළුවන්. λ = α වූ විට සමාජවාදී ක්‍රමයක් ධනවාදී ක්‍රමයක් තරමටම කාර්යක්ෂම වෙන්න පුළුවන්. (මේ කාර්යක්ෂමතාවය නැති වන වෙනත් බොහෝ හේතු තිබෙනවා. ප්‍රස්තුතයට අදාළ නොවන නිසා මෙහිදී මා ඒවා පැත්තකින් තියනවා)

සමාජවාදී රටක් ධනවාදයේ මූලධර්ම පිළි නොගත්තත් ධනවාදය පිළිගත් රටවල් සමඟ ප්‍රමාණවත් තරඟයක නියැලෙනවානම් එහි අවසාන ප්‍රතිඵලය වන්නේ නිසර්ගයෙන්ම  λ = α වීමයි. ඒ සමානත්වය ඇති වන තුරුම සමාජවාදී රටේ පාලකයින්ට තමන්ගේ මධ්‍යගත සැලසුම් වෙනස් කරන්න වෙනවා. නැත්නම් ආර්ථිකය ටිකෙන් ටික වල පල්ලට යනවා. චීනය වගේ රටවල් කාලයක සිට මේ වැඩේ සාර්ථක ලෙස කරනවා. දැන් කියුබාවත් වැඩේට බැහැලා. 

මා මෙහිදී සමාජවාදී රටවල් සේ හඳුන්වන්නේ පැරණි සෝවියට් දේශය, චීනය, කියුබාව, උතුරු කොරියාව වගේ පොදුවේ සමාජවාදී රටවල් සේ සැලකෙන රටවල් මිසක් කවදාවත් ලෝකයේ තිබී නැති සමාජවාදී රටවල් නෙමෙයි. සමහර අයට අනුව මේ රටවල් වල තිබී ඇත්තේ හෝ තිබෙන්නේ රාජ්‍ය ධනවාදයක් මිසක් සමාජවාදයක් නෙමෙයි. ඔය වචන වැදගත් නැහැ. පොදුවේ මාක්ස්වාදය තුළ කොමියුනිස්ට්වාදයට පෙර එන සමාජවාදය ලෙස හැඳින්වුණේ ඔය රටවල් වල තිබුණු හෝ තිබෙන මධ්‍යගත සැලසුම් ක්‍රමය. ජාතික සමාජවාදය ලෙස හැඳින්වුණු හිට්ලර්ගේ ජර්මනියේත්, රටේ නම අනුව දැනට ලෝකයේ තිබෙන සමාජවාදී රටවල් දෙකෙන් එකක් වූ ලංකාවේත් බොහෝ දුරට තිබෙන්නේ මේ ක්‍රමය. බොහෝ දෙනෙක් විසින් ධනවාදී රටක් ලෙස වැරදියට හඳුන්වන සිංගප්පූරුවේ වගේම රජ පවුල් විසින් තවමත් පාලනය කරන මැද පෙරදිග රටවලත් තියෙන්නේ මේ සමාජවාදී ක්‍රමයට කිට්ටු ක්‍රමයක්. මේ හැම රටකටම පොදු සාධකයක් වන්නේ ඉහත කී λ අගය යම් පිරිසක් විසින් පාලනය කිරීමයි. ඒ නිසා, එම අගය α අගයට සමාන වීමේ සෛද්ධාන්තික අවශ්‍යතාවයක් නැහැ.

හැබැයි මේ ඇතැම් රටවල් ලෝකයට විවෘතයි. ලෝකය සමඟ තරඟ කරනවා. ඒ කියන්නේ රට ඇතුළේ ධනවාදී මූලධර්ම ක්‍රියාත්මක නොවුනත් ජාත්‍යන්තර තලයේදී කටයුතු කරන්නේ යම් තරමකින් ධනවාදී මූලධර්ම වලට අනුගතවයි. චීනය ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරද්දී පුළුවන් තරම් අඩු මිලකට භාණ්ඩ සපයන්න උත්සාහ කරනවා මිසක් ඒ භාණ්ඩ හදන ශ්‍රමිකයින්ගේ ප්‍රතිලාභ වෙනුවෙන් අරගල කරන්නේ නැහැ. මේ ක්‍රමය පැරණි සෝවියට් දේශයේ ක්‍රමයට සාපේක්ෂව සාර්ථක වී තිබෙනවා. 

පැරණි සෝවියට් දේශය ජාත්‍යන්තර ගනුදෙනු කළේ බොහෝ දුරට ධනවාදී ලෝකයෙන් වෙන්ව සිටිමින් සමාජවාදී හෝ තුන් වන ලෝකයේ රටවල් එක්කයි. ඒ නිසා, පැරණි සෝවියට් දේශය ධනවාදී රටවල් වල තිබුණු තරඟයට වක්‍ර ලෙස හෝ නිරාවරණය වුනේ නැහැ. තරඟයට වක්‍ර ලෙස හෝ නිරාවරණය නොවුණු නිසා λ = α විය හැකි යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. නමුත්, චීනයට එවැනි යාන්ත්‍රණයක් තිබෙනවා. ඒ නිසා, චීන සමාජවාදය රටෙන් පිටතදී කාර්යක්ෂමයි. චීන සමාජවාදය රට ඇතුළේ ශ්‍රමිකයින්ට සාධාරණය ඉටු කරනවාද නැද්ද කියන එක වෙනම කරුණක්.

ලෝකයේ එක් එක් රටවල නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යන්නේ කොහොමද? ලෝකයේ එක් එක් රටවල ප්‍රාග්ධනය සඳහා ලැබෙන ප්‍රතිලාභ අනුපාතික කොපමණද? පහත තිබෙන්නේ පසුගිය දස වසර (2010-2019) සඳහා සාමාන්‍ය අගයයන්. මේ සංඛ්‍යාලේඛණ ගැන වැඩිදුර විශ්ලේෂණ ඉදිරි ලිපියකට ඉතිරි කරන්නම්.




Data are based on Penn World Table version 10.0.

References: 

Feenstra, Robert C., Robert Inklaar and Marcel P. Timmer (2015), "The Next Generation of the Penn World Table" American Economic Review, 105(10), 3150-3182, available for download at www.ggdc.net/pwt

Friday, February 12, 2021

දැය දියුණට පැද යන නැවියා


කලින් ලිපියක මම සංවර්ධන ආර්ථික විද්‍යාවේදී යොදා ගන්නා සොලෝ ආකෘතිය පිළිබඳව විස්තර කළා. වෙනත් ඕනෑම ආකෘතියකින් කරනවා වගේම මේ ආකෘතියෙන් කරන්නෙත් අපට විශ්ලේෂණය කරන්න අවශ්‍ය කරුණට අවධානය යොමු කිරීම පහසු කරමින් අවශේෂ දේවල් අයින් කරලා සරල ආකෘතියක් ඇසුරෙන් පවතින හෝ පැවතිය හැකි තත්ත්වය විග්‍රහ කරන එක. ඒ කියන්නේ ආකෘතිය ඇතුළේදී අවශේෂ කරුණු නොවෙනස්ව තිබෙන සේ සලකමින් හදාරන්න අවශ්‍ය ප්‍රධාන කරුණ හැදෑරීම.

සොලෝ ආකෘතිය රටක ආර්ථික වර්ධනයට ප්‍රාග්ධනය බලපාන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න උපයෝගී කර ගන්න පුළුවන්. මේ ආකෘතිය තවත් දේවල් පැහැදිලි කරන්නත් යොදා ගත හැකියි. එහෙත්, මම ප්‍රධාන වශයෙන්ම මෙය යොදා ගන්නේ ඉහත කරුණ පැහැදිලි කරන්න. මේ ආකෘතිය ඉදිරිපත් කිරීමේදී මම කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගත්තා. එය පැහැදිලි කිරීමේ පහසුවට කළ දෙයක්. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා නොගෙන වුවත් සොලෝ ආකෘතිය ඉදිරිපත් කරන්න පුළුවන්. 

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගන්නේ ශ්‍රමය, ප්‍රාග්ධනය හා නිෂ්පාදිතය අතර සම්බන්ධය පැහැදිලි කරන්න. නිෂ්පාදනදී බිහිවන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යා යුතු සාධාරණ ක්‍රමය කුමක්ද කියන එක පිළිබඳ ධනවාදී අදහස ගැනත් මෙම මේ ශ්‍රිතය ආශ්‍රයෙන් පැහැදිලි කළා. එහෙත්, ඒ පැහැදිලි කිරීම කරන්නත් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය අවශ්‍ය වන්නේ නැහැ. එය යොදා ගත්තේ පැහැදිලි කිරීමේ පහසුවට. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගෙන නිෂ්පාදනදී බිහිවන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යා යුතු සාධාරණ ක්‍රමය කුමක්ද කියන එක පිළිබඳ සමාජවාදී අදහස වුවත් විස්තර කළ හැකියි. 

අතිරික්තය සාධාරණව බෙදිය යුතු ආකාරය පිළිබඳ ධනවාදී අදහස අනුව ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමය ලබා දෙන අයටත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනය ලබා දෙන අයටත් හිමි විය යුතුයි. තරඟකාරී වෙළඳපොළක් ඇති විට කිසිවෙකුගේ මැදිහත්වීමක් නැතිවම ඒ බෙදීම නිවැරදිව සිදු වෙනවා. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය යොදා ගනිමින් මම ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් වෙන් විය යුතු කොටස් ගණනය කර පෙන්වූවා. 

ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය = ∂Y/∂L = (1-α)Y/L

ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය = ∂Y/∂K = αY/K  

මාක්ස්වාදී අදහස වන්නේ අතිරික්තයෙන් කොටසක් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස වෙන් කිරීම අසාධාරණ බවයි. ඒ අදහස අනුව අතිරික්තය මුළුමනින්ම ලැබෙන්නේ ශ්‍රමය ලබා දෙන අයටයි. මේ අනුව සමාජවාදී බෙදීමකදී ශ්‍රමිකයෙකුට Y/L කොටසක් හිමි වෙනවා. α<1 නිසා (1-α)Y/L < Y/L බව පැහැදිලියිනේ. මේ අනුව, සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ධනවාදී රටක ශ්‍රමිකයෙකුට ලැබෙනවාට වඩා ප්‍රතිලාභ හිමි විය යුතුයි. එහෙමනම් එය එසේ නොවන්නේ ඇයි? 

රටේ සමස්ත නිෂ්පාදිතය එකම මට්ටමේ තිබේනම් සමාජවාදී බෙදීමකදී ශ්‍රමිකයෙකුට වැඩි ප්‍රතිලාභ ලැබෙනවා. α = 1/3 ලෙස සැලකුවොත්, සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට එක් ශ්‍රම ඒකකයක් වෙනුවෙන් Y/L ප්‍රතිලාභයක් ලැබෙන විට ධනවාදී රටක ශ්‍රමිකයෙකුට එක් ශ්‍රම ඒකකයක් වෙනුවෙන් ලැබෙන්නේ ඊට වඩා 33%ක් පමණ අඩුවෙන්. හැබැයි මේ කතාව හරියන්නේ රටවල් දෙකේම නිෂ්පාදිතය, එනම් Y අගය, සමාන මට්ටමක තිබුනොත් පමණයි. ධනවාදී ක්‍රමය යටතේ මොනයම් හෝ ආකාරයකින් Y අගය 50%කින් වැඩි වුනොත් ධනවාදී රටේ ශ්‍රමිකයාට සමාජවාදී රටේ ශ්‍රමිකයාට ලැබෙන ප්‍රතිලාභයම ලැබෙනවා.

ධනවාදී රට: w = (1 - 1/3)*1.5Y/L = Y/L

සමාජවාදී රට: w = Y/L

මේ තත්ත්වය යටතේදී ධනවාදී රටේ නිෂ්පාදිතයෙන් තුනෙන් එකක් ප්‍රාග්ධනය ලබා දෙන අය වෙනුවෙන් වෙන් කළාට පසුවත් ශ්‍රමිකයාට ලැබෙන කොටස සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ලැබෙන කොටසට සමානයි. යම් ආකාරයකින් ධනවාදී රටේ නිෂ්පාදිතය 50%කට වඩා වැඩිනම් ධනවාදී රටේ ශ්‍රමිකයාට සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ලැබෙනවාට වඩා වැඩි ප්‍රතිලාභ ලැබෙනවා. 

අපි මේ 50% කියන එක හදාගත්තේ  α = 1/3 ලෙස සලකලානේ. සාධාරණ ප්‍රකාශනයක් ලෙස මෙය ඉදිරිපත් කළොත් ධනවාදී රටේ නිෂ්පාදිතය සමාජවාදී රටේ නිෂ්පාදිතයට වඩා අඩුම වශයෙන් 1/(1-α) ගුණයක් වුනොත් අපට මේ තත්ත්වය නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. 

දැන් අපි නැවතත් සොලෝ ආකෘතියට යමු. සොලෝ ආකෘතිය අනුව ස්ථායී තත්ත්වයකදී යම් රටක එක් ශ්‍රමිකයෙකු විසින් සිදු කරන නිෂ්පාදිතය (y* අගය) තීරණය වන්නේ A, α, δ, s යන සාධක මතයි. මේ විචල්‍යයන් අතර සම්බන්ධතාවය පහත ආකාරයේ එකක්.

y* = Y*/L = (A)1/1-α(s/δ)α/1-α 

ධනවාදී රටක ශ්‍රමිකයෙකුට ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ සමාජවාදී රටක ශ්‍රමිකයෙකුට ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ වලට වඩා වැඩි වෙන්නනම් ධනවාදී රටේ y* අගය සමාජවාදී රටේ එම අගය මෙන් අඩුම වශයෙන් 1/(1-α) ගුණයක් විය යුතුයි. මෙහි α අගය ධනවාදී රටේ α අගයයි. සමාජවාදී රටේ α අගය මේ සංසන්දනය සඳහා වැදගත් නැහැ. ඇමරිකාවේ මේ අගය කාලයක් තිබුණේ 0.33 මට්ටමේ. දැන් 0.38 මට්ටමට කිට්ටුයි. α වැඩි කර ගැනීම සාර්ථක ක්‍රමයක් වුවත් එයින් අතුරු ප්‍රශ්නද ඇති වෙනවා. විරැකියාව ඉහළ යාම එවැනි එක ප්‍රශ්නයක්. 

මෙය කළ හැක්කේ A, α, δ, s යන සාධක වලින් එකක් වෙනස් කිරීම මගිනුයි. α හෝ A වැඩි කරනවා කියා කියන්නේ නිෂ්පාදන තාක්ෂනය වඩා කාර්යක්ෂම ලෙස වෙනස් කරනවා කියන එක. δ අඩු කිරීම කියන්නේ ප්‍රාග්ධනය ක්ෂය වීම අඩු කර ගැනීම. s වැඩි කිරීම කියා කියන්නේ ඉතිරි කිරීමේ අනුපාතය වැඩි කිරීම.

ඕනෑම ආකාරයක ප්‍රාග්ධන ආයෝජනයක් ක්ෂය වෙනවා කියන එක සාමාන්‍ය කරුණක්. අවුරුදු තුන හතරක් යද්දී පරිගණයකින් තව දුරටත් වැඩක් නැහැ. පාලමක් හෝ අධිවේගී මාර්ගයක් වසර තිහක් හතලිහක් ප්‍රයෝජනයට ගන්න පුළුවන් විය හැකි වුවත් ඒ අතරවාරයේ නඩත්තු කිරීම් කළ යුතුයි. ගොඩනැගිල්ලක්, වාහනයක් හෝ යන්ත්‍ර සූත්‍ර ගත්තත් ඒවාට ජීවිත කාලයක් තිබෙනවා. ඒ නිසා, මේ δ අගය අඩු කළ හැකි සීමාවක් තිබෙනවා. ඒ වගේම, තාක්ෂනය අලුත් කිරීම කියන ක්‍රියාවලිය ඇතුළේම පවතින ප්‍රාග්ධනය යම් තරමකින් විනාශ කිරීමක්ද අවශ්‍ය වෙනවා. 

ක්ෂය වීමේ අනුපාතය වැඩි වෙන්න වෙනත් හේතුද බලපානවා. යුද්ධ වගේම නාස්තිය හා දූෂණය හේතුවෙනුත් ප්‍රාග්ධනය ක්ෂය වෙනවා. ඒ වගේ හේතු මත ක්ෂය වන ප්‍රාග්ධනය ඉතුරු කරගෙන δ අගය යම් තරමකින් අඩු කරගන්න පුළුවන්. එසේ කිරීමෙන් ආර්ථිකය යම් තරමකින් ඉදිරියට තල්ලු කරන්න පුළුවන්. හැබැයි මෙය කළ හැකි සීමාවක් තිබෙනවා. දිගින් දිගටම කරන්න බැහැ. උතුරේ යුද්ධය අවසන් වී වසර කිහිපයක් යන තුරු ලංකාවේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වුනේ  δ අගය අඩු වූ නිසා. ඇමරිකාවේ δ අගය 0.05 පමණ වෙනවා.

ඉතිරි කිරීමේ අනුපාතය වැඩි කර ගැනීමෙන්ද ආර්ථිකය ප්‍රසාරණය කර ගන්න පුළුවන්. චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව වගේ රටවල් කාලයක් වේගයෙන් වර්ධනය වුනේ s විශාල ලෙස වැඩි කරගත් නිසා. දැනටත් එම රටවල වගේම ලංකාවේද ඉතිරි කිරීමේ අනුපාතය ඇමරිකාවේ එම අනුපාතයට වඩා වැඩියි. කෝවිඩ් නිසා ඇමරිකාවේ s විශාල ලෙස ඉහළ ගොස් තිබුණත් එය තාවකාලික තත්ත්වයක් පමණයි. නමුත්, s වැඩි කර ගැනීම හරහා ආර්ථිකය ප්‍රසාරණය කළ හැක්කේද යම් සීමාවක් දක්වා පමණයි. 

අවුලක් නැතුව ආර්ථිකයක් වේගයෙන් දිගින් දිගටම වර්ධනය කර ගත හැකි පහසුම ක්‍රමය A වැඩි කර ගැනීමයි. එයට සීමාවක් නැහැ. අද හොඳ මට්ටමක තිබෙන රටවල් ඒ තැන් වල තිබෙන්නේ එම රටවල A අගය ගොඩක් වැඩි නිසයි. රටක් දියුණුව කරා පැදවිය හැකි මාර්ගය වැටී තිබෙන්නේ A අගය වැඩි කර ගැනීම හරහා.

Thursday, January 28, 2021

නොපවතින සමාගම් සමඟ දීග කෑම

ධනවාදී වෙළඳපොළ ආර්ථිකයක් තුළ නිෂ්පාදනය සිදුවන ආකාරය විස්තර කිරීම සඳහා අපට චක්‍රීය ප්‍රවාහ ආකෘතිය යොදා ගන්න පුළුවන්. එහි සරලම මට්ටමේ ආකෘතියෙන් අපි පටන් ගනිමු. මෙහිදී, අපේ පහසුව සඳහා රජයේ, විදේශ අංශයේ හා බැංකු වල කාර්ය භාරය අපි නොසලකා හරිනවා. අවශ්‍යනම් මේ ආකෘතිය වඩා සංකීර්ණ කර ගන්න පුළුවන්.

චක්‍රීය ප්‍රවාහ ආකෘතිය තුළදී හඳුනාගන්නා මූලික ඒකක වර්ග දෙකක් තිබෙනවා. ඒ ගෘහස්ථ ඒකක හා ව්‍යාපාර ඒකකයි. ගෘහස්ථ ඒකක වල සිටින පුද්ගලයින් විසින් භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනවා. මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ ව්‍යාපාර ඒකක විසින්. අවශ්‍යනම් සමාගම් කියා කියන්න පුළුවන්.  

සමාගම් කියා කියන්නේ ඇත්තටම පවතින දෙයක් නෙමෙයි. දෙවියන් කියන සංකල්පය වගේම මිනිස්සු විසින් හදාගත් වියුක්ත සංකල්පයක්. හැබැයි මෙය ඉතාම ප්‍රයෝජනවත් සංකල්පයක්.

දෙවියන් පෙනෙන්න නැතත් සමාගම් පෙනෙන්න තිබෙන බව ඇතැම් අය කියන්න පුළුවන්. සමාගමක් පෙන්වන්න පුළුවන් කාටද? සමාගම් සතු වාහන, ගොඩනැගිලි, යන්ත්‍රසූත්‍ර ආදිය තිබෙනවා. බොහෝ මිනිසුන් සමාගම් වෙනුවෙන් වැඩ කරනවා. එහෙත්, ඇත්තටම සමාගම් කියා "දෙයක්" නැහැ. අප එවැනි දෙයක් පවතින බව පොදුවේ පිළිගන්නවා පමණයි. දෙවියන් වගේම තමයි. 

දෙවියන් කියන දේ අහන මිනිස්සු වගේම අහන්නේ නැති මිනිස්සුත් සමාගම් කියන දේවල් අහනවා. දෙවියන් වෙනුවෙන් වැඩ කරන මිනිස්සු වගේම දෙවියන් පිළි නොගන්න මිනිස්සුත් සමාගම් වෙනුවෙන් වැඩ කරනවා. දෙවියන්ට පඬුරු දමන මිනිස්සු වගේම නොදමන මිනිස්සුත් සමාගම් වෙනුවෙන් මුදල් යොදවනවා. සමාගම් වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ගෙන් කොටසක් සමාගමේ අතිරික්තය ගණන් හදලා සමාගම වෙනුවෙන් ශ්‍රමය හෝ ප්‍රාග්ධනය යෙදවූ මිනිසුන් වෙත බෙදා දෙනවා. එය කරන්නේ සමාගම වෙනුවෙන් සමාගමේ භාරකරුවෙකු ලෙසයි. කපුවෙක් දෙවියන් වෙනුවෙන් වැඩ කරනවා වගේ.

චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ඇතුළේ සමාගම් හෝ සමාගම් නොවන වෙනත් ආකාර වල ව්‍යාපාර ඒකක හා ගෘහස්ථ ඒකක අතර අන්තර් ක්‍රියාවක් සිදු වෙනවා. මේ ව්‍යාපාර ඒකක කියන්නේ වියුක්ත අදහසක් වීම ප්‍රශ්නයක් නෙමෙයි. වියුක්ත අදහස වැඩ කරන හා ප්‍රයෝජනයක් තිබෙන වියුක්ත අදහසක්.

ව්‍යාපාර ඒකකයක් තුළ සිදු වන්නේ ගෘහස්ථ ඒකක වල තිබෙන ශ්‍රමය (L) හා ප්‍රාග්ධනය (K) ප්‍රයෝජනයට අරගෙන පරිභෝජනය කළ හැකි නිෂ්පාදිතයක් (Y) බවට පරිවර්තනය කරන එකයි.

K,L ➞ Y 

වෙනත් විදිහකින් කිවුවොත්, ව්‍යාපාර ඒකකයක් තුළදී වෙන්නේ K සහ L යොදා ගනිමින් අතිරික්ත වටිනාකමක් නිර්මාණය කරන එක. Y කියන්නේ එසේ නිර්මාණය කළ අතිරික්ත වටිනාකම. පෙර ලිපි වලින් විස්තර කළ කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයෙන් විස්තර කළේ මේ වැඩේ කරන්න උපයෝගී කර ගන්නා නිෂ්පාදන තාක්‍ෂණයේ ස්වභාවය ආකෘතිගත කළ හැකි එක් ආකාරයක්. එය වෙනත් ආකාර වලින්ද කළ හැකියි. 

ව්‍යාපාර ඒකකයක් තුළදී Y කියන අතිරික්ත වටිනාකම නිර්මාණය කිරීමේදී K සහ L යම් තරමකින් ක්ෂය වන නමුත් නිෂ්පාදන කාර්යයෙන් පසුවද K සහ L ඉතිරි වෙනවා. ඊට අමතරව අතිරික්තයක් ලෙස Y නිර්මාණය වෙනවා. එය පරිභෝජනය කළ හැකි දෙයක් වුවත් අතථ්‍ය පුද්ගලයෙකු වන සමාගමකට පරිභෝජනය කරන්න බැහැ. පරිභෝජනය කළ හැක්කේ ගෘහස්ථ ඒකක වල සිටින තථ්‍ය පුද්ගලයින්ටයි. සමාගම් වල නිපදවෙන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය සපයනු ලැබූ අනුපාතය අනුව ගෘහස්ථ ඒකක වෙත බෙදා හැරෙනවා. ඒ වැටුප්, පාරිතෝෂික, වෙනත් ශ්‍රමික වරප්‍රසාද, ලාභාංශ, පොලී ගෙවීම් ආදිය ලෙසයි. මේ සියලු දේ ශ්‍රමයේ ප්‍රතිලාභ (w) හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ (r) ලෙස වර්ග කළ හැකියි. 

Y ➞ w,r

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය සැලකුවොත් මේ බෙදීම සිදු වන්නේ (1-α):α අනුපාතයටයි. α කොටසක් ප්‍රාග්ධනය වෙනුවෙන් හා 1-α කොටසක් ශ්‍රමය වෙනුවෙන්. අනුභූතික දත්ත මත පදනම් වූ ඇස්තමේන්තු අනුව සාමාන්‍යයෙන් මේ බෙදීම ආසන්න ලෙස 2:1 බෙදීමක්.

ව්‍යාපාර ඒකක ඇතුළේ සිදුවන දේ අපි කලින් ලිපි දෙකේ කතා කළානේ. වැටුප් (w) හා පොලී (r) ගෙවීමේ පදනම මත තාවකාලිකව ගෘහස්ථ ඒකක වලින් ලබා ගන්න ශ්‍රමය (L) හා ප්‍රාග්ධනය උපයෝගී කරගෙන පරිභෝජනය කළ හැකි භාණ්ඩ හා සේවා (Y) හදන එකනේ වෙන්නේ. වැටුප් (w) හා පොලී (r) ලෙස ඔය හදන භාණ්ඩ හා සේවා (Y) ඒ විදිහටම දෙන්න පුළුවන්කම තිබුණත් නූතන ධනවාදී ආර්ථිකයක එය ඒ විදිහටම වෙන්නේ නැහැ. රාජකාරි ක්‍රමය වගේ ක්‍රම තියෙද්දීනම් එහෙම වුනා. දැන් වෙන්නේ හදන භාණ්ඩ හා සේවා (Y) මුදල් කරලා මුදල් වලින්  වැටුප් (w) හා පොලී හෝ ලාභාංශ (r) ගෙවන එකයි. භාණ්ඩ හා සේවා විකුණන්න වෙන්නේ ගෘහස්ථ ඒකක වලට. එය සිදු වෙන්නේ භාණ්ඩ හා සේවා වෙළඳපොළේදී. 

භාණ්ඩ හා සේවා වෙළඳපොළ චක්‍රීය ප්‍රවාහ ආකෘතිය ඇතුළේ සංකල්පීය ලෙස එක තැනක් සේ සැලකුවත්, මහ පොළොවේ බැලුවොත් තැන් තැන් වල විසිරී තිබෙන ව්‍යාපාරික ස්ථාන රාශියකුයි තියෙන්නේ. ගමේ පොළ, මාළු කඩේ, බාබර් සාප්පුව වගේ විවිධ තැන්. ඔය කොයි තැනක වුනත් වෙන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් මුදල් වලට පරිවර්තනය වෙන එකයි. ඒ මුදල් එකතු කර ගන්නා භාණ්ඩ හා සේවා නිෂ්පාදකයා එහි තිබෙන අතිරික්ත වටිනාකම වැටුප් (w) හා පොලී (r) ලෙස මුදල් වලින් ගෘහස්ථ ඒකක වලට ගෙවනවා. ඒ වගේම, මුදල් ගෙවා ශ්‍රමය හා ප්‍රාග්ධනය මිල දී ගන්න එකත් කරනවා.

ව්‍යාපාර ඒකක විසින් මුදල් ගෙවා ශ්‍රමය හා ප්‍රාග්ධනය මිල දී ගැනීම සිදු වන්නේ නිෂ්පාදන සාධක වෙළඳපොළේදී. මෙහිදී ගැනුම්කරු වෙන්නේ ව්‍යාපාර ඒකක. විකිණුම්කරු ගෘහස්ථ ඒකකයක්. භාණ්ඩ හා සේවා නිෂ්පාදකයා වෙළඳපොළේදී සිදුවන දෙයෙහි අනෙක් පැත්ත. ප්‍රාග්ධනය හුවමාරු වෙන එක කොටස් වෙළඳපොළක් වගේ තැනකදී සෘජුවම සිදු වෙනවා. බැංකු වැනි අතරමැදියන් හරහාත් සිදු වෙනවා. ශ්‍රමය අලෙවි වන නිශ්චිත තැනක් මහ පොළොවේ නැති වෙන්න පුළුවන්. පුවත්පත් වල රැකියා පුරප්පාඩු දැන්වීම්, සම්මුඛ පරීක්ෂණ වගේ දේවල් හරහා මේ ශ්‍රම වෙළඳපොළ ක්‍රියාත්මක වෙනවා කියා කියන්න පුළුවන්.

ව්‍යාපාරික ඒකකයක් ඇතුළේ සිදුවන දේ අපි සෑහෙන තරම් දුරකට කතා කළානේ. ගෘහස්ථ ඒකක ඇතුළේ වෙන්නේ කුමක්ද? ආකෘතිය අනුව ගෘහස්ථ ඒකක ඇතුළේ භාණ්ඩ හා සේවා හදන්නේ නැහැ. ගෘහස්ථ ඒකක විසින් කරන්නේ මුදල් ගෙවා ව්‍යාපාරික ඒකක වලින් භාණ්ඩ හා සේවා මිල දී ගෙන පරිභෝජනය කරන එකයි. ගෘහස්ථ ඒකක වල නිෂ්පාදනය කරන්නේ නිෂ්පාදන සාධක. ඒ කියන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය. ඒ වගේම, ව්‍යාපාරික ඒකක ඇතුළේ නිෂ්පාදන සාධක හදන්නේ නැහැනේ. ව්‍යාපාරික ඒකක විසින් කුලියට ගන්නේ ගෘහස්ථ ඒකක ඇතුළේ හදන ශ්‍රමය හා ප්‍රාග්ධනය.

ව්‍යාපාරික ඒකක වලින් ගෘහස්ථ ඒකක වලට කොපමණ මුදලක් සම්ප්‍රේෂණය වෙනවාද? වැටුප් හා වෙනත් ශ්‍රම ප්‍රතිලාභ ලෙස wL මුදලක් හා පොලී, ලාභාංශ ඇතුළු ප්‍රාග්ධන ප්‍රතිලාභ ලෙස rK මුදලක් කියා අපි කලින් ඉගෙන ගත්තනේ. යම් නිශ්චිත ගෘහස්ථ ඒකකයකට ඔය දෙකම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත්, අන්තිමේදී කොයි විදිහට හෝ ලැබෙන්නේ මුදල් නිසා කොහොම ලැබුණත් වෙනසක් නැහැ. ඒ වගේම, wL + rK = Y කියලාත් අපි ඉගෙන ගත්තනේ. ඒ කියන්නේ අවසාන වශයෙන් නිෂ්පාදන අතිරික්තය සම්පූර්ණයෙන්ම යන්නේ ගෘහස්ථ ඒකක වලට. ඒ සල්ලි වලට වෙන්නේ කුමක්ද?

මේ සල්ලි වලින් කොටසක් භාණ්ඩ හා සේවා මිල දී ගන්න වැය වෙනවා. ඉතිරි කොටස ප්‍රාග්ධනය ලෙස ඉතිරි වෙනවා.

Y = wL + rK = C + S

මෙහි C කියන්නේ පරිභෝජනය සඳහා වැය වන කොටස. S කියන්නේ ඉතිරි කිරීම්. මේ S කොටස ගෘහස්ථ ඒකකයක් සතු ප්‍රාග්ධන සංචිතයට එකතු වෙනවා. එවිට ප්‍රාග්ධන සංචිතය ඉහළ යනවා වගේම ප්‍රාග්ධනය ආයෝජනය කරලා ලබා ගත හැකි ආදායමද ඉහළ යනවා. 

අපි හිතමු කිසියම් අවස්ථාවක ගෘහස්ථ ඒකකයක් සතුව තිබෙන ප්‍රාග්ධන සංචිතය K0 හා ශ්‍රම සංචිතය L0 කියලා. මේ සංචිත වලින් වැඩක් ගත්තත් නැතත් කාලයත් එක්ක සංචිත ක්ෂය වෙනවා. ශ්‍රම සංචිතය අඩුනොවී තිබෙන මට්ටමේම පවත්වා ගන්න වුවත් දිගටම යම් වියදමක් දරන්න වෙනවා. යම් සම්පත් ප්‍රමාණයක් වැය කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ආහාර, සෞඛ්‍යය, අධ්‍යාපනය වගේ දේවල් වලට. වැඩියෙන් සම්පත් වැය කරලා ශ්‍රම සංචිතය වැඩි කර ගන්නත් පුළුවන්. හැබැයි වියදම් කළ පලියටම ශ්‍රම සංචිතය වැඩි වෙන්නේ නැහැ. මත්පැන්, මත්ද්‍රව්‍ය වගේ සමහර වියදම් නිසා ශ්‍රම සංචිතය අඩු වෙන්නත් පුළුවන්. 

ප්‍රාග්ධන සංචිතයත් ක්ෂය වෙනවා. ඒ අඩු වෙන ප්‍රමාණය ඉතිරි කිරීම් වලින් පිරෙවුවේ නැත්නම් සංචිතය ටිකෙන් ටික ක්ෂය වෙලා යනවා. ඉතිරි කිරීම් වැඩිනම් සංචිතයත් ටිකෙන් ටික වර්ධනය වෙනවා.

යම් ගෘහස්ථ ඒකකයකට යම් ආරම්භක මොහොතක තිබෙන ප්‍රාග්ධන සංචිතයේ හා ශ්‍රම සංචිතයේ ප්‍රමාණයට වඩා අනාගතය තීරණය කරන්නේ ලැබෙන ආදායම වියදම් කරන්නේ කොහොමද කියන එකයි. K0=0 වුවත්, S ගොඩක් වැඩිනම් එන්න එන්නම K වැඩි වෙනවා. ආරම්භයේදී K0 ගොඩක් විශාල වුනත්, ක්ෂය වන ප්‍රමාණය තරම් ඉතිරි නොකළොත් ප්‍රාග්ධන සංචිතය ටිකෙන් ටික ක්ෂය වෙලා යනවා. ඒ නිසා, දියුණු වූ ධනවාදයක් ඇත්නම් කෙනෙක් උපදින්නේ අත පය හතර පමණක් අරගෙනද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.

Wednesday, January 27, 2021

ලාබ බෙදීම


කලින් ලිපිය බොහෝ දෙනෙක් කැමති ආකාරයේ ලිපියක් කියා මම හිතන්නේ නැහැ. නමුත්, ඒ ආකෘතියෙන්ම තව ටිකක් ඉස්සරහට යන්න වෙනවා. එසේ නොකර, මාක්ස්වාදයේ භාවිතය පිළිබඳ ප්‍රශ්න තිබුණත් න්‍යායාත්මකව නිවැරදියි කියා හිතන අයට එම මතවාදය දරන අයද භක්තිවාදීන් පිරිසක් පමණක්ය කියන කාරණය පැහැදිලි කරන්න අසීරුයි. වැඩිකල් නොගොස් ලංකාවේ දේශපාලනය තුළ ඇතිවෙන්නට නියමිත මතවාදී රික්තකය ඇතුළේ අඳුරේ අතපත ගාන්නට සිදුවන විශාල පිරිස අතරින් කිහිප දෙනෙක් හෝ පස්සේ දවසක හරි මේවා කියවයිනේ.

කලින් ලිපියෙන් අපි කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය හඳුනා ගත්තනේ. එය එම ශ්‍රිතයේ මූලික මට්ටමේ ඉදිරිපත් කිරීමක්. එහි සීමාවන් තිබෙනවා. දැනට අපි මෙය ඕනෑවට වඩා සංකීර්ණ කර නොගෙන සිටිමු. මෙහිදී අපි කළේ ශ්‍රමය හා ප්‍රාග්ධනය කිසියම් ඵලදායී නිෂ්පාදිතයක් බවට පත් වීමේ ක්‍රියාවලිය ආකෘතියක් ඇසුරෙන් පැහැදිලි කරන එකයි.

K,L ➞ Y 

Y = F(K,L) = AKαLß 

මෙහි Y කියන්නේ නිෂ්පාදිතය. K කියන්නේ යෙදවූ ප්‍රාග්ධන සංචිත ප්‍රමාණය. L කියන්නේ යෙදවූ ශ්‍රම බලකායේ ප්‍රමාණය. α කියන්නේ 0 හා 1 අතර නියතයක්. මෙතෙක් කතාව සමඟ මාක්ස්වාදියෙකුට වුවත් එකඟ වෙන්න අමාරු වෙන්න හේතුවක් නැහැ. ධනවාදය හා මාක්ස්වාදය තීරණාත්මක ලෙස වෙනස් වෙන්නේ ඔය නිෂ්පාදිතය සාධාරණ ලෙස බෙදිය යුත්තේ කොහොමද කියන කාරණය සම්බන්ධවයි. මම දැනට මාක්ස්වාදී අදහස පැත්තකින් තියලා ධනවාදී අදහස පැහැදිලි කරන්නම්.

අපි පෙර ලිපියෙන් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණක ගැනත් කතා කළානේ. මම මෙහි නැවත උපුටා දක්වන්නම්.

Y/K = αAKα-1L1-α αAKαL1-α /K = αY/K  

Y/L = (1-α)AKαL-α (1-α)AKαL1-α /L = (1-α)Y/L

මේ එක් එක් පාර්ශ්වික අවකල සංගුණකයෙන් අදහස් වෙන්නේ කුමක්ද?

Y/K: ශ්‍රමය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ප්‍රාග්ධනය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.

Y/L: ප්‍රාග්ධනය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ශ්‍රමය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.

සාධාරණ ලෙස ලාභ බෙදී යා යුතු ආකාරය පිළිබඳව ධනවාදී අදහස කුමක්ද? මෙහි අප ලාභ කියන එකෙන් අදහස් කරන්නේ අතිරික්තය කියන එකයි. එහෙමත් නැත්නම් නිෂ්පාදනයේදී එකතු වූ අගය. එයත් ධනවාදීන්ට හා මාක්ස්වාදීන්ට එකඟ විය හැකි අදහසක්.

ධනවාදියෙකු හිතන විදිහට සාධාරණ බෙදීමක් යනු ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය වැටුප් ලෙස ශ්‍රමිකයන්ටත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ලාභාංශ හෝ පොලී ලෙස ප්‍රාග්ධනයේ හිමිකරුවන්ටත් හිමි විය යුතු බවයි. ඒ ඇයි? 

ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය යනු තනිකරම ශ්‍රමිකයා විසින් ලබා දුන් ශ්‍රම දායකත්වය නිසා වැඩි වූ නිෂ්පාදිතය. ශ්‍රමිකයා විසින් එම අමතර ශ්‍රම දායකත්වය ලබා නුදුන්නානම්, නිෂ්පාදිතය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, එම වැඩි වූ නිෂ්පාදිතයේ සාධාරණ අයිතිය තිබෙන්නේ ශ්‍රමිකයාටයි. 

ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය යනු තනිකරම ප්‍රාග්ධන හිමියා විසින් ලබා දුන් ප්‍රාග්ධන දායකත්වය නිසා වැඩි වූ නිෂ්පාදිතය. ප්‍රාග්ධන හිමියා විසින් එම අමතර ප්‍රාග්ධන දායකත්වය ලබා නුදුන්නානම්, නිෂ්පාදිතය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, එම වැඩි වූ නිෂ්පාදිතයේ සාධාරණ අයිතිය තිබෙන්නේ ප්‍රාග්ධන හිමියාටයි. 

ශ්‍රම ඒකකයකට ගෙවන වැටුප් අනුපාතිකය w ලෙසත්, ප්‍රාග්ධන ඒකකයකට ගෙවන ලාභාංශ හෝ පොලී අනුපාතිකය r ලෙසත් සලකමු. එවිට, අපට මෙසේ ලියන්න පුළුවන්.

w = Y/L = (1-α)AKαL-α (1-α)AKαL1-α /L = (1-α)Y/L

r = Y/K = αAKα-1L1-α αAKαL1-α /K = αY/K 

ශ්‍රම ඒකක L ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා යොදා ගෙන තිබෙන නිසා වැටුප් ලෙස wL මුදලක් වැය වෙනවා. ප්‍රාග්ධන ඒකක K ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා යොදා ගෙන තිබෙන නිසා ලාභාංශ හෝ පොලී අනුපාතික ලෙස rK මුදලක් වැය වෙනවා. සමස්තයක් ලෙස නිෂ්පාදන සාධක වෙනුවෙන් කොපමණ මුදලක් වෙන් කරන්න වෙනවද?

wL = (1-α)Y/L. L = (1-α)Y

rK = αY/K. K = αY

wL + rK = (1-α)Y + αY = Y

අන්තිමේදී මුළු අතිරික්තයම ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ විදිහට බෙදී ගිහින්. ඒ නිසා, ශ්‍රමිකයා හා ප්‍රාග්ධන හිමිකරු විසින් තමතමන්ගේ දායකත්වය වෙනුවෙන් ලැබිය යුතු නියම ප්‍රතිලාභ ලබා ගත්තට පස්සේ තවත් ගන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. 

හැබැයි මේ විදිහට අතිරික්තය බෙදී යාමෙන් පසු ශ්‍රමිකයාට ලැබෙන මුදල ශ්‍රමිකයාගේ පවුල නඩත්තු කරන්න හෝ හිතේ හැටියට විනෝද වෙන්න ප්‍රමාණවත් මුදලක් වන බවට මෙහි කිසිදු සහතිකයක් නැහැ. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔය වගේ වෙලාවක තමන්ට ලැබුණු වැටුප ගැන ශ්‍රමිකයා සතුටු නොවෙන්න පුළුවන්. නමුත්, ශ්‍රමිකයාට ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීතාවයට වඩා වැඩි දෙයක් දෙන්න සිදු වුනොත්, ප්‍රාග්ධන හිමියාට ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ නොලැබී යනවා. 

සමාජවාදීන් බොහෝ වෙලාවට කරන්නේ හැම විටම ශ්‍රමිකයාගේ පැත්ත ගන්න එකයි. ප්‍රාග්ධන හිමියාට හෙට්ටු කිරීමේ බලය වැඩිනම් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ විදිහට ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවයට වඩා වැඩි දෙයක් ලබා ගන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා ශ්‍රමිකයාට ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය නොලැබෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ශ්‍රමිකයන්ගේ පැත්තෙන් ගන්නා සාමූහික ක්‍රියාමාර්ගයකින් ශ්‍රමිකයාට ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ලබා ගන්න පුළුවන් වගේම එය සාධාරණයි. 

එහෙත්, ශ්‍රමිකයාට පවුල නඩත්තු කරන්න ප්‍රමාණවත් වැටුපක් නොලැබීම වැනි කාරණා මත ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ලබා ගන්න තිබෙන අයිතිය වැළැක්වීමේ සාධාරණත්වයක් නැහැ වගේම ඒ මට්ටමට ගොස් ප්‍රාග්ධන හිමියා පීඩාවට පත් කිරීමෙන් වෙන්නේ රත්තරන් බිත්තර දාන හංස ධේනුවගේ බඩ පැලීම වැනි දෙයක්. 

තරඟකාරී නිදහස් වෙළඳපොලක මේ හෙට්ටු කිරීමේ ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ. ශ්‍රමිකයාට ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය නොලැබෙනවානම් වෙනත් තැනක සේවයට ගොස් එය ලබාගත හැකියි. ඒ වගේම, ප්‍රාග්ධන හිමියාට ප්‍රාග්ධනයේ  ආන්තික ඵලදායීතාවය නොලැබෙනවානම් තමන්ගේ ප්‍රාග්ධනය වෙනත් තැනක ආයෝජනය කළ හැකියි. ඒ නිසා, සමතුලිතතාවය නැති වෙන්නේ නැහැ.

Saturday, January 23, 2021

දැනුම කුමක් අරභයාද?



අපේ වියුණුව ෆේස්බුක් සමාගම විසින් ස්පෑම් ගණයට දමා වාරණය කර තිබෙන්නේ ෆේස්බුක් පරිශීලකයින් විශාල පිරිසක් විසින් මෙහි අපහාසාත්මක දේ පළවන බව වාර්තා කිරීම මත පදනම්වයි. ෆේස්බුක් සමාගම පැත්තෙන් මෙම තීරණය ගත්තේ ඇල්ගොරිදමයක් විසින් විය හැකියි. බොහෝ විට මේ වාර්තා කිරීම් සංවිධානාත්මකව සිදු කෙරුණු දෙයක් විය හැකියි. එය කළේ කවුරු වුවත්, එයින් පෙනෙන්නේ අප ලියන දෙයින් සැලකිය යුතු බලපෑමක් වෙනවා කියන එකයි. අප විසින් අපේ වියුණුව හරහා බොරු සමාජගත කරන්නේ නැති නිසා, එසේ අප ලියන දෙයින් කාට හෝ රිදෙනවානම් ඒ කවර හෝ ආකාරයක බොරු සමාජගත කරන පිරිසකටයි. අප මෙහි බොරු යන වචනය භාවිතා කරන්නේ තමන්ට තහවුරු කළ නොහැකි හෝ නිවැරදි බව පෙන්වා දිය නොහැකි යන අදහසින්.

මෙසේ අපේ වියුණුවට පැමිණිය හැකි වෙබ් ලිපිනය වත්පොතේ වාරණය වී ඇතත්, අපේ වත්පොත් පිටු වාරණය වී නැහැ. ඒ නිසා අවශ්‍යනම් ඕනෑම ලිපියක් මුළුමනින්ම එහි පළ කිරීමේ හැකියාව අප සතුව තිබෙනවා. භාවිතා කළ හැකි විකල්ප තාක්ෂනික උපක්‍රමද තිබෙනවා. එහෙත්, විශේෂ අවශ්‍යතාවයක් මතු නොවුවහොත් අප වත්පොත පෙර ආකාරයෙන් භාවිතා කිරීම කරා යොමු වන්නේ නැහැ. අපහාස කියන දේ සාපේක්ෂ නිසා, දැනට අප මෙය සැලසුම් සහගත වැඩක්ද යන්න හෙවීමට බර නොතබා "පාඨක මතයට" ගරු කරනවා.

මෙහි ලියන ලිපි හැම එකක්ම විශාල පිරිසක් කරා ගෙන යාම අපේ ඉලක්කයක් නෙමෙයි. අපට අවශ්‍ය වන්නේ මෙහි ලියන දේ කියවනු දකින්නට අප කැමති සීමිත පිරිසක් වෙත මේ ලිපි යනු දකින්නයි. වත්පොත හරහා හෝ වෙනත් ක්‍රමයකින් ඇතැම් ලිපි විශාල පිරිසක් අතර ප්‍රචාරය වන්නට ඉඩ හැරීමේ අරමුණ වන්නේ පෙර කී කුලකයට අයත් සීමිත පිරිස් ආකර්ෂණය කර ගැනීමයි. මේ සීමිත පිරිස යනු අප සමඟ අදහස් අතින් එකඟ වන අය නෙමෙයි. එහෙත්, අප ලියන දේද ඇතුළු ඕනෑම දෙයක් ප්‍රශ්න නොකර පිළි නොගන්නා, තමන්ගේ මත නිවැරදි නොවන බව පෙනෙන විට ඒ බව පිළිගැනීමට සූදානම් අයයි. ඔවුන් එසේ කළ යුත්තේ ඔවුන් වෙනුවෙන්ම මිස මා වෙනුවෙන් නෙමෙයි. 

අවවාද නොතකා වැරදි පාරක යාමෙන් අමාරුවේ වැටෙන්නේ එසේ යන අය මිස අවවාද දෙන්නා නෙමෙයි. මේ බව දන්නා නිසා, මා හැම විටම උත්සාහ කරන්නේ මගේ ලෝකය වඩා නිරවුල් කර ගැනීමටයි. මේ වියුණුව හරහා මට ලැබෙන ලොකුම ප්‍රයෝජනය පෞද්ගලිකව මට ඉගෙන ගන්නට ඉඩ ලැබීමයි. ඇතැම් විට මා ඉගෙන ගන්නේ ප්‍රශ්න අසන අය නිසා. ප්‍රශ්නයකට පිළිතුරු දෙන හැම විටම මගේ අදහස් වඩා නිරවුල් වෙනවා. ඇතැම් විට මා ඉගෙන ගන්නේ මා සමඟ එකඟ නොවන අය නිසා. මා නොදන්නා තොරතුරු වෙනත් අය විසින් ප්‍රතිචාර සේ ඉදිරිපත් කරන අවස්ථාද දුලබ නැහැ. 

පොදු වශයෙන් ගත් විට බොහෝ දෙනෙක් මා සමඟ එකඟ නොවන තැනක් වන්නේ "ඇමරිකන් ක්‍රමය" අගය කිරීමයි. ඇමරිකානු ක්‍රමය ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර විද්‍යාව මත ගොඩ නැගුනු ක්‍රමයක් කියා කියන්න පුළුවන්. ඇමරිකානු ක්‍රමයේ මේ සාධක තුනම මා අගය කරනවා. ඇමරිකාව මේ තැනට පැමිණ තිබෙන්නේ මේ සාධක තුන නිසා. මේ තුනටම අද වෙද්දී ලෝක ආධිපත්‍යයක් තිබෙනවා. එය පරිණාමය තුළ වෙනත් විකල්ප සමඟ තරඟ කර උචිතතමයා ඉතිරිවීම හරහා සිදු වූ දෙයක්. ධනවාදයට, ප්‍රජාතන්ත්‍රවාදයට හෝ බටහිර විද්‍යාවට මේ වන විට වඩා හොඳ විකල්ප නැහැ.

බටහිර විද්‍යාව ලෝකයේ තිබෙන එකම දැනුම් පද්ධතිය නොවූවත් එය ගොඩ නැගී තිබෙන්නේ වෙනත් දැනුම් පද්ධති වල ඇති සාධනීය අංග පහසුවෙන් අවශෝෂණය කර ගත හැකි ආකාරයකින්. ධනවාදය තුළද මේ ලක්ෂණය තිබෙනවා. ආර්ථික සෞභාග්‍යය නොවන වෙනත් දෙයක් සමාජ අරමුණක් වීමෙන් පසුව එය සාක්ෂාත් කර ගැනීම සඳහා ධනවාදය විනාශ කළ යුතු වන්නේ නැහැ. ධනවාදයට අවශ්‍ය පරිදි වෙනස් විය හැකියි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ පහසුවෙන් ඒකාධිපතිත්වයක් ඇති විය හැකි වුවත් ඒකාධිපතිත්වයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ හැක්කේ විශාල මිලක් ගෙවීමෙන් පසුවයි. ඒ නිසා, ඒකාධිපතිත්වයක් තුළ තිබෙන කවර හෝ සාධනීය අංගයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ගැනීම තාර්කික තීරණයක් නෙමෙයි.

ඇමරිකානු ක්‍රමය ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර විද්‍යාව මත ගොඩ නැගුනු ක්‍රමයක් වුවත් ප්ලේටෝනික අර්ථයකින් ඔය තුනෙන් එකක්වත් ඇමරිකාවේ නැහැ. ඒ වගේම, මේ තුනෙන් එකක්වත් ප්ලේටෝනික පරිපූර්ණත්වයන් නෙමෙයි. අපට ඇමරිකානු ක්‍රමය හෝ ඉහත කී ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බටහිර විද්‍යාව යන සංකල්ප විවේචනය කරන්නට අවශ්‍යනම් එය කරන එක අසීරු දෙයක් නෙමෙයි. එසේ කළහොත්, මෙය කියවන බොහෝ දෙනෙක් අප සමඟ එකඟ වෙයි. නමුත්, එවැනි කාර්යයකින් සිදු වන කිසිදු යහපතක් නැහැ. 

සිංහලෙන් ලියන මේ වියුණුවේ පළ වන ලිපි කියවන කිසිවෙකුට ඇමරිකානු ක්‍රමය දශමයකින් හෝ වෙනස් කරන්න බැහැ. එය කළ හැක්කේ ඇමරිකාවේ ජීවත්වන තරුණ පරපුරටයි. ඔවුන්ට කතා කරද්දී ඇමරිකානු ක්‍රමයේ වෙනස් විය යුතු තැන් හෝ අඩුපාඩු ඇත්නම් ඒවා ගැන මා කතා කරනවා. පරිණාමික ක්‍රියාවලිය තුළ ඇමරිකාවට වඩා ගවු ගණනක් පසුපසින් ඉන්න සමාජයක් මුලින් දැන ගත යුත්තේ ඇමරිකාව අද සිටින තැනට පැමිණි ආකාරය මිසක්, ඇමරිකාව අද අත්පත් කර ගෙන තිබෙන ප්‍රගතිය කඩා වැටිය හැක්කේ කොහොමද කියන එක නෙමෙයි.

ලෝකය ඉතා වේගයෙන් ප්‍රතිනිර්මාණය වෙමින් තිබෙනවා. එය සිදුවන්නේ සීමිත පිරිසකගේ දායකත්වයෙන් මිසක් හැම දෙනෙකුගේම දායකත්වයෙන් නෙමෙයි. පරිණාමික ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් එහි බලයට මිස සාධාරණත්වයට  ප්‍රමුඛත්වය ලැබී නැහැ. ලෝකය ප්‍රතිනිර්මාණය කෙරෙන කටයුත්ත සිදු වෙමින් පවතින්නේ අප කවුද කියන එක පවා වෙනස් කරමින්. මෙහිදී අප ලෙස සඳහන් කළේ පොදුවේ හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලාගේ භෞතික සිරුර හා ඔවුන් සිතන පතන ආකාරයයි. කුඩා කණ්ඩායමක් විසින් අනාගත ලෝකය වගේම අනාගත මිනිසාවද සැලසුම් කරමින් සිටින අතර අනාගත ලෝකයේ සාධාරණත්වය යනු කුමක්ද යන්න තීරණය වීමට නියමිතව ඇත්තේ ඔවුන් අතින්. 

ඇතැම් රටවල් සිටින්නේ රටවල් ලෙසින්ම මේ කණ්ඩායමෙන් බැහැරවයි. පරිණාමික ක්‍රියාවලියක් තුළ පරිසරයට උචිත පරිදි වෙනස් විය නොහැකි ජීවීන් ලෝකයෙන් අතුරුදහන්ව යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ආර්ථික ජාතිකවාද හා බද්ධ වී ඇති සංස්කෘතික ජාතිකවාද වලින් කෙරෙන්නේ අනුචිත සංස්කෘතික චර්යාවන් වැඩි සංස්කෘතීන් ඒවායේ ඇතැම් සාධනීය අංගද සමඟ මුළුමනින්ම මිහිමතින් තුරන්ව යාමට ඉඩ සැලැස්වීමයි.

මේ වෙද්දී ලංකාවේ බොහෝ දෙනෙක් යුවාල් හරාරි ගැන දන්නවා. කතා කරනවා. වසර පහමාරකට පෙර ඔහු ගැන මෙම වියුණුව හරහා සිංහල පාඨකයින්ට හඳුන්වා දෙද්දී සිංහලෙන් ලියවුනු කිසිදු ලියැවිල්ලක ඔහු ගැන කතා කර තිබුණු බවක් මා දන්නේ නැහැ.

හරාරිට අනුව මිනිසා අද සිටින තැනට පැමිණෙන්නට හේතු වී තිබෙන්නේ වසර හැත්තෑ දහසකට පමණ පෙර සිදු වුනු වාසිදායක ජාන විකෘතියක්. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට වියුක්තව හිතන්න පුළුවන් වුනා. හරාරි විසින් චින්තන විප්ලවය සේ හඳුන්වන මේ සිදුවීමෙන් අනතුරුව අහම්බෙන් ජාන විකෘතියක් සිදු වන තුරු වසර දහස් ගණනක් බලා නොසිට පරිසරයට උචිත පරිදි සංස්කෘතික ලෙස පරිණාමය වන්නට මිනිස්සුන්ට හැකි වුනා. හරාරි විසින් ලියා තිබෙන හැම දෙයක්ම ශුද්ධ වූ ලියැවිලි ලෙස මා භාර ගන්නේ නැතත් මිනිස් දියුණුව හා වියුක්ත ලෙස සිතීමේ හැකියාව අතර සම්බන්ධය අපට නොසලකා හැරිය නොහැකි ඉතා වැදගත් සම්බන්ධයක්.

අප යමක් දන්නේ කොහොමද? මිනිස් මැෂිම ක්‍රියා කරන්නේ කොහොමද?

අප ඉපදෙන්නේම බොහෝ දේවල් "දැනගෙන". මේ දේවල් අප විසින් වසර ලක්ෂ ගණනක් පුරා අත්දැකීම් හරහා දැනගත් දේ. අප මෙන්ම වෙනත් සතුන් හා ගස් වැල් ද "ඉපදෙන්නේ" වසර ලක්ෂ හෝ මිලියන ගණනක් තිස්සේ එකතු කරගත් දැනුම් සම්භාරයක් සමඟ. ඒ දැනුම අපේ ජාන වල ගබඩා වී තිබෙනවා. අප ඇතැම් දේ කරන්නේ ඇල්ගොරිදම් වලට අනුවයි. අපේ හැඟීම් කියන්නේ මේ ඇල්ගොරිදම් වල ප්‍රතිඵල. මෙවැනි ඇතැම් ඇල්ගොරිදම් ප්‍රතිඵල වලට එරෙහිව අපට නිදහස් තීරණ ගන්න ඉතා අසීරුයි. වියුක්ත ලෙස නොසිතා එවැන්නක් කෙසේවත් කළ නොහැකියි.

- සත්තු වත්තේ ඝනකම වීදුරුවකින් වෙන්ව සිටින වලහෙක් ක්ෂණිකව වීදුරුවේ අනික් පැත්තේ සිටින අප වෙත පැන්නොත් එක වරම අපි බිය වී පස්සට පනින්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී වලසා විසින් පහර දෙනු ලැබ එයින් ජීවිතය අවසන් වීමේ සම්භාවිතාව ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා. මේ උදාහරණය ලංකාවට ගැලපෙන්නේ නැත්නම් හදිසියේ වත්තේ දකින සර්පයෙක් ගැන හිතන්න.

- අහම්බෙන් විරුද්ධ ලිංගිකයෙකු දුටු විට ආකර්ශනයක් ඇති වන්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී මේ දකින පුද්ගලයා සමඟ එකතු වී සරු ජනිතයෙකු බිහි කිරීමේ සම්භාවිතාව ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා. 

- අහම්බෙන් දකින පැණි රස කෑමක් කන්න පෙළඹවීමක් ඇති වන්නේ ඇයි? වසර ලක්ෂ ගණනක් පුරා පරිණාමය විසින් සුසර කර තිබෙන අපේ මොළයේ තිබෙන ඇල්ගොරිදමයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී මේ ආහාරය ලබා ගැනීමෙන් ජීවත් වීමේ සම්භාවිතාව කෙතරම් ඉහළ දමා ගත හැකිදැයි ගණනය කර ඒ මත පදනම් වූ තීරණයක් ගන්නවා. 

ඇල්ගොරිදම් හරහා පැමිණෙන මේ තීරණ බොහෝ විට නිවැරදි නැහැ. වසර දස දහස් ගණනක දත්ත යොදාගෙන පරිණාමික ක්‍රියාවලිය විසින් සුසර කර තිබෙන මේ ඇල්ගොරිදම් අද පරිසරයට ගැලපෙන පරිදි යාවත්කාලීන වී නැහැ. පරිණාමික ක්‍රියාවලිය ඉතා සෙමින් සිදු වන ක්‍රියාවලියක්. පරිණාමික ක්‍රියාවලිය තුළ සෑහෙන ප්‍රමාණයකට අනුචිත ඉතිරි වීම් වන අප සාර්ථක ලෙස මිහිමත ඉතිරි වී සිටින්නේ සංස්කෘතික පරිණාමය හරහා අපේ ජීවවිද්‍යාත්මක ඇල්ගොරිදම් වල වැරදි තීරණ නිවැරදි කර ගන්නට අප සමත්ව තිබෙන නිසයි. මෙයට උපකාරී වී තිබෙන්නේ මිනිසුන්ට වියුක්තව හිතන්න පුළුවන් වීමයි.

අපගේ ජාන හරහා අපට ලැබෙන මූලික මට්ටමේ දැනුමෙන් පසුව අපට ලැබෙන ඊළඟ මට්ටමේ දැනුම් වන්නේ අපේ පංචේන්ද්‍රියයන් හරහා ලබා ගන්නා අනුභූතික දැනුම්. අනුභූතික අත්දැකීම් දැනුම් බවට පත් වන්නේ එම අත්දැකීම් මතකයේ ගබඩා කර ගැනීම හරහායි. පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා වලට මූලික මට්ටමේ ප්‍රතිචාර දක්වන්නේ අපේ ජාන වල ගබඩා වී තිබෙන අවුරුදු මිලියන ගණනක් පැරණි දැනුමයි. ඒ දැනුම ගස්වැල් වලට පවා තිබෙන දැනුමක්. එහෙත්, මෙසේ පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා ජානමය නොවන මතකයක ගබඩා කර තබා ගැනීම මිනිසුන්ට හා ඇතැම් සතුන්ට පමණක් කළ හැකි දෙයක්. සිතීමේ ක්‍රියාවලියේ මූලිකම අදියරක් සේ හැඳින්විය හැක්කේ මේ ආකාරයෙන් ගබඩා කර ගන්නා අනුභූතික අත්දැකීම් නැවත ස්මරණය කිරීම හා පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන සංවේදනා වලට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රයෝජනයට ගැනීමයි. 

මතකයේ ගබඩා කර ගත හැක්කේ එක් නිමේෂයක ලබන අනුභූතික අත්දැකීමක්. දඩයමේ යද්දී පළමු වරට හමු වන විශාල ගසක් පිළිබඳ අනුභූතික අත්දැකීම මතකයේ ගබඩා කර ගන්නා අයෙක් එම ගස පිළිබඳ අනුභූතික අත්දැකීමක් පංචේන්ද්‍රියයන් හරහා දෙවන වරට ලැබෙන විට වත්මන් නිමේෂය හා මතකයේ ගබඩා වී තිබෙන නිමේෂය අතර සාම්‍යයක් දකිනවා. ඒ සමඟ එම ගස පිළිබඳ අදහස වියුක්ත අදහසක් බවට පත් වෙනවා. මිහිඳු හිමිගේ පළමු ප්‍රශ්න වටය අවසානයේදී තිස්ස රජු විසින් තමන්ගේ දෑස් ඉදිරිපස පෙනෙන අඹ ගස පිළිබඳ වියුක්ත අදහසක් ඇති කර ගන්නේ මේ ආකාරයටයි. මේ මට්ටමේ බුද්ධියක් ඇතැම් සතුන්ටද තිබෙනවා. එය අනුභූතික අත්දැකීමක් ඉක්මවා යන දැනුමක්. එතරම් සංකීර්ණ නැති පරිගණක මෘදුකාංගයකටද මේ දෙයම කළ හැකියි. 

දඩයමේ යද්දී හමු වන විශාල ගසක් පිළිබඳ අනුභූතික අත්දැකීම කෙටි කාලයක් තුළ විශාල ලෙස වෙනස් වන්නේ නැහැ. ඒ නිසා, මේ වියුක්ත සංකල්පය නිරූපණය වන චිත්තරූපයක් මවා ගැනීම අසීරු දෙයක් නෙමෙයි. එහෙත්, ඇතැම් අනුභූතික අත්දැකීම් එලෙසම අත් විඳිය හැක්කේ එක් නිමේෂයකදී පමණයි. දුවන මුවෙක් හා තණ කණ මුවෙක් වගේ. ස්ථිතික චිත්තරූපයක් සේ වරකදී සිතින් මවා ගත හැක්කේ එක්කෝ දුවන මුවෙක්. නැත්නම් තණ කණ මුවෙක් වගේ. දුවන මුවෙක් හා තණ කන මුවෙක් එකම සතෙක් ලෙස දැකීම තුළ තිබෙන්නේ වියුක්ත දැනුමක්.

මුවා යන වියුක්ත සංකල්පය හැදෙන්නේ දුවන හෝ තණ කන, එකිනෙකාගෙන් වෙනස්ව හඳුනාගත හැකි මුවන් ගණනාවක් පිළිබඳ අනුභූතික අත්දැකීම් මත පදනම්වයි. ඒ මුවා, එක් නිමේෂයක හෝ අනුභූතික ලෙස දැකිය නොහැකි මනසේ පමණක් සිටින මුවෙක්. මෙවැනි වියුක්ත සංකල්පයක වටිනාකම වන්නේ එම වියුක්ත සංකල්පය ඇසුරෙන් කිසිදා නොදුටු මුවන් පිළිබඳවද පරිකල්පනය කරන්නට හැකි වීමයි. ඒ සමඟම, පංචේන්ද්‍රියයන් හරහා ලැබෙන අත්දැකීම් හා ඒ මත පදනම් වූ දැනුම් ඉක්මවා යාමේ හැකියාවක් මිනිසාට ලැබෙනවා. මේ මට්ටමට යාමද ඇතැම් සතුන්ට මෙන්ම, පරිගණකයටද කළ හැකි දෙයක්. 

බොහෝ වියුක්ත සංකල්ප සමඟ යම් ආකාරයක පරිපූර්ණත්වයක් සම්බන්ධ වී තිබෙනවා. මුවෙක්නම් කකුල් හතරක් තිබෙන සතෙක්. එහෙමනම්, කකුල් තුනකින් පැන පැන යන, කකුලක් අහිමි වූ මුවෙක් මුවෙක් නෙමෙයිද? 

කකුල් තුනේ මුවාත් මුවෙක් තමයි. ඒ මුවාට පරිපූර්ණ වියුක්ත මුවාට සාපේක්ෂව අඩුවක් තිබෙනවා. එහෙත්, ඒ මුවාත් මුවෙක්. එසේ වුනා කියා මුවා කියන සංකල්පය කකුල් තුනේ මුවෙක් ලෙස වෙනස් වන්නේ නැහැ. බොහෝ විට ඉන්ද්‍රියයන් හරහා නිරීක්ෂණය කළ හැක්කේ වියුක්ත සංකල්පයේ අසම්පූර්ණ ස්වරූපයක්. 


එතකොට කකුල් හයේ මුවෙක් දකින්න ලැබුණොත් ඒ ගැන කියන්න වෙන්නේ කුමක්ද? ගණිතය අනුවනම්, කකුල් හයේ මුවාගේ කිසිම අඩුවක් නැහැ. වැඩියෙනුත් කකුල් දෙකක් තිබෙනවා. නමුත්, සංකල්පීය ලෙස බැලුවොත් මේ වැඩිපුර කකුල් දෙක කියන්නෙත් අඩුවක්. එය අඩුවක් වන්නේ පරිපූර්ණත්වය අර්ථ දක්වා තිබෙන්නේ කකුල් හතරේ මුවෙක් ලෙස නිසයි. 

අවශ්‍යනම් කෙනෙකුට වියුක්ත මුවා කකුල් හයේ මුවෙක් විදිහට අර්ථ දක්වන්නත් පුළුවන්. එසේ අර්ථදැක්වීමෙන් පසුව, සියලුම කකුල් හතරේ මුවන් අඩුවක් ඇති මුවන් බවට පත් වෙනවා. අවශ්‍යනම් කකුල් අටේ මුවෙක් ගැන වුවත් මිනිහෙකුට පරිකල්පනය කරන්න පුළුවන්. කකුල් අටේ මුවෙක් කිසිම දිනක අනුභූතික අත්දැකීමක් ලෙස දැක නොතිබීම මෙයට බාධාවක් නෙමෙයි. ඒ අනුව, කකුල් හයේ මුවෙක් වුවත් අඩුවක් සහිත මුවෙක් බවට පත් වෙනවා. 

ඔය විදිහටම නයෙකුගේ පරිපූර්ණ ස්වරූපය පෙණ හතක් තිබෙන නයෙක් වෙන්න පුළුවන්. රජෙකුගේ පරිපූර්ණ ස්වරූපය හිස් දහයක් තිබෙන ස්වරූපයක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් පරිකල්පනය කරන්න අනුභූතික අත්දැකීම් අවශ්‍ය නැහැ. එකම ගහ හෝ එකම සතා දවසෙන් දවස වෙනස් වන ආකාරය අනුභූතික අත්දැකීමක් ලෙස අත්විඳින කෙනෙකුට අනුභූතික අත්දැකීමක්ව නැති ආකාරයකින් යමක් වෙනස් වීමේ හැකියාව ගැනද පරිකල්පනය කිරීමට පෙළඹුමක් ඇතිවීම හිතාගන්න අමාරු කරුණක් නෙමෙයි.

වියුක්ත දැනුම්, වියුක්ත සංකල්ප අවශ්‍ය ඇයි? වියුක්ත නොවන දැනුම් අවශ්‍ය වන හේතුවටම තමයි. කවර හෝ දැනුමක් අවශ්‍ය වන්නේ පැවැත්ම හා අදාළ අවිනිශ්චිතතා අවම කර ගැනීමටයි. එය ජීව විද්‍යාත්මක පෙළඹුමක්. දැනුම ලබා ගැනීමේ වෙනත් අරමුණක් නැහැ. අවිනිශ්චිතතා අවම කිරීම හරහා පැවැත්ම සහතික කළ හැකි ආකාරයේ වියුක්ත දැනුමකින් සමාජයකට ලොකු පිම්මක් පනින්න පුළුවන්.

වියුක්තව හිතන එක ඕනෑම කෙනෙකුට කළ හැකි වගේම, නිතරම කරන සාමාන්‍ය දෙයක්. වැදගත් වන්නේ වියුක්තව හිතන්නේ මොනවාද කියන එකයි. බොහෝ දෙනෙක්ට වියුක්තව හිතන්න පුළුවන් වුනත් වියුක්ත ලෙස වැඩකට ඇති දෙයක් හිතන්න බැහැ. 

වියුක්ත ලෙස වැඩකට ඇති දෙයක් ගැන හිතන්න බැරිකම එක් රටකට හෝ සංස්කෘතියකට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකාව වැනි බටහිර රටක් ගත්තත් මෙහි වෙනසක් නැහැ. වියුක්ත ලෙස සිතා ඒ ඇසුරෙන් ප්‍රයෝජනවත් ආකාරයක අලුත් දැනුමක් නිෂ්පාදනය කළ හැක්කේ ඉතා සුළු පිරිසකට පමණයි. ලෝකය තමන්ට අවශ්‍ය පරිදි ප්‍රතිනිර්මාණය කරන්නේ මේ සුළු පිරිසයි. එවැනි වැඩි දෙනෙකු සිටින රටවල් හා සමාජ වඩා වේගයෙන් දියුණු වෙනවා. 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...