සිංහල සිංදුවක් ජාත්‍යන්තරයට ගිහින් තිබෙනවා. ජාත්‍යන්තරයට කියා කිවුවත් ඇත්තටම වෙලා තියෙන්නේ සිංහල සිංදුවක් ඉන්දියාව පුරා හිට් වීමයි.
මෙසේ කීමෙන් මා කිසිසේත්ම මේ සිංදුව අවතක්සේරු කිරීමක් කරන්නේ නැහැ. සිංහල සිංදුවක් කවදාවත්ම ඉන්දියානු කලාපයෙන් පිටත, ලෝකය පුරා ජනප්‍රිය වී නැහැ. මා දන්නා තරමින් මීට පෙර ඉන්දියානු කලාපය පුරා හෝ ජනප්‍රිය වී තිබෙන්නේ එකම එක සිංහල සිංදුවක් පමණයි. ඒ නිසා, මේ සිංදුව ඉන්දියානු කලාපය පුරා ජනප්‍රිය වීම පට්ටයි කියලා කට පුරා කියන්න පුළුවන්.
මැණිකේ මගේ හිතේ සිංදුව ඉන්දියාව පුරා වගේම, ඉන්දියානු කලාපයේ යාබද රටවල ප්‍රේක්ෂකයින් අතරත්, ලොව පුරා විසිරී සිටින එම රටවල ඩයස්පෝරිකයින් අතරත් ජනප්‍රිය වී තිබෙනවා. ඒ අර්ථයෙන් සිංදුව ජාත්‍යන්තරයට ගිහින් කීමේ වරදකුත් නැහැ. ඒ වගේම මෙය ඉන්දියානු සංස්කෘතියෙන් පිටතද ජනප්‍රිය වීමේ යම් විභවයක් තිබෙනවා. එසේ වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.
සිංදුවක් ජනප්‍රිය වීමට එහි සංගීතය, ගායනය, පද මාලාවේ අර්ථ රසය, පද මාලාවේ ශබ්ද රසය ඇතුළු බොහෝ කරුණු බලපානවා. මේ කරුණු අතරින් පද මාලාවේ අර්ථ රසය වැදගත් වන්නේ සිංදුව ලියැවී තිබෙන භාෂාව දන්නා අයට පමණයි. එම භාෂාව නොදන්නා අයට වැදගත් වන්නේ ඉතිරි කරුණු තුන හා වෙනත් කරුණුයි. මේ වෙනත් කරුණු අතර මේ වන විට රූප රසයද වැදගත් කරුණක්ව තිබෙනවා.
කාලයක් තිස්සේ ලංකාව තුළ හොඳ සිංදු සේ සැලකුනේ පද මාලාවේ අර්ථ රසය ඉහළ මට්ටමක වූ සිංදුයි. මෙවැනි බොහෝ සිංදු වල අර්ථය සිංහල භාෂාව මුල් බස වූ අයෙකුට වුවත් හරියටම තේරුම් ගන්න අමාරුයි. ඒ වගේ සිංදු, ඉතිරි සාධක නිසා නොවේනම්, ලංකාවේ කොයි තරම් ජනප්‍රිය වුවත්, ජාත්‍යන්තරයට යන්නේ නැහැ. ඕනෑනම් වැඩිම වුනොත් සිංහල බස මුල් බස වූ සංක්‍රමණිකයින් අතර ජනප්‍රිය වෙයි.
මා දන්නා තරමින් වෙනත් භාෂා වලින් ලියැවෙන සිංදු බොහොමයක තිබෙන්නේ සරල අර්ථයක්. වෙනත් රටවල සිංදු හැදෙද්දී සිංහල සිංදු වල මෙන් පද මාලාවේ අර්ථ රසය බොහෝ වැදගත් සේ සැලකෙන බවක් මා දන්නේ නැහැ.
මැණිකේ මගේ හිතේ සිංදුවේ පද මාලාවේ අර්ථ රසයක්නම් නැහැ. සම්ප්‍රදායික සම්මත අනුව බැලුවොත් මෙය කසිකබල් සිංදුවක් කියන්න පුළුවන්. එහෙත් මේ පද මාලාවේ ශබ්ද රසය තිබෙනවා. සිංදුව හිට් වීමට වැඩිපුරම දායක වී තිබෙන්නේ එහි සංගීතය විය හැකි වුවත්, පද මාලාවේ ශබ්ද රසයද එයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙන බව පැහැදිලියි.
මීට පෙර මේ ආකාරයෙන් ඉන්දියාව පුරා හිට් වූ සිංහල සිංදුවක් ඇත්නම් ඒ සුරංගනීට මාළු ගෙනාවා ගීතය පමණයි. දශක ගණනාවකට පෙර ඉන්දියාවේ හිට් වූ සුරංගනී ගීතය ඉන්දියානුවන් අතර තවමත් ජනප්‍රියයි. සිංදුව දන්නා නමුත් එය සිංහල සිංදුවක් බව බොහෝ ඉන්දියානුවන් දන්නේ නැහැ. සුරංගනී ගීතය ඉන්දියාව පුරා ජනප්‍රිය කළේ සිලෝන් මනෝහර් ලෙසද ප්‍රසිද්ධව සිටි ඒ ඊ මනෝහරන් විසිනුයි. ඔහු තෙවසරකට පෙර වකුගඩු ආබාධයකින් මිය ගියා.
මැණිකේ මගේ හිතේ ගීතය මෙන්ම සංගීතය හා පද මාලාවේ ශබ්ද රසය නිසා ජනප්‍රිය වූ සුරංගනී ගීතය ඉන්දියාවේ විවිධ භාෂා වලට මිශ්‍ර වී තිබෙනවා. මේ ආකාරයෙන්ම මේ වන විට මැණිකේ මගේ හිතේ ගීතයද ඉන්දියාවේ විවිධ භාෂා ගණනාවක් සමඟ මිශ්‍ර වී තිබෙනවා. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව සමඟ මිශ්‍ර කළ වර්ෂන් එකක්ද තිබෙනවා. මනෝහර්ට නොතිබුණු තාක්ෂනයේ වාසිය වගේම කාලයේ වාසියත් මැණිකේ මගේ හිතේ ගීතයේ නිෂ්පාදකයින්ට මේ ගීතය ඉතා කෙටි කලකින් ඉන්දියාව පුරා ජනප්‍රිය කර ගැනීමට උදවු වී තිබෙනවා. එය යම් තරමකට වාසනාව මත සිදුව ඇති දෙයක් වුවත් සැලසුම් සහගත මහන්සියක් මේ ගීතය පසුපස ඇති බව ඉතාම පැහැදිලියි.
ගීතය මුලින්ම බිහි වී තිබෙන්නේ කෑගල්ලේ තරුණයෙකු වන සතීෂාන් රත්නායකට ගීතයක් එළිදැක්වීමට තිබුණු උවමනාව මතයි. සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියන විදිහට මේ සිංදුව හදන්න සල්ලි හොයා ගැනීම සඳහා ඔහු කවුරුවත් නොකරන දේවල් පවා කර තිබෙනවා. ඔහුට අනුව මේ කවුරුවත් නොකරන දේ කරාබු කැඩීමයි.
ඔහු මේ කියන්නේ කෝච්චියේ මාල කැඩීම වගේ දෙයක් ගැන නෙමෙයි. කරාබු ගස් වලින් කරාබු කැඩීම ගැනයි. අදාළ සාකච්ඡාව මෙහෙයවන්නාට හෝ එය නරඹන අයට කරාබු කැඩීම කවුරුවත් නොකරන දෙයක් වන්නේ ඇයි කියා අවබෝධයක් නැතුව ඇති. මෙය ඉතා අසීරු වැඩක්.
කරාබු ගස් අඩි විස්සක් විසිපහක් උසට වැවෙනවා. ඒ නිසා, කරාබු කැඩීම තේ දළු කඩනවා වගේ පහසුවෙන් කළ හැකි දෙයක් නෙමෙයි. කරාබු මල් පිපෙද්දී නටුවද සමඟ පොහොට්ටු කඩා ගන්න ගහට නැග අතු අග්ගිසි වලට යා යුතුයි. කරාබු නැටි අපනයනය හෝ දේශීය වෙළඳපොළ සඳහා සකස් කරන්නේ මේ පොහොට්ටු අව්වේ වේලලා. මේ වැඩේ අමාරු වන්නේ ගහට නගින්න වීම නිසා හෝ අතු අග්ගිසි වලට යන්න අවශ්‍ය නිසාම නෙමෙයි. කරාබු ගහේ හැම කොටසකම වගේ ලොකු සැරක් තියෙනවා. ගහට නැගලා පැය කිහිපයක් කරාබු කඩන කොට මුළු ඇඟම දැවිල්ල හැදෙනවා.
කරාබු කඩන්න ශ්‍රමිකයින් හොයා ගන්න එක ගොඩක් අමාරු වැඩක්. වැඩේට කැමති අයට හොඳ මිලක් ලැබෙනවා. බොහෝ විට සල්ලි ලැබෙන්නේ කඩන කරාබු ප්‍රමාණය අනුවයි. මේ මිල ගෙවා ලාබයක් ලැබිය හැකි තරමට කරාබු නැටි මිල ඉහළ මට්ටමක නැත්නම් කරාබු නොකඩා ඉන්න වෙලාවල් තියෙනවා.
සතීෂාන් රත්නායක විසින් ගායනා කරන චමත් සංගීත් විසින් සංගීතය යොදා ඇති දුලාන් ARXගේ පද මාලාවේ මුල් වර්ෂන් එකද ජනප්‍රියව ඇතත් ඉන්දියාව පුරා හිට් වී තිබෙන්නේ ඉන්පසුව ඔහු යොහානි දිලෝකා ද සිල්වා සමඟ ගයන වර්ෂන් එකයි. යොහානිගේ හැඟීම්බර ගායනය වගේම සංගීත වීඩියෝවේ රූප රසයද සිංදුව ජනප්‍රිය වීමට හේතු වී ඇති බව පැහැදිලියි. ඉන්දියාවේ විවිධ භාෂා වලින් නිපදවා තිබෙන වර්ෂන් වල යොහානි විසින් ගයන සිංහල කොටස එසේම තිබියදී සතීෂාන්ගේ රැප් කොටසට වෙනම ගායකයින් ආදේශ වී තිබෙනවා.
යොහානිගේ හා සතීෂාන්ගේ වර්ෂන් එකේ යූටියුබ් වීඩියෝව මේ වන විට මිලියන 38කට වඩා වැඩි පිරිසක් විසින් නරඹා ඇති අතර සතීෂාන්ගේ මුල් වර්ෂන් එකද මිලියන 13කට වැඩි පිරිසක් විසින් නරඹා තිබෙනවා. සුපිරි නළු අම්තාබ් බච්චන්ගේ මිණිපිරිය නව්‍යා නවේලි නන්දා විසින් අමිතාබ් රඟන චිත්‍රපට රූප රාමුවකට මේ ගීතය මුසු කොට ප්‍රසිද්ධ කිරීමෙන් පසුව අමිතාබ් විසින් පවසා තියෙන්නේ මේ ගීය කොපමණ ඇසුවත් ඇති නොවන බවයි.
ලංකාවේ බොහෝ දෙනෙකුට ඉන්දියානු භීතිකාවක් තිබෙනවා. මෙහිදී බොහෝ දෙනෙකු හිතන්නේ ඉන්දියානුවන් දේශීය වෙළඳපොළට අවතීර්ණ වීම තුළ තමන්ගේ වෙළඳපොළ අහිමි වී යනු ඇති බවයි. එහෙත්, එක් ශ්‍රී ලාංකිකයකුට දැවැන්ත ඉන්දියානු වෙළඳපොළට ඇතුළු විය හැකිනම් එහි වාසිය තුළින් ඉන්දියානු තරඟය නිසා දේශීය නිෂ්පාදකයින් පණහක් විනාශ වීමෙන් වන අවාසිය මැකෙනවා. මා මෙයින් අදහස් කරන්නේ දේශීය නිෂ්පාදකයින් පරාජය භාර ගත යුතු බව නෙමෙයි. එහි අනෙක් පැත්තයි.
ලංකාවේ කලාකරුවන්ට, ව්‍යවසායකයන්ට වගේම වෘත්තිකයින්ටත් ජාත්‍යන්තරය ජය ගැනීමට අවශ්‍යනම් හොඳම ආරම්භය වන්නේ ඉන්දියානු වෙළඳපොළ ජය ගැනීමයි. මෙහිදී දූපත් මානසිකත්වයෙන් මිදී ලොකුවට සිතීම වැදගත්. මැණිකේ මගේ හිතේ නිෂ්පාදක කණ්ඩායම විසින් පෙන්වා දී තිබෙන්නේ එය කළ හැක්කක් බවයි.
වරක් ඇසුව මුත් මේ කියනා ගීතේ
ReplyDeleteඑතරම් රැඳුනෙ නෑ ගැඹුරුම තැනක හිතේ
නමුදු නවකයන් වැඩ දා කලා කෙතේ
පෙරටම යා යුතුය ඔවුනුයි අනාගතේ!
The Voice වැඩ සටහන මම නොවරදවාම බලනවා. ඒ අපේ තරුණ පරම්පරාවේ විස්මිත හපන්කම් හා දැනුම ගැන පුදුමයෙන් ආඩම්බර වෙන ගමන්! ලෝකයම අපට විවර වෙලා තියෙන නිසා ඔවුන්ගේ දැනුම් වපසරිය හොඳටම පුළුල් වෙලා.
පොඩිකාලෙ ආච්චිලගෙ ගස් වල කරාබු කැඩුව මතකයි. දැවිල්ලක්නම් දැනුනෙ නෑ. නිකනුත් ඔහෙ ගස්වල නැගල ඉන්නව ආතල් එකට
ReplyDeleteහැබැයි ඉතින් ඔකට ගහට නගින්න ඕනෙ නැහැ. පෝටබල් ඉනිමගක් වගෙ එකක් හැදුවනම් හරි. එච්චර ලොකු ගහක් නෙමෙයිනෙ
ReplyDeleteමා ගීතය අසා නැත. නමුත් ඕනෑ තරම් කරාඹු කඩා ඇත. ඔබ දන්නවාද සෑම වසරකම වගේ කරාඹු ගස්වලින් ඇද වැටී සැලකිය යුතු ප්‍රමාණයක් මිය යන බව සහ සදාකාලීක ආබාධිතභාවයට පත්වන බව. පසුගිය වසරේ එවැනි මරණ 2 මා දැනුවත්ව සිදුවුණා. නමුත් කිසිම ආයතනික මැදිහත්වීමක් මේ අය හෝ එම පවුල් සදහා නැත. විශේෂයෙන් පුහුණු වැඩසටහන් දැනුවත් කිරීම් හෝ නව්‍ය තාක්ෂණය හදුන්වාදීම් නැත. මේ ඉරනමට මුහුණ දෙන්නේ සමාජයේ ඉතා පහළ පාංතික පිරිසක් වීම මෙම තත්වයේ දරුණු බව තව තවත් ඉහළ නංවනව. ගීතය ගැන නොවුණත් කරාඹු ගැන කියල තිබුණ නිසා ලිව්වෙ. කෙසේ් වෙතත් මාල කඩනවාට වඩා මේ මිනිස්සු රත්තරං....
ReplyDeleteඅච්චර පොඩි ගහකින් වැටිල මැරෙන්නෙ කොහොමද අප්ප?
Deleteඅච්චර පොඩි ගහක් කියන්නෙ කොච්චරද? හොදින් වැඩුණු ගහක් අඩි 50 - 60 ත් ඉක්මවනව.කෑගල්ල, නුවර, ගම්පොළ වගේ ප්‍රෙද්ශවල මේ ශාකය හොදින් වැඩෙනව. සමහර ශාක වට අඩි 5ත් ඉක්මවනව. එවැනි ගසකින් වැටුනම ඉතින් වෙන්න පුළුවන් දේ දන්නවනෙ.
Deleteඒක නෙවෙයි ප්‍රධාන කාරනාව. කරාඹු අස්වනු නෙලන කාලය කියන්නෙ ගම්වල ස්ථිර රැකියා නොමැති අයට වසන්ත කාලයක්. සමහරු දින ගනන් ඈත පළාත්වල ගිහින් කරාඹු කඩනව. මහන්සියෙන් හා පළපුරුද්දෙන් වැඩකරන කෙනෙකුට දවසකට රු 3000.00 - 3500.00 හොයන්න පුළුවන්. කෑම බීමත් ලැබෙනව. ඉතින් මේ කාලෙට ග්‍රාමීය දෛනික ආදායම් උපයන අය කරාඹු කඩන්න යනව. සමහර ගහක 10-12 පිරිසක් එක සැරේ නැගල ඉන්නව. සාමාන්‍යෙයන් කරාඹු කඩන කාලය එළබෙන්නෙ මාර්තු,අපේල්, මැයි වගේ තාලෙට. හොදින් වහින කාලයක්. ගොඩක් දෙනා බීමත්ව තමයි ගස්වල ඉන්නෙ. සමහර අය ගස්වලින් බහින්නෙ හවස්වෙලා උදේ නැග්ගහම. කෑම බීමත් උඩ ඉදන්මයි. ඒක වෙනම සංස්කෘතියක්. මාල වළලු දාපු, Tattoos ගහපු, කොන්ඩ විලාසිතා අපමන කරපු තරුණ කොල්ලො ඕන තරම් මේ කාලෙට ඉන්නව. ඉතින් මේ අයගෙ නොසැලකිල්ල, බීමත්කම, මුදල් හොයන්න තියෙන අධික උත්සාහය, තරගකාරීත්වය වගේ බොහෝ දේවල් එක්ක මම කියපු අනතුරු සිද්ද වෙනව. ඇනොයි මායි පුංචිකාලෙ නැගපු ගස්වලට එහායින් ගිය අදුරක් මේවායෙහි තියෙනව. මම මේ කිව්වෙ කෑගල්ල පැත්තෙ මම අත්දකින දේවල්. කොහොම උනත් මමත් සිංදුව ඇහුව. මටනම් දැනුන දෙයක් නෑ. අපි පරණ මිනිස්සු නිසාද මන්ද? අපිට රූප සහ Voice විතරක් මදි වගේ...
සිංදුව මුලින්ම අහද්දි නම් බාගයක් අහලා නැවැත්තුවා. මේ පෝස්ට් එක කියවලා ආපහු ගිහින් ඇහුවමනම් යොහානි හැඟුම්බරව ගයනවා කියලා හිතුනා. අමිතාබ් බච්චන් endorse කලේ නැත්නම් මේ සිංදුව එච්චර ජනප්‍රිය වෙයිද (මට නම් ඔය ඉන්දියන් අය පේන්න බෑ). කොහොම වුනත් ලංකාවෙ සිංදුවක් ඔහොම ජනප්‍රිය වුනු එක ගැන සතුටුයි. ඉකෝන් අන්තිමට කියලා තියෙන දෙය ලංකාවෙ අයට හොඳ උපදෙසක්. කාලයක් ඉන්දියන් අය එක දිගට ලෝක/විශ්ව රූප රැජිනියන් වුනෙත් ඉන්දියන් මාකට් එක අනිත් රටවලට ටැප් කරගන්න නේද.
ReplyDeleteමට නම් ඉන්දියන් කාරයන්ගේ රසඥතාවය තේරුම් ගන්න අමාරුයි.
ReplyDeleteඒ වගේම මේ ගීතය ජනප්‍රිය වීම ගැන ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්න හොඳ නෑ. මේ සිද්ධිය හුදකලා ජයග්‍රහණයක් වෙන්න ඉඩ වැඩියි.
You've highlighted a good point. We have completely neglected the vast indian market specially tamilnadu.
ReplyDeleteThere's huge potential to attract the tamilnadu tourists.
They may not be lucrative as individuals but in numbers they will bring much value.If not covid already there is jaffna-chennai flights under 1 hour journey at 7500SLR. Fare will be even lower with the proposed passenger ship service.
මේ ගීතය අද උදේ වනකොට මිලියන 45ක් බලල තියෙනවා. මෙය ගොඩක් දුරට මිලියන 50 ක් හා 100ක් බලපු පළමු ශ්‍රී ලංකීය යූ ටියුබ් වීඩියෝව වෙන්න පුළුවන්. සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්. ඉන්දියාවේ විතරක් නෙමේ ගොඩක් රටවල් වල වේගයෙන් ජනප්‍රිය වෙමින් තියෙනවා. මේ සින්දුව ගැන හොඳ පැහැදිලි කිරීමක් සේපාල් අමරසින්හ මහතාගේ චැනල් එකේ කරලා තියෙනවා. ඇත්තටම අපේ සංගීතය යන්න ඕනේ මෙන්න මේ වගේ තත්වයකට. (ඩොලර් හිගයටත් විසදුමක් නේ ඉකොන්. :0) අපිට දක්ෂතා තියෙන සුළු හෝ තරුණ පරපුරක් ඉන්නවා. කුහක නොවී සුබ පතන්න ඕනේ.
ReplyDeleteසුරංගනීට මාළු ගෙනාවා ගීතය ජනප්‍රිය වීමට තවත් හේතුවක් නම් එය බාලදක්ෂ ජ්‍යාත්‍යන්තර කඳවුරුවල (ජම්බෝරි?) ගයන ගීතයක් ලෙස තෝරා ගැනීමයි. ඉන් පසුව ඒවා ක්‍රමයෙන් පලාත්බද බාලදක්ෂ කණ්ඩායම්වලට ද එකතු වී තිබෙනවා. බාලදක්ෂ ව්‍යාපාරය ජනප්‍රිය නේපාලයේ බොහෝ දෙනෙකු මේ ගීය දන්නවා.
ReplyDelete