වෙබ් ලිපිනය:

Saturday, September 11, 2021

ඩොලරයේ මිල හා බඩු මිල


ඩොලරයේ මිල ඉහළ යාම ගැන ලංකාවේ ගොඩක් අයට තිබෙන්නේ විශාල භීතිකාවක්. මේ අයගේ ප්‍රධානම තර්කය වන්නේ ඩොලරයේ මිල ඉහළ ගියාම බඩු ගණන් යනවා කියන එකයි. කතාව ඇත්ත. ආනයනික බඩු වල මිල අනිවාර්යයෙන්ම ඩොලරය ඉහළ යන අනුපාතයට ගණන් යනවා තමයි. ඊට අමතරව ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍ය වන දේශීය නිෂ්පාදන වල මිලත් ඩොලරයක මිල ඉහළ යද්දී ගණන් යනවා. මේවා න්‍යායාත්මකව පැහැදිලි කළ හැකි, ඒ වගේම ප්‍රායෝගිකව මහ පොළොවේ දැකිය හැකි දේවල්

හැබැයි මේ කතාව කියන අය නොකියන හෝ නොදකින දෙය ඩොලරයක මිල එලෙසම තිබුණත් ලංකාවේ බඩු මිල ඉහළ යනවා කියන එකයි. එහෙම නොවෙනවා කියා කවුරු හෝ හිතනවාද?

ඩොලරයක මිල එලෙසම තිබුණත් ලංකාවේ බඩු මිල ඉහළ යන්නේ ඇයි?

ලංකාවේ රජය ආදායම ඉක්මවා වියදම් කරනවා. ඒ නිසා, හැම විටම වාගේ පියවිය යුතු රාජ්‍ය අයවැය හිඟයක් ඉතිරි වෙනවා. මේ හිඟය පියවන්න සල්ලි අච්චු ගැසීම නිසා රටේ මුදල් සැපයුම ආර්ථික වර්ධනය ඉක්මවා ඉහළ යනවා. එහිදී රටේ තිබෙන භාණ්ඩ සැපයුම ඉක්මවා භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ඇයි මිනිස්සු අතේ වැඩිපුර සල්ලි තියෙනවනේ. 

වැඩි වූ මුදල් අතේ තියෙන මිනිස්සු රටේ නිපදවෙන සීමිත භාණ්ඩ හා සේවා ටික මිල දී ගන්න තරඟ කරද්දී ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්නේ දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යාම තුළින්. හැබැයි ඩොලරයේ මිල වෙනස් වෙලා නැති නිසා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍ය වන දේශීය නිෂ්පාදන වල මිලද යම් තරමකින් ඉහළ යනවා. එහෙත්, දේශීය නිෂ්පාදන තරමටම මිල ඉහළ යන්නේ නැහැ. මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස සමස්තයක් ලෙස මිල මට්ටම ඉහළ ගියත් ආනයනික භාණ්ඩ වල මිල එලෙසමයි.

මේ විදිහට ආනයනික භාණ්ඩ වල මිල එලෙසම තියෙද්දී දේශීය නිපැයුම් වල පමණක් මිල වැඩි වූ විට මොකද වෙන්නේ? රට ඇතුළේ දේශීය නිෂ්පාදන වලට ඉල්ලුම අඩු වෙනවා. ආනයනික භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා. ඔය අතර කවුරු හෝ කෙනෙක් දේශීය නිෂ්පාදන වෙනුවට මිල අඩු ආදේශක කොහෙන් හෝ හොයාගෙන ආනයනය කරනවා. දේශීය නිෂ්පාදකයාට ආනයනික භාණ්ඩ එක්ක තරඟ කළ නොහැකි වී වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා.

මේ විදිහට දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යද්දී අපනයන වෙළඳපොළ ඉලක්ක කර හදන දේශීය නිෂ්පාදන වල පිරිවැයද ඉහළ යනවා. එහෙත් එම අපනයන විකුණා උපයන ආදායම් වැඩි නොවන නිසා අපනයනකරුවන්ගේ ලාබ අඩුවෙනවා. ඔවුන්ටද වෙළඳපොළෙන් ඉවත් වෙන්න සිදු වෙනවා. 

මේ ආකාරයෙන් ලංකාවේ රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරමින් එය පියවීමට මුදල් අච්චු ගැසීමේත්, ඒ අතර විණිමය අනුපාතය ඉහළ යාම පාලනය කිරීමේත් ප්‍රතිඵලය වන්නේ එක පැත්තකින් ආනයන ඉහළ යන අතර අනෙක් පැත්තෙන් අපනයන කඩා වැටෙන එකයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ ඩොලර් හිඟයක් ඇති වෙනවා. ඩොලර් හිඟය පියවන්න විදේශ ණය අවශ්‍ය වෙනවා. රජය යම් හෙයකින් විදේශ ණය නොගත්තත්, රටේ කාට හෝ විදේශ ණය ගන්නම වෙනවා. ඒ විදිහට කවුරු හෝ ණයට ගන්න ඩොලර් විකුණද්දී ආනයන අපනයන පරතරය නිසා ඇති වී තිබෙන ඩොලර් හිඟය පියවෙන නිසා ඩොලර් එකේ මිල ඉහළ නොගොස් එලෙසම තියෙනවා. දිගින් දිගටම විදේශ ණය ගන්නා තුරු ආනයන අපනයන පරතරයත් එලෙසම තියෙනවා.

විණිමය අනුපාතය එක තැන තියාගෙන සල්ලි අච්චු ගහන තරමට වෙන එකම දෙය ආනයන ඉල්ලුම තව තවත් ඉහළ යන එක පමණයි. මුදල් සැපයුම ඉහළ යාම නිසා ලංකාවේ ආනයන ඉල්ලුම දෙතුන් ගුණයකින් වැඩි වුනත් ලෝක මට්ටමේදී සැපයුමට එය දැනෙන්නේවත් නැති නිසා ලංකාවේ ඉල්ලුම වැඩි වුනා කියා ආනයන භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. ඉල්ලන තරමට අපනයන ලංකාවට එනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ අපනයන භාණ්ඩ වල මිල වැඩි වීම නිසා අපනයනකරුවන්ට ලෝකයේ අනෙක් රටවල් එක්ක තරඟ කරන්න අසීරු වී අපනයන ප්‍රමාණය පහළ බසින නිසා මිල වැඩිවීමේ වාසිය අපනයනකරුවන්ට ලොකුවට ලැබෙන්නෙත් නැහැ.

සල්ලි අච්චු ගහන අතරම, විණිමය අනුපාතය "අවශ්‍ය පමණ" ඉහළ යන්න ඉඩ දුන්නහම වෙන්නේ කුමක්ද?

දැන් මිනිස්සු අතේ සල්ලි වැඩිපුර ගැවසෙනවා. නමුත්, ඒ එක්කම කලින් මිල දී ගත් ආනයන භාණ්ඩ ප්‍රමාණය මිල දී ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් ගෙවන්න වෙන නිසා දේශීය භාණ්ඩ මිල දී ගන්න ලොකු මුදලක් අතේ ඉතිරි වෙන්නේ නැහැ. නමුත්, තව දුරටත් යම් මුදලක් ඉතිරි වෙනවා. ඒ මුදලෙන් දේශීය භාණ්ඩ මිල දී ගනිද්දී දේශීය භාණ්ඩ වල ඉල්ලුමද යම් තරමකින් ඉහළ ගොස් ඒ හේතුව නිසා මිල ඉහළ යනවා. විණිමය අනුපාතය ඉහළ ගිහින් තියෙන්නේ අවශ්‍ය තරමටනම් දේශීය නිෂ්පාදන හා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ එකම තරමින්. එහිදී සල්ලි අච්චු ගැහීමේ ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ඇති වන නමුත් ආනයන අපනයන පරතරයට බලපෑමක් වෙන්නේ නැහැ. ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ.

අලුතෙන් අච්චු ගැසූ සල්ලි ප්‍රමාණයට සාපේක්ෂව විණිමය අනුපාතය ඕනෑවට වඩා ඉහළ ගියොත් වෙන්නේ කුමක්ද? මෙහිදී ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන නිසා ආනයන ආදේශක වලට ඉල්ලුම වැඩි වෙනවා. එහෙත්, ආනයන ආදේශක නැති තෙල් වැනි අත්‍යාවශ්‍ය ආනයන භාණ්ඩ වෙනුවෙන් අතේ තිබෙන සල්ලි ටික වියදම් කළාට පස්සේ අත්‍යාවශ්‍ය නොවන දේශීය නිෂ්පාදන මිල දී ගන්න සල්ලි හිඟ වන නිසා ඒවාට ඉල්ලුම අඩුවී මිල අඩු විය හැකියි. මෙහිදී සමස්තයක් ලෙස මිල මට්ටම ඉහළ යන නිසා අපනයන තරඟකාරිත්වය වැඩි වෙන්නේත් නැහැ. ආර්ථිකයට යම් හානියක් විය හැකියි. මේ වගේ තත්ත්වයක් ඇති වන්නේ විණිමය අනුපාතය පාලනය කරන්න ගිහින් අසමත් වීමෙන් පසුව එකවර ක්ෂණිකව විණිමය අනුපාතය කඩා වැටෙන අවස්ථාවකයි.

සල්ලි අච්චු ගහනවානම් ඊට අනුරූපව අවශ්‍ය පමණ විණිමය අනුපාතයද ඉහළ යන්න ඉඩ දිය යුතුයි. එහිදී සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන උද්ධමනය නොවැලැක්විය හැකි නමුත් ගෙවුම් ශේෂයට හානියක් වෙන්නේ නැහැ. හැබැයි සල්ලි අච්චු ගහන අතරම උද්ධමනය පාලනය කරන්න කියලා විණිමය අනුපාතය පාලනය කළ විට සිදු වෙන්නේ ආනයන අපනයන පරතරය ඉහළ ගිහින් ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇති වන එකයි. ආනයනික භාණ්ඩ වල මිල ඉහළ නොගියත් දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යන නිසා උද්ධමනය පාලනය වෙන්නේ නැහැ.

දැන් මේ වැඩේ වෙන්නේ සල්ලි අච්චු ගැසීම නිසා ඉහළ ගිය ඉල්ලුමට හරියන්න ආනයන කිරීමට ඉඩ ඇරියොත්නේ. ආනයන පාලනය කරලා ප්‍රශ්නය විසඳන්න බැරිද? 

මේකත් විසඳුමක් තමයි. දැන් මිනිස්සු අතේ සල්ලි වැඩිපුර ගැවසෙනවා. ආනයනික භාණ්ඩ වල මිල ඉහළ නොයන නිසා ඉල්ලුම වැඩි වුනත් ආනයන සීමා නිසා මිල දී ගන්න බඩු නැහැ. ඒ නිසා, සල්ලි අතේ ඉතිරි වී දේශීය නිෂ්පාදන සඳහා වන ඉල්ලුම වැඩි වෙනවා. එහිදී දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යනවා. එහෙම වුනා කියලා දේශීය නිෂ්පාදන මිල දී නොගෙන ඉන්නත් බැහැ. මොකද මිල අඩු වුනත් ආනයනික බඩු කඩේ නැහැ. 

මුදල් සැපයුම වැඩි වීම නිසා දේශීය නිෂ්පාදන වලට ඉල්ලුම වැඩි වුනත් දේශීය නිෂ්පාදකයෝ නිෂ්පාදනය වැඩි කර ලාබ ලැබීමේ  අවදානම ගන්න බයයි. මොකද ආනයන පාලන කොයි වෙලාවක හෝ ඉවත් කළ වහාම තමන්ගේ නිෂ්පාදන වලට ඉල්ලුමක් නැති බව පැහැදිලි නිසා. කෙටි කලකින් නිපදවා වෙළඳපොළට දැමිය හැකි දේවල් පමණක් වැඩියෙන් රට ඇතුළේ හැදෙනවා. එහෙත් දිගුකාලීනව රටේ නිෂ්පාදනය ඉහළ යන්නේ නැහැ. අනෙක් පැත්තෙන් රටේ උද්ධමනය අපනයන ආදායමට නරක විදිහට බලපානවා. මේ ප්‍රශ්න තිබුණත් ආනයන පාලනය ඩොලර් හිඟයට තාවකාලික පිළියමක්. හැබැයි ආනයන පාලනය ඉවත් කළ වහාම නැවත හිටපු තැනමයි. 

විණිමය අනුපාතය තිබිය යුතු "නියම තැන" කොතැනද? ලෝකයේ අනෙක් රටවල් සල්ලි අච්චු ගහන වේගයෙන්ම ලංකාවත් සල්ලි අච්චු ගහනවානම් විණිමය අනුපාතය එක තැනක තියා ගන්න පුළුවන්. අනෙක් රටවලට වඩා අඩුවෙන් සල්ලි අච්චු ගහනවානම්, සිංගප්පූරුවේ වගේ, විණිමය අනුපාතය ශක්තිමත් වෙන්න අරින්නත් පුළුවන්. එහෙත්, ලෝකයේ අනෙක් රටවලට වඩා වේගයෙන් සල්ලි අච්චු ගහනවානම් විණිමය අනුපාතය දුර්වල වෙන්න අරින්න වෙනවා. නැත්නම් වෙන්නේ ආනයන අපනයන පරතරය ටිකෙන් ටික වැඩි වෙන එකයි.

විණිමය අනුපාතය තියෙන්නේ නියම තැනනම් ආනයන පාලන දමන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

27 comments:

  1. අපි මෙව්වා කියෙව්වාට
    කියවා දැනුවත් වුණාට
    සෙතක් වේද
    වැඩිම ගොඩේ නොවෙනාකොට?

    පඩි කන උපදේශකයෝ
    වන්දි භට්ට සට්ටඹියෝ
    මේවායෙන් වැඩක් ගන්න
    බලාපියෝ- හිතාපියෝ!

    ReplyDelete
  2. චන්ද්‍රිකාගෙ කාලය ගැන අහපු ප්‍රශ්නෙ දිගුවක්.
    විනිමය පා කිරීමේ වාසි පේන්නම තිබ්බනම් ඇයි ඒක නැවැත්තුවෙ. කෙටි කාලීන අර්තිකය ආශ්චර්‍ය පෙන්නන්න්න ඒ ක්‍රමයෙන් අමාරු නිසාද?හැබැයි ඒ කාලෙ ආර්තිකය කඩා වැටිල කියන අදහස මිනිස්සු අතරෙ පොදුවෙ තිබුනු අදහස නේද. ආර්තිකය මයිනසුත් ගියානෙ.
    මේ ගැන ලියපු පරන ලිපියක් උනත් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. //විනිමය පා කිරීමේ වාසි පේන්නම තිබ්බනම් ඇයි ඒක නැවැත්තුවෙ//
      මේ වාසි දිගුකාලීන වාසි. බොහෝ විට එම වාසි වල ප්‍රතිලාභ ලැබෙන්නේ පසුව බලයට පත් වන ආණ්ඩුවකට. ඒ වගේම විණිමය අනුපාතය පාලනය කිරීම නිසා ඇති වන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නෙත් පසුව බලයට පත් වන ආණ්ඩුවකට. විණිමය ප්‍රතිපත්ති තීරණය කිරීමේ හැකියාව ඇති මහ බැංකුව ස්වාධීන ආයතනයක් වීම වැදගත් වන්නේ මේ හේතුව නිසා. විණිමය අනුපාතය පහළින් තියා ගත් විට අඩු මිලට සුඛෝපභෝගී වාහන ගන්න පුළුවන්. දරුවන් පිටරට අධ්‍යාපනය සඳහා යවන්න යන වියදම අඩුයි. සිංගප්පූරු හෝ තායිලන්ත සති අන්තයක වියදම අඩුයි. ලංකාවේ දේශපාලන බලය තියෙන අයට වැදගත් මේ වගේ දේවල්. එම කණ්ඩායම ඩොලර් වියදම් කරනවා මිසක් ඩොලර් උපයන්නේ නැහැ. ඩොලර් උපයන අයට දේශපාලන බලයක් නැහැ. විණිමය අනුපාත අවප්‍රමාණය වෙන්න යම් තරමකින් හෝ ඉඩ දුන් ආණ්ඩු පවා බොහෝ විට එසේ කර තිබෙන්නේ වෙන කරන්න දෙයක් නැති තරමට හිරවීමෙන් පසුවයි. පුළුවන්කමක් තිබේනම් බොහෝ විට බලන්නේ ඩොලරය පහළින් තියා ගන්නයි.

      Delete
  3. //ආනයනික භාණ්ඩ වල මිල ඉහළ නොයන නිසා ඉල්ලුම වැඩි වුනත් ආනයන සීමා නිසා මිල දී ගන්න බඩු නැහැ. ඒ නිසා, සල්ලි අතේ ඉතිරි වී දේශීය නිෂ්පාදන සඳහා වන ඉල්ලුම වැඩි වෙනවා. එහිදී දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යනවා. එහෙම වුනා කියලා දේශීය නිෂ්පාදන මිල දී නොගෙන ඉන්නත් බැහැ. මොකද මිල අඩු වුනත් ආනයනික බඩු කඩේ නැහැ//
    ලංකාවේ මේක වෙන්නේ මෙහෙම නෙමේ. ආනයන පාලනය කලාම මේවා ගෙන්නවන කොටසකට ඒක කරන්න බැරිව නවත්වනවා. නමුත් යමක් කරගතහැකි මට්ටමේ සබදතා ඇති කීප දෙනෙක් අර ගෙන්වන එක නතර කරපු අයගේ කොටසත් ගෙන්වනවා. ඊට පස්සේ ඒ ටික දෙනා එකතු වෙලා මිල වැඩිකර ඉතා අධික ලාභයක් ලබා ගන්නවා. මගේ ක්ෂේත්‍රය ගත්තාම දේශීය නිෂ්පාදකයන් ඇත්තේම නැති තරම්. ඒක නිසා මේකෙන් වුන එකම දෙය කීප දෙනෙක් තරගයක් නැතුවම විශාල ලාභයක් උපයා ගැනීම පමනයි.

    ReplyDelete
    Replies
    1. භාණ්ඩ ගණනාවක් හා අදාළව සිදුවන දෙය ඔබ කියන ආකාරයේ දෙයක් විය හැකියි. මේ වගේ තත්ත්වයකදී ආනයනික භාණ්ඩ වල මිල දේශීය නිෂ්පාදන වලට සාපේක්ෂව ඉහළ යන නිසා ආනයනික භාණ්ඩ සඳහා වන ඉල්ලුම යම් තරමකින් අඩු වීමත්, දේශීය නිෂ්පාදන සඳහා වන ඉල්ලුම යම් තරමකින් වැඩි වීමත් සිදු විය හැකියි. (අදාළ ආනයනික භාණ්ඩ වලට දේශීය ආදේශක නොතිබීම මත මෙය වෙනස් වන්නේ නැහැ. මුදල් සැපයුම වැඩි වී ඇති නිසා මොනවා හෝ දේශීය නිෂ්පාදන වල ඉල්ලුම ඉහළ යනවා). මෙහිදීත් බොහෝ දුරට වෙන්නේ තාවකාලිකව ආනයන අපනයන පරතරය අඩුවීමක් පමණක් වුවත් මා ලිපියේ විස්තර කළ තත්ත්වයන්ට සාපේක්ෂව යම් දිගුකාලීන වාසියක්ද තිබිය හැකියි. මොකද මුදල් සැපයුම ඉහළ ගොස් ඇති නිසා ආනයන පාලනය ඉවත් කිරීමෙන් පසුවත් ඉහළ ගිය ආනයනික භාණ්ඩ මිල නැවත පෙර මට්ටමටම වැටෙන්නේ නැහැ. වැටෙන්නේ අතරමැදි තැනකට. ඒ නිසා ඉහළ යන දේශීය භාණ්ඩ ඉල්ලුමට තරමක් දුරට දිගුකාලීන පැවැත්මක් තිබෙනවා. ඒ වගේම ඔය "අධික ලාභ" මේ නිශ්චිත කාරණය හා අදාළව රටට හොඳ දෙයක්. මෙහි "අධික ලාභ" වලින් නිරූපනය වන්නේ දේශීය අගය එකතු කිරීම් ඉහළ යාමක්. එයින් ගෙවුම් ශේෂය කෙරෙහි හිතකර බලපෑමක් මිස අහිතකර බලපෑමක් වෙන්නේ නැහැ.

      Delete
    2. //ඒ වගේම ඔය "අධික ලාභ" මේ නිශ්චිත කාරණය හා අදාළව රටට හොඳ දෙයක්. මෙහි "අධික ලාභ" වලින් නිරූපනය වන්නේ දේශීය අගය එකතු කිරීම් ඉහළ යාමක්. එයින් ගෙවුම් ශේෂය කෙරෙහි හිතකර බලපෑමක් මිස අහිතකර බලපෑමක් වෙන්නේ නැහැ.//
      තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද

      Delete
    3. අවසාන වශයෙන් සිදු වී තියෙන්නේ ආනයනික භාණ්ඩයේ මිල ඉහළ යාම නිසා ඉල්ලුම යම් තරමකින් හෝ අඩු වෙන එකයි. ඒ නිසා ඩොලර් යම් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. මෙහිදී සිල්ලර මිල හා අදාළව සිදු වී තිබෙන දෙය විණිමය අනුපාතය ඉහළ යාමේදී වෙන දෙයමයි. ඒ වගේම, ඔය අධික ලාභය (එහි වෙනත් ප්‍රශ්න තිබුණත්) රට තුළම ඉතිරිව තිබෙන මුදලක්. කවර හෝ දේශීය සමාගමක ලාබ වැඩි වෙද්දී ආර්ථික වර්ධනයට සාධනීය බලපෑමක් සිදු වෙනවා. රජයේ බදු ආදායම් ඉහළ යනවා. අයවැය හිඟය අඩු වෙනවා. සල්ලි අච්චු ගහන්න තිබෙන අවශ්‍යතාවය අඩු වෙනවා. (අවස්ථාව අහිමි වූ ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් පාඩුවක්ද වෙනවා තමයි. ශුද්ධ ප්‍රතිඵලය තීරණය වෙන්නේ ප්‍රත්‍යස්ථතාවයන් මත)

      Delete
    4. බොහොම ස්තූතියි

      Delete
  4. හැම වෙලාවෙම තව ඩොලර් තියෙන්නේ මෙච්චර මාස ගානක ආනයනයට විතරයි කියන්නේ ඇයි. රට ඇතුලටද යම් ඩොලර් ප්‍රමාණයක් නොකඩවා එනවනෙ. අපි වියදම් කරන්නෙ සංචිත ටිකම නෙවේනෙ.

    ReplyDelete
    Replies
    1. රටක ප්‍රමාණවත් විදේශ සංචිත ඇත්ද යන්න පරීක්ෂා කරන ප්‍රධාන ආකාරයක් වන්නේ රටේ ආනයන වියදමට සාපේක්ෂ කරන මෙම සංසන්දනයයි. මෙය කොත්මලේ ජලාශයේ වතුර තිබෙන්නේ තවත් සති තුනකට විදුලි බලය නිපදවීමට පමණයි කියනවා වගේ දෙයක්. නොකඩවා වහින නමුත් නිශ්චිත කෙටි කාලයක් තුළ කොපමණ වතුර එකතු වෙයිද කියන එක හරියටම කියන්න බැහැ. රටට එන ඩොලර් වලටත් මේ කතාව අදාළයි.

      Delete
    2. ස්තුතියි

      Delete
  5. විදේශ ණය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඔබගේ පෙර ලිපි දෙකක විදේශ ණය වගු වල අගයන් දෙකක් තිබෙන්නෙ ඇයි?
    https://economatta.blogspot.com/2018/10/blog-post_10.html?m=1

    https://economatta.blogspot.com/2018/09/blog-post_24.html?m=1

    සහ මේ වගු අනුව මහින්ද දශකය තුල බිලියන් 35ක් වැඩිවෙලා නෑ නේද?

    ReplyDelete
    Replies
    1. පළමු ලිපියේ තියෙන්නේ මධ්‍යම රජයේ විදේශ ණය පමණයි. දෙවන ලිපියේ තියෙන්නේ රටේ විදේශ ණය.

      //මේ වගු අනුව මහින්ද දශකය තුල බිලියන් 35ක් වැඩිවෙලා නෑ නේද?//

      නෑ. ඩොලර් බිලියන 31.6ක් පමණ.

      Delete
    2. ඔබ කියන්නෙ මද්‍යම රජයෙ ණය බිලියන 14කින් වැඩි වෙද්දි වෙනත් අය බිලියන 17ක් විතර අරගෙන තිබෙනවා කියලද?
      මේ වෙනත් අය කියන්නෙ වානිජ බැන්කුද?

      Delete
    3. ඔව්. මෙහි "වෙනත් අය" කියන එකට තෙල් සංස්ථාව වැනි රාජ්‍ය සංස්ථා, රාජ්‍ය බැංකු ආදියද ඇතුළත්. ඔය කාලයේ රජය ඇතැම් ණය ගත්තේ මධ්‍යම රජය ලෙස නෙමෙයි. රාජ්‍ය අංශයට අයත් නැති පෞද්ගලික බැංකු විසින් ඩොලර් වලින් ණය ගෙන එම ඩොලර් වෙළඳපොළේ විකුණා භාණ්ඩාගාර මිල දී ගත් විට වක්‍ර ලෙස සිදුවන්නේද රජය විසින් විදේශ ණය ගැනීමට සමාන දෙයක්.

      Delete
    4. ඔබ වෙනත් ලිපියක කියූ ඩොලරය හිර කරල තබා ගත් නිසා වෙනත් ආයතන ඩොලර් රුපියල් කරල පොලී ආදායම ගන්න ඩොලර් ණය ගැනීමට පෙලඹවීමේ ප්‍රතිපලයද මේ? ආණ්ඩුව ඒ විදියට ණය නොගෙන කෙලින්ම ණය ගන්න එක ආණ්ඩුවට ලාබ නැද්ද?

      Delete
    5. //ඔබ වෙනත් ලිපියක කියූ ඩොලරය හිර කරල තබා ගත් නිසා වෙනත් ආයතන ඩොලර් රුපියල් කරල පොලී ආදායම ගන්න ඩොලර් ණය ගැනීමට පෙලඹවීමේ ප්‍රතිපලයද මේ?//

      එය එක් හේතුවක්. ආණ්ඩුව හිතාමතාම මධ්‍යම රජය යටතට ගණන් නොගැනෙන රාජ්‍ය ආයතන හරහා ණය ගැනීම තවත් හේතුවක්.

      //ආණ්ඩුව ඒ විදියට ණය නොගෙන කෙලින්ම ණය ගන්න එක ආණ්ඩුවට ලාබ නැද්ද?//

      මේ වැඩෙන් විදේශ ණය අඩුවෙන් පේනවා වගේම සමස්තයක් ලෙස රාජ්‍ය ණයද අඩුවෙන් පේනවා. (ආර්ථික විද්‍යාඥයින් විසින් ඔය වගේ දේවල් නොකළත්, දක්ෂ ගණකාධිකාරීවරුන් ඔය වගේ සෙල්ලම් දානවනේ!) ණය අඩුවෙන් පේන කොට ණය අවදානම නොපෙනෙන නිසා ආයෝජකයින් ණය දෙන්න බය වෙන්නේ නැහැ. ස්වෛරිත්ව බැඳුම්කර විකුණනද්දී මෙය පිටිවහලක් වුනා. (දැන්නම් වැඩේ පත්තු වෙලා!) ඊට අමතරව මේ වැඩෙන් ආර්ථික දර්ශක හැම එකක්ම වගේ ඇත්තටම තිබුණාට වඩා හොඳින් තිබෙන බව පෙන්විය හැකි වුනා. එහි දේශපාලනික වාසිය අමුතුවෙන් කිවයුතු නැහැනේ.

      Delete
    6. //මේ වැඩෙන් විදේශ ණය අඩුවෙන් පේනවා වගේම සමස්තයක් ලෙස රාජ්‍ය ණයද අඩුවෙන් පේනවා.//
      මේ සල්ලි අන්තිමේදි රුපියල් වෙලා රාජ්‍ය ණය වෙනව නේද? එතකොට සමස්ත රාජ්‍ය ණය වෙනසක් වෙන්න විදියක් නැහැ නේද?
      ඔබ කියන දේශපාලන වාසිය ගැන පැහැදිලී.

      දෙවනුව, වානිජ බැන්කු මේ ණය වෙළඳපොලේ විකුනුව කියන්නෙ ඩොලර් එක ස්තාවර වීම නේද? මේක නිකන් self fulfilling prophecy එකක් වගෙනෙ.

      Delete
    7. //මේ සල්ලි අන්තිමේදි රුපියල් වෙලා රාජ්‍ය ණය වෙනව නේද? එතකොට සමස්ත රාජ්‍ය ණය වෙනසක් වෙන්න විදියක් නැහැ නේද?//
      රුපියල් 200 විය යුතු ඩොලරය රුපියල් 130ට තියා ගත් විට රුපියල් වීමෙන් පසු ණය වලින් 35%ක් අඩු වෙලයි පේන්නේ.

      //දෙවනුව, වානිජ බැන්කු මේ ණය වෙළඳපොලේ විකුනුව කියන්නෙ ඩොලර් එක ස්තාවර වීම නේද? මේක නිකන් self fulfilling prophecy එකක් වගෙනෙ.//

      ඔව්. මෙය self fulfilling prophecy එකක් වගේ තමයි. වැඩේ පටන් ගත්තට පස්සේ මේ වැඩේ වැඩි අපහසුවක් නැතිව කාලයක් දිගටම ඉදිරියට යනවා වගේම self feed වෙනවා. Asset price bubble එකකදී වෙන දෙයමයි. ඒකනේ මේකේ තිබෙන අවුල ගොඩක් අයට ලේසියකට නොපෙනෙන්නේ. සමහර විට මේ ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින අය අවංකවම මෙය හොඳ ක්‍රමයක් සේ හිතනවා ඇති. ප්‍රශ්නය වන්නේ වෙනත් ඕනෑම bubble formation එකකදී මෙන් යම් මොහොතක මේ මුළු ගොඩ නැගීමම කඩා වැටෙන එක නොවැලැක්විය හැකි වීමයි.

      Delete
    8. මරේ මරු.
      මට මේ කෑල්ලනම් තේරෙන්නෙම නෑ.
      //රුපියල් 200 විය යුතු ඩොලරය රුපියල් 130ට තියා ගත් විට රුපියල් වීමෙන් පසු ණය වලින් 35%ක් අඩු වෙලයි පේන්නේ.//
      රජය ඩිරෙක්ට් ඩොලර් ණය අරගෙන ඩොලර් එක 130ට තියාගන්න වෙලඳපොලේ වික්කත් ඩොලර් ණය ප්‍රමාණයx130 නේද ගනන් හැදුවම එන්නෙ? ඔබ කියන්නෙ අනාගතේ ඩොලර් එක ඉහල ගියොත් ණය ටික වැඩි වෙලා පේන අවදානම තුන්වන පාර්ශවයක් හරහ ගත්තම නැති වෙනව කියලද?

      Delete
    9. ඔබට එය නොතේරීම ඔබේ අවුලක් නෙමෙයි. මගේ වාක්‍යය නිරවුල් නැති වීමේ ප්‍රතිඵලයක්. මේ කෑල්ල සෘජුව/වක්‍රව ණය ගැනීමට එතරම් අදාළ දෙයක් නෙමෙයි. එහි බලපෑම බොහෝ දුරට රජයේ විදේශ ණය අඩුවෙන් පේන එක පමණයි. සමස්ත ණය අඩුවෙන් පේන්නේ මේ සෘජු හෝ වක්‍ර ණය හරහා ගන්නා ඩොලර් යොදාගෙන විණිමය අනුපාතය පහළින් තියා ගැනීම තුළයි. එම බලපෑම ඉතා විශාලයි. ඒ වගේම කොයි වෙලාවක හෝ නිවැරදි වන දෙයක්. ඊට අමතරව විදේශ ණය වලින් කොටසක් (ඇතැම් විට මහා භාණ්ඩාගාරයේ guarantee එකක් සහිතව) රාජ්‍ය සංස්ථා හරහා ගැනීම තුළ රජයේ විදේශ ණය මෙන්ම සමස්ත ණයද අඩුවෙන් පෙනීමක් සිදුවෙනවා. එම ණය වක්‍ර ලෙස හෝ රාජ්‍ය ණය වලට එකතු වෙන්නේ නැහැ. ඒ වගේම රාජ්‍ය සංස්ථා විසින් වක්‍ර ලෙස ගන්න (උදාහරණයක් ලෙස රාජ්‍ය බැංකුවක් විදේශ ණය අරගෙන තෙල් සංස්ථාවට රුපියල් වලින් දෙන) ණයද රාජ්‍ය ණය වලට ඇතුළත් වන්නේ නැහැ. එය ණය අඩුවෙන් පෙනීමට හේතු වන වෙනම channel එකක්.

      Delete
    10. ස්තුතී. පැහැදිලියි. මේ ගැන තමයි මහිතෙ පාටලීල එහෙම යහපාලනේ ආවට පස්සෙ කිය කිය හිටියෙ.

      Delete
    11. තව ප්‍රශ්නයක් තියෙනව මේ ගැන.
      ඔබ වෙන කමෙන්ට් එකක කියල තිබ්බ නේද ලබන අවුරුද්දෙ ඩොලර් බිලියන 1.5 ගෙවන්න තියෙනව කියල. මේව රාජ්‍ය ණය විදියට කවුන්ට් වෙන ඒව කවර් කරන්න යන වියදම විතරයි නේද? සංස්තා සහ බැන්කු වලින් අරගෙන රජයට රුපියල් වලට විකුනපු සහ නොවිකනපු ණය වලට ගෙවන්න අමතරව ඩොලර් ඕන වෙනව නේද? මේව ගැන මහ බැන්කුව කොහෙද ගනන් තියන් ඉන්නෙ?

      Delete
    12. මේ ස්වෛරිත්ව බැඳුම්කර හරහා අරගෙන තිබෙන ණය. ස්වෛරිත්ව බැඳුම්කර කියන්නේ රාජ්‍ය ණය වලත් එක් කොටසක් පමණයි. ගෙවිය යුතු රාජ්‍ය ණය මීට වඩා ගොඩක් වැඩියි. මේ දවස් වල බංග්ලාදේශය වගේ රටවලින් (මහ බැංකුව හරහා) ගන්න ණයත් කෙටිකාලීන ණය. මාස ගණනක් ඇතුළත ආපසු ගෙවිය යුතුයි. අනෙක් ණය සම්බන්ධව ණය දුන් අය සමඟ කතාබහ කරලා මොනවා හරි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ස්වෛරිත්ව බැඳුම්කර වලට එවැන්නක් කළ නොහැකියි. ඒ වගේම නියමිත දිනයට මුළු මුදලම එකවර ගෙවන්න වෙනවා. ස්වෛරිත්ව බැඳුම්කර හරහා ගත් ණය ගැන වැඩි අවධානයක් යොමු වන්නේ ඒ නිසයි.

      Delete
  6. මේ වන විට වර්තමානයේ ලංකාව පාලනය කරන අධික ලෙස දූෂිත ඒකාධිපති රාජපක්ෂ ආණ්ඩුව විසින් දැඩි ලෙස වැඩි කර ඇති අධික බදු බර සහ ආනයන පාලන නීති සමග පාන් පිටි මිල, පරිප්පු, සැමන්, කඩල, උඳු ආදියේ සිට ඉන්ධන මිල ගණන්, ටයිල්, යකඩ බඩු, යාන වාහන ආදී සෑම දෙයක්ම අධික ලෙස මිල ගණන් ඉහළ මට්ටමකට ගෙන ඒමත් සමඟ රටපුරාම දැවැන්ත ජනතා විරෝධතාවයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්නැයි ආණ්ඩුවට දැනුම් දෙන බව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය අමතා ඉතා දැඩි ලෙස තර්ජනය කරමින් පැවසුවා.

    නූතන රාජපක්ෂ ආණ්ඩුව විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ගණන් අඩු කර ඊට අමතරව අනෙක් වියදම් වෙනුවෙන් මසකට අවම වශයෙන් රුපියල් 25,000ක වත් සහනාධාර මුදලක් සෑම පවුලකටම බෙදා දී ජනතාවට සහන නොදේ නම් එවන් විරෝධතාවකට මුහුණ දීමට සූදානම් වන ලෙස ජවිපෙ ජාතික බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා දැඩිව අවධාරණය කළ අතර පැලවත්තේ පිහිටි ජවිපෙ පක්ෂ මූලස්ථානයේ දී ඔහු පෙන්වා දුන්නේ කොරෝනා වසංගතය හමුවේ වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ මේ වන විට දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ලංකාවෙ බහුතර ජනතාව තව තවත් පීඩාවට ලක් කරමින් බඩු මිල ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීන්දු හකුලා ගන්නා ලෙසයි.

    එමෙන්ම ආණ්ඩුවේ අධික බදු එසේ හකුළාගෙන ජනතාවට සහන ලබා දීමට කටයුතු නොකළහොත් ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ජාතික බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයන්ගේ නායකත්වයෙන් රට පුරා දීපව්‍යාප්තව ගොඩනැගෙන දැවැන්ත විරෝධය සමග එන බලසම්පන්න ආණ්ඩු විරෝධී මහා උද්ඝෝෂණ ව්‍යාපාරයකට මුහුණ දීමට සූදානම් වන ලෙස ඔහු රාජපක්ෂ සෙවල ආණ්ඩුවට අභියෝග කළා. මම හිතන්නේ මේක ආණ්ඩුවේ අවසානය වන බවත් ආණ්ඩුව ඉල්ලා අස්වී ගෙදර යනු ඇති බව ඉතාමත් පැහැදිලි බවයි. ඊළඟ පෝස්ට් එකෙන් ලංකාවේ පත්වෙන අලුත් ආණ්ඩුව මගින් මේ ප්‍රශ්න ඉතාමත් පහසුවෙන් විසඳන ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු.

    ReplyDelete
  7. //While authorities maintain they will repay $1.5 billion of foreign bond payments due in January and July, a Bloomberg gauge of one-year default probability has risen almost 20 percentage points, to Asia’s highest level at about 28%.//
    මේ කියන විදිහට SD වෙන්න තියෙන අවදානම ගොඩක් වැඩිද?

    ReplyDelete
    Replies
    1. බ්ලූම්බර්ග් ආකෘතිය අනුව ඔවුන්ගේ ඇස්තමේන්තුව එවැන්නක් බවයි ප්‍රකාශ වී තිබෙන්නේ. එහෙත්, ආණ්ඩුව ආනයන සීමා පවත්වා ගෙන යන අතර කෙසේ හෝ මුදල් හොයා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව පේනවා.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...