සල්ලි අච්චු ගැසීම සීමා නොකරන තුරු විණිමය අනුපාතය පාලනය කර බඩු මිල අඩු කළ නොහැකි බව මම කලින් ලිපියේ පැහැදිලි කළා. විණිමය අනුපාතය පාලනය කර ආනයනික බඩු වල මිල අඩු කළ හැකි වුවත්, ඒ අඩුවටත් හරියන්න දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යාම නොවැලැක්විය හැකියි. ඒ නිසා, විණිමය අනුපාතය පාලනය කළ පමණින් උද්ධමනය අඩුවීමක් සිදු වෙන්නේ නැහැ.
මෙය ආර්ථික විද්‍යාව පිළිබඳ පුහුණුවක් නැති අයෙකුගේ තර්ක බුද්ධියට එකවර ගෝචර වන දෙයක් නෙමෙයි. එවැනි පුහුණුවක් නැති අයෙකුට හිතෙන්නේ ඩොලරය ඉහළ යන විට බඩුමිල ඉහළ යන බව හා ඒ නිසාම ඩොලරයේ මිල පාලනය කර උද්ධමනය පාලනය කළ හැකි බවයි.
සාමාන්‍ය පුද්ගලයෙකුට මේ වගේ දෙයක් නොතේරුණා කියා ලොකු ප්‍රශ්නයකුත් නැහැ. තේරුණත්, නොතේරුණත් රටක විණිමය අනුපාතය සාමාන්‍ය අයෙකුට පාලනය කළ නොහැකියි. එය කළ හැක්කේ මහ බැංකුවේ බල අධිකාරයටයි. සාමාන්‍යයෙන් රටක මහ බැංකුව පාලනය කරන කෙනෙකුට මේ වගේ දේවල් අමුතුවෙන් කියා දිය යුතු නැහැ. එවැනි තනතුරකට පත් වෙන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ පුහුණුවක් ඇති අයෙක්. සම්මත ආර්ථික විද්‍යා න්‍යාය ගැන දැනුමක් වගේම විශ්වාසයක්ද ඇති අයෙක්.
කොහොම වුනත්, පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විණිමය අනුපාතය පාලනය කිරීමට උත්සාහ දැරූ වකවානු අපට දැකිය හැකි වුනා. ඒ හැම විටම, වසර කිහිපයකට පසුව විණිමය අනුපාතයේ එක වර සිදු වන කඩා වැටීමකට මුහුණ දීමටද සිදු වුනා. එහෙම වුනා කියලා වැඩේ නැවතුනේත් නැහැ. කඩා වැටුණු තැන සිට නැවතත් පරණ සෙල්ලමම කෙරුණා. මේ වැඩේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ අපනයන කඩා වැටී, චීන හා ඉන්දියානු ආනයනික භාණ්ඩ රටට ගලා ආවා. චීනය හෝ ඉන්දියාව කවර ආකාරයකින් හෝ ලංකාවේ විණිමය ප්‍රතිපත්තිය පාලනය කරනවාද කියා සැක හිතෙන තරමටම මේ වැඩේ දුරදිග ගියා. ලංකාව අමාරුවෙන් උපයන ඩොලර් වලින් ඉන්දියානු හා චීන නිෂ්පාදකයෝ ගොඩ ගියා. මේ වැඩේ තවමත් සිදු වෙනවා.
පහත වගුවේ තිබෙන්නේ පසුගිය වසර විස්සක කාලය තුළ ඩොලරයක වාර්ෂික සාමාන්‍ය මිල, පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික සාමාන්‍ය අගය හා දදේනි අවධමනකයේ වාර්ෂික සාමාන්‍ය අගය වෙනස් වූ ආකාරයයි.
මහ බැංකුව විසින් 2004-2006 අතර රුපියල් 100 මට්ටමේත් 2007-2011 අතර රුපියල් 110 මට්ටමේත් ඉන් පසුව 2002-2014 අතර රුපියල් 130 මට්ටමේත් ඩොලරයක මිල පවත්වා ගැනීමට උත්සාහ කළා. එහෙත්, මේ එක අවස්ථාවකදීවත් දිගටම ඩොලරයේ මිල එකම මට්ටමක ස්ථිරව තබා ගත නොහැකි වුනා. එසේ කළ උත්සාහයන් හැම විටම අවසන් වුනේ ඩොලරයේ ක්ෂණික කඩා වැටීමකින්.
මෙසේ ඩොලරයේ මිල ස්ථිරව තබා ගත් කාල වකවානු වල බඩු මිල වැඩි වුනේ නැද්ද? 2007-2011 කාලය තුළ ඩොලරයක වාර්ෂික සාමාන්‍ය මිල වෙනස් නොවුණු තරම්. සාමාන්‍යයෙන් සිදුවන මිල ඉහළ යාම වෙනුවට මේ කාලය තුළ ඩොලරයක මිල -0.05%කින් පහළ ගියා. එහෙත්, ඒ කාලය තුළ පාරිභෝගික මිල දර්ශකයේ අගය 37.2%කින්ද, දදේනි අවධමන දර්ශකය 38.9%කින්ද ඉහළ ගියා. මෙයින් පැහැදිලි වන්නේ උද්ධමනයට හේතු වන්නේ සල්ලි අච්චු ගැසීම මිස විණිමය අනුපාතය නොවන බවයි.
සමස්තයක් ලෙස 2004-2014 දස වසරක කාලය තුළම ඩොලරයේ මිල ඉහළ ගියේ 29.0%කින් පමණයි. එයින්ද 15.4%ක ඉහළ යාමක් සිදු වුනේ 2011-2012 අතර සිදු වූ ක්ෂණික කඩා වැටීමක් ලෙසයි. මෙම දස වසර තුළ පාරිභෝගික මිල දර්ශකයේ අගය 145.6%කින්ද, දදේනි අවධමන දර්ශකය 133.0%කින්ද ඉහළ ගියා. විණිමය අනුපාතයෙහි 15.4%ක ඉහළ යාමක් සිදු වූ 2011-2012 අතර පාරිභෝගික මිල දර්ශකයේ අගය ඉහළ ගියේ 10.8%කින් පමණයි. දදේනි අවධමන දර්ශකය ඉහළ ගියේ ඊටත් අඩුවෙන්, 7.5%කින් පමණයි. මිල මට්ටම් විශාල ලෙස ඉහළ ගියේ විණිමය අනුපාතය එක තැනම වගේ තබාගෙන සිටියදීයි.
මෙයින් වෙනස්ව 2014-2020 අතර ඩොලරයේ මිල 42.1%කින් ඉහළ ගියත්, ඒ හේතුව නිසා බඩු මිල එපමණකින් ඉහළ ගියේ නැහැ. එම කාලය තුළ පාරිභෝගික මිල දර්ශකයේ අගය ඉහළ ගියේ 24.9%කින් පමණයි. දදේනි අවධමන දර්ශකය ඉහළ ගියේ ඊටත් අඩුවෙන්, 26.9%කින් පමණයි. ඩොලරයේ මිල ඉහළ යද්දී බඩු මිල එතරම් ඉහළ නොයනවා කියා කියන්නේ ඩොලර් උපයන අයට වාසිදායක තත්ත්වයක්. එහෙත් ඩොලර් උපයන්නේ නැති, ඩොලර් මිල දී ගෙන වැය කරන අය මෙවැනි තත්ත්වයකට කැමති නැහැ.
උද්ධමනය වැඩි වෙන්නේ ඩොලරයේ මිල ඉහළ යාම නිසා නෙමෙයි. එහෙත් ඩොලරයේ මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා. උද්ධමනය වැඩි වන්නේ සල්ලි අච්චු ගැසීම නිසා. මෙහි කිකිළිද බිත්තරයද වැනි ගැටළුවක් නැහැ.
ඉකොනොගේ බුද්ධිය
ReplyDeleteහරි යන එකක් වාගෙය
තනතුරු දරන කට්ටිය
මේව දන්නැති එකය පුදුමය
ඔබගේ මෙම ලිපි පෙළ කියවනවා. මේ බොහොතේ රටේ බහුතරයක් වන අපව වැනි සාමාන්‍ය ජනයාට මෙහිදී ගතයුතු සාධනීය පියවරක් තියෙනවද මෙම අර්බුධයෙන් යම් තරමකට හෝ බේරෙන්න? ඒක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි මම හිතන්නේ. මගේ සමහර මිතුරන් නං මුදල් බැංකු වල තියන එක අතඇරලා ඒවායින් ඉඩකඩම් මිලට ගත්තා, තවත් සමහරුන් ඩොලර් අරං තියාගත්තා. සමහර අය එහෙම කරන්න ලෑස්ති වෙනවා. හැබැයි එහෙම ඩොලර් අරං තියාගන්න එකෙනුත් ආයේ ඩොලර් හිග වේලා අර්බුධය උග්‍ර වෙන්නත් ඉඩ තියෙනවද? අපි මොකක්ද කරන්න ඕනි?
ReplyDeleteඔබේ ප්‍රශ්නය මට තේරෙනවා. ඒ වගේම මේ වෙලාවේ මෙය බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නයක් බවද පැහැදිලියි. එහෙත් මෙවැනි වියුණුවක් හරහා පෞද්ගලික උපදේශන සැපයීම සදාචාරත්මක ලෙස නිවැරදි දෙයක් කියා මම හිතන්නේ නැහැ. එසේ නැතත් මට එවැනි උපදේශනයක් සැපයීම පහසු කටයුත්තක් නෙමෙයි. තනි පුද්ගලයෙක් විසින් මොනවා කළත් රජය සතු විශාල බලය හමුවේ රජය විසින් ගන්නා එක් තීරණයකින් අපේක්ෂිත ප්‍රතිඵලය කණපිට හැරෙන්න පුළුවන්. ඔබ විදේශ සමඟ ගනුදෙනු නොකරන සාමාන්‍ය පුද්ගලයෙක්නම් ඩොලර් නෝට්ටු මිල දී ගෙන තියා ගැනීම අනවශ්‍ය තරම් දුර යාමක් කියා මම හිතනවා. සිල්ලර ගනුදෙනු වලින් විණිමය අනුපාතයට එතරම් බලපෑමක් වෙන්නේ නැහැ. රටේ බොහෝ දෙනෙක් මෙසේ කළොත් යම් මොහොතක රජය විසින් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න තිබෙන ඉඩකඩ නොසලකා හරින්න බැහැ. උදාහරණයක් විදිහට ඩොලර් නෝට්ටු අතේ තිබෙන අය හොයාගෙන ගෙදරට පොලීසිය එන එක වැනි දෙයක් වුනත් වෙන්න බැරිකමක් නැහැ. බැංකු වල සල්ලි වලින් ඉඩම් ගන්න එකනම් රටේ පැත්තෙන් වුවත් නරක දෙයක් කියා මම හිතන්නේ නැහැ. මේ වැඩෙන් බැංකු පද්ධතිය තවත් ශක්තිමත් වෙනවා මිසක් කඩා වැටෙන්නේ නැහැ. ඉඩම විකුණූ තැනැත්තා හරහා එම මුදල් නැවත බැංකු පද්ධතියටම එනවා. රජයට මේ වෙලාවේ අවශ්‍යව තිබෙන්නේත් මුදල් සංසරණය ඉහළ මට්ටමක තියා ගන්නයි. මේ වැඩෙන් ඉඩම් මිල ඉහළ ගියොත් එයින්ද ආර්ථිකයට සිදුවන්නේ ප්‍රසාරනාත්මක බලපෑමක්. පෞද්ගලික මට්ටමෙන් බැලුවොත් අවදානම් තත්ත්වයක් තුළ තේ ඉඩම් වැනි අපනයන වගා ඉඩම් නරක ආයෝජන නෙමෙයි. හැබැයි රසායනික පොහොර තහනමේ බලපෑම ආදී කරුණු ගැනත් හිතන්න වෙනවා.
Deleteමේ වගේ අවස්ථාවක, විදේශවල රැකියා කරන එහෙත්, ලංකාවේ ජීවත් වන පවුල් සදහා මසිකව මුදල් ($) යවන අයට, කළහැකි දෙයක් තිබෙනවාද? දැනට ඇති artificial rate එක effectively 25% tax එකක් වගේ.
Deleteලංකාවේ ගෙදර අයට ණයක් අරන් මාස තුනක්, හතරක් ජීවත් වෙන්න කියන්න. ඩොලර් රේට් වැඩිවුනහම ඔයා සල්ලි යවලා ණය ගෙවලා දාන්න.
Deleteබොහොම ස්තුතියි, එක හොද අදහසක්. මේ ප්‍රශ්නය මාස තුන හතරකින් ඉවරවෙයි ද?
Deleteඅවදමනය කියන්නෙ මොකක්ද?
ReplyDeleteඅවධමනය නෙමෙයි අවධමනකය. අවධමනය කියන්නේනම් උද්ධමනයේ විරුද්ධ පැත්ත. එනම් මිල ගණන් සමස්තයක් ලෙස පහළ යාම. මෙහි සඳහන් වචනය දදේනි අවධමනකය. ඉංග්‍රීසියෙන් GDP Deflator. උද්ධමනය මනින වඩා පුළුල් මිනුමක්.
Deleteඇත්තටම ලංකාවේ රජය විසින් මෑතදී පනවන ලද ආනයන සීමා වලට මා මෙවැනි අදහසක් කිරීමට කැමැත්තෙමි. උදාහරණයක් වශයෙන් මා සේවය කරන්නේ ඉතාලියේ පවුලේ සියලුම සාමාජිකයන් 20 කියා සිතමු එවිට අපට ලැබෙන මාසික වැටුප් ප්‍රමාණය දළ වශයෙන් යුරෝ 30,000 ක් විතර, ආසන්න වශයෙන් ලක්ෂ 75 ක් නම් එම මුදල කිසි විටක අප ලංකාවේ බැංකුවකට එවන්නේ නැහැ, නමුත් ලංකාවේ රජය අපිට අවසර දෙනවනම් එම මාසික වැටුප් ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවට අව්‍ය දෙයක් ලංකාවට අනයන ය කිරීමට අපට අවස්ථාවක් දෙනවනම් අපිට පුළුවන් එය කිරීමට උදා. අපි සිතමු සන්ෆවර් තෙල් ලිටර් ලක්ෂ 2ක් කියා හෝ ඊ වැඩි ප්‍රමාණයක් අපහට පුළුවන් එය කොළඹ වරයට ලබාදෙන්න පුළුවන් එවිට ඩොලර් රටින් පිටවීමක් වෙන්නෙත් නැහැ සැම මසකම අපේ මුදල් ශ්‍රී ලංකා බැංකුවක තැම්පත් වෙනවා ඒ වගේම රටේ භාන්ඩ හිගයක් සහ මිළ වැඩිවීමක් වෙන්නෙත් නැහැ නේද? ඔබ ගේ අදහස කුමක්ද මේ පිළිබඳ?
ReplyDelete//අපි සිතමු සන්ෆවර් තෙල් ලිටර් ලක්ෂ 2ක් කියා හෝ ඊ වැඩි ප්‍රමාණයක් අපහට පුළුවන් එය කොළඹ වරයට ලබාදෙන්න පුළුවන්//
Deleteදැන් ඔබ මේ සන්ෆ්ලවර් තෙල් රුපියල් වලින් ලංකාවේ විකුණනවා නේද? එම මුදල් ඔබ ලංකාවේම තියනවද? මේ විදිහට හැම මාසයකම ලංකාවට සන්ෆ්ලවර් තෙල් එවමින් ඒවා විකුණා ලැබෙන මුදල් ලංකාවේ බැංකුවක තියනවා කියන එකද ඔබ අදහස් කළේ?
මේ කුඩා වීඩියෝ ක්ලිප් එකේ කියන තරම් ලේසියෙන් IMF එක එක්ක රජයට ඩීල් කරන්න පුළුවන් ද දැන්? මම හිතන්නේ අතිශය දැඩි මතධාරීන් පිරිසකගේ භූත අඩවියක් වන IMF සහ එබඳුම IBRD වැනි ආයතන සමග බලවත් මහා බ්‍රිතාන්‍ය වැනි රටවල් වලට පවා ඩීල් කිරීමක් කරන්න ඉතාමත් බරපතල විදිහට අසීරු කටයුත්තක් වන බව.
ReplyDeletehttps://www.facebook.com/sinhala.adaderana.lk/videos/399836864833979/
ඒ නිසා මොවුන්ගේ යෝජනා අනුව IMF ගිහින් කෙටි කාලීනව අර්බුදය කල් දැමීමට කටයුතු කළොත් ඒ ආයතනයේ දැඩි මතධාරීන්ගේ කිසිම විදිහකින් ප්‍රායෝගික නොවන දැඩි කොන්දේසි නිසා ලංකාවේ ආර්ථිකය කබලෙන් ලිපට වැටීමක් විය හැකියි තව වසර දෙකකින් විතර පසුව. ඊට පස්සෙ කට්ට මීටත් වඩා ගොඩාක් කන්න වෙනවා ඊළඟට පත් වෙන ආණ්ඩුවට සහ ඒ කාලේ ලංකාවේ ඉන්න ජනතාවට. ඒ වගේම මම හිතන්නේ ලංකාවේ පොලී අනුපාත ඉහළ නැංවීම මගින් මේ දවස්වල ලංකාවේ දක්නට ලැබෙන දැඩි පරිභෝජනවාදී නාස්තිකාර මුදල් විනාශයට හේතු සාධක වී ඇති ආනයන ගොඩ ගසාගෙන යන යැපුම් මානසිකත්වය වෙනස් කර ජනතාවගේ ඉතිරි කිරීම් හැකි තරම් ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි නම් විදේශ මුදල් සංචිතය ආරක්ෂා කිරීමට පුළුවන් වන බවයි. මේ ගැන ඔබේ අදහස් මොනවද?
IMF එක ගැන මෙහි ධම්මික පෙරේරා කියන දෙය හරි. IMF නියෝජිතයින් සේ ලංකාවට එන්නේ ලංකාව වැනිම තුන්වන ලෝකයේ රටවලින් පැමිණ එහි සේවය කරන සාමාන්‍ය මට්ටමක නිලධාරීන්. තමන් කියන දෙයකට පදනමක් තිබේනම් එය ඔවුන්ට ඒත්තු ගැන්වීම අපහසු දෙයක් නෙමෙයි. ධම්මික පෙරේරා මෙන්ම මමත් මෙය කියන්නේ බර තබලා. නිකම් හිතලා අඩමානෙට කියන දෙයක් නෙමෙයි. හැබැයි පුහු කතා බව තමන්ම දන්නා ලංකාවේ ගැලරියට කියන කතා වලට මෙය අදාළ නැහැ. ඔවුන්ට ඒත්තු ගැන්විය හැක්කේ කවර හෝ පදනමක් තිබෙන කරුණු පමණයි. කොහොම වුනත් ධම්මික පෙරේරාගේ මේ ප්‍රකාශය සහ බන්දුල ගුණවර්ධනගේ මෑතකාලීන ප්‍රකාශ අනුව පෙනෙන්නේ මේ වෙද්දී ආණ්ඩුව IMF යාම සඳහා පසුබිම හදා ගැනීමට මුට්ටි දමමින් සිටින බවයි.
Deleteචීනය ගැන ආණ්ඩුව ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියා. නමුත් ඒවා නිකම්ම දවල් හීන කියලා දැන් ආණ්ඩුවට තේරිලා තියෙන්නේ. ලැජ්ජාව පැත්තකින් තියලා දැන් IMF යන්න පිළිවෙතින් පෙළ ගැහෙන කාලේ
DeleteIMF ගියොත් නම් විපක්ෂෙට ලොකු වාසියක් වෙයි හැබැයි.
DeleteGovt says an american firm named concept global is willing to offer 250croes in usd to cepetco.Most importantly with 2 year grace period.But this contradicts with your previous assumptions that govt would find it difficult in money market. How do you view the situation?
ReplyDeleteI can't comment without knowing the precise nature and conditions of this contract. I do not find details of a US financial institute bearing this name. In any case, this is not a money market transaction.
Deleteමම හිතන්නෙ රජයට ණය ගන්න බැරි සවරින් බොන්ඩ්ස් විකුනල. යම් ආයතනයක් හෝ රජයක් පුද්ගලිකව අඩු මුදලට ණය දෙන්න කැමතිනම් ඒව ගන්න තහනමක් නැහැ.
Deleteඔව්. සවරින් බොන්ඩ්ස් වුනත් විකුණන්න බැරිකමක් නැහැ. විශාල පොලියක් ගෙවන්න වෙනවා.
Deleteඔබ හරි
Deleteළන්කාවෙ මිනිස්සු ටොයියො බයියො ජෙප්පො වගේ හැමෝම රට දියුනු වෙන්න බදු අඩු කරන්න ඕන කියකිය මන්තරයක් වගේ කියවන්නෙ මොකද? මෙච්චර සරල ලෙස ලන්කාවෙ මිනිස්සු හිතන්නෙ ඇයි?
ReplyDeleteඉතා පැහැදිලිවම බදු අඩු කරන එක හොඳයි. නමුත් එය කළ යුත්තේ රජයේ වියදම් අඩු කරලා. බදු අඩු කරලා වක්‍ර විදිහට "උද්ධමන බද්දක්" ගන්න එකයි මෙහි තිබෙන ප්‍රශ්නය.
Deleteලෝකයේ දියුනු රටවල් දියුනු වුනේ බදු අඩු කරල. බදු වැඩි කලේ දියුනු වුනාට පස්සෙ කියන එක තමයි මෙහි මූලික තර්කය.
Deleteඔය දියුන්නු රටවල් එකකවත් දියුනු වෙන කාලෙ හරි හමන් ටැක්ස් තිබුනෙ නැතිද?
ඇමරිකාවේ උපරිම ආදායම් බදු අනුපාතය
Delete1945- 94.0%
1955- 91.0%
1970 - 70.0%
1985 - 50%
2000 - 39.6%
2021 - 37.0%
මෙසේ පෙන්නුවත් එක දිගට අඩු වී නැහැ. රජයේ වියදම් වැඩි වන විට බදු වැඩි කර තිබෙනවා. ආර්ථිකය වර්ධනය කරන්න අවශ්‍ය වූ විට බදු අඩු කර තිබෙනවා.
කොහොම වුනත් ඔය කතාවේ යම් ඇත්තක් තිබෙනවා. රටවල් දියුණු වී තිබෙන්නේ කුඩා රජයක් තියෙද්දී. රටවල් දියුණු වෙද්දී රජයයන්ද විශාල වී තිබෙනවා. බදු අඩුවෙන් අය කර තිබෙන්නේ රජය කුඩා වූ නිසා මිස සල්ලි අච්චු ගසා විශාල රජයක් නඩත්තු කළ නිසා නොවේ.
ඇමෙරිකාවෙ 1945 ඒ තරම් ලොකු අගයක් වෙලා තියෙන්නෙ යුද්දෙ බලපෑම නිසාද?
Deleteමම හිතන්නේ යුද පිරිවැය නිසා ඉහළ ගිය රජයේ වියදම් ආදායම් බදු වැඩි කිරීම හරහා ආවරණය කර ගැනීමේ ගැනීමේ උත්සාහයක් තිබුණා කියා. බදු ප්‍රතිපත්ති ගැන මම ඒ තරම්ම හදාරලා නැහැ.
Delete