වෙබ් ලිපිනය:

Wednesday, October 30, 2019

සිදුරු ළිඳේ ඛේදවාචකය හා ඇපලෝ මානසිකත්වය


ඇපලෝ මානසිකත්වය කියන සංකල්පය ගැන මම මුලින්ම දැනගත්තේ අනූව දශකයේදී කොළඹ සරසවියේ පශ්චාත් උපාධි දේශනයකදී. දේශකයා විසින් විස්තර කළ ආකාරයට මෙය හැත්තෑව දශකයේ මුල් කාලයේ සංකල්පයක්.

අනූව දශකයේදී ගුවන් ප්‍රවේශපතක් මිල දී ගන්න අවශ්‍ය වූ බොහෝ දෙනෙක් එය කළේ ගුවන් ප්‍රවේශපත් නියෝජිතවරයෙකු හරහා. ලංකාවේ බොහෝ දෙනෙක් තවමත් ගුවන් ප්‍රවේශපත් නියෝජිතවරයින් හරහා ප්‍රවේශපත් මිල දී ගන්නවා. මමනම් පසුගිය වසර දහයක හෝ ඊටත් වැඩි කාලය ඇතුළත ගුවන් ප්‍රවේශපත් මිල දී ගෙන තිබෙන්නේ අන්තර්ජාලය හරහා පමණයි. එය පහසුයි වගේම ලාබයි.

ප්‍රයිස්ලයින්, කයාක් වගේ සමාගම් කාලයක සිට අන්තර්ජාලය හරහා ගුවන් ප්‍රවේශපත් විකුණනවා. ශ්‍රීලන්කන් ඇතුළු ගුවන් සමාගම්ද සෑහෙන කාලයක සිට මේ වැඩේ කරනවා. එහෙත්, ගුවන් සමාගම් ප්‍රමුඛතාවය දෙන්නේ තමන්ගේ හා හවුල්කාර ගුවන් සමාගම් වල ප්‍රවේශපත් විකිණීමට පමණක් නිසා එහි පහසුවක් මිස ලොකු ලාබයක් නැහැ. ප්‍රයිස්ලයින්, කයාක්  වගේ වෙබ් අඩවියකට ගිය විට ගුවන් සමාගම් විශාල ගණනක මිල ගණන් සසඳා බැලිය හැකියි. මෙවැනි අන්තර්ජාල වෙළඳාම් ප්‍රචලිත වෙන්න කලින් ගුවන් ප්‍රවේශපත් නියෝජිතවරයින් අතින් සිදු වුනෙත් ඔය කටයුත්තයි.

ගුවන් සමාගම් විසින් ප්‍රවේශපත් නිකුත් කිරීම ස්වයංකරණය කිරීම පටන් අරන් තියෙන්නේ හැටේ දශකයේදී වුවත් ගුවන් ප්‍රවේශපත් නියෝජිතවරයින්ට සෘජුවම ගුවන් සමාගමක් වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කරන්න හැකි වී තිබෙන්නේ 1976 සිටයි. ඒ යුනයිටඩ් ගුවන් සමාගම විසින් වැඩි දියුණු කළ ඇපලෝ ගුවන් ආසන වෙන් කිරීමේ පද්ධතිය භාවිතා කිරීමේ අවස්ථාව ගුවන් ප්‍රවේශපත් නියෝජිතයින්ටත් ලැබීමෙන් පසුවයි.

ඇපලෝ ගුවන් ආසන වෙන් කිරීමේ පද්ධතිය හා තවත් එවැනිම එකක් වූ ඇමරිකන් ගුවන් සමාගමේ සේබර් මධ්‍යම ආසන වෙන් කිරීමේ පද්ධතියත් හේතුවෙන් ඇමරිකන් හා යුනයිටඩ් ගුවන් සමාගම් වැඩි වැඩියෙන් ගුවන් මගීන් ආකර්ශනය කර ගනිමින් සිටිද්දී එයට ප්‍රතිචාරයක් ලෙස යුරෝපීය ගුවන් සමාගම් නවයක් එකතු වී 1987දී ගැලීලියෝ ගුවන් ආසන වෙන් කිරීමේ පද්ධතිය නිර්මාණය කරනවා. ඉන් පසුව, 1992දී ගැලීලියෝ හා ඇපලෝ පද්ධති එක පද්ධතියක් ලෙස සම්බන්ධ කෙරෙනවා. 2000 වසර වන විට ලෝකය පුරා අලෙවි වූ ගුවන් ප්‍රවේශපත් වලින් හතරෙන් එකක් පමණ අලෙවි වී තිබෙන්නේ මේ පද්ධතිය හරහා. මා ඉහත දේශනයට සවන් දෙන කාලයේ ලංකාවේ ගුවන් ප්‍රවේශපත් නියෝජිතයින් බොහෝ දෙනෙකු විසින්ද මේ ගැලීලියෝ/ඇපොලෝ පද්ධතිය භාවිතා කළා.

ලෝකයේ ගුවන් සමාගම් ගණනාවක් විසින් ලෝකය පුරා ඇති ගුවන් තොටුපොල ගණනාවක් අතර පවත්වාගෙන යන ගමන් වාර සම්බන්ධීකරණය කරමින් ලෝකය පුරා විසිරී සිටින ගුවන් ප්‍රවේශපත් නිකුත් කිරීමේ නියෝජිතයින් අති විශාල පිරිසක් විසින් එකම ආසනය දෙදෙනෙකුට නොවිකුණා සමාන්තරව ගුවන් ප්‍රවේශපත් විකිණීම අද තාක්ෂනය අනුව සරල දෙයක් වුවත් ඒ කාලයේ හැටියට සෑහෙන දෙයක්. මා සවන් දුන් දේශනයේදී කතා කළේ එවැනි සංකීර්ණ මෘදුකාංගයක් හදා තිබීම ගැනයි. දේශකයා විසින් ඇපොලෝ මානසිකත්වය කියන සංකල්පය ගැන කතා කළේ මේ හා අදාළවයි.

ඇපොලෝ මධ්‍යම ප්‍රවේශපත් වෙන් කිරීමේ පද්ධතිය වගේ ඉතා සංකීර්ණ මෘදුකාංගයක් සාර්ථකව හදන්න පුලුවන්නම්, ඊට වඩා ගොඩක් සරල මෘදුකාංගයක් හරියට හදා ගන්න බැරි ඇයි? ඔන්න ඕකයි ඇපොලෝ මානසිකත්වය.

මේ දේශනයේදී වැඩි බරක් තිබ්බේ ඇපොලෝ මධ්‍යම ප්‍රවේශපත් වෙන් කිරීමේ පද්ධතියට වුනත් ඔය සංකල්පය බිහි වෙලා තිබෙන්නේ ඇමරිකාවේ නාසා ආයතනයේ ඇපොලෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය හා අදාළවයි. සාර්ථක ව්‍යාපෘතියක් සේ බොහෝ දෙනෙක් සලකන ඇපොලෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය යටතේ මිනිසුන් ගණනාවක් හඳට ගියා. ඉතා සංකීර්ණ කටයුත්තක් වන මිනිහෙක් හඳට යැවීම සාර්ථකව කරන්න පුලුවන්නම් ඊට වඩා ගොඩක් සරල සූපිං වැඩ අනාගන්නේ ඇයි? ඔන්න ඇපොලෝ මානසිකත්වය.

ඔය දේශනයෙන් පස්සේ නැවත කවදාවත් අහන්න නොලැබුණු ඇපොලෝ මානසිකත්වය කියන අදහස නැවත මතක් වුනේ සුජිත් විල්සන් ඛේදවාචකයෙන් පසු බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාර දැකලයි. නමුත්, දැන් සොයා බැලු විට මේ සංකල්පය ගැන ගූගල් දෙයියාවත් දන්නේ නැහැ.

ඇපොලෝ මානසිකත්වය ගැන මා පෙර කී දේශකයා විසින් පැහැදිලි කරපු ආකාරයට මේ මානසිකත්වය නිවැරදි එකක් නෙමෙයි. ඇපොලෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය, ඇපොලෝ මධ්‍යම ප්‍රවේශපත් වෙන් කිරීමේ පද්ධතිය වගේ සංකීර්ණ ව්‍යාපෘති ඉතා සාර්ථකව අවසන් කරලා තිබෙන එක ඇත්ත. නමුත්, මෙවැන්නක් වෙන සූපිං වැඩක් එක්ක සංසන්දනය කිරීමේදී මේ ව්‍යාපෘති සඳහා ගත කළ කාලය, වැය කළ මුදල් කන්දරාව, සම්බන්ධ වූ මිනිස්සු ගණන ආදිය අපි පහසුවෙන් අමතක කරනවා. ඒ වගේම, මෙවැනි ව්‍යාපෘති කිහිපයක් සාර්ථක වෙද්දී එවැනිම සම්පත් ප්‍රමාණයක් යොදවා අසාර්ථක වූ ව්‍යාපෘතිත් අමතක කරනවා. ඔන්න ඇපොලෝ මානසිකත්වය.

දැන් අර දරුවා බේරගන්න බැරි වීම ගැන තිබෙන ප්‍රචලිත අදහසක් වන්නේ හඳට යන්න පුළුවන් ඉන්දියාවට අඩි අනූවක් යට හිර වී සිටි දරුවා බේරගන්න බැරි වුනා කියන එකයි. ඔතන තියෙන්නෙත් ඇපොලෝ මානසිකත්වය. සමහර සූපිං වැඩ (වගේ පෙනෙන වැඩ) ගොඩක් සංකීර්ණ වැඩ වලට වඩා අමාරුයි.

ඉන්දියාව හඳට යානයක් යැවුවා තමයි. නමුත්, ඒක දවස් දෙක තුනක් ඇතුළත සිදු වූ දෙයක් නෙමෙයි. චන්ද්‍රයාන්-2 ව්‍යාපෘතිය දශකයකට වැඩි කාලයක් තිස්සේ සිදු වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය වුනා වගේම විශාල පිරිසක් සම්බන්ධ වුනා. ඒ තරම් කාලයක් තිස්සේ සැලසුම් කරලත්, ඒ තරම් සම්පත් යොදවලත් අන්තිම මොහොතේදී අවුලක් වුනා. ඉන්දියාවට වික්‍රම් ලෑන්ඩරය සාර්ථක ලෙස හඳට ගොඩ බස්වන්න බැරිවුනා. එය කඩා වැටුණු බවයි සැලකෙන්නේ.

ඇමරිකාවේ අභ්‍යාවකාශ ව්‍යාපෘති ගත්තත් අසාර්ථක වූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. චැලෙන්ජර් ඛේදවාචකය මතක ඇතිනේ. ඔය ඇපලෝ-11 ව්‍යාපෘතියේ සාර්ථකත්වය ගැන වුවත් අවසන් මොහොත දක්වාම විශාල සැක සංකා තිබී තිබෙනවා.

සුජිත් විල්සන් සිදුරු ළිඳකට වැටී මිය ගිය එකම ඉන්දියානු දරුවා නෙමෙයි. පසුගිය වසර කිහිපය තුළම වුවත් ඉන්දියානු දරුවන් ගණනාවක් සිදුරු ලිං වලට වැටී මිය ගොස් තිබෙනවා. ඒ වගේම, තවත් දරුවන් ගණනාවක් මෙලෙස සිදුරු ලිං වලට වැටීමෙන් පසුව බේරාගෙන තිබෙනවා. ඇතැම් දරුවන් පණ පිටින් ගොඩට ගත්තත් පසුව රෝහලේදී මිය ගොස් තිබෙනවා. මේ සිද්ධිය විශේෂ වන්නේ එයට වැඩි මාධ්‍ය අවධානයක් ලැබීම නිසයි.

ඉන්දියාවේ ජනාධිපතිවරයාගේ සිට සාමාන්‍ය මිනිසුන් දක්වා විශාල පිරිසක් මේ සිද්ධියේදී තමන්ට කළ හැකි දේ කර තිබෙනවා. ඔවුන් හිතා මතා දරුවාට මැරෙන්න ඇර නැහැ. මෙවැනි තැනක හිර වූ දරුවෙකු ගොඩ ගැනීම හඳට යානයක් යැවීම හා සසඳා සූපිං වැඩක් කියා කියන්න බැහැ. එය සංකීර්ණ කටයුත්තක්. කිසියම් විශේෂඥතාවයක් ඇති අය දරුවා බේරා ගැනීමේ කටයුත්තට සම්බන්ධ වී තිබෙනවා. නමුත්, කාගේත් අවාසනාවට අවසානයේදී වැඩේ සාර්ථක වී නැහැ.

ලංකාවේත් බොහෝ දෙනෙක් මැතිවරණ ප්‍රතිඵලයක්, ක්‍රීඩා තරඟයක් නරඹන අයුරින් මේ දරුවා බේරා ගැනීමේ ක්‍රියාවලිය දෙස බලා සිට ඇති බව පේනවා. ඈත සිට වුවත් එසේ බලා සිටින තරමට බලා සිටින කෙනෙකුට වියදමක් යනවා. දත්ත වල මුදල් වියදම අමතක කළත්, මෙවැන්නක් වෙනුවෙන් යොදවන කාලයේ ආවස්ථික පිරිවැය විශාලයි. දරුවා බේරා ගැනීම පමා වෙන තරමට වියදම ඉහළ යනවා. මෙසේ ඈත සිට මෙවැනි දෙයක් නරඹන කෙනෙක් විසින් කරන්නේ ආයෝජනයක්. යමෙක් ආයෝජනයක් කරන්නේ ලාබයක් බලා ගෙනයි. මැතිවරණයකදීනම් ඒ ලාබය තමන් කැමති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ සතුට. ක්‍රීඩා තරඟයකදීනම් ඒ ලාබය තමන් කැමති කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ සතුට.

මැතිවරණයකදී හෝ ක්‍රීඩා තරඟයකදී නරඹන්නන් හැම දෙනෙකුගේම සතුට තිබෙන්නේ එකම තැනක නෙමෙයි. එක් එක් පුද්ගලයා තමන්ගේ කාලය ආයෝජනය කරන්නේ වෙනස් අපේක්ෂකයින් හෝ කණ්ඩායම් වෙනුවෙන්. ඒ නිසා, වැඩේ අවසන් වෙන්නේ කවුරු හෝ පිරිසකට ලාබයක් ලබා දෙමින්. නමුත්, මේ වගේ මානුෂික කරුණකදී තත්ත්වය වෙනස්. පැත්තක සිට බලා සිටින හැම දෙනෙක්ම බලා සිටින්නේ දරුවාව බේරා ගන්නා තුරුයි. දරුවාව බේරා ගන්න හැකි වුනානම් සියලු දෙනාටම වෙන්නේ වාසියක්. නමුත්, සිදු වුනේ එහි විලෝමයයි.

දරුවා බේරා ගැනීමේ මෙහෙයුම කල් ගන්නා තරමට පැත්තක සිට බලා ඉන්න අයගේ ආයෝජනය ඉහළ යනවා. දරුවාගේ ජීවිතයේ වටිනාකම තව තවත් වැඩි වෙනවා. කතාව කෙළවර වෙද්දී බලා සිටි සියල්ලන්ටම විශාල පාඩුවක් වෙලා. ඔවුන් සියල්ලන්ම මානසිකව කඩා වැටෙනවා. එයින් ගැලවෙන්න කවුරු හෝ වැරදිකරුවෙක් අවශ්‍යයි. ඇපොලෝ මානසිකත්වය එළියට එන්නේ ඒ පසුබිමේදී.

මේ දරුවා පහළට වැටී තිබෙන්නේ අඟල් කිහිපයක සිදුරක් ඇතුළෙන්. ඒ තුළින් වෙනත් අයෙකුට දරුවා වෙත යන්න බැහැ. දරුවා ඉන්නේ ඔහුව බේරා ගන්න උත්සාහ කරන අයට සහයෝගය දිය හැකි වයසක නෙමෙයි. කඹයක් දැම්මා කියා එය අල්ල ගන්නවත් ඔහුට තේරෙන්නේ නැහැ. ඒ වුනත් හිර වී සිටින්නේ පණ තියෙන දරුවෙක් නිසා පණ නැති දෙයක් වගේ දරුවාව ඇදලා ගන්නත් බැහැ. හිතහිතා ඉන්න ලොකු කාලයකුත් නැහැ. මේ වගේ වෙලාවක තිබෙන විකල්ප සීමිතයි. හඳට යානයක් යවද්දී වගේ ලොකු සැලසුම් හදන්න කාලයක් නැහැ.

දරුවා බේරා ගන්න යොදාගෙන තිබෙන ක්‍රම දෙකම මීට පෙර සාර්ථක වී තිබෙන ක්‍රම. නමුත්, අවාසනාවට මෙවර වැඩේ සාර්ථක වී නැහැ. මෙවැනි සිදුරු ළිඳක් හදන්නේ පොළොවේ මතුපිට පෘෂ්ඨය ඉතාම තද තැන් වලයි. මතුපිට තිබෙන පාෂාණයක් හෝ වෙනත් තද පසක් අඩි ගණනක් සිදුරු කළාට පස්සේ පහළ ස්ථරය ලිහිල් පස්. මේ සිද්ධියේ විශේෂත්වය වන්නේ මුලින් දරුවා අඩි 26ක් පමණ දුරකින් සිර වී සිටීමයි. දරුවා බේරා ගැනීම සඳහා යන්ත්‍ර මගින් සමාන්තර සිදුරු කැණීමට යාමේදී පස බුරුල් වී දරුවා පහළට වැටෙන්නට ඉඩ තිබීම ගැන දරුවා බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ අය මුලින් සැලකිලිමත් වී තිබෙනවා. පළමු ක්‍රමය යොදා ගෙන තිබෙන්නේ ඒ නිසයි. අදාළ උපාංගය නිර්මාණය කර තිබෙන පුද්ගලයාගේ දරුවෙකුත් මීට පෙර මෙවැනි සිදුරු ලිඳකට වැටී ගොඩ ගෙන තිබෙන්නේ ඉතා අසීරුවෙන්. ඔහු උපාංගය නිර්මාණය කර තිබෙන්නේ ඉන් පසුවයි. කෙසේ වුවත්, මෙහිදී අන්තිමේදී සිදු වී තිබෙන්නේ දරුවා තවත් පහළට වැටීමයි. සමාන්තර ළිං කැණීම කෙරෙහි යොමු වී තිබෙන්නේ ඉන් පසුවයි.

මේ සමාන්තර ලිං ක්‍රමය මීට පෙර වාර ගණනාවක් සාර්ථක වී ඇති ක්‍රමයක්. උඩ ඡායාරූපයේ දැකිය හැක්කේ මාස කිහිපයකට පෙර අඩි 60ක සිදුරු ළිඳකට වැටුණු හර්යානා ප්‍රාන්තයේ මාස 18ක දරුවෙකු මේ ක්‍රමයට පැය 47කට පසු බේරාගත් අවස්ථාවයි. ශල්‍යකර්මයකට භාජනය කෙරෙන ඇතැම් රෝගීන් මිය යන්නේ අදාළ වෛද්‍යවරයාගේ වරදක් නිසා නෙමෙයි. මෙහිදී සිදු වී තිබෙන්නේත් එවැන්නක්.

කොහොම වුවත් මේ ආකාරයට වසරකට දරුවන් ගණනක් සිදුරු ළිං වලට වැටීමනම් ප්‍රශ්නයක්. වැටෙන ළමයින් බේරා ගන්න උපකරණ හදනවාට වඩා වැදගත් වන්නේ මේ විදිහට ළමයින් සිදුරු ළිං වලට වැටෙන එක වලක්වා ගැනීමයි. ඒ වෙනුවෙන් නීති පවා පනවා ඇතත් එම නීති ක්‍රියාත්මක වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. නීති තිබුණත්, නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීම ලංකාව, ඉන්දියාව වැනි රටවල පොදු ප්‍රශ්නයක්.

කොහොම වුනත් මේ අනාරක්ෂිත අත් හැර දැමූ සිදුරු ළිං ගැන ආණ්ඩුවට දොස් කියන එක තේරුමක් නැහැ. ඔය වගේ වලවල් වහමින් ඉන්න එක ආණ්ඩුව විසින්ම කළ යුතු නැහැ. තමන්ගේ ළමයින් සෙල්ලම් කරන තැන් වල සිදු විය හැකි මෙවැනි අනතුරු ගැන සැලකිලිමත් වීම දෙමවුපියන්ගේ වගකීමක්. විශේෂයෙන්ම මෙවැනි අනතුරු දුලබ නැති වටපිටාවක. කොයි තරම් ගැඹුරු හා භයානක වුවත්, මෙවැනි ලිඳක මතුපිට සිදුර ඉතා කුඩා එකක්. තරමක ගලක් හෝ ලෑල්ලක් දමා මෙවැනි සිදුරක් වැසීම විනාඩි කිහිපයක වැඩක්. වැටක් ගහන්න වුවත් පුළුවන්. තමන්ගේ දරුවන්ගේ ජීවිතාරක්ෂාව ගැන සැලකිල්ලක් නැතිව, බල්ලෝ බළල්ලු මෙන් ඔහේ ළමයි හදන දෙමවුපියන් සිටීම අනාරක්ෂාකාරී සිදුරු ළිං වලටත් වඩා ප්‍රශ්නයක්.

අනිත් එක මේ වගේ දේවල් වෙන්නේ ඉන්දියාවේ විතරක් නෙමෙයි. පසුගිය දවස් වල ගම්පොළ පැත්තෙන් අතුරුදහන් වූ තරුණ ගුරුවරියගේ සිරුර දවස් කිහිපයකට පසු හමුවුනේ සැතපුම් ගණනක් ඈත ජලාශයකින්. ඇය පාර අයිනේ කාණුවකට වැටී මේ ඉරණම අත් වෙන්නට ඇති බව සඳහන්ව තිබුණා. ඒ කරුණ තහවුරු වී නැතත්, එම කාණු සිදුරටම වැටුණු වෙනත් තරුණියක් ජීවිතය බේරා ගෙන තිබෙන්නේ ඉතා අසීරුවෙන් බව වාර්තා වී තිබුණා. මේ වගේ දේවල් වලක්වා ගැනීමනම් රොකට් යවන තරම් අමාරු නැහැ.

9 comments:

  1. ඔ්කට කරන්න තිබුනේ පුංචි ද්‍රෝන යානයක් දෙමළ කොල්ලා හිරවෙලා හිටිය ලිඳට යවන්න. ඊට පස්සේ ඒක යොදාගෙන දෙමළ කොල්ලගේ ඇඟට කොකු හැකිතාක් ප්‍රමාණයක් අමුනන්න. ඊට පස්සේ කතරගම දේවාලේ දෙමෙල්ලු කටු ගහගෙන ඔන්චිලි පදිනවා වගේ මේ දෙමළ කොල්ලාව ප්‍රවේසමෙන් ඉහලට උස්සන්න.
    දෙමළ කොල්ලට රිදෙයි. ඒ වුනාට දෙමළ කොල්ලා මැරෙනවට වඩා හොඳයිනේ. ඔය විදියට තමයි සම්ප්‍රදාය සහ නවීනත්වය එක්කරලා ගැටළු විසඳන්නේ.

    ReplyDelete
    Replies
    1. අවුරුදු දෙකක ළමයෙක් තමන් දෙමළ හෝ ඉන්දියානු කියා දන්නේ නැහැ. යම් හෙයකින් ළමයෙක් තමන්ව එසේ හැඳින්වුවත් ඒ තේරුමක් ඇතුව කියන දෙයක් නෙමෙයි. ළමයෙක් ඉපදෙන කොටම අනන්‍යතා පැටවීම එසේ කරන අයගේ හා පොදුවේ සමාජයේ ප්‍රශ්නයක්.

      Delete
    2. මනුස්ස දරුවෙක් ලෙස දැකීමට නොහැකි වීම ගැන කනගාටු වෙමි.

      Delete
    3. ඉස්ලාමයට අනුව එයා ඉපදෙන්නේ මුස්ලිම මිනිහෙක් හැටියට. වැඩිහිටියෙන් වෙනකොට මිත්‍යා දෘෂ්ඨික වෙනවා. මෙයා 75% විතර මුස්ලිම් වෙන්න ඇති.

      ලාංකික දෙමල ජාතිවාදයයි. තමිල්නාඩු දෙමල ජාතිවාදයයි දෙකක්. එමනිසා මේ දෙමළ කොල්ලගේ මරනයෙන් සිංහලයට ඍජු වාසියක් නෑ.

      Delete
    4. //ළමයෙක් ඉපදෙන කොටම අනන්‍යතා පැටවීම එසේ කරන අයගේ හා පොදුවේ සමාජයේ ප්‍රශ්නයක්.//

      Delete
    5. ඉස්ලාමයට අනුව anthoniyo bahijata ඉපදෙන්නේ මුස්ලිම මිනිහෙක් හැටියට. වැඩිහිටියෙන් වෙනකොට anthoniyo bahijata මිත්‍යා දෘෂ්ඨික වුනා . anthoniyo bahijata 75% විතර මුස්ලිම්.

      හා හා හොරා වගේ හිටියට anthoniyo bahijata කොනකපාල නේද..

      Delete
  2. මුලින් කළ හැකි පුංචි දේවල් නොකිරීම නිසා නේද මෙවන් විපත් සිදුවෙන්නේ. මිනිස්සු හරි කැමතියි ලොකු වැඩවලට, පුංචි නමුත් පහසු- වඩා පලදායී දේවලට වඩා.

    ReplyDelete
  3. අර කියපු ආයෝජනයෙ සංකල්පය ඇත්ත. මාත් දවස් දෙකක් විතර බලාගෙන හිටියා මේ දරුවා ගොඩ ගනියි කියලා, ඒකට තියෙන ඉඩ කඩ කොච්චර අඩුද කියලා දැන දැනත්... මට තවමත් හිත හදාගන්න බෑ, මම ඒ දරුවගෙ තත්ත්වයෙ - ඒ වයසෙ හිටියනම්... මම මොකද කරන්නෙ කියල හිතෙනව...

    ReplyDelete
  4. වල ඇතුලේ හිරවෙලා ඉන්න දරුවාගේ ඡයාරුපය දැක්කාම ඇතිවුනේ කියා ගන්න බැරි සිතුවිලි ගොඩාක් හිතට නැගුණා. මගේ දරුවෙක්ට මෙහෙම උනොත් කියලා හිතුනා. අපරික්ෂාකාරි මිනිසුන් හින්දා කොපමණ වේදනාකාරි මරණයක්ද ඒ නොදරුවාට අත්වුනේ කියලා හිතුනා. ඉන් පසුව මුහුනු පොතේ හා අන්තර්ජාලයේ සංසරනය වෙච්චි ඒ ඡුයාරුපය දිහාවත් බැලුවේ නෑ.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...