වෙබ් ලිපිනය:

Thursday, December 27, 2018

තෙල් මිල හා සංරක්ෂණවාදය

තෙල් මිල තව දුරටත් අඩු වෙමින් පවතිනවා. WTI බොරතෙල් බැරලයක මිල දැන් ටිකකට පෙර බලන විට තිබුණේ ඩොලර් 45 මට්ටමටත් පහළින්. සඳුදා දවස අවසන් වෙද්දී ඩොලර් 42.53 දක්වා මිල අඩු වී තිබුණා. මීට පෙර 2016 මුලදීත් මේ වගේම තෙල් මිල අඩු වුනා. ඒ අවස්ථාවේදී ඩොලර් 30 මට්ටමෙනුත් පහළට තෙල් මිල වැටුණා.

දැනට වසර දහයකට පමණ පෙර, 2008 මැද හරියේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 150 ආසන්නයටම ගියා. ඉන්පසුව මාස හත අටක් ඇතුළත ඩොලර් 30 ආසන්නයටම අඩු වුණා. මෙයට සමාන්තරව ඇමරිකාවේ ආර්ථිකයත් කඩා වැටුණා. කඩා වැටුණා කියා කිවුවත් ඇත්තටම වුනේ ධනවාදී ආර්ථිකයක චක්‍රීය ලෙස සිදුවන විචලනයක එක් පැත්තක් දකින්න ලැබීමයි. ආර්ථික අවපාතයට හේතු වුනේ තෙල් මිල පහළ වැටීම නෙමෙයි. නමුත්, තෙල් මිල පහළ වැටෙන්න ඇමරිකාවේ ආර්ථික අවපාතය හේතු වූ බව කීමේ වරදක් නැහැ.

සියළු දර්ශක වලින් පෙන්වන්නේ ඇමරිකාවේ ඊළඟ ආර්ථික අවපාතය වැඩි ඈතක නොවන බවයි. ලබන වසරේ හෝ ඊළඟ වසරේ ඇමරිකාවේ ඊළඟ ආර්ථික අවපාතය දැකිය හැකි වනු ඇතැයි බොහෝ ඇමරිකානුවන්, විශේෂයෙන්ම ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අය, විශ්වාස කරනවා. නමුත්, එය සිදුවන මොහොත හරියටම කීමට කිසිවෙකුට නොහැකියි.

ලංකාව හෙජිං ගණුදෙනුවලට ගිහිං විශාල පාඩුවක් ලැබුවේ පෙර කී 2008 මැද කාලයේදී. ඒ වන විට පැවති තත්ත්වයන් යටතේ තෙල් මිල එකවර මේ තරම්ම පහත වැටෙයි කියන එක පුරෝකථනය කිරීම පහසු කටයුත්තක් වුණේ නැහැ. තෙල් මිල ඩොලර් 200ක් පමණ වුනොත් ලංකාවට සිදු විය හැකි බලපෑම ගැන, හේතු සහගතව, ඇතැම් අය කණස්සල්ලෙන් හිටියා.

මේ කියන දවස් වල නිදහස් වෙළඳපොළ ගැන විශාල විශ්වාසයක් තැබූ, ලංකාවේ දැනටත් ජීවත් වන හා සමාජයේ ක්‍රියාකාරීව සිටින, ආර්ථික විද්‍යා චින්තකයෙකුයැයි හැඳින්විය හැකි පුද්ගලයෙකු මේ ගැන දැක්වූයේ හාත්පසින්ම වෙනස් මතයක්. නිදහස් වෙළඳපොල ක්‍රියාකාරීත්වය ගැන අද තිබෙන අවබෝධය හා විශ්වාසය ඒ වන විට මට තිබුණේ නැහැ.

ඔහු කීවේ තෙල් මිල එසේ දිගින් දිගටම වැඩි වෙන්න හේතුවක් නැති බවයි. බොහෝ දෙනෙකුගේ තර්ක වල පදනම වූ සම්පත් ක්ෂය වී අවසන් වීම කියන අදහස ඔහු විශ්වාසයෙන් යුතුව බැහැර කළා. "නියම මිල" දක්වා මිල ඉහළ යාමෙන් පසුව ගැඹුරු සාගර වල පතුළෙන් හෝ ඉන්ධන ලබා ගැනෙනු ඇති බව ඔහුගේ අදහස වුණා. මෙයට උදාහරණ ඉදිරිපත් කරමින් මීට පෙර විශාල ලෙස තෙල් මිල ඉහළ ගිය අවස්ථා බොහොමයකදීම තෙල් කැනීමේ තාක්ෂණයේ විප්ලවීය වෙනසක් සිදුවී තිබෙන බව ඔහු පෙන්වා දුන්නා. මේ කියන පුද්ගලයා ආර්ථික විද්‍යා සිද්ධාන්ත මත විශ්වාසය තබන්නෙක් වගේම ඉතිහාසය මැනවින් දන්නා දැනුමෙන් සන්නද්ධ පුද්ගලයෙක්.

පෙට්‍රෝලියම් ඉන්ධන අවසන් වීම කියන එක 1980 දශයටත් පෙර සිට කතා කෙරුණු කරුණක්. මා කනිෂ්ඨ පංතියක ඉගෙනුම ලබමින් සිටියදී විද්‍යාව ප්‍රශ්න පත්‍රයක පළමු ප්‍රශ්නය ඉදිරිපත් කර තිබුණේ 2020 පමණ වන විට ලෝකයේ පෙට්‍රෝලියම් ඉන්ධන අවසන් වන්නේය යන පදනමේ සිටයි. ඇමරිකාවේ මට්ටමටම ලෝකයේ සියල්ලන්ගේ ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීම කිසිදා කළ නොහැක්කක් බව දශක කිහිපයකට පමණ පෙර ලංකාවේ දේශපාලනඥයෙකු විසින් ගණන් හදා ඔප්පු කර පෙන්වූ බව මතකයි. ඔහුගේ තර්කය වූයේ, මතක හැටියට එවකට ඒක පුද්ගල ආදායම ඩොලර් 25,000ක් පමණ වූ ඇමරිකානුවෙකුගේ ජීවන මට්ටම ලෝකයේ සියල්ලන්ටම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන තරමට පෙට්‍රෝලියම් ඉන්ධන සංචිත පෘථිවිය මත නොමැති බවයි.

මේ වගේ දේවල් ගණිතයෙන් "ඔප්පු කර" පෙන්වන්න පුළුවන්. හරියට මුස්ලිමුන් ලංකාවේ බහුතරය වන දවස ගණනය කර පෙන්විය හැකි අයුරින්ම. නමුත්, ආර්ථික විද්‍යාව හෝ ජනවිකාශ විද්‍යාව හා අදාළ කරුණක් තනිකරම ගණිතය පමණක් යොදාගෙන පැහැදිලි කරන්නට යාම තනිකරම තර්කනය මත පදනම්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පැහැදිලි කරන්න යනවා වගේ වැඩක්. ගණිතය කියන්නේ ආර්ථික විද්‍යාඥයින් හා ජනවිකාශ විද්‍යාඥයින් විසින් උපයෝගී කරගන්නා එක් මෙවලමක් පමණයි. තර්කනය කියන්නේත් නීති විෂයේදී යොදා ගන්නා එක් මෙවලමක් පමණයි. කිසියම් ස්වභාවික විද්‍යාවක් කාලයක් තිස්සේ හැදෑරු අය පමණක් නෙමෙයි එවැන්නක් මත පදනම් වූ තාක්ෂණ විෂයයක් කාලයක් හැදෑරු අය පවා මුලින්ම ස්වභාවික විද්‍යා තේරුම් ගන්න උත්සාහ කරන්නේ ඔය විදිහට තමන්ට පහසුවෙන් භාවිතා කළ හැකි මෙවලමක උපකාරයෙන්. ඒ ක්‍රමය සාර්ථක වන්නේ සීමිත තත්ත්වයන් යටතේදී පමණයි.

මේ වන විට ඇමරිකානුවෙකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 59,500ක් පමණ වෙනවා. ඉන්දියාව හා චීනය වැනි ලෝකයේ ජනගහණ කේන්ද්‍ර වල ඒක පුද්ගල ආදායම් කිහිප ගුණයකින් ඉහළ ගිහින්. මේ හේතු නිසා ලෝකයේ ඉන්ධන භාවිතය හා ඉන්ධන ඉල්ලුමත් විශාල ලෙස වැඩි වී තිබෙනවා. නමුත්, දශක කිහිපයකට පෙර ඇතැම් අය විසින් පුරෝකථනය කළ පරිදි ලෝකයේ ඉන්ධන සංචිත ක්ෂය වී ගොස් නැහැ. ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ ලෝකයේ "ප්‍රයෝජනයට ගත හැකි" ඉන්ධන සංචිත ප්‍රමාණය එන්න එන්නම වැඩි වීමයි. සංරක්ෂණවාදය මුළුමනින්ම බැහැර කළ යුතු අදහසක් නොවූවත්, ඒ ඔස්සේ ඕනෑවට වඩා දුර ගිය විට එය අන්තවාදයක් බවට පත් වෙනවා.

සෑම වසරක් පාසාම භාවිතයට ගෙන අවසන් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩියෙන් අළුත් ඉන්ධන සංචිත හොයා ගැනෙනවා. මෙය කරන්නේ ඇමරිකාව හෝ වෙනත් බටහිර රටවල් විසින් නෙමෙයි. නිදහස් වෙළඳපොළේ "අදිසි හස්තය" විසිනුයි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් නිදහස් වෙළඳපොළේ අදිසි හස්තයට ක්‍රියාත්මක වීමට තිබෙන බාධා අවම මට්ටමක තබා ගනිමින් මේ කටයුත්තට දායක වී තිබෙනවා.


ටික දෙනෙකු විසින් පාලනය කළ ලෝක තෙල් වෙළඳපොළ මේ වන විට ක්‍රමයෙන් නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හමුවේ පරාජය වෙමින් පවතිනවා. ඒ නිසා, ඉදිරි දශක වලදී තෙල් සම්පත් වලින් දිගින් දිගටම ලාබ ලැබූ රටවලට කලින් සෙල්ලම් දමන්න පහසු වෙන්නේ නැහැ.

ලෝකයේ ඇතැම් රටවල් වල තෙල් නිධි වලින් තෙල් බැරලයක් ගොඩගන්න ඩොලර් දහයක්වත් යන්නේ නැහැ. නිෂ්පාදන වියදම ඒ තරම් අඩු තෙල් බැරලයක් ඩොලර් 150 කිට්ටු මිලකට විකිනුණේ කොහොමද?

බටහිර රටවල් වල සමාගම් අධික ලාභ ඉපැයීම ගැනත්, අඩු ආදායම් ලබන පර්යන්තයේ රටවල පාරිභෝගිකයින්ව ගසා කෑමත් ගැන උදේ හවා කතා කරන කිසි කෙනෙක් තෙල් නිපදවන රටවල් තෙල් වලින් කරන ගසාකෑම ගැන කවදාවත් කතා කරනු මා දැක නැහැ.

තෙල් මිල කෘතීම ලෙස ඉහළින් තබාගෙන තෙල් නිපදවන රටවල් විසින් අධික ලාභ ලැබීම එම රටවල් විසින් සැලසුම් සහගතව කාලයක් තිස්සේ කළ, තවමත් කරන වැඩක්. ඉතා ඉක්මණින් වෙනස් වන්නට නියමිත දෙයක් වුවත්, අද වන විටත් ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය දුවන්නේ ආනයනික ඉන්ධන මතයි. පසුගිය කාලය මුළුල්ලේම ලෝක තෙල් අපනයනකරුවන් වූයේ සමාජවාදී රටවල් හා මැදපෙරදිග රටවල්. මේ රටවල් වල මිල හා නිෂ්පාදනය තීරණය වුණේ තනි පුද්ගලයෙකුගේ හෝ කල්ලියකගේ තීරණ මත මිස නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය මත නෙමෙයි.

ලෝක තෙල් මිල වරින් වර විශාල ලෙස ඉහළ යන්න හේතු වුනේ තෙල් නිපදවූ රටවල් විසින් කෘතීම ලෙස පවත්වාගත් නිෂ්පාදන සීමාවන් බව රහසක් නෙමෙයි. ඇමරිකානු නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය නොවන්නට, 2008 මැදදී ලංකාවේ ඇතැම් අය පුරෝකථනය කළ පරිදි බොරතෙල් බැරලයක මිල ඩොලර් 200ට නෙමෙයි ඊටත් වඩා ඉහළට වුවත් යා හැකිව තිබුණා. නමුත්, ලංකාවේ හෝ ඉන්ධන ආනයනය කරන අනෙක් රටවල මිනිස්සු මේ නිෂ්පාදන සීමා ඉවත් කර සාධාරණ මිලකට ඉන්ධන විකුණන්න කියා පෙළපාලි ගියේ නැහැ. විරෝධතා දැක්වූයේ නැහැ.

පෘථිවිය මත ඉන්ධන අවසන් වී මිනිස් ශිෂ්ඨාචාරයද බිඳ වැටෙනු ඇතැයි යන බිය ඇතැම් විට තෙල් සැපයුම සීමා කිරීමේ ප්‍රයත්න සාධාරණීකරණය කර හිතීම පහසු කරන්න ඇති. එහෙම නැත්නම්, හානිය බටහිර රටවලටය කියා සිතීමෙන් ලැබුණු සතුට නිසා තමන්ට වන පාඩුව අමතක වෙන්න ඇති. හේතුව මොකක් වුනත් ලංකාව වගේ රටවල් විසින් කාලයක් තිස්සෙම කළේ, කිසිදු විරෝධයක් නොදක්වා, ඉන්ධන වෙනුවෙන් එහි නිෂ්පාදන පිරිවැයට වඩා ගොඩක් වැඩි මිලක් තෙල් නිපදවන රටවලට ගෙවන එකයි.

කෙනෙක්ට මෙතැනදී ඉන්ධන දැවීම නිසා ඇතිවනවාය කියන පරිසර ප්‍රශ්න ගැන මතක් කරන්න පුළුවන්. එවැනි ප්‍රශ්න තිබෙනවා. හානියේ පිරිවැය හානිය වලක්වාගැනීමේ පිරිවැය ඉක්මවන මොහොතේ නිදහස් වෙළඳපොළේ අදිසි හස්තය ඒ ප්‍රශ්නත් විසඳයි. ඒ ගැන දැන්ම ඕනෑවට වඩා බය වෙන්න දෙයක් නැහැ.

සමහර විට ලංකාව වගේ රටවල සංරක්ෂණවාදී අදහස් අහම්බෙන් ඇති වුනා නොවෙන්නත් පුළුවන්. ඉන්ධන අවසන් වනවා කියන අදහස පැතිරවීම මගින් ඉන්ධන අපනයනය කළ රටවලට සැපයුම සීමා කර ලංකාව වගේ රටවල වියදමෙන් විශාල ලාබ ලැබිය හැකි වුනා. ඒ නිසා එසේ කිරීම යුක්තියුක්ත කරන දාර්ශනික පදනමක් ජනප්‍රිය කරන්න ඒ රටවලට උවමනාවක් නොතිබුණා වෙන්න බැහැ. ලංකාවේ පෙළපොත් සකස් කළ "උගතුන්" හරහා පාසැල් සිසුන් වූ අප වෙත සංරක්ෂණවාදී අදහස් කාන්දු වුනේ කොහොමද කියා හිතද්දී ඒ නිසා නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට ඉඩ නොදී තෙල් වෙළඳාමෙන් අධික ලාබ ලබන්න ඇතැම් රටවලට ඉඩ ලැබුණු බවත් අමතක කරන්න බැහැ.

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මේකේ අනික් පැත්ත තමයි ඉන්දියාව, ලංකාව වැනි රටවල තෙල් භාවිතයේ කාර්‍යක්ෂමතාවය. සියළු රජයේ වාහන එක සමාගමක් යටතට ගෙන Uber යොදාගන්න තාක්ෂණය වැන්නක් භාවිතයෙන් ඉන්ධන පමණක් නොව වාහන ආනයන වියදමත් විශාල ලෙස අඩුකරගන්න පුළුවන්. එමෙන්ම දුම් රිය, බස් නැවතුම් ස්ථාන විශාල කාර්යාල සන වෙලඳ මධ්‍යස්ථාන බවට පත්කිරීමෙන් සහ මධ්‍යම පාන්තික නිවාස රැකියා බහුල ප්‍රදේශ වල ඉදිකිරීමෙනුත් ප්‍රවාහන ඉල්ලුම අඩුකරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඉයන්, ඔයවගේ යෝජනා බැලූ බැල්මට හොඳයි වගේම හරිම ආකර්ෂණීය පාටයි, හැබැයි දශක ගාණක් තිස්සේ අහල තියෙන, දිගින් දිගටම අසාර්ථක හා ප්‍රතික්ෂේප වී තිබෙන අදහස් මිස අලුත් කිසිවක් ඔතැන නැහැ නේද ඉයන්?

      අපේ ඉලක්කය ඔයිට වෙනස්, 2020 මැතිවරණයට ජවිපෙ සූදානම් වන්නේ පීඩාවට පත් සියලු ජනතා බලවේගයන් එක් මධ්‍යස්ථානයක් වටා පෙළගැස්වීම වගේම මේ රට ගොඩනැගීම පිළිබඳ අපගේ වැඩපිළිවෙළ ජනතාව තුළ පුළුල් සංවාදයට ලක්කිරීම තුළින් 2020දී අපේ බලාපොරොත්තුව හුදු ආණ්ඩු මාරුවක් වෙනුවට පුළුල් සමාජ ආර්ථික මතවාදයක් හා බලවේගයක් ගොඩනැගීමයි. එහෙයින් ප්‍රෝඩාකාරී අන්ත දූෂිත රාජපක්ෂ කල්ලිය වැනි සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂවලට තවදුරටත් රැවටිය නොහැකි ජනතාවක් ඒ වනවිට ගොඩනැගී තිබේවි.

      ජනතාව ඉදිරියේ තැබිය හැකි වඩා ප්‍රායෝගික පුළුල් ආර්ථික සැලැස්මක් ජවිපෙට තිබේ.පසුගිය සෑම මැතිවරණයකදීම අනෙක් පක්ෂ හුදු පොරොන්දු මැතිවරණ ප‍්‍රකාශන ඉදිරිපත් කරන විට අප විසින් රට ගොඩනැගීම සඳහා වූ අපේ ආර්ථික සැලැස්ම ඉදිරිපත් කළා. අපේ රටේ ස්වභාවික සම්පත්, මානව සම්පත්, අපගේ භූගෝලීය පිහිටීම සහ ලෝකයේ ඇතිවී තිබෙන නව ආර්ථික ප‍්‍රවණතාවයන් සැලකිල්ලට ගත් ශක්තිමත් ආර්ථික සැලැස්මක් අපට තිබෙනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව අත්පත් කරගත් මහා තාක්ෂණ පරිවර්තනයන් අපේ රට උකහා ගෙන නැහැ. අප නිර්මාණය කරන්නේ, දැනට පවතින පසුපසු වැටී ගාටන රට වෙනුවට ලෝක ආර්ථිකයේ චලනයන් සමග ඉදිරියට යන රටක්.

      අප විශ්වාස කරන ලෙස ජවිපෙ විප්ලවවාදී පක්ෂයක් නිසා සමාජවාදී ක‍්‍රමවේදයක් ඔස්සේ ආර්ථික සැලසුම් ඉදිරිපත් කරන්නේ අප පක්ෂයේ නිර්මාතෘ රෝහන විජේවීර සහෝදරයා කිවුවා වගේම රුසියානු සපත්තුව අපට ලොකු වැඩි වගෙම චීන සපත්තුව අපට පොඩි වැඩි නිසා අප නිර්මාණය කර ගත යුත්තේ අපේම වූ ආර්ථික සැලැස්මක්. එය අප බලය ගන්නා මොහොතේ පවතින ලෝක ආර්ථික චලනයන් තාර්කිකව තේරුම් ගනිමින් ඊට මුහුණ දෙන අපටම අන්‍යන්‍ය වූ ආර්ථික සැලැස්මක්.

      ජවිපෙ ඉදිරිපත් කරන ආර්ථික සැලසුම් තුළ අපගේ පොදු ප‍්‍රතිපත්තිය වන්නේ අප බලය ගන්නා මොහොතේදී පවතින තත්වය අනුව තීරණ ගනිමින් රටේ සෑම ආයතනයක්, ව්‍යාපෘතියක් පිළිබඳවම විධිමත් සමාලෝචනයක් සිදු කර එම ආයතන/ ව්‍යාපෘති පවතින්නේ, කවර මට්ටමක යන්න අනුව සමහර ආයතන/ ව්‍යාපෘති ඒ ආකාරයෙන්ම පවතින්නට දෙන අතර තවත් සමහර ඒවා වෙනස්කම්වලට භාජනය කිරීමට සිදුවනු ඇති. තවත් ඒවා මුළුමනින්ම විසුරුවීමට/ නතර කර දැමීමට සිදුවනු ඇති.

      අන්ත දූෂිත මිනීමරු අශික්ෂිත රාජපක්ෂ පල් හොර කල්ලිය අපේ රටේ මුග්ධ අදහසක් හදන්න හදනවා, හොරකම් කළාට කමක් නැහැ පාරවල් හැදුවනේ කියලා. මේවා ජනතාවගේ සල්ලි. ඒවා හොරා කාලා ඔවුන් ඉවත්වුණත් ජනතාව ඒවා තමත් ගෙවනවා. අප ජනතාවගෙන් ඈත් වූ කොමිස් කොන්ක‍්‍රීට් වනාන්තර ගොඩනැගීමේ සංකල්පයෙන් ඉවත්වී ජනතාවගේ ජීවිතය සමග සම්බන්ධ වූ සංවර්ධන උපාය මාර්ගයක් සකස් කරනවා. එහිදී ප‍්‍රමුඛතාවය වන්නේ, වර්තමානයේ මෙන් ඇමතිවරුන් හොරාකන කොමිස් මුදලේ ප‍්‍රමාණය නොව අදාල දේවල් කෙතරම් බහුතර දුප්පත් සාමන්‍ය පොදු ජනතාවට අවශ්‍යද යන්න පමණයි.

      එජාප මැතිවරණ වේදිකාවේදී “සමාජ ද්‍රෝහීන්” “අපරාධකරුවන්” යැයි කියූ අයට තවම දඬුවම් ලැබී නැහැ. ජවිපෙ බලයට පත්වුවහොත් එවැන්නන්ට දඬුවම් දීමක් නිසැකවම සිදු කරමින් නීතියේ හා විධානයේ ආධිපත්‍යය යළි ප‍්‍රතිස්ථාපනය කළ යුතුයි. දැන් පවතින්නේ, ධනවත් බලවත් අයට ක‍්‍රියාත්මක නොවෙන, දුප්පත් දුර්වල අසරණ අයට ක‍්‍රියාත්මක වන නීතියක්. සැබෑ ලෙසම යුක්තිය පසිඳලන නීති පද්ධතියක් අපි ස්ථාපිත කරනවා. එහිදී දැන් බේරී සිටින කිසිදු අපරාධකරුවෙකුට හෝ වංචනිකයෙකුට ගැලවීමක් නැහැ. දඬුවම් දීම ඉතා ඉක්මනින් මෙන්ම දැනට පවතින ලාමක දියාරු දඬුවම් ඉවත් කර බරපතල දැඩි දඬුවම් දිය යුතුමයි.

      පසුගිය 2005 -2015 වනචර දශකයේ එවැනි අපරාධ වංචා සිදුකළ අමනයින් පිළිබඳ අප රටේ ජනතාවගෙන් බහුතරයක් පුරවැසියන් දඬුවම් හා සාධාරණ නඩු විභාග බලාපොරොත්තු වන නමුත් වර්තමාන ක‍්‍රියාදාමය තුළ ඔවුන් අකර්මණ්‍ය කොට අධෛර්යයට පත් කොට තිබෙනවා. මේ මොහොතේදීද ඔවුන් විශ්වාසය තබන්නේ අප කෙරෙහියි. ඉදිරිපත් කොට ඇති වැඩිම පැමිණිලි ප‍්‍රමාණය අපෙන් වීමෙන් මේ බව ඒ්ත්තු යනවා. ඒ නිසා අපේ පාලනයක් තුළ යුක්තිය හා සාධාරණය අපේක්ෂාවෙන් ජනතාව ප‍්‍රබෝධයෙන් යුතුව ඉදිරියට ඒවි. එම පුළුල් පෙරමුණ මගින් ඔවැනි බහුබූත විකාර අදහස් ඉවත දමා රටට සැබෑ ලෙස අවශ්‍ය වන්නේ කුමක්දැයි තීරණය කර ක්‍රියාත්මක කරන බවට ජවිපෙ නායකයින් ස්ථිරසාරව සහතික කර තිබෙනවා.

      Delete
    2. //ජනතාව ඉදිරියේ තැබිය හැකි වඩා ප්‍රායෝගික පුළුල් ආර්ථික සැලැස්මක් ජවිපෙට තිබේ.//
      ඇනෝ, ඕක අන්තර්ජාලයේ කොහේ හරි තියෙනවනම් ලින්ක් එකක් දමන්න පුලුවන්ද?

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...