Tuesday, December 25, 2018
ජාතිකවාදය සහ පුද්ගලවාදය
මගේ බ්ලොග් එක මුල සිටම වගේ නිතිපතා කියවන හා බොහෝ විට ප්‍රතිචාර දක්වන අයෙක් ලෙස ජගත් පතිරණ හැඳින්විය හැකියි. මා ඔහුව පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. අඩු වශයෙන් මේ නම සැබෑ නමක්ද කියාවත් මා දන්නේ නැහැ. එය අදාළ දෙයක්ද නෙමෙයි. පහත උපුටා දක්වන්නේ පසුගිය ලිපියට ජගත් විසින් දමා තිබෙන ප්‍රතිචාරයක කොටසක්.
"මැතිවරණ වලදී දේශපාලනඥයන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැනවත්, හොරු ඇල්ලීම ගැනවත් නොසිතා සිංහල ජාතියට වාසිවන්නේ නම් ඕනෑම දූෂිත දේශපාලනඥයෙකුට කතිරය ගැසීමට සිංහලයින් නොපැකිලිය යුතුයි."
ඉහත මතය මා විසින් ප්‍රවර්ධනය කරන මතයට පටහැනි බව කිව යුතු නැහැ. නමුත්, ඉතා පැහැදිළිවම ජගත් කියන්නේ මේ මතය දරන එකම පුද්ගලයා නෙමෙයි. ඔහු මේ මතය හෝ එයට කිට්ටු මතයක් දරන විශාල පිරිසකගේ ප්‍රකාශකයෙක්. ජගත් කරන්නේ සෘජුව හා නොපැකිළ ඒ මතය වෙනුවෙන් පෙනී සිටීමයි. ඔහු ඒ මතය දැරීමේ හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීමේ කිසිදු වැරැද්දක් ඇතැයි මා සිතන්නේ නැහැ.
ජගත් මෙන්ම, තමන්ගේ ජාතික හෝ ආගමික අනන්‍යතාවයට මුල් තැන දෙමින් කටයුතු කරන, සිංහල හෝ බෞද්ධ නොවන වෙනත් කණ්ඩායම්ද ලංකාවේ සිටිනවා. ලංකාවෙන් පිට වෙනත් රටවලත් සිටිනවා. ට්‍රම්ප්ගේ "මේක් ඇමරිකා ග්‍රේට් එගේන්" කියන උද්‍යෝග පාඨයට ආකර්ශනය වන ගොඩක් අයත් එවැනි අය.
ජගත් මහින්දවාදියෙකු ලෙස මා හඳුන්වන්නේ නැහැ. එහෙත්, මේ මොහොතේ ඔහු මහින්ද ඇතුළු කණ්ඩායම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවක් ඉහත පාඨයෙන් හැඟී යනවා. තමන් මහින්දවාදියෙකු නොවන බව සෘජුවම කියන නලින් ද සිල්වා මහින්ද වෙනුවෙන් පෙනී සිටින්නේත් මෙවැනි පදනමක සිට වෙන්න පුළුවන්.
මහින්දවාදීන් හා ජාතිකවාදීන් කියන්නේ අනන්‍ය කණ්ඩායම් දෙකක් නෙමෙයි. නමුත්, මහින්දලාගේ දේශපාලන ව්‍යාපෘතීන් වෙනුවෙන් මතවාදී සහායක් පළ කරන අය අතර ජාතිකවාදීන් කැපී පෙනෙනවා. ඒ නිසා, බොහෝ මහින්ද විරෝධීන් මේ කණ්ඩායම් දෙක අනන්‍ය ලෙස දකිනවා.
ඇත්තටම කියනවානම් මහින්දලාගේ දේශපාලන ව්‍යාපෘතීන් පිටුපස හඳුනාගත හැකි තරම් විශේෂ දේශපාලන මතවාදයක් නැහැ. එය එක්තරා සංස්කෘතියක්. එහි ලක්ෂණ වෙනත් අය විසින් විස්තර කර තිබෙනවා. රනිල්ට පෙර පැවති එජාපයත් එවැන්නක්. නමුත්, රනිල්ගෙන් පසුව එජාපයට දේශපාලන මතවාදයක් තිබෙනවා. එය එජාපයේ බල ව්‍යාපෘතීන් පවා යටපත් කර දමන්න තරම් ප්‍රබලයි. නමුත්, මහින්දවාදීන්ට බලය ලබා ගැනීම හා පවත්වා ගැනීම වෙනුවෙන් අත හැරිය නොහැකි ප්‍රබල මතවාද කිසිවක් නැහැ.
පසුගිය දින පණහේ කාලාන්තරය මහින්ද වෙනුවෙන් දේශපාලන තලයේදී පෙනී සිටි කණ්ඩායම් අතර වූ විෂමතාවයන් හඳුනාගැනීම පහසු කළ කාලයක්. මහින්ද පාර්ශ්වය විසින් බලය ලබාගැනීමට හා පවත්වා ගැනීමට ගත් උත්සාහයන් හමුවේ එම පාර්ශ්වයට සහයෝගය දක්වන කණ්ඩායම් අතර බෙදුම් ඉරි ගණනාවක් ඇඳුනා. නාගරික හා අර්ධ නාගරික උගත් පිරිස්, විශේෂයෙන්ම වෘත්තීයවේදීන් අතර, සිටි ඇතැම් මහින්දවාදී පිරිස් මහින්ද-මෛත්‍රී එකතුවේ දින පණහේ ක්‍රීඩාව අනුමත කළේ නැහැ.
මෙය විශේෂයෙන්ම කැපී පෙනුනේ සිදුවූ දේ ගැන වැඩි අවබෝධයක් තිබුණු නීති වෘත්තියේ නියැලෙන්නන් අතරයි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඒ බව පිටතට නොපෙන්වන්න ප්‍රවේශම් වීම වෙනම කරුණක්. මහින්දට වූ පක්ෂපාතීත්වය හේතුවෙන් මේ ඇතැම් අය අදහස් පළ නොකරමින් නිහඬව සිටිනු පෙනුණා. මහින්දලාගෙන් සෘජුව පෞද්ගලික වාසි ලැබූ ටික දෙනෙක් මහින්දලාව යුක්තියුක්ත කිරීමට මොනවා හෝ තර්ක ඉදිරිපත් කරන්න උත්සුක වුනා. නීතිය ගැන වැඩි දැනුමක් නැති අය ඒ තර්ක වලට රැවටුණා.
මහින්දලාගෙන් සෘජු වාසි ලැබූ හෝ වාසි අපේක්ෂා කළ මහින්දවාදීන්ට අමතරව ඔවුන්ට වාසිදායක මතවාදී පසුබිමක් හදන්න උත්සාහ කළ අය අතර නලින් ද සිල්වා හා වෙනත් ජාතිකවාදීන් කැපී පෙනුණා. එසේ කරන්න හේතු වෙන්න ඇත්තේ උඩ ජගත් පතිරණ විසින් සෘජුව ලියා ඇති කරුණ වෙන්න පුළුවන්. මේ අනුව, පළමුව, ආර්ථික ස්ථාවරත්වය හා නීතියේ ආධිපත්‍යය ආදී කරුණු වලට වඩා රට ඇතුළේ තමන්ගේ සංස්කෘතික ආධිපත්‍යය පවත්වා ගන්න ඉඩක් ලබා ගැනීම වැදගත්යැයි මේ අය හිතනවා. දෙවනුව, මහින්ද රාජපක්ෂ බලයට පත් කර ගැනීම පළමු කරුණට පිටිවහලක් වනු ඇතැයි ඔවුන් සිතනවා.
ඉහත පළමු කරුණේදී ජගත් පතිරණගේ මතය සමඟ එකඟ වූ බොහෝ දෙනෙක් දෙවන කරුණේදීත් ඔහු හා එකඟ වූ බව පෙනෙන්නට තිබුණා. ඒ වගේම, ඉහත පළමු කරුණේදී ජගත් පතිරණගේ මතය සමඟ එකඟ නො වූ, මහින්දලාගේ දින පණහේ ක්‍රියාවලිය අනුමත නොකළ, බොහෝ දෙනෙක්ද දෙවන කරුණේදී ඔහුගේ මතය හා එකඟ වූ බව පැහැදිලියි. පැහැදිලිව දෙපැත්තක සිටි මේ කණ්ඩායම් දෙකෙන්ම වෙනස් ස්වාධීන මත ඉදිරිපත් කළ ටික දෙනෙක් අතරින් එක් අයෙක් ලෙස දර්ශන කස්තුරිරත්න හැඳින්විය හැකියි. ඔහු "සිංහල ජාතියට වාසි ලබා ගැනීම" හා "මහින්ද රාජපක්ෂව නැවත කවර ආකාරයකින් හෝ බලයට පත් කර ගැනීම" කියන කරුණු දෙක අනන්‍ය සේ නොදුටු ටික දෙනෙක්ගෙන් එක් අයෙක්.
පහුගිය කාලයේ සිදු වූ දේවල් පිටුපස තිබෙන්නට ඉඩ තිබෙන ගේම් ගැන හිතද්දී ඒ ගේම් සැලසුම් කළ අය මහින්දවාදය හා ජාතිකවාදය අතර වූ සම්බන්ධයේ ස්වභාවය පිළිබඳව අවධානය යොමු කර තිබෙන බව පැහැදිලියි. ඒ සම්බන්ධයේ ස්වභාවය තවම ලොකුවට වෙනස් වෙලා නොතිබීමත්, ගේම් කාරයින්ගේ ගේම් තවමත් ඉවර වී නොතිබීමත් සැලකූ විට සිදු වූ දේ හා සිදු විය හැකි දේ ගැන විශ්ලේෂණය කරන්න දර්ශන කස්තුරිරත්නගේ ලිපිය හොඳ ප්‍රවේශයක් සපයනවා. ලිපිය පහත තිබෙනවා.
ජාතිකවාදය සහ පුද්ගලවාදය
(Image: https://www.colombotelegraph.com/index.php/the-mystery-of-the-second-wave-of-sinhala-ethnic-nationalism/)
Labels:
ජාතිකවාදය,
දේශපාලන අර්බුදය,
දේශපාලනය,
පුද්ගලවාදය,
මහින්ද රාජපක්ෂ
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
සිංහලයෙක් නම් මුල් තැන දිය යුත්තේ සදාකල් රට නොබෙදී පැවතීමටයි. ඒකට හේතුව1920 ගණන් වල ඉන්දියාවේ පටන් ගත් දමිල රටක් ඇතිකිරීමේ ව්‍යාපෘතිය 2009 එල්ටීටීයී පරාජයෙන් පසුවත් අවසන් වී නොතිබීමයි.
ReplyDeleteදෙවන ලෝක යුද්ධයෙන් පසු රටක් කඩා තව රටක් ඇතිකිරීම් වලට සහයෝගය දුන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන්. කොසොවෝ රාජ්‍ය දකුනු සුඩානය වගේ දේවල් ඇතිවෙන්න බටහිර රටවල් සන එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලිකත්වයක් ගත්තා.
අපේ රට බේර ගන්න ඕනනම් අපි කලයුත්තේ බෙදුම් වාදීන් ඇමෙරිකාව සහ බටහිර රටවල ඔඩොක්කුවට තල්ලු නොකිරීමයි. ඒ සඳහා අපි ඔවුන් සමඟ ඔවුන්ගේ පැත්තේ සිටිය යුතුයි. එසේ කිරීමට රට සහ නායකත්වය බටහිර රටවල් සහ ඉන්දියාව සමඟ හොඳින් සිටිය යුතුයි. සමහර දේශපාලකයින් බටහිර විරොධීන් ලෙස පෙනී සිටින්නේ රටට ජාතියට ආදරය කරන ජනයාගේ ඡන්දය මංකොල්ල කා ගැනීමටයි. ඔවුන් එයින් දිනනවාට අමතරව ඔවුන් ඇතිකරන බටහිර විරෝධය නිසා බෙදුම්වාදීන් ප්‍රයෝජන ගන්නවා. එවන් දේවල් වලින් බෙදුම්වාදීන්ට බටහිර රටවලට කිට්ටු වීමට ඉඩ සැලසීමක් වෙනවා කියන එක තේරුම් ගත යුතුයි. උදාහරණයකට සුඩානය දෙකට කැඩීමට දකුණු සුඩාන බෙදුම්වාදීන් යුධ අපරාධ විෂයය භාවිතා කල විදිහ අධ්‍යයනය කල යුතුයි. දමිල බෙදුම්වාදීන් එම ක්‍රමය කොපි කරමින් බොහෙ දුරක් ආවත් එය නැවතුනේ 2015 ජනවාරි 8 වෙනසෙන් පසුවයි.
තෙල් නැති, වෙනත් ලෝකයට අත්‍යවශ්‍යම දෙයක් නොසාදන, එමෙන්ම විශාලත්වයෙන් කුඩා රටකට නොබෙදී පරිස්සම් වීමට බෙදුම්වාදය උඩ ගෙඩි දෙන රටවල හොඳ පැත්තේ සිටීම අත්‍යවශ්‍ය කාරණයක් කියන එක නොතේරෙන සිංහලයන් සිටින තාක් සහ රටට ආදරය කරන මිනිසුන් නොමඟ අරිමින් බලය ලබාගන්නට තතනන හොරුන් දේශපාලනයේ සිටින තාක් රට දෙකඩ වීමේ අවධානම එහෙමමයි.
රාමායන කතාවේ විභීශණ චරිතය ගැන දෙවිදියකට හිතන්න පුළුවන්.
Delete1.විභීශණ යනු බල කාමය වෙනුවෙන් සහෝදරයා පාවාදුන් ද්‍රෝහියෙක්.
2. යුද්දෙන් පැරදිලා හනුමාට අයිතිවෙන්න ගිය රට රාවණා පරම්පරාවටම අයිතිකරදුන් සුක්ෂම රාජ්‍යතාන්ත්‍රිකයෙක්.
ඔය විදියටම රනිල් ගැනත් දෙවිදියකටම හිතන්න පුළුවන්. නමුත් මට තියෙන ගැටළුව ඇයි එහෙනම් රනිල් ඉන්දියාවත් එක්ක සේවා ගිවිසුම් ගහන්න උත්සාහ කරන්නේ. එයාට කරන්න තියෙන්නේ ලංකාව තුල නිදහස් වෙළඳපොලක් ඇතිකිරීමයි.
රට නොබෙදී තබා ගැනීමට අමතරව, "ඇංග්ලිකන් ක්‍රිස්තියානි ශ්‍රී ලංකාව" "සිංහල ශ්‍රී ලංකාවක්" කරගැනීම සහ ඉන්දියාවේ අර්ධ යටත් විජිතයක් නොකිරීමත් සිංහලයන්ට වැදගත්.
Delete//මට තියෙන ගැටළුව ඇයි එහෙනම් රනිල් ඉන්දියාවත් එක්ක සේවා ගිවිසුම් ගහන්න උත්සාහ කරන්නේ. එයාට කරන්න තියෙන්නේ ලංකාව තුල නිදහස් වෙළඳපොලක් ඇතිකිරීමයි.//
Deleteමේකනම් වැදගත් කරුණක්. මම පෙනී සිටින්නේ කුඩා රජයක් වෙනුවෙන්. නමුත්, එයින් අදහස් වන්නේ රජය සතු සම්පත් විදේශිකයින්ට විකුණා නිදහස් විය යුතු බව නෙමෙයි. සිදුවිය යුත්තේ දේශීය ව්‍යවසායකයින් බිහිවී රජය විසින් කරන වාණිජ කටයුතු ඔවුන් අතට පත්වීමයි. ලංකාවේ පුද්ගලීකරණ සංකල්පය කියා ක්‍රියාත්මක වෙන්නෙත්, මේ හා අදාළ සංවාදය කැරකෙන්නේත් රජය කුඩා කිරීම හා රාජ්‍ය සම්පත් විදේශිකයින්ට විකිණීම යන කරුණු දෙකම එකට ගනිමිනුයි. මෙයින් විදේශ සමාගම් වලට රට තුළ ක්‍රියාත්මක වීමට බාධා කළ යුතු බව අදහස් වෙන්නේ නැහැ. නමුත්, පෞද්ගලීකරණය කියන හැම විටකම වගේ වෙන්නේ රජය සතු දෙයක අයිතිය වෙනත් රටක සමාගමකට ලැබෙන එකනම් එහි අවුලක් තියෙනවා. මෙතැනදී මතුවන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ විදේශ ව්‍යවසායකයින් හා තරඟ කර අකාර්යක්ෂම රාජ්‍ය සම්පත් මිල දී ගත හැකි දේශීය ව්‍යාපාරික පන්තියක් බිහි වී නැත්තේ ඇයි කියන එකයි. එයට මූලික හේතුවත් විශාල රාජ්‍ය යාන්ත්‍රනයම තමයි. දෙවන හේතුව රජයේ අයවැය හිඟය හා එහි ප්‍රතිඵලයක් ලෙස ණය පොලී අනුපාතික ඉහළ මට්ටමක තිබීම. එය පසුපස රටේ බැංකු පද්ධතියේ අකාර්යක්ෂමතාවය තියෙනවා. ඒ ගැන කතා කරද්දී නැවත ආපසු එන්න වෙන්නේ රාජ්‍ය බැංකු වල අකාර්යක්ෂමතාවයට. අනික් පැත්තෙන් කාලයක් තිස්සේ වාමාංශික පක්ෂ විසින් ලංකාවේ මිනිස්සුන්ගේ ඔලු වලට දමල තියෙන ධනපති විරෝධයත් අළුත් ව්‍යවසායකයින් බිහිවීම අධෛර්යමත් කරනවා. විශේෂ වාසි ලබා දී කෘතීම ලෙස අකාර්යක්ෂම දේශීය පුද්ගලික ව්‍යවසායයන් නඩත්තු කිරීමත් විසඳුමක් නෙමෙයි. ප්‍රධාන තැන ලැබෙන්න ඕනෑ රට ඇතුළේ තරඟකාරී නිදහස් වෙළඳපොළවල් ඇති කර ගැනීමටයි. අසල්වැසි ඉන්දියාව ගත්තොත් එය තවමත් ඒක පුද්ගල ආදායම අතින් ලංකාවට වඩා පසුපසින් සිටින රටක්. ඒ කියන්නේ ඉන්දියානු ශ්‍රමය වඩා ලාබයි. එසේනම් ඉන්දියාවට වඩා ලංකාවේ ප්‍රාග්ධනය ලාබ විය යුතුයි. නමුත්, ලංකාවේ ප්‍රාග්ධනය ඉන්දියාවට යන්නේ නැහැ. ලංකාව බලාගෙන ඉන්නේ ඉන්දියාවේ ප්‍රාග්ධනය ලංකාවට ලැබෙන තුරුයි. ඒ වගේම ඉන්දියාවේ ලාබ ශ්‍රමය ලබාගන්න ලංකාව කැමති නැහැ. එහි තිබෙන්නේ සංස්කෘතික ප්‍රශ්නයක්. මේ තත්ත්වයන් වෙනස් නොවන තුරු ගිවිසුම් තිබුණත් නොතිබුණත් වාසිය ඉන්දියාවටයි.
ස්තූතියි ජගත්. ඔබ මම කියපු දේට පැහැදිලි ප්‍රතිතර්කයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔබට සුභ පතනවා.
DeleteEcon , wud like to read your views on what I originally said, rather than going on with the deflection attempted by the the first response.
Deleteඔබ අහන නිසා ලියන්නේ- මෙය මගේ පෞද්ගලික මතයක් පමණක් මිස න්‍යායාත්මක හෝ ශාස්ත්‍රීය කරුණක් නෙමෙයි. ඔබ ලියා තියන දෙයට මම සම්පූර්ණයෙන් එකඟ නැහැ. පළමුව, බටහිර රටවල් වෙනත් රටවල් බෙදීම වෙනුවෙන් පෙනී සිටිනවා වැනි අදහසක් ඔබේ ප්‍රතිචාරයෙන් ගම්‍ය වෙනවා. මේ හා අදාළ වෙනත් අයගේ ප්‍රතිචාරත් මම දැක තිබෙනවා. එක් ප්‍රවාදයක් වන්නේ ලංකාව කැඩීමට බටහිර රටවල් උත්සාහ කරන බවත්, එසේ කරන්නේ දෙවනුව ඉන්දියාව කෑලි වලට කැඩීමේ උවමනාව නිසාත් බව. පවතින භූ-දේශපාලනික තත්ත්වයන් යටතේ බටහිර රටවලට එවැනි උවමනාවක් තිබිය හැකියැයි මම හිතන්නේ නැහැ. ක්‍රමයෙන් ලෝක බලවතෙකු වන චීනය හමුවේ, බටහිර රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ප්‍රබල ඉන්දියාවක් තිබීම එම රටවලට වාසියි. ඒ නිසා, දෙවනුව ඉන්දියාව කැඩීමේ අරමුණින් බටහිර රටවල් ලංකාව කඩන්න උදවු කරන්න හේතුවක් මම දකින්නේ නැහැ. තවත් තර්කයක් වන්නේ යුද්ධය අවසන් කිරීම ගැන බටහිර රටවලට ලංකාව සමග තරහක් තිබෙන බවයි. මේ ආකාරයෙන් පෙර වූ දේවල් ගැන තරහ හිතේ තබාගෙන සිට පසුව පලිගැනීම ලංකාවේ ක්‍රමය මිස බටහිර ක්‍රමය නෙමෙයි. ඔවුන් ගිය දේ අමතක කර දමනවා. හැම වෙලාවෙම බලන්නේ අනාගත වාසිය දෙසයි. ඒ නිසා, මේ තර්කයත් දුර්වල තර්කයක්. නමුත්, බටහිර රටවල් කියපු දේ නොඇසූ නිසා කවර හෝ දඬුවමක් නොදුන්නොත් වෙනත් රටවලුත් ඒ අයුරින්ම කටයුතු කරන්න ඉඩ තිබීම ගැන ඔවුන් හිතනවා කියන එක තර්කානුකූලයි. ඒ වගේම, ඔබේ උදාහරණ වල ඇති ආකාරයේ ඇතැම් අවස්ථා වලදී බටහිර රටවල් අළුත් රටවල් බිහිකරන්න උදවු කර තිබෙනවා.
Deleteඊළඟ කරුණ බටහිර රටවල් ලංකාවේ බෙදුම්වාදීන්ට උදවු කරන්න ඉඩ තිබෙන නිසා ඔවුන් සමඟ සහයෝගයෙන් සිටිය යුතු බව. බටහිර රටවල් සමඟ සහයෝගයෙන් සිටිය යුතු වුවත්, ඔබ කියන හේතුව නිසා, ඕනෑම කොන්දේසියක් යටතේ ලංකාව බටහිර රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි කියා මම හිතන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් එහි කෙළවරක් නැහැ. පොදු වශයෙන් බැලුවොත් පර්යන්ත රටවල ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය හා නිදහස් වෙළඳාම වෙනුවෙන් බටහිර රටවල් පෙනී සිටිනවා. ඒ රටවල රජයයන් අවංකවම එසේ පෙනී නොසිටින අවස්ථා වලදී පවා සාමාන්‍ය මිනිසුන් එසේ පෙනී සිටින නිසා රජයයන්ට අඩු වශයෙන් ප්‍රසිද්ධියේ හෝ එසේ පෙනී සිටින්න වෙනවා. බටහිර රටවල් කිවුවත් නොකිවුවත් ඒ දේවල් රටකට හොඳයි. එයට අමතරව ඒ දේවල් පවත්වා ගන්නා තරමට බටහිර රටකින් ප්‍රශ්න එන්න ඉඩකඩ අඩුයි.
බටහිර රටක් ලංකාව වගේ රටකට මැදිහත් වෙන සීමාවක් තිබෙනවා. දැන් පසුගිය දින 50 ගත්තත් ඔවුන් හැම දෙයම කළේ රාජ්‍යතාන්ත්‍රික සීමාව ඇතුළේ සිටයි. යම් හෙයකින් මහින්ද බලය තහවුරු කරගත්තනම් ඔහු හා කටයුතු කිරීම අසීරු වන දුරකට කිසිදු බටහිර රටක් ගියේ නැහැ. එය ඒ රටවල ක්‍රමය. යුද්ධයේ අන්තිම කාලයේ වුවත් මැදිහත් නොවුණේ ඔවුන්ට එසේ කරන්න ඇත්තටම උවමනාවක් නොතිබුණු නිසා මිස රැවටුණු නිසා නෙමෙයි. ඔවුන් තර්ජන වලින් එහාට ගොස් ප්‍රායෝගික ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන්නේ සුවිශේෂී තත්ත්වයන් යටතේදී පමණයි. එවැනි තත්ත්වයන් වලක්වාගන්න කළ යුත්තේ රට ඇතුළේ ප්‍රශ්න සියළු පාර්ශ්ව සමඟ සහයෝගයෙන් රට ඇතුළෙම විසඳා ගැනීමයි. ඒ නිසා, මම වැදගත් සේ සලකන්නේ රට ඇතුළේ සුළුතර කණ්ඩායම් සියල්ල රාජ්‍ය යාන්ත්‍රනයට බද්ධව තබා ගැනීමයි. එයත්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය හා නිදහස් වෙළඳාම යන කරුණුත් ඉටු වේනම් බටහිර රටවල් ගැන වද වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම බටහිර බලපෑම් තිබුනත් නොතිබුනත් රටේ ප්‍රගතිය සඳහා මේ දේවල් අවශ්‍යයි.
'මගේ බ්ලොග් එක මුල සිටම වගේ නිතිපතා කියවන හා බොහෝ විට ප්‍රතිචාර දක්වන අයෙක් ලෙස ජගත් පතිරණ හැඳින්විය හැකියි. මා ඔහුව පෞද්ගලිකව හඳුනන්නේ නැහැ. අඩු වශයෙන් මේ නම සැබෑ නමක්ද කියාවත් මා දන්නේ නැහැ. එය අදාළ දෙයක්ද නෙමෙයි. පහත උපුටා දක්වන්නේ පසුගිය ලිපියට ජගත් විසින් දමා තිබෙන ප්‍රතිචාරයක කොටසක්.'
Deleteමුට කියන්නේ ජංගි ජගත් කියලා. පුදුමයි ඉකොනෝ, මු කවුද කියලා නොදන්නා එක. ඊයක් එවන්නම් මුගේ පින්තුර එක්ක විස්තර ටික ඉකොනෝට.
බොහොම ස්තූතියි ඉකොන්. බටහිරට ඉන්දියාව කාලි වලට කැඩීමට වුවමනාවක් අද තිබෙනවා යැයි මම හිතන්නේ නැහැ. සමහර විට ශීතල යුද්ධ සමයේ එවන්නනක් තිබෙන්නට ඇති. ඉන්දියාව සමඟ සහයෝගයෙන් සිටීම සහ බටහිර රටවල් සමඟ සහයෝගයෙන් සිටීම වශයෙන් මම සඳහන් කලේ දෙකක්.
Delete2015 ජනවාරි 8 ට පෙර යුධ අපරාධ පරීක්ෂණයක් සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හරහා යෝජනා සම්මත වෙමින් තිබුණ බව ඔබත් දන්නවා ඇති. ඒවා එක විටම නවතින්නට හේතුව කුමක්ද? එම හේතුව නම් බටහිර විරෝධී වෙස් මුහුනක් පැලඳගෙන සිටි රාජපක්ෂ පාලනය අවසන් වීම. දකුණු සුඩානය බිහිවූ ආකාරය කියෙව්වොත් Darfur සිද්ධිය හරහා මානව හිමිකම් කවුන්සිලයේ පරීක්ෂණ සහ ඉන්පසුව එක්සත් ජාතීන් ගේ සංවිධානය පැවැත්වූ ජනමත විචාරණය තමයි සුඩානය දකුනු සුඩානය ලෙස දෙකට කැඩීමට හේතුව. දමිල බෙදුම්වාදය යනු එල්ටීටීයී සංවිධානය නම් එම බෙදුම්වාදය යුද්ධයෙන් පසු අවසන් විය යුතුයි. එසේ අවසන් නොවී යුධ අපරාධ පරීක්ෂණ ඉල්ලමින් ගියේ කවුද? ඒ දෙමල බෙදුම්වාදීන්. ඔවුන්ට මානව හිමිකම් කවුන්සිලයෙන් අවශ්‍ය දේ කරගැනීමට බටහිර රටවල් උදව් කලා.
රුසියාව සහ චීනය ශීතල යුද්ධ කාලයෙන් පසුව රටවල් බෙදීමට දායක වුනේ නැහැ. ඇමෙරිකාව සහ බටහිර රටවල් ඊශ්‍රායලය ඇතිකිරීමේ සිට දකුණු සුඩානය දක්වා රටවල් 6 ක් පමණ බෙදීමට හවුල් වී තිබෙනවා. දමිල බෙදුම්වාදීන්ටත් ඇමෙරිකාව සහ බටහිර රටවල් වල සහයෝගය නැතිව ලංකාව දෙකඩ කිරීමට බැහැ. එමනිසා බටහිර රටවලින් ගේම ඉල්ලන්න යන්නේ නැතිව ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩකිරීමට ශ්‍රී ලංකා රජයයන් ක්‍රියා කල යුතුයි යන්න එක දෙයක්.
ඉන්දියාව සමඟ සහයෝගයෙන් සිටීම අපිට වැදගත් වෙනවා. ශීතල යුද්ධ සමයේ ඉන්දියාව සෝවියට් දේශය සමඟ ඔව්න්ගේ ආර්ථික ක්‍රමය 1991 වෙනතුරු ක්‍රියාත්මක කලා. 1977 විවෘත ආර්ථික ක්‍රමය සහ ඉන්දියන් විරෝධී රජය නිසා ඉන්දියාව ත්‍රස්තවාදී සංවිධාන පුහුණුකර ආයුධ දුන්නා. එල්ටීටීයී එක ඉන්දියන් හමුදාවට අවනත නොවීම සහ රජීව් ගාන්ධි ඝාතනය සිදුවන තෙක්. ඉන්පසුව 2009 යුද්ධයේදී ජාත්‍යන්තර මැදිහත්වීමක් වලක්වා දුන්නේ ඉන්දියාවයි. අනාගතයේ හෝ ජාත්‍යන්තර මැදිහත්වීම් සිදුවීම් නතර කර ගැනීමට ඉන්දියාවේ සහයෝගය අවශ්‍යයි. ජාත්‍යන්තර තලයේ ලංකාවට කල හැකි දේ සීමා සහිතයි. ඒඅතර විශාල දමිල ජනගහනයක් ඉන්දියාවේ වෙසෙනවා. එම කරුනු සලකා බලා අපි ඉන්දියාව සමඟ එරෙහිවාදී ක්‍රමයකට යා නො යුතියි.
හදවතින් නොව ඔළුවෙන් කල්පනා කිරීමෙන් ලංකාව නොකැඩී හෝ තවත් යුද්ධයක් හෝ එවන් ප්‍රශ්ණයක් ඇති නොවී සිටිය හැකි බවයි මම කියන්නේ.
පුදුමයි, ඇයි මේ ලිපියට තවම ප්‍රතිචාර අඩු? ඒවායෙනුත් ගොඩක් පැති අනාවරණය වෙනවානේ.
ReplyDeleteහොරු ඇල්ලීම ගැන සහ ආර්ථිකය ගැන කියවන්නේ රනිල් විතරක්ම නෙමෙයි. මහින්ද සහ ඔහුගේ සහචරයන් පසුගිය මාසේ කතා පවත්වද්දී වැඩිපුරම කතා කලේ එජාපෙ යටතේ ආර්ථිකය විනාශවුන හැටි සහ තමන් ආර්ථිකය ගොඩදාන ආකාරය ගැනයි.
ReplyDeleteඒ විතරක් නෙමෙයි, මුස්ලිම් වරු කියන්නේ පැරනි ක්‍රමයට වර්ග කලොත් වෙළඳ කුලයක්.
නමුත් ඔවුන් චන්දේ දෙන්නේ ආර්ථික ප්‍රතිපත්ති සලකලා නෙමෙයි. ඔවුන් සිංහල මිනිස්සුත් එක්ක දේශපාලනය ගැන කතා කරනකොට ආර්ථිකය ගැන කියවන අයුරු දැකගන්න පුළුවන්
ඔය කවුරුත් ආර්ථිකය ගැන කියවන්නේ සිංහලයන්ව අන්දන්න. සිංහල අය මෙව්වට අහුවෙන්න එපා. මම කිසිම දේශපාලනඥයෙක් හොඳයි කියන්නේ නෑ. සිංහලජාතියට හිතකරයැයි තමන්ට හිතෙන දේශපාලඥයන්ට මනාපය දෙන්න. ප්‍රධා පක්ුශ දෙක ඇතුලෙම පක්ශ දේශපාලනය ඉක්මවා කටයුතු කරණ සිංහල කණ්ඩායම් දෙකක් තිබීම වඩා හොඳයි.
ඉකොනොමැට්ටා ඔබතුමා ඇමරිකාවේ ග්‍රීන් කාඩ් ලාබි ඇමරිකාවේ වෙසෙන පුරවැසියෙක්ද නැතහොත් ලංකාවේ දැනට වාසයකරන ලංකික පුරවැසියෙක්ද එසේනොමතිනම් ද්විත්වපුරවැසියෙක්ද
ReplyDeleteජගත් පතිරන බ්ලොග් අවකාශයෙ විශේෂ කෙනෙක්. මමත් ඔහු අදුරන්නෙ නෑ. මට හිතෙන විදියට ඔහු නොසගවා තම මතය ගෙඩිය පිටින්ම කියල දාන කෙනෙක්. මම ඔහුගෙ සමහර අදහස් වලට එකඟයි තවත් සමහර අදහස් වලට එකඟ නෑ. අන්තවාදීන් බ්ලොග් ලිව්වත් ඔවුන් වචන එලියට දාන්නෙ පරිස්සමෙන්.ජගත්ට යම් අසාධාරනයක් පේනව ඒක ගැන අප්‍රසාදය එහෙමම වචනවලට පෙරලනාව්. ඒකට කමක් නෑ ඒක ජගත්ගෙ අනන්‍යතාවය.
ReplyDeleteමේකෙ කොමෙන්ට් කියෙව්ව. ඉයන් ගෙ අදහස් එක්කනම් සීයට සීයක්ම එකඟයි. මම මේ ගැන වෙනම පෝස්ට් එකකුත් දැම්ම. ඇත්තටම අපි උපයෝගිතාවාදීන් විය යුතුයි. අද තියෙන යථාර්ථය තමා බටහිර රටවල් තමා ලෝකෙ රන් කරන්නෙ. ඉන්දියාව හා ඇමරිකාව තරහකරගෙන අපට යන්න පුලුවන් ගමනක් නෑ. මේවන විට ඉන්දියාව හා ඇමරිකාව එකම කදවුරේ ඉන්න එක අපට වාසියි. මේ යෝධයන් බෙදුම්වාදීන්ගෙ පැත්ත ගත්තොත් අපට කරන්න කිසිම දෙයක් නෑ. අපි දැක්ක ජේ ආර් ගෙ කාලෙ ඉන්දියාව කරපු බාධා කිරීම්. අපට ඒව නොතකා හරින්න බෑ. අපට යහතින් ඉන්න පුලුවන් පොලවෙ පයගහල හිටියොත්. ඉන්ද්බියාව බංග වේව ඇමරිකාව බංග වේව කියල ලිප්ටන් වටරවුමෙ කෑ ගහල වැඩක් නෑ.
අපි මේ යථාර්ථයෙන් පිට පනින තාක් කල් වාසි බෙදුම්වාදීන්ට. අපිට පුලුවන්නම් බටහිරට පෙන්වන්න අපි ඒ අයගෙ නියම මිතුරන් .ඒ අයට අපියි වඩා ප්‍රයෝජනවත් කියල. ඔය මානව හිමිකම් චෝදනා මොකුත් නෑ. බටහිරට එරෙහිව අපට උදවු කරන්න කෙනෙක් නෑ කියල තේරුම් ගන්නවනම් හොදා.