Tuesday, December 18, 2018
ප්‍රජාතන්ත්‍රවාදය, බහුතරය හා කූඹියෝ
පසුගිය කාලයේ ජනප්‍රිය වූ කූඹියෝ ටෙලි නාට්‍යය කතා කරන්න බොහෝ දේ ඉතිරි කළ නාට්‍යයක්. එය එසේ ජනප්‍රිය වෙන්න විවිධ හේතු බලපෑවා. ඒ ඇතැම් දේවල් ගැන වෙනත් බොහෝ තැන්වල වගේම මේ බ්ලොග් එකේත් කතා කර තිබෙනවා. නමුත්, දන්නා තරමින් කොතැනක හෝ කතා නොකෙරුණු දේවලුත් තිබෙනවා. එයින් එක් වැදගත් දෙයක් වන්නේ ඒ හරහා ජනගත කළ දාර්ශනික පදනමයි. මෙසේ කීමෙන් අදාළ කතාවේ තිර රචකයින් විසින් එවැන්නක් හිතාමතා කළ බව අප කියන්නේ නැහැ. ඔවුන් ඇතැම් විට එවැනි පැත්තක් ගැන සිතා නොතිබුණා වෙන්නත් පුළුවන්.
කූඹියෝ දර්ශනවාදයට අනුව අප ජීවත් වන ලෝකය කිසියම් දක්ෂ සැලසුම්කරුවෙක් විසින් සැලසුම් කළ ලෝකයක්. ඒ ලෝකයේ ජීවත් වන අනෙකුත් සියලු දෙනාම ඒ සැලසුම්කරුවාගේ තිර පිටපත අනුව රඟපාන අය පමණයි. නමුත්, ඒ බොහෝ දෙනෙක් තමන් කරන්නේ වෙනත් අයෙකුගේ සැලසුමක් ක්‍රියාත්මක කිරීම බව දන්නෙවත් නැහැ. ඔවුන් ඔවුන්ට සාපේක්ෂව හිතාමතා ස්වාධීන තීරණ ගන්නවා. නමුත්, ඒ තීරණ හරහා ඇත්තටම වෙන්නේ කලින් සැලසුම් කර තිබෙන පිටපතේ තිබෙන දේ ක්‍රියාත්මක වීමයි. වෙනත් අයුරකින් කිවුවොත් අර මහමොළකරුට හැර වෙනත් කිසිවෙකුට ඇත්තටම ස්වාධීනත්වයක් නැහැ. නමුත්, ඒ බව නොදන්නා නිසා තමන්ට ස්වාධීනත්වයක් තිබෙන බව හිතා සතුටු වෙන්න පුළුවන්. නිර්මාණවාදී ආගම් පසුපස තිබෙන දර්ශනවාදයත් ඔය වගේ එකක්.
නිර්මාණවාදී ආගම් වලට අනුව ලෝකය හා මිනිසුන් මැවූ නිර්මාණකරුගේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ දාර්ශනික අදහස වැරදියි කියා තර්කනයෙන් ඔප්පු කර පෙන්වන්න අමාරුයි. පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ උත්සාහයෙන් කිසියම් සිදුවිය හැකිව තිබුණු දෙයක් වෙනස් කර ගත හැකි වූ බව යමෙකුට කියන්න පුළුවන්. නමුත්, ඒ පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම විසින් එසේ කළේත් නිර්මාණකරු විසින් සැලසුම් කර තිබුණු පරිදි නොවන බව එයින් කියැවෙන්නේ නැහැ.
ඇතැම් දේවල් සිදුවන්නේ කාගේ හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බව සිතන අය ඉන්නවා. ඉහත කී ආකාරයේ කතා වලට ප්‍රචාරයක් දෙන කණ්ඩායම් අතර සමාජවාදී ව්‍යාපාර කාලයක්ම ඉදිරියෙන් සිටියා. ඒ කතා වලට අනුව සැලසුම් පිටුපස සිටියේ ධනවාදීන්, බටහිර රටවල්, ඇමරිකාව වැනි "ජනතා සතුරන්". මේ කුමන්ත්‍රණ පැරදවිය හැකි විසඳුමක්ද ඔවුන් සතුව තිබුණා. ඒ දැනට ක්‍රියාත්මක වන සැලසුම පරදවා "ජනතා හිතවාදී" වෙනත් සැලැස්මක් ක්‍රියාත්මක කරවීමයි. ඔවුන්ට අනුව එය කිරීමේ හැකියාව තිබුණේ දේශපාලන පක්ෂයකටයි. මෙවැනි මතවාදයක් ජනගත කිරීමේ අවසාන අරමුණ වුනේ මිනිසුන්ගේ ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව ඔවුන්ගේ කැමැත්තෙන්ම මහමොළකරුවෙකුගේ සැලසුමකට යට කිරීමයි.
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයකගේ මතය ක්‍රියාත්මක කිරීම කියන එක ඉතාම පටු අර්ථදැක්වීමක්. එය ඊට වඩා සංකීර්ණ දෙයක්. පහත කොටස මම උපුටා ගන්නේ බව වෙබ් අඩවියෙන්.
"පුරාතන ග්‍රීසියේ පළමු වරට දෘශ්‍යමාන වූ මෙම අදහස [ප්‍රජාතන්ත්‍රවාදය] සඳහා ලබා දිය හැකි සරල අර්ථයක් වන්නේ සමාජය යනු කිසියම් ස්වභාවික වූ නියාම ධර්මයකට අනුව, අනිවාර්ය මූලධර්මයකට අනුව, නියත ධූරාවලියකට අනුව පාලනය විය යුතු දෙයක් නොවන බව එම සමාජයේ ප්‍රතික්ෂේපිත වූ මිනිසුන් වටහා ගන්නා මොහොතයි. එවැනි මිනිසුන් සඳහා ද සමාජය නියාමනය විය හැකි ආකාරය සම්බන්ධයෙන් අදහස් දැක්විය හැකි බව සහ එවැනි මිනිසුන් හට මුළුමහත් මිනිස් වර්ගයා නියෝජනය කළ හැකි බව පිළිගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයයි. එම අර්ථයෙන් ගත්විට ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවත් මිනිසුන් විසින් ධනය නැති මිනිසුන් පාලනය කිරීම නොවනවා සේම ධනවත් මිනිසුන්ට එරෙහිව ධනය නැති මිනිසුන් කැරළි ගැසීම නිසා ඇති වන අරාජිකවාදයද නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවත් මිනිසුන් සමග එකම වේදිකාවක සිට සමස්ත සමාජයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට ධනය නැති මිනිසුන්ට සමාන අවස්ථාව හිමි වන පාලන ක්‍රමයකි."
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කිසියම් සමාජයක "සෑම දෙනෙකුටම" සමාජය තුළ තමන්ගේ අදහස නියෝජනය කරන්න අවස්ථාවන් හිමි වන ක්‍රමයක්. එවැනි ක්‍රමයක් තියෙන්නේ කොහෙද? බව වෙබ් අඩවියේ ලියා තිබෙන්නේ මේ විදිහටයි.
"එම අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදය යනු ඉතාම අහම්බයෙන් දැකිය හැකි වන ඓතිහාසික අත්දැකීමක් බව පැහැදිළි වේ. පුරාතණ ග්‍රීසියෙන් පසුව එය අපට අත්දැකිය හැකි වූ ඓතිහාසික අවස්ථාවන් මොනවාද කියා තීරණය කිරීමද තරමක් අපහසු කරුණකි."
ඇත්තටම කියනවානම් පුරාතණ ග්‍රීසියේ වුවත් මේ අර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වූවාද කියන එක සැක සහිතයි. නමුත්, විවිධ සමාජ වල විවිධ මට්ටම් වලින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ප්‍රායෝගික භාවිතාවක්. එය කුමක්ද කියා මෙවැනි බ්ලොග් ලිපියකින් පැහැදිලි කිරීම අපහසු කරුණක්. යම් ආකාරයකින් එය පුද්ගලයෙකු විසින් ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගත යුතු දෙයක්. ඇමරිකාවේ මා අත් දකින ප්‍රජාතන්ත්‍රවාදය මා කිසිදිනක ලංකාවේදී අත් නොවිඳි දෙයක්. නමුත්, එයින් අදහස් වන්නේ ඇමරිකාවේ වුවත් සෑම දෙනෙකුටම සමාජයට බලපෑම් කරන්න හරියටම එක සමාන අවස්ථා තිබෙන බව නෙමෙයි. ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේදී තනි පුද්ගලයෙකුගේ ස්වාධීන අදහසකට යා හැකි දුර බොහෝ දිගු එකක්.
දේශපාලන පක්ෂ හරහා කෙරෙන්නේ පුද්ගලයින්ගේ ස්වාධීන අදහස් නියාමනයකට ලක් කෙරී යටපත් වී යාමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ නියම අර්ථය සැලකුවහොත් දේශපාලන පක්ෂ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මත පෝෂණය වෙමින් වැඩුණු පිළිලයක්. ඇමරිකා එක්සත් ජනපදය ආරම්භ වූ කාලයේ එම රාජ්‍යයේ නිර්මාතෘවරුන් විසින් දේශපාලන පක්ෂ බිහිවීමක් අපේක්ෂා කර නැහැ. එහෙත්, වැඩි කලක් යන්න පෙර එය සිදු වී තිබෙනවා. මා හිතන්නේ එයට පරිණාමික හේතු බලපා ඇති බවයි. අප නිර්මාණය වී තිබෙන ආකාරයෙන් වියුක්තව කටයුතු කිරීම පහසු නැහැ.
අප අද සිටින අදියර දක්වා සමාජ සත්ත්වයන් ලෙස පරිණාමය වීමේදී ගෝත්‍ර ලෙස එක්ව සහයෝගයෙන් කටයුතු කළ අයට පරිණාමික වාසියක් ලැබී තිබෙනවා. ඒ නිසා, ගෝත්‍ර ලෙස එක් වෙන්න කැමැත්තක් අප කා තුළත් තිබෙනවා. දේශපාලන පක්ෂ හරහාත් යම් දුරකට මේ අවශ්‍යතාවය ඉටුවෙනවා. පවතින සංකීර්ණ සමාජයේ පවා මෙසේ හැසිරීමේ පරිණාමික වාසියක්ද තිබෙනවා. පක්ෂයක් වෙනුවෙන් අපේ ස්වාධීනත්වයෙන් කොටසක් කැප කිරීම ඒ වාසිය වෙනුවෙන් අප වැය කරන ආවස්ථික පිරිවැයෙන් කොටසක්. මේ වාසිය හරියටම සැපයුම්කරුවන් කිහිපදෙනෙකු කාටලයක් ලෙස ක්‍රියා කරන විට ලැබෙන ආකාරයේ වාසියක්.
දේශපාලන පක්ෂ හෝ වෙනත් සාමූහික අනන්‍යතා වලින් නියාමනය නොවූ පුද්ගල ස්වාධීනත්වයන් වැඩි වැඩියෙන් මතු වන තරමට සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වයේ ගුණාත්මකභාවය ඉහළ යනවා. ආර්ථික ස්වාධීනත්වය නැති වන තරමට පුද්ගල ස්වාධීනත්වය අභිබවා සාමූහික අනන්‍යතා ඉස්මතු වෙනවා. රාජ්‍යයන්ගේ සීමාවන් කුඩා වන තරමට ආර්ථික ස්වාධීනත්වයට වගේම පුද්ගල ස්වාධීනත්වයටත් වැඩි අවකාශයක් ලැබී ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් කරළියට එනවා. එසේ නොවූ විට ප්‍රජාතන්ත්‍රවාදය ලෙස මතු වෙන්නේ බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීම කියන පටු අදහස පමණයි.
අප එදිනෙදා දකින ගොඩක් දේවල් සිදුවෙන්නේ කිසියම් පූර්ව සැලසුමකට හෝ කාගේ හෝ ගේම් එකකට අනුව කියන අදහස සමඟ මම එකඟ නැහැ. නමුත්, ඉතා පටු අර්ථයකින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන වටාපිටාවක ගේම් කාරයින්ටත් සැලකිය යුතු දෙයක් කරන්න පුළුවන්.
(Images: http://www.dailynews.lk/2018/04/10/features/147953/enter-enchantress)
Labels:
ටෙලිනාට්‍ය,
දර්ශනය,
දේශපාලනය,
ප්‍රජාතන්ත්‍රවාදය,
සමාජවාදය
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
ධනවාදයටත් බොරුකල
ReplyDeleteසමාජවාදය කැතකල
ලිබරල්වාදය අල කල
දේසපාලුවා සිරිලක
ප්‍රජාතන්ත්‍රවාදය යැයි
අදහන්නේ
එකම දෙයයි
මගේ දේ මට
තමුසෙගෙදේත් මට