වෙබ් ලිපිනය:

Saturday, December 15, 2018

සත් සතියේ නිමාවෙන් පසු...


ලංකාවේ දේශපාලන අර්බුදයට සත් සතියක් ඉක්මී යාමෙන් පසුව එම අර්බුදය අවසන් වන බවක් පෙනෙන්නට තිබෙනවා. දේශපාලන අර්බුදය නිමා වන ලකුණු පෙනෙන්නට තිබුණත් අර්බුදයේ ගමන් මඟ දෙස ආපසු හැරී බැළුවහම තවත් ප්‍රශ්න ගණනාවක් දිගටම ඉතිරි වන බව පැහැදිලියි. දේශපාලන අර්බුදය නිමා වුනත්, ඇති වුනු නෛතික අර්බුදයේ නිමාවක් දකින්න තවත් මාසයක්වත් යයි.

මේ සත් සතිය තුළ බොහෝ දේ සිදුවුණා. ඔක්තෝබර් 26 වෙනිදා මහින්ද අගමැති පුටුවේ වාඩි වෙන්න ඇත්තේ කෙසේ හෝ ව්‍යවස්ථාදායකයේ බලය තහවුරු කරගන්නේය යන අධිෂ්ඨානයෙන් විය යුතුයි. එයට පහසුවක් සලසනු පිණිස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැම්මා. රනිල් ඇතුළු පිරිස පාර්ලිමේන්තුව ඇරෙන තුරු අනිමිසලෝචනයෙන් බලා සිටියා. හදිසියේ වැටුණු වැස්සෙන් බේරෙන්න දෙමළ රාජ්‍ය පක්ෂය හා ජවිපෙ එජාපයට ආරක්ෂාව සැපයුවා. ජනාධිපති සිරිසේන දිගින් දිගටම විධායකයේ රුවන් මැදුරේ රැස් විහිදුවමින් සිට විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන තුන් ලෝකයටම ලොක්කා ලෙස ක්‍රියා කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. අධිකරණයේ පිහිටෙන් පාර්ලිමේන්තුව විවෘත කරගැනීමෙන් පසුව කතානායකවරයාට යෝජනා සම්මත කරගන්න මාර පරාජය කරන්න සිදු වුණා. මුලින් ඒ පැත්තටත්, පසුව මේ පැත්තටත් මන්ත්‍රීවරුන් රුවන් සොයා සක්මන් කළා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බව අධිකරණය තීන්දු කරද්දී සත් සතිය ගෙවුණා. නමුත්, සත් සතියෙන් පසුව මුලින්ම ඇහුණේ නිෂ්ක්‍රමණ දේශනාවක් මිස මංගල දේශනාවක්නම් නෙමෙයි. එහි ඇති කරුණු ගැන පසුව කතා කරමු.

විධායකයේ ප්‍රධානියා විසින් ඇති කළ, ව්‍යවස්ථාදායකය ඇතුළු තවත් බොහෝ පාර්ශ්වයන් වින්දිතයන් කළ අවුල ලෙහන්න අවසාන වශයෙන් මැදිහත් වෙන්න වුනේ අධිකරණයටයි. මේ හා අදාළව අධිකරණයේ විභාග වන ප්‍රධාන නඩු තුනකින් එකක පමණක් තීන්දුව මේ වන විට ලැබී තිබෙනවා.

රනිල්ව අගමැති ධුරයෙන් පහ කිරීමට විරුද්ධව පෙත්සම් දෙකක් ඉදිරිපත් වුනේ තරමක් කල් පසුවයි. මේ පෙත්සම් ජනවාරි මාසයේ විභාගයට ගැනීමට නියමිතයි. ලැබෙන තීන්දුව අනුව, මහින්ද රාජපක්ෂ කිසිදු දිනක ලංකාවේ අගමැති නොවූ බව තීරණය වෙන්න පුළුවන්. එසේ නොවන්නත් පුළුවන්. අධිකරණ තීන්දුව කුමක් වේදැයි නිශ්චිතව පැවසීමේ හැකියාවක් මට නැහැ. නමුත්, එය 50:50 ඉඩ ඇති දෙයක් නෙමෙයි. නෛතික කරුණු අනුව රනිල් ඉවත් කිරීම ව්‍යවස්ථානුකූල නොවන බව තීන්දු වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ව්‍යවස්ථාව අනුව රනිල් ඉවත් කිරීමේ වැරැද්දක් නැත්නම් මහින්දව අගමැති සේ පත් කිරීමේ වැරැද්දක් නැහැ. මහින්දට පාර්ලිමේන්තුවේ බහුතරය තිබීම හෝ නොතිබීම ද්වීතියික කරුණක්.

ජනවාරියේදී ලැබෙන්නට නියමිත අධිකරණ තීන්දුව අනුව පහත කරුණු දෙකෙන් එකක් පමණක් සත්‍ය විය හැකියි. දෙකම සත්‍ය විය නොහැකියි.
1a . ඔක්තෝබර් 26 දින ව්‍යවස්ථානුකූලව රනිල් වික්‍රමසිංහව ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් හෝ ජාතික ආණ්ඩුව බිඳ වැටීම මත ඔහුගේ අගමැති ධුරය අහෝසි වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ලංකාවේ නීත්‍යානුකූල අගමැති සේ පත් කරනු ලැබීම
1b . ඔක්තෝබර් 26 දින ජනාධිපතිවරයාගේද එකඟත්වය මත ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් හරහා රනිල් වික්‍රමසිංහව  බලයෙන් පහකර මහින්ද රාජපක්ෂ විසින් රාජ්‍ය බලය අල්ලා ගැනීම.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් දහයක් හා අදාළ තීන්දුව මේ වන විට ලබා දී තිබෙනවා. ඊට පෙර, අදාළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වමින් තාවකාලිකව අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබුවා. අවසන් තීන්දුව පිටු 88ක ලේඛණයක්. (විනිසුරු සිසිර ආබෲගේ පිටු 19ක තීන්දුවද සමඟ එක්ව ගත් විට පිටු 107ක්.) මෙය නෛතික, දේශපාලනික හා ශාස්ත්‍රාලයීය ලෙස ඉතා වැදගත් ලියැවිල්ලක් බව මගේ අදහසයි. ලංකාව, එංගලන්තය, ඇමරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක නඩු තීන්දු පරිශීලනය කරමින් ඉතා පැහැදිලි හා පුළුල් නෛතික පදනමක් මත නිගමනයන්ට පැමිණෙමින් ලබා දී තිබෙන මේ තීන්දුව ඇතුළත් ලේඛණය තුළ පසුගිය සත් සතිය පුරා ප්‍රසිද්ධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයින් විසින් ඉදිරිපත් කළ තර්ක විතර්ක සියල්ලටම වාගේ පිළිතුරු සොයාගත හැකියි. ඒ එක්කම දහනවවන සංශෝධනයෙන් අනතුරුව මේ වන විට ලංකාවේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අටුවාවක් ලෙස මේ ලියැවිල්ල සැලකිය හැකියි. මෙය තවදුරටත් දේශපාලනික කරුණක් නොවන නිසා අදාළ ලියැවිල්ල ඇසුරෙන් අවශ්‍ය පැහැදිලි කිරීමක් කරන්නට අප‍ට හැකි වුවත් දැනට අප ඒ සඳහා වචන වැය කරන්නේ නැහැ. අවශ්‍යනම් අධ්‍යාපනික පදනමකින් එවැනි පැහැදිලි කිරීම් කළ හැකියි.

ඉහත කී අවසන් තීන්දුව ලබා දෙන්න කලින් අතුරු තහනම් නියෝගයක් ලබා දුන් බව කවුරුත් දන්නා කරුණක්. එය රැඳවුම් නියෝගයක්. මේ රැඳවුම් නියෝගය අනුව පාර්ලිමේන්තුවට නැවත රැස් වීමට බලයක් නොලැබෙන බව ඇතැම් අය මතු කළ අදහසක්. එවැනි තත්ත්වයක් මතුවන්නේ පාර්ලිමේන්තුව රැස්වීමට එරෙහිව රැඳවුම් නියෝගයක් නිකුත් කළානම්. නමුත්  නියෝගය මඟින් රැඳවූයේ පාර්ලිමේන්තුව විසුරුවමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මිසක් පාර්ලිමේන්තුව නෙමෙයි. ඒ නිසා, නෛතිකව එවැනි ගැසට් නිවේදනයක් නොමැති තත්ත්වයක් තාවකාලිකව ඇති වී පාර්ලිමේන්තුව නැවත සක්‍රිය වුණා. අවසන් තීන්දුවෙන් අහෝසි වුනෙත් ඉහත කී ගැසට් නිවේදනයයි. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස එම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබුණු මැතිවරණය අවලංගු වුණා. එසේ නැතිව අධිකරණය විසින් මැතිවරණ පැවැත්වීම වැලැක්වූයේ නැහැ. එජනිසය හා එජාපය එක්ව සම්මත කරගත් දහනවවන සංශෝධනය අනුව නීතිය කුමක්දැයි පැහැදිලි කරදුන්නා පමණයි.

අතුරු තහනම් නියෝගයක් අවසාන තීන්දුවෙන් ස්ථිර වීම හැමවිටම අනිවාර්යයයෙන්ම සිදුවන දෙයක් නෙමෙයි. අවසන් තීන්දුවෙන් යම් හෙයකින් ගැසට් නිවේදනය නැවත සක්‍රිය වුණානම් ඒ අනුව නියමිත දිනට මහ මැතිවරණය පවත්වන්න අසීරු වෙනවා. අතුරු තහනම් නියෝගයක් දෙන්නට පෙර අධිකරණය මෙවැනි අතුරු ප්‍රතිඵල ගැන සැලකිල්ලක් දක්වනවා.

පාර්ලිමේන්තුව නැවත රැස්වීමෙන් පසුව අගමැති සේ පත් කරනු ලැබ තිබුණු මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලැබුවා. මේ විශ්වාස භංග යෝජනාවේ පදනම වන්නේ මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ හෝ රටේ විශ්වාසය කඩන කිසිවක් කිරීම නෙමෙයි. එවැනි චෝදනාවක් එජාපය, ජවිපෙ, දෙමළ රාජ්‍ය පක්ෂය ඇතුළු පක්ෂ විසින් ඉදිරිපත් කළානම් එය එසේ විශ්වාසය කඩන අවස්ථාව වන තුරු රටේ අගමැති මහින්ද රාජපක්ෂ වූ බව ව්‍යවස්ථාදායකය විසින් පිළිගැනීමක් වෙනවා. නමුත්, සම්මත වූ විශ්වාස භංග යෝජනා අනුව ව්‍යවස්ථාදායකය විසින් මහින්ද රාජපක්ෂ කිසිවිටෙකත් (මේ වසරේදී) ලංකාවේ අගමැති වූ බව පිළිගෙන නැහැ. එයින් පිළිගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී ලෙස එවැනි පත්වීමක් සිදු කර ඇති බැවින් ඔහු කෙරෙහි විශ්වාසයක් නැති බවයි. මේ අනුව, ව්‍යවස්ථාදායකය විසින් බහුතර කැමැත්තෙන් තීරණය කර තිබෙන්නේ ඔක්තෝබර් 26 දින සිදු වූයේ ඉහත 1a තත්ත්වය නොව 1b තත්ත්වය බවයි.

ඔක්තෝබර් 26 දින සිට නොවැම්බර් 14 දක්වා පැවති තත්ත්වය ඉහත 1b තත්ත්වයනම් ඇත්තටම විශ්වාස භංගයක් අවශ්‍ය වන්නේ නැහැ. එසේ අවශ්‍ය වන්නේ පැවතියේ ඉහත 1a තත්ත්වයනම් පමණයි. ඒ නිසා, මේ විශ්වාස භංග යෝජනාවේ යම් අවුලක් තිබෙනවා. කෙසේ වුවත්, ජනාධිපතිවරයාට අනුව ඒ වන විට පැවතියේ ඉහත 1a තත්ත්වයයි. එය එසේ වීනම්, විශ්වාස භංග යෝජනාව සම්මත වීමෙන් පසුව මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරය අහෝසි වෙනවා. එයින් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙකු පත් කළ යුතුයි. ඒ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ විය යුතු නැහැ. එජාප මන්ත්‍රීවරයෙකු විය යුතුද නැහැ.

ජනාධිපතිවරයාගේ මතය අනුව රටේ පැවති නෛතික තත්ත්වය 1a වුවත්, ඔහු අලුත් අගමැතිවරයෙකු පත් නොකළේ විස්වාශ භංග යෝජනාව නිසි අයුරින් සම්මත නොවුණේය යන පදනමින්. එම යෝජනාව සම්මත වූ ආකාරයේ ප්‍රශ්න බොහෝ තිබුණා. නමුත්, ඒ හේතුව මත මේ යෝජනාව නිසි යෝජනාවක්දැයි පිළිගැනීමේ අයිතිය තිබෙන්නේත් ව්‍යවස්ථාදායකයේ බහුතරය සතුව මිස ජනාධිපතිවරයා සතුව නෙමෙයි. ඒ අනුව, ව්‍යවස්ථාදායකය පැත්තෙන් බැලූ විට සිදුවුනේ ජනාධිපතිවරයා විසින් කළ යුතු කටයුත්තක් සිදු නොකර පැහැර හැරීමක්. අමාත්‍ය මණ්ඩලය හා අදාළවද මෙවැනිම යෝජනාවක් සම්මත වුනා.

ඉහත සිදුවීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ක්වෝ වොරෙන්ටෝ ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණය වෙත ගියා. අදාළ ඉල්ලීමේ තිබෙන කරුණු මා නිශ්චිතව දන්නේ නැහැ. එය මට දකින්නට ලැබී නැහැ. කෙසේ වුවත්, මේ ඉල්ලීම අනුව අගමැති (මහින්ද රාජපක්ෂ) හා ඇමති මණ්ඩලය විසින් ඔවුන්ව පත් කරනු ලැබ තිබුණු ධුර වල කටයුතු කිරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගය හා අදාළ සම්පූර්ණ තීන්දුවම මට කියවන්නට ලැබුණා. මෙහිදී අභියාචනාධිකරණය විසින් මේ අයුරින් අගමැති හා ඇමති මණ්ඩලය සිය ධුර වල කටයුතු කිරීම තාවකාලිකව නැවැත්විය යුතුද යන්න ගැඹුරින් සලකා බලා තිබුණා. අතුරු තහනම් නියෝගයක් කියන්නේ අවසන් නියෝගයක් නොවන නිසා අවසන් නියෝගය කුමක් වුවත් අතුරු තහනම් නියෝගයේ අහිතකර ප්‍රතිඵල කිසියම් ප්‍රමාණයක් තිබීම නොවැළැක්විය හැකියි.

යම් හෙයකින් අගමැති හා ඇමති පත්වීම් ව්‍යවස්ථානුකූල බව අවසාන නිගමනය වුවහොත්, අතුරු තහනම් නියෝගය නිසා ඔවුන්ට සිය වගකීම් ඉටු කිරීමට නොලැබීමේ අවාසි ඉතිරි වෙනවා. අනෙක් අතට, පත්වීම් ව්‍යවස්ථානුකූල නොවේනම් ධුරයට හිමිකම නැති අයෙකු ගන්නා තීරණ වල හානිය ඉතිරි වෙනවා. අභියාචනාධිකරණයේ නිගමනය වී තිබෙන්නේ දෙවැන්නේ හානිය පළමුවැන්නේ හානියට වඩා බොහෝ වැඩි බවයි. මේ නිගමනයට එළඹීමේදී අදාළ පත්වීම ව්‍යවස්ථානුකූල නොවේය යන්නට සැලකිය යුතු බරක් තබා තිබෙන බව පැහැදිලියි.

ක්වෝ වොරෙන්ටෝ නඩු විභාගයකදී කරන්නේ කිසියම් පොදු තනතුරක කටයුතු කරන්නෙකුට අදාළ තනතුර දැරීමට ඇති හිමිකම ප්‍රශ්න කිරීමයි. නොවැම්බර් 14 වන විට පැවතියේ ඉහත 1a  තත්ත්වයනම් විශ්වාස භංගය තිබුණත් නොතිබුණත් මහින්ද රාජපක්ෂට අගමැති සේ කටයුතු කළ නොහැකියි. පැවතුණේ ඉහත 1b තත්ත්වයනම්, මහින්ද රාජපක්ෂට එම හිමිකම ලැබෙන්නේ විස්වාශ භංග යෝජනාවක් විධිමත් ලෙස සම්මත වී ඇති බව අධිකරණය පිළිගත්තොත් පමණයි. මේ හා අදාළව අධිකරණය තවමත් කිසිදු නිගමනයකට එළැඹී නැහැ. අදාළ පෙත්සම් විභාගය නැවත කැඳවනු ලැබ තිබෙන්නේ ජනවාරි මාසයේ. එහි තීන්දුව පහත තුනෙන් එකක් විය හැකියි.

2a. මහින්ද රාජපක්ෂගේ පත්වීම නිසි ලෙස සිදුවී නැත.
2b. මහින්ද රාජපක්ෂගේ පත්වීම නිසි ලෙස සිදුවී ඇතත්, විස්වාශ භංග යෝජනාව විධිමත් ලෙස සම්මත වී තිබෙන නිසා මහින්ද රාජපක්ෂගේ අගමැති ධුරය අහෝසි වී ඇත.
2c. මහින්ද රාජපක්ෂගේ පත්වීම නිසි ලෙස සිදුවී ඇති අතර විස්වාශ භංග යෝජනාව විධිමත් ලෙස සම්මත වී නැත.

මහින්ද රාජපක්ෂගේ අගමැතිකම අත්හිටවනු ලැබූ ඉහත අතුරු තහනම් නියෝගයට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. එහි තීන්දුවද තවමත් ලබා දී නැහැ. එය විභාගයට ගැනෙන්නේත් ජනවාරි මාසයේදී. වාර්තා වී ඇති පරිදි ඊයේ (සිකුරාදා) සිදු වී තිබෙන්නේ එම නඩුව ඉදිරි දිනකට කල් තැබීම පමණයි. ඒ අනුව, ඔහුගේ අගමැති පත්වීම තාවකාලිකව අත් හිටවනු ලැබූ රැඳවුම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. මේ කොටස මා ලියන්නේ ද්වීතියික මූලාශ්‍ර වල තිබෙන කරුණු ඇසුරෙන්. නිල ලේඛන මා දැක නැහැ.

පවතින නෛතික වාතාවරණය ඔහොමයි. එතකොට දැන් නිල අගමැති කවුද?

මේ ප්‍රශ්නයට ඊයේ වන තුරුත් නෛතික පිළිතුරක් තිබුණේ නැහැ. පිළිතුර පහත තුනෙන් ඕනෑම එකක් විය හැකියි.

3a. රනිල් වික්‍රමසිංහ
3b. මහින්ද රාජපක්ෂ
3c. පුරප්පාඩු වී තිබේ.

-ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 1b වුවහොත් එයින් ගම්‍ය වන්නේ රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය අහෝසි වී නැති බවයි. ඒ අනුව, පිළිතුර 3a. අභියාචනාධිකරණ තීන්දුව කුමක් වුවත් එය අදාළ නැහැ.
-ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 1a වී, අභියාචනාධිකරණ තීන්දුව 2c වේනම් මහින්ද රාජපක්ෂ අගමැති සේ පත් වී ඇති අතර එම තනතුර තවමත් (ඔහු ඉල්ලා අස්වන්නේනම් එවැන්නක් නිල වශයෙන් පිළිගැනෙන තුරු) වලංගුයි. ඒ අනුව, පිළිතුර 3b .
-ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 1a වී, අභියාචනාධිකරණ තීන්දුව 2b වේනම් මහින්ද රාජපක්ෂ අගමැති සේ පත් වී ඇති නමුත් එම තනතුර මේ වන විට අහෝසි වී තිබෙනවා. ඒ අනුව, පිළිතුර 3c .

නිවැරදි පිළිතුර මේ තුනෙන් එකක් පමණයි. එහෙත් එය නිශ්චය කරන්නට වෙන්නේ ඉහත කී නඩු තීන්දු දෙකම ලැබුණු පසුවයි. කෙසේ වුවත් නෛතික කරුණු පෙළගැසී ඇති ආකාරයට පිළිතුර 3b වන්නට විශාල ඉඩක් නැහැ.

වාර්තා වල දැක්වෙන ආකාරයට මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී රනිල් අගමැති සේ දිවුරුම් දුන්නොත් වෙන්නේ කුමක්ද?

පවතින තත්ත්වය 3a නම් මේ දෙකම නෛතිකව ශුන්‍ය කටයුතු දෙකක් පමණයි. සිදු වන කාර්යයක් නැතත්, නැති තනතුරකින් ඉල්ලා අස්වීමේ හෝ තිබෙන තනතුරේම නැවත දිවුරුම් දීමේ වැරැද්දක් පෙනෙන්නට නැහැ. පවතින තත්ත්වය 3bනම් මහින්ද අගමැති ධුරයෙන් ඉවත්ව රනිල් අගමැති ලෙස අලුතින් පත් වෙනවා. එය නීතිය අනුව සිදුවන දේශපාලනික බල හුවමාරුවක්. පවතින තත්ත්වය 3cනම් මහින්ද ඉල්ලා අස්වීම ශුන්‍ය කටයුත්තක් වුවත් රනිල් දිවුරුම් දීම නෛතික කටයුත්තක්.

ඔය තුනෙන් කොයි එක වුවත් ප්‍රයෝගිකව සිදුවන්නේ රනිල්ට අගමැති සේ කටයුතු කිරීමට නැවත ඉඩ ලැබීමයි. ඒ සමඟ දේශපාලනික අර්බුදය විසඳෙන්න පුළුවන්. එහෙත් මූලික නෛතික ප්‍රශ්නය හා අතුරු ප්‍රශ්න තවදුරටත් එසේමයි. දේශපාලන අර්බුදය විසඳුනහොත්, ඒ නෛතික ප්‍රශ්න දේශපාලන එකඟතා (ඩීල්) හරහා යටපත් වී යන්නටද ඉඩ තිබෙනවා. එසේ වුවහොත් අනාගතයට තවත් ප්‍රශ්න ඉතිරි වෙනවා.

(Image: https://www.colombotelegraph.com/index.php/mahinda-ranil-the-big-picture/)

22 comments:

  1. දරුවගේ බෙල්ල හිරවෙන මාරාන්තික මොහොතේදී ගෲෂා දරුවව අතාරින බව දැනිලා තිබුනේ. මොකද එයා කලිනුත් එහෙම කරපු නිසා..

    දැන් තියෙන්නේ අසඩක්ගේ තීරණය එනකම් බලන් ඉන්න. ප්‍රශ්ණෙ තියෙන්නේ අබෂ්විල්ලිලා අසඩක් ගාවට යන්න දෙයිද කියන එක තමා..

    බලා ඉදිමු..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      ව්‍යවස්ථා ගේම් වලින් ඉන්න මිනිස්සුන්ට උත්තර දෙන්න වෙන්නෙත් ව්‍යවස්ථා ගේම් වලින්ම තමයි. මොකද දේශපාලනේ උඩ ඉඳං යටටම සදාචාර විරෝධියි.

      මට අනුව නං රනිල් ඊළඟ මැතිවරණය වෙනකං බලයේ ඉන්න එක අවුලක් නෑ. හැබැයි මිනිහා මැතිවරණ තියන මිනිහෙක් නෙවෙයි.

      අනික තමයි ඊළඟ මැතිවරණේ රනිල් පරාද වෙනවා දෙකක් නෑ. ඒක හින්දා රනිල් කරන්න තියන දහ පදුරා වැඩ ඔක්කොම කරනවා මේ ඉන්න ටිකට. ඒකටම සෙට් වෙච්ච සෙට් එකකුත් ඉන්නවා.

      දැං බලන්න රනිල් 19න් ගහලා තියන ගේම? මොකෙක්ට වත් මිනිහව පන්නන්න බැරි වෙන්න ගහලා තියෙන්නේ. මේ වගේ දේවල් දරුණු විදිහට සදාචාර විරෝධියි.

      මොනවා උනත් මහින්ද මේ වගේ ඡන්ද නොතියා මිනිස්සුන්ගේ අඩුම ඡන්ද අයිතියත් කොල්ල කෑවේ නෑ. මිනිහා කරන දහපදුරා වැඩ ඔක්කොම කරේ මිනිස්සුන්ගේ ආශිර්වාදයෙන්. මොකද මිනිස්සු හැමදාම හොරා හොරා කිය කිය ඡන්දේ දුන්නා.

      රනිලගේ අඩුම ගානේ ඒකවත් නෑ. ඡන්ද නොතියම ඉන්න ටිකේ ඉඳලා යන්න ව්‍යවස්ථාව හදාගෙන තියෙන්නේ.

      Delete
  2. //පවතින තත්ත්වය 3cනම් මහින්ද ඉල්ලා අස්වීම ශුන්‍ය කටයුත්තක් වුවත් රනිල් දිවුරුම් දීම නෛතික කටයුත්තක්.//
    දෙකම නයිතික කටයුතු වෙනව නේද 3c නම්?

    ReplyDelete
  3. 2c උනොත් අගමැති දුරය පුරප්පාඩු වෙන්නේ නැහැ නේද මහින්ද ඉල්ලා අස්නොවෙනකන්? එහෙම උනොත්
    //පවතින තත්ත්වය 3cනම් මහින්ද ඉල්ලා අස්වීම ශුන්‍ය කටයුත්තක් වුවත් රනිල් දිවුරුම් දීම නෛතික කටයුත්තක්.//
    දෙකම නයිතික කටයුතු වෙනව නේද ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ, 48(2) අනුව්‍යවස්ථාව අනුව විශ්වාස භංග යෝජනාවක් සම්මත කළ විට (හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පණත් කෙටුම්පතක් පැරදුණු විට) අමාත්‍ය මණ්ඩලය අහෝසි වෙනවා. 46(2) අනුව්‍යවස්ථාව අනුව, නීත්‍යානුකූලව පත් වූ අගමැති වරයෙකුගේ ධුරය පවතින්නේ අමාත්‍ය මණ්ඩලය පවතින තුරු පමණයි. ඒ නිසා, ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් සම්මත කළ පසුව අගමැති හෝ කැබිනට් ඇමතිවරුන් අමුතුවෙන් ඉල්ලා අස්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එම තනතුරු අහෝසි වී අවසන්. අගමැති ධුරය හා කැබිනට් ඇමතිධුර පුරප්පාඩු වී තිබෙන නිසා ජනාධිපතිවරයා විසින් අගමැති කෙනෙක් හා කැබිනට් ඇමතිවරුන් අළුතෙන් පත් කිරීමයි කරන්න තියෙන්නේ.

      Delete
    2. //2c. මහින්ද රාජපක්ෂගේ පත්වීම නිසි ලෙස සිදුවී ඇති අතර විස්වාශ භංග යෝජනාව විධිමත් ලෙස සම්මත වී නැත.//
      2c වලින් කියන්න හදන්නේ මොකක්ද? මහින්ද තවම අගමැති කියල නෙමෙයිද? එහෙමනම් 2c වලට ලැබෙන පිළිතුර 3c වෙන්න විදියක් නැහැනේ?

      Delete
    3. ඔව්, ඇනෝ. 2c වලින් කියන්න හදන්නේ මහින්ද තවම අගමැති බව තමයි.

      //එහෙමනම් 2c වලට ලැබෙන පිළිතුර 3c වෙන්න විදියක් නැහැනේ?//

      මම උඩ ලියා තිබෙන්නේ 2c වලට ලැබෙන පිළිතුර 3b බවයි. මා අංකනය කළ පිළිවෙළ පැටලිලි සහගත බවයි පෙනෙන්නේ. ලියද්දී 3b හා 3c මාරුකර ලිවුවානම් තේරුම් ගන්න වඩා පහසු වෙනවා. ලියද්දී ඒ ගැන අවධානය යොමු වුනේ නැහැ.

      Delete
    4. ah.. got it.
      in this country, numbering is everything. so used to it.

      Delete
  4. ඉකොනොමැට්ටා මෙතන්දි විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන් අගය කලයුතුයි.
    මැදමුලන ගන් කබර පොල් රැවුලා (මහිංද)ගෙ රෙද්දෙ රෙවිල යන්නම දුන්නා මෙදා පාර. ආයේ එන්න පුලුවන් ඊලග ආත්මේ. අනේ අනිච්චං :D

    ReplyDelete
    Replies
    1. මහින්දට අවසාන වශයෙන් වුනේ හොඳක්ද නරකක්ද කියන එකත් ගේම් එක මොකක්ද කියන එකත් දැනගන්න සමහර විට ටිකක් කල් යයි. කොහොම වුනත්, ජවිපෙ භූමිකාව අවසන් ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපෑවා. රතු අලි පැටවු වගේ කතා ඇහුණත් ඔවුන් හිටියේ ඔවුන්ගේම ගේම් එකක. ජවිපෙ යනු වෙනම දේශපාලන පක්ෂයක් සේ සැලකූ විට ඒකේ වැරැද්දක් නැහැ. නීතියේ ආධිපත්‍යය සුරැකීම කියන කරුණේදී ජවිපෙ භූමිකාව කහටක් නැතිව අගය කළ යුතුයි.

      Delete
  5. //අවශ්‍යනම් අධ්‍යාපනික පදනමකින් එවැනි පැහැදිලි කිරීම් කළ හැකියි.//
    පැහැදිලි කිරීමක් කළ හැකිනම් හොදයි.

    ReplyDelete
    Replies
    1. ජීවන්ත, මුළු වාර්තාවේම තිබෙන දේ ගැන විග්‍රහ කළොත් පොතක් ලියන්න වෙනවා. ඉහත ප්‍රකාශයෙන් මම අදහස් කළේ මේ අර්බුදය අවස්ථාවේ කතාබහට ලක්වුණු නිශ්චිත නීතිමය කරුණු එකක් හෝ කිහිපයක් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හා ඒ අනුව නිවැරදි නීතිමය තත්ත්වය කුමක්ද කියා කාට හෝ දැන ගන්න අවශ්‍යනම් පැහැදිලි කළහැකි බවයි.

      Delete
  6. ඉකොනොමට්ට පෙර ලිපියක කිව්වා නේද මේ සටන අවසන් වෙන්නේ එක පිලක් මාරාන්තික තුවාල ලබල කියල?
    දැන් කාටද එහෙම වෙලා තියෙන්නේ ඉකොනොමට්ටගේ තක්සේරුව අනුව?
    සහ නඩු තීන්දුවේ අබ්රුගේ කොටස කියවන්න පුළුවන් තැනක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. 1. මෙයින් මා අදහස් කළේ පාර්ශ්වයන් දෙකෙන් එකක් ව්‍යවස්ථා විරෝධීව රාජ්‍ය බලය ලබා ගැනීමට උත්සාහ කළ බව අවසානයේදී තහවුරු වීමට නියමිත බවයි. නීතිමය වශයෙන් බැලුවොත් දැනට පවතින තත්ත්වය ඉහත 3a, 3b, හා 3c යන තුනෙන් කුමක්ද යන්න තවමත් විසඳී නැහැ. එය 3b නොවේනම්, මහින්ද-මෛත්‍රී පාර්ශ්වය කර තිබෙන්නේ රාජ්‍ය බලය නීති විරෝධී ලෙස පැහැර ගැනීමක්. එය 3b නම් රනිල්ලා කරලා තිබෙන්නේ රාජ්‍ය බලය නීති විරෝධී ලෙස පැහැර ගැනීමට උත්සාහ කිරීමක්. රාජ්‍ය බලය නීති විරෝධී ලෙස පැහැර ගැනීම ඒ සඳහා උත්සාහ කිරීමට වඩා විශාල වරදක්. නමුත්, උත්සාහ කිරීම පවා වරදක්. ජවිපෙ හා එල්ටීටීඊ එක විසින් පෙර අවස්ථා වලදී කළේත් ඒ සඳහා උත්සාහ කිරීමයි. මගේ පෞද්ගලික මතය වන්නේ පවතින තත්ත්වය 3b නොවන බවයි. මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීම මඟින් කළේ මේ හානිය අවම කර ගැනීමට උත්සාහ දැරීමයි. ක්වෝ වොරන්ටෝ නඩුවෙන් ඉල්ලා සිටින්නේ ඔහු නීති විරෝධී ලෙස අගමැති ධුරයේ කටයුතු කිරීම වලක්වන ලෙසයි. අදාළ තත්ත්වය මේ වන විට වෙනස් වී තිබෙන නිසා එම නඩුව හා එයටම සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව තවදුරටත් ඉදිරියට නොයනු ඇතැයි මා සිතනවා. එවිට ඉතිරි වන්නේ දඹර අමිල හිමිගේ හා ඕෂල හේරත්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක පමණයි. ඒවා ඉදිරියට යන ආකාරය මත තවත් බොහෝ දේ තීරණය වෙනවා. ඒ පෙත්සම් නීතිමය ලෙස කොයි තරම් ශක්තිමත්ද යන්න මා දන්නේ නැහැ. දේශපාලනික වශයෙන් ගත්තොත් මහින්දට හානියක් වූ බව පැහැදිලියි. නමුත්, එය මතුපිටින් පෙනෙන තරමේ හානියක්ද කියන එක විස්තරාත්මකව කතා කළ යුතු කරුණක්. ඇතැම් විට රාජ්‍ය බලය පවත්වා ගත්තානම් සිදුවිය හැකිව තිබුණු වඩා විශාල හානියක් වැළකුණා වෙන්නත් පුළුවන්.

      2. ඇතැම් නීතිමය කරුණු හා අදාළව මිසක් ඔහුගේ මතයේ විශාල ප්‍රතිවිරුද්ධතා නැහැ. අවසාන තීන්දුව සමඟ ඔහු එකඟයි. ලින්ක් එකක් පහත තිබෙනවා.
      http://www.supremecourt.lk/images/documents/sc_fr_351_2018_contd.pdf

      Delete
    2. //ඇතැම් විට රාජ්‍ය බලය පවත්වා ගත්තානම් සිදුවිය හැකිව තිබුණු වඩා විශාල හානියක් වැළකුණා වෙන්නත් පුළුවන්.//
      මෙය මම දරන මතය. මට ඕන උනේ අඩුම වශයෙන් සිරිසේනය ජනවාරි ඉවර වෙනකන්වත් මේක ඇදගෙන යනවා දකින්න. මහින්දය ඔක්කොටම වඩා බය උනේ රාජ්‍ය සේවකයෝ ඊළඟට ඌට නෙලන්න පටන් ගනී කියල. එහෙම උනානම් උගේ පරන්පරා ගානකට ඒක බලපානවා.

      Delete
    3. පළමු කරුණ මහින්ද හා මහින්ද වටා සිටින අය කොමන් සෙන්ස් නැති අය නෙමෙයි. ඔවුන් උපරිම ශක්තියෙන් බලය ලබා ගැනීමට හා පවත්වා ගැනීමට උත්සාහ කරනවා වගේම එය කෙසේවත් කළ නොහැකි අදියරකට පැමිණි පසුව හානිය අවම කරගෙන පසුබසින්නනත් දන්නවා. 2015දී කළේත් ඒකයි. මෛත්‍රීපාලට හැකියාවක් තිබුණානම් මෙය තවත් අදිනවා. මහින්දට දේශපාලනිකව හානි වීම ගැන ඔහු ලොකුවට හිතන්නේ නැහැ. (මෛත්‍රීපාල කියන එකෙන් මා අදහස් කරන්නේ ඔහුව මෙහෙයවන ඇතැම් උපදේශකයින්. 2015ටත් පෙර සිටම මගේ නිරීක්ෂණ අනුව, එතැන වෙනම සැලසුමක් තිබුණු බවයි මගේ අදහස. එය පෞද්ගලිකව මෛත්‍රීපාලවත් දන්නවද දන්නේ නැහැ.) ප්‍රශ්නය ඔබ කියන දුරට ඇදුනානම් එජාපය වුවත් ඇතැම් විට සතුටු වෙයි. ඔබ කියන කරුණට මම එකඟයි. නමුත්, මම කිවුවේ ඊට වඩා පුළුල් දෙයක් ගැන. යම් හෙයකින් මහින්ද බහුතරය හදාගත්තානම් වුවත් එයින් ඔහු ගොඩයන්න ඉඩක් තිබුණා කියා මම හිතන්නේ නැහැ. එසේ වුනානම් වෙන්නේ ඔහුව දේශපාලනික වශයෙන් තවදුරටත් විනාශ වෙන එකයි. මම නිරීක්ෂනය කරන හැම දෙයක්ම ලියන්න මම කැමති නැහැ.

      Delete
  7. රනිලට කඩේ යන ඉකොනොමැට්ටා වගේ කැපුවත් කොළ UNP උන් + JVP උන්, මහින්දට බනින එකා මධ්‍යස්ත මත දරතියි සිතති.

    මහින්දට කඩේ යන එකාද එලෙසමය; රනිලට + JVP උන්ට බනින එකා මධ්‍යස්ත මත දරතියි සිතති.

    මහින්දගේ වුනත්, රනිල්ගේ වුනත් + JVP වුනත් වරද දැකිය හැකි එකාට දෙ(තුන්) ගොල්ලෝම බනිති.

    සාපේක්ශව අප තුල එක් පාර්ශවයකට බරවීමක් තිබිය හැක, ඒත් ඒ නිසා තමන් පක්ෂ කණ්ඩායමේ හෝ වරද වරද ලෙස දැකීමට බාධා විය යුතු නැත.

    ReplyDelete
    Replies
    1. කරුණාකර මා විසින් වරදක් නොවන බව කියා තිබෙන ඔබේ ලැයිස්තුවේ තිබෙන වැරදි මොනවාද කියා පෙන්වා දෙන්න පුළුවන්ද?

      Delete
  8. මන්තිරි වරු විකිනෙනවා
    වට අඩි ගානට යනවා
    ලී මඩුවක දාල තියෙන
    බුරුත කඳන් වගේ

    යන්නට විතරක් නොවේය
    ඉන්නට ඕනෑ වෙනවද
    හැමදේටම "මොණර කොලේ"
    දෙපැත්තෙන්ම ඇදේ

    හදන්න බෑ මේ බයියෝ
    උන් විතරද ඇයි ටොයියෝ
    පනින්න බැරිවෙන පනතක්
    ඕනෑකර තිබේ

    ReplyDelete
    Replies
    1. ඇනෝ, ඔබ දිගටම දමන කවි කමෙන්ට් අගය කරන බව කිව යුතුයි!

      Delete
  9. මම අකැමැතිම, ඒත් ගැලවිල්ලක් නැති දෙයක් දේශපාලනය. කියෙව්වා, සම්පූර්ණයෙන්ම තේරුනයි කියන්න බෑ. ස්තූතියි ඔබේ විග්‍රහයට

    ReplyDelete
  10. කියෙව්වෙමි, නොදත් දේ රැසක් දැනගත්තෙමි. ඒ ගැන තුති! රටේ බහුතරයකටත් නොතේරෙන දේවල් දැනුම්-තේරුම් ගන්නට ඕනෑකමක් ඇති වෙනවා නම්!

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...