ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධනය ගැන කතා කරමින් "දිවීම හා බැරි මරගාතේ දිවීම" මාතෘකාව යටතේ ලිපියක් ලියලා දැන් මාස දෙකකටත් වැඩියි. ඒ ලිපියෙන් කතා කළේ ලංකාවේ ආර්ථිකයේ ශක්‍ය ධාරිතාව ගැනයි. අදාළ ලිපිය සමඟ රූප සටහන් තුනක් පළ කළා.
පළමු රූප සටහනේ තිබුණේ 1961 වසරේ සිට ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ 2010 රුපියල් මිලියන ඇස්තමේන්තු වල ලඝු අගය. එය සරල රේඛා ඛණ්ඩයකට ගොඩක් කිට්ටුයි.
දෙවන රූප සටහනේ ඉහත කී රේඛාව එක්කම ඒ රේඛාව නිරූපණය කළ හැකි ආකෘතිමය රේඛාවක් පෙන්වූවා. මේ දෙවන රේඛාවේ බෑවුමෙන් අදහස් වෙන්නේ ලංකාවට දිගුකාලීනව පවත්වා ගත හැකි වූ ආර්ථික වර්ධන වේගය බව මම පැහැදිලි කළා. එය 4.5%ක පමණ වාර්ෂික වර්ධන වේගයක්.
තෙවන රූප සටහනේ පෙන්වූවේ මේ ආකාරයට ඇස්තමේන්තු කළ ශක්‍ය දළ දේශීය නිෂ්පාදිතය හා සැබෑ දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනස හෙවත් නිපැයුම් පරතරය චක්‍රීය ලෙස විචලනය වෙමින් පැවති ආකාරයයි. මේ හා අදාළ තාක්ෂනික කරුණු වෙනත් ලිපි වල පැහැදිලි කර තිබෙනවා.
ඉහත කී දෙවන හා තෙවන රූප සටහන් වලින් පෙන්වූයේ 2005 වසර දක්වා තත්ත්වය පමණයි. ඒ අනුව, පෙනුනේ 2005 වන විට ලංකාවේ නිමැවුම් පරතරය පියැවී ආර්ථිකයේ මූර්ත අංශය සමතුලිතව පැවති බවයි. 2005න් පසුව සිදු වූ දේ ඊළඟ ලිපියෙන් බලමු කියා ඒ ලිපිය අවසන් කළත් ඒ කියූ දෙවන ලිපිය ලිවුවේ නැහැනේ. දැන් හදන්නේ මේ පරණ පොරොන්දුව ඉටු කරන්නයි.
පහත සිවුවන රූප සටහනෙහි පෙර දෙවන රූප සටහනේ වූ රේඛීය ප්‍රස්ථාර 2017 වසර දක්වාම දිගු කරලා තිබෙනවා. මේ රූප සටහන දිහා බැලුවහම පැහැදිලිව පෙනෙනවා 2008-2012 වගේ අතර කාලයක කිසියම් වෙනසක් සිදු වෙලා තිබෙන බව. එතෙක් කාලයක් විචලනය වෙමින් වුවත් අර 4.5% බෑවුම දිගේ වර්ධන වූ ලංකාවේ ආර්ථිකය ඒ අවුරුදු තුන හතරේදී එක පාරටම සමාන්තරව යන වෙන පීල්ලකට වැටෙනවා. එහෙම වෙන්න පුළුවන්ද?
මේ වගේ වෙනසක් වෙන්නනම් රටක ආර්ථිකයට විශාල බලපෑමක් වෙන වෙනසක් ඔය කාලයේ වෙන්න ඕනෑ. එහෙම දෙයක් ලංකාවේ සිදු වුනා. ඒ තමයි අවුරුදු 26ක් පැවති යුද්ධය අවසන් වීම. සෛද්ධන්තිකව බැලුවොත් මේ වගේ දෙයක තිබෙන බලපෑම කුමක්ද?
දිගු කාලයක් තිස්සේ ලංකාවේ මානව සම්පත් වගේම භෞතික සම්පත් වලින් විශාල කොටසක් යුද්ධය වෙනුවෙන් නාස්ති වුණා. යුද්ධය අවසන් වුනා කියන්නේ වාර්ෂිකව මේ සම්පත් ප්‍රමාණය ඉතිරි වෙනවා කියන එක. ඒ කියන්නේ රටේ සම්පත් සංචිතය එකවරම ඉහළ යනවා. මේ සම්පත් කලිනුත් රටේ තිබුණත් ඒවා යොදා ගැනුනේ සම්පත් විනාශ කරන්න මිසක් සම්පත් ජනනය කරන්නේ නෙමෙයිනේ. සම්පත් සංචිතය එකවරම ඉහළ යනවා කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතය කෙටි කාලයක් තුළ එකවර ඉහළ යනවා කියන එකයි.
මේ විදිහට කෙටි කාලයක් තුළ රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යද්දී වසර කිහිපයක් එක දිගට ඉහළ ආර්ථික වර්ධන වේගයක් දකින්න පුළුවන් වෙනවා. 2008 වසරේ පමණ සිටම මේ තත්ත්වය දකින්න පුළුවන් වුනා. යුද්ධය ඉවර වුනේ 2009දී බව කාට හෝ මතක් කරන්න පුළුවන්. ඇත්ත. නමුත්, 2009 මැයි මාසේ සිරිසේන මහත්තයා සති දෙකෙන් යුද්දේ ඉවර කරන කාලේ වන විට යුද්ධය ලංකාවේ කුඩා මුල්ලකට සීමා වෙලා ඉවරයි. නැගෙනහිර පළාතේ යුද්ධය ඉවර වෙලා ඒ වන විට සෑහෙන කලක්.
නැගෙනහිර පළාතේ යුද්දේ ඉවර වෙනවත් එක්කම ඒ පැත්තේ කුඹුරු කාලෙකට පස්සේ අස්වැද්දෙන්න පටන් ගත්තා. නැගෙනහිර පළාත ඉතිහාසය පුරාම ලංකාවට බත සැපයූ පළාතක්. මේ අස්වැන්න ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට එකතු වුනා. ඔය විදිහට ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට කලින් ගණන් නොගැනුණු කොටස් ටිකෙන් ටික එකතු වෙන්න ගත්තා.
මුල්ලවයික්කාල් අන්තිම සටන වෙන්න මාස ගාණකට කලින්ම ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික අංශයට එකතු වෙන්න තිබුණු ගොඩක් දේවල් එකතු වෙලා ඉවරයි. ඒ වගේම, යුද්ධය ඉවර වුනා කියලා ලංකාවේ ආර්ථිකයේ කාර්මික අංශයේ මහා ලොකු වෙනසක් වෙන්න හේතුවක් තිබුණේ නැහැ. සේවා අංශයනම් යුද්ධය ඉවර වෙලා අවුරුදු කිහිපයක් යනකම් වේගයෙන් ඉහළ ගිය බව කියන්න පුළුවන්. සංචාරකයින් පැමිණීම වර්ධනය වෙන්න ගත්තේ යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් වීමෙන් පසුවයි.
යුද්ධය අවසන් වීම නිසා සිදුවුනේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය එකවර ඉහළ යාමක් මිසක් එහි වර්ධන වේගය ඉහළ යාමක් නෙමෙයි. රටක දිගුකාලීන වර්ධන වේගය ඉහළ යන්නේ රටකට අලුත් තාක්ෂනය ලබා ගැනීමේ හැකියාව ඉහළ ගියොත් පමණයි. යුද්ධය අවසන් වුනා කියා එහෙම දෙයක් වුනේ නැහැ. යුද්ධයෙන් පස්සේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ලඝු අගය පෙන්වන රේඛාව උඩට ඉස්සිලා (අන්තඃඛණ්ඩය වැඩි වෙලා) මිසක් බෑවුම වෙනස් වෙලා නැති බව හතරවන හා පස්වන රූපසටහන් දිහා බැලුවහම නිරීක්ෂනය කරන්න අමාරු නැහැ.
හරි. අපි කියමුකෝ යුද්ධයෙන් පස්සේ සිදු වුනේ ශක්‍ය දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වන ආකාරය පෙන්වන රේඛා ඛණ්ඩය උඩට ඉස්සුණු එක කියා. එහෙමනං එය කොපමණ ඉහළට ඉස්සුනාද? වෙනත් විදිහකින් කියනවනම් යුද්ධය නිමා වීමේ ප්‍රතිඵලය ලෙස ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය කොපමණ ප්‍රසාරණය වුනාද? මගේ අදහස 15%ක් පමණ කියන එකයි. ශක්‍ය නිෂ්පාදිතය පෙන්වන රේඛාව එකවර 0.15කින් ඉහළ ගියා කියා උපකල්පනය කළොත් ලංකාවේ ආර්ථිකය දැන් ගමන් කරන පථය වඩා හොඳින් ආකෘතිගත කරන්න පුළුවන්.
මෙතැනදී එකවර කියා කියන එකෙන් අදහස් වෙන්නේ දිගින් දිගටම අවුරුදු ගණනාවක් එක දිගට සිදු නොවන වෙනසක් කියන එක මිසක් යුද්ධය අවසන් වූ වහාම ක්ෂණිකව ලංකාවේ දදේනි 15%කින් වැඩි වූ බව නෙමෙයි. යුද්ධය අවසන් වීමට පෙර හා පසු අවුරුදු පහක පමණ කාලය තුළ මේ වෙනස සිදු වූ සංක්‍රාන්ති කාලය ලෙස සලකන්න පුළුවන්. ඒ නිසා, ඒ කාලයේ ලංකාවේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න ප්‍රධාන හේතුව එය කියා කියන්නත් පුළුවන්. ඒ අනුව, 2008 වසරේ සිට 2012 වසර දක්වා වසරකට 3% බැගින් (4.5%ට අමතරව) මේ 15% වර්ධනය සිදුවුනා කියා හිතුවොත් දදේනි වක්‍රය උඩට ඉස්සුනු ආකාරය පහසුවෙන් විස්තර කරන්න පුළුවන්.
පෙනෙන විදිහට මේ වන විට යුද්ධය අවසන් වීමේ බෝනස් එක ඉවරයි. ඒ නිසා දැන් ආයෙමත් ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙන්නේ අර කලින් තිබුණු බෑවුම දිගේ. ඒ බෑවුම 4.5%ක පමණ බෑවුමක්.
Tuesday, October 23, 2018
යුද්ධය නිමවීමෙන් පසු ලංකාවේ ආර්ථිකය
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
හසන්ත, ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන්
ReplyDeleteහැබැයි ආර්ථීකය දියුනු කරන්න පුළුවන් රනිල් ගොනාට විතරයි.
ඉකොනොමැට්ටා යුද්දේ කරන කාලේ "තොප්පිගල කියන්නේ කෑලෑවක්, ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන්, අලිමංකඩ යනවා කියලා පාමංකඩ යන්නේ, කවුරු කොහොම් කිව්වත් මේක අසාර්ථකව ඇදි ඇදි යන යුද්ධයක් etc, etc, ......",
ReplyDeleteකාලයක් මෙහෙම කිව්වා...
දැන් එකෙක් ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු හොයනවා ලමයෙක් හදන්න, ප්‍රභාකරන් මැතිතුමා කිව්වා, 8 පාස් උන සෙබළා මිනීමරුවෙක් කිව්වා, සිංහල කොඩිය කෑලෑ කොඩිය උනා...,
ඔන්න ඔහොම කියපු උන් තමා මහත්තයෝ දැන් "මේ වන විට යුද්ධය අවසන් වීමේ බෝනස් එක ඉවරයි. ඒ නිසා දැන් ආයෙමත් ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙන්නේ අර කලින් තිබුණු බෑවුම දිගේ" කිය කිය චන්දය ඉල්ලන්නේ බල බල ඉන්න එපා. ගිහින් දාන්න චන්දය ඔහොම කියපු උන් වෙනුවෙන් .....