Sunday, October 21, 2018
එන්ටර්ප්රයිස් ලංකා ව්‍යාපෘතිය ෆිස්කල් බූස්ටරයක් ලෙස...
ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණින් ඇති කළා කියන එන්ටර්ප්‍රයිස් ලංකා ව්‍යාපෘතියේ ආකෘතිය අනුව එහි ප්‍රකාශිත අරමුණ කොයි තරම් දුරට ඉටුවෙයිද කියන එක හරියටම කියන්න බැහැ. නමුත්, ඒ හේතුව නිසාම මේ වැඩසටහන නරකයි කියා කියන්නත් බැහැ.
මහ බැංකුව හෝ රජය විසින් කෙළින්ම කියා නැතත්, එන්ටර්ප්‍රයිස් ලංකා ව්‍යාපෘතිය දිහා රාජ්‍ය මූල්‍ය උත්තේජකයක් (fiscal stimulus) විදිහට බලන්නත් පුළුවන්. එහෙම බැලුවොත් මේ වෙලාවේ රටේ සමස්ත ඉල්ලුම ඉහළ දමන්න ගත හැකි විකල්ප මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වලට සාපේක්ෂව මෙය නරක එකක් නෙමෙයි.
මේ ආණ්ඩුව බලයට පත් වෙන්න ආසන්න වසර වල පැවතුණු ඉහළ ආර්ථික වර්ධනයට එක හේතුවක් වුණේ යුද්ධය අවසන් වීමෙන් පස්සේ ලංකාවේ විභව දළ දේශීය නිෂ්පාදිතය එකවරම ඉහළ මට්ටමකට යාමයි. නමුත්, ඒ විදිහට ඉහළ ගියේ රටේ දළ දේශීය නිෂ්පාදිතය මිසක් එහි වර්ධන වේගය නෙමෙයි. මේ දෙක දෙකක්.
රටේ දළ දේශීය නිෂ්පාදිතය ඔය වගේ බාහිර කරුණක් හේතුවෙන් එක වර ඉහළ යන විට ආර්ථික වර්ධන වේගයත් තාවකාලිකව ඉහළ යන නමුත් නැවතත් කලින් තැනටම එනවා. ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් වරද්දා ගත්ත තැන වුනේ මේ වැඩි වීම (ලෙවල් ශිෆ්ට් එක) වර්ධන වේගයේ වැඩි වීමක් සේ සැලකීමයි. මේ ගැන වැඩි විස්තර පසුව වෙනම ලිපියක ලියන්නම්.
කොහොම හරි පහුගිය කාලයේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක පවත්වා ගැනීමේ ප්‍රකාශිත ඉලක්කයක් තිබුණනේ. ආර්ථික වර්ධන වේගය ඉහළ යනවනම් හොඳයි. එහි කතා දෙකක් නැහැ. නමුත්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වලින් හෝ මුදල් ප්‍රතිපත්ති වලින් පමණක් රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය ඉහළ දමන්න බැහැ. වරද්ද ගත්ත තැන ඔතැනයි. එය කරන්න උත්සාහ කරන තරමට වෙන්නේ විභව නිෂ්පාදිතය වැඩි වීම වෙනුවට නිපැයුම් පරතරය ඉහළ යාමයි. එය භයානකයි. බොහෝ විට අවසන් වෙන්නේ ආර්ථිකයේ එකවර සිදුවන ලොකු කඩා වැටීමකින්.
කොහොම වුනත් මහ බැංකුව හා රජය කල් පසුවී හෝ මෙය තේරුම් ගෙන ආර්ථික වර්ධනයට තිරිංග යොදපු නිසා එවැනි එකවර සිදුවන කඩා වැටීමක් වැළකුණා. මේ කියන්නේ රටේ මූර්ත අංශය ගැන. විණිමය අනුපාතිකය, ගෙවුම් ශේෂය වැනි විදේශ අංශයේ අංග ගැන හෝ මුදල් අංශය වැනි අනෙකුත් අංශ ගැන නෙමෙයි. විදේශ අංශයේ අවදානම් තවමත් පහවී නැහැ.
ඉහත කී තිරිංග දැමීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට මේ වන විට ලංකාවේ ආර්ථික වර්ධන වේගය දිගුකාලීන මට්ටමෙන් පහළට වැටිලා තිබෙනවා. රජය වගේම මහ බැංකුවත් දිගින් දිගටම දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටීමේ ප්‍රතිඵලයක් විදිහට ඉදිරි වසර දෙක තුන තුළ ආර්ථික වර්ධනය පහළ ගිහින් ව්‍යාපාර චක්‍රයේ අනික් පැත්ත දැකගන්න පුළුවන් විය හැකියි.
ඒ අතරම ලංකාවේ ආර්ථිකයේ දිගු කලක් තිස්සේ තිබෙන ආකෘතිමය ප්‍රශ්න දෙක වන රාජ්‍ය අයවැය හිඟය හා ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට තිරසාර විසඳුමක් හොයන එක ගැනත් රජය හා මහ බැංකුව හිතමින් ඉන්න බව පේනවා. ලිහිල් මුදල් ප්‍රතිපත්තියකට හෝ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියකට යාම මේ අරමුණට බාධාවක්. රැවුලයි කැඳයි දෙකම බේරගෙනයි කරන දෙයක් කරන්න වෙන්නේ.
රාජ්‍ය මූල්‍ය උත්තේජකයක් විදිහට එන්ටර්ප්‍රයිස් ලංකා ව්‍යාපෘතියේ වැදගත්කම මම දකින්නේ ඉහත පදනම මතයි.
ආර්ථිකය උත්තේජනය කරන්න රජයට මැදිහත් විය හැකි විවිධ ආකාර තිබෙනවා. රජයේ වියදම් වැඩි කිරීම හා බදු අඩු කිරීම කියා පොතේ තිබුණත් මේ දේවල් කළ හැකි ආකාර රැසක් තිබෙනවා. බදු කොටස ගත්තොත් අඩු හෝ වැඩි කරන්නේ කවර බදුද කියන එක මත ඇති වන බලපෑම වෙනස්. ඒ වගේම තමයි රජය විසින් කරන වියදම් රට ඇතුළට ගලා එන්නේ කොහොමද කියන එක.
අපි මුලින්ම බදු අඩු කිරීමේ විකල්පය ගැන හිතමු. මේක ප්‍රායෝගිකව ලංකාවට ඒ තරම් හරියන විකල්පයක් නෙමෙයි. බදු අඩු කළාම භාණ්ඩ හා සේවා වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. පරිභෝජනය ඉහළ යනවා. නමුත්, විදේශ අංශයේ තිබෙන අසමතුලිතතාවයත් එක්ක මේ වෙලාවේ ඒක වෙන්නේ රටේ රැකියා ජනනය වීම එක්ක නෙමෙයි. බොහෝ විට වෙන්නේ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම වෙනුවට ආනයන තවත් වැඩි වෙන එකයි. බදු අඩු කිරීමෙන් අයවැය හිඟය වැඩි වීමේ අවාසිය ගැන බැලුවහම තේරුමක් නැති වැඩක්. කොහොමත් මේ වෙලාවේ කෙරෙන දෙයකුත් නෙමෙයි. ආණ්ඩුව ඉන්නේ බදු තවත් වැඩි කරලා අයවැය හිඟය අඩු කරගන්න උත්සාහ ගනිමින්.
බදු අඩු කරන්නේ නැත්නම් රජයේ වියදම් වැඩි කරන්න ඕනෑ. කාලයක් තිස්සෙම ලංකාවේ ආණ්ඩු වල ජනප්‍රිය තේරීම වුනේ මෙයයි. හැබැයි වියදම් කරපු ආකාරයන්ගේ වෙනස්කම් තිබෙනවා.
ලංකාවේ රජයේ වියදම් ඉහළ යවන සම්ප්‍රදායික ක්‍රමය රජයේ සේවය පුළුල් කිරීමයි. මේ හරහා රටේ තෝරාගත් පවුල් ටිකක මිල දී ගැනීමේ හැකියාව වැඩි වෙනවා. නමුත්, ඊට සාපේක්ෂව රටේ නිෂ්පාදිතය වැඩි වීමක් වෙන්නේ නැහැ. නිපැයුම් පරතරය සෘණ පැත්තට ගිහින් තියෙන වෙලාවට මේ වැඩෙන් ඒ පරතරය පියවගන්න පුළුවන් වුනත් ඒ හේතුව නිසා දිගුකාලීනව අවුල තවත් වැඩි වෙන එකයි වෙන්නේ. මොකද රජයේ සේවයට බඳවා ගන්නවා මිසක් බඳවා ගත්ත අය ඉවත් කරන්න ප්‍රායෝගික ක්‍රමයක් නැති නිසා.
තවත් විකල්පයක් වෙන්නේ රජය මැදිහත් වෙලා මහා පරිමාණ ආයෝජන කරන එක. මේ වැඩේට ප්‍රාග්ධන භාණ්ඩ හා අන්තර් භාණ්ඩ ආනයනය කරන්න වෙනවා. ඒකට ඩොලර් ඕනෑ. ඒ නිසා ප්‍රායෝගිකව විදේශ ණය නොගෙන බැහැ. විදේශ ණය විදිහට ගන්න මුදල් වලින් වැඩි ප්‍රමාණයක් නැවත රටින් එළියට යනවා. උප කොන්ත්‍රාත්තු ආදිය හරහා රට ඇතුළට මුදල් ටිකක් යනවා. රැකියා ටිකකුත් හැදෙනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න මේ වැඩේ නරක නැති වුණත් දැන් කාලයක් තිස්සෙම ඕක කරලා අමාරුවේ වැටිලනේ ඉන්නේ. මේ වෙලාවේ තවත් විදේශ ණය අරගෙන රට ඇතුළේ වියදම් කරන්න පුළුවන් කමක් නැහැ.
මේ විකල්ප එක්ක බැලුවහම එන්ටර්ප්‍රයිස් ලංකා කියන්නේ නරක අදහසක් නෙමෙයි.
රජයෙන් වියදමක් කියල යනවනම් යන්නේ සහන පදනමකට ණය දෙන්න යන මුදල පමණයි. අපි හිතමු රුපියල් සීයකට ණය සහනය රුපියල් පහයි කියලා. ආණ්ඩුව රුපියල් පහක් වියදම් කරන කොට රුපියල් සීයක් රට ඇතුළට ගිහින්. කෙළින්ම වියදම් කරලා සමස්ත ඉල්ලුම ඉහළ දානවට වඩා විසිගුණයක් ප්‍රතිඵලදායකයි.
ඔය සල්ලි ගන්න හැමෝම මේ මුදල් යොදවලා ඵලදායී වැඩ කරයි කියා කියල සහතික වෙන්න බැහැ. නමුත්, ණය ගන්න අයගෙන් ටික දෙනෙක් හෝ යමක් කරයි. ණය ලබා දීමේ සැලසුමේ ඇතැම් කොටස් නරකම නැහැ. පාසැල් වෑන් රථ සේවා, සංචාරක සේවාවන් ආදිය කෙළින්ම ඉලක්ක කරලා තියෙනවා. උපාධිධාරීන්ට ණය දෙන එකේනම් තියෙන්නේ දේශපාලනික අරමුණක් වෙන්න පුළුවන්.
කොහොම වුණත් රජයේ අයවැය මත තිබෙන පීඩනය ලිහිල් කර ගන්නා අතරම ආර්ථිකය තරමක් ප්‍රසාරණය කරගන්න හෝ අඩු ගානේ සංකෝචනය වෙන එක වලක්වගන්න මේ ව්‍යාපෘතියෙන් උදවුවක් ලැබෙයි කියා හිතනවා.
Labels:
ආර්ථික වර්ධනය,
දේශපාලනය,
සහනාධාර,
සේවා ආර්ථිකය
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
ඉකොනොමැට්ටා ලිපියට ඇතුලත්කල පින්තූරය තුලින් හොඳ කතාවක් කියැවෙනවා.
ReplyDeleteඑනම්
සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සංස්කෘති එක සමානයි.
ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ඊට ඉහලයි.
Agree with you mate
Delete+++++++++++++++
The West is the Best
East is the worst
Let's make America great again !
Amen !
RIP Asia Pacific region!
ඉකොනො,
ReplyDeleteපේරාදණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පේ‍්‍රමලාල් ද සිල්වා හදුන්වා දී ඇති සුත‍්‍රයෙන් පසුගිය අවස්ථා 04 හා ආදේශ කර බලද්දී දැනට ප‍්‍රසිද්ද කර ඇති මිල සුත‍්‍රයට කිසිසේත්ම ගැලපීමක් නැති බව පවසයි.
ඉන්ධන මිල වැඩකිරීම් කර ඇත්තේ අවසන් මිල ගෙන පසුපසට ගණනය කර කිසියම් අගයන් ටිකක් පෙන්වීම පමණක් බවත් මෙය ජනතාවට ඇස්බැන්දුමක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.
මහාචාර්ය සිල්වා අභියෝග කරන්නේ සැබෑ මිල සුත‍්‍රයක් ඉදිරිපත් කලහොත් තමන් සංඛ්‍යන විද්‍යාව ඉගැන්වීමෙන් පමණක් නොව විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමෙන්ම ඉවත් වන බවත්ය.
මේ රටේ බහුතර ජනතාව ශුද්ධ ගණිතය. ව්‍යවහාරික ගණිතය දන්නේ නෑ ඉකොනො.
මිළ සූත්‍රය සත්‍යය වුවත් ගණනය කිරීම, ගැඹුරු ගණිත කර්ම නොදන්නේ නම් අසීරුය. මිළ සූත්‍රය අසත්‍ය නම් කිසිවෙකුටත් ගණනය කළ නොහැක.
බොරු මිළ සූත්‍රයක් ඉදිරිපත් කර සමස්ත රටේ ජනතාව රවටා ඇත. එය ජනතාවගේ මුදල් වංචා කිරිමකි. මේ මහාචාර්‍යය තුමා විසින් කර ඇති මේ අභියෝගය ගැන ඉකොනොමැට්ටාගේ අදහස කොහොමද? මේ ගැන වැඩි විස්තර පසුව වෙනම ලිපියක ලියන්න.
See this speech by Prof Ranjeet Premlaal D'Silva FYI
Deletehttps://youtu.be/RSbetrP3zss
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල "එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා" වැඩ සටහන හිතා මතා කඩාකප්පල් කරන බැංකු නිලධාරින්ට එෙරහිව පියවර ගන්නවා’යයි ප‍්‍රකාශ කලේ මහනුවර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගේ ප‍්‍රධාන්වයෙන් මහනුවරදි පැවති අවස්ථාවට එක්වෙමිනි.
ReplyDeleteඅමාත්‍ය කිරිඇල්ල වැඩි දුරටත් ප‍්‍රකාශ කලේ ‘අද වන විට සියළු බැංකු ගමේ ජනතාවත් සමග සම්බන්ද කරලා තිබෙනවා. එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුලින් ගමේ ජනතාවට මෙම සහන ණය ලබා දීමට කටයුතු කරන්න කියලා එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරු සියල්ලටම අපි දැනුවත් කරලා තිබෙනවා. රාජ්‍ය බැංකු ණය ලබා ගැනීමට මෙතෙක් පැවති ඇප කොන්දේසි මේ වන විට අපි අඩු කරලා තිබෙනවා ගමේ කරුණු කාරණා පිළිබද ගමේ ජනතාව දැනුවත් කරලා එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය ජනතාවට ලබා දීමට එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරු වැඩි උනන්දුවක් දැක්විය යුතු යැයි විෂය භාර අමාත්‍යවරයා පවසා සිටියේය.
රාජ්‍ය බැංකු යාන්ත්‍රනය තුල තිබු 100කට වඩා වැඩි ණය යෝජනා ක්‍රම 15කට ආසන්න ප්‍රමාණයකට සම්පිණ්ඩනය කර එමගින් බැංකු විසින් ලබන ලාබය භාණ්ඩාගාරයට යාමට නොදී නැවත ජනතාවටම ලබා දීමට පියවර ගෙන තිබෙනවා. බැංකු කළමනාකාරිත්වය සමග සාකච්චා කරලා ජනතාවට මෙම සහන ණය ලබා දීමට අවශ්‍ය මුලික කටයුතු කරන්න එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ට අපි බලය ලබා දී තියනවා.
අපි සියළු බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙන්නේ හැකි තරම් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන් රෙකමන්ඩ් කරන ව්‍යාපාර කරන ජනතාවට සහන ණය ලබා දීමට කටයුතු කරන්න කියලා. ඒ වගේම කුමන හෝ බැංකුවක නිලධාරියකු මේ වැඩපිළිවෙල සිතා මතා කඩාකප්පල් කරනවා නම් අපිට දැනුම් දෙන්නග එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සිතා මතා කඩාකප්පල් කරන බැංකු නිලධාරීන්ට එරෙහිව විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා කටයුතු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර සිටියේය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අමාත්‍ය මලික් සමරවික‍්‍රම රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන හා මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් ද දේශපාලන නියෝජිතයින් ඇතඑ එක්සත් ජාතික පක්ෂ කි‍්‍රයාකාරින් රැසක් සභභාගි වී සිටියහ.
ඉකොනොමැට්ටා,
ReplyDelete//රජයේ අයවැය මත තිබෙන පීඩනය ලිහිල් කර ගන්නා අතරම ආර්ථිකය තරමක් ප්‍රසාරණය කරගන්න හෝ අඩු ගානේ සංකෝචනය වෙන එක වලක්වගන්න මේ ව්‍යාපෘතියෙන් උදවුවක් ලැබෙයි කියා හිතනවා//
රජයෙන් මේ වැඩසටහන ආරම්භයේ දී ආණ්ඩුව රාජ්‍ය සහ පෞද්ගලික කියන දෙ අංශයේම බැංකු ප්‍රධානීන් ගෙන්නලා කිව්වා අපි 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' කියලා එකක් කරනවා ඒ නිසා ඒ යටතේ ණය ගන්න එන හැමෝටම ණය දෙන්න කියලා.
මෙම අවස්ථාවේ පෞද්ගලික අංශ බැංකු ප්‍රධානීන් බෑ කිව්වා, මොකද එහෙම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ණය දුන්නොත් වෙන්නේ බැංකු කඩන් වැටෙන එක. නමුත් රාජ්‍ය අංශ වල බැංකු ප්‍රධානීන් ට එහෙම බෑ කියන්න බැරි වුනා. ආසන සංවිධායක වරු රෙකමන්ඩ් කලොත් විතරයි වගේ, ඒ කියන්නෙ පක්ෂෙට වැඩ කරපු ඕන කෙනෙක් ගිහිල්ල එන්ටර්ප්‍රයිස් කතාව පැත්තක තියල ණය අරගෙන බැංකු ටික ඉවර කරයි. එතකොට බැංකු පාඩුයි කියල ප්‍රයිවටයිස් කරන්න ලේසියි.
මේ කරන්නේ රාජ්‍ය බැංකු වල මුදල් තම හෙන්චයියන්ට බෙදලා දෙන එක, බැංකුවල තියෙන සල්ලි ටික මිනිසුන්ට බෙදල දෙන්න කියලා කියන එක මහ අමාරු වැඩක් නෙමෙයි.
ඉකොනොමැට්ටා බැංකු කොහොමත් බලන්නේ ණය දෙන්න තමයි, මොකද බැංකු වල ආදායම එන්නෙ සල්ලි ණයට දීලා පොලී ආදායම එකතු කරලා. හැබැයි බැංකු ණය දෙන්නේ ණය ආපසු ගෙවිය හැකි අයට, නැතිනම් බැංකු බංකොලොත් වෙනවා. තැන්පතු කරුවන්ගේ තැන්පත් මුදල් පවා ගෙවා ගත නොහැකි අර්බුද ඇති වෙනවා.
නිසා මේ වෙලාවේ රාජ්‍ය බැංකු බේරා ගැනීමේ විශාල වගකීමක් රාජ්‍ය බැංකු වෘතීය සමිති මත පැටවෙනවා. දශක ගණනාවක් තිස්සේ තැන්පත් කරුවන්ගේ තැන්පත් මුදල් හරහා රාජ්‍ය බැංකු වල ඒකරාශී වී ඇති ධනය මේ ආකාරයට සති කිහිපයකින් ආණ්ඩුවේ හෙන්චයියන්ට බෙදා දී බැංකු බංකොලොත් කිරීමේ ආණ්ඩුවේ නිහීන වෑයමට එරෙහි ව බැංකු වෘතීය සමිති වහාම පෙරට ආ යුතුයි.
ලංකාවේ 2019 අග හරි 2020 මුල හරි මැතිවරණ පැවැත්වෙනවා, එතකොට ආණ්ඩුව කරන්නේ මේ දැන් දෙන ණය බොල් ණය විදියට කපා හරින්න රාජ්‍ය බැංකුවලට උපදෙස් දෙන එකයි. මේක එක්තරා ආකාරයකින් තම හෙන්චයියන් ව සතුටු කිරීමක් වගේම මැතිවරණ වලදී වියදම් කිරීම සඳහා තම හෙන්චයියන්ට මහජන මුදල් බෙදා දීමක් ද වෙනවා. බැංකු වෘතීය සමිති ප්‍රමාදයකින් තොරව දැන්ම ක්‍රියාත්මක විය යුත්තේ ඒ නිසයි.
ඉකොනො මැට්ටා 2019 වසරේ ඉදිරිපත් කිරිමට නියමිත අයවැය යෝජනා මගින් සියලු රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000 ක වැටුප් වැඩීවීමක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඒ අනූව 14 ලක්ෂයක් වන රාජ්‍ය සේවකයින්ටත් මෙම ප්‍රතිලාභය හිමි වනු ඇත.
ReplyDeleteඑමෙන්ම සියලු ක්ෂේත්‍ර නිළධාරින්ට යතුරුපැදි ලබා දීම කෙරෙහි වත්මන් රජයේ අවධානය යොමු ව තිබෙන බව වැඩිදුරටත් දැනගන්නට ලැබේ.