වෙබ් ලිපිනය:

Wednesday, October 24, 2018

සාධාරණ කාසි


ලංකා ඉතිහාසයේ මුල හරියේ හමුවන රජ වරුන්ට පුත්තු වැඩිපුර ඉඳලා තිබෙන බව මහා වංශය අනුව පේනවනේ. ඒ වගේම, අන්තිම හරියේ රජකරපු "රජවරුන්ටත්" ඉන්නේ පුත්තුමනේ. එහෙම වෙන්න පුලුවන්ද?

ගොඩක් අය හිතාගෙන ඉන්නේ කාට හරි ලැබෙන දරුවෙක් ගැහැණු හෝ පිරිමි වීම අහඹු දෙයක් කියලයි. හරියට කාසියක් උඩ දැම්මහම සිරස හා අගය ලැබීම වගේ.

කාසියක් උඩ දැම්මහම සිරස හෝ අගය වැටීමේ සම්භාවිතාව 50%ක් නැත්නම් 0.5ක් කියලා ඉගෙන ගත්ත අය ඕනෑ තරම් මෙය කියවන අය අතර ඇති. ඒ පදනම මත බැලුවොත් කාසියක් එක දිගට උඩ දමන විට එක දිගටම සිරස නැත්නම් අගය වැටෙනවානම් ටිකක් අවුල් වගේනේ.

කවුරු හරි කාසියක් උඩ දමලා මේ කතාව හරිද කියලා පරික්ෂා කරල තියෙනවද?

කාසියක් එක පාරක් උඩ දමලා මේ කතාව හරිද වැරදිද කියන එක තහවුරු කරගන්න බෑනේ. එක්කෝ අගය නැත්නම් සිරස වැටෙයි. කතාව හරිද බලන්න වාර ගණනක් කාසිය උඩ දාන්න ඕනෑ.

අපි හිතමු ඔය කියන සම්භාවිතාව 0.5මයි කියලා. එවිට කාසිය දෙපාරක් උඩ දැම්මොත් දෙපාරම සිරස වැටෙන්න 0.25ක සම්භාවිතාවක් තිබෙනවා. අගය දෙපාරක් වැටෙන්නත් 0.25ක සම්භාවිතාවක් තිබෙනවා. සිරස හා අගය සමාන වාර ගණනක් වැටෙන්න තිබෙන සම්භාවිතාව 0.5ක් පමණයි.

එක දිගට කාසිය දහ පාරක් උඩ දැම්මොත් සිරස හා අගය වාර පහ බැගින් වැටෙන්න තිබෙන සම්භාවිතාව කුමක්ද? එය 0.2461ක් පමණ වෙනවා.

කාසිය උඩ දමන වාර ගණන වැඩි වෙද්දී සිරස හා අගය වැටෙන වාර ගණන සමාන වෙන්න තිබෙන සමභාවිතාව ටිකෙන් ටික අඩු වෙනවා. සිය වාරයක් උඩ දැම්මොත් සිරස හා අගය පණහ පණහ බැගින් වැටෙන්න තිබෙන සම්භාවිතාව 0.0786ක් පමණයි.

කොහොම වුණත් මේ විදිහට කාසිය උඩ දමන වාර ගණන වැඩි වන තරමට සිරස හෝ අගය වැටෙන වාර ගණන මුළු වාර ගණනේ ප්‍රතිශතයක් ලෙස 50%ට ටිකෙන් ටික කිට්ටු වෙනවා. ඕකට කියන්නේ විශාල සංඛ්‍යා වල නීතිය කියලා.

නමුත්, මේක වෙන්නේ එක වාරයක් කාසිය උඩ දැම්මහම සිරස හෝ අගය වැටෙන සම්භාවිතාව 0.5ක්නම් පමණයි. ඒ වගේ ප්‍රතිඵලයක් ලබා දෙන කාසියකට සාධාරණ කාසියක් කියා කියනවා.

ඔය සාධාරණ කාසියක් කියන්නේ ගණිතමය සංකල්පයක්. ඇත්ත කාසි කිසිවකට සාධාරණ කාසි කියන්න බැහැ. ඒවා හදලා තියෙන්නේ හරියටම සමමිතිකව නෙමෙයි. ඒ නිසා, කවුරු හරි සැබෑ ලෝකයේ කාසියක් අරගෙන විශාල වාර ගණනක්, අපි හිතමු වාර මිලියනයක් විතර, ඕක උඩ දැම්මොත් සිරස හෝ අගය වැටෙන වාර ගණන මුළු වාර ගණනේ ප්‍රතිශතයක් ලෙස කිට්ටු වෙන්න ඉඩ තිබෙන්නේ 0.5ට ආසන්න වුවත් 0.5ම නොවන සංඛ්‍යාවකටයි.

වාර කිහිපයක් සිරස හෝ අගය දෙකෙන් එකක්වත් නොවැටී කාසිය කෙළින් හිටින්නත් ඉඩ තිබෙනවා. රුපියල් පහේ කාසියක් වගේ ඝනකම කාසියක්නම් මේ ඉඩකඩ තවත් වැඩියි.

අපි හිතමු කාසිය ඔය කියන විදිහේ සෛධාන්තික සාධාරණ කාසියක්ම කියලා. එහෙම වුනත්, උඩ දාන පුද්ගලයා මත ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. හොඳට නිරීක්ෂණය කරල බලන්න කිසියම් පුද්ගලයෙක් කාසිය උඩ දාන්න පෙර එය තියා ගන්නේ කොහොමද කියලා. එක් එක් පුද්ගලයාට අනන්‍ය රටාවක් දකින්න බැරි වෙන එකක් නැහැ. සමහර අය සිරස උඩට තියාගෙන කාසිය උඩ දමයි. තවත් අය එහි අනිත් පැත්ත කරයි. මේ වගේ දේවල් වෙන්නේ නිරායාසයෙන්මයි.

කොහොම වුනත් ඔය කියපු වෙනස්කම් නිසා කාසියක් උඩ දැම්මහම සිරස හෝ අගය වැටීමේ සම්භාවිතාව මහා ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ක්‍රිකට් තරඟයක් අරඹන අවස්ථාවක් වගේ වෙලාවකදී ප්‍රායෝගිකව මේ සම්භාවිතාව 0.5ක් කියා ගන්න එකේ ලොකු අවුලක් නැහැ.

දැනට කර තිබෙන පර්යේෂණ අධ්‍යයන අනුව, දරුවෙකු පිළිසිඳගන්නා අවස්ථාවේදී ගැහැණු හෝ පිරිමි වීමේ සම්භාවිතාව 0.5 හෝ එයට ඉතාමත්ම කිට්ටු අගයක්. නමුත්, මේ විදිහට සිදුවන පිළිසිඳ ගැනීම් සියල්ලම සජීවී දරු උපත් විදිහට අවසන් වෙන්නේ නැහැනේ.

කළලයක් වැඩෙන මාස නවයක පමණ කාලය තුළ ස්වභාවිකවම ගබ්සා වන කළල වලින් වැඩි ප්‍රමාණයක් ගැහැණු කළල. සමහර විට ගැහැණියක් බිහි කිරීමේදී ස්වභාව ධර්මය වඩා වැඩි සැලකිල්ලක් දක්වනවා ඇති. එහෙම වෙන්න හේතු තියෙනවා. දුර්වල කළල වැඩි ප්‍රමාණයක් ස්වභාවිකව ගබ්සා වූ තරමට එසේ ගබ්සා නොවී ඉතිරි වන්නේ වඩා නිරෝගී කළල. ගැහැණියක් පිරිමියෙකුට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න මෙයත් හේතුවක් වෙනවා ඇති.

මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට වඩා වැදගත් වෙන්නේ පිරිමියෙකුට වඩා ගැහැණියක් වැඩි කල් ජීවත් වීමයි. පිරිමියෙකුට වර්ගයා බෝ කිරීමේ තමන්ගේ යුතුකම කරන්න මහා ලොකු කාලයක් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අවුරුදු විස්සක් ජීවත් වන පිරිමියෙකුට වුවත් දරුවන් සිය ගණනක් බිහි කරන්න බැරි කමක් නැහැ. නමුත්, ගැහැණියකට ඒ ආකාරයට කෙටි කාලයක් තුළ දරුවන් විශාල පිරිසක් බිහි කිරීමේ හැකියාවක් නැහැ.

ස්වභාවික තත්ත්වයන් යටතේදී සජීවී ගැහැණු දරු උපත් 100ක් සිදු වෙන විට සජීවී පිරිමි දරු උපත් 105ක් පමණ සිදු වෙනවා. ඒ කියන්නේ පිරිමි දරුවෙකු ඉපදෙන්න තිබෙන සම්භාවිතාව 51%කට ටිකක් වැඩියි. ගැහැණු දරුවෙක් ඉපදීමේ සම්භාවිතාව 49%කට ටිකක් අඩුයි.

මේ කිවුවේ ස්වභාවික තත්ත්වයන් යටතේ. දැන් තිබෙන්නේ ස්වභාවික තත්ත්වයන්ම නෙමෙයිනේ. ලෝකයේ ගොඩක් රටවල නීත්‍යානුකූලවත්, ලංකාව වගේ රටවල් වල නීතියට පිටින් අවිධිමත් විදිහටත් සැලසුම් සහගතව ගබ්සා කිරීම් සිදු වෙනවනේ. ඒ වගේම කළලයට සති ගණනක් වෙද්දී ගැහැණු පිරිමි බව හොයාගන්න එකත් දැන් සරල දෙයක්නේ. මේ කරුණු දෙකේ ප්‍රතිඵලයක් විදිහට ඇතැම් රටවල සජීවී පිරිමි දරු උපතක් සිදු වීමේ සම්භාවිතාව ඔය කලින් කියපු ගණනටත් වැඩියි.

අපේ අසල්වැසි ඉන්දියාවේ සජීවී ගැහැණු දරු උපත් 100ක් සිදු වෙන විට සජීවී පිරිමි දරු උපත් 111ක් පමණ සිදු වෙනවා. චීනයේ මේ අනුපාතය 115ක්. ඉන්දියාව හා චීනය කියන්නේ ලෝකයේ වැඩිම ජනගහණයක් සිටින රටවල් දෙක නිසා ලෝකයම ගත්තහම සජීවී පිරිමි දරු උපත් අනුපාතය පැහැදිලිව පෙනෙන තරමට ස්වභාවික අනුපාතයට වඩා වැඩියි. ලංකාවේ අනුපාතයනම් ස්වභාවික අනුපාතයට කිට්ටුයි. ලංකාවේත් ගබ්සා කිරීම් විශාල සේ සිදු වුණත් ගැහැණු පිරිමි බව අනුව වෙනසක් ලොකුවට වෙනවා කියා මම හිතන්නේ නැහැ.

කොහොම වුනත්, උපදින දරුවෙකුගේ ගැහැණු පිරිමි බව කියන්නේ සාධාරණ කාසියක් උඩ දැමීමක් නෙමෙයි. ඒ නිසා, පුතෙක් බලාපොරොත්තු වන කෙනෙක්ගේ කැමැත්ත ඉටුවෙන්න තිබෙන ඉඩ 50%ට වඩා තරමක් වැඩියි.

රජවරුන්ගේ පුත්තු ගැන පැහැදිලි කරන්නනම් මේ ප්‍රවාදය ප්‍රමාණවත් නැහැ. ඒ ගැන කතා කරන එක තවත් දවසකට තියමු.

ඊට කලින් කැමති කෙනෙක්ට පිළිතුරු දෙන්න පොඩි ගණිත ගැටලුවක් පහත තියෙනවා. මෙය විසඳීමේදී ඉහත කියැවූ විස්තර අමතක කරලා දරුවෙක් ගැහැණු හෝ පිරිමි වෙන්න තිබෙන සම්භාවිතාව සමාන සේ සලකන්න.

අමලා සහ කමලා යන දෙන්නටම දරුවන් දෙදෙනා බැගින් ඉන්නවා. අමලාගේ වැඩිමල් දරුවා පුතෙක්. කමලාගේ (අඩු වශයෙන්) එක් දරුවෙක් පුතෙක්.

(1) අමලාට පුත්තුම දෙන්නෙක් සිටීමේ සම්භාවිතාව කීයද?
(a) 1/4
(b) 1/3
(c) 1/2
(d) 3/4

(2) කමලාට පුත්තුම දෙන්නෙක් සිටීමේ සම්භාවිතාව කීයද?
(a) 1/4
(b) 1/3
(c) 1/2
(d) 3/4

(Image: http://www.cityofphysics.com/blog/2015/12/08/flipping-coins-and-gender-quotas/)

6 comments:

  1. 1. (c)
    2. (b)

    ගැහැණු දරුවන් ඉපදීමේ සම්බවිතාව අඩුවුනත් අඩුවයසෙන් මියයාම (ළදරු මරණ) පිරිමි ළමුන්ට සාපේක්ෂව අඩුයි.

    ReplyDelete
  2. මහත්තයා ගෑනු කෙනෙක්ද?

    ReplyDelete
  3. වැඩිමල් දරුවා පුතෙක්නම්, දෙවෙනියත් පුතෙක් වීමේ ඉහල සම්භාවිතාවක් තියනවා කියලා මට හිතෙනවා දන්න කියන උදාහරණ කිහිපයක් සළකලා බැලුවම..

    එතකොට නිර්භීත පිරිමින්ට ගැහැණු දරුවො ඉපදෙන සම්භාවිතාව වැඩියි කියලා එකකුත් තියනවාලු නේද ?

    කිඹුල්ලුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය බිත්තරයට ලබා දෙන උෂ්ණතව අඩු වැඩි කිරීම මත වෙනස් කරන්න පුළුවන්ලු..

    ReplyDelete
  4. ඉකොනො ඉන්දියාවේ අනවශ්‍ය ලෙස ගැහැණු දරුවන් වැඩි වෙලාලු. ඉන්දිය ජනගහණයෙන් මිලියන 21ක ප‍්‍රමාණයක ගැහැණු දරුවන් අනවශ්‍ය ලෙස බිහි වි ඇත.

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා රාජපක්ෂ පුත්තු ගැනත් කතා කරමු නේද?

    2012 අයවැය එන්නත් කලින් රේසිං කාර් 19 ක් ඕඩර් කලා: තාත්තා ලක්ෂ 2500 ක සහනයක් දුන්නා: නමුත් කොල්ලෙක් කසාද බඳිනකොටත් බදු ගහනවා: මොන රටක් ද මේ? ජවිපෙ නායක අනුර කුමාර වේදිකාවල 2012-2015 කිව්ව වගේ රාජපක්ෂ පුත්තු හොර හැත්තට රට දුන්නෝතින් ආයෙත් දළදා මාළිගාව වටේ ගොන්නු ගෙනල්ලා රේස් නොපැද ඉදීවිද? පාතාල නායකයන්ට තියෙන සම්ප්‍රදායවත් රාජපක්ෂට නෑ

    රාජපක්ෂ අයවැය රහස් රාජපක්ෂ පුත්තුන්ට දුන් නිසා පුත්තු අයවැය ගේන්නත් කලින් රේසිං කාර් 19 ක් ඕඩර් කළා. ලැම්බෝගිනි රේසින් කාර් 02යි, පෝෂේ රේසින් කාර් 1යි, ඉටියෝස් රේසින් කාර් 13යි, ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඩ් සහ හොන්ඩා සිවික් එක් රථය බැගින්. වටිනාකම ලක්ෂ 933 යි, පුත්තුන්ට බදු නිදහස ලක්ෂ 2000 යි. මොන නායකයෙක්ද මේ? මේ ප්‍රශ්න නැගුවේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක වැඩි දුරටත් අදහස් දැක්වූ අනර රාජපක්ෂ පාලනයේ පොදු පෙරමුණු ආණ්ඩුව ලෙස මේ වනවිට අවුරුදු දෙකක් ඇරෙන්නට වසර 16ක් තිස්සේ රට පාලනය කොට මහින්ද රාජපක්ෂ පාලනයේ අවුරුදු 10ක පාලනයේ ආර්ථීක ප්‍රතිලාභ තමයි මේ ජනතාවට ලැඛෙමින් තිඛෙන්නේ.

    ඕනෑම ආණ්ඩුවක් වසර 03ක් තිසේසේ රටක් පාලනය කරලා 04 වෙනි අයැවය ඉදිරිපත් කරන විට එම අයවැයෙන් සුභවාදී ආර්ථීක ප්‍රතිඵලයක් ජනතාවට ලැඛෙයි කියලා බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. නමුත් මහින්ද රාජපක්ෂ පාලනයේ අවුරුදු 10 ක පාලනය තුළ අපේ රට බරපතල ආර්ථීක අගාධයකට රට ඇදලා දමලා තිඛෙනවා. මුදල් අමාත්‍ය කියා තිඛෙනවා අපේ රටේ ආර්ථීකය අර්බුදයට ණය ගැනීම සහ විශාල ලෙස මුදල් අච්චු ගැසීම හැර වෙන පිළියමක් නැති බව.

    ReplyDelete
  6. ලෝකයේ දැන් කාලයේ සිටින ප්‍රධාන පෙළේ මාක්ස්වාදී විද්වතෙකු ලෙස සැලකෙන මහාචාර්ය ඩේවිඩ් හාර්වේ 2014 වසරේ පළ කළ පොත නම්කොට තිබෙන්නේ "ධනවාදයේ ප්‍රතිවිරෝධතා 17 හා එහි අවසානය" වශයෙනි. එහි පළමු පරිච්ඡේදය වන ‘ධනවාදයේ අර්බුදය - මෙවර කොහොමද’ යන්න ඔහු ආරම්භ කරන්නේ මෙලෙසය.

    "ධනවාදයේ ප්‍රති-නිෂ්පාදනය සඳහා අර්බුද අත්‍යවශ්‍ය යි, ධනවාදයේ පවතින අස්ථාවරභාවයන්ට මුහුණ දී එය නව හැඩයකින් අලුතින් ගොඩනංවා ධනවාදයේ නව ආකාරය නිර්මාණය කරන්නේ අර්බුදයක් තුළදීය. -මහාචාර්ය ඩේවිඩ් හාර්වේ -" යනුවෙනි.

    මහාචාර්ය ඩේවිඩ් හාර්වේ මේ කියන්නේ අර්බුද යනු බියවිය යුතු යමක් නොව ධනවාදය ප්‍රතිනිර්මාණය කිරීමට අත්‍යවශ්‍ය අවස්ථාවක් බවයි. මේ සමාජය නැවත නැවත හැඩ ගැසී වර්තමානය දක්වා පැවැතී ඇත්තේ ඒ ආකාරයෙනි.

    එමෙන්ම අප තේරුම්ගත යුතු වන්නේ යහපාලනය තුළ පවතින ප්‍රතිවිරෝධතා හා අර්බුද ගැනද බිය විය යුතු නැති බවයි. කළ යුතුව තිබෙන්නේ මේ සියල්ල යහපාලනය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අවස්ථා කරගැනීමයි/ යොදාගැනීමයි.

    මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා නව ගමනක් ආරම්භ කළේ 2015 ජනවාරි අටවැනිදාට පෙළ ගැසුණු ජනතා බලවේග විසිනි. එම බලවේගවල පොදු අරමුණක් තිබිණි. පොදු වුවමනාවක් තිබිණි. කෙසේ වෙතත් එදා එම අරමුණුවලට එරෙහිව සිටි පිරිසක්ද මේ වනවිට ආණ්ඩුවේ සිටින බවද පැහැදිලි යථාර්ථයකි. ඇතමුන් එසේ සිටින්නේ එදා සිටි මතවාදයේ තවදුරටත් සිඳිමින් බවද පෙනෙන්නට තිබේ. යහපාලන ආණ්ඩුවට මේ ගමන යන්නට තිබෙන්නේ එම පිරිසද සම්බන්ධ කර ගනිමිනි. එයද අභියෝගාත්මක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

    ඇතැම් විට ප්‍රශ්න දිග්ගැසෙන්නේ මෙය යහපාලනයක් වීම නිසාමය. ඒ නිසා නීතියට මෙන්ම ස්වභාවික යුක්තියේ මූලධර්ම වලටද උපරිම ඉඩ සලසා ක්‍රියාත්මකවීමට සිදුව තිබෙන නිසාය. මල්වාන නිවස කාගේ දැයි කියා හෝ හොරා කවුදැයි කියා හෝ මේ රටේ ජනතාවට සැකයක් නැතත් කිසිවකු දඬුක‍ඳේ ගසන්නට බැරි වී තිබෙන්නේ ඒ නිසාම විය හැකිය. ඩේසි ආච්චිට ලැබුණු මැණික් මල්ලේ කතාව ගැනද කියන්නට තිබෙන්නේ ඒකය. මහජන මුදලින් නෑ හිතවතුන්ට වාහන නිවාස බෙදා දුන් උදවියට ඇප ලබා වීරයන් සේ හැසිරෙන්න ඉඩ ලැබී තිබෙන්නේද ඒ නිසාමය. මිනීමැරුම්වලට, අතුරුදන් කිරීම්වලට වගකිවයුත්තන් නිරුපද්‍රිතව සිටින්නේද ‘යහපාලනය’ නීතියෙන්ම කරන්න යන නිසාය.

    ඒ අතර යහපාලනයට එරෙහි බලවේගවලට මෙබඳු කිසිදු නීතියකට හෝ යුක්තියකට හෝ ගරු කිරීමේ වුවමනාවක් නැත. නීතිය නවන්නටත්, නොමඟ යවන්නටත්, හැකිනම් යට ගසන්නටත් කළ හැකි සියලු දේ ඔවුහු කරති. බොහෝ දේ සිදුවන්නේ තිරය පිටුපසය. ඒවා ඔප්පු කළ නොහැකි වුවද සිදුවන බවට සාධක ඇත. ඒවා දැනගැනීමේ ඉඩ මෙරට ජනයාට නැතුවා නොවේ. මහජනයා වඩාත් කෝපයට පත්ව සිටින්නේ එම තත්ත්වය නිසාමය.


    ඒකාබද්ධ විපක්ෂ හොර කල්ලිය සිතා සිටින්නේ මේ සියල්ල ආණ්ඩුව දුර්වලවන සිද්ධි ලෙස විය හැකිය. එහි යම් සත්‍යයක් නැතුවාද නොවේ. එසේ වුවද ඔවුන් සිතන පරිදි මෙයින් ආණ්ඩුව කඩාවැටෙන්නේ හෝ ඔවුන්ට ආණ්ඩු බලය ගැනීමට මඟපෑදෙන්නේ හෝ නැත. එයට හේතුව නම් ජනවාරි අට ආණ්ඩු පෙරළිය නිකම් ආණ්ඩු වෙනසක් නොවීමයි. එය මෙරට ජනතාව පෙළ ගැසී කළ එක්තරා ආකාරයක විප්ලවයකි. එයට පෙළ ගැසුණු ජනයා ඒ ගමන ඉදිරියටම යනු ඇත. ආපසු හැරවිය නොහැකි වන්නේ එම ජනතා බලවේගයේ අභිලාෂයයි. දූෂණයට, භීෂණයට ‍එරෙහිව වරක් නැගී සිට එය පරාජය කළ ජනයා යළිත් වරක් එබඳු යුගයකට රට ගෙනයන්නට ඉඩ දෙන්නේ නැත.

    මෙම දේශපාලන ගමන් මගේ කුමන හැල හැප්පීම් තිබුණද අවසානයේ ජයගන්නේ යහපාලනය සඳහා වූ ජනතා අපේක්ෂාවයි. ඇත්ත වශයෙන්ම දැන් උදාවී තිබෙන්නේ යහපාලනයේ නව අවදියකට ප්‍රවිෂ්ටවීමේ අවස්ථාවකි. යහපාලනයට ළැදි හා සමාජ ප්‍රගමනය අපේක්ෂා කරන සියලු දෙනා දැන් ක්‍රියාත්මක විය යුත්තේ යහපාලන ක්‍රියාදාමය එම උසස් අවදියට ඔසවා තැබීමටය.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...