වෙබ් ලිපිනය:

Sunday, October 7, 2018

ඔබට සතුටුයිද දැන්?


ටික දවසකට කලින් ලියපු ලිපියකින් මම කියන්න උත්සාහ කළේ මිනිහෙකුගේ ආදායම, වත්කම් වගේ දේවල් හා ලබන සතුට අතර තිබෙන්නේ දුර්වල සම්බන්ධයක් බවයි. ධනය වැඩි අයෙකුගේ ධනය තවතවත් වැඩි වන විට සතුට වැඩි වෙන්නේ ඉතා සෙමින්. එයට හේතු ගණනාවක් තිබෙනවා. කොහොම වුනත් ඒ හේතු ගැන මේ වෙලාවේ කතා කරන්න අදහසක් නැහැ.

මිනිස්සු තමන්ට මුදලින් අවාසි වෙන තීරණ ගන්න අවස්ථා ඕනෑ තරම් තිබුණත්, ඒ වගේ වෙලාවල් වලදීත් තමන්ගේ සතුට අඩු වෙන තීරණ ගන්නේ නැහැ. මුදල් වලින් පාඩුවක් වෙන තීරණයක් ගැනීම නිසා වෙනත් ක්‍රමයකින් තමන්ගේ සතුට වැඩි වෙනවනම් මිනිහෙක් ගන්නේ සතුට වැඩිවන තීරණය මිසක් මුදල් වැඩිවන තීරණය නෙමෙයි. රැකියාව, විවාහය, සංක්‍රමණය වගේ ගොඩක් තීරණ වලදී මේ කරුණ පෙනෙන්න තිබෙනවා.

ඉහත කතාව ගැන කියවපු කිසි කෙනෙක් විරුධත්වයක් දැක්වූයේ නැහැ. නමුත්, ඇතැම් අය මම කියූ දෙයින් තවත් ගොඩක් ඉදිරියට ගිහින් මුදල් නිසා සතුට අඩු වෙනවා කියන අනිත් අන්තයටම ගිහින් ඉන්න බව පෙනුණා. අදාළ පර්යේෂණම නොවුනත් ඒ පර්යේෂණ උපුටා දක්වමින් පළ කළ පුවත්පත් ලිපි වලටත් අවධානය යොමු කරවලා තිබුණා.

ආදායම හා සතුට අතර තිබෙන සම්බන්ධය මම පෞද්ගලිකවත් අධ්‍යයනය කර තිබෙන කරුණක්. ඒ වගේම, මේ හා අදාළව පර්යේෂණ පත්‍රිකා පළ කරලා තිබෙන ඇතැම් අය මා හොඳින් දන්නා අය. තවත් අය එක්ක වරක් හෝ කතා කරල තිබෙනවා. මේ හා අදාළව ලියැවී තිබෙන ගොඩක් දේවල් කියවලත් තිබෙනවා. ඒ හැම දෙයකින්ම පසුව මගේ පෞද්ගලික නිගමනයනම් මේ කරුණ ගැන ඒ ලියා ඇති කිසිම දෙයකින් ලොකු නිගමන වලට එන්න නොහැකි බවයි. ඒ පර්යේෂණ ගැන තිබෙන විවේචන සිංහලෙන් ලියන බ්ලොග් එකක ලියන එකේ තේරුමක් නැති නිසා මෙහි ලියන්නේ නැහැ.

ධනය අතට ලැබෙද්දී සතුට අඩුවනවානම් එයින් අදහස් වෙන්නේ මිනිස්සුන්ට ධනවත් වෙන්න පහසුකම් සැලසීම වැරැද්දක් කියන එකයි. මිනිස්සුන්ට දුප්පතුන් විදිහටම ඉන්න දුන්නම සතුටු වෙනවනම් ඒ සතුට නැති කරන එක මොන තරම් අපරාදයක්ද?

නමුත්, මේ තර්කය නිවැරදි නැහැ. ධනය අතේ තිබෙන කෙනෙකුට ඒ ධනය නිසා තමන්ගේ සතුට අඩු වෙනවා කියා තේරෙනවනම් තමන්ගේ ධනය වෙන කාට හරි දීල නිදහස් වෙන එක හරිම පහසු දෙයක්. කතා වල ඒ වගේ දේවල් සුලභ වුවත් සැබෑ ලෝකයේ එවැනි දේ නිතර වෙන්නේ නැහැ. නමුත්, සිදුවන අවස්ථා තිබෙනවා. මේ විදිහට තමන් අතේ තිබෙන ධනයෙන් නිදහස් වෙන්න බලාගෙන ඉන්න, ධනය නිසා පීඩා විඳින මිනිස්සු ගණනට සාපේක්ෂව බැලුවහම ධනය නැති කමින් පීඩා විඳින මිනිසුන් ගණන ගොඩක් වැඩියි.

අපේ කට්ටකාඩුවේ ලොකු මල්ලී ලියා තිබෙන විදිහට, ලලිත් ගුණවර්ධන, බස්සා වගේ අය එකඟ වෙලා තිබෙන විදිහට "අපි බොහෝ දෙනෙක් අල්පේච්ඡ වන්නේ තේරීමක් (choice) ලෙස නොව වෙනත් විකල්පයක් නොමැති වීම නිසා". ධනය තිබෙන කෙනෙක්ට අල්පේච්ච ජීවිතයක් ගත කරන්න අවශ්‍යනම් ඒකට ලොකු බාධාවක් නැහැ. ඒ වගේම, එවැන්නෙකු සතුටු වෙන්නේ වඩා සුඛෝපභෝගී දිවි පැවැත්මකින්නම් ඒ සඳහා අවශ්‍ය ධනයත් ඔහු සතුව තිබෙනවා.

නමුත්, ධනය නැති කෙනෙකුට මේ තේරීම නැහැ. එවැනි කෙනෙක් ඇතැම් විට අර විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු සමග සංවාදයක යෙදුණු මාළුකාරයා වගේ තමන්ගේ දැන් ජීවිතයෙන් හොඳටම සතුටු වෙන කෙනෙක්නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම කෙනෙක්ට ලොකු බිස්නස් එකකට අතගහන්න යෝජනා කරන එකෙත් තේරුමක් නැහැ.

ඒ වුණත්, හැම මාළුකාරයාම හිතන්නේ ඔය සංවාදයේ පැටලුණු මාළුකාරයා වගේ නෙමෙයි. ගොඩක් අය තමන්ගේ දැන් ජීවිතයෙන් සෑහීමකට පත් වෙන්නේ නැහැ. එහෙම අය බලාගෙන ඉන්නේ දැන් ඉන්න තැනින් අඩියක් ඉස්සරහට තියන්නේ කොහොමද කියලයි.

තවත් ගොඩක් අය සල්ලි හොයන්න වැඩිපුර මහන්සි නොවෙන්නේ සල්ලි වලට අකැමැති නිසා නෙමෙයි. සල්ලි හොයන්න සිදුවිය යුතු මහන්සියට අකැමැති නිසයි. එහෙම මහන්සි නොවී ධනය එක්රැස් කරගන්න ක්‍රමයක් තියෙනවනම් මේ ගොඩක් අය එපා කියන්නේ නැහැ.

මම පෞද්ගලිකව ගත්තොත් මට ජීවත් වෙන්න මහගොඩක් දේවල් අවශ්‍ය නැහැ. මම තරුණ කාලයේදීවත් බඩු මිල දී ගනිද්දී සන්නාම පස්සේ පන්නපු කෙනෙක් නෙමෙයි. මට අවශ්‍යනම් මීට වඩා ටිකක් වැඩි ආදායමක් ලැබිය හැකි රැකියාවක් හොයාගන්න අපහසු නැහැ. නමුත්, දැන් රැකියාව කරද්දී තිබෙන නිදහසට මම කැමතියි.

මේකම වෙනත් විදිහකට කියනවනම් වඩා වැඩි ආදායමක් හොයන්න දැන් මම සතුට ලබන වෙනත් දේවල් කැප කරන්න මම කැමති නැහැ. එහෙම නැතුව පහසුවෙන් මුදල් ලැබෙනවනම් සංචාරයේ යෙදීම වගේ දේවල් වෙනුවෙන් තවත් ඕනෑ තරම් මුදල් වැය කරන්න බැරිකමක් නැහැ.

මෙහෙම කිවුවත් මම මේ කියන අල්පේච්ඡ ජීවිතය කියන්නේ මොන වගේ එකක්ද? වැඩිය නෙමෙයි දැනට අවුරුදු දහයකට කලින් මම ගෙවපු ජීවිතයට ආපහු ගිහින් මට අද තරමටම සතුටින් ඉන්න පුළුවන් වෙයිද? මම හිතන්නේ නැහැ.

හැම දෙනාම නොවුනත් අල්පේච්ඡ දිවි පැවැත්මකින් සතුටු වෙන මම වගේ තවත් ගොඩක් අය තමන්ගේ ඒ අල්පේච්ඡ ජීවිතය අර්ථ දක්වාගන්නේ තමන් දැන් ඉන්න සමාජ තත්ත්වයට සාපේක්ෂවයි. මොන විදිහෙන් හෝ තමන් ඉන්න තැනින් උඩට යාමේ පිස්සුවක් (මා ඇතුළු) මේ අයට නැති වෙන්න පුළුවන්. නමුත්, තමන් ගතකරන ජීවිතය හිතාහිටි තරම්ම අල්පේච්ඡ එකක් නොවන බව හරියටම තේරෙන්නනම් මොකක් හෝ අවුලක් වෙලා දැන් ඉන්න තැනින් අඩියක් පහළට වැටෙන්න ඕනෑ.

ඒ වගේම, මේ වගේ අල්පේච්ඡ ජීවිත ගෙවන (නැවතත් මා ඇතුළු) ගොඩක් අයගේ වත්කම් හෝ ආදායම් මොන විදිහකින් හෝ පොඩ්ඩක් ඉහළ ගිය විට වෙන්නේ ඔය අල්පේච්ඡකම තවදුරටත් තිබුණත් එහි ලක්ෂණ වෙනස් වෙන එකයි. බයික් එකක් ගන්න පුළුවන් කෙනෙක් කැමැත්තෙන්ම බස් එකේ යමින් තමන්ගේ අල්පේච්ඡ ජීවිතය ගැන සතුටු වෙද්දී ටොයෝටා ලෑන්ඩ් කෲෂර් එකක යන්න පුළුවන් කෙනෙක් ඩබල් කැබ් එකක යමින් තමන්ගේ අල්පේච්ඡ ජීවිතය ගැන සතුටු වෙනවා වෙන්න පුළුවන්.

තමන්ගේ මූලික අවශ්‍යතා ඉටුකරගන්න තරම් වත්කම් හෝ ආදායම් නැති අයෙක් තමන් දැනට ගත කරන ජීවිතයෙන් සතුටු වෙන්නේම නැති බව කියන්න බැරි නමුත් එවැනි අයෙකුට කිසියම් මුදලක් ලැබුණු විට වැඩිවන සතුට ධනවතෙකුට මුදලක් ලැබුණු විට වැඩිවන සතුටට වඩා ගොඩක් වැඩියි. ආදායම් මට්ටම යම් තැනකට ආවට පස්සේ හැමෝටම නොවුනත් ගොඩක් අයට සල්ලි පස්සේ පැන්නීම ඇති වෙනවා. නමුත්, එයින් කියන්නේ සල්ලි එපා වන බව හෝ සල්ලි නිසා සතුට අඩුවන බව නෙමෙයි. වෙනත් ඇතැම් දේවල් වලින් ලැබෙන සතුට සල්ලි වලින් ලැබෙන සතුටට වඩා වැඩි බවයි.

මේ වගේ වෙලාවට මිනිස්සු දැනුම, සෞඛ්‍යය වගේ ඉලක්ක පස්සේ පන්නන්න ගන්නවා. බලය හා පිළිගැනීම වගේ ඉලක්ක පස්සේ පන්නන අයත් ඉන්නවා. එය එක් එක් පුද්ගලයා සතුටු වන ආකාරය මත තීරණය වන්නක්.

සාමාන්‍යයෙන් අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම් සැලකෙන්නේ ආයෝජනයක් හැටියටයි. මේ අදහස අනුව යමෙක් අධ්‍යාපනය වෙනුවෙන් මුදල් හෝ කාලය යොදවන්නේ ඒ  හේතුවෙන් අනාගතයේදී තමන්ගේ ආදායම් ඉහළ යනු ඇතැයි විශ්වාස කරන නිසයි. නමුත්, එය එහෙම නොවන අවස්ථා තිබෙනවා. දශක ගණනක් රැකියාව කර විශ්‍රාම යාමෙන් පසුව සරසවි වල උපාධි පාඨමාලා හදාරන්න එන අය ඉන්නවා. ඒ එන්නේ අනාගතයේ තමන්ගේ ආදායම් වැඩි කරගන්න නෙමෙයි. ඒ වගේම, තමන්ගේ රැකියාවට අදාළ නැති වෙනත් දේ ඉගෙන ගන්න මුදල් හා කාලය යොදවන අය ඉන්නවා. (මේ දවස්වල අර්ධ ශතකය පහුකරපු අපේ මිත්‍රයෝ කිහිප දෙනෙක් මාර උනන්දුවෙන් සංගීතය හදාරනවා.)

කෙනෙක්ගේ රැකියාව ඔහුගේ හෝ ඇයගේ ආදායම් මාර්ගය වනවාක් මෙන්ම යම්තාක් දුරකට සතුට ලබන මාර්ගයක් එහෙමත් නැත්නම් විනෝදාංශයක්ද වන බව මම කලින් ලිපියක සඳහන් කළානේ. ඔයාකාරයටම අධ්‍යාපනය කියන්නෙත් ආයෝජන භාණ්ඩයක් වගේම යම් තරමකට පරිභෝජන භාණ්ඩයක්. ඇතැම් අය ඉගෙන ගන්නේ ඒ හේතුවෙන් තමන් ලබන සතුට නිසා.

සෞඛ්‍යය කියන එක ගත්තත් තත්ත්වය ඔය වගේම තමයි. අනාගත ආයෝජනයක් විදිහට හොඳ සෞඛ්‍ය පුරුදු වෙනුවෙන් ආයෝජනය කරන අය වගේම මෙවැනි ඇතැම් හොඳ සෞඛ්‍ය පුරුදු වලින් සතුටු වන අයත් ඉන්නවා. එවැනි අයට එවැනි කටයුතු සතුට ලබන මාර්ගයක්. පරිභෝජන භාණ්ඩයක්.

එක් එක් පුද්ගලයා සතුට ලබන ආකාරය වෙනස්. එය තීරණය වන්නේ කොහොමද කියන එක හරියටම පැහැදිලි කළ හැකි ආකාරයක් නැහැ. මෙවැනි ඇතැම් වෙනස්කම් කුඩා කාලයේදීම දකින්න පුළුවන්.

ඇතැම් ළමයි කුඩා කාලයේදී පාඩම් වැඩ වලට යොමු කරන්න දෙමවුපියන්ට සෑහෙන මහන්සියක් දරන්න වෙනවා. නමුත්, ක්‍රීඩා කිරීම හා අදාළව තනිකරම එහි අනිත් පැත්ත. ගොඩක් වෙලාවට සෙල්ලම් නවත්තලා පොත අතට ගන්නේ දෙමවුපියෙක් හොඳින් කතා කර කීමේ සීමාව පැන්නටත් පස්සෙයි. හැබැයි හැම ළමයාම ඔහොම නැහැ. මම හිටියේනම් තනිකරම අනිත් පැත්තේ. ඒ වර්ගයේ ළමයෙක්ට පොත් පත් කියවන්න කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. නමුත්, පොත පැත්තකින් තියා එළියට බහින්න කියා කියන්න වෙන්නේ ටිකක් සැර දාලයි.

දැන්නම් එන්න එන්නම මේ දෙවන කාණ්ඩයේ ළමයි වැඩියි. හැබැයි එළියට බහින්නේ නැත්තේ පොත්පත් නිසා නෙමෙයි.

යමෙක් තමන්ගේ රැකියාවෙන් සතුටු වන එකේ කිසියම් අවාසියකුත් තිබෙනවා. එවැනි අයෙකුට තරමක් අඩු වැටුපක් ගෙවා වුවත් රැකියාව තුළ රඳවා ගන්න අපහසුවක් නැහැ. ඒ වගේම, අධ්‍යාපනය නිසා සතුටු වන කෙනෙක් ලැබෙන ප්‍රතිලාභ ගැන නොහිතා හෝ ඊට වඩා වැඩියෙන් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන නිසා එහි ප්‍රතිලාභ වෙනත් අයට, ඇතැම් විට පොදුවේ සමාජයට ලැබෙන්න පුළුවන්. නමුත්, රැකියාවෙන් හෝ අධ්‍යාපනයෙන් සතුටු නොවන කෙනෙක් ඒ වෙනුවෙන් කාලය හා ශ්‍රමය යොදවන්නේ තමන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය තරමේ මූල්‍යමය වාසියක් සැලසෙනවානම් පමණයි.

ඇතැම් අය ශාරීරික ව්‍යායාම කිරීමෙන් සතුටු වෙනවා. නමුත්, පෞද්ගලිකව මම ශාරීරික ව්‍යායාම කරන්නේ එය ආයෝජනයක් ලෙස සලකලයි. එවිට වියදම වැඩියෙන් දැනෙනවා. මේ වැඩෙන් නිරායාසයෙන්ම සතුටක් ලැබෙනවානම් වඩා පහසුවෙන්, අඩු වියදමකින්, එය කරන්න තිබුණා. මේ වියදම කියන්නේ මුදල් නෙමෙයි.

අපට සතුටක් ලැබෙන දේවල් කිරීම අපේ තේරීමක් වුවත් අපට සතුටක් ලැබෙන්නේ මොන දේවල් වලින්ද කියන එක අපේ තේරීමක් කියා මම හිතන්නේ නැහැ. එය දෙවියන්ගේ කැමැත්ත හෝ කර්මය හෝ අපට අහම්බෙන් ලැබුණු ජාන වෙන්න පුළුවන්.

(Image: https://partners4prosperity.com/money-and-happiness/)

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. //නමුත්, දැන් රැකියාව කරද්දී තිබෙන නිදහසට මම කැමතියි.// මෙන්න මේ කතාව නම් මටත් කෙලින්ම අදාලයි. මගේ මිතුරන් හා බොහෝ සමකාලින විශ්ව විද්‍යාල සගයින් මට වඩා ඉතා ඉහල වැටුප් සහිත දෙස්, විදෙස් රැකියා වල නිරත වෙනවා. නමුත් ඔවුන් රැකියාව වෙනුවෙන් වැයකරන කාලය සහ දැරීමට සිදුවන පිඩනය හා සැසඳූ විට මට ඇති less stressful work environment එක සහ නිදහස මිල කල නොහැකියි.

    මගේ මිතුරන් රැකියාව වෙනුවෙන් වඩාත් වෙහෙසෙන විට ඒ අමතර කාලය පොතක් පතක් කියවීමට, දරුවන් සමග ගත කිරීමට සහ රවී, ඉකොනෝ වගේ කැමති බ්ලොග්කරුවන්ගේ ලිපියක් කියවීමට යෙදවීමට හැකිවීම ඇත්තටම ලොකු සතුටක්!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන, කියවන ඔක්කොම අඩු වැඩි වශයෙන් මේ ඝනයට වැටෙනවා ඇති නේද? නැත්නම්, යකා බැඳගෙන වගේ වැඩ කරණ උන්ට කොහෙද බ්ලොග් කියවන්න, ලියන්න වෙලාවක්..

      Delete
  3. හිතන්න ඕනම මාතෘකාවක්. එත් ඉතින් වැඩට හිරවෙලා හිතන්න වෙලාවක් නැති අයට මේ වගේ ලිපි කියවන්න වෙලා තියෙයිද?

    ReplyDelete
  4. බොහොම වැදගත් මාතෘකාවක් වගේම හොඳ ලිපියක්. මේ වගේ දේවල් සාකච්චා මේසයට ගෙන ඒම ගැන පිං.

    වෙලාවකට හිතෙනවා අපි කොච්චර දේවල් පදනමක් නැතුව විස්වාස කරනවද කියලා. වැඩේ කියන්නෙ, ඒ අතර, විද්‍යත්මකව ඔප්පු කරල තියනවා කියල අපි හිතන් ඉන්න බොරු තොගේකුත් තියනවා කියල ලගදි බලපු වීඩියෝවක තිබුනා.විටමින් සී හෙම්බිරිසාවට හොඳයි. නිවිති කෑමෙන් වැඩි යකඩ ප්‍රමාණයක් ලැබේ , වගෙ දේවල්.

    ReplyDelete
  5. This is where you need buddhist teachings than economics. Why Bhutan is identified as the country with most happy people.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...