වර්ඩෝමීටර්ස් දත්ත අනුව පෙරේදා (ඔක්තෝබර් 23) දින ඇමරිකා එක්සත් ජනපදයෙන් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 81,414ක්. එම ප්‍රමාණය මෙතෙක් දිනකදී එක්සත් ජනපදයෙන් හමු වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි. එදිනම ලංකාවෙන් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 866ක්. එම ප්‍රමාණය මෙතෙක් දිනකදී ලංකාවෙන් හමු වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි.
කෝවිඩ්-19 සමස්ත මිනිස් ප්‍රජාව මුහුණ දී සිටින පොදු ප්‍රශ්නයක්. තරඟය තිබෙන්නේ අදාළ රෝගකාරක වෛරසය හා හෝමෝ සේපියන්ස්ලා අතර මිස ලෝකයේ එක් එක් රටවල් අතර නෙමෙයි. ඒ නිසා, කෝවිඩ්-19 හා අදාළව ලෝකයේ රටවල් සංසන්දනය කිරීමේ තේරුමක් තිබෙන්නේ තර්ජනයට මිනිස් ප්‍රජාව සේ පොදුවේ මුහුණ දීමේදී වඩා සාර්ථක ක්‍රමවේදයන් හඳුනාගැනීමේ අරමුණින් පමණයි.
කෝවිඩ්-19 තර්ජනයට ලෝකයේ විවිධ රටවල ආණ්ඩු ප්‍රතිචාර දැක්වූයේ විවිධ ආකාර වලින්. එම ප්‍රතිචාර වල අදාළ ආණ්ඩු වල දේශපාලනය දැකගත හැකි වුනා. එහෙත්, ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් "වැරදි තීරණ" ගත්තේ නැහැ. හැම ආණ්ඩුවක් විසින්ම ගත්තේ ඔවුන්ගේ විශ්ලේෂණ හැකියාවන්ට සාපේක්ෂව නිවැරදිම තීන්දු. මේ විශ්ලේෂණ වලදී එක් රට හා අදාළ සුවිශේෂී භූගෝලීය, සමාජයීය, ආර්ථික, සංස්කෘතික, දේශපාලන කරුණු සැලකිල්ලට ගැනුණා. ඒ සාධක වෙනස් වූ ආකාරය අනුව විවිධ රටවල ප්‍රතිචාරද වෙනස් වුනා. එය එසේ සිදුවීම නරක දෙයක් නෙමෙයි.
කෝවිඩ්-19 තර්ජනයට ප්‍රතිචාර දැක්වීමේදී ඉහත සාධක වල වෙනස්කම් වගේම කෝවිඩ්-19 හා අදාළ දැනුමේ සීමාවන්ද බලපෑම් කළා. වසංගතය පැතිරුණු මුල් කාලයේදී ඒ පිළිබඳව තිබුණේ සීමිත දැනුමක්. මේ දැනුම තවමත් සීමිත වුවත්, මුල් කාලයේදී තරම්ම සීමිත නැහැ. වසංගතය පිළිබඳ දැනුම වඩා සීමාකාරී වන තරමට වැඩිපුර "කණාපල්ලන්" ගහන්න වෙනවා. මේ විදිහට කණාපල්ලන් ගැහීමේදී වාස්තවික කරුණු වලට වඩා තීරණ ගන්නා අයගේ පෞද්ගලික මතිමතාන්තර ඉස්මතු වෙනවා. ඒ පෞද්ගලික මතිමතාන්තර වෙනස්වන ආකාරය අනුව විවිධ රටවල ප්‍රතිචාරද වෙනස් වෙනවා. එහෙත්, රෝගය පිළිබඳ දැනුම පුළුල් වෙද්දී වඩා නිවැරදි ප්‍රතිචාර හඳුනා ගැනීම පහසු වෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය වැනි විශාල රටක පොදු වශයෙන් බලපාන තීරණ ගැනීමේදී ලංකාව වැනි රටකට සාපේක්ෂව වැඩි පිරිසක් මැදිහත් වෙනවා. අවිනිශ්චිත තත්ත්වයන් යටතේ වුවත්, වැඩි පිරිසකගේ දායකත්වයෙන් ගන්නා තීරණ නිවැරදි වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ඊට සාපේක්ෂව තනි පුද්ගලයෙකු විසින් ගන්නා තීරණ වැරදෙන්න වැඩි ඉඩක් තිබෙනවා.
බලය කියා කියන්නේ ඕනෑම රටක ආණ්ඩුවකට වටිනාම දෙයක්. ආණ්ඩුවක් ජනප්‍රියයි කියා කියන්නේ ඒ ආණ්ඩුව සතු බලය වැඩියි කියන එකයි. ඒ නිසා ආණ්ඩුවකට ජනප්‍රිය විය හැකි දේ කරන්නත්, ජනප්‍රිය නොවන දේ නොකරන්නත් ස්වභාවික නැඹුරුවක් තිබෙනවා.
කෝවිඩ්-19 නිසා රටක මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මැරෙද්දී කිසිම ආණ්ඩුවක ජනප්‍රියත්වය ඉහළ යන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවක් සතු බලය දුර්වල වෙනවා මිසක් වඩා ශක්තිමත් වෙන්නේ නැහැ. සමාජවාදී වේවා, ධනවාදී වේවා, ප්‍රජාතන්ත්‍රවාදී වේවා, ඒකාධිපති වේවා, ඕනෑම රටක ආණ්ඩුවක්, ඕනෑම රටක පාලකයෙක් එම රටේ කෝවිඩ්-19 පැතිරෙන එක වලක්වා ගත හැකිනම් එය නොකර ඉන්නේ නැහැ. හැම රටකම වගේ ආණ්ඩු කෝවිඩ්-19 හමුවේ තම තම නැණ පමණින් කළ හැකි දේ කර තිබෙනවා. ඒ කළ දේවල් හා කළ දේවල් වල ප්‍රතිඵල රටින් රටට වෙනස් වීම වෙනම කරුණක්.
චීන ආණ්ඩුවට හමු වුනු කෝවිඩ්-19 සතුරා හිටියේ රට ඇතුළේ. ඒ වෙද්දී චීනයෙන් පිටත කෝවිඩ්-19 තිබුණේ නැහැ. ඒ නිසා, චීනයට තිබුණේ පැහැදිලි, නිශ්චිත ඉලක්කයක්. චීනය මුලින්ම සතුරාව වට කරලා ඉන් පසුව සතුරා හඹා ගොස් පහර දී විනාශ කළා.
ඒ වන විටත් සතුරු කණ්ඩායම් චීන ආණ්ඩුවේ ඉදිරි ආරක්ෂක වළල්ල කඩා ගෙන එළියට ගිහින් තිබුණා. එහිදී චීන ආණ්ඩුව විසින් කළේ සතුරා සිටිය හැකි වඩා විශාල ප්‍රදේශයක් වට කරලා ඉතිරි ප්‍රදේශ බේරගන්න එකයි. මධ්‍යගත පාලනයක් තිබෙන විශාල රටක් වීම මෙහිදී චීනයේ වාසියට හිටියා.
චීනය කෝවිඩ්-19 තුරන් කරලා නැහැ. තවමත් වරින් වර චීනයෙන් කෝවිඩ්-19 රෝගීන් හමු වෙනවා. එසේ හමු වෙන අවස්ථා වලදී ඉක්මණින් සතුරා හඳුනාගෙන, සතුරා හඹා ගොස් පහර දී විනාශ කිරීම චීනය විසින් තවමත් සාර්ථකව කරමින් සිටිනවා.
ඇමරිකාව ඇතුළු ලෝකයේ අනෙක් හැම රටකටම වගේ මුහුණ දෙන්න වුනේ වෙනස් ආකාරයක ප්‍රශ්නයකට. සතුරා හිටියේ රටින් පිට. ඒ නිසා, චීනය මෙන් වට කර පහර දීම වෙනුවට තමන්ගේ මායිම් ආරක්ෂා කර ගැනීමයි කළ යුතු වුණේ. ලංකාව කළේත්, ඇමරිකා එක්සත් ජනපදය විසින් කළේත් මෙයයි.
මේ කාර්යයේදී එක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළකින් (ප්‍රායෝගිකව) පමණක් ලෝකය හා සම්බන්ධ වී සිටි කුඩා දූපත් රාජ්‍යයක් වූ ලංකාවට හා අයිස්ලන්තය, නවසීලන්තය, සීෂෙල්ස් වැනි වෙනත් දූපත් රාජ්‍ය වලට තිබුණු භූගෝලීය වාසිය ඇමරිකා එක්සත් ජනපදයට තිබුණේ නැහැ. ඒ වගේම, රෝගය ගැන ලෝකය දැන ගන්නා අවස්ථාව වන විටත් කෝවිඩ්-19 ඇමරිකාවට ඇතුළු වී අවසන්.
ලංකාවේ ඇතැම් අය ඇමරිකාවට විරුද්ධව චීනයේ පැත්ත අරගෙන කුලියට කහින නමුත් ඇමරිකාව හා චීනය අතර තිබෙන ආර්ථික වගේම සංස්කෘතික සම්බන්ධතාත් ලංකාව හා චීනය අතර තිබෙන එම සම්බන්ධතා වලට වඩා කිහිප ගුණයකින් ප්‍රබලයි. චීනයෙන් පිටත චීනයේ ඉපදුණු පුද්ගලයින් වැඩිම ප්‍රමාණයක් ජීවත් වන රට ඇමරිකා එක්සත් ජනපදයයි. හොංකොං වල සිටින චීන ප්‍රධාන භූමියේ ඉපදුනු ප්‍රමාණය පවා ඊට අඩුයි.
ඇමරිකාවට එන විදේශ සිසුගහණයෙන් තුනෙන් එකක්ම එන්නේ චීනයෙන්. චීන ජාතිකයින් සරණාගතයින් සේ වැඩිපුරම එන්නේත් ඇමරිකාවටයි. ඇමරිකාවෙන් පිටතට යැවෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් හතරෙන් එකක් යන්නේ චීනයට. චීන අපනයන වලින් පහෙන් එකක්ම මිල දී ගන්නේ ඇමරිකාවයි.
කාලයක් ලංකාවේ රාජ්‍ය නායකයින් ඇමරිකාව ඇතුළු බටහිර රටවල හයිය අරගෙන ඉන්දියාවට චණ්ඩි පාට් දැම්මා. එහෙත්, බටහිර රටවල් ඉන්දියාවේ වෙළඳපොල අමතක කර ලංකාවේ පැත්ත ගත්තේ නැහැ. චීනය ගැන කියන්න තියෙන්නේත් ඔය ටිකම තමයි. චීනය ලංකාවට කෑම මේසයේ වැදගත් තැනක් දුන්නත් ඒ තැන කරපිංචා වලට ලැබෙන තැනයි. ඇමරිකාවේ පමණක් නෙමෙයි ඉන්දියාවේ වෙළඳපොළ පවා වැඩි කල් නොයා චීනයට ලංකාවට වඩා වැදගත් වෙනවා.
චීනය පැත්තකට තියලා ලංකාවේ කෝවිඩ් වලට එමු. ලංකාව මුලදීම පිටින් රටට කෝවිඩ් එන එක පාලනය කරගත්තා. ඉන් පසුව, රට ඇතුළේ කෝවිඩ් සතුරා සිටින තැන් හඹා ගොස් වටකර පහර දුන්නා. වටකර කියා කිවුවත් අත් අඩංගුවට ගෙන පොලීසියේදී පහර දුන්නා කියන එක වඩා නිවැරදියි. මේ ක්‍රියාදාමය ඇතුළේ සතුරාට පහර දීමටත් වඩා ප්‍රමුඛ වුනේ සැක කටයුතු සතුරන් අත් අඩංගුවට ගැනීමයි.
නිරෝධායන මධ්‍යස්ථාන නමින් ලංකාවේ ආණ්ඩුව විසින් කළේ මහත මිනිස්සු එකතු කර කර රේල්පාරට තල්ලු කරන එකයි. මෙය නිරීක්ෂණයක් මිසක් විවේචනයක් නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ කැමැත්ත එයනම්, වැඩෙත් කෙරෙනවානම් විවේචනය කරන්න පදනමක් නැහැනේ.
වෙනත් පිරිසකගේ ජීවිත බේරාගැනීම සඳහා ආණ්ඩුව විසින් තමන්ව බිලි දෙනවාට කවුරුවත් කැමති වෙන්නේ නැහැ. එහෙත්, එහෙම අකැමැති වුනා කියා තනි පුද්ගලයෙකුට කළ හැකි දෙයක් නැහැ. ආණ්ඩුවේ බලය හමුවේ ඇස් දෙක පියාගෙන ට්‍රොලිය කිසියම් ආශ්චර්යයකින් තමන්ව යට නොකර බේරන තුරු බලා ඉන්නවා හැර වෙනත් කළ හැකි දෙයක් මහත මිනිහාට නැහැ.
ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක ආණ්ඩුවකට මේ වගේ දෙයක් කරන්න බැහැ. හඬක් නැති මහත මිනිහා වෙනුවෙන් කතා කරන්න තවත් බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙනවා. එසේ කරන්නේ පෞද්ගලික නිදහස කියන සටන් පාඨය අරගෙන. හැබැයි බටහිර රටක ආණ්ඩුවකට ලීවරය ඇදලා ට්‍රොලිය අතුරු මාර්ගයකට හරවන්න පුළුවන්. ඒ වැඩෙන් වෙන්නෙත් පැත්තක ඉන්න කෙනෙක් මැරෙන එක. මේ වගේ වෙලාවකත් විවේචන ආවත් ඒ විවේචන ආණ්ඩුවේ ක්‍රියාවට බාධාවක් වෙන්න තරම්ම ප්‍රබල නැහැ.
කෝවිඩ්-19 හමුවේ ආණ්ඩුවකට වැඩි දෙනෙකුගේ යහපත වෙනුවෙන් සුළු පිරිසක් බිල්ලට දෙන්න තිබෙන අයිතිය පිළිගන්නවානම්, උපයෝගීතාවාදී පදනමකින් බැලුවහම ලීවරය අදින එක නිවැරදි වෙන්නත්, මහත මිනිස්සු හොය හොයා නිරෝධායන කඳවුරු වල ගාල් කරන එක වැරදි වෙන්නත් තර්කානුකූල හේතුවක් නැහැ. මේ වගේ වෙලාවක හරි වැරැද්ද තීරණය වෙන්නේ බහුතර මතය අනුව. බහුතර මතය වෙනස් වන ආකාරය අනුව කිසියම් රටක ලොක්ඩවුන්, ඇඳිරි නීති, නිරෝධායන කඳවුරු ආදී ඕනෑම උපාය මාර්ගයක් හරි හෝ වැරදි වෙන්න පුළුවන්.
ලංකාව අනුගමනය කළ නිරෝධායන කඳවුරු ක්‍රමය නිසා රටේ බොහෝ දෙනෙකුගේ කෝවිඩ්-19 අවදානම විශාල ලෙස අඩු වුනා. එහි මිල ගෙවන්න වුනේ එම කඳවුරු වල ගාල් වූ සුළු පිරිසකට. මගේ විශ්වාසය අනුව මේ නිරෝධායන කඳවුරු වලින් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් සැලකිය යුතු පිරිසකට වෛරසය අසාදනය වෙන්න ඇත්තේ එම කඳවුරකදී. ඉතාලියෙන් හා ඉන්දියාවෙන් ආ කණ්ඩායම් වල සිට හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනාම ඒ රටවලින් කෝවිඩ්-19 අරන් ආ අය කියා මම හිතන්නේ නැහැ.
ලංකාවේ නිරෝධායන කඳවුරක් මම පෞද්ගලිකව නිරීක්ෂණය කරලා නැහැ. ඒ කඳවුරකදී එක් අයෙකුගෙන් වෙනත් අයෙකුට කෝවිඩ්-19 බෝවෙන්න විදිහක් නැහැ කියලා තර්ක කරන අය ඉන්න පුළුවන්. එහෙත්, කන්දකාඩු පොකුරෙන් පසුව එවැනි තර්කයකට වලංගු භාවයක් නැහැ.
නිරෝධායන කඳවුරු ක්‍රමය හරි හෝ වැරදිද කියන එක සදාචාරාත්මක ප්‍රශ්නයක්. පිළිතුර විෂයමූලිකයි. එහෙත්, මේ ක්‍රමය හා සමස්තයක් ලෙස ලංකාවේ කෝවිඩ් මර්දන ක්‍රමවේදය ඵලදායීද කියන එක විෂයමූලික නොවී සලකා බැලිය හැකි කරුණක්. මේ ක්‍රමය මෙතෙක් කල් ලංකාවට වැඩ කළා. එය තව දුරටත් එසේම වැඩ කරයිද?