වෙබ් ලිපිනය:

Wednesday, May 6, 2020

ධනවාදය අකාර්යක්ෂමතාවයට අනුකම්පා නොකරයි!


වී ගොවිතැනින් අපි නැවතත් ධනවාදයට එමු. ඇමරිකාවේ කුඹුරු අක්කරයක් කරන්න ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ දෙකක් පමණ යනවා. ඉන්දියාවේ කුඹුරු අක්කරයක් කරන්න වියදම් වන මුදල එයින් 40%කට වඩා වැඩි නැහැ. ලංකාවේ කුඹුරු අක්කරයක් කරන්න වියදම් වන මුදල වුවත් ඇමරිකාවේ වියදමෙන් 60%කට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ, ලංකාවේ හෝ ඉන්දියාවේ වී ගොවියෙක්ට ඇමරිකාවේ වී ගොවියෙක්ට වඩා අඩු මිලකට වී සපයන්න පුළුවන්. එහෙම තියෙද්දී, ඇමරිකාවේ වී ගොවියා ඉන්දියාවේ වී එක්ක තරඟ කරන්නේ කොහොමද?

මේ ප්‍රශ්නයම ලංකාව හා ඉන්දියාව හා අදාළව ඇහුවොත් පිළිතුරු තරමක් පැහැදිලියි. ලංකාවේ සහල් හිඟයක් ඇති වුනු විටක හැර බොහෝ විට ආණ්ඩුව විසින් සහල් ආනයනය වළක්වනවා. ආනයනය කරන සහල් වලට බදු පනවනවා. පොහොර වලට සහනාධාර දෙනවා. වතුර නොමිලේ දෙනවා. රජය මැදිහත්ව සහතික මිලකට වී මිල දී ගන්නවා. ඔය වගේ ගොඩක් දේවල් කරනවනේ.

ඇමරිකාවේ ඔය දේවල් බොහොමයක්ම කෙරෙන්නේ නැහැ. ඇමරිකාවට සහල් ආනයනය කරන්න බාධාවක් නැහැ. ඉන්දියාව වගේ රට වලට GSP සහන පවා ලැබෙනවා. පොහොර සහනාධාර නැහැ. වතුර නොමිලේ ලැබෙන්නේ නැහැ. මිල පහත වැටීමෙන් සිදු විය හැකි අවදානම නැති කර ගන්න ගොවීන් විසින් රක්ෂණයක් ලබා ගත යුතුයි. එම රක්ෂණ වාරිකයේ වියදමෙන් කොටසක් පමණක් රජය විසින් සුබසාධනය කරනවා.

ඇමරිකාවේ ගොවිපොළක වැඩ කරන මධ්‍යස්ථ කම්කරුවෙකුගේ දෛනික වැටුප ඩොලර් 99.84ක් වෙනවා. ලංකාවේ වියලි කලාපයේ මේ ගණන රුපියල් 1,381ක්ද, තෙත් කලාපයේ 1,166ක්ද වෙනවා. ඒ කියන්නේ ඩොලර් 6-7ක් පමණ. ඉන්දියාවේනම් ප්‍රාන්තය හා ස්ත්‍රීපුරුෂ භාවය අනුව බොහෝ විට ඉන්දියානු රුපියල් 200-300 අතර. ඒ කියන්නේ ඩොලර් 3-4 පමණ. ඇමරිකාවේ නුපුහුණු ශ්‍රමය දළ වශයෙන් ඉන්දියාවේ මෙන් 30 ගුණයක් හා ලංකාවේ මෙන් 15 ගුණයක් පමණ මිල අධිකයි.

මේ අවාසිදායක තත්ත්වයන් සියල්ල හමුවේ ඇමරිකාවේ වී ගොවියා ලාබ ලබන්නේ වී ගොවිතැනේ කාර්යක්ෂමතාවය වැඩි නිසයි. ඉන්දියාවේ හෝ ලංකාවේ වී ගොවියෙකු අක්කරයකින් ලබා ගන්නා වී ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් පමණ ඇමරිකාවේ වී ගොවියෙකු ලබා ගන්නවා.

මේක මම මේ දැන් හොයා ගත් දෙයක් හෝ ගොඩක් අය නොදන්නා රහසක් නෙමෙයිනේ. පහළින් තියෙන්නේ කිහිප දෙනෙකු විසින් පසුගිය ලිපි වලට දැමූ ප්‍රතිචාර.

"නැගෙනහිර ආසියනු රටවල් අක්කරයකට ගන්න වි අස්වැන්නෙන් අපි ගන්නේ හරියටම භාගයයි.ඒ කියන්නේ අපිට අවශ්‍ය වි නිපදවා ගැනිමට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක භූමි ප්‍රමාණයක් අපි භාවිතා කරනවා.මේ අස්වැන්න අඩුකම තමයි ගොවියා දුප්පත් විමට හේතුව."
- විපුල අබේසිංහ

"මට හිතෙන විදියට ලන්කාවෙ ගොවිතැන පාඩු ලබන්න අකාර්යක්ෂමතාවය ගොඩක් බලපානවා."
- Mahesh

"ලංකාවේ අස්වැන්න අඩු වෙන්න එක හේතුවක් වෙන්නේ වී ගොවිතැනට නොසුදුසු වැලි සහිත ඉඩම් වී වගාවට යොදා ගැනීම, ලැබෙන සහනාධාර සහ පහසුවෙන් වාරි ජල සම්පාදනය කළ හැකි තැන් වල පැවතීම නිසා ඒවා අතහැර දැමෙන්නෙත්  නෑ.නමුත් වාරිජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පලදායී නොවන අයුරින් අපතේ යන්නත්, ක්‍රිටිකල් අවධි වලදී ජල හිඟයක් ඇතිවෙන්නත් එය හේතු වෙනවා."
-ඇණයා Nut Man

"ජපානය වී අස්වැන්න ඉහල දැමීම සඳහා යාන්ත්‍රීකරණය කළ හැකි අයුරින් සියළු ගොවිබිම් නැවත සකස්කළ බව කියවා එහෙන් මෙහෙන් කියවා තියනවා, ඊට පෙර එහි පැවතියේ අපේ උඩරට වැනි කුඩා කුඹුරු කියායි හැඟුනේ. එහිදී ඉඩම් අයිතිය ප්‍රතිසංස්කරණය වුනාදැයි පැහැදිලි නොවූ නමුත් පසු කාලීනව ඉඩම්කට්ටි විශාල වී ඇති බව පෙනී යනවා, අපටත් ඒවැනි ප්‍රතිසංස්කරනයක් අවශ්‍යයි නේද?"
-ඇණයා Nut Man

ඉහත ප්‍රතිචාර වල වී ගොවිතැන හා අදාළ ගැටළු වගේම විසඳුම් යෝජනාද තිබෙනවා. ඇමරිකාව වගේ රටක මෙහි සඳහන් ඉඩම් කට්ටි විශාල වීම, යාන්ත්‍රීකරණය, වාරි ජල කළමනාකරණය, වී වගාව සඳහා සුදුසු ඉඩම් යොදා ගැනීම ආදිය හරහා කාර්යක්ෂමතාවය වැඩි වෙද්දී ලංකාවේ එහෙම වෙලා නැත්තේ ඇයි? ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර මේ දේවල් තේරෙන කිසිවෙකු නැති වෙන්න විදිහක් නැහැනේ.

ඇත්තටම ලංකාවේ එහෙම වෙලා නැත්තේ ඇයි කියා ඇහුවොත් එය අසාධාරණ ප්‍රශ්නයක්. පහුගිය කාලය පුරාවට ලංකාවේ වී වගාවේ කාර්යක්ෂමතාවය ටිකෙන් ටික ඉහළ ගිහින් තියෙනවා. ඒ සඳහා බොහෝ දෙනෙක් දායක වෙලත් තියෙනවා. නමුත්, අවසාන වශයෙන් ඇමරිකාවේ වී ගොවිතැන ලංකාවේ හා ඉන්දියාවේ වී ගොවිතැනට වඩා ගොඩක් කාර්යක්ෂමයි. එහෙම වුනේ කොහොමද?

මේ කතාවට ධනවාදය සම්බන්ධ වෙන්නේ මෙතැනදී. ඇමරිකාවේ ආණ්ඩු වී ගොවීන්ගේ ප්‍රශ්න හඳුනා ගෙන ඒවාට විසඳුම් දීලා නැහැ. වී වගාව කාර්යක්ෂම කරලත් නැහැ. කුඩා ඉඩම් කට්ටි ලොකු කරලත් නැහැ. සහතික මිල රක්ෂණයේ වාරික මුදලින් කොටසක් හැර වෙනත් සුබසාධනය කිරීම් කරලත් නැහැ. වී වවන්න තැන් වෙන් කරලා දීලත් නැහැ. වී වවන ඉඩම් වෙනත් වැඩකට යොදා ගැනීම වලක්වලත් නැහැ. කෙටියෙන්ම කිවුවොත් ලංකාවේ හැටියට ආණ්ඩුව විසින් කිසිම දෙයක් කරල නැහැ.

ඇමරිකාවේ වී ගොවීන්ගේ ලාබ වල රහස ඔය විදිහට ආණ්ඩුව විසින් කිසිම දෙයක් නොකර වෙළඳපොළට ඉඩ දීමයි. එහි ප්‍රතිඵලයක් විදිහට ධනවාදය ක්‍රියාත්මක වී තිබෙනවා. කිසිකෙනෙක් ඇමරිකාවේ වී වගා කර්මාන්තය කාර්යක්ෂම කිරීමේ අරමුණ වෙනුවෙන් වැඩ කරලා නැහැ. කවුරුත් වැඩ කරලා තියෙන්නේ තම තමන්ගේ ලාබ වැඩි කර ගැනීමේ අරමුණෙන්. එහි අවසාන ප්‍රතිඵලයක් විදිහට ඇමරිකාවේ වී වගා කර්මාන්තය කාර්යක්ෂම වී තිබෙනවා.

අකාර්යක්ෂමතාවය හමුවේ ධනවාදය කුරිරුයි. සානුකම්පික නැහැ. ධනවාදයට අකාර්යක්ෂමතාවය හමු වූ විට හැකි ඉක්මණින් අකාර්යක්ෂමතාවය විනාශ කර දමනවා. ආයේ බල බලා ඉඳීමක් නැහැ. හැබැයි ධනවාදය ලාබ හොයන්නන්ට උදවු කරනවා. වෙනත් සමහර රටවල ආණ්ඩු හා දේශපාලන පක්ෂ සාමාජිකයින් වගේ ලාබ හොයන අයගේ පස්සේ පන්නමින් ඔවුන් සමාජ සතුරන් සේ සලකා විනාශ කර දමන්නේ නැහැ.

ලාබ හා කාර්යක්ෂමතාවය කියන්නේ එකම කාසියේ දෙපැත්තයි. ලාබ හෙවීමේ තරඟය තුළ අකාර්යක්ෂමතාවය ටිකෙන් ටික මිය යනවා. ලාබ ලැබීම පහත් කොට සලකන සමාජ වලදී කාර්යක්ෂමතාවය පෑල දොරෙන් පැන යනවා. ධනවාදය අකාර්යක්ෂමතාවයට මානුෂික ලෙස සලකන්නේ නැහැ.

ආර්ථික වාසි සොයා මිනිස්සු රටකින් රටකට සංක්‍රමණය වෙනවා. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රන් ඉල්ලම් මතු වූ කාලයේ චීන ජාතිකයින් හතළිස් දහසක් පමණ ඉසුරු සොයා ඇමරිකාවට පැමිණ තිබෙනවා. මේ මිනිස්සු ඇමරිකාවට ආවේ පක්ෂ සාමාජිකයින් කැට හොල්ලා එකතු කරපු සල්ලි වලින් කම්කරු සම්මේලනයකට ගිහින් ආතල් එකක් ගන්න පක්ෂ නායකයෙක් වගේ ඇමරිකාවේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා යන්න නෙමෙයිනේ. ඒ නිසා, ඒ මිනිස්සුන්ට තමන් චීනයේදී ආහාරයට ගත් බත් ඇමරිකාවේදීත් ඕනෑ වුනා. ඒ එක්ක එක පාරටම ඇමරිකාවේ හාල් වලට සැලකිය යුතු ඉල්ලුමක් ඇති වුනා.

නොසන්සිඳුණු ඉල්ලුමක් කියා කියන්නේ ව්‍යවසායකයෙකුට ලාබ ලබන්න අවස්ථාවක්. ධනවාදය ලාබ හොයන ව්‍යවසායකයින්ට අකුල් හෙළන්නේ නැහැ. ඔය වගේ ඉල්ලුමක් සපුරන්න ක්‍රම දෙකක් තිබෙනවා. එකක් චීනයෙන් හෝ වී වවන වෙනත් රටකින් සහල් ආනයනය කරන එක. දෙවන එක ඇමරිකාවේ වී වවන එක. දෙකෙන් වඩා කාර්යක්ෂම කොයි එකද කියන එක තීරණය වෙන්නේ ලැබෙන ලාබ මතයි. ඇමරිකාවේ වී වවන එක නරක විකල්පයක් නොවූ නිසා පසුගිය සියවසේ මුල හරියේදී ඒ වැඩේ පටන් ගත්තා. තවමත් තිබෙන කැලිෆෝනියාවේ සැක්රමෙන්ටෝ නිම්නය ආශ්‍රිත වී කලාපය එහි ප්‍රතිඵලයක්.

ඇමරිකාව වගේ ධනවාදී රටක වී වවන ගොවියෙකු මුහුණ දෙන ප්‍රධාන අභියෝග දෙකක් තිබෙනවා. පළමු එක රට ඇතුළේ වෙළඳ තරඟයට මුහුණ දීම. දෙවැන්න ආනයනික සහල් සමඟ තරඟ කරන එක.

ලෝකයේ හාල් නිෂ්පාදනය බොහෝ දුරට සිදු වෙන්නේත්, වැඩිපුරම හාල් පරිභෝජනය කරන්නේත් ආසියා කලාපයේ. හාල් කර්මාන්තය හා අදාළව සැලකු විට චීනය, ඉන්දියාව, තායිලන්තය වැනි දැවැන්තයින් හමුවේ ඇමරිකාව හාල් කෑල්ලක්. හාල් කිලෝවක මිල තීරණය කරන්නේ ඒ දැවැන්තයින් විසිනුයි. ඇමරිකාවට මිලට බලපෑමක් කරන්න බැහැ.

වී ගොවිතැන ශ්‍රමමූලික කර්මාන්තයක්. ලංකාව ගත්තොත් වියලි කලාපයේ අක්කරයක වී වවන්න මිනිස් දින 17ක් අවශ්‍යයි. තෙත් කලාපයේ තවත් වැඩියි. ලංකාව, ඉන්දියාව වගේ රටවල මිනිස් ශ්‍රමය ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් ලාබ බව කලිනුත් කිවුවනේ. එහෙමනම් ඇමරිකාව තරඟයට මුහුණ දෙන්නේ කොහොමද?

එක විසඳුමක් වන්නේ ආරක්ෂණවාදය. සහල් ආනයනය තහනම් කළානම් ඇමරිකාවේ වී ගොවීන්ට ඇමරිකාව ඇතුළේ වැඩි මිලකට හාල් විකුණන්න පුළුවන්. හැබැයි ජීවිතේට ජාත්‍යන්තරේට යන්න බැහැ. ඒ වගේම, කොයි වෙලාවක හරි ආනයන තහනම ඉවත් කළ වහාම ඇමරිකාවේ දේශීය වී ගොවියා හාන්සි. හරියට ජේආර් රට විවෘත කරපු ගමන් සමගි පෙරමුණු නිෂ්පාදකයෝ වාෂ්ප වෙලා ගියා වගේ.

ඇමරිකාවේ ප්‍රතිපත්තිය සාමාන්‍යයෙන් මේ වගේ බියගුළු එකක් නෙමෙයි. කෝවිඩ් වලින් බේරෙන්න රට වහගෙන ඉන්න පුළුවන්. හැබැයි කොච්චර කල් කියලා ඔහොම ඉන්නද? කවදා හරි රට ඇරපු ගමන් බඩු. මැරෙන එකා මැරෙන්න ඇරලා කරන වැඩ ඒ විදිහටම කරගෙන ගියානම් දුර්වල අය මැරිල ගිහින් ඉතුරු වෙන්නේ වෛරස් එකකටවත් බය නැති මිනිස්සු.

වෛරස් සම්බන්ධව ඇමරිකාව ඒ වගේ ප්‍රතිපත්තියක නැහැ. නමුත්, වී ගොවීන් ඇතුළු නිෂ්පාදකයින් සම්බන්ධව ඇමරිකාවේ ප්‍රතිපත්තිය ඔය වගේ එකක්. පලයන් ගිහිං සටන් කරපන්. පුළුවන්නම් චීනයේ, ඉන්දියාවේ වී ගොවීන් එක්ක සටන් කරලා දිනපන්. බැරිනම් මැරියන්.

ඉතිං මොනවා කරන්නද? ඇමරිකාවේ වී ගොවියාට ලෝකයේ අනෙක් රටවල් එක්ක සටන් කරන්න වෙනවා. නමුත්, මෙය සාධාරණ තරඟයක් නෙමෙයි. ඇමරිකාවේ ශ්‍රමය ඉන්දියාවේ මෙන් 30 ගුණයක් වැඩියි. ඒ නිසා, ඇමරිකාවේ වී ගොවියෙක්ට ඉන්දියාවේ වී ගොවියන් 30 දෙනෙක් එක්කයි සටන් කරන්න වෙලා තියෙන්නේ. තනි ඇමරිකන් කාරයා ගිහින් තිහකට ගේම දීලා එන හොලිවුඩ් චිත්‍රපට වල වගේ.

ඔහොම තිහකට තනියම ගේම දීලා එන්න පුළුවන් ඇමරිකානුවෝ ඉන්නවා. හැබැයි ගොඩක් ඇමරිකානුවන්ට ඔය වගේ දෙයක් කරන්න බැහැ. ධනවාදය විසින් කරන්නේ එහෙම පුළුවන් කෙනාව හොයා ගෙන අවස්ථාව දෙන එකයි. මේ කටයුත්තේදී අතින් පයින් ගහගන්න යනවාට වඩා ආයුධයක් අරන් යාම කාර්යක්ෂමයි. ඒ කියන්නේ ඇමරිකාවේ වී ගොවියා විසින් කළ යුත්තේ මිනිස් ශ්‍රමය යොදා ගැනීම පුළුවන් තරම් අඩු කරලා වැඩි වැඩියෙන් යාන්ත්‍රික ශ්‍රමය යොදවන එකයි. තිහකට ගහන එකේ රහස තියෙන්නේ එතැනයි.

ඇමරිකාවේ ශ්‍රමය ඉන්දියාවේ මෙන් 15 ගුණයක් හා ලංකාවේ මෙන් 30 ගුණයක් මිල අධික බව මම කිවුවනේ. එසේ තියෙද්දීත්, ඇමරිකාවේ වී අක්කරයක් වවන්න යන ශ්‍රමයේ වියදම ලංකාවේ වියදමට වඩා අඩුයි. ලංකාවේ වී අක්කරයක් වවන්න මිනිස් දින 17ක් අවශ්‍ය වුවත්, ඇමරිකාවේ වී අක්කරයක් වවන්න උපයෝගී කර ගන්නේ මිනිස් පැය 4ක් පමණයි. ලංකාවේ වී ගොවියා දවස් 17ක් තිස්සේ කරන වැඩ ඇමරිකාවේ වී ගොවියා පැය 4කින් කරන්නේ යාන්ත්‍රික ශ්‍රමයේ උදවුවෙන්.

ඇමරිකාවේ යාන්ත්‍රික ශ්‍රමය ඇමරිකාවේ මිනිස් ශ්‍රමයට වඩා ලාබයි. ඒ නිසා, මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය යොදාගත් විට කාර්යක්ෂමතාවය ඉහළ යනවා. හැබැයි ඇමරිකාවේ යාන්ත්‍රික ශ්‍රමය වුවත් ලංකාවේ හෝ ඉන්දියාවේ මිනිස් ශ්‍රමය තරම් ලාබ නැහැ. ඒ නිසා, මේ වැඩේ කළා කියලත් ලංකාවේ හෝ ඉන්දියාවේ වී ගොවියෙක් එක්ක තරඟ කරන්න බැහැ. ඒ වැඩේට අස්වැන්න වැඩි කරගන්නම වෙනවා.

අස්වැන්න වැඩි කරගන්න පුළුවන් එක ක්‍රමයක් වන්නේ පොහොර හා රසායන වැඩියෙන් යොදන එකයි. ඇමරිකානු ගොවියා එය කරනවා. හැබැයි එයින් ආදායම වගේම වියදමත් ඉහළ යනවා.

ඇමරිකාවේ කෘෂිකර්මය හා අදාළ මූලික පර්යේෂණ බොහොමයක්ම කෙරෙන්නේ විශ්ව විද්‍යාල ආශ්‍රිතවයි. බොහෝ විට ගොවීන් විසින් මෙවැනි පර්යේෂණ සඳහා මුදල් ප්‍රදාන සිදු කරනවා. මිල ගෙවිය යුත්තේ වාසිය ලබන පුද්ගලයා කියන එක ඇමරිකානු ක්‍රමයයි.

අවසාන වශයෙන් ඇමරිකානු වී ගොවියා මුහුණ දෙන ධනවාදී තරඟය කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමේ තරඟයක්. වෙළඳපොළේ රැඳී ඉන්නනම් මොන විදිහකින් හෝ ආදායම් වැඩි කරගෙන වියදම් අඩු කරගත යුතුයි. නමුත්, සහල් මිලට බලපෑමක් කිරීමේ හැකියාවක් නැති නිසා ආදායම් වැඩි කර ගත හැක්කේ අස්වනු ඵලදායීතාව වැඩි කර ගැනීමෙන් පමණයි. අනෙක් අතට මිනිස් ශ්‍රමය, යාන්ත්‍රික ශ්‍රමය, ඉඩම් කුලිය, පොහොර, රසායන ආදියේ මිල තීරණය කෙරෙන්නේත් බාහිර සාධක නිසා ඇමරිකානු වී ගොවියාට වියදම් අඩු කර ගැනීම සඳහා මේ සියළු සාධක ප්‍රසස්ථ ලෙස කළමනාකරණය කරන්න වෙනවා.

ඔය බරපතල කටයුත්ත හැමෝටම කරන්න බැහැ. දැන වෙළඳාම් නොදැන ගොවිතැන් කියා කිවුවට ඒ පරණ කතා දැන් හරියන්නේ නැහැ. නොදැන ගොවිතැන් කරන ඇමරිකානු වී ගොවියා තරඟයෙන් පරදිනවා. ඇමරිකානු ධනවාදය අකාර්යක්ෂමතාවයට සානුකම්පික නැහැ. තරඟයෙන් පරදින ගොවියෙකුට කරන්න වෙන්නේ තමන්ගේ ඉඩම වඩා දක්ෂ පුද්ගලයෙකුට බදු දී පැත්තකට වෙන එකයි. නොදැන ගොවිතැන් කර පරදිනවාට වඩා ඒ වැඩේ ලාබයි.

වඩා දක්ෂ ලෙස වී ගොවිතැන් කළ හැකි මිනිස්සු ඇමරිකාවේ වගේම ලංකාවෙත් ඉන්නවා. පහළ කොපි කර තිබෙන ප්‍රතිචාරයේ කතා කරන්නේ ඒ වගේ මිනිස්සු ගැන.

"ලාබ පාඩු මන්දා මාසෙට ලස්සේ හමාරේ පඩි ගන්න අපේ සමහර ෆොර්මන් ල සුපවයිසර්ලා එහෙමත් සති දෙක තුන no pay දාල ගිහින් කුඹුරු වැඩ කරලා එනවා.. :))"
- කල්‍යාණ මිත්‍ර

මේ විදිහට ලංකාවේ කුඹුරක් බදු ගන්න කෙනෙක්ට අක්කරයකට (අතින්) යන වියදම කුඹුර අයිතිකාරයා කුඹුර කළානම් යන වියදම වගේ දෙතුන් ගුණයක්. ඒ වුනත්, ඒ මනුස්සයා ලාබ ගන්නවා. නමුත්, කුඹුර අයිතිකාරයාට ලාබ ගන්න බැහැ. හැම වැඩේම හැම කෙනාටම එක වගේ හොඳින් කරන්න බැහැ කියන එකට මේ උදාහරණයම ප්‍රමාණවත්. ධනවාදය විසින් කරන්නේ එහෙම වැඩක් කාර්යක්ෂමව කළ හැකි අයට ඒ වැඩේ කරන්න අවස්ථාව සලසන එකයි. ධනවාදය අමානුෂිකයි කියා කියන මිනිස්සු, දේශපාලන පක්ෂ හා ආණ්ඩු විසින් කරන්නේ අකාර්යක්ෂමතාවයට උල්පන්දම් දෙන එකයි.

ධනවාදය යටතේ අවසාන වශයෙන් ඉඩම් සුළු පිරිසක් අතේ එකතු වෙනවා. එය කාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතුවක්. පැරණි සෝවියට් දේශය වගේ සමාජවාදී රටවල් සමූහ ගොවිපොළවල් වගේ සංකල්ප හරහා ඔය වැඩේ වෙනත් ආකාරයකට කරන්න උත්සාහ කළා. ලංකාවේ ගම් වල තිබුණු පැරණි අත්තම් ක්‍රමය වුවත් කුඹුරු කට්ටි කුඩා වීමේ අවාසි අඩු කර ගැනෙන ක්‍රමයක්. එහෙත්, මේ වෙද්දී ලංකාවේ කුඹුරු ඉඩම් වලින් 44.6%ක්ම අක්කරයට අඩුයි. 70.9%ක්ම අක්කර දෙකට අඩුයි. 95.3%ක්ම අක්කර පහට අඩුයි.


ලංකාවට නිදහස ලැබෙන විට ලංකාවේ ඉඩම් හිමි වැවිලිකරුවෝ කියා පිරිසක් හිටියා. ඒ අය ඕපපාතිකව පහළ වුනු අය නෙමෙයි. ඉඩම් හිමි වැවිලිකරුවන් වුනේ ඒ වැඩේට දක්ෂතාවයක් තිබුණු අය. සමගි පෙරමුණු ආණ්ඩුවෙන් අක්කර පණහේ නීතිය දමලා කළේ අකාර්යක්ෂමතාවයට සානුකම්පික වීමයි. ලංකාවේ නිදහස් වෙළදපොළ බාධාවක් නැතුව ක්‍රියාත්මක වුවහොත් කාලයක් යද්දී ඔය කුඹුරු ඉඩම් බදු ගන්නා පිරිස් අතරින් කුඹුරු හිමි ධනපති පන්තියක් හැදෙයි.

ඇමරිකාවේ මේ වැඩේ දිගින් දිගටම සිදු වෙද්දී වී ගොවිතැන් කරන ඉඩම් ඒ වැඩේ වඩාත් කාර්යක්ෂමව කරන ටික දෙනෙක් අතට එකතු වී තිබෙනවා. මෙසේ වන විට වී ගොවිපොළක ප්‍රමාණය එන්න එන්නම විශාල වෙනවා. එයට සමාන්තරව යාන්ත්‍රික ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ යනවා. අවශ්‍ය වන මිනිස් ශ්‍රමය අඩු වෙනවා. ඒ වගේම අවශ්‍ය මිනිස් ශ්‍රමයේ ස්වභාවයත් වෙනස් වෙනවා. නුපුහුණු ශ්‍රමය තව දුරටත් වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ යන්ත්‍ර ක්‍රියා කරවිය හැකි පුහුණු ශ්‍රමයක්.

ඇමරිකාවේ බොහෝ ගොවීන්ට ගුවන් යානා තිබෙනවා. ලොකු ඒවා නෙමෙයි. ඇට ඉහින්න, වල්නාශක ආදිය ඉහින්න යොදාගන්නා කුඩා ගුවන් යානා. මේ ගුවන් යානා එළවන්න පුහුණුවක් අවශ්‍යයි. අනෙක් සංකීර්ණ උපකරණ ක්‍රියා කරවන්නත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ශ්‍රමය මූලික ශ්‍රමයට වඩා මිල අධිකයි. ලංකාවේ වී ගොවීන් ගුවන් යානා උපයෝගී කරගෙන ගොවිපොළේ වැඩ කරන්න තව කොයි තරම් කාලයක් යයිද? ගොවියන් වෙනුවෙන් පෙනී සිටින සමාජවාදීන් සිටින තුරු ඔය වැඩේ කවදාවත් වෙන එකක් නැහැ. ඒ අයට අවශ්‍ය අකාර්යක්ෂමතාවය දිරි ගන්වමින් ගොවියා හැමදාම වත්මන් ගොවියා ලෙසම සිටිනවා දකින්නයි.

ඇමරිකාවේ වී ගොවිපොළක සාමාන්‍ය ප්‍රමාණය අක්කර 500ක්. හැබැයි බොහෝ දුරට මේ අක්කර පන්සීයේම වැඩ ටික කර ගන්නේ ගොවි පවුලේම සාමාජිකයින් විසින්. කුලී ශ්‍රමය ඉතාම අඩුයි. අක්කරයකට අවශ්‍ය ශ්‍රමය පැය හතරක් නිසා එක් අයෙක් දවසකට පැය 8ක් හා සතියකට දවස් 5ක් බැගින් සති 50ක් වැඩ කරන ශ්‍රමය පමණයිනේ අවශ්‍ය වෙන්නේ. පවුලේ අයම එකතු වී වැඩ ටික තනියම කරගන්න නිසා මේ අය ගොවීන්ම තමයි. ආයේ වෙන කාගෙවත් "ශ්‍රමය සූරා කන" ස්වාමියෝ නෙමෙයි.

ඒ වගේම මේ අයගෙන් තුනෙන් එකක් පමණ උපාධිධාරීන්. මෙවැනි ගොවි පවුල් වල දරුවන් කෘෂි ආර්ථික විද්‍යාව ඉගෙනගන්න උනන්දු බව මම අත්දැකීමෙන්ම දන්නා දෙයක්. ඒ අය "කුඹුරෙන් පාඩුයි කියලා තේරෙන්න ගොවියා ආර්ථික විද්‍යා උපාධියක් අරං තියෙන්න ඕනි නෑ" කියා අධ්‍යාපනයේ වැදගත්කම අවතක්සේරු කරන පසුගාමී අය නෙමෙයි. ඇමරිකාවේ වී වගාවේ යෙදෙන ගොවි පවුලක සාමාන්‍ය මාසික ආදායම ඩොලර් 23,000ක් පමණ හෙවත් ලංකාවේ රුපියල් වලින් 437,000ක් 4,370,000ක් පමණ වෙනවා.

ඇමරිකාවේ ගොවීන්ගේ මේ සාර්ථකත්වයට හේතුව අකාර්යක්ෂමතාවයට අනුකම්පා නොකිරීමයි. ශතවර්ෂ ගාණක පළපුරුද්ද, සම්ප්‍රදායික දැනුම, පැරණි රජවරු හදපු තවමත් ප්‍රයෝජනයට ගන්න වැව් අමුණු විශාල ප්‍රමාණයක්, කෘෂිකර්මය වෙනුවෙන් වෙන්වූ රජයේ ආයතන ගණනාවක්, ගොවියන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක්, පොහොර සහනාධාර, සහතික මිල, කුඹුරු ඉඩම් රැක ගැනීමේ හා අඳ ගොවියන් රැක ගැනීමේ නීති, පුරන් කුඹුරු අස්වද්දන හමුදා, නොමිලේ ලබා දෙන කෘෂිකර්ම උපාධි ආදී මෙකී නොකී හැම දෙයක්ම එක්ක ලංකාවේ මුළු ජනගහණයෙන් අඩු වශයෙන් දහයෙන් එකක් පමණ දායක වී අවුරුද්දකට නිපදවන සහල් ප්‍රමාණය වගේ දෙගුණයකට වඩා හදන්නේ ඇමරිකාවේ පන්දහසක පමණ ගොවියන් පිරිසක් විසිනුයි. ගොවීන් පැත්තකින් තිබ්බත්, ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයින් ප්‍රමාණය පමණක් දසදහසකට වැඩියි.

ඇමරිකාවේ වෙන ඕනෑම ක්ෂේත්‍රයක් ගත්තත් ඔය වගේම කතාවක් තියෙනවා. අප ධනවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ මේ දේවල් ඇස් දෙකට පේන්න තිබෙන නිසා මිසක් හිතළු මත පදනම් වූ මනෝ ලෝක වල සිට නෙමෙයි.

Tuesday, May 5, 2020

ඇමරිකා-වී, ඉන්දියා-වී හා ලංකා-වී

කලින් පෝස්ට් එකේ කළේ ඇමරිකාවේ හා ඉන්දියාවේ අක්කරයක වී වවන්න යන වියදම සැසඳීමක්. එහි මා ලංකාව ගැන කතා කළේ නැහැ. පෝස්ට් එකේ සංඛ්‍යාලේඛණ මම හදපුවා නෙමෙයි. මම කළේ ඉන්දියන් රුපියල් ගණන් හැටෙන් බෙදා ඩොලර් වලට හරවන එක පමණයි.

මේ සංඛ්‍යාලේඛණ ගොවීන්ට යන සැබෑ වියදම් එකතු කර හදපුවා. එහෙත්, වගුවේ  තියෙන්නේ සාමාන්‍ය අගයන්. තනි ගොවීන් ගත්තහම මීට වඩා අඩු වියදමකින් වී වවන අයත්, වැඩියෙන් වියදම් කරන අයත් ඉන්නවා. ඒ වගේම ඉන්දියාවේ සමීක්ෂණය බෙංගාලය ආශ්‍රිතව කරපු එකක් නිසා ඉන්දියාවේම වෙනත් පැති වල තත්ත්වයේ වෙනසක් තියෙන්න පුළුවන්.

කොහොම වුනත් මට පෙන්වා දෙන්න අවශ්‍ය වුනේ මේ දේවලුයි.
- ඇමරිකාවේ කුඹුරු අක්කරයක් වවන්න යන වියදම ඉන්දියාවට සාපේක්ෂව ගොඩක් වැඩියි.
- ඉන්දියාවේ (බෙංගාලයේ) කුඹුරු කෙරුවාවෙන් ලාබ ගන්න අක්කරයකින් වී කිලෝ ග්රෑම් 1,330ක අස්වැන්නක් ලබා ගැනීම ප්‍රමාණවත්.
-එහෙත්, ඇමරිකාවේ කුඹුරු කෙරුවාවෙන් ලාබ ගන්නනම් අක්කරයකින් වී කිලෝ ග්රෑම් 3,300ක් ලබා ගත යුතුයි. එය අමාරු ඉලක්කයක්.

එම ලිපියේ අවසානයේ මූලාශ්‍රය සදහන් කර තිබෙන පර්යේෂණ පත්‍රිකාව අනුව බෙංගාලයේ වී ගොවීන් ඇත්තටම ලාබ ලබන්නේ නැහැ. එහෙත්, ඉන්දියාවේ වී ගොවීන් විශාල ලාබයක් ලබන බව ගණන් හදා පෙන්වා ඇති තැන් කිහිපයක්ම අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්. එම ගණන් බැලීම් හා පෙර කී පර්යේෂණ පත්‍රිකාවේ ඇස්තමේන්තු ප්‍රධාන වශයෙන්ම වෙනස් වන්නේ එක් කරුණකින්. පර්යේෂණ පත්‍රිකාවේ ඇස්තමේන්තුවට ඉඩමේ ආවස්ථික පිරිවැයද එකතු කර තිබෙනවා. මෙය සැලකිය යුතු මුදලක්. එය අත ඇරියොත් වියදම ගොඩක් අඩුයි.

දැන් අපි ලංකාවට එමු. ලංකාවේ වී අක්කරයක් වවන්න යන වියදම පිළිබඳවත් මෙවැනි ඇස්තමේන්තු තිබෙනවා. මම හදපුවා නෙමෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදපුවා. මේ ඇස්තමේන්තු වාරි ජල වී කර්මාන්තය හා වැසි ජල වී කර්මාන්තය සඳහා වෙන වෙනම පහත වගුවේ තිබෙනවා. සංසන්දනය කිරීම සඳහා ඇමරිකාවේ ගණන් 190 බැගිනුත් ඉන්දියාවේ ගණන් 2.50 බැගිනුත් රුපියල් වලට හරවා තිබෙනවා.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණන් අනුව වාරි ජල වී කර්මාන්තයේ වියදම් පියවගන්න අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 1,222ක් ලබා ගැනීම ප්‍රමාණවත්. වැසි ජල වී කර්මාන්තයෙන් ලාබ ගන්න අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 1,268ක් ලැබුනහම ඇති.  එහෙම බැලුවොත් ලංකාවේ වී ගොවියා ඉන්නේ ඉන්දියාවටත් වඩා වාසිදායක තැනක. මේ ඊයේ පෙරේදා ආණ්ඩුව වී වල සහතික මිල වැඩි කරන්න කලින් තත්ත්වය. දැන් විදිහටනම් මේ ගණන් තවත් අඩු වෙන්න ඕනෑ.

වාරි ජල වී කර්මාන්තයෙන් අක්කරයකට වී කිලෝ ග්‍රෑම් 2,130ක් ලබා ගන්න පුළුවන්. එහෙම බැලුවහම මාර ලාබයි. වැසි ජල වී කර්මාන්තයෙන් අක්කරයකට වී කිලෝ ග්‍රෑම් 1,486ක් ලබා ගත හැකියි. ඒ වැඩෙත් පාඩුවක් නැහැ. වැඩේ ඔය තරම්ම ලාබනම් ලංකාව ආනයනික සහල් වලට බය වෙන්නේ ඇයි? කිසි ප්‍රශ්නයක් නැතුව තරඟ කරන්න පුළුවන් වෙන්න ඕනැනේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තු වල අඩුපාඩු කිහිපයක්ම තියෙනවා. වගුවේ ඇමරිකා, ඉන්දියා තීරු වල තිබෙන ලංකා තීරු වල නැති අයිතම දිහා බැලුවහම ඒ බව නොපෙනෙන්න හේතුවක් නැහැ.

වාරි ජල වී කර්මාන්තයේ වතුර වල වියදම දරන්නේ වී ගොවීන් විසින් නෙමෙයි. පොදුවේ රටේ හැමෝම. මහවැලිය හදන්න ගත්ත ණය සහ පොලිය තවම ගෙවනවා. මුල් ණය මුදල ලබා දුන් අයට දැන් මේ ණය ගෙවලා ඉවර ඇති. හැබැයි ඒ ගෙවලා තියෙන්නේ වතුර විකුණලා සල්ලි අරගෙන නෙමෙයි. අලුත් ණය අරගෙන. ඒ අලුත් ණයත් දැන් ගෙවලා ඇති. ඒ තවත් ණය අරගෙන. අන්තිමට මහවැලිය හදන්න ගත්ත සල්ලි වලට තවම පොලී ගෙවනවා. ගොවීන්ට වතුර නොමිලේ.

ඒ වගේම පෝර වියදමෙන් වැඩි කොටසක් දරන්නේත් පොදුවේ රටේ හැමෝම විසින්. ඒ ගණන් එකතු කලොත් මේ වියදම් ඇස්තමේන්තුව ඉහළ යනවා.

මේ සියල්ලටම වැඩිය ලොකුම අඩුපාඩුව කුඹුරු ඉඩම් වල බදු අගය මෙහි නැති වීමයි. ඇමරිකාවේ හා ඉන්දියාවේ ඇස්තමේන්තු වල ඒ ගණන් තියෙනවා. සාමාන්‍යයෙන් මේ මිල සැලකිය යුතු මිලක්. ගොවියෙක් වගා කරන්නේ තමන්ගේම ඉඩම වුවත්, ඉඩම බදු දී ලබා ගත හැකි ආදායම ආවස්ථික පිරිවැයක් විදිහට මේ ඇස්තමේන්තුවට එකතු විය යුතුයි. ඒ ගණන දැන ගන්න කුඹුරු බද්දට දෙන මිල ගණන් හොයා ගන්න වෙනවා. ලංකාවේ කුඹුරු කිරීමේ නියම වියදම දැන ගන්නනම් මේ අයිතමයන්ද එකතු විය යුතුයි.

මම හිතන්නේ ලංකාවේ කුඹුරු බද්දට දීම හා ගැනීම බොහෝ විට අත යටින් වෙන දෙයක්. අත යට වෙන දේවල් ගැන ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකට තොරතුරු හොයා ගන්න අමාරුයි. නිවැරදි ආකාරයකට සමීක්ෂණයක් නොකර මේ පිළිබඳ ඇස්තමේන්තු හදන්නත් අමාරුයි. මා පෞද්ගලිකව දන්නා තොරතුරු අනුව වියලි කලාපයේ කුඹුරු අක්කරයක කන්නයක බදු වටිනාකම අඩු වශයෙන් රුපියල් පනස් දාහක් පමණවත් වෙනවා. සමහර අය අස්වැන්නෙන් තුනෙන් එකටත් බදු දෙනවනේ. එහෙම බැලුවත් ඔය කිට්ටුව ගාණක්. අනික් අතට මේ කුඹුරු අක්කරයක මිල ලක්ෂ දහයක් පහළොවක් පමණ වන නිසාත් රටේ පොලී අනුපාතික 8-10%ක පමණ මට්ටමේ තිබෙන නිසාත් කන්නයක කාලයට පොලිය ඔය කිට්ටුවට එනවා.

කොහොම බැලුවත් ඉඩමේ බදු වටිනාකම එකතු කළාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව දෙගුණයක් පමණ වෙනවා. එතකොට වියලි කලාපයේ වුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වන ලාබය නැහැ. මේ කියන්නේ කිසිවෙකුට ලාබ නැහැ කියන එක නෙමෙයි. කුඹුරු බදු ගන්න අයට අනිවාර්යයෙන්ම ලාබ තියෙන්න ඕනෑ. නැත්නම් බදු ගන්න අමාරුවක් නැහැනේ. ඒ වගේම බදු දෙන අයගේ පැත්තෙන් බැලුවොත් ඒ අය කුඹුර බදු දෙන්නේ කුඹුර කරනවාට වැඩිය බදු දෙන එක ලාබ නිසයි. ඒ කියන්නේ ඒ අයම කුඹුර කළානම් ඉඩමේ බදු වටිනාකම අඩු කළාම අතින් පාඩුයි.

මේ කිවුවේ වියලි කලාපයේ ඉඩම් ගැන. තෙත් කලාපයේ කුඹුරු ඉඩම් බදු අරගෙන කුඹුරු වැඩ කරන අය ඉන්න බවක් මම දන්නේ නැහැ. බදු අරගෙන කුඹුරු කිරීම අනිවාර්යයයෙන්ම පාඩුයි. ඒ නිසා, ඒ ඉඩම් වල වටිනාකම මේ ක්‍රමයට තක්සේරු කරන්න බැහැ. හැබැයි මේ ඉඩම් වල විකුණුම් මිල වියලි කලාපයේ ඉඩම් වල මිලට වඩා වැඩියි. මේ ඉඩම් අක්කර ගානට යන්නේ නැහැ. බොහෝ විට විකිණෙන්නේ පර්චස් ගාණට. තෙත් කලාපයේ ඉඩම් වල වටිනාකමට හේතුව වී වගාවෙන් ලැබිය හැකි ආදායම නෙමෙයි. ඉඩම් වල වටිනාකම එකතු කළොත් වී වගා කරන එක අනිවාර්යයෙන්ම පාඩුයි.

මේ හැම දෙයක්ම ලිවීමෙන් මම පෙන්වා දෙන්න හදන්නේ ලංකාව කුඹුරු කරන එක අත ඇරිය යුතු බව නෙමෙයි. එහෙම හිතනවානම් එය වැරදි අදහසක්. කුඹුරු කිරීම පාඩු වෙන්නේ යන වියදම ලැබෙන ආදායමට වඩා අඩු නිසයි. වෙනත් විදිහකට කියනවානම් කාර්යක්ෂමතාවය අඩු නිසයි. නමුත්, ඇමරිකන් උදාහරණයෙන් පෙනෙන්නේ ලංකාවේ වී ගොවිතැනට වඩා කාර්යක්ෂම වෙන්න තව සෑහෙන අවකාශයක් තියෙනවා කියන එකයි. එහෙමනම්, එය නොවෙන්නේ ඇයි?

අත ඇරලා දමන්න ඕනෑ ලංකාවේ වී ගොවිතැන නෙමෙයි. ලංකාවේ වී ගොවිතැන වගේම තවත් බොහෝ දේවල් අකාර්යක්ෂම වෙන්න හේතු වී තිබෙන සාධකයි.

මෙහි ලියන දේවල් හැමවිටම සංවාදයට විවෘතයි. හැබැයි ලිපියේ ලියා නැති දේ හිතින් මවාගෙන විවේචනය කළාට අපට කරන්න දෙයක් නැහැ. ලිපියේ වැරැද්දක් තිබේනම් එය පැහැදිලිව පෙන්වන්න. මඩින් නෙමෙයි ගොඩින් එන්න!

Reference:
COST OF CULTIVATION OF AGRICULTURAL CROPS - 2018 YALA, Volume 75, SOCIO ECONOMICS AND PLANNING CENTRE, DEPARTMENT OF AGRICULTURE, July 2019.

ඇති සේ දකින නැති ලාබ

ලෝකයේ ලොකුම සහල් නිෂ්පාදකයා චීනය වුවත්, ලෝකයේ ලොකුම සහල් අපනයනකරු ඉන්දියාවයි. ඉන්දියාවේ නිපදවන සහල් සමඟ ලංකාවට මෙන්ම ඇමරිකාවටත් තරඟ කරන්න වෙනවා. ඉන්දියාවේ ඒක පුද්ගල ආදායම ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් දෙදාහක් පමණයි. ලංකාවේ ඒක පුද්ගල ආදායම එමෙන් දෙගුණයක්. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඉන්දියාවේ මෙන් තිස් ගුණයක්.

ඇමරිකාවට වගේම ලංකාවට සාපේක්ෂවත් ඉන්දියාවේ ශ්‍රමය ලාබයි. වී ගොවිතැන සඳහා අවශ්‍ය ශ්‍රමය වෙනුවෙන් ඉන්දියාවේදී ගෙවිය යුත්තේ ලංකාවේදී ගෙවන්නට අවශ්‍ය මිලට වඩා අඩු මිලක්. ඇමරිකාවේදීනම් මිනිස් ශ්‍රමය වෙනුවෙන් විශාල මිලක් ගෙවිය යුතුයි.

ශ්‍රමය වෙනුවෙන් ඉන්දියාව මෙන් දෙගුණයක මිලක් ගෙවන ලංකාවට ඉන්දියාවේ නිපදවන සහල් සමඟ තරඟ කරන්න බැරි වෙන්නත්, ඉන්දියාව මෙන් තිස් ගුණයක මිලක් ගෙවන ඇමරිකාවට ඉන්දියාවේ නිපදවන සහල් සමඟ තරඟ කරන්න පුළුවන් වෙන්නත් හේතුව කුමක්ද?

පහත වගුවේ තිබෙන්නේ ඉන්දියාවේ හා ඇමරිකාවේ අක්කරයක වී වවන්න යන වියදමයි. ඇමරිකාවට ඩොලර් දාහක් වියදම් වුනත්, ඉන්දියාවට වියදම් වෙන්නේ ඩොලර් හාර සීයක් පමණයි. ඉන්දියාවේ වී ගොවියෙක් මේ වියදම ආවරණය කර ගන්න අක්කරයකින් ලබා ගත යුත්තේ වී කිලෝ ග්‍රෑම් 1330ක් පමණයි. එතැනින් උඩ ලාභ. එහෙත්, ඇමරිකාවේ වී ගොවියෙක්ට ලාබ ලබන්න හැකි වෙන්නේ අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 3300කට වඩා වැඩියෙන් ලබා ගත්තොත් පමණයි.


ඇමරිකාවේ ගොවියෙක් අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 3400ක් පමණ ලබා ගන්නවා. ඒ නිසා, සුළු වුවත් ලාබයක් තිබෙනවා. ඉන්දියාවේ කුඹුරු ඉඩම් අක්කරයකින් ලැබෙන්නේ වී කිලෝ ග්‍රෑම් 1080ක පමණ ප්‍රමාණයක් පමණයි. ඒ නිසා ඉන්දියාවේ ගොවියෙකුට වී වගාවෙන් ඇත්තටම ලාබයක් නැහැ. එහෙමනම්, ඉන්දියාවේ ගොවීන් වී වගා කරන්නේ ඇයි?

ඉන්දියාවේ ගොවියෙකු අක්කරයක වී වවන්න යන වියදමෙන් අවම වශයෙන් 40%ක් මුදල් ලෙස වැය වන වියදම් නෙමෙයි. මේ ප්‍රමාණය 50% පමණ දක්වා කොටසක් වෙන්න පුළුවන්. ගොවි පවුලේ සාමාජිකයින් විසින් යොදවන ශ්‍රමය ඇත්තටම වියදමක් වුවත් ඒ වෙනුවෙන් පවුලේ අය වැටුප් ලබා ගන්නේ නැහැ. තමන්ට අයත් ඉඩම වී ගොවිතැන වෙනුවෙන් යොදා ගැනීමේ  ආවස්ථික පිරිවැයත් එවැනිම නොපෙනෙන වියදමක්. බොහෝ විට ගොවිතැන් වැඩ වලට යොදා ගන්න හරක් තමන්ගේම හරක්.

ඉන්දියාවේ බොහෝ ගොවීන්ට මෙන්ම ලංකාවේ බොහෝ ගොවීන්ටත් ඉහත කී වියදම් වියදම් සේ දැකිය හැකි අවබෝධයක් නැහැ. ඔවුන් වියදම් සේ දකින්නේ අතින් වියදම් වන මුදල් පමණයි. අක්කරයකින් වී කිලෝ ග්‍රෑම් 900ක් ලැබෙන විට ඒ වියදම් ආවරණය වෙනවා. ගොඩක් ගොවීන් හිතන්නේ ඉතිරි මුදල ලාබයක් කියලයි. එහෙත්, නොපෙනෙන වියදම් සැලකූ විට ඒ ලාබය පාඩුවක් බවට පත් වෙනවා.

References

McBride, W. D. et al. (2018). US Rice Production in the New Millennium: Changes in Structure, Practices, and Costs. Economic Research Service, Economic Research Bulletin, (202).

Show, S. (2018). Cost of Cultivation and Profitability of Agriculture in West Bengal: A Study with Special Reference to Backward Region of West Bengal. Economic Affairs63(4), 1067-1075.

Monday, May 4, 2020

මඩ සෝදාගෙන ගොඩ එන ඇමරිකාවේ වී ගොවිතැන

ඇමරිකානුවන්ගේ ප්‍රධාන ආහාරය බත් නෙමෙයි. ලාංකිකයෙක් වසරකට හාල් කිලෝග්‍රෑම් සීයක් විතර පරිභෝජනය කරද්දී ඇමරිකානුවෙකුගේ වාර්ෂික හාල් පරිභෝජනය කිලෝග්‍රෑම් දහයක පමණ ප්‍රමාණයක්. ඇමරිකාව අනාදිමත් කාලයක සිට වී ගොවිතැන් කළ රටකුත් නෙමෙයි. දාහත්වන සියවසේ අග භාගයේදී මැඩගස්කරයෙන් ඇමරිකාවට මුලින්ම වී හඳුන්වා දී ඇති සේ සැලකෙන නමුත් හරියකට වී වගාවක් පටන් අරන් තියෙන්නේ පසුගිය සියවසේ මුල් කාලයේදී.

වී ගොවිතැන හා අදාළ, ශත වර්ෂ ගණනාවක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වූ සම්ප්‍රදායික දැනුමක් ඇමරිකානුවන්ට නැහැ. ඇමරිකාවේ වී ගොවිතැන ඉතා අසීරුවෙන් සීහුම් නැහැසුම් ක්‍රමයට පටන් ගත් කටයුත්තක්. හැබැයි ඇමරිකාව මේ වෙද්දී සාර්ථක ලෙස වී ගොවිතැන් කර, වී හා සහල් අපනයනයෙන් වාර්ෂිකව විශාල අපනයන ආදායමක්ද උපයනවා.


වී ගොවිතැන සඳහා සුදුසු කාලගුණයක් හා සුදුසු පසක් අවශ්‍ය බව මෙය කියවන අයට අමුතුවෙන් කිව යුතු දෙයක් නෙමෙයි. ඒ තත්ත්වයන් තියෙන්නේ ඇමරිකාවේ සීමිත තැන් කිහිපයක පමණයි. ඒ නිසා, ඇමරිකාවේ වී ගොවිතැන ආකන්සා, කැලිෆෝනියා, ටෙක්සස්, ලුවිසියනා, මිසුරී හා මිසිසිපි ප්‍රාන්ත වලට අයත් වී වගා කලාප හතරකට සීමා වී තිබෙනවා. ඒ ආකන්සා තණබිම්, කැලිෆෝනියාවේ සැක්රමෙන්ටෝ නිම්නය, ටෙක්සස් ප්‍රාන්තයේ හා ලුවිසියානා ප්‍රාන්තයේ නිරිතදිග කොටස් ඇතුළත් ගල්ෆ් වෙරළ තීරය සහ මිසූරි, මිසිසිපි, ආකන්සා, ලුවිසියනා ප්‍රාන්ත හරහා දිවෙන මිසිසිපි ගඟ දෙපස බිම් තීරුව යන කලාප හතරයි. මේ එක් එක් කලාපයේ අදාළ කාලගුණයට හා පසට උචිත වෙනස් වී වර්ග වගා කෙරෙනවා.


පසුගිය 2019 වසරේදී ඇමරිකාවේ ඉඩම් අක්කර 2,472,000ක වී වගා කර තිබෙනවා. සංසන්දනාත්මකව බලනවානම් 2018/19 මහ කන්නයේදී ලංකාවේ දිස්ත්‍රික්ක විසි පහේම වී වගා කර ඇති ඉඩම් අක්කර ගණන 1,789,000ක්. ලංකාව 2018 කන්න දෙකේදීම වී මෙට්‍රික් ටොන් 3,930,000ක් නිපදවද්දී, ඇමරිකාව එම වසරේදී වී මෙට්‍රික් ටොන් 7,107,000ක් නිපදවා තිබෙනවා. ඇමරිකාව ඉඩම් හෙක්ටයාරයකින් වී කිලෝග්‍රෑම් 8,460ක් පමණ ලබා ගනිද්දී, 2018 යල හා මහ කන්න වලදී ලංකාවේ අස්වැන්න පිළිවෙලින් ඉඩම් හෙක්ටයාරයකට වී කිලෝග්‍රෑම් 4,683ක් හා 4,302ක් පමණයි. කාලයක් තිස්සේ පරීක්ෂණයට ලක් වූ සම්ප්‍රදායික දැනුමක් හා පළපුරුද්දක් තිබූ පමණින් හොඳම ප්‍රතිඵල ලබා ගන්න බැහැ.

ලංකාවේ නිපදවන වී ප්‍රමාණය ලංකාවේ පරිභෝජනය සඳහාවත් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා, ලංකාවට යම් ප්‍රමාණයක් හෝ සහල් ආනයනය කරන්න සිදු වෙනවා. ඇමරිකාවේ සහල් පරිභෝජනය ලංකාවේ තරමට වඩා අඩු නැතත් නිෂ්පාදන ඵලදායීතාවය ඉතා ඉහළ නිසා ඇමරිකාව වී සහ සහල් අපනයනය කර විශාල ආදායමක් උපයනවා. 2019දී ලංකාවේ සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 2,850,000 ක් වෙද්දී ඇමරිකාවේ සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 4,224,000ක්. ඇමරිකාව විසින් අපනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,143,000ක්.

ඇමරිකාව මේ වන විට සහල් අපනයනය අතින් ලෝකයේ පස්වන හෝ හයවන රටයි. ඇමරිකාවේ නිපදවන සහල් මිල දී ගන්නා රටවල් අතර කැනඩාව, මෙක්සිකෝව, දකුණු ඇමරිකානු රටවල්, මැද පෙරදිග රටවල් මෙන්ම චීනය, ජපානය හා දකුණු කොරියාව ඇතුළු ආසියානු රටවල්ද සිටිනවා. ඇමරිකාව මේ ආකාරයට විශාල ලෙස සහල් අපනයනය කළත් ඇමරිකාවේ දේශීය වී ගොවිතැන රැක ගැනීම සඳහා රටට සහල් ආනයනය කිරීම තහනම් කර නැහැ. පසුගිය වසරේදී ඇමරිකාව විසින් ආනයනය කර තිබෙන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,032,000ක්.

ඇමරිකාවේ දේශීය වී ගොවියා ඇමරිකාවට විවිධ රටවලින් නිදහසේ එන ආනයනික සහල් සමඟ තරඟ කළ යුතුයි. අප බොහෝ විට මිල දී ගන්නේ ලංකාවෙන් එන සහල් වර්ගයි. ලංකාවෙන් එන හාල් ඇමරිකාවේ හදන හාල් වලට වඩා මිල අධිකයි. එහෙත්, අපේ රුචිකත්වය තිබෙන්නේ ලංකාවේ හදන හාල් වර්ග වලට නිසා අප විසින් කැමැත්තෙන්ම මේ වැඩි මිල ගෙවනවා.


ඇමරිකාවේ මිනිස් ශ්‍රමය ලංකාවට සාපේක්ෂව ගොඩක් මිල අධික බව රහසක් නෙමෙයිනේ. ඒ කියන්නේ වී ගොවිතැන සඳහා යොදා ගන්නා ශ්‍රමිකයින්ට ලංකාවේ හැටියට ලොකු වැටුපක් ගෙවන්න වෙනවා. එහෙම වෙලත් ඇමරිකාවේ වී ගොවියා විශාල ලාබයක් ලබන්නේත් ලංකාවේ වී ගොවියා හැමදාම දුප්පතෙකුව සිටින්නේත් ඇයි? ඇමරිකාව සහල් අපනයනය කරද්දී ලංකාවට සහල් ආනයනය කරන්න වෙලා තියෙන්නේ ඇයි? ඇමරිකාවේ වී ගොවියෙකුට ශ්‍රමය ඉතා ලාබ චීනය, ඉන්දියාව, පකිස්ථානය වගේ රටවල නිපදවා ඇමරිකාවට එවන හාල් වල මිලට අඩුවෙන් හාල් විකුණා සැලකිය යුතු ලාබයක් ලබන්න හැකි වී තිබෙන්නේ කොහොමද? පොහොර සහනාධාර, වී සඳහා සහතික මිල, නොමිලේ වතුර ඇතුළු සහන පැකේජයක් රජයෙන් ලැබෙද්දී ලංකාවේ වී ගොවියාට පිටරටින් එන හාල් එක්ක තරඟ කරන්න බැරි ඇයි?

වෙනත් බොහෝ කෘෂිකාර්මික නිෂ්පාදන හා අදාළවත් ඔය වගේම ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන්.

Sunday, May 3, 2020

ධනවාදයේ ඊළඟ යාමය හා බුෆේ කෑම


ආර්ථික විද්‍යාව උගන්වන විට කියා දෙන පළමු කරුණක් වන්නේ "මිනිසුන්ගේ ආශාවන් අසීමිත වුවත් එම ආශාවන් සැපිරීම සඳහා තිබෙන සම්පත් ප්‍රමාණය සීමිතයි" කියන එක. මේ කරුණ බොහෝ විට නිවැරදියි. එහෙත්, හැම විටම නෙමෙයි. ආශාවන් සංතෘප්ත වන කිසියම් අවස්ථාවක් තියෙනවා.

අපි බොහෝ දෙනෙකුට ජීවිතයේ සෑහෙන කාලයක් හිතේ හැටියට කන්න ලැබී නැහැ. ඒ කියන්නේ බඩගින්නේ හිටියා කියන එකම නෙමෙයි. බඩගින්න නිවා ගන්න තිබුණේ සීමිත තේරීම් ටිකක් පමණයි කියන එකයි. එහෙම අත්දැකීමක් කවදාවත් නොලැබූ අය ඇති. එහෙත්, ලංකාවේ මා දැන සිටි හැම දෙනෙක්ම හිටියේ මේ බෝට්ටුවේ. මම හිතන්නේ අදටත් ලංකාවේ මධ්‍යම පාන්තිකයින්ට පවා කෑම කියන්නේ නොසංසිඳුණු ආශාවක්.

ලංකාවේ ආහාර මිල හා ඇමරිකාවේ ආහාර මිල අතර විශාල වෙනසක් නැහැ. එහෙත්, ආදායම් මට්ටම් අතර විශාල වෙනසක් තියෙනවා. ලංකාවේ ඉහළ මධ්‍යම පන්තිකයෙකුට වුවත් ආහාර සඳහා යන වියදම ඇඟට දැනෙනවා. නමුත්, ඇමරිකාවේ සාපේක්ෂව අඩු ආදායමක් ලබන කෙනෙකුට වුවත් ආහාර සඳහා යන වියදම සීමාකාරී සාධකයක් නෙමෙයි. මෙයින් මා කියන්නේ ඇමරිකාවේ කුසගින්නේ සිටින කිසිවෙකුත් නැහැ කියන එක නෙමෙයි. එවැනි අයත් යම් ප්‍රමාණයක් ඉන්නවා.

මා හැදුනේ වැඩුණේ මුහුදුබඩ පළාතක නෙමෙයි. බොහෝ විට අපේ සත්ත්ව ප්‍රෝටීන් ප්‍රභව වුනේ බිත්තර, කරවල හාල්මැස්සන් සහ ටින් මාළු. අලුත් මාළු හෝ මස් ආහාරයට ගත්තානම් ඒ අතරින් පතර දවසකයි. බොහෝ විට කළේ බතක් තම්බාගෙන අල පරිප්පු වගේ දෙයක් එක්ක හෝ වෙන මොනවා හරි එළවළුවක් එක්ක කන එකයි. නිතර මැල්ලුම් කෑවේ වත්තෙන් ඕනෑ වෙලාවක මොනවා හෝ පලා කොළයක් හොයාගන්න පුළුවන් වූ නිසා මිස ගුණ ගැන සලකා නෙමෙයි.

පාසැලේ හවස පන්ති හෝ වෙනත් අතිරේක ක්‍රියාකාරකමක් තිබුණු දවසට අපි ගෙදරින් බත් එකක් බැඳගෙන යනවා. පන්තියේ අනිත් ළමයිනුත් බත් එකක් ගේනවා. අපි මේ බත් මුල් ලෙහාගෙන කන්නේ එකටයි. බොහෝ විට බත් එකේ තිබෙන දේවල් හුවමාරු කර ගන්නවා. කන්තෝරු වල වැඩ කරන අයටත් මේ පුරුද්ද තියෙනවා.

ඔය විදිහට පාසැලට හෝ කන්තෝරුවට ගෙනියන බත් පැකට් එකෙන් කුස පුරවනවාට අමතරව තවත් දේවල් කරනවා. බත් එකේ තියෙන්නේ මොනවද කියන එකෙන් සමාජ තත්ත්වය පෙන්වනවා. ගෙදරදී සම්බෝලයි බතුයි කන එක ප්‍රශ්නයක් නොවුණත් පාසැලේදී හෝ කන්තෝරුවේදී ඒ වගේ දුප්පත් බත් මුලක් දිග අරින කෙනෙක් එසේ කරන්නේ ලැජ්ජාවෙන්. කුකුළු මස් වගේ දෙයක් තිබෙනවානම් එය ආඩම්බරයට කරුණක්. එය කෙනෙකුගේ සමාජ තත්ත්වය පිළිබිඹු කරනවා.

ගෙදරකට ඉඳහිට දවසක කුකුළු මස් ගෙනා විට අහල පහළ ගෙවල් වලටත් දීසියක් යවනවා. ඒ අයත් ඒකම කරනවා. මෙහි බෙදා හදාගෙන කෑමේ හොඳ ගුණය තිබෙනවා තමයි. නමුත්, ඒ එක්කම අපිත් කුකුළු මස් කනවා කියා අනෙකාට පෙන්වීමකුත් මෙහි තිබෙනවා.

පාසැල් වල හා කන්තෝරු වල බත් මුල් බෙදාගෙන කන කණ්ඩායම් වලට බොහෝ විට එකතු වෙන්නේ එකම විදිහේ බත් මුල් අරගෙන එන අයයි. ඉඳහිට දවසක බත් මුල දුප්පත් වීම ප්‍රශ්නයක් නොවුනත් හැමදාම දුප්පත් බත් මුලක් ගේන කෙනෙකුට කණ්ඩායමේ ඉන්න අමාරුයි. වඩා පෝසත් බත් මුලක් ගේන කෙනෙකුටත් එහෙමයි.

ආහාර යනු ඕනෑම කෙනෙකුට හිතේ හැටියට අවශ්‍ය පමණ කන්න නොලැබෙන සුඛෝපභෝගී පරිභෝජනයක්ව පවතින තාක් කෙනෙකුගේ බත් මුලෙන් සමාජ තත්ත්වය නිරූපණය වීමක්ද වෙනවා. එය තව දුරටත් කුසගින්න නිවන දෙයක් පමණක් නෙමෙයි.

අඳින ඇඳුම්, පාවිච්චි කරන වාහනය වගේ දේවල් වලින් සමාජ තත්ත්වය පිළිබිඹු කරන්නෙත් ඔය පදනමින්මයි. කැමති ඇඳුමක් මිල දී ගන්න එක ඕනෑම කෙනෙකුට පහසුවෙන් කළ හැකි දෙයක්නම් කාටවත් තමන්ගේ ඇඳුමෙන් සමාජ තත්ත්වය පෙන්නන්න බැහැ. ඒ නිසා, තමන්ට පහසු මොන ඇඳුමක් ඇන්දත් එහි අවුලක් නැහැ. කැමති විදිහක වාහනයක් මිල දී ගන්න එක ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක්නම් කෙනෙක් වාහනයක් ගන්නේ තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය සපුරා ගන්න පමණයි.

කාලයක් ගිහින් කඩෙන් කෑම කන්න හරි පිටින් බත් මුලක් මිල දී ගන්න හරි පටන් ගත්තට පස්සේ ගෙදරදී නොලැබෙන යම් තේරීමක් ලැබෙනවා. චිකන්, බීෆ්, මාළු, බිත්තර නැත්නම් නිකම්ම එළවළු කෑම එකක්. ඔය තේරීම් අතරත් සත්ත්ව ප්‍රෝටීන් එකකට වඩා නැහැ. චිකන්, බීෆ්, මාළු කියා කීවත් යාන්තම් රහ බලන්න මිසක් හිතේ හැටියට කන්න ඔය දේවල් ලැබෙන්නේ නැහැ.

පස්සේ පස්සේ ලංකාවේ චීන අවන්හල් බෝ වුනානේ. ඒවායේනම් චිකන් ඩෙවල් වගේ දීසි තිබුණා. සාපේක්ෂව මිල අධිකයි. මස් ටිකක් වැඩිපුර තිබුණත් ඒවා එන්නෙත් තත්කාලි, මාළු මිරිස් මහ ගොඩක් එක්කයි. හතර පස් දෙනෙක් එක්ක ගියොත් බොහොම ඉක්මණට මස් කෑලි ටික වාෂ්ප වෙනවා. ඉතුරු වෙන්නේ තත්කාලී මාළු මිරිස් ටික විතරයි.

මම හිතන්නේ ඒ දවස් වල බුෆේ තිබුණේ ප්‍රධාන පෙළේ හෝටල් වල විතරයි. ඒවායින්නම් හිතේ හැටියට කන්න බාධාවක් තිබුණේ නැහැ. නමුත්, මිල ඉතාම අධිකයි. මට මතක හැටියට සාමාන්‍ය හෝටලේක කෑම වේලක් රුපියල් විස්සක් විසිපහක් වගේ වූ කාලයක ලොකු හෝටලේක බුෆේ එක දාහකට වඩා වැඩියි. නමුත්, තිබුණු තේරීම් ප්‍රමාණය දිහා බැලුවහම මිලේ වැරැද්දක් පෙනෙන්නේ නැහැ. තේරීම් ප්‍රමාණය ඉතා විශාලයි. කැමති තරමක් බෙදාගෙන කන්නත් පුළුවන්.

මේ බුෆේ ක්‍රමය ඇමරිකාවේ ජනප්‍රියයි. විශේෂයෙන්ම චීන, ඉන්දියානු, තායි වගේ අවන්හල් බොහෝ විට බුෆේ ක්‍රමයට කෑම සපයනවා. ඇමරිකන් ආහාර බුෆේ ක්‍රමයට දෙන තැනුත් තිබෙනවා. විවිධ ආහාර වර්ග ගණනාවක් වෙන වෙනම තිබෙන තැනුත් තියෙනවා.මේ වගේ තැනකට ගියාම කැමති දෙයක්, කැමති ප්‍රමාණයක් කන්න පුළුවන්.

වැදගත්ම කරුණ මේ වගේ බුෆේ ආහාර වේලක මිලයි. බොහෝ විට එම මිල ඉතා අඩු මිලක්. තනි කෑම වේලක් ඇණවුම් කළොත් බොහෝ විට ඊට වඩා වැඩි වියදමක් යනවා. එහෙම වෙන්නේ කොහොමද?

මේක නිෂ්පාදනයේ එක අදියරකදී සිදු වන දෙයක්. ලංකාවේදී ආහාර වේලක් පිළියෙළ කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා වැය කළ යුතු මුදලට සාපේක්ෂව එම ආහාර පිළියෙල කිරීම සඳහා අවශ්‍ය වන ශ්‍රමය ගොඩක් ලාබයි. නමුත්, ඇමරිකාවේ තත්ත්වය එහි විලෝමයයි. ලංකාවේ අවන්හල් හිමියෙක් උත්සාහ කරන්නේ හැකි තරම් අමුද්‍රව්‍ය ඉතිරි කර ගන්න වුවත් ඇමරිකාවේ අවන්හල් හිමියෙක් උත්සාහ කරන්නේ හැකි තරම් ශ්‍රමය ඉතිරි කර ගන්නයි.

එක් එක් ඇණවුම වෙනුවෙන් වෙන වෙනම ආහාර පිළියෙල කරන්න ගියොත් විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. ඇමරිකාවේදී මිනිස් ශ්‍රමය මිල අධිකයි. කෑම වර්ග ගණනාවක් එකවර හදා පාරිභෝගිකයාට කැමති දෙයක් තෝරා ගන්න සැලැස්වූ විට ශ්‍රමය වෙනුවෙන් යන විශාල මුදලක් ඉතිරියි. ඒ නිසා කෑම වේලක් අඩුවට දෙන්න පුළුවන්.

හැබැයි එන පාරිභෝගිකයෝ ඇරියස් අල්ලන්න බලාගෙන එන බඩගිණි කාරයෝනම් මේ වැඩේ හරියන්නේ නැහැ. ඇමරිකාවේ එවැනි තත්ත්වයක් නැති නිසා මේ ක්‍රමය වැඩ කරනවා. කාටවත් අනවශ්‍ය තරමට කෑම බෙදාගෙන නාස්ති කරන්න උවමනාවක් නැහැ. බෙදාගත්ත ප්‍රමාණය මදිනම් නැවත නැවත බෙදාගන්න බාධාවක් නැහැනේ.

දැන් මේ වගේ බුෆේ එකකට එන අයට තමන් කැමති දේ කැමති පමණ බෙදාගෙන කන්න නිදහස තිබෙනවා. ගාණ දරාගන්න අමාරු ගාණක් නෙමෙයි. මෙනුපත බලා කිසියම් දීසියක් ඇනවුම් කළොත් බොහෝ විට වැඩි මිලක් ගෙවන්න වෙනවා.

කවුරුත් ගෙවන්නේ එකම මිල වුවත් එක් එක් කෙනා කන්නේ තමන්ගේ බඩගින්නේ ප්‍රමාණයට හා රුචිකත්වය අනුවයි. බුෆේ එකෙන් කරලා තියෙන්නේ සමානාත්මතාවය ඇති කිරීමක්. එය ධනවාදය තුළ ඇති වූ නෛසර්ගික සමතුලිතතාවයක්. එක එක්කෙනා කන ප්‍රමාණය ගණන් බලා වෙන වෙනම මිල නියම කිරීමට සාපේක්ෂව මේ ක්‍රමය කාර්යක්ෂමයි.

ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ ඉහළ කාර්යක්ෂමතාවය නිසා ශ්‍රමයේ මිල එක්ක බැලුවහම අමු ආහාර වල මිල ඉතා අඩුයි. ඒ නිසා ශ්‍රමය නාස්ති කිරීමේ පාඩුවට වඩා ආහාර නාස්ති කිරීමේ පාඩුව අඩුයි. ඔය වැඩේ වෙන්නේ බුෆේ වලදී පමණක් නෙමෙයි. නිෂ්පාදන කාර්යක්ෂමතාවය එක සීමාවක් පැන්නට පස්සේ ඕනෑම වෙළඳපොලක ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සීමාවට යන එක දුෂ්කර ගමනක්!

Saturday, May 2, 2020

පූර්ව කෝවිඩ් ලෝකය


මිනිසුන්ගේ කුදු මහත් අවශ්‍යතා අතරින් ප්‍රමුඛම අවශ්‍යතාවය ආහාර කියා කියන්න පුළුවන්. ඕනෑනම් තවත් පියවරක් පසුපසට ගිහින් මිනිස්සුන්ගේ ලොකුම ආශය ජීවත් වීමට ඇති ආශාව කියා කියන්න පුළුවන්. ජීවත් වෙන්න කෑම අවශ්‍ය වන නිසා ඒ එක්කම කෑම සඳහා වන අවශ්‍යතාවය මතු වෙනවා. ඉතිහාසය පුරා මිනිස්සු කෑම හොයා ගන්න බොහෝ අරගල කර තිබෙනවා.

ස්වභාවිකව හමු වෙන ආහාර වලින් පමණක් මිනිස්සුන්ට නඩත්තු වෙන්න පුළුවන් කාලයක් තිබුණා. ආහාර එකතු කරන්නෝ විදිහට එහෙමත් නැත්නම් දඩයක්කාරයෝ හැටියට මිනිස්සු ගත කරපු ඒ යුගයේදී බොහෝ මිනිස්සුන්ට එක්කෝ ආහාර නැති කමින් එහෙමත් නැත්නම් වෙනත් සතෙකුගේ ආහාරයක් වීමෙන් ජීවිතය අඩු වයසකදී අවසන් කරන්න සිදු වුනා. ඒ නිසා, ඒ කාලයේදී මිනිස් ජනගහණය ලොකුවට වර්ධනය වුනේ නැහැ. මේ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වුනේ මිනිස්සු කෘෂිකාර්මික ජීවිතයකට පුරුදු වීමෙන් පසුවයි. ඒ එක්කම මිනිසුන්ගේ ජනගහණ වර්ධන වේගයත් යම් තරමකින් ඉහළ ගියා.

මුල් කාලයේදී කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අවශ්‍ය වුනේ මිනිස් ශ්‍රමය හා ඉඩම් පමණයි. ඉඩම් සීමාකාරී සාධකයක් නොවූ නිසා සීමාකාරී සාධකය වුනේ මිනිස් ශ්‍රමයයි. මිනිස් ශ්‍රමය නිපදවන්න ආහාර අවශ්‍ය වුනා. ආහාර නිපදවන්න මිනිස් ශ්‍රමය අවශ්‍ය වුනා. මිනිස් ශ්‍රමය හා ආහාර අතර ශක්ති සංස්ථිතිය චක්‍රීය ලෙස සිදු වෙද්දී නිෂ්පාදන අතිරික්තයක් ලොකුවට තිබුණේ නැහැ. ඇතැම් කාල වල ඇතැම් ප්‍රදේශ වල නිෂ්පාදන අතිරික්තයක් නොතිබුණා නෙමෙයි. ඒ බොහෝ විට වාසිදායක කාලගුණ තත්ත්වයන් පැවති විටයි.

කෘෂි කර්මාන්තය සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය ආරම්භ වීමත් සමඟම නිෂ්පාදන කාර්යක්ෂමතාවය සැලකිය යුතු ලෙස ඉහළ ගියා. මෙයට සමාන්තරව කෘෂිකාර්මික ඉඩම් සීමාකාරී සාධකයක් වෙන්න පටන් ගත්තා. අවසාන ප්‍රතිඵලය වුනේ නිෂ්පාදිතය ශ්‍රමිකයා, ඉඩම් හිමිකරු සහ අනෙකුත් නිෂ්පාදන සාධක වල හිමිකරු අතර බෙදී යා යුතු වීමයි. දැන් පවතින තත්ත්වය මෙවැන්නක්.

කෘෂිකාර්මික නිෂ්පාදිත ප්‍රමාණය වැඩි කරන්නනම් ශ්‍රමය, ඉඩම් හා යන්ත්‍ර සූත්‍ර කියන නිෂ්පාදන සාධක තුනෙන් එකක් හෝ වැඩි ගණනක් වැඩි කළ යුතුයි. එහිදී, මේ එක් එක් සාධකයක් වෙනුවෙන් අමතර මිලක් ගෙවිය යුතු වෙනවා. ඉහළ දැමිය යුත්තේ කවර සාධකයද කියන එක තීරණය වන්නේ මේ එක් එක් සාධකය වැඩි කළ විට ලැබෙන ප්‍රතිඵල හා ඒ වෙනුවෙන් ගෙවිය යුතු මිල මතයි. මෙහිදී මා යන්ත්‍ර සූත්‍ර කීමේදී අදහස් කරන්නේ ඉඩම් හැර නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන අනෙකුත් සියලු ආකාර වල ප්‍රාග්ධනයයි.

බ්‍රිතාන්‍යයින් ලංකාවට පැමිණ තේ වැවුවේ ලංකාවෙන් අඩු වියදමකින් ඉඩම් හොයා ගන්න පුළුවන් වූ නිසයි. ඉන්දියාවෙන් ලංකාවට ශ්‍රමිකයින් ගෙනාවේ ඉන්දියාවේ ශ්‍රමය වඩා ලාබ වූ නිසයි. ඒ යුගයේ මෙන් බලය යොදා භූමිය අත්පත් කරගෙන කෘෂිකාර්මික ඉඩම් ප්‍රසම්පාදනය කර ගැනීම දැන් කිසිම රටකට කළ හැකි දෙයක් නෙමෙයි. ඒ නිසා, කෘෂි කර්මාන්තයෙන් ලාබ ගන්නනම් එක්කෝ ඉඩම් ඇති තැනකට ලාබ ශ්‍රමය රැගෙන එන්න වෙනවා. එසේ නැත්නම්, ලාබ ශ්‍රමය ඇති තැනකින් වැඩි මිලක් හෝ ගෙවා ඉඩම් හොයා ගන්න වෙනවා.

රටක ආර්ථිකය ටිකෙන් ටික ඉදිරියට යන කොට ශ්‍රමයේ මිලත් ටිකෙන් ටික ඉහළ යනවා. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 60,000ක් පමණ වෙනවා. ඉන්දියාවේනම් මේ අගය ඩොලර් 2000ක් පමණයි. තිස් ගුණයක පමණ වෙනසක්. අපි හිතමු ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට දවසකට ඩොලර් සීයක් ගෙවිය යුතුයි කියා. ඉන්දියාවේ ශ්‍රමිකයෙකුටනම් ඩොලර් පහක් පමණ ගෙවීම ප්‍රමාණවත්. එහෙමනම්, ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ ව්‍යවසායකයෙක් මිල වැඩි ඇමරිකානු ශ්‍රමිකයෙක් වෙනුවට මිල අඩු ඉන්දියානුවෙක්ව ආදේශ නොකරන්නේ ඇයි? එසේ නොකර ඉන්දියාවේ අඩු ශ්‍රමය යොදා ගෙන නිපදවන අර්තාපල් රාත්තලක මිලට වඩා අඩුවෙන් ඇමරිකාවේ පාරිභෝගිකයෙකුට අර්තාපල් රාත්තලක් සපයන්නේ කොහොමද?

ඇමරිකානු ශ්‍රමිකයා වෙනුවට ඉන්දියානු ශ්‍රමිකයා ආදේශ කරන්නනම් එක්කෝ ඉන්දියානු ශ්‍රමිකයාව ඇමරිකාවට ගේන්න වෙනවා. එහෙම නැත්නම්, ගොවිපොළ ඉන්දියාවට ගෙනියන්න වෙනවා.

මෙතැනදී ඇමරිකාවේ ධනවාදයට ඇමරිකාවේ දේශපාලනය සම්මුඛ වෙනවා. අර ඉන්දියානුවාව ඇමරිකාවට ගෙනත් වහලෙකුට වගේ සලකන්න බැහැ. එහෙම කරපු යුගය අවසන් වෙලා ගොඩක් කල්. ඉන්දියානු ශ්‍රමිකයා ඇමරිකාවට පැමිණි වහාම ඔහුත් ඇමරිකානුවෙක් වෙනවා. ඇමරිකානුවෙකුගේ ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිලම ඔහුටත් ගෙවන්න වෙනවා. සමහර විට පොඩ්ඩක් අඩුවෙන් වෙන්න පුළුවන්. මේ වැඩෙන් ලැබෙන විශේෂ වාසියක් නැහැ.

කන්ද මහමත් ළඟට එන්නේ නැත්නම් මහමත්ට කන්ද ළඟට යන්න බැරිද? ඉන්දියාව ඉඩම් සුලභ රටක් වෙලා ඇමරිකාව ඉඩම් හිඟ රටක් වුනානම් සමහර විට එහෙම වෙන්න ඉඩ තිබුණා. නමුත්, ඇමරිකාව කියන්නේ ඉන්දියාව වගේ තුන් ගුණයක් ලොකු එහෙත් ඉන්දියාවේ මෙන් හතරෙන් එකක ජනගහණයක් සිටින රටක්. ඇමරිකාවට සාපේක්ෂව ඉන්දියාවේ ඉඩම් හිඟයි. ලෝකයේ ශ්‍රමය ලාබ ගොඩක් රටවල් වලට සාපේක්ෂව ඇමරිකාව ඉඩම් ප්‍රශ්නයක් නැති රටක්. අනෙක් අතට ඉඩම් හා ලාබ ශ්‍රමය දෙකම තියෙන රටක් තිබුණත් ඒ ඉඩම් ඇමරිකාවට නිදහසේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒ වැඩෙත් හරියන්නේ නැහැ.

ඔය දෙකම කරන්න බැරිනම්, ඉන්දියාවේ ලාබ ශ්‍රමය එක්ක ඇමරිකාව තරඟ කරන්නේ කොහොමද?

වගා කරන තැන වෙනස් කරන්නත් බැරිනම්, ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල අඩු කරන්නත් බැරිනම් තරඟකාරීත්වය පවත්වාගන්න ඉතිරිව තිබෙන්නේ තවත් එක විකල්පයක් පමණයි. ඒ නිෂ්පාදන ඒකකයක් සඳහා අවශ්‍ය වන ශ්‍රමය අඩු කර ගැනීම.

අපි ගත්ත උදාහරණයේදී ඉන්දියාවේ ශ්‍රමිකයෙකුට ඩොලර් පහක් පමණක් ගෙවීම ප්‍රමාණවත්. ඒ අනුව, අර්තාපල් කිසියම් නිශ්චිත ප්‍රමාණයක් හදන්න ශ්‍රමිකයින් 30ක් අවශ්‍යනම් ඩොලර් 150ක් යනවා.

ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට දවසකට ඩොලර් සීයක් ගෙවිය යුතුයි. එහෙත්, ඉන්දියාවේ ශ්‍රමිකයින් 30ක් යොදවා හදන අර්තාපල් ප්‍රමාණයම ඇමරිකාවේ එක ශ්‍රමිකයෙකුට හදන්න පුළුවන්නම් ප්‍රශ්නය විසඳිලා.

තාක්ෂනය යොදා ගනිමින් මේ වැඩේ කරන්න පුළුවන්. අදාළ යන්ත්‍ර සූත්‍ර ආදිය වෙනුවෙනුත් පිරිවැයක් දරන්න වෙනවා. නමුත්, ඒ පිරිවැය ඩොලර් 50ට වඩා අඩුවෙන් තියා ගන්න පුළුවන්නම් ඉන්දියාවෙන් අර්තාපල් ආනයනය කරනවාට වඩා ඇමරිකාවේම හදා ගන්න එක වාසියි.

ඇමරිකාවේ සාපේක්ෂව ඉඩම් හිඟයක් නොතිබීමත්, ඇමරිකානු කෘෂිකාර්මික ශ්‍රමය වෙනුවට වඩා ලාබ ශ්‍රමය ආදේශ කරන්න බැරි වීමත් නිසා දිගින් දිගටම සිදු වී තිබෙන්නේ ඇමරිකාවේ කෘෂි නිෂ්පාදන තාක්ෂණයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම වෙනුවෙන් දිගින් දිගටම ආයෝජන සිදු වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදිතය දිගින් දිගටම ඉහළ යාම සීමා වී තිබෙන්නේ ආහාර සඳහා වන ඉල්ලුම එක්තරා මට්ටමකදී යම් තරමකින් සංතෘප්ත වන නිසයි.

ඉල්ලුම වැඩි නොවෙද්දී සැපයුමත් සීමා වෙනවා. එහෙත්, ඒ අතරම නිෂ්පාදන තාක්ෂණයේ කාර්යක්ෂමතාවයද වැඩි වන නිසා ඇමරිකාවේ කෘෂි කර්මාන්තයට අවශ්‍ය වන ශ්‍රමිකයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. අඩු වන රැකියා වෙනුවට වෙනත් ක්ෂේත්‍ර වල රැකියා අවශ්‍ය වෙනවා. එසේ නැත්නම් ඇමරිකාවේ විශාල රැකියා වියුක්තියක් ඇති වෙනවා. මේ වෙනත් ක්ෂේත්‍ර වන්නේ නිෂ්පාදන හා සේවා අංශයි.

හැබැයි නිෂ්පාදන අංශයේ රැකියා කෘෂිකාර්මික අංශය මුහුණ නොදෙන වෙනත් ගැටළුවකට මුහුණ දෙනවා. කෘෂිකාර්මික ව්‍යවසාය මෙන් නිෂ්පාදන කර්මාන්ත ලාබ ශ්‍රමය තිබෙන තැනකට විතැන් කරන්න අමාරු නැහැ. ලංකාවේ තිබෙන ඇඟලුම් කම්හලක් ඇමරිකාවට ගෙනාවොත් ලංකාවේ ශ්‍රමිකයෙකුට ගෙවන මුදල මෙන් විසි තිස් ගුණයකවත් වැටුපක් ගෙවන්න වෙනවා. ඒ නිසා, කර්මාන්ත රටින් පිටතට ගෙන යාම වඩා වාසිදායකයි. අවසාන ප්‍රතිඵලය වන්නේ ඇමරිකානුවන්ට නිෂ්පාදන අංශයේ රැකියාත් අහිමි වීමයි.

මේ දෙ අංශයේම රැකියා අහිමි වෙද්දී ඇමරිකානුවන්ට ඉතිරි වෙන්නේ සේවා අංශයේ රැකියා. සේවා නිෂ්පාදන ශ්‍රමමූලික වීමත්, එසැණම පරිභෝජනය කරනු මිස ගබඩා කර තබාගෙන පසුව ආනයනය කළ නොහැකි නිසාත් නිෂ්පාදන අංශයේ රැකියා වලට මෙන් සේවා අංශයේ රැකියා වලට ලාබ ශ්‍රමය සමඟ තරඟ කරන්න වෙන්නේ නැහැ. කෝල් සෙන්ටර් ආදිය හරහා යම් ආදේශ වීමක් සිදු වුනත්, ඉතා මෑතක් වන තුරුම ඇමරිකාවේ කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන අංශ වලට අවශ්‍ය නොවන ශ්‍රමය අවශෝෂණය කර ගන්න සේවා අංශයට හැකි වුනා.

කෝවිඩ් පැතිරෙන්න ආසන්න කාලයේ ඇමරිකාවේ ආර්ථිකය මූලික වශයෙන්ම සේවා ආර්ථිකයක්. ඇමරිකාවේ කෘෂිකාර්මික හා කාර්මික අංශ වලට අවශ්‍ය නොවූ ශ්‍රමය අවශෝෂණය කර ගත්තේ සේවා ආර්ථිකයයි. රටේ ආර්ථිකය වර්ධනය වුණෙත් බොහෝ දුරට සේවා ආර්ථිකය වර්ධනය වීමට සමාන්තරවයි. ඒ වුනත්, ශක්තිමත් හා කාර්යක්ෂම කෘෂි ආර්ථිකයක්ද ඇමරිකාවේ දිගටම තිබුණා. ඇමරිකාවේ කෘෂි ආර්ථිකයට ශ්‍රමය වෙනුවෙන් වැඩි මිලක් ගෙවීමෙන් පසුවත් ශ්‍රමය ලාබ අනෙක් රටවල් සමඟ තරඟකාරී වෙන්න පුළුවන්කම තිබුණා.

ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයට සාපේක්ෂව බැලුවොත් නිෂ්පාදන හා සේවා අංශ තරඟකාරී නැහැ. ලංකාවේ අර්තාපල් කිලෝවක් හෝ කුකුළු මස් කිලෝවක් හදන්න යන මිලට වඩා අඩුවෙන් ඇමරිකාවේදී ඒ දේවල් හදාගන්න පුළුවන් වුනත් ලංකාවේ මහන ඇඟළුමක් ඇමරිකන් ශ්‍රමය යොදවා ඒ මිලට හදන්න බැහැ. ලංකාවේ කරණවෑමියෙක් කොණ්ඩය කපන මිලට ඇමරිකානුවෙකුට කොණ්ඩය කපා ගන්න බැහැ. හැබැයි මේ දේවල් ඇමරිකාව ඇතුළේ කරගන්න බැරිකමක් නැහැ. මිල වැඩිකම පමණයි ප්‍රශ්නයකට තියෙන්නේ.

ඇමරිකානුවෙකුට කොණ්ඩය කපා ගන්න අවශ්‍ය වූ විට ලංකාවට යන්න බැහැ. ඒ වැඩේ කරගන්න වෙන්නේ ඇමරිකාවේදීමයි. ඒ නිසා, ඇමරිකාවේදී මේ සේවය සපයන අයෙක් ලංකාවේ කරණවෑමියෙක් තරමටම කාර්යක්ෂම නොවීමේ අවුලක් නැහැ. මෙහිදී මා කාර්යක්ෂම කියන එක අර්ථ දක්වන්නේ නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂවයි.

එහෙත්, නිෂ්පාදන අංශයේ ශ්‍රමිකයෙකුට වෙනත් රටක ලාබ ශ්‍රමය එක්ක තරඟ කරන්න වෙනවා. චීනයේ හෝ ලංකාවේ ලාබ ශ්‍රමය හමුවේ ඇමරිකානුවන්ගේ රැකියා නැති වෙනවා. අනෙක් අතට කෘෂිකාර්මික අංශය වඩා කාර්යක්ෂම වෙද්දී ඒ හේතුව නිසාත් ශ්‍රම අවශ්‍යතාවය අඩු වී රැකියා අහිමි වෙනවා.

අවසන් ගැලවුම්කරු සේවා අංශය වුවත්, ඇමරිකාවේ සේවා අංශය ලෝකයේ වෙනත් රටවල ලාබ ශ්‍රමය හා සැසඳූ විට අකාර්යක්ෂමයි. අකාර්යක්ෂමතාවය ඇති විට ලාබ සොයන ධනවාදය කාර්යක්ෂම විය හැකි ආකාර ගැන හිතනවා. සේවා නිෂ්පාදන එසැණින් පරිභෝජනය කළ යුතු නිසා පාරිභෝගිකයා සිටින ඇමරිකාවෙන්ම මිස ලාබ ශ්‍රමය තිබෙන වෙනත් රටකින් ශ්‍රමය ලබා ගන්න බැහැ. කෝල් සෙන්ටර් වගේ සීමිත අංශ කිහිපයකදී පමණක් එය කළ හැකියි. එහෙත්, ඉන්දියාවේ රියැදුරකුට ඉන්දියාවේ සිට ඇමරිකාවේ වාහනයක් එළවන්න බැහැ. ඉන්දියාවේ ලාබ ශ්‍රමය ඇමරිකාවට රැගෙන ආවොත් එය තව දුරටත් ලාබ ශ්‍රමයක් නොවන නිසා ඒ වැඩේ හරියන්නෙත් නැහැ. එහෙමනම්, සේවා අංශයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගන්නේ කොහොමද?

ඇමරිකාවේ සේවා අංශය තුළ දැන් සිදු වන්නේ කෘෂිකාර්මික අංශය තුළ කලකට සිදු වූ ආකාරයේ පරිවර්තනයක්. ස්වයංකරණය හරහා ඇමරිකාවේ සේවා අංශය කාර්යක්ෂම වෙනවා. ඇමරිකාවේ සේවා අංශයේ පිරිවැය ලාබ ශ්‍රමය ඇති රටවල් හා තරඟ කළ හැකි තරමට කාර්යක්ෂම වෙනවා. එයට සමාන්තරව ඇමරිකානුවන්ගේ රැකියා අහිමි වෙනවා.

කෘෂිකාර්මික අංශය කාර්මීකරණය වෙද්දී මාංශ පේශි ශක්තිය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය ආදේශ වුනා. එහෙත්, යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරන්න මිනිස්සු අවශ්‍ය වුනා. මිනිස් මොළයට ආදේශකයක් තිබුණේ නැහැ. ඒ නිසා, සේවා අංශයේ හිතන්න අවශ්‍ය රැකියා වලට ස්වයංකරණය තර්ජනයක් වුනේ නැහැ. නමුත්, දැන් තත්ත්වය වෙනස්. ස්වයංක්‍රීය වාහනයක්  මිනිස් රියැදුරෙකු රහිතව වඩා දක්ෂ ලෙස හා අනතුරු රහිතව ධාවනය වෙනවා. රොබෝ යන්ත්‍ර යොදාගෙන සුපිරි වෙළඳසැලක භාණ්ඩ ඇසිරීම හෝ බිම පිරිසිදු කිරීම අවම වැටුප් ගෙවා ශ්‍රමිකයෙකු නඩත්තු කරනවාටත් වඩා ලාබයි. යන්ත්‍රයකට මිනිස්සුන්ගේ ලිංගික අවශ්‍යතා හා ආගමික අවශ්‍යතා ආදිය පවා සපයන්න පුළුවන්.

ඇමරිකාව වගේ රට වල මිනිස් ශ්‍රමය දැන් අලුත් අභියෝගයකට මුහුණ දී තිබෙනවා. අවම වැටුප් යටතේ වුවත් මිනිස් ශ්‍රමය අකාර්යක්ෂමනම් විසඳුම කුමක්ද? ජීවිතය පවත්වා ගැනීමට අවම පරිභෝජන මට්ටමක් පවත්වා ගත යුතුයි. ඒ වෙනුවෙන් අවම වියදමක් දැරිය යුතුයි. මිනිස් ශ්‍රමයේ වටිනාකම ඒ වියදම දැරිය නොහැකි තරමට පහත වැටුනොත් වෙන්නේ කුමක්ද?

යන්ත්‍රයක් නඩත්තු කරන්න යන වියදම එයින් කළ හැකි කාර්යයේ වටිනාකමට වඩා අඩුනම් අපි කරන්නේ එම යන්ත්‍රය අත හැර දමන එකයි. එහෙත්, මිනිස්සුන්ව එසේ අත හැර දමන්න බැහැ. අනෙක් අතට නුපුහුණු මූලික මිනිස් ශ්‍රමය ප්‍රයෝජනයක් නැති තරමටම වැටිලා. වෙනත් විදිහටකට කිවුවොත්, රටක මිනිස්සු සියලු දෙනාගේම සියලු පරිභෝජන අවශ්‍යතා සඳහා අවශ්‍ය වන භාණ්ඩ හා සේවා සියල්ල හදන්න ඒ රටේ මිනිස්සුන්ගෙන් කොටසකගේ පමණක් ශ්‍රම දායකත්වය ප්‍රමාණවත්නම්, ඉතිරි මිනිසුන්ගේ අතිරික්ත ශ්‍රමයට කරන්නේ මොකක්ද?

ධනවාදය තුළ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ටිකෙන් ටික ඉහළ ගිහින් යම් අවස්ථාවක මේ තත්ත්වය ඇති විය යුතුයි. ඉතිහාසයේ පළමු වරට දැන් එවැනි තත්ත්වයක් ඇති වී හෝ ඇති වෙමින් තිබෙනවා. කෝවිඩ්-19 පැතිරුණේ එහෙම අවස්ථාවකයි.

Friday, May 1, 2020

දැන් ඉතිං නැගිටියවු!


ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2018 වසරේදී කුසගින්නෙන් පෙළුණු පුද්ගලයින් ගණන මිලියන 821.6ක්. එයින් මිලියන 513.9 ක් ආසියාවේත්, මිලියන 256.1ක් අප්‍රිකාවේත්, මිලියන 42.5ක් දකුණු ඇමරිකාවේත් (කැරිබියන් දූපත්ද ඇතුළුව) ජීවත්ව සිටි අයයි. මේ ගණන් තුන එකතු කර මුල් ගණනින් අඩු කළ විට උතුරු ඇමරිකාවේ, යුරෝපයේ හා ඕස්ට්‍රේලියාවේ කුසගින්නෙන් පෙළෙන ජනගහණය හොයා ගන්න පුළුවන්. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නය මේ වන විට බොහෝ දුරට ආසියාවේ, අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ ප්‍රශ්නයක්.

මෑතක් වන තුරුම සැබෑ ලෝක ඉතිහාසය බඩගින්නෙන් සිටි මිනිසුන් පිළිබඳ කතාවක්. ඉතිහාසය පිළිබඳ සුරංගනා කතා කියන අය මොනවා කිවුවත්, ලෝක ජනගහණයෙන් වැඩි පිරිසකට බඩ පිරෙන්න ආහාරයක් ලැබෙන්නේ වැඩිම වුනොත් සියවසකට පෙර සිටයි. අදටත් ලෝක ජනගහණයෙන් දහයකට එක් අයෙකුට කුසට අහරක් නැතත් දැන් පවතින තත්ත්වය අතීතයට සාපේක්ෂව ගොඩක් හොඳ තත්ත්වයක්.

ලෝකයේ හැම දෙනෙක්ටම කුස පිරෙන්න ප්‍රමාණවත් තරම් ආහාර නිෂ්පාදනයක් ලෝකයේ සිදු නොවුණු කාලයක, ප්‍රාග්ධනය කියන්නේ ප්‍රධාන වශයෙන්ම වගා කළ හැකි ඉඩම් වූ කාලයක, ප්‍රධානම ශක්ති ප්‍රභවය මිනිසුන්ගේ මාංශ පේශි ශක්තිය වූ කාලයක, ශ්‍රමය සූරාකෑම කියන අදහසට තේරුමක් තිබුණා. ඒ කාලය මේ වෙද්දී මතකයේ රැඳුණු අතීතයක් පමණයි පමණයි කියා මා නොකියන්නේ ලෝකයේ ඇතැම් තැන් වන තවමත් මේ වගේ තත්ත්වයක් නැහැ කියා සහතිකයෙන්ම කියන්න බැරි නිසයි. එහෙත් ඇමරිකාව හා අදාළවනම් මේ කතාව මේ විදිහට කියන්න බැරිකමක් නැහැ.

කාලයක් යද්දී කෘෂිකාර්මික ආර්ථිකයන් කාර්මික ආර්ථිකයන් බවට පත් වුනා. විශාල පිරිසකගේ ශ්‍රමය යොදවා සිදු කළ කෘෂිකාර්මික නිෂ්පාදනය ඊට වඩා අඩු පිරිසකට කරන්න පුළුවන් වුනා. ඒ යන්ත්‍ර සූත්‍ර වල උදවුවෙන්. ඉතුරු වූ ශ්‍රමය කාර්මික අංශයට විතැන් වුනා. තවත් කාලයක් යද්දී කාර්මික ආර්ථිකයේ ඵලදායීතාවයද කෙමෙන් ඉහළ යද්දී කාර්මික නිෂ්පාදන සඳහා තව දුරටත් අවශ්‍ය නොවූ ශ්‍රමය සේවා අංශය වෙත විතැන් වුනා.

මේ වෙද්දී ඇමරිකාවේ කෘෂිකාර්මික නිෂ්පාදිතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%කට අඩුයි. සෘජුව කෘෂිකාර්මික රැකියා වල නිරත වන්නේද ජනගහණයෙන් 1%කට අඩු පිරිසක්. එහෙත් ඒ ඇමරිකාවේ කෘෂිකාර්මික අංශය දිය වී ගොස් ඇති නිසා නෙමෙයි.

ඇමරිකානු වෙළඳපොළ ආහාර ආනයනයට හා අපනයනයට මුළුමනින්ම වාගේ විවෘත රටක්. ඕනෑම රටක හැදෙන දෙයක් ඇමරිකාවේදී මිල දී ගත හැකියි. එසේ වුවත්, සමස්තයක් ලෙස ඇමරිකාව ආහාර අතින් ස්වයංපෝෂිත රටක්. ආනයන කිසිවක් නැතත් ඇමරිකානුවන්ට කුසගින්නේ ඉන්න වෙන්නේ නැහැ.

මා මෙයින් කියන්නේ ආනයනික ආහාර ඇමරිකාවට අනවශ්‍ය බව නෙමෙයි. ඇමරිකාවේ කෝපි, කොකෝවා, කුළුබඩු හා මාළු ඉල්ලුම වැඩි වශයෙන්ම සැපිරෙන්නේ ආනයන වලින්. අලුත් පළතුරු හා පළතුරු යුෂ ඉල්ලුමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්, අළුත් හා සකස් කළ එළවළු ඉල්ලුමෙන් පහෙන් එකක් පමණ හා සීනි හා වයින් ඉල්ලුමෙන් තුනෙන් එකක් පමණත් සැපිරෙන්නේ ආනයන වලින්.

එළවළු හා පළතුරු ඇමරිකාවට විශාල ලෙස ආනයනය කළත් එපමණම ප්‍රමාණයක් ඇමරිකාව විසින් අපනයනයද කරනවා. ඒ ඇමරිකාවේ හා ලෝකයේ වෙනත් ඇතැම් රටවල වැවිය හැකි එළවලු හා පළතුරු වර්ග වෙනස් නිසයි. ඇමරිකාවේ නිපදවන සහල්, තිරිඟු හා සෝයා බෝංචි වලින් අඩක් පමණ හා ඌරු මස් වලින් පහෙන් එකක් පමණද අපනයනය කෙරෙනවා. සමස්තයක් ලෙස ඇමරිකාව වෙළඳ හිඟයක් ඇති රටක් වුවත්, කෘෂිකාර්මික නිෂ්පාදන පමණක් සැලකූ විට ඇමරිකාවේ කාලයක් තිස්සේම වෙළඳ අතිරික්තයක් තියෙනවා.

ඇමරිකානුවන්ට කන්න අවශ්‍ය ආහාර හදන්න අවශ්‍ය වෙන්නේ ඇමරිකානු ජනගහණයෙන් 1%කට අඩු පිරිසකගේ ශ්‍රමය පමණයි. ඒ නිෂ්පාදන තාක්ෂණයේ දියුණුවයි. ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය නොවන ශ්‍රමය යෙදවෙන්නේ වෙනත් කටයුතු සඳහායි. ඒ අතරින් නිෂ්පාදන කර්මාන්තද ඇමරිකානු දළ දේශීය නිෂ්පාදිතයෙන් 18%ක් පමණයි. ඇමරිකානු ආර්ථිකය බොහෝ දුරට සේවා අංශය මත රැඳී තිබෙන ආර්ථිකයක්. රැකියා වලින් 80%ක් පමණම සේවා අංශයේ රැකියා.

රටක නිෂ්පාදන කාර්යක්ෂමතාවය ක්‍රමයෙන් ඉහළ යද්දී ප්‍රාථමික ශ්‍රමයට තිබෙන ඉල්ලුම ක්‍රමයෙන් අඩු වී යනවා. පළමු අදියරේදී ප්‍රාථමික ශ්‍රමය යොදා කළ වැඩ වෙනුවට යන්ත්‍ර ආදේශ වෙනවා. එහෙත්, මේ යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා ශ්‍රමය අවශ්‍ය වෙනවා. එය යම් මට්ටමක පුහුණු ශ්‍රමයක්. ඉන් පසුව ස්වයංකරණය හරහා නිෂ්පාදන කාර්යක්ෂමතාවය තවත් ඉහළ යන විට එම ශ්‍රමයද අවශ්‍ය නැති වෙනවා. කාර්මික අංශයේ ශ්‍රම අවශ්‍යතා අඩු වෙද්දී රැකියා හිඟයක් ඇති නොවුනේ සේවා අංශය විසින් එම ශ්‍රමය අවශෝෂණය කරගත් නිසයි. එහෙත්, මේ වෙද්දී ඇමරිකාවේ සේවා අංශයද වේගයෙන් ස්වයංකරණය වෙනවා.

ජනප්‍රිය අදහසක් වන්නේ ධනවාදය කියන්නේ පරිභෝජනවාදයක් කියන එක. ධනවාදය අනෙකාගේ පරිභෝජන අවශ්‍යතා සපිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙත්, පරිභෝජනවාදය කියන එකෙන් අදහස් වෙන්නේ කුමක්ද? මේ වචනය බොහෝ විට යෙදෙන්නේ නිශේධනාත්මක අරුතකින්. කුසගින්නේ සිටින කෙනෙක් වෙතට ආහාර සපයන යාන්ත්‍රණයක් පරිභෝජනවාදීද?

මට හෝ මගේ පවුලේ අයට මේ වෙද්දී කුසගින්න කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඇමරිකාවේ ජීවත් වන තවත් බොහෝ දෙනෙක් වගේම ආහාර වෙනුවෙන් මා වැය කරන්නේ මගේ ආදායමෙන් කුඩා ප්‍රතිශතයක්. ඒ වගේම, විනෝදාංශයක් ලෙස වත්තේ මොනවා හෝ වැවුවත් ආහාර නිෂ්පාදනය වෙනුවෙන් මා ශ්‍රමය වගුරුවන්නේ නැහැ. නමුත්, එයින් අදහස් වෙන්නේ මගේ ආහාර වේල සැපයීම සඳහා කොහේ හෝ ඇමරිකාවේ ගොවිපොළක කිසියම් පිරිසක් ඉතා අසීරු තත්ත්වයන් යටතේ වෙනත් කරන්න දෙයක් නැති කමට අකැමැත්තෙන් ශ්‍රමය වගුරුවනවා කියන එක නෙමෙයි. එහෙම දෙයක් වෙන්නේ නැහැ.

දැනටත් කුසගින්නේ සිටින මිලියන 821.6ක පිරිස වගේම මමත් ඕනෑ තරම් කුසගින්නේ සිට තිබෙනවා. කුසගින්නේ නොසිටි බොහෝ අවස්ථා වලත් හිතේ හැටියට කන්න ලැබී නැහැ. ඒ වගේ තත්ත්වයක ඉන්න කෙනෙක්ගේ පළමු ඉලක්කය කවදා හෝ හිතේ හැටියට කන්න පුළුවන් ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමයි. අනෙක් දේවල් එන්නේ ඉන් පසුවයි. අසීමිත ලෙස සම්පත් තිබේනම් මිනිස්සු කොයි තරම් ආහාර පරිභෝජනය කරයිද?

මිනිස්සුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ යද්දී ආහාර පරිභෝජනයද ඉහළ යනවා. මා කුඩා කාලයේ ලංකාවේ ගම් වල සිටි බොහෝ දෙනෙක් කෙසඟ සිරුරු තිබුණු අයයි. ගොඩක් පත්තර කාටුන් වල සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස නිරූපණය වුනේ මේ කෙට්ටු මනුස්සයාවයි. මහතට හිටියානම් ඒ එක්කෝ මුදලාලි කෙනෙක්. නැත්නම් දේශපාලනඥයෙක්. සමහර කාටුන් චරිත තවමත් තියෙන්නේ මේ ආකෘතිය ඇතුළේ.

දශක ගණනකට පෙර මාධ්‍ය හරහා මා දැන සිටි ඇමරිකානුවා බොහෝ ස්ථුල පුද්ගලයෙක්. සමහර විට ඇත්තටමත් එය එසේ වෙන්න ඇති. දැන් ලංකාවේ බොහෝ දෙනෙකුත් කෙසඟ පුද්ගලයින් නෙමෙයි.

ආහාර සඳහා වන ඉල්ලුම නැති නොවන ඉල්ලුමක්. රටක මිනිස්සු බොහෝ දෙනෙක් කුසගින්නේ ඉන්නවා කියන්නේ ආහාර සඳහා විශාල නොසන්සිඳුණු ඉල්ලුමක් තියෙනවා කියන එකයි. ධනවාදී ක්‍රමයක් ඇති විට මෙය කෙනෙකුට ලාබ ලැබීමේ අවස්ථාවක්. එහෙත්, එසේ ලාබ ලබන්න හැකි වන්නේ පුළුවන් තරම් වැඩිම මිලකට ආහාර විකිණීමෙන් නෙමෙයි. එසේ කරන්න ගියොත් අඩු මිලට විකුණන කෙනෙක්ට වෙළඳපොළ අල්ලාගෙන ඒ ලාබ තමන් වෙත ආකර්ශනය කර ගන්න පුළුවන්. ඒ නිසා, නිෂ්පාදකයින්ට ලාබ ලබන්නනම් හැකි තරම් අඩු මිලකට ආහාර නිෂ්පාදනය කරන්න සිදු වෙනවා. මේ කටයුත්තේදී අකාර්යක්ෂම නිෂ්පාදකයින් ටිකෙන් ටික හැලී ගිහින් වඩා කාර්යක්ෂම නිෂ්පාදකයින් පමණක් ඉතිරි වෙනවා. ඇමරිකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය 1% මට්ටමෙනුත් පහළට වැටෙන්න එක් හේතුවක් වන්නේ මේ විදිහට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදන ඵලදායීතාව විශාල ලෙස ඉහළ යාමයි.

නිෂ්පාදන ඵලදායීතාව ඉහළ යාමට සමාන්තරව ආහාර මිල පහළ යනවා. එවිට ආහාර පරිභෝජනය ඉහළ යනවා. නමුත්, කොයි තරම් දුරකටද?

මිල පහළ ගියා කියා පරිභෝජනය අසීමිත ලෙස ඉහළ යන්නේ නැහැ. මුලදී කෙසඟ සිරුරු වල මස් ලියලනවා. ඒත් ඕනෑවට වඩා මස් ලියලන්න ගත්තහම මෙය තමන්ට අවාසිදායක බව තේරෙන්න ගන්නවා. පරිභෝජනය ස්වභාවිකවම සීමා වෙනවා. දැන් ඇමරිකාවේ ස්ථුලතාවයෙන් අදහස් කෙරෙන්නේ අඩු සමාජ ආර්ථික තත්ත්වයක් මිස ධනය හා බලය නෙමෙයි. ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් ඇති අය කෙසඟ සිරුරු ඇති, බොහෝ විට තමන්ගේ කැමැත්තෙන් කුසගින්නේ සිටින අයයි.

නිෂ්පාදන ඵලදායීතාව එක්තරා මට්ටමකට පැමිණ නිෂ්පාදනය ඉහළ ගොස් ප්‍රමාණවත් තරමින් මිල අඩු වූ විට රටක ආහාර සඳහා වන සමස්ත ඉල්ලුම සෑහෙන තරමකින් සංතෘප්ත වෙනවා. තව දුරටත් මිල පහළ ගියා කියා පරිභෝජනය සැලකිය යුතු ලෙස ඉහළ යන්නේ නැහැ. ඒ නිසා, කෘෂිකාර්මික අංශය දියුණු කර ආර්ථිකය තව දුරටත් ඉදිරියට ගෙනියන්න බැහැ. (මම මේ කියන්නේ ඇමරිකාව ගැන මිස කෘෂිකාර්මික අංශයේ ඇමරිකාවේ වැනි නිෂ්පාදන ඵලදායීතාවයක් නැති රටවල් ගැන නෙමෙයි.)

ආහාර වලින් පටන් ගත්තේ කෘෂිකාර්මික අංශය හා අදාළව මේ තත්ත්වය ඉතා පැහැදිලි නිසයි. නමුත්, වෙනත් ඕනෑම ආකාරයක පරිභෝජන අවශ්‍යතාවයක් හා අදාළවත් මේ කතාව නිවැරදියි. ඔබට අවශ්‍ය තරම් මුදල් තිබේනම් කොයි තරම් ලොකු ගෙයක් හදනවද? මෝටර් රථ කීයක් මිල දී ගන්නවද? විදේශ සංචාර කීයක යෙදෙනවද?

මුදල් නැති කමින් කුසගින්නේ සිටින කෙනෙක් සිහින දකින්නේ බඩ පැලෙන්න කන්න ලැබෙන අනාගතයක් ගැනයි. එහෙත්, එවැනි අනාගතයක් ඇත්තටම එළැඹුණු විට එය එසේ වෙන්නේ නැහැ. ගෙවල්, මෝටර් රථ, විදේශ සංචාර පිළිබඳව වුනත් එහෙම තමයි.

අවම වශයෙන් ඇමරිකාව වැනි රටවල ඇතැම් විශේෂිත කණ්ඩායම් හැර අනෙක් සියලුම මිනිස්සුන්ට අවශ්‍ය පමණ ආහාර පරිභෝජනය කළ හැකි තරමට නිෂ්පාදන ඵලදායීතාව ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, සෑම පරිභෝජන අවශ්‍යතාවයක් හා අදාළවම එවැනි තත්ත්වයක් ඇති වී නැහැ. ඒ නිසා, ආදායම් ඉහළ යාමට සමාන්තරව පරිභෝජනයද ඉහළ යනවා.

මේ විදිහට කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා වල ඉල්ලුම අසීමිතව ඉහළ යා හැකිද? පවතින තත්ත්වයන් යටතේ බොහෝ වෙළඳපොළවල් හා අදාළව එය එසේ නොවන බවක් පැහැදිලිව පෙනෙන්නට නැතත්, නිෂ්පාදන කාර්යක්ෂමතාවය යම් මට්ටමක් ඉක්මවීමෙන් පසුව එය එසේ වෙන්න පුළුවන්. ඇමරිකාවේ ආහාර ඉල්ලුම හා අදාළව දැනටමත් දැකිය හැක්කේ මේ තත්ත්වයයි.

ඇමරිකාව වගේ බටහිර රටකදී, අන්තිම සටනට සැරසී, දැන් ඉතින් නැගිට ගොස්, ව්‍යායාම කර ඇඟේ කැලරි දහනය කර ගන්න සිදු වී තිබෙන්නේ සාදුකින් පෙළෙනවුන්ට නෙමෙයි. ස්ථුලතාවයෙන් පෙළෙන අයටයි.

(Image: Creator: monkeybusinessimages/Getty Images
Credit: Getty Images/iStockphoto
Copyright: monkeybusinessimages/Getty Images)

Wednesday, April 29, 2020

කොරෝනා කාලේ හොයපුවා...

ගූගල් සෙවුම් යන්ත්‍රය යොදාගෙන මිනිස්සු හොයන දේවල් වලින් කාලයෙන් කාලයට කිසියම් රටක මිනිස්සු උනන්දු වන දේවල් ගැන අදහසක් ගන්න පුළුවන්. මේ දවස් වලනම් ඉතිං කොරෝනා වලට වඩා වැදගත් වෙනත් දෙයක් නැහැනේ. පහත පළමු රූප සටහනේ තියෙන්නේ කොරෝනා ගැන ලංකාවේ මිනිස්සුන්ගේ උනන්දුව ඉහළ ගිය ආකාරයයි.


ලංකාවෙන් මුලින්ම කොරෝනා රෝගියෙක් හමු වීමෙන් පසුව කොරෝනා ගැන හොයන්න ඇති වුනු උනන්දුව පසුව නැති වෙලා ගිහින් දෙවන රෝගියා හමු වූ තැන් පටන් නැවත උනන්දුව වැඩි වූ ආකාරය මෙහි පැහැදිලිව පෙනෙනවා. මුලින්ම නව කොරෝනා වෛරසය ලෙස හැඳින්වුණු මේ රෝගය පසුව කෝවිඩ්-19 ලෙස නම් කිරීමෙන් පසුව මිනිස්සු ගූගල් හරහා කෝවිඩ් පිළිබඳව විපරම් කරන්න පටන් ගත්තා. එහෙත්, තවමත් ලංකාවේ වැඩිපුර ප්‍රචලිත කොරෝනා කියන යෙදුම බව ගූගල් සෙවුම් අනුව වුවත් පෙනෙනවා.


කොරෝනා වැඩි වෙද්දී රට පුරා ඇඳිරි නීතිය දැම්මා. ඒ වෙලාවේ මිනිස්සුන්ගේ ප්‍රධානම ප්‍රශ්නය වුනේ කන්නේ කොහොමද කියන එකයි. ඒ එක්ක මිනිස්සු කෑම ගැන හොයන එක ඉහළ ගියා. එහෙත්, ඉතා ඉක්මණින් මිනිස්සුන්ට ආහාර ලබා ගත හැකි ක්‍රමවේද හැදුනා. ඒ නිසා කෑම ගැන හොයන එක අඩු වෙලා ගියා. දෙවන රූප සටහන මේ බැව් පෙන්වනවා.


කොරෝනා නිසා ලංකාවේ පාසැල්, සරසවි වැහුණා. ඒ එක්ක අධ්‍යාපනය ගැන තිබුණු උනන්දුව පහත වැටී තිබෙන ආකාරය තුන්වන රූප සටහනෙන් පෙනෙනවා.


ලංකාව කියන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා සෙක්ස් ගැන හොයලා කප් ගහපු රටක්. කොරෝනා කාලයේ මේ තත්ත්වයේ වෙනසක් වුනාද? හතරවන රූප සටහනෙන් පෙනෙන පරිදි පොඩියට වුනත් සෙවුම් වැඩි වීමකුයි සිදු වී තියෙන්නේ.


කොරෝනා අස්සේ මැතිවරණය ගැන වූ උනන්දුව කොහොමද? නාම යෝජනා දෙන දවස් වල මැතිවරණය ගැන මිනිස්සු උනන්දු වෙලා තියෙනවා. ඒත් දැන්නම් මැතිවරණය ගැන කිසිම උනන්දුවක් පෙනෙන්න නැහැ.

Tuesday, April 28, 2020

පාත් කළ කන්ද

මේ වෙද්දී හඳුනා ගෙන සිටින මිලියන තුනකට අධික කෝවිඩ්-19 ආසාදිතයින්ගෙන් මිලියනයකටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇමරිකානුවන්. තනි රටක් ලෙස බැලුවොත් වැඩිම මරණ ගණන වාර්තා වී තිබෙන්නේ ඇමරිකාවෙන්. ඒ වගේම වැඩිම පිරිසක් සුව වූ බව වාර්තා වී තිබෙන්නේත් ඇමරිකාවෙන්. කොහොම වුනත් ඇමරිකාවේ විශාල ජනගහණය ගැන නොසලකා මේ එක දෙයක් ගැනවත් විශ්ලේෂණය කරන්න යාම තේරුමක් නැති දෙයක්.

ඇමරිකාව කෝවිඩ්-19 ඉදිරියේ දණ ගහලද? සමහර අයනම් එහෙම කියනවා. එහෙත්, ඇමරිකාව කිසි විටෙකත් කෝවිඩ්-19 ඉදිරියේ දණ ගැහුවේ නැහැ. කෝවිඩ්-19 වලට බයෙන් හැංගුනෙත් නැහැ. හැබැයි එහෙම කියලා නිරායුධව සතුරා ඉදිරියට පැනලා නිස්කාරණේ විනාශයක් කර ගත්තේත් නැහැ. ඇමරිකාව සතුරාට මුහුණ දුන්නේ ඉතාම සැලසුම් සහගත ලෙසයි. ඒ සැලසුම් වල සාර්ථකත්වය මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

මෙහිදී මා ඇමරිකාව කියා කියන්නේ රටේ ජනාධිපති හෝ වෙනත් තනි පුද්ගලයෙක් නෙමෙයි. ඇමරිකාව සම්බන්ධව කිසිදු තනි පුද්ගලයෙකුට තීරණ ගන්න බැහැ. ඒ වගේම රටේ හැම පුද්ගලයෙක්ම එකාවන්ව එකතු වී තීරණ ගත්තා කියා කිවුවොත් එයත් විශාල බොරුවක්. එහෙම දෙයක් වුනෙත් නැහැ. එහෙත්, ප්‍රශ්නයේ ස්වභාවය පිළිබඳව නිවැරදිව අවබෝධ කර ගත හැකි වූ විශාල පිරිසක් රටේ හිටියා. ඒ අයට ප්‍රශ්නයේ ස්වභාවය පිළිබඳව වගේම එයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවත් තනි තනිව හිතා නිගමන වලට එන්න පුළුවන් වුනා.

මේ නිගමන වලට පැමිණුනේ එකම දැනුම් රාමුවක් මත සාක්ෂි මත පදනම්ව නිසා එසේ තනි තනිව නිගමන වලට පැමිණුනු අයට බොහෝ දේ පිළිබඳව පොදු එකඟතාවන්ට පැමිණෙන්නත් පුළුවන් වුනා. ඇමරිකානු ක්‍රමය තුළ ඔවුන්ට ඒ දේවල් ක්‍රියාත්මක කරන්නත් පුළුවන් වුනා.

අලුත් තොරතුරු ලැබෙන විට ඇතැම් විට කලින් ගත් තීන්දු තීරණ වෙනස් කරන්න සිදු වුනා. එහෙත්, එහිදී වුවත් බොහෝ දෙනෙකුට එකඟ වෙන්න අපහසු වුනේ නැහැ. කවුරුත් තීන්දු ගත්තේ සාක්ෂි මත පදනම්ව වීම එයට හේතුවයි. පැවති තත්ත්වය තනි තනිව විශ්ලේෂණය කර ගැනීමට තරම් විෂය දැනුමක් නොතිබුණු අය එවැනි දැනුමක් තිබුණු අය කෙරෙහි විශ්වාසය තබන අතරම තම තමන්ගේ විෂය දැනුම පුළුල් කර ගත්තා. විෂය දැනුමක් තිබුණු අය එයට උදවු කළා.

ඇමරිකානු ක්‍රමය තුළ ප්‍රමුඛතාවය ලැබුණේ හැකි තරම් විශාල පිරිසකට කරුණු ඇති සැටියෙන් දැන ගන්නට ඉඩ සැලැස්වීමට මිස බොරු කියා බය තුනී කරන්නට හෝ වැඩියෙන් බය කර පාලනය කරන්නට නෙමෙයි. මේ දෙකෙන්ම අවසාන වශයෙන් වෙන්නේ හානියක්. කරුණු ඇති සැටියෙන් දැන ගත් විට ඕනෑම කෙනෙකුට තමන්ට වඩාත්ම හොඳ තීරණය ගන්න පහසු වෙනවා.

ඇමරිකාව කෝවිඩ්-19 ප්‍රශ්නය මාසයකින් දෙකකින් කෙළවර නොවන ප්‍රශ්නයක් බව මුලදීම නිවැරදිව හඳුනා ගත්තා. ඒ නිසා, හැකි ඉක්මණින් අවසන් කෝවිඩ්-19 ආසාදිතයත් සුව කර වසංගතය රටෙන් තුරන් කිරීම වැනි කළ නොහැකි ඉලක්ක පසුපස ඇමරිකාව හඹා ගියේ නැහැ. ඇමරිකාවට දැනටත් එවැනි ඉලක්කයක් නැහැ. වසංගතයට මුහුණ දෙන්නට අනිවාර්යයෙන්ම සිදු වන බව ඇමරිකාව නිවැරදිව ගණනය කළා.


එහෙත්, සාමූහික ප්‍රතිශක්තිය ඇති වී ප්‍රශ්නය ස්වභාවිකව විසඳෙන තුරු කිසිවක් නොකර බලා සිටීමේ ප්‍රතිපත්තියක ඇමරිකාව සිටියේත් නැහැ. මුල් අවස්ථාවේ පෙනෙන්නට තිබුණු කරුණු මත පදනම්ව එක්සත් රාජධානිය විසින් ආරම්භයේදී එම විකල්පය සලකා බැලුවත්, වසංගතය පිළිබඳ වැඩිමනත් තොරතුරු ලැබෙද්දී ඉතා ඉක්මණින් ඔවුන්ගේ ස්ථාවරයද වෙනස් කර ගත්තා. ඇමරිකාවේ ස්ථාවරය වුනේ රටේ සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි මට්ටමට රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමයි.


කිසිවක් නොකර සිටියේනම් සාමූහික ප්‍රතිශක්තිය ඇති වී ප්‍රශ්නය ස්වභාවිකව විසඳෙන විට ඇමරිකානුවන්ගෙන් 60-70%ක් පමණවත් ආසාදනය වී සිටිය යුතුයි. එහෙත්, මේ වන විටත් කෝවිඩ්-19 ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙන්නේ ඇමරිකානුවන්ගෙන් 0.3%ක් පමණයි. හඳුනා නොගත් ආසාදිතයින් පිළිබඳව තවමත් තිබෙන්නේ සීමිත දැනුමක්. මේ ප්‍රමාණය හඳුනාගත් ආසාදිතයින් ප්‍රමාණය මෙන් දහ ගුණයක් වුවත්, තවමත් ඇමරිකානුවන්ගෙන් 97%කටම වෛරසය ආසාදනය වී නැහැ. ඇමරිකානුවන් 57,000කට අධික පිරිසක්  මිය ගොස් තිබෙන්නේ එවැනි තත්ත්වයක් යටතේදීයි.

ඇමරිකාවේ මරණ ගණන මෙපමණකින් සීමා කර ගත හැකි වූයේ රටේ සෞඛ්‍ය පද්ධතියට දරා ගත නොහැකි තරමට රෝගය ව්‍යාප්ත නොවූ නිසයි. එසේ වූවානම්, මරණ ගණන ගණන් කරන්න වෙන්නේ මිලියන වලින්. දැනට සිදුව ඇති මරණ රෝගීන්ට අවශ්‍ය සත්කාරක සේවාවන් ලබා දීමෙන් පසුව සිදුව ඇති මරණයි.

වසංගත වක්‍රය සමතලා කිරීම (Flattening the Curve) ලෙස හැඳින්වුණු ඇමරිකානු උපාය මාර්ගයේ ඉලක්කය වුනේ දිනකට හමුවන අලුත් රෝගීන් ප්‍රමාණය නිශ්චිත උපරිම සීමාවකට පහළින් තබා ගැනීමයි. මේ සීමාව රටේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව නො ඉක්මවන සීමාවක්. මේ වන විට ඇමරිකාව විසින් මේ ඉලක්කය සපුරාගෙන තිබෙනවා.

දැනට ඇමරිකාවේ රෝග ව්‍යාප්තිය පාලනය වී තිබෙන සීමාව රටේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවට වඩා බොහෝ පහළ  සීමාවක්. රෝගීන්ගෙන් 30%ක් පමණම හඳුනා ගැනුණු නිවුයෝර්ක් ප්‍රාන්තයේදී හෝ දෙවන හා තෙවන වැඩිම ආසාදිතයින් ප්‍රමාණ වාර්තා වී ඇති නිවු ජර්සි හා මැසචුසෙට්ස් ප්‍රාන්ත වල පවා සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා යාමක් සිදු වී නැහැ. අනෙක් බොහෝ ප්‍රාන්ත වල රෝගීන් ප්‍රමාණය සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව කිට්ටුවකටවත් ඇවිත් නැහැ.


Monday, April 27, 2020

චීනෙට ගිය අලි පැටවු

ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාව පිළිබඳව පසුගිය වසරේදී මා ලිපියක් ලිවුවා. ලංකාවේ රාජ්‍ය නායකයින් විසින් වරින් වර ලෝකයේ විවිධ රට වලට තෑගි කළ අලි පැටවුන් ගණනාවක් පිළිබඳ තොරතුරු එම ලිපියේ තිබෙනවා. මේ විදිහට ලෝකය පුරා විසිරුණු ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාව පිළිබඳ බොහෝ තොරතුරු අමාරුවෙන් වුවත් එක තැනකට එකතු කරන්න පුළුවන් වුනත්, චීනයට ගිය අලි පැටවු පිළිබද තොරතුරු හොයා ගැනීම එතරම් පහසු වුනේ නැහැ.


එම ලිපියේ මා සඳහන් කර ඇති පරිදි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලයේදී 2007 පෙබරවාරි 16 වෙනිදා චීනයට අලි පැටියෙක් තෑගි කළා. මිගාරනම් වූ මේ අලි පැටවාව චීනයට තෑගි කළේ ලංකාව හා චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට පනස් වසරක් පිරීමට සමගාමීව මහින්ද රාජපක්ෂ විසින් සිදු කළ චීන සංචාරය අතරතුරයි. 2007 පෙබරවාරි 26 වනදා මහින්ද රාජපක්ෂ විසින් මිගාරව නිල වශයෙන් භාර දෙන විට මිගාර වයස අවුරුදු පහක අලි පැටවෙක්. නිල වශයෙන් භාර දුන්නේ එදින වුවත් මිගාර බෙයිජිං සත්තු වත්තට ගෙනැවිත් තියෙන්නේ ඊට දින 11කට පෙරයි.



ඊට පෙර 1979 අගෝස්තු මාසයේ 12-14 අතර රණසිංහ ප්‍රේමදාස විසින් සිදු කළ චීන සංචාරයේදී ගැහැණු අලි පැටවෙකු  තියාන්ජින් සත්තු වත්තට තෑගි කර තිබෙනවා. මේ අලි පැටික්කියගේ නම සොයා ගන්නට නැහැ.



ඊටත් පෙර 1972 වසරේදී සිරිමාවෝ බණ්ඩාරනයකගේ චීන සංචාරයක් අතරතුර මිතුරා නමැති පිරිමි අලි පැටවෙකු පීකිං සත්ත්වෝද්‍යානයට තැගි කර තිබෙනවා. ඒ දවස්වල චීන අගනුවර හැඳින්වුණේ පීකිං ලෙසයි. 1972 ජූනි 27 දින සිදුව ඇති මේ තෑගි කිරීමේ අවස්ථාවේ රූප රාමු මෑතකදී අන්තර්ජාලයට උඩුගත කර තිබෙනවා. (12 :15 සිට බලන්න)


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...