වෙබ් ලිපිනය:

Saturday, November 16, 2019

කවුරු දිනයිද?


ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ඉදිරි පැය කිහිපය ඇතුළත නිකුත් වීමට නියමිතයි. අවසන් ප්‍රතිඵලය ගැන නිශ්චිතව යමක් කියන්න තවමත් කල් වැඩියි. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස හැර වෙනත් අයෙකු විසින් ජනාධිපතිවරණය ජය නොගන්නා බව ඉතා පැහැදිලියි. 

තැපැල් ඡන්ද හෝ දකුණේ දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රකාශ වී ඇති ආකාරය දෙස පමණක් බලා සමස්ත ප්‍රතිඵලය ගැන ස්ථිරව යමක් කිව නොහැකි වුවත් ඡන්ද භාවිතා වී ඇති ආකාරයේ දිශානතීන් ගැන යම් අදහසක් ගත හැකියි. ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස විසින් පළමු වටයෙන් ජනාධිපතිවරණය ජය ගන්නනම්, වලංගු ඡන්ද වලින් 50%ක් ලබා ගත යුතුයි. අපගේ ඇස්තමේන්තු අනුව මේ අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලක්ෂ 66කට ආසන්න ප්‍රමාණයක්. 

ගෝඨාභය හෝ සජිත් විසින් මේ ඡන්ද ප්‍රමාණය ලබා ගන්නනම්, එක් එක් දිස්ත්‍රික්කයෙන් කොපමණ ඡන්ද ප්‍රමාණයක් ඉලක්ක කළ යුතුද? අප විසින් පහත වගුව සකස් කර තිබෙන්නේ එක් එක් අපේක්ෂකයාට එක් එක් දිස්ත්‍රික්කය තුළ තිබෙන ශක්තිය සලකා බලමිනුයි. කිසියම් දිස්ත්‍රික්කයක් තුළ යම් අපේක්ෂකයෙකු අවශ්‍ය ඉලක්ක මට්ටම ආසන්නයට පැමිණ නැත්නම් එයින් පෙනෙන්නේ ඒ අපේක්ෂකයාට 50% ඉලක්කයට යාම අපහසු බවයි. නිල ප්‍රතිඵල ලැබෙන විට මේ වගුව යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

Gotabaya Rajapaksa Sajith Premadasa
Required Current Required Current
Sri Lanka 6,626,250 50.00% 6,924,195 52.25% 6,626,250 50.00% 5,564,289 41.99%
Colombo 654,170 46.10% 727,713 53.19% 764,892 53.90% 559,921 40.92%
Gampaha 766,258 52.34% 855,870 59.28% 697,798 47.66% 494,671 34.26%
Kalutara 463,609 55.65% 482,920 59.49% 369,414 44.35% 284,213 35.01%
Mahanuwara 433,980 46.05% 471,502 50.43% 508,366 53.95% 417,355 44.64%
Matale 179,965 53.07% 187,821 55.37% 159,142 46.93% 134,291 39.59%
Nuwara-Eliya 184,693 39.67% 175,823 36.87% 280,867 60.33% 277,913 58.28%
Galle 435,183 58.15% 466,148 64.26% 313,151 41.85% 217,401 29.97%
Matara 346,009 60.75% 374,481 67.25% 223,511 39.25% 149,026 26.76%
Hambantota 277,825 64.83% 278,804 66.17% 150,725 35.17% 108,906 25.85%
Jaffna 57,904 17.69% 23,261 6.24% 269,471 82.31% 312,722 83.86%
Vanni 34,922 18.72% 26,105 12.27% 151,663 81.28% 174,739 82.12%
Batticaloa 46,609 18.41% 38,460 12.68% 206,630 81.59% 238,649 78.70%
Digamadulla 132,743 35.55% 135,058 32.82% 240,695 64.45% 259,673 63.09%
Trincomalee 57,154 27.44% 54,135 23.39% 151,134 72.56% 166,861 72.11%
Kurunegala 650,582 55.86% 652,278 57.90% 514,034 44.14% 416,961 37.01%
Puttalam 221,415 50.84% 230,760 50.83% 214,074 49.16% 199,356 43.91%
Anuradhapura 322,465 56.05% 342,223 58.97% 252,839 43.95% 202,348 34.87%
Polonnaruwa 131,765 46.86% 147,340 53.01% 149,425 53.14% 112,473 40.47%
Badulla 270,522 48.72% 276,211 49.29% 284,699 51.28% 251,706 44.92%
Moneragala 196,174 61.90% 208,814 65.34% 120,768 38.10% 92,569 28.96%
Ratnapura 443,415 57.86% 448,044 59.93% 322,928 42.14% 264,503 35.38%
Kegalle 318,881 53.25% 320,424 55.65% 280,012 46.75% 228,032 39.60%

Wednesday, November 13, 2019

දෙවෙනි මනාපය


ලංකාවේ ජනාධිපතිවරණ ක්‍රමය සුවිශේෂී එකක්. මා දන්නා තරමින්, මේ ක්‍රමය තියෙන්නේ ලංකාවේ පමණයි. ලංකාවේ පමණක් දැකිය හැකි තවත් බොහෝ දේ තිබුණත්, ඒ ගොඩක් දේවල් ලංකාවට ආඩම්බර විය හැකි දේවල් නෙමෙයි. එහෙත්, මෙයනම් එවැන්නක් නෙමෙයි.

මම හිතන්නේ කිසියම් තනතුරකට තනි පුද්ගලයෙක්ව තෝරා ගැනීමේදී වඩාත්ම ප්‍රචලිත හා පැරණිම මැතිවරණ ක්‍රමය වැඩිම ඡන්ද ලබන අපේක්ෂකයාව තෝරා ගන්නා ක්‍රමයයි. මේ ක්‍රමයේ තිබෙන එක් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ වැඩිම දෙනෙක් අකැමැති අපේක්ෂකයෙකු තනතුරට තේරී පත් වෙන්න ඉඩක් තිබීමයි. උදාහරණයක් විදිහට අපි කිසියම් මැතිවරණයකදී ඡන්ද බෙදී යන්නේ පහත ආකාරයට කියා හිතමු.

A  35%
B  33%
C  31%

වැඩිම ඡන්ද ක්‍රමයට තේරී පත් වෙන්නේ A. නමුත්, C වෙනුවෙන් ඡන්දය දුන් 31% Aට කොහෙත්ම කැමති නැති, Bටත් කැමති එහෙත් Cට වඩා කැමති පිරිසක්නම් මේ ප්‍රතිඵලය නිසා 64%ක පිරිසක් සතුටු වෙන්නේ නැහැ. යම් හෙයකින් C තරඟයට ඉදිරිපත්ව නොසිටියානම් B ඉතා පහසුවෙන් දිනනවා. මනාප ලකුණු කිරීමට ඉඩ ලැබෙන මැතිවරණ ක්‍රමයක් මේ ප්‍රශ්නයට විසඳුමක්. දෙවන මනාප සලකා බැලු විට A අභිබවා B ඉදිරියට එන නිසා තේරී පත් වෙන්නේ වැඩිම දෙනෙකුගේ කිසියම් හෝ කැමැත්තක් තිබෙන අපේක්ෂකයා.

යුක්රේනය වැනි තවත් රටවල් වල මීට ආසන්නව සමාන මැතිවරණ ක්‍රමයක් තිබෙනවා. එහිදී වෙන්නේ කිසිදු අපේක්ෂකයෙකු පළමු වටයෙන් 50% ලබා නොගත්තොත් ඉහළින්ම සිටින දෙදෙනා අතර දෙවන ඡන්ද විමසීමක් පැවැත්වීමයි. පළමු වටයේදී දෙවැනි තැන සිටි අපේක්ෂයින් ඇතැම් විට දෙවන වටයෙන් තේරී පත් වී තිබෙනවා. ලංකාවේ ජනාධිපතිවරණ ක්‍රමය සුවිශේෂී වන්නේ මේ විදිහට වට දෙකකදී කරන දෙය එකවරම කරන නිසයි. මෙය බොහෝ ඉදිරිගාමී මැතිවරණ ක්‍රමයක්.

මේ මැතිවරණ ක්‍රමය ලංකාවට හඳුන්වා දෙනු ලැබූයේ ජේආර්ගේ 1977 ව්‍යවස්ථාවෙන්. එය වෙනත් රටක මැතිවරණ ක්‍රමයක් කොපි කිරීමක් නෙමෙයි. අලුත්ම ක්‍රමයක්.

බොහෝ ප්‍රචලිත අදහසක් වන්නේ ජේආර් විසින් ලංකාවේ වත්මන් මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන්නේ එජාපය සදහටම බලයේ තැබීමට බවයි. කුඩා කළ සිට දිගින් දිගටම ඇසී හිතට කා වැදී තිබුණු මේ අදහස ඇත්තක්ද කියන එක ගැන හිතන්න නොපෙළඹීම ගැන දැන් මා කණගාටු වෙනවා. මේ කතාවත් ඇමරිකාව තිරිඟු පිටි මිල අඩු වීම වළක්වන්න තිරිඟු පිටි මුහුදට දමනවා කියන ජනප්‍රිය කතාව වගේ එකක් කියා දැන් මට හිතෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන සමානුපාතික මැතිවරණ ක්‍රමය පිළිබඳව සැලකූ විට එකල එහි එජාපයට වාසියක් තිබුණු බව පැහැදිලියි. 1977ට පෙර එක් මැතිවරණයකදී හැර අනෙක් සියලු මැතිවරණ වලදී තනි පක්ෂයක් ලෙස ලංකාවෙන්ම වැඩිම ඡන්ද ලබා තිබුණේ එජාපයයි. ඒ නිසා, සමානුපාතික ක්‍රමයක් යටතේ එජාපයට අවම පාර්ලිමේන්තු නියෝජනයක් හිමිවන බවට සහතිකයක් තිබුණා. නමුත්, 1997ට පෙර එජාප අපේක්ෂකයෙකුට දෙවන මනාප ලබා වෙනත් අපේක්ෂයෙකුව අභිබවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.

ශ්‍රීලනිපය හැරුණු විට ඡන්ද පදනමක් තිබුණු ලසසප, කොප, මඑපෙ වැනි පක්ෂ සියල්ලම එවකට හිටියේ දැඩි එජාප විරෝධී ස්ථාවරයකයි. ඒ වගේම, සම්ප්‍රදායිකව උතුරේ දෙමළ ජනතාවගේ වැඩි කැමැත්ත තිබුණේත් එජාපයට වඩා ශ්‍රීලනිපයයි. ඒ නිසා, දෙවන මනාප ක්‍රමය ඒ වන විට පැවති තත්ත්වය අනුව එජාපයට අවාසිදායකයි. ශ්‍රීලනිපයට වාසිදායකයි. එහෙමනම්, මේ ක්‍රමය හඳුන්වා දී ජේආර් බලාපොරොත්තු වුනේ කුමක්ද?

මම හිතන විදිහට මේ ක්‍රමය ගේන්න හේතු වුනේ ලංකාවට සුදුසු දේශපාලන ක්‍රමය සිංගප්පූරු ක්‍රමය කියා ජේආර් විසින් සිතීම වෙන්න පුළුවන්. ජේආර්ගේ සිහිනය වී තිබෙන්නේ ප්‍රබල ජනාධිපතිවරයෙක් හා දුර්වල පාර්ලිමේන්තුවක්. ඒ ප්‍රබල ජනාධිපතිවරයා තමාම විය යුතු බව ඔහු සිතුවා කියා කියන්න බැහැ. දෙවරකට වඩා ජනාධිපතිධුරය දැරීමට නොහැකි බවට සීමාවක් දැමූ ජේආර් තමන්ගේ වාසියට ඒ සීමාව ඉවත් කරගන්න උත්සාහ කළේ නැහැ.

ජේආර් විසින් මේ තරම් දියුණු ක්‍රමයක් හඳුන්වා දුන්නත් මෙතෙක් කල් ලංකාවේ පැවති කිසිදු මැතිවරණයකදී දෙවන මනාප ගණන් කරන්න අවශ්‍ය නොවූ නිසා, බොහෝ දෙනෙකුට මේ ක්‍රමයේ වටිනාකම ගැන හැඟීමක් නැහැ. ඇතැම් අය විසින් පුරෝකථනය කළත්, මෙවරත් එවැනි අවශ්‍යතාවයක් ඇති නොවෙන්න පුළුවන්. ඒ වගේම, බොහෝ දෙනෙක්ට අදටත් මේ මනාප ක්‍රමය ගැන නිසි අවබෝධයක් නැහැ. 1977 කාලය සැලකූ විට ලංකාවේ වත්මන් ජනාධිපතිවරණ ක්‍රමය රටේ මිනිස්සුන්ට සාපේක්ෂව ඕනෑවට වඩා ඉදිරියෙන් තිබුණු ක්‍රමයක්. සර්වජන ඡන්ද අයිතිය ලැබෙන කාලයේ තත්ත්වය වගේමයි.

මනාප ක්‍රමයේ වැදගත්ම ලක්ෂණය වන්නේ තෙවන අපේක්ෂකයෙකුට පහසුවෙන් මතු වෙන්න හැකි වීමයි. එහෙත්, සිදු වී නැත්තේත් එයමයි. ඒ, මැතිවරණ ක්‍රමය ගැන නිසි අවබෝධයක් බොහෝ දෙනෙකුට නැති නිසයි.

අපි හිතමු රටේ සැබෑ පළමු කැමැත්ත මේ විදිහයි කියා.

A  35%
B  33%
C  31%

මීට අමතරව, Cට වැඩිම කැමැත්තක් දක්වන පිරිසට Aව පෙන්නන්න බැහැ. නමුත්, B පිළිබඳව එවැනි අකැමැත්තක් නැහැ.

මනාප ක්‍රමයක් නැත්නම් තත්ත්වය කුමක්ද? තමන් Cට ඡන්දය දුන්නොත් Aට විරුද්ධ පිලේ ඡන්ද කැඩෙන නිසා A දිනන්න ඉඩ තිබෙනවා. ඒ නිසා, Cට වඩාත්ම කැමති අය Cට ඡන්දය නොදී Bට ඡන්දය දෙනවා. Cට කවදාවත් ඔලුව උස්සන්න බැහැ.

නමුත්, මනාප ක්‍රමයක් තිබෙන විටක Cට වඩාත්ම කැමති අයට වෙනත් විකල්පයක් තිබෙනවා. ඔවුන්ට C වෙනුවෙන් ඡන්දය දී Bට දෙවන මනාපය දිය හැකියි.

-B විසින් 50% ගත්තොත්, දෙවන මනාප ගණින්න අවශ්‍ය වන්නේ නැහැ. A දිනලා නැති නිසා Cට පළමු මනාපය දීම ගැන පසු තැවෙන්න හේතුවක් නැහැ.
-A විසින් 50% ගත්තත්, දෙවන මනාප ගණින්න අවශ්‍ය වන්නේ නැහැ. A කොහොමටත් දිනන නිසා Cට පළමු මනාපය දීම ගැන පසු තැවෙන්න හේතුවක් නැහැ.
-කිසිවෙක් 50% අරගෙන නැත්නම්, Cට පළමු මනාපය දුන් අයගේ දෙවන මනාපයටත් පළමු මනාපයකට ලැබෙන වටිනාකමම ලැබෙනවා. ඒ නිසා, Cට පළමු මනාපය දීම ගැන පසු තැවෙන්න හේතුවක් නැහැ.

සරලවම කියනවානම්, මනාප ක්‍රමයක් තිබෙන විටක අවසන් ප්‍රතිඵලයට බලපෑමක් නොවන පරිදි කීයටවත් දිනන්නේ නැති අපේක්ෂයෙකුට වුවත් ඡන්දය දිය හැකියි. ලංකාවේ ජනාධිපතිවරණයකදී පමණක් ලැබෙන මේ අවස්ථාව වෙනත් මැතිවරණ වලදී ලැබෙන්නේ නැහැ. වෙනත් මැතිවරණයකදීනම් කීයටවත් දිනන්නේ නැති අපේක්ෂකයෙකුට ඡන්දය දෙන එක තේරුමක් නැති වැඩක්.

Monday, November 11, 2019

පාස්පෝට් එක ඇත්ත එකක්ද?


ජනාධිපතිවරණ ප්‍රචාරන ව්‍යාපාරයේ සනීපාරක්ෂක තුවා වටයෙන් හා එම්සීසී වටයෙන් ගෝඨාභය කඳවුරේ අය සජිත්ගේ පැත්තට බර දැම්මා. දැන් පේන ආකාරයට රාජිත සේනාරත්න විසින් සුදු වෑන් නාට්‍යයක් පෙන්වලා තත්ත්වය බැලන්ස් කරන්න උත්සාහ කරලා වගේ. රාජපක්ෂ කඳවුරේ තිබෙන වැරදි අදහසක් වන්නේ 2015දී මෛත්‍රීපාල සිරිසේන දිනුවේ ප්‍රතිවිරුද්ධ කඳවුරේ බොරු ප්‍රචාර නිසා බවයි. රාජිතලා වගේ අයත් හිතන්නේ ඒ විදිහටම බව පෙනෙනවා.

මෙවර ජනාපතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපාන නිර්පාක්ෂික පාවෙන ඡන්ද ටික ආකර්ශනය කර ගන්න අවශ්‍ය කවර පාර්ශ්වයකට වුවත් එය කළ හැකි වන්නේ ඇත්තට මුහුණ දී ඇත්ත කතා කර පමණයි. මේ කණ්ඩායම අන්දන එක හිතන තරම් පහසු නැහැ. පහසුවෙන් අන්දන්න පුළුවන් පිරිස කොහොමටත් තම තමන්ගේ පක්ෂ වලට ඡන්ද දෙනවා.

අලි සබ්රි විසින් පෙන්වා තිබෙන ගෝඨාභයගේ ඇමරිකන් ගමන් බලපත්‍රය බොරු එකක් කියා පෙන්වන්න ප්‍රතිවිරුද්ධ පක්ෂය උත්සාහ කරනවා. එහිදී ඉදිරිපත් කරන තර්ක බොහොමයක් පහසුවෙන් පරීක්ෂා කර ඇත්ත තහවුරු කරගත හැකි දේවල්.

පළමු තර්කය කණ්ණාඩි තර්කය. ගෝඨාභයගේ ඇමරිකන් ගමන් බලපත්‍රයේ ඔහු උපැස් යුවලක් පැළඳ සිටිනවා. ඇමරිකන් ගමන් බලපත්‍රයක් ලබා ගන්නා අයෙක් අදාළ ඡායාරූපය ගත යුත්තේ උපැස් ගලවලයි. උපැස් පැළඳ සිටිය හැක්කේ සුවිශේෂී සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇත්නම් පමණයි. එහෙත්, මේ නීතිය අනිවාර්ය කෙරුණේ 2016 නොවැම්බර් සිටයි. ප්‍රසිද්ධ කර ඇති තොරතුරු අනුව, ගෝඨාභය රාජපක්ෂගේ අවසන් ඇමරිකන් ගමන් බලපත්‍රය ලබා ගෙන තිබෙන්නේ 2012 ඔක්තෝබර් මාසයේදී. ඒ වන විට උපැස් පැළඳ ගමන් බලපත් ඡායාරූපයක් ලබා ගැනීම ප්‍රශ්නයක් වුනේ ඒ හේතුව නිසා පුද්ගලයාව හඳුනා ගැනීම ප්‍රශ්නයක් වේනම් පමණයි. එමෙන්ම, 2016 නොවැම්බර් නීතිය ක්‍රියාත්මක කරන විට උපැස් සහිත ඡායාරූප තිබුණු ගමන් බලපත් වෙනුවට අලුත් ගමන් බලපත් ලබා ගැනීම අවශ්‍ය නොවන බව විශේෂයෙන් දැනුම් දී තිබුණා.

දෙවැනි තර්කය දිනය සටහන් කර ඇති ආකාරය සම්බන්ධවයි. ඇමරිකාවේ දිනය ලියන්නේ මාසය-දිනය-අවුරුද්ද ලෙසයි. එහෙත්, ලෝකයේ බොහෝ රටවල පිළිවෙළ වන්නේ දිනය-මාසය-අවුරුද්ද ලෙස ලිවීමයි. ගමන් බලපත් අවශ්‍ය වන්නේ ඇමරිකාවෙන් පිටතදී වීම හෝ ගමන් බලපත් වලට ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබීම නිසා ඇමරිකාවේ ගමන් බලපත් වලත් දිනය තිබෙන්නේ දිනය-මාසය-අවුරුද්ද ලෙසයි. මේ තර්කයත් ඕනෑම ඇමරිකන් ගමන් බලපත්‍රයක් පරීක්ෂා කර තහවුරු කරගත හැකි වැරදි එකක්.

තෙවන තර්කය වන්නේ "CANCEL" යනුවෙන් සඳහන් මුද්‍රාව "CANCELLED" විය යුතු බවයි. ඇමරිකානු ගමන් බලපත්‍රයක් අවලංගු කරන සාමාන්‍ය ක්‍රමය වන්නේ එහි ජීවදත්ත පිටුවද ඇතුළත් දෙවන කොළයේ සිදුරු දෙකක් විදීමයි. බොහෝ විට මේ සිදුරු කිරීම කරන්නේ ගමන් බලපත් කවරය හා දෙවන පිටුව යන දෙකම සිදුරු වන ලෙසයි. ඊට අමතරව "CANCEL" හෝ "CANCELED/CANCELLED" ලෙස මුද්‍රාවක් තැබීම අවශ්‍ය කරුණක් නෙමෙයි. "CANCELLED" ලෙස සඳහන් මුද්‍රාවක් තැබීම කලකට පෙර කර ඇතත් දැන් කරන්නේ නැහැ. අලි සබ්‍රි පෙන්වන ගමන් බලපත්‍රයේ මුල් පිටුව (කවරය) සිදුරු කර නැතත්, දෙවන පිටුව නියමිත ක්‍රමයට සිදුරු කර තිබෙනවා. ඒ නිසා, මේ පෙන්වන්නේ දැනට අවලංගු ඇමරිකානු ගමන් බලපත්‍රයක් කියන එක ඉතා පැහැදිලියි.

යමෙක් තානාපති කාර්යාලයකදී ඇමරිකන් පුරවැසිකම අත් හැරීමෙන් පසුව අදාළ ඉල්ලීම රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් අනුමත වන තුරු ගමන් බලපත්‍රය අදාළ තානාපති කාර්යාලයේ රඳවා ගන්නවා. ඉල්ලීම අනුමත වූ වහාම කිසිවක් නොකළත් ඇමරිකන් ගමන් බලපත්‍රය අවලංගු වෙනවා. ඉන් පසුව පුරවැසිකම අහෝසි වීමේ සහතිකය  අදාළ පුද්ගලයාට ලබා දෙන විට ඒ සමඟ අවලංගු කළ ගමන් බලපත්‍රයද (ඉල්ලා සිටියහොත්) ආපසු දෙනවා. මේ හා අදාළව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තානාපති කාර්යාල වලට ලබා දී තිබෙන උපදෙස් පහත තිබෙනවා.

"When the post receives the approved CLN, the post should promptly cancel all unexpired passports (books and cards).  Do not damage the entry-exit or visa stamp or foreign visas if possible.  The canceled passport(s) may be returned to the expatriate upon request."

මෙහි ගමන් බලපත් අවලංගු කළ යුතු බව මිස එය කළ යුතු ආකාරය නිශ්චිතව සඳහන් කර නැහැ. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකන් ගමන් බලපතක් අවලංගු කළ පළමු අවස්ථාව මෙය විය හැකියි. ඒ නිසා, සිදුරු කරනවාට අමතරව "CANCEL" ලෙස මුද්‍රාවක් තබන්න තිබෙන ඉඩකඩ එකවර බැහැර කළ නොහැකියි. මේ ගැන සැකයක් ඇති අයෙක් කළ යුත්තේ ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලයෙන් විමසීමයි. මෙය ගෝඨාභය රාජපක්ෂට අදාළ පෞද්ගලික කරුණක් නොවන නිසා, ඇමරිකන් තානාපති කාර්යාලය පිළිතුරක් නොදී ඉන්න හේතුවක් නැහැ. අහන්න තියෙන්නේ ඔවුන් ගමන් බලපත්‍රයක් අවලංගු කරන විට "CANCEL" යනුවෙන් මුද්‍රාවක් තබනවාද කියන එක පමණයි. මෙය ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලයෙන් අසනු මිස වෙනත් තැන් වලින් විමසා හෝ සොයා බලා තේරුමක් නැහැ.

කෙසේ වුවත්, අවලංගු කළ ගමන් බලපත හා පුරවැසිකම අහෝසි වීමේ සහතිකය ගෝඨාභයට ලැබී ඇත්නම් ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම අහෝසි වීම පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් අධිකාරිය සැප්තැම්බර් අවසානය වන විට දැනුවත්ව සිටිය යුතුයි. අවසන් බදු වාරිකය නිසි පරිදි ගෙවා ඇත්නම්, නම ෆෙඩරල් රෙජිස්ට්‍රියේ නැත්තේ දේශීය ආදායම් අධිකාරියට දැනුම් දී ඇති විස්තර අනුව ගෝඨාභය රාජපක්ෂගේ වත්කම් හා ආදායම් අවශ්‍ය මට්ටමට නැති නිසා විය හැකියි.

Sunday, November 10, 2019

උපවාස ත්‍රස්තවාදය හා උපවාස නාටක


සහශ්‍ර අභියෝගිතා ගිවිසුමට එරෙහිව උපවාසයක් ආරම්භ කළ උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ හැරෙන තැපෑලෙන් උපවාසය අවසන් කළා. දැන් ඉඟුරුවත්තේ සුමංගලනම් හිමි නමක් ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකන් පුරවැසිකම අත්හැරීම පිළිබඳ ලේඛන පෙන්වන මෙන් ඉල්ලමින් උපවාසයක් ආරම්භ කර තිබෙනවා. දින තුනක් ඇතුළත අදාළ ලේඛන පෙන්වනු නොලැබුවහොත් ගිණි තියාගෙන මැරෙන බවත් කියනවා.

මේ වගේ බොහෝ උපවාස රඟපෑම් පමණයි. නමුත්, එසේ නොවන අවස්ථාත් තිබෙනවා. 1987දී තිලීපන්ට මිය යන තුරුම උපවාසය අත්  හරින්න අවස්ථාවක් ලැබුනේ නැහැ. වසර කිහිපයකට පෙර බෝවත්තේ ඉන්දරතනනම් බෞද්ධ භික්ෂුවක් ගව ඝාතනයට එරෙහිව දළදා මාලිගාව අසලදී සිය සිරුරට ගිණි තබාගත්තා. දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස උපවාස යොදාගත් අය ගැන කතා කරද්දී මහත්මා ගාන්ධි නම අමතක කරන්න බැහැ.

උපවාස ගැන බොහෝ දෙනෙක්ගේ අදහස මෙය ඉතා අවිහිංසාවාදී වැඩක් කියන එකයි. වෙනත් විරෝධතා වලදී මෙන් උපවාසයකදී උපවාසකරු කළහකාරී ලෙස හැසිරෙන්නේ නැහැ. එහෙත්, උපවාසයක් වෙනත් විරෝධතාවයකට වඩා අහිංසක ක්‍රමයක් කියා කියන්න බැහැ.

එක පැත්තකින් උපවාසයක් කියා කියන්නේ සෘජු තර්ජනයක්. අනෙක් පැත්තෙන් උපවාසයක් හරහා හැම විටම වගේ කෙරෙන්නේ විශාල පිරිසක් තුළ වෛරී හැඟීමක් ඇති කරන එකයි. උපවාස ඇතුළේ තිබෙන්නේ ත්‍රස්තවාදයක්. උපවාසකරුවෙකු කරන දෙය හා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු කරන දේ අතර ලොකු සංකල්පීය වෙනසක් නැහැ. බැලූ බැල්මට එකක් වඩා අහිංසක ක්‍රියාවක් සේ පෙනුනත්, දෙකෙන්ම වෙන්නේ තමන්ටත් හානියක් කරගෙන තවත් විශාල පිරිසකට හානියක් කිරීමයි.

හැබැයි ඒ ඇත්ත උපවාස. බොහෝ විට දකින්න ලැබෙන්නේ උපවාස සේ හඳුන්වන ව්‍යාජ රඟපෑම්. මේවා සමාන කළ හැක්කේ මරාගෙන මැරෙන බෝම්බයක් බැඳගෙන එය පුපුරවා ගන්නා බවට තර්ජනය කිරීමටයි. එසේ කරන කෙනෙකු බෝම්බය පුපුරා නොගත්තොත් පසුව නීතියෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. එහෙත්, උපවාසයක් කරන අයෙකුට සාමාන්‍යයෙන් උපවාසය අත් හැරීමෙන් පසුව එවැනි නීතිමය ගැටලුවකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා, උපවාස වඩා ප්‍රචලිතයි.

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකන් පුරවැසිකම පිළිබඳව ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙන් මතු කරන ප්‍රශ්නයට පිළිතුරු සැපයීම පහසු කටයුත්තක් නෙමෙයි. අදාළ කටයුතු නිසි පරිදි කරගෙන ඇත්තේ වුවත්, එය රට ඉදිරියේ තහවුරු කිරීම ගෝඨාභය පාර්ශ්වයට පහසු නැහැ. ඇත්ත ලේඛන පෙන්වුවත් ඒවා බොරු ඒවා බව බොහෝ දෙනෙක් හිතන්න ඉඩ තිබෙනවා. අවුල ඇති වුනේ ගෝඨාභය පාර්ශ්වය විසින්ම මුලින් ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කර අතේ මාට්ටු වීම නිසයි. දැන් වෙලා තියෙන්නේ කොටි ආවෝ කතාව වගේ එකක්.

යම් හෙයකින් ඇමරිකන් තානාපති කාර්යාලයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේනම් හෝ ෆෙඩරල් රෙජිස්ට්‍රියක ගෝඨාභය රාජපක්ෂගේ නම තිබුනේනම් ඔහුට අවුල ලිහා ගන්න තිබුණා. නමුත්, දැන් ඒ දෙකම වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා වැඩේ සංකීර්ණයි.

මේ වෙලාවේ ඉඟුරුවත්තේ සුමංගල හිමි වගේ කෙනෙකුට උපවාසයක් ආරම්භ කරන්න ඇරලා ඒ පිළිබඳව විශාල අවධානයක් යොමු වුනාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ඒ හාමුදුරුවන් වෙත ගිහින් තමන් සතුව තිබෙන ලේඛන පෙන්වීමෙන් පසුව හාමුදුරුවන් විසින් ප්‍රකාශයක් කර උපවාසය නැවැත්තුවොත් ගෝඨාභය ගොඩ. වෙන්න යන්නේ ඒ වගේ දෙයක්ද කියන එක බලන්න දවස් දෙක තුනක් ඉන්න වෙනවා.

අයෝධ්‍යා තීන්දුව


මුළු මහත් ඉන්දියාවම ඇස් දල්වා බලා සිටි අයෝධ්‍යා අර්බුදයේ ගමන් මාර්ගයේ සුවිශේෂී මං සලකුණක් සටහන් කරමින් අර්බුදයට මුල්ව ඇති බිම්කඩේ අයිතිය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ හින්දූන්ට ලබා දුන්නා. මේ තීන්දුවෙන් පසු ආගමික ගැටුම් ඇති වීම වලක්වනු පිණිස ඉන්දීය රජය හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඉන්දියාවේ ජනගහනයෙන් 80%ක් පමණ හින්දූන් වුවත් ඉන්දුනීසියාව හැරුණු විට ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහණයක් සිටින රටත් ඉන්දියාවයි. මේ ආගමික කණ්ඩායම් දෙක අතර ගැටුම් ඉන්දියාවට අලුත් දෙයක් නෙමෙයි. හින්දූන් හා මුස්ලිමුන් අතර කාලයක් තිස්සේ පවතින අයෝධ්‍යා අර්බුදයත් සියවස් කිහිපයක් ඈතට දිවෙන්නක්.

හින්දු ආගමික සාහිත්‍යයට අනුව විෂ්ණුගේ සත්වන අවතාරය රාම. රාමායනය අනුව රාම ඉපදී තිබෙන්නේ අයෝධ්‍යා නගරයේ. බුද්ධ කාලයේ සාකේත නුවර සේ හැඳින්වී තිබෙන්නේත් මේ අයෝධ්‍යාවයි. සාකේත සූත්‍රය දේශනා කර තිබෙන්නේ මේ ආසන්න අඳුන් වනයේ සිටයි.

අයෝධ්‍යා අර්බුදයට හේතු වූයේ 1992දී විනාශ කරනු ලැබූ බාබුර් මුස්ලිම් පල්ලියයි. මේ පල්ලිය ඉදි කර ඇති සේ සැලකෙන්නේ 1528දීයි. හින්දු පාර්ශ්වයට අනුව, රාම ඉපදී තිබෙන්නේ හරියටම මේ මුස්ලිම් පල්ලිය තිබෙන තැනයි. ඔවුන් විශ්වාස කරන ආකාරයට පල්ලිය හදා තිබෙන්නේ පෙර එම ස්ථානයේ වූ රාම දෙවොලක් මතයි.

බාබුර් පල්ලිය පිහිටි බිමට අක්කර 2.77ක භූමියට හින්දූන් අයිතිවාසිකම් කියන්නේ දහනවවන සියවසේ මැද සිටයි. ඉංග්‍රීසින් විසින් පල්ලිය ඇතුලේ මුස්ලිමුනටත්, පල්ලියෙන් පිටත කොටසක හින්දූන්ටත් ආගමික වතාවත් කිරීමට වෙන් කර දී තිබියදී 1949දී හින්දූන් පිරිසක් විසින් බලහත්කාරයෙන් පල්ලියට ඇතුළු වී එහි රාම සීතා ප්‍රතිමා තැන්පත් කිරීමෙන් පසුව ප්‍රශ්නයේ වත්මන් අදියර ආරම්භ වෙනවා. ජවහර්ලාල් නේරු විසින් මේ ප්‍රතිමා ඉවත් කරන්න උත්සාහ කළත් එය කළ හැකි වන්නේ නැහැ.

විශ්ව හින්දු පර්ෂද් ක්‍රියාකාරිකයින් මුල් වී 1992 දෙසැම්බර් 6 වනදා බාබුර් පල්ලිය විනාශ කර දමන අතර ඉන් පසු ඇතිවන ආගමික ගැටුම් හේතුවෙන් දෙදහසක පමණ පිරිසක් මිය යනවා. ඉන්පසුව හින්දු ආගමික සංවිධාන දෙකක් හා මුස්ලිම් ආගමික සංවිධානයක් ස්ථානයේ අයිතිය වෙනුවෙන් නඩු මගට යනවා. 2003දී සිදු කරන පුරා විද්‍යා කැනීම් අනුව මුස්ලිම් පල්ලිය පිහිටි තැන ඊට සියවස් කිහිපයකට පෙර සිට වෙනත් ආගමික ගොඩනැගිල්ලක් තිබී ඇති බව පෙනී යනවා. එහෙත් එය රාම දෙවොලක්ද, ශිව දෙවොලක්ද එසේත් නැත්නම් බෞද්ධ විහාරයක්ද යන්න විවාදිත කරුණක්.

පුරා විද්‍යා කැණීම් අනුව භූමියට හින්දු අයිතියද පිළිගනිමින් 2010 සැප්තැම්බරයේදී අලහබාද් මහාධිකරණය විසින් අදාළ බිම්කඩ සම කොටස් තුනකට බෙදා හින්දු සංවිධාන දෙකක් හා මුස්ලිම් සංවිධානයක් අතර බෙදා දෙනවා. එහෙත්, අදාළ පාර්ශ්ව මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙනියනවා. අද (නොවැම්බර් 9) ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව රාම ජන්ම භූමියේ අයිතිය මුළුමනින්ම හින්දු පාර්ශ්වයට ලැබෙන අතර මුස්ලිම් පල්ලිය හදා ගැනීම සඳහා වෙනත් තැනකින් ඉඩම් අක්කර පහක් ලබා දී තිබෙනවා. මේ සමඟ අයෝධ්‍යාවේ රාම දෙවොලක් සෑදීම පිළිබඳ නරේන්ද්‍ර මෝදිගේ ඡන්ද පොරොන්දුවක්ද ඉටු කිරීමට ඉඩකඩ සැලසෙනවා.

මේ තීන්දුව පිළිබඳව මුස්ලිම් පාර්ශ්වය සතුටු නොවන බව කිව යුතු නැහැ. සිකුරාදා රාත්‍රියේ දැනුම් දී සෙනසුරාදා උදේ තීන්දුව ප්‍රකාශ කර තිබෙන්නේ කිසිදු පාර්ශ්වයකට ආගමික ගැටුම් සඳහා සංවිධානය වීමට ඇති ඉඩකඩ අහුරන්නයි. ඊට අමතරව ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක පාසැල් හා සරසවි වසා හමුදා සීරුවෙන් තබා තිබෙනවා.

Saturday, November 9, 2019

ෆෙඩරල් රෙජිස්ට්‍රියේ මෙවරත් ගෝඨාභයගේ නම නැහැ!


සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ වසරේ තෙවන කාර්තුව තුළ ඇමරිකන් පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය අත් හළ බවට වාර්තා වී ඇති 183 දෙනෙකුගේ නම් ඇතුළත් ෆෙඩරල් රෙජිස්ට්‍රිය ලබන අඟහරුවාදා (නොවැම්බර් 12) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු  ලැබීමට නියමිතයි. අදාළ නම් ලැයිස්තුව මහජන විමර්ශනය සඳහා මේ වන විට නිකුත් කර තිබෙනවා.

මෙවර නම් ලැයිස්තුවටද ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නැහැ. මෙසේ ප්‍රකාශයට පත් කෙරෙන්නේ ලංකාවේ මීළඟ ජනාධිපතිවරණයට පෙර නිකුත් කෙරෙන අවසන් ෆෙඩරල් රෙජිස්ට්‍රියයි. අදාළ නම් ලැයිස්තුව පහත තිබෙනවා.

https://s3.amazonaws.com/public-inspection.federalregister.gov/2019-24474.pdf

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධව ඇමරිකානු රජය විසින් මේ වන තුරු කිසිදු නිල ප්‍රකාශයක් කර නැති නිසා මේ කරුණ හා අදාළව කිසියම් අවිනිශ්චිතතාවයක් තිබෙනවා.

මේ අවිනිශ්චිතතාවය දුරු කරන සේ ඉල්ලමින් ඇමරිකාවේ නිව් ජර්සි හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන අනුර රූපසිංහ නම් අයෙකු නිව් යෝර්ක්හි දකුණු දිස්ත්‍රික් අධිකරණයේ ඊ‌යේ (08) නඩුවක් පවරා ඇති බව ලංකාඊනිවුස් වාර්තා කර තිබෙනවා.


Friday, November 8, 2019

බදු ඉඩමට ඔප්පුවක්...


රාජපක්ෂ කඳවුරේ ඇතැම් අය විසින් රාජපක්ෂලාගේ අනුදැනුමක් නැතිව හෝ අනුදැනුමෙන් ඇති කළ සහශ්‍ර අභියෝගිතා ගිවිසුම් බිය මේ වෙද්දී තුනී වෙලා තිබෙනවා. කාන්තා සනීපාරක්ෂක තුවා වටය මෙන්ම සහශ්‍ර අභියෝගිතා ගිවිසුම් වටයද අවසන් වුනේ දේශපාලනිකව ගෝඨාභය රාජපක්ෂ කඳවුරට හානියක් කරමින් හා සජිත් ප්‍රේමදාස කඳවුරට වාසියක් කරමිනුයි. අවසන් ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් සිදු වුවත් නැතත්, මේ දෙකෙන්ම වුනේ ගෝඨාභය රාජපක්ෂ කඳවුර විසින් ඉල්ලං කාපු එකයි.

කාන්තා සනීපාරක්ෂක තුවා වටයේදී කෙළින්ම ලකුණු රැස් කළේ සජිත් ප්‍රේමදාසයි. එහෙත්, සහශ්‍ර අභියෝගිතා ගිවිසුම් වටයේදී වැඩියෙන්ම ලකුණු රැස් කර ගත්තේ චම්පික රණවකයි. රාජපක්ෂ කඳවුර විසින් එම්සීසී බිල්ලා ගැන ඇඩ් දමන විට රටේ බොහෝ දෙනෙක් දැන නොසිටි ලංකාවේ දිගුකාලීන ජාතික භෞතික සැලැස්ම ගැන දැන් බොහෝ දෙනෙක් දන්නවා. මම හිතන්නේ මේ ගැන වැඩියෙන්ම සතුටු වෙනවා ඇත්තේ ඔය සැලසුම යාවත්කාලීන කරන්න දායකත්වය හා නායකත්වය ලබා දී ඉන් පසුව සැලසුම ජනගත කරන්න උත්සාහ කරමින් සිටි චම්පික රණවකයි.

සහශ්‍ර අභියෝගිතා ගිවිසුම් විරෝධය හමුවේ ජවිපෙ කටයුතු කළේ බොහොම සීරුමාරුවෙනුයි. ඔවුන් සහශ්‍ර අභියෝගිතා ගිවිසුම් විරෝධය ඇවිලවූයේ නැහැ. මේ වෙලාවේ එසේ කර ඔවුන්ට දේශපාලන වාසියක් ගැනීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. ඔවුන් ගිවිසුම ගැන පක්ෂයේ ප්‍රතිපත්තිය නිශ්චිතව හා පැහැදිලිව ප්‍රකාශ කළා. අනෙක් කරුණු කෙසේ වෙතත්, දැනට හරියකට අයිතියක් නැති බාගෙට රජයේ ඉඩම් ඒ ඉඩම් වල බාග හිමිකරුවන්ටම ලබා දීම ගැන ජවිපෙට පවා ප්‍රශ්න තිබෙන බව පේනවා.

අනුර කුමාරගේ කතාවකදී ඔහු ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ ඉඩම් එක්ක තිබෙන සුවිශේෂී බැඳීම ගැන සඳහන් කරනවා. බටහිර රටවල් වල මිනිස්සුන්ට එහෙම බැඳීමක් නැති බවත් කියනවා. ඇත්තටම ඔය කියන බැඳීම බටහිර රටවල මිනිසුන්ටත් තිබෙනවා. නමුත්, ඒ මිනිස්සු ජීවත් වෙන්නේ ප්‍රධාන නගර වල නෙමෙයි. ගම් වලට වෙන්නයි.

සහස්‍ර අභියෝගිතා ගිවිසුමට විරුද්ධ බොහෝ දෙනෙක්ට වගේම ගිවිසුම එක එල්ලේ මුළුමනින්ම ප්‍රතික්ෂේප නොකරන ජවිපෙටත් තිබෙන ප්‍රශ්නය බාග අයිතිය තිබෙන ඉඩම් වල මුළු අයිතියම ලැබුණට පස්සේ ඒ විදිහට ඉඩම් හිමිකම් ලබන අය ඉඩම් විකුණා දමයි කියන සැකයයි. මේ විදිහට ඉඩම් අයිතිය ලබා දීම එම්සීසී ගිවිසුමට සෘජුව අදාළ කරුණක් නොවූවත් එය කතා කළ යුතු වැදගත් කරුණක්.

මේ ඉඩම් වල ඉන්න අයට අදාළ ඉඩම් එක්ක සියවස් ගාණක් ඈතට යන බැඳීමක් නැහැ. රජයෙන් ඉඩම් ලබා අදාළ පෙදෙස් වල ඉන්න බොහෝ දෙනෙක් ආර්ථික අරමුණු මත, තමන්ගේ මුල් ගම් බිම් අත ඇරලා රටේ වෙනත් පෙදෙසකින් සංක්‍රමණය වූ අයයි. සංක්‍රමණිකයන්ගේ රටක් වන  ඇමරිකාවේ බොහෝ ගම් වල මිනිස්සු ඊට වඩා පරම්පරා ගාණක් තමන්ගේ ගම් වල ජීවත් වී තිබෙනවා. හැබැයි ලංකාවේ මේ ඉඩම් වල දැන් ඉන්න බොහෝ දෙනෙක් ඒ මුල් පරම්පරාවේ සංක්‍රමණිකයන්ගේ දරුවන් හෝ දරුවන්ගේ දරුවන්. ඒ අය ඉපදිලා තිබෙන්නේම මේ ඉඩම් වලයි. ඒ නිසා, සියවස් ගාණක් ඈතට නොගියත් ඉඩම් එක්ක පරම්පරා කිහිපයක බැඳීමක් තිබෙනවා.

ලංකාවේ වුනත්, බටහිර රටක වුනත්, යමෙක් ඉපදී ටික කලක් යද්දී තමන්ගේ ගෙදර කියා තැනකට හුරු වී බැඳීමක් ඇති කර ගන්නවා. එකම ඉඩමක ලොකු මහත් වන තුරු ජීවත් වන දරුවෙක්ට තමන් ජීවත් වන්නේ තමන්ගේම ඉඩමකද, අනුන්ගේ ඉඩමකද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ එක්තරා වයසකට පැමිණියාට පසුවයි. විශේෂයෙන්ම ප්‍රස්තුතයට අදාළ ඉඩම් වල දැන් ජීවත් වන අයට දැනෙන විදිහට ඔවුන් ඉන්නේ තමන්ගේම පරම්පරා ඉඩම් වල. වත්තේ තියෙන්නේ අත්තා කපපු ලිඳ. අත්තම්මා  හිටවපු කොස් ගහ.

මේ තමන්ගේම නොවන තමන්ගේ ඉඩම තමන්ගේ ඉඩමක් නොවන බව අලුත් පරම්පරා වල අයට තේරෙන්න ගන්නේ ලොකු මහත් වෙලා දෙමවුපියන්ගේ උරුමය හොයන්න යන කොටයි. දෙමවුපියන්ට තමන් කැමති ආකාරයට දරුවන්ට ඉඩම් බෙදන්න බැහැ. බොහෝ විට පුළුවන්කම තිබෙන්නේ එක් දරුවෙකුට මුළු ඉඩමම පවරන්නයි. එයත් රජයෙන් අනුමත කළ යුතුයි.

අනෙක් පැත්තෙන් මේ බොහෝ ඉඩම් රජයේ නොවන රජයේ ඉඩම්. මේ ඉඩම් වල අයිතිය රජයට වුවත්, පරම්පරා කිහිපයක් තිස්සේ ඉඩමේ ඉන්න, ඉඩම සංවර්ධනය කළ මිනිස්සුන්ව පන්නලා වෙන කෙනෙකුට ඉඩම දෙන්න රජයට පුළුවන් කමක් නැහැ.  ඒ නිසා මේ ඉඩම් වල නියම අයිතියක් ඒවායේ ඉන්න මිනිස්සුන්ටත් නැහැ. රජයටත් නැහැ.

ප්‍රශ්නයට විසඳුම ඉඩම් අයිතිය ඉන්න මිනිස්සුන්ට දෙන එක මිසක් නැවත රජයට ගන්න එක නොවන බව පැහැදියිනේ. නමුත්, එයින් පසුව මේ මිනිස්සු ඒ අයට කැමති ආකාරයට ඉඩම් කෑලි කැඩීම හෝ විකිණීම වලක්වන්න අමාරුයි. ඉඩම් ඒ මිනිස්සුන්ගේනේ. ඔන්න ඔතනයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නය.

මේ වර්ගයේ බාග අයිතිය තිබෙන ඉඩමක ඉන්න ඕනෑම කෙනෙකුගේ සිහිනය තමන්ට ඉඩමේ නියම අයිතිය ලබා ගැනීමයි. හරි අයිතියක් නැති ඉඩමක නියම අයිතිය ලැබෙනවාට කවුද අකැමැති? වෙන එකක් තියා එම්සීසී ගිවිසුම ගැන තමන්ගේ මෝහය දුරු වෙලා සම්මා දිට්ඨිය පහළ වීමෙන් පස්සේ උපවාසය අත් හැර තියෙන උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ වගේ දේපොළ තණ්හා අතහැර සිටින අය පවා බදු ඉඩමක ස්ථිර අයිතිය ලැබීමේ වටිනාකම දන්නවා.


මේ මිනිස්සු ඉඩම් විකුණයි කියන ප්‍රශ්නය වැඩිපුරම තියෙන්නේ පැත්තක ඉන්න විවිධ වෘත්තිකයින්ටයි. තමන් තමන්ගේ රස්සා කරද්දී ඔය ඉඩම් වල ඉන්න ගොවි තාත්තලාගේ පුත්තු දිගින් දිගටම තමන්ට බත සැපයිය යුතුයි කියා මේ අය හිතනවා. ඔතැන තියෙන්නේ කම්මල්කාරයාගේ පුතා කම්මල් වැඩම කළ යුතුයි, රෙදි නැන්දාගේ දුව දිගටම රෙදි හේදිය යුතුයි කියන පැරණි කුලවාදී අදහසයි. අපි අපේ දරුවෝ ඉංජිනේරුවෝ දොස්තරලා කරන්නම්. ඕගොල්ලන්ගේ දරුවෝ රජයට අයිති කුඹුරු ටික පුරන් වෙන්න නොදී බලා ගන්න!

ඉඩම් වල අයිතිය ලැබුණට පස්සේ මේ සමහර අය ඉඩම් විකුණයි. ඉඩම් එක්ක ලොකු බැඳීමක් තියෙන අය ඉඩම් දිගටම තියා ගෙන ඉඳියි. ඕකේ තියෙන වැරැද්ද මොකක්ද? ගොවියෙක්ගේ පුත්තු මෘදුකාංග ඉංජිනේරුවන් වීම නිසා කුඹුරු වැඩ කරන්න කෙනෙක් නැති වීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ. ඒ නිසා, මේ පුත්තුන්ව මඩටම තල්ලු කරන්න ඕනෑද? අනෙක් අතට ගොවිතැනට කැමති ඉඩම් නැති කෙනෙකුට ගොවිතැනට අකැමැති කෙනෙකුගේ ඉඩමක් මිල දී ගෙන වගා කරන්න තිබෙන නිදහස නැති කළ යුතුද?

ඉඩම් වල අයිතිය දුන්නට පස්සේ කෙනෙක් ඇමරිකානුවෙකුට ඉඩම විකුණන්න ඉඩ තිබෙනවා. එය වළක්වන්න අමාරුයි. හැබැයි ඔය ඉඩමක් විකුණන්න ඇමරිකානුවෙක්ව හොයා ගන්න එකනම් ඒ තරම්ම පහසු නැහැ. ඇමරිකාව ඉඩම් හිඟයක් තිබෙන රටක් නෙමෙයි. ඇමරිකාවේ ග්‍රාමීය පැති වල ඉඩම් ඉතාම ලාබයි. ඒ වගේම, මම දන්නා තරමින් විදේශිකයෙක් ලංකාවෙන් ඉඩම් ගන්නවානම් 100%ක බද්දකුත් ගෙවිය යුතුයි. ඔය සියලුම තත්ත්වයන් යටතේ වුවත් පහළ වීඩියෝවේ ඉන්න ඇමරිකානුවා වගේ කෙනෙක් ලංකාවෙන් ඉඩමක් ගන්න බැරිකමකුත් නැහැ.


Wednesday, November 6, 2019

දොළොස් ලක්ෂයක් නෙමෙයි විසිනව ලක්ෂයක්!


කලින් ලිපිය බොහෝ දෙනෙක් විසින් වත්පොතේ බෙදාගෙන තිබෙනවා. ඒ අය කාණ්ඩ දෙකකට වර්ග කළ හැකියි. පළමු කාණ්ඩය කිසිම විමසිල්ලක් නැතුව, වත්පොතේ ඇති දෙයක් දැකපු පමණින්, එය තමන්ගේ පූර්ව නිගමන හා ගැලපෙන්නක් මෙන් පෙනේනම්, බෙදා හරිමින් ප්‍රචාරය කරන අය. ඒ අයගෙන් වැඩි පිරිසක් මේ ආණ්ඩුවට හා ඇමරිකාව ඇතුළු බටහිර රටවලට විරුද්ධ රාජපක්ෂ ආගමිකයින්. නමුත්, ඒ ආකාරයට තමන් ආණ්ඩුවට හා ඇමරිකාව ඇතුළු බටහිර රටවලට විරුද්ධ ඇයි කියා ඒ අයවත් දන්නේ නැහැ. රාජපක්ෂ කඳවුරේ සිටින සියළුම දෙනා රාජපක්ෂ ආගමිකයින් නෙමෙයි. ඒ වගේම මේ වර්ගයේ අය එජාප, ජවිපෙ ඇතුළු අනෙකුත් කඳවුරු වලත් ඉන්නවා.

දෙවන කාණ්ඩයේ ඉන්නේ ලිපිය කියවීමෙන් පසුව එය බෙදාගත් අයයි. ඒ අය අතර දේශපාලනිකව විවිධ කඳවුරු වල සිටින අය දැකිය හැකියි. පොදුවේ ඔවුන් සියල්ලෝම රාජපක්ෂ විරෝධීන් නොවූවත් මේ අය අතර රාජපක්ෂවාදීන් සිටිනවා කියා මා හිතන්නේ නැහැ. මේ ඇතැම් දෙනෙක් එජාපයට හෝ ජවිපෙට පාක්ෂිකත්වයක් ඇති අය. වෙන පිලක හිටියත් ඒ  ඇතැම් අයත් ආගමිකයින්. කොහොම වුනත්, ඒ ආගමික කොටසට අමතරව දෙවන කාණ්ඩයේ සැලකිය යුතු පිරිසක් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තීරණය කරන පාවෙන ඡන්දදායකයින් කියා කිව හැකි අයයි. මට අවශ්‍ය වුණේ ඒ අය වෙත ලිපිය ගෙන යන්නයි. සැලසුම් කළ පරිදිම මුලින් කී දේශපාලනික ආගමිකයින්ගේ උදවුවෙන් එය කර ගැනීමට හැකි වී තිබෙනවා.

වහල් මානසිකත්වකින් තොරව මේ ප්‍රශ්නය දිහා බලන කෙනෙකුට සහශ්‍ර අභියෝගිතා ගිවිසුම ගැන විවිධ අය කියන කතා නිසා මොනවා හෝ ප්‍රශ්න මතු නොවෙන්න හේතුවක් නැහැ. එය ඉතාම සාධාරණයි. එවැනි වලංගු ප්‍රශ්න ගණනාවක් අපේ වියුණුවේ නිත්‍ය පාඨකයින් මෙන්ම එසේ නොවන අයද විසින් වියුණු ලිපියේ පරිකථා කොටසේ හා වත්පොතේ ප්‍රතිචාර හරහා මතු කර තිබෙනවා. කෙසේ වුවත්, ලිපිය බෙදාගත් වෙනත් අයගේ වත්පොත් වල තිබෙන ප්‍රතිචාර සියල්ල මට පෙනෙන්නේ නැහැ.

ඒ වගේම, බොහෝ විට සිදු වන පරිදි විවිධ අය විසින් මෙවරද ලිපිය උපුටාගෙන වෙනත් තැන් වල නැවත පළ කර තිබෙනවා. එසේ ලිපිය උපුටා පළ කර තිබෙන වෙනත් තැන් වලින් මෙහි පැමිණ කියවූවාට වඩා විශාල පිරිසක් විසින් කියවා තිබෙනවා. ඒ අයගේ ප්‍රතිචාර මට පෙනෙන්නේත් නැහැ. ඒ වගේම, ඇතැම් අය කිසිම හිරිකතක් නැතුව ලිපියේ කොටස් ඒ විදිහටම කොපි කර තමන්ගේ නමින් පළ කර තිබෙන බවත් පේනවා. අන්තිමේදී දවස් දෙකකට පසු මා ලියූ ලිපියේ කොටස් වෙනත් අයගේ නමින් මගේ වත්පොතේම දකින්නට ලැබෙනවා. මේ තියෙන්නේ එවැනි තැනක්.

http://lankanewsapp.com/archives/2234

නැවත මුලට ආවොත්, වඩා නිවැරදි දේ සොයා ගැනීමේ අරමුණින් මෙහි පළවන දෑ කියවන අපේ නිත්‍ය පාඨකයින් මතු කර තිබෙන ප්‍රශ්න කිහිපයක් ගැන අපි තව ටිකක් කතා කරමු.

මේ ගිවිසුමේ වැරැද්දක් ඇත්තෙම නැද්ද?

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියන එක අපි කවුරුත් දන්නා කියමනක්. මේ කියමන අපේ ඇඟවල් වලට පත්තියම් වෙලා තියෙන්නේ. ඒ නිසා, දුමක් නගින හැම වෙලාවෙම අපි හිතන්නේ කොහේ හෝ ගින්නක් තිබිය යුතුයි කියලයි. විවිධ දේවල් ගැන බොරු ප්‍රචාර යන අවස්ථා කිහිපයකදීම මේ වියුණුව හරහා ඇත්ත පෙන්වා දී තිබෙනවා. උදාහරණක් විදිහට කලකට පෙර වේගයෙන් ප්‍රචාරය වූ ප්ලාස්ටික් හාල් කතාව පෙන්වන්න පුළුවන්. මෙවැනි බොහෝ අවස්ථා වලදී දුම නගින්න හේතු වුනු ගින්න හොයාගෙන එය පෙන්වන්න අපට හැකි වුනා. නමුත්, මේ වෙලාවේ අප එවැනි ගින්නක් පෙන්වා නැති නිසා ගින්න කොහේ හෝ හැංගී ඇතැයි බොහෝ දෙනෙක් හිතනවා.

ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියන එක ලංකාවේ බොහෝ දෙනෙක් විස්වාශ කරන බව විමල් වීරවංශ වැනි අය දන්නවා. ලංකාවේ මිනිස්සු හිතන ආකාරය ගැන ඔහුට තිබෙන අවබෝධය මත ගිණි නැතුව දුම් ගසා ගිණි ඇති බව පෙන්වීමේ කලාව ඔහු හොඳින් ප්‍රගුණ කර තිබෙනවා. සමහර විට ගහන දුම් නිසා පසුව ගිණි ඇති වෙනවා. මේ සිද්ධිය හා අදාළව හිතාමතා ප්‍රචාරය කෙරෙන කතා බොහොමයක් කිසිම පදනමක් නැති, අමූලික, පට්ටපල් බොරු. ඒ නිසා, මෙතන පෙන්නන්න තරම් ගින්නක් නැහැ. එවැන්නක් තිබුණානම් පෙන්වන්න අප පැකිලෙන්නේත් නැහැ.

මා දන්නා තරමින් ලංකා ඉතිහාසයේ කෙදිනකවත් මේ තරම් වාසිදායක තත්ත්වයන් යටතේ ලංකාවට මෙවැනි මුදලක් ලැබී නැහැ. එක අතකින් අදාළ මුදල ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබුණු විශාලම ආධාර මුදල. ඒ වෙනුවෙන් ඇමරිකාවට කිසිවක් දිය යුතු නැහැ. අනෙක් පැත්තෙන් මේ හා අදාළ කොන්දේසි ඇත්තේම නැති තරම්. ඩොලර් මිලියන පන්සීයක් ගිණි පොලියට ගැනීමේදී පවා ලංකාව බොහෝ විට විවිධ කොන්දේසි වලට එකඟ වෙනවා. මුදල ලැබෙන්නේ ලංකාවෙන් ඉල්ලා සිටි කටයුතු දෙකක් කරන්නයි. ඒ කටයුතු වෙනුවෙන්ම මුදල් යොදවනවානම් වෙනත් ගැටලුවක් නැහැ.

බොහෝ දෙනෙක්ට සැක පහළ වී තිබෙන්නේම විශ්වාස කරන්නත් අමාරු මේ වාසිදායක තත්ත්වය නිසායි.

එතකොට ඇමරිකාවට ඉඩම් දෙන කතාව?

මේ කතාව තනිකරම ගොතපු කතාවක්. ගිවිසුමේ කොහේවත් එවැනි දෙයක් නැහැ. මේ ගිවිසුමට සම්බන්ධයක් නැති ලංකාවේ දිගුකාලීන ජාතික භෞතික සැලැස්ම කියා වෙනම එකක් තිබෙනවා. එය දිගුකාලීනව ලංකාවේ භෞතික සම්පත් වැඩි දියුණු කළ යුතු ආකාරය පිළිබඳ ජාතික සැලැස්මක්. මෙහි රටේ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, විදුලි බලාගාර, වරාය, ගුවන් තොටුපොළ ආදිය ඒකාබද්ධව සංවර්ධනය කළ යුතු ආකාරය පිළිබඳ පුළුල් සැලසුමක් තිබෙනවා. චම්පික රණවක කියන ආකාරයට මෙය හදා තිබෙන්නේ දේශීය විශේෂඥයින් තුන් දහසක් පමණ මුල් වීමෙනුයි. සහශ්‍ර අභියෝගිතා ගිවිසුම ගැන ප්‍රශ්න මතු වෙන්න පෙර සිටම මේ ගැන ඔහු කියා තිබෙනවා.

රාජපක්ෂ කාලයේ හම්බන්තොට ආශ්‍රිත බොහෝ යටිතල පහසුකම් දියුණු කළේත් මෙවැනි සැලැස්මක් අනුවයි. මෑතකාලීනව මේ සැලැස්ම යාවත්කාලීන කරන විට කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා තීරුවක් ඉදිරි සංවර්ධන කටයුතු වලදී ප්‍රමුඛතාවය ලැබිය යුතු ආර්ථික කලාපයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. චම්පික කියන විදිහට, ඒ තීරණය පිටුපස විද්‍යාත්මක හේතු තිබෙනවා. මේ තීරුව හඳුන්වා දී තිබෙන්නේ ආර්ථික කොරිඩෝරයක් ලෙසයි. එය බොහෝ දෙනෙකු දන්නවා ඇතැයි සිතන සංස්කෘතික ත්‍රිකෝණය හා පොල් ත්‍රිකෝණය වැනි ලංකා සිතියමේ ලකුණු කළ හැකි නිශ්චිත කලාපයක් වුවත් මහ පොළොවේ වැටවල් හෝ කම්බි ගසා වෙන් කෙරෙන ප්‍රදේශයක් නෙමෙයි. ඇමරිකාවට විකුණන අක්කර දොළොස් ලක්ෂයක තීරුව ලෙස පෙන්වන්නේ ලංකාවේ ජාතික භෞතික සැලැස්මේ තිබෙන මේ තීරුවයි. ඒ තීරුවට අයත් ආර්ථික කලාපයට අක්කර දොළොස් ලක්ෂයක් ඇතුළත්.

සහශ්‍ර අභියෝගිතා ගිවිසුමේ ඉඩම් ව්‍යාපෘතිය යටතේ සිතියම්ගත කෙරෙන දිස්ත්‍රික්ක හත තෝරාගෙන තිබෙන්නේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඉහත ප්‍රමුඛ ආර්ථික කලාපය ආවරණය වන ආකාරයටයි. ලංකාවේම ඉඩම් මැන පරිගණකගත කිරීම බොහෝ කලකට පෙර ආරම්භ වී මුදල් නැති කම නිසා ඉතා මන්දගාමීව සිදුවෙමින් පවතින කටයුත්තක්. ඇමරිකාවෙන් ආධාර ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනාව හදද්දී මේ කටයුත්ත වේගවත් කිරීම පිණිසත් මුදල් ඉල්ලා තිබෙනවා. නමුත්, මේ ආධාර ක්‍රමය යටතේ ලැබිය හැකි ආධාර ප්‍රමාණයේ සීමාවක් තිබෙන නිසා මුළු ලංකාවම සිතියම්ගත කරන්න ඇමරිකාවෙන් ආධාර ඉල්ලන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා, කිසියම් ප්‍රදේශයක් තෝරා ගන්න වෙනවා. මෙහිදී ලංකාව පැත්තෙන් ව්‍යාපෘති යෝජනාව හදපු අය තෝරා ගෙන තිබෙන්නේ ඉහත දිස්ත්‍රික් හතයි.

මේ තේරීම ඉතා යෝග්‍ය එකක්. රටේ ජාතික භෞතික සැලැස්ම අනුව ප්‍රමුඛතාවය දිය යුතු වන්නේ මේ කලාපය සංවර්ධනය කිරීමට බව හඳුනාගෙන තිබෙන නිසා එහි වාසි ගණනාවක් තිබෙනවා. මූලික කරුණෙන් පිට පනින නිසා කරුණු සාකච්ඡා කිරීම පැත්තකින් තියමු. ඒ වගේම මේ ආධාරය ලබා දීමේදී ව්‍යාපෘති යෝජනා අතර විශාල තරඟයක් තිබෙනවා. මීට කලිනුත්, රාජපක්ෂ කාලයේත්, ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇතත් ඒවා තරඟකාරී මට්ටමක තිබී නැහැ. රටේ ප්‍රමුඛ සංවර්ධන කලාපයේ කරන දෙයකින් ප්‍රතිලාභ වැඩියි. එවැනි ව්‍යාපෘතියක් වඩා තරඟකාරීයි.

අනෙක් අතට මේ වැඩේට දකුණේ හා බස්නාහිර දිස්ත්‍රික්ක තෝරා ගත්තානම් මේ විවේචකයින් කියයි රටේම තියෙන වටිනාම ඉඩම් ටික කියා. උතුරු නැගෙනහිර ප්‍රදේශ තෝරා ගත්තානම් සිතියම් පෙන්වා කියන කතාව හිතාගන්න අමාරු නැහැනේ. දැන් මේ රට මැද වැඩිපුර සිංහල බෞද්ධයින් ඉන්න දිස්ත්‍රික්ක තෝරා ගෙන ඔවුන්ට යහපතක් වෙන දෙයක් කරද්දීයි මේ විවේචන කරන්නේ. තවත් නියම වැඩක් කියන්නේ ඔය උඩින් තිබෙන ගෝඨාභය කඳවුරේ අය භාවිතා කරන සිතියම ටැමිල්නෙට් එකෙන් ගත් එකක්. පසුගිය අප්‍රේල් මාසයේදී සහශ්‍ර අභියෝගිතා ආධාර මුදල් අනුමත වීමෙන් පසුව, මේ ව්‍යාපෘතිය ඔවුන් විසින් හඳුන්වාදී තිබෙන්නේ නාසිවාදී චම්පික රණවකගේ බලපෑමෙන් රනිල්ගේ ආණ්ඩුව විසින් වවුනියාව හා ත්‍රිකුණාමලය නාගරීකරණය කර, සිංහලයින් පදිංචි කර, සංවර්ධන ජනසංහාරයක් කිරීමේ වෑයමක් ලෙසයි. ඔය තීරුව නාගරික ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය වුනොත් "දෙමළ නිජබිම" දෙකට බෙදෙනවා කියන එකේනම් ඇත්තකුත් තියෙනවා.

විවේචකයින් අතර ඉන්නා එක් අයෙක් තිස්ස ජනනායකනම් ටියුෂන් ගුරුවරයෙක්. ඔය මනුස්සයා වෙන දේවල් ගැනත් බොරු කියනවා මම කලින් දැකලා තියෙනවා. එක වීඩියෝ එකක කැප්පෙටිපොළ දිසාවගේ ජාන විකෘතියක් ගැන කියන්නේ හරියට ඔය මනුස්සයා ඩීඑන්ඒ පරීක්ෂාවක් කළා වගේ. මේ ගිවිසුම හා අදාළවත් කිසිම පදනමක් නැති බොරු ගණනාවක් කියනවා. ගිණි නැතිව නගින දුම්! මේ පුද්ගලයා එක්කෝ ගිවිසුම කියවා නැහැ. නැත්නම් එහි නැති දේවල් ගැන හිතාමතාම බොරු කියනවා. වෙන බොරුත් කියනවා. ඉන්දු-ලංකා ගිවිසුම කියා එකක් අත්සන් කරන්න ගිහින් අන්තිමට විරෝධය නිසා අත්සන් කළේ නැහැයි කියන්නේ. මේ වැඩේ එක්කෝ දේශපාලන අරමුණකින් එහෙම නැත්නම් ටියුෂන් ගුරුවරයෙක් නිසා ප්‍රසිද්ධිය බලාගෙන කරන වැඩක් කියා හිතන්න පුළුවන්.


පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ උපාධි ධාරියෙක්ද වන උඩුදුම්බර කාශ්‍යප හිමියන්ට අනුව පර්චසය රුපියල් 180 ගානේ අක්කර විසිනව ලක්ෂයක් ඇමරිකාවට අවුරුදු දෙසීයකට බදු දෙනවා දෙනවා. අක්කර විසිනව ලක්ෂයක් කියා කියන්නේ ඔය දිස්ත්‍රික්ක හතේ මුළු භූමි ප්‍රමාණය හෝ රජයට අයිති ඉඩම් කොටස. ඩොලර් මිලියන 480 රුපියල් කරලා, අක්කර ගණන පර්චස් කරලා, බෙදලා බැලුවහම ගණනනම් හරි.  කාශ්‍යප හාමුදුරුවෝ ඉත්තෙක් වී තිබෙන්නේ ගිවිසුම ගැන හාන්කවිසියක් නොදැන බව පැහැදිලියි. ඔය අවුරුදු දෙසීයේ බදු කතාව කියන්නේ ළඟ ඉන්න කෙනෙක්ගෙන් අහලයි.

සහශ්‍ර අභියෝගතා ගිවිසුම අනුව රටේ එක අඟලක්වත් ඇමරිකාවට විකිණීමක් වෙන්නේ නැහැ. නමුත්, ඔය ගණන අනුව බැලුවොත් රටේ දිස්ත්‍රික්ක හතක සෑම පර්චසයක්ම වෙනුවෙන් ඇමරිකාවෙන් රුපියල් 180ක් නිකම් ලැබෙනවා කියා කියන්න පුළුවන්. ඔය දිස්ත්‍රික්කයක ඉන්න කෙනෙක්ට තමන්ගේ ඉඩම මැනගන්න අවශ්‍යනම් මිනින්දෝරු ගාස්තු විදිහට කීයක් ගෙවන්න වෙනවද?

ඇමරිකාව සල්ලි නිකම් දෙන්නේ ඇයි?

මේක ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක්. කිසි කෙනෙක් තමන්ට වාසියක් නැතිව හිඟන්නෙක්ට රුපියලක්වත් නොදෙන මා මේ වියුණුව හරහාම පසුගිය වසර කිහිපය තිස්සේ සමාජගත කර තිබෙන අදහසක්. ඒ නිසා, බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නය ඇසීම ගැන මට තිබෙන්නේ සතුටක්. හිතන්න අවශ්‍ය නිවැරදි ආකාරය මෙයයි.

ඒ වගේම, මා තවත් අදහසක් ජනගත කරන්න උත්සාහ දරා තිබෙනවා. ගනුදෙනුවකින් කෙනෙක්ට වාසියක් වෙනවා කියන්නේ අනෙක් පාර්ශ්වයට අවාසියක් වෙනවා කියන එක නෙමෙයි. බොහෝ විට ගනුදෙනුවකින් දෙපාර්ශ්වයටම වෙන්නේ වාසියක්. ඇමරිකාවට මොනයම් හෝ වාසියක් නැත්නම් ඇමරිකාව මේ විදිහට නිකම් සල්ලි දෙන්න හේතුවක් නැහැනේ.

ඇමරිකාව අනෙකුත් රටවලට විවිධ ආකාර වලින් මුදල් ආධාර කරනවා. පළමු කොටස පෞද්ගලික ප්‍රේෂණ. දැන් අපි වගේ අය ලංකාවේ ඉන්න අපේ ඥාතීන් හෝ මිතුරන් වෙනුවෙන් හෝ ඇතැම් පොදු කටයුතු වෙනුවෙන් මුදල් යවනවා. ඒ ඇයි කියන එක පැහැදිලියිනේ. ඒ වගේම, පල්ලි හා රාජ්‍ය නොවන සංවිධාන වලිනුත් වෙනත් රටවලට මුදල් දෙනවා. නමුත්, මෙතැනදී අපි කතා කරන්නේ ඇමරිකාවේ ෆෙඩරල් ආණ්ඩුව විසින් ලබා දෙන ආධාර ගැනයි. මේවා ඇමරිකන් ජනතාවගෙන් එකතු කරන බදු මුදල්. ඒ නිසා, ඒ මුදල් වියදම් කරන ආකාරය හා ඒ හේතුවෙන් ඇමරිකාවට තිබෙන වාසිය ගැන ඇමරිකන් ෆෙඩරල් ආණ්ඩුව ජනතාව දැනුවත් කළ යුතුයි.

ඇමරිකාවෙන් වෙනත් රටවලට ආධාර ලෙස ලබා දෙන මුදල් බොහෝ විට එම රට වලට ලොකු මුදලක් වුවත් ඇමරිකාවට විශාල මුදලක් නෙමෙයි. ඒ නිසා, මේ ආධාර දෙන්නේ දිගුකාලීන වාසියක් බලාගෙන මිසක් එකවර ලැබෙන වාසියක් බලාගෙන නෙමෙයි. දිගුකාලීන වාසි ගැන සැලකූ විට ප්‍රාග්ධනය හිඟ රටවල් වලට ආධාර දීමෙන් ඇමරිකාවට දිගුකාලීනව ආර්ථික, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වලදී ලැබෙන වාසි තිබෙනවා.

අපේක්ෂිත ප්‍රධානම ආර්ථික වාසිය වන්නේ අනාගතයේදී ඇමරිකාවේ නිෂ්පාදන වලට වෙළඳපොළක් ලැබෙන එකයි. එහෙම නැතුව ලංකාවේ ඉඩම් මිල දී ගැනීම නෙමෙයි. ඇමරිකාව කියන්නේ ලංකාවට සාපේක්ෂව ඉඩම් ඕනෑ තරම් තිබෙන රටක්. කිසියම් රටක ඒක පුද්ගල ආදායම ඉහළ ගිය විට ඇමරිකාවේ නිෂ්පාදන සඳහා ඉල්ලුම ඉහළ යනවා. විශේෂයෙන්ම සහශ්‍ර අභියෝගිතා අරමුදල් ලබා දීමේදී ආදායම අඩුම රටවල් වෙනුවට පහළ මැදි ආදායම් රටවල් ඉලක්ක කරන්නේ එම රටවල් ඉක්මණින් ඉහළ මැදි ආදායම් කාණ්ඩයට තල්ලු කරන්නයි. දැන් ඩොලර් හාරදාහක් පමණ වන ලංකාවේ ඒක පුද්ගල ආදායම තෙගුණයකින් පමණ වැඩි වුනොත්, දැනට ඉන්දියාවේ හා චීනයේ හදන ආනයනික බඩු වෙනුවට ඇමරිකන් බඩු හොයන පිරිසක් රටේ ඇති වෙන්න ඉඩක් තිබෙනවා.

මේ කරුණ තහවුරු වූ කරුණක්. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව ජපානයට විශාල වශයෙන් ආධාර කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ජපානය වේගයෙන් දියුණු වුනා. දැන් ජපානය ඇමරිකාවෙන් විශාල ලෙස භාණ්ඩ ආනයනය කරන රටක්.  ඉන් පසුව, ඇමරිකාවේ ආධාර ලැබූ දකුණු කොරියාව, මෙක්සිකෝව, බ්‍රසීලය, තායිලන්තය හා වියට්නාමය වැනි රටවල් වල ආර්ථිකයන්ද මේ වන විට විශාල ලෙස දියුණු වී එම රටවල් වලින් ඇමරිකන් භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම, අප්‍රිකානු රටවල ඒඩ්ස් වසංගතය තුරන් කිරීම පිණිස ඇමරිකාව විශාල ලෙස ආධාර කිරීමෙන් පසුව එසේ ආධාර ලැබූ අප්‍රිකානු රටවල් ගණනාවකම ඇමරිකන් ආනයන වලට තිබෙන ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. මේ ආකාරයට ඇමරිකන් භාණ්ඩ වලට එම රටවල් වල වෙළඳපොළක් හැදෙද්දී එම රටවල් වලින් ඇමරිකාවට කරන අපනයනද ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් ඇමරිකන් දේශපාලනඥයින් වෙනස් මත දැරුවත් මෙයත් ඇමරිකාවට වාසිදායකයි. ඇමරිකාව වෙනත් රටකින් භාණ්ඩ ආනයනය කරන්නේ එය රට ඇතුළේ එම භාණ්ඩ නිපදනවාට වඩා වාසිදායක නිසයි. මේ පදනමින් ඇමරිකාවට වාසි සැලසෙන්නේ ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉහළ ගිය තරමටයි. එය ඇමරිකාවට වාසියක් වෙනවා වගේම ලංකාවට ඊටත් වඩා වාසියක්.

දෙවන වාසිය සෞඛ්‍යමය වාසියයි. ඒඩ්ස්, එබෝලා වැනි වසංගතයක් ලෝකයේ එක් ප්‍රදේශයක ව්‍යාප්ත වූ විට එය අනෙකුත් රටවල් වලටත් බලපානවා. ඒ නිසා, කවර හෝ රටක සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීමට ආධාර කිරීමෙන් අනෙකුත් රටවල් වලටද වාසි සැලසෙනවා. ප්‍රතිශක්තිකරණ අනුපාතය අඩු රටක එය ඉහළ දැමීමට උදවු කිරීමෙන් ඇමරිකාවට වසංගත රෝග බෝවී ඇමරිකානු කාර්යක්ෂමතාව පහළ වැටීමේ අවදානම අඩු කරගත හැකියි. මෙයත් ඇමරිකාවට වාසියක් වුවත්, ආධාර ලබන රටවල් වලට ඊටත් වඩා වාසියක්.

තෙවන වාසිය ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබද වාසියයි. කිසියම් රටක මිනිසුන්ගේ ආදායම් මට්ටම, අධ්‍යාපන මට්ටම හා සෞඛ්‍ය මට්ටම ඉහළ යන තරමට එවැනි රටවල් වලින් සමාජ විරෝධීන්, විශේෂයෙන්ම ත්‍රස්තවාදීන් බිහිවෙන්න තිබෙන ඉඩකඩ පහළ  යනවා. ඇතැම් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් මේ හැම අතින්ම ඉහළින් සිටි අය බව කාට හෝ පෙන්වා දෙන්න පුළුවන්. මා කියන්නේ ඇමරිකාව හිතන ආකාරයයි.

සහශ්‍ර අභියෝගිතා ආධාර ක්‍රමය ඇති කරද්දී ඉහත කරුණු වලට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ආධාර ලබා දීමේදී සලකා බලන නිර්ණායක සකස් කර තිබෙන්නේ මේ අනුවයි. ආධාර ක්‍රමය නිසා, අවසානයේදී ආධාර ලැබුනත් නැතත්, ආධාර ඉල්ලන්න බලාපොරොත්තු වන රටවල් වලට මේ කරුණු 20 ගැන අවධානය යොදවන්න වෙනවා. එය ඇමරිකාවට වාසියි. කොහොම වුනත්, ඇමරිකාවට තිබෙන වාසි ගැන සලකා බලා තිබෙන්නේ 2003දී අදාළ පණත සම්මත කරන විටයි. කිසියම් වසරක් තුළ ආධාර දීම සඳහා ව්‍යාපෘති යෝජනා තෝරා ගැනීමේදී සලකා බලන්නේ අදාළ ව්‍යාපෘතිය සලකා බලන නිර්ණායක අනුව කොයි තරම් තරඟකාරීද කියන එකයි. ව්‍යාපෘති යෝජනා සකස් කළ ලංකාවේ කණ්ඩායම මෙවර වැඩේ හොඳින් කර තිබෙනවා.

මේ සල්ලි දේශපාලනඥයින්ගේ සාක්කුවට යයිද?

මේක සාධාරණ ප්‍රශ්නයක්නේ. මේ ප්‍රශ්නය අපට වඩා සල්ලි දෙන ඇමරිකාවට තිබෙන ප්‍රශ්නයක්. සල්ලි දේශපාලනඥයින්ගේ සාක්කුවට ගියොත් ඇමරිකාවේ අරමුණු ඉටු වෙන්නෙත් නැහැ. ලංකා සහශ්‍ර අභියෝගිතා සමාගම නමින් සමාගමක් හැදිය යුතු වන්නේ මේ අවදානම අවම කර ගන්නයි. එවැනි වෙනම ආයතනයක් හැදූ විට මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වගකිව යුතු නිශ්චිත පුද්ගලයින් පිරිසක් ඉන්නවා. ඒ වගේම, ගිවිසුමක් අත්සන් කර ගන්නේත් ලබා දෙන සල්ලි ලංකාවෙන් යෝජනා කර ඇමරිකාව විසින් අනුමත කර තිබෙන ව්‍යාපෘති වෙනුවෙන්ම යෙදවෙන බව තහවුරු කර ගන්නයි.

මේ ගිවිසුම මේ වෙලාවෙම අත්සන් කළ යුත්තේ ඇයි?

මේ ආධාර මුදල ලබා ගැනීම සඳහා ලංකාවේ ආණ්ඩුව 2016 සිට මහන්සි වී තිබෙනවා. ඇමරිකාවේ සහශ්‍ර අභියෝගිතා සමාගමේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් ආධාර මුදල අනුමත කර තිබෙන්නේ 2019 අප්‍රේල් 25 දිනයි. ගිවිසුම අත්සන් කිරීම මේ කාලයට වැටීම අදාළ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස සිදු වී තිබෙන සාමාන්‍ය දෙයක්. මා දන්නා තරමින්, ජනාධිපතිවරණයට පෙර ගිවිසුම අත්සන් කළ යුතු බවක් ඇමරිකන් පාර්ශ්වයෙන් කියා නැහැ. ආණ්ඩුව වෙනස් වුනත් ඉන් පසුව ගිවිසුම අත්සන් කිරීමට බාධාවක් ඇතැයි මා හිතන්නේ නැහැ. සල්ලි එපානම් ඇමරිකාව බලෙන් සල්ලි දෙන්න එන එකක් නැහැ. එපා කියා කියන්න විතරයි තියෙන්නේ. නමුත්, කවුරු බලයට පත් වුනත් මේ ගිවිසුම අත්සන් නොකර සිටීයැයි හිතන්න අමාරුයි. එය ඒ තරම්ම වාසිදායක දෙයක්.

මේ ආධාර මුදල ප්‍රතික්ෂේප කළොත් ලංකාවට නැවත මෙවැනි ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ලංකාව දැනටමත් පහළ මැදි ආදායම් මට්ටමෙන් ඉහළ මැදි ආදායම් මට්ටමට ගිහිල්ලයි ඉන්නේ. හැබැයි ගිවිසුම අත්සන් කිරීම සති දෙක තුනක් ප්‍රමාද කළා කියා අනුමත වී ඇති ආධාරය නොලැබී යන එකක් නැහැ.

මගේ අදහස අනුව ගිවිසුම මේ වෙලාවේ අත්සන් කරන්න යොදා ගන්න ඇත්තේ ජනාධිපතිවරණයට පෙර ආණ්ඩුවට දේශපාලන වාසියක් ගන්න බලාගෙනයි. නමුත්, වත්මන් ආණ්ඩුවේ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් සිදු වී තිබෙන්නේ එහි අනිත් පැත්තයි.

ප්‍රසිද්ධ කර තිබෙන ගිවිසුම ඇත්ත ගිවිසුමද?

ප්‍රසිද්ධ වී ඇති ගිවිසුම ඇත්ත ගිවිසුම නොවන බව ආණ්ඩුවේ පැත්තෙන් කියා නැහැ. ඒ වගේම මේ ගැන විරෝධය පාන අය කතා කරන්නෙත් ප්‍රසිද්ධියේ තිබෙන ගිවිසුම ගැන බව පැහැදිලියි. ඒ හැර, මේ ගැන මීට වඩා වැඩි දෙයක් මම කියන්න දන්නේ නැහැ. ප්‍රසිද්ධ කර තිබෙන පිටු 84ක ගිවිසුමේ 12, 13 පිටු අඩුයි. මෙය ඡායාපිටපත්කරු අතින් සිදු වූ අත් වැරැද්දක් කියා මම හිතනවා. ඒ පිටු වල තිබෙන දේ පටුනේ තිබෙන නිසා මා ලියා ඇති මූලික කරුණු වලට මේ පිටු දෙක නොතිබීම බල නොපාන බව මගේ අදහසයි.

පසු සටහන: පිටු සියල්ල සහිත, නීතිපතිගේ එකඟත්වයෙන් කෙටුම්පත් කර ඇති ගිවිසුම පහත තිබෙනවා.

http://www.treasury.gov.lk/documents/10181/519892/MCC+Rescan1.pdf/a5d28fac-22cc-4139-a88e-a37311bafb6b


ගිවිසුම නිසා ලංකාවට ඇමරිකන් හමුදා ගොඩ බසියිද?

ඇමරිකන් ෆෙඩරල් රජයේ ආධාර මිලිටරි ආධාර හා මිලිටරි නොවන ආධාර කියා කොටස් දෙකක් තිබෙනවා. මෙය මිලිටරි නොවන ආධාරයක්. මිලිටරි නොවන ආධාර සම්ප්‍රදායිකව බොහෝ විට ලබා දී තිබෙන්නේ යූඑස්ඒඩ් වැනි ආයතන හරහා. මෙවැනි මිලිටරි නොවන ආධාර ලබා දීමේදී ඇමරිකාවේ භූ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් එම ආධාර මුදල් යොදා ගැනෙන බවට චෝදනා නැගී තිබෙනවා. 2003දී සහශ්‍ර අභියෝගිතා පණත සම්මත කර තිබෙන්නේම ඇමරිකාවේ භූ දේශපාලනික අවශ්‍යතා ගැන නොසිතා ස්වාධීනව තරඟකාරී පදනමක් මත මේ ආධාර මුදල් බෙදා හැරීම වෙනුවෙන්. සහශ්‍ර අභියෝගිතා සමාගම පිහිටුවා තිබෙන්නේත් ඒ වෙනුවෙනුයි. මේ ක්‍රමයට ලබා දෙන්නේ ඇමරිකානු විදේශාධාර වලින් වසරකට ඩොලර් මිලියන 900ක පමණ "සුළු මුදලක්" පමණයි. ඒ කියන්නේ ආධාර ලැබෙන්නේ වසරකට රටවල් දෙක තුනකට පමණයි.

මේ පදනම යටතේ ආධාර ලැබූ අනෙකුත් රටවල් මොනවාද?

කලාපයේ නේපාලය හා ඉන්දුනීසියාව ඇතුළු රටවල් 37ක් පසුගිය කාලයේ මේ යටතේ ආධාර ලබා තිබෙනවා. ඇතැම් රටවල් දෙවරක් ආධාර ලබා තිබෙනවා.

මෙය ක්‍රියාත්මක කළ අනෙක් රටවල් දියුණු වෙලා නැහැ කියන්නේ ඇත්තද?

මේ කතාව බොරුවක් බව පෙන්වාදීම අමාරු නැති වුනත් එය තේරුමක් නැති දෙයක්. දැන් ලංකාවම ගම්මුකෝ. ඩොලර් මිලියන 480ක් කියන්නේ ලංකාවට විශාල මුදලක් වුනත්, ඔය වගේ මුදලක් ලැබුණා කියා ඒ හේතුව නිසාම රටක් දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා, රටක් දියුණු වුනේ හෝ නොවුනේ මේ වගේ ආධාරයක් නිසා කියා කියන්න බැහැ.

එතකොට ඉඩම් විකිණීමක් වෙන්නෙම නැද්ද?

ලංකාව ආර්ථික සංවර්ධනයේ ඊළඟ අදියරයට යන්නනම් කළ යුතු මොනවාද කියන එක වරින් වර බොහෝ දෙනෙක් මගෙන් අසා තිබෙන ප්‍රශ්නයක්. මේ ගිවිසුමේ නොතිබුණත්, ලංකාව ආර්ථික සංවර්ධනයේ ඊළඟ අදියරයට යාමට කළ යුතු දේවල් අතර ඉඩම් වෙළඳපොළ සක්‍රිය කිරීම අත්‍යාවශ්‍යම දෙයක් කියන එක මගේ අදහසයි. ලංකාවේ හෝ ලෝකයේ ඕනෑම සංවර්ධන ආර්ථික විද්‍යාඥයෙක් ලංකාව ගැන නිසි අධ්‍යයනයක් කළොත් මේ කරුණ සම්බන්ධව එකඟ වෙයි කියා මම හිතනවා.

ලංකාවේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 85.8%ක්ම අයිති රජයටයි. පෞද්ගලික අයිතිය යටතේ තිබෙන්නේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 14.2%ක් පමණයි. රජයට අයිති ඉඩම් වලින් 21%ක් විවිධ යෝජනා ක්‍රම යටතේ වගා කටයුතු සඳහා බෙදා දී තිබෙනවා. එවිට ඉතිරි ප්‍රමාණය 64.6%ක්. එහෙත්, මේ ඉතිරි ඉඩම් ඇත්තටම නිදහස්ව තිබෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඔය ඉඩම් බොහොමයක් විවිධ පුද්ගලයින් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙනයි තියෙන්නේ. මේ ගැන දැන ගන්න වෙන්නේ රටේම ඉඩම් නැවත මැන සිතියම්ගත කළහොත් පමණයි.

රටේ මිලියන 21.4ක ජනගහණයකට මිල දී ගන්න හෝ විකුණන්න අයිතිය තිබෙන බිම් ප්‍රමාණය හෙක්ටයාර මිලියන 0.93ක් හෙවත් අක්කර මිලියන 2.3ක් පමණයි. ජීවිතය ගොඩ නගා ගන්නා තරුණයෙකුට හෝ ව්‍යවසායකයෙකුට ඉඩමක් මිල දී ගන්න බොහෝ අසීරු වෙන්න මෙය ප්‍රධාන හේතුවක්.

ප්‍රශ්නය විසඳෙන්නනම් රජය සතු ඉඩම් වලින් කොටසක් පුද්ගලික අංශය සතු විය යුතුයි. රජයට තමන් සන්තකව තිබෙන ඉඩම් වෙළඳපොල මිලට විකුණා එක පැත්තකින් රටේ ඉඩම් ප්‍රශ්නය විසඳමින් අනෙක් පැත්තෙන් රජයේ ආදායම් ප්‍රශ්නයත් විසඳාගත හැකියි. විකිණීම ප්‍රශ්නයක්නම් බදු දෙන්නත් පුළුවන්. ඇමරිකාවට හෝ විදේශිකයින්ට විකිණීම හෝ බදු දීම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත්, රටේ ආර්ථික සංවර්ධනයට දායක කර නොගැනෙන ඉඩම් වල අයිතිය පුද්ගලික අංශය වෙත මාරු වෙන යාන්ත්‍රණයක් අවශ්‍යයි. මේ ඉඩම් වැඩි ප්‍රමාණයක් තිබෙන බව හඳුනාගෙන තිබෙන්නේ ප්‍රස්තුතයට අදාළ දිස්ත්‍රික්ක වලයි.

රජයට අයත් ඉඩම් විකිණීමෙන් ඉඩම් වෙළඳපොළේ සැපයුම වැඩි කළ හැකි වුවත්, ඒ පැති වල මිනිස්සු පදිංචි වෙන්න හා ව්‍යාපාර ආරම්භ කරන්න කැමති නොවුනහොත් සැපයුමට ගැලපෙන ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. දැනට ඉඩම් ඉල්ලුම තිබෙන්නේ බස්නාහිර, දකුණු, සබරගමු පළාත් වල පහත රට තෙත් කලාපයේ දිස්ත්‍රික්ක වලටයි. එයට හේතුව රැකියා තිබෙන්නේ ඒ ප්‍රදේශ වල වීමයි. ඒ නිසා, ඉඩම් වෙළඳපොළ සක්‍රිය කිරීමත්, අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් මගින් කොළඹ ත්‍රිකුණාමල තීරුවේ ආර්ථික කටයුතු උත්තේජනය කළ හැකිනම් එය නරක දෙයක් නෙමෙයි.

ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඇමරිකාවෙන් සල්ලි ඉල්ලා සිටිද්දී ඒ ව්‍යාපෘතිය නිසා රටේ  මිනිස්සුන්ට සෙත සැලසෙන්නේ කොහොමද කියන එකත් පෙන්වා දෙන්න වෙනවා. එසේ පෙන්වා දීමේදී ආණ්ඩුවේ පැත්තෙන් ඉඩම් වෙළඳපොල සක්‍රිය කිරීම ගැනත් කිවුවා වෙන්න පුළුවන්. සහස්‍ර අභියෝගිතා ආධාර මුදලට සෘජු සම්බන්ධයක් නැතත්, ලංකාවේ ඉඩම් වෙළඳපොල සක්‍රිය කිරීම සංවර්ධනයේ ඊළඟ අදියරට යන්න කළ යුතුම දෙයක්.

මේ කරුණු ගෝඨාභය පාර්ශ්වයේ වගකිව යුතු අය නොදැන ඉන්න හේතුවක් නැහැ. ඔවුන් මේ ගැන කතා නොකරන්නේ ඒ නිසයි. නමුත්, ගෝඨාභය රකින්න කඩුව ගත්තු වඳුරෝ මැස්සෝ එළවන්න ගිහින් ගෝඨාභයට දැනටමත් සෑහෙන්න තුවාළයි.

(Image: https://www.tamilnet.com/art.html?catid=13&artid=39405)

Monday, November 4, 2019

අක්කර දොළොස් ලක්ෂයක් ඇමරිකාවට!


පසුගිය දවසක මගේ උගත් මිත්‍රයෙක් ඔහුගේ වත්පොත් පිටුවේ ප්‍රසිද්ධ කරල තිබුණු බැනරයකට අනුව, ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා, අටමස්ථානය සීගිරියද ඇතුළුව ඉඩම් අක්කර මිලියන 1.2ක් ඇමරිකාවට විකිණීමේ ගිවිසුමකට සජිත් ප්‍රේමදාසගේද අනුමැතිය ලැබී තිබෙනවා. මේ කියන ගිවිසුම පෙන්වන්න කියා වෙනත් අයෙක් ඉල්ලා සිටි විට බැනරයේ තිබෙන කරුණු උපකල්පනයන් පමණක් බවත්, මේ ආකාරයට බැනරයක් දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ අදාළ ගිවිසුම ප්‍රසිද්ධ කරන මෙන් ආණ්ඩුවට බල කිරීම බවත් ඔහු කියනවා.

ලංකාවේ මුළු වර්ග ප්‍රමාණයම අක්කර මිලියන 16.2ක්. එයට අභ්‍යන්තර ජලාශ, වනාන්තර, ආර්ථික ප්‍රයෝජනයක් නැති ඉඩම් ආදියත් ඇතුළත්. එහෙම බැලුවහම අක්කර මිලියන 1.2ක් කියන්නේ රටෙන් විශාල කොටසක්. බැනරයේ ලකුණු කර තිබෙන ආකාරයටනම් මේ ප්‍රදේශය ඊටත් වඩා ගොඩක් විශාල රටෙන් තුනෙන් එකක වගේ කොටසක්.

බැනරයේ ඉහළ දකුණු කෙළවරේ තිබෙන ලාංඡනය අනුව, මේ කතා කරන්නේ සහශ්‍ර අභියෝගිතා ගිවිසුම ගැන බව පැහැදිලියි. ඔය කියන ගිවිසුම රහසිගත එකක් නෙමෙයි. මගේ මිතුරා අදාළ ප්‍රතිචාරය වත්පොතේ දමන විටත් මුදල් අමාත්‍යංශය විසින් ගිවිසුමේ පිටපතක් ප්‍රසිද්ධ කරලයි තිබුණේ. ඔය කියන විදිහට ඇමරිකාවට ඉඩම් විකුණන කතාවක් ගිවිසුමේ කොතැනකවත් නැහැ.

රටේ ඉඩම්, විශේෂයෙන්ම සීගිරිය වගේ තැන්, විකුණන්න යන කතාවනම් විවිධ පුද්ගලයින් විසින් වරින් වර නැවත නැවත විකුණන කතාවක්. කාලෙකට ඉස්සර නන්දා මාලිනී එක්ක එකතු වෙලා සුනිල් ආරියරත්නත් ඔය කතාව සෑහෙන ගාණකට විකුණ ගත්තනේ. තරුණ කාලය ගෙවෙනකම් සීගිරි නගින්න බැරි වුන, සීගිරිය එක්ක ඇරියස් තියෙන අය සීගිරිය විකුණන කතාව විකුණන වෙළෙන්දන් අතර ඉස්සරහින්ම ඉන්නවා. ඔය වගේ කතා මිල දී ගන්න පාරිභෝගිකයෝ ඉන්න තුරු කතා විකුණන අයට වෙළඳපොළක් තියෙනවා.

රනිල් වික්‍රමසිංහ චරිතය හංවඩු ගහලා තියෙන්නේ හැම දේම විකුණන වික්කමසිංහ කෙනෙක් විදිහටනේ. හැබැයි ඔය මනුස්සයා විකුණපු කෙහෙම්මලක්නම් නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ අඩු ගානේ තමන්ගේ ප්‍රතිපත්ති හෝ කළ වැඩ ටිකවත් විකුණගන්න අසමත් මනුස්සයෙක්. ඒ වුනත්, වික්කමසිංහ නමනම් වෙළඳපොළේ විකිණෙනවා.

දැන් මේ කියන සහශ්‍ර අභියෝගිතා ගිවිසුමෙන් ඇමරිකාවට ඉඩම් විකිණීමක් වෙන්නේ නැත්නම් එයින් වෙන්නේ කුමක්ද?

මේ ගිවිසුම යටතේ ලංකාවට ඇමරිකානු රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් ලැබෙනවා. එය ආපසු ගෙවිය යුතු ණය මුදලක් නෙමෙයි.

ඇමරිකාව ඔය විදිහට ලංකාවට සල්ලි දෙන්නේ ඇයි?

ඇමරිකාව විසින් අඩු ආදායම්ලාභී රටවලට ආධාර දීම අද ඊයේ කළ දෙයක් නෙමෙයි. දශක ගණනාවක් තිස්සේම විවිධ ව්‍යාපෘති යටතේ ඇමරිකාව විසින් අඩු ආදායම්ලාභී රටවලට මෙවැනි ආධාර ලබා දී තිබෙනවා. ඇමරිකාව වගේම වෙනත් බටහිර රටවලුත්, සෝවියට් දේශය වැනි පැරණි සමාජවාදී රටවලුත් වෙනත් රටවලට ආධාර දීම කාලයක් තිස්සේ කළ දෙයක්. ලෝකයේ ඇතැම් රටවල් දියුණු නොවී තිබෙන්නේ ප්‍රාග්ධනය හිඟකම නිසා බව පසුගිය සියවස තුළ ප්‍රචලිතව තිබුණු අදහසක්. ඒ අනුව, ධනවත් රටවල් දුප්පත් රටවල් වලට ආධාර කිරීම මඟින් ලෝකයේ රටවල් අතර තිබෙන ආදායම් විෂමතා තුරන් වනු ඇතැයි ඒ කාලයේ බොහෝ දෙනෙක් විශ්වාස කළා. ඇමරිකාවේ යූඑස්ඒඩ් වැනි ආයතන පිහිටවනු ලැබුවේ මේ ආකාරයට විදේශ ආධාර ලබා දීම කළමනාකරණය කරන්නයි.

සහශ්‍ර අභියෝගිතා සමාගම කියන්නේ මොකක්ද?

ප්‍රාග්ධන ආධාර දුන් පමණින් දුප්පත් රටවල් දියුණු නොවන බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ නිසා, අඩු ආදායම්ලාභී රටවල ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම පිණිස ආධාර ලබා දීමේදී අලුත්, වෙනස් ආකෘතියක් අනුගමනය කළ යුතු බව මේ සහස්‍රය මුලදී ඇමරිකාව තීරණය කළා. මේ අනුව, 2004දී ඇමරිකානු ක්‍රොන්ග්‍රසය විසින් සහශ්‍ර අභියෝගිතා සමාගම නම් වූ ඇමරිකානු රජයට අයත් අලුත් ආයතනයක් ස්ථාපිත කළා. ඒ වගේම, මේ වෙනුවෙන් 2003දී සහස්‍ර අභියෝගතා පණත ඇමරිකානු කොංග්‍රසයේ සම්මත කෙරුණා. සහස්‍ර අභියෝගතා පණත යටතේ සහස්‍ර අභියෝගතා සමාගම හරහා ආධාර ලබා දීම සිදු වන්නේ මූලධර්ම තුනක් මතයි.
- ආධාර ලබාදෙනු පිණිස රටවල් හා ව්‍යාපෘති තරඟකාරී පදනමකින් තෝරා ගැනීම
- ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ රටවලට ඉඩ හැරීම
- ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අදාළ රටවලටම භාර දීම

අනෙක් බොහෝ රටවල් ණය ලබා දීමේදී පවා ඒ ණය මුදල් යෙදවිය යුතු අංශ හා ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව කොන්දේසි දමා ණය සේ ලබාදුන් මුදල් නැවත තමන්ගේ රටටම ඇද ගන්නා පසුබිමක මෙහි වෙනස පැහැදිලි විය යුතුයි.

ආධාර ලබාදෙනු පිණිස රටවල් තෝරා ගන්නා පදනම කුමක්ද?

ඇමරිකාවේ රාජ්‍ය මුදල් වැය කරන්නේ නිශ්චිත හා පාරදෘශ්‍ය ක්‍රමවේදයක් අනුවයි. කිසියම් රටක් හා අදාළ වාස්තවික නිර්ණායක දෙස බලා මිස ජනාධිපති හෝ අගමැති කවුද, එසේ නැත්නම් බලයේ සිටින දේශපාලන පක්ෂය කවුද වැනි කරුණු මත රටකට ආධාර දීම ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය නෙමෙයි. එහෙත්, එවැනි කරුණු වක්‍ර අයුරකින් සලකා බලනු ලබන වාස්තවික නිර්ණායක කෙරෙහි බලපෑමක් කළ හැකියි. මේ ආධාර ලංකාවට ලැබෙන්නේ රනිල් නිසා හෝ යහපාලන ආණ්ඩුව නිසා නෙමෙයි. ආධාර ලබා දෙන්නේ රටේ ජනතාව වෙනුවෙන්.

රටවල් තෝරා ගන්නා නිර්ණායක මේවායි.

1. පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් විය යුතුයි.
2. ඇමරිකාව විසින් සම්බාධක පනවා ඇති රටක් නොවිය යුතුයි.
3. පරීක්ෂා කරන විෂයයන් 20කින් අනිවාර්ය විෂයයන් ඇතුළුව අවම වශයෙන් විෂයයන් 10කට සමත් ලකුණු ලබාගත යුතුයි.

පසුගිය වසරේදී මේ කාර්යය හා අදාළව පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් සේ සැලකුණේ සලකා බලන අවස්ථාවේදී (මා හිතන පරිදි 2017 ඒක පුද්ගල ආදායම අනුව) ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,875- 3,895 අතර වූ රටවල්. ඒ වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3,840ක් වූ නිසා ලංකාව නූලෙන් මේ රටවල් ලැයිස්තුවට අයිති වුනා. එහෙත්, මේ වන විට ලංකාව ආදායම පහළ මැදි ආදායම් මට්ටම ඉක්මවා ඉහළ මැදි ආදායම් මට්ටමට ගොස් ඇති නිසා 2020 වසරේදී සලකා බලන රටවල් ලැයිස්තුවේ ලංකාව නැහැ. යම් හෙයකින් මේ වෙලාවේ ගිවිසුම අත්සන් කිරීම කල් දැමුවොත්, මෙම ආධාරය ලංකාවට නැවත කිසිදා නොලැබී යා හැකියි.

පසුගිය 2019 වසරේදී සහශ්‍ර අභියෝගතා ආධාර ලබා දීම සඳහා සලකා බලන අවස්ථාවේදී ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,875- 3,895 අතර වූ රටවල් 40ක් තිබුණත්, ඒ අතරින් රටවල් 10කට විවිධ සම්බාධක පනවා තිබුණු නිසා එම රටවල් තරඟයෙන් ඉවත් කෙරුණා. එවිට ඉතිරි වුණේ රටවල් 30ක් පමණයි. ඒ රටවල් අතරින් ප්‍රමුඛයින් තෝරා ගැනුණේ මා පෙර කී නිර්ණායක 20 මතයි. මේ නිර්ණායක 20 ආර්ථික නිදහස, පාලනයේ නීතිගරුක බව හා මානව සංවර්ධනය ලෙස කාණ්ඩ තුනක් යටතේ වර්ග කර තිබෙනවා. නිර්ණායක මේවායි.

කාණ්ඩය I : ආර්ථික නිදහස
1. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති 
2. උද්ධමනය
3. නියාමනයේ ගුණාත්මක භාවය
4. වෙළඳ ප්‍රතිපත්ති
5. ආර්ථික කටයුතු වලදී ස්ත්‍රී සහභාගීත්වය 
6. ඉඩම් අයිතිය හා අත්පත් කරගැනීමේ හැකියාව 
7. ණය ලබා ගැනීමේ පහසුව
8. අලුත් ව්‍යාපාර ආරම්භ වීම

කාණ්ඩය II : පාලනයේ නීතිගරුක බව
9. දේශපාලන අයිතිවාසිකම්
10. සිවිල් නිදහස
11. දූෂණ පාලනය කිරීම
12. රජයේ ඵලදායීතාව
13. නීතියේ ආධිපත්‍යය
14. තොරතුරු දැනගැනීමේ නිදහස 

කාණ්ඩය III : මානව සංවර්ධනය
15. සෞඛ්‍ය වෙනුවෙන් පිරිවැය 
16. මූලික අධ්‍යාපනය වෙනුවෙන් පිරිවැය 
17. ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම
18. ප්‍රතිශක්තිකරණ අනුපාතය
19. ගැහැණු ළමුන්ගේ ද්වීතියික අධ්‍යාපනය ලැබීමේ අනුපාතය
20. ළමා සෞඛ්‍යය

දැන් මේ විභාගය සමත් වෙන්නනම් පහත අවශ්‍යතා සපුරා තිබිය යුතුයි.
- අවම වශයෙන් විෂයයන් 10ක් සමත් විය යුතුයි
- සෑම කාණ්ඩයකින්ම අවම වශයෙන් එක් විෂයක් සමත් විය යුතුයි
- දේශපාලන අයිතිවාසිකම් හා සිවිල් නිදහස යන විෂයයන් දෙකෙන් එකක් සමත් විය යුතුයි
- දූෂණ පාලනය කිරීම විෂය අනිවාර්යයෙන් සමත් විය යුතුයි

ලංකාව අනිවාර්යය විෂයයන් ඇතුළුව විෂයයන් 13ක් සමත් වී මේ අවශ්‍යතා සම්පූර්ණ කර තිබෙනවා. ප්‍රතිශක්තිකරණ අනුපාතය හා ළමා සෞඛ්‍යය විෂයයන්ට විශිෂ්ඨ සාමාර්ථ ලබා ඉහළින්ම සමත් වී තිබෙනවා. ආර්ථික කටයුතු වලදී ස්ත්‍රී සහභාගීත්වය විෂයය අසමත් වී ඇතත් ඒ යාන්තමින්. ලකුණු අඩුවෙන්ම ලබා තියෙන්නේ මූලික අධ්‍යාපනය වෙනුවෙන් පිරිවැය, සෞඛ්‍ය වෙනුවෙන් පිරිවැය, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හා ඉඩම් අයිතිය හා අත්පත් කරගැනීමේ හැකියාව විෂයයන්ටයි. රතු පාට අකුරින් තිබෙන්නේ අසමත් වූ විෂයයන්.

මේ නිර්ණායක හරහා අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් වියදම් වැඩි කිරීමටත් ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමටත් රජයට බල කෙරෙන බව පැහැදිලි විය යුතුයි. සමහර අය කියන්නේනම් ඕකේ අනිත් පැත්තයි.

ආධාර ලබාදෙනු පිණිස ව්‍යාපෘති තෝරා ගන්නා පදනම කුමක්ද?

සහශ්‍ර අභියෝගිතා සමාගම විසින් ආධාර ලබා දීම පිළිබඳව සලකා බැලෙන රටවල් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමෙන් පසුව අදාළ රටවලට ආධාර ඉල්ලා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ හැකියි. ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීමේදී සලකා බලන ප්‍රධාන නිර්ණායකයක් වන්නේ අදාළ ව්‍යාපෘති හේතුවෙන් රටේ කොපමණ පිරිසකට සෙත සැලසෙනවද කියන එකයි. එවැනි ව්‍යාපෘති හඳුනා ගැනීම සඳහා සහශ්‍ර අභියෝගිතා සමාගමත් උදවු කරනවා.

ලංකාවට ආධාර ලැබෙන්නේ කවර ව්‍යාපෘති වෙනුවෙන්ද?

ලංකාවේ රජය විසින් ව්‍යාපෘති දෙකක් සඳහා ඇමරිකන් ආධාර ඉල්ලා තිබෙනවා.
1. ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 350ක්
2. ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 67ක්

මෙම මුදල් සහශ්‍ර අභියෝගිතා සමාගම විසින් ආධාර සේ ලබා දීමට එකඟ වී ඇති අතර එයට අමතරව ශක්‍යතා අධ්‍යයන, ව්‍යාපෘති කළමනාකරණය, පුහුණු වැඩ සටහන්, ව්‍යාපෘති සැලසුම්, නිරීක්ෂණ කටයුතු හා පසු විපරම් කිරීම ආදිය වෙනුවෙන් වැය කිරීමට තවත් ඇමරිකන් ඩොලර් මිලියන 63ක මුදලක්ද සමඟ මුළු ආධාර මුදල ඇමරිකන් ඩොලර් මිලියන 480ක් වෙනවා.

ප්‍රවාහන ව්‍යාපෘතියෙන් මිලියන 7ක පිරිසකට සෙත සැලෙසෙන අතර ආයෝජනයේ ප්‍රතිලාභ අනුපාතය 19%ක් ලෙස ගණන් බලා තිබෙනවා. ඉඩම් ව්‍යාපෘතියෙන් මිලියන 5ක පිරිසකට සෙත සැලෙසෙන අතර ආයෝජනයේ ප්‍රතිලාභ අනුපාතය 26%ක්. ව්‍යාපෘති දෙකෙන්ම මිලියන 11.3ක පිරිසකට (ඇතැම් අයට ව්‍යාපෘති දෙකෙන්ම වාසි සැලසෙන නිසා) සෙත සැලසෙන අතර මේ පිරිස ලංකාවේ ජනගහණයෙන් 54%ක්. ඇමරිකානු රජය මේ ආධාරය අනුමත කර තිබෙන්නේ එපමණ පිරිසකට සෙත සැලසෙන නිසයි.

ව්‍යාපෘති දෙකම ලංකාවේ රජයට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති වීම නිසා නිසියාකාරයෙන් ක්‍රියාත්මක කළ නොහැකි වූ රටේ ජාතික භෞතික සැලැස්මේ කොටස්. එසේ නැතුව මේ ව්‍යාපෘති ඇමරිකානු රජයෙන් සැලසුම් කළ ව්‍යාපෘති නෙමෙයි.

ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ වෙන්නේ මොකක්ද?

මේ යටතේ අනු ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක වෙනවා.
- කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල මාර්ග තදබදය අවම කිරීමේ ව්‍යාපෘතිය. ඇස්තමේන්තුගත වියදම ඇමරිකන් ඩොලර් මිලියන 159.9ක්.
- කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමේ ව්‍යාපෘතිය. ඇස්තමේන්තුගත වියදම ඇමරිකන් ඩොලර් මිලියන 50ක්.
- රටේ මධ්‍යම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය. ඇස්තමේන්තුගත වියදම ඇමරිකන් ඩොලර් මිලියන 140.1ක්.

මාර්ග තදබදය අවම කරන්නේ කොහොමද?

මේ ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් දේවල් සිදු වෙනවා.
- කොළඹ හා තදාසන්න වාහන තදබදය ඉතා අධික මාර්ග අටක මං සන්ධි 132ක් රථවාහන ආලෝක සංඥා සහිතව වැඩි දියුණු කිරීම හා පාර මාරු වන ස්ථාන 50ක් අලුතින් ඉදි කිරීම.
- රථවාහන තදබද පිළිබඳ දත්ත එසැණින් ලබා ගෙන, අලුතින් ස්ථාපිත කරන ස්වයංක්‍රීය රථවාහන තදබද කළමනාකරණ මධ්‍යස්ථානයකදී විශ්ලේෂණය කර රථවාහන තදබදය අවම වන පරිදි ස්වයංක්‍රීය ලෙස රථවාහන සංඥා ආලෝක පුවරු හැසිරවීම.
- සීසීටීවී කැමරා සහ ජීපීඑස් උපකරණ යොදා ගනිමින් හදිසි මාර්ග තදබද අවස්ථා වලදී ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදයක් ඇති කිරීම
- ඉහත පද්ධති නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය.

පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්නේ කොහොමද?

මෙහිදී මූලික වශයෙන් අවධානය යෙදවෙන්නේ බස් සේවය නවීකරණය කිරීමටයි. ඒ යටතේ,
- ජීපීඑස් තාක්ෂනය සහිතව බස් රථ නවීකරණය කිරීම,
- බස් රථ තුළ මගීන්ගේ, විශේෂයෙන්ම කාන්තාවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම,
- සීසීටීවී කැමරා යොදාගනිමින් නිරීක්ෂනය කිරීම,
- ප්‍රමුඛතා මං තීරු ඇති කිරීම,
- මුදල් ගෙවනු වෙනුවට කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දීම, ඇතුළු තවත් කටයුතු හරහා පොදු ප්‍රවාහන සේවා වඩා ජනප්‍රිය කර රථවාහන තදබදයට හේතුවන පෞද්ගලික මෝටර් රථ භාවිතය අඩු කිරීම අපේක්ෂාවයි.

මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වෙන්නේ මොකක්ද?

මේ යටතේ පදික මං තීරු ආදියද සහිතව පහත මාර්ග සංවර්ධනය කෙරෙනවා.
- අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා කිලෝමීටර 40ක්
- බෙරගල සිට වැල්ලවාය දක්වා කිලෝමීටර 31ක්
- දඹුල්ල සිට නාඋල දක්වා කිලෝමීටර 21ක්
- දඹුල්ල ආසන්නව මධ්‍යම හා උතුරුමැද පළාත් සීමාවේ කිලෝමීටර 18ක කොටසක්
- රත්නපුර සිට පැල්මඩුල්ල දක්වා කිලෝමීටර 22ක්

ඉඩම් ව්‍යාපෘතිය යටතේ වෙන්නේ මොනවාද?

මේ යටතේ අනු ව්‍යාපෘති පහක් තිබෙනවා.
1. ලංකාවෙන් 28%ක් ආවරණය වන දිස්ත්‍රික් 7ක ඇති ඉඩම් වල සිතියම් පරිගණකගත කිරීම - ඩොලර් මිලියන 23.4ක්.
2. ඉඩම් හිමිකම් ලේඛණ (ඔප්පු) ස්කෑන් කර පරිගණකගත කිරීම - ඩොලර් මිලියන 11.4ක්.
3. ඉඩම් වල වටිනාකම තක්සේරු කිරීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම - ඩොලර් මිලියන 6.5ක්.
4. රජයට අර්ධ අයිතියක් ඇති පුද්ගලයින් සතු ඉඩම් වල අයිතිය අදාළ පුද්ගලයින්ට ලබා දීම - ඩොලර් මිලියන 19.3ක්.
5. ඉඩම් ප්‍රතිපත්ති පිළිබඳ පර්යේෂණායතනයක් ඇති කිරීම - ඩොලර් මිලියන 6.7ක්.

මා හිතන හැටියට, ඉහත අනු ව්‍යාපෘති අතරින් බොහෝ දෙනෙකු විසින් විවේචනය කරන්නේ පළමු හා සිවුවන අනු ව්‍යාපෘති දෙකයි.

ඉඩම් වල සිතියම් මෙන්ම ඔප්පුද පරිගණකගත කිරීම කළ යුතුම දෙයක්. පරණ කඩදාසි ඔප්පු හා සිතියම් සමඟ ඉදිරියට යාමේ අකාර්යක්ෂම බව ගැන කතාකරන්න කාලය යොදවන එකේත් තේරුමක් නැහැ. මේ කටයුතු දිවයින පුරාම සිදු විය යුතුයි. දැනට මෙය දිස්ත්‍රික් හතකට සීමා කර තිබෙන්නේ රට පුරාම මේ කටයුතු ක්‍රියාත්මක කරන්න තරම් මුදල් ප්‍රතිපාදන නැති නිසයි.

මුඩුබිම් පණත යටතේ, කිසිවෙකුට ඉංග්‍රීසි ක්‍රමයට හිමිකම් තහවුරු කළ නොහැකි වූ ඉඩම් සියල්ල රජයේ ඉඩම් බවට පත් වුනා. ඉන් පසු මේ ඉඩම් වරින් වර වගා කටයුතු හෝ වෙනත් කටයුතු වෙනුවෙන් පුරවැසියන්ට ලැබුණා. එහෙත්, ඒ විදිහට ලැබුණු ඉඩම් පෞද්ගලික ඉඩම් වුනේ නැහැ.

මෙවැනි ඉඩම් මුලින්ම ක්‍රවුන් ග්‍රාන්ට් ඉඩම් ලෙසත්, ඉන්පසු එල්ඩීඕ (ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන්) ඉඩම් ආදී ලෙසත් විවිධ නම් වලින් හැඳින්වුනා. ඉඩම් හිමියන්ට රජයෙන් ලැබුණු බලපත්‍රයක් මිස පූර්ණ හිමිකමක් තිබුණේ නැහැ. පොළොවෙන් යට අයිතිය තිබුණේ රජයට. මේ ඉඩම් කොටස් කිරීමට හා විකිණීමට හැකියාවක් තිබුණේ නැහැ. පවුලේ අයෙකුට පැවරීමට පමණක් හැකිකම තිබුණා. ඒ වගේම බැංකුවට තබා ණයක් ගන්න පුළුවන් කම තිබුණේ නැහැ. විවිධ ආණ්ඩු  යටතේ ස්වර්ණභූමි, ජයභූමි, රත්නභූමි, රන්බිම ආදී වශයෙන් ඔප්පු ප්‍රදානය කෙරෙද්දී මේ සීමාවන් ටිකින් ටික ලිහිල් වුනත් මුළුමනින්ම නැති වුනේ නැහැ.

ඉහත කී ආකාරයේ හිමිකමක් තිබෙන අයෙකුට ඉඩම අවශ්‍ය පරිදි කැබැලි කළ නොහැකි නිසා දරුවන් අතර ඉඩම බෙදා දීම අසීරුයි. ඉඩම විකුණා මුදල් බෙදා දිය හැක්කේ දරුවන්ගෙන් අයෙක් එය මිල දී ගන්න කැමැතිනම් පමණයි. මිල දී ගැනීමක් කියා කිවුවත් ගනුදෙනුව සිදු කරන්න වෙන්නේ අත යටින්. නීත්‍යානුකූලව සිදු වන්නේ පැවරුමක්. ඒ නිසා, ඉඩම එහි වටිනාකමට විකිණෙන්නේ නැහැ. ඉඩම් ගනුදෙනුවෙන් රජයට බදු මුදලක් ලැබෙන්නෙත් නැහැ. ඉඩම පැවරිය හැක්කේ පවුලේ අයෙකුට පමණක් වුවත් බොහෝ විට මොකක් හෝ වංගුවක් දමා ඉඩම පිටට විකුණන එක දුලබ දෙයක් නෙමෙයි.

රජයට අයත් හැම ඉඩමක්ම මේ වර්ගයේ ඉඩම් නෙමෙයි. උදාහරණ විදිහට මාර්ග රක්ෂිත, දුම්රිය මාර්ග රක්ෂිත, ඇළ රක්ෂිත, ජලපෝෂක ආදී ලෙස වෙන් කළ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. එහෙත්, මේ ඉඩම් බොහොමයක්ද මේ වන විට කවුරු හෝ විසින් අල්ලාගෙන ස්ථිර ගොඩනැගිලි ඉදි කරලා. මගේ ලංකාවේ ගෙදර කිට්ටුව ඇළ රක්ෂිතයක මේ විදිහට අනවසරයෙන් එක් අයෙක් මුලින් හදපු ගෙයක් දැන් ජනපදයක් වෙලා. ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ උදවුවෙන් මුලින් එක ගෙදරකට විදුලි බලය ලබාගත්තාට පසුව අනෙක් ගෙවල් වලටත් විදුලි බලය සැපයීමට විදුලි බල මණ්ඩලයට සිදු වී තිබෙනවා. මේ ඉඩම් වලට බදු ඔප්පු හෝ නැහැ. නමුත්, ගෙවල් සහිත ඉඩම් කැබලි වෙනත් අයට විකිණීම පවා සිදු වෙනවා. ඔප්පුවක් නැතත් ගන්න අයත් ඉන්නවා. ඒ නැවත කාට හෝ විකුණන්න පුළුවන් බව දන්නා නිසයි. මා දන්නා තවත් පැති වල බලය ඇති ඇතැම් අය හොර ඔප්පු හදාගෙන ඉඩම් විකුණනවා. කිහිප වරක් ඉඩමක් විකිණූ පසු, පසුව මිල දී ගන්නා අයෙකුට ඉඩමේ අයිතියේ සම්භවය ගැන සැක හිතෙන්නේ නැහැ. ඉඩම් හිමිකම් හා සිතියම් ලේඛනගත වී ඇත්නම් මෙවැනි වංචා කරන්න අමාරුයි. ඒ වගේම, බාග අයිතියක් ඇති ඉඩම් අත යටින් හුවමාරු වීම ඉතා අකාර්යක්ෂමයි.

මේ දෙආකාරයේම ඉඩම් වල නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ රජයට වුවත්, කවුරු හෝ පවුලක් ස්ථිර ගෙයක් හදාගෙන කාලයක් පදිංචි වී සිටින තැනකින් ඒ අයව එළියට ඇදලා දාන එක සිදු නොවන දෙයක්. එවැනි දේ කර දේශපාලනිකව අප්‍රසාදයට පත් වෙන්න කිසිදු ආණ්ඩුවක් කැමති නැහැ.

තෝරාගෙන තිබෙන දිස්ත්‍රික් හතේ හෝ රජයට නීත්‍යානුකූල අයිතිය තිබෙන ඉඩම් නැවත මැන, සිතියම් පරිගණක ගත කළොත් හා එසේ කරන අතරතුර ඉඩමේ දැන් තත්ත්වය ගැන දත්ත එකතු කර ගත්තොත් රජයට අයිති දැනට නිදහස්ව තිබෙන ඉඩම් ගැන කිසියම් අදහසක් ගත හැකියි. ඉන් පසුව, අවශ්‍යනම් ආර්ථික කටයුත්තක් වෙනුවෙන් ඒ ඉඩම් යොදා ගත හැකියි. ආණ්ඩුව තීරණය කරනවානම් ඇමරිකාවට විකුණන්න වුනත් පුළුවන්. ඒ වගේම, කවුරු හෝ ස්ථිර ඉදිකිරීම් කර ඇති ඉඩම් අවශ්‍යනම් ඒ අයටම ප්‍රදානය කළ හැකියි. එවිට ඒ අයට ඒ ඉඩම් ඇමරිකාවට හෝ වෙනත් අයෙකුට විකුණන්න හෝ බැංකුවට උගස් කර ණයක් ගන්න පුළුවන්. කොහොම වුනත්, ඒ වැඩි වැඩ කිසිවක් සහශ්‍ර අභියෝගිතා ගිවිසුමේ නැහැ. ගිවිසුම අනුව සිදු වන්නේ ඉඩම් පිළිබඳ තොරතුරු පරිගණකගත කිරීම පමණයි.

ගිවිසුමේ කොන්දේසි මොනවාද?

ගිවිසුමේ මුලින්ම විශේෂ කොන්දේසි හතරක් තිබෙනවා.
1. මේ මුදල් හමුදා, පොලීසි, නිල නොවන හමුදා ආදිය පුහුණු කිරීම වෙනුවෙන් යොදාගත නොහැකියි.
2. මේ මුදල් ඇමරිකාවේ රැකියා හෝ නිෂ්පාදිතය විශාල වශයෙන් අඩු කෙරෙන කටයුත්තක් සඳහා යොදාගත නොහැකියි.
3. පරිසරයට, මහජන සෞඛ්‍යයට හෝ මහජන ආරක්ෂාවට තර්ජනයක් වන කටයුත්තක් වෙනුවෙන් මේ මුදල් යෙදවිය නොහැකියි.
4. ගබ්සා කිරීමට හෝ ගබ්සා වලට අනුබල දීමට හෝ බලහත්කාරයෙන් හෝ මුදල් දී වන්ධ්‍යාකරණය කිරීමට මේ මුදල් යෙදවිය නොහැකියි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සහශ්‍ර අභියෝගිතා සමාගම නමින් සමාගමක් පිහිටුවිය යුතුයි. නමුත්, මේ සමාගම ඇමරිකානු සමාගමක් නෙමෙයි. එහි අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය සමන්විත වන්නේ පහත අයගෙන්.

1. ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්
2. අගමැතිවරයාගේ නියෝජිතයෙක්
3. මුදල් අමාත්‍යාංශයේ ලේකම්
4. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්
5. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්
6. මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
7. අධිවේගී මාර්ග, මාර්ග සංවර්ධන හා ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
8. වනිතා හා ළමා කටයුතු හා වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
9. පෞද්ගලික අංශයේ නියෝජිතයෙක්
10. සිවිල් සමාජ නියෝජිතයින් දෙදෙනෙක්

කාලයක් තිස්සේ ඉතුරු කරගත්ත මුදල් ටිකක් යොදවලා සීගිරියෙන් කෑල්ලක් ගන්න කියලා හිතලා හොයලා බැලුවත් ඔය තියෙන දේවල් වලට වඩා වැඩි දෙයක්නම් තාම හොයා ගන්න බැරි වුනා.

පසු සටහන: අමතර ප්‍රශ්න වලට පිළිතුරු පහත ලිපියේ තිබෙනවා.

දොළොස් ලක්ෂයක් නෙමෙයි විසිනව ලක්ෂයක්!



Saturday, November 2, 2019

ජනාධිපති විධායක බලය අපහරණය කළොත්?


සමහර වෙලාවට ඇමරිකාවේ වෙන දේවල් ගැන මම දැනගන්නේ ලංකාවේ පත්තර වලින්. සාමාන්‍යයෙන් ලංකාවේ පුවත්පත් ඇමරිකාවේ සිදුවන දේවල් පළ කරන්න විශාල උනන්දුවක් තියෙන්නේ. එයට හේතුව ලංකාවේ පුවත්පත් කියවන පාඨකයින් අතර ඇමරිකාවේ සිදුවන දේවල් ගැන දැන ගන්න විශාල උනන්දුවක් තිබීමයි.

මේ දවස් වල මේ සාමාන්‍ය තත්ත්වයේ ලොකු වෙනසක් පේන්න තියෙනවා. ලංකාවේ ජනාධිපතිවරණ උණුසුම නිසා මේ දවස් වල ලංකාවේ මිනිස්සුන්ට ලංකාවෙන් පිට දේවල් ගැන හොයන්න ලොකු උනන්දුවක් නැහැ. ඒ නිසා, ඇමරිකාවේ සිදුවන දේවල් වලට වෙන දවස් වල වගේ ලංකාවේ මාධ්‍ය වල ලොකු බරක් වැටෙන්නේ නැහැ. සාමාන්‍ය දවසකනම් පිටු පුරවන සමහර පුවත් වාර්තා වෙන්නෙත් නැහැ.

ඇමරිකාව ඇතුළේනම් දේශපාලනය ගැන උනන්දුවක් තියෙන හැමෝම මේ දවස් වල කතා කරන්නේ.... ලංකාවේ ජනාධිපතිවරණය ගැනනම් නෙමෙයි. ඇමරිකන් පුරවැසියෙක්ව හිටි අයෙක් ලංකාවේ ජනාධිපති වෙයිද කියන එකත් නෙමෙයි.  ලංකාවේ ජනාධිපතිවරණය ගැන ලංකාවෙන් ආ සංක්‍රමණිකයින් හැර ඇමරිකාවේ අනෙක් අය දන්නෙවත් නැහැ. ගෝඨාභය කියන පුද්ගලයා ගැන තත්ත්වයත් ඕකම තමයි. මේ කරුණ විශේෂයෙන් ලියන්න හිතුවේ ඇමරිකාවේ පුවත්පත් වල ගෝඨාභය ගැන ප්‍රශංසාත්මක ලිපි යනව කියන්නේ ඇත්තද කියා අපේ වත්පොත් මිතුරෙක් ටික දවසකට පෙර අසා තිබෙනු දැක්ක නිසයි. ඇමරිකාවේ මුද්‍රිත පුවත්පත් කියන්නේ කොහොමටත් මියගිය මාධ්‍යයක්. නිකම් ලැබෙන ප්‍රාදේශීය පුවත්පතක් හැර වෙන පත්තරයක්නම් දැකපු කාලයක් මතකත් නැහැ.

එහෙමනම් ඇමරිකාවේ ගොඩක් අය මේ දවස් වල කතා කරන්නේ අර මොකක්ද ගිවිසුමෙන් ලංකාවෙන් බාගයක් ඇමරිකාවට ලියා දෙන්න යන එක ගැනද? එහෙම නැත්නම්, ඔය කියන ගිවිසුම අත්සන් කළාම ලංකාවේ ඉඩම් කුණු කොල්ලෙට ගන්න එක ගැනද?

ඇමරිකාව ඇතුළේනම් දේශපාලනය ගැන උනන්දුවක් තියෙන හැමෝම මේ දවස් වල කතා කරන්නේ ඔය එකක්වත් ගැන නෙමෙයි. ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ගැනයි. මේ හා අදාළ තීරණාත්මක සිදුවීමක් පසුගිය බ්‍රහස්පතින්දා සිදු වුනා. ඒ මේ දෝෂාභියෝග විභාගය ඉදිරියට ගෙන යාම පිළිබඳව ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමයි. එහිදී 232-196 ලෙස අදාළ යෝජනාව සම්මත වුනා. ඡන්දය පැවැත්වුණේ දෝෂාභියෝග යෝජනාව පිළිබඳව නෙමෙයි. එය ඉදිරි කාලයේදී සිදුවීමට නියමිත දෙයක්. මෙහිදී සම්මත කර ගැනුනේ ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කරන ආකාරය පිළිබඳ රීති මාලාවයි.

නොදන්නා අය වෙනුවෙන් මේ කතාවේ පසුබිම කෙටියෙන් කිවුවොත්, මේ චෝදනාවට පදනම් වෙන්නේ පසුගිය ජූලි 25 වන දින ජනාධිපති ට්‍රම්ප් හා යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර සිදු වූ දුරකථන සාකච්ඡාවක්. පසුගිය මැයි 20 වනදා යුක්රේනයේ හයවන ජනාධිපති ලෙස දිවුරුම් දුන් සෙලෙන්ස්කි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගන්නා තුරුම විකටයෙක්, නළුවෙක් හා තිර රචකයෙක්ව සිටි, දේශපාලනයේ පළපුරුද්දක් නොතිබුණු අයෙක්. එහෙත්, පසුගිය යුක්රේන ජනාධිපතිවරණයේදී සුවිශේෂී පෙරළියක් කරමින් හිටපු ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ, හිටපු අගමැතිවරියක වූ ජුලියා ටිමොෂෙන්කෝ හා හිටපු නියෝජ්‍ය අගමැතිවරයෙකු වූ යූරි බොයිකෝ ඇතුළු අපේක්ෂයින් 39 දෙනෙකු අතරින් මුල් තැනට පැමිණීමට ඔහු සමත් වුනා.

යුක්රේනයේ හා ලංකාවේ ජනාධිපතිවරණ ක්‍රම අතර සැලකිය යුතු සමානකම් තිබෙනවා. ලංකාවේ මෙන්ම යුක්රේනයේද කිසිදු තරඟකරුවෙකු පළමු වටයෙන් 50% ඉක්මවා ඡන්ද ලබා නොගතහොත්, ජනාධිපති ධුරයට පත් වන්නේ පළමු වටයේදී මුල් තැනට ආ අපේක්ෂයින් දෙදෙනා අතරින් වැඩිම දෙනෙකුගේ වැඩි කැමැත්ත ලබන අපේක්ෂකයායි. එහෙත්, මෙසේ වැඩිම දෙනෙකුගේ වැඩි කැමැත්ත ලබන අපේක්ෂකයා තෝරාගන්නා ආකාරය ලංකාවේ ක්‍රමයම නෙමෙයි. ලංකාවේදීනම් මෙවැනි අවස්ථාවක කරන්නේ මුල් තැනට ආ දෙදෙනා වෙනුවෙන් පළමු කැමැත්ත නොදුන් අයගේ දෙවන හා තෙවන මනාප පරීක්ෂා කර කිසියම් ඡන්දදායකයෙකු විසින් මේ පළමු අපේක්ෂකයින් දෙදෙනාගෙන් අයෙකුට දෙවනුව හෝ දෙවනුවද දෙදෙනාගෙන් අයෙකුට හෝ මනාප ලබා දී නැත්නම් තෙවනුව හෝ කැමැත්ත දක්වා ඇත්නම්, එවැනි ඡන්දද මුල් අපේක්ෂකයින්ගේ ඡන්ද වලට එකතු කිරීමයි. එහෙත්, යුක්රේනයේ මෙවැනි දෙවැනි මනාප දීමක් නැති නිසා, මුල් වටයේදී කිසිවෙකු 50% ලබා නැත්නම් දෙවන වටයේදී ඉතිරි අපේක්ෂකයින් තරඟයෙන් ඉවත් කර මුල් දෙදෙනා අතර දෙවන ජනාධිපතිවරණ ඡන්ද වටයක් පවත්වනවා.

පසුගිය පසුගිය මාර්තු 31 දින පැවති යුක්රේන ජනාධිපතිවරණයේ පළමු වටයේදීද පුමුඛ අපේක්ෂකයා වුනේ සෙලෙන්ස්කි වුවත් ඔහු විසින් ලබාගත්තේ 30.24% ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.  හිටපු ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ විසින් 15.95%ක්ද, හිටපු අගමැතිවරියක වූ ජුලියා ටිමොෂෙන්කෝ විසින් 13.40%ක්ද, හිටපු නියෝජ්‍ය අගමැතිවරයෙකු වූ යූරි බොයිකෝ විසින් 11.67%ක්ද ලබා ගනිද්දී ඉතිරි ඡන්ද අනෙකුත් අපේක්ෂකයින් අතර බෙදී ගියා. මේ අනුව, දෙවන වටයේ තරඟය තිබුණේ සෙලෙන්ස්කි හා පොරොෂෙන්කෝ අතරයි. ලංකාවේ පාස්කු බෝම්බ පිපිරුණු පසුගිය අප්‍රේල් 21 වෙනිදා පැවැත්වුණු මේ දෙවන වටයෙන් ඡන්ද 73.22%ක් ලබා ගනිමින් සෙලෙන්ස්කි ජයගත්තා.

යුක්රේනයේ රුසියානු සංස්කෘතික ආධිපත්‍යයට එරෙහි කලාකරුවෙකු සේ මුලින් මතුවන සෙලෙන්සිකි රටේම ජනප්‍රිය චරිතයක් බවට පත් වන්නේ "ජනතා සේවකයා" දේශපාලන ප්‍රහසන කතා මාලාව හරහායි. 1+1 රූපවාහිණී නාලිකාව හරහා විකාශනය වූ මේ කතාමාලාවේ ප්‍රධාන චරිතය සෙලෙන්සිකි පෙනී සිටින වැසිලි හොලොබොරොද්කෝ  චරිතයයි. කතාව පටන් ගනිද්දී වැසිලි උසස් පෙළ පන්ති වල ඉතිහාස විෂය උගන්වන ගුරුවරයෙක්. යුක්රේනයේ පවතින දූෂණය ගැන වැසිලි විසින් කරන කතාවක් වීඩියෝ කරන ඔහුගේ සිසුවෙකු විසින් එය යූටියුබ් දැමීමෙන් පසුව වීඩියෝව වයිරල් වී වැසිලි චරිතය රටේම ජනප්‍රිය වෙනවා. මේ ජනප්‍රියත්වය කෙළවර වෙන්නේ අන්තිමේදී නොසිතූ විලස වැසිලි යුක්රේනයේ ජනාධිපති වීමෙනුයි. මේ ආකාරයට ජනතා සේවකයා කතා මාලාවේදී අහම්බෙන් යුක්රේන ජනාධිපති වන වැසිලිගේ චරිතය රඟ පෑ සෙලෙන්සිකිත් වැඩිකල් නොයා අනපේක්ෂිත ලෙස යුක්රේනයේ ජනාධිපති වෙනවා.

ජනතා සේවකයා කථාමාලාව නිපදවන්නේ ක්වල්තාල් 95 (95 කාර්තුව) නම් නිෂ්පාදන සමාගමයි. පසුව එම සමාගම විසින් ජනතා සේවකයා නමින්ම දේශපාලන පක්ෂයක්ද ලියාපදිංචි කරනවා. ඒ වෙලාවේදී ඔවුන් කියන්නේ ඒ වන විට රූපවාහිනී කතාමාලාව හේතුවෙන් ජනප්‍රිය වී තිබෙන මේ නම වෙනත් අයෙකු විසින් දේශපාලන අරමුණකින් යොදා ගැනීම වැළැක්වීමට මෙය කරන බවයි. සෙලෙන්සිකි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජය ගන්නේ මේ අලුත් පක්ෂයෙන්.

පසුගිය දෙසැම්බර් 31 වනදා ජනතා සේවකයා කතාංගය විකාශනය වීමෙන් අනතුරුව තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කරන සෙලෙන්ස්කි සම්ප්‍රදායික දේශපාලනඥයින් මෙන් රැස්වීම්, දේශපාලන සාකච්ඡා ආදියට බර තියන්නේ නැහැ. ඔහු ප්‍රචාරක කටයුතු කරන්නේ සමාජ මාධ්‍ය හරහායි. අනෙකුත් ප්‍රධාන අපේක්ෂකයින්ට මෙන් රට පුරා ව්‍යාප්ත වූ සංවිධාන ජාලයක් හෝ නැතුවයි ඔහු තරඟයට ඉදිරිපත් වන්නේ. ඒ අතරම ඔහු රඟපෑමද දිගටම කරනවා. බලයට පත් වීමෙන් පසුව ඔහුගේ ක්වර්තාල් 95 කණ්ඩායමේ ඇතැම් අය රජයේ වැදගත් තනතුරු වලට පත් කරනු ලැබ තිබෙනවා.

සෙලෙන්ස්කි ජනාධිපති ලෙස දිවුරුම් දුන් වහාම කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමයි. මැතිවරණය පැවැත්වෙන්න නියමිතව තිබුණේ ඔක්තෝබරයේ නිසා මේ තීරණයේ ව්‍යවස්ථානුකූල බව අභියෝගයට ලක් කෙරුණත් එහි වරදක් නැති බව අධිකරණය විසින් තීරණය කළා. මේ අනුව පසුගිය ජූනි 21 දින යුක්රේනයේ මහ මැතිවරණය පැවැත්වුනා.

යුක්රේන මැතිවරණ ක්‍රමය අනුව ආසන ක්‍රමයට මන්ත්‍රී වරුන් 225 දෙනෙකු හා සමානුපාතික ක්‍රමයට පක්ෂ ලැයිස්තු වලින් මන්ත්‍රී වරුන් 225 දෙනෙකු වශයෙන් මන්ත්‍රීවරු ගණන 450ක් වුවත්, මැතිවරණ ආසන 225න් 26ක් අයත් වන ක්‍රිමියානු කොටස  2014දී රුසියාව විසින් ඈඳා ගෙන තිබීම නිසා ඒ කොටසේ මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා, පිරවීමට හැකියාවක් තිබුණේ මන්ත්‍රී ධුර 424ක් පමණයි. එයින් 254ක්ම ලබාගත්තේ සෙලෙන්ස්කිගේ ජනතා සේවක පක්ෂයයි.

ජනාධිපති ට්‍රම්ප්ට දෝෂාභියෝග චෝදනාවකට මුහුණ දෙන්න සිදු වී තිබෙන්නේ ජනාධිපති සෙලෙන්ස්කිගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඔහුට සුබ පතමින් පටන්ගෙන පැය බාගයක් තිස්සේ සිදුකළ දුරකථන කතාබහ හේතුවෙනුයි. කතාබහ ආරම්භයේදීම සෙලෙන්සිකි විසින් කියනා ආකාරයට ඔහු ට්‍රම්ප්ව සලකන්නේ ගුරුවරයෙකු ලෙසයි. සිය මැතිවරණ ව්‍යාපාරයේදීද ට්‍රම්ප්ව අනුගමනය කළ බව සෙලෙන්ස්කි කියනවා. සෙලෙන්ස්කි තරම් ජනප්‍රිය වී නැතත් ට්‍රම්ප් කියන්නෙත් චිත්‍රපට වල රඟ පෑ නළුවෙක්.

ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් චෝදනා කරන්නේ මේ දුරකථන සාකච්ඡාවේදී යුක්රේනයට ඇමරිකාව විසින් දිගටම උදවු කරන්නනම් යුක්රේනය විසින් තමන්ටද උදවු කිහිපයක් කළ යුතු බව කියමින් ජනාධිපති ට්‍රම්ප් විසින් ජනාධිපති සෙලෙන්ස්කිට බලපෑම් කළ බවයි. මේ උදවු අතරින් එකක් 2020 ඇමරිකන් ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂයා වීමට සැලකිය යුතු ඉඩක් තිබෙන පසුගිය ඔබාමා ආණ්ඩුවේ උප ජනාධිපති වූ ජෝ බයිඩන් හා ඔහුගේ දෙවන පුත් හන්ටර් බයිඩන් හා සම්බන්ධ කරුණක්.

යුක්රේනයේ විශාලතම ස්වභාවික වායු නිෂ්පාදන සමාගම වන බරිස්මා හෝල්ඩින්ග්හි අධ්‍යක්ෂ්‍ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස  හන්ටර් බයිඩන් 2014 අප්‍රේල් සිට 2019 අප්‍රේල් මාසය දක්වා කටයුතු කළා. ඔහුව එම ධුරයට පත් කර ගැනුනේ 2014දී බරිස්මා සමාගමට මුදල් විශුද්ධකරනය කිරීම පිළිබඳ චෝදනා එල්ලවීමෙන් පසුව එම සමාගමේ ප්‍රතිරූපය නැවත ගොඩනංවා ගනු පිණිස ජාත්‍යන්තර අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයක් පත් කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මේ කාලය ඇතුළත (2017 ජනවාරි දක්වා) ජෝ බයිඩන් ඇමරිකාවේ උප ජනාධිපති ලෙස කටයුතු කළා.

ජෝ බයිඩන් ඇමරිකාවේ උප ජනාධිපති ලෙස කටයුතු කළ කාලයේදී යුක්රේනයේ දූෂණ විමර්ශන කටයුතු වලට බාධා කරන්නේයැයි චෝදනා කෙරුණු හිටපු නීතිපති වික්ටර් ශොකින්ව ධුරයෙන් පහ කරන මෙන් යුරෝපීය රටවල් බල කරද්දී ජෝ බයිඩන්ද එම රටවල් සමඟ එකතු වී යුක්රේනයට බලපෑම් කළා. 2016 මාර්තුවේදී යුක්රේන පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් වික්ටර් ශොකින්ව ධුරයෙන් පහ කළා. පසුගිය මාර්තු මාසයේදී වික්ටර් ශොකින් විසින් ප්‍රකාශ කළේ ඔහුව ධුරයෙන් පහ කිරීමට හේතු වුනේ බරිස්මා සමාගමේ සිදු වූ දූෂණ විමර්ශනය කිරීම වැළැක්වීමට බවයි. යුක්රේන හා ඇමරිකන් දෙපාර්ශ්වයෙන්ම කියන ආකාරයට වික්ටර් ශොකින්ව ධුරයෙන් පහ කරන අවස්ථාව වන විට බරිස්මා සමාගම හා අදාළ දූෂණ විමර්ශන සක්‍රියව සිදු වෙමින් පැවැතී නැහැ. එසේම, බරිස්මා සමාගමේ විමර්ශනයට ලක්වී තිබෙන දූෂණ සිදු වී ඇතැයි සැලකෙන්නේ හන්ටර් බයිඩන්ව අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයට පත් කර ගනු ලැබීමට පෙර කාලයේදීයි. ඒ හැර, හන්ටර් බයිඩන්ට කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී නැහැ.

ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ට අනුව ජනාධිපති ට්‍රම්ප් විසින් උත්සාහ දරා තිබෙන්නේ සිය විධායක බලය අපහරණය කරමින් 2020 ජනාධිපතිවරණයේදී ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වීමට ඉඩ තිබෙන ජෝ බයිඩන්ට දූෂණ චෝදනාවක් පටලැවීමට යුක්‍රේනයේ උදවු ලබාගනු පිණිස ජනාධිපති සෙලෙන්ස්කිට බලපෑම් කිරීමයි. ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරිය වන නැන්සි පෙලෝසි විසින් පසුගිය සැප්තැම්බර් 24 වෙනිදා ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග චෝදනා විමර්ශනයක් ආරම්භ කළා.

රිපබලිකන් පාක්ෂිකයින් විසින් චෝදනා කළේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීමක් නොපවත්වා මේ අයුරින් දෝෂාභියෝග චෝදනා විමර්ශනයක් ආරම්භ කිරීම නීත්‍යානුකූල නොවන බවයි. එහෙත්, ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් පෙන්වා දුන්නේ එවැනි ඡන්ද විමසීමක් පැවැත්වීම අවශ්‍ය නොවන බවයි.

කෙසේ වුවත්, පසුගිය බ්‍රහස්පතින්දා මේ හා අදාළ ඡන්ද විමසීමක් පැවැත්වුනා. ඒ, ඒ වන විටද සංවෘත ආකාරයෙන් සිදු වූ දෝෂාභියෝග චෝදනා විමර්ශනය මෙතැන් සිට විවෘත ආකාරයෙන් කිරීමට යෝජනා කරමිනුයි. යෝජනාව 232-196 ලෙස සම්මත වුනා. කතානායක නැන්සි පෙලෝසිද යෝජනාවට පක්ෂව ඡන්දය දීම විශේෂ කරුණක්. සාමාන්‍යයෙන් කතානායක වරයා සිය ඡන්දය පාවිච්චි කරන්නේ ඡන්ද සමාන වී ඇති අවස්ථාවක හෝ කිසියම් යෝජනාවක් සම්බන්ධව අවධාරනය කිරීම අවශ්‍ය වූ විටක පමණයි. මෙහිදී ඇය සිදු කළේ දෙවැන්නයි.

බොහෝ දෙනෙකුගේ කණස්සල්ලට හේතු වී තිබෙන්නේ මේ ඡන්ද විමසීමේදී අදාළ කරුණ ගැන අවධානය යොමු කරනවා වෙනුවට ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ලෙස බෙදී ඡන්දය භාවිතා කර තිබීමයි. මෙය ඇමරිකානුවන් ගෝත්‍රික වීම ප්‍රදර්ශනය කරන්නක් බව ඇතැමුන් පවසනවා. විභාගයෙන් අනතුරුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ දෝෂාභියෝග යෝජනාවක් කර සම්මත කර ගත්තත් එය නැවත සෙනෙට් සභාවේදී අනුමත විය යුතුයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයයේ බහුතර බලය තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයට වුවත් සෙනෙට් සභාවේ බහුතර බලය තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි. රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයින් සියලු දෙනාම වාගේ ජනාධිපති ට්‍රම්ප් සමඟ සිටින බව පෙනෙන නිසා දෝෂාභියෝගයකින් ඔහුව ඉවත් කරනු ලැබීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. නමුත්, දෝෂාභියෝග විමර්ශනය නිසා ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳ බොහෝ කරුණු ඉදිරියේදී අනාවරණය වෙයි.

(Image: Ownership is not known. Credit should go to the original owner.)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...