වෙබ් ලිපිනය:

Saturday, November 2, 2019

ජනාධිපති විධායක බලය අපහරණය කළොත්?


සමහර වෙලාවට ඇමරිකාවේ වෙන දේවල් ගැන මම දැනගන්නේ ලංකාවේ පත්තර වලින්. සාමාන්‍යයෙන් ලංකාවේ පුවත්පත් ඇමරිකාවේ සිදුවන දේවල් පළ කරන්න විශාල උනන්දුවක් තියෙන්නේ. එයට හේතුව ලංකාවේ පුවත්පත් කියවන පාඨකයින් අතර ඇමරිකාවේ සිදුවන දේවල් ගැන දැන ගන්න විශාල උනන්දුවක් තිබීමයි.

මේ දවස් වල මේ සාමාන්‍ය තත්ත්වයේ ලොකු වෙනසක් පේන්න තියෙනවා. ලංකාවේ ජනාධිපතිවරණ උණුසුම නිසා මේ දවස් වල ලංකාවේ මිනිස්සුන්ට ලංකාවෙන් පිට දේවල් ගැන හොයන්න ලොකු උනන්දුවක් නැහැ. ඒ නිසා, ඇමරිකාවේ සිදුවන දේවල් වලට වෙන දවස් වල වගේ ලංකාවේ මාධ්‍ය වල ලොකු බරක් වැටෙන්නේ නැහැ. සාමාන්‍ය දවසකනම් පිටු පුරවන සමහර පුවත් වාර්තා වෙන්නෙත් නැහැ.

ඇමරිකාව ඇතුළේනම් දේශපාලනය ගැන උනන්දුවක් තියෙන හැමෝම මේ දවස් වල කතා කරන්නේ.... ලංකාවේ ජනාධිපතිවරණය ගැනනම් නෙමෙයි. ඇමරිකන් පුරවැසියෙක්ව හිටි අයෙක් ලංකාවේ ජනාධිපති වෙයිද කියන එකත් නෙමෙයි.  ලංකාවේ ජනාධිපතිවරණය ගැන ලංකාවෙන් ආ සංක්‍රමණිකයින් හැර ඇමරිකාවේ අනෙක් අය දන්නෙවත් නැහැ. ගෝඨාභය කියන පුද්ගලයා ගැන තත්ත්වයත් ඕකම තමයි. මේ කරුණ විශේෂයෙන් ලියන්න හිතුවේ ඇමරිකාවේ පුවත්පත් වල ගෝඨාභය ගැන ප්‍රශංසාත්මක ලිපි යනව කියන්නේ ඇත්තද කියා අපේ වත්පොත් මිතුරෙක් ටික දවසකට පෙර අසා තිබෙනු දැක්ක නිසයි. ඇමරිකාවේ මුද්‍රිත පුවත්පත් කියන්නේ කොහොමටත් මියගිය මාධ්‍යයක්. නිකම් ලැබෙන ප්‍රාදේශීය පුවත්පතක් හැර වෙන පත්තරයක්නම් දැකපු කාලයක් මතකත් නැහැ.

එහෙමනම් ඇමරිකාවේ ගොඩක් අය මේ දවස් වල කතා කරන්නේ අර මොකක්ද ගිවිසුමෙන් ලංකාවෙන් බාගයක් ඇමරිකාවට ලියා දෙන්න යන එක ගැනද? එහෙම නැත්නම්, ඔය කියන ගිවිසුම අත්සන් කළාම ලංකාවේ ඉඩම් කුණු කොල්ලෙට ගන්න එක ගැනද?

ඇමරිකාව ඇතුළේනම් දේශපාලනය ගැන උනන්දුවක් තියෙන හැමෝම මේ දවස් වල කතා කරන්නේ ඔය එකක්වත් ගැන නෙමෙයි. ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ගැනයි. මේ හා අදාළ තීරණාත්මක සිදුවීමක් පසුගිය බ්‍රහස්පතින්දා සිදු වුනා. ඒ මේ දෝෂාභියෝග විභාගය ඉදිරියට ගෙන යාම පිළිබඳව ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමයි. එහිදී 232-196 ලෙස අදාළ යෝජනාව සම්මත වුනා. ඡන්දය පැවැත්වුණේ දෝෂාභියෝග යෝජනාව පිළිබඳව නෙමෙයි. එය ඉදිරි කාලයේදී සිදුවීමට නියමිත දෙයක්. මෙහිදී සම්මත කර ගැනුනේ ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කරන ආකාරය පිළිබඳ රීති මාලාවයි.

නොදන්නා අය වෙනුවෙන් මේ කතාවේ පසුබිම කෙටියෙන් කිවුවොත්, මේ චෝදනාවට පදනම් වෙන්නේ පසුගිය ජූලි 25 වන දින ජනාධිපති ට්‍රම්ප් හා යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර සිදු වූ දුරකථන සාකච්ඡාවක්. පසුගිය මැයි 20 වනදා යුක්රේනයේ හයවන ජනාධිපති ලෙස දිවුරුම් දුන් සෙලෙන්ස්කි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගන්නා තුරුම විකටයෙක්, නළුවෙක් හා තිර රචකයෙක්ව සිටි, දේශපාලනයේ පළපුරුද්දක් නොතිබුණු අයෙක්. එහෙත්, පසුගිය යුක්රේන ජනාධිපතිවරණයේදී සුවිශේෂී පෙරළියක් කරමින් හිටපු ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ, හිටපු අගමැතිවරියක වූ ජුලියා ටිමොෂෙන්කෝ හා හිටපු නියෝජ්‍ය අගමැතිවරයෙකු වූ යූරි බොයිකෝ ඇතුළු අපේක්ෂයින් 39 දෙනෙකු අතරින් මුල් තැනට පැමිණීමට ඔහු සමත් වුනා.

යුක්රේනයේ හා ලංකාවේ ජනාධිපතිවරණ ක්‍රම අතර සැලකිය යුතු සමානකම් තිබෙනවා. ලංකාවේ මෙන්ම යුක්රේනයේද කිසිදු තරඟකරුවෙකු පළමු වටයෙන් 50% ඉක්මවා ඡන්ද ලබා නොගතහොත්, ජනාධිපති ධුරයට පත් වන්නේ පළමු වටයේදී මුල් තැනට ආ අපේක්ෂයින් දෙදෙනා අතරින් වැඩිම දෙනෙකුගේ වැඩි කැමැත්ත ලබන අපේක්ෂකයායි. එහෙත්, මෙසේ වැඩිම දෙනෙකුගේ වැඩි කැමැත්ත ලබන අපේක්ෂකයා තෝරාගන්නා ආකාරය ලංකාවේ ක්‍රමයම නෙමෙයි. ලංකාවේදීනම් මෙවැනි අවස්ථාවක කරන්නේ මුල් තැනට ආ දෙදෙනා වෙනුවෙන් පළමු කැමැත්ත නොදුන් අයගේ දෙවන හා තෙවන මනාප පරීක්ෂා කර කිසියම් ඡන්දදායකයෙකු විසින් මේ පළමු අපේක්ෂකයින් දෙදෙනාගෙන් අයෙකුට දෙවනුව හෝ දෙවනුවද දෙදෙනාගෙන් අයෙකුට හෝ මනාප ලබා දී නැත්නම් තෙවනුව හෝ කැමැත්ත දක්වා ඇත්නම්, එවැනි ඡන්දද මුල් අපේක්ෂකයින්ගේ ඡන්ද වලට එකතු කිරීමයි. එහෙත්, යුක්රේනයේ මෙවැනි දෙවැනි මනාප දීමක් නැති නිසා, මුල් වටයේදී කිසිවෙකු 50% ලබා නැත්නම් දෙවන වටයේදී ඉතිරි අපේක්ෂකයින් තරඟයෙන් ඉවත් කර මුල් දෙදෙනා අතර දෙවන ජනාධිපතිවරණ ඡන්ද වටයක් පවත්වනවා.

පසුගිය පසුගිය මාර්තු 31 දින පැවති යුක්රේන ජනාධිපතිවරණයේ පළමු වටයේදීද පුමුඛ අපේක්ෂකයා වුනේ සෙලෙන්ස්කි වුවත් ඔහු විසින් ලබාගත්තේ 30.24% ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.  හිටපු ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝ විසින් 15.95%ක්ද, හිටපු අගමැතිවරියක වූ ජුලියා ටිමොෂෙන්කෝ විසින් 13.40%ක්ද, හිටපු නියෝජ්‍ය අගමැතිවරයෙකු වූ යූරි බොයිකෝ විසින් 11.67%ක්ද ලබා ගනිද්දී ඉතිරි ඡන්ද අනෙකුත් අපේක්ෂකයින් අතර බෙදී ගියා. මේ අනුව, දෙවන වටයේ තරඟය තිබුණේ සෙලෙන්ස්කි හා පොරොෂෙන්කෝ අතරයි. ලංකාවේ පාස්කු බෝම්බ පිපිරුණු පසුගිය අප්‍රේල් 21 වෙනිදා පැවැත්වුණු මේ දෙවන වටයෙන් ඡන්ද 73.22%ක් ලබා ගනිමින් සෙලෙන්ස්කි ජයගත්තා.

යුක්රේනයේ රුසියානු සංස්කෘතික ආධිපත්‍යයට එරෙහි කලාකරුවෙකු සේ මුලින් මතුවන සෙලෙන්සිකි රටේම ජනප්‍රිය චරිතයක් බවට පත් වන්නේ "ජනතා සේවකයා" දේශපාලන ප්‍රහසන කතා මාලාව හරහායි. 1+1 රූපවාහිණී නාලිකාව හරහා විකාශනය වූ මේ කතාමාලාවේ ප්‍රධාන චරිතය සෙලෙන්සිකි පෙනී සිටින වැසිලි හොලොබොරොද්කෝ  චරිතයයි. කතාව පටන් ගනිද්දී වැසිලි උසස් පෙළ පන්ති වල ඉතිහාස විෂය උගන්වන ගුරුවරයෙක්. යුක්රේනයේ පවතින දූෂණය ගැන වැසිලි විසින් කරන කතාවක් වීඩියෝ කරන ඔහුගේ සිසුවෙකු විසින් එය යූටියුබ් දැමීමෙන් පසුව වීඩියෝව වයිරල් වී වැසිලි චරිතය රටේම ජනප්‍රිය වෙනවා. මේ ජනප්‍රියත්වය කෙළවර වෙන්නේ අන්තිමේදී නොසිතූ විලස වැසිලි යුක්රේනයේ ජනාධිපති වීමෙනුයි. මේ ආකාරයට ජනතා සේවකයා කතා මාලාවේදී අහම්බෙන් යුක්රේන ජනාධිපති වන වැසිලිගේ චරිතය රඟ පෑ සෙලෙන්සිකිත් වැඩිකල් නොයා අනපේක්ෂිත ලෙස යුක්රේනයේ ජනාධිපති වෙනවා.

ජනතා සේවකයා කථාමාලාව නිපදවන්නේ ක්වල්තාල් 95 (95 කාර්තුව) නම් නිෂ්පාදන සමාගමයි. පසුව එම සමාගම විසින් ජනතා සේවකයා නමින්ම දේශපාලන පක්ෂයක්ද ලියාපදිංචි කරනවා. ඒ වෙලාවේදී ඔවුන් කියන්නේ ඒ වන විට රූපවාහිනී කතාමාලාව හේතුවෙන් ජනප්‍රිය වී තිබෙන මේ නම වෙනත් අයෙකු විසින් දේශපාලන අරමුණකින් යොදා ගැනීම වැළැක්වීමට මෙය කරන බවයි. සෙලෙන්සිකි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජය ගන්නේ මේ අලුත් පක්ෂයෙන්.

පසුගිය දෙසැම්බර් 31 වනදා ජනතා සේවකයා කතාංගය විකාශනය වීමෙන් අනතුරුව තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කරන සෙලෙන්ස්කි සම්ප්‍රදායික දේශපාලනඥයින් මෙන් රැස්වීම්, දේශපාලන සාකච්ඡා ආදියට බර තියන්නේ නැහැ. ඔහු ප්‍රචාරක කටයුතු කරන්නේ සමාජ මාධ්‍ය හරහායි. අනෙකුත් ප්‍රධාන අපේක්ෂකයින්ට මෙන් රට පුරා ව්‍යාප්ත වූ සංවිධාන ජාලයක් හෝ නැතුවයි ඔහු තරඟයට ඉදිරිපත් වන්නේ. ඒ අතරම ඔහු රඟපෑමද දිගටම කරනවා. බලයට පත් වීමෙන් පසුව ඔහුගේ ක්වර්තාල් 95 කණ්ඩායමේ ඇතැම් අය රජයේ වැදගත් තනතුරු වලට පත් කරනු ලැබ තිබෙනවා.

සෙලෙන්ස්කි ජනාධිපති ලෙස දිවුරුම් දුන් වහාම කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමයි. මැතිවරණය පැවැත්වෙන්න නියමිතව තිබුණේ ඔක්තෝබරයේ නිසා මේ තීරණයේ ව්‍යවස්ථානුකූල බව අභියෝගයට ලක් කෙරුණත් එහි වරදක් නැති බව අධිකරණය විසින් තීරණය කළා. මේ අනුව පසුගිය ජූනි 21 දින යුක්රේනයේ මහ මැතිවරණය පැවැත්වුනා.

යුක්රේන මැතිවරණ ක්‍රමය අනුව ආසන ක්‍රමයට මන්ත්‍රී වරුන් 225 දෙනෙකු හා සමානුපාතික ක්‍රමයට පක්ෂ ලැයිස්තු වලින් මන්ත්‍රී වරුන් 225 දෙනෙකු වශයෙන් මන්ත්‍රීවරු ගණන 450ක් වුවත්, මැතිවරණ ආසන 225න් 26ක් අයත් වන ක්‍රිමියානු කොටස  2014දී රුසියාව විසින් ඈඳා ගෙන තිබීම නිසා ඒ කොටසේ මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා, පිරවීමට හැකියාවක් තිබුණේ මන්ත්‍රී ධුර 424ක් පමණයි. එයින් 254ක්ම ලබාගත්තේ සෙලෙන්ස්කිගේ ජනතා සේවක පක්ෂයයි.

ජනාධිපති ට්‍රම්ප්ට දෝෂාභියෝග චෝදනාවකට මුහුණ දෙන්න සිදු වී තිබෙන්නේ ජනාධිපති සෙලෙන්ස්කිගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඔහුට සුබ පතමින් පටන්ගෙන පැය බාගයක් තිස්සේ සිදුකළ දුරකථන කතාබහ හේතුවෙනුයි. කතාබහ ආරම්භයේදීම සෙලෙන්සිකි විසින් කියනා ආකාරයට ඔහු ට්‍රම්ප්ව සලකන්නේ ගුරුවරයෙකු ලෙසයි. සිය මැතිවරණ ව්‍යාපාරයේදීද ට්‍රම්ප්ව අනුගමනය කළ බව සෙලෙන්ස්කි කියනවා. සෙලෙන්ස්කි තරම් ජනප්‍රිය වී නැතත් ට්‍රම්ප් කියන්නෙත් චිත්‍රපට වල රඟ පෑ නළුවෙක්.

ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් චෝදනා කරන්නේ මේ දුරකථන සාකච්ඡාවේදී යුක්රේනයට ඇමරිකාව විසින් දිගටම උදවු කරන්නනම් යුක්රේනය විසින් තමන්ටද උදවු කිහිපයක් කළ යුතු බව කියමින් ජනාධිපති ට්‍රම්ප් විසින් ජනාධිපති සෙලෙන්ස්කිට බලපෑම් කළ බවයි. මේ උදවු අතරින් එකක් 2020 ඇමරිකන් ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂයා වීමට සැලකිය යුතු ඉඩක් තිබෙන පසුගිය ඔබාමා ආණ්ඩුවේ උප ජනාධිපති වූ ජෝ බයිඩන් හා ඔහුගේ දෙවන පුත් හන්ටර් බයිඩන් හා සම්බන්ධ කරුණක්.

යුක්රේනයේ විශාලතම ස්වභාවික වායු නිෂ්පාදන සමාගම වන බරිස්මා හෝල්ඩින්ග්හි අධ්‍යක්ෂ්‍ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස  හන්ටර් බයිඩන් 2014 අප්‍රේල් සිට 2019 අප්‍රේල් මාසය දක්වා කටයුතු කළා. ඔහුව එම ධුරයට පත් කර ගැනුනේ 2014දී බරිස්මා සමාගමට මුදල් විශුද්ධකරනය කිරීම පිළිබඳ චෝදනා එල්ලවීමෙන් පසුව එම සමාගමේ ප්‍රතිරූපය නැවත ගොඩනංවා ගනු පිණිස ජාත්‍යන්තර අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයක් පත් කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මේ කාලය ඇතුළත (2017 ජනවාරි දක්වා) ජෝ බයිඩන් ඇමරිකාවේ උප ජනාධිපති ලෙස කටයුතු කළා.

ජෝ බයිඩන් ඇමරිකාවේ උප ජනාධිපති ලෙස කටයුතු කළ කාලයේදී යුක්රේනයේ දූෂණ විමර්ශන කටයුතු වලට බාධා කරන්නේයැයි චෝදනා කෙරුණු හිටපු නීතිපති වික්ටර් ශොකින්ව ධුරයෙන් පහ කරන මෙන් යුරෝපීය රටවල් බල කරද්දී ජෝ බයිඩන්ද එම රටවල් සමඟ එකතු වී යුක්රේනයට බලපෑම් කළා. 2016 මාර්තුවේදී යුක්රේන පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් වික්ටර් ශොකින්ව ධුරයෙන් පහ කළා. පසුගිය මාර්තු මාසයේදී වික්ටර් ශොකින් විසින් ප්‍රකාශ කළේ ඔහුව ධුරයෙන් පහ කිරීමට හේතු වුනේ බරිස්මා සමාගමේ සිදු වූ දූෂණ විමර්ශනය කිරීම වැළැක්වීමට බවයි. යුක්රේන හා ඇමරිකන් දෙපාර්ශ්වයෙන්ම කියන ආකාරයට වික්ටර් ශොකින්ව ධුරයෙන් පහ කරන අවස්ථාව වන විට බරිස්මා සමාගම හා අදාළ දූෂණ විමර්ශන සක්‍රියව සිදු වෙමින් පැවැතී නැහැ. එසේම, බරිස්මා සමාගමේ විමර්ශනයට ලක්වී තිබෙන දූෂණ සිදු වී ඇතැයි සැලකෙන්නේ හන්ටර් බයිඩන්ව අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයට පත් කර ගනු ලැබීමට පෙර කාලයේදීයි. ඒ හැර, හන්ටර් බයිඩන්ට කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී නැහැ.

ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ට අනුව ජනාධිපති ට්‍රම්ප් විසින් උත්සාහ දරා තිබෙන්නේ සිය විධායක බලය අපහරණය කරමින් 2020 ජනාධිපතිවරණයේදී ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වීමට ඉඩ තිබෙන ජෝ බයිඩන්ට දූෂණ චෝදනාවක් පටලැවීමට යුක්‍රේනයේ උදවු ලබාගනු පිණිස ජනාධිපති සෙලෙන්ස්කිට බලපෑම් කිරීමයි. ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරිය වන නැන්සි පෙලෝසි විසින් පසුගිය සැප්තැම්බර් 24 වෙනිදා ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග චෝදනා විමර්ශනයක් ආරම්භ කළා.

රිපබලිකන් පාක්ෂිකයින් විසින් චෝදනා කළේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීමක් නොපවත්වා මේ අයුරින් දෝෂාභියෝග චෝදනා විමර්ශනයක් ආරම්භ කිරීම නීත්‍යානුකූල නොවන බවයි. එහෙත්, ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් පෙන්වා දුන්නේ එවැනි ඡන්ද විමසීමක් පැවැත්වීම අවශ්‍ය නොවන බවයි.

කෙසේ වුවත්, පසුගිය බ්‍රහස්පතින්දා මේ හා අදාළ ඡන්ද විමසීමක් පැවැත්වුනා. ඒ, ඒ වන විටද සංවෘත ආකාරයෙන් සිදු වූ දෝෂාභියෝග චෝදනා විමර්ශනය මෙතැන් සිට විවෘත ආකාරයෙන් කිරීමට යෝජනා කරමිනුයි. යෝජනාව 232-196 ලෙස සම්මත වුනා. කතානායක නැන්සි පෙලෝසිද යෝජනාවට පක්ෂව ඡන්දය දීම විශේෂ කරුණක්. සාමාන්‍යයෙන් කතානායක වරයා සිය ඡන්දය පාවිච්චි කරන්නේ ඡන්ද සමාන වී ඇති අවස්ථාවක හෝ කිසියම් යෝජනාවක් සම්බන්ධව අවධාරනය කිරීම අවශ්‍ය වූ විටක පමණයි. මෙහිදී ඇය සිදු කළේ දෙවැන්නයි.

බොහෝ දෙනෙකුගේ කණස්සල්ලට හේතු වී තිබෙන්නේ මේ ඡන්ද විමසීමේදී අදාළ කරුණ ගැන අවධානය යොමු කරනවා වෙනුවට ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ලෙස බෙදී ඡන්දය භාවිතා කර තිබීමයි. මෙය ඇමරිකානුවන් ගෝත්‍රික වීම ප්‍රදර්ශනය කරන්නක් බව ඇතැමුන් පවසනවා. විභාගයෙන් අනතුරුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ දෝෂාභියෝග යෝජනාවක් කර සම්මත කර ගත්තත් එය නැවත සෙනෙට් සභාවේදී අනුමත විය යුතුයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයයේ බහුතර බලය තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයට වුවත් සෙනෙට් සභාවේ බහුතර බලය තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි. රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයින් සියලු දෙනාම වාගේ ජනාධිපති ට්‍රම්ප් සමඟ සිටින බව පෙනෙන නිසා දෝෂාභියෝගයකින් ඔහුව ඉවත් කරනු ලැබීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. නමුත්, දෝෂාභියෝග විමර්ශනය නිසා ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳ බොහෝ කරුණු ඉදිරියේදී අනාවරණය වෙයි.

(Image: Ownership is not known. Credit should go to the original owner.)

8 comments:

  1. ට්‍රම්ප්ගේ බලු කතා:
    Donald Trump has waded in after Beto O’Rourke ended his presidential bid, saying the Democrat “quit like a dog”.

    It is the second time in the space of a week the US president has compared his foes to dogs.

    At a White House press conference on Sunday announcing the death of Islamic State leader Abu Bakr al-Baghdadi, Mr Trump said he “died like a dog” as he was captured by US forces in Syria.

    ReplyDelete
  2. කියවාගෙන යද්දී හිතුනේ රට කොයික වුණත් මිනිස්සුනේ කියලයි.

    බලමුකෝ 17 වෙනිදට අපේ මිනිස්සු ගැන.....

    ReplyDelete
  3. ඇමරිකන් ජනාධිපතිධුරන්දර තැන්පත් අතිඋතුම් ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමා මැදපෙරදිග තම්බි මරලා රැස් කරගත්තු පිනම ඇති නිවන් යන්න. එතුමාට පුංචි අපිත් බුදුබව පාර්ථනා කරමු.

    ReplyDelete
  4. තොපිට ඔය ඝෝ්‍යාභය කියන එකා මහලොකු පොර වුනාට මෙහෙ අය ඔ්කා කවුද කියලා දන්නෙත් නෑ.

    ReplyDelete
  5. හැමදේටම ආර්ථික විද්‍යාව ගැලපීම කශිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්.
    සිංහලයෝ හැටියට අපි සලකන්න ඔ්නේ, ඔරුමත්තුනාඩුවත් සමඟ ගහපු මේ ගිවිසුම නිසා සිංහල ජාතියට මොනවගේ බලපෑමක් වෙයිද කියන කාරණය සහ
    මේ ගිවිසුම ලිව්වේ සිංහල බාශාවෙන්ද, අත්සන සිංහල අත්සනද? ගිවිසුම ගැන කතිකාකලේ මොන බසින්ද කියන කාරනා ගැනයි.

    ReplyDelete
  6. දිගින් දිගටම
    තැනින් තැනටම
    එපා කියද්දිම
    අතට හූ කියති
    පොහොට්ටුව

    විනය හදනවලු
    විනය හදනවලු
    පෙනෙනා හැටියට
    විනය තකනවා!

    ReplyDelete
  7. යුක්රේනයේ රුසියානු සංස්කෘතික ආධිපත්‍යයට - මේකට නම් හිනා යනවා . යුක්රේනයේ වැඩි හරියක් රුසියානු රුපවාහිනිය බලන්නේ ගොන්ද ප්‍රෝග්‍රෑම් යන හැම පැත්තටම පෙනන නිසා. රුසියාවට බලන යුරෝපයට අවධාන අය අතරේ දරුණු නාසිවාදීන් සිටිනවා. යුක්රේන යේ නාසිවාදී ස්වබෝද පක්ෂයේ මුලික ඉගැන්වීම හතලිස් ගණන්වල එය පාලනය කල හිට්ලර් ගේ හමුදා දක්වා යනවා. https://en.wikipedia.org/wiki/Ukrainian_collaboration_with_Nazi_Germany
    හැබැයි ස්ටාලින් ගේ කාලේ කල දරුණු අකටයුතු නිසා සෝවියට් පාලනයට විරුද්ධ කොටසකුත් හිටිය. නමුත් මේ ජන වර්ග දෙකම හුඟක් එක වගේ. කියෙව්ස්කයා රුස් තමයි ඔය ඔක්කොගෙම මුල .
    https://en.wikipedia.org/wiki/Kievan_Rus%27

    ReplyDelete
    Replies
    1. //යුක්රේනයේ රුසියානු සංස්කෘතික ආධිපත්‍යයට - මේකට නම් හිනා යනවා//
      විහිළුකාරයෙක් කරපු දේවල් වලට හිනා යනවනම් මිනිහා සාර්ථකයි. :)

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...