වෙබ් ලිපිනය:

Friday, November 8, 2019

බදු ඉඩමට ඔප්පුවක්...


රාජපක්ෂ කඳවුරේ ඇතැම් අය විසින් රාජපක්ෂලාගේ අනුදැනුමක් නැතිව හෝ අනුදැනුමෙන් ඇති කළ සහශ්‍ර අභියෝගිතා ගිවිසුම් බිය මේ වෙද්දී තුනී වෙලා තිබෙනවා. කාන්තා සනීපාරක්ෂක තුවා වටය මෙන්ම සහශ්‍ර අභියෝගිතා ගිවිසුම් වටයද අවසන් වුනේ දේශපාලනිකව ගෝඨාභය රාජපක්ෂ කඳවුරට හානියක් කරමින් හා සජිත් ප්‍රේමදාස කඳවුරට වාසියක් කරමිනුයි. අවසන් ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් සිදු වුවත් නැතත්, මේ දෙකෙන්ම වුනේ ගෝඨාභය රාජපක්ෂ කඳවුර විසින් ඉල්ලං කාපු එකයි.

කාන්තා සනීපාරක්ෂක තුවා වටයේදී කෙළින්ම ලකුණු රැස් කළේ සජිත් ප්‍රේමදාසයි. එහෙත්, සහශ්‍ර අභියෝගිතා ගිවිසුම් වටයේදී වැඩියෙන්ම ලකුණු රැස් කර ගත්තේ චම්පික රණවකයි. රාජපක්ෂ කඳවුර විසින් එම්සීසී බිල්ලා ගැන ඇඩ් දමන විට රටේ බොහෝ දෙනෙක් දැන නොසිටි ලංකාවේ දිගුකාලීන ජාතික භෞතික සැලැස්ම ගැන දැන් බොහෝ දෙනෙක් දන්නවා. මම හිතන්නේ මේ ගැන වැඩියෙන්ම සතුටු වෙනවා ඇත්තේ ඔය සැලසුම යාවත්කාලීන කරන්න දායකත්වය හා නායකත්වය ලබා දී ඉන් පසුව සැලසුම ජනගත කරන්න උත්සාහ කරමින් සිටි චම්පික රණවකයි.

සහශ්‍ර අභියෝගිතා ගිවිසුම් විරෝධය හමුවේ ජවිපෙ කටයුතු කළේ බොහොම සීරුමාරුවෙනුයි. ඔවුන් සහශ්‍ර අභියෝගිතා ගිවිසුම් විරෝධය ඇවිලවූයේ නැහැ. මේ වෙලාවේ එසේ කර ඔවුන්ට දේශපාලන වාසියක් ගැනීමේ හැකියාවක් තිබුණෙත් නැහැ. ඔවුන් ගිවිසුම ගැන පක්ෂයේ ප්‍රතිපත්තිය නිශ්චිතව හා පැහැදිලිව ප්‍රකාශ කළා. අනෙක් කරුණු කෙසේ වෙතත්, දැනට හරියකට අයිතියක් නැති බාගෙට රජයේ ඉඩම් ඒ ඉඩම් වල බාග හිමිකරුවන්ටම ලබා දීම ගැන ජවිපෙට පවා ප්‍රශ්න තිබෙන බව පේනවා.

අනුර කුමාරගේ කතාවකදී ඔහු ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ ඉඩම් එක්ක තිබෙන සුවිශේෂී බැඳීම ගැන සඳහන් කරනවා. බටහිර රටවල් වල මිනිස්සුන්ට එහෙම බැඳීමක් නැති බවත් කියනවා. ඇත්තටම ඔය කියන බැඳීම බටහිර රටවල මිනිසුන්ටත් තිබෙනවා. නමුත්, ඒ මිනිස්සු ජීවත් වෙන්නේ ප්‍රධාන නගර වල නෙමෙයි. ගම් වලට වෙන්නයි.

සහස්‍ර අභියෝගිතා ගිවිසුමට විරුද්ධ බොහෝ දෙනෙක්ට වගේම ගිවිසුම එක එල්ලේ මුළුමනින්ම ප්‍රතික්ෂේප නොකරන ජවිපෙටත් තිබෙන ප්‍රශ්නය බාග අයිතිය තිබෙන ඉඩම් වල මුළු අයිතියම ලැබුණට පස්සේ ඒ විදිහට ඉඩම් හිමිකම් ලබන අය ඉඩම් විකුණා දමයි කියන සැකයයි. මේ විදිහට ඉඩම් අයිතිය ලබා දීම එම්සීසී ගිවිසුමට සෘජුව අදාළ කරුණක් නොවූවත් එය කතා කළ යුතු වැදගත් කරුණක්.

මේ ඉඩම් වල ඉන්න අයට අදාළ ඉඩම් එක්ක සියවස් ගාණක් ඈතට යන බැඳීමක් නැහැ. රජයෙන් ඉඩම් ලබා අදාළ පෙදෙස් වල ඉන්න බොහෝ දෙනෙක් ආර්ථික අරමුණු මත, තමන්ගේ මුල් ගම් බිම් අත ඇරලා රටේ වෙනත් පෙදෙසකින් සංක්‍රමණය වූ අයයි. සංක්‍රමණිකයන්ගේ රටක් වන  ඇමරිකාවේ බොහෝ ගම් වල මිනිස්සු ඊට වඩා පරම්පරා ගාණක් තමන්ගේ ගම් වල ජීවත් වී තිබෙනවා. හැබැයි ලංකාවේ මේ ඉඩම් වල දැන් ඉන්න බොහෝ දෙනෙක් ඒ මුල් පරම්පරාවේ සංක්‍රමණිකයන්ගේ දරුවන් හෝ දරුවන්ගේ දරුවන්. ඒ අය ඉපදිලා තිබෙන්නේම මේ ඉඩම් වලයි. ඒ නිසා, සියවස් ගාණක් ඈතට නොගියත් ඉඩම් එක්ක පරම්පරා කිහිපයක බැඳීමක් තිබෙනවා.

ලංකාවේ වුනත්, බටහිර රටක වුනත්, යමෙක් ඉපදී ටික කලක් යද්දී තමන්ගේ ගෙදර කියා තැනකට හුරු වී බැඳීමක් ඇති කර ගන්නවා. එකම ඉඩමක ලොකු මහත් වන තුරු ජීවත් වන දරුවෙක්ට තමන් ජීවත් වන්නේ තමන්ගේම ඉඩමකද, අනුන්ගේ ඉඩමකද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ එක්තරා වයසකට පැමිණියාට පසුවයි. විශේෂයෙන්ම ප්‍රස්තුතයට අදාළ ඉඩම් වල දැන් ජීවත් වන අයට දැනෙන විදිහට ඔවුන් ඉන්නේ තමන්ගේම පරම්පරා ඉඩම් වල. වත්තේ තියෙන්නේ අත්තා කපපු ලිඳ. අත්තම්මා  හිටවපු කොස් ගහ.

මේ තමන්ගේම නොවන තමන්ගේ ඉඩම තමන්ගේ ඉඩමක් නොවන බව අලුත් පරම්පරා වල අයට තේරෙන්න ගන්නේ ලොකු මහත් වෙලා දෙමවුපියන්ගේ උරුමය හොයන්න යන කොටයි. දෙමවුපියන්ට තමන් කැමති ආකාරයට දරුවන්ට ඉඩම් බෙදන්න බැහැ. බොහෝ විට පුළුවන්කම තිබෙන්නේ එක් දරුවෙකුට මුළු ඉඩමම පවරන්නයි. එයත් රජයෙන් අනුමත කළ යුතුයි.

අනෙක් පැත්තෙන් මේ බොහෝ ඉඩම් රජයේ නොවන රජයේ ඉඩම්. මේ ඉඩම් වල අයිතිය රජයට වුවත්, පරම්පරා කිහිපයක් තිස්සේ ඉඩමේ ඉන්න, ඉඩම සංවර්ධනය කළ මිනිස්සුන්ව පන්නලා වෙන කෙනෙකුට ඉඩම දෙන්න රජයට පුළුවන් කමක් නැහැ.  ඒ නිසා මේ ඉඩම් වල නියම අයිතියක් ඒවායේ ඉන්න මිනිස්සුන්ටත් නැහැ. රජයටත් නැහැ.

ප්‍රශ්නයට විසඳුම ඉඩම් අයිතිය ඉන්න මිනිස්සුන්ට දෙන එක මිසක් නැවත රජයට ගන්න එක නොවන බව පැහැදියිනේ. නමුත්, එයින් පසුව මේ මිනිස්සු ඒ අයට කැමති ආකාරයට ඉඩම් කෑලි කැඩීම හෝ විකිණීම වලක්වන්න අමාරුයි. ඉඩම් ඒ මිනිස්සුන්ගේනේ. ඔන්න ඔතනයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නය.

මේ වර්ගයේ බාග අයිතිය තිබෙන ඉඩමක ඉන්න ඕනෑම කෙනෙකුගේ සිහිනය තමන්ට ඉඩමේ නියම අයිතිය ලබා ගැනීමයි. හරි අයිතියක් නැති ඉඩමක නියම අයිතිය ලැබෙනවාට කවුද අකැමැති? වෙන එකක් තියා එම්සීසී ගිවිසුම ගැන තමන්ගේ මෝහය දුරු වෙලා සම්මා දිට්ඨිය පහළ වීමෙන් පස්සේ උපවාසය අත් හැර තියෙන උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවෝ වගේ දේපොළ තණ්හා අතහැර සිටින අය පවා බදු ඉඩමක ස්ථිර අයිතිය ලැබීමේ වටිනාකම දන්නවා.


මේ මිනිස්සු ඉඩම් විකුණයි කියන ප්‍රශ්නය වැඩිපුරම තියෙන්නේ පැත්තක ඉන්න විවිධ වෘත්තිකයින්ටයි. තමන් තමන්ගේ රස්සා කරද්දී ඔය ඉඩම් වල ඉන්න ගොවි තාත්තලාගේ පුත්තු දිගින් දිගටම තමන්ට බත සැපයිය යුතුයි කියා මේ අය හිතනවා. ඔතැන තියෙන්නේ කම්මල්කාරයාගේ පුතා කම්මල් වැඩම කළ යුතුයි, රෙදි නැන්දාගේ දුව දිගටම රෙදි හේදිය යුතුයි කියන පැරණි කුලවාදී අදහසයි. අපි අපේ දරුවෝ ඉංජිනේරුවෝ දොස්තරලා කරන්නම්. ඕගොල්ලන්ගේ දරුවෝ රජයට අයිති කුඹුරු ටික පුරන් වෙන්න නොදී බලා ගන්න!

ඉඩම් වල අයිතිය ලැබුණට පස්සේ මේ සමහර අය ඉඩම් විකුණයි. ඉඩම් එක්ක ලොකු බැඳීමක් තියෙන අය ඉඩම් දිගටම තියා ගෙන ඉඳියි. ඕකේ තියෙන වැරැද්ද මොකක්ද? ගොවියෙක්ගේ පුත්තු මෘදුකාංග ඉංජිනේරුවන් වීම නිසා කුඹුරු වැඩ කරන්න කෙනෙක් නැති වීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ. ඒ නිසා, මේ පුත්තුන්ව මඩටම තල්ලු කරන්න ඕනෑද? අනෙක් අතට ගොවිතැනට කැමති ඉඩම් නැති කෙනෙකුට ගොවිතැනට අකැමැති කෙනෙකුගේ ඉඩමක් මිල දී ගෙන වගා කරන්න තිබෙන නිදහස නැති කළ යුතුද?

ඉඩම් වල අයිතිය දුන්නට පස්සේ කෙනෙක් ඇමරිකානුවෙකුට ඉඩම විකුණන්න ඉඩ තිබෙනවා. එය වළක්වන්න අමාරුයි. හැබැයි ඔය ඉඩමක් විකුණන්න ඇමරිකානුවෙක්ව හොයා ගන්න එකනම් ඒ තරම්ම පහසු නැහැ. ඇමරිකාව ඉඩම් හිඟයක් තිබෙන රටක් නෙමෙයි. ඇමරිකාවේ ග්‍රාමීය පැති වල ඉඩම් ඉතාම ලාබයි. ඒ වගේම, මම දන්නා තරමින් විදේශිකයෙක් ලංකාවෙන් ඉඩම් ගන්නවානම් 100%ක බද්දකුත් ගෙවිය යුතුයි. ඔය සියලුම තත්ත්වයන් යටතේ වුවත් පහළ වීඩියෝවේ ඉන්න ඇමරිකානුවා වගේ කෙනෙක් ලංකාවෙන් ඉඩමක් ගන්න බැරිකමකුත් නැහැ.


8 comments:

  1. ඉකොනෝ, පංකාදු පහයි.

    බුදුහාමුදුරුවෝ 'කාලීන ධම්ම සාකච්ඡා' කිව්වේ මේවාට වෙන්නැති. ඔයාගේ ලිපිය කොච්චර වැදුණාද කිව්වොත් ඒ ගැන පුංචි මෝටිවේෂන් පාරකුත් දැම්මා මගේ මුහුණු පොත් පිටුවේ!

    https://www.facebook.com/nimal.dissanayake.10420

    ReplyDelete
  2. බුදු බණ මගහරින
    වෙන බණ වදාරන
    උපවාසයට යොමුවෙන
    කසාවත දරන
    පාඩමකි සැමටම
    උඩුදුම්බර පුරාණය

    ReplyDelete
  3. https://www.youtube.com/watch?v=aBvSkLGnlbE

    මටත් කියන්න තියෙන්නේ මේකම තමයි.
    මම හැම සිංහලයෙක්ටම කියන්නේ පුළුවන් තරම් ජාතිවාදී වෙන්න.
    ඕනෑම මැතිවරණයකදී සිංහලයන්ට වාසිවෙනවා කියලා තමන්ට අවංකව හිතෙන පැත්තට චන්දේ දාන්න.

    ආර්ථික දියුණුව ගැන හිතන්න එපා. ආර්ථිකය දියුණුකරගන්න නම් බල්ලො මරලා හරි සල්ලි හම්බ කරන්න.
    ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිදහස හිතන්නත් එපා. තමන්ගේ පවුල ඇතිලේ තමන් බැඳී ඇති සමිති සමාගම්වල, රැකියා ස්ථානය තුල ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරන්න.

    මගේ මොලේට තේරෙන හැටියට මේපාර ඝෝඨාට චන්දේ දීම සිංහලයන්ට වඩා වාසි දායකයි.
    ඒ වගේම එයා ආවා කියලා මගේ නිදහසටවත් මගේ ආර්ථිකයටවත් පාඩුවක් වෙයි කියලා මම හිතන්නේ නෑ.

    ඒ නිසා මම ඌට කඩේ යනවා.
    ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

    ReplyDelete
    Replies
    1. Machan eth ekkama saruwa sunil lagata duwawath yawapan. haha.

      Delete
  4. MCC සල්ලි භාණ්ඩාගාරය යන්නේ නෑලු, ඒක ඒ් මුදල එපා කිය යුතු තරම් බරපතල ගැටළුවක්ලූ, කරුණාකර අප හට ‌මේ ගැන පහදා ‌දෙනවාද?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ බොහෝ දේවල් වෙන්නේ නිශ්චිත ක්‍රමවේදයක් අනුව. ඒ නිසා, අවස්ථාව අනුව පුද්ගලයින්ට ක්‍රමවේදය වරින් වර වෙනස් කරන්න බැහැ. සහශ්‍ර අභියෝගිතා ආධාර ලබා දීම පිළිබඳ සියලු දේ 2003 කොංග්‍රසයේ සම්මත වූ පණත අනුවයි සිදු වෙන්නේ. මේ ආධාර මුදල ලබා දෙන්නේ ඇමරිකාවේ සහශ්‍ර අභියෝගිතා සමාගම විසින් ලංකාවේ සහශ්‍ර අභියෝගිතා සමාගමටයි. ආධාර මුදල රජයේ භාණ්ඩාගාරයට යන්නේ නැහැ. පෞද්ගලික බැංකුවක වෙනම ගිණුමකටයි යන්නේ. අදාළ ආධාර මුදල හෝ ලැබෙන පොලිය රජයට වෙන වැඩකට වියදම් කරන්න බැහැ. ඒ නිසා දූෂණ වංචා වලට අවස්ථා අවමයි. මා පෙර ලිපි වල විස්තර කර ඇති පරිදි ඇමරිකාවේ බදු මුදල් විශාල ප්‍රමාණයක් යන්නෙත් නිශ්චිත අරමුදලකට. ඒ නිසා බද්දක් ගෙවන විටම ඒ සල්ලි වියදම් වෙන්නේ කොහොමද කියන එක බදු ගෙවන මිනිස්සු දන්නවා. ලංකාවේ වගේ සල්ලි ඔක්කොම ඒකාබද්ධ අරමුදලකට යන්නේ නැහැ. ලංකාවේ පහුගිය කාලයේත් බොහෝ විට වුනේ කිසියම් ව්‍යාපෘතියකට කියා ලබා ගන්නා ණය ඒ වහාම පරණ ණය ගෙවන්න යොදවන එකයි. ව්‍යාපෘතිය කෙරෙන කොට එයට මුදල් දෙන්නේ පසුවයි. මේ විදිහට වෙනම ගිණුමක් පවත්වා ගෙන යන නිසා එය කරන්න බැහැ. ඔය ආකාරයටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැම විටම ණය දෙන්නේ මහ බැංකුවටයි. ණය ගෙවන්නෙත් මහ බැංකුවයි. ප්‍රශ්නයට සෘජුව අදාළ නැති තවත් කරුණක්. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව වුවත්, ගිවිසුමට අකැමැතිනම් කිසිදු හේතුවක් නොදක්වා ලංකාවට ගිවිසුමෙන් ඉවත් විය හැකියි. අවශ්‍ය වන්නේ දින 30ක් කල් දීම පමණයි. එසේ ඉවත් වුවහොත් අදාළ ගිණුමේ තිබෙන මුදල් හා පොලී ආදායම් ආපසු ගෙවිය යුතුයි. ඒ වගේම ආධාර මුදලෙන් කොටසක් ලබා නොගෙන ඉන්නත් පුළුවන්කම තිබෙනවා.

      Delete
    2. Thanks boss. Very well explained.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...