වෙබ් ලිපිනය:

Friday, September 7, 2018

ඩොලර් වලින් රුපියල් බැලන්ස් කිරීම


ලංකාවේ රජයේ ණය ගැන අපි මෙහි බොහෝවර කතා කරල තියෙනවා. මේ ණය සාමාන්‍යයෙන් දේශීය ණය හා විදේශීය ණය සේ වර්ග කෙරෙනවා. දේශීය ණය වැඩි ප්‍රමාණයක් රුපියල් ණය. විදේශීය ණය වැඩි ප්‍රමාණයක් රුපියල් නොවන, ඇමරිකන් ඩොලර් වැනි වෙනත් විදේශ ව්‍යවහාර මුදලකින් ලබාගත් ණය. එසේ වුවත්, රුපියල් වලින් ලබාගන්නා විදේශ ණය වගේම ඩොලර් වැනි වෙනත් ව්‍යවහාර මුදලකින් ලබාගන්නා දේශීය ණයත් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ණය නොවන වෙනත් විදේශීය ණයත් තිබෙනවා.

රටක විදේශ ණය වැඩිවීම ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිවයුතු නැති වුවත් එයට එකම හේතුව මේ ණය නැවත ආපසු ගෙවන්න සිදුවීම පමණක්ම නෙමෙයි. විදේශ ණය ගැනීම වෙනත් ප්‍රශ්න වලටත් හේතු වෙනවා. රටේ ආනයන ඉහළ යාම, අපනයන අඩු වීම, අපනයන තරඟකාරිත්වය අඩු වීම ආදිය මේ ප්‍රශ්න වලින් කිහිපයක්. මේ ප්‍රශ්න වලට හේතු වන්නේ විදේශ ණය ගැනීමම නෙමෙයි. විදේශ ණය ගැනීම හා රටේ විදේශ විණිමය ප්‍රතිපත්තිය යන කරුණු දෙකේ සංයෝගයයි.

අපි මුලින්ම සංවෘත ආර්ථිකයක් ගැන හිතමු. මෙහි දේශීය ණය මිසක් විදේශීය ණය නැහැ. රටේ ණයකරුවන් සිටිය හැකිවුවත් එම ණය ලබා දී තිබෙන්නේ රටේම සිටින අය නිසා සමස්තයක් ලෙස රට ණය නැහැ. නමුත්, රටේ රාජ්‍ය ණය තිබෙන්න පුළුවන්. මේ රාජ්‍ය ණය සියල්ල රට ඇතුළෙන්ම ලබාගත් ණය.

රටේ නිෂ්පාදකයෙකුට අවශ්‍ය වන්නේ තමන්ගේ නිෂ්පාදන වැඩිම මිලකට විකුණගන්නයි. භාණ්ඩ මිල දී ගන්නේ රටේ කෙනෙක්ද පිටරටක කෙනෙක්ද කියන එක අදාළ නැහැ. නමුත්, භාණ්ඩ වෙනුවෙන් දේශීය ව්‍යවහාර මුදල් (පහසුවට රුපියල් කියමු) ලැබිය යුතුයි. විදේශ ව්‍යවහාර මුදල් (පහසුවට ඩොලර් කියමු) ලැබුණා කියා රට ඇතුළේ කළ හැකි දෙයක් නැහැ.

දැන් මේ රට එක් වරම විදේශ වෙළඳාමට විවෘත කළා කියා සිතමු. එවිට රටේ වැසියන්ට රටේ නැති දේවල් පිටරටින් ගෙන්වා ගන්න රුචිකත්වයක් ඇති වෙනවා. නමුත්, රුපියල් ගෙවා විදේශ රටවල් වලින් භාණ්ඩ ආනයනය කළ නොහැකියි. ඒ නිසා රට ඇතුළේ ඩොලර් වලට ඉල්ලුමක් ඇති වෙනවා. ඩොලර් අතේ තිබෙන කෙනෙකුට ඒ ඩොලර් පහසුවෙන් රුපියල් වලට මාරු කළ හැකි අවකාශයක් රටේ හැදෙනවා.

මේ අවකාශය හැදුනු පසුව දේශීය නිෂ්පාදකයින් තමන්ගේ නිෂ්පාදන අපනයනය කරන්න පටන් ගන්නවා. එසේ අපනයනය කර ලැබෙන ඩොලර් රුපියල් වලට මාරු ගන්නවා. මේ ඩොලර් විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කිරීම සඳහා යොදා ගැනෙනවා.

රට ඇතුළේ ආනයනික භාණ්ඩ වලට තිබෙන කැමැත්ත ඉහළ යන තරමට ඩොලර් ඉල්ලුමත් ඉහළ යනවා. එවිට ඩොලර් උපයන අපනයනකරුවන්ට තමන්ගේ ඩොලර් වැඩි මිලකට විකුණන්න අවස්ථාව ලැබෙනවා. ඩොලර් මිල ඉහළ යද්දී ආනයනික භාණ්ඩ වල රුපියල් මිල ඉහළ යන නිසා ඒවාට තිබෙන ඉල්ලුම අඩු වෙනවා.

යම් හෙයකින් රට ඇතුළේ ආනයනික භාණ්ඩ වලට තිබෙන කැමැත්ත අඩු වුනොත්, රට ඇතුළේ ඩොලර් ඉල්ලුම පහළ යනවා. එවිට ඩොලර් උපයන අපනයනකරුවන්ට තමන්ගේ ඩොලර් මාරු කිරීම අසීරු වෙනවා. එවිට ඔවුන් අඩු මිලකට ඩොලර් විකුණන්න පෙළඹෙනවා. ඩොලර් මිල පහත වැටෙද්දී ආනයනික භාණ්ඩ වල රුපියල් මිල අඩු වෙන නිසා ආනයනික භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම නැවත ඉහළ යනවා. ඒ එක්කම ඩොලර් ඉල්ලුම වැඩි වෙනවා.

ඩොලර් මිල ඉහළ යද්දී අපනයනකරුවන්ට ලැබෙන රුපියල් ආදායම වැඩි වෙනවා. එවිට දේශීය නිෂ්පාදකයින් වැඩි වැඩියෙන් අපනයනයට පෙළඹෙනවා. ඒ වගේම ඩොලර් මිල පහළ යද්දී අපනයනකරුවන්ගේ රුපියල් ආදායම අඩුවෙනවා. ඒ නිසා ඔවුන් අපනයනයෙන් ඉවත් වෙන්න පටන් ගන්නවා.

මහ බැංකුවේ හෝ රජයේ මැදිහත්වීමක් නැත්නම් රටේ ඩොලර් ඉල්ලුම හා සැපයුම ස්වභාවික ලෙසම සමතුලිත වෙනවා. යම් හෙයකින් ආනයන හා අපනයන අතර පරතරයක් ඇති වූ වහාම විණිමය අනුපාතිකය ස්වභාවික ලෙසම වෙනස් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ආනයන ඉල්ලුම හා අපනයනයට තිබෙන පෙළඹුම වෙනස් වෙනවා. ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මේ සමතුලිතතාවය මේ විදිහේ එකක්.

ඩොලර් ඉල්ලුම = ආනයන වියදම
ඩොලර් සැපයුම = අපනයන ආදායම
ඩොලර් ඉල්ලුම = ඩොලර් සැපයුම
ආනයන වියදම = අපනයන ආදායම
ආනයන වියදම - අපනයන ආදායම = 0
වෙළඳ හිඟය = 0

දැන් ඔහොම තියෙද්දී භාණ්ඩ අපනයනය නොකර වෙනත් ක්‍රමයකින් රට ඇතුළට නිකම්ම ඩොලර් ගලා ඒමක් සිදු වුනොත් මොකද වෙන්නේ? (මෙහිදී භාණ්ඩ යන වචනය භාවිතා කළත් මෙයින් අදහස් කළේ පොදුවේ භාණ්ඩ හා සේවා යන කොටස් දෙකම.)

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් හෝ වෙනත් අය විසින් ආපසු යමක් ලැබීමේ අපේක්ෂාවක් නැතිව ලංකාවට එවන ප්‍රේෂණ වල බලපෑම ගැන අපි මුලින්ම කතා කරමු. පහසුව සඳහා මේ මුදල් එන්නේ ඩොලර් වශයෙන් කියා අපි හිතමු. මෙසේ එවන මුදල් වෙනුවෙන් රටේ නිපදවන භාණ්ඩ හෝ සේවා කිසිවක් රටින් පිටතට යැවිය යුතු නැහැ.

දැන් අපනයනකරුවන් නොවන රටේ කිසියම් පිරිසක් අතේ ඩොලර් තිබෙනවා. ඔවුන්ට මේ ඩොලර් වලින් රට ඇතුළේ කළ හැකි දෙයක් නැහැ. ඒ නිසා ඔවුන් මේ ඩොලර් රුපියල් වලට මාරු කිරීමට යොමු වෙනවා. ඒ ඩොලර් විකුණන්න වෙන්නේ ආනයන භාණ්ඩ වලට කැමැත්තක් දක්වන අයටයි. දැන් ඩොලර් විකුණන කණ්ඩායම් දෙකක් ඉන්න නිසා ඩොලර් විකුණන එක කලින් තරම් පහසු නැහැ. ඒ නිසා ඩොලර් ටික විකුණගන්න වෙන්නේ අඩු මිලකටයි.

මෙහි ප්‍රතිඵලය වන්නේ කුමක්ද? රටට ශ්‍රමික ප්‍රේෂණ එන තරමට ඩොලර් මිල පහත වැටෙනවා. එයට සමාන්තරව අපනයනකරුවන්ට ලැබෙන ආදායම අඩු වෙනවා. ඔවුන් අපනයනයෙන් ඉවත් වෙනවා. ආනයන මිල පහළ වැටෙනවා. ඒ නිසා ආනයන ඉහළ යනවා. ඩොලර් වලට රට ඇතුළේ තිබෙන ඉල්ලුම හා සැපයුම සමතුලිත වන තුරුම ඔය වැඩේ ඔය විදිහට වෙනවා.

අන්තිමේදී තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද?

ඩොලර් ඉල්ලුම = ආනයන වියදම
ඩොලර් සැපයුම = අපනයන ආදායම + ශ්‍රමික ප්‍රේෂණ
ඩොලර් ඉල්ලුම = ඩොලර් සැපයුම
ආනයන වියදම = අපනයන ආදායම + ශ්‍රමික ප්‍රේෂණ
ආනයන වියදම - අපනයන ආදායම = ශ්‍රමික ප්‍රේෂණ
වෙළඳ හිඟය = ශ්‍රමික ප්‍රේෂණ

මේ අනුව පැහැදිලි වෙන පරිදි රටකට ශ්‍රමික ප්‍රේෂණ වැඩි වැඩියෙන් ලැබෙනවා කියන්නේ ආනයන අපනයන පරතරයත් ඊට සමානව වැඩි වෙනවා කියන එකයි. උදාහරණයක් විදිහට අවුරුදු හතර පහක් එක දිගට අවුරුද්දකට ඩොලර් බිලියන පහ ගානේ ශ්‍රමික ප්‍රේෂණ ලැබුනා කියා හිතමු. එහි ප්‍රතිඵලය වන්නේ රටේ ආනයන වියදම අපනයන ආදායමට වඩා ඩොලර් බිලියන පහක් වැඩි වන විදිහට රටේ ආර්ථිකය සකස් වීමයි.

ශ්‍රමික ප්‍රේෂණ ක්‍රමයෙන් වැඩි වෙද්දී එසේ ලැබෙන ඩොලර් ටික ආනයන වියදම් ලෙස නැවත රටෙන් එළියට යනවා. මොකද භාණ්ඩ හා සේවා මිසක් ඩොලර් පරිභෝජනය කරන්න බෑනේ. අතේ ඩොලර් තියෙනවනම් ලෝකයේ කොහෙන් හරි මොනවා හරි දෙයක් හොයා ගන්න බැරිකමක් නැති නිසා ඉතා කෙටි කලකින් ආනයන පරිමාව වැඩි කර ගැනීම ඉතා පහසුයි.

දැන් මෙහෙම තියෙද්දී මොකක් හරි හේතුවකින් එක පාරටම ශ්‍රමික ප්‍රේෂණ නැවතුනා කියල හිතමු. දැන් මොකද වෙන්නේ? ඩොලර් සැපයුම අඩු වීම නිසා ඩොලර් එකේ මිල එක වරම විශාල ලෙස ඉහළ යනවා. ඉන් පසුව අපනයන ක්‍රමයෙන් වර්ධනය වෙනවා. හැබැයි ආනයන පරිමාව වැඩි වන ඉක්මනට අපනයන පරිමාව වැඩි වෙන්නේ නැහැ. රටේ භාණ්ඩ හා සේවා වල අපනයන තරඟකාරිත්වය නැති වුනාට පස්සේ එය නැවත ගොඩ නඟාගෙන අපනයන පරිමාව වැඩි කරගන්න යම් කාලයක් යනවා. ඒ අතරතුර රටට ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. කොහොම වුනත් ශ්‍රමික ප්‍රේෂණ එහෙම එක පාරටම නවතින එක සාමාන්‍ය දෙයක් නෙමෙයිනේ.

රජය විසින් හෝ පෞද්ගලික සමාගමක් විසින් ඩොලර් වලින් විදේශ ණය ගත් විටත් වෙන්නේ ඔය වගේම දෙයක්. මොකද මේ ණයට ගන්න ඩොලර් රට ඇතුළට එද්දී රටේ භාණ්ඩ හා සේවා කිසිවක් රටින් පිටට යන්නේ නැහැ. ඒ අතින් බැලුවහම විදේශ ණයත් ශ්‍රමික ප්‍රේෂණ වගෙයි.

දැන් මේ ඩොලර් රුපියල් වලට මාරු කරද්දී ඩොලර් ඉල්ලුම අඩු වෙලා ඩොලරයේ මිල පහළ යනවා. එතකොට ආනයන ඉහළ ගිහින් ආනයන අපනයන පරතරයත් වැඩි වෙනවා.

ඩොලර් ඉල්ලුම = ආනයන වියදම
ඩොලර් සැපයුම = අපනයන ආදායම + විදේශ ණය
ඩොලර් ඉල්ලුම = ඩොලර් සැපයුම
ආනයන වියදම = අපනයන ආදායම + විදේශ ණය
ආනයන වියදම - අපනයන ආදායම = විදේශ ණය
වෙළඳ හිඟය = විදේශ ණය

දැන් මේ විදිහේ සමතුලිතතාවයකින් ඩොලරයේ අගය පහළට වැටුනහම ඩොලරය ඒ මට්ටමේ තියා ගන්න ඊළඟ අවුරුද්දෙත් ඒ තරමේම ණයක් ගන්න වෙනවා. එසේ නැත්නම් ඩොලරයේ අගය ඉහළ යනවා.

උදාහරණයක් විදිහට අවුරුදු හතර පහක් එක දිගට අවුරුද්දකට ඩොලර් බිලියන දෙක ගානේ විදේශ ණය ගත්තා කියා හිතමු. එහි ප්‍රතිඵලය වන්නේත් කලින් අවස්ථාවේදී වගේම රටේ ආනයන වියදම අපනයන ආදායමට වඩා ඩොලර් බිලියන දෙකක් වැඩි වන විදිහට රටේ ආර්ථිකය සකස් වීමයි. ඒ නිසා, ගත් ණය හා පොලිය එක ඩොලරයක්වත් ආපසු නොගෙවුවත්, ඩොලරයේ අගය තියෙන මට්ටමේම තියාගන්නනම් හැම අවුරුද්දකම ඩොලර් බිලියන දෙක ගානේ අළුතින් විදේශ ණය ගන්න වෙනවා. එසේ නොකළොත් ඩොලරයේ අගය එක වරම සෑහෙන තරමකින් ඉහළ යන්න ඉඩ අරින්න වෙනවා.

හරි ඔහොම කාලයක් දිගින් දිගටම විදේශ ණය අරගනිමින් ඩොලරය පහළින් තියා ගත්තා කියමු. නමුත්, ශ්‍රමික ප්‍රේෂණ වගේ නෙමෙයි විදේශ ණය ආපසු ගෙවන්න ඕනෑ. ඔන්න ඔතනයි ලොකුම අවුල තියෙන්නේ. නරකම තත්ත්වයක් යටතේ ශ්‍රමික ප්‍රේෂණ ඕනෑනම් නැවතෙයි. නමුත් ලැබුණු මුදල් ආපසු යන්නේ නැහැ. ඒත් ණය ඒ වගේ නෙමෙයි. ගත් ණය ආපසු යන්නේ පොලියත් එක්කයි. මේ ණය හා පොලිය ආපසු ගෙවන්න වෙන කොට රටේ ඩොලර් ඉල්ලුම විශාල ලෙස ඉහළ යනවා.

ඩොලර් ඉල්ලුම = ආනයන වියදම + ණය ආපසු ගෙවීම් + ණය පොලිය
ඩොලර් සැපයුම = අපනයන ආදායම + විදේශ ණය
ඩොලර් ඉල්ලුම = ඩොලර් සැපයුම
ආනයන වියදම + ණය ආපසු ගෙවීම් + ණය පොලිය = අපනයන ආදායම + විදේශ ණය
ආනයන වියදම - අපනයන ආදායම = විදේශ ණය - ණය ආපසු ගෙවීම් - ණය පොලිය
වෙළඳ හිඟය = විදේශ ණය - ණය ආපසු ගෙවීම් - ණය පොලිය

කලින් අවුරුද්දකට ඩොලර් බිලියන දෙක ගානේ විදේශ ණය ගනිමින් හිටියා කියා කියමුකෝ. ඩොලර් එක තියෙන මට්ටමේ තියා ගන්නනම් මේ අවුරුද්දෙත් ඩොලර් බිලියන දෙකක ණය ගන්න වෙනවා. ඊට අමතරව කලින් ගත් ණය හා පොලිය ගෙවන්න තවත් ඩොලර් බිලියන තුනක මුදලක් අවශ්‍යනම් අලුතෙන් ඩොලර් බිලියන පහක ණය ගන්න වෙනවා.

ණය වැඩි වන විට ඉදිරි වසර වලදී ණය ආපසු ගෙවීම් හා පොලී ගෙවීම් තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ අලුතෙන් ගන්න ණය ප්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරන්න වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ ණය අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වනවා පමණක් නොවෙයි ඒ වැඩි වන වේගයත් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා.

ප්‍රමාණවත් තරම් ණය නොගත්තොත් ඩොලරයේ අගය ඉහළ යනවා. ඩොලරයේ අගය ඉහළ යන්න දෙන තරමට අලුතෙන් ණය ගැනීමේ අවශ්‍යතාවය පහළ යනවා. නමුත්, ඩොලරයේ අගය ඉහළ යාම නිසා රුපියල් වලින් බැලූ විට ණය ප්‍රමාණය වැඩියෙන් පේන්න පුළුවන්.

පොදු වශයෙන් රටේ විදේශ ණය සැලකූ විට මේ ණය ගෙවිය යුත්තේ ඩොලර් වලින් නිසා ඩොලර් වලින් ණය ප්‍රමාණය අඩුවෙනවනම් රුපියල් වලින් වැඩි වීමේ ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත්, මේ විදේශ ණය රජයේ විදේශ ණය වූ විට එහි ප්‍රශ්නයක් නැත්තෙමත් නැහැ. ඒ රජය ආදායම් හොයන්නේ රුපියල් වලින් මිස ඩොලර් වලින් නොවන නිසයි.

රුපියල් වලින් විදේශ ණය ගත්තහම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ නැද්ද? රුපියල් ණය ගන්න විදේශිකයෝ රුපියල් ණය දෙන්නේ ඩොලර් මාරු කරලා. ඒ නිසා, විදේශිකයින් රුපියල් ණය ගනිද්දීත් රටට ඩොලර් එනවා. ඒ වගේම, ණය හා පොලිය ආපසු ලැබෙන්නේ රුපියල් වලින් වුවත් ඔවුන්ට රුපියල් වලින් වැඩක් නැති නිසා රටින් පිටට ගෙනියන්නේ ඩොලර්. ඒ නිසා, විදේශිකයින්ගෙන් රුපියල් ණය ගත්තත් මේ කතන්දරේ මේ විදිහටම වාගේ සිද්ධ වෙනවා.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ මුල් අවුරුදු වලදී තේරීම වුනේ විදේශ ණය වෙනුවට දේශීය ණය ගැනීමයි. එහෙත්, පසුව ඔවුන්ගේ තේරීම වුණේ විදේශ ණය ගැනීමයි. ආණ්ඩු මාරුවෙන් පසුව රජයේ ආදායම් වියදම් පරතරය යම් තරමකින් සීමා කරගෙන තිබුණත්, රාජ්‍ය ණය සහ විදේශ විණිමය ප්‍රතිපත්තිය හා අදාළව දැන් සිදුවෙමින් තියෙන්නෙත් අවුරුදු දහයකට කලින් වූ දෙයමයි.

ඔය ක්‍රමයට යාමේ අවසාන ප්‍රතිඵලය ගැන කියන්න ඕනෑනම් එය වෙන දවසකට තියන්නම්. ඒ වගේම, ණය ගනිමින්ම මේ අවදානම අඩු කර ගත හැක්කේ කොහොමද කියන එකත් පසුව කියන්නම්.

(Image: http://www.dailymirror.lk/article/Rupee-depreciation-Implications-to-economy-136063.html)

Wednesday, September 5, 2018

වන් ඇන්ඩ් ඔන්ලි සිලෝන්?


ලංකාව හැඳින්වෙන නිල නම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. ඔය විදිහට හැඳින්වෙන්නේ 1978 වසරේ ඉඳලයි.ඊට කලින් 1972 වසරේ ඉඳලා ලංකාව හැඳින්වුණේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජය වශයෙනුයි. ඊටත් කලින් රටේ නම නිකම්ම ලංකාව. ඉංග්‍රීසියෙන්නම් සිලෝන්.

සිලෝන් කියන ඉංග්‍රීසි නම විකාශනය වෙන්නේ ඊටත් පෙර ලංකාව හැඳින්වුණු සිහලදීප කියන නමෙන් බව සෑහෙන දුරකට පිළිගැනෙන මතයක්. මේ හා අදාළ වෙනත් මතත් තිබෙනවා.

සිලෝන් කියා කියූ විට බොහෝ දෙනෙක් අවුලක් නැතිව හඳුනාගන්නේ ඉන්දියාවට පහලින් තිබෙන දැන් ලංකාව සේ හැඳින්වෙන දිවයිනයි. ඒ වගේම ඒ නම ගෑවී තිබෙන දෙයක් හඳුනාගන්නේ ලංකාවට සම්බන්ධ දෙයක් ලෙසයි. මේ රටේ නම දැන් ඉංග්‍රීසියෙන් ලියන්නේ ශ්‍රී ලංකා කියා වුවත් සිලෝන් කියන නම තවමත් මුළුමනින්ම භාවිතයෙන් ඉවත් වී නැහැ.

උදාහරණයක් විදිහට ලංකා බැංකුව යන්න ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නේ බෑන්ක් ඔෆ් සිලෝන් කියලයි. ලංකා වාණිජ බැංකුව ඉංග්‍රීසියට පරිවර්තනය වෙන්නේ කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් කියලයි. යම් විදිහකින් ලංකා රාජ්‍ය බැංකුව කියා බැංකුවක් ලංකාවේ තිබුණානම් ඕක ඉංග්‍රීසියෙන් ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන් කියා හැඳින්වෙන්න ඉඩ තිබුණා.



ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන් ලෙස හැඳින්වෙන බැංකුවක් ලංකාවේ නැතත් ඇමරිකාවේ එලෙස හැඳින්වෙන බැංකුවක් තිබෙනවා. එය තිබෙන්නේ මිනසෝටා ප්‍රාන්තයේ දකුණු කොණේ අයෝවා ප්‍රාන්ත මායිම කිට්ටුව තිබෙන සිලෝන් කියන ප්‍රදේශයේ. ඇමරිකාවේ 42වන උප ජනාධිපති වූ වෝල්ටර් මොන්ඩේලුත් මේ සිලෝන් කියන ප්‍රදේශයේ ඉපදුනු අයෙක්. මේ ප්‍රදේශය සිලෝන් ලෙස නම් කර තිබෙන්නේ ලංකාව හැඳින්වුණු සිලෝන් කියන නම අනුව යමිනුයි.


ලෝකයේ විවිධ රටවල් වල නම් වලින් හැඳින්වෙන ප්‍රදේශ ගණනාවක් ඇමරිකාවේ තිබෙනවා. ඒ බොහෝ ප්‍රදේශ එසේ නම් කර තිබෙන්නේ අදාළ රටවල් වලින් පැමිණි සංක්‍රමණිකයින් එවැනි ප්‍රදේශ වල පදිංචි වීම මත පදනම්ව වුවත් මිනසෝටා ප්‍රාන්තයේ සිලෝන් කියන ප්‍රදේශය එසේ නම් කරන්නට හේතු වී තිබෙන්නේ ඒ කරුණම නෙමෙයි.

ඔය සිලෝන් කියන හරියට සංක්‍රමණය වූ මුල් කණ්ඩායමේ පිරිසක් තමන්ගේ ජනපදයට දමන්න සුදුසු නමක් ගැන කතා කරගන්න කඩපිලකට එක්රැස් වෙලා විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. මේ කතාබහ දිගින් දිගට ඇදෙද්දී උණුසුම් තේ සංග්‍රහයකුත් කෙරී තිබෙනවා. ඔය කාලේ ඉතිං තේ කියන්නේ සිලෝන් ටීනේ.

තේ කෝප්පේ ආපු ගමන්ම එක් අයෙක්ට මතක් වෙලා තිබෙන්නේ තමන්ගේ ජනපදයට සිලෝන් කියන නම නරකද කියන එකයි. යෝජනාවට හැමෝම කැමති වෙලා. ඔන්න ඔහොමයි ඔය ප්‍රදේශයට සිලෝන් කියන නම වැටිලා තියෙන්නේ. ඇමරිකාව හරහට දිවෙන ප්‍රධානම පාරක් වන I-90 පාරේ 93 පිටවුමෙන් 263 පාරට ඇවිත් හැතැම්ම දහයක් දොළහක් දකුණට ආවහම ඔය සිලෝන් කියන හරියට එන්න පුළුවන්.

මිනසෝටා ප්‍රාන්තයේ තිබෙන සිලෝන් කියන්නේ ඇමරිකාවේ තිබෙන එනමින් හැඳින්වෙන එකම ප්‍රදේශය නොවෙයි. අඩුම වශයෙන් තවත් ප්‍රාන්ත තුනක සිලෝන් ලෙස හැඳින්වෙන ගම් තිබෙනවා. ඒ ඔහායෝ, ඉන්දියානා හා පෙනිසිල්වේනියා කියන ප්‍රාන්ත වල.

ඔහායෝ වල තිබෙන සිලෝන් වලට යන්නනම්  I-90 පාරේ 118 පිටවුමෙන් උතුරට යන්න ඕනෑ. මේ ප්‍රදේශය තිබෙන්නේ පංච මහා විල් වලින් එකක් වන ඊරී විලට කිට්ටුව ඇමරිකාවේ උතුරු සීමාවේ.

ඉන්දියානා ප්‍රාන්තයේ සිලෝන් තිබෙන්නේ ප්‍රාන්තයේ නැගෙනහිර පැත්තේ ඔහායෝ මායිම කිට්ටුවට වෙන්න. ෆෝර්ට් වේන් නගරයේ සිට පැයකට අඩු කාලයකින් එහි ලඟා විය හැකියි.

පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ සිලෝන් තිබෙන්නේ එහි දකුණු මායිමේ වෙස්ට් වර්ජිනියා ප්‍රාන්ත සීමාව කිට්ටුව. පිට්ස්බර්ග් නගරයේ සිට පැයක පමණ කාලයකින් එහි ලඟා විය හැකියි.


ඇමරිකාවේ වගේම කැනඩාවේත් සිලෝන් ලෙස හැඳින්වෙන ප්‍රදේශ අවම වශයෙන් දෙකක් තිබෙනවා. ඒ ඔන්ටේරියෝ හා සැස්කටුවාන් ප්‍රාන්ත වල. ඔන්ටේරියෝ සිලෝන් තියෙන්නේ හූරොන් විල පැත්තට වෙන්න. සැස්කටුවාන් සිලෝන් තිබෙන්නේ ඇමරිකානු දේශ සීමාවට ආසන්නව.



උතුරු ඇමරිකාවේ වගේම එංගලන්තයේත් සිලෝන් නම තිබෙන තැන් තිබෙනවා. ඒ ලන්ඩන් වල හැමර්ස්මිත් හරියේ තිබෙන සිලෝන් රෝඩ් එක සහ නැගෙනහිර වෙරළ කිට්ටුව සවුත්එන්ඩ්-ඔන්-සී වල තිබෙන සිලෝන් රෝඩ් එකයි. සිලෝන් ලෙස හැඳින්වෙන තැනක් වගේම සිලෝන් රෝඩ් හා සිලෝන් ස්ට්‍රීට් ලෙස හැඳින්වෙන පාරවල් කිහිපයක්ම දකුණු අප්‍රිකාවෙත් තියෙනවා.


සිලෝන් රෝඩ් එකක් හා සිලෝන් ලේන් එකක් සිංගප්පූරුවෙත් තියෙනවා. ඒ වගේම මැලේසියාවේ කුවාලාලම්පූර් කිට්ටුව බුකිට් සිලෝන් (ලංකා කන්ද) කියා ප්‍රදේශයක් තිබෙනවා. ලොරොන් සිලෝන්, ජාලන් සිලෝන් ආදී ලෙස හැඳින්වෙන පාරවලුත් ඔය පැත්තේ තියෙනවා.

මේ ප්‍රදේශ ගැන වැඩි විස්තර දන්න අය කියවන අය අතර ඇති.

(ඡායාරූප සියල්ල අන්තර්ජාලයෙනි.)

Friday, August 31, 2018

ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාව

ජනාධිපති ජේආර් ජයවර්ධන ඇමරිකන් ජනාධිපති රේගන්ව හම්බු වෙන්න ගිහින් අලි පැටියෙක් තෑගි කරපු කතාව ගැන අපි කලින් කතා කළානේ. ඔය සිද්ධිය වුනේ 1984 ජූනි 18 වෙනිදා. ඊට සතියකට දෙකකට කලින්, ජූනි 4-10 අතර දවස් වල රේගන් එංගලන්ත සංචාරයක නිරත වුනා. මේ ගමනේ අරමුණ වුණේ G7 රටවල් වල ආර්ථික සමුළුවට සහභාගී වීමයි. රොනල්ඩ් රේගන් ඔය සමුළුවට සහභාගී වෙමින් සිටින අතරතුරේදී නැන්සි රේගන් ලන්ඩන් සත්ත්වෝද්‍යානය බලන්න ගියා.


(Image: https://abc7chicago.com)

ලන්ඩන් සත්වෝද්‍යානයේ හිටපු සත්තු අතරින් නැන්සි රේගන්ගේ හිත ගොඩක් ඇදිල ගියේ කුඩා අලි පැටික්කියෙක් වූ ඩිල්බර්ටා වෙතටයි. ඩිල්බර්ටා ලංකාවේ අලියන් සාමාන්‍යයෙන් කරන විදිහට (කරන්න පුරුදු කරලා තියෙන විදිහට) හොඬවැල උස්සලා නැන්සි රේගන්ට ආචාර කලා.

මේ ඩිල්බර්ටාත් ඉපදිලා තියෙන්නේ පින්නවලදී. ලංකාවේදී ගීතා ලෙස හැඳින්වුණු ඇය ඩිල්බර්ටා වෙලා තියෙන්නේ එංගලන්තයට ආවට පස්සෙයි. 1980 ඔක්තෝබර් මාසයේදී ඉපදී තිබෙන ඇය එංගලන්තයට පැමිණ තිබෙන්නේ 1982 ජූනි 30 වෙනිදා. මේ සිද්ධිය වෙන කොට ඇයට වයස අවුරුදු හතරයි.

ඩිල්බර්ටා දැනට ජීවතුන් අතර නැහැ. ඒත් ඩිල්බර්ටා වගේ ලංකාවේ සිට ලෝකයේ විවිධ රටවලට යවනු ලැබූ අලි සහ ඔවුන්ගෙන් පැවතගෙන එන අලි විශාල ප්‍රමාණයකගෙන් සමන්විත ශ්‍රී ලාංකික අලි ඩයස්පෝරාවක් මේ වන විට ලෝකය පුරා විසිරී සිටිනවා.

ලංකාවේ ඉපදුණු කමලා, ස්වර්ණා හා බණ්ඩාර කැනඩාවේ කැල්ගරි සත්ත්වෝද්‍යානයට එන්නේ 1976 අවුරුද්දේ මැයි 25 වෙනිදා. ඒ වන විට බණ්ඩාරට වයස අවුරුද්දයි. ස්වර්ණාට හා කමලාට මාස නවයක් විතර. මේ තුන්දෙනාගෙන් බණ්ඩාර 1991 නොවැම්බර් 25 වෙනිදා හෘදයාබාධයකින් මිය ගියා. ඒ වන විට බණ්ඩාරගේ වයස අවුරුදු දාසයයි.

බණ්ඩාර එක්ක කැනඩාවට පැමිණි ස්වර්ණා හා කමලා තවමත් ජීවත් වෙනවා. ඒ දෙන්නා දැන් ඉන්නේ ඇමරිකාවේ අගනුවර වන වොෂින්ටන් ඩීසීහි පිහිටි ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ. දැනට වයස අවුරුදු 43ක් වන මේ දෙන්නා කැනඩාවේ ඉඳලා ඇමරිකාවට එන්නේ 2014 මැයි 22 වෙනිදා. බණ්ඩාර අඩු වයසකින් මිය ගියත් ඊට පෙර කමලා එක්ක එකතු වෙලා දරුවෝ දෙන්නෙක් හැදුවා. ඒ දරුවෝ තවත් දරුවන් ගණනාවක් හැදුවා. දැන් ලෝකය පුරා විසිරිලා ඉන්න බණ්ඩාරගේ හා කමලාගේ දරුවන් හා මුණුපුරන් ගැන පසුව ලියන්නම්.

මේ වන විට ඇමරිකාවේ ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ ජීවත්වන වයස අවුරුදු 42ක් වූ ශාන්ති ඇමරිකාවට පැමිණියේත් බණ්ඩාර, කමලා හා ස්වර්ණා කැනඩාවට පැමිණි 1976 අවුරුද්දේදී. ඒ අවුරුද්දේ දෙසැම්බර් 29 වෙනිදා ඈ ඇමරිකාවට පැමිණෙන විට ඇගේ වයසත් අවුරුද්දකට අඩුයි. ශාන්තිටත් දරුවන් දෙදෙනෙක් හා මුණුපුරන් ගණනාවක් ඉන්නවා. එක් දරුවෙක්ගේ පියා බණ්ඩාරගේ හා කමලාගේ පුතෙක්.

ශාන්ති ඇමරිකාවට පැමිණෙන්න මාසයකට පෙර, 1976 නොවැම්බර් 3 වෙනිදා ඇමරිකාවේ චිකාගෝ නගරයේ පිහිටි ලින්කන් සත්ත්වෝද්‍යානයට පැමිණි බොසී දැන් ඉන්නේත් ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ. ඇමරිකාවට ලංකාවේ සිට පැමිණි පෙර කී අලි පැටවුන්ගේ සමකාලීනයෙකු වන බොසීටත් දැන් අවුරුදු 43ක්. ඇයටත් දරුවෙක් හා මුණුපුරන් ගණනාවක් ඉන්නවා.

උතුරු ඇමරිකාවට පෙර කී අලි පැටවුන් පස් දෙනා පැමිණි 1976 අවුරුද්දේදී යුරෝපයටත් ලංකාවෙන් අලි පැටවුන් පැමිණිලා තිබෙනවා. ඒ අවුරුද්දේ මාර්තු 24 වෙනිදා ස්විට්සර්ලන්තයේ සූරිච් සත්ත්වෝද්‍යානයට පැමිණි සීලා-හිමාලි එහි පැමිණෙන විට ඇගේ වයස මාස අටයි. දරුවන් හය දෙනෙකු වැදූ සීලා-හිමාලිට මුණුපුරු මිණිපිරියන් විශාල පිරිසක් ඉන්නවා.

ඔය කාලයේදීම පිලිපීනයේ මැනිලා සත්ත්වෝද්‍යානයට ලබා දුන් මාලිටත් දැන් වයස අවුරුදු 44යි. දරුවන්නම් නැහැ.

කලින් කී අලි පැටවුන් සමඟි පෙරමුණු ආණ්ඩුව කාලයේදී ලංකාවෙන් පිටරට පටවනු ලැබූ පළමු අලි කණ්ඩායම නෙමෙයි. අනුෂාව සහ කෝමලීව ලංකාවේ සිට සිංගප්පූරු සත්ත්වෝද්‍යානයට එවල තියෙන්නේ 1973 වසරේදී. ඒ වන විට අනුෂාට වයස අවුරුදු 28ක්. කෝමලීටනම් අවුරුදු 3ක් වුණා පමණයි. අනුෂා 1999 සැප්තැම්බර් 27 වෙනිදා මිය යන විට ඇයට වයස අවුරුදු 54ක්. දැන් වයස අවුරුදු 48ක් වන කෝමලී මේ වන විට සිංගප්පූරුවේ සිටින ජ්‍යෙෂ්ඨතම කෙණෙරයි.

යුරෝපයේදී හෝ උතුරු ඇමරිකාවේදී මෙන් මේ කෙණෙරන්ගෙන් පැටවුන් ලබා ගන්න සිංගප්පූරුව සමත් වී නැති නිසා ඔවුන්ගෙන් පැවතෙන්නන් කිසිවෙකු නැහැ. ඒ වුනත්, අනුෂා හා කෝමලී ලංකාවේ අලි සංස්කෘතිය සිංගප්පූරුවේ ප්‍රචලිත කර තිබෙනවා. සිංගප්පූරු සත්ත්වෝද්‍යානයේ දැනට සිටින විවිධ රටවලින් පැමිණි අලින්ගේ සම්බන්ධීකරණ භාෂාව ලංකාවේ අලි භාෂාවයි.

මීටත් කලකට පෙර බණ්ඩාරනායක ආණ්ඩුව කාලයේදී ලංකාවෙන් ජපානයට අවුරුදු තුනක අලි පැටියෙක් ලබා දී තිබෙනවා. හිරෝහිතෝ අධිරාජයාගේ මල්ලී වූ මිකාසා කුමරුට 1957දී තෑගි කෙරුණු, අගමැති පුතු ලෙසින්ම අනුර සේ නම් කර තිබෙන මේ අලි පැටවා දැන් වයස අවුරුදු 65ක අලියෙක්. ජපානයේ තමා සත්ත්ත්වෝද්‍යානයේ ජීවත් වෙනවා.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී කෝසල හා අනුලානම් වූ තවත් අලි පැටවුන් දෙදෙනෙකු ජපානයේ හිගශියමා සත්ත්වෝද්‍යානයට ලබා දී තිබෙනවා. 2007 ජූලි 28 වෙනිදා මේ අලි පැටවුන් ලබා දී තිබෙන්නේ රයිනෝසිරස් පැටවුන් දෙදෙනෙකු සමඟ හුවමාරුවක් ලෙසිනුයි. කෝසල ඉපදිලා තියෙන්නේ 2004 මැයි 10 වෙනිදා පින්නවලදී. ඔහුට දැන් වයස 14ක්. ඊට වසර තුනකට පෙර ඉපදුනු අනුලාට දැන් වයස 17ක්. මේ දෙන්නට දැන් ජපානයේදී උපන් සුරතල් දියණියකුත් ඉන්නවා.

ඉන්පසුව නැවතත් මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව හා ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට වසර හැටක් පිරීම නිමිත්තෙන් 2012 නොවැම්බර් 30 වෙනදා ජපානයේ තමා සත්වෝද්‍යානයට අලි පැටවුන් දෙන්නෙක් ලබා දී තිබෙනවා. ඒ, 2004 ඔක්තෝබර් 29 දා පින්නවලදී උපන් අමරා සහ 2007 අගෝස්තු 25 එහිදීම උපන් විදුර කියන අලි පැටවු දෙන්නා. දැන් මේ දෙන්නට වයස පිළිවෙලින් අවුරුදු 16ක් හා 11ක්.

ඊටත් පස්සේ 2013 සැප්තැම්බර් මාසයේදී ජපානයේ තොකුයමා සත්වෝද්‍යානයට නාමලී හා මිලින්ද නම් වූ තවත් අලි පැටවු දෙන්නෙක් ලබා දී තිබෙනවා. මේ දෙන්නට දැන් පිළිවෙලින් අවුරුදු 12ක් හා 10ක් වෙනවා. මෙයට අමතරව චිබා සත්ත්වෝද්‍යානයේ සිටින සුරතලා නම් වූ අලියාත් ලංකාවෙන් එහි ගිය අලියෙක් වෙන්න පුළුවන්.

රාජපක්ෂ ආණ්ඩුව කාලෙදීම 2007 පෙබරවාරි 16 වෙනිදා චීනයටත් අලි පැටියෙක් දීල තියෙනවා. 2001 ජූනි මාසේදී පින්නවලදී ඉපදිලා තිබෙන, දැනට බීජිං සත්ත්වෝද්‍යානයේ ඉන්න, මිගාර කියන මේ අලි පැටියට දැන් වයස අවුරුදු 17ක්.

දැනට ස්විට්සර්ලන්තයේ ප්‍රාග් සත්ත්වෝද්‍යානයේ ජීවත් වන තමරා සහ ජනිතා ලංකාවේ සිට එහි පැමිණ තිබෙන්නේ 2012 ඔක්තෝබර් 7 වෙනිදා. වැඩිමල් ජනිතාට වයස 14යි. තමරාට 13යි. මොවුන් එහි ගිහින් වැඩි දවසක් යන්න කලින් මියන්මාරයෙන් පැමිණ සිටි අන්කෝර් තමරාට වහ වැටෙද්දී වියට්නාමයේ සිට ආ මීකොන්ගේ කැමැත්ත ලැබෙන්නේ ජනිතටයි. මේ දෙන්නටම දැන් අවුරුදු දෙක පහු කළ පුත්තු ඉන්නවා.

මීට අමතරව 1977දී ලංකාවේ සිට පැමිණි දේවී ඇමරිකාවේ සැන් දියාගෝ සත්වෝද්‍යානයේ ජීවත් වෙනවා. ඇය එහි පැමිණ තිබෙන්නේ මාස නවයක කාලයේදී. දේවී මෙන්ම ඉපදී මාස කිහිපයකින් 1968දී එහි පැමිණි සුමති අඩ සියවසකට ආසන්න කාලයක් ජීවත් වී දෙවසරකට පෙර මිය ගියා.

පසුගිය ආණ්ඩුව කාලයේදී කොරියාවේ සියෝල් ග්‍රෑන්ඩ් පාර්ක් සත්වෝද්‍යානයටත් සුගලා හා ගජබා නම් වූ අලි පැටවු දෙන්නෙක් ලබා දීල තියෙනවා. සුගලා තවමත් ජීවත් වුනත් ගජබා මේ වන විට ජීවතුන් අතර නැහැ. පසුගිය 7 වෙනිදා මද කිපී සිටි වයස 14ක් වූ ගජබා අවාසනාවන්ත ලෙස මිය ගිහින්. කෙසේ වුවත් ගජබා මිය ගියේ පියෙකු වීමෙන් පසුවයි. 2016 ජූනි මාසයේදී උපන් ගජබාගේ හා සුගලාගේ දරුවාව නම් කෙරුණේ කොරිලංකා ලෙසයි.

පකිස්ථානයේ ලාහෝර් සෆාරි උද්‍යානයටත් ලංකාවෙන් අලි පැටවු දෙන්නෙක් ලබා දෙන්න නියමිත බව මාස දෙකකට පෙර වාර්තා වී තිබුණා. මේ වන විට යවල වෙන්නත් පුළුවන්.

ලංකාවේ සිට වෙනත් රටකට සංක්‍රමණය වන මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න බොහොමයකටම ලංකාවේ සිට වෙනත් රටකට යන්නට සිදුවන අලින්ටත් මුහුණ දෙන්න වෙනවා. මිනිස්සුනම් සංක්‍රමණය වන්නේ තමන්ගේ තීරණයේ තිබෙන හොඳ නරක කිරා මැන බැලීමෙන් පසුව කැමැත්තෙනුයි. නමුත් අලින්ගේ සංක්‍රමණ තීරණය ඔවුන්ගේ කැමැත්තෙන් සිදුවන්නක් නෙමෙයි.

Tuesday, August 28, 2018

ගෙවුම් ශේෂ ප්‍රශ්නය

ලංකාවේ ආර්ථිකය මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්න දෙක වන රාජ්‍ය ණය ප්‍රශ්නය හා ගෙවුම් ශේෂ ප්‍රශ්නය ගැන අප නිතරම කතා කරනවා. මෙයින් පළමුවැන්නෙන් අදහස් වන්නේ කුමක්ද කියන එක බොහෝ දෙනෙක්ට පැහැදිලියි. නමුත්, ගෙවුම් ශේෂ ප්‍රශ්නයත්, ඒ එක්කම කතා කරන ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම, නිල සංචිත වගේ දේවලුත් ගොඩක් අයට පැහැදිලි නැහැ. මේ ලිපියෙන් කරන්නේ මේ තාක්ෂනික වචන වල තේරුම පැහැදිලි කිරීමයි.

කිසියම් රටක දළ දේශීය නිෂ්පාදිතය ඇතුළු සාර්ව ආර්ථික දර්ශක ගණනාවක් ගණනය කරන්නේ ජාතික ගිණුම් ඇස්තමේන්තු පදනම් කර ගෙනයි. මෙහිදී රටේ සිදුවන සෑම ගනුදෙනුවක්ම සෛද්ධාන්තිකව කිසියම් ගිණුමක සටහන් විය යුතුයි. ඒ අතරින්, විදේශ රටක් සම්බන්ධ වන ගනුදෙනු සටහන් වන්නේ ජංගම ගිණුමේ, ප්‍රාග්ධන ගිණුමේ හෝ මූල්‍ය ගිණුමේ.

මෙයින් ජංගම ගිණුමේ සටහන් වෙන්නේ අදාළ කාලය තුළ සිදුවී අවසන් වූ, ඉදිරි කාලයකට සම්බන්ධයක් නැති ගනුදෙනුයි. ජංගම ගිණුම ඇතුළේ තවත් උප ගිණුම් කිහිපයක්ම තිබෙනවා. එයින් ප්‍රධානම ගිණුම වෙළඳ ගිණුමයි.

වෙළඳ ගිණුමේ සටහන් වෙන්නේ අපනයන ආදායම් හා ආනයන වියදම්. අපනයන ආදායම් හර පැත්තේත්,  ආනයන වියදම් බැර පැත්තේත් සටහන් වෙනවා. වෙළඳ ශේෂය කියා කියන්නේ මේ අපනයන ආදායම් හා ආනයන වියදම් අතර වෙනසයි. ලංකාවේ අපනයන ආදායම් ආනයන වියදම් වලට වඩා අඩු නිසා වෙළඳ ගිණුමේ දකින්නට ලැබෙන්නේ සෘණ ශේෂයක්.

ජංගම ගිණුමේ දෙවන උප ගිණුම සේවා ගිණුමයි. විදෙස් රටවල් සමඟ කරන භාණ්ඩ වෙළඳාම හා අදාළ ගනුදෙනු වෙළඳ ගිණුමේ සටහන් වෙනවාක් මෙන්ම විදෙස් රටවල් සමඟ කරන සේවා වෙළඳාම හා අදාළ ගනුදෙනු සේවා ගිණුමේ සටහන් වෙනවා. උදාහරණ විදිහට නැව් හා ගුවන් ගමන් සේවා සැපයීම්, විදුලි සංදේශ සේවා සැපයීම්, සංචාරක සේවා හා අදාළ වියදම් හා ඉපැයීම් සඳහන් කළ හැකියි. ලංකාවේ වෙළඳ ගිණුමේ ශේෂය සෘණ අගයක් වුවත් සේවා ගිණුමේ සාමාන්‍යයෙන් අතිරික්තයක් දකින්න පුළුවන්. ඒ අතිරික්තයෙන් වෙළඳ ගිණුමේ හිඟයෙන් කොටසක් ආවරණය වෙනවා.

ජංගම ගිණුමේ තෙවන උප ගිණුම ප්‍රාථමික ආදායම් ගිණුමයි. ලාංකිකයින් සතුව විදේශ වල තිබෙන වත්කම් වලින් ලැබෙන ආදායම් මෙහි හර පැත්තේත්, ලංකාවේ තිබෙන විදේශිකයින් සතු වත්කම් වලින් ඔවුන් උපයන දේ මෙහි බැර පැත්තේත් සටහන් වෙනවා. ලංකාවේ තිබෙන විදේශිකයින් සතු වත්කම් වලට සාපේක්ෂව ලාංකිකයින් සතුව විදේශ වල තිබෙන වත්කම් ප්‍රමාණය ඉතා සීමිත නිසා මේ ගිණුමේ දකින්නට ලැබෙන්නේත් සෘණ ශේෂයක්.

ජංගම ගිණුමේ සිවුවන උප ගිණුම ද්වීතියික ආදායම් ගිණුමයි. මැදපෙරදිග ශ්‍රමිකයින් විසින් හෝ වෙනත් කවර හෝ අයෙකු විසින් නැවත ආපසු ගැනීමේ හෝ ආදායම් ඉපැයීමේ අරමුණක් නැතිව එවන ප්‍රේෂණ මෙහි හර පැත්තේ සටහන් වෙනවා. ලංකාවෙන් පිටතට යන ප්‍රේෂණ බැර පැත්තේ සටහන් වෙනවා. මේ ගිණුමේනම් සැලකිය යුතු අතිරික්තයක් තිබෙනවා.

ඉහත කී උප ගිණුම් හතරේම එකතුවයි ජංගම ගිණුමේ ශේෂය සේ හැඳින්වෙන්නේ. ලංකාවේ ද්වීතියික ආදායම් ගිණුමේ හා සේවා ගිණුමේ අතිරික්තයන් තිබුණත්, වෙළඳ ගිණුමේ හා ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟ ශේෂයන් ආවරණය කරන්න ඒ අතිරික්තය ප්‍රමාණවත් නැති නිසා ජංගම ගිණුමේ තිබෙන්නේ හිඟයක්.

කිසියම් රටක ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවානම් ඒ හිඟය පියවෙන ක්‍රමයකුත් අනිවාර්යයයෙන්ම තිබිය යුතුයි. මේ හිඟය පියැවෙන්නේ ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුම් හරහායි. විදේශිකයෙකු විසින් ලංකාවේ වත්කමක් මිලදී ගත් විට එය ප්‍රාග්ධන හෝ  මූල්‍ය ගිණුමක හර පැත්තේ සටහන් වෙනවා. ලාංකිකයෙකු වෙනත් රටක වත්කමක් මිල දී ගත් විට එය බැර පැත්තේ සටහන් වෙනවා. වත්කම් අතරින් මූල්‍ය වත්කම් මූල්‍ය ගිනුමේත්, අනෙක් ස්ථිර වත්කම් ප්‍රාග්ධන ගිනුමේත් සටහන් වෙනවා.

රටක මහ බැංකුව විදේශ විණිමය වෙළඳපොළේ මැදිහත්වීම් නොකරනවානම් ජංගම ගිණුමේත්, ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුමේත් ශේෂයන් සමතුලිත විය යුතුයි. ඒ කියන්නේ ජංගම ගිණුමේ හිඟයක් ඇති විට ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුමේ එයට සමාන අතිරික්තයක් තිබිය යුතුයි. ජංගම ගිණුමේ අතිරික්තයක් තිබෙන විට ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුමේ එයට සමාන හිඟයක් තිබිය යුතුයි.

ලංකාවේ මූල්‍ය ගිණුමට සාපේක්ෂව ප්‍රාග්ධන ගිණුම ඉතා කුඩා එකක්. එහි හර පැත්තේ වගේම බැර පැත්තේත් එතරම් ලොකු ගණන් සටහන් නොවන නිසා ශේෂයත් එතරම් විශාල නැහැ. ඒ නිසා, ජංගම ගිණුමේ හිඟය ප්‍රධාන වශයෙන්ම ආවරණය වන්නේ මූල්‍ය ගිණුමේ අතිරික්තයෙනුයි.

සෘජු විදෙස් ආයෝජන, කොටස් වෙළඳපොළ ආයෝජන, බැඳුම්කර ආයෝජන ආදී ලෙස මෙන්ම රජය විසින් ලබාගන්නා ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ණය හරහා ලැබෙන මුදල් මූල්‍ය ගිණුමේ හර පැත්තේ සටහන් වෙනවා. මේ ආයෝජන මුදල් කර ආපසු ගෙනයන විට හා රජයේ ණය ආපසු ගෙවන විට මෙහි බැර පැත්තේ සටහන් වෙනවා.

රටක මහ බැංකුව විදේශ විණිමය වෙළඳපොළේ මැදිහත්වීම් කරන විට ජංගම ගිණුමේ ශේෂය ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන වෙන්නේ නැහැ. ජංගම ගිණුමේ හිඟයට වඩා වැඩි අතිරික්තයක් ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුම් වල තියෙනවානම් ඒ වෙනස නිල සංචිත වලට එකතු වී තිබිය යුතුයි. එහෙම නැතුව අඩුවක් පෙනෙන්නට තියෙනවානම් නිල සංචිත අඩු වී තිබිය යුතුයි.

ගෙවුම් ශේෂය කියන්නේ ජංගම ගිණුමේ ශේෂයේත්, ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුමේ ශේෂයේත් එකතුවටයි. මේ එකතුව වසර තුළ රටේ නිල සංචිත වෙනස් වල වෙනස් වීමට සමාන විය යුතුයි. එසේ නොවුනොත් ඒ නිල නොවන මාර්ග වලින් සම්ප්‍රේෂණය වන මුදල් ආදිය මඟ හැරීමෙන් සිදුවන ඇස්තමේන්තු කිරීමේ අඩුපාඩු නිසයි. මහබැංකුවේ මැදිහත්වීම් විණිමය අනුපාතිකයට හා රටේ ආර්ථිකයට බලපාන ආකාරය අපි වෙන වෙලාවක කතා කරමු.


Monday, August 27, 2018

අන්තිම සමාජවාදී රට?


රටක් කියන්නේ කුමක්ද කියන එකට පිළිතුරක් දෙන එක පහසු වැඩක් නෙමෙයි. එය තීරණය කෙරෙන නිර්ණායක එක් එක් පුද්ගලයාට සාපේක්ෂයි. ඒ නිසා ලෝකයේ රටවල් කොපමණ තිබෙනවාද කියන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් නැහැ. එය තීරණය වන්නේ ගණන් කරන පුද්ගලයා මතයි. කොහොම වුනත් ලෝකයේ රටවල් ගණන ආසන්න වශයෙන් දෙසීයක් පමණ කියා කියන්න පුළුවන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකයෙකු වීම බොහෝ දෙනෙකු විසින් ස්වාධීන රටක් හඳුනා ගන්නා නිර්ණායකයක්. එවැනි පූර්ණ සාමාජික රටවල් 193ක් තිබෙනවා.

සාමාන්‍ය භාවිතයේදී බොහෝ රටවල් වල නිල නාමය වෙනුවට වඩා කෙටි නමක් භාවිතා කෙරෙනු දැකිය හැකියි. උදාහරණ විදිහට රුසියානු සමූහාණ්ඩුව හා චීන මහජන සමූහාණ්ඩුව යන නම් වෙනුවට රුසියාව හා චීනය යන වචන බොහෝ විට භාවිතා වෙනවා. ඇමරිකා එක්සත් ජනපදය බොහෝ විට ඇමරිකාව සේ හැඳින්වෙනවා.

බොහෝ රටවල් වෙනත් රටවලදී හැඳින්වෙන්නේ එම රටවල් වලදී හැඳින්වෙන නම් වලින්ම නෙමෙයි. උදාහරණයක් විදිහට ජපානය ලෙස බාහිර ලෝකය හඳුනා ගන්නා රට ඒ රටේදී හැඳින්වෙන්නේ නිප්පොන් නැත්නම් නිහොන් ලෙසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ නිල නාමය ඒ අයුරින්ම සිංහලට පරිවර්තනය කළොත් එහි අර්ථය වන්නේ ඇමරිකා එක්සත් රාජ්‍ය යන්නයි. මේ රට මුලින්ම හැදුනේ ජනපද දහතුනක් එකතු වීමෙන් මිසක් රාජ්‍යයන් දහතුනක් එකතු වීමෙන් නොවන නිසා ඉංග්‍රීසියෙන් සිංහලට ඒ විදිහටම පරිවර්තනය නොකර රාජ්‍ය යන්න වෙනුවට ජනපදය සේ යොදාගැනීම කවුරු හෝ විසින් කර තිබෙන නිර්මාණශීලී වැඩක්.

ඒ වගේම චීන මහජන සමූහාණ්ඩුව කියා කියද්දී සමූහාණ්ඩුව ලෙස පරිවර්තනය කර තිබෙන වචනය ඉංග්‍රීසියෙන් කියැවෙන්නේ රිපබ්ලික් ලෙසයි. මේ වචනය සඳහා වැඩිපුර භාවිතා වන සිංහල වචනය ජනරජය යන්නයි. මහජන ජනරජය කියා කී විට අවුල් ගතියක් පෙනෙන නිසා මෙය මහජන සමූහාණ්ඩුව සේ පරිවර්තනය කෙරෙන්න ඇති. රුසියානු සමූහාණ්ඩුව යන්නෙහි සමූහාණ්ඩුව යන යෙදුම ඉංග්‍රීසියෙන් කියැවෙන්නේ ෆෙඩරේෂන් යනුවෙනුයි.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193න් 128කම නිල නම් වල ජනරජය යන අරුත් තිබෙන රිපබ්ලික් යන වචනය තිබෙනවා. මේ ජනරජ 128න් පහක් ඉස්ලාමීය ජනරජ. චීනය ඇතුළු රටවල් තුනක් මහජන සමූහාණ්ඩු (පීපල්ස් රිපබ්ලික්).

ජනරජ හැරුණු විට රටවල් වැඩිම ගණනක් නිල නාමය අනුව රාජධානි. එක්සත් ජාතීන්ගේ සාමාජික රාජධානි ගණන 17ක්. සාමාජික රටවල් අතරින් තුනක් නිල නාමය අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්. රටවල් හයකට යුනයිටඩ් හෙවත් එක්සත් කෑල්ල තිබෙනවා. රටවල් නවයක නම් වල ෆෙඩරල් යන වචනය හෝ එම වචනයේ වෙනත් ස්වරූපයක් දැකිය හැකියි.

ලංකාව ඇතුළු රටවල් නවයක් නිල නම් අනුව ප්‍රජාතාන්ත්‍රික රටවල් වුවත් සමාජවාදී රටවල් තිබෙන්නේ ලංකාව හැරුණු විට තවත් එකක් පමණයි. ඒ වියට්නාම් සමාජවාදී ජනරජය. නම අනුව, ලෝකයේ තිබෙන එකම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයයි.

ලංකාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස නිල වශයෙන් නම් කෙරුණේ ජේආර්ගේ 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවෙනුයි. ඊට පෙර සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ ලංකාවේ නිල නමට සමාජවාදී කොටසක් තිබුණේ නැහැ. ඒ කාලයේ (1972 සිට) නිල නම වුණේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජය යන්නයි.

ලංකාවේ පවතින දේශපාලන ආර්ථික ක්‍රමය අනුව එයට සමාජවාදී කියන කොටසත් එකතු විය යුතු බව ජේආර් හිතන්න ඇති. කොහොමත් ජේආර්ගේ ආණ්ඩුව විශ්වාසය තැබුවෙත් විශාල රාජ්‍යයක් සහිත රාජ්‍යමූලික පාලන ක්‍රමයක් පිළිබඳවයි. ඉන්පසුව පැවති ආණ්ඩු විසින් පවත්වාගෙන ආවෙත් ඔය ක්‍රමයම තමයි.

ජේආර් විසින් හඳුන්වා දුන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) අනුව්‍යවස්ථාවේ (උ) ජේදය අනුව රටේ "සෑම පුරවැසියෙකුටම එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට හිමිකම" තිබෙනවා. එය මූලික අයිතිවාසිකමක්. එහෙත්, එහිම 15(5) අනුව්‍යවස්ථාව අනුව  "ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා හෝ" මේ මූලික අයිතිවාසිකම හිමි පුද්ගලයින්ගේ "විනය පාලනය" කිරීම ඇතුළු වෙනත් අවශ්‍යතා උදෙසා 14(1) අනුව්‍යවස්ථාවෙන් ලැබෙන මූලික අයිතීන්ට නීතිමය සීමා පැනවීමේ හැකියාව රජය සතුව තිබෙනවා.

මේ අනුව, ලංකාවේ පුරවැසියෙකුට තමන් කැමති රැකියාවක් කිරීමේ නිදහස තිබෙන්නේ ආණ්ඩුව හිතන ආකාරය අනුව පනවන විනය පාලන නීති ඇතුළු කොන්දේසි ගණනකට යටත්වයි. මූල්‍ය අර්බුද හමුවේ රජයේ සේවකයින් බඳවා ගැනීම යම් තරමකින් සීමා කරමින් ආර්ථිකය මත රජයේ ග්‍රහණය තරමක් දුරට අතහැර තිබුණත් වත්මන් ආණ්ඩුවේ ගොඩක් අය හිතන්නේත් මිනිස්සු කළ යුතු රජයේ නොවන ස්වයං රැකියා පවා ආණ්ඩුව විසින් තීරණය කළ යුතු බවයි.

Sunday, August 26, 2018

හැත්තෑ හතේ කඩා වැටීම හා විදේශ ණය උගුලේ පැටලීම


නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය හා මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අතර ඇති වෙනස වගේම තිබෙන සම්බන්ධය ගැනත් පසුගිය ලිපියෙන් පැහැදිලි කළා. 1977-88 කාලයට සාපේක්ෂව 1970-77 කාලයේදී නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයේ වර්ධන වේගය සැලකිය යුතු තරම් ඉහළින් තිබුණු බවත්, එයට ප්‍රධාන වශයෙන්ම දායක වුණේ 1970-77 කාලයේ රුපියල අවප්‍රමාණය වුනේ අඩු වේගයකින් වීම බවත් ඒ එක්කම පෙන්වා දෙනු ලැබුවා. කොහොම වුනත්, මොන විදිහකින් හරි 1970-77 කාලයේදී රුපියල අවප්‍රමාණය වුනේ අඩු වේගයකිනුයි.

රුපියල සාපේක්ෂව ශක්තිමත්ව තිබුණා කියන්නේ නරක දෙයක් නෙමෙයි. එවිට විදේශ නිෂ්පාදන රුපියල් වලින් අඩු මිලක් ගෙවා ආනයනය කර ලංකාවේ වැසියන්ගේ පරිභෝජන හා ආයෝජන වියදම් දැරීමේ හැකියාව (මිල දී ගැනීමේ හැකියාව) වැඩි කළ හැකියි. මෙයින් රටේ මූර්ත දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගයට වුවත් කිසියම් තල්ලුවක් ලැබෙන්න පුළුවන්. නමුත්, ඒ රුපියල ආර්ථික විද්‍යා මූලිකාංග අනුව ඇත්තටම ශක්තිමත්ව තිබුණානම්.

එසේ නැතුව විණිමය අනුපාතිකය නියම මට්ටමේ නොතියා රුපියල ශක්තිමත්ව තිබෙනවා කියන මායාව ඇතුලෙ හැංගිලා ඉඳීමෙන් ඒ වාසිය ලැබෙන්නේ නැහැ. එවිට රුපියල් වලින් බැලුවහම විදේශ නිෂ්පාදන මිල අඩුයි. නමුත්, ඒවා මිල දී ගන්න අවශ්‍ය කරන ඩොලර් රට ඇතුලෙ නැහැ. ඒ කියන්නේ පහළින් තිබෙන විණිමය අනුපාතිකය බොරුවක්. එය ඒ මට්ටමේ තියාගන්න පුළුවන් වෙන්නේ නීති මඟින් ආනයන සීමා කිරීමෙන් පමණයි.

මේ ආනයන සීමා ඉවත් කළොත්, නිදහස් විණිමය අනුපාතික ක්‍රමයක් යටතේනම් ,එක වරම රුපියල විශාල ලෙස අවප්‍රමාණය වෙනවා. පාලිත විණිමය අනුපාතික ක්‍රමයක් යටතේනම්, එක වරම රුපියල විශාල ලෙස අවප්‍රමාණය කරන්න වෙනවා.

සමඟි පෙරමුණු ආණ්ඩුව කාලයේ ඩොලරයේ අගය අඩු මට්ටමක තබා ගෙන හිටියේ ආනයන දැඩි සේ සීමා කිරීම ඇතුළු උපක්‍රම මඟිනුයි. එහි ප්‍රතිඵල ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ආණ්ඩුව වෙනස් වුනාට පස්සේ මේ ආනයන සීමා ඉවත් කිරීමට සමාන්තරව විණිමය අනුපාතිකය එක වරම නිවැරදි වුණා. ඒ එක්කම මෙහි කතා කරන නාමික ද.දේ.නි. ඩොලර් අගය එකවරම විශාල කඩාවැටීමකට ලක්වුනා. හැබැයි 1977දී මූර්ත ද.දේ.නි. වෙනස් වීම දෙස බැලුවොත් එය ඉහළ ගියා මිස අඩු වුණේ නැහැ. පහත සංඛ්‍යාලේඛණ වලින් මෙය පැහැදිලි වෙයි.

මූර්ත ද.දේ.නි. (2010 රුපියල් බිලියන)
1970: 1004.9
1977: 1299.1
1978: 1372.6
1988:  2141.1

නාමික ද.දේ.නි. ඩොලර් අගය (ඩොලර් මිලියන)
1970: 2296.5
1977: 4104.5
1978: 2733.2
1988: 6978.4

මේ අනුව පෙනෙන පරිදි 1970-77 කාලය තුළ ලංකාවේ නාමික ද.දේ.නි. ඩොලර් අගය මිලියන 1808.0කින් ඉහළ ගියත් ඒ එය විණිමය අනුපාතිකය පහළින් තිබීම නිසා පෙනෙන්නට තිබුණු තත්ත්වයක් පමණයි. 1977දී විණිමය අනුපාතිකය නිවැරදි වූ වහාම ඒ ඩොලර් මිලියන 1808.0 න් 1371.3ක්ම එක පාරටම නැති වෙලා ගියා. වෙනත් අයුරකින් කිවුවොත් 1970-77 වසර හත තුළ ඩොලර් මිලියන 1808.0කින් ලංකාවේ නාමික ද.දේ.නි. ඩොලර් අගය ඉහළ ගියත් 1970-78 වසර අටම සැලකූ විට මේ වැඩිවීම ඩොලර් මිලියන 436.7ක් පමණයි.

ඒ වගේම, 1977-88 කාලයේ  ලංකාවේ නාමික ද.දේ.නි. ඩොලර් අගය වැඩි වුණේ 2879.9කින් පමණක් වුවත් 1970-77 කාලයේ පැවති පාලිත විණිමය අනුපාතිකය 1977දී නිවැරදි වීම නිසා සිදු වූ ඩොලර් මිලියන 1371.3ක අඩුව නොවේනම් මේ වැඩි වීම මීට වඩා ගොඩක් වැඩියි. 1978-88 අතර වූ වසර දහයක කාලය තුළ ඩොලර් මිලියන 4245.2කින් නාමික ද.දේ.නි. ඩොලර් අගය ඉහළ ගියා.

හැත්තෑ හතේදී සිදු වූ මේ විශාල කඩා වැටීම 1970-77 කාලයේ සිදුවූ අහිතකර ගොඩනැගීමක ප්‍රතිඵලයක්. එහි බලපෑම 1977-88 කාලයට දමා 1970-77 හා 1977-88 කාල පරිච්ඡේද සංසන්දනය කිරීම නිවැරදි නැහැ.

මෙහි ලියා ඇති පරිදි 1970-77 කාලයේදී පැවතුණු විණිමය අනුපාතිකය නියම එකට වඩා අඩු එකක්. මෙය ඒ කාලයේ ලංකාවට මුහුණ දෙන්න වුනු ගෙවුම් ශේෂ අර්බුද වලට ප්‍රධාන හේතුවක් කියා කියන්න පුළුවන්. විදේශ වෙළඳාම බාධාවකින් තොරව සිදු වෙනවනම්, විණිමය අනුපාතිකය රජයෙන් පාලනය කරන්නේ නැත්නම් රටකට ගෙවුම් ශේෂ අර්බුද එන්න විදිහක් නැහැ.

ලංකාව කියන්නේ සහශ්‍ර තුනක පමණ කාලයක් තිස්සේ විදේශ වෙළඳාමේ නිරතව සිටින රටක්. මුල්ම කාලයේ ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩ වුනේ අලි ඇත්තු හා මුතු කියා හිතන්න සාධක තිබෙනවා. කුරුඳු අපනයනය පටන් ගැනුණේ පසුකාලීනවයි. මේ අලි ඇත්තු හා මුතු ආදිය විකුණලා ලංකාව රන් කාසි ඉපැයූවා. අපනයන සඳහා වියදම් කළේ ඒ විදිහට උපයාගත් රන් කාසියි. ඒ නිසා ස්වභාවිකවම ආනයන වියදම් හා අපනයන ආදායම් ගැලපුනා. යුරෝපීයයන්ගේ කාලවල් වලදීත් ලංකාවට දිගුකාලීනව  ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

සමඟි පෙරමුණු ආණ්ඩුව ගෙවුම් ශේෂ ප්‍රශ්නයට මුහුණ දුන්නේ ආනයන සීමා කිරීම මඟිනුයි. එයින් රටේ මිනිස්සු විශාල පීඩාවකට පත් වෙලා සමඟි පෙරමුණු ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව ගොඩ නැඟුණු විරෝධය හැත්තෑ හතේ මැතිවරණයේදී පුපුරා ගියත් මේ ආනයන සීමා මඟින් සමඟි පෙරමුණු ආණ්ඩුව ගෙවුම් ශේෂ ප්‍රශ්නය සෑහෙන තරමකින් විසඳා ගත්තා. 1970-77 අතර කාලයේත් ලංකාවේ විදේශ ණය ඉහළ ගියත් ඒ ඩොලර් මිලියන 436.9කින් පමණයි. එයිනුත් ඩොලර් මිලියන 236.1ක්ම  නිල සංචිත වලට එකතු වුනා. වෙනත් විදිහකින් කිවුවොත් සමඟි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වුනේ අපනයන මඟින් ලැබෙන ඩොලර් පමණක් වියදම් කර පිටරටට ණය නොවී සිටීමයි.

ජයවර්ධන ආණ්ඩුව ලංකාවේ විණිමය අනුපාතිකයේ තිබුණු අක්‍රමිකතාවය නිවැරදි කළා. නමුත්, ඒ එක්කම විශාල ලෙස විදේශ ණය ගැනීමත් පටන් ගත්තා. 1977 අවසානයේදී ඩොලර් මිලියන 856.1ක් වූ ලංකාවේ විදේශ ණය කන්දරාව 1988 වන විට ඩොලර් මිලියන 4,908.9 දක්වා ඉහළ ගියා. ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 1976 අවසානයේදී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය සමාන වුනේ 16.4%කටයි. මේ ප්‍රමාණය 1977 අන්තිමේදී 29.1% දක්වාත්, 1988 වෙද්දී 56.6% දක්වාත්, 1989 අවසානය වෙද්දී 62.0% ලෙසත් වේගයෙන් ඉහළ ගියා. 1977-88 අතර කාලයේ ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4052.8කින් ඉහළ යද්දී නිල සංචිත තිබුණේ තිබුණු තැනමයි.

විදේශ ණය අරගෙන ඒවා නිල සංචිත සේ රඳවා නොගෙන වියදම් කිරීමෙන් අපනයන ආදායමට වඩා වැඩි මුදලක් ආනයන වෙනුවෙන් වැය කරන්න පුළුවන්. එහි ප්‍රතිඵලය වන්නේ සෘණ වෙළඳ ශේෂයක්. අප කලින් ලිපියේ විස්තර කළ පරිදි,

ද.දේ.නි. = දේශීය වියදම් වල මුළු එකතුව  +  වෙළඳ ශේෂය.

මේ අනුව වෙළඳ ශේෂය සෘණ අගයක් ගන්නවා කියන්නේ දේශීය වියදම් වල එකතුව රටේ ද.දේ.නි.ට වඩා වැඩියි කියන එකයි. මෙහි දේශීය වියදම් කියා කියන්නේ රජය හා පෞද්ගලික අංශය (ගෘහස්ථ ඒකක හා සමාගම්) විසින් සිදු කරන සියලු පරිභෝජන හා ආයෝජන වියදම්.

ජේආර්ගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා ලංකාවේ රජය හා මිනිස්සු විසින් රටේ ද.දේ.නි. ඉක්මවා වියදම් කරන ක්‍රමයක් ඇති වුණා. අඩුව පිරවුනේ විදේශ ණය වලිනුයි. 1970-77 කාලයේදී මෙන් ආනයන සීමා නොතිබුණත් විදේශ ණය හරහා ගලා ආ ඩොලර් හේතුවෙන් රුපියල ඕනෑවට වඩා ශක්තිමත් වීම ලංකාවේ අපනයන තරඟකාරිත්වයට බලපෑවා. මුලින් ලොකු ප්‍රශ්නයක් නොවූවත් පසුව මෙසේ ගත් ණය වාරික හා පොලී ගොඩ ගැහෙන්න පටන් ගනිද්දී තමයි ප්‍රශ්නයේ බර දැනෙන්න පටන් ගත්තේ.

අන්තිමට වුනේ ගෙවන්න තිබෙන ණය වාරික හා පොලී අලුත් ණය වලින් පියවමින් එදිනෙදා ආර්ථිකය කළමනාකරණය කරගන්නා තැනකට රට පත් වීමයි.

Saturday, August 25, 2018

නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය යනු කුමක්ද?

පහතින් තියෙන්නේ දින කීපයකට කලින් අපේ පාඨක හිතවතෙකු විසින් කළ ඉල්ලීමක්.

"ඉකොනො - මේක අතුරු කතාවක් - පසුගියදා බුකියේ විවාදයකදී මගේ මිත්‍රයෙක් පැවසුව සංඛ්‍යාලේඛන අනුව සමඟි පෙරමුණු ‍70 -1977 යුගයේ දි current USD වලින් ගත්තම GDP වැඩිවීම ජේ අාර් ගේ මුළු කාලයටම එනම් 1977 -1988 current USD GDP වැඩිවීමට වඩා වැඩි බවත් ඒ නිසා ජේ ආර්ගේ ආර්ථ්ක පිබිදීම overblown බවත් - මේ ගැන ඔබගේ අදහස කුමක්ද ? (constant USD හෝ constant රුපියල් රේට් එක ගත්තම මේ අගයන් වෙනස් වනවා - 1977 දෙවැනි භාගයේ සිටම රුපියල සීඝ්‍ර ලෙස අවප්‍රමාණ වීම සැලකිල්ලට ගන්න ඕන )"

ඔහුගේ මේ ප්‍රශ්නය පසුගිය කාලයේ සිදුවූ සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධනය හා ඉන් අනතුරුව සිදු වූ පසුබෑම ගැන කතා කිරීමේදී සාකච්ඡාවට ගත යුතු එක් කරුණකට හොඳ ප්‍රවේශයක්.

මුලින්ම අප බැලිය යුත්තේ මේ කියන කතාවේ පදනම කුමක්ද කියන එකයි. ප්‍රතිචාරයට අනුව 1970-77 කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඇමරිකන් ඩොලර් වටිනාකම ඉහළ යාම, එසේ නැත්නම් මෙහි ඇති වචන වලින් "current USD වලින් ගත්තම GDP වැඩි වීම", 1977-1988 අතර සිදු වූ එම වැඩි වීමට වඩා වැඩියි. අපි මහ බැංකු වාර්තාවේ තිබෙන අදාළ සංඛ්‍යාලේඛන දෙස බලමු.

ඇමරිකන් ඩොලර් මිලියන වලින් අදාළ ගණන් පහත පරිදියි.

1970: 2,296
1977: 4,105
1988: 6,978

මේ අනුව, 1970-77 කාලයේ වැඩිවීම ඇමරිකන් ඩොලර් මිලියන 1,809 ක්. 1977-1988 කාලයේ වැඩිවීම ඇමරිකන් ඩොලර් මිලියන  2,873ක්. ඒ අනුව, උඩින් තිබෙන ප්‍රකාශය ඒ අයුරින්ම ගත්තොත් පැහැදිලිවම එය වැරදි ප්‍රකාශයක්.

නමුත්, මෙහිදී 1970-77 අතර කාලය වසර 7ක් බවත් 1977-1988 අතර කාලය වසර 11ක් බවත් අපට නොසලකා හරින්න බැහැ,

ඒ ගැන සලකා 1977-77 අතර වසරක සාමාන්‍ය වැඩි වීම බැලුවොත් එය ඇමරිකන් ඩොලර් මිලියන 258.4ක්. ඒ වගේම, 1977-1988 අතර වසරක සාමාන්‍ය වැඩි වීම ඇමරිකන් ඩොලර් මිලියන 261.2ක්. සාමාන්‍ය අගයක් සේ ගත්තොත්, ඉතා සුළුවෙන් වුවත් ජේආර්ගේ කාලයේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයට වාර්ෂිකව වැඩි මුදලක් එකතු වී තිබෙනවා.

ඒ වුනත්, මේ විදිහට වැඩි වන ඩොලර් ගණන දෙස නොබලා දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයෙහි සාමාන්‍ය වර්ධන වේගය දිහා බැලුවොත් හාත්පසින්ම වෙනස් උත්තරයක් අපට ලැබෙනවා. එවිට පෙනෙන්නේ 1977-1988 අතර සාමාන්‍ය වර්ධන වේගය 4.94%ක් පමණක් වුවත් 1970-1977 අතර එය 8.65%ක වේගයක්ව පැවතී ඇති බවයි. කතාවේ පදනම මෙය වෙන්න ඇති.

මෙතැනින් ඉදිරියට යන්න කලින් අපි නාමික දළ දේශීය නිෂ්පාදිතය හා මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කියන සංකල්ප නිරවුල්ව පැහැදිලි කර ගත යුතුයි.

දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ කිසියම් වසරක් තුළ (එසේ නැත්නම් කාර්තුවක් තුළ) රටක (නැත්නම් රටේ කොටසක) නිපදවූ සියලු භාන්ඩ හා සේවා වල වටිනාකමයි. භාණ්ඩයකට හෝ සේවාවකට වටිනාකමක් ලැබෙන්නේ එය වෙනත් අයෙකු විසින් මිල දී ගත් විටයි.

අපි පළමුව පහසුව සඳහා සංවෘත ආර්ථිකයක් තිබෙන මනඃකල්පිත රටක් ගැන හිතුවොත් වසරක් තුළ ඒ රටේ නිපදවූ භාණ්ඩ හා සේවා වල මුළු වටිනාකම අදාළ වසරේ රටේ කවුරු හෝ විසින් මිල දී ගත් භාණ්ඩ හා සේවා සියල්ලේ වටිනාකමට ආසන්න වශයෙන් සමාන විය යුතුයි.

ආසන්න වශයෙන් කියා කියන්න එක් හේතුවක් වුනේ තමන් නිපදවූ දෙයක් තමන් විසින්ම පරිභෝජනය කළොත් එය මේ අර්ථකථනයට නොවැටෙන නිසයි. මෙයට විසඳුමක් ලෙස එවැනි භාණ්ඩ හා සේවා වල වෙළඳපොළ මිල අනුව වටිනාකම ඇස්තමේන්තු කළ විට ප්‍රශ්නය විසඳෙනවා.

දෙවන හේතුව වන්නේ වසර තුළ නිපදවන ඇතැම් භාණ්ඩ නොවිකිණී ගබඩා වල ඉතිරි වෙන්න ඉඩ තිබීමයි. ඔය විදිහටම පසුගිය වසරේ නිපදවූ භාණ්ඩ මේ වසරේ විකිණෙන්න පුළුවන්. මේ බව සැලකිල්ලට ගෙන ගබඩා වල තොග වෙනස්වීම් වල වටිනාකම එකතු (හෝ අඩු) කළාම ඒ ප්‍රශ්නයත් ඉවරයි.

මේ විදිහට ගැලපීමෙන් පසුව රටේ සමස්ත නිෂ්පාදිතයේ වටිනාකම රටේ සමස්ත වියදමට සමානයි. ගණුදෙනුවක හැමවිටම දෙපැත්තක් තිබෙන නිසා එක් අයෙකුගේ වියදමක් කියන්නේ වෙනත් කාගේ හෝ ආදායමක්. ඒ නිසා, රටේ සියල්ලන්ගේම සමස්ත ආදායමත් මෙයටම සමානයි.

කොහොම වුනත් ආර්ථිකය විවෘතනම්, රටේ නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක් මිල දී ගන්නේ රටේ සිටින අය නෙමෙයි. ඒ වගේම රටේ සිටින අය මිල දී ගන්නා භාණ්ඩ හා සේවා වලින් කොටසක් රටේ නිපදපුවාත් නෙමෙයි. ඒ නිසා, රටේ සමස්ත වියදම් වලට අපනයන වල වටිනාකම එකතු කරලා ආනයන වල වටිනාකම අඩු කළ විටයි දළ දේශීය නිෂ්පාදිතයට සමාන වෙන්නේ.

එය මේ විදිහට ලියන්න පුළුවන්.

ද.දේ.නි. = දේශීය වියදම් වල මුළු එකතුව  +  අපනයන ආදායම - ආනයන වියදම

වෙනත් අයුරකින් ලිවුවොත්,

ද.දේ.නි. = දේශීය වියදම් වල මුළු එකතුව  +  වෙළඳ ශේෂය

සාමාන්‍යයෙන් රටකට ආනයන වෙනුවෙන් වැය කරන්න වෙන්නේ අපනයන ආදායම නිසා දිගුකාලීනව වෙළඳ ශේෂය ශුන්‍යයට ආසන්න විය යුතුයි. එය දිගටම ධන පැත්තේ තිබුණොත් වසරින් වසර විදෙස් සංචිත ගොඩ ගැහෙනවා. දිගටම සෘණ පැත්තේ තිබුණොත් වසරින් වසර විදෙස් ණය ගොඩ ගැහෙනවා. මේ දෙකම සැලකිය හැක්කේ අසමතුලිතතාවන් ලෙසයි.

ආනයන අපනයන සමතුලිතව තිබුනොත්, විවෘත ආර්ථිකයක් ඇති රටක වුවත් ද.දේ.නි. රටේ සමස්ත වියදම් වල එකතුවට සමානයි. ඒ කියන්නේ රටේ ද.දේ.නි. විකිණෙන්නේ රටේ ජාතික ව්‍යවහාර මුදලිනුයි. යම් විදිහකින් වෙළඳ ශේෂයේ හිඟයක් හෝ අතිරික්තයක් තිබුණත් දේශීය ව්‍යවහාර මුදලින් අලෙවි වන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ද.දේ.නි.ට බොහෝ ආසන්නයි. එහෙමනම් ද.දේ.නි. ගණනය කළ යුතේ රටේ දේශීය ව්‍යවහාර මුදලිනුයි.

අපි හිතමු ලංකාවේ නිපදවන එකම භාණ්ඩය පොල් කියලා. කිසියම් අවුරුද්දකදී රටේ පොල් ගෙඩි 100ක් හැදුනොත්, පොල් ගෙඩියක මිල රුපියල් 80නම්, ඒ අවුරුද්දේදී ද.දේ.නි. ලෙස සැලකෙන්නේ රුපියල් 8,000ක අගයක්. ද.දේ.නි. ගණනය කරද්දී පැවතුණු නියම මිලම උපයෝගී කරගන්න නිසා මෙය හැඳින්වෙන්නේ නාමික දළ දේශීය නිෂ්පාදිතය වශයෙනුයි.

අපි හිතමු ඊළඟ අවුරුද්ද වෙද්දී පොල් නිෂ්පාදනය ගෙඩි 120 දක්වාත්, මිල රුපියල් 100 දක්වාත් ඉහළ යනව කියල. එවිට නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 12,000ක් දක්වා ඉහළ යනවා. මෙය 50%ක වර්ධනයක්.

නමුත්, මේ අවුරුදු දෙක ඇතුළත රටේ නිෂ්පාදනය 50%කින් වර්ධනය වෙලා නැහැ. පොල් නිෂ්පාදනය ඉහළ ගිහින් තිබෙන්නේ 20%කින් පමණයි. 50%ක වර්ධනයක් පෙනෙන්නේ පොල් වල මිල 25%කින් ඉහළ ගොස් තිබෙන නිසයි.

අපි හිතමු පොල් නිෂ්පාදනය ගෙඩි 80 දක්වා 20%කින් පහත වැටිලා මිල රුපියල් 150 දක්වා 87.5%කින් වැඩි වුනා කියා. එවිටත් අපට පෙනෙන්නේ නාමික ද.දේ.නි. 50%කින් ඉහළ ගොස් රුපියල් 12,000ක් වී ඇති බවයි. ඒ නිසා, වසර දෙකක් ඇතුළත සිදුවූ සැබෑ වර්ධනය දැනගන්නනම් මේ දෙවසර ඇතුළත මිල වෙනස් වීම නිසා සිදු වූ බලපෑම ඉවත් කරන්න වෙනවා.

මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් මේ විදිහට මිල වෙනස් වීම නිසා සිදු වූ බලපෑම් ඉවත් කර හදන සංඛ්‍යාලේඛණයකටයි. මේ වැඩේ කරන්නේ කොහොමද?

මෙය කරන්නේ අවුරුද්දෙන් අවුරුද්ද රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඒ වන විට පැවති මිල ගණන් අනුව තක්සේරු කරනවා වෙනුවට කිසියම් නිශ්චිත වර්ෂයකදී පැවති මිල ගණන් එසේම නොවෙනස්ව පැවති සේ සලකමින් තක්සේරු කිරීම මඟිනුයි. ඒ නිශ්චිත වර්ෂය පාදක වර්ෂය ලෙස හැඳින්වෙනවා.

ඉහත උදාහරණයේ පාදක වර්ෂය පළමු අවුරුද්ද සේ සැලකුවොත් ඒ අවුරුද්දේදී පොල් ගෙඩියක මිල රුපියල් 80ක් වූ නිසා අනෙක් අවුරුදු වලදී හැදුනු පොල් වල වටිනාකම ඇස්තමේන්තු කරන්නෙත් පොල් ගෙඩියක් රුපියල් 80 මට්ටමේම තිබුණු බව සලකමිනුයි.

මේ විදිහට හදන මූර්ත දළ දේශීය නිෂ්පාදිතය යොදාගන්නා පාදක වර්ෂය අනුව වෙනස් වන්නක් බව පැහැදිලියිනේ. ඒ නිසා, මූර්ත දළ නිෂ්පාදිතය ගැන කියද්දී නාමික ද.දේ.නි. ගැන කතා කරන විට මෙන් "රුපියල්" කියා කීම ප්‍රමාණවත් නැහැ. මේ රුපියල් 2010 රුපියල්ද නැත්නම් 2012 රුපියල්ද කියා අදාළ වර්ෂයත් සඳහන් කළ යුතුයි. පාදක වර්ෂයේදී පමණක් නාමික ද.දේ.නි. හා මූර්ත ද.දේ.නි. සමානයි. එහෙත් අනෙක් අවුරුදු වලදී මේ සංඛ්‍යාලේඛණ සමාන නැහැ.

නාමික ද.දේ.නි. වර්ධනය හා මූර්ත ද.දේ.නි. වර්ධනය අතර සම්බන්ධය ආසන්න වශයෙන් මේ වගේ එකක්. (හරියටම නෙමෙයි.)

නාමික ද.දේ.නි. වර්ධනය = මූර්ත ද.දේ.නි. වර්ධනය + උද්ධමනය

දැන් අපි ලෝක බැංකු දත්ත අරගෙන 1970-77 හා 1977-88 කාල වකවානු අතර නාමික ද.දේ.නි. හා මූර්ත දදේනි වෙනස් වුනේ කොහොමද කියා බලමු.

නාමික ද.දේ.නි. (රුපියල් මිලියන)
1970: 13,664
1977: 36,407
1988: 221,982

මූර්ත ද.දේ.නි. (2010 රුපියල් බිලියන)
1970: 1004.9
1977: 1299.1
1988: 2141.1

මේ අනුව නාමික ද.දේ.නි. වාර්ෂික සාමාන්‍ය වැඩි වීම මේ විදිහටයි.
1970-77: 15.03%
1977-88: 17.66%

කොහොම වුනත් මේ කාල වකවානු දෙකේදීම නාමික ද.දේ.නි. වාර්ෂික සාමාන්‍ය වැඩි වීමට ප්‍රධානම හේතුව උද්ධමනය නිසා සිදු වූ මිල ඉහළ යාම මිසක් මූර්ත ද.දේ.නි. ඉහළ යාම නෙමෙයි. සැබෑ ආර්ථික වර්ධනය, එහෙමත් නැත්නම් මූර්ත ද.දේ.නි. වැඩි වීම හොයාගන්න උද්ධමනය නිසා සිදු වූ බලපෑම ඉවත් කළ යුතුයි.

වාර්ෂික සාමාන්‍ය උද්ධමනය (ද.දේ.නි. අවධමනකය):
1970-77: 10.88%
1977-88: 12.63%

මූර්ත ද.දේ.නි. වාර්ෂික සාමාන්‍ය වැඩි වීම:
1970-77: 3.74%
1977-88: 4.65%

මේ අනුව පෙනෙන පරිදි, 1977-88 කාලයේදී  නාමික ද.දේ.නි. වාර්ෂික සාමාන්‍ය වැඩි වීම වගේම සාමාන්‍ය උද්ධමනයත් වැඩියි. හැබැයි උද්ධමනයේ බලපෑම ඉවත් කිරීමෙන් පසු ඉතිරි වන මූර්ත ද.දේ.නි. වාර්ෂික සාමාන්‍ය වැඩි වීමත් කලින් කාල පරිච්ඡේදයේදී තිබුණාට වඩා වැඩියි.

හරි. එහෙමනං අර ඩොලර් කතාව මොකක්ද?

දළ දේශීය නිෂ්පාදිතය මනින්නේ කිසියම් රටක ජාතික ව්‍යවහාර මුදලින් වුවත් එසේ විවිධ ව්‍යවහාර මුදල් භාවිතා කළ විට රටවල් අතර ද.දේ.නි. සංසන්දනය කිරීම අපහසුයි. ඒ නිසා, විවිධ ව්‍යවහාර මුදල් වලින් මනින දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් වලට පරිවර්තනය කිරීම බොහෝ විට සිදුවන්නක්.

මෙය කරන ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවැනි ක්‍රමය වන්නේ අදාළ වර්ෂයේ පැවති නාමික විණිමය අනුපාතිකය යොදාගෙන දේශීය ව්‍යවහාර මුදල් (රුපියල්) ඩොලර් වලට පරිවර්තනය කිරීමයි. දෙවැනි ක්‍රමය අදාළ මුදල් ඒකක වල භාණ්ඩ මිල දී ගැනීමේ හැකියාව මත නිර්ණය කෙරෙන ක්‍රයශක්ති සාම්‍ය විණිමය අනුපාතිකය යොදා ගැනීමයි.

මේ ලිපියට පාදක වූ කරුණට අදාල සංඛ්‍යාලේඛණ පදනම් වෙන්නේ නාමික විණිමය අනුපාතිකය මතයි. ඒ අනුව ගණනය කෙරෙන නාමික ද.දේ.නි. ඩොලර් අගයේ වැඩි වීම කියන්නේ නාමික ද.දේ.නි. රුපියල් අගයේ වැඩි වීමේත්, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වීමේත් එකතුවයි. මෙයින් දෙවැන්න බොහෝ විට සෘණ අගයක් නිසා ලැබෙන පිළිතුර මුල් අගයට වඩා අඩු අගයක්.

අප කතා කළ කාලාන්තර සඳහා මේ ගණන් මොනවාද කියා බලමු.

නාමික ද.දේ.නි. වාර්ෂික සාමාන්‍ය වැඩි වීම:
1970-77: 15.03%
1977-88: 17.66%

විණිමය අනුපාතිකය (ඩොලරයට සාපේක්ෂව රුපියල) අවප්‍රමාණය වීමේ වාර්ෂික සාමාන්‍ය අගය:
1970-77: 5.87%
1977-88: 12.31%

නාමික ද.දේ.නි. ඩොලර් අගයේ සාමාන්‍ය වැඩි වීම:
1970-77: 8.65%
1977-88: 4.94%

ලිපියට පාදක වූ ප්‍රතිචාරයේ කතා කරන්නේ මේ සංඛ්‍යා ගැනයි. නමුත්, මෙහි තිබෙන්නේ ලංකාවේ සැබෑ ආර්ථික වර්ධනය නෙමෙයි. සැබෑ ආර්ථික වර්ධනය අපි මුලින් ඉදිරිපත් කළා.

මූර්ත ද.දේ.නි. වාර්ෂික සාමාන්‍ය වැඩි වීම:
1970-77: 3.74%
1977-88: 4.65%

මේ සංඛ්‍යා අතර තිබෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද?

නාමික ද.දේ.නි. ඩොලර් අගයේ වර්ධනය = නාමික ද.දේ.නි. වර්ධනය  - විණිමය අනුපාතිකය අවප්‍රමාණය වීම

නමුත්, අප කලින් කී පරිදි, නාමික ද.දේ.නි. වර්ධනය = මූර්ත ද.දේ.නි. වර්ධනය + උද්ධමනය නිසා අපට මෙය මේ විදිහට ලියන්න පුළුවන්.

නාමික ද.දේ.නි. ඩොලර් අගයේ වර්ධනය =  මූර්ත ද.දේ.නි. වර්ධනය + උද්ධමනය  - විණිමය අනුපාතිකය අවප්‍රමාණය වීම

නාමික ද.දේ.නි. ඩොලර් අගයේ වර්ධනය හා මූර්ත ද.දේ.නි. වර්ධනය සමාන වෙන්නේ උද්ධමනය හා විණිමය අනුපාතිකය අවප්‍රමාණය වීම සමාන වූවොත් පමණයි. එය සාමාන්‍යයෙන් වෙන දෙයක් නෙමෙයි. ඒ වගේම, එසේ වෙන්න අවශ්‍යත් නැහැ. රටේ සාමාන්‍ය උද්ධමනය තරමට විණිමය අනුපාතිකය අවප්‍රමාණය නොවුනොත් නාමික ද.දේ.නි. ඩොලර් අගයේ වර්ධනය ලෙස පෙනෙන්නේ මූර්ත ද.දේ.නි. වර්ධනයට වඩා වැඩි අගයක්.

නාමික ද.දේ.නි. ඩොලර් අගයේ වර්ධනය මඟින් පෙන්වන්නේ සාධක තුනක එකතුවක් නිසා ඒ සාධක ගැන වෙන වෙනම අවධානය නොයොදවා සංසන්දය කිරීමේ කිසිම තේරුමක් නැහැ. රටේ ආර්ථිකය වර්ධනය නොවුනත්,  උද්ධමනය ඉහළ යන තරමට හා රුපියල අධිප්‍රමාණය වන තරමට ඔය ගණන් ඉහළ යනවා.

1970-77 කාලයේදී වගේම 1977-88 කාලයේදීත් උද්ධමනය තරමට විණිමය අනුපාතිකය අවප්‍රමාණය වී නැහැ. නමුත්, 1977-88 කාලයේදී වෙනස කුඩා එකක්. 1970-77 කාලයේදී වෙනස විශාල එකක්. ඒ නිසා, ඒ කාලයේ මූර්ත ද.දේ.නි. වර්ධනය අඩු වුවත් නාමික ද.දේ.නි. ඩොලර් අගයේ වර්ධනය වැඩියි. නමුත්, ඒ කාලයේ රටේ ජාතික ආදායම වඩා වේගයෙන් වර්ධනය වූ බවක් එයින් අදහස් වන්නේ නැහැ. එයින් කියවෙන්නේ 1970-77 කාලයේදී 1977-88 කාලයේදී තරම් වේගයෙන් රුපියල අවප්‍රමාණය නොවූ බව පමණයි.

මේ ගැන තවත් ලියන්න දේවල් තියෙනවා. මෙවැනි දෙයක් කෙටියෙන් ලියන එක අසීරුයි. එය මගේ ප්‍රශ්නයක් වෙන්න ඇති.



Wednesday, August 22, 2018

අම්බිකාගේ විලාපය


ජේආර් උන්නැහේ රේගන් මහත්තයව බැහැදකින්න යද්දී තුටු පඬුරක් විදිහට මාස දහ අටක අලි පැටික්කියක් කිහිල්ලේ ගහගෙන ගිය කතාවත්, ඇමරිකාවට ගිහිං වැඩි දොහක් යන්න කලින් මේ අලි පැටික්කිගේ ජීවිතේ ඉතාම අවාසනාවන්ත විදිහට කෙළවර වුනු ආකාරයත් කලින් ලිපියේ ලිවුවනේ.

මේ කටයුත්තෙදී ජේආර් කළේ වැරැද්දක්ද? නැත්නම් මෝඩකමක්ද? අලි පැටික්කිව බාර ගැනීම ඇමරිකාව කරපු වැරැද්දක්ද? එහෙම නැත්නම් ඇමරිකාවට සිදු වෙච්ච අත්වැරදීමක්ද?

මේ වගේ ප්‍රශ්න මතු වෙන එක අමුත්තක් නොවුනත් මේ දේවල් ගැන එක පාරටම අවසන් නිගමන වලට බහින එක ඒ තරම්ම හොඳ දෙයක් නෙමෙයි.

අලි පැටික්කිව රේගන්ට පිරිනමන්නේ ජේආර් විසින් වුවත් මේ වගේ දෙයක් සිදුවෙන්නේ ජේආර්ගේ හෝ රේගන්ගේ තනි තීරණේට නෙමෙයි. ඔය වගේ තීරණයක් ගන්න නිලධාරීන් විශාල පිරිසක් මැදිහත් වෙනවා.

ජයතු කියන්නේ ලංකාවේ සිට අඩු වයසකදී උතුරු ඇමරිකාවට පටවපු පළමුවෙනි අලි පැටික්කි නෙමෙයි. සමඟි පෙරමුණු ආණ්ඩු කාලේ ඔයාකාරයට ඇමරිකා එක්සත් ජනපදයට හා කැනඩාවට අලි පැටවු හා පැටික්කියෝ හතර පස් දෙනෙක්ම පටවලා තියෙනවා. ඒ අයට වුනේ මොකද කියන එක අපි වෙනම ලිපියකින් කතා කරමු.

ජයතු අලි පැටවාව ජනාධිපති ජේආර් විසින් ජනාධිපති රේගන්ට නිල වශයෙන් භාර දීම සිදු වුනේ 1984 ජුනි 18 වෙනිදා 11.30ට පමණ ධවල මන්දිරයේ දකුණු තණ තිල්ලේදීයි[1]. ඇය ඇමරිකාවට පැමිණ තිබෙන්නේ ඊට සතියකට පෙර 1984 ජුනි 11 දිනයි. ඇමරිකාවට පැමිණ දින 78කට පසුව, එනම් 1984 අගෝස්තු 29දා හවස 4.45ට පමණ වොෂින්ටන් ඩීසීහි ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයේදී ඈ අවාසනාවන්ත ලෙස මිය යනවා.

ජයතු අලි පැටික්කිය ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරට පැමිණෙන විට එහි තවත් ආසියානු අලි දෙන්නෙක් සිටියා. දෙන්නාම කෙණෙරන්. (මේ කෙණෙර කියන වචනය පහේ ශිෂ්‍යත්වයට උගන්වන ගුරුවරුන් විසින් මෑතකාලීනව නැවත අරුත් ගන්වනු ලැබූ වචනයක් වෙන්න පුළුවන්). පළමුවැන්නිය 1961 අප්‍රේල් 14 වෙනිදා ඉන්දියානු දරුවන්ගෙන් ඇමරිකානු දරුවන්ට තෑග්ගක් සේ ලැබුණු අම්බිකා. දෙවැන්නිය ජයතු වගේම අඩු වයසෙන් 1976 දෙසැම්බර් 30දා ලංකාවේ සිට එහි පැමිණි ශාන්ති.

අම්බිකා ඉන්දියාවේ සිට ඇමරිකාවට එන කොට අවුරුදු දහතුනක අලි නෑම්බියක්. නමුත්, ශාන්තිව ඇමරිකාවට එවන විට ඇයට අවුරුද්දක්වත් නැහැ. ජයතු තරම් අවාසනාවන්ත නොවුනත් ඇතැම් විට ශාන්ති කුඩා කාලයේදීත් කිරි පොවන්න අමාරු වෙන්න ඇති. එහෙම නැත්නම් කිරි බොන අලි පැටියෙක්ව භාර ගන්න ඇමරිකාව පසුව අදිමදි කරන්න හේතුවක් නෑනේ. එහෙම නැත්නම් ශාන්ති ආ කාලයේම උතුරු ඇමරිකාවේ වෙනත් සත්ත්ව උද්‍යාන දෙකකට එවනු ලැබූ අනෙක් කිරි බොන අලි පැටවුන් හතර දෙනාගෙන් එකෙකු හෝ කිහිප දෙනෙකු මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා වෙන්නත් පුළුවන්.

අම්බිකාගේ තරුණ කාලයේදී මිනිස් රැකවරණය යටතේ සිටින කෙණෙරන් ගැබ්බර වීම සාමාන්‍ය දෙයක් වී තිබුණේ නැහැ. ඇගේ දරුමල්ලන් කිසිවකු ගැන වාර්තා දකින්නට නැත්තේ ඒ නිසා විය යුතුයි. නමුත්, ශාන්තිටනම් පසුව අලි පැටවුන් දෙන්නෙක්ම ලැබෙනවා.

කොහොම වුණත්, ජයතු ඇමරිකාවට රැගෙන එන කාලය වෙන කොටත් ශාන්ති අවුරුදු අටක අලි පැටික්කියක් මිස අලි නෑම්බියක් නෙමෙයි. හැබැයි ඉන්දියාවෙන් ආ අම්බිකාටනම් ඒ වන විට වයස අවුරුදු තිස් හයක් වෙලා. නිදැල්ලේ හිටියනම් බොහෝ විට අලි පැටවු කීප දෙනෙකුගේ අම්ම කෙනෙක්.

කතාවක් තියෙනවනේ ඇතින්නකට පැටියෙක් ලැබුනහම රැහේ අනෙක් ඇතින්නන්ටත් කිරි උනනවා කියල. ඉන්දියාවෙන් ආපු අම්බිකා ජයතුගේ රැහේම නොවුණත් මේ හුරතල් අලි පැටියා කිරි නැතුව කෑගහන කොට අම්බිකා වගේ දරුවෝ නොලබපු කෙණෙරකට වුනත් කිරි එරෙන්න බැරිද? ජයතු පැටියා කෑ ගහනකොට අම්බිකාට මොන වගේ දේවල් හිතෙන්න ඇද්ද?

අලි ඇත්තුන්ට හිතන්න පුළුවන්ද කියලා කාට හරි අහන්න පුළුවන්. හිතන්න පුළුවන් වුනත් ඒ හිතන දේවල් මට දැනගන්න විදිහක් නැහැ. අලියෙක් තියා මේක කියවන ඔබ හිතන දේවල්වත් මට දැනගන්න බැහැ. නමුත්, අම්බිකා හිතන දේවල් මේ වගේ වෙන්න පුළුවන් කියා මට පරිකල්පනය කරන්න පුළුවන්. අම්බිකා හිතන දේවල් කියා මම පරිකල්පනය කරන දේවල් මට ලියන්නත් පුළුවන්.

අම්බිකා හිතුවේ මේ වගේ වෙන්න බැරිද?


අම්බිකාගේ විලාපය 

මේ ඈත දීපංකර රටේ 
උඹට මට නුපුරුදු වනේ 
උඹට මවු වෙන්නට ඉඩක් නෑ 
බරට කිරි පිරිලා තනේ 

එකෙක් ගැබ්බර වූ තැනේ 
අපි හැවොම කිරි මවුවරු වුනේ 
උඹේ ඇඬුමට කිරි ඉනූවත් 
කෙල්ලෙ මමනම් පිට රැහේ 

උඹේ හුරතල් දුටු තැනේ 
රජ මැතිවරුන් හැම තුටු වුනේ 
ඒත් කෙල්ලේ ඒකමයි අද 
උඹට මේ හැටි කොඩිවිනේ 

පාට සළුපිළි අබරණින් නෙක  
අලංකාරෙට සරසලා 
රජෙක් රජෙකුට පඬුරු විලසට
උඹව ගෙනැවිත් පුද කළා 

මේ හීත හිම වැටෙනා රටේ අද
උඹව කරලා හුදෙකලා 
උඹේ රජු සහ රජ බිසෝ දැන් 
මූදු හතකින් ගොඩ වෙලා 

හාමතේ උඹ හාමතේ උඹ
අඬනවා කිරි ඉල්ලලා 
උඹ වගෙම උඹ වගෙම කෙල්ලේ
මමත් අද අසරණ වෙලා

අලි පැටවු විතරක් නෙමෙයි කෙලි පැටවුන්වත් ඔයාකාරයට ප්‍රාදේශීය රජවරුන් විසින් මහ රජවරුන්ට ගෙනත් භාර දුන් කතා අහල ඇතිනේ. ඒ නිසා අවශ්‍යනම් අම්බිකාගේ විලාපය ගැන වඩා පුළුල් විදිහට වුනත් හිතන්න බැරි කමක් නැහැ.

(Image: https://news.softpedia.com/news/Picture-of-the-Day-Baby-Elephant-Face-Plants-in-Mud-398366.shtml)

1. Ronald Reagan: "Remarks on Accepting a Gift From the People of Sri Lanka ," June 18, 1984. Online by Gerhard Peters and John T. Woolley, The American Presidency Project. http://www.presidency.ucsb.edu/ws/?pid=40056.

Tuesday, August 21, 2018

ලෙචියකගෙන් ලියුමක්...


පහත උපුටා දක්වන්නේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ රසායන සහ සැකසුම් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන මහේෂි දන්තුරේබණ්ඩාර විසින් ඇගේ වත්පොත් පිටුව හරහා පොදු අවකාශයට මුදාහැර ඇති සටහනක්. කියවීමේ පහසුව සඳහා ඇතැම් තැන් වලින් එහි ඡේද වෙන් කිරීම හැර වෙනත් කිසිදු වෙනසක් නොකර ඇගේ සටහන එලෙසින්ම මෙහි පළ කරන්නේ තමන්ගේ සිසුන් සමඟ සංවාදයක යෙදෙන්නට ඇය දක්වන උනන්දුව අගය කිරීමක් වශයෙනුයි. මෙය මෙහි පළ කිරීමෙන් ඇය ලියා ඇති හැම දෙයක් ගැනම මා එකඟ වන බවක් අදහස් වන්නේ නැහැ. විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය ගැන ඇය ලියා ඇති අදහස් සමඟ මම එකඟ නැහැ. 

මහේෂි ඉංජිනේරු විද්‍යාව පිළිබඳව වගේම ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳවත් ආචාර්ය උපාධියක් ලබා තිබෙන තැනැත්තියක්. මේ ලිපියේ ලියා තිබෙන ඇගේ කණස්සල්ලට හේතු වී ඇති කරුණු ගැන කණගාටු වනවා වෙනුවට ඈ හදාරා තිබෙන ව්‍යවහාරික ආර්ථික විද්‍යාව භාවිතයේ යෙදෙව්වානම් සිසුන් මේ විදිහට ක්‍රියා කරන්නේ ඇයි කියන එකත් ඇයට තේරුම් ගත හැකිව තිබුණා.

ආචාර්ය මණ්ඩලයේ දෘෂ්ඨි කෝණයෙන් පෙනෙන දෙය ඇය ලියා ඇති දෙයට බොහෝ සමාන ඇති. එහෙත්, සිසුන් සේ සිටියදී අප ක්‍රියා කළ ආකාරයත් දැන් සිසුන් ක්‍රියා කරන ආකාරයට වඩා ගොඩක් වෙනස් නැහැ. ඒ කාලේ ආචාර්ය මණ්ඩලයේ සිටි අයටත් මහේෂිට වගේම කණස්සල්ලක් ඇති වෙන්න ඇති. සිසුන් එසේ ක්‍රියා කරන්න හේතුවන බාහිර තත්ත්වයන් වෙනස් නොවුනොත් අනාගතයේදී වුවත් සිසුන් හැසිරෙනු ඇත්තේ ඔය විදිහටම තමයි. මෙතැන තිබෙන්නේ ලංකාවේ අධ්‍යාපන ආකෘතියේ මූලික ප්‍රශ්නයක් මිසක් ආචාර්ය මණ්ඩලයේ ඉන්න පිරිසකගේ වැරැද්දක් නිසා ඇති වුනු ප්‍රශ්නයක් නෙමෙයි.

වැඩිපුර දේවල් ලියන්න ගියොත් ලියුමට යන්න වෙන්නේ නැහැ. ඔන්න එහෙමනං මහේෂි දන්තුරේබණ්ඩාරගේ විවෘත ලිපිය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ දරුවන් වෙත ලියමි....

මාස දෙකකට ආසන්න නිහැඬියාවකට පසු පේරාදෙණිය ඉංජිනේරු පීඨය දැන් යළිත් අවදිවෙමින් සිටියි. අධ්‍යයන කටයුතු ආරම්භ වීමට පෙර යමක් ලියා තබන්නට සිතුවේ සිදුවූ සියල්ල පිලිබඳ සිතේ තවමත් පවතින වේදනාව, කලකිරීම සහ එහෙත් මගේ රැකියාව කෙරෙහි තවමත් නොනැසී පවතින ආදරය සහ කැපවීම යනාදි මිශ්‍ර සිතුවිලි නිසාය.

අරගල කිරීම ශිෂ්‍ය ප්‍රජාව සතු අයිතියකි. නිදහස් අධ්‍යාපනයේ පැවැත්මටත්, උන්නතියටත්, ආරක්ෂාවටත් ශිෂ්‍ය අරගල සෘජුව සහ වක්‍ර ලෙස දායක වූ බව කාටත් නොරහසකි. නමුත් අරගල කරන්නේ කුමක් සඳහාද, කවුරුන් දිනවීමටද සහ එම අරගල කෙතරම් සාධාරණ ද යන්න විමසා බැලීම සමස්ත ශිෂ්‍ය ප්‍රජාවේම වගකීමකි. එසේත් නොමැතිව අන්ධයන්, ගොලුවන් සහ බිහිරන් ලෙස ඒවාට සෘජුව හෝ වක්‍රව හෝ සහය දීම අනාගත පරම්පරාවල් කිහිපයකටම වල කැපීමක් වනු ඇත.

මා මේ දීර්ඝ සටහන තබන්නේ වසර ගනනාවකට පෙර පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ ම ශිෂ්‍යාවක ලෙසත් ඉන් ඉවත්ව වසර 10 ට පසු නැවත එම පීඨයේම කථිකාචාර්ය වරියක් ලෙසත් මගේ ඇති කෙටි අත්දැකිම් සමූහය පදනම් කරගෙනයි. විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකව ස්ව කැමැත්තෙන්, සාධාරණ යැයි සිතා සහභාගී වූ අරගලත් ශිෂ්‍ය සංගමය විසින් අකමැත්තෙන්, බලෙන් දක්කාගෙන ගොස් සහභාගී වූ අරගලත් මගේ ශිෂ්‍ය ජීවිතයේ මම අත් දැක ඇත්තෙමි. ශිෂ්‍ය සංගම් වල ක්‍රියා පටිපාටියට පිටින් කතා කරන විට, බහුතර වැරදි මතය නොව හරි මතය දිනවන්න ක්‍රියාකරන විට, ප්‍රශ්න කරන විට ශිෂ්‍ය සංගම් වල නායකයින්ටත් වඩා ඔවුන්ට වන්දි බට්ටකම් කරන අයවලුන්ගෙන් අනන්ත මානසික තාඩන පීඩන වලට ගොදුරු වූ අවස්තා මගේ ශිෂ්‍ය ජීවිතයේ ඇත. විශ්ව විද්‍යාලයයේ පළමු වසර ඉතා නීරස එකක් වී විෂයයන් තුනක් අසමත් වීමට තරම් ඒ මානසික බිඳවැටීම ප්‍රභල වුණි. නමුත් මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වූයේ ඒ අසමත්වීම නිසාත්, ඒ අසමත් වීමත්, මා අසමත් කලවුනුත් පසුකර මා මට අවැසි තැනට පැමිණ ඇති නිසාත් ඒ ගැන තවත් විස්තර කිරීම අනවශ්‍ය යැයි සිතමි. නමුත් මා මේ ස්වල්පය පැවසුවේ අප පීඨයේ ඇති වූ තත්වය පිළිබඳව ආචාර්යවරු ලෙස අපේ අදහස් විමසූ සමහරු, අප ආචාර්‍යවරු වූ පසු අපට ශිෂ්‍ය සමය අමතක වී ඇති බවට කල චෝදනාව නිසායි. උද්ගත වූ තත්වය ගැන මා පමණක් නොව, අප පීඨයේ ආචාර්‍යවරු වැඩි පිරිසක් කනගාටුවට, කලකිරීමට සහ නොසන්සුන් බාවයට පත්වූයේ ඒ ශිෂ්‍ය සමය හොඳින් මතක ඇති නිසාත් ඒ නිසාම අද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ ලඟ සබඳතාවක් පවත්වාගෙන යාමට අප නිරන්තරයෙන් කැප වන නිසාත් ය. 

දැන් අපි 80% විශයය සහභාගීත්වය ට අදාලව පීඨයේ ඇතිවූ ප්‍රශ්නය ගනිමු. 80% විශයය සහභාගීත්වය සම්පූර්ණ නොකල 48 (1600 කින් 48) වෙනුවෙන් සහ ඒ හා ඈඳාගත් තවත් ප්‍රාථමික මට්ටමේ කරුණු කිහිපයක් මුල් කරගෙන, තවත් පීඨ නවයක්ම ආපස්සට ගෙනයන්නට යෙදුනු කලබගෑනියට දැන් පිළිතුරක් ලැබී ඇත. ඒ නිසා ඒ කලබගෑනිය ගැන කතා නොකරමි. මා කතාකරන්නේ ඒ සම්බන්දයෙන් අප ඉංජිනේරු ශිෂ්‍යන් හැසිරුන ආකාරයත්, ඒ නිසා පීඨයේ කීර්ති නාමයට, වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම යහපත්, කීර්තිමත් මිනිසුන් බිහිකල ඉතිහාසයට සහ තවත් සිසුන් විශාල ප්‍රමානයකට ඇතිවූ හානියත්, දැන් අපි ඒ හානිය ඉවත් කරන්නේ කෙසේද යන්නත් විශ්ව විද්‍යාල සිසුන් වශයෙන් දේශන වලදී සහ ප්‍රායෝගික පරික්ශන වලදී ඔබ ඔබගේ වගකීම සහ යුතුකම නිවැරදිව ඉටුකලාද යන්නත් ආචාර්‍යවරු ලෙස අප අපේ සේවය නිසිලෙස ඔබට ලබාදුන්නාද යන්නත් ය. 

මම මවක් නොවෙමි. නමුත් මවු ගුණය ඇතිවීමට මවක් විය යුතුම නැත. ඔබ සියල්ලෝම මට මගේ දරුවන් ලෙස හැඟෙන්නේ ඒ නිසාය. තව බොහෝමයක් ආචාර්‍යවරු සිතන්නේ එසේය. කතිකාචාර්‍ය රස්සාව 8-5 රස්සාවක් නොවී පැය 24ක රස්සාවක් වන්නේ එහි ඇති රාජකාරිමය බන්ධනයටත් වඩා මේ මව්-පිය ගුණය නිසාය. අප පීඨයේ 90% වඩා වැඩි ආචාර්‍යවරු පිරිසක් හුදෙක් දේශකයෝ (lecturers) පමණක් නොවෙති. දේශකයෙක් නම් වෙලාවට දේශනයට පැමිණ වෙලාවට බැහැර විය යුතුය. නමුත් බහුතරයක් කරන්නේ බහු කාර්‍යය රස්සාවකි. ඔවුන් පැමිණෙන්නේ දේශනය කිරීමට පමණක් ම නොවේ. උදෑසන සිට සවස් වනතුරු පීඨයේ සිට, ඔවුහු විටෙක ගුරුවරු වෙති. විටෙක පර්‍යෙශකයෝ වෙති. විටෙක පරිපාලන කටයුතු වල යෙදෙති. විටෙක ශිෂ්‍ය උපදේශන සේවාවේ යෙදෙති. අනධ්‍යයන කාර්‍යය මණ්ඩලයේ කටයුතු වල යෙදෙති. විටක කම්කරු රස්සාවේ නියලෙන්නටද සිදුවන අවස්තා ද නැතුවාම නොවේ. සෑම දෙපාර්තමේන්තුවකම ආචාර්‍යවරු අඩු වැඩි වශයෙන් මේ කාර්‍යයන්හි යෙදෙති. ගෙදර ගිය පසු ඔවුහු කරන්නේ කුමක්ද? බහුතරය සිය සැමියා/ බිරිඳ හා දරුවන් සමග ගත කරන්නට ඇති කාලය යලිත් යොදවන්නේ දේශන සටහන්, නිබන්ධන සහ පර්‍යේශන පත්‍රිකා සකසන්නටය. කුඩා දරුවන් සිටින තරුණ ආචාර්‍යවරු බහුතරයක් නිදන්නේ පැය 4 ටත් වඩා අඩු කාලයක් බව මම නිතර අසා ඇත්තෙමි. 

ඉතින් දරුවනි! එවන් පසුබිමක් තිබියදී ඔබේ අරගලය පටන් ගත් දින ඔබ ඉංජිනේරු සහ ඉංජිනේරු නොවන සිසුන් සමඟ පීඨ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට අප ඔබට උගන්වන්නේ නැති බවත් අප උගන්වන්නට දන්නේ නැති බවත් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් හඬ ගා කීවෝය. සේවා කාලය අවුරුදු 15 පමණ වන මහත් කැපවීමෙකින් ඉගැන්වීමේ යෙදෙන ආචාර්‍යවරයෙක් පැවසුවේ එය ඇසුණ පසු ඔහුට කලකිරීමකටත් වඩා ඉසිලිය නොහැකි වේදනාවක් දැනුන බවයි. ඔබ පීඨ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන, යන එන කොරිඩෝවේ ඉතා නූගත් මිනිසුන් හැසිරෙන ආකාරයටත් වඩා අන්ත ලෙස වැතිර සිටියහ. අප එවන් තරුණ දරුවන්ගේ දෙපා උඩින් පැන පැන ගොස් ඒත් ඔබ වෙනුවෙන් කලයුතු විබාග ප්‍රශ්න පත්තර මුද්‍රනය කිරීමේ කටයුතු වල නියැලුනෙමු. ඔබ ඔබේ අරගලයට දක්කාගෙන ආ වෙනත් පීඨ සිසුන් අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයේ තරුණ මහත්මීන්ට විශ්ව විද්‍යාල සිසුන්ට තරම් නොවන අන්දමේ උසුලු විසුලු කල බව ඔවුන් පැවසුවේ කලකිරීමකටත් වඩා මහත් පුදුමයකිනි. එදා මෙදා තුර ඔබ අප මහත් ගෞරවයකින් සහ අභිමානයකින් සැලකූ පීඨ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ලිප් බැඳ, උයා පිහා, කා බී, එතැනම වැටී යාචකයන් සේ සැතපී සිටිනු අප බලා සිටියේ මහත් කම්පනයකිනි. 

එයිනිදු නොනැවතුනු ඔබ විවිධාකාර පෝස්ටර් එල්ලා අප මහත් කැපවීමෙන් ඔබට සැපයූ සේවය හෑල්ලු කරනු අප දුටුවෙමු. ඒ පෝස්ටර් වලිනුත් "සිසු ජීවිත තොපේ බූදලේද" යන පෝස්ටරය පෞද්ගලිකවම මගේ හිතට තදින් කාවැදුණකි. දරුවනි! ඒවා දුටුපසුව සැබවින්ම මට නම් සිතුනේ ඔබ වන් ගුණමකුවන්ට උගන්වනවාට වඩා නින්දට යාම යහපත් බවයි. නමුත් අර මව්-පිය ගුණය අපව ඒ පාප කර්මයෙන් වලකාලන්නේය. සැබැවින්ම ඔබ කවරක් කලත් ඔබ අපේ බූදල බවට සලකා ඔබව දැනුමින් පෝශනය කරන්නට අපව පොලඹවන්නේ ඒ ගුණයයි. මෙයිනිදු නොනැවතුනු ඔබ, සමාජ ජාල හරහා ඔබේ කාර්‍ය රිසි පරිදි කරගෙන ගියාහුය. ඒ මගින් අප සිසුන් තලා පෙලා දමන, මර්ධනය කරන කුරිරු ගෝත්‍රිකයන් පිරිසක් බව ජාතියටත්, ජාත්‍යන්තරයටත් පැවසූහ. අප යල් පැන ගිය තාක්ශණික කරුණු ඉතා යල් පැන ගිය ක්‍රම මගින් උගන්වන බවට සමාජ ජාල වල සඳහන් කර ඇති බව මම දුටුවෙමි. වරෙක ශිෂ්‍ය සංගම් සමග පැවති සාකච්චාවකදී නිෂ්පාදන හා කර්මාන්ත ඉංජිනේරු ගොඩනැගිල්ල සහ අනිකුත් ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කල නොහැක්කේ ආචාර්‍යවරු ඒවාගෙන් කොමිස් ගහන නිසා බව එක් දරුවෙක් චෝදනා කර තිබිණි. 

එම සාකච්චාවට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ ආචාර්ය තුමෙක් පැවසුවේ අධ්‍යයන කටයුතු වලදී ඉතා නිහඬ සහ අලස පිළිවෙතක් අනුගමනය කරන ඒ දරුවා කෙසේ එසේ පැවසුවාදැයි තමන් පුදුමයට පත්වූ බවයි. මෙහිදී පැවසිය යුතු දෙයක් ඇත. මෙතන කොමිස් ගහ ගහ ඉන්නවට වඩා ලොව පිලිගත් විශ්ව විද්‍යාලයයක හෝ ආයතනයක ඉහළ වැටුපකට සේවය කිරීමට අවශ්‍ය වන සුදුසුකම් අප සතුව තිබේ. නමුත් එසේ නොකර උසස් අධ්‍යාපනයෙන් පසුව අප මෙහි සේවයට පැමිණියේ අප දෙමාපියන්, හිතවතුන්, මේ රට සහ එහි අනාගත පරපුර ගැන කැක්කුමක් අපට තවමත් ඇති නිසාය. තවද ඔබ කොමිස් ගහනවා යැයි කියූ ආචාර්‍යවරු ම තමන්ගේ පෞද්ගලික වත්කමින් අප්‍රසිද්ධ ලෙස බොහෝ ශිෂ්‍යන්ට උදවු උපකාර කරන බව කාටත් රහසක් නොවේ. 

සිසුන්ගේ මේ සාවද්‍ය තොරතුරු ප්‍රචාරයට, දැනට පීඨයෙන් ඉවත්ව විවිධ ක්ෂේත්‍රයන්හි සේවයේ නියැලෙන ළපටි මෙන්ම පරිණත ඉංජිනේරුවරුන්ගේ පක්ශ සහ විපක්ශ අදහස් මම සමාජ ජාල වෙබ් අඩවි තුලින් කියෙව්වෙමි. ඉන් එක් අයෙක් පවසා තිබුනේ පරිපාලනය සැමවිටම සිසුන් දරුවන් ලෙස නොසලකා කුරිරු තීරණ ගන්නා බවයි. ඒ සම්බන්ධව යමක් පැවසුවහොත් ශිෂ්‍යාවක සමයේ පරිපාලනය ගැන මා නොදුටු නොදත් බොහෝ දේ දැන් මම ආචාර්‍යවරියක ලෙස ඉගෙනගනිමින් සිටිමි. එවකට මා ඉතා දුශ්ට යැයි සිතා සිටි සමහර ජ්‍යෙෂ්ඨ ආචාර්‍යවරු පීඨ සභාවේදී ඉතා මානුෂික ලෙස සිසු දරුවන්ගේ ප්‍රශ්න වලට සම්බන්ද වෙනු දැක ඇත්තෙමි. බොහෝ විට ලාබාල, අත්දැකීම් අඩු ආචාර්‍යවරු ආවේගශීලි ලෙස ගන්නා තීරණ මැඩ පවත්වන්නේ මේ අප දුශ්ට යැයි සිතා සිටි වියපත් පරිණත ආචාර්ය මහාචාර්‍ය වරු විසිනි. අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ වර්ජනයට පසුව සමාසිකය සම්පීඩනය කර ඉගැන්වීම, හවස පන්ති පැවත්වීම යනාදියේත් අවංක පරමාර්ථය වූයේ අවසන් වසර සිසුන් නිසි කලට උපාධිදරයන් ලෙස පිටත් කිරීමත්, අනික් සිසුන් නිසි කලට කාර්මික පුහුණුවට යැවීමත් සහ අලුත් කණ්ඩායම ඉක්මණින් බඳවා ගැනීමත් මිස ඔබව හිතා මතා තලා පෙලා මර්ධනය කිරීමට නම් නොවේ. මේ තීරණයට ශිෂ්‍ය නියෝජිතයන් එකඟ වූ බවද කියනු කැමැත්තෙමි.

අප යල්පැනගිය දේ යල්පැනගිය ක්‍රම මගින් උගන්වන බව කියූ ඔබටත්, එයට පොහොර, වතුර දමා සමාජ ජාල වෙබ් අඩ්වි ඔස්සේ ප්‍රචාරය කරන ඉන්ඩස්ට්‍රියේ ඇතමුන්ටත් මට කිවයුතු යමක් ඇත. වොශින්ටන් නියාමනය යටතේ අප විශය නිර්දේශ කාලානුරූපව නිතර වෙනස් කරමු. මෙහිදී ඉතා මෑතකදී බිහිවූ මෙන්ම ඉතා පරිණත, අත්දැකීම් බහුල ඉංජිනේරුවරුන්ගේ අදහස් ද අප සැලකිල්ලට ගන්නේ විශයය නිර්දේශය ඉන්ඩස්ට්‍රියේ ඉල්ලුමට ගැලපිය යුතු නිසාය. මේ සඳහා සෑම දෙපාර්තමේන්තුවකටම industry consultative committee එකක් ඇත. මේ කොමිටි වලට ඉන්ඩස්ට්‍රියේ වැඩි දෙනා ඉතා කැමත්තෙන් සහභාගි වෙති. නමුත් බොහෝවිට සමාජ ජාල වෙබ් අඩවි වල කටමැත දොඩවන අයවලුන් නම් මේවාට කැමති නැත. ඔවුන් කැමති සැමවිටම වැරදි නිවැරදි කර ගැනීමට උදවු කරනවාට වඩා අරක වැරදි මේක වැරදි යැයි කියව කියවා සිටීමටය. 

මා ශිෂ්‍යාවකව සිටි සමයේ උගත් විශයයන්ට වඩා අද බොහෝ සෙයින් අලුත් තාක්ශනික කරුණු විශයය නිර්දේශයට ඇතුලත් කර තිබේ. එම වෙනස මම හොඳින් දකිමි. ආචාර්‍ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් අද නැවුම්, නිර්මාණශීලී අදහස් ඇතිව තරුණ දරුවන් සමඟ ඉතා සුහදව කටයුතු කරන්නට උත්සාහ දරති. ගුරු කේන්ද්‍රීය ඉගැන්වීම වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම ක්‍රියාත්මක කිරීමට වෙහෙසෙති. දැන් මේ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුමට බහුතර ශිෂ්‍යා වූ ඔබ ප්‍රතිචාර දක්වන අයුරු මම විස්තර කරන්නම්. මා සේවයට පැමිණි මුල් අවධියේ මම ඉතා කැපවීමෙන් විවිධ ඉගැන්නුම් ක්‍රම අත් හදා බැලුවෙමි. ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම එක් ක්‍රමයකි. 

මෙහිදී අප දේශකෙයක්ට වඩා පහසුකම් සලසන්නෙකුගේ (facilitator) භූමිකාව කරමු. පාසැල් සහ ටියුශන් අධ්‍යාපනයේ මෙන් හැන්දෙන් පොවන (spoon feeding) ක්‍රමය වෙනුවට මෙහිදී අප ශිෂ්‍යාටම ස්වයං පාලනයක් සහ නිදහසක් සහිතව විශයය කරුණු සොයා යෑමට, ප්‍රශ්ණ වලට පිළිතුරු සෙවීමට මග පෙන්වන්නෙමු. කෙසේ වෙතත් මේ ක්‍රමයට යහපත් ප්‍රතිචාර දක්වන්නේ ඉතා සුලු පිරිසකි. මගේ පලමු ඉගැන්වීම් සමාසිකය අවසානයේ ශිෂ්‍ය ප්‍රතිචාර පෝරම 100 න් 80 ම සඳහන් වී තිබ්බේ බෝඩ් එකේ උගන්වනවානම් , සටහනක් මුද්‍රනය කර දුන්නානම් හොඳ බවයි. එයිනුත් සමහරු ලියා තිබුනේ මා විශයය හරි හැටි නොදන්නා නිසා එවැනි සටහන් නොදෙන බවයි. බෝඩ් එකේ උගන්නන්නේ නැති බවයි. ඉන් පසු වසරේ මම යලිත් සාම්ප්‍රදායික ක්‍රමයට උගන්වන්නට පටන් ගතිමි. නමුත් මා පමණක් නොව බහුතරයක් ආචාර්යවරු හැකිවිටම උත්සහ කරන්නේ ශිෂ්‍යා සමඟ සංවාදයක් ගොඩ නගා ගැනීමටය. ඔවුන්ව සාකච්චාවට සහභාගී කර ගැනීමටයි. 

නමුත් දරුවනි ඔබ කීදෙනෙක් එසේ ක්‍රියාකාරි ලෙස දේශන වලට සහභාගී උනාද? කීදෙනෙක් අප උගන්වන දේ ප්‍රශ්න කලාද? ඔබේ සඟයන් යමක් ඉදිරිපත් කරන විට කෙතරම් දුරට ඒවා විවේචනය කලාද? ප්‍රශ්න කලාද? නිවසේදි කරගෙන ඒමට නිබන්ධනයක් දුන් විට කීදෙනෙක් කරගෙන ආවාද? අප කතා කරන විශයයේ අලුත් දේවල් මේවා යැයි කියා කී දෙනෙක් යමක් සොයාගෙන ආවාද? ඕක ඔහොම නෙවෙයි මෙහෙමයි කියා ඔබ අපට අභියෝග කලාද? ඔබ බහුතරය එසේ කලේ නැහැ නේද? ඔබ බිල්ලන් සේ අප කියන්නක් අන්ධව පිළිගෙන දේශන ශාලාවෙන් නික්මුණ අය නේද? විශ්ව විද්‍යාල ශිෂ්‍යයා එසේ විය යුතුද? ඔහු දැනුම පිපාසාවෙන් පෙලෙන අයෙක් විය යුතුයි නේද?

ඔබ පිලිකුල් කරන 80% විශයය සහභාගීත්වය ගැන බලමු. 80% විශයය සහබාගීත්වය අද ඊයේ පැමිනි දෙයක් නොවේ. මා ශිෂ්‍යාවකව සිටි සමයේත් 80% ගන්නට මම නීරස දේශන වලට සහභාගී වී ඇත්තෙමි. නිදි කිරා වැටී ඇත්තෙමි. අප සියලුම දෙනා ජීවිතේ එක්වරක්වත් එවැනි දේශන වලට ගොස් ඇති බව මම විශ්වාස කරමි. නමුත් ඒ අතිශය නීරස දේශන වලිනුත් මා ජීවිතයට යමක් උකහා ගෙන ඇති බව මම දැන් තේරුම් ගනිමින් සිටිමි. කෙසේ වෙතත් අද මගේ ඉගැන්නුම් ක්‍රියාවලියේදී එදා මට නින්ද ගිය ඉගැන්නුම් ක්‍රම කිසිවකුත් පාවිච්චි නොකිරීමට මම හැකිතාක් උත්සාහ ගනිමි. ඔබ කියන්නේ නීරස දේශන වල හිඳ සිටිනවාට වඩා ඒ කාලය වෙනත් ප්‍රයෝජනවත් යමකට යෙදවිය හැකි බවයි. ප්‍රශ්නය වන්නේ ඔබ ඒ කාලය ප්‍රයෝජනවත් යමකට යොදවනවාද කියායි. බහුතරය නැහැ නේද? අනිත් අතට බලන විට නීරස දේශනයක් රසවත් කිරීමට ඔබට බැරි ඇයි? ආචාර්‍යවරයාට අභියෝග කරන්නට ඔබට බැරි ඇයි? ඔහුගෙන් පෙරලා ප්‍රශ්න කරන්නට ඔබට බැරි ඇයි? ඔහු උගන්වන්නේ යල් පැන ගිය දෙයක් නම් කියවන්නේ එකම සටහන නම් මෙන්න මේවයි අලුත්, මෙන්න මේව මම හොයාගත්තුවායි කියා ඔබට කියන්න බැරි ඇයි? දරුවනි ඒ පෙළඹවීම ඔබෙන් අපට අවශ්‍යයයි. ආචාර්‍යවරු ලෙස අපේ ප්‍රතිරූපය ගොඩනැගෙන්නේ, අපේ හැකියාවන් ඔප මට්ටම් වෙන්නේ ඔබ විසින් අපට කරන අභියෝග මතයි. 

මගේ මේ නරක අත්දැකීම් සමඟ ස්වල්ප වූ හොඳ අත්දැකීමුත් නැතිවාම නොවේ. දේශන වලදී ඉතා ක්‍රියාකාරී ලෙස සහභාගි වන කුඩා කණ්ඩායම් දෙකක් දැනට මට හමුවී ඇත. දිනක් තරල විද්‍යාවෙහි (advanced fluid mechanics) මූලික සිද්ධාන්තයක් උගන්වන අවස්තාවේදී මා ඒ ඉගැන්වූ දෙයට මුලු කණ්ඩායම ම අභියෝග කල හැටි මට මතකය. ඔවුන් කෙතරම් ක්‍රියකාරීව අවධානයෙන් සිටියාද යත් මට පන්තිය ඒ දවසට නවතා ඒ මූලික සිද්ධාන්තය යළි අධ්‍යයනය කිරීමට සිදුවිය. ඊලඟ දවසේ මම ඔවුන්ට මහත් සේ ස්තුතිවන්ත වූයෙමි. එවන් විචක්ශනශීලී දරුවන් පිරිසක් නිසා මම මදකට ආපස්සට ගොස් මගේ ක්‍රමය හරිදැයි තහවුරු කර ගතිමි. 

අප ඔබට දැනුම, කුසලතා, ආකල්ප යන අංශ තුනම බෙදාදෙන්නෙමු. ඔබට පොතක් කියවා දැනුම ලබාගත හැකිය. නමුත් කුසලතා හා ආකල්ප එසේ නොවේ. ඉන්ඩස්ට්‍රියෙන් අපට නිතර එන පැමිණිල්ලක් වනුයේ අපේ දරුවන් දැනුමෙන් පරිපූර්ණ නමුත් කුසලතා සහ ආකල්ප වලින් දුර්වල බවයි. වරක් සමාසිකය පටන් ගන්නා දින පලමු දේශනයේදී මම සිසුන්ට පැවසුවේ මගේ දේශනයෙන් විනාඩි පහක කාලයක් මම ඔවුන්ගේ මෘදු කුසලතා (soft skills) වර්ධනය කර ගැනීම සඳහා ලබා දෙන බවයි. දිනකට එක සිසුවෙක් බැගින් ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වී විශයය සම්බන්ධ හෝ ඉන් භාහිර තමන් කැමති දෙයක් ඉදිරිපත් කිරීමට අවස්තාව ලබා දුන්නෙමි. සිසුන් 24 න් 7 දෙනෙක් පමණක් මෙයට ඉතා උවමනාවෙන් ඉදිරිපත් වුණි. 

කණගාටුවට කරුණ නම් ඔවුන්ගේ මෘදු කුසලතා ඉතා උසස් මට්ටමේ තිබීමත් සැබවින්ම එය ඔප මට්ටම් කරගතයුතු අය ඉමහත් අලසව, ඔතෑනිව ඒ අවස්තාව සමච්චලයකට ගෙන සිටිනු දක්නට ලැබීමත්‍ ය. ආකල්ප වර්ධනය ගැන යමක් කිව්වොත්, මගේ තිරසාර සංවර්ධනය (sustainable development) දේශනයකදී මම විමසා සිටියේ පරිසර දූශනය අවම කිරීමට සහ සම්පත් ක්ශය වීම අවම කිරීමට අපට කල හැක්කේ කුමක්ද යන්නයි. මම නිකමට විමසා සිටියේ නොමිලේ පාපැදි ලබා දුන්නොත් අක්බාර් පාලමේ එහා මෙහා යාමට මෝටර් බයිසිකල් වෙනුවට ඒවා පාවිච්චි කිරීමට කැමතිද යන්නයි. එක් අයෙක්වත් කැමති වූයේ නැත. එසේ අකමැති වූ සිසුන් බහුතරය යෝජිත ජල තාක්ෂණය සඳහා වන චීන - ශ්‍රී ලංකා පර්යේෂණ සහයෝගිතා මධ්‍යස්ථානය (China - Sri Lanka Joint Research and Demonstration Centre for Water Technology) ගොඩ නැගීමට නියමිත භූමියේ වැට මායිමේ ගස් කැපීම සම්බන්දව සමාජ ජාලා වල සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරනු දුටුවෙමි. තවද තිරසාර සංවර්ධනය ඉගෙනීමට පැමිණි සමහර සිසුන්, 80% සඳහා වංචනික ලෙස හොර අත්සන් ගසා ඇති බව දුටිමි. ඒ අතර ශිෂ්‍ය සංගම් නායකයෝද වූහ. 

දරුවනි, ඔබ බහුතරය මෙසේ අලසව උදාසීනව හැසිරෙමින්, අප මහත් කැපවීමෙන් ඔබට සපයන සේවය හරිහැටි ලබා නොගෙන, විවිධ දේශපාලන කණ්ඩායම් වල අතකොලු වෙමින් පීඨය තුළ විසඳා ගත යුතුව තිබූ ප්‍රශ්නයක් මුලු විශ්ව විද්‍යාලයයටම ගෙනගොස් විනාශ කලේ පීඨයේ ගරුත්වය පමණක් නොවේ. ඔබ විනාශ කලේ, තවත් පරම්පරා කිහිපයක කාලයයි. නිදහස් අධ්‍යපනය ඔබට නොමිලේ වුවද එය ඔබට නොමිලේ ලැබෙන්නේ තවත් අයෙක් ඒ වෙනුවෙන් බදු ගෙවන නිසාය. ඔබ හෑල්ලු කලේ ඔබ වෙනුවෙන් බදු ගෙවන ඒ මිනිසුන්ගේ ශ්‍රමයයි. ඔබ උගන්නා ඔබේ පීඨයේ ආචාර්‍යවරු සිසුන් තලා පෙලා මර්ධනය කරන ගෝත්‍රිකයන් පිරිසක් බව ඔබ ලොවට කියා හමාරය. ඔවුන් උගන්වන්නේ නැති බව උගන්වන්නට නොදන්නා බව ඔබ ලොවට කියා හමාරය. ඔවුන් කොමිස් ගසන බව ඔබ ලොවට පවසා හමාරය. ඔබ පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා IESL හෝ වොශින්ටන් නියාමනය නොදෙන ලෙස බල කරයි. අනිත අතට අප පාඨමාලාවේ වොශින්ටන් නියාමනයට අත්‍යාවශ්‍ය සාධකයක් වූ පූර්ණ කාලීන පාඨමාලාවක් බව පෙන්වන 80% ඉවත් කරන්නැයි බල කරයි. ඔබේ දෙබිඩි පිළිවෙත මෙලෙස ඔබ ලොවට පවසා හමාරය. ඔබ කලේ ඇත්තෙන්ම හුන් තැනම පහරා එයා හත්පොළේ ගා ගත්තාක් වැනි වැඩකි. නොඑසේනම් උඩ බලාගෙන කෙළ ගසා ගැනීමකි.

මේ සිදුවූ විනාශය අවම වශයෙන්වත් ඔබට පිළිසකර කළ හැකිද? 

දරුවනි! ඔබ තවමත් ප්‍රමාද වැඩි නැත. ඔබ ඔබේ යුතුකම හරියට ඉටු කරන්න. අපි අපේ යුතුකම ඉටුකරන්නම්! අප එසේ නොකරන්නේ නම් අපිව ප්‍රශ්න කරන්න. අභියෝග කරන්න. යමක් ඔඩු දුවන තුරු නොසිට නිසි තැන පිළියම් යෙදීමට ඉදිරිපත් වන්න. නිහඬ බහුතරයටයි මේ ඉල්ලීම. යම් වරදක විශාලතම කොටස් කරුවන් වන්නේ නිහඬ බහුතරය බව මතක තබා ගන්න. දරුවනි! ඔනෑවටත් වඩා පහසුකම්, අවස්තා ඔබ ඉදිරියේ ඇත. ඒවාගෙන් ඵල නෙලාගන්න. මේ වරප්‍රසාද අහිමි පිරිසක් පීඨයෙන් එළියේ සිටිනබව මතක තබාගන්න. අන්ධයන්, ගොලුවන්, බිහිරන් සේ අවිඥානිකව වැරදි මාවතක නොයා විචක්ශනශීලී වන්න. ඔබ තව තවත් අරගල කරන්න. නමුත් ඒ අසාධරණයට එරෙහිව මිස පටු අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමට හෝ තවත් කෙනෙකුගේ දේශපාලන අතකොලු වීමට හෝ නොවිය යුතුය. ඔබේ හැකියාවන් සහ කාලය කෙනෙක් රිදවීමට නොව සැනසීමට යොදවන්න. ඔබ ලොව මහා ප්‍රාඥයා වූවත් ඔබ මිනිසත් බවින් හීනයෙක්නම් කුමටද ඔබ ලබාගන්නා ප්‍රඥාව? ඔබ විනාශ කල ගරුත්වය පසු පරම්පරාවලට නැවත ලබාදීමට කටයුතු කර යන්න. ණයකාරයන් නොවී පෞර්ශවත් මිනිසුන් ලෙස යම් දිනක මින් පිටවී යන්න!!!


මහේෂි දන්තුරේබණ්ඩාර
රසායන සහ සැකසුම් ඉංජිනේරු දෙපාර්තමේන්තුව

Friday, August 17, 2018

ජේආර් සමඟ ඇමරිකා ගොස් හාමතේ මියගිය ඈ...


සමගි පෙරමුණු ආණ්ඩුව පරාජය කර හයෙන් පහක බලයක් ලබාගත් ජේආර් ජයවර්ධන ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවකට මුල පිරුවා. අඩුපාඩු තිබුණත් ජේආර්ට ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම පිළිබඳව දැක්මක් තිබුණා. නිදහසින් පසු ලංකාවේ ආර්ථික ව්‍යුහයේ එක දිගටම තිබුණු හා තවමත් තිබෙන මූලික ප්‍රශ්නයක් වන රුපියල ඕනෑවට වඩා ශක්තිමත් වීම නිසි අයුරින් හඳුනාගත් එකම රාජ්‍ය නායකයා ජේආර් ජයවර්ධනයි. මේ කරුණේදී රනිල් වික්‍රමසිංහ ඉන්නෙත් ජේආර්ට වඩා ගොඩක් පස්සෙන්.

ජේආර් ප්‍රසිද්ධ වී තිබෙන්නේ ඇමරිකාවට ලැදි පුද්ගලයෙක් ලෙසයි. ඇමරිකාවට ජේආර්ගේ ලැදිකමක් තිබී ඇති බව පිළිබඳව සැකයක් නැතත්, එය ඔහු පෙන්වූ තරමටම තිබුණා නොවෙන්නත් පුළුවන්. ඊට වඩා සිදුවී තිබෙන බව පෙනෙන්නේ තමන් ඇමරිකාවට ලැදි පුද්ගලයෙක් බවට ප්‍රතිරූපයක් හදාගන්න ජේආර් විසින්ම කාලයක් තිස්සේ කටයුතු කර තිබීමයි. ඔහුගේ රාජ්‍ය ප්‍රතිපත්ති ඇමරිකාවට වඩා කිට්ටු සිංගප්පූරුවටයි.

ජේආර් විසින් හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ නිසා ලංකාවේ ආර්ථික වර්ධනය තරමක් වේගවත් වුනත්, උතුරේ කැරළි පටන් ගැනීමෙන් පසුව තත්ත්වය හිතූ තරම් හොඳ වුණේ නැහැ. මේ ප්‍රශ්නයේ ඉතිහාසය ඈතට දිවෙන්නක් වුවත්, ලංකාවේ ආර්ථිකයට හා ජන ජීවිතයට සිවිල් යුද්ධයේ බලපෑම දැනෙන්න පටන් ගත් අවුරුද්ද සේ සැලකිය හැක්කේ 1983 අවුරුද්දයි.

මේ විදිහට උතුරේ ත්‍රස්තවාදී ක්‍රියා ආරම්භ වී වසරකට පමණ පසු ජේආර් ඇමරිකාවේ සංචාරයක යෙදුණා. එවකට ඇමරිකානු ජනාධිපති වුණේ රොනල්ඩ් රේගන්. සංචාරයේ පසුබිම ඇතුළු දේශපාලනික කරුණු ගැන කතා කරන එක අපි දැනට පැත්තකින් තියමු.

ජේආර් ඇමරිකාවට ගියේ රේගන්ට දෙන්න තෑග්ගකුත් අරගෙනයි. ඒ කිරි බොන වයසේ හිටපු මාස 18ක සුරතල් අලි පැටික්කියක්. බර රාත්තල් 285ක් පමණයි. ජයතු ලෙස නම් කර තිබුණු මේ අලි පැටික්කී වලක වැටිලා ඉඳිද්දී බේරාගෙන තිබුණු අනාථ අලි සිඟිත්තියක්. ජේආර් මේ අලි පැටික්කිව කිහිල්ලෙ ගහගෙන ඇමරිකා යන කාටුන් එකක් ඒ දවස් වල ඇත්තේ හෝ වෙනත් පත්තරේක නැත්නම් සඟරාවක තිබුණා වගෙත් මතකයක් තියෙනවා.

රටකින් රටකට තෑග්ගක් දෙනකොට යන ගමන් ලක්සලෙන් මොකක් හරි අරන් ඔතාගෙන යනවා වගේ ලේසියට ඔය වැඩේ කරන්න බැහැ. ඊට කලින් අනුගමනය කළ යුතු රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාපටිපාටීන් තියෙනවා. මේ අතරින් වැදගත්ම මූලික කරුණක් වෙන්නේ තෑග්ග භාරගන්න අදාළ රට කැමති වීමයි.

මේ අලි පැටික්කිව භාර ගන්න ඇමරිකාව මුලින්ම කැමති වෙලා නැහැ. එයට හේතුව මේ තරම් පොඩි වයසක අලි පැටික්කියක් ඇමරිකාව වගේ නුපුරුදු දේශගුණයක් තියෙන රටකට ගෙනත් හදාගන්න පුළුවන් වෙයිද කියන සැකය. ඒ නිසා, ඇමරිකාව පැත්තෙන් මුලින් කියල තියෙන්නේ තෑග්ග ලෙස ටිකක් ලොකු, කිරි වරපු අලි පැටියෙක් දෙන්න පුළුවන්නම් වඩා හොඳ බවයි.

අලි පැටියෙක් කිරි වරන්න අවුරුදු තුනක්වත් යනවා. ඒ වෙන කොට පැටියා සෑහෙන්න වැඩිලා නිසා ඒ වයසේ පැටියෙක් ඇමරිකාවට ගෙනියන්නනම් වෙනම ගුවන් යානයක් අවශ්‍ය වෙනවා. ඒ තරම් වියදමක් ලංකාවේ භාණ්ඩාගාරයට දරා ගන්න අපහසු බව ඇමරිකාවට දන්වමින් කොහොම හරි අන්තිමට ජේආර් මේ පැටියාව භාර ගන්න ඇමරිකාව කැමති කරගෙන තියෙනවා. ඒ අනුව, සාමාන්‍ය ජම්බෝ ජෙට් යානයකට පැටවූ තොටිල්ලක මේ අලි පැටික්කී ජේආර් එක්ක ඇමරිකාවට එනවා. ඉන්පසුව, ජේආර්ගේ වගේම රේගන්ගේත් දේශපාලන පක්ෂ වල සංකේතයක් වන මේ අලි පැටික්කිව ජේආර් විසින් රොනල්ඩ් රේගන්ට තෑගි කරනවා.

කොහොම වුණත්, කෙටි කලකට හෝ ජේආර්ගේ වගේම රේගන්ගේත් ආදරය ලබන ජයතු නම් වූ මේ අලි සිඟිත්තිය ඇමරිකාවට පැමිණීමෙන් පසුව ජීවත් වෙන්නේ දින 78ක් පමණයි. මුලින්ම, ලංකාවෙන් ගෙන ආ ළදරු කිරිපිටි ආහාරයට ගනිමින් රාත්තල් 130ක් පමණ බර වැඩි කරගන්නා ඇය එසේ ගෙනා කිරිපිටි ඉවර වී වෙනත් වර්ගයක් ලබාදෙන්නට පටන් ගැනීමත් සමඟ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. දිගින් දිගටම ආහාර ප්‍රතික්ෂේප කරද්දී බටයකින් ආහාර ලබා දුන්නත් ඇගේ බඩවැල් ආසාදනය වී පාචන තත්ත්වයක් ඇති වෙන අතර ආහාර අවශෝෂණය කරගැනීම ක්‍රමයෙන් අඩු වී ඇගේ බර විශාල ලෙස පහත වැටෙනවා. අවසානයේදී මේ අලි සිඟිත්තිය උපන් බිමෙන් බොහෝ ඈත රටකදී ඉතා අඩු වයසකින් ජීවිතය හැර යනවා.


(Image: https://de.wikipedia.org/wiki/Datei:Jayewardene_presents_elephant_to_Reagan.jpg)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...