මේ වෙලාවේ රූපවාහිණී යන්ත්‍ර, ජංගම දුරකථන වැනි අත්‍යාවශ්‍ය නොවන ආනයනික භාණ්ඩ මිල දී නොගෙන පොඩ්ඩක් කල් දමන්න කියලා මහ බැංකු අධිපතිවරයා කියනවා ඇහුනා. මම දැක්කේ පොඩි ක්ලිප් එකක් නිසා ඔය කතාව කියපු සන්දර්භය ගැන හරියටම දන්නේ නැහැ. සමහර විට "මේ වෙලාවේ මිනිස්සු කරන්න ඕනෑ කුමක්ද?" කියලා අහපු ප්‍රශ්නයට දුන්න පිළිතුරක් වෙන්න ඇති.
ඔය ප්‍රශ්නයම නොයෙක් අය අපෙනුත් අහනවා. මෙය ඒ ප්‍රශ්නයට දෙන පිළිතුරක්ම නොවුනත් ආසන්න පිළිතුරක්.
ඔය ටීවී, ෆෝන් ගන්න එක කල් දාන්න කියපු එකට ප්‍රතිචාරයක් විදිහට මාත් එක්ක කතා කරපු කෙනෙක් මෙහෙම කතාවකුත් කිවුවා.
"ඒ මොන මෝඩ කතාවක්ද? මිනිස්සු ගන්නේ කඩ වල තියෙන ඒවානේ!"
ඔහොම තමයි ඉතිං සමහර අයගේ අවබෝධය. මිනිස්සු ටීවී, ෆෝන් කඩෙන් ගන්නවා මිසක් ආනයනය කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් රුපියල් වලින් මිසක් ඩොලර් වලින් ගෙවන්නෙත් නැහැ. හැබැයි මිනිස්සු කඩ වලින් ටීවී, ෆෝන් මිල දී ගනිද්දී කඩ වල තොග පහළ බහිනවා. තොග පහළ බහිද්දී, ඉල්ලුමත් පේන්න තියෙද්දී ඔය වගේ බඩු විකුණන අය ඩොලර් එකට කීයක් ගෙවන්න වුනත් ඒ ගාන දීලා තව ටීවී, ෆෝන් ආනයනය කරලා විකුණන්න පෙළඹෙනවා. මිනිස්සු ටීවී, ෆෝන් නොගෙන හිටියොත් ඔය වැඩේ වෙන්නේ නැහැ. කඩේ තියෙන ටීවී, ෆෝන් ටික ඒ විදිහටම ඉතුරු වෙනවා. ඒ නිසා, අලුතෙන් ආනයනය කරන්න වෙළෙන්දෝ පෙළඹෙන්නේ නැහැ. මම හිතන්නේ මහ බැංකු අධිපතිවරයා කියන්නේ ඔය කතාව.
මිනිස්සු ඔය කතාව පිළිගෙන ටීවී, ෆෝන් මිල දී ගැනීම කල් දමන එකේ කිසිම වැරැද්දක් නැහැ. කැමැත්තෙන් කරන වැඩක්නේ. එහෙම කළොත් යම් ඩොලර් ප්‍රමාණයක් ඉතුරු වෙයි. හැබැයි ටීවී, ෆෝන් මිල දී නොගෙන හිටියා කියලා රටේ තියෙන ඩොලර් ප්‍රශ්නේනම් විසඳෙන්නේ නැහැ. ඒකත් හොරකම් කරපු සල්ලි හොයාගෙන ණය ගෙවනවා වගේ වැඩක් තමයි. ප්‍රයෝජනයක් තිබෙනවා. නමුත් විශාල එකක් නෙමෙයි.
මහ බැංකුවේම සංඛ්‍යාලේඛණ අනුව පසුගිය මාර්තු මාසයේදී ටීවී, ෆ්‍රිජ් ආදී සියළුම දේවල් ඇතුළත් ගෘහ උපකරණ ආනයනය සඳහා වැය වී තිබෙන්නේ ඩොලර් මිලියන 12.2ක් පමණයි. මෙය පෙර වසරට සාපේක්ෂව 61.7%ක අඩු වීමක්. විදුලි සංදේශ උපකරණ සඳහා වැය වී තිබෙන්නේ ඩොලර් මිලියන 10.2ක් පමණයි. මෙය පෙර වසරට සාපේක්ෂව 74.8%ක අඩු වීමක්. ඒ කියන්නේ ඔය කාණ්ඩ දෙකේම ආනයන වියදම් වල එකතුව ඩොලර් මිලියන 22.2ක් පමණයි. ලංකාවේ කවුරුවත්ම විදුලි සංදේශ උපකරණ හෝ ගෘහ උපකරණ මිල දී නොගෙනම හිටියත් මාසයකට ඉතුරු වෙන්නේ ඔය ඩොලර් මිලියන 22.2 පමණයි.
වැටිලා ඉන්න තත්ත්වයේ හැටියට මාසයකට ඩොලර් මිලියන 22.2ක් ඉතුරු කර ගන්නවා කියන එකත් ලොකු දෙයක් නෙමෙයි නේද කියලා කාට හරි අහන්න පුළුවන්. 2021 මාර්තු මාසයේදී මේ කාණ්ඩ දෙක යටතේ ආනයන වියදම ඩොලර් මිලියන 72.4ක්. එහෙම බැලුවහම දැනටමත් ඩොලර් මිලියන 50කට වඩා ඉතුරු වෙලා. දැනටත් ගොඩක් අය ටීවී, ෆෝන් ගන්න එක නවත්තලා නැත්නම් කල් දමලා. දැන් ඔය ඉතුරු වෙලා ඉන්න ගොඩක් පාරිභෝගිකයෝ ටීවී, ෆෝන් අත්‍යාවශ්‍යම හා හදිසියේම නොගෙනම බැරි අයයි.
ඔය අත්‍යාවශ්‍ය භාණ්ඩ හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ කියන බෙදීම වාස්තවික ලෙස කරන්න ටිකක් අමාරු විෂයමූලික දෙයක්. දරුවන්ට ටියුෂන් ගැනීමේ සිට රාජපක්ෂලා ගෙදර යවන්න දේශපාලනය කිරීම දක්වා කුදු මහත් කටයුතු සියල්ල කරන්න තියෙන ෆෝන් කට්ට හදිසියේ කැඩුනොත් අලුතෙන් ෆෝන් එකක් ගන්න එක හදිසි හා අත්‍යාවශ්‍ය කටයුත්තක් වෙනවා. ටීවී එක කැඩුනත් එච්චරයි. අලුතෙන් එකක් ගන්න එක මාස ගාණක් කල් දාන්න බැහැ. ඒ වෙද්දී ආණ්ඩු දෙක තුනක් මාරු වෙලා තියෙන්න පුළුවන්. ටීවී එකයි ෆෝන් එකයි නැත්නම් දන්නෙත් නැහැ.
හැමෝම ටීවී, ෆෝන් ගන්නේ ඔය විදිහට නොගෙනම බැරි නිසා නෙමෙයි. ඇත්ත. සමහර අයට අලුත් අයිෆෝන් වර්ෂන් එකක් ආවහම තියෙන එක මදි වෙනවා. ඒ වගේ අයටනම් ඕක කල් දාන්න බැරිකමක් නැහැ. ඒ වගේ අයත් ටික දෙනෙක් හරි තවම ඉතිරි වෙලා ඇති. දැන් එහෙම අය කවුරුත් කිවුවා කියලා ෆෝන්, ටීවී ගන්න එක කල් දායිද?
එක පැත්තකින් අලුත් ටීවී, ෆෝන් කොහොම වුනත් ඕවාට අවශ්‍ය අමතර කොටස් ආදිය නිදහසේ ආනයනය කරන්න දෙන්නම වෙනවා. ඔය ඩොලර් මිලියන 22.2ට ඒවත් ඇතුළත්. කැඩුණු ෆෝන් එක හදාගන්න අවශ්‍ය අමතර කොටස් නැත්නම් කොහොම හරි පරණ එක අටෝගෙන කාලයක් අදින කෙනාටත් වෙන්නේ අලුත් ෆෝන් එකක් ගන්නයි. හදාගන්නම බැරිනම් කොහොමත් අලුත් එකක් ගන්න වෙනවා. ඊට අමතරව රැල්ලට ෆෝන් ගන්න අයව පාලනය කරන්න ඕනෑනම් ඒක කරන එක මහ බැංකුව අතේම තියෙන වැඩක්. ඩොලරය ඉහළ යන්න ඉඩ දෙන අතරම රුපියල් අතේ තියෙන අයගෙන් රුපියල් එකතු කර ගන්න එක තමයි එකම සාර්ථක විසඳුම.
ෆෝන්, ටීවී ගැන අවධානය යොමු වුනාට ආනයන වියදමෙන් ලොකුම කොටස ඉන්ධන වියදමයි. ගෙවුණු මාර්තු මාසයේදී ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 519.8ක්. ඉන්ධන පරිභෝජනය 4.2%කින් අඩු වුනොත්, ගෘහ උපකරණ හා විදුලි සංදේශ උපකරණ ආනයනයට වැය වන මුදලට සමාන මුදලක් ඉතුරු වෙනවා. ඒ නිසා, වඩා ඵලදායී ඉල්ලීමක් ලෙස මට පෙනෙන්නේ අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන්න, ළඟ පාතකට යද්දී පයින් හරි බයිසිකලේකින් හරි යන්න, හැකි තරම් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්න, විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න වගේ ඉල්ලීම්. හැබැයි ඕවත් මිනිස්සුන්ගේ නිදහස් තීරණ. කවුරුවත් කිවුවා කියලා මිනිස්සු තමන්ගේ චර්යාවන් එහෙමට වෙනස් කරන්නේ නැහැ.
කවුරුවත් කිවුවා කියලා මිනිස්සු ටීවී, ෆෝන් ගන්න එක කල් දමන්නේ හෝ ඉන්ධන පරිභෝජනය අඩු කරන්නේ නැතත් මිල වැඩි කළහම ලස්සනට ඔය වැඩේ වෙනවා. ඒ නිසා, ආනයන වියදම් අඩු කරගන්න කළ හැකි සාර්ථකම දෙය ඉන්ධන, විදුලි පරිභෝජන ගාස්තු ආදිය සැලකිය යුතු ලෙස වැඩි කිරීමයි.
දැනට මේ වැඩේ කරන එක සාධාරණීකරණය කරන ලොකුම තර්කය ලංවිම, තෙල් සංස්ථා වැනි තැන් වල විශාල පාඩුව. හැබැයි මේ පාඩු ගැන කතා කරද්දී මතු කෙරෙන ප්‍රබල ප්‍රතිතර්කයක් තියෙනවා. ඒ මේ පාඩු වලට හේතුව කුමක්ද කියා හොයලා පාඩු වලක්වා ගත යුතුයි කියන එක. ඒක ඇත්ත. ලංවිම, තෙල් සංස්ථාව වැනි තැන් පාඩු ලබන්නේ අඩුවට විකුණන නිසාම නෙමෙයි. එය එක හේතුවක් පමණයි. මේ තැන් වල අධික පාඩු වලට හේතු වන දූෂණ, වංචා, අකාර්යක්ෂමතා වලට වැට බැඳලා මේවා ලාබ ලබන ආයතන බවට පත් කළ යුතුයි. ඒ දේවල් කළ යුත්තේ රජයේ රුපියල් ප්‍රශ්නයට විසඳුමක් ලෙසයි. හැබැයි ඔය විදිහට මේ තැන් ලාබ ලබන ආයතන කළත් ඩොලර් ප්‍රශ්නය විසඳා ගන්නනම් මිල වැඩි කරන්නම වෙනවා.