පසුගිය ලිපි ගණනාවකම අවධානය යොමු කෙරුණේ ලංකාවේ ආර්ථිකය වෙතයි. ලංකාව ගැන එක දිගට කතා කරන්න යාම නිසා කතා කරමින් සිටි ඇතැම් මාතෘකා තරමක් දුරට මග හැරුණා. මෙම වියුණුවෙහි ලිපි ගණනාවකින් අප ධනවාදය ගැන කතා කළා. ධනවාදයෙහි කාර්යක්ෂමතාවය සමඟ තරඟ කළ හැකි වෙනත් විකල්පයක් නැති බව පැහැදිලි කළා. ධනවාදය තුළ නිෂ්පාදනය සඳහා දායක වන හැම දෙනෙකුටම තමන්ගේ ආන්තික ඵලදායීතාව ලැබෙන ආකාරය විස්තර කළා.
එසේ වුවත්, ලෝකයේ කිසිම රටක පූර්ණ ධනවාදයක් නැහැ. හැම රටකම වගේ රජය විසින් යම් තරමකින් වෙළඳපොලට මැදිහත් වීමක් කරනවා. එහිදී කාර්යක්ෂමතාවය යම් තරමකින් කැප කරන්න සිදු වෙනවා. මෙය කරන්නේ ධනවාදය තුළ ළඟා කර ගත නොහැකි ඉලක්කයක් වන ආදායම් විෂමතා අවම කරන්නයි. ධනවාදය යටතේ හැම කෙනෙකුටම නිෂ්පාදනය සඳහා තමන්ගේ දායකත්වයට සරිලන ප්‍රතිලාභ ලැබෙන නමුත් එසේ ලැබෙන ප්‍රමාණයෙන් හැම කෙනෙකුගේම ජීවිත "අවශ්‍ය පමණ" සුඛිත මුදිත වන්නේ නැහැ. එවැන්නන් ගැන බලා ගන්න යම් ආකාරයක විකල්ප ක්‍රමයක් අවශ්‍ය වෙනවා.
මිනිස්සුන්ට ස්වභාවිකවම තමන්ගේ යහපත තකා කටයුතු කරන්න පෙළඹීමක් තිබෙනවා. ඊට අමතරව තමන්ගේ "වර්ගයාගේ" යහපත වෙනුවෙන් කටයුතු කිරීමේ පෙළඹීමක්ද තිබෙනවා. මේ දෙකේම පරිණාමීය වාසි තිබෙනවා. තමන්ගේ යහපත ගැන නොසිතීමේ චර්යාවකට පරිණාමීය පැවැත්මක් නැතුවාක් මෙන්ම, අනුන් ගැන කිසිසේත්ම නොහිතා තමන්ගේ යහපත ගැන පමණක් සිතීමද පරිණාමීය ලෙස වාසිදායක චර්යාවක් නෙමෙයි. ඔය දෙක අතර මනා සමතුලනයක් තිබිය යුතුයි.
ධනවාදී රටවල ජීවත් වන මිනිස්සුන්ටත් මේ ස්වභාවික මිනිස් ලක්ෂණය තිබෙනවා. තමන්ගේ ආන්තික ඵලදායීතාවය ලෙස අනෙක් අයට වඩා වැඩි ප්‍රතිලාභ ලබන බොහෝ දෙනෙක් එම ප්‍රතිලාභ වලින් කොටසක් වෙනත් අය සමඟ බෙදා ගන්න පැකිලෙන්නේ නැහැ. හැබැයි එහෙම වුනා කියලා හැම දෙනෙක්ම සතුටු වන්නේ නැහැ. තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු, එහෙත් අපේක්ෂාවන් ඊට වඩා වැඩි මිනිස්සු විශාල පිරිසක් ඕනෑම සමාජයක ඉන්නවා. සමහර වෙලාවට ඒ මිනිස්සු ඇති හැකි අය කැමැත්තෙන් තමන්ට දෙන දෙයකට වඩා දෙයක් ඔවුන්ගෙන් ලබා ගැනීම සඳහා සටන් කරනවා.
මේ ආකාරයේ ඉල්ලීම් වරින් වර මතු වෙන එක නරක දෙයක් නෙමෙයි. හැම කෙනෙකුගේම ජීවිත "අවශ්‍ය පමණ" සුඛිත මුදිත නැති බව සමාජයේ වරප්‍රසාදිත කණ්ඩායම් වලට ඒත්තු යන්න ඉඳහිට හෝ මේ වගේ දේවල් වෙන්නත් ඕනෑ. ඒ වගේ ඉල්ලීමක් සාධාරණ බව කිසියම් සමාජයක බොහෝ දෙනෙකුට ඒත්තු ගිය විට එවැනි සමාජයක බහුතර කැමැත්තෙන් කාර්යක්ෂමතාවය අඩු වෙන යම් ක්‍රියාමාර්ග කරා යොමු වීමක් දැකිය හැකියි. මේ විදිහට කාර්යක්ෂමතාවය කැප කිරීමක් සිදු වෙන්නේ සමාජයක බහුතරය විසින් විශ්වාස කරන යම් ආකාරයක සමාජ සාධාරණත්වයක් වෙනුවෙන්.
පූර්ණ ධනවාදයකට වඩා ආසන්න හැම රටකම වගේ හොඳ සුබසාධන යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වෙනවා. මේ හරහා කෙරෙන්නේ ධනවාදී තරඟය තුළ අසමත් වන කොටස් ගැන බලා ගන්න එකයි. එවැනි විකල්ප යාන්ත්‍රණයක් නැත්නම් ධනවාදී තරඟය තුළ පැරදෙන පිරිස් ක්‍රම විරෝධීන් බවට පත් වෙනවා. හැබැයි මේ ආකාරයේ සුබසාධන යාන්ත්‍රණයක් අදාළ සමාජයට දරාගත හැකි විය යුතුයි. එහි බරපැන දරන්න ප්‍රමාණවත් පිරිසක් නැතිව ගියොත් අවසාන වශයෙන් යහපතක් වෙනුවට සිදු වන්නේ අයහපතක්. ඒ නිසා, විෂමතා අවම කිරීම හා කාර්යක්ෂමතාවය නඩත්තු කිරීම අතර මනා සමතුලනයක් පවත්වා ගන්න වෙනවා. බටහිර රටවල ස්ථාපනය වී තිබෙන ද්වි පක්ෂ ක්‍රමය හරහා වෙන්නේ මේ වැඩේ.
අප කරගෙන ආ සාකච්ඡාව නැවැත්තුවේ මේ කරුණ ගැන විස්තර කරලා. සාකච්ඡාව නැවතුනේ පහත ලිපි වලින්.
ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය
ද්විපක්ෂ ක්‍රමය
ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය හා අතර සිදු වන මේ දෝලනය අස්සේ ජාතිකවාදයේ භූමිකාව මොන වගේ එකක්ද? ඊළඟට අපට කතා කරන්න තිබෙන්නේ මේ කරුණයි. මේ මාතෘකාව සඳහා පහත ලිපියෙන් ප්‍රවේශයක් ගත්තා.
ජාතිකවාදී විකල්පය
මෙහිදී මම ජාතිකවාදය කියන එකෙන් මූලික වශයෙන්ම අදහස් කළේ ආර්ථික ජාතිකවාදයයි. ලංකාවේ ජාතිකවාදයේද ආර්ථික ජාතිකවාදී සංරචකයක් තිබුණත් එය ආර්ථික ජාතිකවාදය මත පාදක වූවක් නෙමෙයි. මම කතා කරන්න යන්නේ ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය මත ගොඩනැගුනු බටහිර සමාජ වල ජාතිකවාදය පැන නැගුනේ කොහොමද කියන කාරණයයි. එයට වුවද විවිධ සාධක හේතු වන නමුත් මම අවධානය යොමු කරන්නේ ආර්ථික සාධක වෙතයි.
මම දකින විදිහට මේ ආකාරයෙන් ආර්ථික ජාතිකවාදයක් ඉස්මතු වීම ධනවාදය සමඟ සුබසාධන ආර්ථිකයක් ක්‍රියාත්මක වෙද්දී අනිවාර්යයෙන්ම සිදු විය යුතු පරිණාමීය ප්‍රතිඵලයක්. ඒ ඇයි?
එහිම සෛද්ධාන්තික මූලික ස්වරූපය ගත්තොත් ධනවාදය දේශ සීමා කියා දෙයක් සලකන්නේ නැහැ. ඒ කියන්නේ ධනවාදය නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදීයි. දේශ සීමා කියා දෙයක් පවතිනවා කියා කියන්නේම වෙළඳපොළ කාර්යක්ෂමතාවය අඩු වෙනවා කියන එකයි. ඒ කියන්නේ වෙළඳපොළ දියුණු වීම හරහා අකාර්යක්ෂමතාවයන් අඩු වෙද්දී දේශ සීමා ඉරි මැකී යා යුතුයි.
මෙයින් වෙනස්ව සමාජවාදී ක්‍රමයකට පැවතිය හැක්කේම ජාතික රාජ්‍ය සීමාවන් ඇතුළේ. සමාජවාදයකට නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදී වෙන්න බැහැ. එවැන්නක් සෛද්ධාන්තිකව හෝ තිබිය හැක්කේ වෙළඳපොළ දියුණු වී ඒ හරහා ජාතික රාජ්‍ය වල වලංගු භාවය අහෝසි වී යාමෙන් පසුව ඇති විය හැකි දේශ සීමා නැති, පරිකල්පනීය ලෝකයක පමණයි. ඒ අතින් බැලුවොත් කවදා හරි එකපාරම ලෝක කම්කරු විප්ලවයක් කරන්න බලා ගෙන හිටපු (දැන් වුනත් අන්වීක්ෂයකින් බැලුවොත් අමාරුවෙන් හොයා ගත හැකි) ට්‍රොට්ස්කිවාදීන් හිතපු විදිහ හරි. (මෙයින් අදහස් කළේ ට්‍රොට්ස්කිවාදයේ පාදමේ තිබෙන මාක්ස්වාදයේ මූලික උපකල්පන නිවැරදියි කියන එක නෙමෙයි. එසේ නොවන බව ලිපි මාලාව තුළ කලින්ම පැහැදිලි කළානේ!)
සමාජවාදී ක්‍රමයක් නඩත්තු කරන්න අනෙක් මිනිස්සු වෙනුවෙන් හොඳ දේ තීරණය කළ හැකි "සාමාන්‍යයන් අතර අසාමාන්‍යයන්ගේ" කල්ලියක් අවශ්‍යයි. ජාතික රාජ්‍යයක් ඇතුළේ මේ භූමිකාව කරන්නේ රජය විසින්. රජය නඩත්තු වෙන්නේ අදාළ ජාතික රාජ්‍ය සීමාවේ සිටින මිනිසුන්ගේ ආන්තික ඵලදායීතාවයෙන් කොටසක් බලය යොදා උදුරා ගැනීම හරහා. සුබසාධනය කියා කියන්නේ ඒ උදුරා ගැනීම සාධාරණීකරණය කරන මෙවලමයි. මේ හරහා සමාජවාදී සමාජයක මිනිසුන් අතර සම්පත් බෙදී යාමේ විෂමතා අඩු කෙරෙනවා. සෛද්ධාන්තික ධනවාදයක ඒ වැඩේ වෙන්නේ නැහැ.
හැබැයි මෙවැනි රජයකට බලය යොදා උදුරා ගත හැක්කේ තමන්ගේ ජාතික රාජ්‍ය සීමාව තුළ සිටින මිනිසුන්ගේ ආන්තික ඵලදායීතාවයෙන් කොටසක් පමණයි. එතැනින් එහා සිටින මිනිසුන්ගේ සම්පත් උදුරා ගැනීමේ හැකියාවක් සමාජවාදී රාජ්‍යයකට නැහැ. මේ හේතුව නිසා සමාජවාදී ජාතික රාජ්‍යයක් කොයි තරම් ජාත්‍යන්තරවාදී වෙන්න උත්සාහ කළත් වැඩි දුරක් යන්න කලින්ම ක්‍රමය තුළම පවතින නෛසර්ගික උගුලක හිර වෙනවා.
මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි ජාත්‍යන්තරවාදී සමාජවාදයක් වෙනුවෙන් පෙනී සිටි සෝවියට් දේශය ගනිමු. ඔය වගේ ක්‍රමයක් ඇතුළේ සෛද්ධාන්තිකව ගත්තොත් ක්‍රියාත්මක වෙන්නේ යම් ආකාරයක රොබින් හුඩ් ක්‍රමයක්නේ. එය මතුපිටින් එලෙස පෙනීම හෝ නොපෙනීම වැදගත් කරුණක් නෙමෙයි. දැන් මේ ක්‍රමය ඇතුළේ දේශ සීමාව ඇතුළේ සිටින වඩා ඵලදායී මිනිසුන්ගේ වියදමින් අඩු ඵලදායීත්වයක් තිබෙන මිනිසුන්ව සුබසාධනය කෙරෙනවා. එය රටේ බහුතර මිනිසුන්ගේ කැමැත්ත සමඟ සමපාත වන තුරු මේ වැඩේ අවුලක් නැහැ.
දැන් මේ සමාජවාදය ජාත්‍යන්තරවාදී කරන්න ගියාම වෙන්නේ කුමක්ද? අපි හිතමු සෝවියට් රජය හිතන විදිහට සෝවියට් දේශයේ කම්කරුවෙකුට ලැබෙන වරප්‍රසාදම ලංකාවේ කම්කරුවෙකුටත් ලැබිය යුතුයි කියලා. එහෙම හිතනවානම්, සෝවියට් රජයට සෝවියට් කම්කරුවාව වගේම ලංකාවේ කම්කරුවාවත් සුබසාධනය කරන්න වෙනවා. හැබැයි මේ විදිහට සෝවියට් දේශයෙන් පිටත ඉන්න කම්කරුවෙකුව සුබසාධනය කිරීමේ පිරිවැය දරන්න වෙන්නේ සෝවියට් රාජ්‍ය සීමාව ඇතුළේම ඉන්න පිරිසකටයි. ලංකාවේ කාගෙන්වත් එහි වියදම අය කර ගැනීමේ හැකියාවක් සෝවියට් දේශයට නැහැ. ඒ කියන්නේ මෙවැනි ක්‍රමයක් ස්ථායී ක්‍රමයක් නෙමෙයි.
ඔය ක්‍රමය පවතින්නනම් සමාජවාදී රාජ්‍යයකට එකින් එක අනෙක් රටවල් ඈඳා ගන්නම වෙනවා. එසේ නැත්නම් නිල නොවන ලෙස එම සමාජවාදී රාජ්‍යයේම කොටසක් සේ පවතින පරිවාර රාජ්‍යයන් සේ පවත්වා ගන්න වෙනවා.සෝවියට් දේශය යම් දුරකට ඔය වැඩේ කළා. එහෙම කළත්, සමාජවාදී ක්‍රමයක පවතින නෛසර්ගික අකාර්යක්ෂමතාවය නිසා යා හැකි සීමාවක් තිබෙනවා. ඒ සීමාවට ආවට පස්සේ සෝවියට් ක්‍රමයේ සමාජවාදයකට පවතින්න බැහැ.
ජාතික රාජ්‍ය සීමා තුළ සමාජවාදය ක්‍රියාත්මක කළ චීනය වගේ රටවල් වලට මේ ප්‍රශ්නයට මේ විදිහටම මුහුණ දෙන්න සිදු වුනේ නැහැ. ලෝකයේම සම්පත් බෙදී යාමේ විෂමතා අවම කිරීම ප්‍රායෝගිකව අසීරු වුවත් තමන්ගේ දේශ සීමාව තුළ ඒ වැඩේ කරන එක සාපේක්ෂව ඊට වඩා පහසු දෙයක්. මේ ක්‍රමය ඇතුළේත් සමාජවාදී ක්‍රමයක පවතින නෛසර්ගික අකාර්යක්ෂමතාවය තිබෙනවා. පසුකාලීනව චීනය විසින්නම් ඒ ප්‍රශ්නයටත් විසඳුම් හොයා ගත්තා.
සමාජවාදය තුළ තිබෙන මේ නෛසර්ගික ප්‍රශ්නය ධනවාදය තුළ නැතත්, ධනවාදය තුළ පවා සිදු වෙමින් තිබෙන්නේ ජාතික රාජ්‍යයන් වඩ වඩා ශක්තිමත් වීමක් බව පැහැදිලිව පෙනෙන්න තිබෙන කරුණක්. ඒ ඇයි?
ධනවාදය නෛසර්ගිකවම ජාත්‍යන්තරවාදීයි කියා මම කිවුවනේ. ඇත්තටම එය ඕනෑවට වඩා සරල ප්‍රකාශයක්. සෛද්ධාන්තිකව ධනවාදය කියන්නේ එකක් වුනත්, ධනවාදයකට ක්‍රියාත්මක විය හැක්කේ කිසියම් පොදු එකඟතා රාමුවක් තුළයි. නමුත්, ලෝකයේ හැම මිනිහෙකුටම අවිවාදිතව එකඟ විය හැකි මෙවැනි පොදු එකඟතා රාමුවක් නැහැ. ඒ නිසා, ධනවාදයක් ක්‍රියාත්මක වන නීතිද හැම විටම, හැම තැනම සමාන නැහැ. උදාහරණයක් විදිහට නිදහස් මිනිසෙක් කියන්නේ කවුද? හුවමාරු කළ හැකි භාණ්ඩයක් කියා කියන්නේ කුමක්ද? මේ වගේ දේවල් සම්බන්ධව නිරපේක්ෂ එකඟතාවන් තිබෙන්න අමාරුයි. මේ ප්‍රශ්නය පහත ලිපියේත් තරමක් දුරට සාකච්ඡා කර තිබෙනවා.
අපට නිදහස් කැමැත්තක් තිබේද?
සෛද්ධාන්තික ධනවාදයක් තුළ තිබිය යුතු වෙළඳපොළ කාර්යක්ෂමතාවය එලෙසම දැක ගන්න හැකි වෙන්නේ අදාළ ගනුදෙනු සිදු වන පද්ධතිය තුළ පොදු එකඟතාවයන් පවතින තරමටයි. ගනුදෙනුවක් කරද්දී තමන් මිල දී ගන්නා භාණ්ඩය කුමක්ද කියන එක ගැන මිල දී ගන්නා තැනැත්තාට නිසි අවබෝධයක් නැත්නම් කාර්යක්ෂමතාවය අඩු වෙන එක අහන්න දෙයක් නෙමෙයි. මේ සඳහා ගනුදෙනුවේ අනෙක් පාර්ශ්වය පිළිබඳ යම් විශ්වාසයක් තිබිය යුතුයි. ආගම්, සංස්කෘතිය, සදාචාර රාමු වගේ දේවල් වලින්ද මෙවැනි එකඟතාවන් බොහෝ දුරට ඇති කරන නමුත් නූතන ලෝකය තුළ ධනවාදයට ක්‍රියාත්මක විය හැකි පොදු එකඟතාවන් ඇති කිරීම බොහෝ දුරට සිදු වන්නේ නීති හරහා. මේ නීති ක්‍රියාත්මක වෙන්නේ ජාතික රාජ්‍ය සීමා තුළයි.
ධනවාදය ක්‍රියාත්මක වන එකඟතාවන් හැම එකක්ම විශ්වීය එකඟතාවන් නොවන නිසා විවිධ ජාතික රාජ්‍ය සීමා ඇතුළේ පවතින මේ එකඟතා රාමුද එකිනෙකින් වෙනස්. ඒ වගේම, කිසියම් නිශ්චිත ජාතික රාජ්‍යයක් ඇතුළේ ක්‍රියාත්මක වන මෙවැනි එකඟතා රාමුවක් අදාළ ජාතික රාජ්‍ය සීමාව ඇතුළේ ජීවත් වන මිනිසුන්ගේ ආගමික විශ්වාස, සංස්කෘතිය, සදාචාර රාමු වැනි දේවල් මත පරායත්තයි. ඒ හේතුව නිසාම ආගමික විශ්වාස, සංස්කෘතිය, සදාචාර රාමු වැනි දේවල් අතින් වඩා සමාන ජාතික රාජ්‍ය අතර ධනවාදය ක්‍රියාත්මක වන එකඟතාවන්ද වඩා සමානයි. එවැනි රටවල් අතර සිදුවන වෙළඳපොළ ගනුදෙනුද වඩා කාර්යක්ෂමයි.
ධනවාදය විසින් නෛසර්ගිකවම ලාබය මිසක් ගනුදෙනුකරුවා කවුද කියන එක සලකන්නේ නැහැ. එහෙත්, ඇතැම් විට ධනවාදය ක්‍රියාත්මක වන නීති රාමුව තුළ එවැනි වෙනසක් තිබෙනවා. මෙයට හේතුව මිනිස්සු ස්වභාවිකවම උන්නතිකාමී හා පරාර්ථකාමී මිනිසුන් වනවාට අමතරව යම් තරමකින් ගෝත්‍රවාදීද වීම විය හැකියි. ගෝත්‍රවාදී වීමේද පරිණාමික වාසි තිබෙනවා. අඩු වශයෙන් යම් සන්දර්භ වල.
මිනිස් ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් එය යම් ආකාරයක සංක්‍රමණිකයන්ගේ ඉතිහාසයක්. තමන්ට වැඩියෙන් කාර්යක්ෂම විය හැකි, වැඩියෙන් ඵලදායී විය හැකි, තැන් හොයා ගෙන ඉතිහාසය පුරාම මිනිස්සු සංචරණය වුනා. මේ වැඩේ මිනිස්සු වගේම අනෙක් සත්තුත් කරන දෙයක්. හැබැයි එයින් අදහස් වෙන්නේ මේ වැඩේ ප්‍රතිරෝධයක් නැතිව සිදු වුනා කියන එක නෙමෙයි. වැට පැනලා වෙනත් පිරිසකගේ ගෝත්‍රික සීමාවට ඇතුළු වූ වහාම ගැටුමක් ඇති වෙන එක බොහෝ විට නොවැලැක්විය හැකියි. නූතන ලෝකයේ ජාතික රාජ්‍යයන් විසින් කරන්නේ මේ ගෝත්‍රික සීමා වඩාත් පැහැදිලි ලෙස සලකුණු කිරීමේ කාර්යය භාරයයි. ඒ අනුව, කලාතුරකින් හැර, මිනිහෙක් ඉපදෙන්නේම කිසියම් ජාතික රාජ්‍යයක පුරවැසියෙක් ලෙසයි.
නූතන ලෝකයේ එක් ජාතික රාජ්‍යයක පුරවැසියෙකුට, කලාතුරකින් හැර, තමන්ට කැමති වෙලාවක වෙනත් ජාතික රාජ්‍යයක පුරවැසියෙක් වෙන්න බැහැ. බොහෝ වෙලාවට අඩු ගානේ වෙනත් ජාතික රාජ්‍යයක සීමාව ඇතුළට අඩිය තියන්නත් බැහැ. ධනවාදී පරමාදර්ශ අනුව බැලුවොත් මෙය කිසිසේත්ම පැවතිය හැකි හොඳම තත්ත්වය නෙමෙයි. එහෙමනම්, වෙළඳපොළ විසින් මේ ක්‍රමය වෙනස් නොකරන්නේ ඇයි?
ජාතික රාජ්‍යයක පුරවැසියන්ට වඩා ඵලදායී ලෙස නිෂ්පාදන කාර්යයට දායක විය හැකි වෙනත් රටක පුරවැසියෙකුගෙන් එම රටේ පුරවැසියෙකු විස්ථාපනය කරන එක කාර්යක්ෂම වුනත්, මේ වැඩෙන් රටේ පුරවැසියෙකුට රස්සාව නැති වී නිකම්ම නිකමෙකු වෙන්න පුළුවන්. අපි නිකම් හිතමු ලංකාව වගේ රටක ශ්‍රම මූලික රැකියා කරන, අඩු ආදායම්ලාභීන් පිරිසකට නිදහසේ ඇමරිකාවට එන්න අවස්ථාව තිබුණා කියලා. මේ පිරිසට ඇමරිකාවට ආපු ගමන් එක පාරටම ලංකාවේ හිටියාට වඩා ගොඩක් ඵලදායී වෙන්න ඉඩ ලැබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ආන්තික ඵලදායීතාව ලෙස වැඩි ආදායමක් උපයන්න ලැබෙනවා. ඔය වැඩේ මහා පරිමාණයෙන් වුනොත් සාපේක්ෂව අකාර්යක්ෂම ඇමරිකානු ශ්‍රමිකයන් පිරිසකට රස්සා නැති වෙනවා.
ඔය ආකාරයෙන් අකාර්යක්ෂමතාවයට දඬුවම් ලැබීම ධනවාදය තුළ ප්‍රශ්නයක් සේ සැලකෙන්නේ නැහැ. එය ධනවාදී යාන්ත්‍රනයේම කොටසක්. හැබැයි මේ වැඩෙන් යම් පිරිසක් පෞද්ගලිකව ලොකු අමාරුවක වැටෙනවා. ඒ මිනිස්සුන්ට, ජීවත්වීම පිණිස "රට හැර යන්න" වෙනවා.
ඇමරිකාව වැනි රටක මේ වැඩේ දිනපතාම වාගේ සිදු වෙනවා. හැබැයි මෙහිදී රට හැර යාම යන්නෙන් ඇමරිකාවේ ජාතික රාජ්‍ය සීමාවෙන් එළියට යාමක් අදහස් වෙන්නේ නැහැ. වඩා හොඳ රැකියා අවස්ථාවන් හොයා ගෙන තමන් උපන් පෙදෙසේ සිට සැතපුම් දහස් ගණන් දුර පෙදෙස් වෙත සිදුවන අභ්‍යන්තර සංක්‍රමණයනුයි බොහෝ විට සිදු වෙන්නේ. වැඩි වශයෙන් සිදු වෙන්නේ ගමෙන් නගරයට යාමක් වුවත්, එහි අනෙක් පැත්තත් දුලබම නැහැ.
ඔය විදිහට රට ඇතුළේම වෙන ප්‍රාන්තයකට හෝ නගරයකට සංක්‍රමණය වෙලා ජීවිතේ ගැට ගහගන්න පුළුවන් වෙන්නෙත් රට ඇතුළේ කොහේ හරි රැකියා අවස්ථාවන් තිබුණොත්නේ. එහෙමත් නැති වුනොත් මොකද වෙන්නේ? බාහිර සංක්‍රමණිකයන්ට සීමාවකින් තොරව රටට එන්න ඉඩ දුන්නොත් කොහොමත් ඔය වැඩේ සිදු විය යුතුයිනේ.
අඩු ආදායම් රටක ශ්‍රමිකයෙකුට මේ වගේ වෙලාවක, අවස්ථාව ලැබෙනවනම්, ඉහළ ආදායම් රටකට සංක්‍රමණය විය හැකි වුවත්, වැඩි ආදායම් රටක ධනවාදී තරඟයෙන් පරාජය වන ශ්‍රමිකයෙකුට අඩු ආදායම් රටකට සංක්‍රමණය වී ඒ විදිහටම ජාම බේර ගන්න බැහැ. ඒ නිසා, ධනවාදී තරඟය තුළ පරාජය වන අය ගැන සමාජය විසින් බලා නොගත්තොත් විශාල මානුෂීය ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මේ ඉලක්කය වෙනුවෙන් ධනවාදයේ කාර්යක්ෂමතාවය යම් තරමකින් කැප කිරීම බොහෝ දෙනෙකුට එකඟ විය හැකි දේශපාලන ඉලක්කයක්.
අනෙක් පැත්තෙන් සමාජයේ පහළ ස්ථර අනෙක් අයගේ වියදමින් සුබසාධනය කරද්දී ඒ හේතුව නිසාම යම් පිරිසක් නිෂ්පාදනය සඳහා තමන්ට ලබා දිය හැකි දායකත්වයත් නොදී පැත්තකට වෙනවා. නිකම් ලැබෙද්දී මහන්සි වෙලා වැඩ කරන්නේ මොන ලබ්බකටද?
සමහර වෙලාවට ඔය හේතුව නිසාම ශ්‍රම හිඟයක් ඇති වෙලා ඒ අඩුව පුරවන්න පිටින් සංක්‍රමණිකයන් ගේන්න වෙනවා. එසේ එන සංක්‍රමණිකයින් ප්‍රමාණය වැඩි වීමට සමානුපාතිකව ධනවාදී තරඟයෙන් පරාජය වන ප්‍රමාණයද ඉහළ ගිහින් සුබසාධන වියදම් ඉහළ යනවා. එහි බර දරන්න වෙන්නේ වැඩ කරන පිරිසටයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට, ධනවාදී තරඟය තුළ පරාජය වන අය වැඩි වැඩියෙන් සුබසාධනය කරන තරමට සංක්‍රමණික විරෝධයද ඉහළ යනවා. පහළ ස්ථර සෘජුවම තමන්ගේ රැකියා අවස්ථා අහිමි වීම මත පදනම්ව. ඉහළ ස්ථර ඔවුන්ට විසින් දැරිය යුතු සුබසාධන වියදම් වල බර ඉහළ යාමේ හේතුවෙන්.
මෙයට පිළියමක් ලෙස සුබසාධන වියදම් කප්පාදු කළ විට ඉහළ ස්ථර මුහුණ දෙන ප්‍රශ්නය විසඳෙනවා. එහෙත් පහළ ස්ථර වල ප්‍රශ්න උග්‍ර වෙනවා. පහළ ස්ථර වල ප්‍රශ්න විසඳීම සඳහා සුබසාධන වියදම් වැඩි කළොත් ඉහළ ස්ථර මුහුණ දෙන ප්‍රශ්න වැඩි වෙනවා. ඇතැම් විට සංක්‍රමණික ශ්‍රමය වඩා කාර්යක්ෂම නිසා ඉහළ යන සුබසාධන පිරිවැයෙන් කොටසක් ආවරණය විය හැකි නමුත් යම් සීමාවකින් පසුව දෙපාර්ශ්වයටම සංක්‍රමණිකයන් බරක් සේ පෙනෙන්න පුළුවන්.
ද්වි පක්ෂ ක්‍රමය ඇතුළේ බොහෝ විට පහළ ස්ථර සුබසාධනය කිරීම වෙනුවෙන් වැඩිපුර පෙනී සිටින දේශපාලන ව්‍යාපාර වලට සංක්‍රමණිකයන් සම්බන්ධව තිබෙන්නේ ලිහිල් ප්‍රතිපත්තියක්. මොකද සුබසාධනය සඳහා පාදක කර ගන්නා අදහස හැම මිනිහෙක්ම සමානයි කියන අදහසට කිට්ටු අදහසක්. ඒ එක්කම හැම මිනිහෙක්ම සමානනම් රටේ මිනිස්සු හා විදේශිකයෝ වෙනස් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් නිතැතින්ම මතු වෙනවා. ඒ නිසා, දේශපාලනිකව ගොඩක් වෙලාවට සුබසාධනය හා සංක්‍රමණිකයන්ට වැඩි අවස්ථා සැලසීම එකම පැකේජ් එකක කොටස් බවට පත් වෙනවා.
ඔය පැකේජ් එක කාලයක් තිස්සේ බටහිර රටවල ජනප්‍රියම දේශපාලන පැකේජ් එක වී තිබුණා. පැකේජ් එකේ සුබසාධන කොටසෙන් හැම විටම වගේ වෙන්නේ ධනවාදයේ කාර්යක්ෂමතාවය අඩු කරන එක. සංක්‍රමනික පිළිවෙතින්, එය පමණක් තනිව ගත්තොත්, ධනවාදයේ කාර්යක්ෂමතාවය ඉහළ යන නමුත් ඒ හරහා රැකියා අහිමි වන පිරිස් සුබසාධනය කළ යුතු නිසා එක් සීමාවකින් පසුව මේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පටන් ගන්නවා.
සංක්‍රමණික ප්‍රතිපත්ති පැත්තකින් තිබ්බොත්, ධනවාදය කොහොමටත් නිරන්තරයෙන් ලාබ වැඩි කර ගත හැකි ක්‍රම හොයනවා. එහිදී රැකියා අහිමි වෙනවා. ඇමරිකාව ගත්තොත් කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය ඉහළ යනවා කියා කියන්නේ ජනගහණයේ ඉතා සුළු පිරිසක් විසින් රටේ සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදන ඉල්ලුම සපුරනවා කියන එකයි. එය සිදු වෙද්දී කෘෂිකාර්මික අංශයේ රැකියා වල නිරතව සිටි විශාල පිරිසකගේ රැකියා අහිමි වීම නොවැලැක්විය හැකියි. එහෙත්, මෙයට සමාන්තරව කාර්මික අංශයේ රැකියා හැදුනා. ඒ නිසා, ඇමරිකානුවන්ට රැකියා ප්‍රශ්නයක් වුනේ නැහැ. ඇමරිකාව ගැන මේ කියන දේවල් අනෙක් බොහෝ බටහිර රටවලටද අදාළයි.
කොහොම වුනත්, ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාවය වැඩි වූ නිසා මිසක් සංක්‍රමනිකයන්ගේ ලාබ ශ්‍රමය නිසා එම අංශයේ රැකියා වල නිරත වූ ඇමරිකානුවන්ට රැකියා අහිමි වුනේ නැහැ. යම් හෙයකින් ඇමරිකාවේ සංක්‍රමනික නීති මීට වඩා ලිහිල්ව පැවතුනානම් කෘෂිකාර්මික ශ්‍රමිකයන් සේ නිරන්තරයෙන් රටට එන සංක්‍රමනිකයන් හේතුවෙන් එම අංශයේ ලාබ අඩු වෙන්න නොදී පවත්වා ගත හැකි වන නිසා වේගවත් ස්වයංකරනයක් සිදු වී මේ තරම් ඉක්මණින් කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාව ඉහළ යන්නේ නැහැ. ශ්‍රමිකයන්ට නිදහසේ ඇමරිකාවට එන්න පුළුවන්කමක් නොතිබුණු නිසාත්, වගා බිම් ශ්‍රමිකයන් සිටින රටවලට උස්සාගෙන යා නොහැකි නිසාත් අවසාන වශයෙන් කෘෂිකාර්මික අංශය වේගයෙන් යාන්ත්‍රීකරණය හා ස්වයංකරනය වුනා. එහි ප්‍රතිඵලය ලෙස සිදු වුනේද ඇමරිකානුවන්ගේ රැකියා නැති වීමම වුවත් එසේ රැකියා නැති වූ අයට කාර්මික හා නිෂ්පාදන අංශ වල රැකියා ලැබුණා.
කාර්මික හා නිෂ්පාදන අංශ වල සේවය කිරීමට වුවද සංක්‍රමණිකයන්ට නිදහසේ ඇමරිකාවට එන්න පුළුවන්කම තිබුණේ නැහැ. එසේ වුවත්, වගා බිම් වලින් වෙනස්ව කම්හල් ලාබ ශ්‍රමිකයන් සිටින තැන් වලට ගෙන යා හැකි වූ නිසා මේ අංශ වල රැකියාද වැඩි කලක් සුරක්ෂිතව තිබුණේ නැහැ. අවසාන වශයෙන් ඇමරිකානුවන්ගේ (හා තවත් බොහෝ බටහිර රටවල) රැකියා අවස්ථා සැපයීමේ කාර්ය භාරය ඉටු කරන්න වුනේ සේවා අංශයටයි.
හැබැයි ධනවාදයේ ප්‍රගමනය නවතින එකක් නෙමෙයි. වඩා වඩා කාර්යක්ෂම වන ක්‍රම හොයන එක සේවා අංශය ඇතුළේද නිරන්තයෙන් සිදු වෙනවා. සේවා අංශය තව දුරටත් ස්වයංකරණය වෙද්දී මිනිස් ශ්‍රමය තව දුරටත් අනවශ්‍ය දෙයක් බවට (redundant) පත් වෙමින් තිබෙනවා. සේවා අංශය තුළ නැති වෙන රැකියා විස්ථාපනය වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි නැහැ.
සංක්‍රමණ විරෝධයත් එක්ක මේ ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් ලැබෙනවා. හැබැයි එය තාවකාලික විසඳුමක්ම පමණයි. සංක්‍රමණිකයන් පාලනය කළ විට ශ්‍රම වෙළඳපොළේ ඇතිවන අසමතුලිතතාවය තුළ රටවැසියන්ට යම් රැකියා ප්‍රමාණයක් ලැබෙන නමුත් ඒ හේතුව නිසාම ස්වයංකරණය සඳහා වන උත්සාහයන් වඩාත් වේගවත් වෙනවා. සංක්‍රමණික ශ්‍රමයට ඉල්ලුමක් තියෙන්නේම රටවැසියන්ගේ ශ්‍රමය සාපේක්ෂව අකාර්යක්ෂම නිසා. සංක්‍රමණික ශ්‍රමය පැමිණෙන එක වැළැක්වූ පමණින් රටවැසියන්ගේ ශ්‍රමය කාර්යක්ෂම වෙන්නේ නැහැ. එහි අකාර්යක්ෂමතාවය එලෙසම තිබෙනවා. කලින් තිබුණු විසඳුමත් දැන් නැහැ. ඒ නිසා, අලුත් විසඳුමක් ලෙස ස්වයංකරණය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ස්වයංකරණය සමඟ රැකියා අහිමි වීමේ ප්‍රශ්නය නැවත වටයකින් මතු වීම නොවැලැක්විය හැකියි.
රැකියා අහිමි වීමේ ප්‍රශ්නය ආකෘතිමය ලෙසම උග්‍ර වෙනවා කියා කියන්නේ ක්‍රමයේ ස්ථාවරත්වය සඳහා සුබසාධනයද හොඳ මට්ටමක පවත්වා ගත යුතු බවයි. එක පැත්තකින් ශ්‍රම හිඟයක් නැති වීමත්, අනෙක් පැත්තෙන් සුබසාධන වියදම් ඉහළ යාමත් විසින් සංක්‍රමණිකයන්ට අවස්ථා සැලසීම වඩාත් "වියදම් අධික" කටයුත්තක් බවට පත් වෙනවා. මම මෙහිදී අදහස් කරන්නේ කුසලතා සහිත තෝරා ගත් සංක්‍රමනිකයින් ගැන නෙමෙයි. එවැනි අයගෙන්නම් ලාබයක් මිසක් පාඩුවක් නැහැ.
ධනවාදයට විකල්පයක් පෙනෙන මානයක නැහැ. ධනවාදී තරඟය තුළ පරාජය වන පිරිස් සුබසාධනය නොකරමින් ධනවාදය පවත්වා ගන්න පුළුවන් බවකුත් පෙනෙන්නේ නැහැ. මේ දෙකේම සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ ජාතික රාජ්‍ය වඩ වඩා ශක්තිමත් වීම සහ ජාතිකවාදය පුළුල් සම්මතයක් බවට පත් වීමයි. එයින් රටවල් තුළ ආදායම් විෂමතාවන්හි හානි අඩු වෙනවා. එහෙත් රටවල් අතර ආදායම් විෂමතා ඉහළ යනවා.