ලංකාව අළුතෙන්ම අරගෙන තිබෙන ණය යුවාන් ණයක්. ඩොලර් වලින් නැතුව යුවාන් වලින් මේ ණය අරගෙන තියෙන්නේ ඇයි? ඇත්තටම කියනවානම් අහන්න තියෙන්නේ ලංකාව යුවාන් වලින් නැතුව ඩොලර් වලින් ණය ගත යුත්තේ ඇයි කියන ප්‍රශ්නයයි. මොකද ඇත්තටම ලංකාවට හිඟ යුවාන් මිසක් ඩොලර් නෙමෙයි.
මේ ලංකාව යුවාන් වලින් ණය ගත්ත පළමු අවස්ථාව නෙමෙයි. කාලයක් තිස්සේම ලංකාව යුවාන් වලින් ණය ගන්නවා. ඒ වගේම ඩොලර් නොවන වෙනත් විදේශ ව්‍යවහාර මුදල් වලින්ද ණය ගන්නවා. බොහෝ විට කතාබහට ලක්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන ණය SDR ණය (special drawing rights). SDR කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජාත්‍යන්තර මුදල් ඒකකයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගනුදෙනු කරන්නේ SDR වලින්.
ණය ගන්නේ කවර විදේශ ව්‍යවහාර මුදලකින් වුවත්, ණය ගැන කතා කරද්දී බොහෝ විට එවැනි ණය මුදලක් ඩොලර් වලට පරිවර්තය කරලා ඩොලර් වලින් ප්‍රකාශ කරන එක රජය, මහ බැංකුව වගේම මාධ්‍ය විසින්ද කරන දෙයක්. එය සංසන්දනය කිරීමේ පහසුවට කරන දෙයක්. මෙවර වුනත් යුවාන් බිලියන 10 සමහර වෙලාවට ඩොලර් බිලියන 1.5ක් විදිහට හැඳින්වෙන්නේ මේ සම්ප්‍රදාය අනුවයි.
කොහොම වුනත්, ණයක් කියා කිවුවට මේ ගණුදෙනුව විණිමය හුවමාරු ගිවිසුමක්. විණිමය හුවමාරු ගිවිසුමක් කියන්නේ කුමක්ද කියා මම කලින් පැහැදිලි කරලා තිබෙනවා. මෙවැනි ගිවිසුමකට එළැඹෙන්නේ රටවල් දෙකක මහ බැංකු. සාමාන්‍ය ණයකදී මෙන් අදාළ ව්‍යවහාර මුදල් ඒකක ගැන කතා නොකර විණිමය හුවමාරු ගිවිසුමක් ගැන කතා කරන්න බැහැ. ඒ නිසා, මෙවර ණය ගත්තේ යුවාන් වලින් කියන එකට මහ බැංකුවේ පුවත්පත් නිවේදනයෙහි වෙනදාට නැති අවධානයක් යොදවා තිබෙනවා.
මම කලින් කිවුවා වගේම සාමාන්‍යයෙන් මෙහි ලියන ලිපිද ඇතුළු බොහෝ ලිපිවල ලංකාවට ඩොලර් හිඟයක් තිබෙන බව බොහෝ වර කියා ඇති නමුත් මෙහිදී ඩොලර් කියන එකෙන් අදහස් වන්නේ පොදුවේ රුපියල් නොවන විදේශ මුදල් කියන එකයි. හරියටම බැලුවොත් යුවාන් හිඟයක් හා ඉන්දියානු රුපියල් හිඟයක් මිසක් ඩොලර් හිඟයක් නැහැ.
චීන ආනයන වෙනුවෙන් 2019 වසරේදී ලංකාව ඩොලර් බිලියන 4.08ක් වැය කර තිබෙනවා. එහෙත් චීනය ලංකාවේ අපනයන වෙනුවෙන් ගෙවා තිබෙන්නේ ඩොලර් මිලියන 391ක් පමණයි. මේ අනුව මෙහි ඩොලර් බිලියන 3.67ක හිඟයක් තිබෙනවා. සෑම වසරකම වගේ තත්ත්වය මෙවැන්නක්.
දැන් මෙහි ඩොලර් බිලියන 3.67ක හිඟයක් කියා කිවුවත් ඇත්තටම මෙය ඩොලර් වලට පරිවර්තනය කර ඉදිරිපත් කරන යුවාන් බිලියන 24ක හිඟයක්. ලංකාවට චීනයෙන්ම යුවාන් නොලැබුනොත් යුවාන් හොයා ගන්න වෙන ක්‍රමයක් නැහැ. ලංකාව කාලයක් තිස්සේම කරන්නේ යුවාන් වෙනුවට ඇමරිකාවට ඇඟලුම් ඇතුළු භාණ්ඩ අපනයනය කර හා වෙනත් විවිධ ක්‍රම වලින් රටට ලැබෙන ඩොලර් චීනයට ගෙවන එකයි.
චීනයට ඇත්තටම ඩොලර් වලින් වැඩක් නැහැ. ලංකාව සමඟ කරන වෙළඳාමෙන් වගේම ඇමරිකාව සමඟ කරන වෙළඳාමෙනුත් චීනයට කාලයක් තිස්සේ ඩොලර් ලැබෙනවා. වෙනත් තෙවන රටවල් වලින්ද ඩොලර් ලැබෙනවා. මේ ඩොලර් වලින් ආදායමක් උපයන්නනම් චීනයට එම ඩොලර් නැවත ණය සේ කාට හෝ දෙන්න වෙනවා. ඇමරිකාව ණය ගන්නේ ඉතාම අඩු පොලියකට. පොලිය ශුන්‍ය මට්ටමට ආසන්නයි. ඒ නිසා චීනයට ඇත්තටම මේ ඩොලර් බරක්.
චීනය සතුව තිබෙන ඩොලර් චීනයට බරක් වුවත් මේ ඩොලර් එළියට දමන එකේ පාඩුවත් අන්තිමට චීනයටමයි. එසේ කළොත් ඇමරිකන් ඩොලරය විශාල ලෙස බාල්දු වෙයි. නමුත් ඒ එක්කම ඇමරිකන් නිෂ්පාදන විශාල ලෙස ලාබ වෙනවා. ඇමරිකාවට චීනය සතු නිෂ්පාදන වෙළඳපොළවල් අල්ලගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම චීනයට ඇමරිකන් වෙළඳපොළ අහිමි වෙනවා. ඒ නිසා චීනය සතු ඩොලර් සංචිත කියා කියන්නේ චීනයට කොටි වලිගයක්. එක පාරට කොටි වලිගය අතාරින්න බැරි වුනත් උපක්‍රමික ලෙස කොටියාගෙන් නිදහස් වෙන්න චීනය සැලසුම් කරන බවයි ඔවුන්ගේ අලුත්ම පස් අවුරුදු සැලැස්මෙන් පෙනෙන්නේ.
චීනයට චීනයේ හදන බඩු විකුණන්න මිසක් ඩොලර් එකතු කරගෙන ගොඩ ගහගන්න අවශ්‍ය නැහැ. චීන බඩු රටින් පිට විකුණන්න පුළුවන් වෙන්නේ චීන යුවානය අවප්‍රමාණය වී තිබෙන තරමටයි. ඒ කියන්නේ අනෙක් මුදල් ඒකක අධිප්‍රමාණය වී තිබෙන තරමටයි. අනෙක් මුදල් ඒකක අධිප්‍රමාණය කරන්නනම් එම මුදල් මිල දී ගෙන ඉල්ලුම කෘතීම ලෙස වැඩි කළ යුතුයි. වක්‍ර විදිහට චීනය කාලයක් තිස්සේම ඇමරිකාවට කළේ ඒකයි.
චීනය විසින් යුවාන් ගෙවා ඇමරිකාවෙන් ඩොලර් මිල දී ගන්නවා. මේ වැඩෙන් ඩොලරය අධිප්‍රමාණය වෙලා ඇමරිකන් බඩු වලට සාපේක්ෂව චීන බඩු ලාබ වෙනවා. ඇමරිකාවේ නිෂ්පාදන කර්මාන්ත වැහෙනවා. ඇමරිකානුවන්ගේ රස්සා චීනයට යනවා. ඇමරිකාවට මේ යුවාන් වලින් වැඩක් නැති නිසා ඇමරිකාව ඒ යුවාන් නැවත චීනයටම දීලා චීනයෙන් භාණ්ඩ මිල දී ගන්නවා. නමුත් චීනය එකතු කර ගන්න ඩොලර් වලින් ඇමරිකන් භාණ්ඩ මිල දී නොගෙන ඒ විදිහටම තියා ගන්නවා. නිකම්ම තියාගෙන ඉන්න එක පාඩු නිසා සුළු පොලියකට ඇමරිකාවේම ආයෝජනය කරනවා. ඇමරිකාවට චීනය සමඟ වෙළඳාමෙන් පාඩුවක් වුනත් එහි හිලවුවට අඩු පොලියට අරමුදල් ලැබෙනවා. සල්ලි චීනයෙන් වුනත් ගෙවන පොලිය තීරණය කරන්නේ ඇමරිකාව.
මෙතෙක් කල් ලංකාව ඇමරිකාවෙන් හෝ වෙනත් රටකින් උපයාගත් ඩොලර් චීනයට ගෙවමින් හිටියා. උපයන ඩොලර් ප්‍රමාණවත් නොවෙද්දී ගිණි පොලියට ණයට අරගෙන චීනයට ගෙවුවා. දැන් ලංකාව ණය ගන්න බැරුව හිර වෙලා. ඩොලරය කඩා වැටෙන එක නවත්වාගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් බවත්, ඉදිරියේදී රුපියල විශාල ලෙස අවප්‍රමාණය විය හැකි බවත් ළඟදී ආණ්ඩුවේ ඇමතිවරයෙක්ම කියල තිබුණේ.
රුපියල කඩා වැටුණොත් චීනයට මොකද වෙන්නේ? චීන බඩු වල මිල ලංකාවේ රුපියල් වලින් විශාල ලෙස ගණන් යනවා. ලංකාවේ චීන බඩු විකිණෙන එක නවතිනවා. ලංකාවෙන් චීනයට ලැබෙන යුවාන් බිලියන 24ක වාර්ෂික "කප්පම" චීනයට අහිමි වෙනවා. ඒ නිසා දැන් චීනයට අවශ්‍ය මොන ජාතියෙන් හරි රුපියල අවප්‍රමාණය වන එක වළක්වන්නයි. ඒ වෙනුවෙන් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින්ම කටයුතු කරන නිසා චීනයට මේ වැඩේ හරිම පහසුයි. ඇමරිකාව එක්ක කරන ගනුදෙනු වලදී වගේ කිසිම ආතතියක් නැහැ. චීනයට අවශ්‍ය රුපියල ශක්තිමත් කරන්න. ලංකාවට අවශ්‍යත් ඒකමයි.
චීන යුවාන් ගෙවා ඇමරිකන් ඩොලර් මිල දී ගෙන කාලයක් තිස්සේ ඇමරිකන් ඩොලරයේ අගය අවප්‍රමාණය වීම වැළැක්වුවා වගේම දැන් චීනය ලංකාවේ රුපියලටත් අත ගහලා තිබෙනවා. කාටවත් වැඩක් නැති ලංකාවේ රුපියල් අරගෙන චීනය ලංකාවට යුවාන් බිලියන 10ක් දීලා. ඔය ගත්ත රුපියල් වලින් චීනය ලංකාවේ භාණ්ඩ මිල දී ගන්නේ නැහැ. අවුරුදු තුනක් ඒ ගත්ත විදිහටම සේප්පුවක දාලා තියා ගන්නවා පමණයි. අවුරුදු තුනකින් පස්සේ ලංකාව ණයට ගත්ත යුවාන් බිලියන 10ට පොලියත් එකතු කරලා ආපසු චීනයට දීලා රුපියල් ටික බේරාගත යුතුයි. එහෙම කරන්න ලංකාවට අවුරුදු තුනකින් පස්සේ යුවාන් ලැබෙන ක්‍රමයක් තියෙනවද? සමහර විට චීනයට වටින මොනවා හරි දෙයක් ණයේ හිලවුවට චීනය බාර ගනියි.
දැන් මේ යුවාන් බිලියන දහය ඇත්තටම ලංකාවට ලැබෙනවද? එහෙම ලැබෙන්නෙත් නැහැ. ඇත්තටම වෙන්නේ ලංකාව වාර්ෂිකව චීනයට ගෙවන යුවාන් බිලියන 24ක කප්පම යුවාන් බිලියන 14 දක්වා අඩු වෙන එක විතරයි. ඒ කියන්නේ මේ සල්ලි ලංකාවට එන්නෙවත් නැහැ.
දැන් පවතින තත්ත්වය අනුව කොහොමටත් ලංකාවට යුවාන් බිලියන 24ක කප්පමක් චීනයට ගෙවන්න විදිහක් නැහැ. ගෙවන්න ඩොලර් කොහෙන්ද? ඒ නිසා ඔය කප්පම කොහොමටත් යුවාන් බිලියන 14 පමණ මට්ටමකට අඩු වෙනවා. දැන් චීනය කරන වැඩෙන් චීනයට වෙනදා වගේම යුවාන් බිලියන 24ක් ම ලැබෙනවා. එයින් යුවාන් බිලියන 10ක් ලැබෙන්නේ රුපියල් වලින්. වෙනත් විදිහකින් කිවුවොත් රුපියල් බිලියන 300කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ මහ බැංකුවෙන් චීන මහ බැංකුවට යනවා.
ලංකාවේ මුදල් සැපයුම පාලනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්නේ. ඒ හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියලේ අගය තීරණය කරනවා. වෙන රටක මහ බැංකුවකට ලංකාවේ රුපියල් මුද්‍රණය කරන්න බැහැ. ඒ අයිතිය තියෙන්නේ ලංකාවේ මහ බැංකුවට පමණයි.
හැබැයි දැන් චීන මහ බැංකුව සතුවත් ලංකාවේ රුපියල් බිලියන 300ක් තිබෙනවා. රුපියල් අච්චු ගහන්න බැරි වුනත්, ඔය විදිහට රුපියල් එකතු කර ගත් විට ඒ සල්ලි වෙළඳපොළට දමලා රුපියලේ අගය පාලනය කරන්න චීන මහ බැංකුවටත් පුළුවන් වෙනවා. ඔය විදිහට ලංකාවේ මුදල් ප්‍රතිපත්ති හදන එකත් චීනයටම ගිහින් රුපියල් යුපියල් වෙයිද?