මම කවදාවත් කොරෝනා වෛරස් එකක් දැකලා නැහැ. ඒ නිසා, මට කොරෝනා වෛරස් එකක් චිත්ත රූපයක් විදිහට හිතේ මවා ගන්න අමාරුයි. ඒ වුනත්, විවිධ මාධ්‍ය වල දැකිය හැකි ආකාරයේ කොරෝනා වෛරස් එකක රූපයක් හෝ කෘතීම ලෙස වර්ණ ගැන්වූ ඡායාරූපයක් චිත්ත රූපයක් විදිහට හිතේ මවාගන්න එකනම් අමාරු වැඩක් නෙමෙයි.
මම තවමත් හදිසියේ හෝ ගෙයින් එළියට යනවානම් යන්නේ මුව වැසුම් දමාගෙන. ගෙදර ඇවිත් මුව වැසුම ඉවත් කරන්නේ ගොඩක් පරිස්සමින්. අත් වල හා වෙනත් තැන් වල රැඳී තිබිය හැකි කොරෝනා වෛරස් විනාශ කරන්න මම විෂබීජ නාශක භාවිතා කරනවා. සබන් ගා අත් සෝදනවා. මේ එකක්වත් කරන්නේ කොරෝනා වෛරස් පෙනිලා නෙමෙයි. කොරෝනා වෛරස් වල චිත්තරූප හිතේ මවාගෙනත් නෙමෙයි. එහෙත්, කොරෝනා වෛරස් තිබිය හැකි බව හිතා ගෙන. විය හැකියාවක් ලෙස ඒ වගේ දෙයක් ගැන හිතන්න අමාරු නැහැ.
කොරෝනා වෛරස් එකක් කවදාවත් දැකලා නැති වීම මට ප්‍රශ්නයක් නෙමෙයි. කොරෝනා වෛරස් ඇස් දෙකෙන් දකින්න අවශ්‍යනම් ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයක් උපකාරයෙන් එය කළ හැකි බවට මට විශ්වාසයක් තිබෙනවා. ඒ සඳහා පුහුණුවක් අවශ්‍යනම් ඒ පුහුණුව ලබා ගැනීම අසීරු නොවනු ඇති බවටද මට විශ්වාසයක් තිබෙනවා. කොරෝනා වෛරස් ගැන මම දන්නේ වෙනත් අය කියා හෝ ලියා ඇති දේවල් පමණක් වුනත් ඒ දේවල් ගැන මට විශාල සැකයක් නැහැ. යම් කරුණු පිළිබඳව සැක තිබුණත් සමස්තයක් ලෙස විශාල විශ්වාසයක් තිබෙනවා.
මිනිස් ඇස් වලට නොපෙනෙන දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ වගේ සංකල්පික ජීවීන් මම කවදාවත් දැකලා නැහැ. වෙනත් අයුරකින් එවැන්නන් සිටින බවක් දැනිලත් නැහැ. එහෙම සංකල්පික ජීවීන් පිළිබද විවිධ කතානම් කුඩා කාලයේ ඉඳලම අහල තියෙනවා. හැබැයි මේ කතා මට කියලා තිබෙන වැඩි දෙනෙක් ඒ කතා වෙනත් අයගෙන් අහපු අයයි. ඊට වඩා වැඩි දුරකට ගිය අය වරින් වර හමු වී තිබුණත් එවැන්නන් කියන දේ ඇත්ත බවට කවදාවත් විශ්වාසයක් ඇති වී නැහැ. සහතික කර කියන්න බැරි වුනත්. බොරු බව හිතන්න උදවු වෙන කරුණුනම් එවැනි හැම විටකම වගේ හමු වී තිබෙනවා.
දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ වගේ සංකල්ප වල තිබෙන සංකල්පික ලක්ෂණ අනුවම මම මහන්සි වුනා කියා දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ දැක ගන්න හෝ වෙනත් අයුරකින් හඳුනාගෙන සම්බන්ධ වෙන්න පුළුවන් පැහැදිලි ක්‍රමයක් නැහැ. ඒ නිසා කිසියම් අහම්බයක් වුනොත් මිසක් අනාගතයේදී වුවත් වියුක්ත අදහසක් ලෙස මිසක් ප්රත්යක්ෂයෙන් මට දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ හඳුනා ගන්න පුළුවන් වෙයි කියා හිතීමේ හැකියාවක් නැහැ. මේ කියන ආකාරයේ දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ මිනිස්සු හදාගත් වියුක්ත සංකල්ප ලෙස මිස ඊට වඩා අමුතු දේවල් ලෙස මට හිතාගන්න අමාරුයි. ඒ නිසා, මේ කියන ජීවීන් ඇත්තටම ඉන්නවාද නැද්ද කියන එකේ මට කිසිම වෙනසක් නැහැ.
මා හැදී වැදුණු බෞද්ධ ආගමික පසුබිම නිසා ඔය ආකාරයේ ජීවීන් ගැන මට කුඩා කළ සිට අහන්න ලැබී තිබෙන කතා ගොඩක් ත්‍රිපිටකයේ විවිධ සූත්‍ර දේශනා වල තිබෙන කතා වලට බොහෝ දුරට සමානයි. මේ සූත්‍ර දේශනා වල විවිධ දෙවිවරු, දේවතාවියෝ, යක්ෂයෝ, ප්‍රේතයෝ, කුම්භාණ්ඩයෝ ඉන්නවා, එම තොරතුරු ඇසුරෙන් මට දෙවි කෙනෙක් කියන සංකල්පය හිතෙන් මවාගන්න පුළුවන්. හැබැයි චිත්ත රූපයක් විදිහට නෙමෙයි. අවශ්‍යනම් දෙවි කෙනෙකුගේ පිළිමයක් හෝ චිත්‍රයක් හිතෙන් මවාගන්න පුළුවන්.
සූත්‍ර දේශනා වල හමු වන දෙවිවරු මොන වගේ පිරිසක්ද?
මේ ප්‍රශ්නයට ගොඩක් විස්තරාත්මක පිළිතුරක් ලියන්න පුළුවන්. දෙවියෝ, භූතයෝ, යක්ෂයෝ, පෙරේතයෝ වගේ සංකල්පික ජීවීන් ගැන ත්‍රිපිටකයේ හා අටුවා වල සෑහෙන විස්තර ප්‍රමාණයක් තිබෙනවා. මේවා ගැන එකිනෙක අරගෙන කතා කරන එක ලොකු කාලයක් ගත වන වැඩක්. කොහොම වුනත්, තොරතුරු විදිහට ගත්තොත් බොහෝ තැන් වල තිබෙන්නේ එකම වගේ තොරතුරු.
රාත්‍රී කාලයේ අවට ආලෝකමත් කරගෙන එන දෙවි කෙනෙක් බුදු හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහලා යන එක වගේ විස්තර විවිධ තැන් වල තිබුනත් ඒ එන දෙවියා හෝ දෙවියා පැමිණි තැන ගැන වැඩි විස්තරයක් නැහැ. දැන් මාධ්‍ය වල අපරාධයක් වාර්තා කරන කොට අපරාධකරුගේ බිරිඳගේ අනියම් පෙම්වතාගේ මවගේ ජාතිය වගේ දේවල් විස්තර කරන වෙලාවල් තිබුණත් විය යුතු පරිදිම සූත්‍ර දේශනා වල දෙවියන් අහපු ප්රශ්නය හා ප්‍රශ්නයට ලබා දුන් පිළිතුරු ගැන මිසක් දෙවියන්ගේ ජාතකේ ගැන විස්තර කරලා නැහැ. ඒ වගේ වැඩි විස්තරයක් තියෙන්නේ ප්‍රස්තුතයට අදාළ වන තැන් වල පමණයි. කියන්න හදන මූලික කරුණ ගැන හදාරනවා වෙනුවට ත්‍රිපිටකය හරහා දෙවියන් ගැන තොරතුරු හොයන්න මහන්සි වෙන කෙනෙකුට ප්‍රයෝජනවත් වන්නේ මේ වගේ තැන් වල තිබෙන තොරතුරු.
ත්‍රිපිටකය හරහා දෙවියන් ගැන තොරතුරු හොයන කෙනෙකුට විමානවත්ථුපාලියේ එන සෙරිස්සක විමාන කථාව හොඳ මූලාශ්‍රයක්. මෙහි විස්තර වෙන්නේ මිනිස් කණ්ඩායමකට දෙවිවරුන් පිරිසක් හමු වන අවස්ථාවක්. මේ හමුවීම හා අදාළව හොඳ විස්තරයක් සෙරිස්සක විමාන කථාවේ තිබෙනවා. ඒ කතාව ඇසුරෙන් අපට දෙවිවරු කියන්නේ මොන වගේ පිරිසක්ද කියා තේරුම් ගන්න පුළුවන්. මේ විමසීම කරද්දී දෙවියන් කියා පිරිසක් ඇත්තමට ඉන්නවද නැද්ද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විමසීම හරහා එවැනි පිරිසක් සිටින බව හෝ නොසිටින බව තහවුරු වෙන්නේ නැහැ. නමුත්, ඇත්තටම සිටින හෝ නොසිටින දෙවිවරු ගැන ථෙරවාද බෞද්ධ දැනුම මොන වගේ එකක්ද කියා අපට මේ හරහා විමසා අවබෝධ කර ගත හැකියි.
දැන් මේ කතාව අනුව අංග හා මගධ දේශ වල වැසියන් වූ පිරිසක් ගැල් සාත්තුවකින් පාඨලීපුත්ර නගරයේ සිට සින්ධු හා සෞවීර රාජධානි බලා වෙළඳාම පිණිස ගමන් අරඹනවා. සැතපුම් එක් දහස් පන්සීයක පමණ දුරක්. මෝටර් රථයකින් එක දිගට ගමන් කළොත් අද වුවත් මේ ගමනට පැය තිස් තුනක් පමණ යනවා. ගැල් සාත්තුවේ මැදි වියේ අය වගේම දරුවන් හා මහල්ලනුත් ඉන්නවා. එය ඒ දවස් වල සාමාන්‍ය තත්ත්වය වෙන්න ඇති. බෞද්ධ භික්ෂූන් පවා ගැල් සාත්තු එක්ක ගමන් කළ අවස්ථා තිබෙනවානේ. දැන් කෝච්චියක ගමනක් යනවා වගේ.
ගැල් සාත්තුව බඩු පිරවූ ගැල් දහසක එකක්. විශාල පිරිසක් මේ වගේ දිගු ගමනක් යද්දී සහායක සේවා සපයන අයත් ගෙනියන්න වෙනවනේ. සම්භව නම් වූ කරණවෑමියාද මේ අයුරින් මේ ගැල් සාත්තුවේ යන්නන්ගේ කොණ්ඩා රැවුළු කපමින් ගැල් සාත්තුව සමඟ ගමන් කරනවා.
ගැල් සාත්තුව කාන්තාර ප්‍රදේශයකට ලඟා වෙනවා. විස්තරයේ හැටියට මේ කියන්නේ සින්ධු සෞවීර දේශ වලට කිට්ටු වෙද්දී හමු වන දැන් තාර් කාන්තාර ප්‍රදේශය ලෙස හඳුන්වන පැත්ත කියා හිතන්න පුළුවන්. මේ ප්‍රදේශයේ උෂ්ණය ඉතා අධික නිසා ගැල් සාත්තුව දිවා කාලයේ එක තැනක නැවතී විවේක ගනිමින් රාත්‍රී කාලය තුළ ගමනේ යෙදෙනවා. මෙසේ ගමන් කරද්දී මග වැරදී අතරමං වෙනවා. දේව විමානයක් හමු වෙන්නේ ඔය විදිහට අතරමං වෙලා සිටින අවස්ථාවක.
මේ දේව විමානය තිබෙන්නේ මහරි කැලෑවක් මැද. ඇතැම් තැන් වල සඳහන්ව තිබෙන විදිහට මහරි කියන්නේ මාර වර්ගයේ ගසක්. කකුසඳ බුදුන් බුදු වී තිබෙන්නේත් මහරි ගසකට පිට දීලා. මාරද කියා මම හරියටම දන්නේ නැති නිසා අපි මහරි කියලම කියමු. පාලි භාෂාවෙන් සේරිස්සක කියන්නේ මහරි කියන අර්ථයෙන්. මහරි ගස් මැද පිහිටි මේ දෙවු විමන හඳුන්වා තිබෙන්නේ සේරිස්සක විමානය ලෙසින්. එහි වසන දේව පුත්‍රයා සේරිස්සක දේව පුත්‍රයා ලෙස හැඳින්වෙනවා. මේ සේරිස්සක දේව පුත්‍රයාගේ අතීත කතා හා සේරිස්සක දේව විමානයේ අතීත කතා ගොඩක් තියෙනවා. ඒවායේ වැඩි විස්තර අපි පැත්තකින් තියමු.
සේරිස්සක විමානයට සේරිස්සක දේව පුත්‍රයා ඇවිත් වැඩි කලක් නැහැ. මිනිස් වර්ෂ වලින් සීයක් පමණ. මේ දේව පුත්‍රයා බුද්ධ කාලයේ ප්‍රාදේශීය රජෙක් ලෙස ජීවත්ව සිට ඇති අයෙක්. සේරිස්සක විමානයේ කලින් සිටි දේව පුත්‍රයා චුත වෙලා මිනිස් ලොවට ගියාට පස්සේ තමයි මේ දෙවුවිමන ඔහුට හිමි වී තියෙන්නේ. මුලින්ම ඇවිත් තිබෙන්නේ හිස් විමානයකට. පස්සේ තවත් පිරිස් එහි ඇවිත් තිබෙනවා. තවත් පිරිස් කිවුවට මිනිස් ලෝකයේ රජෙක්ව සිටිද්දී හිටපු පිරිවර. දැන් ඒ අය මේ දේව පුත්‍රයාගේ පිරිවර ලෙස ඉන්නවා.
සේරිස්සක දේව පුත්‍රයා නිකම් ඉන්න දේවතාවෙක් නෙමෙයි. ඔහු වෙසමුණි දෙවියන් වෙනුවෙන් දේවකාරියක් කරනවා. ඒ මේ කාන්තර ප්‍රදේශයේ යද්දී ජලය නැති කමෙන් හා උෂ්ණයෙන් පීඩාවට පත් වන අයට පිහිට වන එක සහ මේ ප්‍රදේශයේ සැරිසරන අමනුෂ්‍යයින්ගෙන් ආරක්ෂාව සැපයීම. විමානයේ ඉන්න අනෙක් පරිවාර දෙවිවරුන්ට ඉතිං කොහොමටත් එක එක වැඩ තියෙනවනේ.
වෙසමුණිගේ අණ පරිදි පීඩාවට පත් වන අයට උදවු කරනවා කිවුවට සේරිස්සක දේව පුත්‍රයා කාන්තාරයේ ගමන් කරද්දී අමාරුවේ වැටෙන හැමෝටම උදවු කරන්නේ නැහැ. මේ ගැල් කණ්ඩායමට උදවු කරන්නේ ඒ සමඟ ගමන් කළ, තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වූ, සම්භව නම් වූ කරණවෑමියා නිසා. ඔහු නොහිටින්න මේ දෙව්-මිනිස් හමුව සිදු වන්නේ නැහැ.
වෙසමුණි දෙවි කියන්නේ හතර වරම් දෙවි වරුන්ගෙන් එක් අයෙක්. පහළම දේව ලෝකය වන චතුර් මහා රාජිකය පාලනය කරන්නේ මේ හතර වරම් දෙවිවරු. සේරිස්සක දේව පුත්‍රයා වගේ පොළොව ආශ්‍රිතව ඉන්න භූමාටු දෙවිවරු චතුර් මහා රාජිකයේ ඉපදුනු අය. දැන් ඔය තාර් කාන්තාර ප්‍රදේශයේ මහරි ගස් ගොඩක් මැද්දේ තමයි චතුර් මහා රාජිකයේ කොටසක් වන සේරිස්සක විමානය තියෙන්නේ.
දිව්‍ය පුත්‍රයා රස්සාව කරමින් වුවත් දෙවු සැප වළඳමින් ඔය මහරි කැලෑවට වෙලා හිටියට ගැල් කණ්ඩායම රස්සාව කරමින් ලෝකේ හතර වටේ කරක් ගහනවනේ. ඉතිං සේරිස්සක දේව පුත්‍රයා මේ ගැල්කරුවන්ගෙන් රටේ ලෝකේ විස්තර අහනවා.
"දැන් ඕගොල්ලෝ සල්ලි හොයන්න මූදෙන් එතෙර, එතකොට මේ වගේ කාන්තාර ප්‍රදේශ වල, කණු සිටුවා වේවැල් බැඳ හදා ඇති පාලම් උඩින්, පර්වත සහිත මාර්ග වල, ගංගා වල වගේ හැම තැනකම යනවනේ. ඉතිං ඔය එක එක රට රාජ්ජ වල යද්දී දැකල තියෙන විශේෂ දේවල් මොනවද?"
දේව පුත්‍රයා ඔය ප්රශ්නය ඇහුවේ බොරුවට නෙමෙයිනම් ඒ කියන්නේ මේ දේව පුත්‍රයා තමන්ගේ වාස භවනයෙන් පිට රටේ ලෝකේ සිද්ධ වන දේවල් දැන ගන්නේ මිනිස්සු ඒ දේවල් දැන ගන්න විදිහටමයි.
"අපි ඔය ගිය කිසිම තැනක ඔබ මේ විඳින සැප සම්පත් තරම් සැප සම්පත් විඳින කෙනෙක්නම් දැකල නැහැ!"
ගැල් කාරයෝ ඔහොම කියන්නේ ඇත්තටමද නැත්නම් දේව පුත්‍රයාව මුරුංගා ඇත්තේ තියන්නද කියලා අපි දන්නේ නැහැ.
දැන් මේ කියන සැප සම්පත් මොනවාද? ඒවා වැඩි හරියක්ම දේව විමානය හා සම්බන්ධ දේවල්.
පලිඟු, කණක වෛරෝඩි, දියමන්ති, රතු මැණික් ආදියෙන් හැදූ රැස් විහිදෙන රියන් සියයක් පමණ උස කුළුණු මත මේ ප්‍රාසාදය හදා තිබෙනවා. සුදු නෙළුම්, රතු නෙලුම් ආදී බොහෝ මල් වලින් ගැවසුණු නිර්මල සිහිල් ජලයෙන් පිරුණාවූ පොකුණු ආකාශයෙහි (නිවසේ උඩු මහලේ?) ගලා බසිනවා. නිතර නොයෙක් ඵල පල්ලවයෙන් සැදුම්ලත් දිව්යවෘක්ෂ වලින් හාත්පස සුවඳ හමනවා. සත්රුවනින් නිමියාවූ දහසක් පමණ බිත්ති කණු තරප්පු ආදියෙන් හෙබියාවූ ස්වර්ණමය වේදිකාවෙන් යුක්තවූ මත්තෙහි රන්පටින් වසනලද්දාවූ දඹ රනින් මනා කොට ඔප නගනලද මේ විමානය දවසක් තිස්සේ බැළුවත් හිතේ හැටියට බලා නිම කරන්න බැහැ.
මේ රන්මාලිගාව ඇතුළෙහි කඩා කෑයුතු බුදිය යුතු නොයෙක් දිව්‍ය භෝජන සාදා තිබෙනවා. දක්ෂ වූ ගාන්ධර්වයන් විසින් වයන මිහිඟුබෙර පනාබෙර ආදී පංච තූර්ය නාද හැම විටම ඇසෙනවා. නොයෙක් දිව්‍යපුත්‍රයන් විසින් ස්තුති ගී කියමින් නමස්කාර කරනවා.
වෙසමුණි රජු ඔහුගේ නොයෙක් මලින් සැදුනාවූ නලිනී නම් පොකුණෙහි ක්‍රීඩා කරන අයුරින්ම සේරිස්සක දේව පුත්‍රයාටත් නොයෙක් දෙවඟනන් පිරිවරා මේ දෙව් විමනෙහි ක්‍රීඩා කරමින් හිතා ගත නොහැකි තරම් සතුටු වෙමින් දෙව් සැප විඳින්න පුළුවන්.
හිතා ගන්න බැරි තරම් කිවුවත් මේ දෙවු සැප අතර මිනිස්සුන්ට හිතා ගන්න බැරි දෙවු සැප නැහැ. බොහොමයක් දෙවු සැප මිනිස්සුන්ට පහසුවෙන් හිතා ගන්න පුළුවන්, එහෙත් බොහෝ මිනිසුන්ට ළඟා කර ගන්න අසීරු සැප.
හිතේ හැටියට කෑම බීම. සංගීතය. සේවකයෝ. කාන්තාවෝ. රන් රිදී මැණික් වගේ නෛසර්ගික ප්‍රයෝජනයක් ලොකුවට නැති දුර්ලභ නිසාම වටිනාකමක් ලැබී තිබෙන දේවල්. ලොකු ගෙයක්. වැඩි මහන්සියක් නැතුව කළ හැකි රස්සාවක්. බුදුන්ගේ කාලයේ ජීවත් වූ මිනිහෙකුට හිතා ගන්න පුළුවන් වූ ලොකුම සැප. තමන්ට අවශ්‍ය පමණ සමාජයෙන් අරගෙන තමන්ට හැකි පමණ සමාජයට දීලා සතුටෙන් කාලය ගෙවන එකයි කරන්න තියෙන්නේ.
අනෙක් ගොඩක් කතාත් ආකෘතිය අනුව මේ කතාවට වඩා ගොඩක් වෙනස් නැහැ, දෙව්ලොව ඉපදෙන ගොඩක් අය ඉපදෙන්නේ විමානයක් ආශ්‍රිතව. විමානයක් කියන්නේ ලොකු ගෙයක්. මාලිගාවක්. අලුත්ම එකක් හෝ කලින් වෙනත් දෙවියෙක් ඉඳලා හිස් වූ එකක්. රන් රිදී මුතු මැණික් හිතේ හැටියට. වෙනත් බොහෝ දේවලුත් හිතන කොටම පහළ වෙනවා. හැබැයි පංති රහිත සමාජයක්නම් නැහැ. පරිවාර දෙවියෝ ප්‍රධාන දෙවියාව සතුටු කරන්න ඕනෑ. කාන්තාවෝනම් ඉපදෙන්නේම දෙවි කෙනෙකුගේ දෙවඟනක් විදිහට.
දෙව්ලොව ඉපදෙන කාටත් ලැබෙන එක දෙයක් තිබෙනවා. ඒ ආලෝකය විහිදෙන, දිලිසෙන සමක්. ඒකෙත් අඩුවැඩිකම් තිබෙනවා. හැබැයි පොදුවේ හැම දෙවි කෙනෙකුටම වගේ මේ ආලෝකමත් පැහැය තිබෙනවා.
දෙවිවරු කියා පිරිසක් ඇත්තටම හිටියත් නැතත් වියුක්ත ලෙස දෙවිවරු ගැන හිතන්න පුළුවන් වීමෙන් මිනිස්සුන්ට සිදු වූ යහපතක් තිබෙනවා. මේ බොහෝ දෙවු සැප මිනිස් ලෝකයේදීම ලැබිය හැකි ආකාර මිනිස්සු හොයා ගෙන තිබෙනවා. තව දුරටත් හොයා ගනිමින් සිටිනවා. දෙවු සැප වැනි සැප ලබන මිනිස්සු ඉන්නේ සීමිත ප්‍රමාණයක් වුවත් ඒ ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙනවා.