වෙබ් ලිපිනය:

Wednesday, July 25, 2018

කාල නදිය හා මිණි ගං දෑළ

මිණි ගං දෑළ මේ දින වල සිරසේ විකාශනය වන ටෙලි නාට්‍යයක්. අද (ජූලි 25) වන විට ටෙලි නාට්‍යයේ කොටස් 33ක් විකාශනය වී අවසන්. මේ ටෙලි නාට්‍යය නරඹන්න පෙළඹවීමක් ඇති වුනේ අරූගේ අඩවියේ බ්ලොග් පෝස්ට් එකකිනුයි. අරූ විසින් මීට පෙර මේ අයුරින් හඳුන්වා දී තිබුණු ටෙලි නාට්‍ය, චිත්‍රපටි හා ගීත බොහොමයක්ම මගේ රුචිකත්වය සමඟ පෑහී තිබුණු නිසා මෙයත් මොන වගේද කියා බලන්න මම දෙවරක් හිතුවේ නැහැ.

ලංකාවෙන් පිට ජීවත් වන, අන්තර්ජාලය හරහා සිංහල ටෙලි නාට්‍ය නරඹන අප වැනි රසිකයින්ට ටෙලි නාට්‍යයක් විකාශනය වන නාලිකාව එතරම් වැදගත් කරුණක් නෙමෙයි. ඒ වුණත්, සිරසේ සාමාන්‍ය වට්ටෝරුවෙන් වෙනස් මේ වගේ ටෙලි නාට්‍යයක් එහි විකාශනය වීම මුලින්ම අවධානයට ලක් වූ දෙයක්.

මිණි ගං දෑළේ දිග හරින්නේ ඉතිහාසයේ එක්තරා අවදියක කළු ගං දෑළේ සිදු වූ සිදුවීම් සමුදායක්. බැලූ වනම මේ ටෙලිනාට්‍යයෙහි  සමීප බවක් දැනුණේ ඒ නිසා වෙන්න ඇති. මේ ටෙලිනාට්‍යය තුළ ජීවත් වන චරිත බොහොමයක් එක්කෝ මට හමු වී තිබෙන චරිත. එසේ නැත්නම් මා අසා දැන සිටි චරිත.

පළමුවෙනි කථාංගයේදීම හමු වෙන නැපෝහාමි කළු ගඟ අයිනේ ජීවත් වන තොටියෙක්. ඔහු තොටියෙක් වෙන්නේ ඔහුගේ පියාත්, පියාගේ පියාත් තොටියන් වූ නිසා. කතාවේ කියන කාලයට වඩා අවුරුදු හැත්තෑ පහකට නැත්නම් සීයකට පසුව පසුගිය සියවසේ තුන්වන කාර්තුවේදීත් නැපෝහාමිව මට හමු වී තිබෙනවා. එවිට මා කුඩා දරුවෙක්.

සයිමන් මුදලාලි හා දඩල්ලේ මුදලාලි වැනි අය ආර්ථික වාසි සොයමින් පහතරට සිට කළුගඟ දිගේ උඩහට පැමිණි අය. මෙවැනි ඇතැම් අය කලුගඟ ඉහළ ගම් වල බින්න බැස කතාවේ කාලයට වඩා සියවස් කාලකට පමණ පසුවත් පාලම් පාරු රස්සාව, රබර් කර්මාන්තය හා පතල් කර්මාන්තය වැනි රැකියා කරගෙන ගියා. ඔවුන් මට හමුවන විට සිටියේ ඔවුන්ගේ ජීවිත වල සැන්දෑ කාලයන්හියි.

කතාවේ හමුවන ගිරිගෝරිස් මැණික් පතලයකින් මැණිකක් ගෙන පැන ගොස් එය මුදල් කර පෝසතෙක් වන අයෙක්. ගිරිගෝරිස්ව මට ඔහුගේ තරුණ කාලයේදී හමු වී තිබෙනවා. ඒ වගේම, කුරුවිට නොවුණත්, ඇළහැර ඔක්කම්පිටිය වගේ පැති වල මැණික් ඉල්ලම් සහිත ඉඩම් චන්ඩි කමෙන් අයිතිකරගෙන සිටි උණ්ඩියාලාවත් මට ඔවුන්ගේ මැදි වයසේදී හමු වී තිබෙනවා.

අර්නෝලිස්ලාගේ පතල් පොළ මම දකින විට එහි වතුර ඉවත් කිරීම සඳහා ඉන්ධන වලින් ක්‍රියා කරන මෝටරයක් තිබුණත් වෙනත් කිසිම වෙනසක් වී තිබුණේ නැහැ. රත්නපුරේ පතල් පොළවල් වල ආකෘතිය ලොකුවට වෙනස් වෙන්න ගත්තේ නමසිය හැත්තෑ ගණන් වල තායි ජාතිකයින් මේ කර්මාන්තයට අත ගැසීමෙන් පසුවයි.


මා කුඩා කාලයේදී හමු වුණු මේ ගොඩක් දෙනෙක්ව මිණි ගං දෑළ හරහා දකින්න ලැබීම සතුටක්. මම හිතන්නේ මේ ටෙලිනාට්‍යයෙන් ස්පර්ශ කරන්නේ පසුගිය කාලයේ ටෙලිනාට්‍යකරුවන්ට මඟ හැරී තිබුණු කාල අවකාශයක්.

ටෙලි නාට්‍යයක්  නොවූවත් මෑතකදී මේ චරිත කෙරෙහි අවධානය හෙලා තිබුණු සාහිත්‍ය කෘතියක් වන්නේ 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම නවකතාව සේ තේරුණු නෝබට් අයගමගේගේ "කාල නදී ගලා බසී" කෘතියයි. ඒ ගැන බොහෝ දෙනෙක් අතින් ලියැවී තිබෙනවා. එසේ ලියැවුණු බ්ලොග් සටහන් කිහිපයක් පහත තිබෙනවා.

http://sandunsevana.blogspot.com/2015/03/blog-post_13.html

http://me-and-err.blogspot.com/2015/06/blog-post_25.html

http://iranamvila.blogspot.com/2014/11/blog-post_20.html

http://nirmalaya.blogspot.com/2016/05/blog-post_24.html

මිණි ගං දෑළ ටෙලි නාට්‍යයේ චරිත ගොඩ නැඟීමේදී "කාල නදී ගලා බසී" කතාවෙන් කිසියම් ආභාෂයක් ලබා ඇති බවක් පෙනෙනවා. අරූගේ ලිපියේ විශේෂයෙන්ම අවධානය යොමු කර තිබුණේ සමන් ලෙනින් විසින් ගායනා කරන මිණි ගං දෑළ ටෙලි නාට්‍යයේ තේමා ගීතයටයි. එය නැවත නැවතත් අහන්නට හිතෙන ගීතයක් බව කිව යුතු නැහැ.

ජගත් ජේ එදිරිසිංහ විසින් ලියා සමන් ලෙනින් විසින්ම සංගීතවත් කර තිබෙන මේ ගීතය ඔවුන් මේ ටෙලි නාට්‍යය වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කර තිබෙන ගීතයක්. මුල් ගීතය සඳහා උත්තේජනය සපයා තිබෙන්නේ "කාල නදී ගලා බසී" කෘතියයි. පසුව මුල් ගීතයේ සංගීතයම යොදාගනිමින්, වචන සංශෝධනය කර ඔවුන් විසින්ම මිණි ගං දෑළ ගීතය ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. මුල් ගීතය හා මිණි ගං දෑළ තේමා ගීතය යන දෙකම පහත තිබෙනවා.



මිණි ගං දෑළ සුන්දර නිර්මාණයක්. එහි චරිත පිළිබඳව මට ලොකු ගැටළු නැහැ. නමුත්, මේ කතාවේ පසුබිමේ තිබෙන්නේ සිංහල අනන්‍යතාවය අද පවතින තැනට විකාශනය වීමේ ක්‍රියාවලියේ වැදගත් කොටසක්. අදාළ වකවානුවේ සැබෑවටම සිදුවූ ඓතිහාසික සිදුවීම් ගණනාවක් ගැන කතාවේදී සාකච්ඡා වෙනවා.

කතාවේ චරිත තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමේ අයිතිය ටෙලිනාට්‍යකරුවෙක්ට තිබුණත් එහි පසුබිමේ තිබෙන ඉතිහාසය හැකිතාක් නිවැරදිව නිරූපණය කිරීම එවැන්නෙකු විසින් අමතක නොකළ යුතු දෙයක්. ඒ සඳහා ප්‍රමාණවත් අධ්‍යනයක් කළ යුතුයි. මෙහිදී එයනම් සිදු වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා, මිණි ගං දෑළ සුන්දර නිර්මාණයක් වුවත් එහිදී කළු ගඟ මතුපිටින් හබල් ගාගෙන යනු මිස කළු ගඟේ පතුළ අතගාන බවක්නම් පෙනෙන්නේ නැහැ.

ලිපිය දිග් ගැසෙන නිසා මේ අඩුපාඩු පෙන්වා දීම ඉදිරි කොටසකට ඉතිරි කරන්නම්. එය කළ හැක්කේ මේ ටෙලිනාට්‍යය පසුබිමේ ඇති ක්‍රියාවලියේ ඓතිහාසික වැදගත්කම ගැන මුලින් පෙන්වා දීමෙන් පසුවයි.

14 comments:

  1. මිණි ගං දෑල මමත් බලන්න ගත්තා.. තව කොටස් තුන හතරයි බැලුවේ. ගීතය රචනා කරලා තියන ජගත් ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවෙ මෙල්බර්න් නුවර. ඔහුත් බ්ලොග් රචකයෙක්. මේ ඔහුගේ බ්ලොග් අඩවිය.http://maanawa.blogspot.com/

    මුල් කොටස් වලදිම මට එක්වරම දැනුණු දෙයක් තමයි, නාට්‍යයේ වර්ණ ගැන්වීම ඕනවට වඩා වැඩි වගේ කියන එක. එහි භාවිතා වෙන කොල පාට නිල් පාට එහෙම ස්වාභාවිකත්වය ඉක්මවා ගිය පාට. නාට්‍යයේ කතා තේමාව එක්කත් පෑහෙන්නෙ නෑ වගේ ගතියක් තියනවා. නාට්යයේ නම සඳහන් වන ග්‍රැෆික් නිර්මාණයත් කතාව එක්ක නොගැලපෙන ගතියක් දැනුණේ. තාම මුල් කොටස් නිසා ඉතින් හරියටම කියන්න බැහැ. කාල නදී පොතේ යම් කිසි දෙයක් තිබ්බා. ඒත් ඔබ කියන ලෙස මේ නාට්‍ය වගේම, පොතත් කලු සුදු චරිත වලින් සමන්විත මතුපිට කතාවක් කියන එකයි මගේ අදහස. ඒත් කියවීමට ප්‍රිය උපදවන ගතියක් තිබ්බා. ඒ සමහර විට පාදක වුණ කාලසීමාවේ සහ මාතෘකාවේ දුලබ බව නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. චන්දනගේ විවේචනය දැකලද කොහෙද කතාවේ නම ලියන විදිහ පස්සේ වෙනස් කරනවා..

      Delete
    2. මානව බ්ලොග් එක ගැන රසිකගේ කලින් ලිපියකින් දැනගෙන සිටියත් රෝලට නොදා ගැනීම නිසා මිස් වුණු එකක්. රෝලට දාගන්න ඕනෑ.

      Delete
  2. ඕනෑම සිංහල/ඉංග්‍රීසි අයිතිහාසික ටෙලි නාට්‍යයක් , චිත්‍රපටියක් බලන්න කැමතියි. ඒත් ඒ කාලයට ගැලපෙන්නෙ නැති දේවල් anachronisms( ඇඳුම් ස්ටයිල්, ඇඳුම්වල අලුත් බව, භාෂාව, ආකල්ප ) අහුවෙනකොට රස විඳීමට බාදා වෙනවා. මේක එහෙමද කිය්න්න බෑ, මං බලලා තියෙන්නෙ එපිසොඩ එකයි. ඒත් හුඟක් ලඟදි බලපු ලෝකල් අයිතිහාසික කතාවල කැලේ ගිහින් එනකොටත් ලස්සන දීප්තිමත් හොඳට මැදපු ඇඳුම් ඇඳගෙන ඉන්නවා. ගැහැණු අය මගුල් ගෙදරකට යන්න වගේ ගෙදරට ඇඳන් ඉන්නවා.
    බාසාවෙ ප්‍රශ්නත් තියනවා. 19වන සියවසේ මුල/මැද ලංකාවෙ ඉන්න බ්‍රිතාන්‍ය සිවිල් සේවකයො OK කියනවා. 20වෙනි සියවසේ ඇඳුම් ඇඳන් ඉන්නවා. ඊට පස්සෙ නාට්‍යය රස විඳිනවට වඩා වෙන්නෙ වැරදි පේන එක. (මට වෙන දේ කිව්වෙ)

    ReplyDelete
    Replies
    1. ඔබ කියන අඩුපාඩු හැම එකක්ම වගේ අඩු වැඩි වශයෙන් මෙහිත් තිබෙනවා. පතල්පොළවල් වල ඉන්න මිනිස්සුන්ගේ ඇඟේ මඩ බිංදුවක් නැහැ. ඒ අතින් කඩුල්ලටත් වඩා ගොඩක් පසුපසින්. පරණ රීල් කැමරා වල දර්ශන වගේ නෙමෙයි අලුත් ඩිජිටල් කැමරා වලින් ගන්න දර්ශන වල මේ අඩුපාඩු විශේෂයෙන්ම කැපී පෙනෙනවා.

      Delete
  3. මමත් චන්දනගේ හා අරූ ගේ ඔත්තුව අනුව මේක බලන්න ගත්තා.. කතාවෙ ඓතිහාසික පසුබිම ගැන එච්චර අවධානයක් යොමු කරලා නැති එක පහසුවෙන්ම පේන දෙයක්..

    අරුණෝලිස්, දඩල්ලේ මුදලාලි එක්ක එක තැනක කතා කරන්නේ කෝපි හිටවන්න. ඒත් තැන් කිහිපයකම තේ බොන්න කතා කරණ දර්ශණ තියනවා.. තේ ආවේ කෝපි වගාව අයින් කළාට පස්සේ නේද ? මම හිතන්නේ ඔය කාලේ ලංකාවේ සාමාන්‍ය ජනතාව තේ බීමක් කියලා එකක් කළේ නෑ... තේ බොන්න කතාකිරීමක් වහරේ තියන එක අස්වාභාවිකයි කියලා මට හිතුනේ...

    නැපෝ හාමිගේ අවතාරය කතාවෙ යොදා ගන්න විදිහත් එච්චර තාත්වික නෑ...

    සමස්තයක් වශයෙක් කතාව වෙන බහුබූත ටෙලි නාට්ය වලට වඩා හොඳයි..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ නොගැලපෙන තැන් ගණනාවක් තිබෙනවා. නැපෝහාමි චරිතයට කොස්ගම රංවල දෙවියන්ගේ කතාවෙන් අදහසක් ගන්න ඇති.

      Delete
  4. මා නරඹා නැහැ
    අනාගතයේදී වුණත් නරඹන්නට කාලය සොයාගත හැකි වේදැයි දන්නේ නෑ
    නමුත් ඉකොනොමැට්ටා කියා ඇති විස්තරය සහ අවසානයේ ඉඟි කර ඇති දේ අනුව මට කෙලින්ම මතක් වුනේ කඩුල්ල නැමැති ටෙලිනාට්‍යයයි
    එයත් කළු ගඟ ආශ්‍රිතව යන ඒ වගේම සිංහල අනන්‍යතාවය ගොඩනැගීම පිළිබඳව කතා යටි පෙළක් ඇති නාට්‍යයක්.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. කඩුල්ල ගැන කතා කිරීම හා සැසඳීමක් කිරීම ඉදිරි ලිපියකට තිබ්බා. මිණි ගං දෑළ හැදෙන්නේ කඩුල්ලෙන් පරම්පරාවකට පස්සේ. මිණි ගං දෑළේ වසන්තිගේ දුවයි කඩුල්ලේ වසන්තියි එක වයසේ. මිණි ගං දෑළ කළු ගඟ දිගේ ඉහළට ගියත්, ඒ යන්නේ කඩුල්ල පනින්නේ නැතුව.

      Delete
  5. Yes, Kadulla is way better than this (this is way better than the other lot on TV) Those who are interested about historic/artistic stories must see Kadulla (I think its by Pathiraja)

    ReplyDelete
  6. ලෝකයේ විවිධ රටවල වසන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලංකාවේ දැන් විකාශනයවන ටෙලි නාට්‍යයක් ගැන තමන්ගේ අදහස මෙසේ සටහන් කරනු දැකීම සතුටට කරුණකි.

    ReplyDelete
    Replies
    1. අසූව දශතයේ අග භාගයේ හා අනූව අශකයේ මුල භාගයේ මැණික් නදිය ගලා බසී නමින් ටෙලි නාට්‍යක් විකාශනය වුණා. එහි තිබුණේ සාමාන්‍ය මුදලාලි කෙනෙක් පතල් රස්සාවට ගිහින් විශාල මැණිකක් ලැබිලා කෝටිපතියෙකු වුවත්, එහිම ප්‍රතිපලයක් ලෙස පවුල් සංස්ථාව දෙදරා යන අයුරුයි. එය නවකථාවන් ඇසුරු කරගෙන ලියවූණූ ටෙලි පිටපතක්. මිණිගංදෑල සුවිශේශි ලෙස ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන්න කථාව, සංගීතය වගේම කලා අධ්‍යක්ෂණය, චරිත සඳහා තෝරාගෙන තිපෙන නළු නිළියන් ද බලපා තිබෙනවා .සුළු චරිතයකට වුවද ප්‍රවීණ හා දක්ෂ තරුණ පරපුර නියෝජනය කරන නළු නිලියන් යොදාගෙන තිලෙනවා. මෙවැනි පිටපත් ඉස්සර ලිවුවේ තිස්ස අබේසේකර ශූරින් පිටගංකාරයෝ ඔහුලේ ්එවැනි නිර්මාණයක් .
      විචාරක දියණිය

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...