වෙබ් ලිපිනය:

Sunday, November 8, 2020

කොපි චැට්


මේ දවස් වල කොපි චැට් කතාවක් හැම තැනම සංසරණය වෙනවා. මම හරියටම මේ කතාවේ අග මුල දන්නේ නැහැ. මේ හා අදාළව අජිත් ධර්මා විසින් ලිපියක් පළ කර තිබෙනවා. පහත තිබෙන්නේ එම ලිපිය.

සුභාෂ් ජයවර්ධන සහ කොපිය ගැන

ඉහත ලිපියට ප්‍රතිචාරයක් දමන්න හිතාගෙන ටයිප් කරන්න පටන් ගත්තත් සාමාන්‍යයෙන් සිදු වන පරිදි ප්‍රතිචාරය ගොඩක් දිගට ලියැවිලා. අජිත් ධර්මාගේ ලිපියට ප්‍රතිචාරයක් ලෙස දමන්න මෙය දිග වැඩි සේ පෙනෙන නිසා මෙහි වෙනම ලිපියක් සේ පළ කරනවා. අජිත්ගේ ලිපිය කියවලා ආවේ නැත්නම් අගමුල තේරෙන එකක් නැහැ.

***

මම මේ කාරණයේදී ඉන්නේ සුභාෂ් ජයවර්ධනගේ පැත්තේ. ඒ කියන්නේ කොපි කිරීම මම පෞද්ගලිකව අනුමත කරනවා කියන එක නෙමෙයි. සංකල්පීය වශයෙන් ගත්තොත් සුභාෂ් ජයවර්ධන ඉන්නේ අජිත්ට වඩා නිවැරදි තැනක. 

බුද්ධිමය දේපොල අයිතිය කියන එක ධනවාදී අදහසක්. ධනවාදය හා සමාජවාදය (මාක්ස්වාදය) ප්‍රධාන වශයෙන්ම වෙනස් වෙන්නේ පෞද්ගලික දේපොළ අයිතිය පිළිගැනීම කියන කාරණයේදී. සමාජවාදය පෞද්ගලික දේපොළ අයිතිය ප්‍රතික්ෂේප කරනවා. ධනවාදය පෞද්ගලික දේපොළ අයිතිය පිළිගන්නවා. 

ධනවාදය පෞද්ගලික දේපොළ අයිතිය පිළිගන්නවා කියන එකෙන් කියන්නේ ධනවාදය පොදු දේපොළ ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙමෙයි. ධනවාදය තුළ පෞද්ගලික දේපොළ වලට වගේම පොදු දේපොළ වලටත් ඉඩ තිබෙනවා. එය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ හා සමූහයක රුචි අරුචිකම් මත. 

සමාජවාදය තුළ, අඩු වශයෙන් සෛද්ධාන්තිකව, පෞද්ගලික දේපොළ අයිතියට ඉඩක් ඉතුරු කරන්නේ නැහැ. පොදු දේපොළ පමණයි. හැම සමාජවාදී රටකම ප්‍රායෝගිකව පෞද්ගලික දේපොළ අයිතියට සීමිත ඉඩක් දෙන්නේ සෛද්ධාන්තිකව කළ හැකි දෙය ප්‍රායෝගිකව මොන විදිහෙන්වත් කරන්න බැරි නිසා.

කිසිම දෙයක් අපි තනිවම නිර්මාණය කරන්නේ නැහැ. අපි අලුතින් නිර්මාණය කරන හැම දෙයකම වගේ ඉතිහාසය තුළ හා සමකාලීනව වෙනත් බොහෝ දෙනෙක් කරපු දේවල් වල දායකත්වය තිබෙනවා. නිර්මාණය භෞතික එකක්ද, එහෙම නැත්නම් බුද්ධිමය එකක්ද කියන එක මත එය වෙනස් වෙන්නේ නැහැ. නමුත්, ඊට අමතරව අපි අලුතින් එකතු කරන දෙයක් තිබෙන්නත් පුළුවන්. ධනවාදය තුළ නිෂ්පාදකයෙක් විසින් උපයන ලාභය කියන්නේ ඒ ආකාරයට එකතු කළ අගය වෙනුවෙන් වෙනත් අය විසින් නිර්ණය කරන වටිනාකම. එම ලාභය ලැබෙන්නේ අලුතෙන් එකතු කළ කොටස වෙනුවෙන් මිසක් අතීතයේ සිට හෝ සමකාලීනව වෙනත් අය විසින් එකතු කළ දේවල් වෙනුවෙන් නෙමෙයි.

මොරීෂියෝ කැට්ලෑන්ගේ ඩක් ටේප් එකක් ගහපු කෙසෙල් ගෙඩිය ඩොලර් 120,000කට විකිණෙන්නේ වෙනත් කවුරු හෝ කෙනෙකුට අනුව ඔහු ඊට ආසන්නව සමාන හෝ වැඩි අගය එකතු කිරීමක් කරලා තියෙන නිසා. දැන් මේ විකටයා ලෙස නම් කළ කලා නිර්මාණයේ අතීතයේ සිට හෝ සමකාලීනව වෙනත් අය විසින් එකතු කළ දේවල් වල දායකත්වය තිබෙනවා. ලෝකයට මුලින්ම කෙසෙල් ගෙඩිය හොයා ගත්තේ හෝ ඩක් ටේප් හොයා ගත්තේ මොරීෂියෝ කැට්ලෑන් නෙමෙයි. නමුත්, කලා නිර්මාණය තුළ එය හදන්න යොදා ගත් කෙසෙල් ගෙඩියට හා ඩක් ටේප් කෑල්ලට වඩා වැඩි දෙයක් තියෙනවා.

මොරීෂියෝ කැට්ලෑන් විකටයා හදන්න කෙසෙල් ගෙඩිය හා ඩක් ටේප් කෑල්ල හොරකම් කරන්නේ නැහැ. ඔහු ඒවා මිල දී ගන්නවා. අපි හිතමු ඩොලර් පහක් ගියා කියලා. ඒ ඩොලර් පහ කියා කියන්නේ එම කලා නිර්මාණයට අතීතයේ සිට හෝ සමකාලීනව වෙනත් අය විසින් එකතු කළ දේවල් වල දායකත්වයේ වටිනාකම. ඒ මුදල ගෙවුවට පස්සේ මොරීෂියෝ කැට්ලෑන් වෙනත් කිසිවෙකුට ණය නැහැ. ඩොලර් 120,000ක මුදලින් අර ඩොලර් 5 අඩු කළාට පස්සේ (සහ වෙන්දේසිකරුගේ කොමිස් මුදල් ආදිය ගෙවුවට පස්සේ) ඔහු අතේ ඉතිරිවන ලාබය කියා කියන්නේ මොරීෂියෝ කැට්ලෑන් විසින් එකතු කළ අගය. ධනවාදය තුළ ඔහුට හරියටම ඔහු විසින් එකතු කළ අගය ලැබෙනවා. මේ ආකාරයටම අර්තාපල් කිලෝවක් විකුණන ගොවියෙකුට හෝ නවකතාවක් ලියන ලේඛකයෙකුට ලැබෙන්නෙත් තමන් විසින් එකතු කළ අගය. වෙනත් අය විසින් එකතු කළ අගය එහි නැහැ.

මොරීෂියෝ කැට්ලෑන් කෙසෙල් ගෙඩියට හෝ ඩක් ටේප් එකට මුදල් ගෙවුවේ නැත්නම් එය ධනවාදයට අනුව හොරකමක්. එය හොරකමක් වෙන්නේම ධනවාදයට අනුව, සංකල්පීය ලෙස, කෙසෙල් ගෙඩිය හා ඩක් ටේප් එක වෙනත් අයෙකුගේ පෞද්ගලික දේපොලක් නිසා. ඒ ආකාරයටම අර්තාපල් වවන්න යෙදූ පෝර වලට මුදල් ගෙවුවේ නැත්නම් එයත් හොරකමක්. නවකතාව ලියද්දී වෙනත් අයෙකුගේ පොතකින් කොටසක් අමු අමුවේ කොපි කළානම් එයත් හොරකමක්. මේ හැම දෙයක්ම හොරකම් වෙන්නේ පෞද්ගලික දේපොළ අයිතිය පිළිගන්නා ධනවාදී සන්දර්භයක.

ධනවාදී සන්දර්භයේදී මේ අගය එකතු කිරීම කියන අදහස සුවිශේෂීයි. එය කොපමණද කියන එක තීරණය කරන්නේ පාරිභෝගිකයා විසින්. ඒ හැර එම අගය එකතු කිරීම මැනිය හැකි වාස්තවික නිර්ණායකයක් නැහැ. ඒ නිසා එය ඕනෑ තරම් ලොකු මුදලක් වෙන්න පුළුවන්. නිෂ්පාදකයෙක් තමන්ගේ නිර්මාණය කොපමණ මුදලකට විකිණුවත්, පාරිභෝගිකයා මිල ගෙවන්නේ කැමැත්තෙන්නම්, එහි කිසිදු වැරැද්දක් හෝ  "සූරාකෑමක්" කියා දෙයක් නැහැ.  

බොහෝ අවස්ථා වලදී මේ අගය එකතු කිරීම කොපමණද කියන එක පිළිබඳ පාරිභෝගිකයෙකුගේ විෂයමූලික තක්සේරුව නිර්මාණකරු කවුද කියන එක මත වෙනස් වෙනවා. මට කෙසෙල් ගෙඩියකට ඩක් ටේප් එකක් ගහලා ඩොලර් 120,000කට විකුණන්න බැහැ. විකටයා එපමණ මුදලකට විකිණෙන්නේ එය මොරීෂියෝ කැට්ලෑන්ගේ නිර්මාණයක් නිසා. ඒ වගේම, නිපුණ හාල් මල්ලක්, ලුවී විටෝන් අත් බෑගයක් හෝ ජිජැක්ගේ වසංගතය අදාළ මිල ගණන් වලට විකිණෙන්නේ ඒ නිර්මාණ වල නිෂ්පාදකයින් අදාළ පුද්ගලයින් හෝ සමාගම් වීම නිසා. ජිජැක්ගේ වසංගතය පොත ඔහු තමන්ගේ නමින් පළ නොකර කිසිවෙකු අසා නැති ව්‍යාජ නමකින් පළ කළානම් ඔය පොත ඔය තරම් විකිණෙන්නේ නැහැ. 

බුද්ධිමය වේවා, භෞතිකමය වේවා කිසියම් නිෂ්පාදිතයකට නිෂ්පාදකයාගේ සන්නාමය යෙදීමේ පදනම මෙයයි. සන්නාමය විසින් එහි විෂයමූලික වටිනාකම පාරිභෝගිකයෙකුට සංඥා කරනවා. 

මාක්ස්වාදය අනුව කිසියම් නිෂ්පාදිතයක වටිනාකම ධනවාදයේදී පිළිගැනෙන ආකාරයට විෂයමූලික ලෙස වෙනස් වෙන්නේ නැහැ. වටිනාකම් වාස්තවිකයි. එහෙමනම් පාරිභෝගිකයාට නිෂ්පාදිතය කුමක්ද කියන එක මිසක් නිෂ්පාදකයා කවුද කියන එක වැදගත් නැහැ. අර්තාපල් මිසක් නිෂ්පාදකයාගේ සන්නාමය වැඩක් නැහැ. අර්තාපල්නම් අර්තාපල්. එච්චරයි. ගෝර්කිගේ පොතක් අජිත් ධර්මා නමින් පළ කලත්, නමක් නැතිව පළ කළත් එහි වටිනාකම එළෙසම තියෙනවා. 

මේ අනුව, සුභාෂ් ජයවර්ධනගේ තර්කය සාධාරණයි. සමාජවාදී පදනමකින් බැලුවොත් කලාකරුවෙකු විසින් කරන්නේත් ගොවියෙක් හෝ කම්කරුවෙක් වගේම පොදු නිෂ්පාදන යාන්ත්‍රණයකට තමන්ගේ ශ්‍රම දායකත්වය ලබා දෙන එක පමණයි. ගොවියා නිපදවන අර්තාපල් හෝ කම්කරුවා විසින් නිපදවන කාකි කලිසම් පොදු දේපොළක්නම් ලේඛකයෙකු විසින් ලියන දෙයත් පොදු දේපොළක්. ඒ වෙනුවෙන් ඔහුගේ ශ්‍රමයේ වටිනාකම ගෙවුවා. එච්චරයි.

ඇත්තටම වැරැද්ද තිබෙන්නේ සෝවියට් ලේඛකයන්ගේ සන්නාම වලට ඔවුන්ගේ නම් දැමීම. සංකල්පීය ලෙස බැලුවොත්, කළ යුතුව තිබුණු නිවැරදි දෙය, පක්ෂයේ නමින් හෝ නමක් නැතිවම සෝවියට් ලේඛකයන්ගේ නවකතා පළ කරන එකයි. වෙන කෙනෙක්, කණ්ඩායමක් හෝ පක්ෂය විසින් මුල් පිටපත සංශෝධනය කළත් සංකල්පීය ලෙස වැරැද්දක් නැහැ. නිෂ්පාදකයාගේ අගය එකතු කිරීම් හේතුවෙන් නිර්මාණය වූ අතිරික්තයේ පෞද්ගලික අයිතිය පිළිගන්නේ නැත්නම්, අර්තාපල් බෑග් එකකට සන්නාමයක් අවශ්‍ය නැත්නම්, පොතකට අවශ්‍ය වෙන්න හේතුවක් නැහැ. පෞද්ගලික දේපොළ හිමිකම් කියා දෙයක් නැත්නම් බුද්ධිමය දේපොළ වලටත් එය අදාළ විය යුතුයි. දොන් නම් දොන් සිමන්නම් සිමන් මිස දොන් සිමන් දෙකක් බැහැ. 

නමුත්, සෝවියට් සංගමය එසේ නොකළේ ඇයි? ලේඛයාගේ සන්නාමය නැත්නම් ඔය පොත් වලට ඔය තරම්ම වටිනාකමක් ලැබෙන්නේ නැහැ. සෝවියට් දේශයේ නිපදවූ භෞතික නිෂ්පාදන වලට පවා සන්නාම තිබුණා. මොකද මාක්ස්වාදයේ වටිනාකම් පිළිබඳ මූලධර්මය, දාස් කැපිටාල් පළමු පරිච්ඡේදයම, වැරදියි. මාක්ස්වාදය කියා කියන්නේම අත්තිවාරමක් නැතිව හදපු ලොකු ගෙයක්.

ගොඩක් අය තමන් ලියන දේවල් වලට වටිනාකමක් හදාගන්න තමන්ගේ අධ්‍යාපන සුදුසුකම්, තනතුරු, රැකියා වගේ දේවල් යොදා ගන්නවා. මම බ්ලොග් එක පටන් ගත්තේම එවැනි කිසිවක් නැතිවයි. ඒ අනුව බ්ලොග් එකේ පළ කරන දෙයක් කවුරු හෝ විසින් කියවිය යුත්තේ ලේඛකයාගේ සන්නාමයට වටිනාකමක් තිබෙන නිසා නෙමෙයි. ලියන දෙයක කවර හෝ වටිනාකමක් තිබෙන නිසා. ඒ විදිහට පටන් ගත්තත් මේ වෙද්දී ඉකොනොමැට්ටා කියලා සන්නාමයක් හැදිලා තියෙනවා. අයිතිකරු විසින් (තමන්ගේ සතුට හැර) ලබා ගන්නා දෙයක් නැතත් ඒ සන්නාමයට වටිනාකමක් තිබෙනවා. 

ඇතැම් අය මෙහි ලියන දේ කොපි කර විවිධ තැන් වල නැවත පළ කරනවා. ඒ බොහෝ දෙනෙක් මෙය මෙම බ්ලොග් අඩවියෙන් ගත් බවට සඳහනක් කරනවා. මෙහි ඇති දේ අමු අමුවේ කොපි කර තමන්ගේ නමින් පළ කර ඇති අවස්ථාද තිබෙනවා. දෙවන කොටස ගැන අපි කතා නොකර ඉඳිමු. පළමු කොටස ගනිමු.

මෙහි ලියන දේ කොපි කර නැවත පළ කරන අය බොහෝ විට ඒ බව සඳහන් කරන්නේ ආචාර ධාර්මික පදනමකින් වෙන්න ඇති. නමුත්, එය ආචාර ධාර්මික පදනමකටම පමණක් ගොනු කරන්න බැහැ. අපේ අත් හදා බැලීම වුනේම ලියන දෙය මත පදනම්ව මෙය කියවන පාඨක පිරිසක් හදාගැනීම මිස ලේඛක නාමය සන්නාමයක් සේ ප්‍රවර්ධනය කර ගැනීම නොවුණත්, අවසාන වශයෙන් ඉකොනොමැට්ටා යන්න සන්නාමයක් වී තිබෙනවා. ඒ නිසා, මෙහි පළ කරන දෙයක් කොපි කර නැවත පළ කරද්දී ඉකොනොමැට්ටා විසින් ලියූවක්යැයි කී විට අගය වැඩි වීමක් වෙනවා. තමන්ගේ පෞද්ගලික නම යොදා නොගෙන බ්ලොග් ලියන වෙනත් අය හා අදාළවත් තත්ත්වය මෙයයි.

මේ කරුණෙන් තහවුරු කරන්නේත් වටිනාකම් හා නිෂ්පාදකයින්ගේ සන්නාම අතර සම්බන්ධය කොයි තරම් ස්වභාවික දෙයක්ද කියන එකයි.


Saturday, November 7, 2020

ජෝ බයිඩන්- ඇමරිකාවේ මීළඟ ජනාධිපති


මේ වෙද්දී සියළුම ප්‍රධාන මාධ්‍ය විසින් ඔවුන්ගේ පුරෝකථන අනුව ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කර තිබෙනවා. එක් එක් මාධ්‍ය ආයතනය විසින් ඔවුන්ගේ විශ්ලේෂණ අනුව මේ වන විට තහවුරු කර ඇති බයිඩන්ගේ නියෝජිතයින් ගණන 273, 279, 284, 290 ආදී ලෙස වෙනස් වුනත් එම ප්‍රමාණය 270 ඉක්මවන බවට පොදු එකඟත්වයක් ඇති වී අවසන්. රිපබ්ලිකන් පක්ෂය බලය හොබවන අපේ ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ලොක්කන්නම් ඔවුන්ගේ ජය සැමරුම් සාදය ඊටත් කලින්ම සංවිධානය කළා. කෙසේ වුවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවමත් පරාජය භාර ගෙන නැහැ.

මාධ්‍ය ආයතන විසින් මේ වන තුරුත් උතුරු කැරොලයිනා, ජෝර්ජියා හා ඇලස්කා ප්‍රාන්ත කිසිදු අපේක්ෂයෙකුට ලියා දී නැහැ. ඇරිසෝනා හා නෙවාඩා වල තරඟය ඇතැම් මාධ්‍ය ආයතන වලට අනුව තීන්දු වී අවසන් වුවත් තවත් ඒවාට අනුව තවමත් විවෘතයි. අවසන් ප්‍රතිඵලය තීන්දු වීමට හේතු වූයේ පෙනිසිල්වේනියා ප්‍රතිඵලය පිළිබඳ විවිධ විශ්ලේෂකයින්ගේ පොදු අවසන් නිගමනයයි. එහෙත්, මා පෙර ලිපියේ විස්තර කළ පරිදි, මාධ්‍ය වල පෙන්වන්නේ අවසන් නිල ප්‍රතිඵල නෙමෙයි. කලින්ම අවසන් ප්‍රතිඵලය නිශ්චය කෙරුණු කැලිෆෝර්නියා ප්‍රාන්තයේත් තවමත් ගණන් කර අවසන්ව තිබෙන්නේ 82%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සඳහා ඇමරිකාවේ මැකෝ කෙනෙක් නැද්ද? සෙන්නා සහ තවත් අයෙක් මේ ප්‍රශ්නය අසා තිබුණා. පෙර ලිපියේ ප්‍රතිචාර කොටසේ ලියූ පරිදි, තනි මැකෝ කෙනෙක් අවශ්‍ය වෙන්න ඇමරිකාව කියා කියන්නේ ලංකාව වැනි ඒකීය රටක් නෙමෙයි. ජාතික මැතිවරණයක් කියා කිවුවත් මේ පැවැත්වුනේ ප්‍රාන්ත හා ප්‍රාදේශීය මැතිවරණ විශාල ප්‍රමාණයක්. එම මැතිවරණ පැවැත්වෙන්නේ අදාළ ප්‍රාන්ත වල නීති අනුව. හැම ප්‍රාන්තයකම මැකෝ කෙනෙක් (තනතුරේ නම කුමක් වුවත් නිසි බලධාරියෙක්) ඉන්නවා. ඔවුන්ට නිල ප්‍රතිඵල ලබා දෙන්න යම් නිශ්චිත දිනයක් තිබෙනවා. එය ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා.

උදාහරණයක් විදිහට දැනටත් ප්‍රතිඵල අවිනිශ්චිතව තිබෙන ජෝර්ජියා ප්‍රාන්තයේ නීතිය අනුව මැතිවරණ දිනට පසු දින සිට එළඹෙන දාහත්වන දින පස්වරු 5ට පෙර (මේ අවුරුද්දේනම් නොවැම්බර් 20) ප්‍රාන්ත ලේකම් විසින් මැතිවරණ ප්‍රතිඵල සහතික කර ප්‍රාන්ත අධිපති (ගවනර්) වෙත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම නෙවාඩා ප්‍රාන්තයේ නීතිය අනුව ප්‍රතිඵල ලබා දිය යුත්තේ ඡන්දය පැවැත්වූ දිනයෙන් පසු එළඹෙන සිවුවන අඟහරුවාදා. මේ අවුරුද්දේනම් දෙසැම්බර් පළමුවැනිදා.

ලංකාවේ මෙන් ඇමරිකාවේ මැතිවරණය පැවැත්වුණු වහාම බල හුවමාරුවක් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඇත්තම ඡන්දය තිබෙන්නේ ජනවාරි 6 වෙනිදා. ජනාධිපති දිවුරුම් දෙන්නේ ජනවාරි 20 දවල් 12ට. මේ හැම දෙයක්ම සිදු වෙන නිශ්චිත පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙළ හදා තිබෙන්නේ අවශ්‍ය වැඩේ හරියට කරන්න අවශ්‍ය වන කාල පරතර සහිතවයි.

උදාහරණයක් විදිහට මැද පෙරදිග හමුදා කඳවුරක සේවය කරන සෙබලෙකුගේ තැපැල් ඡන්ද පත්‍රිකාව ඇමරිකාවේ අදාළ ප්‍රාන්තයට හා ප්‍රාන්තයේ නිශ්චිත කවුන්ටියට එන්න සති කිහිපයක් ගත වෙනවා. එවැනි ඡන්ද වල ප්‍රතිඵලය එකතු කරන තුරු නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. මා කියන්නේ මේ අවුරුද්ද ගැන පමණක් නෙමෙයි. ඕනෑම අවුරුද්දක තත්ත්වය එයයි.

නමුත්, මාධ්‍ය වලට හා මාධ්‍ය ප්‍රේක්ෂකයින්ට ඒ තරම් කල් බලා ඉන්න බැහැ. ඔවුන්ට මැතිවරණ ප්‍රතිඵල දැනගන්න විශාල හදිස්සියක් තිබෙනවා. ඒ නිසා, සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ගණන් කර අවසන් වූ පසු ඔවුන් ඔවුන්ගේ ඇස්තමේන්තු අනුව ජයග්‍රාහකයින්ව නිවේදනය කරනවා. සාමාන්‍ය අවුරුද්දකදී පසු වී ලැබෙන ඡන්ද සුළු ප්‍රමාණයක් නිසා මේ ප්‍රතිඵලය සමස්තයක් ලෙස වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, මාධ්‍ය ආයතනයකට ඔවුන්ගේ විශ්ලේෂන මත පදනම්ව අවසන් ප්‍රතිඵලය ඉතා ඉක්මණින් නිවේදනය කළ හැකියි. එහෙත්, 2000 වසරේදී ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවුනාක් මෙන්, අවසන් මැතිවරණ ප්‍රතිඵලය අවසන් ඡන්දය ගණන් කරන තුරුම අවිනිශ්චිත වන අවස්ථා තියෙන්න පුළුවන්. මෙවර ප්‍රාන්ත ගණනාවකම එවැනි තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ලම ජයග්‍රාහකයා කවුද කියා ඇස්තමේන්තු කර නිවේදනය කළ පසු මිනිස්සු එය පිළි ගන්නවා. අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙක් බොහෝ විට පරාජය පිළිගන්නවා. එයින් පසුව ජයග්‍රහකයා තමන්ගේ ජයග්‍රහණයේ කතාව පවත්වනවා. නමුත්, මේ කිසිවක් සිදු වන්නේ නිල වශයෙන් නෙමෙයි. නිල වශයෙන් ජනාධිපතිවරයා තේරෙන්නේ ජනවාරි මාසයේදී.

දැනට ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් අවසන් ප්‍රතිඵලය නිගමනය කර නැති ප්‍රාන්ත අතරින් ඇලස්කා ප්‍රාන්තය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජයගනු ඇති බව ඩිමොක්‍රටික් පාක්ෂිකයින් පවා පොදුවේ පිළිගන්නා දෙයක්. මගේ ඇස්තමේන්තුව අනුව 95%කට වඩා වැඩි ඉඩක් තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇලස්කා ප්‍රාන්තය ජය ගැනීමටයි. අවිනිශ්චිතතාවයක් තිබෙන්නේ ඉතා සුළු පරතරයක් තිබෙන ඉතිරි ප්‍රාන්ත පහ හා අදාළවයි.

ඇලස්කා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://www.elections.alaska.gov/results/20GENR/Map/

උතුරු කැරොලයිනා ප්‍රාන්තය තුළ මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඡන්ද 76,515කින් ඉදිරියෙන් සිටිනවා. ගණන් කරන්නට ඉතිරි වී තිබෙන ඡන්ද ප්‍රමාණය 99,000කට වඩා අඩු ප්‍රමාණයක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව, සෛද්ධාන්තිකව ජෝ බයිඩන්ට උතුරු කැරොලයිනාව ජය ගැනීමට තවමත් ඉඩක් තිබෙනවා. එහෙත්, ප්‍රායෝගිකව එම ඉඩ ඉතාම කුඩා ඉඩක්. 

ඉහත කී ඉතිරිව ඇති ඡන්ද ප්‍රමාණය යනු මේ වන තුරු ආපසු ලැබී නැති තැපැල් ඡන්දයි. මේ ඇතැම් තැපැල් ඡන්ද ලබාගත් අය තැපැල් ඡන්දය භාවිතා නොකර ඡන්ද මධ්‍යස්ථානකදී තමන්ගේ ඡන්දය දමා තිබෙන්නට පුළුවන්. තවත් අය ඡන්දය දමා නොතිබෙන්න පුළුවන්. තවත් අය ඡන්ද පත්‍රිකාව මැතිවරණ දිනයෙන් පසුව තැපැල් කර තිබෙන්නට පුළුවන්. 

මැතිවරණ දිනයේදී හෝ ඊට පෙර තැපැල් කර තැපැල් කන්තෝරු දින මුද්‍රාව වැදී පසුව ලැබෙන ඡන්ද ගණන් කර අවසන් කිරීම සඳහා කවුන්ටි මැතිවරණ මණ්ඩල වලට නොවැම්බර් 13 දක්වා කාලය හිමි වෙනවා. මැතිවරණ දින තැපැල් කරනු ලැබ, නොවැම්බර් 12 දින පස්වරු 5 දක්වා ලැබෙන උතුරු කැරොලයිනා ඡන්ද පත්‍රිකා වලංගු ඡන්ද සේ සැලකෙනවා. 

මෙසේ තැපෑලෙන් එන ඡන්ද සඳහා බලා සිටිය යුතු සහන කාලය පෙර මැතිවරණ වලදී දින තුනක් වුවත් ප්‍රාන්තයේ මැතිවරණ කොමිසම විසින් කෝවිඩ් වසංගතය නිසා එම කාලය දින නවයක් දක්වා දිගු කළා. මේ තීරණයට එරෙහිව රිපබ්ලිකන් පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත තීරණය අනුමත කළා.  

මේ අනුව උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ අවසන් ප්‍රතිඵලය දැනගැනීම සඳහා ඉදිරි සතිය තුළ තැපෑලෙන් පැමිණීමට ඉඩ තිබෙන ඡන්ද පත්‍රිකා ගණන් කර අවසන් වන තුරු බලා ඉන්න වෙනවා. 

උතුරු කැරොලිනා මැතිවරණ මණ්ඩලය විසින් අවසන් වරට යාවත්කාලීන කර ප්‍රසිද්ධ කර තිබෙන නිල නොවන සමස්ත ප්‍රතිඵලය පහත සබැඳියෙන් බලා ගන්න පුළුවන්.

උතුරු කැරොලයිනා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://er.ncsbe.gov/?election_dt=11/03/2020&county_id=0&office=FED&contest=1373

ඉහත කී ලැබෙන්නට ඉඩ තිබෙන ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රමාණයක් නැවත ආපසු නොලැබෙනු ඇති බව හා එසේ ලැබෙන ඡන්ද පත්‍රිකා වලින් යම් කොටසක් වලංගු ඡන්ද නොවිය හැකි බව පැහැදිලි කරුණක්. අලුතෙන් එකතු වන සමස්ත ඡන්ද ප්‍රමාණය 76,515 ඉක්මවූවේ නැත්නම් ජෝ බයිඩන්ට කෙසේවත් උතුරු කැරොලයිනා ප්‍රාන්තය ජයගන්න බැහැ. ඒ සඳහා ඊට වඩා වැඩි වලංගු ඡන්ද ප්‍රමාණයක් අලුතෙන් එකතු විය යුතුයි. එහෙත්, එසේ අලුතෙන් එකතු වන ඡන්ද සියල්ලම ජෝ බයිඩන් විසින් ලබා ගනු ඇතැයි හිතන්න බැහැ. ඒ නිසා, මගේ ඇස්තමේන්තුව අනුව 90%කට වඩා වැඩි ඉඩක් තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කැරොලිනා ප්‍රාන්තය ජය ගැනීමටයි. 

දැනට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්ථිර ලෙස හිමි වී ඇති සේ සැලකෙන නියෝජිතයින් ගණන 214ක් පමණයි. එම ගණනට ඇලස්කා හා උතුරු කැරොලයිනා නියෝජිතයින් එකතු කළොත් ට්‍රම්ප්ගේ නියෝජිතයින් ගණන 232 දක්වා ඉහළ යනවා. එසේ වුවත්, ඔහුට 270 සීමාවට යාම සඳහා තවත් නියෝජිතයින් 38 දෙනෙකුගේ අඩුවක් තිබෙනවා.

මේ වන විට ජෝර්ජියා ප්‍රාන්තය තුළ ජෝ බයිඩන් ඉදිරියෙන් සිටියත්, ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමාණය 7,248ක් පමණයි. තවමත් ගණන් කරන්නට ඉතිරි වී තිබෙන්නේ රටින් පිට සිට ඡන්දය භාවිතා කළ අයගේ හා හමුදා සේවයේ යෙදී සිටි 8,400 දෙනෙකුගේ ඡන්ද හා "ද්වීතියික ඡන්ද" 14,200ක් පමණයි. ද්වීතියික ඡන්ද සියල්ලම වලංගු ඡන්ද නෙමෙයි. හමුදා සාමාජිකයින්ගේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් ට්‍රම්ප්ට ලැබෙන්නට ඉඩ තිබෙන නමුත් ද්වීතියික ඡන්ද අපේක්ෂකයින් දෙදෙනාගෙන් කාට වුනත් ලැබෙන්න පුළුවන්. පරතරය ඉතා අඩු වුවත්, මගේ ඇස්තමේන්තුව අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙම පරතරය පියවා ගැනීමට මේ වන විට ඉතිරිව තිබෙන්නේ 20%කට වඩා අඩු ඉඩක්. 80%ක්ම ඉඩ තිබෙන්නේ ජෝර්ජියා ප්‍රාන්තය ජෝ බයිඩන්ට හිමි වීමටයි.

ජෝර්ජියා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://results.enr.clarityelections.com/GA/105369/web.264614/#/summary

ඇතැම් මාධ්‍ය ආයතන විසින් කළින්ම ජෝ බයිඩන්ට ලියා දුන් ඇරිසෝනා ප්‍රාන්තයේ ජෝ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය මේ වන විට 20,573 දක්වා ක්‍රමයෙන් අඩු වී තිබෙන අතර තවත් ඡන්ද 92,000 දක්වා ප්‍රමාණයක් ගණන් කිරීමට තිබෙනවා. මේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලැබී ඉහත පරතරය අඩු වෙන්නට ඉඩක් තිබුණත්, පරතරය පියැවී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රාහකයා වෙන්නනම් අවම වශයෙන් ඉතිරි ඡන්ද වලින් 60%කට වඩා ඔහුට ලැබිය යුතුයි. මේ ඡන්ද ගණන් කිරීමට ඉතිරිව තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂය ඉදිරියෙන් සිටින කවුන්ටි වල නිසා එය සිදු විය නොහැක්කක් නෙමෙයි. මගේ ඇස්තමේන්තුව අනුව තවමත් ඇරිසෝනා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමේ ඉඩක් ට්‍රම්ප්ට ඉතිරිව තිබෙනවා. අපි කියමු 20%ක පමණ ඉඩක් කියා. 

ඇරිසෝනා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://results.arizona.vote/#/featured/18/0

නෙවාඩා ප්‍රාන්තය තුළ ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින්නේ වැඩි ඡන්ද 25,699කින් පමණක් වුවත්, මෙම පරතරය වැඩි වෙන්නට මිස අඩු වෙන්නට ඉඩක් මට පෙනෙන්නේ නැහැ. නෙවාඩා ප්‍රාන්තයේ තවත් ඡන්ද විශාල ප්‍රමාණයක් ගණන් කරන්නට ඉතිරි වී ඇතත් එම ඡන්ද ගණන් කර අවසන් වෙද්දී ජෝ බයිඩන්ගේ වැඩි ඡන්ද තවත් වැඩි වන්නට මිස අඩු වන්නට ඉඩක් නැහැ. මේ අනුව, සෛද්ධාන්තිකව ට්‍රම්ප්ට නෙවාඩා ප්‍රාන්තය ජයග්‍රහණය කළ හැකි වුවත් ප්‍රායෝගිකව ඒ සඳහා තිබෙන්නේ ඉතාම අඩු ඉඩක්. දැනට තිබෙන තොරතුරු මත පදනම්ව කෙරෙන මගේ ඇස්තමේන්තුව අනුව මේ ඉඩත් 20%කට වඩා අඩුයි.

නෙවාඩා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://silverstateelection.nv.gov/

ඇරිසෝනා, නෙවාඩා හා ජෝර්ජියා ප්‍රාන්ත ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජය ගැනීමට තිබෙන්නේ බොහෝ අඩු ඉඩක්. යම් හෙයකින් මේ ප්‍රාන්ත තුනම ඔහු ජය ගත්තත්, ඔහුගේ නියෝජිතයින් ගොඩට එකතු වන්නේ නියෝජිතයින් 33 දෙනෙකු පමණයි. එවිටද ඔහුගේ එකතුව 265ක් පමණයි. ජයග්‍රහණය සඳහා අවම වශයෙන් නියෝජිතයින් 270ක් අවශ්‍යයි.

නියෝජිතයින් 20 දෙනෙකු සිටින පෙනිසිල්වේනියාව දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණේ මේ හේතුව නිසයි. අවම වශයෙන් නියෝජිතයින් 253 දෙනෙකු හිමි කරගෙන සිටි බයිඩන්ගේ ගොඩට පෙනිසිල්වේනියා නියෝජිතයින් 20 එකතු වූ වහාම, ඉතිරි අවිනිශ්චිත ප්‍රාන්ත වල තත්ත්වය කෙසේ වුවත්, බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු වෙනවා. ට්‍රම්ප්ට ජයග්‍රහණය සඳහා තිබෙන ඉඩකඩ ඇහිරෙනවා.

පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහකයා ජෝ බයිඩන් බව මේ වෙද්දී සියලුම ප්‍රධාන ජනමාධ්‍ය විසින් තහවුරු කර තිබෙන අතර ඒ සමඟම ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් ජයග්‍රහණය සමරමින් සිටිනවා. මේ වන විට පෙනිසිල්වේනියා ප්‍රාන්තය තුළ ජෝ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 34,458 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ගණන් කිරීමට ඉතිරිව තිබෙන්නේ තවත් ඡන්ද 76,498ක් පමණයි. මේ ඡන්ද තැපැල් ඡන්ද. මෙතෙක් රටාව අනුව තැපැල් ඡන්ද වලින් 75%ක් පමණම ලැබුනේ ජෝ බයිඩන්ට නිසා ඉතිරි ඡන්ද ගණන් කර අවසන් වෙද්දී මෙම වැඩි ඡන්ද ප්‍රමාණය 50,000 පමණ මට්ටමක් දක්වා තවත් ඉහළ යාමට ඉඩ තිබෙනවා. 

මේ වන විට පවතින තත්ත්වය අනුව, නීතිමය බාධාවක් ඇති නොවුනහොත්, පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහණය ජෝ බයිඩන්ට හිමි වීමටත්, ඒ අනුව ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ජෝ බයිඩන් වීමටත් තිබෙන සම්භාවිතාව 100%ක් කියා සෛද්ධාන්තික හේතු මත කියන්න පුළුවන්කමක් නැතත් 99%කට වඩා වැඩි බව කියන්න පුළුවන්. එහෙත්, නඩු තීන්දු මත මේ තත්ත්වයේ වෙනසක් වෙන්න බැරිකමක් නැහැ.

පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://www.electionreturns.pa.gov/

දැන් තත්ත්වය අනුව පෙනෙන්නේ 306: 232 ලෙස නියෝජිතයින් බෙදීයාමට වැඩි ඉඩක් තිබෙන බවයි. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සමරන්න බලා සිටි අයට දැන් එය සැමරිය හැකියි. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය බලාගෙන සිටි අයට දැන් තිබෙන්නේ දුක සමරන්නයි. දෙගොල්ලන්ටම චියර්ස්!


Friday, November 6, 2020

ඇමරිකාවේ මොකද වෙන්නේ?


මේ වෙලාවේ බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ ඇමරිකාව දිහා. ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයක් තවමත් නිකුත් වෙලා නැහැ. ඇමරිකාවේ මොකද වෙන්නේ?

පළමුවෙන්ම කියන්න තිබෙන්නේ පසුගිය නොවැම්බර් 3 වන දින හා ඊට පෙර පැවැත්වුණු, තවමත් පවත්වා ඉවර නැති, ඡන්ද වලින් ඇමරිකාවේ ජනාධිපතිවරයාව නිශ්චිත ලෙස තෝරා පත් කර ගැනෙන්නේ නැහැ. ඇමරිකාවේ ජනාධිපතිවරයාව තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 14 වනදා. දෙසැම්බර් 14 දින ලබා දෙන ඡන්ද ගණන් කර ජයග්‍රාහකයා තීරණය කරන්නේ ජනවාරි 6 වනදා.

ඇමරිකාවේ ජනාධිපතිවරයාව තෝරා ගැනීම සඳහා 538 දෙනෙකු ඡන්දය භාවිතා කරනවා. එසේ ඡන්දය භාවිතා කරන්නේ එක් එක් ප්‍රාන්තයේ නියෝජිතයින් ලෙසයි. ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන නියෝජිතයින් ප්‍රමාණය ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කැලිෆෝර්නියා ප්‍රාන්තයට නියෝජිතයින් 55 දෙනෙකු හිමි වන නමුත් මොන්ටානා, වයෝමින්, උතුරු ඩකෝටා, දකුණු ඩකෝටා, ඇලස්කා, ඩෙලවෙයා වැනි ප්‍රාන්ත වලට හිමි වන්නේ නියෝජිතයින් 3 දෙනෙකු බැගින් පමණයි. වොෂින්ටන් ඩීසී අගනුවර නියෝජනය කරමින්ද නියෝජිතයින් 3 දෙනෙකුට ඡන්දය භාවිතා කළ හැකියි.

එක් එක් ප්‍රාන්තය නියෝජනය කරන නියෝජිතයින් විසින් ඡන්දය භාවිතා කළ යුතු ආකාරය තීරණය වෙන්නේ අදාළ ප්‍රාන්තයේ නීතිය අනුවයි. ප්‍රාන්ත දෙකක් හැර අනෙකුත් සියලුම ප්‍රාන්ත විසින් දැනට කරන්නේ තමන්ගේ ප්‍රාන්තයේ ඡන්දදායකයින් වැඩිම පිරිසකගේ සහයෝගය ලබන ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රාන්තයට හිමි ඡන්ද සියල්ල ලබා දීමයි. ප්‍රාන්ත දෙකක් පමණක් මිශ්‍ර ක්‍රමයක් අනුගමනය කරනවා.

නොවැම්බර් 3 වන දින පැවැත්වුණේ තනි මැතිවරණයක් නෙමෙයි. වොෂින්ටන් ඩීසී අගනුවරද ඇතුළුව එක් එක් ප්‍රාන්තයේ මැතිවරණ නීතිය අනුව පැවැත්වුණු මැතිවරණ 51ක්. මේ මැතිවරණ වල ප්‍රතිඵල අනුව, එක් එක් ප්‍රාන්තයට තමන්ට හිමි නියෝජිතයින් ප්‍රමාණය තෝරා ගන්නා ආකාරය තීරණය කරන්නට දෙසැම්බර් 8 දක්වා කල් තිබෙනවා. මෙය කරන්නේ නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් ප්‍රාන්තයක නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ දිනයේ සිට සති දෙකක පමණ සිට මාසයක් පමණ දක්වා කාලයක් ගත වෙනවා. ලංකාවේ මෙන් මැතිවරණයට පසු දින නිල මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර අවසන් කරන්නේ නැහැ.

මේ වන විට විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වන මැතිවරණ ප්‍රතිඵල කිසිවක් නිල ප්‍රතිඵල නෙමෙයි. අදාළ මාධ්‍ය වල විශ්ලේෂකයින් විසින් පිළියෙල කර තිබෙන අපේක්ෂිත ප්‍රතිඵල. මේ අපේක්ෂිත ප්‍රතිඵල වැරදෙන්න විශාල ඉඩක් නැතත් එවැන්නක් සිදු වෙන්න බැරිකමක් නැහැ.

විවිධ මාධ්‍ය ආයතන වලට සම්බන්ධ හා වෙනත් ස්වාධීන විශ්ලේෂකයින් විසින් පිළියෙළ කර ප්‍රසිද්ධ කරන මැතිවරණ ප්‍රතිඵල බොහෝ විට සමාන වුවත් හැම විටම එසේ වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස ප්‍රංශ පුවත් සේවයේ විශ්ලේෂකයින් විසින් ඇරිසෝනා ප්‍රාන්තයේ ජයග්‍රහණය කලින්ම ජෝ බයිඩන්ට ලියා දී ඇති නමුත් අනෙක් විශ්ලේෂකයින් හැම දෙනෙකුම මෙන් තවමත් එම ප්‍රාන්තය සලකන්නේ අවසන් ප්‍රතිඵලය ස්ථිර ලෙස තීරණය නොවූ ප්‍රාන්තයක් ලෙසයි.

බොහෝ විශ්ලේෂලකයින්ට අනුව, මේ වන විට ප්‍රාන්ත හයක හැර අනෙකුත් ප්‍රාන්ත වල ප්‍රතිඵලය තීරණය වී අවසන්. ඒ අනුව, ඔවුන් එම ප්‍රාන්ත රතු, නිල් හෝ මිශ්‍ර පැහැයකින් පාට කර තිබෙනවා. එහෙත්, එසේ කර තිබෙන්නේ ඡන්ද ගණන් කර අවසන්ව ඇති නිසා නෙමෙයි. 

උදාහරණයක් ලෙස ප්‍රංශ පුවත් සේවයට අනුබද්ධ විශ්ලේෂකයන්ගේ ඇස්තමේන්තු අනුව, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ මේ වන විට ගණන් කර අවසන්ව තිබෙන ඡන්ද ප්‍රමාණය වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 77.6%ක්. එම ගණන් කර අවසන් ඡන්ද ප්‍රමාණයෙන් 65.08%ක් ජෝ බයිඩන් විසිනුත්, 33.04%ක් ට්‍රම්ප් විසිනුත් ලබා ගෙන තිබෙනවා. ප්‍රංශ පුවත් සේවයේ වගේම අනෙකුත් විශ්ලේෂකයන්ගේ නිගමනය අනුව, ඉතිරි ඡන්ද ප්‍රමාණය ගණන් කිරීමෙන් පසුව කැලිෆෝර්නියා ප්‍රාන්තය තුළ ට්‍රම්ප්ට ඉදිරියට එන්න කිසිදු ඉඩක් ඉතිරි වී නැහැ. මේ අයුරින්ම මේරිලන්ඩ් ප්‍රාන්තයේ මේ වන විට ගණන් කර අවසන්ව තිබෙන ඡන්ද ප්‍රමාණය 74.28%ක් පමණක් වුවත්, එම ඡන්ද ප්‍රමාණයෙන් 62.47%ක්ම ලබා ගෙන තිබෙන්නේ ජෝ බයිඩන් විසින් නිසා ට්‍රම්ප්ට ඉදිරියට එන්න කිසිදු අවස්ථාවක් නැහැ. 

කැලිෆෝර්නියා හා මේරිලන්ඩ් වැනි ප්‍රාන්ත හා අදාළව ඉහත ආකාරයේ නිගමනයකට පැමිණෙන්න අසීරු නැහැ. එහෙත්, ඇරිසෝනා ප්‍රාන්තය වැනි ප්‍රාන්තයක් සම්බන්ධව එවැනි නිගමනයකට පැමිණෙන්න අමාරුයි. මේ වෙද්දී, ප්‍රංශ පුවත් සේවයේ ඇස්තමේන්තු අනුවම ඇරිසෝනා ප්‍රාන්තයේ ඡන්ද වලින් ගණන් කර අවසන්ව ඇත්තේ 92.81%ක් පමණයි. එම ඡන්ද වලින් 50.07ක් බයිඩන් විසින් ලබා ගෙන ඇතත්, ට්‍රම්ප් විසින්ද 48.53%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා. සංඛ්‍යාත්මක පරතරය ඡන්ද 47,052ක් පමණයි. ඉතිරි ඡන්ද ගණන් කර අවසන් වෙද්දී මේ ප්‍රතිඵලයේ වෙනසක් වෙන්න බැරිකමක් නැහැ. ඒ නිසා, අනෙකුත් විශ්ලේෂකයින් විසින් තවමත් ඇරිසෝනා නියෝජනය කිසිදු අපේක්ෂකයෙකුට ලියා දී නැහැ.

හැම ප්‍රසිද්ධ මාධ්‍යයක්ම වාගේ බයිඩන් දිනන බව පැහැදිලිව පෙනෙන්නට ඇති ප්‍රාන්ත කළින්ම නිල් පාටින් ලකුණු කරන්න හදිස්සි වී ඇතත්, ට්‍රම්ප් දිනන බව පැහැදිලිව පෙනෙන ප්‍රාන්ත රතු පාටින් ලකුණු කරන්නට එසේ හදිසි වී නැහැ. උදාහරණයක් ලෙස මේ වන විට ට්‍රම්ප් විසින් 62.11%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර තිබෙන ඇලස්කා ප්‍රාන්තය කිසිදු විශ්ලේෂකයෙකු විසින් තවමත් රතු පාටින් පාට කර නැහැ.

කෙසේ වුවත්, මේ වෙද්දී ට්‍රම්ප්ට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් නැති තරම් කියා කියන්න පුළුවන්. අවිනිශ්චිත ප්‍රාන්ත සියල්ල අත හැරීමෙන් පසුව දැනට බයිඩන්ට 253ක නියෝජනයක් හිමිව තිබෙනවා. ජයග්‍රහණය සඳහා ඔහුට තවත් අවශ්‍ය වන්නේ නියෝජිතයින් 17 දෙනෙකු පමණයි.

මේ සඳහා පහසුම මාර්ගය පෙනිසිල්වේනියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමයි. ඒ සමඟම, අනෙක් ප්‍රාන්ත වල තත්ත්වය කුමක් වුවත්, බයිඩන්ගේ නියෝජිතයින් ප්‍රමාණය 273 දක්වා ඉහළ ගොස් ඔහුගේ ජයග්‍රහණය තහවුරු වෙනවා. මේ වන විට තත්ත්වය අනුව පෙනිසිල්වේනියා ප්‍රාන්තයෙන් ජෝ බයිඩන් ඉදිරියට පැමිණ තිබෙනවා. දැනට ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමාණය 5,587ක් පමණක් වුවත්, එම ප්‍රාන්තයේ ගණන් කිරීමට ඉතිරිව තිබෙන ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක්ද ලැබෙන්නට ඉඩ තිබෙන්නේ ජෝ බයිඩන්ටයි. 

ඇලස්කා හා උතුරු කැරොලයිනා ප්‍රාන්ත ජයගන්නට ඉඩ තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බව පෙනෙන්නට තිබෙන අතර බයිඩන් දැනට ඉදිරියෙන් සිටින ජෝර්ජියා, නෙවාඩා හා ඇරිසෝනා ප්‍රාන්ත හා අදාළවද තවමත් අවිනිශ්චිත බවක් තිබෙනවා. එහෙත්, පෙනිසිල්වේනියා ප්‍රාන්තය ජයග්‍රහණය නොකර ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයග්‍රහණය කිරීමට කිසිදු හැකියාවක් නැහැ. මේ අනුව, ට්‍රම්ප්ගේ අවසන් බලාපොරොත්තුවත් සුන් වෙන්නට ආසන්නයි.


Wednesday, November 4, 2020

මැතිවරණයෙන් පසු...


ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ජයග්‍රාහකයා කවුද කියන එක මේ මොහොත වන තුරුත් නිශ්චිත ලෙස තීරණය වී නැහැ. බොහෝ දුරට ජයග්‍රාහකයා වනු ඇත්තේ ජෝ බයිඩන්. ජනාධිපතිවරණය කියා කිවුවත් මෙහිදී වෙන්නේ ජනාධිපතිවරයාව තෝරා ගැනීමේ බලය තිබෙන නියෝජිතයින් 538 දෙනෙකු තෝරා පත් කර ගැනීමයි. ජයග්‍රාහකයා වෙන්නනම් එයින් නියෝජිතයින් 270 දෙනෙකුගේ ඡන්ද ලබාගත යුතුයි. 

විවිධ රූපවහිනී නාලිකා වලින් පෙන්වන්නේ එම නාලිකා වල ඇස්තමේන්තු මිස නිල ප්‍රතිඵල නෙමෙයි. ඒවා එකිනෙකින් වෙනස් වන්නේ ඒ නිසයි. දැනට ගණන් කර අවසන් ඡන්ද ප්‍රමාණ අනුව මේ ප්‍රතිඵල නිවැරදි වෙන්න විශාල ඉඩක් තිබුණත් එසේ නොවෙන්නත් පුළුවන්. 

දැනට තිබෙන තත්ත්වය අනුව හා මා ඇස්තමේන්තු කරන ආකාරය අනුව වඩාත්ම ඉඩ තිබෙන්නේ බයිඩන්ට නියෝජිතයින් 270ක් හා ට්‍රම්ප්ට නියෝජිතයින් 268 ලෙස නියෝජිතයින් බෙදී යන්නයි. එසේ වුවහොත් එය කෙස් ගහෙන් කඩඉම පැන ලබන ජයග්‍රහණයක්. 

මේ ප්‍රතිඵලය මෙසේ නොවී වෙනස් වෙන්න ඕනෑ තරම් ඉඩ තිබෙනවා. බයිඩන්ගේ නියෝජිතයින් ගණන සැලකිය යුතු ලෙස වැඩි වීමේ සිට ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම දක්වා දේවල් සිදු වෙන්න තවමත් ඉඩ තිබෙනවා. ඒ වගේම, ජනවාරි දක්වා කාලය තුළ ජනාධිපතිවරණය හා අදාළ නඩු තීන්දු ඇතුළු තවත් බොහෝ දේවල් දෙස බලා ඉන්න වෙයි. කෙසේ වුවත්, මේ වෙද්දී ට්‍රම්ප්ට නැවත ජනාධිපති වීමට තිබෙන ඉඩකඩ බොහෝ දුරට ඇහිරී අවසන්.

ජනමත සමීක්ෂණ මත පදනම් වෙමින් ජෝ බයිඩන් දිනන බව බොහෝ තැන් වල පුරෝකථනය කෙරී තිබුණා. එහෙත්, ඒ පිළිබඳව බොහෝ දෙනෙකුට වැඩි විශ්වාසයක් තිබුණේ නැහැ. පසුගිය 2016 ජනාධිපතිවරණයේදී මේ ආකාරයෙන්ම සිදු කළ පුරෝකථන නිවැරදි නොවීම එයට හේතුවයි. 

මෙවර පුරෝකථන සිදු කළ අය 2016 සිදුවීමෙන් පාඩමක් උගෙන තමන්ගේ ආකෘති සීරුමාරු කර තිබුණත් දැන් දැකිය හැකි ප්‍රතිඵලය අනුව පෙනෙන්නේ එසේ සීරුමාරු කිරීමෙන් පසුවද එම ආකෘති එතරම් ඵලදායී වී නැති බවයි. දිනුවත් පැරදුනත් පුරෝකථන වලට සාපේක්ෂව ට්‍රම්ප් බොහෝ ඉදිරියෙන් ඉන්නවා.

සාමාන්‍යයෙන් ඇමරිකාවේ ජනාධිපති මාරු වුනා කියා රට ඇතුළේ මහා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. බොහෝ ඇමරිකානුවන් ඡන්දය දමන්නවත් උනන්දු නොවෙන්නේ ඒ නිසයි. එහෙත්, මේ වෙද්දී ඇමරිකානුවන් පක්ෂ වශයෙන් ධ්‍රැවීකරණය වී තිබෙන තරම අනුව හා තවත් හේතු නිසා පෙර නිරීක්ෂණය අනාගතයට එලෙසම වලංගු නොවෙන්න පුළුවන්.

ඇමරිකානුවෙකුගේ දේශපාලන පක්ෂය බොහෝ විට රහසිගත, පෞද්ගලික කරුණක් නෙමෙයි. බොහෝ දෙනෙක් කිසියම් පක්ෂයක ලියාපදිංචි සාමාජිකයෙක්. මා ජීවත්වන ප්‍රදේශය බහුතර රිපබ්ලිකන් ප්‍රදේශයක්. එහෙත්, මගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් ඩිමොක්‍රටික් පාක්ෂිකයින්.

මා මේ පක්ෂ දෙකෙන් එකකවත් සාමාජිකයෙකු නෙමෙයි. මගේ පෞද්ගලික අනන්‍යතාව සාමූහික අනන්‍යතාවයකට යටපත් කරගන්න මම පෞද්ගලිකව කැමති නැහැ. 

පෞද්ගලිකව මට ට්‍රම්ප් කියා කියන්නේ මගේ ඇතැම් මිතුරු මිතුරියන්ට මෙන් නම ඇහෙන කොට මළ පනින, පෙන්නන්න බැරි පුද්ගලයෙක් නෙමෙයි. ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ ගත් විවිධ තීරණ නිසා රටක් ලෙස ඇමරිකාව කෙරෙහි හා ඇමරිකාවේ ආර්ථිකය කෙරෙහි සාධනීය බලපෑමක් සිදු වූ බව මගේ අදහසයි. එහෙත්, මා තීරණ ගන්නේ පළමුව මවුබිම යන පදනමින් හෝ පළමුව ආර්ථිකය කියන පදනමින් නෙමෙයි. 

පළමු පරම්පරාවේ සංක්‍රමණිකයෙකු වන මා ඇමරිකාවේ ජීවත් වෙද්දී සංක්‍රමණිකයෙකුට හෝ පොදුවේ සුළුතර කණ්ඩායමක සාමාජිකයෙකුට හිමිවන සාමාජික අවකාශය පුළුල් වන සමාජ දේශපාලනික වටපිටාවක් පවතිනු දකින්න කැමතියි. ට්‍රම්ප් වැනි නායකයෙකු දිගටම බලයේ සිටීම ඒ අවකාශය පුළුල් කර ගැනීමට බාධාවක්.

සාමාන්‍යයෙන් මා හැම විටම වාගේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර බල තුලනයක් දකින්න කැමති කෙනෙක්. එසේ වූ තරමට ආණ්ඩුවකට ලොකු දේවල් කරන්න තිබෙන ඉඩකඩ ඇහිරෙනවා. කවුරු දිනුවත්, මේ මැතිවරණයෙන් පසුව ඇමරිකාව තුළ එවැනි බල තුලනයක් දකින්නට ලැබෙන බවනම් පැහැදිලියි. 



Sunday, November 1, 2020

හැලෝවීන් අවුරුද්දේ ඡන්ද කෙරුවාව


හෙට පළ කිරීමේ අදහසින්, මේ ලිපිය ලියද්දී ගෙවෙන්නේ හැලෝවීන් රාත්‍රියයි. මේ අවුරුද්දේ බය හිතෙන ඇඳුම් ඇඳගෙන අසල්වැසියන් අමුතුවෙන් බය කරන්න දෙයක් නැහැ. මේ අවුරුද්දම හැලෝවීන් අවුරුද්දක්. 

හැලෝවීන් දවසට පෙර සිකුරාදා දිනයේදී ඇමරිකාවෙන් අලුතෙන් හඳුනා ගැනුණු කෝවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂයකට වැඩියි. මේ තනි රටකින් එක් දිනයක් තුළ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂයකට වඩා හඳුනා ගැනුණු පළමු අවස්ථාවයි. ඉන්දියාව ලක්ෂය කිට්ටුවටම ගියත් ලක්ෂය ඉක්මවූයේ නැහැ. එළඹෙන ශීත සෘතුව තුළ ඇමරිකාවේ මේ වාර්තාව ඇමරිකාව විසින්ම නැවත නැවත වාර ගණනාවක් අලුත් කරනු ඇතැයි පුරෝකථනය කළ හැකියි.

අපේ ප්‍රාන්තයේ තත්ත්වයේත් වෙනසක් නැහැ. ප්‍රාන්තය තුළින් පසුගිය සිකුරාදා හඳුනා ගැනුණු කෝවිඩ් ආසාදිතයින් ගණනද අලුත් වාර්තාවක්. මෙසේ සිදුවුනේ අපේ ප්‍රාන්තයේ පාලකයින්ගේ වරදින් නෙමෙයි. අපේ ප්‍රාන්තය වසා දැමුවේ කෝවිඩ් ආසාදිතයින් ඉතාම සුළු ප්‍රමාණයක් හඳුනා ගැනුණු වහාමයි. දැනටත් පාසැල් සරසවි, රජයේ කාර්යාල ආදිය පූර්ණ ලෙස විවෘතව නැතුවා වගේම මුහුණු වැසුම් නීතිය, අඩි හයේ නීතිය ආදියද හොඳින් ක්‍රියාත්මක වෙනවා. කෝවිඩ් ව්‍යාප්තිය මන්දගාමී කළ හැකි වුවත් වැළැක්විය හැකි එකක් නෙමෙයි.

යුරෝපයේ බොහෝ රටවල දැකිය හැක්කේත් ඇමරිකාවේ රටාවමයි. එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, රුසියාව, ඉතාලිය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ඩෙන්මාර්කය වැනි ශීත සෘතුව එළිපත්තේ සිටින කවර යුරෝපීය රටක් දෙස බැලුවත් දෙවන රැල්ල යන්නේ පළමු රැල්ලට වඩා ගොඩක් ඉහළින් බව පහසුවෙන් නිරීක්ෂනය කළ හැකියි. මෙය වසංගතයේ පැතිරීම ආරම්භ වෙද්දීම ආකෘති අනුසාරයෙන් නිවැරදිව පුරෝකථනය කර තිබුණු තත්ත්වයක්. ඒ වගේම, බටහිර හැම රටක්ම වගේ මේ තත්ත්වයට මුහුණ දීම සඳහා කලින් සැලසුම් කළා. ප්‍රධානම හේතුව නොවුනත්, ආසාදිතයින් වැඩි වන තරමට මරණ ඉහළ නොයාමට මෙය ප්‍රධාන හේතුවක්.

පසුගිය මාර්තු මාසයේ සිටම අප සිටියේ ගෙදරටම වී බව මා කිහිප වරක්ම සටහන් කර තිබෙනවා. දෙසතියකට පෙර අප ඡන්දය දැමීම සඳහා එළියට ගියා. මාර්තු මාසයෙන් පසුව මෙවැනි ජනාකීර්ණ තැනකට ගියේ පළමු වරටයි. පැය එකහමාරකට වඩා වැඩි වෙලාවක් පෝලිමේ ඉන්න සිදු වුනා. 




පෝලිමේ අන්තිමට කිට්ටුව සිටි දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු ඇප් එකකින් පරීක්ෂා කර අපට දැනුම් දුන්නේ ඡන්දය දැමීමට පැයකුත් මිනිත්තු හතළිස් පහක් පෝලිමේ ඉන්නට සිදුවනු ඇති බවයි. මිනිත්තු පහළොවකින් ඡන්දය දැමීමට අවශ්‍යනම් වෙනත් ඡන්ද පොළකට යා හැකි බවද ඔහු දැනුම් දුන්නා. ඒ ඡන්ද පොළට මිනිත්තු දහ පහළොවකින් යා හැකි වුවත් අප එහිම නැවතුනා. අපට පසුව පැමිණි වෙනත් ඇතැම් අය අනෙක් ඡන්ද පොළට පිටත්ව ගියා.

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේදීද මෙසේ කලින් ඡන්දය දැමීමට ගොස් පැය හතරක් හෝ පහක් පමණ පෝලිමේ සිටි නිසාත්, එළියට බැස්සේ සෑහෙන කාලයකට පසු නිසාත් ටිකක් පෝලිමේ ඉන්න එකේ අවුලක් දැනුනේ නැහැ. මේ දවස් වල පරිසරයත් ඉතාම ලස්සනයි. හැමෝම අඩි හයේ පරතරය තබාගෙන පෝලිමේ සිටි නිසාත්, මුවවැසුම් පැළඳ සිටි නිසාත් ඒ වෙලාවේ ලොකු අවදානමක් ඇති බවක් දැනුනේ නැහැ. එහෙත් කළේ මෝඩ වැඩක්ද කියා පසුවනම් හිතුනා. පෝලිමේ පැය එකහමාරක් ගත නොකර අනෙක් ඡන්ද පොළට යන්න තිබුණා වගේම තැපෑලෙන් ඡන්දය දමන්නත් අවස්ථාව තිබුණා.

ඇමරිකාවේ සියලුම ඡන්ද පැවැත්වෙන්නේ එකම නිශ්චිත දිනයක වුවත් එම දිනයට පෙර තමන්ට පහසු දිනයක ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාවද තිබෙනවා. මෙය ලියන මොහොත වන විට ඇමරිකානුවන් 91,222,908 දෙනෙකු ඡන්දය දමා අවසන්.  එයින් 33,141,215 දෙනෙකු ඡන්ද මධ්‍යස්ථානයකදීත්, 58,081,693 දෙනෙකු තැපැල් මාර්ගයෙනුත් ඡන්දය භාවිතා කර තිබෙනවා. මෙම ප්‍රමාණය පසුගිය වර භාවිතා කළ ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්. මීට අමතරව තවත් 33,119,293 දෙනෙකු මේ වන විට තැපැල් ඡන්ද පත්‍රිකා ලබා ගෙන තිබෙනවා. ඒ අනුව මැතිවරණ දිනයේදී ඡන්දය දමන්නට වැඩි පිරිසක් ඉතිරි වන එකක් නැහැ. 

බොහෝ දෙනෙකු අවධානය යොමු කරන්නේ ජනාධිපති තරඟය දෙස වුවත් ඇමරිකාවේ මැතිවරණයක් කියන්නේ ජාතික මට්ටමින්, ප්‍රාන්ත මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් විධායකයේ, ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ තනතුරු ගණනාවක් මහජන ඡන්දයෙන් පුරවන අවස්ථාවක්. ජාතික මට්ටමේදී ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා මෙන්ම සෙනෙට් සභාවේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින් තෝරා ගැනීම සඳහාත්, ප්‍රාන්තයේ අධිපතිවරයා හා නියෝජ්‍ය අධිපතිවරයා මෙන්ම ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායකයේ එනම් සෙනෙට් සභාවේ හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභිකයින්, ප්‍රාදේශීය මට්ටමෙන් කොමසාරිස් වරුන් හා කවුන්ටි කවුන්සලයේ සභිකයින්, ප්‍රාන්ත මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා අධිකරණ ගණනාවක විනිශ්චයකාරවරුන් හා උසාවි ලිපිකරුවන් මෙන්ම නීතිපතිවරයා, ප්‍රාන්ත වල හා කවුන්ටි වල විගණකාධිපතිවරුන් හා භාණ්ඩාගාරිකයන් මෙන්ම පාසැල් පාලක මණ්ඩල ඇතුළු තනතුරු ගණනාවක් මහජන ඡන්දයෙන් පිරවෙන හෝ අනුමත වන නිසා ඡන්ද පත්‍රිකාව දිගු එකක්. මේ තනතුරු පිරවීමට අමතරව බදු වැඩි කිරීම් වැනි දේ ඇතුළු ඇතැම් නීති සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණද මේ ඡන්ද පත්‍රිකාවටම එකතු වෙනවා.

කෙසේ වුවත්, ජයග්‍රහණය කරන්න වැඩි සම්භාවිතාවක් නැති අපේක්ෂකයින්ගේ නම් වලින් ඡන්ද පත්‍රිකාව පුරවන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපේ ප්‍රාන්තයේ ඡන්ද පත්‍රිකාවේ සටහන්ව තිබෙන්නේ ඩිමොක්‍රටික්, රිපබ්ලිකන් හා ලිබටේරියන් පක්ෂ වල ජනාධිපති අපේක්ෂකයින්ගේ නම් පමණයි. හරිත පක්ෂයේ අපේක්ෂකයා ඇතුළු තවත් අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් තරඟ කළත් ඔවුන් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ හැක්කේ ඡන්ද පත්‍රිකාවේ වෙනත් යන්න තෝරා නම ලිවීමෙන් පමණයි.

මෙවර මැතිවරණයේදී වෙනදා දකින්නට නොලැබෙන අසාමාන්‍ය උනන්දුවක් දැකිය හැකියි. මීට පෙර මේ අයුරින් ඡන්ද ප්‍රචාරණ පත්‍රිකා වලින් තැපැල් පෙට්ටිය පිරී නැහැ. ඇමරිකාව ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ලෙස දැඩි ලෙස බෙදී සිටීම ඊට හේතුව විය හැකියි. මුහුණ වසාගත් අපේක්ෂකයාගේ කණ්ඩායම සහ මුහුණ වසා නොගත් අපේක්ෂකයාගේ කණ්ඩායම. හරියට උඩ වට්ටක්කා ගෙඩි දෙක වගේ.


Saturday, October 31, 2020

පොම්පියෝ හා වෙන්ටිලේටර්


පොම්පියෝගේ ලංකා ගමනට සමාන්තරව ඇමරිකාව විසින් යාන්ත්‍රික වෙන්ටිලේටර 200ක් ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. යාන්ත්‍රික වෙන්ටිලේටරයකින් කරන්නේ පෙනහළු දුර්වල වී තිබෙන රෝගියෙකුගේ පෙනහළු යථා තත්ත්වයට පත් වන තුරු පෙනහළු තුළට යාන්ත්‍රිකව ඔක්සිජන් පොම්ප කිරීමයි. කෝවිඩ් හා වෙන්ටිලේටර අතර විශාල සම්බන්ධයක් තිබෙනවා.

කෝවිඩ් යනු පෙනහළු වලට අමතරව මොළය, හෘදය වස්තුව, වකුගඩු, අක්මා වැනි අවයව ගණනාවකටම හානි කරන රෝගයක් බව මේ වන විට පෙනී ගොස් ඇතත්, ආරම්භයේදී කෝවිඩ් සැලකුණේ පෙනහළු වලට හානි කරන, පෙනහළු ආශ්‍රිත රෝගයක් ලෙසයි. ඒ අනුව, එවකට කිසිදු ප්‍රතිකාරයක් නොතිබුණු කෝවිඩ් රෝගියෙකු මිය යාම වලක්වා ගැනීම සඳහා කළ හැකි හොඳම දෙය ලෙස පෙනෙන්නට තිබුණේ යාන්ත්‍රික වෙන්ටිලේටරයකින් දිගින් දිගටම පෙනහළු වලට ඔක්සිජන් සැපයීමයි. චීනයේ වුහාන් වලත්, විශේෂයෙන්ම ඉන්පසුව ඉතාලියේත් බොහෝ මරණ සිදු වුනේ ප්‍රමාණවත් තරම් වෙන්ටිලේටර නොතිබුණු නිසා බව මුලදී තිබුණු අදහසයි.

අප්‍රේල් මැද වන විට ඇමරිකාවේ රෝහල් පද්ධතිය සතුව යාන්ත්‍රික වෙන්ටිලේටර 95,000කුත්, ඇමරිකන් රජයේ ජාතික සංචිතයේ තවත් යාන්ත්‍රික වෙන්ටිලේටර 10,000කුත් තිබුණා. ඇමරිකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳව මාර්තු මුලදී ඇස්තමේන්තු කර තිබුණු ආකාරයට මෙම වෙන්ටිලේටර ප්‍රමාණය අවශ්‍ය සියළු රෝගීන් සඳහා ප්‍රමාණවත් නොවිය හැකිව තිබුණා. වෙන්ටිලේටර නොමැතිකමින් බොහෝ කෝවිඩ් රෝගීන් මිය යාමට තිබුණු ඉඩකඩ පිළිබඳව බොහෝ දෙනෙකු කණස්සල්ලෙන් හිටියා. ඇමරිකාව ජනගහණයට සාපේක්ෂව ලෝකයේ වැඩිම රෝහල් පහසුකම් ඇති රටක් වුවත්, ඇතැම් අය ඇස්තමේන්තු කළේ රෝහල් පහසුකම්ද ප්‍රමාණවත් නොවනු ඇති බවයි.

දේශපාලන ප්‍රකාශයක් වුවත්, ජනාධිපති ට්‍රම්ප් විසින් මාර්තු මාසයේදී ප්‍රකාශ කර සිටියේ වෙන්ටිලේටර අවශ්‍ය වන කිසිදු ඇමරිකානුවෙකු වෙන්ටිලේටර නැතිකමින් මිය නොයනු ඇති බවයි. ඒ වන විට ඇමරිකානු නිෂ්පාදකයින් සතු ධාරිතාව අනුව වසරක් තුළදී නිෂ්පාදනය කළ හැකි වූයේ වෙන්ටිලේටර 29,000ක් පමණයි. එහෙත්, ඇමරිකන් රජය විසින් වෙන්ටිලේටර 200,000 පමණ දක්වා ප්‍රමාණයක් අවශ්‍යතාවය පරිදි මිල දී ගැනීමට ගත් තීරණයත් සමඟ ෆෝර්ඩ්, ජීඑම්, ටෙස්ලා වැනි මෝටර් රථ නිෂ්පාදකයින්ද වෙන්ටිලේටර නිෂ්පාදනයට අත ගැසුවා. 

කෙසේ වුවත් ක්ෂණිකව වෙන්ටිලේටර නිෂ්පාදනය ඉහළ දැමීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ සඳහා අවම වශයෙන් මාස ගණනක් ගත වෙනවා. ඊට පෙර කෝවිඩ් වේගයෙන් පැතිරී බොහෝ දෙනෙකුට වෙන්ටිලේටර අවශ්‍ය විය හැකිව තිබුණා. ඇමරිකාවේ ප්‍රාන්ත යම් ප්‍රමාණයකට "වසා දමමින්" වසංගත වක්‍රය පැතලි කිරීමේ එක් අරමුණක් වුණේ වෙන්ටිලේටර ඇතුළු අනෙකුත් සෞඛ්‍ය පහසුකම් ඉහළ නංවා ගන්නා තුරු කල් ගැනීමයි. 

ඇමරිකාව ගත් විවිධ ක්‍රියාමාර්ග නිසා වසංගත වක්‍රය හිතුවාටත් වඩා පැතලි වුනා. වක්‍රය පැතලි කළ විට රෝගීන් ප්‍රමාණය හෝ කොහොමටත් මිය යන ප්‍රමාණය අඩු වෙන්නේ නැතත්, රෝහල් පහසුකම් නැතිකමින් මිය යන ප්‍රමාණය අඩු වෙනවා. කෝවිඩ් රෝගීන් නිසා ඇමරිකාවේ රෝහල් ධාරිතාව ඉක්මවා ගියේ හෝ හෝ වෙන්ටිලේටර මදි වුනේ නැහැ. 

අනෙක් පැත්තෙන් කෝවිඩ් ප්‍රතිකාරයක් ලෙස යාන්ත්‍රික වෙන්ටිලේටර යොදා ගැනීම එතරම් ඵලදායී වුනේ නැහැ. වෙන්ටිලේටර වලට දැමූ බොහෝ රෝගීන් මිය ගොස් තිබෙනවා. ඊට සාපේක්ෂව ඖෂධ ප්‍රතිකාර වඩා සාර්ථක ප්‍රතිඵල අත් කර දී තිබෙනවා. මේ වන විට කෝවිඩ් ප්‍රතිකාරයක් ලෙස ඇමරිකාවේ අනුමත කර තිබෙන, වෙක්ලරි (Veklury) නමින් වෙළඳපොළට එන රෙම්ඩෙසිවිර් (remdesivir) ඖෂධය බොහෝ කෝවිඩ් ආසාදිතයින්ට ඉක්මණින් සුව වීමට උපකාරී වී තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප්ට ලබා දුන්නේද මෙම ඖෂධයයි.

එක පැත්තකින් යාන්ත්‍රික වෙන්ටිලේටර හිතූ තරම් අවශ්‍ය නොවීමත්, අනෙක් පැත්තෙන් රජය සමඟ අත්සන් කළ ගිවිසුම් අනුව වෙන්ටිලේටර නිෂ්පාදනය විශාල ලෙස ඉහළ යාමත් නිසා මේ වෙද්දී ඇමරිකන් රජය සතු ජාතික සංචිතයේ යාන්ත්‍රික වෙන්ටිලේටර ලක්ෂයක් පමණ ගොඩ ගැසී තිබෙනවා. එහෙත්, ලෝකයේ බොහෝ රටවල තවමත් ප්‍රමාණවත් තරම් යාන්ත්‍රික වෙන්ටිලේටර නැහැ. ඇතැම් රටවල තිබෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු යාන්ත්‍රික වෙන්ටිලේටර ප්‍රමාණයක්.

ඇමරිකාව සතු නිෂ්පාදන ධාරිතාවේ වාසිය ලබමින්, ඇමරිකන් රජය විසින් මේ වන විට USAID හරහා ලෝකයේ රටවල් ගණනාවකට යාන්ත්‍රික වෙන්ටිලේටර ප්‍රදානය කර තිබෙනවා. ඉන්දුනීසියාවට හා දකුණු අප්‍රිකාවට යාන්ත්‍රික වෙන්ටිලේටර 1000ක් බැගින් පරිත්‍යාග කිරීමට පොරොන්දු වී එයින් කොටසක් දැනටමත් ලබා දී තිබෙන අතර, රුසියාව, ඉන්දියාව, ලංකාව, පකිස්ථානය, නයිජීරියාව, කෙන්යාව, කොලොම්බියාව, බොලීවියාව ආදී රටවලට වෙන්ටිලේටර 200 බැගින්ද,  මාල දිවයිනට 60ක්ද ඊජිප්තුවට හා පේරු රාජ්‍යයට 250 බැගින්ද, ගෝතමාලාවට, මොසැම්බික් රාජ්‍යයට හා කොංගෝවට 50 බැගින්ද, හොන්ඩියුරාස් රටට හා රුවන්ඩාවට 100ක් බැගින්ද, හයිටියට 37ක්ද, එල් සැල්වදෝරයට 408ක්ද, මෙක්සිකෝවට 211ක්ද, ආදී වශයෙන් මේ වන විට ඇමරිකාව යාන්ත්‍රික වෙන්ටිලේටර විශාල ප්‍රමාණයක් ලෝකයේ විවිධ රටවලට ප්‍රදානය කර තිබෙනවා.

මගේ ඇස්තමේන්තුව අනුව ලංකාව සතුව තිබූ යාන්ත්‍රික වෙන්ටිලේටර ප්‍රමාණය 500-600 අතර ප්‍රමාණයකට වඩා වැඩි විය නොහැකියි. ඒ අනුව, තවත් වෙන්ටිලේටර 200ක් එකතු වෙනවා කියන්නේ රටේ හදිසි ප්‍රතිකාර සේවා ධාරිතාවේ සැලකිය යුතු වෙනසක්. මේ වෙන්ටිලේටර කෝවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය නොවුනත්, පෙනහළු ආශ්‍රිත රෝග වලින් සෑම වසරකදීම විශාල පිරිසක් මියයන ලංකාවේ එම මරණ සෑහෙන ප්‍රමාණයක් වලක්වා ගැනීමට මේ වෙන්ටිලේටර උපකාරී වෙයි.

මේ වෙන්ටිලේටර ප්‍රදානයත් ඇමරිකන් කුමන්ත්‍රණයක්ද? තාමනම් කවුරුත් එහෙම කියල තියෙනවා දැක්කේ නැහැ. 

(Image: https://lk.usembassy.gov/the-united-states-donates-200-ventilators-to-support-sri-lankas-response-to-covid-19/)


පොකුරු පොකුරු ඈ එන මග...


මේ වෙද්දී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය අවසන් අදියරට පැමිණ ඇති බව පෙනෙනවා. රජය විසින් කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දරමින් සිටියත්, වෛරසය මේ වෙද්දී රජයේ පාලනයෙන් නිදහස් වී අවසන් බව පැහැදිලියි. අලුත්ම පොකුර මුලින් බ්‍රැන්ඩික්ස් පොකුර නමින්ද, පසුව මිනුවන්ගොඩ පොකුර ලෙසින්ද හැඳින්වුවා. පසුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරු බවට පත් වෙලා තිබෙනවා. මේ පොකුරු කතාවට තව දුරටත් තේරුමක් තිබෙයි කියා හිතන්න අමාරුයි.

ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳව මා වරින් වර "අනාවැකි" පළකර තිබෙනවා. එහෙත්, ලංකාව සම්බන්ධව මා එවැනි අනාවැකි පළ කළේ නැහැ. ඇතැම් අය ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පිළිබඳ විවිධ පුරෝකථන කරද්දී මා එසේ නොකළාක් මෙන්ම එසේ නොකිරීමට හේතුවද පැහැදිලි කර තිබෙනවා.

කෝවිඩ් වැනි වසංගතයක් පැතිරෙන ආකාරය පිළිබඳව සෑහෙන තරම් නිවැරදි ලෙස අනාවැකි කිව හැකියි. මෙවැනි වසංගතයක් පැතිරෙන ආකාරය පුරෝකථනය කරන්නේ වසංගතවේදයේ ආකෘති අනුසාරයෙනුයි. එම ආකෘති සකස් කර තිබෙන්නේ යම් නිශ්චිත උපකල්පන මතයි. උපකල්පන නිවැරදි වන තරමට ආකෘතිය යොදාගෙන කරන පුරෝකථනද නිවැරදියි.

ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල කෝවිඩ් පැතිරෙන්නේ මෙවැනි ආකෘතියකින් පුරෝකථනය කර හැකි තරම් "නිශ්චිත" රටාවකට කියන එක පෙන්වා දෙන්න ගොඩක් තාක්ෂණික කරුණු කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පහත ප්‍රස්ථාර දෙස බැලූ විට ඕනෑම කෙනෙකුට එවැනි රටාවක් ඇති බව පැහැදිලිව පෙනෙනවා. 


ඇමරිකාවෙන් දිනකට හමුවන කෝවිඩ් රෝගීන් ප්‍රමාණය මාර්තු මැද සිට සති තුනක පමණ කාලයක් ක්‍රමයෙන් ඉහළ ගියා. ඉන් පසුව, ජූනි මැද දක්වා ටිකෙන් ටික අඩු වුනත් එතැන් සිට ජූලි මැද දක්වා නැවතත් ක්‍රමයෙන් වැඩි වුනා. ජූලි මැද සිට දෙමසක පමණ කාලයක් කෝවිඩ් ව්‍යාප්තිය අඩු වුනත්, සැප්තැම්බර් මැද සිට නැවතත් වැඩි වෙමින් තිබෙනවා. මේ අනුව දැන් යන්නේ තෙවන චක්‍රය කියා කිව හැකියි.


ඇමරිකාවේ රටාවෙන් වෙනස්ව ඉන්දියාවේ කෝවිඩ් වසංගත වක්‍රය අප්‍රේල් මැද සිට මාස පහක් පමණ එක දිගටම ඉහළ ගියා. සැප්තැම්බර් මැද සිට එම ප්‍රවණතාව ආපසු හැරවී තිබෙනවා.

ඇමරිකාවේ හෝ ඉන්දියාවේ වසංගත වක්‍රයේ හැසිරීම ආකෘතියක් ඇසුරෙන් පහසුවෙන් පැහැදිලි කරන්න පුළුවන්. වසංගතරෝග විද්‍යාඥයින් විසින් පසුගිය මාර්තු මාසයේදීම ඇමරිකාවේ වසංගත වක්‍රයේ හැසිරීම නිවැරදිව පුරෝකථනය කළා. එයින් අදහස් වෙන්නේ මිය යන ප්‍රමාණය හෝ ආසාදිතයින් ප්‍රමාණය හරියටම පුරෝකථනය කළා කියන එක නෙමෙයි. එවැනි දේ ආකෘතියක පරාමිතීන් වෙනස් වන විට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අප පෙර පැහැදිලි කර දී තිබෙන R0 අගය එවැනි පරාමිතියක්. 

ආකෘතියක පරාමිතීන් වෙනස් වන විට එය යොදාගෙන කරන පුරෝකථනද වෙනස් වෙනවා. මේ පරාමිතීන් ඇස්තමේන්තු කරන්න වෙන්නේ අනුභූතික දත්ත අනුසාරයෙන්. මිනිසුන්ගේ හැසිරීම් වෙනස් වන විට R0 අගය වැනි පරාමිතීන්ද වෙනස් වෙනවා. එහෙත්, එසේ වුනා කියා ආකෘති අහක දාන්න අවශ්‍ය නැහැ. මිරිස් කොටන මෝලේම කොත්තමල්ලිත් කොටන්න පුළුවන්.

එකම ආකෘතිය යොදාගත්තත් විවිධ රටවල් හා අදාළව ආකෘතියකින් පෙන්වන්නේ එකම ප්‍රතිඵලය නෙමෙයි. එයට හේතුව ආකෘති වල ආදාන සේ යොදාගන්නා පරාමිතීන් රටින් රටට වෙනස් වීමයි. එකම රටකට වුවත් එකම පරාමිතීන් හැමදාටම වලංගු වන්නේ නැහැ. කෙසේ වුවත්, ලංකාව සඳහා මෙතෙක් මෙවැනි සම්මත ආකෘතියක් යොදා ගැනීම කළ නොහැකි වුනේ ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය මෙතෙක් සිදු වුනේ වසංගත ව්‍යාප්තිය පැහැදිලි කරන SIR ආකෘතියට හෝ එහි ව්‍යුත්පන්න ආකෘතියකට ගැලපෙන ආකාරයෙන් නොවූ නිසයි.

ඉතාම මූලික මට්ටමේ SIR ආකෘතියකදී අහඹු ලෙස හමුවන ඕනෑම පුද්ගලයෙක් ආසාදිතයෙක් විය හැකියි. එහෙත්, කලාතුරකින් මිස මෙතෙක් ලංකාවෙන් එසේ අහඹු ලෙස ආසාදිතයින් හමු වුනේ නැහැ. ඔවුන් හමු වුනේ පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් අතරින්. ඇතැම් අය ලංකාවේ කෝවිඩ් සමාජ පැතිරීමක් නැති බව දිගින් දිගටම කිවුවේ මේ පදනමෙන්.

ඕනෑම අහඹු පුද්ගලයෙක් ආසාදිතයෙක් විය හැකියි කියන එක ඉතාම සරල SIR ආකෘතියකදී කරන උපකල්පනයක් පමණයි. සැබෑ ලෝකයේ එය එසේම වෙන්නේ නැහැ. ඇතැම් අය ආසාදිතයින් වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම මූලික මට්ටමේ SIR ආකෘතියකදී ඕනෑම අහඹු පුද්ගලයෙකුට වෙනත් ඕනෑම පුද්ගලයෙකු අහඹු ලෙස හමු විය හැකි බව උපකල්පනය කරනවා. සැබෑ ලෝකයේ එසේ වෙන්නේ නැහැ. 

මූලික මට්ටමේ වසංගත විද්‍යා පාඨමාලාවකදී මුලින්ම උගන්වන්නේ මෙවැනි සරල SIR ආකෘතියක් වුවත්, ඒ තරම්ම සරල ආකෘති ප්‍රායෝගිකව භාවිතා කරන්නේ නැහැ. වඩා සංකීර්ණ ආකෘතියක පරාමිතීන් වැඩි ප්‍රමාණයක් තිබෙනවා. කෙසේ වුවත්, එවැනි වඩා සංකීර්ණ ආකෘතියක් වුවත් සැබෑ ලෝකයේ ඇත්තටම රෝගය පැතිරෙන ආකාරයට වඩා ගොඩක් සරලයි. හයේ හතේ පන්ති වලදී පරාවර්තනය හෝ වර්තනය ඉගැන්වීම සඳහා ආලෝකය සරල රේඛීයව ගමන් කරන සේ සැලකීම ප්‍රමාණවත්. ඒ වගේම රෝගය පැතිරෙන ආකාරය ගැන අදහසක් ගන්න මේ ආකෘති ප්‍රමාණවත්.

ඇමරිකාව හෝ ඉන්දියාව වැනි රටක් ගත්තත් ඕනෑම අහඹු පුද්ගලයෙකු කෝවිඩ් ආසාදිතයෙකු වෙන්න තිබෙන සම්භාවිතාව සමාන නැහැ. එය විවිධ කරුණු ගණනාවක් මත වෙනස් වෙනවා. ඒ වගේම, මේ වෙද්දී වුනත් ඇමරිකාවේ කෝවිඩ් පැතිරෙන්නේ පොකුරු විදිහටයි. බොහෝ විට කෝවිඩ් පරීක්ෂාව කර ගන්න යන්නේ ආසාදිතයෙකු සමීපව ඇසුරු කළ අයයි. එහෙත්, රට පුරා මෙවැනි පොකුරු විශාල ප්‍රමාණයක් තිබෙන නිසා ඕනෑම අහඹු පුද්ගලයෙකු කෝවිඩ් ආසාදිතයෙකු වෙන්න පුළුවන් කියන උපකල්පනය මත ගොඩ නගපු ආකෘති වැඩ කරනවා.

සමාජ පැතිරීම හා පොකුරු පැතිරීම කියන්නේ ඉරක් ගහලා වෙන් කරන්න පුළුවන් තත්ත්වයන් දෙකක් නෙමෙයි. පොකුරු විදිහට පැතිරුණත් එය සමාජ පැතිරීමක්ම තමයි. වඩා වැදගත් වෙන්නේ ආකෘතියක් යොදාගෙන තේරුම් ගත හැකි තරමට පැතිරීමක් වෙලාද කියන එකයි. මගේ අදහස අනුව මේ වෙද්දී ලංකාව ඒ තත්ත්වයට අවතීර්ණ වෙලා.

ලංකාව ආරම්භයේ සිට කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත්තා. මේ ක්‍රියාමාර්ග හරහා කෝවිඩ් ව්‍යාප්තිය සෑහෙන දුරකට පාලනය කළ හැකි වුනා. එහෙත්, මේ පාලනය කොයි වෙලාවක හෝ ගිලිහීමේ අවදානම මුල සිටම තිබුණා. දැන් එය සිදු වී තිබෙනවා.

කෝවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් හොයාගෙන නිරෝධායන මධ්‍යස්ථානයක සති දෙකක් තියාගත් විට ඔවුන්ට කෝවිඩ් වැළඳී තිබුණානම් බොහෝ විට සති දෙක තුළ රෝග ලක්ෂණ මතු වෙනවා. ඒ නිසා, බාහිර සමාජයේ වෙනත් අයට වෛරසය ආසාදනය වීම පාලනය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. ලංකාවේ රජය දිගින් දිගටම කළේ මෙයයි.

මේ ක්‍රමයේ වූ ගැටළුව ආසාදිතයෙකු නොවූ අයෙකුට නිරෝධායන මධ්‍යස්ථානයේදී කෝවිඩ් ආසාදනය වීමේ ඉඩක් තිබීමයි. එය සිදු වුනේ සති දෙකක කාලය අවසන් වන දිනයේදීනම් රෝග ලක්ෂණ මතු වන්නේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිට වී සති දෙකකට පසුවයි. යම් හෙයකින් එවැන්නෙකු රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයෙකු වී තවත් අයට වෛරසය ආසාදනය කළේනම් එවැනි ආශ්‍රිතයෙකු රෝග ලක්ෂණ පෙන්වන්න මාසයක් පමණ ගත විය හැකියි. ලංකාවේ කෝවිඩ් මර්දන ක්‍රමවේදය අනුව සමාජයේ අහඹු පුද්ගලයෙකු ආසාදිතයෙකු වීනම් ඒ බව එකවර දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඕනෑම මොහොතක රටේ කොහෙන් හෝ කෝවිඩ් පොකුරක් හමු වීමේ අවදානම දිගටම තිබුණා. එසේ නොවීම වාසනාවක්.

දැන් කරුණු හොයාගෙන තිබෙන විදිහට කොරෝනා පොකුරට යුක්‍රේන සම්භවයක් ඇති බව කියනවා. සම්භවය කුමක් වුවත් මේ වෙද්දී කෝවිඩ් රටවටා පැතිරී අවසන්. ආසාදිතයින් සියලු දෙනාගේම ආශ්‍රිතයින් සොයමින් නිරෝධායනය කිරීම තව දුරටත් කළ හැකි බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා, ලංකාවේ රජය විසින් මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය තව දුරටත් වැඩ කරන එකක් නැහැ. 

පසුගිය සති තුනක පමණ දත්ත අනුව අපට පෙනී යන්නේ සම්මත වසංගතවේද ආකෘතියක් යොදාගත හැකි තරමේ පැතිරීමක් මේ වන විට ලංකාවේ සිදු වී ඇති බවයි. අපගේ ප්‍රාර්ථනාව නොවුනත් ඉදිරි කාලය ලංකාවට හොඳ කාලයක් වන එකක් නැහැ.




Sunday, October 25, 2020

කෝවිඩ් හටන


වර්ඩෝමීටර්ස් දත්ත අනුව පෙරේදා (ඔක්තෝබර් 23) දින ඇමරිකා එක්සත් ජනපදයෙන් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 81,414ක්. එම ප්‍රමාණය මෙතෙක් දිනකදී එක්සත් ජනපදයෙන් හමු වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි. එදිනම ලංකාවෙන් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 866ක්. එම ප්‍රමාණය මෙතෙක් දිනකදී ලංකාවෙන් හමු වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණයයි. 

කෝවිඩ්-19 සමස්ත මිනිස් ප්‍රජාව මුහුණ දී සිටින පොදු ප්‍රශ්නයක්. තරඟය තිබෙන්නේ අදාළ රෝගකාරක වෛරසය හා හෝමෝ සේපියන්ස්ලා අතර මිස ලෝකයේ එක් එක් රටවල් අතර නෙමෙයි. ඒ නිසා, කෝවිඩ්-19 හා අදාළව ලෝකයේ රටවල් සංසන්දනය කිරීමේ තේරුමක් තිබෙන්නේ තර්ජනයට මිනිස් ප්‍රජාව සේ පොදුවේ මුහුණ දීමේදී වඩා සාර්ථක ක්‍රමවේදයන් හඳුනාගැනීමේ අරමුණින් පමණයි.

කෝවිඩ්-19 තර්ජනයට ලෝකයේ විවිධ රටවල ආණ්ඩු ප්‍රතිචාර දැක්වූයේ විවිධ ආකාර වලින්. එම ප්‍රතිචාර වල අදාළ ආණ්ඩු වල දේශපාලනය දැකගත හැකි වුනා. එහෙත්, ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් "වැරදි තීරණ" ගත්තේ නැහැ. හැම ආණ්ඩුවක් විසින්ම ගත්තේ ඔවුන්ගේ විශ්ලේෂණ හැකියාවන්ට සාපේක්ෂව නිවැරදිම තීන්දු. මේ විශ්ලේෂණ වලදී එක් රට හා අදාළ සුවිශේෂී භූගෝලීය, සමාජයීය, ආර්ථික, සංස්කෘතික, දේශපාලන කරුණු සැලකිල්ලට ගැනුණා. ඒ සාධක වෙනස් වූ ආකාරය අනුව විවිධ රටවල ප්‍රතිචාරද වෙනස් වුනා. එය එසේ සිදුවීම නරක දෙයක් නෙමෙයි. 

කෝවිඩ්-19 තර්ජනයට ප්‍රතිචාර දැක්වීමේදී ඉහත සාධක වල වෙනස්කම් වගේම කෝවිඩ්-19 හා අදාළ දැනුමේ සීමාවන්ද බලපෑම් කළා. වසංගතය පැතිරුණු මුල් කාලයේදී ඒ පිළිබඳව තිබුණේ සීමිත දැනුමක්. මේ දැනුම තවමත් සීමිත වුවත්, මුල් කාලයේදී තරම්ම සීමිත නැහැ. වසංගතය පිළිබඳ දැනුම වඩා සීමාකාරී වන තරමට වැඩිපුර "කණාපල්ලන්" ගහන්න වෙනවා. මේ විදිහට කණාපල්ලන් ගැහීමේදී වාස්තවික කරුණු වලට වඩා තීරණ ගන්නා අයගේ පෞද්ගලික මතිමතාන්තර ඉස්මතු වෙනවා. ඒ පෞද්ගලික මතිමතාන්තර වෙනස්වන ආකාරය අනුව විවිධ රටවල ප්‍රතිචාරද වෙනස් වෙනවා. එහෙත්, රෝගය පිළිබඳ දැනුම පුළුල් වෙද්දී වඩා නිවැරදි ප්‍රතිචාර හඳුනා ගැනීම පහසු වෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය වැනි විශාල රටක පොදු වශයෙන් බලපාන තීරණ ගැනීමේදී ලංකාව වැනි රටකට සාපේක්ෂව වැඩි පිරිසක් මැදිහත් වෙනවා. අවිනිශ්චිත තත්ත්වයන් යටතේ වුවත්, වැඩි පිරිසකගේ දායකත්වයෙන් ගන්නා තීරණ නිවැරදි වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ඊට සාපේක්ෂව තනි පුද්ගලයෙකු විසින් ගන්නා තීරණ වැරදෙන්න වැඩි ඉඩක් තිබෙනවා.

බලය කියා කියන්නේ ඕනෑම රටක ආණ්ඩුවකට වටිනාම දෙයක්. ආණ්ඩුවක් ජනප්‍රියයි කියා කියන්නේ ඒ ආණ්ඩුව සතු බලය වැඩියි කියන එකයි. ඒ නිසා ආණ්ඩුවකට ජනප්‍රිය විය හැකි දේ කරන්නත්, ජනප්‍රිය නොවන දේ නොකරන්නත් ස්වභාවික නැඹුරුවක් තිබෙනවා. 

කෝවිඩ්-19 නිසා රටක මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මැරෙද්දී කිසිම ආණ්ඩුවක ජනප්‍රියත්වය ඉහළ යන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවක් සතු බලය දුර්වල වෙනවා මිසක් වඩා ශක්තිමත් වෙන්නේ නැහැ. සමාජවාදී වේවා, ධනවාදී වේවා, ප්‍රජාතන්ත්‍රවාදී වේවා, ඒකාධිපති වේවා, ඕනෑම රටක ආණ්ඩුවක්, ඕනෑම රටක පාලකයෙක් එම රටේ කෝවිඩ්-19 පැතිරෙන එක වලක්වා ගත හැකිනම් එය නොකර ඉන්නේ නැහැ. හැම රටකම වගේ ආණ්ඩු කෝවිඩ්-19 හමුවේ තම තම නැණ පමණින් කළ හැකි දේ කර තිබෙනවා. ඒ කළ දේවල් හා කළ දේවල් වල ප්‍රතිඵල රටින් රටට වෙනස් වීම වෙනම කරුණක්.

චීන ආණ්ඩුවට හමු වුනු කෝවිඩ්-19 සතුරා හිටියේ රට ඇතුළේ. ඒ වෙද්දී චීනයෙන් පිටත කෝවිඩ්-19 තිබුණේ නැහැ. ඒ නිසා, චීනයට තිබුණේ පැහැදිලි, නිශ්චිත ඉලක්කයක්. චීනය මුලින්ම සතුරාව වට කරලා ඉන් පසුව සතුරා හඹා ගොස් පහර දී විනාශ කළා. 

ඒ වන විටත් සතුරු කණ්ඩායම් චීන ආණ්ඩුවේ ඉදිරි ආරක්ෂක වළල්ල කඩා ගෙන එළියට ගිහින් තිබුණා. එහිදී චීන ආණ්ඩුව විසින් කළේ සතුරා සිටිය හැකි වඩා විශාල ප්‍රදේශයක් වට කරලා ඉතිරි ප්‍රදේශ බේරගන්න එකයි. මධ්‍යගත පාලනයක් තිබෙන විශාල රටක් වීම මෙහිදී චීනයේ වාසියට හිටියා.

චීනය කෝවිඩ්-19 තුරන් කරලා නැහැ. තවමත් වරින් වර චීනයෙන් කෝවිඩ්-19 රෝගීන් හමු වෙනවා. එසේ හමු වෙන අවස්ථා වලදී ඉක්මණින් සතුරා හඳුනාගෙන, සතුරා හඹා ගොස් පහර දී විනාශ කිරීම චීනය විසින් තවමත් සාර්ථකව කරමින් සිටිනවා.

ඇමරිකාව ඇතුළු ලෝකයේ අනෙක් හැම රටකටම වගේ මුහුණ දෙන්න වුනේ වෙනස් ආකාරයක ප්‍රශ්නයකට. සතුරා හිටියේ රටින් පිට. ඒ නිසා, චීනය මෙන් වට කර පහර දීම වෙනුවට තමන්ගේ මායිම් ආරක්ෂා කර ගැනීමයි කළ යුතු වුණේ. ලංකාව කළේත්, ඇමරිකා එක්සත් ජනපදය විසින් කළේත් මෙයයි.

මේ කාර්යයේදී එක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළකින් (ප්‍රායෝගිකව) පමණක් ලෝකය හා සම්බන්ධ වී සිටි කුඩා දූපත් රාජ්‍යයක් වූ ලංකාවට හා අයිස්ලන්තය, නවසීලන්තය, සීෂෙල්ස් වැනි වෙනත් දූපත් රාජ්‍ය වලට තිබුණු භූගෝලීය වාසිය ඇමරිකා එක්සත් ජනපදයට තිබුණේ නැහැ. ඒ වගේම, රෝගය ගැන ලෝකය දැන ගන්නා අවස්ථාව වන විටත් කෝවිඩ්-19 ඇමරිකාවට ඇතුළු වී අවසන්.

ලංකාවේ ඇතැම් අය ඇමරිකාවට විරුද්ධව චීනයේ පැත්ත අරගෙන කුලියට කහින නමුත් ඇමරිකාව හා චීනය අතර තිබෙන ආර්ථික වගේම සංස්කෘතික සම්බන්ධතාත් ලංකාව හා චීනය අතර තිබෙන එම සම්බන්ධතා වලට වඩා කිහිප ගුණයකින් ප්‍රබලයි. චීනයෙන් පිටත චීනයේ ඉපදුණු පුද්ගලයින් වැඩිම ප්‍රමාණයක් ජීවත් වන රට ඇමරිකා එක්සත් ජනපදයයි. හොංකොං වල සිටින චීන ප්‍රධාන භූමියේ ඉපදුනු ප්‍රමාණය පවා ඊට අඩුයි. 

ඇමරිකාවට එන විදේශ සිසුගහණයෙන් තුනෙන් එකක්ම එන්නේ චීනයෙන්. චීන ජාතිකයින් සරණාගතයින් සේ වැඩිපුරම එන්නේත් ඇමරිකාවටයි. ඇමරිකාවෙන් පිටතට යැවෙන ශ්‍රමික ප්‍රේෂණ වලින් හතරෙන් එකක් යන්නේ චීනයට. චීන අපනයන වලින් පහෙන් එකක්ම මිල දී ගන්නේ ඇමරිකාවයි.

කාලයක් ලංකාවේ රාජ්‍ය නායකයින් ඇමරිකාව ඇතුළු බටහිර රටවල හයිය අරගෙන ඉන්දියාවට චණ්ඩි පාට් දැම්මා. එහෙත්, බටහිර රටවල් ඉන්දියාවේ වෙළඳපොල අමතක කර ලංකාවේ පැත්ත ගත්තේ නැහැ. චීනය ගැන කියන්න තියෙන්නේත් ඔය ටිකම තමයි. චීනය ලංකාවට කෑම මේසයේ වැදගත් තැනක් දුන්නත් ඒ තැන කරපිංචා වලට ලැබෙන තැනයි. ඇමරිකාවේ පමණක් නෙමෙයි ඉන්දියාවේ වෙළඳපොළ පවා වැඩි කල් නොයා චීනයට ලංකාවට වඩා වැදගත් වෙනවා.

චීනය පැත්තකට තියලා ලංකාවේ කෝවිඩ් වලට එමු. ලංකාව මුලදීම පිටින් රටට කෝවිඩ් එන එක පාලනය කරගත්තා. ඉන් පසුව, රට ඇතුළේ කෝවිඩ් සතුරා සිටින තැන් හඹා ගොස් වටකර පහර දුන්නා. වටකර කියා කිවුවත් අත් අඩංගුවට ගෙන පොලීසියේදී පහර දුන්නා කියන එක වඩා නිවැරදියි. මේ ක්‍රියාදාමය ඇතුළේ සතුරාට පහර දීමටත් වඩා ප්‍රමුඛ වුනේ සැක කටයුතු සතුරන් අත් අඩංගුවට ගැනීමයි.

නිරෝධායන මධ්‍යස්ථාන නමින් ලංකාවේ ආණ්ඩුව විසින් කළේ මහත මිනිස්සු එකතු කර කර රේල්පාරට තල්ලු කරන එකයි. මෙය නිරීක්ෂණයක් මිසක් විවේචනයක් නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ කැමැත්ත එයනම්, වැඩෙත් කෙරෙනවානම් විවේචනය කරන්න පදනමක් නැහැනේ.

වෙනත් පිරිසකගේ ජීවිත බේරාගැනීම සඳහා ආණ්ඩුව විසින් තමන්ව බිලි දෙනවාට කවුරුවත් කැමති වෙන්නේ නැහැ. එහෙත්, එහෙම අකැමැති වුනා කියා තනි පුද්ගලයෙකුට කළ හැකි දෙයක් නැහැ. ආණ්ඩුවේ බලය හමුවේ ඇස් දෙක පියාගෙන ට්‍රොලිය කිසියම් ආශ්චර්යයකින් තමන්ව යට නොකර බේරන තුරු බලා ඉන්නවා හැර වෙනත් කළ හැකි දෙයක් මහත මිනිහාට නැහැ. 

ඇමරිකාවේ හෝ වෙනත් බටහිර රටක ආණ්ඩුවකට මේ වගේ දෙයක් කරන්න බැහැ. හඬක් නැති මහත මිනිහා වෙනුවෙන් කතා කරන්න තවත් බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙනවා. එසේ කරන්නේ පෞද්ගලික නිදහස කියන සටන් පාඨය අරගෙන. හැබැයි බටහිර රටක ආණ්ඩුවකට ලීවරය ඇදලා ට්‍රොලිය අතුරු මාර්ගයකට හරවන්න පුළුවන්. ඒ වැඩෙන් වෙන්නෙත් පැත්තක ඉන්න කෙනෙක් මැරෙන එක. මේ වගේ වෙලාවකත් විවේචන ආවත් ඒ විවේචන ආණ්ඩුවේ ක්‍රියාවට බාධාවක් වෙන්න තරම්ම ප්‍රබල නැහැ. 

කෝවිඩ්-19 හමුවේ ආණ්ඩුවකට වැඩි දෙනෙකුගේ යහපත වෙනුවෙන් සුළු පිරිසක් බිල්ලට දෙන්න තිබෙන අයිතිය පිළිගන්නවානම්, උපයෝගීතාවාදී පදනමකින් බැලුවහම ලීවරය අදින එක නිවැරදි වෙන්නත්, මහත මිනිස්සු හොය හොයා නිරෝධායන කඳවුරු වල ගාල් කරන එක වැරදි වෙන්නත් තර්කානුකූල හේතුවක් නැහැ. මේ වගේ වෙලාවක හරි වැරැද්ද තීරණය වෙන්නේ බහුතර මතය අනුව. බහුතර මතය වෙනස් වන ආකාරය අනුව කිසියම් රටක ලොක්ඩවුන්, ඇඳිරි නීති, නිරෝධායන කඳවුරු ආදී ඕනෑම උපාය මාර්ගයක් හරි හෝ වැරදි වෙන්න පුළුවන්. 

ලංකාව අනුගමනය කළ නිරෝධායන කඳවුරු ක්‍රමය නිසා රටේ බොහෝ දෙනෙකුගේ කෝවිඩ්-19 අවදානම විශාල ලෙස අඩු වුනා. එහි මිල ගෙවන්න වුනේ එම කඳවුරු වල ගාල් වූ සුළු පිරිසකට. මගේ විශ්වාසය අනුව මේ නිරෝධායන කඳවුරු වලින් හමු වූ කෝවිඩ්-19 ආසාදිතයින් සැලකිය යුතු පිරිසකට වෛරසය අසාදනය වෙන්න ඇත්තේ එම කඳවුරකදී. ඉතාලියෙන් හා ඉන්දියාවෙන් ආ කණ්ඩායම් වල සිට හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනාම ඒ රටවලින් කෝවිඩ්-19 අරන් ආ අය කියා මම හිතන්නේ නැහැ. 

ලංකාවේ නිරෝධායන කඳවුරක් මම පෞද්ගලිකව නිරීක්ෂණය කරලා නැහැ. ඒ කඳවුරකදී එක් අයෙකුගෙන් වෙනත් අයෙකුට කෝවිඩ්-19 බෝවෙන්න විදිහක් නැහැ කියලා තර්ක කරන අය ඉන්න පුළුවන්. එහෙත්, කන්දකාඩු පොකුරෙන් පසුව එවැනි තර්කයකට වලංගු භාවයක් නැහැ.

නිරෝධායන කඳවුරු ක්‍රමය හරි හෝ වැරදිද කියන එක සදාචාරාත්මක ප්‍රශ්නයක්. පිළිතුර විෂයමූලිකයි. එහෙත්, මේ ක්‍රමය හා සමස්තයක් ලෙස ලංකාවේ කෝවිඩ් මර්දන ක්‍රමවේදය ඵලදායීද කියන එක විෂයමූලික නොවී සලකා බැලිය හැකි කරුණක්. මේ ක්‍රමය මෙතෙක් කල් ලංකාවට වැඩ කළා. එය තව දුරටත් එසේම වැඩ කරයිද?


Saturday, October 24, 2020

විස්ස දිනුවත් දහනවය පරාදද?


විස්ස නම් කොහොම හරි ගොඩ දාගත්තනේ. කොහොම හරි කිවුවත් කවුරුවත් නොහිතපු අමුතු දෙයක් වුනේ නැහැ. ආණ්ඩුව විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේ එය ඉන්තේරුවෙන්ම දිනන්න පුළුවන් බව දැනගෙන, එහෙමත් නැත්නම්, දිනන්න පසුබිම හදාගෙන බව, පොඩි හෝ දේශපාලන අවබෝධයක් තියෙන කෙනෙක් සැක කළා කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම ඒ තත්ත්වය වෙනස් කිරීමේ කිසිදු හැකියාවක් අදාළ සංශෝධනයට විරුද්ධ වූ ජවිපෙ හෝ සජබ වැනි පක්ෂ වලට තිබුණේ නැහැ. එහෙම පුළුවන්කමක් තිබුණානම් ඒ ආණ්ඩුව ඇතුළේම තිබුණු ප්‍රතිවිරෝධතා වල උදවුවෙන් පමණයි. එහෙත්, ඒ ප්‍රතිවිරෝධතා බොහොමයක් ලෙමන් පෆ් එකකින් ගහලා කඩන්න පුළුවන් තරමේ සබන් බෝල පමණක් වූ බවත් මුල සිටම පෙනෙන්න තිබුණු කරුණක්.

විස්ස ගැන ලියන්න ඕනෑ තරම් දේවල් තිබුණත් ඒ කිසිම දෙයක් ලියන එකේ කිසිම තේරුමක් තිබුණේ නැහැ. ඒ නිසා, චචන නාස්ති කරගන්න ගියේ නැහැ. කොහොම හරි දැන් විස්ස පාස්නේ. ඒ කියන්නේ දහනවය ෆේල්. 

එක දහනවයක් පරාද කළත් ජය පැන් සමරන්නවත් ඉඩක් නොතියා දැන් ආණ්ඩුවට තවත් දහනවයක් කරදර කරන්න පටන් අරන්. ඒ කෝවිඩ්-19. ආණ්ඩුවට අනුව "සමාජගත වෙලා" කියන එකේ අර්ථ දැක්වීම මොකක් වුනත් දැන් කෝවිඩ්-19 ආසාදිතයින් ලංකාව හැම තැනින්ම වගේ හමු වෙන්න පටන් අරන්. 

කෝවිඩ්-19 ලෝක වසංගතයක්. වෛරසය පැතිරෙන්නේ ජාති, ආගම්, ජාතිකත්ව, දේශපාලන මතවාද, රැකියා, අධ්‍යාපන මට්ටම්, ආදායම් මට්ටම් ආදිය බල බල නෙමෙයි. එහෙත්, රෝගය පැතිරෙන්නේ මේ කිසිවක් නොතකමින් තනිකරම අහඹු ලෙස කියා කියන්නත් බැහැ. වසංගතය පැතිරීමට ඉහත සාධක වලද යම් බලපෑමක් තියෙන්න පුළුවන්. ජාති, ආගම්, ජාතිකත්ව, දේශපාලන මතවාද, රැකියා, අධ්‍යාපන මට්ටම්, ආදායම් මට්ටම් ආදිය අනුව මිනිස්සුන්ගේ හැසිරීම් වෙනස් වෙනවා. කෝවිඩ්-19 පැතිරෙන ආකාරයට මිනිසුන්ගේ හැසිරීම් බලපානවා. ඊට අමතරව කිසියම් ආසාදිතයෙකුට කෝවිඩ්-19 නිසා ඇතිවන බලපෑම ප්‍රධාන වශයෙන්ම වයස හා ශරීරයේ බර ඇතුළු තවත් කරුණු ගණනාවක් මත වෙනස් වෙනවා.

මේ වන තුරු කිසිම රටක් කෝවිඩ් වලින් නිදහස් වී නැහැ. එහෙත් හැම රටක් වගේම කෝවිඩ් යම් තරමකින් පාලනය කරගෙන තිබෙනවා. ඒ කොපමණකින්ද කියන එක සංකීර්ණ කරුණු ගණනාවක් මත තීරණය වී ඇති දෙයක්. ආණ්ඩු වල මැදිහත්වීමේ ප්‍රමාණය ඒ කරුණු අතරින් එකක් පමණයි.

කෝවිඩ් පාලනය කිරීම සඳහා විවිධ රටවල ආණ්ඩු විවිධ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. මේ ඇතැම් ක්‍රියාමාර්ග දැඩි ක්‍රියාමාර්ග ලෙසත් තවත් ඒවා සාපේක්ෂව ලිහිල් ක්‍රියාමාර්ග ලෙසත් හඳුන්වන්න පුළුවන්. චීනය හා ලංකාව වැනි රටවල් රජයයන් මුල් වී දැඩි ක්‍රියාමාර්ග ගත් රටවල් සේ සැලකිය හැකියි. ස්වීඩනය වැනි රටවල් අනුගමනය කළේ සාපේක්ෂව බොහෝ ලිහිල් ක්‍රමවේදයක්. එහිදී රජය මුල් වී දැඩි නීති පනවනු වෙනුවට පුද්ගල විනය කෙරෙහි වැඩි විශ්වාසයක් තබා කටයුතු කළා.

කෝවිඩ්-19 පැතිරෙද්දී ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා බ්‍රසීලය වැනි රටවල රාජ්‍ය බලය හෙබවූයේ බොහෝ දෙනෙකු "දක්ෂිණාංශික" සේ හඳුන්වන දේශපාලන පක්ෂ විසිනුයි. මේ රටවල රාජ්‍ය නායකයින්, "වාමාංශික" පක්ෂ බලය හෙබවූ ජර්මනිය හා නවසීලන්තය වැනි වෙනත් බටහිර රටවල රාජ්‍ය නායකයන්ට සාපේක්ෂව කෝවිඩ්-19 ඒ තරම් ගණන් ගත්තේ නැහැ. ජනාධිපති ට්‍රම්ප්ට, අගමැති බොරිස් ජොන්සන්ට හා ජනාධිපති බොල්සොනාරෝට කෝවිඩ්-19 ආසාදනය වී සුවවීම අහම්බයන් සේ සැලකීමට බැරිකමක් නැතත් ඒ අහම්බයන් ඔවුන්ගේ දේශපාලන මතවාද වලින් වියුක්තයැයි සලකන්න බැහැ.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා බ්‍රසීලය යන රටවල් තුනම කෝවිඩ්-19 මරණ අනුපාතය අනුව (ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස) ලැයිස්තුවේ ඉහළින් සිටින රටවල්. බොහෝ විට මෙහි වරද මේ රටවල් පාලනය කළ ආණ්ඩු වලට බැර කෙරෙනු දැකිය හැකියි. ආණ්ඩු වල බලපෑමක් නැතැයි කිව නොහැකි වුවත් එය එකම සාධකය නෙමෙයි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා බ්‍රසීලය වැනි රටවල දක්ෂිණාංශික ආණ්ඩු බලයට පත් වී සිටින්නේ එම රටවල බහුතර ජනතාව හෝ අඩු වශයෙන් ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් දක්ෂිණාංශික අදහස් දැරූ නිසයි. මේ ජනමතය කෝවිඩ් වසංගතය පැතිරීමෙන් පසුව වෙනස් වී තිබිය හැකි වුවත්, වසංගතය පැතිරෙද්දී එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. අදාළ රටවල රාජ්‍ය නායකයින්ගෙන් නිරූපණය වුනේ එම රටවල විශාල පිරිසක් හිතන ආකාරයයි. 

මේ රටවල් අතරින් මා වැඩිපුර දන්නා ඇමරිකාවේ බොහෝ දෙනෙකු කෝවිඩ්-19 පිට දමා රටේ මිනිස් ජීවිත හැසිරවීමේ ලීවරය ආණ්ඩුව අතට ගන්නවාට කැමැත්තෙන් හිටියේ නැහැ. කාලයක් තිස්සේ ආණ්ඩුවේ රූකඩ සේ ජීවත් වීමට මිනිස්සුන්ව පුරුදු කර තිබෙන චීනය හෝ සිංගප්පූරුව වැනි රටක ආණ්ඩුවකට කළ හැකි දේ බටහිර රටක ආණ්ඩුවකට කළ නොහැකියි. මේ කරුණ "වාමාංශික" සේ සැලකෙන ආණ්ඩුවක් බලයේ සිටින ජර්මනිය වැනි රටකට වුවත් සාධාරණ ප්‍රකාශයක්.

ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයට බලය තිබුණු ප්‍රාන්ත කෝවිඩ්-19 හමුවේ රිපබ්ලිකන් පක්ෂයට බලය තිබුණු ප්‍රාන්ත වලට සාපේක්ෂව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රාන්ත වල වසංගතයේ ව්‍යාප්තිය මන්දගාමී වුනා. එහෙත්, එම ප්‍රාන්ත වසංගතයේ ව්‍යාප්තිය සීමා කිරීමට සමත්ව නැහැ. යුරෝපයේ රටවල් අතරින් සෑහෙන තරමකින් සාර්ථකව වසංගතය පාලනය කළ සේ සලකනු ලැබූ ජර්මනියේත් මේ වෙද්දී නැවතත් කෝවිඩ්-19 පැතිරෙනවා.

දැඩි ක්‍රියාමාර්ග හරහා කෝවිඩ්-19 පාලනය කරගත් රටක් ලෙස දැනට හඳුනාගත හැක්කේ චීනය පමණයි. චීනය විසින් මුලදීම කළේ උපයෝගීතාවාදී පදනමකින් ජීවිත පහක් බේරා ගැනීම සඳහා මහත මිනිහාව දුම්රිය මාර්ගයට තල්ලු කරන එකයි. එසේ නොවේනම් අවම වශයෙන් වැඩිදුර නොහිතා ක්ෂණිකව ලීවරය ඇද අතුරු මාර්ගයට ට්‍රොලිය හරවන එකයි. එයට සාපේක්ෂව බොහෝ බටහිර රටවල් විසින් කළේ අතුරු මාර්ගයේ සිටින පුද්ගලයාවත් බේරාගෙන ඉතිරි ජීවිත පහ බේරාගන්නා ආකාරය ගැන සැලසුම් හදමින් කල් ගැනීමයි. 

පසුගිය ඔක්තෝබර් 8 දින දක්වා චීනයේ සිදු වී ඇති කෝවිඩ් මරණ 4,634කින් 4,512ක්ම සිදුව තිබෙන්නේ හුබෙයි ප්‍රාන්තයේ. එයින්ද මරණ 3,869ක්ම සිදුව තිබුණේ මිලියන 11.1ක ජනගහණයක් සිටින වුහාන් ආශ්‍රිතවයි. වුහාන් ආශ්‍රිතව කෝවිඩ් පැතිරෙද්දී, චීන ආණ්ඩුව විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී අදාළ ප්‍රදේශය ලොක් ඩවුන් කළා. මෙහිදී චීනය විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ගය වූයේ මිලියන 1400ක් ඉක්මවන රටේ සෙසු ප්‍රදේශ වල සිටින ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා වුහාන් වල සිටින සීමිත ජනගහණය බිල්ලට දීමයි. 

මේ ක්‍රියාමාර්ගය නොවන්නට වුහාන් වල ජීවත් වූ පිරිස් "පණ බේරා ගැනීම" සඳහා ප්‍රදේශයෙන් පිටතට සංක්‍රමණය වීමත්, ඒ හරහා රට පුරා වසංගතය ව්‍යාප්ත වීමත් සිදු විය හැකිව තිබුණා. චීන ආණ්ඩුව විසින් ගත් ක්ෂණික ක්‍රියාමාර්ගය නිසා එක පැත්තකින් වුහාන් වැසියන්ට පණ බේරා ගන්න තිබුණු අවස්ථාව අහිමි වෙද්දී වුහාන් වලින් පිට සිටි අයගේ අවදානම අඩු වුනා.

කෙසේ වුවත්, ඒ වන විටත් වුහාන් වලින් පිටතට වසංගතය පැතිරී තිබුණා. ඒ නිසා චීනයට වුහාන් ඇතුළත් හුබෙයි ප්‍රාන්තයම ලොක් ඩවුන් කරන්න සිදු වුනා. 

දැන් අප දන්නා පරිදි කෝවිඩ්-19 මරණ අනුපාතය කලින් සිතා සිටියාට වඩා බෙහෙවින්ම අඩු වුවත්, ආරම්භයේදී මේ ප්‍රතිශතය 2% පමණ සේ ඇස්තමේන්තු කර තිබුණා. ඒ වගේම, ඇස්තමේන්තු කර තිබුණු R0 අගය අනුව රෝගය ස්වභාවිකවම පාලනය වීම සඳහා මුළු ජනගහණයෙන් 50%කට පමණවත් රෝගය වැළඳිය යුතුව තිබුණා. මේ අනුව, උපරිම වශයෙන් ජනගහණයෙන් 1%ක් පමණ මේ වසංගතයෙන් මිය යා හැකිව තිබුණා. 

මිලියන 11ක වුහාන් ජනගහණයෙන් 1%ක් කියා කියන්නේ 110,000ක පිරිසක්. දැනට ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබෙන කෝවිඩ්-19 මරණ ප්‍රමාණය මේ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩියි. බ්‍රසීලයේ හා ඉන්දියාවේ මරණ ප්‍රමාණද මීට වඩා වැඩියි. සමස්ත චීනයේම ජනගහණය අනුව බැලුවොත් මේ මරණ ප්‍රමාණය ජනගහණය මිලියනයකට 76ක පමණ ප්‍රමාණයක්. එය චීනයට දැනෙන මරණ ප්‍රමාණයක් නෙමෙයි. 

අනෙක් අතට මේ මරණ ප්‍රමාණය උපරිම සීමාවක්. සංචරණය සීමා කර R0 අගය පහත හෙළිය හැකි නිසා ජනගහණයෙන් 50%කට රෝගය ව්‍යාප්ත වන තුරු රෝගය පැතිරෙන්නේ නැහැ. චීන රජයට බය නැතිව ලීවරය අදින්න පුළුවන් වුනේ මේ සියළු තත්ත්වයන් එක්කයි.

විශාල ජනගහණයක් සිටින විශාල රටක් වන චීනයට තිබෙන සියළු වාසි ලංකාව වගේ පොඩි රටකට නැහැ. අනෙක් අතට ලංකාවට දූපතක් වීමේ වාසිය තිබෙනවා. කෙසේ වුවත්, දූපතක් වීමේ වාසිය තිබෙන්නේ යම් සීමාවක් තුළ පමණයි. දූපතකට පිටතින් කෝවිඩ් පැමිණීමේ අවදානමින් බේරී ඉන්න පුළුවන් වුනත්, රට ඇතුළේ කෝවිඩ් පැතිරුනොත් ඉතා ඉක්මණින් වසංගතය රට පුරා ව්‍යාප්ත වීමේ අවදානම එසේම තිබෙනවා.

(Image: https://www.cagle.com/tom-janssen/2020/03/corona-and-goliath)


Tuesday, October 20, 2020

ලීවරය අදින අත


කලින් විස්තර කරපු ට්‍රොලි ප්‍රශ්නය නිකම්ම නිකම් විහිළු කතාවක් නෙමෙයි. මිනිස්සු හිතන පතන ආකාරය හා මිනිස්සුන්ගේ රුචි අරුචිකම් තේරුම් ගැනීම සඳහා ප්‍රායෝගිකව යොදා ගන්නා ප්‍රශ්නයක්. 

මේ ප්‍රශ්නය හරහා පරීක්ෂා කෙරෙන මූලික කරුණ වන්නේ හොඳ නරක කියන දේවල් තීරණය වන්නේ කොහොමද කියන එකයි. ප්‍රශ්නයට මිනිස්සු ප්‍රතිචාර දක්වන ආකාරයෙන් පෙනෙන්නේ මිනිසුන්ගේ තේරීම් හොඳ නරක කියා නිශ්චිත ලෙස ඉරකින් වෙන් කිරීම ඉතා අසීරු කාර්යයක් බවයි. වෙනත් අයුරකින් කිවුවොත් හොඳ නරක කියා නිරපේක්ෂ දේවල් නැති බවයි.

උපයෝගීතාවාදීන්ගේ තර්කය වන්නේ අවසන් ප්‍රතිඵලය විසින් කිසියම් කාර්යයක හොඳ නරක තීරණය කරනවා කියන එකයි. උදාහරණයක් ලෙස ලීවරය ඇද සයිඩ් ට්‍රැක් එකේ සිටින පුද්ගලයාට මැරෙන්න අරින එකත්, මහත මිනිහා පාලමෙන් පහළට තල්ලු කරන එකත් දෙකම සමානයි. අවස්ථා දෙකේදීම වෙන්නේ ජීවිත පහක් බේරීමේ අරමුණින් එක් ජීවිතයක් බිලි දීමයි. එහෙමනම්, එකක් නිවැරදි වෙන්නේත්, අනිත් එක වැරදි වෙන්නේත් කොහොමද?

එහෙත්, බොහෝ සාමාන්‍ය මිනිසුන් හිතන්නේ උපයෝගීතාවාදීන් ලෙස නෙමෙයි. බොහෝ දෙනෙකුට අවසන් ප්‍රතිඵලය වගේම එම ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ගයද වැදගත්. බොහෝ දෙනෙකුට සාපේක්ෂව හොඳ නරක තීරණය වෙන්නේ අනුගමනය කරන ක්‍රියාමාර්ගය මත මිස අවසන් ප්‍රතිඵලය මත නෙමෙයි. 

මෙහිදී අනුගමනය කරන ක්‍රියාමාර්ගය කියන එකෙන් අදහස් වෙන්නේ චේතනාව නෙමෙයි. ලීවරය අදින පුද්ගලයා එය කරන්නේ ජීවිත පහක් බේරාගැනීමේ අරමුණින් මිස සයිඩ් ට්‍රැක් එකේ ඉන්න පුද්ගලයාව මරණයට පත් කිරීමේ අරමුණින් නෙමෙයි. එහෙත්, එය දැන දැනමයි. පාලම උඩින් මහත මිනිහාව තල්ලු කරන කෙනෙක් කරන්නේත් ඒ දෙයමයි. ඒ නිසා අවස්ථා දෙකේදීම චේතනාව සමානයි කියා කෙනෙකුට තර්ක කළ හැකියි. මෙහි අවුල හොඳ නරක පිළිබඳ අදහස හැම විටම තර්කයට ගෝචර නොවීමයි.

සාධාරණ වශයෙන් ගත්තොත් සමාජවාදය උපයෝගීතාවාදයක්. ඒ අනුව, නිවැරදි ක්‍රියාමාර්ගය තීරණය වන්නේ අපේක්ෂිත අවසන් ප්‍රතිඵලය මතයි. සෛද්ධාන්තිකව මේ අවසන් ප්‍රතිඵලයේ හොඳ නරක තීරණය වන්නේ සමාජවාදීන්ගේ මූලික විශ්වාස මතයි. ප්‍රායෝගිකව එය එසේ නොවිය හැකි වීම වෙනම කරුණක්.

සමාජවාදය අනුව, සියලුම මිනිස්සු සමානයි. සියලුම මිනිස්සු සමාන නිසා හැම මිනිහෙකුගේම ජීවිත වල වටිනාකම් සමානයි. මිනිස් ජීවිත පහක වටිනාකම එක මිනිස් ජීවිතයක වටිනාකම මෙන් පස් ගුණයක්. ඒ අනුව, මිනිස් ජීවිත පහක් බේරා ගැනීම සඳහා එක මිනිස් ජීවිතයක් බිලි දීම නිවැරදියි. එසේ කිරීමෙන් ශුද්ධ වශයෙන් මිනිස් ජීවිත හතරක් බේරෙනවා. එසේ නොකිරීම වැරදියි. එය වගකීම පැහැර හැර මිනිස් ජීවිත හතරක් නිකරුණේ විනාශ වෙන්න ඉඩ හැරීමක්.

සාමාන්‍ය මිනිස්සු හිතන ආකාරය අනුව සියලුම මිනිස්සු සමාන නැහැ. ඒ නිසා, මිනිස් ජීවිත වල වටිනාකම් සමාන නැහැ. තමන්ගේ ජීවිතය වඩා වටිනවා. තමන්ගේ පවුලේ සමීප අයගේ ජීවිත වඩා වටිනවා. ලීවරය ඇදීමෙන් විනාශ වෙන්නේ තමන්ගේ දරුවෙකුගේ ජීවිතයනම් කෙනෙක් එය කරන්නේ කලාතුරකින් කෙනෙක්. එවැනි දේ කරන අය නැතැයි මා කියන්නේ නැහැ. එහෙත්, එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි.

කෙසේ වුවත්, උපයෝගීතාවාදය සමාජවාදීන්ට පමණක් සීමා වූ අදහසක් නෙමෙයි. පොදුවේ ආර්ථික විද්‍යාවේදී සමාජ සැලසුම්කරුවෙකු විසින් බොහෝ විට තීරණ ගන්නේ උපයෝගීතාවාදය මත පදනම්වයි. ප්‍රධාන මාර්ගයේ සිටින පස්දෙනා වගේම අතුරු මාර්ගයේ සිටින පුද්ගලයාත් නාඳුනන, අහඹු පුද්ගලයින්නම් ලීවරය ළඟ සිටින සමාජ සැලසුම්කරුවෙකුට ඔවුන්ගේ ජීවිත වල වටිනාකම් සමාන සේ සලකන්න වෙනවා. ජීවිත පහක් බේරා ගැනීම සඳහා එක් ජීවිතයක් විනාශ වෙන්න ඉඩ අරින්න වෙනවා. එසේ නොකිරීම වැරැද්දක්.

එසේනම්, ධනවාදී රටක සමාජ සැලසුම්කරුවෙකු විසින් පාලම උඩ සිටින මහත මිනිහා දුම්රිය මාර්ගයට තල්ලු කළ යුතුද? උපයෝගීතාවාදී පදනමකින් බැලුවොත් එසේ කළ යුතුයි. එහෙත්, අවම වශයෙන් ඇමරිකාව වැනි රටක මිනිස්සු (සමීක්ෂණ දත්ත අනුව) එවැන්නක් අනුමත කරන්නේ නැහැ. ඒ නිසා, බටහිර රටක එවැන්නක් වෙන්නේ නැහැ. මිනිස්සු බහුතරයක් විසින් අනුමත කරන නිසා, එහෙමත් නැත්නම් ජනමතය එතරම් වැදගත් නැති නිසා, සමාජවාදී රටක එවැන්නක් වෙන්න පුළුවන්. උපයෝගීතා පදනමකින්, තර්කානුකූලව එය වැරදියි කියා කියන්න බැහැ.  

මහත මිනිහාව පාලමෙන් පහළට තල්ලු කිරීම බටහිර රටක වැඩි දෙනෙකු අනුමත නොකරන්නේ පෞද්ගලික නිදහස හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ සංකල්ප මත පදනම්වයි. පොදු යහපත තකා වුවත්, මහත මිනිහාගේ කැමැත්ත නොවිමසා ඔහුව පාලමෙන් පහළට තල්ලු කිරීමේ අයිතියක් වෙනත් අයෙකුට නැහැ. එය ඔහුගේ ජීවත් වීමේ අයිතිය නැති කිරීමක්. දුම්රිය මාර්ගයේ සිටින පස්දෙනාගේ ජීවිත විනාශ වීම ඔහුගේ වැරැද්දකින් සිදුවන දෙයක් නෙමෙයි. ඒ නිසා, ඒ ගැන මහත මිනිහාට කරන්න දෙයක් නැහැ. තමන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම ඒ අයගේ වැඩක්. 

එහෙමනම් ලීවරය අදින අවස්ථාවේදී අතුරු මාර්ගයේ සිටින පුද්ගලයාගේ ජීවත් වීමේ අයිතිය අහිමි කෙරෙන්නේ නැද්ද? තර්කානුකූලව බැලුවොත් එසේ වෙනවා. නමුත්, ඇමරිකාවේ බොහෝ දෙනෙක් ඒ ක්‍රියාමාර්ගය අනුමත කරනවා. පැත්තක තිබෙන ලීවරයක් ඇදීම මහත මිනිහාව දුම්රිය මාර්ගයට තල්ලු කිරීම වැනි "අපරාධයක්" නෙමෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස දුම්රියේ ගමන් පථය වෙනස් වෙනවා. ඒ ගැන සැලකිලිමත්ව සිට දුම්රිය මාර්ගයෙන් ඉවත් වෙන එක ඔහුගේ වැඩක්.

මෙහි තිබෙන්නේ පෞද්ගලික නිදහස කියන සංකල්පයේ සීමාවන් පිළිබඳ ප්‍රශ්නයක්. මෙය ලකුණු කළ හැකි නිශ්චිත වාස්තවික බෙදුම් ඉරක් නැහැ. සමාජ සම්මතයට ඉඩ දෙන රටක ඒ ඉර අඳින්න වෙන්නේ සමාජ සම්මතය මත පදනම්වයි. මිනිසුන්ගේ රුචි අරුචිකම් මත පදනම්වයි. ට්‍රොලි ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර පිළිබඳ දත්ත වැනි දේ ඒ සඳහා උදවු වෙනවා.

සැබෑ ලෝකයේ සමාජ සැලසුම්කරුවෙකු මුහුණ දෙන බොහෝ ප්‍රශ්න ට්‍රොලි ප්‍රශ්නයට වඩා සංකීර්ණයි. බටහිර රටකදී වුවත්, සමාජවාදී රටකදී වුවත් සැබෑ ප්‍රශ්නයක පරාමිතීන් ට්‍රොලි ප්‍රශ්නයේදී තරම් නිශ්චිත නැහැ. ප්‍රධාන මාර්ගයේ හෝ අතුරු මාර්ගයේ සිටින පුද්ගලයින් ගණන බොහෝ විට හරියටම දන්නේ නැහැ. ඒ වගේම, ඒ පුද්ගලයින්ට මාර්ගයෙන් ඉවත් වීමටද යම් හැකියාවක් තිබෙනවා. මහත මිනිහාව දුම්රිය මාර්ගයට තල්ලු කිරීමෙන් පසුවත් ට්‍රොලිය නොනැවතී ඉදිරියට යන්න පුළුවන්. මෙවැනි අවිනිශ්චිතතා රාශියක් එක්ක තීරණ ගැනීම පහසු කටයුත්තක් නෙමෙයි.

මහජන මතය යටපත් නොකරන පසුබිමකදී, බොහෝ පරාමිතීන් අවිනිශ්චිතව තිබියදී, ලීවරය අතේ තිබෙන පුද්ගලයා විසින් මොන තීරණය ගත්තත් කිසියම් පිරිසකගේ විවේචනයට ලක් වෙන්න සිදු වෙනවා. අපි හිතමු ලීවරය ඇද්දා කියලා. අර සයිඩ් ට්‍රැක් එකේ ඉඳලා මැරුණු පුද්ගලයා අයින්ස්ටයින් වගේ "වටිනා" පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔය වගේ කෙනෙක් අහම්බෙන් රේල්පාරක ඉන්න බැරිකමක් නැහැනේ. රේල්පාරේ සූස්තියක් අදින ජනප්‍රිය කලාකාරයෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ශිෂ්‍ය ව්‍යාපාරයක කැඳවුම්කරුවෙක් හරි ජනමාධ්‍යවේදියෙක් හරි වෙන්නත් පුළුවන්.

ලීවරය ඇදලා අතුරු මාර්ගයේ හිටපු "වැදගත්" පුද්ගලයෙක් මිය ගියොත් මිනිස්සු වැඩිපුර කතා කරන්නේ ඒ මරණය ගැන මිසක් අර බේරිච්ච ජීවිත ගැන නෙමෙයි. ගොඩක් වෙලාවට ලීවරය ඇදපු නිසා ජීවිත බේරාගත් අය ඒ බව නොදන්නවා වෙන්නත් පුළුවන්. ඇයි ඒ පාරේ ට්‍රොලියක් ආවේ නැහැනේ. ඔවුන් පරිසිද්ධික තත්ත්වය මිස ප්‍රතිපරිසිද්ධික තත්ත්වය දකින්නේ නැහැ. 

සමහර විට අර වැදගත් පුද්ගලයාගේ මරණය ගැන විරෝධය දක්වන අය අතර ලීවර ක්‍රියාකරු විසින් ලීවරය ඇදපු නිසාම පණ බේරාගත් අයගෙන් කොටසක් වුනත් ඉන්න බැරිකමක් නැහැ. "ලීවරය ඇදලා අහිංසක මනුස්සයෙක්ව මරපු එක වැරදියි. ඒක කළේ අපිව බේරගන්න කියලා කියන්නේ කොහොමද? ට්‍රොලිය අපේ පැත්තෙන් ආවානම් අපි කොහොමත් පාරෙන් අයින් වෙනවා." කියලා පස්සේ ඒ අයට කියන්න පුළුවන්කම තිබෙනවා.

අනෙක් අතට ලීවරය ඇද්දේ නැත්නම් ඒත් කිසියම් පිරිසකගේ චෝදනා වලට ලක් වෙන්න වෙනවා. මේ තරම් ජීවිත විනාශයක් වුනේ නිසි වෙලාවට නිසි තීරණ නොගත් නිසා කියලා කොමිසමකට යන්න වෙන්න වුනත් පුළුවන්. ඒ වගේ වෙලාවක අර සයිඩ් ට්‍රැක් එකේ හිටපු මනුස්සයා ලීවරය ක්‍රියාත්මක නොකළ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින්න ඉදිරිපත් වීම පිළිබඳ කිසිම සහතිකයක් නැහැ.

විවේචන වලට පාත්‍ර නොවී සමාජ සැලසුම්කරුවෙකු වෙන්න බැහැ. හැමෝටම සතුටු විය හැකි විසඳුම් නැහැ. හැබැයි එහෙම වුනා කියලා විවේචන වලක්වන එක හොඳ දෙයක් නෙමෙයි. සාධාරණ වශයෙන් ගත්තොත් විවේචන සාධනීයයි. විවේචකයින් නැති තැනකදී කෙනෙකුට සමාජ සැලසුම්කරණයේ නාමයෙන් ලීවරය ඇදලා උපාය මාර්ගික ලෙස කෙනෙක්ව විනාශ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට තමන්ට දිරවන්නේ නැති කලාකාරයෙක් රේල්පාරේ සූස්තියක් අදින වෙලාවට ලීවරය ඇදලා ට්‍රොලිය ඒ පැත්තට හරවන්න පුළුවන්. ඊට පස්සේ එහෙම කළේ ප්‍රධාන මාර්ගයේ හිටපු පස් දෙනෙක්ව බේරාගන්න කියලා කියන්න පුළුවන්. ඕනෑනම් වොයිස්කට් දෙන්න පස් දෙනෙක්ව කොහෙන් හරි හොයාගන්න වුනත් අමාරු නැහැනේ.


වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...