වෙබ් ලිපිනය:

Wednesday, July 22, 2015

රුපියල් වගේද මල්ලි ඩොලර්?


(ඔබගේ අවධානයට ලක් නොවීනම් පසුගිය සටහනට පසු සටහනක් එකතු කර ඇත.)

ඉකොනොමැට්ටාගේ පසුගිය සටහන් කිහිපයට වස්තු බීජය වූ රෝලට ණය නිධාන කථාවේ සියළුම ගණුදෙනු සිදුවන්නේ ඩොලර් වලිනි. මෙය ලංකාවේදී ප්‍රායෝගිකව සිදුවන දෙයක් නොවේ.

ලංකාව ඇතුළත සිදුවන ගණුදෙනු මුළුමනින්ම පාහේ සිදුවෙන්නේ රුපියල් සත වලිනි. එයට ප්‍රධානම හේතුව ඒ සඳහා වන නීතිමය අවශ්‍යතාවයයි. දෙවැන්න, රුපියලේ අගය පිලිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය තවමත් ස්ථිරව පැවතීමයි. ශ්‍රී ලංකා රජයේ බොහෝ අධිකාරී ආයතනයන්ට සමාන්තරව එවැනිම ආයතන උතුරේ ස්ථාපිත කළ එල්ටීටීඊ සංවිධානය පවා රුපියල නොසලකා හැරීමට එඩිතර වූයේ නැත.

කෙසේ වුවද, තවමත් ඉතා කුඩා වුවද ඩොලර් වෙළඳපොළක් (මා කතා කරන්නේ විදේශ විණිමය වෙළඳපොළ ගැන නොවේ.) ලංකාව තුළ මේ වනවිට පැහැදිලි ලෙස වර්ධනය වෙමින් පවතී.

දශක කිහිපයකට පෙරද කොළඹ තරුපහේ හෝටලයක ලැගුම් ගන්නා විදේශිකයෙකුට විදේශ මුදලින් සිය ගෙවීම් පියවිය හැකිව තිබුණි. එහෙත්, මෙහිදී සිදුවූයේ අදාළ හෝටලය හෝටල් සේවා සපයන්නෙකුගේ කාර්ය භාරයට අමතරව විදේශ විණිමය හුවමාරු කරන්නෙකුගේ කාර්ය භාරයද ඉටු කිරීමයි. ඒ හැරුණු විට බිල්පත ඉදිරිපත් වුයේ ශ්‍රී ලංකා මුදලිනි. එහෙත්, මේ වන විට පින්නවල අලි අනාථාගාරය වැනි තැනක විකිණෙන කුඩා සැමරුම් භාණ්ඩ වැනි දේ පවා කෙළින්ම ඩොලර් වලින් මිල කෙරී තිබෙනු දැකිය හැකිය. හික්කඩුව වැනි ප්‍රදේශ වලද කලක සිටම ඩොලර් ක්ෂුද්‍ර ආර්ථිකයක් පවතී.

ඇතැම් රටවල විදේශ මුදල් භාවිතය මීට වඩා වැඩිය. මේ සටහන් කියවන මාල දිවයිනේ ජීවත්වන හෝ එහි සංචාරය කර ඇති අයෙකු දන්නා පරිදි එහිදී ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම් හෝ යුරෝ වලින් ගෙවා කෙළින්ම භාණ්ඩ මිල දී ගත හැකි වීම සාමාන්‍ය දෙයකි. ඉන්දියාවට ආසන්න ඇතැම් නේපාල නගර වල ඉන්දියානු රුපියල් නේපාල රුපියල් වලටත් වඩා වැඩිපුර ගණුදෙනු සඳහා භාවිතා වේ. ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හිදී ස්වීඩන ක්‍රෝන භාවිතය ඉතා පහසුය. කෙසේ වුවද මේ සියළු අවස්ථාවන්හිදී විදේශ මුදල් භාවිතා වෙන්නේ දේශීය මුදලට සමාන්තරව හා අඩු වශයෙනි.

ඇතැම් තත්ත්වයන් යටතේ ඇතැම් රටවල දේශීය මුදල් භාවිතය බොහෝ දුරට හෝ මුළුමනින්ම නැවතී ඒ වෙනුවට විදේශ මුදලක් හෝ විදේශ මුදල් වර්ග කිහිපයක් ආදේශ වේ. මෙය සිදු වන්නේ දේශීය මුදල් ඒකකය පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටුණු විටය.

යම් කිසි මුදල් ඒකකයක් පිළිබඳව වන විශ්වාසය බිඳ වැටෙන්නේ එම මුදලේ බාහිර හා අභ්‍යන්තර අගය සීඝ්‍රයෙන් අඩුවන විටය. බාහිර අගය වනුයේ විදේශ මුදල් ඒකක වලට සාපේක්ෂව මුදලේ වටිනාකමයි. එනම් විණිමය අනුපාතිකයයි. අභ්‍යන්තර අගය මැනෙන්නේ රට තුළ විකිණෙන භාණ්ඩ හා සේවාවන්ට සාපේක්ෂවය. මේ දෙආකාරයෙන්ම අගය අඩු වීමට මූලික හේතුව උද්ධමනයයි.

මුදල් ඒකකයක් පිළිබඳව විශ්වාසය බිඳ වැටෙන්නේ උද්ධමනය කොතරම් වැඩි වූ විටද? අපේ උද්ධමනය 30% පමණ දක්වා ඉහළ ගිය අවස්ථා තිබේ. එහෙත්, රුපියල පිලිබඳ විශ්වාසය එයින් බිඳ වැටුනේ නැත. 6-7% මට්ටමේ උද්ධමනයක් අපි සාමාන්‍යයෙන් භයානක දෙයක් ලෙස සලකන්නේ නැත. එහෙත්, 2-3% මට්ටමේ උද්ධමනය පවත්වා ගන්නා දියුණු රටවල් 5%ක උද්ධමනයක් වුවද සලකන්නේ විශාල අගයක් ලෙසය. වසර 25කට පෙරත්  රුපියල් 40කට පමණ හුවමාරු වූ ඇමරිකන් ඩොලරය මේ වන විට රුපියල් 135කට පමණ ආසන්නව හුවමාරු වන්නේ අපේ උද්ධමනය මේ වසර 25 තුළ ඇමරිකාවේ උද්ධමනයට වඩා ඉහළින් පැවතීම නිසාය.

අපේ උද්ධමනය ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩි ඇමරිකාව ඩොලර් මුද්‍රණය කරන වේගයට වඩා වැඩි වේගයෙන් අපි රුපියල් මුද්‍රණය කරන නිසාය. රුපියල් වැඩි වැඩියෙන් මුද්‍රණය කිරීමට සිදුවන්නේ රජයේ ණය පියවා ගැනීමට වෙනත් ක්‍රමයක් නැති වූ විටය.

රජයක් ණය ලබා ගන්නා ප්‍රධානම ක්‍රමය බැඳුම්කර නිකුත් කිරීමයි. දේශීය හෝ විදේශීය ආයෝජකයෙකු බැඳුම්කර සඳහා මුදල් යොදවන්නේ ඒ සඳහා හිමි වන පොලිය ආකර්ශනීයනම් පමණි. ලබා ගැනීමට බලාපොරොත්තු වන ණය ප්‍රමාණය විශාල ලෙස වැඩිනම් ඒ ප්‍රමාණය අලෙවි කිරීමට පොලී අනුපාතිකය ඉතා විශාල ලෙස ඉහළ යාමට ඉඩ හැරිය යුතුය. එවිට ඊළඟ වටයේදී රජයේ වියදම් තවත් ඉහළ යයි.

මෙයට පහසු විසඳුමක් ලෙස ඒ බැඳුම්කර විකිණෙන්නේ රටේ මහ බැංකුවටය. මුදල් අලුතින් මුද්‍රණය කර බැඳුම්කර මිලදී ගත්විට මහ බැංකුවට විශාල පොලී අදායමක් ලබා ගෙන විශාල ලාභයක් ලැබිය හැකිය. මේ ලාභය අවසානයේදී සම්ප්‍රේෂණය වන්නේ රජයටමය. රජය විසින් ගෙවන පොලී මුදල් ආපසු රජයටමය.

කෙසේ වුවද මේ අයුරින් මුදල් මුද්‍රණය කර සංසරණයට එකතු කළ විට උද්ධමනය වැඩි වී මුදලේ වටිනාකම අඩුවේ. ඒ මුදලින් රජයට වුවද මිල දී ගත හැක්කේ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු භාණ්ඩ හා සේවා ප්‍රමාණයකි. එවිට රජයට තවත් වැඩිපුර මුදල් අවශ්‍ය වන අතර වැඩි වැඩියෙන් මුදල් මුද්‍රණය කිරීමට සිදුවේ. මෙහි කෙළවරක් නැත.

2008 ජුලි වන විට සිම්බාබ්වේහි උද්ධමනය 231,000,000%ක් වූයේ මෙසේ අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීම නිසාය. මේ මට්ටමට උද්ධමනය වැඩි වූ විට ප්‍රායෝගිකව රටේ ආර්ථික කටයුතු ඇණ හිටී. හන්දියට බස් එකේ ගිය පසු ගිය මුදලට ආපසු පැමිණිය නොහැක. කොණ්ඩය කැපීමට බාබර් සාප්පුවට ගිය විට වැඩේ අඩක් නිමවන කරණවෑමියා ඉතිරි කොටස නිම කිරීමට වැඩි මුදලක් අවශ්‍ය බව කියයි. සිම්බාබ්වේ මහ බැංකුවට ට්‍රිලියන සීයේ නෝට්ටු පවා නිකුත් කිරීමට සිදුවූවත් එවැනි විශාල මුදලක පවා වටිනාකම ඉතා ඉක්මණින් නැති වී යයි. මෙවැනි විශාල නෝට්ටු නිකුත් කෙරුණේ සිවු වරක් තුළ බින්දු 25ක් කපා ඉවත් කිරීමට අමතරවය.


රටක් ඉහත තත්ත්වයට පත් වූ පසු එම රටට අකැමැත්තෙන් වුවත් විදේශ මුදල් භාවිතයට ඉඩ හැරීමට සිදුවේ. මෙය හඳුන්වන්නේ ඩොලර්කරණය (Dollarization) යනුවෙනි. මේ අනුව, 2008 සැප්තැම්බර්හිදී සිම්බාබ්වේ රාජ්‍යය ඩොලර්කරණය විය. ඩොලර්කරණය වූ රටක දේශීය මුදල්ද භාවිතයේ පැවතිය හැකි නමුත් දේශීය මුදලෙහි ප්‍රායෝගික වටිනාකමක් නැත.

පසුගිය සතියේදී සිම්බාබ්වේ රජය විසින් වටිනාකමක් නැත්තටම නැති සිම්බාබ්වේ ඩොලර් සංසරණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. මේ අනුව යම් කිසිවෙකු සතුව සිම්බාබ්වේ ඩොලර් ක්වෝඩ්රිලියන් 35ක් (35,000,000,000,000,000ක්) ඇත්නම් ඒ මුදල වෙනුවෙන් ඇමරිකානු ඩොලරයක් ලබා ගැනීමේ පහසුකම තවමත් තිබේ. 1980දී සිම්බාබ්වේ ඩොලරයක වටිනාකම ඇමරිකානු ඩොලරයක වටිනාකමට වඩා වැඩි වූ බවද මතක් කර දිය යුතුය.

(ඡායාරූප අන්තර්ජාලයෙනි .)

25 comments:

  1. 2008 ජුලි වන විට සිම්බාබ්වේහි උද්ධමනය 231,000,000%ක් වූයේ මෙසේ අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීම නිසාය.*************අපේ අයත් අය වැය පියවගන්න මුදල් අච්චු ගැහුව නේද ?

    ReplyDelete
    Replies
    1. අපි මෙය කළත් තවමත් පාලනයක් ඇතුවයි කරන්නේ. තවමත් අපි අපේ ණය කෙසේ හෝ ගෙවනවා. ඒත් මේ වැඩේ හිර වෙන වෙලාවක් එන්න පුළුවන්.

      Delete
  2. ලොක්කො, අපිනම් අහලා තියෙන ආර්ථික විද්‍යාවෙදිනම්, රටේ විනිමය අනුපාතය තීරණය වෙන්නෙ කරුණු 8ක් අනුව කියල,
    1) උද්ධමන අනුපාත (Inflation rates)
    2) පොලී අනුපාත (Interest rates)
    3) රටේ ජංගම ගිණුම/ගෙවුම් ශේෂය (Country's Current Account/ Balance of Payment)
    4) රාජ්‍ය ණය (Government debt)
    5) ආනයන අපනයන අනුපාත (Terms of Trade)
    6) දේශපාලන ස්ථාවරත්වය සහ රටේ ක්‍රියාකාරිත්වය (Political Stability & Performance)
    7) Recession
    8) Speculation

    දැන් ලොක්කා මේකෙ පෙන්වල තියෙන්නෙ පලවෙනි කරුණවන උද්ධමනය පමණයි. අනිත් එක බොහොම සරළව මෙහෙම කියනවා "වසර 25කට පෙරත් රුපියල් 40කට පමණ හුවමාරු වූ ඇමරිකන් ඩොලරය මේ වන විට රුපියල් 135කට පමණ ආසන්නව හුවමාරු වන්නේ අපේ උද්ධමනය මේ වසර 25 තුළ ඇමරිකාවේ උද්ධමනයට වඩා ඉහළින් පැවතීම නිසාය" නිශ්චිත විද්‍යාවක් නොවන ආර්ථික විද්‍යාවෙදි , ඔහොම සරල විධියට දෙයක් කියන්න පුළුවන්ද?
    දැන් මෙහෙම කියමු, භෞතික විද්‍යාවෙ තියෙන බලය(F), ත්වරණය (a) සහ ස්කන්ධය (m) අතර සමීකරණය F=ma;
    ස්කන්ධය කියන සාධකය නියතයක් වෙද්දි ත්වරණය 3.375 ගුණයක් කරන්න නම්, බලය 3.375 ගුණයකින් වැඩි කරන්න වෙනවා. නමුත් ඔය කියන විනිමය අනුපාතය රුපියල් 40 ඉඳන් 135 ට වැඩි වුණේ අනිත් සියලු සාධක නියත වනවිට ඇමරිකාවට වඩා ලංකාවෙ උද්ධමනය 3.375කින් වැඩි වුණ නිසාද ? උත්තරය නෑ. මේ විධියෙ සරලව ආර්ථික විද්‍යාවෙ දේවල් නිගමනය කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔබ අසා ඇති කරුණු සඳහන් කළාට ස්තුතියි!

      විණිමය අනුපාතිකය කෙරෙහි වෙනත් කරුණු වල බලපෑමක් නැති බව මා සඳහන් කර නැත. මෙහි ඇති කෙටි සටහනින් මා පෙන්වීමට උත්සාහ දරා ඇත්තේ රාජ්‍ය ණය ඉහල යාමේ අහිතකර බලපෑමක් ගැන පමණි. කෙසේ වුවද, දීර්ඝකාලීනව විණිමය අනුපාතිකය වෙනස් වීම උද්ධමන වෙනස මඟින් බොහෝ දුරට පැහැදිලි කළ හැකිය.

      වඩා වැදගත් වන්නේ ඔබ සඳහන් කර ඇති අනෙකුත් කරුණු විණිමය අනුපාතිකය කෙරෙහි බලපෑමක් කළ හැකි යාන්ත්‍රණ හඳුනාගෙන තේරුම් ගැනීමයි. වසර 25ක් වැනි දීර්ඝ කාලයක් එක දිගට විණිමය අනුපාතිකයේ සිදුවන ක්‍රමික වෙනස් වීමකට බලපාන ප්‍රධාන කරුණ උද්ධමන වෙනසයි. අනෙත්, කරුණු බොහොමයක් විණිමය අනුපාතිකය කෙරෙහි බලපෑමක් කරන්නේ කෙටිකාලීනවය. මේ කෙටිකාලීන බලපෑම් දීර්ඝකාලීනව බොහෝ දුරට නිවැරදි වේ. රාජ්‍ය ණය පියවීම සඳහා අලුතින් මුදල් මුද්‍රණය කිරීම උද්ධමනයට හේතු වන අතර පොලී අනුපාතික උද්ධමනය මත තීරණය වේ. මේ අනුව, මේ කරුණු වල බලපෑමද උද්ධමනයට සම්බන්ධය.

      1) උද්ධමන අනුපාත (Inflation rates): මේ ගැන මා සාකච්ඡා කර ඇත. කෙසේ වුවද මගේ කෙටි සටහනෙහි වඩා සංකීර්ණ කරුණු ඉදිරිපත් කර නොමැත.
      2) පොලී අනුපාත (Interest rates): අප දකින නාමික පොලී අනුපාතික යනු මූර්ත පොලී අනුපාතික සහ උද්ධමනයේ එකතුවයි. මෙයින් මූර්ත පොලී අනුපාතික සැලකූ විට, රටවල් දෙකක සමාන අවදානමක් ඇති වත්කම් වල මූර්ත පොලී අනුපාතික දිගුකාලීනව සමානය. තාවකාලිකව එසේ නොවන විට ප්‍රාග්ධනය එක් දිශාවකට සම්ප්‍රේෂණය වීම මඟින් මෙය නිවැරදි වේ. එවිට ඉතිරි වන්නේ උද්ධමන වෙනසයි. මේ අනුව දීර්ඝකාලීනව පොලී අනුපාතික සහ විනිමය අනුපාතයේ වෙනස්වීම අතර ඇති සම්බන්ධතාව උද්ධමන වෙනසමය.
      3) රටේ ජංගම ගිණුම/ගෙවුම් ශේෂය (Country's Current Account/ Balance of Payment): ජංගම ගිනුමේ ශේෂය මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මඟින් තුලනය වන අතර මහ බැංකුවේ මැදිහත් වීමක් නොවේනම් ගෙවුම් ශේෂය ශුන්‍ය වේ. මහ බැංකුවකට වැඩි කලක් එක දිගට විණිමය වෙළඳපොළට මැදිහත් වීමේ හැකියාවක් නැත.
      4) රාජ්‍ය ණය (Government debt): රාජ්‍ය ණය විණිමය අනුපාතිකය කෙරෙහි බලපාන්නේද මහ බැංකුව මඟින් මුදල් සැපයුම වැඩිකිරීමෙන් උද්ධමනය වැඩිවීම හරහාය. මෙය මහ බැංකුව මඟින් කෙලින්ම බැඳුම්කර මිලදී ගැනීමෙන් හෝ විදේශ ණය ලබාගත් පසු විදේශ විණිමය මිලදී ගැනීම මඟින් සිදුවිය හැකිය.
      5) ආනයන අපනයන අනුපාත (Terms of Trade): ආනයන අපනයන අනුපාත අසමතුලිතාවක් ඇතිවන්නේ උද්ධමන අනුපාත වෙනස සහ විනිමය අනුපාතික වෙනස්වීම අතර නොගැලපීමක් ඇතිවිටය. ආනයන අපනයන අනුපාත හා විනිමය අනුපාතික වෙනස්වීම අතර ඇති සම්බන්ධතාව මේ නොගැලපීම නිවැරදි කිරීම මඟින් උද්ධමන අනුපාත වෙනස සහ විනිමය අනුපාතික වෙනස්වීම අතර සම්බන්ධතාව තහවුරු කිරීමකි.
      6) දේශපාලන ස්ථාවරත්වය සහ රටේ ක්‍රියාකාරිත්වය (Political Stability & Performance): මෙය විණිමය අනුපාතිකයට බලපාන්නේ ඉහත සඳහන් කල මූලික කරුණු (පොලී අනුපාතික/ අවදානම් අධිභාරය ආදිය) හරහාය. බොහෝවිට ඇත්තේ කෙටිකාලීන බලපෑමකි.
      7) Recession: ආර්ථික අවපාතයක බලපෑම ඇත්තේද වෙනත් යාන්ත්‍රණ හරහාය. ආර්ථික අවපාතයක බලපෑම වැඩිම වුනොත් වසර 4-5කින් නිශේධනය වේ.
      8) Speculation: මෙයින් අදහස් කරන්නේ කිසිදු සෛද්ධාන්තික හේතුවක් නැතිව ඉල්ලුම සැපයුම අනුව විණිමය වෙළඳපොළෙහි ඇතිවන විචලනයන්ය. මෙවැනි විචලනයන් දින හෝ සති ගණනක් තුල නිවැරදි වේ.

      රාජ්‍ය ණය සීමා කිරීම සහ එමඟින් උද්ධමනය පාලනය කිරීම අනෙක් කරුණු වලට වඩා වැදගත් බව දැන් ඔබට තේරෙනවාද?

      ආකෘතියකින් කෙරෙන්නේ තේරුම් ගැනීමට අමාරු සංකීර්ණ දෙයක් සරලව ඉදිරිපත් කිරීමයි. භෞතික විද්‍යාවෙ තියෙන බලය(F), ත්වරණය (a) සහ ස්කන්ධය (m) අතර සමීකරණය F=ma යන්නද එවැන්නකි. විශාල ස්කන්ධයක් ඇති පර්වතයකට පොඩි තල්ලුවක් දැම්මාට එය පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැත. ඒ නිසා ඉහත සමීකරණය වැරදියැයි අදහස් නොකෙරේ. ප්‍රායෝගිකව අපට අවශ්‍ය ත්වරණය ලබා ගැනීමටනම් ඝර්ෂණය, සුලඟේ වේගය සහ දිශාව වැනි තවත් කරුණු රැසක් සලකා බැලිය යුතුය. භෞතික විද්‍යා න්‍යායයන් ප්‍රායෝගිකව භාවිතයට ගන්නා ඉංජිනේරු විද්‍යාවේදී යම් යන්ත්‍රයකට අවශ්‍ය ත්වරණය දිය හැකි ආකාරය සැලසුම් කරන විට මෙවැනි වෙනත් කරුණු රාශියක්ම සලකා බැළුවත් උසස් පෙළ පංතියකදී උගන්වන්නේ F=ma සරල සමීකරණයි. මේ දැනුම පසුව වඩා සංකීර්ණ සැලසුමක් කරන ආකාරය ඉගෙන ගැනීමට පිටිවහලක් සපයයි. ආර්ථික විද්යාවේ න්‍යායයන් මෙන්ම ප්‍රයෝගික භාවිතයන් තිබේ. ප්‍රයෝගික භාවිතයේදී සංකීර්ණ කරුණු සලකා බලන නමුත් යම් නිශ්චිත සංසිද්ධියක් තේරුම් ගැනීමට ඒ සඳහා ප්‍රමාණවත් සරල ආකෘතියක් සෑහේ.

      ඔබට අපැහැදිලි යම් කරුණක් ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යනම් මට දන්නා තරමින් උත්සාහයක් දැරිය හැකිය. එහෙත්, ඔබ හොඳින්ම දන්නා දේවල් ඇත්නම් ඒ වෙනුවෙන් කාලය යෙදීමට මට අවශ්‍ය නැත.

      Delete
    2. හොඳ පැහැදිලි කිරීමක්, ඒත් නම තමයි අප්සෙට්, "ඉකොනොමැට්ටා", ඉකොනොප්‍රාඥයා වගේ නමක් හොඳ නැද්ද ?? ඔබතුමාගෙ පසුබිම, වර්තමාන තත්වය ගැන පොඩ්ඩක් ඉදිරි ලිපියකින් ලියන්න කියල ඉල්ලීමක් කරනවා. මගේ අනුමානය ඔබ ඉන්ජිනේරු උපාධිදාරියෙක් පස්සෙ ආර්ථික විශේෂඥයෙක්...

      Delete
    3. වැඩක් වුනානම් සතුටුයි. දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් ගොඩක් වැඩි නිසා මැට්ටා කියන එකයි වැඩියෙන් ගැලපෙන්නේ.

      Delete
    4. ආර්ථික විද්‍යාව යනු විද්‍යාවක් නොවේ. එය මූලිකව ම අඳුරේ අතපත ගෑමකි.

      විවිධාකාරයේ සාධක රැසක් එකිනෙක හා සම්බන්ධව වෙනස් වෙන නිසා ඉකොනොමැට්ටලා මෙන්නම ඉකොනොප්‍රාඥයින් ද කරන්නේ වරකට එක බැගින් සාධක වෙනස් කර විශ්ලේෂණය කිරීමයි. මෙයට ceteris paribus යැයි ලැටින් (?) යෙදුමක් ඇති බවට මතකයක් ඇත.

      Delete
    5. මෙය වැරදි අදහසකි. ෆෙඩරල් සංචිත බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ආර්ථිකයන් මෙහෙයවීම සඳහා යොදාගන්නා ආකෘති වල විචල්‍යයන් සිය ගණනක් තිබේ. ceteris paribus ලෙස විශ්ලේෂණය කරන සරල න්‍යායයන් වෙනත් විද්‍යාවන්ටත් පොදුය. ආර්ථික විද්‍යාවේදී එක් විචල්‍යයකින් වන බලපෑම බොහෝ අවස්ථාවන්හි හදාරන්නේ එහි ප්‍රායෝගික වැදගත් කමක් ඇති නිසාය.

      Delete
  3. ලංකාවෙත් අර වගේ බිංදු ගොඩක් තියෙන කොළයක් දකින්න පුලුවං වෙයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. දැනටනම් ඒ වගේ තර්ජනයක් ළඟ පේන්නේ නෑ. රොබට් මුගාබේගේ පාලනය ගැන හැදෑරුවොත් සිම්බාබ්වේ වලට එහෙම වුනේ ඇයි කියන එක තේරුම් ගන්න පුළුවන්.

      Delete
  4. ඉකොනොමැට්ටා කියලා කිව්වාට හොද ඉකෝන් පාඩමක් නේද මේක????

    ReplyDelete
  5. නොදැනීම http://economatta.blogspot.com/2015/07/blog-post_15.html මේකෙ දාපු කතාවක් මමත් දාලා අද. ඇත්තටම දැනං හිටියෙ නෑ දාපු බව.
    මොකද? අපි ඇවිල්ලා බයෝ කරලා දැන් කොමස් කරන්න වෙච්ච අසරණයො. ඒ නිසා මමනං දාන්නෙ සරල ප්‍රාෙයා්ගික කරුණු තමා. මේ කරුණු සංකීර්ණ නිසා කියවන්න මම පොඩ්ඩක් පැකිලෙනවා. ඒක ඉතිං මගේ අඩුපාඩුවක්. අනික මගේ ඩුවල් ප්‍රොෆයිල් කේස් එක නිසාත් පොඩි අවුලක් තිබුණා. හැකි විටෙක එන්නම්. මේක අධ්‍යාපනය ලබන අයට විශේෂයෙන් වැදගත්. යුග මෙහෙවරක් කියලා කට පුරා කිව්වැකි. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. Visitor V: මේ කතාව මට යොමු කළේ මගේ මිතුරෙක්. ආර්ථික විද්‍යා සංකල්ප විශාල ගණනකට අදාළ දේවල් මේ පොඩි කතාවේ තියෙන නිසා ඒවායින් සමහරක් ගැන ලිවුවා. මම සිංහල බ්ලොග් ගැන දැනගෙන මාස දෙක තුනකට වඩා නැහැ. මුල් වටයේදී දැකපු ආර්ථික විද්‍යාවට/ බැංකුකරණයට සම්බන්ධ එකම බ්ලොගය ඔබේ එකයි. හොඳ බ්ලොග් එකක් නිසාත්, මගේ විෂය ක්ෂේත්‍රයට අදාළ නිසාත් එය මගේ බ්ලොග් රෝලටත් මුලින්ම දාගත්තත් ඔබ ළඟකදී අලුත් දෙයක් ලියා නොතිබුණු නිසා නැවත පිවිසුනේ නැහැ. අරුණි ශපිරෝගේ බ්ලොග් එක දැක්කේ ඊටත් පසුව, හොඳටම ළඟදී. ඔබ මගේ ලිපි වල තියෙන දේවල්ම වුණත් නැවත ලිවුවත් කිසි වරදක් නැහැ. අපි දෙන්නගෙම අරමුණු එකම නිසා. තාක්ෂණික වචන භාවිතා කරලා යමක් සංකීර්ණව ලියන එක පහසුයි. සරලව ලියන එක ඊට වඩා ගොඩක් අමාරුයි. මම ගොඩක් වැල්වටාරම් අස්සේ වරකට එක බැගින් වගේ පොඩි සංකල්පයක් විතරයි ලිපියකින් දාන්නේ. සරල වැඩියි කියලා කාට හරි හිතුණොත් වැඩි විස්තර පසුව ඉදිරිපත් කිරීමට බලාගෙන. දැන් පේන හැටියට තවත් සරල කළ යුතුයි වගේ. සංකීර්ණ වැඩියි කියා සිතෙන ඕනෑම දෙයක් ගැන කමෙන්ට් කරන්න. මට වැඩි පැහැදිලි කිරීමක් කළ හැකියි. මට අවශ්‍ය මට වඩා අඩුවෙන් දන්න අයට ලියන්න මිසක් වැඩියෙන් දන්න අයට ලියන්න නෙමෙයි. (ඒ අයගෙන් මම ඉගෙන ගන්නවා,) ඔබේ ඇගයීමට ස්තුතියි!

      Delete
  6. ඒ කතාව නම් ඇත්තටම හුඟක් සරලයි. ඒක රටක ණය ගනුදෙනු වන එක්තරා අවස්ථාවක් පමණයි. තවමත් රටක ආර්ථිකය මිනිසුන්ගේ ශ්‍රමය මත රඳවා පවතින්නේ. මාක්ස්වාදය කියෙව්වොත් ඇත්තටම ඔය මුදල කියන එක වැඩක් නැහැ. අවශ්‍ය අපි කරන සේවයට/ශ්‍රමයට ඒකකයක් තිබීම පමණයි ඕනේ. "ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හිදී ස්වීඩන ක්‍රෝන භාවිතය ඉතා පහසුය." දැන් යුරෝනේ හැමතැනම භාවිතය.

    ReplyDelete
    Replies
    1. මගේ ලිපිය පැහැදිලි අඩු ඇති. මා මෙතනදී ඉදිරිපත් කරන සංකල්පය Dollarization කියන එක. මෙය සිදුවෙන්නේ රටක ජාතික මුදල් ඒකකයේ අගය නැත්තටම නැති වී, වෙනත් රටක මුදල් ඒකකයක් (ඩොලර්ම විය යුතු නැහැ) භාවිතයට ගැනීමට සිදු වූ විටයි. එය රටක පාලනාධිකාරිය විසින් තීරණය කර හෝ ජනතාවගේ තීරණය පාලනාධිකාරියට පිළිගැනීමට සිදුවීමෙන් සිදුවිය හැකියි (de facto and de juro). සිම්බාබ්වේ හොඳම මෑතකාලීන උදාහරණයයි. ආර්ජන්ටිනාවේ ටික කලකට පෙර සිදුවුනේ ආසන්න තත්ත්වයක්. මෙසේ වූ විට නැවත ජාතික මුදල් ඒකකයක් හඳුන්වාදීම කල් ගතවන සහ අමාරු වැඩක්.

      සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන රටවල වෙනත් රටවල මුදල් ඒකක පහසුවෙන් භාවිතා කළ හැකි වීම මෙවැනි හානිකර දෙයක් නොවෙයි. එහිදී සිදුවන්නේ තම රටේ මුදලේ වටිනාකම නොසලකා හැරීමකට වඩා විදේශ මුදලට පිළිගැනීමක් ලැබීමයි. විදේශ මුදල් පහසුවෙන් හුවමාරු කරගත හැකි වීම හොඳ වුවත් විදේශ මුදලකින් භාණ්ඩ මිල කෙරුණු විට (කෝපන්හේගන්හිදී හා නේපාල-ඉන්දියානු බෝඩරයෙදී මතක හැටියට මෙය සිදු නොවූවත් පින්නවලදී හා මාලේහිදී සිදු වෙනවා) සිදුවන්නේ සුළු වශයෙන් වුවත් රට තුලදී දේශීය මුදල දෙවැනි තැනට වැටීමයි. ඒ නිසා දෙවන ක්‍රමයේ හානියකුත් තියෙනවා.

      යුරෝපීය සංගමයේ බොහෝ රටවල් තුළ එකම මුදල් ඒකකයක් භාවිතා වීම මේ දෙයම නොවෙයි. මෙය මුදල් සංගමයක්. මුදල් සංගමයකට එකතු වන්නේ සාමාන්‍යයෙන් යම් කිසි අවම ආර්ථික තත්වයක් ඇති රටවල්.

      මාක්ස්වාදය ගැන යන්තම් හෝ කියවා ඇත්තේ වසර 30කට පමණ පෙර නිසා මට පසුව ඉගෙනගෙන හෝ කියවා ඇති දේවල් සමඟ සැසඳීමක් කිරීම අපහසුයි. ඔබගේ ලිපි කියවූ විට මාක්ස්වාදයේ මූලික කරුණු තරමකට හෝ හැදෑරීමට පෙළඹීමක් ඇති වෙනවා. ශ්‍රමය හා මුදල් සම්බන්ධ ඔබ ඉදිරිපත් කරන ඇතැම් අදහස් වලට මට එකඟ විය නොහැකි නමුත් ඒ ඇයි කියන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් සොයා ගැනීමට මට මාක්ස්වාදය හැදෑරීමට වෙනවා. මාක්ස්වාදී රාමුවෙන් පිට පැහැදිලි කිරීම් නම් අපහසු නැති වුවත් ඊට පෙර මූලික සංකල්ප රැසක් ගැන සාකච්ඡා කිරීමට සිදුවෙනවා.

      "අවශ්‍ය අපි කරන සේවයට/ශ්‍රමයට ඒකකයක් තිබීම පමණයි ඕනේ." මෙවැනි ඒකකයක් තිබේනම් සංකල්පීය වශයෙන් එය මුදලක්ම තමයි.

      යුරෝපීය සංගමයේ හැම රටක්ම යුරෝ භාවිතා කරන්නේ නැහැ. ස්වීඩනය සහ ඩෙන්මාර්කය එවැනි රටවල් දෙකක්. (මා දන්නා තරමින්නම් තවමත්.)

      Delete
  7. //වසර 25කට පෙරත් රුපියල් 40කට
    ඉකෝ,1977 කලින් ඇමරිකන් ඩොලරය රුපියල් 5 විතර කාලයක් පැවතුනෙත් උද්ධමනය ආණ්ඩුවෙන් පාලනය කල හින්දද?
    ඒ කාලේ ආණ්ඩුව රාජ්‍ය ණය සීමා කලාද?
    බොල උඹ මැට්ටා නං අපි ගැන කවර කතාද

    ReplyDelete
    Replies
    1. ගොඩක් හොඳ ප්‍රශ්නයක්. මුලින්ම පළමුවෙනි ප්‍රශ්නය ගන්නම්.
      -කෙටිම සහ සරලම උත්තරය, ඔව්.
      -සංඛ්‍යා විශ්ලේෂනයක්ද සමඟ වඩා විස්තරාත්මක සහ දිගු උත්තරයක් පසු සටහන් වලින් ඉදිරිපත් කරන්නම්. ඊට පෙර වෙනත් මූලික දේ කතා කළ යුතුයි.
      -දැන් මෙන්න තරමක් විස්තරාත්මක පිළිතුරක්.

      1950 ශ්‍රී ලංකා මහා බැංකුව ස්ථාපිත කර අපේ ජාතික මුදල් ඒකකය වන රුපියල හඳුන්වාදුන් අවස්ථාවේ සිට අපේ විණිමය අනුපාතිකය වෙනස්වීම යුග හතරකට බෙදිය හැකියි. (බෙදීම මගේ)

      1950-1966: මේ කාලයේදී මහ බැංකුව අපේ විණිමය අනුපාතිකය ඇමරිකානු ඩොලරයකට රුපියල් 4.76 මට්ටමේ ස්ථිරව තබා ගත්තා. රුපියල පිරිහුනේම නැහැ. උද්ධමනය මැනීමට පටන්ගත් පසු 1953-1966 කාලයේ සාමාන්‍ය උද්ධමනය 0.9% පමණයි. මේ වසර 14න් 5කදීම උද්ධමනය සෘණ අගයක්. එනම් අවධමනයක්. 1950දී (සුද්දා අපිට රට දීල යනකොට) අපේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 16.9%ක් පමණක් වූ රාජ්‍ය ණය මේ යුගයේදීත් වැඩි වුණා. ඒත් ඒ ණය පියවාගැනීමට මුදල් මුද්‍රණය කිරීමක් සිදුවුනේ නැහැ. (මේ කාලයේ ලෝකය පුරා සිදුවුණු වෙනත් වෙනස්වීම් ගැන පසුව කතා කරන්නම්.)

      1967-1977: මේ කාලයේදී අපේ සාමාන්‍ය උද්ධමනය 5.7% පමණ. හැබැයි මේ කාලය ලෝකය පුරාම උද්ධමනය වැඩි වූ යුගයක්. තෙල් මිලෙහි සිදුවූ වෙනස්කම් නිසා. මේ කාලයේත් රාජ්‍ය ණය වැඩි වුණත් විශාල ලෙස රාජ්‍ය ණය වැඩි වූ යුගයක් නොවෙයි. කෙසේ වුවත්, මේ කාලය තුල මහ බැංකුවට ස්ථිර විණිමය අනුපාතික ක්‍රමය පවත්වා ගත හැකි වුණත් එය කිරීම මුල් යුගයේදී තරම් පහසු නොවූ නිසා වරින් වර රුපියල අවප්‍රමාණය කිරීමට සිදුවුණා. ඒ අනුව 1950-1966 අතර වසර 16ක් ඇමරිකානු ඩොලරයකට රුපියල් 4.76 මට්ටමේ පැවති විණිමය අනුපාතිකය 1977 වන විට දිගින් දිගටම අවප්‍රමාණය කරනු ලැබ රුපියල් 8.87 පමණ දක්වා වැටෙනවා. මෙයත් නියම අගය නොවෙයි. දිගුකාලීනව බැරිවුණත් කෙටි කාලයක් විණිමය අනුපාතිකව කෘතිමව අඩුවෙන් තබා ගැනීමට මහ බැංකුවට පුළුවන්.

      1977-2001: ජේආර්ගේ රජය බලයට පත්වී විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟම විණිමය අනුපාතිකයත් මහ බැංකුව මඟින් නිශ්චය නොකර වෙළඳපොල සාධක මත නිදහසේ තීරණය වීමට ඉඩ හරිනවා. හැබැයි මේ නිදහස පූර්ණ නිදහසක් නෙමෙයි. කඹයේ දිග ඇති තෙක් නිදහසක්. කඹයේ සීමාවට එනවිට මහ බැංකුව මැදිහත් වෙනවා. මේ ක්‍රමය 1977දී හඳුන්වා දුන් වහාම විණිමය අනුපාතිකය රුපියල් 8-9 ක පවත්වාගත් කෘතීම අගයේ සිට එහි නියම අගය වූ රුපියල් 15-16 මට්ටමට පිරිහෙනවා. 1977-2001 කාලයේදී අපේ සාමාන්‍ය උද්ධමනය 11.8% තරම් ඉහළයි. මෙය අපේ විදේශ වෙළඳ හවුල්කරුවන්ගේ උද්ධමනයන්ට වඩා විශාල ලෙස වැඩියි. අනිවාර්යය ප්‍රතිඵලය විණිමය අනුපාතිකය පිරිහීමයි. මේ කාලය රාජ්‍ය ණය විශාල ලෙස ඉහළ ගිය කාලයක්. 2001වන විට අපේ රාජ්‍ය ණය කන්දරාව රටේ දළ ජාතික නිෂ්පාදිතයත් ඉක්මවා යනවා. මේ ණය වලින් සැලකිය යුතු කොටසක් පියවෙන්නේ අලුතින් මුදල් මුද්‍රණය කිරීමෙන්. 2001 වන විට විණිමය අනුපාතිකය ඇමරිකන් ඩොලරයට රුපියල් 93 දක්වා පිරිහෙනවා. මේ කාලය තුල විණිමය අනුපාතිකය නිදහසේ පාවුණත් එයට පාවිය හැකි වුණේ බැඳ තිබූ කඹයේ දුරයි. මහ බැංකුවට වරින්වර මේ කඹය බුරුල් කර එහි දිග වැඩි කිරීමට සිදුවෙනවා. නිවැරදිව කිවුවොත් වෙළඳපොළ සාධක මඟින් බලපෑමක් කෙරෙනවා. අවසානයේදී 2001 වසරේදී මේ කඹය කපා දැමීමට සිදුවෙනවා.

      Delete
    2. 2001-2015: පෙර සඳහන් කළ පරිදි 2001 වසර ලංකාව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පෑ වසරක්. නිදහසින් පසු අපේ ඉතිහාසයේ මුල්ම සහ එකම ආර්ථික සංකෝචනය සිදු වුනේ මේ වසරේදී. අනෙක් හැම වසරකම වුනේ අඩුවෙන් හෝ ආර්ථිකය වර්ධනය වීමක්. මෙයට සමාන්තරව, අපේ ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතය ඉක්මවීමත්, රට විදේශ විණිමය අර්බුදයකට යාමත්, අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට සිදු වීමත් මේ වසරේදී සිදු වෙනවා. කෙසේ වුවත්, මේ වැටීමෙන් පාඩමක් ඉගෙන ගන්නා අපි ඉන්පසු කාලය සාපේක්ෂව තරමක් හොඳින් කළමනාකරණය කර ඇති බව කිව යුතුයි. 2002-2014 කාලයේ සාමාන්‍ය උද්ධමනය 9.6%ක්වඩා පමණ. මේ කාලයේදී රාජ්‍ය ණය වැඩි වුණත් එය සිදුවුයේ අපේ ආර්ථික වර්ධනය සිදුවුණාට වඩා අඩු වේගයකින් නිසා දැන් අපේ ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 75% පමණ. මෙය හොඳ දෙයක්. රුපියල 135 පමණ දක්වා පිරිහුණත් මෙය 1977-2001 කාලයට සාපේක්ෂව අඩු පිරිහීමක්.

      මේ ඇතැම් කරුණු මගේ මතකයෙන් සඳහන් කළ ඒවා. ගණන් හැදුවෙත් හිතෙන්. ඒ නිසා වැරදීම් තිබිය හැකියි. ඉඩ ලැබෙන පරිදි සංඛ්‍යා වල නිරවද්‍යතාව පරීක්ෂා කර තහවුරු කරගෙන පොස්ට් එකක් ලෙස නැවත පළ කරන්නම්.

      මම මහින්දවාදියෙක් නෙමෙයි. ඒත් පහුගිය කාලයේ ආර්ථිකයේ සිදුවුණු යහපත් වර්ධනයන් තිබෙනවා. ඒවා ආපසු හැරුණොත් අවසාන වශයෙන් අයහපතක් වෙන්නේ සමස්ත මහ ජනතාවටයි. රටේ නිෂ්පාදනය වැඩි නොකර මුදල් මුද්‍රණය කර ලබා දෙන සහනයකින් ලැබෙන්නේ දදයක් කැසූ විට ලැබෙන විදියේ සහනයක්. ඒ නිසා එවැනි දේ රජයකින් බලාපොරොත්තු වීම අවසාන වශයෙන් මහජනතාවට සිදුකරන්නේ හොඳක් නෙමෙයි. (දැන් මම මේ කියන්නේ ඒ නිසා මහින්දව නැවත ගෙන්න කියන එක නෙමෙයි.)

      දෙවෙනි ප්‍රශ්නෙට උත්තරෙත් නිකන්ම ලියවිලා නේද?

      1977ට පෙර සහ පසුව පැවති විනිමය ප්‍රතිපත්ති සම්පුර්ණයෙන්ම වෙනස් නිසා (වැඩි විස්තර පසුව) මේ යුග දෙක එක ලෙස සලකා සැසඳීම හරියටම නිවැරදි නැහැ. ඇත්තටම 1977ට පෙර කාලයේදී පාලනය කලේ උද්ධමනය නොවෙයි. විනිමය අනුපාතිකයයි. විනිමය අනුපාතිකය ස්ථිරව පවත්වාගත් විට මහ බැංකුව සතු මුදල් මුද්‍රණය කිරීමේ නිදහස ඉබේම සීමා වෙනවා වගේම උද්ධමනයත් ඉබේම සීමා වෙනවා. 1977න් පසු ක්‍රමයේදී (දළ වශයෙන්) වෙන්නේ එහි අනිත් පැත්තයි. මුදල් මුද්‍රණය කිරීම අනුව උද්ධමනයත්, විණිමය අනුපාතිකයත් වෙනස් වෙනවා.

      Delete
  8. ඉකෝ,දිගු උත්තරයට ඔබට පිං
    //වඩා විස්තරාත්මක සහ දිගු උත්තරයක් පසු සටහන්
    ලියමු ලියමු සිදුවිය යුත්තේද මෙයයි.සිස්ටොම් එකේ සිදුවෙන්නේ මොකක්දැයි විෂය දැනුමැත්තන් මැදහත් සිතින් පහදා දීම.

    //උද්ධමනය සෘණ අගයක්
    මරුනේ.අතේ සල්ලි තියාගෙන ඉන්න එක ලාබයි.

    //කෘතිමව අඩුවෙන් තබා ගැනීමට මහ බැංකුවට
    අර පෙග් කරනවා කියලා කියන්නේ මේ වැඩේට නේද?

    // මහින්දවාදියෙක් නොවේ
    මහින්දවාදියෙක් නොවේ බං මොන වාදියෙක්වත් වෙන්න හොඳ නෑ.අපේ එවුන් ලෙසටම කෙලෝ ගන්න තැනක් ඔය.එකෙක්ව අරගෙන අන්ද බක්තියෙන් වන්දනාව.අන්තිමට වන්දනා කරපු එවුනුත් විනාසයි වන්දනා ලබපු එකත් විනාසයි.

    // ඒත් පහුගිය කාලයේ ආර්ථිකයේ සිදුවුණු යහපත් වර්ධනයන් තිබෙනවා
    මේ ගැනත් යමක් ලියවුණොත් වටිනවා. 20% කොමිස් ගැහිලි,කුරක්කන් වේලන එයාපෝට්,අම්බ පාඩු පිට දුවන දෙවන පංතියේ ගුවන්සේවා ගැන අපි දන්නවා වුනාට ආර්ථිකයට යහපත් පැත්තත් වූ දේවල් දේසපාලන මුට්ටි ඇල්ලීමෙන් තොරව ලියවෙන එක.

    ReplyDelete
    Replies
    1. පෙග් කරනවා කියන්නේ විණිමය අනුපාතිකය නිශ්චිත අගයක පවත්වා ගැනීම. එම අගය වෙළඳපොල සාධක අනුව 'සැබෑ' අනුපතිකයෙන් විශාල ලෙස වෙනස්නම් මෙය කිරීම අමාරුයි. ඒ සඳහා ප්‍රාග්ධනය ගලා යෑමට සීමා පැනවීමට සිදුවෙනවා. ග්‍රීසියේ ක්‍රෙඩිට් කාඩ් රටින් පිටදී භාවිතා කිරීම නවත්වා ඇත්තේ මේ නිසයි.

      Delete
  9. "මම මහින්දවාදියෙක් නෙමෙයි. ඒත් පහුගිය කාලයේ ආර්ථිකයේ සිදුවුණු යහපත් වර්ධනයන් තිබෙනවා."

    නමුත් පහුගිය කාලයේ ආර්ථික දත්ත වල නිවැරදි බව පිලිබදව ගැටළු තිබෙනවා නේද ? නිකන් "අතේ නැති පොතේ ඇති ලාභ සහ අතේ ඇති පොතේ නැති ලාභ" මේ වගේ.

    ReplyDelete
    Replies
    1. වැරදි අවබෝධ ඇති නොවන විදිහට කෙටි උත්තරයක් දෙන්න අමාරුයි. "අතේ නැති පොතේ ඇති ලාභ සහ අතේ ඇති පොතේ නැති ලාභ" පෙන්වීමේදී කවුරුත් හොරයක් කරන්නේ නැහැ. ගිණුම්කරණ සම්මත වල ඇති අපැහැදිලි තැන් තමන්ගේ වාසියට යොදාගන්නවා. හැබැයි එහෙම කළාම වෙනසක් වෙන්නේ පොතේ විතරයි. ඒ නිසා සැබෑ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...