වෙබ් ලිපිනය:

Thursday, October 1, 2020

රජ්ජුරුවන්ගේ හරක් හා අපේ හරක්


කලින් ලිපියෙන් එලොව පොල් පෙන්නිල්ල ගැන කතා කළානේ. අපි පොඩි කාලේ කරපු තවත් සෙල්ලමක් තමයි පොල් කඩන එක. මේකනම් එලොව පොල් පෙන්නිල්ල වගේ බුලි කිරීමක් නෙමෙයි. ඇත්තටම සෙල්ලමක්. ගැටවර වයසේදී කුරුම්බා කඩන සෙල්ලම කරන්න කලින් කාලයේදීයි ඔය සෙල්ලම කළේ.

වැඩේ පටන් ගන්නේ කට්ටිය වටේට වාඩි වෙලා මිට මොලවපු අත් එක උඩ එක තියලා පොල් ගහක් හදලයි. හතර දෙනෙක් එකතු වුනොත් අත් අටක්නේ. හැබැයි පොල් ගහේ නගින්න ක්‍රීඩාවේ නායකයා එක අතක් ඉතුරු කර ගන්නවා. මොකද පොල් ගස් නැගලා මාධ්‍ය සාකච්ඡා තියන්න කට්ටිය හිටියට පොල් ගෙඩියක් කඩාගන්න කෙනෙක් හොයා ගන්න එක ලේසි නෑනේ. ඊට පස්සේ ක්‍රීඩාවේ නායකයා මෙහෙම අහනවා.

"සීයේ සීයේ පොල් කඩමුද?"

ඔය අහන්නේ රුපියල් සීයේ පොල් ගැන නෙමෙයි. ඒ දවස්වල පොල් ගෙඩියක් රුපියලක්වත් වුනේ නෑ මගේ හිතේ. 

"දඩින් බිඩින් ඩෝන්"

ඔන්න පොල් කැඩුවා. ඊට පස්සේ පොල් ලෙලි ගහනවා. ලෙලි ගහපු පොල් ගෙඩිය වම් අතේ තියලා දකුණු අතින් පොල් බිඳිනවා. ඔක්කොම කරන්නේ අභිනයෙන්. ඊට පස්සේ තියෙන්නේ පොල් ගාන එක. දනිස්ස තමයි හිරමනේ. පොල් බෑය හිරමන තලේට වඩා ලොකුද වගේ ප්‍රශ්න අපට තිබුණේ නැහැ.

"ජින්ජි බරස් බරස් බරස්"

ඔය කටයුතු අභිනයෙන් කරන්නේ මේ ආකාරයට ප්‍රශ්න අහන ගමන්.

"කෝ කඩපු පොල්?"

"ලෙලි ගැහුවා"

"කෝ ලෙලි ගහපු පොල්?"

"බින්දා" 

"කෝ බිඳපු පොල්?"

"ගෑවා"

පොල් ටික ගාගත්තට පස්සේ තියෙන්නේ පොල් මිරිකන්නයි.

"මිටි කිරි කිරි දිය කිරි කිරි ඉඳා කපුටො පොල් කුඩු"

"කෝ ගාපු පොල්?"

"හොද්දට දැම්මා"

"කෝ හොදි?" 

"පූසා කට ගැහුවා"

"කෝ පූසා කට ගහපු හොදි?"

"තම්පලා කොටුවට දැම්මා"

"කෝ තම්පලා?"

"රජ්ජුරුවන්ගේ හරක් උඩින් උඩින් කෑවා. අපේ හරක් බිමින් බිමින් කෑවා."

පොල් කැඩිල්ල අන්තිමට ඉවර වෙන්නේ ඔය විදිහට රජ්ජුරුවන්ගේ හරක් උඩින් උඩින් කෑවට පස්සේ අපේ හරක් බිමින් බිමින් කාලයි. හරක්නේ ඉතින්. මොනවා කරන්නද? තම්පලා කෑවයි කියලා මරන්නයැ? ඇරත් රජ්ජුරුවන්ගේ හරක්!

ඔය රජ්ජුරුවන්ගේ හරක්, අපේ හරක් ඔක්කොම එකතු කළාම ලංකාවේ හරක් කොච්චර ඇද්ද?

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2019 වසරේදී ලංකාවේ එළ හරක්ගහණය 1,527,649ක් හා මී හරක්ගහණය 472,192ක්. එකතුව මිලියන දෙකකට ආසන්නයි (1,999,841ක්).

එහෙත්, ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, 2019 වසරේදී ලංකාවේ එළ හරක්ගහණය 1,086,010ක් හා මී හරක්ගහණය 298,430ක් පමණයි. ඒ අනුව, එකතුව 1,384,440ක්. සංඛ්‍යාලේඛණ වල වෙනසට හේතුව පැහැදිලි නැහැ.

ඉහත ගණනින් වසුපැටවුන් ඉවත් කළ විට සංඛ්‍යාලේඛණ මෙහෙමයි.

එළදෙනුන් - 635,200

එළ හරක් - 94,520

මී දෙනුන් - 171,620

මී හරක් - 26,730

එළදෙනුන් ප්‍රමාණයට සාපේක්ෂව එළ හරක් ප්‍රමාණය 14.9%ක්ද, මී දෙනුන්ට සාපේක්ෂව මී හරකුන් ප්‍රමාණය 15.6%ක්ද පමණයි. හරකුන් අතර උපතේදී ගැහැණු පිරිමි අනුපාතය සමාන සේ සැලකුවොත් වැඩිහිටි වයසට පත් වෙද්දී එළ හරකුන්ගෙන් මෙන්ම මී හරකුන්ගෙන්ද අවම වශයෙන් 85%ක් මස් කෙරෙන බව මේ අනුව පැහැදිලි වෙනවා. මේ ප්‍රමාණය 85%ක් වන්නේ එකම එළදෙනක හෝ මී දෙනක හෝ මසට නොමරන්නේයැයි සැලකුවහොත් පමණයි. එහෙත් එය එසේ නොවන බව අප දන්නා නිසා මෙය අවම ඇස්තමේන්තුවක් පමණයි. එළදෙනුන්ගෙන් හා මී දෙනුන්ගෙන් 10%ක් මසට මරන සේ සැලකුවහොත් එළ හරකුන්ගෙන් හා මී හරකුන්ගෙන් මසට මරන ප්‍රමාණය 95%ක් වෙනවා.

කිරි පිණිසම හදන වැඩි දියුණු කළ එළ හරක්ගහණය පමණක් සැලකුවහොත් එළදෙනුන්ට සාපේක්ෂව හරක් සිටින්නේ 10.6%ක් පමණයි. මෙයින් තහවුරු වන්නේ ලෝකයේ අනෙක් රටවල වගේම ලංකාවේත් කිරි කර්මාන්තය හා හරක් මස් කර්මාන්තය ඒකාබද්ධ වී ඇති කර්මාන්තයක් බවයි. කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට දෙනුන් කෙටි කාලාන්තර තුළ ගැබ් ගැන්විය යුතු නිසා එම දෙනුන්ට ස්වභාවික තත්ත්වයන් යටතේ ලැබෙනවාට වඩා පැටවුන් ලැබෙනවා. එම පැටවුන්ගෙන් 50%ක් කිරි කර්මාන්තය සඳහා අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන් නඩත්තු කිරීම අමතර වියදමක්. 

ලංකාවේ වසරකට කොපමණ හරක් මරනවාද?

පසුගිය 2019 වසරේදී මස් පිණිස මරා තිබෙන හරක් ප්‍රමාණය 158,723ක්. හොරෙන් මරන හරක් මේ ගණනට ඇතුළත් නැහැ.

ලංකාවේ දේශීය හරක් මස් සැපයුම කොපමණද?

පසුගිය 2019 වසරේදී ලංකාව තුළ හරක් මස් මෙට්‍රික් ටොන් 29,870ක් නිපදවා තිබෙනවා. මේ අනුව, එක හරකෙකුගෙන් කිලෝග්‍රෑම් 188ක් පමණ.

දැන් ලංකාව හරක්මස් ආනයනය කරන්නේ නැද්ද?

පසුගිය 2019 වසරේදී ලංකාවට හරක්මස් කිලෝග්‍රෑම් 116,766ක් ආනයනය කර තිබෙනවා. ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් 109,317,869ක්. ඒ අනුව, හරක්මස් කිලෝග්‍රෑම් එකක් ආනයනය කර තිබෙන්නේ රුපියල් 936.21 බැගින්.

ලංකාව හරක්මස් අපනයනය කරන්නේ නැද්ද?

පසුගිය 2019 වසරේදී ලංකාවෙන් හරක්මස් කිලෝග්‍රෑම් 59,364ක් අපනයනය කර තිබෙනවා. ලැබූ ආදායම රුපියල් 72,338,734ක්. ඒ අනුව, හරක්මස් කිලෝග්‍රෑම් එකක් අපනයනය කර තිබෙන්නේ රුපියල් 1,218.56 බැගින්.

ලංකාවේ දේශීය හරක් මස් ඉල්ලුම කොපමණද?

අපට එය මේ විදිහට හදා ගන්න පුළුවන්.

දේශීය පරිභෝජනය = දේශීය නිෂ්පාදිතය - අපනයන + ආනයන = 29,870 - 59 + 117 = මෙට්‍රික් ටොන් 29,928 ක්. මේ අනුව, ලංකාවේ හරක් මස් කර්මාන්තය තනිකරම දේශීය කර්මාන්තයක්. රටේ හරක් මස් ඉල්ලුමෙන් 99.8%ක්ම සපයා තිබෙන්නේ දේශීය හරක්මස් නිෂ්පාදකයින් විසිනුයි.

දේශීය හරක් මස් කර්මාන්තය වර්ධනය වෙනවාද?

මීට දශකයකට පෙර, 2010 වසරේදී, හරක් 203,520 දෙනෙකු මස් පිණිස මරා තිබෙන අතර හරක් මස් මෙට්‍රික් ටොන් 38,700ක් රට තුළ නිපදවා තිබෙනවා. ඒ අනුව, දේශීය හරක් මස් කර්මාන්තය ක්‍රමයෙන් දුර්වල වෙමින් තිබෙන බවකුයි පෙනෙන්නේ. මෙයට ඉල්ලුම් සාධක මෙන්ම සැපයුම් සාධකද බලපා ඇතැයි සිතිය හැකියි. දේශීය සැපයුම පහළ යාමට සාපේක්ෂව හරක් මස් ශුද්ධ ආනයන ඉහළ නොයෑමෙන් පෙනෙන්නේ එක්කෝ සැපයුම අඩුවීමට සාපේක්ෂව ඉල්ලුමද අඩු වී ඇති බවයි. නොඑසේනම් ආනයනික හරක් මස් දේශීය හරක් මස් සඳහා ආදේශකයක් නොවන බවයි.

මේ අතර හරක්මස් කිලෝග්‍රෑමයක මිල 2010දී වූ 385.71 මට්ටමේ සිට 2019 වන විට රුපියල් 995.61 මට්ටම දක්වා 2.58 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ කාලය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගොස් තිබෙන්නේ 53.8%කින් පමණයි. ඒ අනුව, ලංකාවේ හරක්මස් කිලෝග්‍රෑමයක මිල අනෙකුත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමට වඩා 67.8%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ ආකාරයට පාරිභෝගික භාණ්ඩයක සාපේක්ෂ මිල ඉහළ යාමෙන් පෙනෙන්නේ ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වී නැති බවයි. ඒ අනුව, හරක් මස් සැපයුම අඩුවීමට හේතුව ඉල්ලුම අඩුවීම නොවන බව අපට නිගමනය කළ හැකියි. 

මුළු කතාවම එකතු කළ විට පෙනෙන්නේ මේ වගේ දෙයක්.

- පසුගිය කාලය තුළ ලංකාවේ හරක් මස් සැපයුම පහළ ගොස් තිබෙනවා. එයට හේතුව හරක් මැරීමට එරෙහිව රට තුළ විරෝධයක් මතු වීම හා ඒ හේතුව මත වසරකට මරන හරක් ප්‍රමාණය අඩු වී දේශීය හරක් මස් නිෂ්පාදනය පහළ යාමයි.

- හරක් මස් සැපයුම පහළ යාමට සාපේක්ෂව හරක් මස් සඳහා වන දේශීය ඉල්ලුම අඩු වී නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස හරක් මස් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

- කෙසේ වුවත්, දේශීය හරක් මස් වෙනුවට ආනයනික හරක් මස් ආදේශ වී තිබෙන්නේ ඉතාම සුළු වශයෙන් පමණයි. 

මෙහි සඳහන් අවසන් කරුණට හේතු දෙකක් පාදක විය හැකියි. පළමුවැන්න පෙරද සඳහන් කළ කරුණක්. ඒ, දේශීය හරක් මස් සඳහා ආනයනික හරක් මස් හොඳ ආදේශකයක් නොවීම. දෙවැන්න, දැනට පවතින මිලට හරක් මස් ආනයනය කිරීම අසීරු වීම.

කාලයක් තිස්සේම ලංකාවේ හරක් මස් සාපේක්ෂව මිල අඩු පාරිභෝගික භාණ්ඩයක් වුවත්, පසුගිය දශකය තුළ මේ තත්ත්වය වෙනස් වී ඇති බව පෙනෙනවා. මේ වන විට ලංකාවේ හරක් මස් කිලෝවක සාමාන්‍ය මිල රුපියල් දහසක් පමණ වෙනවා. බොහෝ බටහිර රටවල හරක් මස් කිලෝග්‍රෑමයක් විකිණෙන සිල්ලර මිල මීට වඩා වැඩි වුවත් ලෝකයේ ප්‍රධාන හරක්මස් අපනයනකරුවන් වන බ්‍රසීලය හා ඉන්දියාව මීට වඩා අඩු මිලකට හරක්මස් අපනයනය කරනවා. පකිස්ථානයේ හරක්මස් මිලත් මීට වඩා අඩුයි.

ඒ නිසා, ලංකාවට දැන් පවතින වෙළඳපොල මිලට හරක් මස් ආනයනය කරන්න බැරිකමක් නැහැ. පසුගිය වසරේ ආනයනික හරක්මස් කිලෝග්‍රෑමයක් වෙනුවෙන් ලංකාව ගෙවා තිබෙන්නේ රුපියල් 936.21ක් පමණයි. එම මිල සාමාන්‍ය දේශීය වෙළඳපොළ මිල වූ රුපියල් 995.61ට වඩා අඩුයි.

දැනට ලංකාවේ ආනයනික හරක් මස් එතරම් ජනප්‍රිය වී නොතිබීම මිල පිළිබඳ ප්‍රශ්නයක් බව පෙනෙන්නේ නැහැ. එය රුචිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් විය යුතුයි. ඒ නිසා, දැන් මිලටම මිල දී ගත හැකි වුවත් බොහෝ දෙනෙකු විසින් පෙර තරමට හරක් මස් මිල දී නොගන්න ඉඩ තිබෙනවා.

ඉල්ලුම දැන් මට්ටමේම තිබුණොත් හරක්මස් ආනයනය කිරීමට ලංකාවට කොපමණ මුදලක් වැය වෙයිද?

පසුගිය වසරේ දේශීය හරක් මස් පරිභෝජනය මෙට්‍රික් ටොන් 29,928 ක්. එම වසරේ ආනයනික මිල ගණන් අනුව, මෙම මස් ප්‍රමාණය ආනයනය කරන්න රුපියල් බිලියන 28ක් පමණ වැය වෙනවා. ඩොලර් මිලියන 150කට අධික මුදලක්. පසුගිය වසරේ කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 311.9ක් සේ සැලකූ විට මේ වැඩෙන් වෙළඳ ශේෂ වාසියක් වෙන්නනම් රටේ කිරි හා කිරි නිෂ්පාදන ආනයන වියදමෙන් බාගයක් පමණ අඩු වෙන්න ඕනෑ. 

Wednesday, September 30, 2020

එලොව පොල් දැකල තියෙනවද?


"මොකද නිකම් එලොව පොල් පෙනිල වගේ?"

කවුරු හරි තේරුමක් නැතිව ඔහේ බලාගත්තු අතේ බලා ඉන්නකොට දකින අය ඔහොම අහනවා. ඔය ප්‍රශ්නය අහන සමහර අය පොඩි කාලේ එලොව පොල් දැකල ඇති. මමනම් දැකල තියෙනවා.

මම පොඩි කාලේ එලොව පොල් දැකල තියෙනවා වගේම වෙන අයට එලොව පොල් පෙන්නලත් තියෙනවා. ඕක අපි පොඩි කාලේ කරපු සෙල්ලමක්. සෙල්ලමක් කිවුවට සෙල්ලමක්මත් නෙමෙයි. ඕක ඇත්තටම බුලි කිරීමක්. 

සාමාන්‍යයෙන් එලොව පොල් පෙන්නන එක අවුරුදු නවයක දහයක වයසේ ළමයි තමන්ට වඩා අවුරුදු දෙක තුනක් බාල ළමයින්ට කරන දෙයක්. අයියා කෙනෙක් මල්ලි කෙනෙක්ට වගේ. 

ඕක පටන් ගන්නේ මෙහෙමයි.

"මල්ලි එලොව පොල් දැකල තියෙනවද?"

"නෑ"

"පෙන්නන්නද?"

"හා" 

"එහෙනම් එන්න"

දැන් මල්ලි ළඟට ආවහම අයියා කරන්නේ මල්ලිගේ පිටිපස්සෙන් ඇවිත් අත් දෙක හැඳි දෙකක් වගේ බොකුටු කරලා මල්ලිගේ කන් වැහෙන විදිහට දෙපැත්තෙන් තියලා තද කරලා මල්ලිව උස්සන එකයි. ඔය විදිහට ඉස්සුවහම මල්ලිට එලොව පොල් පේන්න පටන් ගන්නවා. ආයේ දෙවන පාරකට අයියා කෙනෙකුට ඒ මල්ලිට එලොව පොල් පෙන්නන්න ලැබෙන්නේ නැහැ.

"මල්ලි එලොව පොල් දැකල තියෙනවද?"

"ඔව්. දැකල තියෙනවා!"

කතාව එතැනින් ඉවරයි. අයියලා මල්ලිලාගේ ප්‍රශ්නයක්නේ. දුරදිග යන්නේ නැහැ. හැබැයි මල්ලි බලාගෙන ඉන්නේ අයියා වගේ ලොකු වෙලා එයාටත් එලොව පොල් පෙන්නන්න කවුරු හරි මල්ලි කෙනෙක් හම්බ වෙනකම්. 

එලොව පොල් මොන වගේද? එලොව පොල් වල වට ප්‍රමාණය අඟල් 12-13 අතරද? නැත්නම් අඩුද වැඩිද? එලොව පොල් වල වට මනින්නේ අඟල් වලින් නෙමෙයිද? සෙන්ටි මීටර් වලින්ද? එලොව පොල් ගෙඩියක මිල කියද? 

ඔය ප්‍රශ්න අහන්න වෙන්නේ එලොව පොල් දැකපු කෙනෙක්ගෙන්ම තමයි. 

පෙරේදා මූඩිස් සමාගම විසින් ලංකාවේ ආණ්ඩුවටත් එලොව පොල් පෙන්නලා. මුදල් අමාත්‍යංශයේ නිවේදනය දිහා බැලුවහම පෙනෙන්නේ එම සමාගම විසින් ආණ්ඩුවට ඉතා හොඳින් එලොව පොල් පෙන්වලා බවයි. 

ණය අවදානම් ශ්‍රේණිය C කාණ්ඩයට වැටෙනවා කියා කියන්නේ ඉතාම බරපතල තත්ත්වයක්. මෙතෙක් කල් ලංකාවේ ආණ්ඩු විසින් දිගින් දිගටම කරගෙන ආවේ අලුත් ණය ගනිමින් පරණ ණය පියවන එකයි. ඉදිරි කාලයේදී ඒ වැඩේ කලින් තරම් පහසුවෙන් කරන්න ලැබෙන එකක් නැහැ. තව දවස් හතරකින් කල් පිරෙන ඩොලර් බිලියනයක බැඳුම්කරය වෙනුවෙන් මුදල් ගෙවන්න සිදු වෙනු ඇත්තේ තිබෙන සීමිත සංචිත වලිනුයි. ප්‍රශ්නය බරපතල වෙන්න පටන් ගනු ඇත්තේ ඉන් පසුවයි.

ආණ්ඩුවට සල්ලි අච්චු ගහලා දේශීය ණය ගෙවන්න පුළුවන්. නමුත්, රුපියල් මිසක් ඩොලර් අච්චු ගහන්න බැහැ. ඒ වගේම රුපියල් අච්චු ගහන්න පුළුවන් වුනත්, එසේ කිරීමෙන් එහි ප්‍රතිවිපාක වලටත් මුහුණ දෙන්න වෙනවා.

මහින්ද රාජපක්ෂ මුලින්ම ජනාධිපති වීමෙන් පසුව 2004-2005 කාලයේදී ඔය සල්ලි අච්චු ගැහිල්ල ජයටම කළා. වැඩේ කෙළවර වුනේ රටේ උද්ධමනය 30% පන්නලා. සල්ලි අච්චු ගැහීම වෙනුවට විදේශ ණය ගැනීම විකල්පයක් හැටියට තෝරා ගත්තේ ඒ විදිහට වැඩේ පත්තු වුනාට පසුවයි. දැන් වෙලා තියෙන්නේ සල්ලි අච්චු ගැහීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැති වීමයි.

කෝවිඩ් පිටින් දාලා දැනටමත් මහ බැංකුව විශාල සල්ලි ප්‍රමාණයක් අච්චු ගහලයි තියෙන්නේ. මෙහි ප්‍රතිඵලයක් විදිහට රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යමින් තිබෙනවා. උද්ධමනය කියන්නේ එයටයි. පොල් මිල ඉහළ යාමත්, මුළුමනින්ම නොවුනත්, උද්ධමනයේ ප්‍රතිඵලයක්.

උද්ධමනය කියා කියන්නේ කිසියම් රටක භාණ්ඩ හා සේවා වල මිල සමස්තයක් ලෙස ඉහළ යන එකටයි. භාණ්ඩ වල මිල ගණන් ඉහළ යන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් රටක උද්ධමනය ගැන දැන ගන්න පුළුවන්. නමුත්, රටක විකිණෙන හැම භාණ්ඩයකම හා සේවාවකම මිල වෙනස් වල ආකාරය නිරීක්ෂණය කරන්න ප්‍රායෝගිකව අමාරු නිසා ඒ වෙනුවට කරන්නේ තෝරාගත් භාණ්ඩ හා සේවා සීමිත ප්‍රමාණයක මිල ගණන් අඛණ්ඩව නිරීක්ෂණය කරන එකයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකය කියා කියන්නේ ඒ ආකාරයට උද්ධමනය මනින්න හදාගත් නිර්ණායක දෙකක්.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් කොළඹ වැසියෙකු සාමාන්‍යයෙන් මිල දී ගන්නා භාණ්ඩ හා සේවාවන් වල මිල නිරූපණය කෙරෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකයෙන් මුළු රටේම තත්ත්වය පිළිබිඹු වෙනවා. උද්ධමනය හේතුවෙන් රටේ ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක මිල ඉහළ යා හැකි වුවත්, උද්ධමනය මනින ආකාරය අනුව එය පාරිභෝගික මිල දර්ශකයකින් නිරූපණය වෙන්නේ අදාළ භාණ්ඩය එම පාරිභෝගික මිල දර්ශකය හැදීමට යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසේ කොටසක්නම් පමණයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසට අයිතම 246ක් ඇතුළත්. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසෙහි අයිතම 287ක් තිබෙනවා. ඒ නිසා මේ දර්ශක යොදාගෙන මනින උද්ධමනය වෙනස් වෙන්නේ ඔය අයිතමයන්ගෙන් එකක මිල වෙනස් වුනොත් පමණයි. ඒ අයිතම අතරිනුත් ඇතැම් අයිතම වලින් තිබෙන බලපෑම අනෙක් ඒවායේ බලපෑමට වඩා ගොඩක් වැඩියි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසෙහි වැඩිම බරක් තිබෙන අයිතමය ගෙවල් කුලී වියදමයි. එය 11.55%ක්. මේ අනුව, වසරක් තුළ ගෙවල් කුලී වියදම් 10%කින් වැඩි වුනොත්, ඒ හේතුව නිසා උද්ධමනය 1.16%කින් ඉහළ යනවා. ගෙවල් කුලී වියදම් වලින් පසුව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වැඩිම බරක් තිබෙන්නේ පොල් වලටයි. එය 3.21%ක්. වසරක් තුළ පොල් මිල 10%කින් ඉහළ ගියොත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුසාරයෙන් මනින උද්ධමනය 0.32%කින් ඉහළ යනවා. වසරක් තුළ පොල් මිල 30%කින් ඉහළ ගියොත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුසාරයෙන් මනින උද්ධමනය 1%කින් පමණ ඉහළ යනවා.  

මේ ආකාරයට පොල් වැනි දෙයක මිල අඛණ්ඩව නිරීක්ෂණය කිරීමේදී මතුවන ගැටළුවක් වන්නේ හැම පොල් ගෙඩියක්ම එක සමාන නොවීමයි. මේ මාසයේ ලොකු පොල් ගෙඩියක මිලත්, ඒ ළඟ මාසයේ පොඩි පොල් ගෙඩියක මිලත් යොදා ගත්තොත් මිල වෙනසින් නිරූපණය වෙන්නේ පොල් ගෙඩියේ ප්‍රමාණයේ වෙනස්වීම මිසක් මිල වෙනස් වීම නෙමෙයි. ඒ නිසා, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ලොකු, මධ්‍යම හා කුඩා ලෙස පොල් වර්ග කර කාණ්ඩ තුනක් යටතේ මිල ගණන් එකතු කර ගෙන පසුව ඒ මිල ගණන් යොදා ගෙන පොල් ගෙඩියක සාමාන්‍ය මිල හදා ගන්නවා. මේ වැඩේ කරද්දී වැඩේ හරියට  කෙරෙන්න මිල ගණන් එකතු කරන නිලධාරීන්ට නිශ්චිත නිර්ණායක ලබා දිය යුතුයි. නැත්නම්, එක් එක් පුද්ගලයා තමන්ගේ කැමැත්ත පරිදි ලොකු, මධ්‍යම හා කුඩා ලෙස පොල් වර්ග කරන්න පුළුවන්. එහෙම කරලා හරියන්නේ නැහැනේ.

පහත තිබෙන්නේ පසුගිය අගෝස්තු මාසයේදී එසේ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගත් පොල් මිල ගණන්. 


ලොකු - රුපියල් 83.96

මධ්‍යම - රුපියල් 75.77

කුඩා - රුපියල් 64.20

සාමාන්‍ය අගය - රුපියල් 74.64


වසරකට පෙර 2019 අගෝස්තු මාසයේදී පොල් මිලගණන් මේ විදිහයි.


ලොකු - රුපියල් 54.24

මධ්‍යම - රුපියල් 47.49

කුඩා - රුපියල් 39.17

සාමාන්‍ය අගය - රුපියල් 46.07


මේ අනුව පෙනෙනවා 2019 අගෝස්තු සිට 2020 අගෝස්තු දක්වා වූ වසරක කාලය තුළ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 46.07 සිට රුපියල් 74.64 දක්වා 58.9%කින් ඉහළ ගොස් තිබෙන බව. සැප්තැම්බර් තුන් වන සතිය අවසන් වෙද්දී පොල් මිල ගණන් මෙහෙමයි.


ලොකු - රුපියල් 88.70

මධ්‍යම - රුපියල් 79.80

කුඩා - රුපියල් 70.23

සාමාන්‍ය අගය - රුපියල් 79.57


මෙය පෙර වසරට සාපේක්ෂව 64.0%ක වැඩිවීමක්. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසෙහි පොල් වලට 3.21%ක බරක් තිබෙන බව මම කලින් කිවුවනේ. ඒ කියන්නේ පොල් මිල 64.0%කින් වැඩි වුනහම උද්ධමනය 2.05%කින් ඉහළ යනවා. 

දැන් පොල් සඳහා උපරිම මිලක් නියම කළාම වෙන්නේ මොකක්ද?


ලොකු - රුපියල් 70

මධ්‍යම - රුපියල් 65

කුඩා - රුපියල් 60

සාමාන්‍ය අගය - රුපියල් 65


උද්ධමනය එක පාරටම පහළ යනවා වගේම එතැනින් එහාට වැඩි වෙන්නේත් නැහැ. හැබැයි මතක තියා ගන්න පොල් මිල කියන්නේ උද්ධමන දර්ශකය ඇතුළේ රටේ සමස්ත භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නියෝජනය කරන නියෝජිතයෙක් මිසක් උද්ධමනය නෙමෙයි. ඒ නිසා, මේ ආකාරයට උද්ධමන දර්ශකය ටින්කරින් කළා කියලා ඇත්තටම රටේ උද්ධමනය අඩු වෙන්නේ නැහැ. එය වැහෙනවා පමණයි. 

අර ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබිච්ච ආකාරය ගැන කතාවක් තියෙන්නේ. ඇත්තද බොරුද කියලනම් මම දන්නේ නැහැ. ඩොනමෝර් කොමිසම විසින් ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දෙන එක සුදුසුද කියා තීරණය කරන්න කලින් රටේ ගොවියෝ, ධීවරයෝ ඇතුළු විවිධ කණ්ඩායම් හමුවෙන්න ගියා කියනවා. ඔහොම යනවා කිවුවට ලංකාවේ කවුරු හරි නායකයෙක්නේ එක්ක යන්නේ. කට්ටිය කාර් එකේ ගිහින් කුඹුරක් අයිනේ, වැල්ලක් ළඟ වගේ අහඹු තැනක වාහනය නවත්වනවා. ඉන් පසු කොමිසමේ සාමාජිකයෝ බැහැලා ගිහින් ගොවියන්, ධීවරයින් වගේ සාමාන්‍ය පුද්ගලයින්ගෙන් අදහස් විමසනවා.

ඔය විදිහට කොමිසමේ සාමාජිකයින් එක්ක කතා කරපු ලංකාවේ ගොවීන්ට, ධීවරයින්ට එහෙම ලංකාවේ වගේම ලෝකයේ සමාජ දේශපාලනික තත්ත්වයන් ගැන බොහොම හොඳ අවබෝධයක් තිබුණු බවත්, ආපු සුද්දන් එක්ක කිසිදු අපහසුවක් නැතිව හොඳ ඉංග්‍රීසියෙන් කතා කළා කියලත් කියනවා. කොමිසමේ සාමාජිකයෝ පිටත් වුනාට පස්සේ අර ගොවියෝ හා ධීවරයෝ අමුඩ ගලවලා ටයි කෝට් ඇඳගෙන ආපහු කොළඹ ආවලු.

ඔය කතාව බොරුවක් වෙන්න ඇති. හැබැයි ලංකාවේ එතෙක් මෙතෙක් වෙලා තියෙන දේවල් දිහා බැලුවහම කතාවේ ඇත්තක් තියෙන්නත් පුළුවන්. කුඹුරක් අයිනේ අහම්බෙන් හමුවෙන්න ගොවියෝ විදිහට අන්දලා සරසවි ශිෂ්‍යයෝ තිබ්බා කියලා රටේ සාමාන්‍ය ජනතාවගේ උගත්කම වැඩි වෙන්නේ නැතුවා වගේම පොල් මිල කෘතීම ලෙස සීමා කළා කියලා රටේ සැබෑ උද්ධමනය අඩු වෙන්නෙත් නැහැ. සැබෑ උද්ධමනය බලාගන්න තිබෙන අවස්ථාව නැති වෙන එක පමණයි වෙන්නේ.

පොල් මිල පාලනය කරන්න ගත්ත තීරණයෙන් පෙනෙන්නේ ආණ්ඩුව මූඩිස් ආයතනය විසින් පෙන්වන්න කලින්ම එලොව පොල් දැකලා බවයි. ෆේස්බුක් වාක්‍යයකින් ලිපිය අවසන් කරන්නම්.

යාලුවනේ, ඔයාලා එලොව පොල් දැකල තියෙනවද?

(දැකලා නැත්නම් බය වෙන්න එපා. හිච්චි කාලේ එලොව පොල් බලපු මල්ලිලා දැන් ලොකු වෙලා!)

Monday, September 28, 2020

කේල් සමඟ පරිප්පු කරියක්!


අද නිවුයෝර්ක් ටයිම්ස්හි කේල් සමඟ සම්ප්‍රදායික ශ්‍රී ලංකා පරිප්පු කරියක් හදා ගන්නා ආකාරය විස්තර කර තිබෙනවා. ලිපිය ලියා ඇති තේජල් රාවෝට රෙසිපිය ලබා දී තිබෙන්නේ මීරා ශෝධානම් බ්‍රිතාන්‍ය සූපවේදිනියක විසිනුයි. ඇය කියා ඇති පරිදි පරිප්පු කරිය උඩට කේල් කොළ එකතු කිරීම ලංකාවේ සාම්ප්‍රදායිකව කරන දෙයක් නොවූවත් එසේ එකතු කිරීමෙන් මේ ආහාරය වඩා සම්පූර්ණ එකක් බවට පත් වෙනවා.


කේල් ඇමරිකාවේ වගේම යුරෝපයේත් ජනප්‍රිය හා සුලභ කොල වර්ගයක්. එය සෞඛ්‍ය සම්පන්න ආහාරයක් සේ සැලකෙනවා. පරිප්පු වලට කේල් කොළ එකතු කිරීම සමාන කළ හැක්කේ ලංකාවේදී පරිප්පු වලට නිවිති කොල එකතු කිරීමටයි.

ලංකාවේ කේල් වවන්නේ නැතත් සුපිරි වෙළඳසැල් වල කේල් මිල දී ගන්න ඇතැයි මම සිතනවා. මේ වසරේ පළමු මාස හත ඇතුළත පමණක් ආනයනය කර තිබෙන ඩොලර් මිලියන 228.0 ක එළවලු අතර කේලුත් නොතිබෙන්න හේතුවක් නැහැ. සුළු වශයෙන් හෝ ලංකාවේ කේල් වවනවා ඇති කියලත් මම හිතනවා. දැනට වවන්නේ නැත්නම් උඩරට පළාත් වල වවන්න බැරි දෙයක් නෙමෙයි.

දැන්නම් අපේ වත්තේ ඇති වෙන්න ගොටුකොළ මුකුණුවැන්න තිබෙනවා. ඇමරිකාවේ වැවෙන අනෙක් දේශීය බෝග බොහොමයක් වගේම ගොටුකොළ මුකුණුවැන්නත් ශීත කාලයේදී මැරිලා ගිහින් කාලගුණය උණුසුම් වෙද්දී නැවත ඉබේම මතු වෙනවා. කන්කුන්නම් ශීත කාලයේදී මැරිලා ගියාට පස්සේ ඒ විදිහට නැවත මතු වෙන්නේ නැහැ. ආපහු දඬු හොයාගෙන පැල කර ගන්න ඕනෑ. මේවා වවාගන්න කලින් අපි සමහර දවස් වල බත් එක්ක කන්න කේල් වලින් ලංකාවේ ක්‍රමයට පොල් එකතු කර කේල් මැල්ලුම් හා කේල් සම්බෝල හදා ගන්නවා. නරක නැහැ. 

කේල් වගේම පරිප්පුත් ලංකාවේ වැවෙන්නේ නැහැ. 2018 වසරේදී ලංකාව පරිප්පු ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 70.2 ක් වැය කර තිබෙනවා. ලෝක පරිප්පු වෙළඳ පරිමාවෙන් 4.2%ක්ම ආනයන කරන ලංකාව ගැනුම්කාර රටවල් අතර අටවන තැන ඉන්නවා. පසුගිය දවස් වල පරිප්පු වෙනුවට බඩඉරිඟු ආදේශ කිරීම පිළිබඳ යෝජනාවකුත් ඇමතිවරයෙකුගෙන් ඉදිරිපත් වී තිබුණා. ඒ එක්කම වගේ ලංකාවේ පරිප්පු කරිය නිවුයෝර්ක් ටයිම්ස් එන එක අහම්බයක් නෙමෙයි කියලා මම කියන්නේ නැහැ.


පරිප්පු නිෂ්පාදනය මෙන්ම අපනයනය අතින්ද මුල් තැන සිටින්නේ කැනඩාවයි. එහෙත්, ලංකාව වැඩිපුරම පරිප්පු ආනයනය කරන්නේ ඕස්ට්‍රේලියාවෙන්. ඉන්දියාව ලෝකයේ දෙවන විශාලතම පරිප්පු නිෂ්පාදකයා වුවත් ඉන්දියාවේ දේශීය ඉල්ලුම නිෂ්පාදනයට වඩා වැඩියි. ඇමරිකාවත් ප්‍රමුඛ පරිප්පු නිෂ්පාදකයෙක් හා අපනයනකරුවෙක්. ඇමරිකාවේ වාර්ෂිකව ජාතික පරිප්පු උත්සවයක්ද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා පරිප්පු කරිය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන තිබෙනවා. එහෙත්, ශ්‍රී ලාංකික සම්භවයක් හෝ සම්බන්ධයක් ඇති කිහිප දෙනෙක්ම ප්‍රතිචාර දමමින් සඳහන් කර තිබෙන්නේ මේ රෙසිපිය සම්ප්‍රදායික ශ්‍රී ලංකා පරිප්පු රෙසිපියට සමාන නොවන බවයි. 

Sunday, September 27, 2020

ගංජා, හරක්මස් හා සංස්කෘතිය


ඇමරිකාවේ ජනාධිපතිවරණයට තවත් සති පහක් පමණයි තියෙන්නේ. කෝවිඩ් අර්බුදය නිසාත්, ඉන් පසුව ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය එක්ක මතු වූ තත්ත්වයන් එක්කත් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය යම් තරමකින් පහත වැටුණා කියලා මම හිතනවා. පසුගිය අවුරුද්දේ අන්තිම කාලය වගේ වෙද්දීත් ඇමරිකාවේ ජාතිකවාදී ප්‍රවණතාව සෑහෙන තරමට පීක් වෙලයි තිබුණේ. ජනවාරි මැදදී ඇමරිකාව චීනය එක්ක වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමෙන් සංකේතවත් වුනේ වසර ගණනක් ඇදුණු ඇමරිකා-චීන වෙළඳ යුද්ධය ඇමරිකාව විසින් ජයග්‍රහණය කිරීමක් කියා කියන්න බැරි කමක් නැහැ. 

ඔය දවස් වෙද්දී ඇමරිකාවේ කෝවිඩ් ප්‍රශ්නයක් තිබුණේ නැහැනේ. ගෙදර ඉඳන් වැඩ කරන්න පටන් ගත්තේ මාර්තු මැද ඉඳලා. සේවා ස්ථානයට යන්න මිනිත්තු හතළිස් පහක් විතර යනවා. ඔය යන එන අතරේ මම සාමාන්‍යයෙන් එෆ්එම් නාලිකාවකට සවන් දෙනවා. සමාජ දේශපාලනික කරුණු සාකච්ඡා කරන ප්‍රාදේශීය නාලිකාවක්. ටිකක් රිපබ්ලිකන් පැත්තට බරයි. වාහනයේ යද්දී හොඳින්ම ඇහෙන්නේ ඔය නාලිකාවයි.

ඔය එෆ්එම් චැනල් නඩත්තු වෙන්නේ වෙළඳ දැන්වීම් වලින්නේ. ගුවන් විදුලි හෝ රූපවාහිණී නාලිකාවක එහෙමත් නැත්නම් වෙබ් අඩවියක කොයි තරම් වෙළඳ දැන්වීම් දමනවාද කියන එකත් සංකීර්ණ ප්‍රශ්නයක්. වෙළඳ දැන්වීම් වැඩිපුර ලැබෙන්නේ අසන්නන්, නරඹන්නන් හෝ කියවන්නන් වැඩි වන තරමටයි. හැබැයි මේ අය ආකර්ෂණය වන්නේ වෙළඳ දැන්වීම් නිසා නෙමෙයි. වෙළඳ දැන්වීම් වැඩි වුනොත් ඇත්තටම වෙන්නේ අසන්නන්, නරඹන්නන් හෝ කියවන්නන් අඩු වෙන එකයි. එවිට අවසාන වශයෙන් වෙළඳ දැන්වීමුත් නැතිව යනවා. ජනප්‍රිය ගුවන් විදුලි හෝ රූපවාහිණී නාලිකා ලෙස හරි වෙබ් අඩවි ලෙස හරි  දිගටම පවතින්නේ ප්‍රසස්ථ වෙළඳ දැන්වීම් ප්‍රමාණය හරියට තෝරා ගත් අයයි.

මේ වගේ මාධ්‍යයක ප්‍රචාරය කරන වෙළඳ දැන්වීම් ප්‍රමාණය වගේම ඒ වෙළඳ දැන්වීම් මොනවාද කියන එකත් නිවැරදිව තීරණය කළ යුතුයි. රිපබ්ලිකන් පැත්තට බර නාලිකාවක් වැඩිපුර අහන්නේ ඒ දේශපාලන මතයේ ඉන්න අය. ඩිමොක්‍රටික් පැත්තට බර නාලිකාවක් වැඩිපුර අහන්නේ ඩිමොක්‍රටික් දේශපාලන මතයේ ඉන්න අය. අපි වගේ අහම්බෙන් ඔහේ අහුවුණු නාලිකාවක් අහන අයත් ඉන්නවා තමයි. 

ඔය කලින් කියපු නාලිකාවේ නිතර ඇහුනු එක වෙළඳ දැන්වීම් ශානරයක් වුනේ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරන ඒවා. මොකක් හෝ අදාළ භාණ්ඩය ගැන කියද්දී මේ වගේ කතාත් කියනවා.

"සම්පූර්ණයෙන්ම දේශීය අමුද්‍රව්‍ය වලින් හදා ඇත."

"අප අමුද්‍රව්‍ය ලබා ගන්නේ දේශීය සැපයුම්කරුවන්ගෙන් පමණයි."

පාරිභෝගිකයාට වැදගත් වන්නේ අදාළ භාණ්ඩයේ ගුණාත්මක භාවය හා මිල පමණක්නම් අමුද්‍රව්‍ය ආවේ කොහෙන්ද කියන එක වැදගත් නැහැනේ. එහෙමනම්, ඔය වගේ කතාවක් කිවුවා කියලා අමුතුවෙන් භාණ්ඩ විකිණෙන්න හේතුවක් නැහැ. නමුත්, මේ වගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය වන එකෙන් පෙනෙන්නේ දේශීය අමුද්‍රව්‍ය වලින් පමණක් හදන භාණ්ඩයක ආනයනික අමුද්‍රව්‍ය යොදාගෙන හදන භාණ්ඩයක නැති අමතර වටිනාකමක් තිබෙනවා කියන එකයි.

සමහර විට මේ අමතර වටිනාකමට හේතුව තිබෙන්නේ අමුද්‍රව්‍ය වල ගුණාත්මක භාවය පිළිබඳ විශ්වාසයන්හි වෙන්න පුළුවන්. වාහන අමතර කොටස් මිල දී ගන්න කොට ජපන්ද තායිවාන්ද කියන එක අනුව ගුණාත්මක භාවය පිළිබඳ විශ්වාසය වෙනස් වෙනවා වගේ. හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්.

ඇමරිකානුවන්ගේ ජාතිකවාදී හැඟීම වැඩිවන තරමට දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන හදපු භාණ්ඩ සඳහා වන ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. මෙහිදී ගුණාත්මක භාවය වැඩි වෙන්න අවශ්‍ය නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා ගැනීම කියන එකම භාණ්ඩයේ ගුණාත්මක භාවය බවට පත් වීමක්. 

ඇමරිකානුවන්ගේ ජාතිකවාදී හැඟීම වැඩි වන විට සමාන ගුණාත්මක භාවයක් තිබෙන ඇමරිකානු භාණ්ඩයක මිල ආනයනික භාණ්ඩයක මිලට වඩා වැඩි වෙන්න පුළුවන්. නමුත්, ඇමරිකානුවන්ගේ ජාත්‍යන්තරවාදී හැඟීම වැඩි වන විට මේ වෙනස නැති වෙලා සමාන ගුණාත්මක භාවය තිබෙන දේශීය හා ආනයනික භාණ්ඩ වල මිල සමාන වෙනවා. 

භාණ්ඩයක උපයෝගීතා අගය පමණක් සැලකුවොත් මේ වෙනසට හේතුව පැහැදිලි කරන්න බැහැ. මෙහිදී වෙන්නේ ජාතිකවාදී ඇමරිකානුවන්ට තමන්ගේ එම ජාතිකවාදී හැඟීම නඩත්තු කිරීම සඳහා මිලක් ගෙවන්න සිදු වීමයි. එහෙමත් නැත්නම් ඔවුන්ගේ මතවාදය නඩත්තු කිරීමේ මිල වෙළඳපොළ තුළ නිශ්චය වීමයි.

මේක මහා අමුතු දෙයක් නෙමෙයි. සන්නාම වෙනුවෙන් ගෙවන මිලත් බොහෝ විට මේ වගේම මිලක්. ස්පොන්ජ් බොබ් වගේ කාටුන් චරිතයක් මුද්‍රණය කළ ළමා ඇඳුමක මිල වෙනත් එවැනිම ඇඳුමක මිලට වඩා වැඩියි. ඒ වගේම, මේ මිල මේ ආකාරයට තීරණය වෙන්න මුදල් ගනුදෙනු සම්බන්ධ විය යුතුම නැහැ. ඇතැම් දේශපාලන මතවාද විශ්වාස කරන අය එම මතවාද වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා කියන්නේත් තමන්ගේ දේශපාලන මතවාදය නඩත්තු කිරීම වෙනුවෙන් එහි මිල ගෙවන එකයි.

ධනවාදය තුළ ලාබ ලබන්න පුළුවන් වෙන්නේ වටිනාකම් නිර්මාණය කළ හැකි අයටයි. වටිනාකම තීරණය කරන්නේ පාරිභෝගිකයින් විසින්. පාරිභෝගිකයින් විසින් වටිනාකම් තීරණය කරන්නේ නිරපේක්ෂ අවකාශයක නෙමෙයි. ඔවුන්ගේ දේශපාලන, ආගමික, සංස්කෘතික පසුබිම එයට බලපානවා. ඒ අනුව, පුද්ගලයෙකුට තමන්ගේ දේශපාලන මතවාද, ආගමික විශ්වාස, සංස්කෘතිය ආදිය නඩත්තු කිරීම සඳහා මිලක් ගෙවන්න වෙනවා. 

සමාජවාදී රටක මේ විදිහට පුද්ගලයෙකුට තමන්ගේ දේශපාලන මතවාද, ආගමික විශ්වාස, සංස්කෘතිය ආදිය නඩත්තු කිරීම සඳහා අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඒ සඳහා ගෙවිය යුතු මිල ඉතාම විශාලයි. ඒ නිසා, දෙන පැකේජ් එක කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් භාර ගන්න වෙනවා. ධනවාදී සමාජයක ඒ අවස්ථාව ලැබෙනවා. හැබැයි නොමිලේ නෙමෙයි!

කිසියම් පුද්ගලයෙකු දේශපාලන මතවාදයක, ආගමික විශ්වාසයක හෝ සංස්කෘතියක දැඩිව එල්බගත් තරමට ඒ වෙනුවෙන් දැරිය යුතු පිරිවැයද ඉහළ යනවා. අනෙක් අතට, එවැනි සීමාවන් නැති වූ තරමට පුද්ගලයෙකු සතු වෙනත් අයව සතුටු කර තමන්ගේ ලාබ වැඩි කරගැනීමේ අවස්ථා ඉහළ යනවා.

පහුගිය දවස් වල ලංකාවේ සාකච්ඡා වුනු කරුණු දෙකක් වුනේ ගංජා නිපදවා අපනයනය කිරීම හා හරක් මස් නිපදවීම නවත්වා ආනයනය කිරීමයි. මම කතා කරන්න යන්නේ මේ අදහස් දෙක ගැන මිසක් අදාළ දේශපාලන තීරණ ගැන නෙමෙයි.

ගංජා යෝජනාව අනුව ලංකාවේ ගංජා වවා ගංජා භාවිතය නීතිගත රටවලට අපනයනය කරනවා. එහෙත්, රට ඇතුළේ ගංජා භාවිතය නීතිගත කිරීමක් වෙන්නේ නැහැ. මේ යෝජනාව පසුපස තිබෙන සංකල්පය අනුව ගංජා භාවිතය නරක දෙයක්. එයට හේතුව සෞඛ්‍යමය, ආගමික හෝ සංස්කෘතික කරුණක් වෙන්න පුළුවන්. රට ඇතුළේ ගංජා නීතිගත නොකරන්නේ මොන හේතුවක් හෝ නිසා එය රටට අහිතකර නිසයි. හැබැයි ඒ අහිතකර දෙය වෙන රටක මිනිස්සු භාවිතා කළාට කමක් නැහැ. මොකද අපි යැව්වේ නැතත් ඒ මිනිස්සු ගංජා උරනවා. අපි කරන්නේ පැත්තක ඉඳලා ලාබයක් ගන්න එකයි.

හරක් මස් යෝජනාව අනුව ලංකාවේ හරක් මැරීම තහනම් කරනවා. එයට හේතුව ආගමික හෝ සංස්කෘතික කරුණක් වෙන්න පුළුවන්. නමුත්, වෙන රටක මිනිස්සු අපි වෙනුවෙන් හරක් මැරුවට ප්‍රශ්නයක් නැහැ. අපි වෙනුවෙන් හරක් මරන ඒ මිනිස්සුන්ට ඒ වෙනුවෙන් අමතර මිලක් ගෙවන්න අපි සූදානම්.

මේ කරුණු වල විසංවාදයක් තිබෙන බව ඇතැම් අය කියනවා. බොහෝ විට එහෙම කියන්නේ ජාතිකවාදය කියන එකේ මූලික ගුණාංග ගැන නොසලකමිනුයි. 

සමාජවාදය හෝ ධනවාදය වගේ අදහසක් ගත්තොත් එහි තිබෙන්නේ නිශ්චිත අදහසක්. එයින් අදහස් වන්නේ මේ මතවාදයක් දරන සියළු දෙනාම එකඟ වෙනවා කියන එක නෙමෙයි. උදාහරණයක් විදිහට විවිධ සමාජවාද තිබෙනවා. නමුත්, කවුරු හෝ සමාජවාදියෙක් ගත්තොත් ඔහුට හෝ ඇයට සාපේක්ෂව නිවැරදි එක් නිශ්චිත සමාජවාදයක් තිබෙනවා. ඒ අතින් සමාජවාදය වගේම ධනවාදයත් ආගමිකයි. නමුත්, ජාතිකවාද මිසක් ජාතිකවාදයක් කියා නිශ්චිත එකක් නැහැ. එය ජාතිකවාදීන් අතර තිබෙන ප්‍රශ්නයක් නෙමෙයි. ජාතිකවාදය කියන සංකල්පය ඇතුළේම තිබෙන වෙනසක්. 

ඇමරිකානු ජාතිකවාදය බොහෝ දුරට ආර්ථික ජාතිකවාදයක්. එහෙත්, ලංකාවේ ජනප්‍රියව තිබෙන්නේ සංස්කෘතික ජාතිකවාදයක්. මා මේ කතා කරන්නේ ප්‍රධාන සංරචකය ගැනයි. පුළුල් ලෙස බැලුවොත් ඔය දෙකේම අඩු වැඩි වශයෙන් සංරචක දෙකම තිබෙනවා.

ලංකාවේ ජනප්‍රියව තිබෙන සංස්කෘතික ජාතිකවාදයේ මූලික ලක්ෂණයක් වන්නේ ලෝකයේ විවිධ රටවල විවිධ සංස්කෘතීන් ඇති බව පිළිගැනීම. ඒ නිසා, කවර හෝ හේතුවක් නිසා ලාංකිකයෙක් ගංජා ඉරීම සුදුසු නැති වූ පමණින් වෙනත් රටක පුද්ගලයෙක් ගංජා ඉරීම වැරැද්දක් වෙන්නේ නැහැ. වෙනත් රටක පුද්ගලයෙක් ගංජා ඉරීම වැරැද්දක් නොවන බව ඒ රටේ මිනිස්සු විසින් තීරණය කර තිබෙනවානම් ඒ රටට ගංජා අපනයනය කර ආදායමක් හොයා ගන්න එකේත් වැරැද්දක් නැහැ. 

මේ යෝජනාව ප්‍රායෝගික තත්ත්වයන් යටතේ තේරුමක් තිබෙන යෝජනාවක් නොවූවත් සංකල්පීය වැරැද්දක් තිබෙන යෝජනාවක් නෙමෙයි.

හැබැයි හරක් මස් යෝජනාවේනම් සංකල්පීය අවුලක් තිබෙනවා. දැන් මේ යෝජනාව අනුව ලාංකිකයින්ගේ හරක්මස් කෑමේ අයිතිය පිළිගැනෙනවා. හරක්මස් කන්නනම් කවුරු හරි හරක් මරන්න ඕනැනේ. ඒ නිසා, ලාංකිකයින්ගේ හරක්මස් කෑමේ විනෝදය වෙනුවෙන් කොහේ හෝ ඉන්න කවුරු හරි කෙනෙක් හරක් මරන එකත් පිළිගැනෙනවා. නමුත්, ලංකාව ඇතුළේ හරක් මරන්න බැහැ.

යෝජනාවේ පසුබිම ආගමික එකක් වෙන්න බැහැ. බෞද්ධයින් සතුන් මැරීමේ මිස මස් කෑමේ වරදක් නොදකින බව ඇත්ත. ප්‍රායෝගිකව සතුන් නොමරා මස් කන්නනම් වෙන කවුරු හෝ කෙනෙක් සතුන් මැරිය යුතුයි. බෞද්ධයින් කිසිවෙක් හරක් මරන්න කැමති නැත්නම්, හරක් මස් කන්නත් ඕනෑනම් කැමැත්තෙන් හරක් මරන කෙනෙකුට ඒ සඳහා අවස්ථාව ලබා දී එහි මිල ගෙවන්න වෙනවා. එය තමන්ගේ ආගමික විශ්වාස නඩත්තු කිරීම වෙනුවෙන් කැමැත්තෙන් ගෙවන මිලක්.

ආගමික පදනමකින් බැලුවොත් ලංකාවේ හරකෙකුගේත් පිටරටක හරකෙකුගේත් ජීවිත වල වටිනාකම් වෙනසක් තියෙන්න බැහැ. එහෙත්, ආර්ථික පදනමකින් බැලුවොත් වෙනසක් තිබෙනවා. ආනයනය කරන හරක් මස් කිලෝවක් වෙනුවෙන් අනිවාර්යයෙන්ම වැඩි මිලක් ගෙවන්න වෙනවා. ඒ මිල ගෙවන්න වෙන්නේ හරක් මස් කන අයටයි.

සංස්කෘතික පදනමකින් හරක් මැරීම ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ හින්දු හා බෞද්ධ ආගමිකයින්ටයි. ඉස්ලාම් හා කතෝලික/ ක්‍රිස්තියානි ආගමිකයින්ට එහි සංස්කෘතික ගැටළුවක් නැහැ. විශේෂයෙන්ම ඉස්ලාම් ආගමිකයින් අතර හරක් මරන්න කැමති අය ඕනෑ තරම් ඉන්නවා. එවැනි අයෙකු විසින් මරන හරකෙකුගේ මස් කන්න කැමති බෞද්ධයින්ද සැලකිය යුතු පිරිසක් ඉන්නවා. හරක් මස් තහනම නිසා වෙන්නේ ඒ අයට වැඩි මිලක් ගෙවා ආනයනික හරක් මස් කන්නයි. 

ඒ වැඩි මිල ඔවුන්ගේ ආගමික හෝ සංස්කෘතික මතවාද නඩත්තු කිරීම වෙනුවෙන් ගෙවන්න සිදු වී තිබෙන මිලක් නෙමෙයි. ලංකාවේ ජීවත් වන වෙනත් පිරිසකගේ ආගමික හෝ සංස්කෘතික මතවාද නඩත්තු කිරීම වෙනුවෙන් ගෙවන්න සිදු වන අසාධාරණ මිලක්. වෙනත් විදිහකින් කිවුවොත් හරක් මස් නොකන අයව වෙනත් පිරිසකගේ සංස්කෘතික ආධිපත්‍යයකට බලහත්කාරයෙන් යටත් කිරීමක්. 

මෙයින් පෙනෙන්නේ ආර්ථික ජාතිකවාදයක හා සංස්කෘතික ජාතිකවාදයක තිබෙන මූලික වෙනසක්. ආර්ථික ජාතිකවාදයක් යටතේ කිසියම් පුද්ගලයෙකුට තමන්ගේ සංස්කෘතිය නඩත්තු කිරීමට අවශ්‍යනම් ඒ සඳහා මිලක් ගෙවන්න වෙනවා. සංස්කෘතික ජාතිකවාදයක් යටතේ බහුතර සංස්කෘතිය නඩත්තු කිරීමට අවශ්‍ය නැති අයටත් වෙනත් අයගේ බහුතර සංස්කෘතිය නඩත්තු කිරීමේ උවමනාව වෙනුවෙන් මිලක් ගෙවන්න වෙනවා.

Tuesday, September 22, 2020

මාළු නටන කතාවක්!

ශ්‍රී ලංකා රේගුවෙන් ලද තොරතුරු මත බන්දුල ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවේදී කර ඇති ප්‍රකාශයකට අනුව 2015- 2019 අතර  කාලයේ දී ශ්‍රී ලංකාව රුපියල් බිලියන 38 ක මාළු ආනයනය කර තිබෙනවා. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව අදාළ කාලයේදී ලංකාවේ මාළු හා මාළු නිෂ්පාදන ආනයන වියදම අඩු වශයෙන් මේ කියන ගණන මෙන් පස් ගුණයක්වත් විය යුතුයි. සාමාන්‍යයෙන් මේ දත්ත පදනම් වෙන්නේ රටවල් දෙකකින්ම ගන්නා තොරතුරු මතයි. ඒ නිසා, එක රටකින් ලබා ගන්නා දත්ත වලට වඩා නිවැරදියි.

දත්ත අනුව ලංකාවේ මාළු ආනයන වියදම් වේගයෙන් ඉහළ ගොස් තිබෙන්නේ 2005-2015 කාලයේදී. 2016න් පසුව ආනයන වියදම් ක්‍රමයෙන් අඩු වී තිබෙනවා. 2005-2015 කාලයේදී මේ ආකාරයට මාළු ආනයන වියදම් දෙතුන් ගුණයකින්ම ඉහළ යාම එම කාලය තුළ පොදුවේ ලංකාවේ ආනයන වියදම් විශාල ලෙස ඉහළ යාමේම දිගුවක්. එසේ ආනයන වියදම් විශාල ලෙස ඉහළ යන්න හේතු වුනේ ඒ කාලයේ අනුගමනය කළ විදේශ විණිමය ප්‍රතිපත්තියයි. 

ආනයන වියදම් අඩු කළ හැකි පහසුම ආකාරය රුපියල එය තිබිය යුතු මට්ටමට රැගෙන ඒමයි. එසේ නොකර ආනයන සීමා පැනවීමෙන් සිදු වනු ඇත්තේ භාණ්ඩ හිඟයක් ඇති වීම, මිල විශාල ලෙස ඉහළ යාම හා කළු කඩ ඇතිවීම පමණයි. කහ වලට වෙලා තියෙන්නෙත් ඒකයි.


Sunday, September 20, 2020

හතරවෙනි 25%?


මෑතකදී දිලිත් ජයවීර විසින් ව්‍යවසායකත්වය පිළිබඳ බෞද්ධ අදහස ගැන හෝ ඊට සමාන දෙයක් ගැන කතා කර තිබුණා. මේ කතාවේ පදනම සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් බුදු හිමියන් විසින් සිඟාලකට දුන් අවවාද අතර තිබෙන පහත කොටසයි.

ඒකේන භෝගේ භුඤෙජය්‍ය

ද්වීහි කම්මං පයෝජයෙ

චතුත්ථංච නිධාපෙය්‍ය

ආපදාසු භවිස්සති

මේ ගාථා ඛණ්ඩය අර කාලාම සූත්‍රයේ ජනප්‍රිය පාඨය වගේම අධිනිශ්චය වී ඇති පාඨයක්. පුද්ගලයෙක් තමන්ගේ ආදායම වැය කළ යුත්තේ කොහොමද කියා උගන්වන එක බුදු හාමුදුරුවන්ගේ ඉලක්කයක් වුනේ නැහැ. බුදු හාමුදුරුවන් ඉලක්ක කළේ හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ අතරේ බුදු දහමේ මූලික කරුණු වලට අදාළ නැති වෙනත් අවශේෂ කරුණු ගැන සඳහන් කළ මෙවැනි අවස්ථාද තිබෙනවා. ඒවාට ඕනෑවට වඩා බරක් දැමිය යුතු නැති බව බොහෝ බෞද්ධයින් විසින් පිළිගනු ඇතැයි මා සිතනවා. කොහොම වුනත් අපේ කතාවට ප්‍රවේශයක් විදිහට අපි මේ ගාථා ඛණ්ඩය යොදා ගනිමු.

දැන් මෙහි කියන ආකාරයට කිසියම් පුද්ගලයෙක් විසින් තමන්ගේ ආදායම කොටස් හතරකට බෙදා එයින් එක් කොටසක් පරිභෝජනය කළ යුතුයි. කොටස් දෙකක් කර්මාන්තයෙහි ආයෝජනය කළ යුතුයි. හතරවන කොටස හදිසි ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා නිදන් කළ යුතුයි. දිලිත් ජයවීර කියන විදිහට ඔහු සාර්ථක වී තිබෙන්නේ මේ ක්‍රමය අනුගමනය කරලා. ඔහු එසේ කියනවානම් මට ඔහුගේ ඒ ප්‍රකාශයට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ.

සිඟාලෝවාද සූත්‍රය අනුව බුදු හිමියන් විසින් මේ අවවාදය දී තිබෙන්නේ එක් නිශ්චිත පුද්ගලයෙක්ටයි. මෙහි සඳහන් 1:2:1 අනුපාතය සිඟාලකගේ ආදායම් මට්ටම අනුව ප්‍රශස්තම අනුපාතය වෙන්න පුළුවන්. සමහර විට මේ අනුපාතය දිලිත් ජයවීරටත් ගැලපෙනවා වෙන්න පුළුවන්. නමුත්, එම අනුපාතය ඕනෑම කෙනෙකුට හරියනවාද නැද්ද කියා අපට කියන්න බැහැ. බුදු හිමියන් විසින් මෙහි කර තිබෙන්නේ එවැනි සාධාරණ ප්‍රකාශයක් කියා කියන්න අපට සාධක නැහැ. 

කොහොම වුනත් මට කතා කරන්න අවශ්‍ය කරුණ එය නෙමෙයි. මෙහි පළමු කොටස ඉතා පැහැදිලිවම පරිභෝජන වියදම්. දෙවන කොටස ආයෝජන වියදම්. එතකොට හතරවෙනි කොටස කුමක්ද? දිලිත් ජයවීර තේරුම් අරගෙන තිබෙන ආකාරයටනම් බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ හතරවෙනි කොටසත් ආයෝජනය කරන්න කියලයි. ඒ කියන්නේ, 25%ක් පරිභෝජනය කරලා 75%ක් ආයෝජනය කරන්න කියලා. එහෙමනම්, ඒ බව කෙළින්ම නොකියා හතරවෙනි කොටසක් ගැන වෙනම කතා කරන්නේ ඇයි? 

මෙහි කියැවෙන හතරවන පංගුව තවත් ආයෝජනයක් නෙමෙයි. එය හරියටම එම ගාථා ඛණ්ඩයෙන් කියැවෙන දෙයමයි. එය හදිසි ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා නිදන් කරන කොටසක්. අද ලෝකයේ ව්‍යාපාරික භාෂාවෙන් කියනවානම් රක්ෂණ වාරිකයක්. 

රක්ෂණ වාරිකයක් කියා කියන්නේ එක පැත්තකින් බැලුවොත් පරිභෝජන වියදමක් හෝ ආයෝජන වියදමක් නෙමෙයි. අනෙක් පැත්තෙන් බැලුවොත් පරිභෝජන වියදමක් වගේම ආයෝජන වියදමක්. පරිභෝජන වියදමක් කියන්නේ තමන්ගේ ආදායමෙන් තමන්ගේ මේ මොහොතේ සතුට වෙනුවෙන් වැය කර අවසන් කරන කොටසක්. එයින් වෙනත් අනාගත ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ආයෝජන වියදමක් කියා කියන්නේ අනාගත ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අද වැය කරන මුදලක්. අනාගතයේදී එම අපේක්ෂිත ප්‍රතිලාභ නොලැබී යාමේ අවදානමක්ද තිබෙනවා. 

රක්ෂණ වාරිකයක් කියන්නේ අවදානමක් අරගෙන කරන ආයෝජනයක් නෙමෙයි. අනාගත අවදානම් වල හානිය අවම කර ගැනීම සඳහා වෙන් කර තබා ගන්නා මුදලක්. මේ කොටස ආයෝජන කොටස මෙන් දිගින් දිගටම සමුච්ඡය වන කොටසක් නෙමෙයි. නමුත්, පරිභෝජන කොටස මෙන් කිසිසේත්ම සමුච්ඡය නොවන කොටසක්ද නෙමෙයි. කෙටිකාලීනව සමුච්ඡය වන එහෙත් දිගුකාලීනව සමුච්ඡය නොවන කොටසක්. ආයෝජන කොටස දිගින් දිගටම සමුච්ඡය වීම සඳහා මෙවැනි සිවුවන කොටසක් අනිවාර්යයෙන්ම පවත්වා ගත යුතුයි. දිගුකාලීනව පරිභෝජන කොටස ටිකෙන් ටික වර්ධනය කර ගැනීම සඳහා ආයෝජන කොටස දිගින් දිගටම සමුච්ඡය විය යුතුයි. මේ අනුව, දිගුකාලීනව පරිභෝජනය වැඩි කර ගැනීම සඳහා ඉහත හතරවන කොටස අනිවාර්යයෙන්ම අවශ්‍යයි. 

ලංකාවේ ගොවියාගේ ප්‍රශ්නය ආයෝජන කොටස පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. එය මූලික වශයෙන්ම හතරවන කොටස පිළිබඳ ප්‍රශ්නයක්. 

පොදුවේ ගත් විට ලංකාවේ ගොවීන් පාඩු ලබන්නේ නැහැ. ඔවුන්ට තමන්ගේ පරිභෝජන වියදම් හැර සැලකිය යුතු මුදලක් ඉතිරි කරගත හැකිවාක් මෙන්ම ඔවුන් එම මුදල ආයෝජනය කරනවා. ඒ කියන්නේ ඔවුන් අපේක්ෂිත අනාගත ප්‍රතිලාභ වෙනුවෙන් අවදානමක් ගන්නවා. බොහෝ විට එම අපේක්ෂිත ප්‍රතිලාභ ලැබෙනවා. එහෙත් සමහර වෙලාවට අවදානම මතු වෙනවා. එවිට ගොවියන් අන්ත අසරණ තත්ත්වයකට පත් වෙනවා. ගොවියන් ගැන මූලිකවම කතා කළත් මෙය වෙනත් ව්‍යවසාය වලටත් අදාළයි.

ඇතැම් විට බොහෝ ලාංකිකයින් ව්‍යවසායකයින් සේ අසාර්ථක වීමට හේතුව, දිලිත් ජයවීර කියනාවක් මෙන්, ආයෝජන භාගය ප්‍රමාණවත් නොවීම වෙන්න පුළුවන්. එහෙත්, දිලිත්ගේ ප්‍රකාශය හරහා මතුවන වැරදි අදහස ආයෝජන භාගය වැඩි කරන තරමට ප්‍රතිලාභද වැඩි වන බවයි. ඇතැම් අය හා අදාළව "වාසනාවට" එසේ විය හැකි වුවත්, අධි-ආයෝජනය යනු සූදුවක්. එය හානිකරයි. ආයෝජනයේ ප්‍රතිලාභ ලබාගත යුතු අතරම අවදානම් කලමණාකරණය කර ගැනීමද ඉතා වැදගත්. ඒ නිසා අන්තිම හතරෙන් පංගුව කිසිසේත්ම ආයෝජනය කළ යුතු නැහැ.

කෘෂිකර්මය ගත්තොත් කෘෂිකාර්මික ව්‍යවසායකයෙකු මුහුණ දෙන ප්‍රධාන අවදානම් දෙකක් තිබෙනවා. පළමුවැන්න වගා හානි අවදානමයි. වියලි කාලගුණය, අධික වර්ෂාව, සේනා දළඹුවන් වැනි කෘමි උවදුරු, වල් අලි වැනි සතුන් වගාව විනාශ කිරීම ආදිය උදාහරණ සේ පෙන්වන්න පුළුවන්. ආයෝජන වැඩි කළ පමණින් මෙවැනි හානි දුරු වන්නේ නැහැ. දෙවන අවදානම මිල පහත වැටීමේ අවදානමයි. බොහෝ විට මිල පහත වැටෙන්නේ අස්වනු ඉහළ යාමට සමාන්තරවයි. අස්වනු ඉහළ යද්දී දැනෙන සතුට මිල දැනගත් වහාම නැති වී යනවා.

මේ අවදානම් වල හානිය අවම කර ගත හැකි ධනවාදී විසඳුම රක්ෂණයයි. වගා හානි රක්ෂණ හා මිල හානි රක්ෂණ ප්‍රචලිතව ඇත්නම් ගොවීන්ගේ ජීවිත අදට වඩා බොහෝ සැපවත් වෙනවා. සිඟාලකගේ යුගයට ගියොත්, ගොවීන්ට මේ හානි අවම කර ගත හැකි වූයේ තමන්ගේ ආදායමෙන් හතරෙන් එකක් නැවත ආයෝජනය නොකර, පරිභෝජනයද නොකර, නිදන් කර තබා ගැනීමෙනුයි. වසර හතරක් මෙසේ කළ විට තමන්ගේ වාර්ෂික ආදායමට සමාන කොටසක් පැත්තක එක්රැස් වෙනවා. ඒ නිසා, වසර හතරකට වරක් තමන්ගේ අපේක්ෂිත ආදායම නැත්තටම නැති වී ගියත් ඒ හේතුව නිසා ගොවියාගේ සාමාන්‍ය පරිභෝජන මට්ටම පහළ බහින්නේ නැහැ. ආයෝජන අඩුවී ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීම නවතින්නේත් නැහැ. වට්ටක්කා විකුණා ගන්න බැරි වුනා කියා හෝ හේනට අලි ගැහුවා කියා හෝ වගා ණය ගෙවන්න විදිහක් නැහැ කියා රජයට බැගෑපත් වෙන්න හෝ කණේරු ඇට කන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

වගා හානි රක්ෂණ හා මිල හානි රක්ෂණ හරහා තමන්ගේ අවදානම් කළමනාකරණය කර ගත හැකි බව අවබෝධ කර ගැනීමට ගොවීන්ට කාලයක් යන්න පුළුවන්. එතෙක්, රජයට මැදිහත් වී යම් දිරිගැන්වීමක් කළ හැකියි. ඇමරිකාවේ රජය විසින් ගොවීන් සුබසාධනය කරන ප්‍රධානම ආකාරය වගා හානි රක්ෂණ හා මිල හානි රක්ෂණ සඳහා ගෙවිය යුතු වාරික මුදල් වලින් කොටසක් සුබසාධනය කිරීමයි. 

ලංකාවේ තිබෙන වී සඳහා වන සහතික මිල ක්‍රමයෙන් කෙරෙන්නේද මිල හානි අවදානම අඩු කරන එකයි. මෙහි ඇති ගැටළුව රජයට සහතික මිලට මිල දී ගත හැකි වී ප්‍රමාණය රජය සතු ගබඩා පහසුකම් ධාරිතාවට සීමා වීමයි. වී ගොවියන්ගෙන් සහතික මිලට වී මිලදී ගන්නවා වෙනුවට ඔවුන්ට වෙළඳපොළ මිලට වී විකුණන්නට ඉඩ හැර ඒ හේතුව නිසා සිදුවන පාඩුව රජය විසින් ප්‍රතිපූරණය කරනවානම් මේ ප්‍රශ්නය මතු වන්නේ නැහැ. මේ ක්‍රමය තක්කාලි හෝ වට්ටක්කා වැනි වෙනත් ඕනෑම වගාවක් සඳහාද ක්‍රියාත්මක කළ හැකියි. මෙහිදී පිරිවැය ආවරණය කර ගැනීම සඳහා ගොවීන්ට රක්ෂණයක් විකිණිය හැකියි. එවිට එම රක්ෂණ වාරිකයේ වියදමද ඔවුන්ගේ සාමාන්‍ය වියදම් වලම කොටසක් බවට පත් වෙනවා. කාලයක් යද්දී රජයේ මැදිහත්වීමක් නැතිවම රක්ෂණ වෙළඳපොළ ක්‍රියාත්මක වෙයි.

Saturday, September 19, 2020

මහපාරේ විනය

පසුගිය දවස් වල ලංකාවේ පාරවල් වල වාහන මං තීරු ප්‍රතිපත්තිය සම්බන්ධ වෙනසක් කරන්න ගිහින් අවුලක් වෙලා තිබුණා. අවසන් ප්‍රතිඵලය කුමක් වුවත්, මේ වගේ වෙනසක් කරන්න පෙළඹෙන්න ඇත්තේ ලංකාවේ පාරවල් වල වාහන ධාවනය කරන ආකාරයේ අවුලක් තිබෙන නිසානේ. එවැනි අවුලක් තිබෙනවා කියන කාරණය සම්බන්ධව කියවන හැම දෙනෙක්ම වගේ එකඟ වෙයි කියා හිතනවා.

ඇමරිකාවේ හෝ යුරෝපයේ වාහනයක් එළවන තරම් පහසුවෙන් ලංකාවේ වාහනයක් එළවන්න බැහැ. ඒ සඳහා වෙනම කුසලතාවයක් අවශ්‍යයි. පුරුදු නැති කෙනෙකුට ලංකාවේ පාරක ගමන් කිරීම ඉතාම ත්‍රාසජනක අත්දැකීමක්. කොයි වෙලේ කොහෙන් වෙනත් වාහනයක ගෑවෙයිද කියා වාහනයක් එළවන කාටවත් විශ්වාසයක් නැහැ. මෙය වෙනස් විය යුතු තත්ත්වයක් කියන එක සම්බන්ධවත් විවිධ දේශපාලන මත දරන අයට එකඟ වෙන්න අමාරු නැහැ කියා මම හිතනවා.

බටහිර සංස්කෘතිය තිබෙන රටවල පිළිවෙලකට වාහන ධාවනය සිදු වෙද්දී ලංකාවේ එසේ නොවීම සංස්කෘතික ප්‍රශ්නයක් කියා අදහස් පළ වී තිබෙනු මම දැක තිබෙනවා. එහෙත්, මා එසේ සිතන්නේ නැහැ.

අපි අසූව දශකයට පමණ යමු. මම දැන් විස්තර කරන්න යන අත්දැකීම විඳ තිබෙන බොහෝ දෙනෙක් කියවන අය අතර ඇති. සමහර විට මේ කියන තත්ත්වය දැකිය හැකි ගම් තවමත් ලංකාවේ ඇති.

කලින් වාහනයක් ගමන් කළ හැකි පාරක් නොතිබුණු ගමකට යා හැකි පරිදි අළුතින් පාරක් සංවර්ධනය වෙනවා. ඉන් පසු, එම ගමට යන්න ලංගම බස් රථයක් වැටෙනවා. බස් රථය දවසකට හතර පස් පාරක් ගමට එනවා. බස් රථයේ රියදුරු හා කොන්දොස්තර සේ සේවය කරන දෙදෙනාව ගමේ කවුරුත් වගේ දන්නවා. 

බස් රථය හැරුණු විට ගමේ තවත් වාහන තිබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක්. මේ වාහන කිහිපය ගැන කාටත් පොදු දැනුමක් තිබෙනවා. පිට ගමකින් වෙනත් වාහනයක් ගමට එන්නේ කලාතුරකින්. 

පාරේ වාහන දෙකකට මාරු වෙන්න බැහැ. මාරු වෙන්න පුළුවන් නිශ්චිත තැන් කිහිපයකදී පමණයි. වෙනත් තැනකදී වාහන දෙකක් මුහුණට මුහුණ හමු වුනොත් එක වාහනයක් පසුපසට ගන්න වෙනවා. තවත් වාහනයක් එන බව ඈතදීම දැක්කොත් බොහෝ විට රියදුරා වාහනය කලින්ම පාරේ ඉඩ තිබෙන තැනක නවත්වා ගෙන අනෙක් වාහනය මාරු වන තුරු බලා ඉන්නවා. වාහන දෙක මාරු වෙන්නේ රියදුරන් දෙදෙනා නලා හඬවා එකිනෙකාට ආචාර කිරීමෙන් පසුවයි.

ඔය වගේ තත්ත්වයක් තිබෙන ගමක රියදුරන්ගේ වාහන ධාවනය පිළිබඳ ආචාර ධාර්මික ගැටළුවක් තිබෙන බවක් කාටවත් කියන්න බැහැ. මතක් කර ගත හැකි වයසක අයෙක්ගෙන් අසා දැනගත්තොත්, ලංකාවේ හැම පාරකම වගේ වාහන ධාවනය ආරම්භ වූ කාලයේ තත්ත්වය ඔය වගේ. ඔය තත්ත්වය වෙනස් වෙන්නේ වාහන ක්‍රමයෙන් වැඩි වෙද්දී. එහෙමනම්, ලංකාවේ වාහන ධාවනය කිරීමේ අක්‍රමික ස්වභාවය සංස්කෘතියේ වැරැද්දක් කියා කියන්න බැහැ. 

ලංකාවේ පාරවල් වල දැකිය හැකි පැහැදිලි අවුල සංස්කෘතියේ අවුලක් නොවෙයිනම් ඒ කුමක්ද? රටේ වාහන වැඩිකමද? එහෙම නැත්නම් තිබෙන වාහන ප්‍රමාණයට වාහන මදිකමද?

ලෝකයේ එක් එක් රටවලට ගැලපෙන අනන්‍ය සංවර්ධන ආකෘති තිබෙනවා. එක රටකට හරියන දෙයක් වෙනත් රටක ඒ ආකාරයෙන්ම යොදාගෙන සාර්ථක ප්‍රතිඵල ලබන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුනත්, මේ වගේ කාරණයකදී ලෝකයේ විවිධ රටවල් සංසන්දනය කිරීම ප්‍රශ්නය තේරුම් ගන්න හොඳ ප්‍රවේශයක්.

පහත වගුවේ තිබෙන්නේ තෝරාගත් රටවල් කිහිපයක ජනගහණය දහසකට හා මාර්ග කිලෝ මීටරයකට ඇති වාහන ප්‍රමාණයයි. දත්ත අලුත්ම ඒවා නොවුණත් කියන කාරණය පෙන්වා දෙන්න මේ දත්ත ප්‍රමාණවත් කියා මම හිතනවා.



ඉහත නිර්ණායක දෙකෙන් කොයි එක දිහා බැලුවත් ලංකාවේ වාහන වැඩියි කියා කියන්න බැහැ. එය ඉතා පැහැදිලියි. එහෙමනම්, ප්‍රශ්නය වාහන ප්‍රමාණය වැඩිවීම කියා කියන්න බැහැ. ලංකාවේ රියදුරුන් වාහන එළවන ආකාරයේ අවුලක් තිබෙනවා කියන එක අපට බැහැර කරන්න බැහැ. ඒ අවුල නිවැරදි විය යුතු අවුලක්.

මේ ආකාරයේ අවුල් ස්වභාවික ලෙසම නිවැරදි වෙන්නේ නැහැ. අපි හිතමු කවුරු හෝ "හොඳ රියැදුරෙක්" වාහනය පාරට දැම්මා කියලා. මළාට ගමන යන්න බැහැ. මේ අත්දැකීම මට පෞද්ගලිකවත් තිබෙනවා. ඇමරිකාවේ ක්‍රමයට ලංකාවේ වාහන එළවන්න බැහැ. ලංකාවට ඇවිත් දවසකින් දෙකකින් ලංකාවේ ක්‍රමයට ඔලුව හැදෙනවා. ඊට පස්සේ අවුලක් නැතුව වාහනේ එළවන්න පුළුවන්. මේ ආකාරයේ සමතුලිතතා තනි පුද්ගලයින්ට වෙනස් කරන්න අමාරුයි. එහෙම වෙනස් කරන්න හදන කෙනෙක් කලක් යද්දී පවතින ක්‍රමයට අනුගත වෙන එකයි සිද්ධ වෙන්නේ. මේ වගේ තත්ත්වයකදී රජයට මැදිහත්වීමක් කරන්න සිදු වෙනවා.

මම කලින් විස්තර කළ ආකාරයේ ලංකාවේ ගම් අද තිබෙන තත්ත්වයට වෙනස් වී තිබෙන්නේ සාපේක්ෂව කෙටි කාලයක් ඇතුළතයි. සරල තත්ත්වයක් ක්‍රමයෙන් වඩා සංකීර්ණ වෙද්දී පරණ ආචාර ධාර්මික රීති ප්‍රමාණවත් නොවන අවස්ථාවක් එනවා. ඒ වෙද්දී, ආචාර ධාර්මික රීති තවදුරටත් පවත්වා ගන්න නීති වලින් පිටිවහලක් ලැබිය යුතුයි. බටහිර රටවල් වල මාර්ග පද්ධති ටිකෙන් ටික දියුණු වෙද්දී හා වාහන වැඩි වෙද්දී මාර්ග භාවිතය හා අදාළ නීති හා එම නීති ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදයන්ද  ක්‍රමයෙන් දියුණු වී තිබෙනවා. එහෙත්, ලංකාවේ එසේ සිදු වී නැහැ. එසේ සිදු වී නැති දෙය දැන් හෝ සිදු විය යුතුයි.

මාර්ග විනය හදන්නනම් එක දිගට කාලයක් දැඩි සේ නීති ක්‍රියාත්මක කරන්න වෙනවා. මුලදී මෙයට කැමති වනු ඇත්තේ සුළුතරයක් වන "හොඳ රියැදුරන්" හා හොඳ රියැදුරන් වෙන්න කැමති අය පමණයි. එහෙත්, එක දිගට කාලයක් නීති ක්‍රියාත්මක කරද්දී මේ ගොඩ වැඩි වෙයි. එවිට නීති එතරම්ම අවශ්‍ය වන එකකුත් නැහැ. 

විවිධ වාහන වර්ග සඳහා මංතීරු වෙන් කළ යුත්තේ කෙසේද කියා මම යෝජනා කරන්නේ නැහැ. එය අදාළ විශේෂඥයින්ගේ වැඩක්. මෙය කොයි ආකාරයෙන් කළත් මුලදී රථවාහන තදබදයක් ඇති වෙයි. එහෙත්, පසුව තත්ත්වය නිවැරදි වෙයි. 

මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ ලංකාවේ ජනප්‍රිය වී තිබීමට එක් මූලික හේතුවක් වන්නේ වාහන වලින් අයකරන ඉතා අධික තීරු බදු මුදල වුවත්, පාරේ පදික වේදිකා වලින් පවා දමා එහෙන් මෙහෙන් රිංගා යන්න හැකි වීමත් එක් හේතුවක්. මෙසේ රිංගා යාමේ අවස්ථාව නැති වුනොත්, ඒ විශේෂ වාසිය නැති වෙනවා. මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ වලටත් අනෙක් වාහන වලට වගේම පාරේ රස්තියාදු වෙන්න සිදු වෙනවා. මේ වාහන වලට තිබෙන ඉල්ලුම අඩු කරන්න අවශ්‍යනම් මං තීරු සීමා කර ඒ විදිහට පාරේ රස්තියාදු වෙන්න ඉඩ හැරීමත් ඒ සඳහා එක් විකල්පයක්. 

Friday, September 18, 2020

ජාතික ආර්ථිකය නැංවීම හා ආරක්ෂණවාදය


කෝවිඩ් ලෝකයේ හැම රටකම වගේ ආර්ථික ව්‍යුහයන්ට විශාල බලපෑමක් කරලා තිබෙනවා. හැම රටක්ම කිවුවහම ලංකාවත් අනිවාර්යයෙන්ම ඇතුළත්නේ. මේ බලපෑමේ එක් ප්‍රතිඵලයක් වන්නේ රටවල් යම් තරමකින් සංවෘත ආර්ථිකයන් බවට පත් වීම.

මම මේ කතා කරන්නේ ආනයන සීමා කිරීම් වගේ දේවල් ගැන නෙමෙයි. රජයයන් මැදිහත් වී කරන එවැනි දේ අපි පැත්තකින් තියමු. එවැනි මැදිහත් වීමක් නැතත්, සංචාරක කර්මාන්තය, ගුවන් සේවා වගේ අංශ ස්වභාවිකම හැකිළී තිබෙනවා. 

මේ මාදිලියේ කම්පනයකින් කිසියම් රටක ආර්ථිකයට සිදු වන බලපෑම රටක් කොයි තරම් දුරකට ජාත්‍යන්තර වෙළඳාමට නිරාවරණය තිබුණාද කියන එක මත සෑහෙන දුරකට තීරණය වෙනවා. එහෙත්, එය එකම සාධකය නෙමෙයි.

ලෝකය ජාත්‍යන්තර වෙළඳාම හරහා එකම යායක් සේ සම්බන්ධ වීම 1970 දශකයේ මුල පමණ සිට දැකිය හැකි වූ ප්‍රවණතාවක්. සමස්ත ලෝකයම ගත් විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පරිමාව 1970 දී තිබුණු 27% මට්ටමේ සිට වේගයෙන් වර්ධනය වී 2008 වෙද්දී 60% මට්ටම ඉක්මවා ගියා. එහෙත්, 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් පසුව මේ ප්‍රවණතාවය වෙනස් වී ජාත්‍යන්තර වෙළඳාම පසුගිය දශකයකට වඩා වැඩි කාලය තුළ 60% මට්ටම ඉක්මවිය නොහැකිව "ගල් වී" තිබෙනවා. කෝවිඩ් ආවේ එවැනි පසුබිමකයි.

ඉහත කී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පරිමාව යනු එක් එක් රටෙහි ආර්ථිකය කෙතරම් දුරට ලෝකයට නිරාවරණය වී ඇත්දැයි පිරික්සිය හැකි පිළිගත් නිර්ණායකයක්. ලෝක මට්ටමේදී ජාත්‍යන්තර වෙළඳ පරිමාවේ හැසිරීම් රටාව හා ඇමරිකා එක්සත් ජනපදයේ එම රටාව බොහෝ දුරට සමානයි. එයින් පෙනෙන්නේ සමස්ත ලෝකයේ ජාත්‍යන්තර වෙළඳ පරිමාවට ඇමරිකාවේ දායකත්වය කොපමණද කියන එකයි.

ජාත්‍යන්තර වෙළඳාමට ඇමරිකාවේ බලපෑම එපමණ වුවත් ඇමරිකාවට ජාත්‍යන්තර වෙළඳාමේ බලපෑම එතරම්ම විශාල නැහැ. ලෝකයේ වෙනත් රටවල් සමඟ ඉහත කී නිර්ණායකය සංසන්දනය කළ විට මේ කරුණ පැහැදිලිව පෙනෙනවා. 

තෝරාගත් රටවල් කිහිපයක දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ජාත්‍යන්තර වෙළඳ පරිමාව පහත දැක්වෙන පරිදියි. මේ අගය අඩුනම් එයින් අදහස් වන්නේ අදාළ රටේ ආර්ථිකයට බාහිර සාධක වල බලපෑම අඩු බවයි. වෙනත් විදිහකින් කිවුවොත් අදාළ රටේ ජාතික ආර්ථිකය කොයි තරම් ශක්තිමත්ද කියන එකයි.

ඕස්ට්‍රේලියාව - 46%

බ්‍රසීලය - 29%

කැනඩාව - 65%

ජර්මනිය - 88%

එක්සත් රාජධානිය - 64%

ඉන්දියාව - 40%

පකිස්ථානය - 30%

බංග්ලා දේශය - 37%

ජපානය - 37%

චීනය - 36%

රුසියාව - 49%

කියුබාව - 27%

මියන්මාරය - 61%

සිංගප්පූරුව - 319%

ලංකාව - 52%

ඇමරිකා එක්සත් ජනපදය - 26%


මේ සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට අඩු වශයෙන් කරුණු දෙකක් පැහැදිලි විය යුතුයි. පළමුවැන්න තමයි ධනවාදය කියා කියන්නේ හැම දෙයක්ම පිටරටකින් ගෙන්වන එක නොවන බව. ධනවාදය හා හැම දෙයක්ම පිටරටින් ගෙන්වීම කියන්නේ එකම දෙයනම් මේ ලැයිස්තුවේ තිබෙන වැඩියෙන්ම ධනවාදී රට සේ සැලකිය හැකි ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෙළඳ පරිමාව ජාතික ආදායමේ ප්‍රතිශතයක් විදිහට චීනය, කියුබාව, රුසියාව, ලංකාව ඇතුළු ලැයිස්තුවේ අනෙක් හැම රටකටම වඩා අඩු වෙන්න විදිහක් නැහැනේ. 

ලැයිස්තුවේ නැති රටවල්ද ඇතුළත්ව ලෝකයේ රටවල් 216ක් අතරින් ජාතික ආදායමේ ප්‍රතිශතයක් විදිහට ජාත්‍යන්තර වෙළඳ පරිමාව අඩුම රට ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ කියන්නේ ලෝකයේ ශක්තිමත්ම ජාතික ආර්ථිකය තිබෙන රට ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ අතරම, ලෝකයේ මේ සියලුම රටවල් අතරින් ජාත්‍යන්තර වෙළඳ පරිමාව වැඩිම රටත් ඇමරිකා එක්සත් ජනපදයයි. 

ඇමරිකා එක්සත් ජනපදය කියා කියන්නේ තමන්ගේ රටේ නිෂ්පාදකයින්ට එකිනෙකා සමඟ වගේම ලෝකයේ අනෙක් රටවල නිෂ්පාදකයින් සමඟත් තරඟ කරන්න ඉඩ හැර සිටින රටක්. ඒ තරඟයට මුහුණු දිය නොහැකි නිෂ්පාදකයින්ව රජය මැදිහත් වී ආරක්ෂා කර ගැනීම ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉතාම අඩුවෙන් සිදු වන දෙයක්. ඒ වගේම, ඇමරිකාවේ පාරිභෝගිකයින්ට ලෝකයේ ඕනෑම රටක නිෂ්පාදනයක් මිල දී ගැනීම අමාරු වැඩක් නෙමෙයි. 

ඒ අනුව අපට ඉහත දත්ත වලින් තහවුරු කරන දෙවන කරුණ විස්තර කළ හැකියි. ජාත්‍යන්තර වෙළඳාමට නිරාවරණය වූ පමණින් ජාතික ආර්ථිකයක් දුර්වල වෙන්නේ නැහැ. ඒ නිසා, ජාතික ආර්ථිකයක් ගොඩ නංවන්න ආරක්ෂණවාදය වෙත පසු බසින්න අවශ්‍ය නැහැ.

Wednesday, September 16, 2020

ආනයන වියදම් අඩුවීම තිරසාර වෙනසක්ද?

බොහෝ දෙනෙකු විසින් ලංකාවේ වත්මන් ආණ්ඩුව ජාතිකවාදී ආණ්ඩුවක් සේ සලකනවා. පසුගිය යහපාලන ආණ්ඩුව හා අදාළව කවුරුවත් එවැනි කතාවක් කිවුවේ නැහැ. ආර්ථික ජාතිකවාදය ජාතිකවාදී රාජ්‍ය ප්‍රතිපත්තියක වැදගත්ම කොටසක්. එහෙත්, ආර්ථික ජාතිකවාදය යන්නෙන් අදහස් වන්නේ ආරක්ෂණවාදය විය යුතු නැහැ. අන්තවාදී ආරක්ෂණවාදයක් වෙත තල්ලු නොවී ජාතික ආර්ථිකයක් ශක්තිමත් කළ හැකියි.

ආණ්ඩුවක ප්‍රතිපත්ති විශ්ලේෂණය කළ යුත්තේ කරනවා කියා කියන හෝ පෙන්වන්න හදන දේවල් වලින් නෙමෙයි. ඇත්තටම කරන දේවල් වලින්. අනෙක් ප්‍රතිපත්ති කෙසේ වුවත්, මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් දිහා බැලුවහම පෙනෙන්නේ 2004-14 මුහුණු ටිකමයි. මුහුණු සමාන වුවත් ප්‍රතිපත්ති සමාන නොවෙන්න බැරිකමක් නැහැ තමයි. කාලයත් එක්ක ටිකෙන් ටික මිනිස්සුන්ගේ ප්‍රතිපත්තිත් වෙනස් වෙනවා. සමහර විට එක පාරටම යූ-ටර්න් ගන්න අවස්ථාත් තිබෙනවා.  

හැබැයි මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති දිහා බැලුවහම එක මූලික කරුණකින් පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලින් පොඩ්ඩක්වත් වෙනස් වෙලා බවක් පෙනෙන්නේ නැහැ. ඒ තමයි විදේශ විණිමය ප්‍රතිපත්තිය. මේ ආණ්ඩුව විසින් නැවතත් ගමන් කරමින් සිටින්නේ රටේ ජාතික ආර්ථිකය විනාශ කරන, චීන ගැති, ඉන්දියා ගැති විදේශ විණිමය ප්‍රතිපත්තියක් දෙසටයි. 

මතු පිටින් පේන්න තියෙන විදිහටනම් ආණ්ඩුව පරිප්පු ආනයනය නවත්තලා ඒ වෙනුවට බඩ ඉරිඟු ආදේශ කරන එක වගේ දේවල් කරනවා. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලයේත් ප්‍රදර්ශනාත්මකව ඔය වගේ දේවල් කළා. ඊට සාපේක්ෂව, යහපාලන ආණ්ඩුව දේශීය ගොවියා නගා සිටුවීම වගේ ආදර්ශ පාඨ වල එල්ලිලා හිටියේ නැහැ. නමුත්, කියන දේවල් හෝ පෙන්වන දේවල් වලට වඩා වැදගත් ඇත්තටම සිදු වෙන්නේ කුමක්ද කියන එකයි. 

මේ ආණ්ඩුවේ පළමු මාස හත තුළ, පසුගිය වසරේ පළමු මාස හතට සාපේක්ෂව ආනයන වියදම් වල සැලකිය යුතු අඩු වීමක් පෙනෙන්න තිබෙනවා. එහෙත් එය එක පැත්තකින් කෝවිඩ් වසංගතයේ බලපෑම නිසාත්, අනෙක් පැත්තෙන් ආනයන පාලනය කිරීම නිසාත් ඇති වී තිබෙන තත්ත්වයක්. ප්‍රශ්නය මේ අඩුවීම තිරසාර එකක්ද කියන එකයි.

මේ විදිහට ආනයන පාලනය කරන්න සිදු වී තිබෙන්නේම ලංකාවේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ වැරැද්දක් නිසා. විදේශ විණිමය ප්‍රතිපත්තිය නිවැරදිනම් කෝවිඩ් අර්බුදය හමුවේ වුවත් ආනයන පාලනය කරන්න අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. මෙහි තිබෙන්නේ නැති ප්‍රශ්නයක් හදාගෙන ඒ ප්‍රශ්නයට විසඳුම් සෙවීමක්.

වසරේ පළමු මාස හත තුළ ආනයන වියදම් ඩොලර් මිලියන 2,344කින් පහළ ගොස් තිබෙනවා. අදාළ විස්තර පහත වගුවේ තිබෙනවා.

ඉහත වගුවේ පෙන්වා දී තිබෙන සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන පරිදි වැඩිපුරම පහළ ගොස් තිබෙන්නේ ඉන්ධන ආනයන වියදම්. එම අඩුවීම 37.7%ක්. ඉන්ධන ආනයන වියදම් අඩු වෙන්න ප්‍රධානම හේතුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස පහළ යාමයි. දෙවන හේතුව රටේ ඉන්ධන අවශ්‍යතාවය පහළ යාම. මේ දෙකටම හේතුව කෝවිඩ් වසංගතයයි. වසංගතය අවසන් වෙද්දී ඉන්ධන ආනයන වියදම් නැවත ඉහළ යාම වැළැක්විය හැකි දෙයක් නෙමෙයි.

ඉන්ධන වලට අමතරව ඉන්ධන නොවන අනෙකුත් අතරමැදි භාණ්ඩ ආනයනය 17.7%කිනුත්, ආයෝජන භාණ්ඩ ආනයනය 24.4%කිනුත් පහළ ගොස් තිබෙනවා. මේ අතරමැදි භාණ්ඩ යොදා ගැනෙන්නේ අපනයන වෙළඳපොළ හෝ දේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් නිමි භාණ්ඩ රට ඇතුළේ නිපදවීම සඳහායි. උදාහරණයක් විදිහට මේ අඩුවීමෙන් බාගයකටත් වඩා ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය අතරමැදි භාණ්ඩ. කෝවිඩ් හේතුවෙන් රටේ ආර්ථික කටයුතු සාමාන්‍ය මට්ටමින් සිදු නොවන පසුබිමක මේ අඩුව ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. එහෙත්, දිගින් දිගටම මේ අතරමැදි භාණ්ඩ ආනයනය නොකර ඉන්න පුළුවන්කමක් නැහැ. 

අතරමැදි භාණ්ඩ ආනයනය අඩු වීමේ ආර්ථික හානිය ක්ෂණික හා කෙටිකාලීන එකක්. ආයෝජන භාණ්ඩ ආනයනය අඩුවීමේ හානිය සාපේක්ෂව දිගුකාලීනයි. මේ ආණ්ඩුව විසින් යහපාලන ආණ්ඩුව කාලයේ පැවති අඩු ආර්ථික වර්ධන වේගය විවේචනය කරමින් සිටින එකෙන් පෙනෙන්නේ ඊට වඩා ඉහළ ආර්ථික වර්ධනයක් ඉලක්ක කරනවා කියන එකයි. එවැනි ආර්ථික වර්ධනයක් ලබා ගන්නනම් ගෙවුම් ශේෂ ප්‍රශ්න අමතක කර ආයෝජන භාණ්ඩ වැඩියෙන් ආනයන කරන්න වෙනවා. එහෙම නැත්නම් ආර්ථිකයේ විදේශ අංශය බේරා ගන්න මන්දගාමී ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කරන්න වෙනවා. රැවුලයි කැඳයි දෙකම බේරගන්න බැහැ. 

ආහාර හැර අනෙකුත් පාරිභෝගික භාණ්ඩ ආනයනයේත් 15.6%ක අඩු වීමක් තිබෙනවා. මේ අඩුවීමෙන් තුනෙන් දෙකක්ම වාහන ආනයන වියදම්. මෙයත් ආනයනය සීමා කිරීම් නිසා ඇති වී තිබෙන තාවකාලික කෘතීම තත්ත්වයක්. දිගුකාලීනව පවත්වාගන්න පුළුවන්කමක් නැහැ. සමස්තයක් වශයෙන් ගත්තහම ආයෝජන, අතරමැදි හා ආහාර නොවන පරිභෝජන භාණ්ඩ ආනයනය සඳහා යන වියදම් අඩු වීම රටේ ආර්ථිකයේ විදේශ අංශයේ ආකෘතිමය නිවැරදිවීමක් නෙමෙයි. කෝවිඩ් අවසන් වෙද්දී මේ සියලුම ආනයන වියදම් නැවත වේගයෙන් ඉහළ යන එක වලක්වන්න බැහැ.

වැදගත්ම වෙනස ආහාර ආනයන වියදම් වලයි. අනෙක් සියලුම අංශ වල ආනයන වියදම් අඩුවීමක් පෙනෙන්න තිබුණත් 2020 පළමු මාස 7 ඇතුළත ආහාර ආනයන වියදම් 14.8%කින් ඉහළ ගිහින්. පහුගිය කාලයේ දකින්න ලැබුණු ගෙවතු වගා රැළි ඇතුළු වගා සංග්‍රාම වල ප්‍රතිඵලය ඕකද? ආහාර ආනයන වියදම් වැඩි වීමෙන් 63%කටම හේතුව එළවළු ආනයන වියදම් වැඩි වීමයි. රටේ වට්ටක්කා විකුණගන්න බැරිව කුණු වෙද්දී එළවළු ආනයන වියදම් 38%කින් ඉහළ යනවානම් එතැන ලොකු අවුලක් පේන්නේ නැද්ද? මෙය විසඳුමක් නැති ප්‍රශ්නයක් නෙමෙයි. විසඳිය යුතු, විසඳිය හැකි ප්‍රශ්නයක්. ඕනෑනම් ප්‍රශ්නයේ මුල හොයාගෙන විසඳුම් නොදී එළවළු ආනයනය තහනම් කරලා ප්‍රශ්නය වණ කරන්නත් පුළුවන්.  

බොහෝ විට ප්‍රචාරය කෙරෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ජාතිකවාදී බවයි. එය එසේනම් රාජපක්ෂ ආණ්ඩු යටතේ ආනයන අඩු විය යුතුයි. දේශීය කෘෂිකර්මයට බර දමන බව පෙන්වන ආකාරයට සමස්ත ආනයන කෙසේ වුවත් ආහාර ආනයන වියදම් හෝ අඩු විය යුතුයි. පහළ වගුවේ තිබෙන්නේ යහපාලන ආණ්ඩු කාලය සමඟ සංසන්දනයක්. මේ සංසන්දනය කරන්නේ රාජපක්ෂ ආර්ථික ප්‍රතිපත්ති ජාතිකවාදී බවත්, යහපාලන ආර්ථික ප්‍රතිපත්ති එසේ නොවූ බවත් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න නිසා.


යහපාලන ආණ්ඩුව පැවති අවුරුදු හතර තුළ ලංකාවේ ආහාර ආනයන වියදම් 12.7%කින් අඩු වුනා. පසුගිය රාජපක්ෂ දශකයේදී වුණේ ආහාර ආනයන වියදම් 109.7%කින්, එනම් දෙගුණයකටත් වඩා වැඩියෙන් ඉහළ යාමයි. යහපාලන ආණ්ඩු කාලයේදී සමස්ත පරිභෝජන වියදම් වගේම සමස්ත ආනයන වියදම්ද ඉහළ ගියේ 2.7%කින් පමණයි. එහෙත්, රාජපක්ෂ දශකය තුළ සමස්ත පරිභෝජන වියදම් 137.4%කිනුත්, සමස්ත ආනයන වියදම් 142.7%කිනුත් ඉහළ ගියා. වඩා ජාතිකවාදී ඔය දෙකෙන් කොයි එකද?

මේ ආණ්ඩුව දේශීය කෘෂිකර්මය ගොඩ දාන්න කොයි තරම් මහන්සි වුනත්, මිනිස්සු කොයි තරම් වගා සංග්‍රාම කළත්, ආහාර ආනයන වියදම් තව තවත් ඉහළ යන එකෙන් පෙනෙන්නේ ඔය දේවල් වලින් පමණක් හදන්න බැරි මූලික වැරැද්දක් තිබෙනවා කියන එකයි. වැරැද්ද තිබෙන්නේ විදේශ විණිමය ප්‍රතිපත්තියේ. යහපාලන ආණ්ඩුව දේශීය ආර්ථිකයක් ගැන කතා නොකළත්, ඒ කාලයේ ආහාර ආනයන වියදම් විශාල ලෙස අඩු වුනේ, අවශ්‍ය පමණටම නොවුණත්, යම් තරමකින් විණිමය අනුපාතිකය අවප්‍රමාණය වෙන්න ඉඩ සැලසීම නිසයි.

ආනයන වියදම් අඩු කරන්න හා ජාතික ආර්ථිකය දිරිගන්වන්න අවශ්‍යනම් කළ යුතු හා පහසුවෙන් කළ හැකි එකම දෙය විණිමය අනුපාතිකය නිවැරදි කිරීමයි. එසේ නොකර ආනයන සීමා කරන්න යාමෙන් සිදු වනු ඇත්තේ එළවළු ඇතුළු ආහාර මිල ගණන් විශාල ලෙස ඉහළ යාම පමණයි. එසේ වීමෙන් පසුව හාල් කඩේට ජනාධිපති පැන්නා කියා වැඩේ ගොඩදාන්න පුළුවන් වෙන එකක් නැහැ.

Sunday, September 13, 2020

අපේ අලුත් ජීවිතය

බ්ලොග් එක පැත්තේ ආවේ සති දෙකකටත් පස්සේ. මම හිතන්නේ තිබෙන කාර්ය බහුල තත්ත්වය නොවැම්බර් මැද වන තුරු අවසන් වන එකක් නැහැ. ඒ නිසා, එතෙක් කල් බ්ලොග් එක පණ පිටින් තියා ගන්න ඉඳහිට මේ වගේ යමක් ලියනවා හැර වැඩි දෙයක් කරන්න ලැබෙන එකක් නැහැ. 

පසුගිය වසර පහක පමණ කාලය තුළ වසරකට ලියා තිබෙන සාමාන්‍ය ලිපි ප්‍රමාණය මේ වසරේ දැනටමත් ලියා අවසන් නිසා ඉතිරි මාස කිහිපයේ වැඩිපුර නොලිවුවා කියා අඩුවක් දැනෙන එකක් නැහැ. කියවන්න අවශ්‍ය අයට කියවන්න ලිපි විශාල ප්‍රමාණයක් බ්ලොග් එකේ තිබෙනවා වගේම තවමත් සැලකිය යුතු පිරිසක් දිනපතාම පරණ ලිපි කියවනවා.

සැප්තැම්බර් මාසය කාර්ය බහුල වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. පසුගිය සැප්තැම්බර් මාසයේදීත් මෙහි පළ කර තිබෙන්නේ ලිපි තුනක් පමණයි. පෞද්ගලිකව ගත්තහම සැප්තැම්බර් මාසය බොහෝ දේ සැලසුම් කර ගත යුතු අවුරුද්දක ආරම්භය වැනි කාලයක්. මේ අවුරුද්දේ සුවිශේෂී ස්වභාවය නිසා තවත් අමාරුයි.

මේ වෙද්දී ඇමරිකාවේ කෝවිඩ් "දෙවන රැල්ල" මන්දගාමී වෙමින් යන නමුත් තවමත් දවසකට රෝගීන් හතළිස් දහසක් පමණ අලුතෙන් හඳුනා ගැනෙනවා. මරණ දහසකට කිට්ටුව සිදු වෙනවා. මා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් පසුගිය මාර්තු මාසයේ සිට තවමත් ඉන්නේ නිවස ඇතුළේ. මෙය ස්වේච්ඡාවෙන් සිරගත වීමක්. අපේ රැකියා වල ස්වභාවය නිසා අපට මේ අවස්ථාව හිමි වී තිබෙනවා.

පසුගිය මාසයේ ග්‍රීෂ්ම නිවාඩුවෙන් පසුව නැවතත් පාසැල් වාරය ආරම්භ වුනා. පාසැල් වල වගේම සරසවි වලත් බොහෝ විට සිදු වන්නේ තමන්ගේ රුචිකත්වය පරිදි පන්ති කාමරයට පැමිණ හෝ ගෙදර සිට ඉගෙන ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීමයි. අපේ පාසැල් දිස්ත්‍රික්කයේ සිසුන් 22,000ක් වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ගේ තේරීම් අනුව සිසුන් 7,000ක් මෙම පාසැල් වාරය අවසන් වන තුරු නිවෙස් වල සිට අධ්‍යයන කටයුතු කරන්නට කැමැත්ත පළ කර තිබෙනවා.

ඉතිරි සිසුන් 15,000 පන්ති කාමරයේ සිට ඉගෙන ගන්නවාට ඔවුන්ගේ දෙමවුපියන් කැමතියි. දරුවන් ගෙවල් වල තබා ගැනීම නිසා ඇති වන අමතර ප්‍රශ්නත් මෙයට හේතුවක්. අප නිවසේ සිට රැකියාව කරන නිසා දරුවන්ද නිවසේ සිටීම අපට ප්‍රශ්නයක් නොවූවත්, රැකියා සඳහා නිවෙසින් බැහැර යා යුතු දෙමවුපියන්ට එය ප්‍රශ්නයක්. තමන්ගේ දරුවන්ගේ අධ්‍යයන කටයුතු නිසි සේ සිදුවන බවට වග බලා ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. ඒ වගේම, කොහොමටත් ගෙදරින් එළියට යන නිසා දරුවන් බැහැර ගියා කියා ඔවුන්ගේ අවදානම අමුතුවෙන් වැඩි වෙන්න දෙයකුත් නැහැ. 

පාසැල් සිසුන්ගේ (දෙමවුපියන්ගේ) වගේම සරසවි සිසුන්ගේ රුචිකත්වයන් දෙස බැලූ විට පැහැදිලිව පෙනෙන එක් දෙයක් වන්නේ පළමු පරම්පරාවේ සංක්‍රමණික පවුල් වල, විශේෂයෙන්ම ආසියානු සම්භවයක් ඇති පවුල් වල, ජනප්‍රිය තේරීම නිවසේ සිට අධ්‍යාපනය ලැබීම බවයි. මෙයට හේතු ගණනාවක් තිබෙනවා. 

පළමු පරම්පරාවේ සංක්‍රමණික පවුලකට ඇමරිකාව ඇතුළේ ඥාති සම්බන්ධතා ජාලයක් නැහැ. එසේ තිබියදී, පවුලේ අයෙකුට කෝවිඩ් ආසාදනය වී ඉතිරි අයටද බෝ වුනොත් බලන්න කෙනෙක් නැති කමින් අසරණ වෙනවා. ඥාති සම්බන්ධතා ජාලයක් තිබෙන කෙනෙකුට මේ වගේ අවස්ථාවක උදවු ලබා ගත හැකි සුරක්ෂිතතා දැලක් තිබෙනවා. ඒ නිසා, සංක්‍රමණිකයන්ට බය වෙන්න හේතු වැඩියි. 

ඉන්දියාව, චීනය වැනි ආසියානු රට වලින් ඇමරිකාවට සංක්‍රමණය වී සිටින බොහෝ දෙනෙක් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මත ඇමරිකාවට සංක්‍රමණය වී සිටින වෘත්තීය රැකියා කරන අයයි. ඒ අයට බොහෝ විට නිවසේ සිට තමන්ගේ රැකියාව කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ නිසා, දරුවන්ද නිවසේ තබා ගැනීමට තිබෙන නැඹුරුව වැඩියි.

අනෙක් අතට මෙවැනි සංක්‍රමණික පවුල් වල දෙමවුපියන් බොහෝ විට ඉලක්ක කරන්නේ තමන්ගේ දරුවන්ටත් උසස් අධ්‍යාපනයක් ලබා දී හොඳ රැකියාවක් ලබා ගැනීමේ ඉඩකඩ වැඩි කරන්නයි. ඒ වගේම ඇමරිකාවේ ඉපදුනු සංක්‍රමණික පවුල් වල දරුවන් අතර පවා ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් උරුම වූ විභාග ඉලක්ක කළ අධ්‍යාපනය කෙරෙහි යම් නැඹුරුවක් තිබෙනවා. ඉලක්කය විභාගය හෝ ලකුණු වූ විට ඉගෙන ගන්නේ කොහොමද කියන එක එතරම් වැදගත් නැහැ.

හැම විටම නොවූවත්, පරම්පරා ගණනක් ඇමරිකාවේ ජීවත් වන සුදු හෝ කළු ඇමරිකානු පවුල් වල සිසුන්ගේ හා ඔවුන්ගේ දෙමවුපියන්ගේ ඉලක්කය අධ්‍යාපනය මිස විභාග හෝ ලකුණුම නෙමෙයි. ඔවුන් බලාපොරොත්තු වන අධ්‍යාපනය පූර්ණ එකක් වන්නේ සිසුන්ට පංති කාමරය තුළ අනෙක් සිසුන් සමඟ ගැටෙන්නට අවස්ථාව ලැබේනම් පමණයි. 

ඇමරිකාව හැම තැනම තත්ත්වය මා දන්නේ නැතත්, අපේ ප්‍රදේශයේ පාසැල් හා සරසවි විවෘත කර තිබෙන්නේ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමිනුයි. සිසුන් හැම විටම මුහුණු ආවරණ නිසි පරිදි පැළඳ සිටිය යුතු අතර අඩි හයක පරතරය පවත්වා ගත යුතුයි. මේ කොන්දේසි යටතේ පන්ති කාමරයක ඉඩ තිබෙන්නේ සීමිත සිසුන් පිරිසකට පමණයි. ඒ නිසා, පාසැල් යාමට කැමති සිසුන් සියලු දෙනාටම ඒ අවස්ථාව ලබා දීමේ හැකියාවක් නැහැ.

අපේ පාසැල් දිස්ත්‍රික්කයේ පංති කාමරයේ සිට ඉගෙන ගැනීමට කැමති සිසුන්ට සතියේ දින පහෙන් දෙකක් එසේ පාසැල් යාමට අවස්ථාව ලැබෙනවා. ඉතිරි දින වල නිවසේ සිට ඉගැන්වීම් කටයුතු වලට සම්බන්ධ විය යුතුයි. වාසගමේ මුල් අකුරු අනුව ගෙදර සිටින දවස් හා පාසැල් යන දවස් තීරණය වෙනවා. 

ගෙදර හතර දෙනෙක් තැන් තැන් වලට වී සාමාන්‍යයෙන් නිවසෙන් පිටත පන්ති කාමරයක හෝ රැකියා ස්ථානයක කරන කටයුතු කිරීමත් පහසු වැඩක් නෙමෙයි. සමහර වෙලාවට එක ගාලගෝට්ටියක්! සංගීතය, සරඹ වගේ විෂයයනුත් තියෙනවනේ!!

(Image: https://www.reddit.com/r/funny/comments/fxgm1p/my_roommates_zoom_meeting_attire/)

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...