Thursday, November 9, 2017
සයිටම් අහෝසි කිරීම ආණ්ඩුවේ පරාජයක්ද?
සයිටම් වෛද්‍ය පීඨය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ. සයිටම් විරෝධී ව්‍යාපාරය ක්‍රමිකව ගොඩ නැඟුණු හා විකාශනය වුනු ආකාරය අනුව මේ අවස්ථාවේදී ආණ්ඩුවට කළ හැකිව තිබුණු හොඳම දෙය මෙන්ම කළ යුතුව තිබුණු දෙයද මෙයයි. මේ තීරණය නිසා දීර්ඝකාලීනව ඇතැම් අහිතකර ප්‍රතිඵල ඇති වෙනු ඇතත්, මේ තීරණය වෙනුවට ගත හැකිව තිබුණු විකල්ප තීරණ නිසා ඇති විය හැකිව තිබුණු ප්‍රතිඵල ඊට වඩා අහිතකරය.
සයිටම් වෛද්‍ය පීඨය ආරම්භ කළේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව නොව පසුගිය ආණ්ඩුව කාලයේදීය. එහෙත්, සයිටම් ගැටලුවට මුහුණ දෙන්නට වූයේ වත්මන් ආණ්ඩුවටය.
මේ ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හා කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටින අතර ඒ අරමුණ වෙනුවෙන් සැලකිය යුතු දෙයක් කරයි. එවැනි ප්‍රතිපත්තියක සිටින ආණ්ඩුවකට පෞද්ගලික ව්‍යවසායකයෙකු විසින් උසස් අධ්‍යාපන සේවාවන් මුදලට විකිණීමට විරුද්ධ වීමේ හැකියාවක් නැත. ඒ නිසා, ආණ්ඩුව මුල සිටම සිටියේ සයිටම් වෛද්‍ය පීඨය වසා නොදමන ස්ථාවරයකය. කෙසේ වුවද, සයිටම් විරෝධය හමුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මුල සිටම කිසියම් නම්‍යශීලී බවක්ද පෙන්නුවේය. සයිටම් විරෝධය වර්ධනය වී මේ අයුරින් සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමෙන් අවසන් වීමට එම නම්‍යශීලී භාවයද හේතුවක් විය. පසුගිය ආණ්ඩුවේ පාලකයින් බලයේ සිටියානම් සයිටම් විරෝධය මේ තරම් දුරදිග යන්නේ නැත.
වත්මන් ආණ්ඩුවේ නම්‍යශීලී භාවය ප්‍රදර්ශනය වුනේ සයිටම් ප්‍රශ්නයේදී පමණක් නොවේ. අයවැය යෝජනා වල සිට එක්ටා දක්වා විවිධ අවස්ථා වලදී තමන්ගේ මුල් ප්‍රතිසංස්කරණ යෝජනා අකුලා ගනිමින්, ආණ්ඩුව විසින් පැහැදිලිව ප්‍රදර්ශනය කළේ තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මහා ලොකු මිලක් ගෙවන්නට තමන් සූදානම් නැති බවයි.
බොහෝ දෙනෙක් මේ තත්ත්වය තේරුම් ගන්නේ ආණ්ඩුවේ කොන්ද පණ නැතිකම ලෙසිනි. එහෙත්, ඇත්තටම එය පවතින දේශපාලන බලතුලනයේ ප්‍රතිඵලයකි.
එක පැත්තකින් ආණ්ඩුව සමඟ රටේ විශාල පිරිසක් නැත. අනෙක් පැත්තෙන් වත්මන් ආණ්ඩුව කියන්නේ සමජාතීය කණ්ඩායමක් නොව එකිනෙකා සමඟද ප්‍රශ්න ඇති කණ්ඩායම් කිහිපයක එකතුවකි. ඒ නිසා, වත්මන් ආණ්ඩුවට තමන් වඩා සුදුසුයැයි හිතන ප්‍රතිපත්ති කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැත. එය නරක තත්ත්වයක්ද නොවේ.
සයිටම් විරෝධීන් අතර කණ්ඩායම් ගණනාවක් සිටි අතර ඒ කණ්ඩායම් වලට සයිටම් වෛද්‍ය පීඨයට විරුද්ධ වීමට ඔවුන්ගේම හේතු තිබුණේය. මේ අතරින් රජයේ වෛද්‍යවරුන්ට වෘත්තීය ප්‍රශ්නයක් තිබුණු අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ට නායකත්වය දුන්නේය. අනාගත වෛද්‍යවරුන් වෙන්නට සිටි වෛද්‍ය පීඨ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමවුපියන්ටද තිබුණු ප්‍රශ්නය මෙහිම දිගුවකි. මේ වෘත්තීය ප්‍රශ්නය විවිධ මාන තිබුණු එකකි. තමන්ගේ වෘත්තීය ප්‍රශ්න හෝ පෞද්ගලික ශුභ සිද්ධිය වෙනුවෙන් කතා කිරීමට හා සාමකාමී ලෙස අරගල කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇති අතර එසේ කිරීම නරක දෙයක් නොවේ.
සයිටම් වෛද්‍ය පීඨය සාර්ථක ව්‍යාපෘතියක් වූවානම් තවත් එවැනි වෛද්‍ය පීඨ ගණනාවක් ලංකාවේ ඇති විය හැකිව තිබුණේය. ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින්ගේ පැත්තෙන් බැලූ විට ඔවුන්ගේ වෘත්තිය හා අදාළව ඉදිරියේදී කොහොමටත් ඇතිවන්නට නියමිත ඇතැම් ගැටළුකාරී තත්ත්වයන් මේ හේතුවෙන් උග්‍ර විය හැකිව තිබුණේය. සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කර දැමීම යනු තවත් කලකට ලංකාවේ එවැනි පෞද්ගලික වෛද්‍ය පීඨ ඇති වීම වලක්වාගැනීමක්ද විය.
අනෙක් අතට, ආණ්ඩුවට හෝ සයිටම් වෛද්‍ය පීඨයට සම්බන්ධයක් නැති, සයිටම් වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙක් එසේ කළේද මේ හේතුව නිසාමය. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමෙන් පසු දශක දෙකකටත් වැඩි කාලයක් යන තුරු ලංකාවේ වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨයක් ආරම්භ වූයේ නැත. සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමෙන් පසු තවත් දිගු කාලයකට ලංකාවේ පෞද්ගලික වෛද්‍ය පීඨයක් ආරම්භ නොවනු ඇත.
සයිටම් විරෝධය සමඟ සිටි ප්‍රධානම දේශපාලන බලවේග දෙක ජවිපෙ හා පෙසපෙයි. මේ පක්ෂ දෙකම මාක්ස්වාදී සමාජවාදී පක්ෂයි. අධ්‍යාපන සේවා සැපයීම රාජ්‍ය ඒකාධිකාරයක් ලෙස තබාගැනීම සමාජවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයකි. ඒ නිසා, ඔවුන්ටද සයිටම් විරෝධී ව්‍යාපාරය සමඟ එකතු වන්නට හේතු තිබුණේය. තමන් විශ්වාස කරන මතවාදයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සක්‍රිය මැදිහත්වීමක් කරන්නට දේශපාලන පක්ෂයකට අයිතියක් තිබේ.
මෙයට අමතරව මේ අරගලය තුළ සිටි ප්‍රධානම බලවේගය සරසවි සිසුන්ය. ඔවුන්ගෙන් වෛද්‍යපීඨ සිසුසිසුවියන් හා පෙසපෙ ජවිපෙ පක්ෂ දෙකේ ක්‍රියාකාරීන් ඉවත් කළහොත් ඉතිරි අයට මේ කටයුත්තෙන් ලැබුණු සෘජු වාසියක් නැත. අඩුම වශයෙන් මේ කොටස, ඔවුන් විශ්වාස කළ පරිදි, නිදහස් අධ්‍යාපනය රැක ගන්නට ඉදිරිපත් වූවෝය. බොහෝ දෙනෙක් සිතන පරිදි සරසවි සිසුන් යනු පෙසපෙට හෝ ජවිපෙට අවශ්‍ය පරිදි නැටවිය හැකි පිරිසක් නොවේ. එම පක්ෂ වලට සරසවි සිසුන්ගේ සහයෝගය ලබාගත හැක්කේ හා ඔවුන්ට නායකත්වය දිය හැක්කේ ඒ සඳහා අවශ්‍ය පසුබිමක් නිර්මාණය වී ඇති විටකදී පමණි.
කවර ආකාරයකින් හෝ සයිටම් විරෝධය තුළ විශාල පිරිසක් එකතු වී සිටියේය. මේ බොහෝ දෙනෙකු ඉතා සක්‍රිය මැදිහත්වීමක්ද කළේය. එයට සාපේක්ෂව සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට මුල සිටම විශාල පිරිසක් සිටියේ නැත. සයිටම් සිසුන් හා දෙමවුපියන් හැරුණු විට එසේ පෙනී සිටි අයද තනි පුද්ගලයින් මිස සංවිධානාත්මක කණ්ඩායමක් නොවූ අතර, ඔවුන් බොහෝ දෙනෙකුට පොදුවේ අධ්‍යාපනයේ නිදහස මිස සයිටම් වෛද්‍ය පීඨය වැදගත් දෙයක් වූයේ නැත.
සයිටම් විරෝධය සංවිධානාත්මක බලයක් ලෙස මතු වී දිගින් දිගටම ඇදෙන විට ආණ්ඩුවට එය නොසලකා සිටිය හැක්කේ සයිටම් වෙනුවෙන් හෝ පොදුවේ අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන්ද එවැනිම සංවිධානාත්මක දේශපාලන බලයක් මතු වේනම් පමණි. එවැන්නකට නායකත්වය දීමේ ශක්‍යතාවයක් තිබුණු කණ්ඩායම් දෙකක් සිටියේය. ඒ එජාපය හා ශ්‍රීලනිපයයි. මේ පක්ෂ දෙකටම සිය ප්‍රතිපත්ති අනුව සයිටම් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් තිබුණේය.
ශ්‍රීලනිපයේ රාජපක්ෂවාදී බලවේග සයිටම් විරෝධය හරහා ආණ්ඩුව අසීරුවට පත්වනු බලා සිටි අතර ඔවුන්ට සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට අවශ්‍ය නොවීය. තමන් පෙනී සිටින ප්‍රතිපත්ති ජනතාව වෙතට ගෙනයාමේ දක්ෂතාවයක් නැති ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙකටද එවැන්නක් කළ නොහැකි විය.
සයිටම් විරෝධීන්ගේ පීඩනය ක්‍රමයෙන් වැඩි වෙද්දී ආණ්ඩුවට ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් තිබුණේය. පළමුවැන්න අනම්‍යව සිටීමයි. දෙවැන්න යම් පමණකින් නම්‍යශීලී වීමයි. මේ දෙකෙන් ආණ්ඩුවේ තේරීම වූයේ දෙවැන්නයි. මේ නම්‍යශීලිත්වයේ ප්‍රතිඵලය වූයේ "දැන් ටිකක්. පසුව ඉතිරි ටික" ක්‍රමයට සයිටම් විරෝධී සටන දිගටම ඇදී යාමයි. ආණ්ඩුව විසින් සයිටම් අහෝසි කරන බව නිවේදනය කරන විටත් සයිටම් වලින් ඉතිරිව තිබුණේ වලිග කෑල්ලක් පමණි. ඒ කෑල්ල තියා ගැනීම සඳහා ලොකු මිලක් ගෙවන්නට ආණ්ඩුව යොමු නොවන බව පැහැදිලි කරුණක් විය.
ආණ්ඩුව මුල සිට දැඩි ප්‍රතිපත්තියක සිටියේනම් ප්‍රතිඵලය වඩා හොඳ එකක් විය හැකිව තිබිණැයි කිව නොහැකිය. අරගලයේ මුල් අවස්ථාවේදී කිසිවක් නුදුන්නේනම් ආණ්ඩුවට සිදුවන්නේ බලය යොදා අරගලය මර්දනය කිරීමේ විකල්පය තෝරා ගන්නටය. සයිටම් විරෝධය තුළ සිටි කණ්ඩායම් සියල්ලේම නොවූවත් ඇතැම් කණ්ඩායම් වල ඉලක්කය වූයේ එවැනි තත්ත්වයකි. ආණ්ඩුව එය හඳුනා ගත්තේය. නොඉවසිලිමත් පොලිස් නිලධාරියෙකු අතින් තුවක්කුවක් පත්තු වූවානම් තත්ත්වය බොහෝ වෙනස් විය හැකිව තිබුණේය.
සයිටම් විරෝධී අරගලය අවසාන අදියරේදී තිබුණු තැන අනුව සයිටම් අහෝසි කරන තුරු එය අවසන් වන්නට ඉඩක් නොතිබුණේය. ඒ නිසා, ඒ වෙලාවේද ආණ්ඩුවට තෝරා ගත හැකිව තිබුණේ දරුණු මර්දනයකට යාම හා සයිටම් අහෝසි කිරීම යන විකල්ප දෙකෙන් එකකි. සයිටම් අහෝසි කිරීමේ නරක ප්‍රතිඵල තිබුණත්, විරෝධය මර්දනය කරන්නට යාමේ ප්‍රතිඵල ඊට වඩා හානිකර විය හැකි බව ආණ්ඩුව නිවැරදිව තේරුම් ගත්තේය. එවිට ඉතිරි වන්නේ සයිටම් අහෝසි කිරීමේ විකල්පය පමණි. එය හැකි ඉක්මණින් කළ තරමට හානිය අවමය.
ආණ්ඩුවේ තීරණය මේ වෙලාවේ ගත හැකිව තිබුණු හොඳම තීරණයයි. එමෙන්ම, පසුව වලිග කෑලි ඉතිරි කර නොගෙන තීරණය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කර ප්‍රශ්නය අවසන් කිරීමටද ආණ්ඩුව සැලකිලිමත් විය යුතුය. සයිටම් අහෝසි කිරීමෙන් පසුව වෛද්‍යවරුන්ට හා වෛද්‍ය සිසුන්ට ප්‍රශ්නය ඇදගෙන යන්නට අවශ්‍යතාවයක් නැති වේ. ආණ්ඩුවේ පැත්තෙන් සයිටම් විරෝධීන්ට වෙනත් විරෝධතා නිමිති ලබාදීමක්ද කර නැත. කෙසේ වුවත්, ආණ්ඩුව සයිටම් විරෝධය හමුවේ නැමීම තවත් එවැනි විරෝධතා වලට පූර්වාදර්ශ සපයන්නට ඉඩ තිබේ.
මතුපිටින් පෙනෙන පරිදි සයිටම් සටනින් දේශපාලනික වාසියක් ලැබුණේ ජවිපෙට හා පෙසපෙටය. මේ පක්ෂ දෙකෙන් මැතිවරණයදී බලයක්ව සිටින්නේ ජවිපෙයයි. ජවිපෙය එල්ලුණේ පෙසපෙ හා සරසවි සිසුන් විසින් ඇදගෙන ගිය අරගලයක වුවත් අවසන් වශයෙන් මැතිවරණයකදී මෙහි වැඩි වාසිය ලබන්නේ ජවිපෙයි.
පළාත් සභා ඡන්දය නුදුරු දිනක පැවැත්වෙන්නට නියමිතව ඇති අතර මෙය පොදුජන පක්ෂය, එජාපෙ හා ශ්‍රීලනිප අතර තුන් කොන් සටනක් විය හැකිය. ඇතැම් විට එජාපෙ හා ශ්‍රීලනිප එක්ව තරඟ කරන්නටද ඉඩ තිබේ. මේ දෙකෙන් කුමක් වුවත්, ආණ්ඩුවේ පක්ෂ දෙකට පොදුජන පක්ෂයෙන් දැඩි තරඟයක් එල්ල වීමට නියමිත අතර එතරම් හොඳ නැති මැතිවරණ ප්‍රතිඵලයක් ආණ්ඩුව අස්ථාවර කරන්නට වුවද පුළුවන.
ජවිපෙ වඩා ජනප්‍රිය වීම යනු ආණ්ඩු විරෝධී ඡන්ද වැඩි ප්‍රමාණයක් ජවිපෙ විසින් ලබාගැනීමයි. ජවිපෙ විසින් ආණ්ඩු විරෝධී ඡන්ද වැඩියෙන් ආකර්ෂණය කරගන්නා තරමට ආණ්ඩුවේ පක්ෂ දෙකට පොදුජන පක්ෂය අභිබවන්නට ඇති ඉඩකඩ වැඩිවෙයි. ඒ නිසා, මේ වෙලාවේ සයිටම් අහෝසි කිරීමෙන් වක්‍ර ලෙස ආණ්ඩුවටද දේශපාලන වාසියක් ලැබී තිබේ.
Sunday, November 5, 2017
කාගෙත් ලේ රතු පාටද?
කාගෙත් ලේ රතු පාට බව නිතර ඇහෙන කියමනකි. එහෙම කියන අය අතරේ "අපිනම් කැපුවත් කොළ!" කියා කියන අයත් "අපේනම් ලේත් නිල් පාටයි!" කියන අයත් නැත්තේම නැත. කියන කොට එහෙම කිවුවත් කපා බැලුවොත් එහෙම කියන කාගෙත් වාගේ ලේ රතු පාටය.
පන්සල් වල දකින්නට ඇති මුගලන් හාමුදුරුවන්ගේ පිළිමත්, දේවාල වල ඇති විෂ්ණු දෙවියන්ගේ පිළිමත් පාට කර තිබෙන්නේ නිල් පාටිනි. කුඩා කල ලංකාවේ ජීවත් වූ මට මේ මුගලන් පිළිම හා විෂ්ණු පිළිම නිතර දැකීම නිසාම එහි අමුත්තක් නොතිබුණත්, මගේ දරුවන්ට කුඩා කල එවැනි පිළිම දකින්නට ලැබී නොතිබුණේය.
මගේ වැඩිමල් දරුවාගේ වයස වසර හතක් පමණ වූ කාලයේ ලංකාවට ගිය අවස්ථාවක මම දරුවන් හා මගේ සොයුරාද සමඟ මා කලක් ලඟින් ඇසුරු කළ විහාරස්ථානයකට ගියේ වයස්ගතව සිටින විහාරාධිපති හිමියන් හමු වී සතුටු සාමීචියක යෙදෙන්නටය. මා මේ කටයුත්තෙහි යෙදෙන අතර මගේ දරුවෝ මගේ සොයුරාද සමඟ විහාර ගේ බලන්නට ගියෝය.
පණ්ඩිත හාමුදුරුවන් (අප කුඩා කාලයේ මේ හාමුදුරුවන්ව ඇමතූ පරිදි) හා මා කතාබහේ යෙදී සිටියදී දරුවන් සමඟ මගේ සොයුරාද එතැනට ආවේය.
"කොහොමද විහාර ගේ බැලුවද?"
හාමුදුරුවෝ ඉංග්‍රීසි භාෂාවෙන් මගේ දරුවෝ විමසූහ. මේ හාමුදුරුවන්ට ප්‍රාචීන භාෂාත්‍රයෙහි පමණක් නොව ඉංග්‍රීසි භාෂාවේද හසළ දැනුමක් තිබේ. මා කුඩා කාලයේ මේ හිමියන්ගෙන් පාලි හා සකු බස් මෙන්ම ඉංග්‍රීසි බසද උගෙන තිබේ.
කෙසේ වුවත්, ඇමරිකානු උච්ඡාරණයට හුරුවී සිටින මගේ දරුවන්ට ඉංග්‍රීසි බසෙහි කෙතරම් හසළ වුවත්, ලංකාවේ සාමාන්‍ය උච්ඡාරණයෙන් කතා කරන අයෙකු කියන දෙය තේරුම් ගැනීම අපහසුය. එය ඔවුන්ට වෙනත් බසක් මෙනි. එහෙත්, ඔවුන්ට ඊට වඩා පහසුවෙන් සිංහල තේරුම් ගත හැකිය. ඒ ඔවුන් සිංහල කතා කරනු අසා ඇතත් ලංකාවේ උච්ඡාරණයෙන් ඉංග්‍රීසි කතා කරනු එතරම් අසා නැති බැවිනි.
"මොනව හරි ප්‍රශ්නයක් තියෙනවනම් හාමුදුරුවන්ගෙන් අහන්න!"
අවුල තේරුම්ගත් මගේ සොයුරා වැඩිමල් දරුවාගෙන් සිංහලෙන්ම ඉල්ලා සිටියේය.
"හාමුදුරුවනේ මුගලන් හාමුදුරුවෝ නිල් පාට ඇයි?"
දරුවා ක්ෂණිකව සිංහලෙන්ම ප්‍රශ්නය ඇසූ ආකාරයෙන් පෙනී ගියේ මගේ සොයුරාගෙන් මුලින් ඇසූ ප්‍රශ්නයක් ඔහු හාමුදුරුවන් පිට පටවා ඇති බවයි. මට එක වරම කිසියම් අපහසුතාවයක් ඇති වුණේ දරුවා නුසුදුසු ප්‍රශ්නයක් ඇසුවේදැයි යන සැකය නිසාය.
මා කුඩා කාලයේදී සාමාන්‍යයෙන් හිමිනමකගෙන් මේ ආකාරයේ ප්‍රශ්න අසා නැත. එහෙත්, කවුරු හෝ වැඩිහිටියෙකුගෙන් කුඩා කල හරියටම මේ ප්‍රශ්නයම අසා තිබේ.
"මුගලන් හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ හොරුන්ගෙන් හොඳටම ගුටි කාලනේ. ගුටි කාලම ඇඟ නිල් වුණා. පිළිම නිල් පාටින් හදන්නෙ ඒකයි!"
කුඩා කාලයේ මට එසේ කී කවුරු හෝ වැඩිහිටියා ඇත්තටම එසේ හිතා හිටියා වන්නට හෝ මගේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස එවේලේ කටට ආ පිළිතුරක් දුන්නා විය හැකිය.
කෙසේ වුවත්, පණ්ඩිත හාමුදුරුවන්ගේ පිළිතුර වුණේ එය නොවේ. ඔහු පිළිතුර දුන්නේ මගේ සොයුරාගේ මුහුණ බලාගෙන මිස දරුවන්ගේ මුහුණ බලාගෙනද නොවේ. මගේ දරුවෙකු පිට දමා ඇසුවේ සොයුරාගේ ප්‍රශ්නයක් බව හාමුදුරුවෝ තේරුම් ගත්තා විය හැකිය.
"ඔය කළු පාට කියන එක තමයි මිනිස්සු නිල් පාට කියල කියනව ඇත්තෙ නේද? නැත්නම් නිල් පාට මිනිස්සු කොහෙද ඉන්නෙ?"
ඇතැම් විට මගේ සොයුරා වඩා "ආගමික" පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වූවා විය හැකිය.
නිල් පාට මිනිස්සු අප දැක නැත. එහෙත්, නිල් පාටයැයි කිව හැකි තරමටම කළු පැහැ අයනම් මා දැක තිබේ. කෙසේ වුවත්, කිසිවෙකු කවරදාකවත් කළු හංසයින් නිරීක්ෂණය කර නැති වූ පමණින් කළු හංසයින් නැති බව තහවුරු වන්නේ නැත.
සියවස් දෙකකට පමණ පෙර ප්‍රංශයේ සිට ඇමරිකාවට පැමිණි සංක්‍රමණිකයෙකු වූ මාර්ටින් ෆියුගේට් එළිසබෙත් ස්මිත් සමඟ විවාහ වී කෙන්ටකිහි ට්‍රබල්සම් ක්‍රීක් පෙදෙසේ පදිංචි විය. ඔවුන් නොදැන හිටියත් මේ දෙදෙනාගේම සිරුරේ ඉතා දුලබ නිලීන ජාන ප්‍රභේදයක් තිබුණේය. මේ ජානය ඉතාම දුලබ නිසා එය දරන දෙදෙනෙකු විවාහ වීම ගිණිය නොහැකි තරම් දුලබ සිදුවීමක් වුවත් අහම්බෙන් එය සිදුවිය.
මේ විවාහයේ ප්‍රතිඵලය වූයේ තරමක් අමුතු එකකි. මේ දෙදෙනාට ලැබුණු දරුවන් හත් දෙනෙකුගෙන් සිවු දෙනෙකුම නිල් පැහැ අයයි!
මෙසේ සිරුර නිල් පැහැ ගන්වන ජානය යමෙකුට දෙමවුපියන්ගෙන් අයෙකුගෙන් උරුම වූ පමණින් ඔහුගේ හෝ ඇයගේ සිරුර නිල් පැහැ ගන්නේ නැතත්, මවුපිය දෙදෙනාගෙන්ම මේ ජානය උරුම වූ විට සිරුර නිල් පැහැ ගනී. මාර්ටින්ගේ මෙන්ම එලිසබෙත්ගේද සිරුරු වල මේ නිලීන ජානය බැගින් තිබුණත්, ඔවුන්ගේ සිරුරු වල සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුගේ සිරුරු වල තිබෙන සක්‍රිය ජානය බැගින්ද තිබුණු නිසා ඔවුන්ගේ සිරුරු නිල් පැහැ වූයේ නැත. මාර්ටින් හා එලිසබෙත් වැනි කිසියම් ජානයක නිලීන ප්‍රභේදයෙන් (r) හා සක්‍රිය ප්‍රභේදයෙන් (R) එක බැගින් ඇති මවුපිය යුවලකගේ දරුවන්ට ජාන උරුම විය හැකි ආකාර හතරක් තිබේ.
(1) දෙදෙනාගෙන්ම සක්‍රිය ජාන උරුම වීම (RR)
(2) පියාගෙන් සක්‍රිය ජානය හා මවගෙන් නිලීන ජානය උරුම වීම (Rr)
(3) මවගෙන් සක්‍රිය ජානය හා පියාගෙන් නිලීන ජානය උරුම වීම (rR)
(4) දෙදෙනාගෙන්ම නිලීන ජාන උරුම වීම (rr)
ඉහත අවස්ථා හතරෙන් පළමු අවස්ථා තුනේදීම බාහිර වශයෙන් දැකිය හැක්කේ සක්‍රිය ජානයේ ක්‍රියාකාරිත්වයයි. ඒ නිසා, දරුවන් නිල් පැහැ වන්නේ නැත. එහෙත්, සිවුවන අවස්ථාවේදී දරුවන්ට සක්‍රිය ජාන කිසිවක් නැති නිසා නිලීන ජානයේ ලක්ෂණ මතු වී දරුවෝ නිල් පැහැ ගැන්වෙති.
මාර්ටින් හා එලිසබෙත් දෙදෙනාම සිටියේ (2) හෝ (3) අවස්ථාවකය. ඒ නිසා, ඔවුන් දෙදෙනාගෙන් කිසිවකුගේ සිරුරු නිල් පැහැ නොවූවත්, ඔවුන් දෙදෙනාම සිරුරු නිල් පැහැ ගන්වන නිලීන ජානය ඉදිරි පරම්පරා වලට උරුම කළ හැකි වාහකයන්ව සිටියහ. එහෙත්, හමේ බාහිර පෙනුමෙන් ඔවුන්ට සමාන බොහෝ දෙනෙකුට තිබෙන්නේ ඉහත (1) අවස්ථාවෙන් විස්තර කරන සක්‍රිය ජාන කට්ටලයයි.
මාර්ටින් හා එලිසබෙත් මෙන් (2) හෝ (3) අවස්ථාවක සිටින අයෙකුට සාමාන්‍යයෙන් විවාහ වන්නට සිදුවන්නේ (1) අවස්ථාවේ සිටින අයෙකු සමඟය. ඒ, ඉතිරි අවස්ථා තුනේ සිටින අය ඉතා දුර්ලභ බැවිනි. එවැනි අයෙකුට උපදින දරුවන්ට අඩුම වශයෙන් එක් සක්‍රිය ජානයක් හෝ ලැබෙන නිසා ඔවුන්ගේ සිරුරු වල නිලීන ජානයේ ලක්ෂණ මතු වීමට ඉඩක් නැතත්, නිලීන ජානය ඉදිරි පරම්පරාවන්ට සම්ප්‍රේෂණය කරන වාහකයින් එම දරුවන් අතරින් බිහි විය හැකිය.
මාර්ටින් හා එලිසබෙත්ගෙන් බිහි වුනු දෙවන පරම්පරාවේ ෆියුගේට් වරුන් අහඹු ලෙස කා සමඟ හෝ විවාහ වූයේනම්, මේ විවාහ සහකරුවන් බොහෝ විට සක්‍රිය ජාන යුගලයක් තිබුණු RR පුද්ගලයින් විය හැකිව තිබුණු නිසා නිල් පැහැ පුද්ගලයින් නැවත බිහි නොවිය හැකිව තිබුණේය. එහෙත්, ප්‍රවාහන පහසුකම් හා සන්නිවේදන පහසුකම් අද මෙන් පුළුල්ව නොපැවති ඒ කාලයේ ඇමරිකාවේ ගම්බද පෙදෙසක් වූ ට්‍රබල්සම් ක්‍රීක්හි පදිංචිකරුවන් විසින් විවාහය සඳහා බොහෝ විට තෝරාගත්තේ අහල පහළම අයෙකි. මෙසේ අහල පහළ සිටි බොහෝ දෙනෙක් එලිසබෙත්ගේ ඥාතීන් වූ අතර ඒ අය අතර නිල් පැහැ ගන්වන ජානය දැරූ වාහකයෝ තවත් සිටියහ. මෙහි ප්‍රතිඵලය වූයේ නිල් පැහැ ෆියුගේට් වරුන් පරම්පරා කිහිපයක්ම බිහිවීමයි.
සිරුරු නිල් පැහැ වුවත් නිල් පැහැ ෆියුගේට්වරුන්ට වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න නොතිබුණු අතර ඔවුහු සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෝ වූහ. අහල පහළ අයට ඔවුන්ගේ නිල් පැහැය ප්‍රශ්නයක් වුනේද නැත. කොහොමටත් අහල පහළ සිටි බොහෝ දෙනෙක් ඔවුන්ගේම ඥාතීන්ය. දුෂ්කර ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ නිල් පැහැ ෆියුගේට්වරුන් ගැන බාහිර ලෝකය එතරම් දැන සිටියේද නැත.
පසුව සොයාගත් පරිදි ෆියුගේට් වරුන්ගේ නිල් පැහැයට හේතු වුණේ ඔවුන්ගේ රුධිරය නිල් පැහැ වීමයි. රුධිරය රතු පැහැ වීමට හේතුව එහි ඇති හිමොග්ලොබීන්ය. හිමොග්ලොබීන් වලට යකඩ අණු හරහා ඔක්සිජන් අණු සමඟ සම්බන්ධ විය හැකිය. රතු පැහැය ලැබෙන්නේ එවිටය. එහෙත්, එක් හිමොග්ලොබීන් ප්‍රභේදයක් වන මෙට්-හිමොග්ලොබීන් වලට මේ අයුරින් ඔක්සිජන් අණු සමඟ සම්බන්ධ වීමේ හැකියාවක් නැත.
සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිරයේ හිමොග්ලොබීන් අතර මෙට්-හිමොග්ලොබීන් 1-2% ප්‍රමාණයක් තිබේ. මේ ප්‍රතිශතය ඉහළ යන විට එන්සයිමයක් මඟින් මෙට්-හිමොග්ලොබීන් නැවත සාමාන්‍ය හිමොග්ලොබීන් බවට හරවයි. එහෙත්, මේ එන්සයිමය නිපදවීමට උදවුවන සක්‍රිය ජානය අඩු වශයෙන් දෙමවුපියන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන්වත් නොලැබුණු විට ඉහත පරිවර්තනය නිසි පරිදි සිදු නොවීම නිසා මෙට්-හිමොග්ලොබීන් ප්‍රතිශතය විශාල ලෙස ඉහළ යාමෙන් ඔවුන්ගේ රුධිරය නිල්-දුඹුරු පැහැයක් ගනී. ඒ හේතුවෙන් ඔවුන්ගේ හමද නිල් පැහැ වේ.
දැන් මෙට්-හිමොග්ලොබිනීමියා ලෙස හැඳින්වෙන සිරුරේ මෙට්-හිමොග්ලොබීන් ප්‍රතිශතය ඉහළ යාම ජානමය නොවන වෙනත් හේතු මතද ඇති විය හැකි තත්ත්වයක් වන අතර ඒ හේතුවෙන් වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකිය. මෙට්-හිමොග්ලොබිනීමියාව ජාන වලින් උරුම කරගත් නිල් පැහැ ෆියුගේට් වරුන්ට මේ තත්ත්වය නිසා වෙනත් ශාරීරික රෝගී තත්ත්වයන් ඇති නොවුනත්, ඔවුන්ගේ පසු පරම්පරා වල ඇතැම් අයට මෙය මානසික ප්‍රශ්නයක් විය.
ක්‍රිස්තු වර්ෂ 1960 වසරේදී කෙන්ටකි සරසවියේ සේවයට ගිය රුධිරවේදියෙකු වූ මැඩිසන් කැවීන්ට ට්‍රබල්සම් ක්‍රීක්හි නිල් පැහැ මිනිසුන් ගැන අසන්නට ලැබුණේය. මේ ගැන වැඩිදුර තොරතුරු සොයමින් සිටි ඔහුගේ චිකිත්සාගාරයට එක් දිනක් හදිසියේම නිල් පැහැ පිරිමියෙකු හා කාන්තාවක පැමිණියෝය. ඒ සොයුරු සොයුරියන් වූ පැට්‍රික් රිචී හා රේචල් රිචීය. පළමුව, ඔවුන්ගේ හදවත් හා පෙනහළු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ ඔහුට ඒවායේ වැරැද්දක් නොපෙණුනේය. පසුව, ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කළ මැඩිසන් කැවීන්ට ඔවුන්ගේ සිරුරු වල නිල් පැහැයට හේතුවන රුධිරයේ අධික මෙට්-හිමොග්ලොබින් සාන්ද්‍රනයත්, එයට හේතුවන එන්සයිම හීනතාවයත් සොයාගත හැකි විය.
විසෙන් විස නසන්නාක් මෙන් නිල් පැහැ ෆියුගේට්ලාගේ නිල් පැහැය නැති කරන්නට උදවු වුණේද තවත් නිලකි. ඒ මෙතිලීන් බ්ලූය. මෙතිලීන් බ්ලූ සිරුරට එන්නත් කිරීමෙන් පසුව පැට්‍රික් හා රේචර් සොයුරු සොයුරියෝ ක්ෂණිකවම රෝස පැහැති වූහ. එහෙත්, සිරුරෙන් මෙතිලීන් බ්ලූ ඉවත් කරන නිසා ඔවුන්ට දිනපතාම මෙතිලින් බ්ලූ පෙති වශයෙන් ගන්නට විය. මෙතිලීන් බ්ලූ ගන්නා විට ඔවුන්ගේ මුත්‍රාද නිල් පැහැයට හැරුණු අතර ඇතැම් නිල් පැහැ ෆියුගේට්ලා මෙය විස්තර කර ඇත්තේ බෙහෙත් වලින් සිය සිරුරේ නිල් පැහැය දිය කර හැරීමක් වශයෙනි.
නිල් පැහැ ෆියුගේට්ලා ආවාහ විවාහ හරහා මිශ්‍ර වීම නිසා නිලීන ජාන දෙකක් එකතු වීමේ ඉඩකඩ අඩු වී ගිය අතර දැන් නිල් පැහැ ෆියුගේට්ලා ඇමරිකාවේ දකින්නට නැත. එහෙත්, මේ නිලීන ජානය රැගෙන යන වාහකයින් සිටින නිසා එවැනි දෙදෙනෙකු එකතු වූ විටක නැවතත් නිල් පැහැ දරුවෙකු බිහි වන්නට ඉඩ තිබේ.
Saturday, November 4, 2017
සෝවියට් දේශයේ ආදායම් විෂමතා තිබුණේ නැද්ද? (දෙවන කොටස)
සෝවියට් දේශයේ ආදායම් විෂමතා තිබුණේ නැද්ද? (පළමු කොටස)
සෝවියට් දේශය විසින් ඉලක්ක කළේ සමාජයේ විවිධ ස්ථර අතර හා රටේ විවිධ ප්‍රදේශ අතර ආදායම් විෂමතා අවම වූ සමාජයක් හැදීමටය. එහෙත්, සෝවියට් දේශයට අයත් වූ විවිධ රටවල් අතර සැලකිය යුතු තරමේ ආදායම් විෂමතා තිබී ඇති බව අපි පෙර කොටසින් පෙන්වා දුන්නෙමු. එයට අමතරව සෝවියට් දේශයේ විවිධ අධ්‍යාපන මට්ටම් වල සිටි ශ්‍රමිකයන් අතර මෙන්ම ගැහැණු හා පිරිමි අතරද සැලකිය යුතු තරමේ ආදායම් විෂමතා තිබී ඇත.
සෝවියට් දේශය බිඳ වැටෙන්නට පෙර සෝවියට් රජය විසින් රටේ පවුල් වල ආදායම් පිළිබඳ පුළුල් සමීක්ෂණ සිදු කර ඇතත් මේ සමීක්ෂණ දත්ත අඩු වශයෙන් සාමාන්‍ය සෝවියට් පර්යේෂකයින්ට හෝ භාවිතා කිරීමට ඉඩ ලැබුණේ නැත. සෝවියට් රජය විසින් ප්‍රසිද්ධ කළේ සැලකිල්ලෙන් තෝරාගත් සාරාංශ දර්ශක පමණි. එහෙත්, සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව ඇතැම් පර්යේෂකයින්ට මේ දත්ත විශ්ලේෂණය කිරීමට අවස්ථාව සැලසුණේය.
ඇමරිකා එක්සත් ජනපදය වැනි ධනවාදී රටක වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්නා අයෙකුට වැඩි ආදායමක් ඉපැයීමේ අවස්ථාව තිබේ. එහෙත්, එවැන්නෙකු වැඩිදුර ආයෝජනය පිණිස යොදවන්නේ තමන්ගේ පෞද්ගලික ධනය නිසා මේ ප්‍රතිලාභ හෝ එයින් කොටසක් ඒ අමතර ආයෝජනය සඳහා ලැබෙන ප්‍රතිලාභ ලෙසද සැලකිය හැකිය. සෝවියට් දේශය වැනි අධ්‍යාපනය සඳහා පෞද්ගලිකව ආයෝජනය කළ යුතු නැති සමාජවාදී රටකදී මේ තර්කය ධනවාදී රටකදී එතරම්ම වලංගු නැත. එහෙත්, කාලය හා ශ්‍රමය වශයෙන් හෝ වැඩිදුර අධ්‍යාපනය ලබන්නෙකු විසින් දරන, ශිෂ්‍යයන්ට රජයෙන් ලබාදෙන ප්‍රතිලාභ වලින් ආවරණය නොවන, කිසියම් ආවස්ථික පිරිවැයක් තිබිය හැකිය. එවැනි ආවස්ථික පිරිවැයක් වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පසුකාලීන වැටුප් වෙනසක් ලෙස පිළිබිඹු විය හැකිය.
සෝවියට් ආර්ථිකය මධ්‍යගත ලෙස සැලසුම් කෙරුණේ මාක්ස් හා එංගල්ස් ආදීන්ගේ අදහස් මත පදනම්වය. මේ අදහස් අනුව, කවර හෝ ප්‍රයෝජනවත් නිෂ්පාදන කාර්යයක් වෙනුවෙන් යෙදවෙන ශ්‍රමය සමාන ලෙස සැලකුනේය. ගැහැණු පිරිමි භේදයක් නොසලකා ශ්‍රමයට සමාන ලෙස සැලකීම සෝවියට් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ද තහවුරු කර තිබුණු ප්‍රමුඛ ඉලක්කයක් විය. එහෙත්, ප්‍රයෝගිකව මෙය මෙලෙසින්ම සිදු වී නැත.
සමස්තයක් ලෙස සෝවියට් දේශය තුළ සරසවි අධ්‍යාපනය ලැබූ අයෙකු ප්‍රාථමික මට්ටමට වඩා අධ්‍යාපනය නොලැබූ අයෙකුට වඩා 46.2%කින් වැඩි වැටුපක් 1984 වසරේදී උපයා තිබේ. 1989 වසරේදීද මේ අනුපාතය 45.7% මට්ටමේ තිබී ඇත. උපාධිධාරී පිරිමියෙකු හා ගැහැණියක අතර සාමාන්‍ය වැටුප් වෙනස 1984දී 24.3%ක්ද, 1989දී 26.9%කි. මීට අඩු අධ්‍යාපන මට්ටමක සිටින පිරිමි හා ගැහැණු අතරද මෙවැනිම ආදායම් වෙනස්කම් දැකිය හැකිය. උපාධිධාරී පිරිමියෙකු ප්‍රාථමික මට්ටමට වඩා අධ්‍යාපනය නොලැබූ ගැහැණියක මෙන් දෙගුණයක පමණ ආදායමක් උපයා තිබේ. වැඩි අධ්‍යාපනයක් ලැබූ අය ලැබූ වෙනත් වරප්‍රසාද වල වෙනස (උදාහරණයක් ලෙස වඩා හොඳ නිවාස) සැලකූ විට විෂමතාවයන් මීටත් වඩා වැඩි විය යුතුය. එමෙන්ම ඇතැම් සෝවියට් ජනරජ වල පැවතී ඇති ආදායම් විෂමතා සමස්තයක් ලෙස සෝවියට් සංගමයේ ආදායම් විෂමතාවයටද වඩා බොහෝ වැඩිය.
පහත වගු සෝවියට් නිල සංඛ්‍යාලේඛණ උපුටා දක්වන හෙන්රික් ෆ්ලැකියර්ස්කිගේ 1992 පර්යේෂණ පත්‍රිකාවෙනි.
Labels:
ආගම් හා දර්ශන,
සමාජවාදය,
සෝවියට් දේශය
Friday, November 3, 2017
සෝවියට් දේශයේ ආදායම් විෂමතා තිබුණේ නැද්ද? (පළමු කොටස)
දින කිහිපයකට පෙර අජිත් පැරකුම් ජයසිංහගේ w3lanka වියුණුවේ පැරණි සෝවියට් දේශයේ කොටසක් වූ වත්මන් තජිකිස්තානය ගැන අවධානය යොමු කර තිබුණේය. ලිපියේ ප්‍රධාන මාතෘකාව ජනප්‍රිය තජිකිස්තාන ගායිකාවක වන නොසියා කරමටුල්ලෝ සහ කලකට පෙර ඝාතනය කරනු ලැබ ඇති ඇගේ පියා ගැන කතා කිරීම වුවත්, වසර පහකටත් පෙර රයිගම හන්දිය වියුණුවේ පළ වී තිබූ ලිපියකින් කොටසක් උපුටා ගනිමින් තජිකිස්තානයේ වත්මන් තත්ත්වය කෙරෙහිද එහි අවධානය යොමු කර තිබුණේය.
වසර පහක් කියන්නේ මිනිසෙකුගේ ජීවිත කාලය සැලකූ විට දිගු කාලයකි. එවැනි කාලයක් තුළ බ්ලොග් ලිපියක සඳහන් කරුණු පමණක් නොව, ලේඛකයෙකු හෝ වෙනත් පුද්ගලයෙකු සිතන පතන ආකාරය පවා සැලකිය යුතු ලෙස වෙනස් විය හැකිය. ඒ නිසා, එවැන්නක් ගැන කතා කළ යුත්තේ සැලකිල්ලෙනි. කෙසේ වුවද, රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට සියවසක් පිරෙන්නට දින කිහිපයක් ඉතිරිව ඇති මේ වෙලාවේ, මේ ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිඵල ගැන කතා කරන්නට ප්‍රවේශයක් වශයෙන් තජිකිස්තානය ගැන වසර පහකට පෙර රයිගම හන්දියේ ලියැවී ඇති දේ යොදා ගත හැකිය.
රයිගම හන්දිය ලේඛකයා මෙන්ම මමත් සෝවියට් සමුහාණ්ඩු ගැන මුලින්ම දැනගත්තේ මුදල් නොගෙවා ගෙන්වා ගත හැකිවූ සෝවියට් දේශය සඟරා වලිනි. ඔහු මෙන් මා තජිකිස්තානයට හෝ අසල්වැසි රටකට තාවකාලිකව සංචාරය කර හෝ නැත. එහෙත්, ඇමරිකාවේ ජීවත් වන තජිකිස්තාන සංක්‍රමනික මිතුරු මිතුරියන් කිහිප දෙනෙක්ම ලඟින් ඇසුරු කර ඇති නිසා තජිකිස්තාන කෑම ගැන ඔහු කියන දේ සමඟ මටද එකඟ විය හැකිය. රට ගැන සමස්තයක් ලෙස මා නොදන්නා නමුත් තජිකිස්තාන සංක්‍රමනිකයින් වන මගේ මිතුරු මිතුරියන්නම් පුළුල් දැක්මක් ඇති සුන්දර මිනිසුන්ය.
වැල් වටාරම් අතහැර ලිපියේ සාරාංශය වෙත ගියහොත් අද තජිකිස්තානය කියන්නේ ශ්‍රමික ප්‍රේෂණ වලින් හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මඟින් යැපෙන දුප්පත් රටකි. ලෝක බැංකු දත්ත අනුව පසුගිය වසරේ තජිකිස්තානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 796ක් පමණක් විය. එම වසරේ ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3635 ක් විය. සියවස් තුන්කාලක් සමාජවාදී සෝවියට් සංගමයේ කොටසක් වූ රටක අද තත්ත්වය එහෙමය.
පැරණි සෝවියට් සංගමයේ සාමාජික රටවල් අතරින් අද වන විට අඩුම ඒක පුද්ගල ආදායමක් ලබන්නේ තජිකිස්තානය වුවත් භූගෝලීය ලෙස සෝවියට් සංගමයේ පරිධියේ පිහිටා තිබුණු තවත් රටවල් ගණනාවක තත්ත්වයද එතරම්ම සතුටුදායක නැත. කිර්ගිස්තානය, මොල්දෝවා, උස්බෙකිස්තානය හා යුක්රේනය වැනි තවත් පැරණි සෝවියට් රටවල් ගණනාවක් අද වන විට ඒක පුද්ගල ආදායම අනුව සිටින්නේ ලංකාවට වඩා පසුපසිනි. එහෙත්, සැලකිය යුතු ඒක පුද්ගල ආදායමක් ලබන ලැට්වියාව, ලිතුවේනියාව හා එස්ටෝනියාව වැනි රටවල්ද ඒ අතර තිබේ.
පැරණි සෝවියට් දේශයේ කොටස් වූ රටවල් අතර මේ තරම් ආදායම් විෂමතාවයක් දකින්නට හැකි වී තිබෙන්නේ කෙසේද?
ධනවාදය විවේචනය කරන්නට පැහැදිලි හේතුවක් හොයා ගන්නට අමාරු බොහෝ සමාජවාදීන් පුන පුනා කියන්නේ ධනවාදය ආදායම් විෂමතාවන්ට හේතුවන බවයි. එමෙන්ම, සමාජවාදය මාකටිං කිරීමට වැඩිපුරම යොදාගන්නා තර්කය වන්නේද එමඟින් ආදායම් විෂමතා අඩුවන බවයි.
මේ තර්කය පදනමක් නැති එකක්ම නොවේ. ආදායම් විෂමතා නැති කිරීම ලිබරල් ධනවාදයේ ඉලක්කයක් නොවේ. සියල්ලන්ටම සමාන ආදායම් උපයන්නට ඉඩ සැලසීම සමාජවාදීන්ගේ ඉලක්කයකි. ලිබරල් ධනවාදීන්ගේ ඉලක්කය වන්නේ සියල්ලන්ටම ආදායම් උපයන්නට සමාන ඉඩ සැපයීමයි. මේ දෙකෙන් පළමු ඉලක්කයට වඩා දෙවැන්න කාර්යක්ෂම බව තවදුරටත් න්‍යායාත්මක කරුණක් පමණක් නොවේ. ඉතිහාසය විසින් තහවුරු කර ඇති දෙයකි.
වඩා අකාර්යක්ෂම වුවත් දෙවන ඉලක්කය වඩා සාධාරණ බව සමාජවාදීහු සිතති. මිනිසකුගේ මූලික අවශ්‍යතා ගැන සැලකූ විට සමාජවාදීන්ගේ සිතීමට පදනමක් තිබේ. ඇමරිකා එක්සත් ජනපදය වැනි සංකල්පීය ධනවාදයකට වඩාත්ම ආසන්න රටක පවා ළමුන්, ගර්භණී කාන්තාවන්, ආබාධිතයින්, වයස්ගත අය හා අඩු ආදායම්ලාභීන් වැනි කොටස් වල ආහාර, සෞඛ්‍යය හා අධ්‍යාපනය ආදිය සුබසාධනය වෙනුවෙන් සැලකිය යුතු තරමේ සම්පත් සම්ප්‍රේෂනයක් සිදුවීමෙන් පෙනෙන්නේ 'අනිත් එකා මැරුණත් මගේ ලාභය' කියා සිතීම සාමාන්‍ය මිනිස් ස්වභාවය නොවන බවයි. ප්‍රශ්නයක් මතුවන්නේ සම්පත් සමසේ බෙදීම ඉලක්ක කර ගනිමින් වැඩිපුර සම්පත් උපයන අයගේ ධනය බලහත්කාරයෙන් පැහැර ගන්නට යාමේදීය.
ආදායම් ඉපයීමේ හැකියාව අතින් සියලු මිනිස්සු සමාන නොවෙති. එසේ සමාන වේනම් බලහත්කාරයෙන් සමාජවාදයක් බිහි කරන්නට අවශ්‍ය නොවේ. පවතින අමුද්‍රව්‍ය යොදාගනිමින් සම්පත් නිර්මාණය කිරීම ඇතැම් අයට වෙනත් අයට වඩා කාර්යක්ෂම ලෙස කළ හැකිය.
සැමට සමානව සම්පත් බෙදී යාම තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම පුද්ගලයින් විසින් නිපදවන සම්පත් වලින් කොටසක් අකාර්යක්ෂම පුද්ගලයින් අතට කිසියම් ආකාරයකින් සම්ප්‍රේෂණය කළ යුතුය. මේ සම්ප්‍රේෂණය වීම යම් පමණකින් ස්වභාවික ලෙසම සිදුවන නමුත්, සම්පත් සමානව බෙදෙන මට්ටමට එය ස්වභාවික ලෙස සිදු වන්නේ නැත. වැඩිපුර සම්පත් නිපදවීමේ හැකියාව ඇති අයෙකු එයින් කොටසක් වෙනත් අය සමඟ ස්වේච්ඡාවෙන් බෙදාගන්නට කැමති විය හැකි වුවත් එයට සීමාවක් තිබේ. ඒ මට්ටමෙන් ඔබ්බට සම්පත් සම්ප්‍රේෂණයක් සිදු කළ හැක්කේ බලහත්කාරයෙන් පමණි.
මිනිස්සු යනු ස්වභාවික ලෙසම ස්වඅභිමතාර්ථය පතන්නෝය. මහන්සියෙන් තොරව වෙනත් අයෙකු උපයන දෙයක් ලබා ගත හැකිනම් එයට අකැමති අය නැත. සම්පත් සමානව බෙදී යන ක්‍රමයක් ඇත්නම් අකාර්යක්ෂම පුද්ගලයින්ට වඩා කාර්යක්ෂම පුද්ගලයින්ගේ මහන්සියේ ප්‍රතිඵලයෙන් කොටසක් පැත්තක සිට ලබා ගන්නට පුළුවන. ඒ නිසා, කාර්යක්ෂම පුද්ගලයින්ගේ මහන්සියේ ප්‍රතිඵල අකාර්යක්ෂම පුද්ගලයින් විසින් සූරාකන එවැනි ක්‍රමයකට කැමති අකාර්යක්ෂම පුද්ගලයින් කොටසක් කොයි සමාජයේත් සිටිති. එහෙත්, මේ පිරිස බහුතරය නොවන බව පෙනෙන්නේ බහුතර මිනිසුන්ගේ කැමැත්තෙන් බිහි කළ හෝ පවත්වාගෙන ගිය සමාජවාදී රජයක් ලෝකයේ කොහේවත් තිබී නොමැති වීමෙනි.
ධනවාදී ආර්ථිකයක ආදායම් සමසේ බෙදීම ඉලක්ක නොකෙරෙන්නේ එසේ කිරීමෙන් වඩා කාර්යක්ෂම කොටස් අධෛර්යමත් කෙරෙන බැවිනි. වැඩි ආදායම් ඉපදවීමේ ඉඩකඩ වඩා කාර්යක්ෂම වීමට පුද්ගලයෙකුව පොළඹවයි. වැඩි දෙනෙකු වැඩි ආදායම් උපයන විට රටක සමස්ත ආදායම ඉහළ යයි.
සෝවියට් දේශය විසින් ඉලක්ක කළේ මෙසේ වඩා කාර්යක්ෂම පුද්ගලයින්ට වැඩි ලාභ ලබන්නට ඉඩ සැලසීම මඟින් සමස්ත නිෂ්පාදිතය ඉහළ නංවා ගැනීම නොවේ. සියළු නිෂ්පාදන සාධක රජය යටතේ තබා ගනිමින් (සෝවියට් ව්‍යවස්ථාවේ 10 වගන්තිය) රටේ භෞතික හා භෞතික නොවන ශ්‍රමය සපයන පුද්ගලයින් අතරත්, ගම් හා නගර ඇතුළු ප්‍රදේශ අතරත් විෂමතා නැති කරමින් (සෝවියට් ව්‍යවස්ථාවේ 19 වගන්තිය) සමජාතීය සමාජයක් හැදීමයි. සෝවියට් සංගමයට රටවල් 15ක් අයත්ව තිබූ අතර ව්‍යවස්ථාවේ 36 වන වගන්තියෙන් මේ සියලු රටවල වැසියන්ට සමාන ලෙස සැලකීම තහවුරු කර තිබුණේය. මේ අනුව, බැලූ බැල්මටම පෙනෙන්නේ සෝවියට් සංගමයේ සාමාජික රටවල් අතර ඒ කාලයේ ආදායම් විෂමතා තිබෙන්නට ඉඩක් නැති බවයි. එසේනම්, මේ රටවල් අතර අද පවතින ආදායම් විෂමතාවයට හේතුව සෝවියට් සංගමය බිඳී යාමද?
පහත වගුවේ ඇත්තේ පැරණි සෝවියට් සංගමයේ සාමාජික රටවල් වල පසුගිය වසරේ ඒක පුද්ගල ආදායමයි. සියලු සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකන් ඩොලර් වලිනි. මූලාශ්‍රය ලෝක බැංකුවයි.
වගුවෙන් පෙනෙන පරිදි පැරණි සෝවියට් සංගමයේ රටවල් අතරින් මේ වන විට ඒක පුද්ගල ආදායම අනුව රුසියාවට වඩා ඉදිරියෙන් ඉන්නේ රටවල් තුනක් පමණි. අනෙක් රටවල් සියල්ලම ඉන්නේ රුසියාවට වඩා පසුපසිනි. ඒ රටවලට එහෙම වුණේ රුසියාවෙන් වෙන් වූ නිසාද?
උඩ සිතියම දෙස බැලුවොත් එහි කොල පැහැයෙන් ලකුණු කර ඇති බෝල්ටික් රටවල් තුනේ ඒක පුද්ගල ආදායම රුසියාවේ ඒක පුද්ගල ආදායම මෙන් දෙගුණයකට ආසන්න වන අතර කහ පැහැයෙන් දක්වා ඇති රටවල ආදායම රුසියාවේ ආදායමට වඩා විශාල ලෙස අඩු නැත. එහෙත්, රතු පැහැයෙන් ලකුණු කර ඇති පරිධියේ රටවල ඒක පුද්ගල ආදායම් රුසියාවේ ඒක පුද්ගල ආදායමෙන් අඩකටත් අඩුය.
සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුවත් එහි සාමාජිකයින්ව සිටි රටවල් රුසියාව සමඟ වූ සම්බන්ධය අත හැර දැම්මේ නැත. පැරණි සෝවියට් සංගමයේ රටවල් පහළොවෙන් තුනක් හැර ඉතිරි රටවල් සියල්ලම රුසියානු පොදුරාජ්‍ය මණ්ඩලය එසේත් නැත්නම් ස්වාධීන පොදු රාජ්‍ය මණ්ඩලය ලෙස (CIS) එකට සිටියේය. රුසියානු පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ එකතු නොවූයේ පැරණි සෝවියට් සංගමයේ රටවල් අතරින් රටවල් තුනක් පමණි. ඒ බෝල්ටික් කලාපයේ පිහිටි ලැට්වියාව, ලිතුවේනියාව හා එස්ටෝනියාව යන රටවල් තුනයි.
මේ බෝල්ටික් රටවල් තුන කියා සිටියේ සෝවියට් සංගමය විසින් බලහත්කාරයෙන් සිය රටවල් ඈඳා ගත්තා මිස තමන් කැමැත්තෙන් සෝවියට් සංගමය සමඟ එක්ව නොසිටි බවයි. මේ අනුව, රුසියාව සමඟ පැවති සම්බන්ධතාව තවදුරටත් පවත්වා ගැනීමට මේ රටවල් තුනට අවශ්‍ය වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් ඉලක්ක කළේ යුරෝපීය සංගමයට එකතු වීමටය.
අදවන විට රුසියානු පොදු රාජ්‍ය මණ්ඩලයට එකතු නොවූ මේ රටවල් තුනේ ඒක පුද්ගල ආදායම් වල සාමාන්‍යය ඇමරිකන් ඩොලර් 15,524කි. රුසියානු පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ සිටි රටවල ඒක පුද්ගල ආදායම් වල සාමාන්‍යය ඇමරිකන් ඩොලර් 3,481කි.
කෙසේ වුවද, පැරණි සෝවියට් සංගමයේ රටවල් අතර මේ වන විට පෙනෙන්නට තිබෙන ආදායම් විෂමතාවයට එකම හේතුව එම රටවල් සෝවියට් සංගමයෙන් නිදහස් වීමෙන් පසු කටයුතු කළ වෙනස් ආකාරයන් නොවේ. සෝවියට් සංගමය ලෙස එකතු වී සිටි කාලයේද මේ රටවල් අතර සැලකිය යුතු ආදායම් විෂමතා තිබුණේය.
ආදායම් විෂමතා නැති කරන්නට කෙතරම් උත්සාහ කළත් සෝවියට් සංගමයට ඒ ඉලක්කය පවා සපුරා ගන්නට ලැබුණේ එක්තරා මට්ටමකට පමණි. සෝවියට් සංගමය විසින් ප්‍රසිද්ධ කළ නිල ප්‍රකාශන වල මේ හා අදාළ සංඛ්‍යාලේඛණ සෘජුවම ඉදිරිපත් කර නොතිබුණත්, අදාළ කරුණ විමසා බලන්නට ප්‍රමාණවත් දත්ත එම තොරතුරු අතරේ සැඟවී තිබුණේය.
ඇතැම් පර්යේෂකයින් විසින් සෝවියට් සංගමයේ නිල සංඛ්‍යාලේඛණ විශ්ලේෂණය කරමින් සංගමය බිඳ වැටෙන්නට ආසන්නව එහි සාමාජික රාජ්‍ය අතර පැවති ආදායම් විෂමතා ගැන අධ්‍යයනයන් සිදුකර විමර්ශිත ජර්නල වල පළ කර තිබේ. හෙන්රික් ෆ්ලැකියර්ස්කිගේ 1992 අධ්‍යයනයත් (International Journal of Sociology, Vol. 22, No. 3), ඇලෙක්සීව් හා ග්ලැඩීගේ 1993 අධ්‍යයනයත් සෝවියට් සංගමය බිඳ වැටුණු අලුත එසේ සිදු කළ අධ්‍යයන පිළිබඳ උදාහරණයි.
ඇලෙක්සීව් හා ග්ලැඩීගේ 1993 පර්යේෂණ පත්‍රිකාවේ 2A වගුව අනුව, 1988දී තජිකිස්තාන වැසියන්ගෙන් 58.6%කගේ මාසික ආදායම රූබල් 75කට වඩා අඩු වූ අතර උස්බෙකිස්තානයේ මේ ප්‍රතිශතය 44.7%ක්ද, කිර්ගිස්තානයේ 37.1%ක්ද විය. නමුත්, ලැට්වියාව, ලිතුවේනියාව හා එස්ටෝනියාව යන රටවල රූබල් 75කට වඩා අඩු ආදායම් ලැබූ අය සිටියේ පිළිවෙලින් 3.2%ක්, 3.6%ක් හා 3.9%ක් පමණි. අනෙක් අතට ලැට්වියාවේ 28.3%ක්ද, ලිතුවේනියාවේ 24%ක්ද, එස්ටෝනියාවේ 33.6%ක්ද රූබල් 200 ඉක්මවන මාසික ආදායමක් ලබද්දී තජිකිස්තානයේ එම ආදායම් මට්ටම ඉක්මවූ අය සිටියේ 1.4%ක් පමණි.
අද වන විට විශාලනය වී තිබෙන්නේ සෝවියට් සංගමය පැවති කාලයේද එහි සාමාජික රටවල් අතර තිබුණු හා විවිධ ආදායම් ස්ථර අතර තිබුණු (ලිපියේ විස්තරාත්මක ලෙස කතා කර නැති) ආදායම් විෂමතාවයන්ය. සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කරමින් සෝවියට් සංගමය විසින් විවිධ ආදායම් ස්ථර අතර ආදායම් විෂමතා අඩු කරගත් බව සැබෑවක් වුවත්, සංඛ්‍යාලේඛණ මඟින් පෙනෙන පරිදි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති අනුගමනය කළ ඇතැම් ස්කැන්ඩිනේවියානු රටවල්ද ඒ තරමටම හෝ ඊටත් වැඩියෙන් ආදායම් විෂමතාවය අඩුකරගෙන තිබීම විශේෂත්වයකි.
සෝවියට් සංගමය ක්‍රියාත්මකව පැවති කාලයේදීද එහි පරිධියේ වූ මධ්‍යම ආසියානු රටවල තත්ත්වය මධ්‍යයේ වූ රටවල තරම් යහපත්ව තිබී නැත. එපමණක් නොව, තජිකිස්තානයේ අද පෙනෙන්නට ඇති විශාල අවිධිමත් ආර්ථිකයේ ඉතිහාසයද සෝවියට් සංගම් යුගයට දිව යන්නකි. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු එහි සාමාජික රටවල සිට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූවන් යොදාගනිමින් සිදු කළ සංගණනයකට අනුව (Berkeley-Duke Project on the Second Economy in the U.S.S.R.) පෙනෙන්නේ ඒ වන විටද සෝවියට් සංගමයට අයත්ව තිබුණු මධ්‍යම ආසියාතික රටවල විශාල අවිධිමත් ආර්ථිකයක් තිබී ඇති බවයි. එහෙත්, සෝවියට් සංගමයට අයත් වූ බෝල්ටික් රටවල එවැනි තත්ත්වයක් තිබී නැත.
අවිධිමත් ආර්ථිකයේ බලපෑමද සැලකූ විට සෝවියට් සංගමයේ පැවති ආදායම් විෂමතාවයන් ඉහත පර්යේෂණ පත්‍රිකා වල පෙනෙනවාටත් වඩා වැඩි විය යුතු බව අදාළ විශ්ලේෂකයින්ගේ අදහසයි. මේ සමාජවාදීන් විසින් උත්කර්ෂයට නංවන සමාජවාදයේ එකම යහපත හා අදාළව වුවද පැවතී ඇති තත්ත්වයයි.
Labels:
ඉතිහාසය,
සමාජවාදය,
සමානාත්මතාවය,
සෝවියට් දේශය
Sunday, October 29, 2017
උතුර දකුණ මාරු වුනොත්...
මේ දවස් වල අපේ දේශගුණය ඉතා සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. ඊයේ රාත්‍රියේ උෂ්ණත්වය බිංදුවෙන් පහළට ගොස් ඇති බව පෙනේ. උණුසුම් කාලය පුරා සරුවට වැවී තිබුණු නිවිති, කන්කුන් පඳුරු, වට්ටක්කා වැල් හා තක්කාලි ගස් ආදිය එක රැයින් මැලවී ගොස් තිබේ. ස්ප්‍රින් අනියන්, බොක් චෝයි වැනි ඇතැම් එළවළු වර්ග වලට පමණක් මේ සෘණ උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නට පුළුවන. වසරේ අඩක් පෘථිවියේ උතුරු අර්ධ ගෝලයට වැඩියෙන් සැලකූ ඉර දැන් වැඩියෙන් සලකන්නේ දකුණු අර්ධ ගෝලයේ ජීවත් වන අයට වුවත් උතුර දකුණනම් මාරු නොවී එසේම පවතී.
අපට උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර වැනි දිශා ගැන කතා කළ හැකි වුවත් ඒ පොළොව මත කිසියම් ස්ථානයකට සාපේක්ෂව මිස නිරපේක්ෂ ලෙස නොවේ. කිසියම් තැනක සිට බටහිරින් ඇති තැනක් පසුකර තවත් බටහිරට ගිය විට කලින් බටහිරින් තිබුණු තැන තිබෙන්නේ නැගෙනහිරින් මිස තව දුරටත් බටහිර දිශාවේම නොවේ. කෙසේ වුවත්, මෙය මෙසේ නොවන තැන් දෙකක් පෘථිවිය මත තිබේ. ඒ උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවයයි.
උත්තර ධ්‍රැවයට උතුරෙන් පොළොව මත වෙනත් තැන් නැත. එමෙන්ම, උත්තර ධ්‍රැවයේදී බටහිර හා නැගෙනහිර සමපාත වන නිසා එහි සිට බටහිරට හෝ නැගෙනහිරට යාමටද නොහැකිය. පොළොවේ සියලු තැන් තියෙන්නේ උත්තර ධ්‍රැවයට දකුණෙනි. මේ අයුරින්ම පොළොව මත පිහිටි සියලු තැන් තිබෙන්නේ දක්ෂිණ ධ්‍රැවයට උතුරෙනි. බටහිර හා නැගෙනහිර දිශා හා අදාළව මෙවැනි සුවිශේෂී තැන් නැත.
බටහිර හා නැගෙනහිර දිශා අතර කිසිදු සුවිශේෂී තැනක් නැති නිසා උතුරේ සිට දකුණට අඳින මධ්‍ය රේඛාවක් පොළොවේ ඕනෑම තැනක් හරහා ඇඳිය හැකිය. පැරණි වෛදිකයන් මේ ඉර ඇන්දේ ලංකාව හා උදේනි නුවර එම ඉර මත පිහිටන අයුරිනි. දැන් අපි බොහෝ විට මේ ඉර අඳින්නට පුරුදු වී සිටින්නේ එංගලන්තයේ ග්‍රිනිච් නගරය හරහා යන පරිදිය. මෙය ලෝක දේශපාලනය මත මිස භෞතික කරුණක් මත තීරණය වූවක් නොවේ.
ගෝලාකාර පෘථිවියේ ද්විමාන සිතියමක් අඳින විට එහි මධ්‍යය හරහා යන සිරස් රේඛාව ලෙස ඕනෑම තැනක් තෝරාගත හැකි වුවත්, මධ්‍යය හරහා යන තිරස් රේඛාව එසේ පහසුවෙන් වෙනස් කළ නොහැකිය. එවැන්නක් කරන්නේනම් උතුර හා දකුණ යන සංකල්පද, ඒ නිසාම අනෙකුත් දිශාවන් අර්ථ දක්වන ආකාරයද වෙනස් කරන්නට සිදු වේ. කෙසේ වුවත්, දැන් අප කරනවාක් මෙන් මේ නිශ්චිත තිරස් ඉරට උඩින් උතුර ලකුණු කිරීම අවශ්‍යම කරුණක් නොවේ. උතුර පහළින් හා දකුණ ඉහළින් තිබෙන පරිදි වුවද ලෝක සිතියමක් ඇඳිය හැකි අතර එහි කිසිදු වරදක් නැත.
එසේනම්, ලෝක සිතියමේ හෝ වෙනත් සිතියමක ඉහළින් උතුර තිබෙන්නේත්, පහළින් දකුණ තිබෙන්නත් ඇයි? මෙයට සරල හේතුව වන්නේ වත්මන් ලෝක සිතියම ප්‍රචලිත කළේ යුරෝපීයයන් වීමයි. ඔවුන්ට ලෝක සිතියමෙහි තමන්ගේ රටවල් ඉහළින් මිස පහළින් ලකුණු කරන්නට අවශ්‍ය වූයේ නැත. මෙයින් වෙනස්ව පැරණි අරාබි හා චීන සිතියම් වල දකුණ ඉහළින් ලකුණු කර තිබේ.
වත්මන් ලෝක සිතියම අමතක කළත් පැරණි ඉන්දියානුවන්ගේ ලෝකයේද උතුර තිබුණේ දකුණට ඉහළිනි. එයට හේතුවද පෙර හේතුවමය. ඉන්දියානුවන්ගේ ලෝකයේ උතුරෙන් සිටියෝ සුදු ලස්සන ආර්යයෝය. දකුණේ සිටියෝ කළු කැත අනාර්යයයෝය. සුරයන්ට උතුර අයිති වූ අතර දකුණ අයිති වූයේ අසුරයන්ටය.
අපට අවශ්‍යනම් ලෝක සිතියමක් හෝ වෙනත් සිතියමක් උතුර පහළට සිටින සේ සකස් කරන්නට පුළුවන. එතරම් ප්‍රචලිත නැතත් එසේ සකස් කළ සිතියම් තිබේ. කෙසේ වුවද, සිතියමක් එසේ වෙනස් කළ පමණින් උතුර දකුණ මාරු නොවේ. දේශාංශ රේඛා හමුවන තැන් දෙකෙන් එකක් උත්තර ධ්‍රැවය ලෙසත් අනෙක දක්ෂිණ ධ්‍රැවය ලෙසත් නම් කර ඇත්තේ සම්මතයෙන් නිසා භෞතික කරුණු මත මේ උතුර හා දකුණ වෙනස් වන්නේ නැත.
ඉහත උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය මෙන් නොව චුම්භක උතුර හා දකුණ භෞතික සංසිද්ධියක් මත, එනම් පොළොවේ චුම්භක ක්ෂේත්‍රයේ හැසිරීම මත, තීරණය වන්නකි. මේ චුම්භක උතුරද කලින් කලට වෙනස් වන නමුත් එය මාලිමාවක් මඟින් නිරීක්ෂණය කළ හැකි දෙයකි. චුම්භක උතුර යනු දේශාංශ රේඛා හමුවන මනඃකල්පිත උත්තර ධ්‍රැවයම නොවූවත්, ඒ ආසන්නයේ ඇති තැනකි. ඒ නිසා, නාවික ගමනාගමනයේදී උතුර හොයා ගන්නට එයින් පිටිවහලක් ලැබේ.
මාලිමාවක කටු කැරකෙන්නේ ඕස්ට්‍රේලියාව වැනි රටවල් තිබෙන පැත්තෙන් විරුද්ධ පැත්තටය. කැනඩාව වැනි රටවල් තිබෙන පැත්තටය. චුම්භක උතුරේ පිහිටීම වෙනස් වුවත් උතුර දකුණ මාරු වීම අපට අත්දැකීමක් නැති දෙයකි.
මිනිසුන් පමණක් නොව බොහෝ සතුන් පවා පොළොවේ චුම්භක ක්ෂේත්‍රයට සංවේදීය. බල්ලෙක් මුත්‍රා කරන්නේද පොළොවේ චුම්භක ක්ෂේත්‍රය ගැන සොයා බැලීමෙන් පසුවය. හදිසියේම මේ චුම්භක ක්ෂේත්‍රයේ උතුර හා දකුණ මාරු වුනොත් වෙන්නේ කුමක්ද?
මෙය විකාර කතාවක් නොවේ. පෘථිවිය බිහි වූ දින සිට විශාල වාර ගණනක් පොළොවේ චුම්භක ක්ෂේත්‍රයේ උතුර හා දකුණ මාරු වී තිබේ. මේ උතුර දකුණ මාරු වීම බොහෝ දුරට අහඹු ලෙස සැලකිය හැකි කාලාන්තර වලින් සිදුවන අතර එහි රටාවක් හඳුනා ගැනීම අපහසුය. උතුර දකුණ දකුණ මාරුවීම් දෙකක් අතර කාලය වසර මිලියනයක් තරම් දිගු වීමට මෙන්ම වසරක් හෝ වසර කිහිපයක් වැනි කෙටි කාලයක් වුවද විය හැකිය. උතුර දකුණ මාරුවීම් දෙකක් අතර සාමාන්‍ය කාලය වසර ලක්ෂ දෙක තුනක් පමණ වේ.
අවසන් වරට පෘථිවියේ උතුර දකුණ මාරු වී තිබෙන්නේ වසර ලක්ෂ අටකට පමණ පෙරය. මේ අනුව, මේ වන විට සාමාන්‍යයෙන් උතුර දකුණ මාරුවීමට ගත වන කාලය මෙන් දෙගුණයකටත් වඩා වැඩි කාලයක් ගත වී තිබේ. මෙය අසාමාන්‍ය දිගු කාලයකි. ඇතැම් අය සැක පහළ කරන්නේ මීළඟ උතුරු දකුණු මාරුව නුදුරේදීම සිදුවීමට ඉඩ ඇති බවයි. එසේ සිදු වුවහොත්, මාලිමා කටුවක් හැරෙනු ඇත්තේ දැන් මෙන් කැනඩාව හා යුරෝපය පැත්තට නොව ඕස්ට්‍රේලියාව පැත්තටය.
හදිසියේ උතුර දකුණ මාරු වුවහොත් එයින් ලෝකයට සිදුවන බලපෑම කෙබඳු වේද? පොසිල අධ්‍යයන මඟින් පෙනෙන්නේ මීට පෙර මෙය සිදු වූ අවස්ථා වලදීනම් කිසිදු විනාශයක් හෝ අමුතු දෙයක් සිදු වී නැති බවයි.
Labels:
භෞතික විද්‍යාව,
යතාර්ථය
Saturday, October 28, 2017
උතුරේ ප්‍රශ්නය හා සැන්ට ක්ලෝස්
උතුරේ ප්‍රශ්නය කියා එකක් ඇතැයි සිතන ඇතැම් අය ඒ ප්‍රශ්නය විග්‍රහ කරන්නටත්, ප්‍රශ්නයට විසඳුම් සොයන්නටත් උත්සාහ කරති. උතුරේ ප්‍රශ්නය කියා එකක් තිබේනම් එයට හේතුව උතුර කියා එකක් තිබීමයි. එහෙම කිවුවත්, උතුර කියා එකක් නොතිබුණානම් ඒ නොතිබීමම ප්‍රශ්නයක් වෙන්නටද ඉඩ තිබුණේය. උතුර කියා නිශ්චිත දෙයක් තිබෙනවාද? එසේනම් ඒ කුමක්ද?
පැරණි ඉන්දියානුවන් (වෛදිකයින්) දැන සිටි ලෝකයේ හරි මැද ලෙස සැලකුණේ ලංකාවයි. සූර්ය සිද්ධාන්තයට අනුව, ඒ ලෝකයේ ලංකාවට උතුරෙන් රෝහිතක, උජ්ජයිනී (උදේනි) හා කුරුක්ෂේත්‍ර යන නගර පිහිටා තිබුනේ හරියටම පොළොවේ මධ්‍ය රේඛාව මතය. මෙසේ මධ්‍ය රේඛාව ලෙස හැඳින්වුණේ ලංකාව හා උත්තර ධ්‍රැවය යා කරන මනඃකල්පිත රේඛාවයි. උත්තර ධ්‍රැවය ලෙස සැලකුණේ පෘථිවියේ වඩාත්ම උතුරෙන් පිහිටි ස්ථානයයි.
නත්තල් සීයා හෙවත් සැන්ට ක්ලෝස් ජීවත් වන්නේද මේ උත්තර ධ්‍රැවයේය. එහි ඔහුගේ නිවස මෙන්ම නත්තල් දවසේ ලොව පුරා මිලියන ගණනක් දරුවන්ට එක රැයින් තෑගි ලෙස බෙදීම සඳහා සෙල්ලම් බඩු නිපදවන කර්මාන්තශාලාවද පිහිටා තිබේ.
උතුරු ඇමරිකාවේ වයස අවුරුදු පහක හයක දරුවෙකුගෙන් ඇසුවොත් ඉහත කතාව බොරුවක් නොවන බව ඔබට සහතික කර කියනු ඇත. රුඩොල්ෆ් නම් රත් නැහැ පිණි මුවා ඇතුළු පිණි මුවන් විසින් එළවන රථයෙන් පැමිණ කුස්සියේ දුම් කවුළුවෙන් බැස නත්තල් දා රැයේ හොරෙන්ම තෑගි බෙදා යන සැන්ට ක්ලෝස් මෙන්ම වැටෙන කිරිදත් වෙනුවෙන් මුදල් ගෙවන ටූත් ෆෙයරිද ඔවුන්ගේ ප්‍රත්‍යක්ෂ්‍ය දැනුමකි.
මේ දරුවෝ බොහෝ දෙනෙකු නත්තලට මාසයකට පමණ පෙර සිට තමන් කැමති තෑගි ගැන සඳහන් කර සැන්ටාට ලිපියක් යවන්නට අමතක කරන්නේ නැත. මේ ලිපි දැමීම සඳහා අපේ සිටි කවුන්සිලයේ විශේෂ තැපැල් පෙට්ටියක් තිබේ. ලිපි සියල්ල එකතු කර උත්තර ධ්‍රැවයේ සිටින සැන්ටා වෙත යවන්නට සිටි කවුන්සිලය කටයුතු කරන අතර ඔවුන් මේ කටයුත්ත නිසි පරිදි කරන බවට කිසිදු සැකයක් නැත්තේ ලිපියට සැන්ටාගෙන් පිළිතුරක් තැපෑලෙන් ලැබෙන බැවිනි.
ළමයින් ඉල්ලා සිටින තෑගි එලෙසම ලැබෙනු ඇති බවට මේ පිළිතුරු ලිපිය මඟින් සැන්ටා විසින් බොහෝ විට දැනුම් දීමක් කරයි. සිය උදවුකරුවන් වන එල්ෆ්ලා කෙසේ වුවත් සැන්ටාගේ නියෝජිතයින් වන ළමයින්ගේ දෙමවුපියන් හරහා සැන්ටා මේ කටයුත්ත කර ගනී. දැන් මා ජීවත් වන නගරය මුළුමනින්ම වාගේ ඉහළ ආදායම් උපයන්නන් ජීවත්වන නගරයක් නිසා සැන්ටාට මේ තෑගි බෙදාදීමේ කටයුත්ත එතරම් අපහසුවකින් තොරව ක්‍රියාත්මක කළ හැකිය.
මීට පෙර මා කලක් ජීවත් වූ, උත්තර ධ්‍රැවයට වඩා ආසන්නව තිබුණු නගරයක මේ කටයුත්ත සිදු වුනේ හරියටම මේ පිළිවෙළටම නොවේ. ඒ නගරයේ සිටි ළමයින්ට සැන්ටා ගෙදරටම තෑගි බෙදුවේ නැති අතර ලියුම විශේෂිත තැපැල් පෙට්ටියට දමා ටික දවසකින් සැන්ටාගෙන් ලැබුණු පිළිතුරු ලිපියේ සඳහන්ව තිබුණු තැනට එහි සඳහන් දිනයට හා වෙලාවට ගොස් සැන්ටාගේ අතින්ම මේ තෑගි ලබාගත යුතු විය. නත්තලට පෙර නගරයේ සුපිරි වෙළඳසැල්, පුස්තකාල, තැපැල් කාර්යාල හා පෞද්ගලික ආයතන ආදියේ වූ නත්තල් ගස් වල එක් එක් දරුවාට අවශ්‍ය තෑග්ග (දරුවාගේ තොරතුරු රහිතව) සඳහන් ටැග් එල්ලා තිබුණු අතර අවශ්‍ය අයෙකුට මේ ටැග් එකක් හෝ වැඩි ගණනක් කඩාගෙන අදාළ තෑග්ග හෝ තෑගිද සමඟ ආපසු භාර දිය හැකි වූ අතර බොහෝ විට නත්තලට සතියකට හෝ දෙකකට පෙර නත්තල් ගස් වල වූ ටැග් අවසන් විය. ඒ නිසා, අඩු ආදායම්ලාභී පවුලක දරුවෙක්ට වුවද තමන් සැන්ටාගෙන් ඉල්ලා සිටි තෑගි නොලැබී ගියේ නැත.
සැන්ටාට ලියන ලිපි විශාල ප්‍රමාණයක් සෑම වසරකම නත්තලට පෙර මෙවැනි විශේෂිත තැපැල් පෙට්ටි වලට අමතරව සාමාන්‍ය තැපැල් පෙට්ටි වලටද වැටේ. ඇමරිකාවේ තැපැල් පෙට්ටි වලට එසේ වැටෙන "නෝර්ත් පෝල්" ලෙස ලිපිනය ලියූ ලිපි විශාල ප්‍රමාණයක් ඇත්තටම "නෝර්ත් පෝල්" තැපැල් කන්තෝරුව දක්වාම යයි. මේ "නෝර්ත් පෝල්" තැපැල් කන්තෝරුව තිබෙන්නේ ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ පිහිටි "නෝර්ත් පෝල්" නගරයේය. මෙහි තැපැල් කේතය 99705යි. ඇලස්කා ප්‍රාන්තයේ මැද හරියේ පිහිටි "නෝර්ත් පෝල්" නගරයේ සැන්ට ක්ලෝස්ගේ නිවසද පිහිටා තිබේ.
"මටයි කියල ඉඩම් අඟලක්වත් නෑ!"
සමහර අය මෙසේ මැසිවිලි කියනු මා අසා තිබේ. තමන්ගේ නිජබිමේ ඉඩම් අඟලක්වත් නැති එහෙම අයට කැමතිනම් ඩොලර් 9.95ක මුදලකට ඇමරිකාවේ නෝර්ත් පෝල් නගරයෙන් ඉඩම් අඟලක් මිලදී ගන්නට පුළුවන්කම තිබේ. ඇමරිකාවෙන් පිටත රටකට ඔප්පුව තැපැල් කර යැවීම සඳහා තවත් ඩොලරයක් අය කෙරේ.
කෙසේ වුවද, බොහෝ දෙනෙක් "නෝර්ත් පෝල්" ලෙස හඳුනාගන්නේ උඩින් කී ඇමරිකානු නගරය නොවේ. දේශාංශ රේඛා ලෙස හඳුන්වන මනඃකල්පිත රේඛා හමුවන මනඃකල්පිත ස්ථාන දෙකෙන් එක් තැනකි. අනිත් තැන සවුත් පෝල් හෙවත් දක්ෂිණ ධ්‍රැවයයි.
දේශාංශ රේඛා හමුවන මනඃකල්පිත උත්තර ධ්‍රැවයේ අයිතිය මතභේදාත්මක එකකි. කැනඩාව, රුසියාව හා ඩෙන්මාර්කය වැනි මෙම ස්ථානයට ආසන්නව පිහිටි රටවල් කිහිපයක්ම උත්තර ධ්‍රැවයට අයිතිය කියයි. විශේෂයෙන්ම උත්තර ධ්‍රැවය ආශ්‍රිතව ඇති ඛනිජ සම්පත් හේතුවෙන් පසුගිය දශකය පුරා මේ මතභේදය වඩාත් තීව්‍ර වෙමින් පවතී.
මෙහි ප්‍රතිඵලයක් ලෙස කැනඩාව විසින් වසර කිහිපයකට පෙර සැන්ට ක්ලෝස් කැනේඩියානු පුරවැසියෙකු බව නිල වශයෙන්ම දැනුම් දුන් අතර පසුව සැන්ට ක්ලෝස්ට හා ඔහුගේ බිරිඳට ලොව වටා ළමුන්ට තෑගි බෙදා ඔහුගේ නිවස පිහිටි කැනඩාවට (උත්තර ධ්‍රැවයට) නැවත පැමිණීමේදී ප්‍රශ්නයක් නොවීම සහතික කරන්නට කැනේඩියානු ගමන් බලපත්‍රද නිකුත් කළේය. කැනේඩියන් ගමන් බලපත්‍රලාභීන්ට ඇමරිකාවට පැමිණෙන්නට වීසා අවශ්‍ය නොවන නිසා ඇමරිකාවේ ළමුන්ට මෙයින් ප්‍රශ්නයක් වී නැත. ඊට අමතරව සැන්ටාට ලියුම් යවා පිළිතුරු ලබාගන්නට කැමති අයට එසේ ලිපි යැවිය හැකි නිල ලිපිනයක්ද කැනඩාවේ තිබේ. කැනඩාව තුළ මේ ලිපි යවන්නට මුද්දර ගාස්තුද අවශ්‍ය නැත.
ඇමරිකාවේ පිහිටි පළමු උත්තර ධ්‍රැවයට මෙන් නොව, මේ දෙවන උත්තර ධ්‍රැවයට කැනඩාව ඇතුළු රටවල් කිහිපයක්ම අයිතිය කිවුවත් එය තහවුරු කර ගැනීම අපහසු කාර්යයයක් වන්නේ මේ ස්ථානය ස්ථිර බිම්කඩක පිහිටා නැති නිසාද බැවිනි. දක්ෂිණ ධ්‍රැවය පිහිටි ස්ථානය මෙන් නොව, උත්තර ධ්‍රැවය පිහිටි ස්ථානය පිහිටා ඇත්තේ පාවෙන අයිස් ස්ථරයක් මත නිසා යම් මොහොතක එහි කොඩියක් වැනි දෙයක් සිටුවා සලකුණු කළත් නැවත එහි එන විට කොඩිය තිබෙන තැන මුල් තැනම නොවේ.
ඉහත කී උත්තර ධ්‍රැව දෙකට අමතරව තෙවන උත්තර ධ්‍රැවයක්ද තිබේ. මේ සියවස් ගණනක් තිස්සේ නාවිකයින් විසින් ප්‍රයෝජනයට ගත්, ඉතා මෑතකදී ජීපීඑස් තාක්ෂනය ව්‍යාප්ත වන තුරුම ලොව පුරා බොහෝ දෙනෙකුට මඟ සොයා ගැනීමට උපකාර කළ මාලිමා යන්ත්‍ර වලින් පෙන්වන චුම්භක උතුරයි. චුම්භක උතුරද දිනපතාම වෙනස් වන දෙයක් මිස පොළොවේ පිහිටි නිශ්චිත ස්ථානයක් නොවේ.
උතුර කියන්නේම මේ තරම් අවිනිශ්චිත දෙයක් නිසා උතුරේ ප්‍රශ්නය ගැන උතුර දකුණ මාරු වන තුරු කල්පනා කරන්නට අවශ්‍ය නැත. උතුර දකුණ මාරුවීම ගැන අපි පසුව වෙනත් ලිපියකින් කතා කරමු.
Tuesday, October 24, 2017
විද්‍යා ගැන දන්නා ඔබ හරිශ්නවී ගැන නොදන්නේද?
සිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය ගැන මාධ්‍ය වල ඕනෑ තරම් කතා වී ඇති නිසා ඒ ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත. මෙය ඉතා කණගාටුදායක සිද්ධියකි. විද්‍යා ඝාතකයන්ට මේ වන විට මරණ දඬුවම නියම කර තිබේ.
පසුගිය සෙනසුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විද්‍යා දැරියගේ නිවසට ගොස් ඇගේ ඥාතීන් හමුවී ඇති බවත්, ඇගේ "වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලු උපකාර සිදුකරන බවට" පොරොන්දු වී ඇති බවත් වාර්තා වී තිබුණේය. මේ ජනාධිපතිවරයා විද්‍යා දැරියගේ පවුලේ අයව හමුවුණු පළමු අවස්ථාව නොවේ. මීට දෙවසරකට පෙර සිද්ධිය වූ අලුතමද ඔහු උතුරේ ආණ්ඩුකාර නිල නිවසේදී ඒ අයව හමු වී තිබුණේය.
ජනාධිපතිවරයා විද්‍යා දැරියගේ ඥාතීන් හමුවීම වාර්තා කර තිබුණු ගොසිප්ලංකා වෙබ් අඩවියේ එම පුවත පළවීමෙන් පසුව පළව තිබුණු ප්‍රතිචාර කිහිපයක් පහත දැක්වේ.
සියාතු මාමා:
"සේයා සදෙව්මි වගේ දකුණේ මේවගේ අපරාධ වලට ලක්වුන ලමයින්වත් බලන්න ගිහින් උන්ගේ ගෙවල්වලටත් සලකන්න පොරොන්දු වුනාද හිටං?
අඩුම තරමේ තමන්ගේ මලයගේ මල ගෙදරවත්...?
දෙමළ පත්තර, කැළෑ පත්තරවල හරි කමක් නෑ ෆොටෝ එකක් වැටෙනවනම් කුජීතයා එතන!"
ponil:
"විද්‍යා දැරියගේ නිවසට ගොඩ වැදීම ගැන විවේචනය කරන්න තරම් අපි කුහක නෑ, ඒ වුනාට ඔය වගේම දකුණේ විපතට පත්වුවන්වත් බලන්න ගියානම් තමා හොඳ. විශේෂයෙන් කොළොන්නාවේ කුණු කන්ද කඩා වැටිලා පවුල් පිටින් මැරුණා, දකුණේ ගං වතුරෙන් සිය ගානක් මැරුණා ඒවා බලන්න නොගිය ඔබතුමා මේ කරන්නේ නම් දේශපාලන ගේමක් කියල දකුණේ අපිට නම් හොදින් වැටහෙනවා"
kon kala doni:
"දෙමළ ළමයෙක් නිසා උඩ දාගෙන දුවලා ගිහින් උදව් කරන්න පොරොන්දු වෙලා පොටෝ ගහලා රට පුරා ප්‍රසිද්ධ කරනවා. දකුණෙ ගෑණු ළමයි කී දෙනෙක් දූෂනය කරලා මරා දාලා තියෙනවද? ඒ එකම ගෙදරකට වත් මෙයා ගියාද? කුජීතයි අප්‍රසන්නයි මුගෙ හැම වැඩක්ම."
මේ ප්‍රතිචාර කියවන විට එකවරම ඒ ඇතැම් ප්‍රතිචාර වල ඇති ජාතිවාදී ස්වභාවය අවධානයට ලක් වෙන්නට පුළුවන. එහෙත්, ඊට යටින් පෙනෙන අනෙක් කරුණ "සියල්ලන්ම සමාන වුවත් ඇතැම් අය වඩා සමාන වන්නේ කෙසේද?" යන්නයි.
මේ ප්‍රශ්නය ලංකාවේ බොහෝ දෙනෙක්ට තිබෙන ප්‍රශ්නයකි. ප්‍රශ්නයට සිංහල දෙමළ භේදයක් නැත. එහෙත් ප්‍රශ්නයේ පැත්තක දෙමළෙක් සිටින විට බොහෝ සිංහලයින් සිතන්නේ වෙනසට හේතුව එය බවයි. බොහෝ දෙමළුන් සිතන්නේද මේ ආකාරයටමය. "උන්ගේ ළමයින්ට වැඩි සැලකිලි" වැනි සමාජ ආර්ථික තත්ත්වය මත වෙනස් ලෙස සැලකීම ගැන කණස්සල්ල පළ කෙරෙන කතා සිංහල සමාජය තුළ ඇහෙන්නේ මේ "වැඩි සැලකිල්ල" ලැබෙන්නේ සිංහලයෙක්ටම වූ විට පමණි. එසේ නැත්නම් වෙනසට හේතුව ලෙස හඳුනා ගැනෙන්නේ දෙමළෙකු වීමයි. දෙමළ සමාජය පැත්තෙන් ගත්තත් මේ තත්ත්වය මෙසේමය.
විද්‍යා දැරියගේ ඝාතනයෙන් අටමසකට පමණ පසුව සිදුවුණු ගංගාදරන් හරිශ්නවී දැරියගේ ඝාතනය හා අදාළව තමිල්වින් වෙබ් අඩවියේ අද පළ කර ඇති ලිපියකින් පෙනෙන පරිදි උඩින් ඇති මතුපිටින් බැලූ විට ජාතිවාදී ස්වරූපයක් ගන්නා (හා එවැනි ස්වරූපයක් ඇති) ප්‍රතිචාර වලින් මතු කරන අදහස දෙමළ සමාජයටද පොදු අදහසක් බවයි.
මේ වන විට සමාජජාලා හරහා මගේ දෙමළ මිතුරු මිතුරියන් අතර හුවමාරු වෙමින් තිබෙන බව පෙනෙන අදාළ ලිපියේ අසම්පූර්ණ දළ පරිවර්තනයක් පහත පළවේ. මා දෙමළ භාෂාවේ ප්‍රවීණයෙක් නොවන නිසා පරිවර්තනයේ අඩුපාඩු තිබිය හැකිය.
"විද්‍යා ගැන දන්නා ඔබ මැය ගැන නොදන්නේද? සියල්ලන්ටම අමතක වී ඇති කුරිරු ඝාතනයක්...
හරිශ්නවී කියන්නේ වවුනියාව විපුලානන්ද විදුහලේ ඉගෙනුම ලැබූ 14 වියැති දැරියකි. "හරිශ්වනී? ඒ කවුද?" බොහෝ දෙනෙක් අසනු ඇත. ඇතැම් අයට ඇයව අමතකව ගොස් තිබේ. තවත් අය හරිශ්නවී ගැන දන්නේවත් නැත.
අපට දිනපතා බොහෝ දේ අහන්නට දකින්නට ලැබේ. එහෙත්, මේ හැම දෙයක්ම මතකයේ නොරැඳේ. හරිශ්නවී ඝාතනයද මෙසේ බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇති දෙයකි.
පසුගිය වසරේ ජනවාරි 16 දින [ඉකොනොමැට්ටා: නිවැරදි දිනය පෙබරවාරි 16 විය යුතුය] වවුනියාව උක්කුලන්කුලමේ හතරවන පියවරේ පිහිටි තමන්ගේ නිවසේ තනිව සිටි හරිශ්නවී මියගොස් සිටියේය. ඇය නිවසේ තනිව සිටියදී සේවයට ගිය [ඉකොනොමැට්ටා: විපුලානන්ද විදුහලේම ගුරුවරියක වූ] ඇගේ මව සේවය නිමකර නිවසට පැමිණි විට දකින්නට ලැබුණේ වහලයේ එල්ලී සිටි හරිශ්නවීගේ නිසල දේහයයි.
මේ මරණය සියදිවි නසාගැනීමක් මෙන් පෙනෙන්නට තිබුණත් පසුව පැහැදිලි වූ පරිදි ඇයව දූෂණය කර මරා දැමීමෙන් පසුව සියදිවි නසා ගැනීමක් මෙන් පෙනෙන්නට ඝාතකයින් විසින් මිනිය වහලයේ එල්ලා තිබුණේය. [ඉකොනොමැට්ටා: ඇගේ කලිසම මාරු කර ඇති බවත් එහි බොත්තම් හා සිපරය නිසි ලෙස වසා නැති බවත්, ඇගේ ජංගම දුරකථනය හා මුද්ද අතුරුදහන්ව ඇති බවත් නිරීක්ෂණය වීමෙන් පසු මවට සැක පහළ විය.] මේ සිසුවියගේ ඝාතනය සිදු වූ අළුත ප්‍රදේශවාසීන්ගේ විරෝධතා හා දේශපාලනඥයින්ගේ ප්‍රකාශ අඩුවක් නොතිබුණත් පුදුම සහගත ලෙස දැන් මේ සිදුවීම සියල්ලන්ටම අමතක වී තිබේ.
මේ පිළිබඳ මූලික විමර්ශන සිදු කිරීමෙන් පසුව අසල්වැසි නිවසක පදිංචිකරුවෙකු සැක පිට අත් අඩංගුවට ගැනුණේය. මේ වන විට විමර්ශන ඇරඹී මාස 21ක් ගත වී ඇතත් සිදුවූ දෙයක් පෙනෙන්නට නැත. [ඉකොනොමැට්ටා: මෙහි සැබෑ තත්ත්වය කුමක්දැයි මා ස්ථිරව දන්නේ නැත.]
මේ මිනීමැරුම යාපනයේදී සිදුවුණු මිනීමැරුමකට බොහෝ සමානය. ඒ මිනීමැරුම සිදුවුණේ හරිශ්නවී ඝාතනයට අටමසකට පමණ පෙරය. 2015 මැයි මාසයේදී පුන්කුඩුතිව් සිසුවියක් කුරිරු ලෙස ඝාතනය විය.
මේ සිදුවීම් දෙකෙන් අනතුරුව කටයුතු සිදු වූ ආකාර කෙතරම් වෙනස්ද යන්න ඉතා පැහැදිලිය. විද්‍යා ඝාතනය සිදුවීමේදී මුල සිට අග දක්වා සිදු වුණේ කුමක්ද? ලබාදුන් තීන්දුව කුමක්ද? එහි මහමොළකරුවෝ කවුද? මේවා නොදන්නා කෙනෙක් නැත. නමුත්, හරිශ්නවී ඝාතන සිද්ධියේ විමර්ශන වල ප්‍රගතිය ගැන දන්නා අය කොපමණ සිටීද? මේ සිද්ධිය ගැන විමර්ශනද කඩිනමින් අවසන් වී ඉක්මණින් තීන්දුවක් ලැබෙනවා දකින්නට අපි කැමැත්තෙමු. මේ කුඩා දැරිය සියල්ලන්ටම අමතකව ඇති බව පෙනීම කණගාටුවට කරුණකි.
මේ හා අදාළව මුලදී පෙනෙන්නට තිබුණු උනන්දුව දැන් නැත. එහෙත්, වින්දිතයින්ට සාධාරණය ඉටු කරගැනීම සඳහා ජීවිත කාලයක් බලා සිටිය නොහැකිය.
මේ විමර්ශන වල වත්මන් තත්ත්වය ගැන අපි විමසීමක් කළෙමු. මේ ලිපිය ලියන්නට අප පෙළඹුණේ විමර්ශන වල ප්‍රගතිය පිළිබඳව අපට සෑහීමකට පත් විය නොහැකි බැවිනි. දෙමසකට පෙර මේ නඩුව උසාවියේදී විභාගයට ගැනුණු අතර උසාවියේ නිගමනය වූයේ සැකකරුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. විමර්ශන මෙහෙයවන පොලිස් නිලධාරීන්ගෙන් විමසූ විට ප්‍රකාශ කර සිටින්නේ අත් අඩංගුවේ සිටින සැකකරු ඝාතකයා වීමට 99%ක්ම ඉඩ ඇති බව පෙනෙන නමුත් එය තහවුරු කළ හැකි තරමේ සාක්ෂි නොමැති බවයි. සාක්ෂි එකතු කර චෝදනා ගොනු කිරීමට තවත් මාස හතරක් පමණ ගත විය හැකි බවද පැවසුනේය.
ලංකාවේ අධිකරණ අමාත්‍ය ධුරය දරන්නේ කාන්තාවකි. ඇයට මවකගේ දුක නොතේරේද? මාධ්‍ය වලින් පෙනෙන පරිදිනම් ජනාධිපතිවරයා දරුවන් ගැන ලොකු සැලකිල්ලක් දක්වන අයෙකි."
ගොසිප්ලංකා වෙබ් අඩවියේ පාඨක ප්‍රතිචාර වල ඇති ජාතිවාදී මුහුණුවර පැත්තකින් තිබ්බොත් ඒවායේ මූලික අදහස ඉහත තමිල්වින් වෙබ් අඩවියේ පළව ඇති ලිපියේ මූලික අදහසට සමානය. එයින් කියවෙන්නේ "යාපනයට කිරි වවුනියාවට කැකිරි" යන අදහසයි.
ඇතැම් විට හරිශ්නවී ඝාතන විමර්ශන සාමාන්‍යයෙන් එවැනි කටයුතු සිදුවන වේගයෙන් සිදුවනවා විය හැකිය. මෙවැනි වරදකට චෝදනා ගොනු කිරීම පහසු කටයුත්තක් නොවේ. කෙසේ වුවද, මේ ලිපියෙන්ද පැහැදිලි වන පරිදි ලංකාවේ අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව රටේ බොහෝ දෙනෙකු සෑහීමකට පත්ව නොසිටිති.
බොහෝ දෙනෙකු එසේ සෑහීමකට පත්ව නොසිටීමට සාධාරණ හේතු තිබේ. ලංකාවේ අධිකරණ පද්ධතියද වෙනත් බොහෝ අංශ මෙන්ම කාර්යක්ෂම නැත. පසුගිය කාලයේදී මෙහි කිසියම් ප්‍රගතියක් සිදුවී ඇතත් රටේ බොහෝ දෙනෙකුට එය ඇඟට දැනී නැත.
විද්‍යා ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන වලට හෝ හරිශ්නවී ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන වලට රටේ රාජ්‍ය නායකයා මැදිහත් විය යුතු නැත. අධිකරණ ඇමතිවරයා මැදිහත් විය යුතුද නැත. මේවා බරපතල ගණයේ අපරාධ බවට විවාදයක් නැතත් රටක රාජ්‍ය නායකයෙකු මැදිහත් වීම කිසිසේත්ම අවශ්‍ය නොවන සිල්ලර සිදුවීම්ය. එහෙත්, මේ ආකාරයේ සිල්ලර සිදුවීම් වලට පවා රටේ රාජ්‍ය නායකයා මැදිහත් විය යුතු බව සිතන බොහෝ දෙනෙක් ලංකාවේ සිටිති.
එක අතකින් එසේ සිතීමේ වරදක්ද නැත. ලංකාවේ ජනාධිපතිවරුන් විසින් සිල්ලර සිදුවීම් වලට මැදිහත් වෙමින් කාලයක් තිස්සේ පූර්වාදර්ශ දී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙය ලොකුවටම කළ අයෙකි. ඊට පෙර ජනාධිපති ප්‍රේමදාසගේ දින චර්යාවේද මෙවැනි සිල්ලර සිදුවීම් වලට මැදිහත් වීම ප්‍රධාන කටයුත්තක් විය. වත්මන් ජනාධිපති වරයාද මේ පුරුද්දෙන් බැහැර වී නැත.
රාජ්‍ය නායකයෙකු රටේ සිල්ලර සිදුවීම් වලට මැදිහත් වීම තනිකරම සෝබන වැඩක් පමණි. විසි එක් වන සියවසේ රාජ්‍ය නායකයෙකු වෙස් වලාගෙන රෑ කාලයේ ගෙවල් වලට රිංගා ජනතාවගේ ප්‍රශ්න හොයාගත්තේයැයි කියන රජෙක් මෙන් හැසිරිය යුතු නැත. රටේ අධිකරණ පද්ධතිය අකාර්යක්ෂමනම් රාජ්‍ය නායකයෙකු විසින් කළ යුත්තේ එය කාර්යක්ෂම කිරීමට පියවර ගැනීම මිස තෝරාගත් හුදෙකලා සිදුවීම් වෙත අවධානය යොමු කිරීම නොවේ.
විද්‍යා ඝාතන සිද්ධිය වැනි සිද්ධියක විමර්ශන කඩිනම් කිරීමට හෝ ආර්ථික අර්බුද වලින් පෙළෙන කිසියම් කලාකරුවෙකුට නිවසක් ලබා දෙන්නට රටක රාජ්‍ය නායකයෙකු මැදිහත් වන විට මතුපිටින් පෙනෙන්නේ මේ කටයුත්ත අගතියට පත් පාර්ශ්වයකට සාධාරණය ඉටු කිරීමක් ලෙසිනි. එහෙත්, එහිදී ඇත්තටම වෙන්නේ එහි අනිත් පැත්තයි. මේ බොහෝ අවස්ථා වල සමාන තත්ත්වයන්ට මුහුණ දෙන තවත් විශාල පිරිසකට අසාධාරණයක් සිදුවේ.
තෝරාගත් එක් අයෙකුට "සාධාරණයක් ඉටු කරන" හැම විටකම සිදුවන්නේ ඇතැම් අයට "වඩා සමාන ලෙස" සැලකීමකි. මෙය විශාල පිරිසකට පෙනෙන්නේ "එයාට විතරක් කිරි අපිට කැකිරි" ආකාරයෙනි. සැලකිල්ල ලබන්නේ දෙමළෙක් වූ විට සිංහලයන්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව දෙමළ වීම බවයි. සැලකිල්ල ලබන්නේ සිංහලයෙක් වූ විට දෙමළුන්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව සිංහල වීම බවයි. සැලකිල්ල ලබන්නේ පිරිමියෙක් වූ විට ගැහැණුන්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව පිරිමියෙක් වීම බවයි. සැලකිල්ල ලබන්නේ ගැහැණියක වූ විට පිරිමින්ට පෙනෙන්නේ සැලකිල්ලට හේතුව ගැහැණියක වීම බවයි.
අවශ්‍ය වන්නේ විශේෂ සැලකිලි නොවේ. කිසිවකුට විශේෂ සැලකිලි අපේක්ෂා කිරීමට අවශ්‍ය නොවන වාතාවරණයකි. ඒ නිසා හරිශ්නවීගේ පවුලේ අය ඇතුළු බොහෝ දෙනෙක් ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන හිතන ආකාරය ගැන අවධානය යොමු කරන්නට මිස හරිශ්නවීගේ ඥාතීන්ට පමණක් හැකි ඉක්මණින් සාධාරණය ඉටු කර ගැනීමේ අරමුණින් මා මේ ලිපිය කිසිවකුගේ විශේෂ අවධානයට යොමු කරන්නේ නැත.
Labels:
දේශපාලනය,
නීතිය,
සමානාත්මතාවය,
ළමා හිමිකම්
Sunday, October 22, 2017
සිසුවිය ගැබ්ගෙන සිටියානම් පාසැල කළ දේ හරිද?
දරිද්‍රතාවය නිසා පාතරාසය නොගෙන පාසැල් පැමිණි දහවන වසරේ දැරියක් පාසැලේදී වමනය කිරීමෙන් පසුව ඇය ගැබිණියක වී ඇතැයි තීන්දු කර පාසැලෙන් අස්කර දැමීමේ පුවතක් ගැන මේ දිනවල සංවාදයක් ඇති වී තිබේ. පසුව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති පරිදි ඇය ගැබ්ගෙන හෝ අතවරයකට ලක්වී නැත. මේ ගැන පළකෙරෙන අදහස් වැඩි ප්‍රමාණයක සාරාංශය වන්නේ දරිද්‍රතාවය නිසා කුසට අහරක් නැතිව පාසැල් පැමිණි දැරියකට බොරු චෝදනාවක් කිරීමේ ඇති වැරැද්දයි.
මෙවැනි සිදුවීම් බොහෝ විට මාධ්‍ය වල වාර්තා වන්නේ අසම්පූර්ණ ලෙස නිසා මේ කතාවේ සැඟවුණු වෙනත් පැති තව ටික දවසකින් එළියට එන්නට පුළුවන. කෙසේ වුවද, මේ සිද්ධිය පසුපස සැඟවුණු වෙනත් කරුණු තිබේද යන්න වැනි දේ වාර්තා වී ඇති සිද්ධිය පාදක කරගෙන කරන සාකච්ඡාවකට බාධාවක් නොවේ.
වාර්තා වී ඇති කතාව අනුව මේ සිද්ධියට මුහුණ දී සිටින වයස අවුරුදු 16ක් පමණ වෙතැයි සිතිය හැකි දැරිය පැය කිහිපයක "නඩු විභාගයකින්" පසුව පාසැලෙන් අස්කර තිබෙන්නේ වැරදි චෝදනාවක් කරමිනි. මට තිබෙන ප්‍රශ්නය වන්නේ ඇය ඇත්තටම ගැබ්ගෙන සිටියානම් මේ අයුරින් පාසැලින් අස්කර දැමීම වැරැද්දක් නොවන්නේද යන්නයි.
ලංකාවේ බාල වයස්කාර දැරියන් විශාල ප්‍රමාණයක් ලිංගික අතවර වලට ලක්වන බව හා ඒ අයගෙන් කොටසක් අනවශ්‍ය ගැබ් ගැනීම් වලට බඳුන් වන බව රහසක් නොවේ. බොහෝ දැරියන් මේ අයුරින් අතවර වලට ලක් වන්නේ පවුලේම ඥාතියෙකු අතිනි. ඇතැම් අනවශ්‍ය ගැබ් ගැනීමක් එවැනි අතවරයක ප්‍රතිඵලයක් නොව, ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් වන්නට පුළුවන. එය එවැන්නක් ලෙස සැලකුවද බාලවයස්කාර දැරියක් සමඟ කැමැත්තෙන් සංසර්ගයේ යෙදීම පවා සැලකෙන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසිනි.
පාසැල් දැරියන් අනවශ්‍ය ගැබ්ගැනීම් වලට ලක්වීමට ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් නොලැබීමද එක් හේතුවකි. මේ හා අදාළව විෂය නිර්දේශ වල ඇති ඉතාම සීමිත කොටස් පවා බොහෝ විට පාසැල් වලින් සිසු සිසුවියන් වෙත නොලැබී යයි. කිසියම් අයුරකින් අතවරයකට ලක් වුවහොත් අනවශ්‍ය ගැබ් ගැනීමක් වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන මේ දැරිය වැනි දැරියන්ට ලොකු අවබෝධයක් නැත.
කිසියම් අයුරකින් බාලවයස්කාර දැරියක් ගැබ් ගෙන සිටින බව පාසැලේ ගුරුවරුන්ට හෝ විදුහල්පතිට දැනගන්නට ලැබුණු විට දැරිය පාසැලෙන් අස්කර දෙමවුපියන් ගෙන්වා ඔවුන්ට භාර දීම අධ්‍යාපන පරිපාලන චක්‍රලේඛ අනුව කළ හැකි දෙයක්ද කියා මා දන්නේ නැත. ඇතැම් විට එසේ හැකි වන්නට පුළුවන. නොවන්නටද පුළුවන. මේ දෙකෙන් කුමක් වුවත් මෙහි ලොකු වැරැද්දක් තිබෙන බවනම් ඉතාම පැහැදිලිය.
චක්‍රලේඛ වල තිබුණත් නොතිබුණත් මෙවැනි අවස්ථාවක සිදුවිය යුත්තේ සිද්ධිය දැන ගැනීමෙන් පසු පාසැල් බලධාරීන් විසින් වහාම අනෙකුත් අදාළ අංශ දැනුවත් කිරීම අනිවාර්යය වීමයි.
අනවශ්‍ය ගැබ් ගැනීමකට ලක්වුණු දැරියක යනු විශාල අර්බුදයකට මැදි වී සිටින අයෙකි. එවැනි තැනැත්තියක් සිටින්නේ කායික ප්‍රතිකාර මෙන්ම මානසික ප්‍රතිකාරද ලැබිය යුතු තත්ත්වයකය. ඒ නිසා, මෙවැනි දෙයක් දැනගත් හෝ සැක කල හැකි අවස්ථාවක පාසැලෙන් පළමුව කළ යුත්තේ ඇයව අදාළ පරීක්ෂා හා ප්‍රතිකාර සඳහා යොමු කිරීමයි. එයට අමතරව මෙවැනි දැරියකට සිදුව ඇති අතවරයක් නීතිමය වරදක් වන නිසා ඒ ගැන විමර්ශනය කිරීමට සඳහාද අදාළ අංශ දැනුවත් කළ යුතුය.
මෙහිදී ඇයව දෙමවුපියන් වෙත භාර දීම, මේ සිද්ධියේදී නොවූවත්, නරියන්ට කුකුළන් භාර දීමක් වන්නට වුවද පුළුවන. යම් හෙයකින් දැරිය පවුලේ අයෙකු අතින් අතවරයට ලක්වී සිටියේනම් මෙසේ කිරීමෙන් වන්නේ සිද්ධිය යටපත් වීමයි.
කෙසේ වුවද, ලංකාවේ පාසැල් වල බොහෝ විට සිදුවන්නේ මේ සිද්ධියේදී මෙන් දැරිය පාසැලෙන් අස් කර වගකීමෙන් ගැලවීම විය හැකිය. සමාජජාලා වල මතය හා චක්‍රලේඛ වල ඇති දේවල් කවරක් වුවත් ගැබ්ගත් දැරියක් පාසැලේ දිගටම තබාගතහොත් බොහෝ විට සිදුවන්නට ඉඩ තිබෙන්නේ කුලියාපිටියේ සිදු වුනු දෙය වැනි දෙයකි. මේ අවස්ථාවේ ජනමතය පාසැලට එරෙහිව තිබෙන්නේ දැරිය සැබෑවටම ගැබ්ගෙන නොසිටි බැවිනි. ඇය සැබෑවටම ගැබ්ගෙන සිටියානම් මෙය "පුවතක්" හෝ නොවිය හැකිව තිබුණි.
Labels:
අධ්‍යාපනය,
ආකල්ප,
උපත් පාලනය,
ලිංගික අධ්‍යාපනය,
ළමා හිමිකම්
Tuesday, October 17, 2017
සමන්තභද්‍ර හිමි දමනය වුනාද?
පිටිදූවේ සිරිධම්ම නොහොත් සමන්තභද්‍ර හිමි යනු පසුගිය වසර කිහිපය මුළුල්ලේම කලින් කලට පුවත් මැවූ අයෙකි. ඔහු ජනප්‍රිය වන්නට පටන් ගත්තේ සමන්තභද්‍ර වන්නට පෙර සිරිධම්ම කාලයේදීමය. එහෙත්, තමන් රහත් භාවයට පත්ව සිටින බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ ජනප්‍රියත්වය විශාල ලෙස ඉහළ ගියේය. මේ කාලය තුළ සමන්තභද්‍ර හිමිගේ ප්‍රසිද්ධිය ඔහුගේ ජනප්‍රියත්වයටත් වඩා වේගයෙන් ඉහළ ගියේය.
සමන්තභද්‍ර හිමි රහත් වී සිටීද යන්න පෞද්ගලිකව මට කිසිසේත්ම වැදගත් කරුණක් නොවේ. එය මට පරීක්ෂා කර නිගමනය කළ හැකි දෙයක්ද නොවේ. වෙනත් අයෙකුට එසේ කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේද නැත. එසේ කිරීමේ හැකියාවක් ඇත්නම් ඒ හැකියාව හේතුවෙන්ම එසේ පරීක්ෂා කරන දෙය රහත් භාවය නොවන වෙනත් දෙයක් බවට පත් වේ.
සමන්තභද්‍ර හිමි යනු එක්තරා ආකාරයක කැරලිකරුවෙකි. ඔහු මේ කැරැල්ල ගැසුවේ ලංකාවේ සියවස් ගණනක් තිස්සේ ස්ථාපිත වී තිබුණු ආයතනික ව්‍යුහයකට විරුද්ධවය. මෙය සටනක් නොවී කැරැල්ලක් වන්නේ ඔහු සටන් කළේ මේ ආයතනික ව්‍යුහය ඇතුළේම සිට මිස එයින් පිටතට බැස නොවූ බැවිනි.
සමන්තභද්‍ර හිමිගේ කැරැල්ලේ පැත්තකට වී බලා සිටින්නට තරම් දෙයක් තිබුණේය.
පිටිදූවේ සිරිධම්ම හිමි යනු විද්‍යා උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුව, දැනුම් තේරුම් ඇති තරුණ වයසේදී පැවිදි දිවියට ඇතුළු වූ අයෙකි. මේ වන විට මා පෞද්ගලිකව දැන සිටි ඉංජිනේරු උපාධිධාරීන්ද කිහිප දෙනෙක්ම පැවිදි දිවියට ඇතුලත්ව ජනප්‍රිය ධර්ම දේශකයන්ව සිටියත් දශක කිහිපයකට පෙර විද්‍යා උපාධිධාරියෙකු පැවිදි දිවියට ඇතුළත් වීම හෝ තරුණ වයසේ අය පැවිදි දිවියට ඇතුළු වීම සුලභ සිදුවීම් නොවීය.
මා කුඩා කාලයේ දැන සිටි බොහෝ බෞද්ධ භික්ෂූන් ඉතා කුඩා කාලයේදී පැවිදි දිවියට ඇතුළු වූ අයයි. එසේ නැත්නම්, ගිහි සැප විඳ මහළු වයසේ පැවිදි වූ අයයි. තරුණ වයසේ අයෙකු පැවිදි වීම සිදු වුණේ ඉතා කලාතුරකිනි. අපේ දහම් පාසැලේ භක්ති ගීත කණ්ඩායමට සංගීතය පුහුණු කළ ප්‍රසන්න අයියා (සැබෑ නම නොවේ) මෙසේ තරුණ වයසේදී පැවිදි වූ, එවකට මා දැන සිටි එකම පුද්ගලයාය. ඒ දින වල අසන්නට ලැබුණු පරිදි, ඔහු පැවිදි වීමට හේතු වුනේ පෙම් සබඳතාවක් බිඳ වැටීම නිසා ඇති වූ කලකිරීමයි.
ඒ කාලයේ, මේ අයුරින් කුඩා කාලයේදී පැවිදි වූ බොහෝ හිමිවරුන් උසස් අධ්‍යාපනය ලැබීමට සරසවියට ඇතුළු වුවත් ඒ කලා අංශයකින් මිස විද්‍යා අංශයෙන් නොවේ. එසේ ඇතුළු වූ අයගෙන් විශාල පිරිසක්ද උපාධිය හා රජයේ රැකියාවක් , බොහෝ විට ගුරු පත්වීමක්, ලබා ගැනීමෙන් අනතුරුව, ඇතැම් විට ඊටත් පෙරම, උපැවිදි වූහ. මෙයට ප්‍රධාන වශයෙන්ම ආර්ථික හා සමාජයීය කරුණු මුල් වන්නට ඇති බව කියන්නට බැරි නැතත් වැඩිදුර අධ්‍යාපනයට සමාන්තරව ලැබෙන "විද්‍යාත්මක අවබෝධය" හා පෙර පැවති ආගමික විශ්වාස අතර ගැටුමද මෙයට හේතුවක් වන බව සිතිය හැකිය.
උපාධියක් ලබා ගැනීමෙන් පසුව, විශේෂයෙන්ම විද්‍යා උපාධියක් ලබාගැනීමෙන් පසුව තරුණයෙක් පැවිදි බිමට පිවිසීම දශක දෙක තුනකට පෙර දැන් තරම්වත් සාමාන්‍ය සිදුවීමක් වූයේ නැත. එවැනි පසුබිමක, විද්‍යා උපාධිධාරී තරුණයෙක් පැවිදි වූ විට ඔහුට පෙනෙන, වෙනත් අයට නොපෙනෙන "සිරා දෙයක්" එහි ඇති බව සිතන්නට බොහෝ දෙනෙකු පෙළඹීම තේරුම් ගන්නට අපහසු නැත. සාමාන්‍යයෙන් බණ අහන්නට උනන්දුවක් නොදක්වන මගේ ඇතැම් මිතුරන් පවා මෙවැනි උපාධිධාරී හා තරුණ වියේදී පැවිදි වූ හිමිවරුන්ට ආකර්ෂණය විය.
මා එක් වරක් පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ධර්ම දේශනයකට සවන් දී තිබේ. ඒ ඔහු සමන්තභද්‍ර වන්නට පෙරය. ඒ කාලයේ ඔහුගේ ධර්ම දේශනා වෙනත් අයගේ ධර්ම දේශනා වලින් වෙනස් වුණේ අන්තර්ගතයේ වූ "විද්‍යාත්මක" ගතිය නිසාය. මේ ධර්ම දේශනා හරහා පිටිදූවේ සිරිධම්ම හිමි වටා පිරිසක් එකතු වුවත්, එසේ එකතු වුනේ විද්‍යාව විශ්වාස කළ අයයි.
විද්‍යාවට හා ආගමික විශ්වාස වලට එක්ව ගමනක් යා හැකි නිශ්චිත සීමාවක් තිබේ. මේ සීමාව විසින් පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගමනාන්තයද සලකුණු කළේය. සිරිධම්ම හිමිගේ අනුගාමිකයින්ට (එවැනි ස්ථිර පිරිසක් සිටියේනම්) ඔහුගේ ධර්ම දේශනා තමන්ගේ "විද්‍යාත්මක" විශ්වාස වලට අනුපූරකයක් වූවා මිස විකල්පයක් වුණේ නැත. ඒ නිසා, ලංකාවේ සංඝ සමාජය ප්‍රමුඛ බෞද්ධ ආයතනික ව්‍යුහය සමඟ ඔහුගේ ගැටුමක් තිබුණේද නැත.
පිටිදූවේ සිරිධම්ම හිමි සිරි සමන්තභද්‍ර ලෙස රූපාන්තරණය වන්නේ මෙවැනි පසුබිමකය. මේ සමඟම ඔහු විසින් ප්‍රකාශයට පත් කළේ මෙතෙක් ලංකාවේ බෞද්ධ ආයතනික ව්‍යුහය තුළ කිසිවෙකුට ලඟා කරගත නොහැකි වූ ඉලක්කයක් වූ රහත් භාවය තමන් විසින් ලබාගෙන සිටින බවයි.
සිංහල බෞද්ධයින් යනු නිවන් දකින්නට බලාගෙන සිටින පිරිසකි. එහෙත් ඒ නිවන කොහේවත් පෙනෙන්නට නැත. නිවන් දුටු අය ගැන ඔවුන් අසා ඇතත් එවැනි අය අහල පහළ දකින්නටද නැත. ඒ නිසා, නිවන ගැන එක් එක් පුද්ගලයාට තිබෙන්නේ තමන්ට සාපේක්ෂ අදහසක් පමණි.
අතුරු කතාවක් ලෙස, ඇතැම් අයට ප්‍රශ්නයක් වී තිබෙන්නේ නිවන් දකින පුද්ගලයෙකු නොසිටීනම් නිවන් "දකින්නේ" කවුද යන්නයි. ආගමික කරුණු පැහැදිලි කිරීම මගේ වපසරියෙන් පිටත දෙයක් වුවත්, මා මේ සංකල්පය තේරුම් ගන්නා ආකාරය අනුව නිවන් දකින්නේ සෝවාන් වූ පුද්ගලයාය. සෝවාන් වන තුරු පෘතග්ජන පුද්ගලයෙකුට නිවන "දැකිය" නොහැකිය. එතෙක් දුර යා යුත්තේ ශ්‍රද්ධාවෙනි. රහත් වූ පසු "නිවන් සැප විඳින" පුද්ගලයෙක් නැත. ඒ නිසා නිවන් දැකීම යනු සෝවාන් වීම විය යුතුය.
තමන්ට දැකිය නොහැකි, හරියටම නොදන්නා දෙයක් හඹා යන පුද්ගලයෙකුට ඒ සඳහා අවශ්‍ය වන විශ්වාසය ඇති කර ගැනීම පහසු කරුණක් නොවේ. එහෙත්, එසේ කළ හැකි බොහෝ අය සිටිති. පවතින සමාජයට වඩා සාධාරණයයි තමන් විශ්වාස කරන, සුළු පිරිසක් විසින් බහුතරයකගේ කැමැත්ත නොතකා සැලසුම් කරන සමාජයක් කෘතීම ලෙස හදන්නට මහන්සිවන සමාජවාදීන් උදාහරණ ලෙස දැක්විය හැකිය. ලෝකයේ කිසිදිනක පැවතී නැති, සාධාරණ සමාජයක් හදන්නටයයි කියමින් වෙනත් අයගේ නිදහස පැහැරගන්නට එවැනි අය පැකිලෙන්නේ නැත.
කෙසේවුවද, මිනිසුන්ට විශ්වාස අවශ්‍යය. හෘද සැත්කමකට මුහුණ දෙන රෝගියෙකු ජීවිත අවදානමක් ගන්නේ එයින් තමන්ට යහපතක් සැලසෙනු ඇතැයි යන විශ්වාසයෙනි. සරසවියක වෛද්‍ය විද්‍යා හෝ ඉංජිනේරු විද්‍යා පාඨමාලාවක් හැදෑරීම සඳහා සිය ජීවිත කාලයෙන් වසර ගණනාවක් කැප කරන අයෙකු ඒ සඳහා පෙළඹෙන්නේ එමඟින් සිය අනාගත ජීවිතය යහපත් වනු ඇතැයි යන විශ්වාසයෙනි.
සමාජවාදය නිසා අමාරුවේ වැටුණු රටවල් මිස ගොඩ ගිය රටවල් නැතත්, හෘද සැත්කම් අසාර්ථක වී මිය ගිය අය මෙන්ම සුවය ලැබූ අයද පෙනෙන්නට සිටිති. මිය ගිය ගණනට වඩා සුවය ලබන අය වැඩි බව පෙනෙන්නට තිබේ. වෛද්‍ය විද්‍යා හෝ ඉංජිනේරු විද්‍යා පාඨමාලාවක් හැදෑරීමෙන් පසුවද ජීවිත සාර්ථක කර නොගන්නා අය සිටියත්, එවැනි පාඨමාලාවක් හදාරන බොහෝ දෙනෙකු ජීවිත සාර්ථක කරගන්නා බව පෙනෙන්නට තිබෙන දෙයකි.
ස්වර්ගයේදී ලැබෙන කන්‍යාවන් හෝ මනෝරාජික සමාජවාදී රාජ්‍ය මෙන් නොව සරසවි පාඨමාලාවක් හැදෑරීමෙන් පසුව හෝ හෘද සැත්කමකින් පසු ලැබෙන සාර්ථකත්වය සඳහා උදාහරණ පෙනෙන්නට තිබේ. ඒ නිසා, එවැනි දේවල් ගැන ගැන විශ්වාස කිරීම තමන්ට නොපෙනෙන දේවල් විශ්වාස කිරීම අපහසු අයටද කළ හැකිය.
සමන්තභද්‍ර හිමි විසින් තමන් රහත් භාවයට පත් වූ බව ප්‍රකාශ කිරීම නිසා සිංහල බෞද්ධ සමාජයේ ඇති වූ කම්පනය තේරුම් ගත යුත්තේ මේ සන්දර්භයේය. මෙතෙක් කල් තමන් දැක නැති, දුටු අයෙකුද දැක නැති නිවන පසුපස හඹා ගිය බොහෝ දෙනෙකු ඉදිරිපිට දැන් හදිසියේම තමන්ට දැකිය නොහැකි නිවන දුටු අයෙකු සිටී. මෙය සමාන කළ හැක්කේ සුව කළ නොහැකි ලෙස සැලකෙන රෝගයකින් සුවය ලැබූ පුද්ගලයෙකු පළමු වරට දකින්නට ලැබීමටය. එහි වැදගත්කම මිනිය නොහැකි තරම්ය.
කෙසේ වුවත් මෙහි පොඩි පරහක්ද තිබේ. ලෙඩා ඇත්තටම සුව වූවාද යන්න වෙනත් අයට පරීක්ෂා කළ නොහැකිය. එයද විශ්වාස කළ යුත්තකි. සමන්තභද්‍රවාදීන් හා සමන්තභද්‍ර විරෝධීන් දෙපිල බෙදෙන්නේ මේ කරුණේදීය.
රහත් භාවය යනු, අර්ථදැක්වීම අනුවම, සාමාන්‍ය පුද්ගලයෙකුට සිය ඉන්ද්‍රිය පද්ධතිය හරහා ග්‍රහණය කරගත නොහැකි සංකල්පයකි. එසේ කළ හැකිනම් එය රහත් භාවය විය නොහැකිය. ඒ නිසා, කෙනෙකුගේ රහත් භාවය වෙනත් අයෙකුට පරීක්ෂා කළ නොහැකිය. මේ සංකල්පීය උගුලේ වාසිය සමන්තභද්‍ර හිමියන්ට ලැබුණේය. ටික කලකට පෙර සමන්තභද්‍ර හිමිගේ රහත් භාවය පරීක්ෂාවට ලක් කරන්නට ගිය සංසරණී බ්ලොග් අඩවිය ලියන අතුල සිරිවර්ධන වැනි අය මේ උගුලේ හිරවුණේය. සමන්තභද්‍ර හිමිගේ ප්‍රකාශය විශ්වාස කළේයැයි සිතිය නොහැකි බොහෝ බෞද්ධ භික්ෂූන් ඔහුට අභියෝග කරන්නට පෙරට නොපැමිණියේ උගුලේ ස්වභාවය ගැන මනා අවබෝධයක් තිබුණු නිසායැයි සිතිය හැකිය.
සියවස් ගණනක් තිස්සේ නිවන සොයා යන්නට පුහුණු කර ඇති සමාජයක් තුළ නිවන සාක්ෂාත් කරගත් අයෙකු හොයා ගන්නට ඉල්ලුමක් ඇතිවීම ස්වභාවිකය. සිංහල බෞද්ධ සමාජය විසින් කලින් කලට නිවන් මාර්ගයට පිවිසි අයෙකු ලෙස තමන් විසින් හඳුනා ගන්නා සංකල්පීය පුද්ගලයා සමඟ ආසන්න ලෙස සමපාත වන පුද්ගලයින් වෙත සෝවාන් තත්ත්වය හෝ රහත් තත්ත්වය ආරෝපණය කරන්නට උනන්දු වූයේය. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි වැනි අය උදාහරණයි. එහෙත්, ඒ කිසිවෙකු සමන්තභද්‍ර හිමි මෙන් තමන්ගේ රහත් භාවය ප්‍රකාශයට පත් කළේ නැත.
පිටිදූවේ සිරිධම්ම හිමි සමන්තභද්‍ර ලෙස රූපාන්තරණය වීම ලංකාවේ බෞද්ධ සමාජයේ සිදුවූ එක්තරා ආකාරයක සුසමාදර්ශීය වෙනසකි. බොහෝ දෙනෙකු විසින් සොයමින් සිටින, එහෙත් හරියටම කුමක්දැයි නොදන්නා සංකල්පීය ඔසුව ගැන හරියටම දන්නා බව කියන, පළමෝත අත්දැකීම් ඇති අයෙකු ලෙස පෙනී සිටින අයෙකු දැන් පෙනෙන්නට සිටී. ඔහුව පිළිගැනීම හෝ නොගැනීම එක් එක් පුද්ගලයාගේ කාර්යයකි.
මෙතැනදී සමන්තභද්‍රවාදීන් හා සමන්තභද්‍ර විරෝධීන් දෙපිල බෙදෙන්නේ රහත් භාවයට පැමිණි පුද්ගලයෙකු ලෙස තමන් තුල සිටින සංකල්පීය පුද්ගලයා කවුද යන්න මතය. සිංහල බෞද්ධයන් බොහෝ දෙනෙකුට අනුව මේ පුද්ගලයා සන්සුන් ගමන් ඇති, සන්සුන් කතා ඇති, අල්පේච්ඡ ජීවන රටාවක් ඇති, සුපේශල ශික්ෂාකාමී භික්ෂුවකි. සමන්තභද්‍ර චරිතය මේ ආකෘතිය සමඟ ගැටෙන තැන් බොහෝ තිබුණේය.
සමන්තභද්‍ර හිමි තමන් රහත් තත්ත්වයට පත්වූ බව ප්‍රකාශ කරනවාට අමතරව තවත් බොහෝ දේද කළේය. මේ බොහෝ දේ, සමස්තයක් ලෙස, ලංකාවේ කාලයක් තිස්සේ පැවති බෞද්ධ ආයතනික ව්‍යුහයට පහර දීමක් ලෙස සැලකිය හැකිය. වෙනත් බොහෝ බෞද්ධ භික්ෂූන් රහසිගතව කරන දේවල් වලින් කොටසක් ඔහු ප්‍රසිද්ධියේම කරන්නට පටන් ගත්තේය. ඇතැම් අයගේ මනසේ සිටි රැස් විහිදෙන, අහසින් යන, දහ අට රියන් බුදුන් සමන්තභද්‍ර හිමියන් විසින් මහ පොළොවට ගෙනාවේය. මෙහිදී, සමන්තභද්‍ර හිමි කටයුතු කළ ආකාරය පිටිදූවේ සිරිධම්ම කාලයේදී කළ දෙයෙහිම දිගුවක් ලෙස සැලකිය හැකිය.
පරීක්ෂා කර බැලීමේ හැකියාවක් කිසිවෙකුට නැති රහත් භාවය වැනි කරුණු පැත්තකින් තිබ්බොත් සමන්තභද්‍ර හිමිගේ විවේචන බොහොමයකට කිසියම් පදනමක් තිබුණේය. ඔහුගේ විවේචකයින්ට පවා ඔහු කියන ඇත්ත බැහැර කර සිටින්නට නොහැකි විය. සිය ස්වයං ප්‍රකාශිත රහත් භාවය නිසා සමන්තභද්‍ර හිමිගේ විවේචන වලට කිසියම් වලංගු භාවයක් ලැබුණේය. සාමාන්‍ය භික්ෂුවක ලෙස බෞද්ධ ආයතනික ධුරාවලියේ පහළ තැනක සිටි ඔහුට සිය ස්වයං ප්‍රකාශිත රහත් භාවය හරහා එහි ඉහළටම එසවෙන්නට හැකි විය. එහෙත්, එය කළ හැකි වූයේ ඔහුගේ සීමිත, එහෙත් භක්තිවන්ත අනුගාමික පිරිස හමුවේදී පමණි.
කෙසේ වුවද, එක දෙයක් විශේෂයෙන්ම කිව යුතුය. කෙතරම් රැඩිකල් බව පෙනෙන්නට තිබුණත් සමන්තභද්‍ර හිමි හැමදාමත් හිටියේ සිංහල බෞද්ධ ආයතනික ව්‍යුහය ඇතුළේය. ඔහු එහි පරිධියට මිස එයින් පිටතට ගියේ නැත.
සමන්තභද්‍ර හිමි බෞද්ධ ධර්ම ග්‍රන්ථ හොඳින් පරිශීලනය කර ඒවායේ අන්තර්ගතය අවබෝධ කරගෙන තිබුණේය. ඔහු ඒ ධර්ම ග්‍රන්ථ හෝ බෞද්ධ ධර්මයේ මූලික කරුණු විවේචනය කළේනම් ඒ ඉතා සැලකිල්ලෙනි. ඔහු බොහෝ විට විවේචනය කළේ වත්මන් ආයතනික ව්‍යුහය හෝ භාවිතාවයි. එහිදී හැමවිටම වාගේ ඔහු භාවිතයේ ඇති ධර්ම ග්‍රන්ථ වල ඇති කරුණු මූලාශ්‍ර කර ගත්තේය. ඔහු සිය ශ්‍රාවකයින්ව නිවන් මඟට යොමු කරනවා මිස (ඒ මඟ කුමක් වුවත්) වෙනත් ලෞකික අරමුණු කෙරෙහි යොමු නොකළේය.
ජනාධිපතිවරයාගේ චර්යාවක් වරක් විවේචනය කළත් සාමාන්‍යයෙන් සමන්තභද්‍ර හිමි දේශපාලනයට මැදිහත් වුණේ නැත. "නිදහස් අධ්‍යාපනය රැකගැනීම", "සාධාරණ සමාජයක් හැදීම" වැනි අරමුණු වලට තබා "රට ජාතිය බේරාගැනීම" වැනි අරමුණු වලට හෝ ඔහු ඔහුගේ ශ්‍රාවකයින්ව යොමු නොකළේය. ඔහුගේ එකම ප්‍රකාශිත අරමුණ වුනේ සිය ශ්‍රාවකයින්ට නිවන් දකින්නට උදවු කිරීමයි. මෙය බෞද්ධයෙකුගේ මූලික අරමුණයි.
නිවන් දකින්නට බලාපොරොත්තුවෙන් සිටින සිය ශ්‍රාවකයින්ට සමන්තභද්‍ර හිමි විසින් ලබා දුන්නේ ඉන්ස්ටන්ට් රෙසිපියකි. මේ රෙසිපිය අනුගමනය කරන අය සිය අරමුණ සාක්ෂාත් කරගන්නට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බලා සිටින්නට අවශ්‍ය නැත. ඔහුගේ බොහෝ අදහස් ඕෂෝගේ අදහස් වලට කිට්ටුවෙන් ගියේය. ඇතැම් අදහස් මහායානික අදහස් මෙන් පෙනෙන්නට තිබුණේය. එහෙත්, හැම විටකම වාගේ ඔහු තමන්ගේ දේශනා ලංකාවේ ප්‍රධාන ධාරාව තුළ පිළිගැනෙන ථෙරවාද බෞද්ධ ධර්මය සමඟ ගැලපීමට සැලකිලිමත් විය.
සිංහල බෞද්ධයින් අතරද නිවන් දැකීමේ අපේක්ෂා හා අදාළව, හරියටම ඉරකින් බෙදිය හැකි නොවුවත්, කොටස් දෙකක් සිටී. එයින් බහුතරයට නිවන් දකින්නට හදිස්සියක් නැත. ඒ අයට, අවශ්‍ය වන්නේ හැකි තරම් දෙවු මිනිස් සැප වළඳා ඔහේ පුළුවන් වූ දවසක නිවන් දකින්නටය. ඒ නිසා, පන්සලේ පින්කමට සහභාගී වී පැමිණ හවසට සෙට් වෙන එක, දිනපතා ගන්නා අල්ලස් මුදලින් අට පිරිකරක් මිලදී ගෙන පූජා කිරීම හෝ රට ජාතිය වෙනුවෙන් මිනියක් දෙකක් මැරීම වුවත් ඒ තරම්ම ලොකු ප්‍රශ්න නොවේ. ඔය හැම එකම හරියටම කරන්නට පුහුණු වන්නට කල්ප ගනනක කාලයක් තිබේ.
කෙසේ වුවද, ඔය අස්සේ හදිස්සි කාරයෝ කොටසක්ද සිටිති. ඒ අයට, නිවන් දකින්නට ඔය තරම් කාලයක් බලා ඉන්නට පුළුවන් කමක් නැත. විප්ලව වලින් සමාජය ක්ෂණිකව වෙනස් කරන්නට බලා සිටින අය මෙන්ම ෂෝට් කට් වලින් නිවන් යන්නට කැමති පිරිස්ද ලංකාවේ සිටිති.
සමන්තභද්‍ර හිමි වටා එකතු වන්නේ මෙහි සඳහන් දෙවන පිරිසයි. එයට අමතරව, පවතින ආයතනික ව්‍යුහය සමඟ ප්‍රශ්න ඇති, එහෙත් ඒ තුළම රැඳී සිටින්නටද අවශ්‍ය පිරිස්ද සමන්තභද්‍ර හිමි වටා එකතු වේ. මේ අය අතර ලංකාවේ කතෝලික ආයතනික ව්‍යුහය සමඟ ප්‍රශ්න ඇති කිතුණුවෝ වැනි අය පවා සිටිති.
මෑතකදී කතාබහට ලක්වුණු ඉරාජ් වීරරත්න සමන්තභද්‍ර හිමිගේ අනුගාමිකයින් සඳහා උදාහරණයකි. ඔහුට ලංකාවේ ස්ථාපිත ආයතන සමඟ මෙන්ම පොදුවේ ලංකාවේ සංස්කෘතිය සමඟත් ප්‍රශ්න තිබේ. ඔහු එම සංස්කෘතිය තුළම රැඳෙමින් එහි අධිපති මතවාදයන්ට එරෙහිව කැරලි ගසයි. එහෙත්, ඔහුටද සමන්තභද්‍ර හිමිට මෙන්ම මේ සංස්කෘතියේ හා ආයතනික ව්‍යුහයන්හි පරිධියට මිස එයින් ඔබ්බට යන්නට තරම් ධෛර්යයක් නැත. ඒ නිසා, මේ දෙදෙනාම කලක සිට කරමින් ඉන්නේ තමන් රැඳී සිටින සංස්කෘතික වපසරියේ පරිධිය විශාල කිරීමයි.
මේ කටයුත්ත අවදානම් සහගත වැඩකි. තමන් ඇතුළු සමාජය රැඳී සිටින ඉඩකඩ පුළුල් කිරීම ඕනෑවට වඩා වේගයෙන් සිදු කරන අයෙකු නොදැනීම එයින් ඔබ්බට විසි වී කිසිදු වටිනාකමක් නැති, සමාජයට පිටින් සිටින හුදෙකලා පුද්ගලයෙකු වන්නට ඉඩ තිබේ. ඉරාජ් වීරරත්න මෙන්ම සමන්තභද්‍ර හිමිද මේ ගැන මනා අවබෝධයකින් සිටියේය. ඔවුන් හැමවිටම වාගේ පසුපස පාදය ඉදිරියට ගත්තේ ඉදිරිපස පාදය ස්ථාවර ලෙස රඳවා ගැනීමෙන් පසුවය.
සමන්තභද්‍ර හිමි සෑහෙන කාලයක් පරිස්සමෙන් ක්‍රීඩා කළේය. ඒ නිසා, සමන්තභද්‍ර විරෝධීන් අතරත් ඔහුට කිසියම් තැනක් තිබුණේය. එවැන්නන්ට ඔහුගේ රහත් භාවය ප්‍රශ්න කළ හැකි වුවත් භික්ෂු භාවය ප්‍රශ්න කිරීමට වලංගු පදනමක් නොතිබුණු බැවින් බෞද්ධ ආයතනික ව්‍යුහය තුළ ඔහුට අයිති වූ කිසියම් නිශ්චිත ඉඩක් තිබුණේය. ඒ ඉඩ නැති කර නොගැනීමට ඔහු සැලකිලිමත් විය. ඔහුගේ සියලු ප්‍රහාර එල්ල කෙරුණේ මේ ඉඩ නැති වීමේ අවදානම ගැන සැලකිලිමත් වෙමිනි.
සමන්තභද්‍ර හිමි විසින් පරිධියේ සිට පරිධිය දිගින් දිගටම විශාල කිරීම කේන්ද්‍රයේ රැඳී සිටි අයට ප්‍රශ්නයක් විය. පරිධිය ඈතට යන විට කේන්ද්‍රය ආසන්නයේ සිටින පිරිස් ක්‍රමයෙන් කේන්ද්‍රයෙන් ඈත් වේ. ඒ නිසා, මේ කටයුත්තට තිරිංග දැමීමට ඔවුන්ට අවශ්‍ය විය. එහෙත්, සමන්තභද්‍ර හිමිගේ උපක්‍රමික චලනයන් හමුවේ එය කිරීම පහසු වූයේ නැත. පහසු නොවූවද, කිසියම් මොහොතක එය සිදු විය යුතුව තිබුණි.
අන්තිමේදී ඒ අවස්ථාව එළැඹී තිබේ. තමන් රහත් භාවයට පත්ව සිටීයැයි කලක් තිස්සේ ප්‍රකාශ කරන, රජෙක් මෙන් සිංහ සෙය්යාවෙන් වැජඹුණු සමන්තභද්‍ර හිමියන් විසින් දැන හෝ නොදැන කළ ප්‍රකාශයක් වෙනුවෙන් ලිඛිතව හා වාචිකව සමාව ගනිමින් මහනායක හිමිවරුන් අභියස පසඟ පිහිටුවා තෙවරක් වැඳ වැටීම තුළ ප්‍රකාශ වන්නේ සිංහල බෞද්ධ ආයතනික ව්‍යුහය තුළම රැඳෙමින් එයට අභියෝග කළ හැකි උපරිම සීමාවයි. සමන්තභද්‍ර හිමියන් විසින් පසුව කවර පැහැදිලි කිරීමක් කළත් ඒ සීමාව දැන් සටහන් වී අවසන්ය.
මේ ආකාරයෙන්ම සංගීතය හරහා පවතින සම්ප්‍රදායට අභියෝග කරමින් කිසියම් ආකාරයක සීමා පුළුල් කිරීමක් කළ ඉරාජ් වීරරත්නද එහි ආන්තික සීමාවට පැමිණ හිර වී වැඩි දවසක් නැත. සමන්තභද්‍ර අනුගාමිකයෙකු වන ඉරාජ් දැන් මාධ්‍ය හමුවට පැමිණ කියන්නේ ඔහුගේ වීඩියෝවේ කෙසෙල් ගෙඩි පෙන්වන්නේ කෙසෙල් වල පොටෑසියම් තිබෙන නිසා බවයි. සමන්තභද්‍ර හිමි මාධ්‍ය වලට කියන්නේ ඔහු දළදා වහන්සේට අපහාස නොකළ බව හා ඔහුගේ කතාවෙන් කොටසක් මාධ්‍ය මඟින් උලුප්පා පෙන්වූ බවයි.
ළඟ ළඟ සිදු වූ මේ සිදුවීම් දෙක සම්බන්ධයක් නැති අහඹු සිදුවීම් දෙකක්ද?
සමන්තභද්‍ර හිමි මෙන්ම ඉරාජ් වීරරත්නද කැරලි ගැසූ අයයි. ඔවුහු කාලයක් දිගින් දිගටම ඉදිරියට ගියහ. මට තේරෙන හැටියටනම් දැන් ඒ ගමන් තීරණාත්මක ලෙස නැවතී හෝ ආපසු හැරී තිබේ. මෙයින් සංකේතවත් වන දේශපාලනය දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු.
Labels:
ආගම් හා දර්ශන,
දර්ශනය,
දේශපාලනය,
බුදු දහම,
සංගීතය
Monday, October 9, 2017
බනානා සංගීතය, සමාජ මාධ්‍ය හා ලිංගික අධ්‍යාපනය
ටික කලකට පෙර සිදු වූ වික්ටර් රත්නායකගේ විවාහය සමාජ මාධ්‍ය වල ලොකුවටම හිට් විය. වික්ටර් රත්නායක ප්‍රසිද්ධ, ප්‍රවීණ හා ජනප්‍රිය ගායකයෙකු වුවත් ඔහුගේ විවාහය එයින් පරිබාහිර පෞද්ගලික කටයුත්තක් විය. මේ විවාහය නිසා වික්ටර්ගේ ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය තවත් ඉහළ ගියත් එය නිරායාසයෙන් සිදු වූවක් මිස වික්ටර් විසින් සැලසුම්ගත ලෙස සිදු කළ දෙයක් නොවේ. මෙය විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ලංකාවේ හා ලෝකයේ ඇතැම් කලාකරුවන් තමන්ගේ ප්‍රසිද්ධිය අඩුවන විට එවැනි දේවල් කරන අවස්ථාද දුලබ නැති බැවිනි. වික්ටර් විසින් එසේ කළේනම් වුවද එහි ඇති වැරැද්දක්ද නැත.
වාර්තා වී තිබුණු තොරතුරු අනුව වික්ටර්ගේ විවාහය සිදුව තිබුණේ ක්ෂණික තීරණයක් ලෙස නොවේ. ඔහු විසින් නීත්‍යානුකූල ලෙස විවාහ කරගෙන තිබුණේ වසර ගණනක් තිස්සේ ඇසුරු කරමින් සිටි කාන්තාවකි. කෙසේ වුවද, මේ විවාහය බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය. ඒ විවේචන තවත් බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය. මේ සංවාදය බොහෝ දුරට සිදුවුණේ සමාජ මාධ්‍ය ඇතුළේය. මේ හේතුවෙන් වික්ටර් රත්නායකගේ ප්‍රසිද්ධිය විශාල ලෙස ඉහළ ගියත් ඔහු ඒ ප්‍රසිද්ධිය මුදල් කරන්නට පෙළඹුණේ නැත. එසේ කළේනම් ඔහුට සැලකිය යුතු මුදලක් උපයාගත හැකිව තිබුණේය.
වික්ටර් රත්නායක විසින් යම් හෙයකින් තමන්ගේ විවාහය හේතුවෙන් ලැබුණු ප්‍රසිද්ධිය මුදල් කළේනම් එය වරදක් වන්නේවත්, එසේ නොකිරීම නිසා ඔහු විශිෂ්ඨයෙකු වන්නේවත් නැත. එය ඔහුගේ පෞද්ගලික තීරණයක් පමණි.
කෙසේ වුවද, වික්ටර් රත්නායකගේ විවාහය නිසා ඔහුට ලැබුණු ප්‍රසිද්ධිය ඔහු විසින් මුදල් කර නොගැනීම නිසා ඇති වුණු නොසන්සිඳුණු ඉල්ලුම සපුරමින් මුදල් හොයන්නට ඉරාජ් ඉදිරිපත් විය. ඇතැම් අය කියන පරිදි ඉරාජ්ගේ ගීතයේ සංවාදයට ලක් වෙන්නේ පොදු ප්‍රශ්නයකි. අමරසිරි පීරිස්ගේ 'මගේ පුංචි රෝස මලේ ගීතයේ' තේමාවද ඉරාජ්ගේ අලුත් ගීතයේ තේමාවට තරමක් ආසන්නය. තේමාව පොදු එකක් වුවත් නොවුවත්, ඉරාජ් විසින් තමන්ගේ අලුත් ගීතය අලෙවි කිරීම සඳහා වික්ටර් රත්නායකට ඔහුගේ විවාහය නිසා ලැබුණු ප්‍රසිද්ධිය ප්‍රයෝජනයට ගෙන ඇති බව පැහැදිලි කරුණකි.
ඉරාජ් කියන්නේද විශාල රසික පිරිසක් සිටින ප්‍රසිද්ධ ගායකයෙකි. වෙනත් බොහෝ ගායකයින්ගේ ගීත මෙන් ඉරාජ්ගේ අලුත් ගීත බොහොමයක් ශ්‍රව්‍ය අත්දැකීමක් ලෙස පමණක් රස විඳිය නොහැකිය. ඉරාජ් විසින් පැකේජ් කර අලෙවි කරන කලා නිර්මාණ බොහොමයක් වීඩියෝවක් ලෙස රස විඳිය යුතු, සාමාන්‍ය ගීතයකට වඩා වැඩි දෙයකි. ඒ නිර්මාණ වල ගීතයේ පද මාලාව, සංගීතය හා ගායනයට අමතරව, බොහෝ විට මේ අංග වලටත් වඩා වැඩියෙන්, රූප රචනය කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ කරුණ බැහැර කර ඉරාජ්ගේ නිර්මාණ දෙස බැලිය නොහැකිය.
ඉරාජ් යනු මගේ ප්‍රියතම ගායක ලැයිස්තුවේ ඉහළින් සිටින්නෙකු නොවේ. වික්ටර් රත්නායක ඒ ලැයිස්තුවේ සාපේක්ෂව ඉහළින් සිටින ගායකයෙකි. ඒ මගේ රුචිකත්වය සමඟ මේ දෙදෙනාගේ නිර්මාණ ගැලපෙන ආකාරය අනුව මිස ඉරාජ්ගේ නිර්මාණ "බාල" ඒවා ලෙස මා විසින් ලේබල් කරන නිසා නොවේ. කලා නිර්මාණයක ගුණාත්මක භාවය රසිකයාට සාපේක්ෂ දෙයකි.
ඉරාජ්ගේ නිර්මාණ වල ඔහුගේම අනන්‍යතාවයක් තිබේ. ඒ අනන්‍යතාවයට කැමැත්තක් දක්වන විශාල පිරිසක් සිටී. ඔහු වෙනත් ගායකයින් සාමාන්‍යයෙන් කතා නොකරන ලිංගික තේමා ගැන ඔහුගේ නිර්මාණ හරහා කතා කරයි. එම නිර්මාණ වලට යොදා ගන්නා රූප රචනා සන්දර්භයට ගැලපේ. බොහෝ විට මෙවැනි කරුණු ඔහු අමුවෙන්ම කියයි. අමුවෙන්ම පෙන්වයි. ඔහු එසේ කරන හෝ කර ඇති එකම කලාකරුවා නොවේ. කියන්නට තියෙන දෙය අමුවෙන්ම කියා දමන තවත් බොහෝ කලාකරුවෝ අතීතයේ සිටම සිටියහ. දැනුදු සිටිති.
ඉරාජ් මගේ ප්‍රියතම ගායකයෙකු නොවුවත් ඔහුගේ නිර්මාණ රස විඳින්නට මට බැරිකමක් නැත. යම් හේතුවකින් ඔහුගේ ගීත වීඩියෝවක් නැරඹීමට යොමු වූ අවස්ථා කිසිවකදී මා එය සම්පූර්ණයෙන් නරඹන්නේ නැතිව අතරමඟ නවතා නැත. එහෙත්, වරක් ඇසූ හෝ නැරඹු ඉරාජ්ගේ ගීතයක් නැවත අහම්බෙන් රස විඳින්නට නොලැබුණේනම් මා විසින් දිගින් දිගටම තබා දෙවන වරට හෝ අසා/ නරඹා ඇති බවක් මතක නැත. එමෙන්ම ඔහුගේ මුල් කාලයේ නිර්මාණ කිහිපයක් හැර අලුත් නිර්මාණ කිසිවක් මගේ මතකයේ රැඳීද නැත. වරක් ඇසූ ගීතයක් හෝ නැරඹු ගීත වීඩියෝවක් නැවත නැවත රස විඳින්නට මා පෙළඹෙන්නේ එය රස විඳි පළමු වරම කිසියම් කම්පනයක් ඇති කරන්නට සමත් වන්නේනම් පමණි. එවැනි ගීත ඕනෑ තරම් තිබේ. මට නොදැනුනත්, ඉරාජ්ගේ ගීත වලින්ද එවැනි කම්පනයක් දැනෙන අය සිටින්නට පුළුවන.
ඉරාජ්ගේ අලුත් ගීත වීඩියෝව විශාල ලෙස හිට් විය. එමෙන්ම එය සමාජ මාධ්‍ය වල විශාල ලෙස විවේචනයටද ලක් විය. ඒ විවේචනද සමාජ මාධ්‍ය වල විවේචනයට ලක් විය.
ඉරාජ්ගේ වීඩියෝව විවේචනය කළ අය එසේ කිරීමට අඩු වශයෙන් වෙනස් හේතු තුනක් තිබුණේය. පළමුව, මෙය වික්ටර් රත්නායකට මඩ ගැසීමක් ලෙස හැඳින්වුනේය. දෙවනුව, මේ වීඩියෝවේ සංකේතාත්මක ලෙස කෙසෙල්ගෙඩි හා සොසේජස් යොදාගෙන තිබුණු රූප රාමු විවේචනයට ලක් විය. තෙවනුව, මුදල් පිණිස "අම්මා අප්පා වුවත් විකිණීමේ" ප්‍රවේශය විවේචනයට ලක් විය.
මේ වීඩියෝව හිතාමතාම වික්ටර් රත්නායකට මඩ ගැසීම ප්‍රධාන අරමුණ කරගෙන සැදූවක්යැයි මා විශ්වාස කරන්නේ නැත. එමෙන්ම, ඉරාජ්ගේ නිර්මාණ දෙස සමස්තයක් ලෙස බැලූ විට දෙවන කරුණේද අමුත්තක් නැත. අදාළ රූප රාමු ඔහුගේ ශෛලියට ගැලපේ. එහෙත්, තුන් වන කරුණ බොරුවක්ම නොවේ. ඉරාජ් විසින් කර ඇත්තේ වෙළඳපොළ ඉල්ලුම හඳුනාගෙන විකිණිය හැකි දෙයක් නිර්මාණය කිරීමය. එහිදී ඔහු සම්මත සීමාවන් තුළ හිර වී නැත. මේ කටයුත්තේදී වෙළඳපොළ තුළ ඉරාජ් විසින් අපේක්ෂිත ඉලක්කය සපුරාගෙන තිබේ.
ඉරාජ් මෙහිදී වැරැද්දක් කර තිබේද? ඇතැම් අයට අනුව වැරැද්ද තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා ලැබී ඇති අසීමිත නිදහසේය. ඉරාජ් විසින් මේ තත්ත්වය තමන්ගේ වාසියට හරවා ගෙන තිබේ.
ඉරාජ් විසින් සමාජ මාධ්‍ය සිය වාසිය වෙනුවෙන් යොදාගෙන ඇති බව ඇත්තකි. එහෙත් ඔහු විසින් කිසිවක් බලහත්කාරයෙන් කාගේවත් ඇඟේ ගසා නැත. ඔහු විසින් සිදු කර ඇත්තේ පවතින ඉල්ලුමක් සැපිරීමයි.
ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිත ගැන හාරා අවුස්සන්නට බොහෝ මිනිසුන්ට උනන්දුවක් තිබේ. මේ උනන්දුව සමාජ ජාලා නිසා ඇති වූවක් නොවේ.
වික්ටර්ගේ විවාහය ඇතැම් අයව කම්පනයට ලක් කළේය. ඒ ඔවුන්ගේ සම්මත සමඟ එය නොගැලපුණු බැවිනි. එවැන්නන්ගේ විරෝධය තවත් අයව කම්පනයට ලක් කළේය. මෙවැනි පෞද්ගලික සිදුවීම් මෙන්ම පසුගිය කාලයේ සිදුවූ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී විශාල පිරිසක් මිය යාම වැනි ඛේදවාචකද විශාල පිරිසක් කම්පනය කළේය.
ඉරාජ් හෝ වෙනත් අයෙක් විසින් මීතොටමුල්ල සිදුවීම සිදු වූ අලුත ඒ ගැන ගීතයක් නිර්මාණය කළේනම් එයද ජනප්‍රිය විය හැකිව තිබුණේය. එමෙන්ම, මීතොටමුල්ල මරණ විකුණාගෙන කෑම ගැන එවැන්නෙකුට ඇතැම් අයගේ විවේචන එල්ල විය හැකිවද තිබුණේය.
කලකට පෙර ඇන්ටන් ජෝන්ස් විසින් මෙවැනි ඛේදවාචක ගැන 'අමුවෙන්ම' විස්තර කරන ගීත ගණනාවක්ම අවස්ථාව බලා එළියට දමමින් ආර්ථික වාසියක් ලැබුවේය. ඇන්ටන් ජෝන්ස් විසින් එසේ විකිණූ ගීත අතර වන "ප්‍රේමවතී මනම්පේරි තරුණිය", "කන්දේ හැපුණු මහ වනන්තරේ", "සයුර බලා බඳ ලෙලවා" වැනි ගීත අදටත් ජනප්‍රියව තිබේ. හැත්තෑව දශකය පමණ වන තුරු ලංකාවේ විශාල ලෙස ජනප්‍රියව තිබුණු කවි කොළ වෙළඳපොළ තුළ තනිකරම සිදු වුණේ මෙවැනි එදිනෙදා ජනප්‍රිය සිද්ධි ගැන බොහෝ දෙනෙකුට තිබුණු උනන්දුව මුදල් කර ගැනීමයි. අද සමාජ ජාලා හරහා සිදුවන දෙය ඒ කාලයේදී කවි කොළ වැනි වෙනත් මාධ්‍ය හරහා සිදුවිය.
ඉරාජ් විසින් කළේ පැවති රික්තකයක් පිරවීමයි. වෙනත් අයට පෙර මේ රික්තකය පිරවීම නිසා ඔහුට පුරෝගාමියාගේ වාසිය ලැබුණේය. මෙහිදී සමාජ මාධ්‍ය විසින් ඉටු කළ කාර්ය භාරය වුණේ ඔහුගේ ගීත වීඩියෝව ඒ සඳහා ඉල්ලුමක් ඇති තැන් වලට යොමු කරන්නට මෙවලමක් වීම පමණි.
සමාජ මාධ්‍ය සැලකිය හැක්කේ අවම පරිපාලන රෙගුලාසි ප්‍රමාණයකට යටත්, වාරණයකින් තොර හෝ වාරණය ඉතාම අඩුවෙන් සිදුවන නිදහස් මාධ්‍ය ලෙසිනි. එවැන්නක් හේතුවෙන් අත්වෙන අවසන් ප්‍රතිඵලය වඩා කාර්යක්ෂම එකක් මිස අකාර්යක්ෂම එකක් වන්නට හේතුවක් නැත. කවර මිනුම් දණ්ඩක් භාවිතා කරමින් නියාමනය කළත් අවසන් වශයෙන් නියාමනය විසින් ඉඩ සලසන්නේ අකාර්යක්ෂමතාවයන්ටය.
ඇතැම් අය සිතන පරිදි ඉරාජ්ට මේ වීඩියෝව ප්‍රචාරණය කරන්නට ඉඩ ලැබීමේ කුමක් හෝ වරදක් තිබේ. මේ වරද නියාමනයක් නැති අසීමිත නිදහසද?
නිදහස් වෙළඳපොලක් මෙන්ම සමාජ මාධ්‍ය වැනි නිදහස් මාධ්‍යද ස්වයං නියාමනයට ලක්වේ. එය ස්වභාවිකවම සිදුවන දෙයක් මිස කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් කළ යුතු දෙයක් නොවේ.
ඉරාජ්ගේ වීඩියෝව නිසා කිසියම් තාවකාලික අසමතුලිතතාවයක් ඇති වූයේනම් ඉතා ඉක්මණින් ස්වභාවික ලෙසම එය නැවත සමතුලිත විය යුතුය. ඒ සඳහා කිසිවකු මැදිහත් වීම අවශ්‍ය නොවේ. ඉරාජ්ට පක්ෂව මෙන්ම ප්‍රතිපක්ෂවද ක්ෂණිකව අදහස් දක්වන්නට බොහෝ දෙනෙකුට ඉඩ සැලසුණේ සමාජ මාධ්‍ය නිසාය.
මේ වීඩියෝව නිසා ඉරාජ්ට එරෙහිව විශාල ජනමතයක්ද ඇති වුණේය. වීඩියෝවේ පෙනී සිටි නිලියකට කොරියාවේදී ප්‍රශ්න වලට මුහුණ දෙන්නටද සිදු වී තිබේ. මේ අනුව, පෙනෙන්නේ ඉරාජ්ගේ වීඩියෝව එළියට දැමීමෙන් පසු ඔහුගේ නිර්මාණ වලට විරුද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ටද ඉල්ලුමක් ඇති වී ඇති බවයි.
ඉල්ලුමක් ඇති වූ විට එහි වෙළඳපොළ අවස්ථාවක්ද තිබේ. මෙවැනි වෙළඳපොළ අවස්ථාවක් මුලින් හෝ පසුව යම් කිසිවකු විසින් හඳුනා ගැනීම සාමාන්‍ය තත්ත්වයයි. මේ වන විට එය සිදු වී තිබේ. දැනටම විශාල ලෙස හිට් වී ඇති අම්බලම වීඩියෝව එයට හොඳම සාක්ෂියයි.
අම්බලම වීඩියෝව එළියට එන්නේ ඉරාජ් විරෝධය අලෙවිකරණ උපායක් ලෙස ප්‍රයෝජනයට ගනිමිනි. මෙයට කැමති නැති අයෙකුට මෙය තනිකරම මඩ වීඩියෝවක් ලෙස හඳුවන්නට පුළුවන. එහෙත්, එයට පක්ෂ අයෙකුට මෙය ලිංගික අධ්‍යාපනය ලබාදෙන, උපත් පාලන ක්‍රම ගැන දැනුවත් කරන වීඩියෝවක් ලෙස හඳුවන්නට වුවද බැරිකමක් නැත. වීඩියෝවේ පෙන්වන පරිදි උපත් පාලන කොපු යතුරු කැරැල්ල සමඟ එකට සාක්කුවේ දමාගෙන සිටින විට තෙරපුම නිසා එහි කඩතොළු ඇති වී, ඒ හේතුව නිසා ලිංගිකව එක්වන විට පුපුරා යාමෙන් ගැබ් ගැනීම හෝ සමාජ රෝග වැළඳීම වැනි අනපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නට ඇති ඉඩකඩ ඉහළ යා හැකිය යන්න නැවුම් අදහසකි.
සමාජ මාධ්‍ය හරහා එළියට එන්නේ සාමාන්‍ය මිනිසුන් හිතන පතන ආකාරයයි. සමාජ මාධ්‍ය නොතිබුණා කියා හෝ වාරණය කළා කියා මිනිසුන් හිතන හා තීරණ ගන්නා ආකාරය වෙනස් වන්නේ නැත. කිසියම් කලා නිර්මාණයකට හෝ මතවාදයකට ඉල්ලුමක් තිබේනම් සමාජ මාධ්‍ය නැතත් එය කවර ආකාරයකින් හෝ මතුවීම වැළැක්විය නොහැකිය. මිනිසුන් හිතන හා තීරණ ගන්නා ආකාරය වෙනස් වේනම් එය සමාජ මාධ්‍ය තුළද ස්වභාවික ලෙසම පිළිබිඹු වනු ඇත.
Labels:
ආකල්ප,
උපත් පාලනය,
ලිංගික අධ්‍යාපනය,
සංගීතය,
සමාජ මාධ්‍ය
Subscribe to:
Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...




















