කෝවිඩ් වසංගතය ආරම්භයේදී චීනය, ලංකාව ඇතුළු ඇතැම් රටවල් කෝවිඩ් රටින් තුරන් කර රට නිදහස් කර ගැනීමේ අභ්‍යාසයක නිරතව සිටියා. චීනය තවමත් මේ අභ්‍යාසය අත හැර නැහැ. එහෙත්, මෙම අභ්‍යාසයෙහි නිරතව සිටි ලංකාව ඇතුළු බොහෝ රටවල් මේ වෙද්දී මේ ප්‍රවේශයේ නිරර්ථක බව අවබෝධ කරගෙන තිබෙනවා.
ලංකාවේ වගේම ලෝකයේ අනෙක් රටවලද වාර්තා වල ඇති කෝවිඩ් මරණ හා ආසාදිතයින් සංඛ්‍යා සම්බන්ධ පැහැදිලි ප්‍රශ්න තිබෙනවා. වසංගතය ආරම්භ වී සෑහෙන කාලයක් යන තුරු ලංකාවේ කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගනු ලැබීම ඉහළ මට්ටමක තිබුණා. එය ලංකාව අනුගමනය කළ ආක්‍රමණශීලී කෝවිඩ් මර්දන වැඩ පිළිවෙලෙහි අතුරුපලයක්. මීට සාපේක්ෂව වසංගතයේ මුල් අදියරේදී ඇමරිකාව වැනි රටවල කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනුනේ අඩුවෙන්.
කෝවිඩ් ආසාදිතයින් බොහෝ දුරට නිවැරදිව වාර්තා කෙරුණත්, ලංකාවේ කෝවිඩ් මරණ වාර්තා වීම යම් තරමකින් හෝ අඩුවෙන් සිදු වූ බව මගේ අදහසයි. මා හිතන පරිදි මෙය සිදු වූ දෙයකට වඩා හිතාමතා කළ දෙයක්. එහෙත්, මෙය විශාල මිනුම් වරදකට හේතු වුනා කියා මා හිතන්නේ නැහැ.
ආරම්භයේදී ලංකාවේ කෝවිඩ් මරණ අනුපාතිකය වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව අඩු මට්ටමක පැවතුනා. මෙය ලංකාවේ සැබෑ කෝවිඩ් මරණ අනුපාතිකය හෝ එයට සුළුවෙන් අඩු අනුපාතිකයක් සේ සැලකිය හැකියි.
ඉහත කී තත්ත්වය මේ වෙද්දී විශාල ලෙස වෙනස් වී තිබෙනවා. වාර්තා වන සංඛ්‍යාලේඛණ අනුව ලංකාවේ කෝවිඩ් මරණ අනුපාතිකය 5% තරම් ඉහළ මට්ටමක තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව ලංකාවේ කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගනු නොලැබීමයි. කෝවිඩ් මරණද යම් තරමකින් අඩුවෙන් වාර්තා වන බව පෙනෙන නමුත් ආසාදිතයින් හඳුනා ගනු ලැබ වාර්තා වන්නේ ඉතාම අඩුවෙන්.
මේ වෙද්දී ලංකාවෙන් හමුවන දෛනික කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය 4000කට ආසන්න වන අතර දෛනික මරණ ප්‍රමාණය 200ක් පමණ වනවා. මේ අනුව, කෝවිඩ් මරණ අනුපාතය 5% පමණ වුවත් එම අනුපාතය සැබැවින්ම 1% පමණ මට්ටමක තිබිය යුතුයි. ඒ අනුව, දිනකට 20,000ක පමණ පිරිසක් ආසාදිතයින් බවට පත් වන බව උපකල්පනය කළ හැකියි. එක් ආසාදිතයෙකු දින 10ක් පුරා කෝවිඩ් පතුරුවන බව සැලකුවොත් මේ වන විට ලංකාවේ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂ දෙකක්වත් සිටිය යුතුයි. මෙය රටේ ජනගහනයෙන් 1%ක පමණ ප්‍රතිශතයක්.
නිල සංඛ්‍යාලේඛණ අනුවම රට තුළ මේ වෙද්දී කෝවිඩ් ආසාදිතයින් 55,000ක් සිටිනවා. සැබෑ ප්‍රමාණය මේ ගණන මෙන් සිවු ගුණයක් සේ සැලකීම නරක උපකල්පනයක් කියා මම හිතන්නේ නැහැ. නිල සංඛ්‍යාලේඛණ අනුව වසංගතය ආරම්භයේ සිට මෙතෙක් කෝවිඩ් ආසාදනය වූ පිරිස රටේ ජනගහනයෙන් 1.7%ක් පමණයි. සැබෑ ගණන මේ ප්‍රමාණය මෙන් තෙගුණයක් සේ සැලකුවොත් රටේ ජනගහණයෙන් 95%කටම තවමත් කෝවිඩ් ආසාදනය වී නැහැ. දැනට සිටින 1%ක් පමණ වන ආසාදිතයින්ට කොයි මොහොතක හෝ ඉතිරි 95% ආසාදිතයින් බවට පත් කළ හැකියි.
කෝවිඩ් භයානක රෝගයක් වන්නේ එය පැතිරෙන වේගය නිසා මිස මරණ අනුපාතය නිසා නෙමෙයි. වසංගතය ආරම්භයේදී පැවති තත්ත්වය අනුව එක් ආසාදිතයෙකු විසින් තවත් 2.2 දෙනෙකු ආසාදිතයින් බවට පත් කරනවා. මූලික ප්‍රතිජනන අගය හා ඵලදායී ප්‍රතිජනන අගය පිළිබඳව වසංගතය ආරම්භයේදී විස්තරාත්මකව කරුණු පැහැදිලි කර තිබෙන නිසා මා නැවත මේවා විස්තර කරන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් පැරණි ලිපි හොයාගෙන කියවන්න.
ඵලදායී ප්‍රතිජනන අගය 2.2 යන්නෙන් අදහස් වන්නේ ජනගහනයෙන් 100ක් ආසාදිතයින්නම් එම පිරිස විසින් තවත් 220ක පමණ පිරිසකට වෛරසය ආසාදනය කරන බවයි. වසංගතයක් ආරම්භයේදී ඵලදායී ප්‍රතිජනන අගය මූලික ප්‍රතිජනන අගයට (R0) සමානයි. එහෙත්, රටේ යම් පිරිසක් එන්නත්කරණය හෝ රෝගය වැළඳීම හරහා ප්‍රතිශක්තිය ලබා ගනිද්දී ඵලදායී ප්‍රතිජනන අගය ටිකෙන් ටික පහත වැටෙනවා. රෝගය තුරන් වී යන්නටනම් ඵලදායී ප්‍රතිජනන අගය 1.0ට වඩා පහත වැටිය යුතුයි.
මූලික ප්‍රතිජනන අගය 2.2නම්, ජනගහණයෙන් 55%ක් පමණ ප්‍රතිශක්තිය ලබා ගැනීමෙන් පසු ඵලදායී ප්‍රතිජනන අගය 1.0 මට්ටමට පහත වැටෙනවා. මෙහිදී ආසාදිතයින් 100 දෙනෙකු නිරෝගී පුද්ගලයින් 220 දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය කළත් ඔවුන්ගෙන් 220*55%=121 දෙනෙකුට වෛරසය ආසාදනය නොවන නිසා ආසාදිතයින් වන්නේ ඉතිරි 99 දෙනෙකු පමණයි. මේ අනුව, එන්නතක ඵලදායීතාවය 99%ක්නම්, ජනගහණයෙන් 55%ක් එන්නත් කළ පසු වසංගතය පාලනය විය යුතුයි. එන්නතේ ඵලදායීතාවය 55%ක් පමණක්නම් ඒ සඳහා ජනගහණයෙන් 99%ක් එන්නත් කළ යුතුයි. ඊටත් වඩා අඩුවෙන් ඵලදායී එන්නතකට වසංගතය පැතිරීම මන්දගාමී කළ හැකි වුවත් එය පහසුවෙන් තුරන් කළ නොහැකියි.
ඇමරිකාවේ භාවිතා කළ මොඩර්නා සහ පයිසර්-බයෝඑන්තෙක් එන්නත් වල ඵලදායීතාවය 95% පමණ මට්ටමක තිබුණා. මේ අනුව ජනගහනයෙන් 58%ක් පමණ එන්නත් කිරීමෙන් පසුව වසංගතය පාලනය විය යුතුව තිබුණා. මේ වෙද්දී ඇමරිකාවේ ජනගහනයෙන් 52%ක් පමණ එන්නත් මාත්‍රා සම්පූර්ණ කර තිබෙන අතර 60%ක් පමණ එන්නත් ගැනීම ආරම්භ කර තිබෙනවා.
කෙසේ වුවත්, වසංගතය ආරම්භයේදී වූ ඉහත කී අගයයන් මේ වෙද්දී වෙනස් වී තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ මූලික ප්‍රතිජනන අගය 6-7 පමණ ඉහළ අගයක්. මෙය අප 6.5 සේ සැලකුවොත් වසංගතය පාලනය විය හැක්කේ ජනගහණයෙන් 85%ක් පමණ ප්‍රතිශක්තිය ලැබුවහොත් පමණයි. ඩෙල්ටා ප්‍රභේදයේ මූලික ප්‍රතිජනන අගය මෙසේ ඉහළ යද්දී, ඉහත කී එන්නත් දෙකෙහි ඵලදායීතාවයද ඩෙල්ටා ප්‍රභේදය හමුවේ 80% පමණ මට්ටමට අඩු වී තිබෙනවා. එයින් අදහස් වන්නේ රටේ මුළු ජනගහනයම එන්නත් කළද වෛරසය නැත්තටම නැති කළ නොහැකි බවයි.
කෙසේ වුවත්, එන්නත්කරණයෙන් වැඩක් නොවන බව මෙයින් අදහස් වෙන්නේ නැහැ. එන්නත් ලබා ගන්නා අයට දරුණු රෝග ලක්ෂණ පහළ වන්නේ අඩුවෙන්. මිය යාමේ අවදානමද බොහෝ අඩුයි. හැබැයි මේ අවදානම් නැති වන්නේ නැහැ.
එන්නත් වල ඵලදායීතාවය කාලයත් සමඟද අඩුවෙනවා. ආරම්භයේදී 95%ක ඵලදයීතාවයක් ඇති මොඩර්නා සහ පයිසර්-බයෝඑන්ටෙක් වැනි එන්නතක ඵලදායීතාවය මාස අටක් යද්දී 77% පමණ මට්ටමකට අඩු වෙනවා. ආරම්භයේදී 70%ක ඵලදයීතාවයක් ඇති එන්නතක ඵලදායීතාවය මාස අටක් යද්දී 33% පමණ මට්ටමකට අඩු වෙනවා. ඒ වගේම, කෝවිඩ් ආසාදනය වීම නිසා ලැබෙන ප්‍රතිශක්තියද දිගටම පවතින්නක් නෙමෙයි.
දැනට තිබෙන වඩාත්ම ඵලදායී එන්නත් රටේ මුළු ජනගහනයටම ලබා දුන්නත් වසංගතය මුළුමනින්ම දුරු කළ නොහැකි තත්ත්වයක් යටතේ, සාපේක්ෂව අඩු ඵලදායී එන්නත් භාවිතා කළ ලංකාව වැනි රටක එන්නත්කරන වැඩ සටහන කෙතරම් සාර්ථක වුවත් ඒ හරහා වෛරසය රටින් තුරන් කිරීම නොකළ හැකි තරම් අසීරු ඉලක්කයක්.
මා ඉහත සඳහන් කළ මූලික ප්‍රතිජනන අගයයන් ඇස්තමේන්තු කර තිබෙන්නේ ලංකාව පාදක කරගෙන නෙමෙයි. දේශගුණික, සමාජයීය, සංස්කෘතික කරුණුද මේ අගය කෙරෙහි බලපානවා. කවර හෝ හේතු නිසා ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ වෛරසය පැතුරුණේ තරමක් අඩු වේගයකින්. පසුගිය දත්ත දෙස බැලුවොත්, දින 12ක පමණ කාලයක් තුළ ලංකාවේ දෛනික කෝවිඩ් මරණ ප්‍රමාණය දෙගුණ වී තිබෙන බව පේනවා. මේ ප්‍රවණතාවය අනුව, රට වසා නොදැමුවේනම්, මාසය අවසාන වෙද්දී ලංකාවේ දෛනිකව වාර්තා වන කෝවිඩ් මරණ ප්‍රමාණය 400ක් පමණ විය යුතු බව පැහැදිලියි.
රට වසා දැමූ විට, එම කාලය තුළ, වෛරසය පැතිරීම මන්දගාමී වෙනවා. එහෙත්, රට නැවත විවෘත කළ පසු නැවත පෙර මෙන්ම වෛරසය ව්‍යාප්ත වෙනවා. රට තුළ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂ දෙකක් පමණ සිටින පසුබිමක මාස ගණනක් රට වසා තැබුවත් එම කාලය තුළ වෛරසයේ පැතිරීම මන්දගාමී වනවා මිස වෛරසය තුරන් වන්නේ නැහැ. විවෘත කළ දින සිට නැවත ආසාදිතයන් හා මරණ ඉහළ යන්න පටන් ගන්නවා. පවතින තත්ත්වය යටතේ රට වසා තබා තැබීමෙන් ලැබෙන වාසිය වෙනත් කෝවිඩ් මර්දන කටයුත්තක් වෙනුවෙන් යම් කාලයක් ලැබෙන එක පමණයි. ඒ වෙනත්, දේවල් නිසා මිස රට වසා තැබීම නිසාම ජීවිත සැලකිය යුතු තරමකින් සුරැකෙන්නේ නැහැ.
රට වසා දමන දින දක්වා දත්ත අනුව, දින 12ක පමණ කාලයක් තුළ ලංකාවේ දෛනික කෝවිඩ් මරණ ප්‍රමාණය දෙගුණ වී තිබෙන බව පේන බව මම කිවුවනේ. වෛරසය පැතිරුනේද මේ වේගයෙන් කියා අප උපකල්පනය කරමු. කෝවිඩ් ආසාදිතයෙකු විසින් වෛරසය පතුරුවන සාමාන්‍ය කාලය දින 12කට වඩා අඩු නිසා, මෙයින් අදහස් වන්නේ රට වහන අවස්ථාවේදී පැවති ඵලදායී ප්‍රතිජනන අගය 2.0ට වඩා අඩු වූ බවයි. ඒ වන විටද ලංකාවේ බොහෝ දෙනෙකු මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, නිවෙස් වලට වී සිටීම ආදී ක්‍රම වලින් පරිස්සම් වී සිටි නිසාත්, ලංකාවේ මහා පරිමාණ පුද්ගල එක්රැස්වීම් බොහොමයක් සිදු වුනේ එළිමහනේ නිසාත් මෙය මෙසේ විය හැකියි.
දැන් මේ 2.0ට අඩු, අපි හරියටම නොදන්නා, ඵලදායී ප්‍රතිජනන අගය පවතිද්දී, රට වසා නොදැමුවේනම්, දින 12කදී ලංකාවේ කොවිඩ් මරණ ප්‍රමාණය දෙගුණ වෙනවා. ඒ කියන්නේ, තව දින 12කට පසුව දෛනික මරණ ප්‍රමාණය 400ක්ද, දින 24කට පසුව 800ක්ද වෙනවා කියන එකයි. ආසාදිතයින් වැඩි වෙද්දී ඵලදායී ප්‍රතිජනන අගයද ක්‍රමයෙන් පහළ බහින නිසා මේ ගණනය කිරීම දිගින් දිගටම කරගෙන යාම නිවැරදි නැහැ. දැනට අපි මේ ගණන් වෙත පමණක් අවධානය යොමු කරමු.
රට වසා දැමීම නිසා ඵලදායී ප්‍රතිජනන අගය පහළ යනවා. මේ අගය බාගයකින් අඩු වුනොත්, දින 12කට පසුව දෛනික මරණ ප්‍රමාණය දැන් මට්ටමේම, ඒ කියන්නේ 200 මට්ටමේ, නවතිනවා. එය 400ක් වෙන්නේ නැහැ. නමුත් රට ඇරියාට පසුව දින 12කින් එය 400 දක්වාත්, දින 24කින් 800 දක්වාත් ඉහළ යනවා. අවසාන වශයෙන් වෙන්නේ දින 12ක කාලපමාවකින් පසුව කලින් වෙන්න තිබුණු දේම වෙන එකයි. ඒ කියන්නේ, කෝවිඩ් නිසා මිය යන අයට ජීවත් වෙන්න දින 12ක අමතර කාලයක් ලැබෙනවා.
රට වසා දැමීම නිසා ඵලදායී ප්‍රතිජනන අගය බාගයකින් අඩුවෙනවා කියන එක මෙය පැහැදිලි කිරීම සඳහා කළ උපකල්පනයක් පමණයි. අපි මේ අගය හතරෙන් එකක් දක්වා අඩු වෙනවා කියා හිතුවොත් දින 12කට පසුව දෛනික මරණ ප්‍රමාණය 100 දක්වා අඩු වෙනවා. ඉන් පසුව, දින 12කින් නැවත 200දක්වා වැඩි වී එතැන් සිට කලින් වෙන්න තිබුණු දේම වෙනවා. කෝවිඩ් නිසා මිය යන අයට ජීවත් වෙන්න දින 24ක අමතර කාලයක් ලැබෙනවා. ප්‍රතිජනන අගය අටෙන් එකක් දක්වා අඩු වුනොත් ඔය දින ගණන දින 36ක් දක්වා ඉහළ යනවා. රට වැහුවා කියලා ඵලදායී ප්‍රතිජනන අගය ඊටත් වඩා අඩුවෙයි කියා හිතන්න අමාරුයි.
මේ හේතුව නිසා රට වැහීමෙන් වැඩක් වෙන්නේ නැහැ කියා අදහස් වෙන්නේ නැහැ. මරණ වැළැක්වීම කියා කතාවට කිවුවත් රට වහලා මරණ වලක්වන්න බැහැ. කෝවිඩ් තිබුණත් නැතත් මිනිස්සු කවදා හරි මැරෙනවා. කෝවිඩ් නොතිබුණානම් අවුරුදු 75ක් ජීවත් විය හැකිව තිබුණු කෙනෙක් කෝවිඩ් නිසා වයස අවුරුදු 60දී මිය යනවා කියමු. මොන අයුරකින් හෝ මේ මරණය වැළකෙනවා කියන්නේ එම පුද්ගලයාට ජීවත් වෙන්න තවත් වසර 15ක කාලයක් ලැබෙනවා කියන එකයි. ඒ අනුව, එම මරණය වැලකීම හා කෝවිඩ් නිසා මිය යන හැමෝටම ජීවත්වීම සඳහා අමතර දින ගණනක් ලැබෙනවා කියන කරුණු දෙකෙන් අදහස් වන දේවල් ගොඩක් වෙනස් නැහැ.
අපි හිතමු කෝවිඩ් හේතුවෙන් ලංකාවේ තවත් මරණ 15,000ක් සිදු විය හැකියි කියා. මේ හැම කෙනෙකුටම ජීවත් වෙන්න දින 12ක කාලයක් ලැබෙනවා කියන්නේ ජීවිත-අවුරුදු 500ක් ඉතිරි වුනා කියන එකයි. දින 24ක් ලැබුණොත් ජීවිත-අවුරුදු 1000ක්. ලාංකිකයෙකුගේ සාමාන්‍ය වයස අවුරුදු 35ක් ලෙසත්, අපේක්ෂිත ආයු කාලය අවුරුදු 75ක් ලෙසත් ගත්තොත් මෙය සමාන කළ හැක්කේ ජීවිත 25ක් බේරෙන ඒකටයි. එක් අයෙකු අවුරුදු 40ක් වැඩියෙන් ජීවත් වුනොත් 25 දෙනෙකුගෙන් ජීවිත අවුරුදු 1000ක් හැදෙනවනේ. පවතින තත්ත්වය යටතේ දින 12ක් රට වැහුවොත් ලැබෙන්නේ ඔය වගේ වාසියක් පමණයි.
මතක තියාගන්න අපි මේ ඇස්තමේන්තුව කළේ දින දහයක් රට වැසීමේ ප්‍රතිඵලයක් ලෙස ඵලදායී ප්‍රතිජනන අගය පැවති මට්ටමෙන් 25% මට්ටමට අඩු වී, ඒ හරහා, රට වසා දින 12කට පසුව (ඒ කියන්නේ රට නැවත විවෘත කර දින 2කට පසු) දෛනික කෝවිඩ් මරණ ප්‍රමාණය දැන් තිබෙන 200 මට්ටමේ සිට 100 මට්ටම දක්වා අඩු වෙයි කියන උපකල්පනය යටතේ. බොහෝ විට රට වැසීමේ බලපෑම ඊට වඩා අඩු විය හැකියි.
හැබැයි මේ විදිහට රට වසා තිබෙන දින 12 තුළ රටේ කළ හැකි අනෙකුත් වෙනස්කම් නිසා මීට වඩා විශාල වාසියක් ලැබෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇමරිකාව මුලින්ම රට වසා දැම්මේ රටේ සෞඛ්‍ය පද්ධතිය පුළුල් කිරීම සඳහා කාලය ලබා ගන්න. ඒ කාලය තුළ මෝටර් රථ හදන කර්මාන්ත ශාලා වෙන්ටිලේටර් හදන්න පටන් ගත්තා. පසුව ලංකාව ඇතුළු රටවලට ඇමරිකාව බෙදා දුන්නේ මේ වෙන්ටිලේටර්. රටේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව වැඩි කිරීම සඳහා තවත් බොහෝ දේවල් කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස, කෝවිඩ් නිසා සිදුවන මරණ අඩු නොවුණත්, කෝවිඩ් සඳහා ප්‍රතිකාර නොලැබීමෙන් සිදුවිය හැකිව තිබුණු මරණ වලක්වා ගත හැකි වුනා.
රට වසා තැබීමෙන් ලංකාවට ලැබෙන ප්‍රධානම වාසිය එම කාලය තුළ සැලකිය යුතු පිරිසකට එන්නත් මාත්‍රා සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබීමයි. රජයේ සංඛ්‍යාලේඛණ අනුව මේ වන විට ලංකාවේ වයස අවුරුදු 30 ඉක්මවූ හැමෝටම වගේ එන්නතේ එක් මාත්‍රාවක් ලබා දීලා. රට වසා තැබෙන කාලය තුළ එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන නොමැති අයට කඩිනමින් එම මාත්‍රාව ලබා දීමට නියමිතයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස රට නැවත විවෘත කිරීමෙන් පසුව වෛරසයේ ව්‍යාප්තිය යම් තරමකින් අඩු වීමට නියමිත නමුත් එයින් සිදු වනු ඇත්තේ වෛරසය ආසාදනය වීම මන්දගාමී වීම පමණයි.
එන්නත් මාත්‍රා සම්පූර්ණ කළ අයෙකු ආසාදිතයෙකු වුවත් මිය යාමට තිබෙන සම්භාවිතාව අඩු වෙනවා. ඒ නිසා, රට වැසීමෙන් සැලකිය යුතු ජීවිත ප්‍රමාණයක් බේරෙන්න පුළුවන්. උපකල්පන මත පදනම්ව මෙසේ බේරෙන ජීවිත ප්‍රමාණයද ඇස්තමේන්තු කළ හැකියි.
රට වහන අවස්ථාව වෙද්දීත් වයස අවුරුදු 30 ඉක්මවූ අය 100%කටම වගේ එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී අවසන් බව කියනවනේ. එහෙත් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී තිබෙන්නේ ඒ අයගෙන් බාගයකට වඩා අඩු පිරිසකටයි. රට වසා ඇති කාලය තුළ දෙවන මාත්‍රාව ලබා දී නැති අයටද දෙවන මාත්‍රාව ලබා දීම සැලසුමයි.
රට වැහුවා කියා එන්නත් මාත්‍රා දෙකම දැනටමත් ලබාගෙන තිබෙන අය මුහුණ දෙන අවදානමේ කලින්ම ගණන් හැදූ වෙනසට අමතර වෙනත් වෙනසක් වෙන්නේ නැහැ. එහෙත්, එක් මාත්‍රාවක් පමණක් ලබා සිටි අය මුහුණ දෙන අවදානමේ වැඩිපුර අඩුවීමක් වෙනවා.
එන්නතේ දෙවන මාත්‍රාව ලබා නැති අයට දෙවන මාත්‍රාව දෙන්න රට වහන්න අවශ්‍ය නැහැ. එය කොහොමටත් කළ හැකි දෙයක්. ඒ නිසා, දෙවන මාත්‍රාව ලබා දීම නිසාම සිදුවන අවදානම අඩු වීම රට වැසීමේ ප්‍රතිඵලයක් නෙමෙයි. රට වැසීමේ ප්‍රතිඵලයක් ලෙස මේ කණ්ඩායමට වාසියක් ලැබෙන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ යන කාලය අතරතුර වෛරසය අසාදනය වීමේ අවදානම අඩු වීම නිසයි. ඒ කියන්නේ රට වැසීමේ හා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමේ සම්ප්‍රයුක්ත වාසිය.
එන්නතක පළමු මාත්‍රාව පමණක් ගත් කණ්ඩායමේ අයට ඩෙල්ටා ප්‍රභේදය හමුවේ වෛරසය ආසාදනය වී රෝහල්ගත වන්නට සිදු වීමට එරෙහිව 50%ක පමණ ආරක්ෂාවක් තිබෙන බවත්, එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත් විට මේ අවදානම 75% පමණ දක්වා අඩු වන බවත් උපකල්පනය කරමු. මේ අනුව, අවදානමෙහි 25%ක පමණ අඩුවක් සිදු වෙනවා. මෙය එතරම්ම විශ්වාසනීය ඇස්තමේන්තුවක් නෙමෙයි. එහෙත්, මේ අවදානම් වඩා නිවැරදිව ඇස්තමේන්තු කිරීම අපහසු වැඩක්. රට වසා තබන දින 10ක කාලය තුළ ප්‍රතිශක්තිය වර්ධනය වීම නිසා රෝහල්ගත වීමේ අවදානම අඩුවීම මීට වඩා ගොඩක් වැඩියි කියා හිතන්න අමාරුයි.
මේ වාසිය ලබන පිරිස මිලියන 6.5 ක පමණ, එනම් රටේ ජනගහණයෙන් 30%ක පමණ, පිරිසක්. ඒ කියන්නේ රටේ ජනගහනයෙන් 30%කගේ කෝවිඩ් හැදී රෝහල්ගත වන්නට සිදු වීමේ අවදානම මේ කාලය තුළ 25%කින් අඩු වෙනවා කියන එකයි. එනම්, සමස්තයක් ලෙස ලංකාවේ වැසියෙකුට කෝවිඩ් හැදී රෝහල්ගත වන්නට සිදු වීමේ අවදානම 7.5%කින් පමණ අඩුවීමක්.
දැනට රටේ සිටින රෝහල්ගත විය යුතු මට්ටමේ කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය 40,000ක් පමණ බවත්, රට නොවැසුවේනම් මෙම ප්‍රමාණය දින 12කින් තවත් 40,000කින් වැඩි විය හැකිව තිබුණු බවත්, රට වැසීම නිසා එම ප්‍රමාණය 10,000 දක්වා අඩු වන බවත් උපකල්පනය කරමු. මේ අනුව, රට වැසීම හේතුවෙන් 30,000ක පමණ පිරිසකගේ කෝවිඩ් හැදී රෝහල්ගත වන්නට සිදු වීමේ අවදානම 7.5%කින් අඩු වෙනවා.මෙය කෝවිඩ් හේතුවෙන් රෝහල්ගත වීම් ප්‍රමාණය 2,250කින් පමණ අඩුවීමක්. රෝහල්ගත වන අයගෙන් 5%ක් මිය යන සේ සැලකුවොත් කෝවිඩ් මරණ ප්‍රමාණය 225කින් පමණ අඩු වීමක්. ඉහතින් ගණන් හැදූ මරණ 25ද සමඟ දැන් එකතුව රට වැසීම නිසා නොසිදුවන මරණ 250ක්.
මේ වෙද්දීත් ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය එහි ධාරිතාව ඉක්මවා ඇති බව පැහැදිලියි. ඒ නිසා, වෛරසය පැතිරීම මන්දගාමී කර ගැනීමෙන් වලක්වා ගත හැකි කෝවිඩ් මරණ වලට අමතරව, අවශ්‍ය ප්‍රතිකාර නොමැති කමින් සිදු විය හැකි මරණ යම් ප්‍රමාණයක්ද වලක්වා ගත හැකියි. මේ ප්‍රමාණය ඉහත ඇස්තමේන්තුවෙන් 20%ක් පමණ සේ සැලකුවොත් ඒ හරහා වැළකෙන මරණ ප්‍රමාණය 50ක් පමණ වෙනවා. එම මරණ ප්‍රමාණයද අනුව දින දහයක් රට වැසීමේ ප්‍රතිඵලයක් ලෙස ඉතිරි වන ජීවිත ප්‍රමාණය 300ක් පමණ.
කෙසේ වුවත් ඉහත ප්‍රමාණයෙන් රට වැසීම නිසාම ඉතිරි වන ජීවිත ප්‍රමාණය 25ක් පමණයි. ඉතිරි ජීවිත බේරෙන්නේ හරියටම මේ අවස්ථාවේදීම රට වැසීම හා රට වසා තිබෙන කාලය තුළ එන්නත් මාත්‍රා ලබා දීම සම්පූර්ණ කිරීම නිසා. දෙවනු කී වාසි එකවර ලැබෙන වාසියක් මිස රට වසා තැබීමෙන් දිගින් දිගටම ලැබෙන වාසි නෙමෙයි. ඒ වගේම මේ ගණනය කිරීම් කළේ රට වැසීමෙන් ඵලදායී ප්‍රතිජනන අගය 75%කින් අඩු වුවහොත් යන පදනම මතයි. බොහෝ විට එය එසේ නොවිය හැකියි. මෙය දින දහයකට පසු පරීක්ෂා කර බැලිය හැකි දෙයක්.
යම් ජීවිත ප්‍රමාණයක් බේරෙන නමුත් දැන් පවතින තත්ත්වය අනුව රට වැහුවා කියා ලංකාවේ කෝවිඩ් පැතිරෙන එක නවත්වන්නනම් බැහැ. රට වසා ඇති කාලය තුළ යම් පාලනය වීමක් සිදු වුවත් රට නැවත විවෘත කළ තැන් පටන් නැවතත් වෛරසය පැතිරීම නොවැලැක්විය හැකි දෙයක්. වේගවත් එන්නත්කරනය මගින් වුවද කළ හැක්කේ හානි අවම කිරීමක් පමණයි.
කතාව ඇත්ත තමයි ඉතින් ඒත් ලංකාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු සහ වෘත්තීය සමිති රජයට බල කරන්නේ රට මාස හයක් පමණ වසා දමා මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි බව. විශේෂයෙන්ම හෙද නිලධාරී සංගමයේ නායක සමන් රත්නප්‍රිය කියන්නේ පී සී ආර් ප්‍රමාණය අවම වශයෙන් දිනකට ලක්ෂයක් වත් බැගින් දිනපතා පී සී ආර් කර රෝගීන් සියල්ලම රැගෙන ඇවිත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල නවතා බෙහෙත් කර මේක පාලනය කළ හැකි බව.
ReplyDeleteඒ වගේම මේක ගැන හිතන්නේ මොකද කියල කියන්න පුළුවන් ද?
//ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රැපිඩ් ඇන්ටිජන් කට්ටලය රුපියල් 80 කට ලබා ගත හැකි බව පවසමින් whatsapp හරහා වේගයෙන් පුවතක් සංසරණය වීම නිසාවෙන් එහි සත්‍ය අසත්‍යතාවය සෙවීමට Fact Check කණ්ඩායම තීරණය කරන ලදී.
සමාජ මාධ්‍ය සටහන්.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රැපිඩ් ඇන්ටිජන් කට්ටලය රුපියල් 80ක් බවත්, අවම ඇනවුම් ප්‍රමාණය කට්ටල 5 ක් බවත්, දිවයින පුරා ප්‍රවාහන ගාස්තු රුපියල් 100 බව හැගවෙමින් Whatsapp හා Facebook හරහා පුවතක් සංසරණය වේ. සම්බන්ද කර ගත හැකි දුරකථන අංකයක් වසන්ත නමින් තව දුරටත් සදහන් විය.
Fact Check (තොරතුරු විමර්ශනය)
මෙහි ඇති දුරකථන අංකය ජනතා විමුක්ති පෙරමුණු සාමාජික වසන්ත සමරසිංහ මහතාගේ දුරකථන අංකය බැවින් Fact Research කණ්ඩායම ඔහුව සම්බන්ද කර ගැනීමට උත්සහ කලත්, ඔහුගේ දුරකථනය කාර්යබහුල විය.
එබැවින් අනුර කුමාර දිසානායක මහතාගෙන් විමසීමක් කළ අතර මෙය අසත්‍ය ප්‍රකාශයක් බවත්, වසන්ත සමරසිංහ මහතා අපහසුතාවයට පත් කිරීම උදෙසා වෙනත් තරගකාරී දේශපාලන ව්‍යාපාරවල කණ්ඩායම් විසින් කරන ලද උත්සහයක් බව තහවුරු කරන ලදී.
නිගමනය
ජනතා ව්මික්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඔහුගේ දුරකථන අංකය සදහන් කරමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත රැපිඩ් ඇන්ටිජන් කට්ටලය රුපියල් 80 කට මිලට ගත හැකි බව පවසමින් හුවමාරුවන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් වේ.//
මේ වගේ පච ප්‍රචාරයන් පාලනය කිරීමට ඇමරිකාව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවාද?
මෙය හිතාමතා පතුරුවන බොරුවක් බව පැහැදිලිනේ. ඇමරිකාවේ කෝවිඩ් පරීක්ෂාවන් ඕනෑම කෙනෙකුට නොමිලේ කර ගත හැකි නිසා ඒ සම්බන්ධවනම් මෙවැනි ගැටලුවක් ඇති වන්නේ නැහැ. පොදුවේ මෙවැනි දේ පිළිබඳ සවිඥානිකත්වයක් මිනිසුන්ට තිබිය යුතුයි. ඇමරිකානුවන්ට සාමාන්‍යයෙන් ඒ සවිඥානිකත්වය තිබෙනවා. ධනවාදී සමාජයක විවිධ සැපයුම්කරුවන් විසින් විකුණන සමාන භාණ්ඩයක මිල විශාල ලෙස විචලනය වෙන්න විදිහක් නැහැ. යමක මිල වෙළඳපොල මිලට වඩා බොහෝ අඩුනම් එහි සැඟවුණු යමක් ඇති බවට සැකයක් වහාම පහළ වෙනවා. වැඩි උදවුවට factcheck වැනි දේවල්ද තිබෙනවා. ඒ වගේම මෙවැනි පුවතකින් අගතියට පත් අයෙකුට ඒ ගැන නීති මාර්ගයෙන් කටයුතු කළ හැකියි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඉකොනොමැට්ටා මේ කෙටි වීඩියෝ එක බලන්න, මේකේ කියන දේවල් ඇත්ත ද ලංකාවේ ආර්ථිකය සහ අධ්‍යාපනය ගැන?
ReplyDeletehttps://youtu.be/182d-vMkZv4
මේකත් ලංකාවේ දූෂිත ඒකාධිපති ඇමරිකානු පුරවැසියන් දෙන්නෙක් ඇතුළු රාජපක්ෂ කල්ලියේ පවුල් පාලන ආණ්ඩුව විසින් සැලසුම් සහගතව ලංකාවේ ජන මනස විකෘති කොට ජනතාව රවටා පාලනය ගෙන යාමට කරන කුමන්ත්‍රණයක් විය හැකි නිසා මේ කාරණා ගැන ඔබ වැනි ආර්ථික විද්‍යාව ගැන දන්න කෙනෙක් ගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි මේ ගැන?
නිර්මාල්ගෙ විග්‍රහය ගැන මොකද කියන්නෙ. ලන්කාවෙ ආර්තික අර්බුදේ ගැන
ReplyDeleteඑහෙම එකක් දැක්කේ නැහැ. ලින්ක් එකක් දමන්න පුළුවන්ද?
Delete//ලංකාවේ ආර්ථික අර්බුදය!!!
ReplyDeleteවිශේෂඥ නොවන අදහස් දැක්වීමක්
===================
මම ආර්ථික විද්‍යාව දන්නේ නැත. නමුත් දේශපාලන අර්ථ ශාස්ත්‍රයටට අදාළ වාද විෂය පිළිබඳ තරමක උනන්දුවක් ඇත. ඒ නිසා ලංකාව වර්තමානය මුහුණ දී ඇති ආර්ථික ගැටලුව ගැනත් උනන්දුවක් ඇත. මගේ ආර්ථික විද්‍යා දැනුමේ ඇති සීමිතභාවය නිසාදෝ මට නම් තේරෙන්නේ මේ අර්බුදය ඉතාම සරළ සහ ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි හේතු නිසා ඇති වූ බවකි.
ඒ නිසා මේ සටහනේ අඩංගු වන්නේ ඒ පිළිබඳ අසම්පූර්ණ කරුණු දැක්වීමකි.
මෙහි පසුබිම මදක් සලකා බලමු. ලංකාව 1948 නිදහස ලබන විට ලංකාව ආර්ථික වශයෙන් තරමක් ස්ථාවර තත්වයක පැවැති බව ප්‍රකට කරුණකි. විදේශ සංචිත ප්‍රමාණය ද යටපත් තත්වයක තිබී ඇත. නමුත් ව්‍යුහාත්මක වශයෙන් ගත් කල ලංකාව පැවැතියේ කල්පවත්නා ස්ථාවර තත්වයක් යටතේ නොව. ඊට බලපෑ හේතු කීපයක් තිබුණි.
ප්‍රධාන හේතුව ප්‍රජාතන්ත්‍රවාදයයි. එනම් එකල ප්‍රකට ලෙස පිළිගැනී තිබූ ආකාරයට ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තුන්වන ලෝකයේ ආදර්ශයක් ලෙස සැලකිණි. ප්‍රජාතන්ත්‍රවාදයේ එක් වැදගත් ලක්ෂණයක් වන්නේ මහජනයාට ප්‍රසිද්ධියේ තමන්ගේ අභිලාෂ ප්‍රකාශයට පත් කිරීමටත්, තමන්ගේ අභිලාෂවලට ගැලපෙන ආණ්ඩු පත් කරගැනීමටත් හැකියාව ලැබීමයි. මේ නිසා ආණ්ඩු බලය අපේක්ෂා කරන පිරිස්වලට නිතරම පොදු ජනයාගේ අභිලාෂ කෙරේ සංවේදී වීමට සිදුවේ.
මේ තත්වයේ ප්‍රතිඵල දෙකක් ඇති විය. එකක් නම් පොදු ජනයාගේ ජීවන අපේක්ෂාවන් අතිශයින් ඉහළ යාමයි. පූර්ව-ප්‍රජාතන්ත්‍රවාදී තත්වයන් තුළ පොදු ජනයාට ඉහළ ජීවන අපේක්ෂාවන් ඇති කර ගැනීමට අවශ්‍ය සංදර්භයක් තිබුණේ නැත. තමාට ස්ථාපිත සමාජ ධූරාවලියෙන් නියම වී ඇති තත්වයෙන් ඉහළට යාමට යථාර්ථවාදී හැකියාවක් නැති බවට පොදු ජනයා අතර අවබෝධයක් තිබූ බැවින් එසේ සමාජයේ ඉහළට යාම අරමුණු කරගත් සමාජ පරිකල්පනයක් ඇති වුනේ නැත. මේ තත්වය නූතනත්වය ලංකාවට පැමිණිමත් සමඟ වෙනස් විය. පූර්ව නූතන ධූරාවලිය ප්‍රතික්ෂේප කෙරිණි. එම ධූරාවලියට බැඳී සිටීමට තව දුරටත් පොදු ජනයාට අවශ්‍යතාවයක් නොවීය. මේ නිසා සමාජය තුළ ක්‍රමාණුකූල ලෙස ඉහළ ජීවන අපේක්ෂා ඇති කරගැනීමේ තත්වයක් ක්‍රමාණු කූලව ඇති විය. බහුජන අධ්‍යාපනයේ ව්‍යාප්තිය, පසුව එය නිදහස් අධ්‍යාපනය දක්වා වර්ධනය වීම, ඡන්ද බලය පුළුල් වී සර්වජන ඡන්ද බලය ඇති වීම වැනි වර්ධනයන් නිසා ජනයාගේ අපේක්ෂාවන්හී මට්ටම ඉහළ ගියේය.
දෙවෙනි ප්‍රතිඵලය වූයේ රාජ්‍යය සුභසාධනය ඉහළ යාමයි. පළමුව කී සාධකය නිසා මේ දෙවෙනි සාධකය තවත් ශක්තිමත් විය. මක්නිසාද යත් ඉහළ බලාපොරොත්තු සහිත ජනකායක්ගේ සුභසාධන අපේක්ෂා ඉටු කිරීම පහළ බලාපොරොත්තු සහිත් ජනකායකගේ සුභසාධන අපේක්ෂා ඉටුකිරීමට වඩා අසීරු බැවිනි. එනම් සුභසාධන කටයුතු තව තවත් ඉහළ දැමිය යුතු විය. අධ්‍යාපනය හුදෙක් ප්‍රාථමික හා ද්වීතියික මට්ටමේ සාමාන්‍ය අධ්‍යාපනයක් දීම ප්‍රමාණවත් නොවීය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය වැනි දේ ද, හොඳ මට්ටමමේ පාසැල් ද අවශ්‍ය විය. සෞඛ්‍ය වැනි සුභසාධන සේවා සම්බන්ධ තත්වයද එසේ විය. මේවා ගැන සැලකිලිමත් නොවී ජනතා ආකර්ශනය ලබාගැනීමට දේශපාලන පක්ෂවලට හැකියාව ලැබුණේ නැත. 1947 දී ඡන්දයෙන් ජයගත් එක්සත් ජාතික පක්ෂය මහජනයා ආකර්ශනය කරගත්තේ සම්ප්‍රදායික සමාජ ධූරාවලිය තුළ ප්‍රභූන් වෙත සාමාන්‍ය ජනයාගේ පැවැති පක්ෂපාතිත්තවය භාවිත කරමිනි. ඒ නිසා ඒ අයට මහජනයා වෙතින් එහෙමටම පීඩනයක් තිබුනේ නැත. නමුත් සමසමාජ පක්ෂයේ වර්ධනය නිසා මේ තත්වය වෙනස් විය. සමසමාජ පක්ෂය ජනතාවට තමන්ගේ බලාපොරොත්තු ඉහළ දමාගැනීමට ඇති හැකියාව පෙන්වා දුන්නේය. ඒ අයගේ බලාපොරොත්තු ඉහළ දැමීය.
Deleteඒ සඳහා සාමූහිකව සංවිධානය වීමට ජනයා පෙළඹවීය. මේ නිසා දේශපාලනයේ වෙනසක් ඇති විය. 1956 මැතිවරණයෙන් එය ප්‍රකාශයට පත්විය. ඉන්පසු එක්සත් ජාතික පක්ෂයත් වෙනස් විය. එක්සත් ජාතික පක්ෂයත් නවීන පොදුජන පක්ෂයක් බවට පත්විය. මේ තත්වය නිසා තරඟකාරී ලෙස පොදුජනයාගේ අපේක්ෂා ඉහළ නංවන දේශපාලන පක්ෂ කීපයක් ඇති වී ඒවා අතර තියුණු තරඟයක් ඇති විය. එහි ප්‍රතිඵලය වූයේ ජනතාවගේ අපේක්ෂා තව තවත් ඉහළ යාමයි.
Deleteනිදහස ලබන කාලයේ දී ඇති වෙමින් තිබූ තවත් වර්ධනයක් වන්නේ ශිඝ්‍ර ජනගහන වර්ධනයයි. නිදහස ලබන අවස්ථාවේ තිබූ මිලියන 6ක් වූ ජනගහනය 1971 වනවිට දෙගුණ වී මිලියන 12ක් ඉක්මවා ගොස් තුබුණි. දැන් එය 71 මට්ටමිනුත් දෙගුණ වෙන මට්ටමකට ආසන්න වී තිබේ. මෙම ජනගහනය 1948 පෙර පැවැති ජනගහනයට වඩා ගුණාත්මක වශයෙන් ද වෙනස් ජනගහනයක් විය. බලාපොරොත්තු අතින් විශාල විය. ඒ නිසා ඒ ජනගහනයේ අවශ්‍යතා තෘප්ත කිරීම පහසු නොවීය.
ReplyDeleteමේ තත්වය තුළ පැවැති උභතෝකෝටිකය වූයේ 1948 දී රට ආර්ථික වශයෙන් හොඳ තත්වයක තිබුණත් ඉක්මනින් ඒ තත්වය වෙනස් වී භයානක අර්බුදයකට මුහුණ දීමේ ලකුණු ඒ වන විටත් පැහැදිළිවම පැවැතීමයි. එනම් එකල තිබූ ආර්ථික සමෘද්ධිය එකල තිබූ සංඛ්‍යාත්මක වශයෙන් කුඩා අපේක්ෂා අතින් පහළ ජනගහනයකට ප්‍රමාණයත් වුවද දිගු කාලීනය ස්ථිරසාර එකක් වූයේ නැත.
එකල සිටි දේශපාලන නායකයෝ මෙන්ම ආර්ථික විශේෂඥයෝ ද මේ පිළිබඳව හොඳ අවබෝධයකින් සිටියහ. ඒ අය ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ ගැඹුරින් සිතා බැලූහ.ඒ තුළ ආර්ථිකය ගුණාත්මක වශයෙන් නැංවීම පිළිබඳ උපාය මාර්ග කීපයක් ඉදිරිපත් විය. සාමාන්‍ය යෙන් එක්සත් ජාතික පක්ෂය මුල දී කැමැත්තක් දැක් වූ ආර්ථික උපාය මාර්ගය වූයේ පැවැති යටත්විජිත ආර්ථික ක්‍රමයේ මූලික ව්‍යුහය ඒ ආකාරයෙන්ම තබා ගනිමින් ගැමි කෘෂිකර්මය තව දුරටත් වර්ධනය කිරීමට කටයුතු කිරීමයි. ඔවුන් විශේෂ අවධානයක් යොමුකරනු ලැබුවේ වියලි කලාපයේ වාර්මාර්ග පහසුකම් වැඩිදියුණු කොට ඒ ප්‍රදේශවල මානව ජනාවාස වලට උචිත තත්වයක් ඇති කොට බස්නාහිර දකුණු කලාපයේ සිටි වැඩිවන අතිරික්ත ජනගහනය ඒ ප්‍රදේශවල අලුතින් ඇති කරන ගොවි ජනපද වෙත යැවීමයි. ඒ මගින් ආර්ථික අරමුණක් වගේම එක්සත් ජාතික පක්ෂයට සහය දුන් ඉඩම් හිමි පංතියේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරගැනීමටද අපේක්ෂා කරන ලදි.
ඒ මන් ද යත් මේ ප්‍රදේශවල ග්‍රාමීය ජනගහනය වැඩි වෙන්නට ඉඩ ඇරියොත් ඒ අය අතරින් ඉඩම් සඳහා ඇති වන ඉල්ලුම දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වීමට ඉඩ තිබුණු නිසාය. ඇත්ත වශයෙන්ම එය එසේ වූ බව 1971 කැරැල්ල කෙරේ බලපෑ සමාජ අර්බුදයෙන් පෙනී යයි.
Deleteවාමාංශික පක්ෂ වැඩි කැමැත්තක් දැක්වූයේ කාර්මීකරණය ප්‍රවර්ධනය කිරීමටයි. මෙ ප්‍රතිපත්තිය 1956 ආණ්ඩුව කෙරේ විශේෂයෙන් බලපෑවේය. 1956 මහජන එක්සත් පෙරමුණට සහය දුන් ග්‍රාමීය මැද මට්ටමේ ඉඩම් හිමි පංතියේ අභිලාෂ සමඟ ද මේ ප්‍රවේශය ගැලපිණි.
කෙසේ වෙතත් මෙම ප්‍ර වේශ දෙක මගින්ම ලංකාවේ තීර්ණාත්මක ආර්ථික පර්වර්තනයක් කිරීමට හැකි වූයේ නැත. 1977 නව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත්වන්නේ ඒ පසුබිම තුළයි. 77 එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වූයේ ලංකාව ගෝලීය ආර්ථිකයට සම්බන්ධ කිරීම මගින් විදේශ ආයෝජන ලංකාව වෙත ඇදගෙන ශීඝ්‍ර ආර්ථික පරිවර්තනයක් කිරීමයි. එය සාක්ෂාත් කරගැනීමට දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගැනීමට ජේආර් පාලනය උත්සාහ කළත් ඒ සඳහා ගනු ලැබූ පියවර නිසාම දේශපාලන අස්ථාවර භාවය බිද වැටිණි. මේ තත්වය දීර්ඝ කාලයක් පැවැති අතර මේ ජේආර් අපේක්ෂා කළ ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය වූයේ 2009 එල්ටීටීඊ සංවිධානයේ පරාජයෙන් පසුවයි.
කෙසේ වෙතත් ඒ වන විටත් ලංකාව බරපතල ආර්ථික ගැටලුවක හිරවී සිටියේය. මේ සඳහා විශේෂයෙන් බලපෑ කරුණු කීපයක් තිබුණි. එක් අතකින් ආර්ථිකයට ඔරොත්තු නොදෙන අති විශාල රාජ්‍යය වියදමක් දැරීමට සිදු වී තිබීමයි. සුභසාධනය හා දැවැන්ත රාජ්‍ය පරිපාලන යන්ත්‍රයට අමතරව මිලිටරි වැය දැරිය හැක්කක් නොවීය. 1971 කැරැල්ලෙන් පසු වර්ධනය වූ මිලිටරි වියදම් ඉහළ යාම ලංකාවේ හසුවූ දැවැන්ත ආර්ථික උගුලක් විය. මේ මිලිටරි යන්ත්‍රය දේශපාලන වශයෙන් මෙන්ම සමාජයීය හා දෘෂ්ටිවාදීමය වශයෙන්ද වැදගත් කාර්යයක් ඉටුකළ නිසා 2009 යුද්ධය අවසන් වීමෙන් පසුව පවා එහි බරෙන් මිදීමය නුපුළුවන් විය. ඊට අමතරව දේශපාලන ප්‍රභූ තන්ත්‍රෙය් දැවැන්ත ප්‍රමාණාත්මක වර්ධනය හා එම ප්‍රභූ තන්ත්‍රය වියදම් අධික පරපුටු සමාජ කණ්ඩායමක් වීම අමතර වැය බරක් විය.
ඊට අමතරව 1977න් පසුව වර්ධනව වූ මධ්‍යම පංතියේ ස්වභාවයද මෙහිදී වැදගත් වේ. මේ පංතිය විදේශ විනිමය කා දමන පංතියක් විනා විදේශ විනිමය උපයන පංතියක් නොවීය. කෙසේ වෙතත් මේ පංතියේ අධි පරිභෝජනවාදී ජීවන රටාව ප්‍රවර්ධනය කිරීමෙන් ආර්ථිකයට යහපතක් වන්නේය යන අදහස පැවැතිණි. ඒ මගින් ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වන්නේය යන උපකල්පනය කෙරිණි. කෙසේ වෙතත් එය නිවැරදි උපකල්පනයක් වන්නේ මේ අදහසට පදනම් වන ආර්ථික දැක්ම මගින් අපේක්ෂා කෙරෙන ආර්ථික මාවතේ මුල් අදියරේදී පමණි. ඒ මගින් මුල් අදියරේදී අපනයන ආදායම වැඩිවන්නේ නැතිනම් මේ පංතියේ අධි පරිභෝජනය ආර්ථක බරක් වීම නොවැලැක්විය හැකිය. ඇත්ත වශයෙන්ම සිදු වූයේ එයයි.
මේ ගැටලුව ජය ගැනීමට 2009 න් පසු උපායමාර්ගික වශයෙන් අනුගමනය කෙරුණේ විශාල වශයෙන් විදේශ ණය ලබාගෙන මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමයි. මෙය අතිශය භයානක ආර්ථික සූදුවක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉක්මනින්ම ආර්ථිකයේ ව්‍යුහාත්මක පරිවර්තනයක් සිදු නොවුවහොත් එය රටට දැවැන්ත ආර්ථික බරක් වීම නොවැලැක්විය හැකිය. ඇත්ත වශයෙන්ම සිදු වූයේ ද එයයි.
2009න් පසු සිදුවූ දැවැන්ත ආයෝජන කිසිසේත්ම දිගුකාලීන වශයෙන් ඵලදායී නොවූ ඒවාය. විශාල වශයෙන් මුදල් යොදා රටපුරා මාර්ග වැඩිදියුණු කිරීම, අධිවේග මාර්ග ඉදි කිරීම හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපොල නෙළුම් කුළුණ වැනි ව්‍යාපෘති නිසා ඒවායේ ඉදිකිරීම සමයේ ආර්ථිකයේ තාවකාලික වර්ධනයක් පෙන්නුම් කෙරුණා විනා ඒවා ආර්ථිකයේ ව්‍යූහාත්මක පරිවර්තනයකට දායක වූයේ නැත.
අනුර කුමාර දිසානායකගේ “අධිවේග මාර්ග හදන්නේ ඇඹුල් තියල් ගේන්නද?” යන සුප්‍රකට ප්‍රකාශයට එවක ආණ්ඩු හිතවතුන් විහිළු කළද එය නිවැරදි ප්‍රකාශයකි.
දැන් වනවිට ඇති වී ඇති අර්බුදය දීර්ඝ කාලීන එකකි. දැනට ඇති තත්වයට අනුව මේ තත්වයේ වෙනසක් ඇති වීමය සමත් එකම ව්‍යාපෘතිය ලෙස පෙනෙන්නේ වරාය නගර ව්‍යාපෘතියයි (ඒ පිළිබද මගේ පුද්ගලික මතය මීට අදාළ නැත). එය වුවත් මේ අර්බුදයට ප්‍රමාණයත් විසදුමක්ද යන්න සැක සහිතය.//
-මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
නිර්මාල් මේ විග්‍රහය පටන් ගන්නෙම "විශේෂඥ නොවන අදහස් දැක්වීමක්", "මම ආර්ථික විද්‍යාව දන්නේ නැත", "මගේ ආර්ථික විද්‍යා දැනුමේ ඇති සීමිතභාවය" ආදී වියාචනයන් ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ඒ නිසා, මෙය කිසිසේත්ම ආර්ථික විද්‍යා විග්‍රහයක් නොවුනත්, ඒ පදනම මත වැරැද්දක් කියන්න බැහැ. බොහෝ දෙනෙක් දන්නා පරිදි නිර්මාල්ට වැඩිම විශේෂඥතාවයක් තිබෙන ක්ෂේත්‍රය ඉතිහාසයයි. එයින්ද, ලංකාවේ ඉඩම් අයිතිය ඓතිහාසිකව වෙනස් වූ ආකාරයත්, එය රටේ සමාජ ආකෘතියෙහි පරිණාමය කෙරෙහි බලපෑ ආකාරය ගැනත් ඇතැම් විට වැඩිම හැදෑරීමක් කර තිබෙන පුද්ගලයා ඔහු විය හැකියි. මෙහිදී ඔහු තමන්ට විශේෂඥතාවයක් තිබෙන දේ සමඟ ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධ කරමින් ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධව ආර්ථික නොවන විග්‍රහයක් කර තිබෙනවා. මෙය හොඳ විග්‍රහයක්. ඒ වගේම ආර්ථික අර්බුදය සම්බන්ධව මෙවැනි ආර්ථික නොවන විශ්ලේෂණ සිදුවීමත් හොඳ දෙයක්.
Delete"මට නම් තේරෙන්නේ මේ අර්බුදය ඉතාම සරළ සහ ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි හේතු නිසා ඇති වූ බවකි." කියන එකත් තාක්ෂණිකව නිවැරදි විය හැකියි. නිවුටන්ගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටුනේ ඇයි කියන ගැටලුවට පිළිතුරක් ලෙස "නිවුටන් ඇපල් ගහ යට හිටපු නිසා" කියා කවුරු හෝ කිවුවොත් එය ඉතාම සරළ සහ ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි පිළිතුරක්. වගේම තාක්ෂණිකව නිවැරදි පිළිතුරක්. කෝවිඩ් වසංගතයට හේතුව චීනය වුහාන් වලින් එළියට ආසාදනය පැතිරීම වලක්වා ගැනීමට අසමත් වීම කියා කිවුවොත් එයත් ඉතාම සරළ සහ ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි, ඒ වගේම බොහෝ විට තාක්ෂණිකව නිවැරදි පිළිතුරක්. මේකත් ඒ වගේ එකක්. ආර්ථික අර්බුදය සම්බන්ධ මෙවැනි ආර්ථික නොවන විග්‍රහයන් විවිධ දෘෂ්ඨි කෝණ වල සිට කළ හැකියි. උදාහරණයක් විදිහට මෙයට හේතුව මැද පිළිවෙත අත හැර කාමසුඛල්ලිකානුයෝගය කෙරෙහි නැඹුරු වීම වැනි බෞද්ධ විග්‍රහයක් කළ හැකියි.
වැදගත්ම ප්‍රශ්නය වන්නේ මෙවැනි විග්‍රහයක තිබෙන උපයෝගීතාවය කුමක්ද කියන එකයි. මේ විග්‍රහය ඇසුරෙන් පවතින තත්ත්වය හොඳ අතට වෙනස් කර ගන්න ලැබෙන පිටිවහල කුමක්ද? කෙළින්ම ප්‍රශ්නයට ආවොත් ලංකාව මේ මොහොතේ මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා නිශ්චිත විසඳුමක් හොයා ගන්න මේ විග්‍රහයෙන් උදවුවක් ලැබෙනවාද? ප්‍රශ්නය ආර්ථික අර්බුදයක් වුවත් එයින් ගොඩ යාමට ආර්ථික නොවන විසඳුම් වලින්ද යම් පිටිවහලක් ලැබෙන්න පුළුවන්. එහෙත්, අර්බුදය පසුපස තිබෙන සංකීර්ණ ආර්ථික කරුණු නොසලකා හැර කරන සරල විග්‍රහයකින් පමණක් පවතින අර්බුදයෙන් ගොඩ යා හැකි මාර්ගයක් විවර වෙන්න ඉඩක් තිබේයැයි කිසිවකු සිතනවානම් එය ඉතාම බොළඳ අදහසක්. එවැනි උපයෝගීතා අගයක් නැතත්, හොඳ විග්‍රහයක් කියා කිව හැකියි. ඒ වගේම, පවතින ආර්ථික අර්බුදය රටේ දේශපාලනය සමඟ ගැට ගැසී තිබෙන දෙයක් නිසා දේශපාලනය හරහා දිගුකාලීනව ප්‍රශ්නය විසඳීම ගැන හිතන කෙනෙකුට මෙවැනි විග්‍රහයක් හොඳ ආරම්භයක්. ආර්ථික විද්‍යා දෘෂ්ඨි කෝණයකින් පමණක් බලා විසඳුම් යෝජනා කළ හැකි වුවත්, ඒ විසඳුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තීරණය කරන්නේ දේශපාලනය විසින්. ඒ නිසා නිවැරදි ආර්ථික විද්‍යාත්මක විසඳුමක කොටසක් ලෙස එවැන්නක් ක්‍රියාත්මක කළ හැකි වීමේ දේශපාලන ශක්‍යතාවයද සලකා බලන්න වෙනවා. ඒ පැත්ත මේ විග්‍රහයේ තිබෙනවා. එහෙත්, නිර්මාල්ගේ විග්‍රහයේ ප්‍රවේශය ඓතිහාසික වනවාට අමතරව එය මාක්ස්වාදී ප්‍රවේශයක් බවද පැහැදිලියි. ඔහු ප්‍රශ්නය ලංකාව නිදහස ලබන විට තිබුණු මූල තත්ත්වයන්ට ලඝු කරනවා. එතැන් සිට සිදු වූ දේ දෙසද බලා තිබෙන්නේ ඓතිහාසික භෞතිකවාදයේදී මෙන් ඒකරේඛීය ලෙසටයි. සමාජ ප්‍රගමනය ඒකරේඛීය ලෙස සිදු නොවන බව ඉතිහාසය විසින්ම තහවුරු කර අවසන්. මෙය මෙම ලිපියේ සමස්තය ගැන පළකරන ඉක්මන් අදහසක්.
ඉකොනොමැට්ටා මේ කෙටි වීඩියෝ එක බලන්න, මේකේ කියන දේවල් ඇත්ත ද ලංකාවේ ආර්ථිකය සහ අධ්‍යාපනය ගැන?
Deletehttps://youtu.be/182d-vMkZv4
මිනිත්තු 50ක්නේ, ඇනෝ. එපමණ කාලයක් වැය කරන්න තරම් විවේකයක් හෝ උනන්දුවක් නැහැ.
Deleteමේ ගැන ඔබේ අදහස වෙනම ලිපියකින් විග්‍රහ කරයි කියා උදක්ම බලාපොරොත්‍තු වෙනවා.
Delete@ AnonymousAugust 23, 2021 at 8:24 PM
Deleteබොහොම ස්තූතියි. මේ කියන ටික තේරුම් ගන්න අඩු ගානෙ අබ ඇටයක් තරම් වත් මොළයක් ඕනෙ. මොළේ 3% ට බැහැපු අයට නම් මේක තේරුම් ගන්නම බෑ. නමුත් අපේ UNP එකේ ඉඳලා දැන් සමගි ජන බලවේගයේ ඉන්න අයට මේක තේරුම් ගන්න තරම් මොළයක් තියෙනවා. ඒ අය අර යල්පැන ගිය අදහස් දරණ 3% තරම් මෝඩ අය නෙවෙයි. ඒ අයට තියෙන්නේ පොහොට්ටුව එක්ක අමනාපයක් පමණයි. අරුන් නම් පට්ටම බූරුවෝ. නැත්තම් වසංගතයක් අස්සෙ ගුරුවරු උද්ඝෝෂණයකට කුළප්පු කරයිද ?ඒකෙන් පස්සෙ දැන් ගුරුවරු මැරෙනවා හිටු කියලා. ඒ දරු පවුල් අනාතයි. ගුරුවරුන්ටත් මොළයක් තියෙන්න ඕනෙ. අන්තිමට වැඩි පඩි නෙවෙයි දරුවන්ට අම්ම තාත්තා නැති වෙලා.
අග්නිදිග ආසියාවේ රටවල් කීපයක අපනයන කම්හල් හිමි මේ ධම්මික පෙරේරාට අවශ්‍ය නම් රට අතහැර ගිහින් පාඩුවෙ ඉන්න පුළුවන්. එයාට දැන් අමුතුවෙන් හම්බ කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. නමුත් ඒ මනුස්සයා කියන්නෙ ඇත්ත. මෙහෙම වහගෙන රට ගෙනියන්න බෑ.
ගුරුවරු නෙවෙයි පාරට බහින්න ඕනෙ අපි. අපේ ව්‍යාපාර කඩා වැටිල තියෙන්නේ. අපි තමයි රජයට බරක් නැතුව ඉන්න එකම කොටස. අපිට රජයක් පඩි තියා මොනවත් දෙන්නෙ නෑ.අපි හම්බකරගෙන තමයි අපි කෑවෙ. අපෙන් රජයට බදු අයකර ගන්නවා. ඒ නිසා හරිනම් මේ වෙලාවෙ ආණ්ඩුවෙන් සහන ඉල්ලන්න ඕනෙ අපි. නමුත් රටේ තියෙන භයානක තත්වය තේරුම් අරගෙන අපි අමාරුවෙන් හරි අල්ලගෙන නිහඬව ඉන්නව.
මේ ටික තේරුම් ගන්න බැරිනම්
තම තමන්ගෙ හතර රියන කපාගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
දම්මික පෙරේර කියන්නෙ පොදු දේපලක්නෙ බන්. ගෝටගෙ බිස්නස් පාට්නර්.
Deleteඉකොනොමැට්ට මෙතනදී ඉතාමත් කපටි පිළිතුරක් දී මගහැරලා ගිහින් වගේ, ඔහොම කියනවා නම් ඕනම කතාවක් "බලන් ගියාම ඒ කතාවත් ඇත්ත කියලා උත්තර දීල ශේප් වෙන්න පුළුවන් නේද?"
Deleteඋදාහරණයක් විදිහට "ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ මහ කාලකැන්නි හිඟන රටක් - නිර්මාල් ආර්. දේවසිරි" - කිව්වොත් "හ්ම් බලන් ගියාම ඒකත් ඇත්ත තමයි කියලා අපට කියන්න පුළුවන් මොකෝ නැත්ද?
නිර්මාල් ඇතුලු හාන්සිපුටු බකපණ්ඩිතයන් බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් ප්‍රායෝගික තත්වය ගැන කිසිම අවබෝධයක් නැතුව බයිලා ගහන අය. නමුත් ඉකොනො ඔබ හොඳින් දන්නා ආර්ථික වශයෙන් අසත්‍ය කාරණා කිහිපයක් මෙහි තිබෙනවා.
ඉතා සරලව මේක ඉතාමත් සාවද්‍ය ප්‍රකාශයක්
///මේ ගැටලුව ජය ගැනීමට 2009 න් පසු උපායමාර්ගික වශයෙන් අනුගමනය කෙරුණේ විශාල වශයෙන් විදේශ ණය ලබාගෙන මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමයි. මෙය අතිශය භයානක ආර්ථික සූදුවක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉක්මනින්ම ආර්ථිකයේ ව්‍යුහාත්මක පරිවර්තනයක් සිදු නොවුවහොත් එය රටට දැවැන්ත ආර්ථික බරක් වීම නොවැලැක්විය හැකිය. ඇත්ත වශයෙන්ම සිදු වූයේ ද එයයි.
2009න් පසු සිදුවූ දැවැන්ත ආයෝජන කිසිසේත්ම දිගුකාලීන වශයෙන් ඵලදායී නොවූ ඒවාය. විශාල වශයෙන් මුදල් යොදා රටපුරා මාර්ග වැඩිදියුණු කිරීම, අධිවේග මාර්ග ඉදි කිරීම හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපොල නෙළුම් කුළුණ වැනි ව්‍යාපෘති නිසා ඒවායේ ඉදිකිරීම සමයේ ආර්ථිකයේ තාවකාලික වර්ධනයක් පෙන්නුම් කෙරුණා විනා ඒවා ආර්ථිකයේ ව්‍යූහාත්මක පරිවර්තනයකට දායක වූයේ නැත.
අනුර කුමාර දිසානායකගේ “අධිවේග මාර්ග හදන්නේ ඇඹුල් තියල් ගේන්නද?” යන සුප්‍රකට ප්‍රකාශයට එවක ආණ්ඩු හිතවතුන් විහිළු කළද එය නිවැරදි ප්‍රකාශයකි.///
ලංකාවේ විදේශ ණය වලින් ප්‍රාග්ධන වියදම් තිබෙන්නේ 10% කට පමණ අඩු ගණනකි. ලංකාවේ මුළු විදෙස් ණය ප්‍රමාණය මේ වන විට ඇ.ඩො. බිලියන 32 ක් පමණ විය හැකි අතර ඉන් ඵහුගිය වසර පහළොව පුරා කල සියළුම ප්‍රාග්ධන ආයෝජනවලට වැය කරන්නට ඇත්තේ ඇ. ඩො. බිලියන 3 ක පමණ ගණනකි. අනෙක් සියල්ල වෙළඳ හිඟය බැලන්ස් කිරීමට, වෙනත් පුනරාවර්තන ආනයන ආදී වියදම් වෙනුවෙන් වැය කරන්නට ඇති.
මේකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි, බලන්න වැඩිපුරම තියෙන්නේ සවරීන් බොන්ඩ් සහ ප්‍රජා සත්කාරක ව්‍යාපෘති ණය;
http://www.erd.gov.lk/index.php?option=com_content&view=article&id=102&Itemid=308&lang=en
ආයෝජන ව්‍යාපෘති වලින් නොරොච්චොලේ බලාගාරය (2006-11) වඩාත්ම ලාභදායී ව්‍යාපෘතිය වන අතර අධිවේගී මාර්ගත් හිතුවාටත් වඩා ඉතාමත් ලාභදායි වුණා, ඒ බව 2017 විතර විගණකාධිපති ජෙනරල් මාධ්‍ය හමුවකදී පැහැදිලි කළා
නොරොච්චොලේ බලාගාර වියදම අදියර එක ඩො.මි. 155, දෙක ඩො.මි. 300, තුන 891. අධිවේගී මාර්ග සියල්ලටම ඩො. බිලියන් 1 - 1.2 ක් විතර.
පාඩු ලබන මත්ත්ල මුළු වියදම ඩො.මි. 247න් ණය ඩො.මි. 190 ඉතිරිය රජයේ වියදම්. නෙළුම් කුළුනේ මුලු වියදම ඩො.මි. 104 එයින් ණය ඩො.මි. 80 ක් විතර.
මේ වගේ පොඩි ගණන් නිසා නෙවෙයි මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ කියලා පැහැදිලියි.
ඒ වගේම ලංකාවේ අධිවේගී මාර්ග වලින් 2012 සිට 2020 අප්‍රේල් දක්වා ලැබුණු ආදායම් රුපියල් බිලියන 44 ක් පමණ බව මහා මාර්ග අමාත්‍යංශයේ වාර්තාවලට අනුව මම දැක්ක.
Deleteඒ වාර්තා අනුව
//2012 වර්ෂයේදී රුපියල් මිලියන 1047.4 ක්ද, 2013 දී රුපියල් මිලියන 1599.6 ක්ද, 2014 දී රුපියල් මිලියන 4097.5 ක්ද, 2015 දී රුපියල් මිලියන 5362.9 ක්ද, 2016 දී රුපියල් මිලියන 7135.5 ක්ද, 2017 දී රුපියල් මිලියන 7140.5 ක්ද, 2018 දී රුපියල් මිලියන 7977.9 ක්ද, 2019 දී රුපියල් මිලියන 9161.8 ක්ද 2020 සිංහල අලුත් අවුරුදු සමයේදී රුපියල් මිලියන 349 ක්ද ආදායමක් ලැබූ බව වාර්තා වේ.//
ඒ වගේම ගමන් කාලය සැලකිය යුතු ලෙස ඉතුරු කරමින්, මාර්ග තදබදය වැළැක්වීම, කාලය අපතේ යාම වැළැක්වීම, රියදුරු විඩාව, ඉහළ ඉන්ධන කාර්යක්ශමතාවය, වාහන අමතර කොටස් සහ නඩත්තු වියදම් ආදී බොහෝ දේ කැපී පෙනෙන ලෙස අඩු කිරීමට හොඳම පියවර අධිවේගී මාර්ග ලෙස සඳහන් කළ හැකි, මාර්ග තදබදය නිසා දිනකට රුපියල් මිලියන 200 ක මුදල් වටිනාකමක් නාස්තිවන බව වාර්තා වූ අතරම ඇමරිකන් එක්සත් ජනපදය 1930 දී පමන මේවා ආරම්ඹ්හ කළේ මේ කැපී පෙනෙන අධික කාර්යක්ෂමතාව නිසායි.
මාර්ග තදබදය නිසා සිදුවන ඉන්ධන ක්ෂයවීම, වාහනවල ක්ෂයවීම, වායු ගෝලය අපිරිසිදු වීම, නියමිත වෙලාව ප්‍රමාදවීමෙන් සිදුවන හානිය, රස්තියාදුව මේ සියල්ලක්ම ගණන් බැලීමේදී මේ තරම් වටිනාකමක නාස්තියක් සිදුවන බව ගණන් බලා ඇති අතරම අධිවේගී මාර්ග නිසා ලංකාවේ සන්චාරක, ධීවර, කෘෂිකාර්මික, ප්‍රවාහන, අපනයන ඇතුලු සෑම ක්ෂේත්‍රයකම දැඩි ලෙස කැපී පෙනෙන වර්ධනයක් ඇති වී ඇති බව ඉතාමත් පැහැදිලියි. ඕනම රටක් සංවර්ධනය කිරීමට හෝ රටක දියුණුව රඳා පවතින්නේ සෞඛ්‍ය, විදුලිය, ජලය, නිවාස, මහාමාර්ග, විදුලි සංදේශ මේ සියලු අංශවල පවත්නා දියුණුව මත, විශේෂයෙන් ප්‍රවාහන පද්ධතිය දුර්වල වූ විට අනෙක් කුමන අංශයක සංවර්ධනයක් තිබුණත් ඉන් නිසි ප්‍රතිලාභ ලබාගන්න අමාරුයි.
ඒ වගේම් අධිවේගී මාර්ග මේ රටේ ණය බර තවත් වැඩි කරන බවටත් ‘‘අපේ වගේ රටකට මොන අධිවේගද?’’ යන මතයන්හි පිහිටා සිටි සුළුතර සමාජවාදී පිරිස් "ගම් බිම් විනාශ කරන, ජන ජීවිතයට හානි පීඩා ලබා දෙන, ජනතාවගේ ආර්ථිකය විනාශ කරන, පරිසරයට හානි කරන" අධිවේගී මාර්ග භීතිකාව මධ්‍යයේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය තැනීම ආරම්භ කළද, අධිකරණමය ක්‍රියාමාර්ග හා විවිධ හේතු මූලික කර ගනිමින් ප්‍රමාද වුණා. අද වන විට බෙහෙවින් ජනප්‍රිය, ජනතාවගේ සිත්ගත් මේ අධිවේගී මාර්ග දිනපතා රැකියාව සඳහා කොළඹට පැමිණෙන අය මේ වන විට කාර්යාල බස්රථ සේවා රාශියක් පවත්වාගෙන යන අතර බොහෝ විට වෙනත් මාර්ග නඩත්තුවටත් මෙහි ආදායම් මුදල් යෙදවීම සිදු වෙයි. අධිවේගී මාර්ග ඉදි කිරීම සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර පැවතුනත් මේ වන විට එම මාර්ග බෙහෙවින් ජනතාවට ප්‍රයෝජනවත් වන අතර, හොඳ ආදායමක් ලබා දෙන තත්ත්වයටද පත්ව තිබෙනවා. ඒ නිසා නිර්මාල් ලගේ මේ කතා ගැන කාලය නාස්ති කිරීම නම් අපරාධ්යක් කියලත් හිතෙනවා වෙලාවකට. ඒත් ඉතින් මේව දැක්කම නොලියත් බැහැ.
""ඊට අමතරව 1977න් පසුව වර්ධනව වූ මධ්‍යම පංතියේ ස්වභාවයද මෙහිදී වැදගත් වේ. මේ පංතිය විදේශ විනිමය කා දමන පංතියක් විනා විදේශ විනිමය උපයන පංතියක් නොවීය. කෙසේ වෙතත් මේ පංතියේ අධි පරිභෝජනවාදී ජීවන රටාව ප්‍රවර්ධනය කිරීමෙන් ආර්ථිකයට යහපතක් වන්නේය යන අදහස පැවැතිණි. ඒ මගින් ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වන්නේය යන උපකල්පනය කෙරිණි. කෙසේ වෙතත් එය නිවැරදි උපකල්පනයක් වන්නේ මේ අදහසට පදනම් වන ආර්ථික දැක්ම මගින් අපේක්ෂා කෙරෙන ආර්ථික මාවතේ මුල් අදියරේදී පමණි. ඒ මගින් මුල් අදියරේදී අපනයන ආදායම වැඩිවන්නේ නැතිනම් මේ පංතියේ අධි පරිභෝජනය ආර්ථක බරක් වීම නොවැලැක්විය හැකිය. ඇත්ත වශයෙන්ම සිදු වූයේ එයයි.""
Deleteඉහත තිබෙන්නේ නිර්මාල්ගේ ලිපියෙන් උපුටාගත් අදාළ කොටසයි. ඔහුගේ විග්‍රහයේ ප්‍රවේශය මාක්ස්වාදී හා දේශපාලනික ප්‍රවේශයක් වුවත් කරුණු වල විශාල වැරැද්දක් නැහැ. රටේ ආදායම, රජයේ ආදායම හා විදේශ විණිමය ඉපැයීම් යන එකිනෙක හා බැඳුනු නමුත් වෙනස් කරුණු තුන පිළිබඳ නිරවුල් සංකල්පීය අවබෝධයක් නොමැතිකම නිසා සිදුව තිබෙන තාක්ෂනික වැරදි අමතක කළොත් ඔහු කියන්න අදහස් කරන බව පෙනෙන දෙය නිවැරදියි. යමෙක් ඓතිහාසික සිදුවීම් විග්‍රහ කිරීමේදී ඉදිරිපත් කරන කරුණු නිවැරදිනම්, විග්‍රහයකට එකඟ නොවනු මිස වැරදියි කියන්න බැහැ. එකම ඓතිහාසික සිදුවීම් සමුදාය එකිනෙකට වෙනස් ආකාර ගණනාවකින් විග්‍රහ කළ හැකියි. උතුරේ යුද්ධය වැනි දෙයක් ගත්තොත්, තවමත් දැඩි එල්ටීටීඊ හිතවාදියෙකුව සිටින අයෙකු ඒ පිළිබඳ ජනප්‍රිය සිංහල විග්‍රහය සමඟ එකඟ වෙන එකක් නැහැ. එවැනි නොඑකඟවීමක් වාද විවාද කර හෝ පර්යේෂණ කර එකඟතාවක් බවට පත් කර ගන්න අසීරුයි. එහෙත් යම් නිශ්චිත සටනකදී මිය ගිය ප්‍රමාණය කොපමණද වැනි දෙයක් ගැන තිබෙන නොඑකඟතාවක් එකඟතාවක් බවට පත් කරගත හැකි වීමේ විභවයක් තිබෙනවා. ඇමරිකාවේ පාසැල් වල ඉතිහාසය ඉගැන්වීමේදී නිවැරදි ඓතිහාසික කරුණු සමඟ එකිනෙකට වෙනස් විග්‍රහයන් ගණනාවක් උගන්වනවා. උදාහරණයක් විදිහට යුරෝපීය සම්භවයක් තිබෙන අය හිතන ආකාරය, අප්‍රිකානු සම්භවයක් ඇති අය හිතන ආකාරය හා ස්වදේශීය ඉන්දියානුවන් හිතන ආකාරය ආදී ලෙස. හරි දේ ලෙස තමන් කැමති විග්‍රහය භාර ගැනීමට නිදහස සිසුන්ට තිබෙනවා. කොයි විග්‍රහය භාර ගත්තත් කරුණු විකෘති නොකරන තාක් එය වැරදි විග්‍රහයක් නෙමෙයි. නිර්මාල් කියන්න උත්සාහ කරන බව පේන ගොඩක් දේවල් අවශ්‍යනම් මීට වඩා හොඳින් ආර්ථික විද්‍යා සංකල්ප ඇසුරෙන්ම, තාක්ෂනිකව වඩා නිවැරදි ලෙස, පැහැදිලි කළ හැකියි. මෙය කෙටියෙන්නම් කරන්න බැහැ. ඔහු කෙටියෙන් මෙහි ලියා තිබෙන නිදහසෙන් පසු ලංකාවේ ආර්ථික අර්බුදය ක්‍රමයෙන් උග්‍ර වූ ආකාරය පිළිබඳ කතාව (ඔහුගේ විග්‍රහයේ ප්‍රවේශයට වඩා වෙනස්ව වුවත්) පොතක් ලිවිය යුතු තරම් දිග කතාවක්. ඇත්තටම මම මේ වැඩේ පටන් ගත්තත් එය විශාල කාලයක් අවශ්‍ය කටයුත්තක් නිසා බොහෝ විට අවසන් වන එකක් නැහැ. නිර්මාල්ගේ ඉහත උපුටනයේ හරය ලංකාවේ මධ්‍යම පන්තිය ශුද්ධ වශයෙන් විදේශ විණිමය කා දමන බවයි. එය කරුණක් ලෙස ඉතාම නිවැරදි ප්‍රකාශයක්. ඔහුගේ විග්‍රහයේ වැරැද්ද ඔහු මෙය සමාජ විද්‍යා දෘෂ්ඨි කෝණයකින් බලමින් එසේ සිදුවීමට හේතු වී තිබෙන සාර්ව-ආර්ථික සාධක නොසලකා හැරීමයි. ඔවුන්ට එසේ විදේශ විණිමය කා දැමීමේ හැකියාවක් ලැබුණේ කොහොමද? එය අහම්බයක්ද? අභ්‍යන්තරිකව වර්ධනය වූ තත්ත්වයක්ද? එසේ නැත්නම්, ලංකාවේ ආණ්ඩු විසින් අනුගමනය කළ සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වූ, පහසුවෙන් වලක්වාගත හැකිව තිබුණු, කෘතීම තත්ත්වයක්ද? නිර්මාල් බර තබන බව පෙනෙන්නේ දෙවැන්නටයි. මම බර තබන්නේ තෙවැන්නටයි.
''මේ ගැටලුව ජය ගැනීමට 2009 න් පසු උපායමාර්ගික වශයෙන් අනුගමනය කෙරුණේ විශාල වශයෙන් විදේශ ණය ලබාගෙන මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමයි. මෙය අතිශය භයානක ආර්ථික සූදුවක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉක්මනින්ම ආර්ථිකයේ ව්‍යුහාත්මක පරිවර්තනයක් සිදු නොවුවහොත් එය රටට දැවැන්ත ආර්ථික බරක් වීම නොවැලැක්විය හැකිය. ඇත්ත වශයෙන්ම සිදු වූයේ ද එයයි.''
නිර්මාල් අදහස් කරන අර්ථයෙන් නොවිය හැකි වුවත් මෙම නිගමනය සමඟ මම එකඟයි.
"ලංකාවේ විදේශ ණය වලින් ප්‍රාග්ධන වියදම් තිබෙන්නේ 10% කට පමණ අඩු ගණනකි. ලංකාවේ මුළු විදෙස් ණය ප්‍රමාණය මේ වන විට ඇ.ඩො. බිලියන 32 ක් පමණ විය හැකි අතර ඉන් ඵහුගිය වසර පහළොව පුරා කල සියළුම ප්‍රාග්ධන ආයෝජනවලට වැය කරන්නට ඇත්තේ ඇ. ඩො. බිලියන 3 ක පමණ ගණනකි. අනෙක් සියල්ල වෙළඳ හිඟය බැලන්ස් කිරීමට, වෙනත් පුනරාවර්තන ආනයන ආදී වියදම් වෙනුවෙන් වැය කරන්නට ඇති."
Deleteමම ඉහත ඇනෝගේ ප්‍රකාශයේ සංඛ්‍යාලේඛණ පරීක්ෂා කර තහවුරු කර නැහැ (මම හිතන විදිහට වැරදියි). ඒ වගේම සංකල්පීය ලෙසත් ඉහත ප්‍රකාශයේ වැරදි ගණනාවක් තිබෙනවා. වෙළඳ හිඟය යන යෙදුම නිවැරදි නොවන නිසා ගෙවුම් ශේෂ හිඟය ආදේශ කළොත්, ගෙවුම් ශේෂ හිඟය පියවන්න ණය ගන්නේ දැන් වගේ අර්බුදයක් පැමිණි විටක පමණයි. මෙතෙක් ඒ වෙනුවෙන් අරගෙන තියෙන්නේ IMF ණය. එම ණය රජයේ ණය නොවන නිසාත්, වසර කිහිපයක් තුළ ගෙවා දැමෙන නිසාත් ඉහත ගණන් වල නැහැ. මේ විදිහටම ආනයන වෙනුවෙන් ගන්න ණය කියන එකත් සංකල්පීය ලෙස වැරදියි. රජයේ ආනයන වියදම්ද එක්කෝ ප්‍රාග්ධන වියදම්. නැත්නම් පුනරාවර්තන වියදම්. ඒ වගේම රජයේ පුනරාවර්තන වියදම් වලින් විශාල කොටසක් පොලී ගෙවීමේ වියදම්. එයින් සැලකිය යුතු කොටසක් ප්‍රාග්ධන ආයෝජන වෙනුවෙන් ගෙවන පොලී වියදම්. මේ ආදී කරුණු ගණනාවක් නිසා යම් හෙයකින් ඇනෝගේ සංඛ්‍යාලේඛණ නිවරදිසේ සැලකුවත් අදාළ තර්කය වැරදියි.
එම කරුණු අමතක කර අපි දැනට ඇනෝගේ සංඛ්‍යාලේඛණ හා තර්කය නිවැරදියි කියා හිතමු. ඇනෝට නිර්මාල්ගේ ප්‍රකාශය මෙසේ විවේචනය කරන්න හැකි වී තිබෙන්නේ ආර්ථික විද්‍යා පුහුණුවක් නැති බව ඔහු විසින්ම කියන නිර්මාල්ගේ ප්‍රකාශයේ පැහැදිලිව පෙනෙන සංකල්පීය අවුල් නිසායි. මම අවධානය යොමු කරන්නේ ඔහුට නිවැරදිව කියා ගන්න අසීරු එහෙත් ඔහුට "පෙනෙන" දෙය වෙතයි. පළමුව, මහා පරිමාණ ආයෝජන වල ලාභදායීත්වය පිළිබඳ ඇගයීමක් මා කර නැති නිසා මට මේ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි වුවත් මගේ අදහස මෙම ව්‍යාපෘති සමස්තයක් ලෙස ලාභදායී නොවූ බවයි. එසේ ලාභදායී වූවානම් රජයේ ආදායම් ඉහළ යා යුතු වුවත් සිදු වී තිබෙන්නේ එහි අනෙක් පැත්ත බව ඉතාම පැහැදිලියි. මේ ව්‍යාපෘති වල ලාභදායිත්වය කවුරු විසින් හෝ කරුණු සහගතව පෙන්වා දී ඇත්නම් හෝ පෙන්වා දෙන්න සූදානම්නම් එවැනි සාකච්ඡාවක් පිළිබඳව මම උනන්දුයි.
ඇනෝ සඳහන් කරන දෙවන වැදගත් කරුණ විදේශ ණය වලින් කළේ වෙළඳ හිඟය බැලන්ස් කරන එක බවයි. මෙය වැරදි විග්‍රහයක්. වෙළඳ හිඟය ඕපපාතිකව පහළ වූ දෙයක් නෙමෙයි. එය ඇති වුනේම විදේශ ණය පොම්ප කරමින් වෙළඳ හිඟයක් නඩත්තු කිරීම නිසා. ණය අරගෙන ඩොලර් පොම්ප නොකළේනම් වෙළඳ හිඟයක් කෙසේ වුවත් ඇනෝ කියන්න උත්සාහ කරන දෙය සමඟ සංකල්පීය ලෙස වඩා ගැලපෙන ගෙවුම් ශේෂ හිඟයක් ඇති වන්නේ නැහැ. අද තිබෙන ආර්ථික අර්බුදයත් නැහැ. (මගේ දෙවන යූටියුබ් වීඩියෝවේ මේ කරුණු පැහැදිලි කර තිබෙනවා)
ඒ නිසා, ප්‍රාග්ධන ආයෝජන සමස්ත විදේශ ණය වලින් කොපමණ ප්‍රමාණයක්ද කියන එක එතරම් වැදගත් නැහැ. එම ණය ප්‍රතිශතයක් ලෙස සුළු විය හැකි වුවත් ඒ ණය නිසා ගෙවුම් ශේෂ හිඟයට ඇති වූ බලපෑම ඉතා විශාලයි. මේ ආකාරයට නිර්මාල් කියන ආකාරයට ආර්ථික සූදුවක් නොව ආර්ථික සූදුවකටත් වඩා භයානක ආර්ථික පිරමිඩ් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පෙළඹීමේ සමාජයීය පසුබිම ගැන නිර්මාල්ගේ විග්‍රහය සමඟ අඩු වැඩි වශයෙන් එකඟ විය හැකියි.
රජය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම පිළිබඳව සමස්තයක් ලෙස මගේ විවේචනයක් නැහැ. ලංකාව වගේ රටක පෞද්ගලික අංශය අතින් මෙවැනි ආයෝජන සිදු වීමේ විභවයක් නැහැ. ඒ වගේම, ලංකාවේ රජය වාහන ආනයන බදු ලෙස හා ඉන්ධන බදු ලෙස විශාල මුදලක් එකතු කර ගන්නා නිසා එම බදු වල ප්‍රතිලාභ එම බදු ගෙවන අයට ලැබිය යුතුයි. මාර්ග සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමේදී මෙය සිදු වෙනවා. මාර්ග තෝරා ගැනීමේ ප්‍රමුඛතා තීරණය කිරීම, ටෙන්ඩර් පටිපාටි ආදියේ ප්‍රශ්න තිබිය හැකියි. මම කතා කරන්නේ සමස්තය ගැනයි.
මාර්ග සංවර්ධනය වෙනුවෙන් කරන ආයෝජන ලාභදායී බව කියන්න තිබෙන නිර්ණායක මොනවාද? සමස්තයක් ලෙස මේ ආයෝජන රටට ලාභදායී විය හැකි වුවත් (ගණන් හදා බලා නැති නිසා මෙයද ස්ථිරව කිව නොහැකියි) රජයට ලාභදායීද? විශේෂයෙන්ම අධිවේගී මාර්ග හැදීම නිසා රජයේ ආදායම් වාර්ෂිකව කොපමණ ඉහළ ගියාද? මගේ අදහසනම් ලංකාවේ අධිවේගී මාර්ග බොහෝ දුරට පරිභෝජන භාණ්ඩයක් බවයි (එය ඒ හේතුව නිසාම වැරැද්දක් වන්නේ නැහැ). අධිවේගී මාර්ග වැඩි වශයෙන් භාවිතා වෙන්නේ දඹුල්ලේ එළවලු කොළඹට ගේන්නද? කොළඹ මධ්‍යම පන්තියට සති අන්තයේ නිවාඩුවක් ගත කරන්න යන්නද? (ඇමරිකාව හරහා දිවෙන අධිවේගී මාර්ග වල බොහෝ විට දැකිය හැක්කේ රට හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන විශාල ට්‍රක් රථයි. මේ ට්‍රක් රථ වලින් පෙන්වන්නේ මාර්ග පද්ධතිය නිසා ඉහළ ගොස් ඇති ඇමරිකානු කාර්යක්ෂමතාවයයි.)
Deleteලංකාවේ අධිවේගී මාර්ග වැඩිපුරම පරිභෝජනය කරන්නේ නිර්මාල් කියා ඇති පරිදි "ඩොලර් කා දමන" මධ්‍යම පාන්තිකයින් විසින්. ඔවුන් ඒ වෙනුවෙන් දැන් කලින් ගෙවුවාට වඩා බදු මුදලක් රජයට ගෙවනවාද? මේ ආණ්ඩුව ඇවිත් කළේ ඔවුන් ගෙවමින් සිටි බදුද කප්පමක් සේ ආපසු ගෙවීමයි. බදු අඩු කළා කියා ඒ අය රැකියා ජනනය කරන ආයෝජනයන් කරන්නේ නැහැ. තමන්ගේ පරිභෝජනය තවත් ඉහළ දමමින් ගෙවුම් ශේෂ හිඟය වැඩි කරන එක පමණයි කරන්නේ. ඒ නිසා ඩොලර් හිඟය තවත් උග්‍ර වෙනවා. යම් හෙයකින් මේ පිරිස වැඩිපුර බදු ගෙවුවේ වුවද මේ ප්‍රශ්නය තවදුරටත් තිබෙනවා. නිර්මාල් විසින් නිවැරදිව හඳුනාගෙන තිබෙන පරිදි ආර්ථික ප්‍රශ්නයක් වුවත් මෙය දේශපාලන පැතිකඩක් තිබෙන ප්‍රශ්නයක්. වාහන ආනයනය කිරීමේදී බදු නොගෙවූ සැලකිය යුතු පිරිසක් විසින්ද මේ ප්‍රතිලාභ ලබනවා. ඩොලරය කෘතිමව පහළින් තබා ගැනෙන පසුබිමක බදු නොගෙවා වාහනයක් ආනයනය කරන අයෙක් ඒ වෙනුවෙන් ගෙවන්නේ එහි බදු රහිත සැබෑ මිලටත් වඩා අඩු මිලක්. දැන් ගෙවන්න වී තිබෙන්නේ අනෙක් අයගේ වියදමෙන් මෙවැනි කණ්ඩායමක් සුබසාධනය කිරීමේ වන්දියයි.
ඉකොනො, මට හිනා යන්නෙ ඔය සුබසාදනය වෙන කට්ටියම මන්ත්‍රීවරුන්ට්ටට වාහන ගෙන්වන්කොට තියෙන අඬෝවැඩියාව දැක්කම.
Deleteයහපාලනෙනෙ ම්න්ත්‍රීවරුන්ගෙත් ඇතුලුව සියලුම තීරුබදු රහිත වාහන ආනයනය නවත්තන්න හදනකොට ඔය බේසික් පුතාල ටික ඩෙඟා නටපු හැටි මතකද?
ඔතැන දෙගොල්ලෝම කරන්නේ බොරුව නේද? දේශපාලකයින් විසින් ලබන වරප්‍රසාද පෙන්වලා තවත් විශාල පිරිසක් විසින් තනිව ගත්තොත් ඊට වඩා අඩු මට්ටමක එහෙත් සමස්තයක් ලෙස විශාල වරප්‍රසාද ප්‍රමාණයක් ලබා ගන්නවා. ඒ පිරිසේ උදවුවෙන් දේශපාලකයෝ වරප්‍රසාද ලබා ගන්නවා.
Deleteඒක හරි. නමුත් අවම වශයෙන් ඒක නවත්තන්න ගිය ආන්ඩුවෙන් ට්‍රයි කලානෙ. අයවැයෙනුත් යෝජනා කලාම ඩොකාල ස්ට්‍රයික් පටන් ගත්තෙ
Deleteනිර්මාල්ගේ විග්‍රහය ගැන ඔබේ අදහස වෙනම ලිපියකින් විග්‍රහ කරයි කියා උදක්ම බලාපොරොත්‍තු වෙනවා
ReplyDeleteමෙහි අදහස් දැක්වීමට නොපැමිණෙන නිර්මාල් රංජිත්, ධම්මික පෙරේරා හෝ නලින් ද සිල්වා වැනි අයෙකු කියන දේවල් ගැන ඔවුන් සමඟ සෘජුවම සංවාදයක් පවත්වා ගැනීමක් සිදු නොවන පසුබිමක කළ හැක්කේ ඔවුන්ව විවේචනය කිරීමක් පමණයි. එය පාලු ගෙයි වලං බිඳීමක්. කාගේ හෝ අදහසක් නොපැහැදිලි අවස්ථා වල හැම විටම සැකයේ වාසිය දෙන්න වෙනවා. ඔවුන්ගේ හෝ වෙනත් අයෙකුගේ අදහස් නියෝජනය කරමින් හෝ එම අදහස් වලට විරුද්ධ වෙමින් ඔබ හෝ වෙනත් අයෙකු මෙහි සෘජුවම අදහස් දක්වනවානම් අපට ප්‍රතිචාර දැක්විය හැකියි.
Deleteමේ පෝස්ට් එකට තියෙන කමෙන්ට් ටික දැක්කම අපේ රටේ පාලකයො වැරදි නෑ කියලා හිතෙනවා. ලංකාවේ ඔක්කොටම ඕනේ අඩුවෙන් වැඩ කරලා වෙන කෙනෙක් ගේ මහන්සිය නිසා ලැබෙන මුදල් වියපැහැදම් කරලා ආතල් එකේ ඉන්න. ඒ නිසා රටක් දියුණු කරන්න කියන්නේ කොහොමද මේ වගේ මිනිස්සු එක්ක.
ReplyDeleteලංකාව වගේ රටක දළ දේශීය නිශ්පාදයට , පිට රට ඉන්න ශ්‍රමිකයන් එවන ප්‍රේශන්ත් එකතු කර ගන්නව ද?
ReplyDeleteරටක ශ්‍රම බලකායට , එම රටේ පුරවැසියන් පිටරටක සිට වැඩ කරනවා නම් ඔවුන්වත් ඇතුලත් වෙනව ද?(ග්‍රහ සේවිකාවන් එහෙම)
1. නැහැ. එය අදාළ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක්.
Delete2. නැහැ. ඔවුන් අදාළ රටේ ශ්‍රම බලකායේ කොටසක්.