Sunday, October 29, 2017
උතුර දකුණ මාරු වුනොත්...
මේ දවස් වල අපේ දේශගුණය ඉතා සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. ඊයේ රාත්‍රියේ උෂ්ණත්වය බිංදුවෙන් පහළට ගොස් ඇති බව පෙනේ. උණුසුම් කාලය පුරා සරුවට වැවී තිබුණු නිවිති, කන්කුන් පඳුරු, වට්ටක්කා වැල් හා තක්කාලි ගස් ආදිය එක රැයින් මැලවී ගොස් තිබේ. ස්ප්‍රින් අනියන්, බොක් චෝයි වැනි ඇතැම් එළවළු වර්ග වලට පමණක් මේ සෘණ උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නට පුළුවන. වසරේ අඩක් පෘථිවියේ උතුරු අර්ධ ගෝලයට වැඩියෙන් සැලකූ ඉර දැන් වැඩියෙන් සලකන්නේ දකුණු අර්ධ ගෝලයේ ජීවත් වන අයට වුවත් උතුර දකුණනම් මාරු නොවී එසේම පවතී.
අපට උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර වැනි දිශා ගැන කතා කළ හැකි වුවත් ඒ පොළොව මත කිසියම් ස්ථානයකට සාපේක්ෂව මිස නිරපේක්ෂ ලෙස නොවේ. කිසියම් තැනක සිට බටහිරින් ඇති තැනක් පසුකර තවත් බටහිරට ගිය විට කලින් බටහිරින් තිබුණු තැන තිබෙන්නේ නැගෙනහිරින් මිස තව දුරටත් බටහිර දිශාවේම නොවේ. කෙසේ වුවත්, මෙය මෙසේ නොවන තැන් දෙකක් පෘථිවිය මත තිබේ. ඒ උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවයයි.
උත්තර ධ්‍රැවයට උතුරෙන් පොළොව මත වෙනත් තැන් නැත. එමෙන්ම, උත්තර ධ්‍රැවයේදී බටහිර හා නැගෙනහිර සමපාත වන නිසා එහි සිට බටහිරට හෝ නැගෙනහිරට යාමටද නොහැකිය. පොළොවේ සියලු තැන් තියෙන්නේ උත්තර ධ්‍රැවයට දකුණෙනි. මේ අයුරින්ම පොළොව මත පිහිටි සියලු තැන් තිබෙන්නේ දක්ෂිණ ධ්‍රැවයට උතුරෙනි. බටහිර හා නැගෙනහිර දිශා හා අදාළව මෙවැනි සුවිශේෂී තැන් නැත.
බටහිර හා නැගෙනහිර දිශා අතර කිසිදු සුවිශේෂී තැනක් නැති නිසා උතුරේ සිට දකුණට අඳින මධ්‍ය රේඛාවක් පොළොවේ ඕනෑම තැනක් හරහා ඇඳිය හැකිය. පැරණි වෛදිකයන් මේ ඉර ඇන්දේ ලංකාව හා උදේනි නුවර එම ඉර මත පිහිටන අයුරිනි. දැන් අපි බොහෝ විට මේ ඉර අඳින්නට පුරුදු වී සිටින්නේ එංගලන්තයේ ග්‍රිනිච් නගරය හරහා යන පරිදිය. මෙය ලෝක දේශපාලනය මත මිස භෞතික කරුණක් මත තීරණය වූවක් නොවේ.
ගෝලාකාර පෘථිවියේ ද්විමාන සිතියමක් අඳින විට එහි මධ්‍යය හරහා යන සිරස් රේඛාව ලෙස ඕනෑම තැනක් තෝරාගත හැකි වුවත්, මධ්‍යය හරහා යන තිරස් රේඛාව එසේ පහසුවෙන් වෙනස් කළ නොහැකිය. එවැන්නක් කරන්නේනම් උතුර හා දකුණ යන සංකල්පද, ඒ නිසාම අනෙකුත් දිශාවන් අර්ථ දක්වන ආකාරයද වෙනස් කරන්නට සිදු වේ. කෙසේ වුවත්, දැන් අප කරනවාක් මෙන් මේ නිශ්චිත තිරස් ඉරට උඩින් උතුර ලකුණු කිරීම අවශ්‍යම කරුණක් නොවේ. උතුර පහළින් හා දකුණ ඉහළින් තිබෙන පරිදි වුවද ලෝක සිතියමක් ඇඳිය හැකි අතර එහි කිසිදු වරදක් නැත.
එසේනම්, ලෝක සිතියමේ හෝ වෙනත් සිතියමක ඉහළින් උතුර තිබෙන්නේත්, පහළින් දකුණ තිබෙන්නත් ඇයි? මෙයට සරල හේතුව වන්නේ වත්මන් ලෝක සිතියම ප්‍රචලිත කළේ යුරෝපීයයන් වීමයි. ඔවුන්ට ලෝක සිතියමෙහි තමන්ගේ රටවල් ඉහළින් මිස පහළින් ලකුණු කරන්නට අවශ්‍ය වූයේ නැත. මෙයින් වෙනස්ව පැරණි අරාබි හා චීන සිතියම් වල දකුණ ඉහළින් ලකුණු කර තිබේ.
වත්මන් ලෝක සිතියම අමතක කළත් පැරණි ඉන්දියානුවන්ගේ ලෝකයේද උතුර තිබුණේ දකුණට ඉහළිනි. එයට හේතුවද පෙර හේතුවමය. ඉන්දියානුවන්ගේ ලෝකයේ උතුරෙන් සිටියෝ සුදු ලස්සන ආර්යයෝය. දකුණේ සිටියෝ කළු කැත අනාර්යයයෝය. සුරයන්ට උතුර අයිති වූ අතර දකුණ අයිති වූයේ අසුරයන්ටය.
අපට අවශ්‍යනම් ලෝක සිතියමක් හෝ වෙනත් සිතියමක් උතුර පහළට සිටින සේ සකස් කරන්නට පුළුවන. එතරම් ප්‍රචලිත නැතත් එසේ සකස් කළ සිතියම් තිබේ. කෙසේ වුවද, සිතියමක් එසේ වෙනස් කළ පමණින් උතුර දකුණ මාරු නොවේ. දේශාංශ රේඛා හමුවන තැන් දෙකෙන් එකක් උත්තර ධ්‍රැවය ලෙසත් අනෙක දක්ෂිණ ධ්‍රැවය ලෙසත් නම් කර ඇත්තේ සම්මතයෙන් නිසා භෞතික කරුණු මත මේ උතුර හා දකුණ වෙනස් වන්නේ නැත.
ඉහත උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය මෙන් නොව චුම්භක උතුර හා දකුණ භෞතික සංසිද්ධියක් මත, එනම් පොළොවේ චුම්භක ක්ෂේත්‍රයේ හැසිරීම මත, තීරණය වන්නකි. මේ චුම්භක උතුරද කලින් කලට වෙනස් වන නමුත් එය මාලිමාවක් මඟින් නිරීක්ෂණය කළ හැකි දෙයකි. චුම්භක උතුර යනු දේශාංශ රේඛා හමුවන මනඃකල්පිත උත්තර ධ්‍රැවයම නොවූවත්, ඒ ආසන්නයේ ඇති තැනකි. ඒ නිසා, නාවික ගමනාගමනයේදී උතුර හොයා ගන්නට එයින් පිටිවහලක් ලැබේ.
මාලිමාවක කටු කැරකෙන්නේ ඕස්ට්‍රේලියාව වැනි රටවල් තිබෙන පැත්තෙන් විරුද්ධ පැත්තටය. කැනඩාව වැනි රටවල් තිබෙන පැත්තටය. චුම්භක උතුරේ පිහිටීම වෙනස් වුවත් උතුර දකුණ මාරු වීම අපට අත්දැකීමක් නැති දෙයකි.
මිනිසුන් පමණක් නොව බොහෝ සතුන් පවා පොළොවේ චුම්භක ක්ෂේත්‍රයට සංවේදීය. බල්ලෙක් මුත්‍රා කරන්නේද පොළොවේ චුම්භක ක්ෂේත්‍රය ගැන සොයා බැලීමෙන් පසුවය. හදිසියේම මේ චුම්භක ක්ෂේත්‍රයේ උතුර හා දකුණ මාරු වුනොත් වෙන්නේ කුමක්ද?
මෙය විකාර කතාවක් නොවේ. පෘථිවිය බිහි වූ දින සිට විශාල වාර ගණනක් පොළොවේ චුම්භක ක්ෂේත්‍රයේ උතුර හා දකුණ මාරු වී තිබේ. මේ උතුර දකුණ මාරු වීම බොහෝ දුරට අහඹු ලෙස සැලකිය හැකි කාලාන්තර වලින් සිදුවන අතර එහි රටාවක් හඳුනා ගැනීම අපහසුය. උතුර දකුණ දකුණ මාරුවීම් දෙකක් අතර කාලය වසර මිලියනයක් තරම් දිගු වීමට මෙන්ම වසරක් හෝ වසර කිහිපයක් වැනි කෙටි කාලයක් වුවද විය හැකිය. උතුර දකුණ මාරුවීම් දෙකක් අතර සාමාන්‍ය කාලය වසර ලක්ෂ දෙක තුනක් පමණ වේ.
අවසන් වරට පෘථිවියේ උතුර දකුණ මාරු වී තිබෙන්නේ වසර ලක්ෂ අටකට පමණ පෙරය. මේ අනුව, මේ වන විට සාමාන්‍යයෙන් උතුර දකුණ මාරුවීමට ගත වන කාලය මෙන් දෙගුණයකටත් වඩා වැඩි කාලයක් ගත වී තිබේ. මෙය අසාමාන්‍ය දිගු කාලයකි. ඇතැම් අය සැක පහළ කරන්නේ මීළඟ උතුරු දකුණු මාරුව නුදුරේදීම සිදුවීමට ඉඩ ඇති බවයි. එසේ සිදු වුවහොත්, මාලිමා කටුවක් හැරෙනු ඇත්තේ දැන් මෙන් කැනඩාව හා යුරෝපය පැත්තට නොව ඕස්ට්‍රේලියාව පැත්තටය.
හදිසියේ උතුර දකුණ මාරු වුවහොත් එයින් ලෝකයට සිදුවන බලපෑම කෙබඳු වේද? පොසිල අධ්‍යයන මඟින් පෙනෙන්නේ මීට පෙර මෙය සිදු වූ අවස්ථා වලදීනම් කිසිදු විනාශයක් හෝ අමුතු දෙයක් සිදු වී නැති බවයි.
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
එහෙම වෙනස් වීමක් අදුරගන්නවත් අපිට තාම හැකියාවක් නැතිව ඇති නේද ඉකෝ.. උතුර දකුණ මාරැ වෙන්නේ පෘථිවියේ චුම්බක ක්සේත්‍රය පිටස්තර හේතුවක් නිසා වෙනස් වීමක් නම් මුකුත් වෙන එකක් නෑ. කෝම උනත් තව තවත් සොයා බලා කියවන්න වටින තරමේ තොරතුරු ටිකක්. මේ වගේ එකකට එකක් විශේෂිත වූ ලිපි ගෙන එන්නට ඔබට උවමනාව දැඩි වේවා.. ජය
ReplyDeleteජනප්‍රිය තලයේ නිවුස් එකක් නොවුනත්, මේක ඉතාම පරිස්සමින් නිරීක්ෂණය කරන දෙයක්. ධ්‍රව වෙනස් වීම කෙලින්ම බලපාන කාරණයක් නම්, ගුවන් තොටුපලවල ධාවන පථ අංකනය කර ඇති ආකාරයයි.
Deleteමේවා මාලිමා දිශානතිය අනුව නම්කර තිබෙන්නේ. අවුරුද්දකට විතර කලින් චුම්බක උතුර සෑහෙන්න වෙනස් වූ නිසා, ලෝකයේ ප්‍රධාන ගුවන් තොටුපල කීපයක, ධාවන පථ වල අංක වෙනස් කරන්නට සිද්ධ වුන බව දන්නවා. දන්නා තරමින් චුම්බක උතුර නිරීක්ෂනය හා සලකුණු කිරීම අවුරුද්දකට සැරයක් කෙරෙන දෙයක්. මතක හැටියට ජාත්‍යන්තර ගුවන් ගමන් පාලක මණ්ඩලයක් තමා මේක කරන්නේ.
ජාලයේ බොහෝ විස්තර ඇති.
http://www.stantec.com/blog/2015/airport-runways-what-do-those-big-numbers-mean.html#.WfdHudQrJhE
Thanks RF.. a load to read..
Deleteස්තුතියි, රන්සිරිමල්!
Deleteමෙහිත් විස්තර තිබෙනවා.
http://www.geomag.bgs.ac.uk/education/reversals.html
කියවන්න ආස හිතෙන විස්තරයක්.
ReplyDeleteඔය ධ්‍රැව මාරුවීම මිසයිල ගුවන්ගත කිරීමේ පද්ධති වලට එහෙම බලපෑමක් කරන එකක් නැද්ද. නැත්තං අහක යන මිසයිල ඔළුවට කඩාවැටෙන්න පුලුවන්.
පෘථිවියේ වයස එක්ක සැලකූ විට මෙය කෙටි කලක් ඇතුළත සිදුවන දෙයක් වුවත් මිනිසෙකුගේ වයස සැලකූ විට මෙය හෙමින් සිදුවන දෙයක්. එක රැයකින් සිදුවෙන දෙයක් නෙමෙයි. ඇතැම් විට වසර සියගණනක් තුළ සිදුවන දෙයක්. ඒ නිසා, අවශ්‍ය වෙනස්කම් කරගැනීම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මේ කාලය ඇතුළත පොළොව තැනින් තැන තාවකාලික ධ්‍රැව මතු වෙමිනුයි උතුරු දකුණු මාරුව වෙන්නේ. එසේ වීමේදී ඉතා නරක කාලගුණ තත්ත්වයන් ඇති විය හැකි බව පැවසෙනවා.
Deleteචුම්භක අනුසාරයෙන් හදාපු උපකරනවලටවත් බලපෑමක් වෙන්නේ නැ කියන එක හරි පුදුමයි නේද
ReplyDeleteඑවැනි බලපෑම්නම් වෙන්න පුළුවන්.
Deleteඔය ධ්‍රැව මාරුවීම මීට කලින් සිදුවෙලා තියනවා කියලා හොයාගෙන තියෙන්නේ කොහොමද? ඒ ගැනත් ටිකක් විස්තර කරන්න.
ReplyDeleteplease
Deleteආසන්න කාලය ගත්තොත් පැරණි මැටි බඳුන් වල චුම්භක ගුණ තිබෙන මැග්නටයිට් වැනි ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් අඩංගුව තිබෙනවා. මැටි පුළුස්සා නැවත සිසිල් කරන විට වුම්භක ගුණය නැති වන අතරම ඒ වන විට පැවති චුම්භක ක්ෂේත්‍රයේ දිශාව හා ප්‍රබලත්වය පිළිබඳ තොරතුරු එහි ඉතිරි වෙනවා. කැනීම් වලදී සොයා ගන්නා මැටි බඳුන් වල කාබන් කාල නිර්ණය කර එහි වයස හොයාගන්නා අතරම ඉහත තොරතුරු වලින් ඒ කාලයේ පැවති චුම්භක ක්ෂේත්‍රය ගැන දැනගන්න පුලුවන්. වඩා ඈත කාල වකවානු සැලකුවොත් පාෂාණ හැදෙන විට ඒ කාලයේ පැවති චුම්භක ක්ෂේත්‍රය ගැන තොරතුරු පාෂාණය ඇතුළේ සංරක්ෂණය වෙනවා. පාෂාණ හැදුණු කාලය වෙනත් ක්‍රමයකින් සොයාගත් විට චුම්භක ක්ෂේත්‍රය ඒ කාලයේ පැවති ආකාරය සොයාගත හැකියි. අවසාන වශයෙන් ලැබී තිබෙන සියලු නිරීක්ෂණය ආකෘතියකට ඇතුළු කර හිස්තැන් පිරවීම මඟින් කාලයත් සමඟ චුම්භක ක්ෂේත්‍රය වෙනස් වී ඇති ආකාරය සොයාගත හැකියි.
Deleteස්තුතියි
Deleteටයිෆූන්, සයික්ලෝන් සේරම සමකය හරියෙදි ෆෝම් වෙලා උතුරු පැත්තට නේද ගමන් කරන්නෙ.
ReplyDeleteඒවා සේරම ඕස්ට්‍රෙලියා, බ්‍රසිල් පැත්තට යයි
කාලගුණ විද්‍යාව ගැන මට විශාල දැනුමක් නැහැ. චුම්භක ක්ෂේත්‍රයේ වෙනස්වීම් කාලගුණයට ලොකු බලපෑම් කරන බවනම් දන්නවා.
DeleteNice article mate. BTW, how was the halloween celebration?
ReplyDeleteHaving fun! :)
Deleteඅපූරු විස්තරයක්
ReplyDeleteවිචාරක දීයණිය
ස්තුතියි!
Deleteඋඩයට මාරු උනත් පැත්තට මාරු උනත් අපි එකම තැනනේ
ReplyDeleteඒකනේ!
Delete