Tuesday, October 17, 2017
සමන්තභද්‍ර හිමි දමනය වුනාද?
පිටිදූවේ සිරිධම්ම නොහොත් සමන්තභද්‍ර හිමි යනු පසුගිය වසර කිහිපය මුළුල්ලේම කලින් කලට පුවත් මැවූ අයෙකි. ඔහු ජනප්‍රිය වන්නට පටන් ගත්තේ සමන්තභද්‍ර වන්නට පෙර සිරිධම්ම කාලයේදීමය. එහෙත්, තමන් රහත් භාවයට පත්ව සිටින බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ ජනප්‍රියත්වය විශාල ලෙස ඉහළ ගියේය. මේ කාලය තුළ සමන්තභද්‍ර හිමිගේ ප්‍රසිද්ධිය ඔහුගේ ජනප්‍රියත්වයටත් වඩා වේගයෙන් ඉහළ ගියේය.
සමන්තභද්‍ර හිමි රහත් වී සිටීද යන්න පෞද්ගලිකව මට කිසිසේත්ම වැදගත් කරුණක් නොවේ. එය මට පරීක්ෂා කර නිගමනය කළ හැකි දෙයක්ද නොවේ. වෙනත් අයෙකුට එසේ කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේද නැත. එසේ කිරීමේ හැකියාවක් ඇත්නම් ඒ හැකියාව හේතුවෙන්ම එසේ පරීක්ෂා කරන දෙය රහත් භාවය නොවන වෙනත් දෙයක් බවට පත් වේ.
සමන්තභද්‍ර හිමි යනු එක්තරා ආකාරයක කැරලිකරුවෙකි. ඔහු මේ කැරැල්ල ගැසුවේ ලංකාවේ සියවස් ගණනක් තිස්සේ ස්ථාපිත වී තිබුණු ආයතනික ව්‍යුහයකට විරුද්ධවය. මෙය සටනක් නොවී කැරැල්ලක් වන්නේ ඔහු සටන් කළේ මේ ආයතනික ව්‍යුහය ඇතුළේම සිට මිස එයින් පිටතට බැස නොවූ බැවිනි.
සමන්තභද්‍ර හිමිගේ කැරැල්ලේ පැත්තකට වී බලා සිටින්නට තරම් දෙයක් තිබුණේය.
පිටිදූවේ සිරිධම්ම හිමි යනු විද්‍යා උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුව, දැනුම් තේරුම් ඇති තරුණ වයසේදී පැවිදි දිවියට ඇතුළු වූ අයෙකි. මේ වන විට මා පෞද්ගලිකව දැන සිටි ඉංජිනේරු උපාධිධාරීන්ද කිහිප දෙනෙක්ම පැවිදි දිවියට ඇතුලත්ව ජනප්‍රිය ධර්ම දේශකයන්ව සිටියත් දශක කිහිපයකට පෙර විද්‍යා උපාධිධාරියෙකු පැවිදි දිවියට ඇතුළත් වීම හෝ තරුණ වයසේ අය පැවිදි දිවියට ඇතුළු වීම සුලභ සිදුවීම් නොවීය.
මා කුඩා කාලයේ දැන සිටි බොහෝ බෞද්ධ භික්ෂූන් ඉතා කුඩා කාලයේදී පැවිදි දිවියට ඇතුළු වූ අයයි. එසේ නැත්නම්, ගිහි සැප විඳ මහළු වයසේ පැවිදි වූ අයයි. තරුණ වයසේ අයෙකු පැවිදි වීම සිදු වුණේ ඉතා කලාතුරකිනි. අපේ දහම් පාසැලේ භක්ති ගීත කණ්ඩායමට සංගීතය පුහුණු කළ ප්‍රසන්න අයියා (සැබෑ නම නොවේ) මෙසේ තරුණ වයසේදී පැවිදි වූ, එවකට මා දැන සිටි එකම පුද්ගලයාය. ඒ දින වල අසන්නට ලැබුණු පරිදි, ඔහු පැවිදි වීමට හේතු වුනේ පෙම් සබඳතාවක් බිඳ වැටීම නිසා ඇති වූ කලකිරීමයි.
ඒ කාලයේ, මේ අයුරින් කුඩා කාලයේදී පැවිදි වූ බොහෝ හිමිවරුන් උසස් අධ්‍යාපනය ලැබීමට සරසවියට ඇතුළු වුවත් ඒ කලා අංශයකින් මිස විද්‍යා අංශයෙන් නොවේ. එසේ ඇතුළු වූ අයගෙන් විශාල පිරිසක්ද උපාධිය හා රජයේ රැකියාවක් , බොහෝ විට ගුරු පත්වීමක්, ලබා ගැනීමෙන් අනතුරුව, ඇතැම් විට ඊටත් පෙරම, උපැවිදි වූහ. මෙයට ප්‍රධාන වශයෙන්ම ආර්ථික හා සමාජයීය කරුණු මුල් වන්නට ඇති බව කියන්නට බැරි නැතත් වැඩිදුර අධ්‍යාපනයට සමාන්තරව ලැබෙන "විද්‍යාත්මක අවබෝධය" හා පෙර පැවති ආගමික විශ්වාස අතර ගැටුමද මෙයට හේතුවක් වන බව සිතිය හැකිය.
උපාධියක් ලබා ගැනීමෙන් පසුව, විශේෂයෙන්ම විද්‍යා උපාධියක් ලබාගැනීමෙන් පසුව තරුණයෙක් පැවිදි බිමට පිවිසීම දශක දෙක තුනකට පෙර දැන් තරම්වත් සාමාන්‍ය සිදුවීමක් වූයේ නැත. එවැනි පසුබිමක, විද්‍යා උපාධිධාරී තරුණයෙක් පැවිදි වූ විට ඔහුට පෙනෙන, වෙනත් අයට නොපෙනෙන "සිරා දෙයක්" එහි ඇති බව සිතන්නට බොහෝ දෙනෙකු පෙළඹීම තේරුම් ගන්නට අපහසු නැත. සාමාන්‍යයෙන් බණ අහන්නට උනන්දුවක් නොදක්වන මගේ ඇතැම් මිතුරන් පවා මෙවැනි උපාධිධාරී හා තරුණ වියේදී පැවිදි වූ හිමිවරුන්ට ආකර්ෂණය විය.
මා එක් වරක් පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ධර්ම දේශනයකට සවන් දී තිබේ. ඒ ඔහු සමන්තභද්‍ර වන්නට පෙරය. ඒ කාලයේ ඔහුගේ ධර්ම දේශනා වෙනත් අයගේ ධර්ම දේශනා වලින් වෙනස් වුණේ අන්තර්ගතයේ වූ "විද්‍යාත්මක" ගතිය නිසාය. මේ ධර්ම දේශනා හරහා පිටිදූවේ සිරිධම්ම හිමි වටා පිරිසක් එකතු වුවත්, එසේ එකතු වුනේ විද්‍යාව විශ්වාස කළ අයයි.
විද්‍යාවට හා ආගමික විශ්වාස වලට එක්ව ගමනක් යා හැකි නිශ්චිත සීමාවක් තිබේ. මේ සීමාව විසින් පිටිදූවේ සිරිධම්ම හිමිගේ ගමනාන්තයද සලකුණු කළේය. සිරිධම්ම හිමිගේ අනුගාමිකයින්ට (එවැනි ස්ථිර පිරිසක් සිටියේනම්) ඔහුගේ ධර්ම දේශනා තමන්ගේ "විද්‍යාත්මක" විශ්වාස වලට අනුපූරකයක් වූවා මිස විකල්පයක් වුණේ නැත. ඒ නිසා, ලංකාවේ සංඝ සමාජය ප්‍රමුඛ බෞද්ධ ආයතනික ව්‍යුහය සමඟ ඔහුගේ ගැටුමක් තිබුණේද නැත.
පිටිදූවේ සිරිධම්ම හිමි සිරි සමන්තභද්‍ර ලෙස රූපාන්තරණය වන්නේ මෙවැනි පසුබිමකය. මේ සමඟම ඔහු විසින් ප්‍රකාශයට පත් කළේ මෙතෙක් ලංකාවේ බෞද්ධ ආයතනික ව්‍යුහය තුළ කිසිවෙකුට ලඟා කරගත නොහැකි වූ ඉලක්කයක් වූ රහත් භාවය තමන් විසින් ලබාගෙන සිටින බවයි.
සිංහල බෞද්ධයින් යනු නිවන් දකින්නට බලාගෙන සිටින පිරිසකි. එහෙත් ඒ නිවන කොහේවත් පෙනෙන්නට නැත. නිවන් දුටු අය ගැන ඔවුන් අසා ඇතත් එවැනි අය අහල පහළ දකින්නටද නැත. ඒ නිසා, නිවන ගැන එක් එක් පුද්ගලයාට තිබෙන්නේ තමන්ට සාපේක්ෂ අදහසක් පමණි.
අතුරු කතාවක් ලෙස, ඇතැම් අයට ප්‍රශ්නයක් වී තිබෙන්නේ නිවන් දකින පුද්ගලයෙකු නොසිටීනම් නිවන් "දකින්නේ" කවුද යන්නයි. ආගමික කරුණු පැහැදිලි කිරීම මගේ වපසරියෙන් පිටත දෙයක් වුවත්, මා මේ සංකල්පය තේරුම් ගන්නා ආකාරය අනුව නිවන් දකින්නේ සෝවාන් වූ පුද්ගලයාය. සෝවාන් වන තුරු පෘතග්ජන පුද්ගලයෙකුට නිවන "දැකිය" නොහැකිය. එතෙක් දුර යා යුත්තේ ශ්‍රද්ධාවෙනි. රහත් වූ පසු "නිවන් සැප විඳින" පුද්ගලයෙක් නැත. ඒ නිසා නිවන් දැකීම යනු සෝවාන් වීම විය යුතුය.
තමන්ට දැකිය නොහැකි, හරියටම නොදන්නා දෙයක් හඹා යන පුද්ගලයෙකුට ඒ සඳහා අවශ්‍ය වන විශ්වාසය ඇති කර ගැනීම පහසු කරුණක් නොවේ. එහෙත්, එසේ කළ හැකි බොහෝ අය සිටිති. පවතින සමාජයට වඩා සාධාරණයයි තමන් විශ්වාස කරන, සුළු පිරිසක් විසින් බහුතරයකගේ කැමැත්ත නොතකා සැලසුම් කරන සමාජයක් කෘතීම ලෙස හදන්නට මහන්සිවන සමාජවාදීන් උදාහරණ ලෙස දැක්විය හැකිය. ලෝකයේ කිසිදිනක පැවතී නැති, සාධාරණ සමාජයක් හදන්නටයයි කියමින් වෙනත් අයගේ නිදහස පැහැරගන්නට එවැනි අය පැකිලෙන්නේ නැත.
කෙසේවුවද, මිනිසුන්ට විශ්වාස අවශ්‍යය. හෘද සැත්කමකට මුහුණ දෙන රෝගියෙකු ජීවිත අවදානමක් ගන්නේ එයින් තමන්ට යහපතක් සැලසෙනු ඇතැයි යන විශ්වාසයෙනි. සරසවියක වෛද්‍ය විද්‍යා හෝ ඉංජිනේරු විද්‍යා පාඨමාලාවක් හැදෑරීම සඳහා සිය ජීවිත කාලයෙන් වසර ගණනාවක් කැප කරන අයෙකු ඒ සඳහා පෙළඹෙන්නේ එමඟින් සිය අනාගත ජීවිතය යහපත් වනු ඇතැයි යන විශ්වාසයෙනි.
සමාජවාදය නිසා අමාරුවේ වැටුණු රටවල් මිස ගොඩ ගිය රටවල් නැතත්, හෘද සැත්කම් අසාර්ථක වී මිය ගිය අය මෙන්ම සුවය ලැබූ අයද පෙනෙන්නට සිටිති. මිය ගිය ගණනට වඩා සුවය ලබන අය වැඩි බව පෙනෙන්නට තිබේ. වෛද්‍ය විද්‍යා හෝ ඉංජිනේරු විද්‍යා පාඨමාලාවක් හැදෑරීමෙන් පසුවද ජීවිත සාර්ථක කර නොගන්නා අය සිටියත්, එවැනි පාඨමාලාවක් හදාරන බොහෝ දෙනෙකු ජීවිත සාර්ථක කරගන්නා බව පෙනෙන්නට තිබෙන දෙයකි.
ස්වර්ගයේදී ලැබෙන කන්‍යාවන් හෝ මනෝරාජික සමාජවාදී රාජ්‍ය මෙන් නොව සරසවි පාඨමාලාවක් හැදෑරීමෙන් පසුව හෝ හෘද සැත්කමකින් පසු ලැබෙන සාර්ථකත්වය සඳහා උදාහරණ පෙනෙන්නට තිබේ. ඒ නිසා, එවැනි දේවල් ගැන ගැන විශ්වාස කිරීම තමන්ට නොපෙනෙන දේවල් විශ්වාස කිරීම අපහසු අයටද කළ හැකිය.
සමන්තභද්‍ර හිමි විසින් තමන් රහත් භාවයට පත් වූ බව ප්‍රකාශ කිරීම නිසා සිංහල බෞද්ධ සමාජයේ ඇති වූ කම්පනය තේරුම් ගත යුත්තේ මේ සන්දර්භයේය. මෙතෙක් කල් තමන් දැක නැති, දුටු අයෙකුද දැක නැති නිවන පසුපස හඹා ගිය බොහෝ දෙනෙකු ඉදිරිපිට දැන් හදිසියේම තමන්ට දැකිය නොහැකි නිවන දුටු අයෙකු සිටී. මෙය සමාන කළ හැක්කේ සුව කළ නොහැකි ලෙස සැලකෙන රෝගයකින් සුවය ලැබූ පුද්ගලයෙකු පළමු වරට දකින්නට ලැබීමටය. එහි වැදගත්කම මිනිය නොහැකි තරම්ය.
කෙසේ වුවත් මෙහි පොඩි පරහක්ද තිබේ. ලෙඩා ඇත්තටම සුව වූවාද යන්න වෙනත් අයට පරීක්ෂා කළ නොහැකිය. එයද විශ්වාස කළ යුත්තකි. සමන්තභද්‍රවාදීන් හා සමන්තභද්‍ර විරෝධීන් දෙපිල බෙදෙන්නේ මේ කරුණේදීය.
රහත් භාවය යනු, අර්ථදැක්වීම අනුවම, සාමාන්‍ය පුද්ගලයෙකුට සිය ඉන්ද්‍රිය පද්ධතිය හරහා ග්‍රහණය කරගත නොහැකි සංකල්පයකි. එසේ කළ හැකිනම් එය රහත් භාවය විය නොහැකිය. ඒ නිසා, කෙනෙකුගේ රහත් භාවය වෙනත් අයෙකුට පරීක්ෂා කළ නොහැකිය. මේ සංකල්පීය උගුලේ වාසිය සමන්තභද්‍ර හිමියන්ට ලැබුණේය. ටික කලකට පෙර සමන්තභද්‍ර හිමිගේ රහත් භාවය පරීක්ෂාවට ලක් කරන්නට ගිය සංසරණී බ්ලොග් අඩවිය ලියන අතුල සිරිවර්ධන වැනි අය මේ උගුලේ හිරවුණේය. සමන්තභද්‍ර හිමිගේ ප්‍රකාශය විශ්වාස කළේයැයි සිතිය නොහැකි බොහෝ බෞද්ධ භික්ෂූන් ඔහුට අභියෝග කරන්නට පෙරට නොපැමිණියේ උගුලේ ස්වභාවය ගැන මනා අවබෝධයක් තිබුණු නිසායැයි සිතිය හැකිය.
සියවස් ගණනක් තිස්සේ නිවන සොයා යන්නට පුහුණු කර ඇති සමාජයක් තුළ නිවන සාක්ෂාත් කරගත් අයෙකු හොයා ගන්නට ඉල්ලුමක් ඇතිවීම ස්වභාවිකය. සිංහල බෞද්ධ සමාජය විසින් කලින් කලට නිවන් මාර්ගයට පිවිසි අයෙකු ලෙස තමන් විසින් හඳුනා ගන්නා සංකල්පීය පුද්ගලයා සමඟ ආසන්න ලෙස සමපාත වන පුද්ගලයින් වෙත සෝවාන් තත්ත්වය හෝ රහත් තත්ත්වය ආරෝපණය කරන්නට උනන්දු වූයේය. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි වැනි අය උදාහරණයි. එහෙත්, ඒ කිසිවෙකු සමන්තභද්‍ර හිමි මෙන් තමන්ගේ රහත් භාවය ප්‍රකාශයට පත් කළේ නැත.
පිටිදූවේ සිරිධම්ම හිමි සමන්තභද්‍ර ලෙස රූපාන්තරණය වීම ලංකාවේ බෞද්ධ සමාජයේ සිදුවූ එක්තරා ආකාරයක සුසමාදර්ශීය වෙනසකි. බොහෝ දෙනෙකු විසින් සොයමින් සිටින, එහෙත් හරියටම කුමක්දැයි නොදන්නා සංකල්පීය ඔසුව ගැන හරියටම දන්නා බව කියන, පළමෝත අත්දැකීම් ඇති අයෙකු ලෙස පෙනී සිටින අයෙකු දැන් පෙනෙන්නට සිටී. ඔහුව පිළිගැනීම හෝ නොගැනීම එක් එක් පුද්ගලයාගේ කාර්යයකි.
මෙතැනදී සමන්තභද්‍රවාදීන් හා සමන්තභද්‍ර විරෝධීන් දෙපිල බෙදෙන්නේ රහත් භාවයට පැමිණි පුද්ගලයෙකු ලෙස තමන් තුල සිටින සංකල්පීය පුද්ගලයා කවුද යන්න මතය. සිංහල බෞද්ධයන් බොහෝ දෙනෙකුට අනුව මේ පුද්ගලයා සන්සුන් ගමන් ඇති, සන්සුන් කතා ඇති, අල්පේච්ඡ ජීවන රටාවක් ඇති, සුපේශල ශික්ෂාකාමී භික්ෂුවකි. සමන්තභද්‍ර චරිතය මේ ආකෘතිය සමඟ ගැටෙන තැන් බොහෝ තිබුණේය.
සමන්තභද්‍ර හිමි තමන් රහත් තත්ත්වයට පත්වූ බව ප්‍රකාශ කරනවාට අමතරව තවත් බොහෝ දේද කළේය. මේ බොහෝ දේ, සමස්තයක් ලෙස, ලංකාවේ කාලයක් තිස්සේ පැවති බෞද්ධ ආයතනික ව්‍යුහයට පහර දීමක් ලෙස සැලකිය හැකිය. වෙනත් බොහෝ බෞද්ධ භික්ෂූන් රහසිගතව කරන දේවල් වලින් කොටසක් ඔහු ප්‍රසිද්ධියේම කරන්නට පටන් ගත්තේය. ඇතැම් අයගේ මනසේ සිටි රැස් විහිදෙන, අහසින් යන, දහ අට රියන් බුදුන් සමන්තභද්‍ර හිමියන් විසින් මහ පොළොවට ගෙනාවේය. මෙහිදී, සමන්තභද්‍ර හිමි කටයුතු කළ ආකාරය පිටිදූවේ සිරිධම්ම කාලයේදී කළ දෙයෙහිම දිගුවක් ලෙස සැලකිය හැකිය.
පරීක්ෂා කර බැලීමේ හැකියාවක් කිසිවෙකුට නැති රහත් භාවය වැනි කරුණු පැත්තකින් තිබ්බොත් සමන්තභද්‍ර හිමිගේ විවේචන බොහොමයකට කිසියම් පදනමක් තිබුණේය. ඔහුගේ විවේචකයින්ට පවා ඔහු කියන ඇත්ත බැහැර කර සිටින්නට නොහැකි විය. සිය ස්වයං ප්‍රකාශිත රහත් භාවය නිසා සමන්තභද්‍ර හිමිගේ විවේචන වලට කිසියම් වලංගු භාවයක් ලැබුණේය. සාමාන්‍ය භික්ෂුවක ලෙස බෞද්ධ ආයතනික ධුරාවලියේ පහළ තැනක සිටි ඔහුට සිය ස්වයං ප්‍රකාශිත රහත් භාවය හරහා එහි ඉහළටම එසවෙන්නට හැකි විය. එහෙත්, එය කළ හැකි වූයේ ඔහුගේ සීමිත, එහෙත් භක්තිවන්ත අනුගාමික පිරිස හමුවේදී පමණි.
කෙසේ වුවද, එක දෙයක් විශේෂයෙන්ම කිව යුතුය. කෙතරම් රැඩිකල් බව පෙනෙන්නට තිබුණත් සමන්තභද්‍ර හිමි හැමදාමත් හිටියේ සිංහල බෞද්ධ ආයතනික ව්‍යුහය ඇතුළේය. ඔහු එහි පරිධියට මිස එයින් පිටතට ගියේ නැත.
සමන්තභද්‍ර හිමි බෞද්ධ ධර්ම ග්‍රන්ථ හොඳින් පරිශීලනය කර ඒවායේ අන්තර්ගතය අවබෝධ කරගෙන තිබුණේය. ඔහු ඒ ධර්ම ග්‍රන්ථ හෝ බෞද්ධ ධර්මයේ මූලික කරුණු විවේචනය කළේනම් ඒ ඉතා සැලකිල්ලෙනි. ඔහු බොහෝ විට විවේචනය කළේ වත්මන් ආයතනික ව්‍යුහය හෝ භාවිතාවයි. එහිදී හැමවිටම වාගේ ඔහු භාවිතයේ ඇති ධර්ම ග්‍රන්ථ වල ඇති කරුණු මූලාශ්‍ර කර ගත්තේය. ඔහු සිය ශ්‍රාවකයින්ව නිවන් මඟට යොමු කරනවා මිස (ඒ මඟ කුමක් වුවත්) වෙනත් ලෞකික අරමුණු කෙරෙහි යොමු නොකළේය.
ජනාධිපතිවරයාගේ චර්යාවක් වරක් විවේචනය කළත් සාමාන්‍යයෙන් සමන්තභද්‍ර හිමි දේශපාලනයට මැදිහත් වුණේ නැත. "නිදහස් අධ්‍යාපනය රැකගැනීම", "සාධාරණ සමාජයක් හැදීම" වැනි අරමුණු වලට තබා "රට ජාතිය බේරාගැනීම" වැනි අරමුණු වලට හෝ ඔහු ඔහුගේ ශ්‍රාවකයින්ව යොමු නොකළේය. ඔහුගේ එකම ප්‍රකාශිත අරමුණ වුනේ සිය ශ්‍රාවකයින්ට නිවන් දකින්නට උදවු කිරීමයි. මෙය බෞද්ධයෙකුගේ මූලික අරමුණයි.
නිවන් දකින්නට බලාපොරොත්තුවෙන් සිටින සිය ශ්‍රාවකයින්ට සමන්තභද්‍ර හිමි විසින් ලබා දුන්නේ ඉන්ස්ටන්ට් රෙසිපියකි. මේ රෙසිපිය අනුගමනය කරන අය සිය අරමුණ සාක්ෂාත් කරගන්නට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බලා සිටින්නට අවශ්‍ය නැත. ඔහුගේ බොහෝ අදහස් ඕෂෝගේ අදහස් වලට කිට්ටුවෙන් ගියේය. ඇතැම් අදහස් මහායානික අදහස් මෙන් පෙනෙන්නට තිබුණේය. එහෙත්, හැම විටකම වාගේ ඔහු තමන්ගේ දේශනා ලංකාවේ ප්‍රධාන ධාරාව තුළ පිළිගැනෙන ථෙරවාද බෞද්ධ ධර්මය සමඟ ගැලපීමට සැලකිලිමත් විය.
සිංහල බෞද්ධයින් අතරද නිවන් දැකීමේ අපේක්ෂා හා අදාළව, හරියටම ඉරකින් බෙදිය හැකි නොවුවත්, කොටස් දෙකක් සිටී. එයින් බහුතරයට නිවන් දකින්නට හදිස්සියක් නැත. ඒ අයට, අවශ්‍ය වන්නේ හැකි තරම් දෙවු මිනිස් සැප වළඳා ඔහේ පුළුවන් වූ දවසක නිවන් දකින්නටය. ඒ නිසා, පන්සලේ පින්කමට සහභාගී වී පැමිණ හවසට සෙට් වෙන එක, දිනපතා ගන්නා අල්ලස් මුදලින් අට පිරිකරක් මිලදී ගෙන පූජා කිරීම හෝ රට ජාතිය වෙනුවෙන් මිනියක් දෙකක් මැරීම වුවත් ඒ තරම්ම ලොකු ප්‍රශ්න නොවේ. ඔය හැම එකම හරියටම කරන්නට පුහුණු වන්නට කල්ප ගනනක කාලයක් තිබේ.
කෙසේ වුවද, ඔය අස්සේ හදිස්සි කාරයෝ කොටසක්ද සිටිති. ඒ අයට, නිවන් දකින්නට ඔය තරම් කාලයක් බලා ඉන්නට පුළුවන් කමක් නැත. විප්ලව වලින් සමාජය ක්ෂණිකව වෙනස් කරන්නට බලා සිටින අය මෙන්ම ෂෝට් කට් වලින් නිවන් යන්නට කැමති පිරිස්ද ලංකාවේ සිටිති.
සමන්තභද්‍ර හිමි වටා එකතු වන්නේ මෙහි සඳහන් දෙවන පිරිසයි. එයට අමතරව, පවතින ආයතනික ව්‍යුහය සමඟ ප්‍රශ්න ඇති, එහෙත් ඒ තුළම රැඳී සිටින්නටද අවශ්‍ය පිරිස්ද සමන්තභද්‍ර හිමි වටා එකතු වේ. මේ අය අතර ලංකාවේ කතෝලික ආයතනික ව්‍යුහය සමඟ ප්‍රශ්න ඇති කිතුණුවෝ වැනි අය පවා සිටිති.
මෑතකදී කතාබහට ලක්වුණු ඉරාජ් වීරරත්න සමන්තභද්‍ර හිමිගේ අනුගාමිකයින් සඳහා උදාහරණයකි. ඔහුට ලංකාවේ ස්ථාපිත ආයතන සමඟ මෙන්ම පොදුවේ ලංකාවේ සංස්කෘතිය සමඟත් ප්‍රශ්න තිබේ. ඔහු එම සංස්කෘතිය තුළම රැඳෙමින් එහි අධිපති මතවාදයන්ට එරෙහිව කැරලි ගසයි. එහෙත්, ඔහුටද සමන්තභද්‍ර හිමිට මෙන්ම මේ සංස්කෘතියේ හා ආයතනික ව්‍යුහයන්හි පරිධියට මිස එයින් ඔබ්බට යන්නට තරම් ධෛර්යයක් නැත. ඒ නිසා, මේ දෙදෙනාම කලක සිට කරමින් ඉන්නේ තමන් රැඳී සිටින සංස්කෘතික වපසරියේ පරිධිය විශාල කිරීමයි.
මේ කටයුත්ත අවදානම් සහගත වැඩකි. තමන් ඇතුළු සමාජය රැඳී සිටින ඉඩකඩ පුළුල් කිරීම ඕනෑවට වඩා වේගයෙන් සිදු කරන අයෙකු නොදැනීම එයින් ඔබ්බට විසි වී කිසිදු වටිනාකමක් නැති, සමාජයට පිටින් සිටින හුදෙකලා පුද්ගලයෙකු වන්නට ඉඩ තිබේ. ඉරාජ් වීරරත්න මෙන්ම සමන්තභද්‍ර හිමිද මේ ගැන මනා අවබෝධයකින් සිටියේය. ඔවුන් හැමවිටම වාගේ පසුපස පාදය ඉදිරියට ගත්තේ ඉදිරිපස පාදය ස්ථාවර ලෙස රඳවා ගැනීමෙන් පසුවය.
සමන්තභද්‍ර හිමි සෑහෙන කාලයක් පරිස්සමෙන් ක්‍රීඩා කළේය. ඒ නිසා, සමන්තභද්‍ර විරෝධීන් අතරත් ඔහුට කිසියම් තැනක් තිබුණේය. එවැන්නන්ට ඔහුගේ රහත් භාවය ප්‍රශ්න කළ හැකි වුවත් භික්ෂු භාවය ප්‍රශ්න කිරීමට වලංගු පදනමක් නොතිබුණු බැවින් බෞද්ධ ආයතනික ව්‍යුහය තුළ ඔහුට අයිති වූ කිසියම් නිශ්චිත ඉඩක් තිබුණේය. ඒ ඉඩ නැති කර නොගැනීමට ඔහු සැලකිලිමත් විය. ඔහුගේ සියලු ප්‍රහාර එල්ල කෙරුණේ මේ ඉඩ නැති වීමේ අවදානම ගැන සැලකිලිමත් වෙමිනි.
සමන්තභද්‍ර හිමි විසින් පරිධියේ සිට පරිධිය දිගින් දිගටම විශාල කිරීම කේන්ද්‍රයේ රැඳී සිටි අයට ප්‍රශ්නයක් විය. පරිධිය ඈතට යන විට කේන්ද්‍රය ආසන්නයේ සිටින පිරිස් ක්‍රමයෙන් කේන්ද්‍රයෙන් ඈත් වේ. ඒ නිසා, මේ කටයුත්තට තිරිංග දැමීමට ඔවුන්ට අවශ්‍ය විය. එහෙත්, සමන්තභද්‍ර හිමිගේ උපක්‍රමික චලනයන් හමුවේ එය කිරීම පහසු වූයේ නැත. පහසු නොවූවද, කිසියම් මොහොතක එය සිදු විය යුතුව තිබුණි.
අන්තිමේදී ඒ අවස්ථාව එළැඹී තිබේ. තමන් රහත් භාවයට පත්ව සිටීයැයි කලක් තිස්සේ ප්‍රකාශ කරන, රජෙක් මෙන් සිංහ සෙය්යාවෙන් වැජඹුණු සමන්තභද්‍ර හිමියන් විසින් දැන හෝ නොදැන කළ ප්‍රකාශයක් වෙනුවෙන් ලිඛිතව හා වාචිකව සමාව ගනිමින් මහනායක හිමිවරුන් අභියස පසඟ පිහිටුවා තෙවරක් වැඳ වැටීම තුළ ප්‍රකාශ වන්නේ සිංහල බෞද්ධ ආයතනික ව්‍යුහය තුළම රැඳෙමින් එයට අභියෝග කළ හැකි උපරිම සීමාවයි. සමන්තභද්‍ර හිමියන් විසින් පසුව කවර පැහැදිලි කිරීමක් කළත් ඒ සීමාව දැන් සටහන් වී අවසන්ය.
මේ ආකාරයෙන්ම සංගීතය හරහා පවතින සම්ප්‍රදායට අභියෝග කරමින් කිසියම් ආකාරයක සීමා පුළුල් කිරීමක් කළ ඉරාජ් වීරරත්නද එහි ආන්තික සීමාවට පැමිණ හිර වී වැඩි දවසක් නැත. සමන්තභද්‍ර අනුගාමිකයෙකු වන ඉරාජ් දැන් මාධ්‍ය හමුවට පැමිණ කියන්නේ ඔහුගේ වීඩියෝවේ කෙසෙල් ගෙඩි පෙන්වන්නේ කෙසෙල් වල පොටෑසියම් තිබෙන නිසා බවයි. සමන්තභද්‍ර හිමි මාධ්‍ය වලට කියන්නේ ඔහු දළදා වහන්සේට අපහාස නොකළ බව හා ඔහුගේ කතාවෙන් කොටසක් මාධ්‍ය මඟින් උලුප්පා පෙන්වූ බවයි.
ළඟ ළඟ සිදු වූ මේ සිදුවීම් දෙක සම්බන්ධයක් නැති අහඹු සිදුවීම් දෙකක්ද?
සමන්තභද්‍ර හිමි මෙන්ම ඉරාජ් වීරරත්නද කැරලි ගැසූ අයයි. ඔවුහු කාලයක් දිගින් දිගටම ඉදිරියට ගියහ. මට තේරෙන හැටියටනම් දැන් ඒ ගමන් තීරණාත්මක ලෙස නැවතී හෝ ආපසු හැරී තිබේ. මෙයින් සංකේතවත් වන දේශපාලනය දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු.
Labels:
ආගම් හා දර්ශන,
දර්ශනය,
දේශපාලනය,
බුදු දහම,
සංගීතය
Monday, October 9, 2017
බනානා සංගීතය, සමාජ මාධ්‍ය හා ලිංගික අධ්‍යාපනය
ටික කලකට පෙර සිදු වූ වික්ටර් රත්නායකගේ විවාහය සමාජ මාධ්‍ය වල ලොකුවටම හිට් විය. වික්ටර් රත්නායක ප්‍රසිද්ධ, ප්‍රවීණ හා ජනප්‍රිය ගායකයෙකු වුවත් ඔහුගේ විවාහය එයින් පරිබාහිර පෞද්ගලික කටයුත්තක් විය. මේ විවාහය නිසා වික්ටර්ගේ ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය තවත් ඉහළ ගියත් එය නිරායාසයෙන් සිදු වූවක් මිස වික්ටර් විසින් සැලසුම්ගත ලෙස සිදු කළ දෙයක් නොවේ. මෙය විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ලංකාවේ හා ලෝකයේ ඇතැම් කලාකරුවන් තමන්ගේ ප්‍රසිද්ධිය අඩුවන විට එවැනි දේවල් කරන අවස්ථාද දුලබ නැති බැවිනි. වික්ටර් විසින් එසේ කළේනම් වුවද එහි ඇති වැරැද්දක්ද නැත.
වාර්තා වී තිබුණු තොරතුරු අනුව වික්ටර්ගේ විවාහය සිදුව තිබුණේ ක්ෂණික තීරණයක් ලෙස නොවේ. ඔහු විසින් නීත්‍යානුකූල ලෙස විවාහ කරගෙන තිබුණේ වසර ගණනක් තිස්සේ ඇසුරු කරමින් සිටි කාන්තාවකි. කෙසේ වුවද, මේ විවාහය බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය. ඒ විවේචන තවත් බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් විය. මේ සංවාදය බොහෝ දුරට සිදුවුණේ සමාජ මාධ්‍ය ඇතුළේය. මේ හේතුවෙන් වික්ටර් රත්නායකගේ ප්‍රසිද්ධිය විශාල ලෙස ඉහළ ගියත් ඔහු ඒ ප්‍රසිද්ධිය මුදල් කරන්නට පෙළඹුණේ නැත. එසේ කළේනම් ඔහුට සැලකිය යුතු මුදලක් උපයාගත හැකිව තිබුණේය.
වික්ටර් රත්නායක විසින් යම් හෙයකින් තමන්ගේ විවාහය හේතුවෙන් ලැබුණු ප්‍රසිද්ධිය මුදල් කළේනම් එය වරදක් වන්නේවත්, එසේ නොකිරීම නිසා ඔහු විශිෂ්ඨයෙකු වන්නේවත් නැත. එය ඔහුගේ පෞද්ගලික තීරණයක් පමණි.
කෙසේ වුවද, වික්ටර් රත්නායකගේ විවාහය නිසා ඔහුට ලැබුණු ප්‍රසිද්ධිය ඔහු විසින් මුදල් කර නොගැනීම නිසා ඇති වුණු නොසන්සිඳුණු ඉල්ලුම සපුරමින් මුදල් හොයන්නට ඉරාජ් ඉදිරිපත් විය. ඇතැම් අය කියන පරිදි ඉරාජ්ගේ ගීතයේ සංවාදයට ලක් වෙන්නේ පොදු ප්‍රශ්නයකි. අමරසිරි පීරිස්ගේ 'මගේ පුංචි රෝස මලේ ගීතයේ' තේමාවද ඉරාජ්ගේ අලුත් ගීතයේ තේමාවට තරමක් ආසන්නය. තේමාව පොදු එකක් වුවත් නොවුවත්, ඉරාජ් විසින් තමන්ගේ අලුත් ගීතය අලෙවි කිරීම සඳහා වික්ටර් රත්නායකට ඔහුගේ විවාහය නිසා ලැබුණු ප්‍රසිද්ධිය ප්‍රයෝජනයට ගෙන ඇති බව පැහැදිලි කරුණකි.
ඉරාජ් කියන්නේද විශාල රසික පිරිසක් සිටින ප්‍රසිද්ධ ගායකයෙකි. වෙනත් බොහෝ ගායකයින්ගේ ගීත මෙන් ඉරාජ්ගේ අලුත් ගීත බොහොමයක් ශ්‍රව්‍ය අත්දැකීමක් ලෙස පමණක් රස විඳිය නොහැකිය. ඉරාජ් විසින් පැකේජ් කර අලෙවි කරන කලා නිර්මාණ බොහොමයක් වීඩියෝවක් ලෙස රස විඳිය යුතු, සාමාන්‍ය ගීතයකට වඩා වැඩි දෙයකි. ඒ නිර්මාණ වල ගීතයේ පද මාලාව, සංගීතය හා ගායනයට අමතරව, බොහෝ විට මේ අංග වලටත් වඩා වැඩියෙන්, රූප රචනය කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ කරුණ බැහැර කර ඉරාජ්ගේ නිර්මාණ දෙස බැලිය නොහැකිය.
ඉරාජ් යනු මගේ ප්‍රියතම ගායක ලැයිස්තුවේ ඉහළින් සිටින්නෙකු නොවේ. වික්ටර් රත්නායක ඒ ලැයිස්තුවේ සාපේක්ෂව ඉහළින් සිටින ගායකයෙකි. ඒ මගේ රුචිකත්වය සමඟ මේ දෙදෙනාගේ නිර්මාණ ගැලපෙන ආකාරය අනුව මිස ඉරාජ්ගේ නිර්මාණ "බාල" ඒවා ලෙස මා විසින් ලේබල් කරන නිසා නොවේ. කලා නිර්මාණයක ගුණාත්මක භාවය රසිකයාට සාපේක්ෂ දෙයකි.
ඉරාජ්ගේ නිර්මාණ වල ඔහුගේම අනන්‍යතාවයක් තිබේ. ඒ අනන්‍යතාවයට කැමැත්තක් දක්වන විශාල පිරිසක් සිටී. ඔහු වෙනත් ගායකයින් සාමාන්‍යයෙන් කතා නොකරන ලිංගික තේමා ගැන ඔහුගේ නිර්මාණ හරහා කතා කරයි. එම නිර්මාණ වලට යොදා ගන්නා රූප රචනා සන්දර්භයට ගැලපේ. බොහෝ විට මෙවැනි කරුණු ඔහු අමුවෙන්ම කියයි. අමුවෙන්ම පෙන්වයි. ඔහු එසේ කරන හෝ කර ඇති එකම කලාකරුවා නොවේ. කියන්නට තියෙන දෙය අමුවෙන්ම කියා දමන තවත් බොහෝ කලාකරුවෝ අතීතයේ සිටම සිටියහ. දැනුදු සිටිති.
ඉරාජ් මගේ ප්‍රියතම ගායකයෙකු නොවුවත් ඔහුගේ නිර්මාණ රස විඳින්නට මට බැරිකමක් නැත. යම් හේතුවකින් ඔහුගේ ගීත වීඩියෝවක් නැරඹීමට යොමු වූ අවස්ථා කිසිවකදී මා එය සම්පූර්ණයෙන් නරඹන්නේ නැතිව අතරමඟ නවතා නැත. එහෙත්, වරක් ඇසූ හෝ නැරඹු ඉරාජ්ගේ ගීතයක් නැවත අහම්බෙන් රස විඳින්නට නොලැබුණේනම් මා විසින් දිගින් දිගටම තබා දෙවන වරට හෝ අසා/ නරඹා ඇති බවක් මතක නැත. එමෙන්ම ඔහුගේ මුල් කාලයේ නිර්මාණ කිහිපයක් හැර අලුත් නිර්මාණ කිසිවක් මගේ මතකයේ රැඳීද නැත. වරක් ඇසූ ගීතයක් හෝ නැරඹු ගීත වීඩියෝවක් නැවත නැවත රස විඳින්නට මා පෙළඹෙන්නේ එය රස විඳි පළමු වරම කිසියම් කම්පනයක් ඇති කරන්නට සමත් වන්නේනම් පමණි. එවැනි ගීත ඕනෑ තරම් තිබේ. මට නොදැනුනත්, ඉරාජ්ගේ ගීත වලින්ද එවැනි කම්පනයක් දැනෙන අය සිටින්නට පුළුවන.
ඉරාජ්ගේ අලුත් ගීත වීඩියෝව විශාල ලෙස හිට් විය. එමෙන්ම එය සමාජ මාධ්‍ය වල විශාල ලෙස විවේචනයටද ලක් විය. ඒ විවේචනද සමාජ මාධ්‍ය වල විවේචනයට ලක් විය.
ඉරාජ්ගේ වීඩියෝව විවේචනය කළ අය එසේ කිරීමට අඩු වශයෙන් වෙනස් හේතු තුනක් තිබුණේය. පළමුව, මෙය වික්ටර් රත්නායකට මඩ ගැසීමක් ලෙස හැඳින්වුනේය. දෙවනුව, මේ වීඩියෝවේ සංකේතාත්මක ලෙස කෙසෙල්ගෙඩි හා සොසේජස් යොදාගෙන තිබුණු රූප රාමු විවේචනයට ලක් විය. තෙවනුව, මුදල් පිණිස "අම්මා අප්පා වුවත් විකිණීමේ" ප්‍රවේශය විවේචනයට ලක් විය.
මේ වීඩියෝව හිතාමතාම වික්ටර් රත්නායකට මඩ ගැසීම ප්‍රධාන අරමුණ කරගෙන සැදූවක්යැයි මා විශ්වාස කරන්නේ නැත. එමෙන්ම, ඉරාජ්ගේ නිර්මාණ දෙස සමස්තයක් ලෙස බැලූ විට දෙවන කරුණේද අමුත්තක් නැත. අදාළ රූප රාමු ඔහුගේ ශෛලියට ගැලපේ. එහෙත්, තුන් වන කරුණ බොරුවක්ම නොවේ. ඉරාජ් විසින් කර ඇත්තේ වෙළඳපොළ ඉල්ලුම හඳුනාගෙන විකිණිය හැකි දෙයක් නිර්මාණය කිරීමය. එහිදී ඔහු සම්මත සීමාවන් තුළ හිර වී නැත. මේ කටයුත්තේදී වෙළඳපොළ තුළ ඉරාජ් විසින් අපේක්ෂිත ඉලක්කය සපුරාගෙන තිබේ.
ඉරාජ් මෙහිදී වැරැද්දක් කර තිබේද? ඇතැම් අයට අනුව වැරැද්ද තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා ලැබී ඇති අසීමිත නිදහසේය. ඉරාජ් විසින් මේ තත්ත්වය තමන්ගේ වාසියට හරවා ගෙන තිබේ.
ඉරාජ් විසින් සමාජ මාධ්‍ය සිය වාසිය වෙනුවෙන් යොදාගෙන ඇති බව ඇත්තකි. එහෙත් ඔහු විසින් කිසිවක් බලහත්කාරයෙන් කාගේවත් ඇඟේ ගසා නැත. ඔහු විසින් සිදු කර ඇත්තේ පවතින ඉල්ලුමක් සැපිරීමයි.
ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිත ගැන හාරා අවුස්සන්නට බොහෝ මිනිසුන්ට උනන්දුවක් තිබේ. මේ උනන්දුව සමාජ ජාලා නිසා ඇති වූවක් නොවේ.
වික්ටර්ගේ විවාහය ඇතැම් අයව කම්පනයට ලක් කළේය. ඒ ඔවුන්ගේ සම්මත සමඟ එය නොගැලපුණු බැවිනි. එවැන්නන්ගේ විරෝධය තවත් අයව කම්පනයට ලක් කළේය. මෙවැනි පෞද්ගලික සිදුවීම් මෙන්ම පසුගිය කාලයේ සිදුවූ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී විශාල පිරිසක් මිය යාම වැනි ඛේදවාචකද විශාල පිරිසක් කම්පනය කළේය.
ඉරාජ් හෝ වෙනත් අයෙක් විසින් මීතොටමුල්ල සිදුවීම සිදු වූ අලුත ඒ ගැන ගීතයක් නිර්මාණය කළේනම් එයද ජනප්‍රිය විය හැකිව තිබුණේය. එමෙන්ම, මීතොටමුල්ල මරණ විකුණාගෙන කෑම ගැන එවැන්නෙකුට ඇතැම් අයගේ විවේචන එල්ල විය හැකිවද තිබුණේය.
කලකට පෙර ඇන්ටන් ජෝන්ස් විසින් මෙවැනි ඛේදවාචක ගැන 'අමුවෙන්ම' විස්තර කරන ගීත ගණනාවක්ම අවස්ථාව බලා එළියට දමමින් ආර්ථික වාසියක් ලැබුවේය. ඇන්ටන් ජෝන්ස් විසින් එසේ විකිණූ ගීත අතර වන "ප්‍රේමවතී මනම්පේරි තරුණිය", "කන්දේ හැපුණු මහ වනන්තරේ", "සයුර බලා බඳ ලෙලවා" වැනි ගීත අදටත් ජනප්‍රියව තිබේ. හැත්තෑව දශකය පමණ වන තුරු ලංකාවේ විශාල ලෙස ජනප්‍රියව තිබුණු කවි කොළ වෙළඳපොළ තුළ තනිකරම සිදු වුණේ මෙවැනි එදිනෙදා ජනප්‍රිය සිද්ධි ගැන බොහෝ දෙනෙකුට තිබුණු උනන්දුව මුදල් කර ගැනීමයි. අද සමාජ ජාලා හරහා සිදුවන දෙය ඒ කාලයේදී කවි කොළ වැනි වෙනත් මාධ්‍ය හරහා සිදුවිය.
ඉරාජ් විසින් කළේ පැවති රික්තකයක් පිරවීමයි. වෙනත් අයට පෙර මේ රික්තකය පිරවීම නිසා ඔහුට පුරෝගාමියාගේ වාසිය ලැබුණේය. මෙහිදී සමාජ මාධ්‍ය විසින් ඉටු කළ කාර්ය භාරය වුණේ ඔහුගේ ගීත වීඩියෝව ඒ සඳහා ඉල්ලුමක් ඇති තැන් වලට යොමු කරන්නට මෙවලමක් වීම පමණි.
සමාජ මාධ්‍ය සැලකිය හැක්කේ අවම පරිපාලන රෙගුලාසි ප්‍රමාණයකට යටත්, වාරණයකින් තොර හෝ වාරණය ඉතාම අඩුවෙන් සිදුවන නිදහස් මාධ්‍ය ලෙසිනි. එවැන්නක් හේතුවෙන් අත්වෙන අවසන් ප්‍රතිඵලය වඩා කාර්යක්ෂම එකක් මිස අකාර්යක්ෂම එකක් වන්නට හේතුවක් නැත. කවර මිනුම් දණ්ඩක් භාවිතා කරමින් නියාමනය කළත් අවසන් වශයෙන් නියාමනය විසින් ඉඩ සලසන්නේ අකාර්යක්ෂමතාවයන්ටය.
ඇතැම් අය සිතන පරිදි ඉරාජ්ට මේ වීඩියෝව ප්‍රචාරණය කරන්නට ඉඩ ලැබීමේ කුමක් හෝ වරදක් තිබේ. මේ වරද නියාමනයක් නැති අසීමිත නිදහසද?
නිදහස් වෙළඳපොලක් මෙන්ම සමාජ මාධ්‍ය වැනි නිදහස් මාධ්‍යද ස්වයං නියාමනයට ලක්වේ. එය ස්වභාවිකවම සිදුවන දෙයක් මිස කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් කළ යුතු දෙයක් නොවේ.
ඉරාජ්ගේ වීඩියෝව නිසා කිසියම් තාවකාලික අසමතුලිතතාවයක් ඇති වූයේනම් ඉතා ඉක්මණින් ස්වභාවික ලෙසම එය නැවත සමතුලිත විය යුතුය. ඒ සඳහා කිසිවකු මැදිහත් වීම අවශ්‍ය නොවේ. ඉරාජ්ට පක්ෂව මෙන්ම ප්‍රතිපක්ෂවද ක්ෂණිකව අදහස් දක්වන්නට බොහෝ දෙනෙකුට ඉඩ සැලසුණේ සමාජ මාධ්‍ය නිසාය.
මේ වීඩියෝව නිසා ඉරාජ්ට එරෙහිව විශාල ජනමතයක්ද ඇති වුණේය. වීඩියෝවේ පෙනී සිටි නිලියකට කොරියාවේදී ප්‍රශ්න වලට මුහුණ දෙන්නටද සිදු වී තිබේ. මේ අනුව, පෙනෙන්නේ ඉරාජ්ගේ වීඩියෝව එළියට දැමීමෙන් පසු ඔහුගේ නිර්මාණ වලට විරුද්ධ මතවාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ටද ඉල්ලුමක් ඇති වී ඇති බවයි.
ඉල්ලුමක් ඇති වූ විට එහි වෙළඳපොළ අවස්ථාවක්ද තිබේ. මෙවැනි වෙළඳපොළ අවස්ථාවක් මුලින් හෝ පසුව යම් කිසිවකු විසින් හඳුනා ගැනීම සාමාන්‍ය තත්ත්වයයි. මේ වන විට එය සිදු වී තිබේ. දැනටම විශාල ලෙස හිට් වී ඇති අම්බලම වීඩියෝව එයට හොඳම සාක්ෂියයි.
අම්බලම වීඩියෝව එළියට එන්නේ ඉරාජ් විරෝධය අලෙවිකරණ උපායක් ලෙස ප්‍රයෝජනයට ගනිමිනි. මෙයට කැමති නැති අයෙකුට මෙය තනිකරම මඩ වීඩියෝවක් ලෙස හඳුවන්නට පුළුවන. එහෙත්, එයට පක්ෂ අයෙකුට මෙය ලිංගික අධ්‍යාපනය ලබාදෙන, උපත් පාලන ක්‍රම ගැන දැනුවත් කරන වීඩියෝවක් ලෙස හඳුවන්නට වුවද බැරිකමක් නැත. වීඩියෝවේ පෙන්වන පරිදි උපත් පාලන කොපු යතුරු කැරැල්ල සමඟ එකට සාක්කුවේ දමාගෙන සිටින විට තෙරපුම නිසා එහි කඩතොළු ඇති වී, ඒ හේතුව නිසා ලිංගිකව එක්වන විට පුපුරා යාමෙන් ගැබ් ගැනීම හෝ සමාජ රෝග වැළඳීම වැනි අනපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නට ඇති ඉඩකඩ ඉහළ යා හැකිය යන්න නැවුම් අදහසකි.
සමාජ මාධ්‍ය හරහා එළියට එන්නේ සාමාන්‍ය මිනිසුන් හිතන පතන ආකාරයයි. සමාජ මාධ්‍ය නොතිබුණා කියා හෝ වාරණය කළා කියා මිනිසුන් හිතන හා තීරණ ගන්නා ආකාරය වෙනස් වන්නේ නැත. කිසියම් කලා නිර්මාණයකට හෝ මතවාදයකට ඉල්ලුමක් තිබේනම් සමාජ මාධ්‍ය නැතත් එය කවර ආකාරයකින් හෝ මතුවීම වැළැක්විය නොහැකිය. මිනිසුන් හිතන හා තීරණ ගන්නා ආකාරය වෙනස් වේනම් එය සමාජ මාධ්‍ය තුළද ස්වභාවික ලෙසම පිළිබිඹු වනු ඇත.
Labels:
ආකල්ප,
උපත් පාලනය,
ලිංගික අධ්‍යාපනය,
සංගීතය,
සමාජ මාධ්‍ය
Tuesday, October 3, 2017
කූඹියන්ගේ ගේම කුමක්ද?
මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශනය කෙරෙන කූඹියෝ ටෙලි නාට්‍යය ගැන විශාල සංවාදයක් ඇති වී තිබේ. මේ සංවාදය බොහෝ දුරට එක් දිශාවකට විහිදුනු එකකි. මේ ටෙලි නාට්‍යය අගය කරන අය මිස විවේචනය කරන අය පෙනෙන්නට නැත. එය එසේ වීමේ පුදුමයක්ද නැත. කෙසේ වුවද, කූඹියෝ ටෙලි නාට්‍යයට පිස්සු වැටී ඉන්නේ සමාජයේ එක් ස්ථරයක් පමණක් වන්නටද පුළුවන.
තවමත් විකාශනය වී තිබෙන්නේ කූඹියෝ ටෙලි නාට්‍යයේ කොටස් දොළහක් පමණි. සම්පූර්ණයෙන් නරඹන්නේ නැතිව මෙවැනි නිර්මාණයක් ඇගයීම හෝ විවේචනය කිරීම එතරම් සුදුසු දෙයක් නොවූවත්, මේ නාට්‍යයේ කොටස් කිහිපයක් හෝ නැරඹු අයෙකු වුවද ඒ ගැන කතා කරන්නට පෙළඹීම තේරුම් ගන්නට අපහසු නැත.
සරලවම කියනවානම් කූඹියෝ පට්ටම පට්ටය. එය අබියස සාපේක්ෂව ජනප්‍රියව පැවති මේ දින වන විකාශනය වන වෙනත් සිංහල ටෙලිනාට්‍ය වොට් සීයේ බල්බයක් අබියස පත්තු කළ ඉටිපන්දම් බවට පත් වී තිබේ. කූඹියෝ ටෙලි නාට්‍යය ලොකු ඉඩෝරයකට පසු වැටුණු මහ වැස්සකි. එහි කතා දෙකක් නැත.
පුරුද්දක් ලෙස සිංහල ටෙලිනාට්‍ය නොබලන, එහෙත් අතරින් පතර බලන මට මෙහි එක් කොටසක් අහම්බෙන් බලන්නට ලැබුණු පසු ක්ෂණිකව ඇති වුනු ඇබ්බැහිය අවසන් වුණේ මෙතෙක් විකාශනය කර ඇති කොටස් සියල්ල එක දිගට බැලීමෙන් පසුවය. මෑත කාලයේදී කිසිදිනෙක සිංහල ටෙලි නාට්‍යයකට මා මෙතරම් ඇබ්බැහි වී නැත.
කූඹියෝ ටෙලි නාට්‍යය අගය කරන බොහෝ දෙනෙකු එසේ කරන්නේ එහි රඟපෑම් ඉතා විශිෂ්ඨ මට්ටමක තිබේය යන පදනමිනි. මෙහිදී වැඩිපුරම අගය කෙරෙන්නේ ප්‍රියන්ත මහඋල්පත චරිතය රඟපාන කලණ ගුණසේකරගේ රඟපෑමයි. ටෙලිනාට්‍යයේ කතානායකයා වන ජෙහාන් ප්‍රනාන්දු හෙවත් සාගරගේ චරිතය රඟපාන තුමිඳු දොඩන්තැන්නගේ රඟපෑම්ද ඊට දෙවෙනි නැත. සෙසු චරිත සඳහාද තෝරාගෙන ඇත්තේම ලංකාවේ දැනට සිටින ප්‍රවීණම නළු නිලියන් නිසා ඔවුන්ගේ රඟපෑම් ගැනද අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත. රඟපෑම් වලට අමතරව මෙහි සංගීතය, දෘශ්‍ය උපක්‍රම, දර්ශන පසුබිම් හා කැමරා කෝණ, ආලෝකකරණය ආදියද විශිෂ්ඨ මට්ටමක තිබේ.
කෙසේ වුවද, මටනම් මේ ටෙලිනාට්‍යයේ විශේෂත්වය තිබෙන්නේ මේ එක දෙයක්වත් නොවේ. එහි තිර රචනයේ හා අධ්‍යක්ෂනයේය. එයින්ද, මේ ටෙලිනාට්‍යයේ සාර්ථකත්වය පසුපස ඇති මූලිකම කරුණ එහි තිර රචනයයි. උඩින් කී අනෙක් කරුණු විශිෂ්ඨ මට්ටමක නොතිබුණානම් මේ ටෙලි නාට්‍යය මෙතරම් ජනප්‍රිය නොවිය හැකිව තිබුණේය. එහෙත්, රඟපෑම්, අධ්‍යක්ෂණය ආදිය මෙවැනිම විශිෂ්ඨ මට්ටමක තිබුණේ වුවද තිර රචනය මෙතරම් සාර්ථක එකක් නොවූයේනම් එහි කතා කරන්නට මෙතරම් දෙයක් ඉතිරි නොවිය හැකිව තිබුණි. අනෙක් අතට, මේ තිර පිටපතෙන් ටෙලිනාට්‍යයක් නොහැදී එය මුද්‍රිත පොතක් පමණක් වූයේ වුවද එහි කතා කරන්නට තරම් දෙයක් ඉතිරි වනු ඇත.
කූඹියෝ තේමාව මෙතෙක් සිංහල ටෙලිනාට්‍ය වල සාකච්ඡාවට ලක් වුණු තේමා වලට වඩා මුළුමනින්ම වෙනස් එකකි. එහි කතාව දිවෙන්නේ ගේම් කාරයෙක් වටාය.
ගේම් කාරයින් කියන්නේ පොලිස් කාරයින්, දොස්තරලා හා කොන්දොස්තරලා මෙන්ම ලංකාවට හොඳින් හුරුපුරුදු චරිතයකි. ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ හැම එකකම ගේම් කාරයින් ලෙස ප්‍රසිද්ධ වූ පුද්ගලයෝ සිටිති. ව්‍යාපාරික ක්ෂේත්‍රය ගත්තද එසේමය. රජයේ හෝ පෞද්ගලික ආයතනයක් වැනි ඕනෑම තැනක මෙන්ම කලා හා ක්‍රීඩා වැනි ක්ෂේත්‍රයන්හිද ගේම් කාරයින්ගේ අඩුවක් නැත.
ගේම් කාරයෙක් කියන්නේ ඇත්තටම කවුද? ගේම් කාරයින් අතර අපරාධකාරයින් සිටිය හැකිවුවත් හැම විටම ගේම් කාරයෙක් කියන්නේ අපරාධකාරයෙක්ම නොවේ. ඉංග්‍රීසියෙන් "con artist" කෙනෙකු ලෙස හඳුන්වන චරිතය සිංහලෙන් ගේම් කාරයෙකු ලෙස හැඳින්වීම කෙතරම් උචිතද යන්නද සැක සහිතය.
ගේම් කාරයෙකුට වෙනත් අයෙකුගේ තීරණ මත බලපෑම් කිරීමේ සුවිශේෂී දක්ෂතාවයක් තිබේ. එවැන්නෙකු එසේ කරන්නේ විශ්වාසය දිනාගැනීම හරහා මිස බලහත්කාරය යෙදීම මඟින් නොවේ. මේ සඳහා වෙනත් අය හිතන ආකාරය තේරුම් ගැනීමටත්, වෙනත් අයගේ දුර්වල තැන් හඳුනාගැනීමටත් ප්‍රවීණතාවයක් තිබිය යුතුය. දේශපාලන, ව්‍යාපාරික හෝ වෙනත් ඕනෑම අංශයකින් ඉදිරියට එන බොහෝ දෙනෙක් යම් තරමක ගේම් කාරයෝය. ඒ නැතත්, අප කා තුළත් පොඩි හෝ ගේම් කාරයෙක් සිටී. වෙනසක් ඇත්නම් ඒ එක් එක් පුද්ගලයා විසින් සැලසුම් කරන ගේම් වල ස්වභාවයේය. එහෙත්, ගේම් කාරයින් ලෙස සමාජයේ ප්‍රසිද්ධ වන්නේ දිගින් දිගටම සාර්ථක ලෙස ගේම් දී නමක් හදාගන්නා හා ගේම් වලින්ම ජීවත් වීම පුරුද්දක් කරගත් අයයි.
කූඹියෝ කතාව ආරම්භ වන්නේ පෞද්ගලික බස් රථයක් තුළ සිදුවන කතාවේ ප්‍රධාන චරිත තුනේ හමුවකිනි. කොළඹ පිටකොටුවේ ගුණසේන පොත් සාප්පුව කිට්ටුවෙන් පාදුක්ක බස් රථයකට ගොඩවන ජෙහාන් (තුමිඳු දොඩන්තැන්න) අසුන්ගන්නේ රූමත් තරුණියක වුවද වෙනත් බොහෝ සිංහල ටෙලිනාට්‍ය වල දැකිය හැකි මේකප් සුන්දරියක් හෝ ගම්බද ලලනාවක් ලෙස නොව 125 බස් රථයකදී සාමාන්‍යයෙන් හමුවිය හැකි තරුණියක ලෙස නිරූපණය කර ඇති හිරුනි (යුරේනි නොෂිකා) වාඩි වී සිටින අසුනට යාබදවය. ජෙහාන් හිරුනි සමඟ ඉන්දියානු උච්චාරණයෙන් ඉංග්‍රීසියෙන් කතා කර කොළඹ මහජන පුස්තකාලය පිහිටි තැන විමසයි. වැඩිදුර විස්තර අහන හිරුනිට ජෙහාන් තමන්ව හඳුන්වා දෙන්නේ ලංකාවේ ඉතිහාසය හා සංස්කෘතිය ගැන පර්යේෂණයක් කිරීමට පැමිණ සිටින බංග්ලාදේශ ජාතිකයෙකු ලෙසිනි.
අහම්බෙන් හමුවූ පිටරැටියාට උදවු කරන්නට පැනලාම ඉදිරිපත් වන හිරුනි ඉබ්බන්වල හෝ සලාකා හරියේදී බස් එකෙන් බහින්නේ තමන්ගේ දුරකථන අංකයද ජෙහාන්ගේ අතේ තබමිනි. ඉදිරි අසුනේ සිටින තරුණයෙකු (ප්‍රියන්ත) අමතමින් මේ පිටරටින් ආ මහත්තයාට පුස්තකාලය ලඟින් බහින්නට නිවැරදි නැවතුම පෙන්වන මෙන් ඉල්ලීමක් කිරීමටද ඇය අමතක නොකරයි.
ඉදිරි අසුනේ සිටින ප්‍රියන්ත මහඋල්පතගම (කළණ ගුණසේකර) ඇඟලුම් කම්හලක රියදුරු රැකියාවක් කරන්නට ගමෙන් නගරයට පැමිණි, ලොකු උගත්කමක් නැති තරුණයෙකි. ඇඟලුම් කම්හල වසා දැමීම නිසා ඔහුගේ රැකියාව අහිමි වී තිබේ. දැන් ඔහු යන්නේ වෙනත් රැකියාවක් හොයා ගැනීමේ අරමුණින් මහත්තයෙක් හමුවන්නටය. ජෙහාන් හා ප්‍රියන්ත අතර සිදුවන කෙටි පිළිසඳර අවසන් වන්නේ ප්‍රියන්ත ජෙහාන්ගේ සහායකයෙකු බවට පත් වීමෙනි.
ප්‍රියන්තට හමුවන ජෙහාන් සුළු ව්‍යාපාරයක නිරතව සිටින්නෙකි. ජෙහාන්ගේ වචන වලින්ම කියනවානම් ඔහු කරන්නේ සුපිරි වෙළඳසැලකට ගොස් බඩු ගන්නට තරම් විවේකයක් නැති කොළඹ හතේ නෝනලා වෙනුවෙන් ඉංග්‍රීසියෙන් කඩේ යාමයි.
ජෙහාන්ගේ ව්‍යාපාරය තනිකරම වන් මෑන් ෂෝ එකකි. එහෙත්, ඔහුගේ පාරිභෝගිකයින්ට ඒ බව නොපෙන්වීමට ඔහු සැලකිලිමත් වෙයි.
පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් නමින් හඳුන්වන, එහෙත් එනමින් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර නැති, ජෙහාන්ගේ "ආයතනයේ" වෙබ් අඩවිය හරහා හෝ දුරකථන මාර්ගයෙන් පාරිභෝගිකයෙකුට තමන්ට මිලදී ගැනීමට අවශ්‍ය බඩු මෙන්ම එම බඩු මිල දී ගත යුතු සුපිරි වෙළඳසැල හා බඩු අවශ්‍ය වන දිනය දැනුම් දිය හැකි අතර එසේ දැනුම් දීමෙන් අනතුරුව අවශ්‍ය දිනට බඩු ගෙදරටම ලැබේ. පෙනෙන්නට ඇති පරිදි, මෙහිදී පාරිභෝගිකයින් විසින් අවදානමක් නොගන්නා අතර බඩු වෙනුවෙන් මුදල් ගෙවිය යුත්තේ එම බඩු නිසි පරිදි ගෙදරටම ප්‍රවාහනය කර දීමෙන් පසුවය. මේ සේවාව වෙනුවෙන් පාරිභෝගිකයින් විසින් බඩු වල මිලෙන් 10%ක මුදලක් පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් "සමාගමට" ගෙවිය යුතු අතර අඩුම වශයෙන් රුපියල් 3000ක බඩු ඇණවුම් කළ යුතුය. සේවාවේ යම් අඩුපාඩුවක් ඇත්නම් ආයතනයට පැමිණිලි කිරීමටද පුළුවන්කම තිබේ.
ප්‍රියන්තව හමුවන තුරු පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් සමාගමේ ඇණවුම් භාර ගැනීම, භාණ්ඩ මිලදී ගැනීම, ඩිලිවර් කිරීම මෙන්ම පැමිණිලි විභාග කිරීම ඇතුළු සියලු කටයුතු සිදුවන්නේ තනිකරම ජෙහාන්ගේ අතින් වුවත් ඔහු සිය පාරිභෝගිකයින් සතුටු කරමින් ඒ කටයුත්ත ඉතා සැලකිල්ලෙන් හා මහන්සියෙන් කරයි. ආයතනය වෙත අලුත් පාරිභෝගිකයින් ආකර්ශනය වන්නේ එහි සේවාවන්හි ගුණාත්මක භාවය කටින් කට ප්‍රචාරය වීම හරහාය.
බැලූ බැල්මටම පෙනෙන පරිදි මේ ව්‍යාපාරය ඉතා සාධාරණ ව්‍යාපාරයකි. මගේ පෞද්ගලික අත්දැකීම් අනුව ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බොහොමයක කටයුතු සිදුවන ආකාරය මෙහි සිදුවන ආකාරයෙන් විශාල ලෙස වෙනස් නොවේ. කිසියම් ව්‍යාපාරයක් කුඩා "වන් මෑන් ෂෝ" එකක් බව පෙනෙන්නට ඇති විට එවැනි තැනකින් බඩු ගන්නට ලංකාවේ බොහෝ පාරිභෝගිකයින් කැමති නැත. හොඳ වැටුපක් ගෙවුවත් එවැනි තැනක සේවය කරනවාට වඩා, අඩු පඩියක් ගෙවන නමක් ඇති තැනක සේවය කරන්නට බොහෝ දෙනා කැමතිය. ඒ නිසා, බොහෝ කුඩා ව්‍යාපාරික ආයතන වලට පාරිභෝගිකයින් හමුවේ වඩා විශාල ව්‍යාපාරයක් ලෙස පෙනී සිටින්නට සිදුවේ. අඩුම වශයෙන් මා සේවය කර ඇති හෝ සම්බන්ධව සිට ඇති ලංකාවේ හා බංග්ලාදේශයේ කුඩා සමාගම් හෝ ව්‍යාපාර හතරකම තිබුණේ මෙවැනි තත්ත්වයක් නිසා මෙය ඉතාම සාමාන්‍ය තත්ත්වයක් බව මගේ විශ්වාසයයි.
මට පෞද්ගලිකව අත්දැකීම් ඇති ඉහත කී ආයතන කිහිපයේම අයිතිකරුවන් විසින් වරින් වර විවිධ නම් වලින් පාරිභෝගිකයින් ඇමතීම සාමාන්‍ය තත්ත්වයක් විය. ඇතැම් විට, පාරිභෝගික සේවා කළමණාකරු අළෙවි කළමනාකරු වෙත දුරකථන ඇමතුම යොමු කරයි. තවත් විටෙක සාමාන්‍යාධිකාරී වෙත යොමු කරයි. එහෙත්, විවිධ නම් වලින් දුරකතනයට පිළිතුරු දෙන්නේ එකම පුද්ගලයාය. මෙසේ කිරීමෙන් ආයතනයට ඇත්ත ප්‍රමාණයට වඩා ලොකුවට පෙනී සිටින්නට හැකිවීමට අමතරව තවත් වාසි රැසක් ලැබේ.
පළමුව, ඇමතුම ගන්නා විටම ඉල්ලන පුද්ගලයාගේ නම අනුව ඇමතුම එන්නේ කාගෙන්දැයි දැනගෙන සූදානම් වන්නට ඉඩ ලැබේ. දෙවනුව, කිසියම් සිද්ධියක් සම්බන්ධව අසතුටෙන් සිටින පාරිභෝගිකයෙකුගේ පැමිණිල්ල විභාග කර අවශ්‍යනම් පහසුවෙන්ම සේවකයා සේවයෙන් ඉවත් කර දමන්නට වුවද පුළුවන. ඒ සඳහා කළ යුත්තේ නම වෙනස් කිරීම පමණි. ව්‍යාපාරයක් ආරම්භ කරන විටම එය නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි නොකිරීමද ලංකාවේ අසාමාන්‍ය දෙයක් නොවේ. ආරම්භයේදී මෙවැනි දේ කළත්, බොහෝ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් හා ආයතන විසින් මෙවැනි දේ කරන්නේ ඔලුව උස්සා ගන්නා තුරු පමණි.
කෙසේ වුවද, කිසිසේත්ම විය නොහැකි දේවල් නොවුණත්, සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් නොකරන "හොර වැඩ" කිහිපයක්ද ජෙහාන් විසින් කරයි. පළමුව, ඔහු විසින් පදිංචිව සිටින හා ව්‍යාපාරය පවත්වාගෙන යන ස්ථානය ඔහුට අයිති නැති, ඔහු විසින් කුලියට ගෙනද නැති තැනකි. එහි හිමිකරු කවුදැයි ඔහුවත් නොදනී. මෙය මෙවැනි ව්‍යාපාරික කටයුත්තක යෙදෙන සාමාන්‍ය පුද්ගලයෙකු විසින් නොගන්නා මට්ටමේ අවදානමකි.
ඇතැම් විට, කිසිවෙකු ප්‍රයෝජනයට නොගන්නා "නිකම් තිබෙන" ගොඩනැඟිල්ල රෑට නිදාගන්නටවත් තැනක් නැති ජෙහාන් විසින් ප්‍රයෝජනයට ගැනීමේ කිසිදු සදාචාරාත්මක වරදක් නැතැයි මේ ටෙලිනාට්‍යය නරඹන ඇතැම් ප්‍රේක්ෂකයින්ද සිතනවා විය හැකිය. ලංකාවේ සමාජය දේපොළ අයිතිවාසිකම් ප්‍රමාණවත් තරමින් පිළිගන්නා හෝ තහවුරු කරන සමාජයක් නොවේ.
දෙවනුව, පර්චසින් ලංකා ඉන්ටර්නැෂනල් වෙත ලැබෙන ඇණවුම් වෙනුවෙන් බඩු මිල දී ගැනෙන්නේ පාරිභෝගිකයින් විසින් ඉල්ලා සිටින සුපිරි වෙළඳසැල් වලින් නොවේ. එළවළු ආදිය පොළක් වැනි සාමාන්‍ය තැනකින් මිලදී ගන්නා ජෙහාන් එම බඩු ඇත්තටම මිලදී ගත්තේ සුපිරි වෙළඳසැලකින් බව පෙන්වීමට වංචනික ලෙස බිල්පත් මුද්‍රණය කරමින් සිය පාරිභෝගිකයින් රවටයි.
මේ කරුණු දෙකෙන් පෙනෙන්නේ ජෙහාන්ට දක්ෂ ව්‍යාපාරිකයෙකු ලෙස දියුණු වීමේ ශක්‍යතාව තිබුණත් ඔහුට එවැනි දිගුකාලීන අරමුණක් නැති බවයි. ඔහුගේ හැසිරීම වඩා සමාන වන්නේ තමන්ගේ වෙනත් සැබෑ ඉලක්කයක් හඹා යන අතරතුර එය ආවරණය කරගැනීමට කුමක් හෝ දෙයක් තාවකාලිකව කරමින් සිටින දේශපාලන ව්‍යාපාරයක යටිබිම්ගත සාමාජිකයෙකු හෝ රහස් ඔත්තු සේවා සාමාජිකයෙකු වැනි අයෙකුගේ හැසිරීමටය.
ධනවාදී ආර්ථික ක්‍රමයක වාසිය ලබමින් ගොඩ යන්නට හදන තරුණයෙක් බව පෙනුණත් ජෙහාන්ගේ දැක්ම මාක්ස්වාදී එකකි. දෙල්කඳ පොළේ හා ඒ ආසන්නව ඇති කීල්ස් සුපිරි වෙළඳසැලක විකිණීමට තබා ඇති භෞතික වශයෙන් එක සමාන බෝංචි කිලෝ දෙකක් එකිනෙකෙන් වෙනස් වන්නේ කෙසේද යන්න මාක්ස්වාදී ආර්ථික විද්‍යාව විශ්වාස කරන වෙනත් අයෙකුට මෙන්ම ජෙහාන්ටද අවබෝධ කර ගත නොහැකිය. ඒ නිසා, සුපිරි වෙළඳසැලේ බෝංචි කිලෝවක් වෙනුවට පොළේ බෝංචි කිලෝවක් ආදේශ කිරීමේ සදාචාරාත්මක වරදක් නැති බවත්, ඒ නිසා එසේ කිරීමෙන් වාසියක් ලැබීමේ වැරැද්දක් නැති බවත් ඔහු සිතයි.
භාණ්ඩයක මිල තීරණය වන්නේ එහි භෞතික ලක්ෂණ මත පදනම් වූ ප්‍රයෝජ්‍ය අගයක් මත නොව එක් එක් පාරිභෝගිකයා විසින් එයට ලබා දෙන වටිනාකම් අනුව බව තේරුම් ගැනීමට ජෙහාන්ට හැකියාවක් නැත. ඒ නිසා, පාරිභෝගිකයින් විසින් සුපිරි වෙළඳසැලේ විකුණන බෝංචි කිලෝවට වැඩි වටිනාකමක් දීමට හේතු ඔහු බාගෙට විශ්ලේෂණය කර වැරදියට අවබෝධ කරගනී. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස ජෙහාන්ට සිය ඉංග්‍රීසියෙන් කඩේ යාමේ ව්‍යාපාරය වසා දමන්නට සිදුවේ.
එක් ව්‍යාපාරයක් කඩා වැටුණද අනික් අතට තවත් කටයුත්තකට අත ගසන්නට තරම් ව්‍යාපාරික ඥානයක් ජෙහාන්ට තිබේ. ඔහුට දක්ෂ ව්‍යවසායකයෙකු සතු ලක්ෂණ වන අවස්ථා හඳුනා ගැනීමේ හැකියාව, අවදානම් කළමනාකරණ හැකියාව, අඩු පිරිවැයකින් සම්පාදනය කරගත හැකි භෞතික හා මානව සම්පත් හඳුනා ගැනීමේ හැකියාව, ඉවසීම, මහන්සි වී වැඩ කිරීමේ හැකියාව, ප්‍රධාන අරමුණ පැත්තක දමා වෙනත් අරමුණු පස්සේ නොයාම, වඩා වටිනා දෙයක් වෙනුවෙන් අඩුවෙන් වටිනා දේ (බත් පිඟානේ ඇති කරවල කෑල්ලක් වැනි) කැපකිරීමේ හැකියාව ආදී ලක්ෂණ ගණනාවක් තිබේ.
එහෙත්, අවාසනාවකට ජෙහාන්ගේ මාක්ස්වාදී හැදියාව ඔහුගේ ව්‍යවසායකත්වයට බාධා කරයි. වයස අවුරුදු තිස්පහක් වුවත් දෘෂ්ඨිවාදී ලෙස ජෙහාන් ගමකින් නගරයට පැමිණි, තමන්ට භුක්ති විඳිය නොහැකි සම්පත් භුක්ති විඳින පංතියට වෛර කරන, යම්තාක් දුරකට හීනමානයකින්ද පෙළෙන බව පෙනෙන ක්‍රම විරෝධියෙක් වන අතර සරසවියේ කලා පීඨයක දෙවන වසරේ පමණ සිටින ග්‍රාමීය පහළ මධ්‍යම පාන්තික පසුබිමක් ඇති ඉගෙනීම වෙනුවට වෙනත් අරමුණු වලට ප්‍රමුඛතාවය දෙන තරුණයෙකුගෙන් වෙනස් වන්නේ නැත. කතාවේ දැනට විකාශනය වී ඇති කොටස් අනුව ජෙහාන් සරසවියේ ජනසන්නිවේදන උපාධිය හැදෑරීමට අම්පාර දිස්ත්‍රික්කයෙන් පැමිණි අයෙකි.
දැනට කතාව අනුව, නියමිත කාලය අවසන් වෙද්දී ජෙහාන් විසින් උපාධිය සම්පූර්ණ කර නැතත්, වසර තුනකට පසු උපාධිය සම්පූර්ණ කර තිබේ. කතාවේ ස්වභාවය අනුව ඉදිරියේදී ජෙහාන්ගේ අනන්‍යතාවය නැවතත් වෙනස් වෙන්නට වුවද බැරිකමක් නැත. ඒ අනුව, ඔහු උපාධිය සම්පූර්ණ නොකළ අයෙක් හෝ ඇතැම් විට සරසවි සිසුන් ආශ්‍රිතව ජීවත් වූ සරසවි සිසුවෙකු නොවූ අයෙකු වුවද විය හැකිය. ලංකාවේ ආරක්ෂක තත්ත්වය ඉතාම ඉහළ මට්ටමක තිබියදී හමුදාවේ ඉහළ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් කිසිදු හැඳුනුම්පතක් නොපෙන්වා ප්‍රධාන හමුදා හා නාවික හමුදා කඳවුරු වල නිලදරු නිවස්න වෙත සතිපතා මෙන් යමින් රිසි සේ රසමසවුලෙන් හා මත්පැනින් සප්පායම් වීමේ හැකියාව තිබුණු පුද්ගලයින් මා පෞද්ගලිකවම ඇසුරු කර තිබේ.
ගේම් කාරයෙකු ලෙස හඳුන්වා දෙනු ලැබුවත් කූඹියෝ ටෙලි නාට්‍යය තුළ ජෙහාන්ගේ චරිතය ගොඩනඟන්නේ ඒ කෙරෙහි කිසියම් වීරත්වයක්ද ආරෝපණය වන පරිදිය. මේ අනුව, එක් වර පෙනෙන්නේ පහළ මධ්‍යම පන්තියෙන් පැමිණි, එහෙත් ඉතා සුවිශේෂී දක්ෂතා ඇති පුද්ගලයෙකු වන ජෙහාන්ට ගේම් කාරයෙක් වී එදා වේල හොයා ගත්තේ නැත්නම් ගොඩයන්නට ක්‍රමයක් නැති බවයි. අඩු වශයෙන් ඔහුට ඉන්න තැනක් හෝ කන්න විදිහක් නැත. එහෙත්, ඔහුගේ අරමුණ ආර්ථික දියුණුවනම් ඔහුට ඒ කරා යන්නට විශාල බාධාවන් ඇති බවක් නොපෙනේ. ඔහුට දැනටම තිබෙන බව පෙනෙන විශාල සම්බන්ධතා ජාලය පමණක් වුවද ඒ සඳහා ප්‍රමාණවත්ය.
කතාවේ පෙන්වන පරිදි ජෙහාන් යනු "කුරුඳුවත්තේ බැල්ලියන්" රවටා කීයක් හෝ හොයා ගැනීම වරදක් ලෙස නොසිතුවත් තමන්ගේ "පංතියේ" අයට වරදක් නොකරන අයෙකි. ව්‍යාපාරය බිඳ වැටුණත් ඔහු ප්‍රියන්තගේ වැටුප් නොගෙවා සිටින්නේ නැත. වත්තේ කුඩුකාර තරුණ තරුණියන් අළෙවි නිලධාරීන් ලෙස පුහුණු කර ටයි පටි අන්දවා ඔහුගේ සඟරාව විකුණන්නට යවන සමාජ ශෝධකයෙක් හා පහළ පන්තියට සේවය කරන්නෙක් ලෙස ජෙහාන්ගේ චරිතය බැලූ බැල්මට පෙනුණත් ඇත්තටම ඔහු කරන්නේ වෙනත් ශූර ව්‍යාපාරිකයෙකු මෙන් හැකිතරම් අඩු මිලකට ශ්‍රමය මිල දී ගනිමින් ලාබ ලැබීමයි. මෙය ලංකාවේ ඇතැම් වාමාංශික පක්ෂ විසින් මොළ ශෝධනය කිරීම මඟින් අඩු මිලකට හෝ ඇතැම් විට නොමිලේම ශ්‍රම සම්පත් සම්පාදනය කර ගැනීමට සමාන කළ හැකිය.
ජෙහාන් විසින් කරන්නේ, මතුපිටින් පෙනෙන පරිදි, තමන්ගේ ශූර ඥානයෙන් ලොකු සල්ලි ගස් හොලවා වැටෙන සල්ලි තමන්ගේ පංතියේ අය සමඟ බෙදාගැනීම නොවේ. ඇත්තටම සිදුවන්නේ ජෙහාන් විසින් ගේම් කාරයෙකු ලෙස විශාල අවදානමක් ගනිමින්, තමන් සමඟ සිටින ප්‍රියන්ත වැනි වෙනත් අයද අවදානමේ හෙලමින් හා ඒ අවදානමට ගැලපෙන මිලට වඩා අඩු මිලක් ඔවුන්ට ගෙවමින් අඩු මිලට ශ්‍රමය සම්පාදනය කර ගනිමින් කීයක් හෝ හොයා ගන්නා අතර ඉහළ පන්තියේ පුද්ගලයින්ගේ වඩා ලොකු ගේම් වල ඉත්තෙක් වීම පමණි. මෙහි ඇත්තම ගේම් කාරයින් ජෙහාන්ගෙන් සේවය ලබා ගන්නා අයයි. ඔවුහු පැත්තක සිට, ලොකු අවදානමක්ද නොගෙන තමන්ට අවශ්‍ය දේවල් ජෙහාන් ලවා කරවා ගනිති.
කූඹියෝ තිර රචනය තුළ ජෙහාන්ගේ චරිතය හරහා ප්‍රවර්ධනය කෙරෙන වීර චරිතය ඇතැම් දේශපාලන පක්ෂ විසින් ප්‍රවර්ධනය කරන දර්ශීය පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ සමඟ බොහෝ දුරට සමපාත වේ. ජෙහාන් "පරිභෝජනවාදියෙකු" නොවේ. එහෙත්, ඔහු කන බොන මනුස්සයෙකි. ඔහු තමන්ගේ පන්තියට ලැදිය. එමෙන්ම, කෙතරම් වාසි ලැබිය හැකි වුවත් ඉහළ පන්තිය සමඟ ඔහු පෑහෙන්නට නොයයි. තමන්ට සුරක්ෂිත අනාගතයක් තහවුරු කරගැනීමට ප්‍රවේශ මාර්ගයක් ලෙස පෙනෙන "බදුලු කුමාරිය" ජෙහාන් විසින් ප්‍රතික්ෂේප කරන්නේ "මානුෂික සබඳතා" හා "මුදල්" අතර පැහැදිලි ඉරක් ඇති බව එසේ විශ්වාස කරන අයට පෙන්වා දෙමිනි. ඔහුගේ එදිනෙදා ජීවිතය ගෙවෙන්නේ සිය සබඳතා ජාලය පුළුල් කර ගනිමින් හා අදහස් පරාරෝපණය කරමිනි.
නාට්‍යයේ තේමා ගීතය අනුවනම්, ජෙහාන් විසින් කරන්නේ "පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ" රැස් කිරීමකි. ජෙහාන් විසින් මෙසේ මහන්සියෙන් රැස් කරන්නේ මොනවාද? එසේ රැස් කිරීමේ අරමුණ කුමක්ද?
කිසියම් කලා කෘතියක් තුළ නිර්මාණය කෙරෙන චරිතයක පරිකල්පන ශක්තියේ උපරිම සීමාව එහි රචකයාගේ පරිකල්පනයේ උපරිම සීමාවට වඩා වැඩි විය නොහැකිය. කූඹියෝ චරිත සැබෑ වුවත් සංකීර්ණ චරිතයි. විශේෂයෙන්ම මෙහි ප්‍රධාන චරිතය වන ජෙහාන්ට තමන් ඉදිරිපිට සිටින මිනිසෙකු සිතන ආකාරය විශ්ලේෂණය කර උපාය මාර්ගික ප්‍රතිචාර දැක්වීමේ සුවිශේෂී හැකියාවක් තිබේ. ජෙහාන්ට සමාජය විනිවිද දැකිය හැකිය. අවුලක් නැතිව සමාජයේ විවිධ ස්ථර වල සිටින අය ඇසුරු කළ හැකිය. නාගරික වත්තක හැදෙන ජූඩ්ට, මහඋල්පතගම ප්‍රියන්තට මෙන්ම ඉහළ පන්තියේ වෘත්තීයවේදියෙක් හා ව්‍යාපාරිකයෙක් වන අරවින්දට ජෙහාන්ව ඇසුරු කිරීමේදී කිසිදු ආතතියක් නොදැනේ.
මේ ආකාරයේ සංකීර්ණ චරිතයක් නිර්මාණය කළ හැක්කේ අඩුම වශයෙන් ජෙහාන්ගේ තරමට සමාජය විනිවිද දැකිය හැකි හා සමාජ අත්දැකීම් ඇති අයෙකුට පමණි. වෙනත් අයුරකින් කිවහොත් ජෙහාන්ට වඩා හොඳ ගේම් කාරයෙකුට හෝ එවැනි කණ්ඩායමකට පමණි. එසේනම්, කූඹියෝ නිර්මාණය පසුපස ටෙලි නාට්‍යයෙන් ඔබ්බට යන නොපෙනෙන ගේමක් තිබෙනවාද? ටෙලි නාට්‍යයේ ඉතිරි කොටස් විකාශනය වී අවසන් වන තුරු නිගමනයකට පැමිණෙන්නට අප හදිස්සි විය යුතු නැත.
Labels:
ඇබ්බැහි,
ටෙලිනාට්‍ය,
තෝරාගැනීම්,
දේශපාලනය,
ධනවාදය,
විශ්වාස,
සමාජවාදය
Monday, October 2, 2017
දුලබ මිනිස්කම
උපත් පාලනය හා ගබ්සාව ගැන කතා කරන්නට පෙර උපත ගැන කතා කළ යුතුය. උපත ගැන කතා කරන්නටනම් ඉපදෙන පුද්ගලයෙක් සිටිය යුතුය. පුද්ගල අයිතිවාසිකම් ගැන කතා කළ හැක්කේද පුද්ගලයා යනු කවුදැයි අර්ථදැක්වීමෙන් පසුවය. පුද්ගල අයිතිවාසිකම් ඇති පුද්ගලයෙකු යනු කිසියම් කාලයකට හා සමාජයකට සාපේක්ෂ සම්මතයක් පමණක් බව අපි පෙර පැහැදිලි කරගත්තෙමු. මෙසේ පුද්ගලයකු බවට පත් වන තැනැත්තාගේ මූලික අවස්ථාවක් තිබේනම් එය කුමක්ද?
බොහෝ සමාජ වල සම්මතය අනුව හා නීතිය අනුව මේ මූලික අවස්ථාව දරුවෙකු මවුකුසෙන් එළියට පැමිණ ස්වාධීන ජීවියෙකු බවට පත් වන අවස්ථාවයි. එහෙත් මේ සඳහා වෙනස් සම්මත භාවිතා කරන සමාජ හා නීති ක්‍රමද තිබේ. ඒ වෙනස් සම්මත අමතක කර ප්‍රමුඛ සම්මතය අනුව ගියහොත්, යම් කිසිවෙකු මවු කුසෙන් එළියට පැමිණි දරුවෙකු මරා දැම්මොත් එය සැලකෙන්නේ මනුෂ්‍ය ඝාතනයක් වශයෙනි. එහෙත්, ඊට පෙර මවුකුස තුළදී ඒ දරුවා මරා දැම්මොත් එය හඳුන්වන්නේ ගබ්සාවක් වශයෙනි. ගබ්සාවක් ඇතැම් විට මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකෙන්නට පුළුවන.
ලංකාවේ නීතිය ගත්තත් මවුකුසේ සිටින දරුවෙකු හා මවුකුසෙන් එළියට පැමිණි දරුවෙකු අතර නීතිමය ලෙස විශාල වෙනසක් තිබේ. කිසියම් ගර්භණී කාන්තාවක් දරු උපතකට මොහොතකට පෙර විවාහ වුවහොත්, අදාළ කාන්තාව සමඟ විවාහ වන පුද්ගලයා ස්වයංක්‍රීය ලෙසම ඉපදෙන දරුවාගේ නීත්‍යානුකූල බවට පියා බවටද පත් වේ. එහෙත්, ඒ දරුවාව සිසේරියන් ශල්‍ය කර්මයක් මඟින් ටික වෙලාවකට පෙර එළියට ගත්තේනම් එය එසේ නොවේ.
අද මෙන් සිසේරියන් ශල්‍යකර්ම මඟින් නියමිත දිනට සැලකිය යුතු තරම් කලින් දරුවකු මවුකුසෙන් එළියට ගන්නට හැකියාවක් නොතිබුණු, දරු උපතක් සිදුවන මොහොත බොහෝ දුරට අහඹු දිනයක් හා වෙලාවක් වූ කාලයේදීද උපතක් සිදුවන අවස්ථාව කුමක්ද යන ගැටලුව තිබුණේය. ඇතැම් අය මේ අවස්ථාව පෙකණි වැල කපන අවස්ථාව ලෙසත්, තවත් අය දරුවාගේ හිස එළියට පැමිණි වෙලාව ලෙසත්, තවත් අය දරුවා මුලින්ම හුස්මගත් වෙලාව ලෙස හෝ මුලින්ම හඬන ලද මොහොත ලෙසත් සැලකුවේය. වෛද්‍යවිද්‍යාවේ දියුණුව සමඟ දරුවකු ඉපදෙන මොහොත හඳුනාගැනීම වඩාත් සංකීර්ණ වී ඇත. ඒ නිසා, ගබ්සාවක් හා මිනීමැරුමක් ඉරක් ගසා වෙන් කිරීමද සම්මතය මත මිස "නිවැරදි ලෙස" කිරීම අසීරු දෙයකි.
ගබ්සාව හා උපත් පාලනය වෙන් කරන ඉරද මේ ආකාරයේම අවිනිශ්චිත ඉරකි. ඒ ගැන කතා කිරීමට පෙර දරු උපත මෙන්ම අවිනිශ්චිත සංකල්පයක් වන දරුවකු පිළිසිඳගැනීම යනු කුමක්දැයි විමසිය යුතුය.
දරුවෙකු පිළිසිඳගැනීම සඳහා පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් හා ගැහැණියකගේ ඩිම්බයක් එකතු විය යුතුය. සරල ලෙස මෙසේ කිවුවත් මෙයද ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි.
වසර දෙතුන් දහසකට පෙර සිටම මිනිසුන්ට අහසේ ඇති විවිධ ග්‍රහ වස්තූන්ගේ පිහිටීම් ඒවා නොපෙනෙන දවල් කාලයේදී පවා හරියටම කියන්නට පුළුවන් වූ දැනුමක් තිබුණේය. එහෙත්, දරු උපතක් සිදුවන ආකාරය ගැන මිනිසුන් ඉතා මෑතක් වන තුරුම නිවැරදිව දැන සිටියේ නැත. මේ හා අදාළ දැනුම දැනටත් අලුත් වෙමින් පවතින දැනුමකි.
මිනිස් දරුවකු බිහි කරන්නට අවශ්‍ය වන්නේ එක් ඩිම්බයක් හා එක් ශුක්‍රාණුවක් පමණි. එහෙත්, පිරිමියෙකු සිය ජීවිත කාලය තුළ ශුක්‍රාණු බිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවයි. මේ විශාල ශුක්‍රාණු ප්‍රමාණයෙන් අවසානයේදී ප්‍රයෝජනයට ගැනෙන්නේ සාමාන්‍ය වශයෙන් ශුක්‍රාණු දෙකකට මදක් වැඩි ප්‍රමාණයක් පමණි. පිරිමියෙකුගේ ජීවිත කාලය ඇතුළත ඔහුගේ සිරුරේ නිපදවෙන ශුක්‍රාණුවක් මිනිසෙකු බිහි කිරීමට දායක වීමට ඇති සම්භාවිතාව ඉතාම අඩු එකක් වන අතර ඉතිරි ශුක්‍රාණු සියල්ල කිසියම් හෝ පෙර අදියරකදී විනාශ වී යයි. කිසියම් කටයුත්තක් සඳහා පෘථිවිය මත ජීවත් වන මිනිසුන් සියලු දෙනා අතරින් අහඹු ලෙස එක් අයෙක් පමණක් ඉතිරිව අනෙක් සියලු දෙනා මරණයට පත් වන ව්‍යසනයකදී එසේ ඉතිරි වන පුද්ගලයා ඔබ වන්නට ඇති සම්භාවිතාව ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ එකතු වීමට ඇති ඉඩකඩ මෙන් 30 ගුණයක් පමණ වේ.
පිරිමියෙකු ශුක්‍රාණු මුදා හරින එක අවස්ථාවකදී වුවත් ශුක්‍රාණු මිලියන 50ක පමණ සිට බිලියනයක් පමණ දක්වා ප්‍රමාණයක් මුදා හරී. ඒවා අතරින් එකකට වැඩි ප්‍රමාණයක් මිනිස් කළලයක් බිහිකරන්නට දායක වන්නේ ඉතාම කලාතුරකින් පමණි. මේ තරම් තරඟකාරී තේරීමක් සිදුවන්නේ වඩාත්ම හොඳ මිනිස් කළල බිහි කිරීම සඳහා සිදුවන ස්වභාව ධර්මයේ උපක්‍රමයක් වශයෙනි. පිරිමියෙකු එක් වර මුදාහරින ශුක්‍රාණු සෛල ගණන මෙතරම් විශාල ප්‍රමාණයක් වී ඇත්තේ පරිණාමය සිදුවන ආකාරයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
ගැහැණියකගේ යෝනි මාර්ගය, ගැබ් ගෙල හා ගර්භාෂය පසුකර පැලෝපීය නාලය කරා ගමන් කරන ශුක්‍රාණු වලින් විශාල ප්‍රමාණයක් මේ දුෂ්කර ගමනේදී ඩිම්බයක් හමුවන්නට පෙර විනාශ වී යයි. ඇතැම් ඒවා වැරදි පාරක ගොස් හෝ අතරමඟ හිරවී විනාශ වෙයි. පිරිමියෙකු වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය වැඩි වන තරමට ඒවායින් එකක් ඩිම්බයක් සමඟ එකතු වී කළලයක් බවට පත් වීමේ ඉඩකඩ වැඩිවේ. ඒ නිසා, කිසියම් හෝ ජාන විකෘතියක් නිසා වෙනත් පිරිමින්ට වඩා වැඩි ශුක්‍රාණු ප්‍රමාණයක් මුදාහරින පිරිමින්ට වැඩි දරුවන් ප්‍රමාණයක් බිහිකරන්නට හැකිවේ. ඔහුගෙන් මෙසේ බිහිවන පිරිමි දරුවන්ටද පියාගේ ජාන නිසා මේ හැකියාවම ලැබුණොත් ඔවුන්ටද වෙනත් අයට වඩා වැඩි දරුවන් ප්‍රමාණයක් බිහි කරන්නට අවස්ථාව ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට ජනගහණයේ සිටින වැඩිපුර ශුක්‍රාණු මුදාහරින පිරිමින් වැඩි වී අවසානයේදී එය සාමාන්‍ය තත්ත්වය බවට පත් වේ.
තවත් කලක් යද්දී මේ අය අතරෙන් එක් පිරිමියෙකුට නැවතත් ජාන විකෘතියක් නිසා වෙනත් පිරිමින්ට වඩා වැඩි ශුක්‍රාණු ප්‍රමාණයක් මුදාහැරීමේ හැකියාවක් ලැබේ. කලින් ක්‍රියාවලියම පුනරාවර්තනය වීම නිසා ජනගහණයේ පිරිමියෙකු විසින් මුදාහරින ශුක්‍රාණු ප්‍රමාණය තවත් වැඩි වේ.
මිනිස් පිරිමියෙකු දරුවෙකු බිහි කිරීමේ සම්භාවිතාව තනිකරම රඳා පවතින්නේ ඔහු විසින් වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය මතනම් පරිණාමයේ නීති අනුව සිදුවිය යුත්තේ කාලයක් යද්දී ඉතා විශාල වෘෂණ කෝෂ සහිත මිනිසුන් බිහි වීමයි. එහෙත්, මිනිස් පිරිමියෙකු වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ඔහුගේ ජාන සහිත ජනිතයෙකු බිහි වීමේ සම්භාවිතාව තීරණය කරන එකම සාධකය නොවේ. සංස්කෘතික සාධක ඇතුළු වෙනත් හේතු නිසා සෑම පිරිමියෙකුටම ගැහැණුන් සමඟ එකතු වීමට සමාන අවස්ථා නොලැබේ. මෙය වෙනත් සතුන්ටද පොදු දෙයකි.
ගෝරිල්ලන් රංචුවක ගැහැණු ගෝරිල්ලන් සියල්ලන්ම සමඟ වාගේ සංසර්ගය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ රැළේ නායකයාට වන අතර අනෙක් බොහෝ ගෝරිල්ලන්ට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොලැබේ. ඒ නිසා, ගෝරිල්ලන් හා අදාළව ගත් විට ජනිතයන් බිහි කිරීමේදී වඩා වැදගත් වන්නේ වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය නොව රැළේ නායකයා වීමට ඇති ඉඩකඩයි. ඒ අවස්ථාව ඉහළ නංවන්නේ ශරීර ප්‍රමාණය වැනි දේ තීරණය කරන වෙනත් ජානයි.
එහෙත්, වඩා "සමාජවාදී" සංස්කෘතියක් ඇති චිම්පන්සින් අතර තත්ත්වය වෙනස්ය. බොහෝ පිරිමි චිම්පන්සින්ට ගැහැණු චිම්පන්සියක සමඟ එකතු වීමට අවස්ථාවන් ලැබෙන නිසා වරකට මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය වඩා වැදගත් සාධකයක් වෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස චිම්පන්සින්ගේ වෘෂණ කෝෂ ශරීර ප්‍රමාණයට අනුපාතිකව ගෝරිල්ලන්ගේ මෙන් පහළොස් ගුණයක් විශාලය. මිනිසුන් සිටින්නේ චිම්පන්සින් හා ගෝරිල්ලන් අතර තැනකය.
කෙසේ වුවද වැදගත්ම කරුණ වන්නේ වැඩිහිටි මිනිස් පිරිමියෙකු ජීවිත කාලය තුළ නිරන්තරව නිපදවන ශුක්‍රාණු විශාල ප්‍රමාණයෙන් එකක් දරුවෙකු බිහි කිරීමට දායක වන විට තවත් ශුක්‍රාණු බිලියන 250කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ වන බවයි. මිනිස් පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් ජනිතයෙකු බිහි කිරීමට දායක වීමේ සම්භාවිතාව එතරම්ම අඩුය.
උපන් අලුත මිනිස් පිරිමියෙකුගේ සිරුරේ ශුක්‍රාණු සෛල හැදෙන්නේ නැත. එය සිදුවන්නට පටන් ගන්නේ වයස අවුරුදු 10-12 පමණ වන විටය. එතැන් සිට මිය යන තුරුම වාගේ මිනිස් පිරිමියෙකුගේ සිරුර ශුක්‍රාණු සෛල නිපදවයි.
ශුක්‍රාණු සෛලයක් නිර්මාණය වීම හා පරිණත වීම (මෙහි විස්තර නොකරන) අදියර හතරකදී පමණ සිදුවන සංකීර්ණ කාර්යයක් වන අතර මේ සඳහා දින 63-75 ක පමණ කාලයක් ගත වේ. මේ කාලය ඇතුළත ඩිම්බයක් කරා යන අසීරු චාරිකාව අරඹන්නට ශුක්‍රාණු සෛල පුහුණු වෙයි. මෙසේ පරිණත වූ ශුක්‍රාණුවක් මුදා හරිනු ලැබුවහොත් ප්‍රසස්ත තත්ත්වයන් යටතේ එයට දින 5-6 ක පමණ දක්වා වන කාලයක් ජීවත් විය හැකිය. මුදාහරිනු නොලැබුවහොත් සති 2-3 කින් පමණ පසුව එය විනාශ වන අතර එහි අඩංගු ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වේ. මේ අනුව ශුක්‍රාණුවක සම්පූර්ණ ජීවිත කාලය මාස තුනකට පමණ සීමා වේ. වැඩිහිටි මිනිස් පිරිමියෙකුගේ සිරුර තුළ ශුක්‍රාණු විශාල ප්‍රමාණයක් අඛණ්ඩව සෑම මොහොතකම නිපදවීමට අවශ්‍ය වන්නේ ඒ නිසාය.
වැඩිහිටි පිරිමියෙකු එක වර මුදා හරින ශුක්‍රාණු එකතුවක ශුක්‍රාණු සෛල මිලියන 40-1500ක් පමණ තිබිය හැකි වුවත් බොහෝ විට මෙය මිලියන 100-300 අතර ප්‍රමාණයකි. මේ සියළු ශුක්‍රාණු සෛල සමාන නැත. එක් ශුක්‍රාණු සෛලයක තිබෙන්නේ පිරිමියෙකුගේ වර්ණදේහ යුගල 23න්, එනම් වර්ණදේහ 46න් 23ක් පමණි. ඒ නිසා එකම පිරිමියෙකුගේ ශුක්‍රාණු අතර ජානමය ලෙස වෙනස් ශුක්‍රාණු වර්ග අඩු වශයෙන් 8,388,608ක් තිබේ. මීට අමතරව විවිධ විකෘතීන් සහිත අසාමාන්‍ය ශුක්‍රාණු සෛල වර්ග විශාල ප්‍රමාණයක්ද තිබිය හැකිය. මේ සංඛ්‍යා සැසඳූ විට පෙනෙන පරිදි පිරිමියෙකු එක වරකදී මුදාහරින ශුක්‍රාණු අතර වුවද ජානමය ලෙස සමාන ශුක්‍රාණු 5-180 අතර ප්‍රමාණයක් තිබිය හැකිය.
කෙසේවුවද එකම වර්ණදේහ සංයුතියකින් යුතුව හැදෙන ශුක්‍රාණු වුවද භෞතික වශයෙන් එකිනෙකට සමාන නැත. ශුක්‍රාණු සෛල වලින් 90%ක් පමණම වලිගය නැති, හිස් දෙකක් සහිත, වලිග පැටලුණු ආදී විවිධ හේතු නිසා ඩිම්බයක් සොයා පිහිනිය හැකි තත්ත්වයක නොපවතී. ඒවා කෙටි කලකින් විනාශ වී යයි.
ශුක්‍රාණුවක දිගට සාපේක්ෂව එයට ඩිම්බයක් සොයා පීනන්නට ඇති දුර සමාන කළ හැක්කේ මිනිසෙකු සැතපුම් 3-4 ක පමණ දුරක් පිහිනීමටය. ශුක්‍රාණු සෛල අතර සිටින දක්ෂම පිහිනුම්කරුවෙකුට මිනිත්තු 45ක පමණ කාලයකදී මේ දුර පිහිනිය හැකි අතර එතරම් දක්ෂ නැති පිහිනුම්කරුවෙකුට මේ සඳහා පැය 12ක පමණ කාලයක් ගත වේ. එහෙත්, මේ ගමන සම්පූර්ණ කරන්නේම සීමිත පිහිනුම්කරුවන් පිරිසක් පමණි.
ශුක්‍රාණු සම්බන්ධ තත්ත්වය මෙසේනම් ඩිම්බ සම්බන්ධ තත්ත්වය කුමක්ද? සෑහෙන තරම් ප්‍රචලිත අදහසක් වන්නේ ශුක්‍රාණු අති විශාල ප්‍රමාණයක් ඩිම්බයක් අයිති කර ගන්නට තරඟ කර අවසානයේදී ඒ අතරින් එක් ශුක්‍රාණුවක් තරඟය ජය ගන්නා බවයි. කෙසේවුවද, මෙය ලොකු කතාවක එක් කොටසක් පමණි.
ශුක්‍රාණු හා ඩිම්බ අතර මූලික වෙනස්කම් ගණනාවක් තිබේ.
පළමුව, මිනිස් ගැහැණියකගේ ඩිම්බයක් නිපදවී පරිණත වීමට වසර 10-50 ක පමණ දීර්ඝ කාලයක් ගත වේ. ඩිම්බයක් පරිණත කර මුදාහැරීම සඳහා අවශ්‍ය වන මූල සෛල නිශ්චිත ප්‍රමාණයක් මිනිස් ගැහැණියකගේ සිරුරේ උපදින විටම පිහිටා තිබේ. මේ හැර මිනිස් පිරිමින්ගේ ශුක්‍රාණු සෛල මෙන් ඩිම්බ සෛල පසුව අලුතින්ම හැදෙන්නේ නැත. (වසර පණහක් පමණ තිස්සේ පිළිගැනෙන මේ ප්‍රවාදය ඇතැම් මෑතකාලීන පර්යේෂණ වලින් අභියෝගයට ලක්වී ඇතත් මා මේ ලිපියේදී ඒ කෙරෙහි අවධානය යොමු කරන්නේ නැත.)
මිනිස් ගැහැණියක උපදින විට ඇගේ සිරුරේ නොමේරූ ඩිම්බ (වඩා නිවැරදිව එහි මූල අවස්ථාවක්) මිලියන 1-2 ක් පමණ ප්‍රමාණයක් තිබුණත් මේ සෛල විශාල ප්‍රමාණයක් වැඩිවිය පැමිණෙන්නටද පෙර ස්වභාවික ලෙසම විනාශ වී යයි. මිනිස් ගැහැණියක වැඩි විය පැමිණෙන විට ඇගේ සිරුරේ තිබෙන්නේ මේරූ ඩිම්බ බවට පත් වීමේ හැකියාවක් ඇති සෛල ආසන්න වශයෙන් ලක්ෂ 2-4 ක පමණ ප්‍රමාණයක් පමණි. වැඩිවිය පැමිණීමෙන් පසුවද මේරූ ඩිම්බ බවට පත් වීමේ හැකියාවක් ඇති සෛල විශාල ප්‍රමාණයක් මේ අයුරින් සෑම මසකම දිගින් දිගටම විනාශ වෙයි. මේ කරුණට උපත් පාලනය, ගර්භණී වීම හෝ නොවීම, සංසර්ගයේ යෙදීම හෝ නොයෙදීම, මාස් ශුද්ධිය සිදුවීම හෝ නොවීම ආදියේ සම්බන්ධයක් නැත.
මිනිස් ගැහැණියකගේ වයස අවුරුදු පණහක පමණ වන විට ඇයට උපතින් හිමි වුනු ඩිම්බ මිලියන දෙකම, එසේ නැත්නම් වැඩිවිය පැමිණෙන විට ඉතිරිව තිබුණු ලක්ෂ තුනම, විනාශ වී අවසන්ය. මෙය සිදුවන නිශ්චිත වයස කාන්තාවකට උපතින් උරුම වූ ඩිම්බ ගණන මත තීරණය වන අතර ඒ අනුව වසර පහක් හෝ හයක් එහා මෙහා වන්නට පුළුවන. කෙසේවුවද, ආසන්න වශයෙන් වසර පණහකදී පමණ මිනිස් ගැහැණියකගේ සිරුරේ ඇති ඩිම්බ ප්‍රමාණය අවසන් වන අතර ඉන් පසුව ඇයට දරුවන් බිහිකිරීමට දායක විය නොහැකිය.
මිනිස් ගැහැණියක විසින් උපතින් උරුම කර ගන්නා මිලියන දෙකක් පමණ වන ඩිම්බ සෛල වලින් මේරූ ඩිම්බ බවට පත්ව මාස්පතා මුදා හරිනු ලැබ දරුවකු බිහි කිරීමට දායක වීමේ ඉඩක් ලබන්නේ ඩිම්බ 400-500 අතර ප්‍රමාණයක් පමණි.
මිනිස් පිරිමියෙකුට මෙන්ම මිනිස් ගැහැණියකටද ජානමය ලෙස එකිනෙකෙන් වෙනස් ඩිම්බ වර්ග 8,388,608ක් නිපදවිය හැකි වුවත් ගැහැණියක උපදින විට ඇගේ සිරුරේ ඇති ඩිම්බ ප්‍රමාණයද එයින් හතරෙන් එකක් පමණක් නිසා ජානමය ලෙස සමාන ඩිම්බ දෙකක් අහඹු ලෙස ඇති වීමට ඉඩක් නැති තරම්ය. මේ නිසා, එකම මවකගේ සම-නිවුන් නොවන දරු දෙදෙනෙකුට ඇයගෙන් සමාන වර්ණදේහ ලැබෙන්නට ඉඩක් නැති තරම්ය.
එක් මිනිස් පිරිමියෙකු හා එක් මිනිස් ගැහැණියක විසින් බිහි කළ හැකි ජානමය ලෙස වෙනස් දරුවන් වර්ග ගණන අඩුම වශයෙන් 70,368,744,177,664කි. එනම් බිලියන හැත්තෑ දහසකට අධික සංයෝජන ප්‍රමාණයකි. මෙයට සාමාන්‍ය නොවන විකෘති ජාන සැකසුම් විශාල ප්‍රමාණයක්ද එකතු විය යුතුය. පෘථිවිය මත කෙදිනක හෝ ජීවත්ව සිට ඇති මිනිසුන් ගණන බිලියන සීයකට මඳක් වැඩි ප්‍රමාණයකි. ඒ නිසා, එක මවකගේ දරුවන් ලෙස සම-නිවුන් දරුවන් තරමට සමාන දරුවන් දෙදෙනෙකු කිසිදු කලෙක බිහිව තිබෙන්නට ඉඩක් නැතැයි සැලකිය හැකිය.
මෑතකදී අසන්නට ලැබුණු කතාවකට අනුව ඇතැම් අය සිතා සිටින පරිදි සෑම මිනිසෙකුම එකිනෙකාගෙන් වෙනස් වුවත් අලින්ගේ එවැනි වෙනසක් නැති අතර කොයි අලියාත් සමානය. මෙය වැරදි අදහසකි. මිනිසුන්ගේ වර්ණදේහ යුගල 46ට සාපේක්ෂව අලින්ට වර්ණදේහ යුගල 56ක් ඇති අතර ඒ නිසා එකම අලි ජෝඩුවකගේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එකතු වීමෙන් හැදෙන්නට ඉඩ ඇති ජානමය ලෙස වෙනස් අලි පැටවුන් ගණන පමණක් 72,057,594,037,927,936කි. මේ අනුව අලි ජෝඩුවකගේ පැටවුන්ට තිබිය හැකි ජාන විවිධත්වය මිනිස් යුවලකගේ දරුවන්ට තිබිය හැකි ජාන විවිධත්වය මෙන් දහස් ගුණයකි. සෑම අලියාම එක ලෙස පෙනීම අපේ ඉන්ද්‍රිය පද්ධතියේ ඇති සීමාවක් මිස අලින්ගේ විවිධත්වය අඩුකමේ ප්‍රශ්නයක් නොවේ. මේ වැරැද්ද පෙන්වා දුන්නත් ඒ හේතුව නිසා අලින්ට රට භාර දී මිනිසුන් ඉවත් විය යුතුයැයි අප යෝජනා කරන්නේ නැත.
ශුක්‍රාණු හා ඩිම්බ එකතු වී පිළිසිඳගැනීමක් සිදුවන ආකාරයත්, විවිධ උපත් පාලන උපක්‍රම මඟින් එයට බාධා පමුණුවන ආකාරයත් ගැන කතා කිරීම අපි පසු ලිපියකට ඉතිරි කරමු.
දැනට කියන්නට තිබෙන්නේ මිනිස් උපතක් යනු කෙතරම් දුර්ලභ දෙයක්ද යන්නයි. ඔබේ ජීව විද්‍යාත්මක මවගෙන් හා පියාගෙන් බිහිවිය හැකිව තිබුණු භෞතික ලක්ෂණ වලින් එකිනෙකාට වෙනස් දරුවන් ගණන බිලියන හැත්තෑ දහසකට අධිකය. මේ අතරින් එක් අයෙක්, හත් අට දෙනෙක් හෝ වැඩිම වුනොත් දහ පහළොස් දෙනෙක් මිනිස් දරුවන් ලෙස බිහිවන විට, ඔබේ මවට හා පියාට දාව ඉපදීමේ කිසියම් සම්භාවිතාවක් තිබුණු, ඔබේ පවුලේ සාමාජිකයින්ට වඩා වෙනස් භෞතික ශරීර සහිත ඔබේ සොහොයුරන් හෝ සොහොයුරියන් බිලියන හැත්තෑ දහසක් මෙලොවට බිහි වී නැත.
ස්වභාව ධර්මය අලුත් මිනිසෙකු බිහි කරන්නේ මේ තරම් විශාල තේරීමක් කරමිනි. ඔබව නිර්මාණය වීමට දායක වූ ඩිම්බය ඔබේ මව ඉපදෙන විට ඈ සතු වූ ඩිම්බ මිලියන දෙකකින් එකකි. ඔබව නිර්මාණය වීමට දායක වූ ශුක්‍රාණුව ඔබේ පියා ඔහුගේ ජීවිත කාලය තුළ නිපදවන ශුක්‍රාණු බිලියන 500කින් එකකි. ඔබට ඔවුන්ගෙන් ලැබුණු වර්ණදේහ යුගල 23, එසේ ලැබිය හැකිව තිබුණු විවිධ වර්ණදේහ යුගල ට්‍රිලියන 70කින් එකකි. ලෝකයේ ඕනෑම අහඹු පුද්ගලයෙක් ඇමරිකාවේ ජනාධිපති වීමට ඇති ඉඩකඩ ඔබේ භෞතික සිරුර ඔබට හිමිවන්නට තිබුණු ඉඩකඩට වඩා දසදහස් ගුණයකින් වැඩිය. සෑම මිනිසෙකුම සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ එබැවිනි.
(Image: http://www.soc.ucsb.edu/sexinfo/article/biological-steps-becoming-pregnant)
Labels:
උපත් පාලනය,
ගබ්සාව,
ජීව විද්‍යාව,
පරිණාමය,
මිනිස්කම
Monday, September 25, 2017
උපත් පාලනය, ගබ්සාව හා ලිංගික අධ්‍යාපනය
දෙසතියකට පමණ පෙර පළ කළ ලිපියකට ප්‍රතිචාර දැමූ අජිත් ධර්මා, නයනේ සහ ඇනෝලා එක් අයෙකු හෝ කිහිප දෙනෙකු අතර හොඳ සංවාදයක් ඇති වී තිබුණේය. මුලින්ම මේ සංවාදයට සහභාගී වන්නට හිටියත් පසුව, හේතු සහිතව, එසේ නොකර පැත්තකට වී බලා සිටින්නට තීරණය කළෙමි. ඇත්තටම කියනවානම් ඉහළින් වූ ප්‍රතිචාර කියවීමෙන් පසු ප්‍රතිචාරයක් දමා, පසුව පහළින් වූ ප්‍රතිචාර කියවීමෙන් පසු එය අවශ්‍ය නොවන බව පෙනී ගිය නිසා පසුව එය ඉවත් කර ගත්තෙමි.
මේ ගැන මුලින්ම අදහස් පළ කර තිබුණු අජිත් ධර්මාගේ අදහස් බොහෝ දුරට මගේ අදහස් වලට ආසන්න වූ අතර මුලින්ම හිතුනේ ඇනෝගේ අදහස් එයට ප්‍රතිවිරුද්ධ බවයි. එහෙත්, දිගටම සංවාදය නිරීක්ෂණය කරන විට පෙනී ගියේ ඇනෝද මේ කරුණු ගැන හොඳින් දැනුවත් බවත්, ඔහුගේ හෝ ඇයගේ අදහස්ද කිසිසේත්ම (මට සාපේක්ෂව) අන්තවාදී නොවන බවයි. මා මෙය ලියන්නේ ඇනෝ ප්‍රතිචාර ගණනාවක්ම එක් අයෙකුගේයැයි සිතමිනි. එය එසේ නොවන්නට පුළුවන.
ඇනෝ විසින් ඉතා පැහැදිලිවම සටහන් කර තිබුණු පරිදි ඔහු හෝ ඇය මූලධාර්මික ගබ්සා විරෝධියෙක් නොවේ. ඔහුගේ වචන පහත පරිදිය.
"ගබ්සාවට මමත් විරුද්ධ නැති වුනත්, ගබ්සාව යන අන්තිම විසඳුම විය යුත්තේ වෙන කරන්නම දෙයක් නැති විටෙක පමණයි. ඒ අන්තිම තත්වයට යන්නේ නැතුව ගැබ්ගැනීම වලක්වා ගන්න එකයි වඩා හොඳ. මොනහේතුවක් නිසා හරි ගබ්සාවක් කරගත් ගැහැනියක් ඊට පසුව මානසිකව විඳවන ප්‍රමාණය කොතරම්ද කියා අවබෝධයක් තියෙන නිසා මම ඒ මතයේ ඉන්නේ. නැතුව ඔය විකාර රූපී ආගමික කල්ලි ගබ්සාවට විරුද්ධ නිසා නෙවෙයි."
ඇනෝ සිතන්නේ ලිංගික අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීම මඟින් අනවශ්‍ය ගැබ් ගැනීම් අවම කර ගත යුතු බවයි. එසේ කිරීමෙන් පසුවද අනවශ්‍ය ගැබ් ගැනීම් සිදු වන්නේනම් ගබ්සා වලට ඉඩදීමේ ප්‍රශ්නයක් ඇති බව ඔහු හෝ ඇය සිතන බව නොපෙනේ.
අනික් අතට, විශේෂයෙන් සටහන් කර නැතත්, ලිංගික අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධව අජිත් ධර්මාද එකඟ වන බව මගේ අදහසයි. මෙහිදී උපත් පාලනය ප්‍රචලිත කිරීම කියා සරලව කිවුවත් මා එයින් අදහස් කරන්නේ උපත් පාලන ක්‍රම ගැන දැනුම ප්‍රචලිත කිරීම හා ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ස්වකැමැත්තෙන් මිල දී ගැනීමට ඇති පහසුකම් පුළුල් කිරීම මිස යම් අයෙකු විසින් බිහි කළ යුතු දරුවන් ගණන රජය මඟින් තීරණය කිරීම හෝ බලෙන් උපත් පාලනය කරවීම නොවේ.
අජිත් ධර්මා විසින් ඉදිරිපත් කරන මූලික තර්කය වන්නේ අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීම මඟින් පමණක් අනවශ්‍ය ගැබ් ගැනීම් මුළුමනින්ම වැළැක්විය නොහැකි නිසා එසේ අනවශ්‍ය ගැබ් ගැනීම් වලට මුහුණ දෙන කාන්තාවන්ට තමන්ගේ ගැබ ගබ්සා කර ගැනීමට ඉඩ දිය යුතු බවයි. ඔහුගේ තර්කය ඉතා පැහැදිලිවම නිවැරදිය. ඇනෝ විසින්ද එය එසේ නොවේයැයි කියා නැත.
මට පෙනෙන හැටියටනම් මේ සංවාදයේ පාර්ශ්ව දෙක අතර ඇත්තේ ඉතා කුඩා ප්‍රතිවිරෝධතාවයකි. ඒ ප්‍රතිවිරෝධතාව තිබෙන්නේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් හා අදාළවය. ඇනෝ සිතන පරිදි ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කරන තුරු නීත්‍යානුකූල ගබ්සා ප්‍රවර්ධනය නොකළ යුතුය. අජිත් ධර්මා සිතන පරිදි ලිංගික අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න ඇතුළු තවත් සමාජයීය ප්‍රශ්න ගණනාවක් තිබෙන නිසා නීත්‍යානුකූල ලෙස ගබ්සා කර ගැනීමට ඉඩක් සැපයිය යුතුය.
උපත් පාලනය, ගබ්සාව හා ලිංගික අධ්‍යාපනය යනු ඇමරිකාව ඇතුළු බටහිර සමාජයේ පවා මතවාදී බෙදීම් ඇති කරන විෂයයන්ය. මේ බෙදීම් වලට එක් හේතුවක් වන්නේ මේ විෂයයන් හා අදාළව බොහෝ දෙනෙකු සතු දැනුම සීමිත වීමයි. එමෙන්ම, මේ විෂයයන් ගැන කතා කිරීමේදී ඒවායේ ආගමික හා දාර්ශනික, ජීව විද්‍යාත්මක හා වෛද්‍ය විද්‍යාත්මක, ආර්ථික හා සමාජයීය වැනි එකිනෙකින් වෙනස් මාන වෙත අවධානය යොමු කරන්නට සිදුවේ.
මා මේ ගැන තරමක් දුරට කතා කරන්නට යන්නේ අජිත් ධර්මාට හෝ ඇනෝට ප්‍රතිචාරයක් වශයෙන් නොවේ. ඔවුන්ගේ අදහස් සමඟ මට මූලික ප්‍රතිවිරෝධතා නැත. එමෙන්ම, නැවත නැවතත් කියා ඇති පරිදි ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය සිදුවිය ඇති ආකාරය ගැන උපදෙස් දෙන්නටද නොවේ. ඒ නිසා, මා මේ හා අදාළව ලියන ලිපි වල ඇති කරුණු සම්බන්ධව පැහැදිලි කිරීම් කෙරෙනු ඇති නමුත් මගේ අදහස් සමඟ එකඟ නොවන්නන්ට මා මෙහි ප්‍රතිචාර නොදක්වනු ඇත. එහෙත්, කැමති අයෙකුට මෙහි ප්‍රතිචාර පළ කරනු ලැබීමේදී සලකා බලන සීමිත කොන්දේසි වලට යටත්ව තමන්ගේ අදහස් සටහන් කරන්නට කිසිදු බාධාවක් නැත.
මාතෘකාවේ ඇති අනු කොටස් තුනෙන් ලිංගික අධ්‍යාපනය ගැන මුලින්ම කතා කිරීම පහසුය. අනෙක් මාතෘකා දෙක ගැන මා ලියන්නට අපේක්ෂා කරන දේවල් තරමක් දුරට තාක්ෂණික ස්වභාවයකින් යුතු දේවල්ය. ඒ කොටස් අපි දෙවන ලිපියකට ඉතිරි කරමු.
ලංකාව හැරුණු විට මා වැඩිපුරම දන්නා අනෙක් රට වන ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ ලිංගික අධ්‍යාපනයක් නැතැයි කිව හැකි තරම්ය. මෙය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වල ප්‍රශ්නයක්ම නොවේ. බොහෝ දුරට මෙහි ඇත්තේ සංස්කෘතික ප්‍රශ්නයකි. ඇතැම් ප්‍රතිපත්ති තීරණ මඟින් තත්ත්වයේ යම් වෙනසක් කරන්නට උත්සාහ දැරිය හැකි වුවත් එවැනි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක කාර්ය සාධනය සංස්කෘතික සාධක හමුවේ සීමාවීම නොවැලැක්විය හැකිය.
ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට එරෙහි වන්නන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ ඒ හේතුවෙන් කුඩා දරුවන් "නොදන්නා දේවල් අත්හදා බලන්නට" යාම නිසා වැඩි විනාශයක් සිදු විය හැකි බවයි. මේ අදහස දරන්නෝ ඇමරිකාවේද සිටිති. කොළඹ ප්‍රධාන සුපිරි වෙළඳසැල් සංකීර්ණයක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයකට පොලීසියෙන් පැන එහි සිටියවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව පුවත්පතක පළවීමෙන් පසු ගම්බද පෙදෙස්වල කාන්තාවන් ඒ පුවත දැක එහි සේවයට පැමිණි රටක එවැනි දේ නොවේයැයි කිසිවෙකුට සහතික විය නොහැකිය. එහෙත්, ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සමස්තයක් ලෙස යහපත් ප්‍රතිඵල අත් කර දෙනු ඇති බව මගේ අදහසයි.
හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ගැනත්, ඒඩ්ස් වැනි රෝග ගැනත් මා මුලින්ම දැනගත්තේ අදාළ නිවාරණ වැඩ සටහන් මඟින් සිදුකළ ප්‍රචාර නිසාය. ඒ වන විට මත්ද්‍රව්‍ය හෝ ඒඩ්ස් ලංකාවේ විශාල ලෙස ප්‍රචලිතව නොතිබුණු අතර මා ජීවත් වූ ප්‍රදේශයේ තිබුණේම නැති තරම්ය. ඒ නිසා, මේ දේවල් ගැන දැනුවත් නොවුනත් ඒ කාලයේ මා මත්ද්‍රව්‍ය ලෝලියෙකු හෝ ඒඩ්ස් ආසාදිතයෙකු වීමට ගිණිය හැකි ඉඩක් නොතිබුණේය. අනෙක් අතට නිවාරණය අරමුණු කොට සිදු කෙරුණු ප්‍රචාරණය නිසා මේ දේවල් ගැන වැඩිපුර සොයන්නට කිසියම් "කෘතීම" උනන්දුවක්ද ඇති වුණේය.
නිවාරණ වැඩ සටහන් වලින් ප්‍රචලිත කළ තොරතුරු අනුව මා තේරුම් ගත් පරිදි ඒඩ්ස් හදාගැනීම හා මත්ද්‍රව්‍ය භාවිතය යන දෙකම ආපසු හැරවිය නොහැකි දේවල්ය. ඒඩ්ස් වලට බෙහෙත් නැති අතර රෝගය හැදුනොත් වසර පහක් තුළ අනිවාර්යයෙන් මරණයට පත් වේ. හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය යනු අරක්කු වැනි මත්පැන් හෝ දුම්වැටි මෙන් නොව එක් වරක් භාවිතා කළද ඇබ්බැහි කරවන ද්‍රව්‍යයි. ඒ නිසා, වරක් මත්ද්‍රව්‍ය භාවිතා කළ අයෙකුට ජීවිත කාලය පුරාම එයින් ගැලවීමක් නැත. මේ මා හත්වන ශ්‍රේණියේදී පමණ ලබාගත් දැනුමයි. පළමුවැන්න ඒ කාලයේදී ඇත්තක් වුවත් දෙවැන්න ඇත්තක්ම නොවීය. එහෙත්, දෙවැන්නද තරමක් දුරට ආසන්න ඇත්තක් විය.
මත්ද්‍රව්‍ය හෝ ඒඩ්ස් වැනි අතිශය භයානක කිඹුලන් ගැන මෙන්ම එතරම් භයානක නැති කබරගොයින් වූ මත්පැන්, දුම්වැටි ගැන හා සමාජරෝග ගැනද නිවාරණ වැඩසටහන් වලින් ප්‍රචාරය කළ දේ දැනුමට සැලකිය යුතු යමක් එකතු කළත්, ඒ දේවල් ගැන දැනුම ලබාගත හැකි වෙනත් ක්‍රමද තිබුණේය. මත්පැන් හා දුම්වැටි භාවිතා කරන්නන් ඕනෑ තරම් පෙනෙන්නට සිටි අතර මත්පැන් බී අකල් මරණ වලට පත් වෙන්නෝද අපේ ගම් පළාත් වල දුලබ දසුනක් නොවීය. ඒ අතරම, මත්පැන් දුම්වැටි පානය කළත් යහතින් හිටි අයද ඕනෑ තරම් පෙනෙන්නට හිටියේය. එමෙන්ම, සමාජරෝග හදාගත් අය ගැනද කසුකුසු තිබුණේය.
ගැටවර වියේදී ඕනෑම අලුත් දෙයක් අත්හදා බලන්නට උනන්දුවක් ඇති වේ. නිවාරන වැඩසටහන් හේතුවෙන් මත්පැන් හා දුම්වැටි වල ආදීනව දැන සිටීම ඒවා අත්හදා බලන්නට බාධාවක් වුනේ නැත. එහෙත්, ඇබ්බැහි වීමට ඇති ඉඩ ගැන දැන සිටි නිසා මේ අත්හදා බැලීම් කළේ ඉතා ප්‍රවේශමෙනි. එසේ හෝ අත්හදා බලන්නට යොමුවුණේ මේ දේවල් දිගින් දිගටම ගැනීමේදී මිස වරක් හෝ කිහිප වරක් ගත් පමණින් ඇබ්බැහි නොවන බව දැන සිටි බැවිනි. වෙනත් මත්ද්‍රව්‍ය පිළිබඳව මෙවැනි අත්හදාබැලීමක් හෝ නොකරන්නට ප්‍රධාන හේතුව වුණේ අප හැදුනු ගෘහස්ථ වටපිටාව තුළ එවැනි අවස්ථාවක් කිසි විටෙකත් නොලැබීම වුවත්, යම් හෙයකින් එවැනි අවස්ථාවක් නොලැබුණේ වුවද ඇබ්බැහිවීමේ අවදානම ගෙන මත්ද්‍රව්‍ය අත්හදාබැලීමට ඉඩක් නොතිබුණේ නිවාරණ වැඩ සටහන් හරහා, තරමක අතිශයෝක්තිකින්ද යුතුව, ලැබී තිබුණු දැනුම නිසාය.
ඒඩ්ස් හෝ වෙනත් සමාජරෝග වැළඳීමේ අවදානමක් සහිත ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි යොමු නොවීමට ප්‍රධාන හේතුව වුනේද අවස්ථාවන් නොලැබීමයි. එහෙත්, විධිමත් හා අවිධිමත් ක්‍රම හරහා මේ ගැන දැනසිටි දේවල් වලින්ද එය වැලැක්වූයේය.
හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලය වන විට වෙනත් බොහෝ විෂයයන් ගැන වයසට වඩා වැඩි දැනුමක් ලබා සිටියත් ප්‍රජනන සෞඛ්‍යය හා අදාළ මූලික කරුණු හෝ මම දැන නොසිටියෙමි. හයවන ශ්‍රේණියේ අන්තිම වාරයේ දවසකදී කාන්තාවක් ගර්භණී වීම සඳහා පිරිමියෙකු විසින් කළයුතු දෙය මගේ පන්තියේ මිතුරෙක්ගෙන් මුල් වරට අහන්නට ලැබුණේය. මේ කතාව මට කිසිසේත්ම පිළිගත නොහැකි විය. දරුවන් සිටින හැම ගැහැණියක හා පිරිමියෙකුම ඔය කියන 'නරක වැඩේ' කර ඇති බව පිළිගැනීම අපහසු වූ නිසා මම සුපුරුදු පරිදි මේ මිතුරාව තර්කයෙන් පරදවන්නට උත්සාහ කළෙමි.
මේ කාලය වන විට ග්‍රහයින් හා තාරකා අතර වෙනස දැන නොසිටි, පෝය ඇති වන හැටි දැන නොසිටි "මෝඩ" ළමයි ගණනාවක් අපේ පන්තියේ සිටියේය. මෙවැනි කරුණු හා අදාළව වෙනත් සිසුන් සමඟ තර්ක කිරීම ඒ දවස්වල මගේ විනෝදාංශයකි. වාදය නැගලා යන විට තවත් සිසුන් එකතු වේ. අවසානයේදී මෙසේ එකතුවන සිසුන් බහුතරය විසින් මගේ මතය තහවුරු කිරීමෙන් වාදය අවසන් වේ. ඒ දිනවල වෙනත් සිසුන් දෙදෙනෙකු අතර සිදුවන මෙවැනි වාදයකදී වුවද අවසන් තීරණය දෙන්නට බොහෝ විට සිදුවන්නේ මටය.
මේ කියන දවසේනම් බමරය කැරකුණේ මගේ වාසියට නොවේ. එකතුවන සිසුන් සියල්ලන්ම පාහේ ගත්තේ අනෙක් සිසුවාගේ පැත්තයි. දැන් මට ඔවුන් සියල්ලන්ගේම හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්නට සිදු වී ඇත.
"හරි, අපි කියන එක වැරදිනම් උඹ කියපං ළමයි හැදෙන්නෙ කොහොමද කියලා.."
කොස්බි ෂෝ එකේ දැරියට මෙන් මටත් පිළිතුරු තිබුණේය.
"සාමාන්‍ය විදිහට"
"මොකක්ද සාමාන්‍ය විදිහ?"
"ගෑණු ළමයි ලොකු වුණාම බඩේ ළමයි හැදෙනවා. හරියට ගස් වල ගෙඩි හැදෙනව වගේ.."
"හරි එහෙමනම් ගෑණුන්ට ළමයි හම්බවෙන්න කසාද බඳින්න ඕනැ වෙන්නෙ මොකද?"
අපේ විස්තීර්ණ පවුලේ මැදිවිය පසුකළ, අවිවාහක සාමාජිකාවන් කිහිප දෙනෙක්ම මට එක වර මතක් විය. කතාව ඇත්තය. ඒ අය කිසිවෙකුටත් දරුවන් නැත. දරුවන් සිටින අවිවාහක කාන්තාවන් ගැන ඒ වන විට මම දැන නොසිටියෙමි. එහෙත්, දරුවන් නැති විවාහක කාන්තාවන් කිහිප දෙනෙක් ගැනම මට මතක් විය.
"හරි එහෙමනම් සමහර ගැණුන්ට කසාද බැඳලත් ළමයි හම්බ වෙන්නෙ නැත්තේ මොකද?"
ප්‍රශ්නයට ප්‍රශ්නයක් දමා ගසා ප්‍රතිවාදී පාර්ශ්වය ගොළු කළ හැකි වුවත් මෙය ප්‍රමාණවත් පිළිතුරක් නොවන බව මටම තේරුණේය. මෙතෙක් මේ ගැන ගැඹුරට සිතා නැති බව මට අවබෝධ විය.
"ඕක වෙන්නේ මෙහෙමයි. දැන් ඔය දූරියන් ගස් වල ගෙඩි හැදෙන්නනම් ගස් දෙකක් එක ළඟ තියෙන්න ඕනැනේ. ඒ වගේ වෙන්න ඇති!"
ප්‍රතිවාදී පාර්ශ්වයෙන් ප්‍රමාණවත් ලෙස මගේ තර්ක විඛන්ඩනය නොකළත්, වටවී සිටි සිසුන්ගේ මුහුණු දෙස බලන විට ඒ කිසිවෙක් මා කියන දෙය විශ්වාස නොකරන බව පැහැදිලිය. මින් පෙර මෙවැන්නක් වී නැත. මේ අතර, මගේ හිතවත්ම මිතුරෙක් මගේ පිටට තට්ටුවක් දැම්මේය.
"මචං, පොඩ්ඩක් පැත්තකට වරෙන්"
මම ඔහුට කීකරු වුනෙමි.
"මචං, උන් කියන එක හරි. උඹ වැරදියි. ඕක අතෑරල දාපං!"
"වෙන්ඩ බෑනේ මචං. එහෙමනම් ගස් වල ගෙඩි හැදෙන්ඩත් ඕක කරන්න ඕනැ වෙන්න එපායැ. එතකොට සත්තුන්ට පැටවු හැදෙන්නෙත් ඔහොමද?"
"ගස්නම් මං දන්නෙ නෑ. හැබැයි සත්තු පැටවු දාන්නේනම් ඕක කරල තමයි. උඹ අඩුගානෙ බලුපූට්ටුවක්වත් දැකල නැද්ද?"
"දැකල තියෙනවා!"
"ඒක තමයි ඒ.."
"හරි මං කියන්නේ පැටවු හම්බ වෙන්න ඕක කරන්න ඕනැ නෑ කියලයි. අපේ ගෙදර හරකෙක් නැතුව එළදෙනට පැටවු හම්බවුනේ කොහොමද?"
එළදෙනට පැටියා ලැබෙන්නට පෙර පට්ටි ගස්සන්නට වෙනත් නිවසකට ගෙනගිය එක ගැන මට ඒ වන විට හරි අවබෝධයක් තිබුණේ නැත.
"කොහොම වුනත් කමක් නෑ. මම කියන එක අහල ඕක නවත්තල දාපං. නැත්නම් උඹයි අපරාදේ නෝන්ඩි වෙන්නේ.."
මේ මිතුරා විශ්වාසවන්තම මිතුරෙක් වූ බැවින් ඔහුගේ කීම අහක දාන්නට නොහැකි විය. ඒ නිසා, දෙපැත්තට ඇදෙමින් තිබුණු වාදය ජයපරාජයකින් තොරව අවසන් විය. එයින් පසුව, මේ ගැන වැඩි විස්තර හොයා ළමයින් හැදෙන්නටනම් අහවල් දෙය කළ යුතු බව මම තහවුරු කරගත්තෙමි.
අපේ කාලයේදී ප්‍රජනන සෞඛ්‍යය ගැන විධිමත් ලෙස මුලින්ම දැනගන්නට ලැබෙන්නේ නවවන ශ්‍රේණියේ සෞඛ්‍යය පෙළ පොත අතට ලැබුණු පසුවය. මේ පොතේ වූ ප්‍රාණවත් වූ ශිෂ්නයක රූපයක් හා එහි අභ්‍යන්තර අවයව සහිත විස්තරය තිබුණු පිටු අංකය ගැන කළින්ම කණින් කොණින් අහන්නට ලැබී තිබුණු නිසා පොත් ලැබුණු වහාම බොහෝ සිසුන් කළේ හොරෙන්ම මේ පිටුව පෙරළීමයි. කෙසේවුවත්, පෙළ පොතේ පිටු දෙකක පමණ වූ විස්තරය තනිවම කියවනු හැර අමතර දෙයක් අපට ඉගෙන ගන්නට නොලැබුණේ අදාළ විෂය ඉගැන්වූ ගුරුවරයාට ඒ පාඩම ඉගැන්වීම සඳහා ධෛර්යයක් නොතිබුණු බැවිණි. මහලොකු දෙයක් නොතිබුණත් බොහෝ සිසුන් පාඩම් පොතේ මේ පිටුව දෙස බැලුවේද ලිංගික උත්තේජනයක් සපයන දෙයක් ලෙස සලකමිනි.
කෙසේවුවද, පසුව මා ඉංග්‍රීසි උපගුරුවරයෙකු ලෙස සේවය කළ පාසලේ විද්‍යා හා සෞඛ්‍ය විෂයයන් ඉගැන්වූ තරුණ ගුරුවරයාටනම් අදාළ පාඩම කියා දෙන්නට කිසිදු චකිතයක් තිබුණේ නැත. එම පාසලේ තිබුණේ ගොඩනැගිලි දෙකක් පමණි. එක් ගොඩනැඟිල්ලක ප්‍රාථමික පන්ති පැවැත්වුනේය. අනෙක් ගොඩනැඟිල්ලේ හයවන, හත්වන, අටවන හා දහවන පන්ති පැවැත්වුණු අතර එහිම පැත්තක විදුහල්පති කාමරය හා ගුරු විවේකාගාරය තිබුණේය. අටවන පන්තියේ සිටියේ ළමුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු පමණි. ළමුන් කිසිවකු නොසිටි නිසා නවවන පන්තියක් තිබුණේ නැත. සාමාන්‍යපෙළ සමත් නොවී දිගටම රැඳී සිටීම නිසා දහවන ශ්‍රේණියෙහි වයස් කාණ්ඩ තුනක හෝ හතරකට අයත් එක් සිසුවෙකු හා සිසුවියන් හතර පස් දෙනෙක් සිටියේය.
ප්‍රජනන සෞඛ්‍යය පාඩම අපේ විද්‍යා ගුරුවරයාගේ ජනප්‍රියම පාඩමක් විය. පිටු දෙසීයක පමණ පෙළ පොතේ මේ කොටස පිටු දෙකක් පමණක් වුවත් ඔහු ඒ වෙනුවෙන් කාලපරිච්ඡේද දෙකක් පමණ වෙන් කළේය. ඔහුගේ අරමුණ වූයේ මේ දරු දැරියන්ට ප්‍රජනන සෞඛ්‍යය ගැන හැකිතරම් හොඳින් කියා දීමද, එසේ නැත්නම් අවාරෙට පොල් වැටෙන්නාක් මෙන් පාසැලට එන මේ ළමුන්ට පාසැල් එන්නට උනන්දුවක් ඇති කිරීමද, ඒත් නැත්නම් ඒ දෙකමද කියා මා දන්නේ නැත.
මේ ශාලාවේ පන්ති අතර බාධක තබා වෙන් කර තිබුණේ නැත. අඩු වශයෙන් ගුරු විවේකාගාරය හෝ එසේ වෙන් කර තිබුණේ නැත. ඒ නිසා, මේ දහවන පන්තියේ සෞඛ්‍ය පාඩම කට ඇරගෙන අසා සිටීමේ අවස්ථාව පහළ පන්ති වල සිසුසිසුවියන්ටද ලැබුණේය. ඒ බොහෝ දෙනෙක් අවධානය යොමු කර සිටියේ තමන්ගේ පන්තියේ පාඩමට නොව දහවන පන්තියේ පාඩමටය.
හොඳම කෑල්ල තිබුණේ ගුරු විවේකාගාරයේය. පාසැලේ සිටි අවිවාහක ගුරුවරියන් කිහිප දෙනෙකුමද ගුරු විවේකාගාරයට වී මේ පාඩමට සවන් දුන්නේය. ඔවුන්ගෙන් ඇතැමෙකුගේ මුහුණු රතු වී තිබුණේය. මගේ අදහස අනුව, ප්‍රජනන සෞඛ්‍යය ගැන ඉගැන්විය යුත්තේ මීට වඩා අඩු වයසකදීය. නවවන ශ්‍රේණියට පැමිණෙන විට සිසුසිසුවියන් අවිධිමත් ලෙස ලිංගික අධ්‍යාපනය ලබා අවසන්ය.
ඇමරිකාවේ සිසුවෙකුට ලිංගිකත්වය හා අදාළ මූලික දේ කියා දෙන්නේ පෙර පාසැල් වයසේදීය. දෙවන වසරේදී පමණ ඔවුන්ට සැලකිය යුතු දැනුමක් ලබා දේ. මෙහිදී, ලිංගික අධ්‍යාපනය යනුවෙන් අදහස් කෙරෙන්නේ "ලොකු එක" කරන ආකාරය කියාදීම නොවේ. ඊට වඩා ඉතා සරල දෙයකි. ඇමරිකාවේ ලිංගික අධ්‍යාපනය යනු ඇතැම් අය සිතා සිටින ආකාරයේ "අනවශ්‍ය තොරතුරු" ලාබාල වයසේ සිසුන් මත ඕනෑවට වඩා කලින් පැටවීමක් නොව පුළුල් සන්දර්භයක් තුළ වෙනත් අදාළ දැනුම් සමඟ මුසුකර ක්‍රමානුකූල ලෙස හා වයසට ගැලපෙන ලෙස ලබා දෙන දැනුමකි. වෙනත් බටහිර රටවලද මෙය සිදුවන්නේ මේ අයුරින් බව මගේ අදහසයි.
ඇමරිකාවේ පෙරපාසැල් වයසේ දරුවෙකුට ලබාදෙන ලිංගික අධ්‍යාපනය යනු පෞද්ගලික අයිතිවාසිකම් ගැන ලබා දෙන දැනුමේම කොටසකි. පිරිමි ළමුන් දෙදෙනෙකු හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකු අත් අල්ලාගෙන හෝ කරට අත දමාගෙන යාම ලංකාවේනම් සාමාන්‍ය දෙයකි. එහෙත්, ඇමරිකාවේ එවැනි දෙයක් සාමාන්‍ය දෙයක් නොවේ. ගැටවර වයසේදීනම් එයින් වෙනත් දෙයක් අදහස් වනවා විය හැකිය.
හොඳ යාළුවන් වන පිරිමි ළමුන් දෙදෙනෙකු හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකු මේ අයුරින් සමීපව සිටීම ඉතා අහිංසක දෙයක් හෝ සංස්කෘතියේ කොටසක් බව කෙනෙකුට කියන්නට පුළුවන. ඒ කතාවේ වැරැද්දක්ද නැත. ඇමරිකාවේ මේ ආකාරයේ අත් අල්ලාගැනීම් හෝ කරට අත දමාගෙන යෑම වැනි සමීප සම්බන්ධතා නැත්තේ සිසුන් ඉතා කුඩා වයසකදීම අනෙක් අයගේ පෞද්ගලිකත්වයට ගරු කිරීමට ඔවුන්ට පුරුදු කරන බැවිනි.
මගේ දරුවන්ට පෙර පාසැලේදී මුලින්ම කියාදුන් පාඩමක් වූයේ සෑම අයෙකුටම තමා වටා අදෘශ්‍යමාන බුබුළු අවකාශයක් (bubble space) ඇති බවයි. වෙනත් අයෙකුට ඕනෑවට වඩා සමීප වූ විට මේ බුබුල බිඳෙන්නට පුළුවන. එමෙන්ම, තමන්ගේ බුබුල බිඳෙන තරම් ලඟට එන්නට වෙනත් අයෙකුට ඉඩදිය යුතුද නැත.
මේ බුබුල පෙර පාසැල් වයසේ දරුවෙකුට සිතින් මවාගත හැකි එකකි. වයසින් වැඩෙද්දී එවැනි බුබුලක් සැබෑවටම නැති බව දරුවා තේරුම් ගන්නා නමුත් ඒ වන විට ඔහු හෝ ඇය එහි අදහස උකහාගෙන අවසන්ය.
මේ මඟින් කෙරෙන්නේ දරුවන් අතර ඇතිවන අහිංසක හා සුන්දර සම්බන්ධතා විනාශ කිරීමක්යැයි අයෙකුට සිතෙන්නට පුළුවන. එහෙත්, එහි වැදගත්කම තේරෙන්නේ ඒ හේතුවෙන් පසුකාලීනව වැළකෙන දේ ගැන සිතද්දීය. පිරිමි පාසැල් සිසුවෙකුට තවත් සිසුවෙකුට යාලු කමට පිටට තට්ටුවක් දාගෙන යන්නට ඇති හැකියාවවම ඇතැම් අවස්ථා වලදී කොක්කක් දා ගැනීම සඳහාද උපයෝගී කරගන්නා බව රහසක් නොවේ. මෙවැනි පොඩි තට්ටු දැමීම් හා ඇඟේ හැප්පීගෙන යාම් තවමත් ලංකාවේ පාසැල් වල සාමාන්‍ය දේවල් බව දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ඇති එවැනි ජවනිකා සාක්ෂි දරයි. නවක වදයේදී සිදුවන දේවල් වලට සාපේක්ෂව මේවා ගණන් ගත යුතු දේවල් නොවන බව ඇතැමෙකුට කියන්නට පුළුවන.
පෙර පාසැල් වයසේදීම කියා දෙන දෙවැනි දෙය කිසියම් අයෙකුගේ සිරුරේ පෞද්ගලික ප්‍රදේශ මොනවාද යන්නයි. මේ ප්‍රදේශ අතපතගාන්නට වෙනත් අයට කිසිදු අයිතියක් නැති බව ඇමරිකාවේ දරුවෙකු කුඩා කාලයේදීම දැන ගනී. ඒ සමඟම, එසේ කරන්නට අයිතියක් ඇති අය (මව, පියා, වෛද්‍යවරයා) කවුද යන්නත්, ඔවුන්ට වුවත් එසේ කළ හැක්කේ කුමන අවස්ථාවලදීද යන්නත් දරුවා දැන ගනී.
දරුවන් හා අදාළව සිදුවන ලිංගික අපචාර බොහොමයක්ම සිදුවන්නේ වෙනත් ළමා අපචාර වලම කොටසක් වශයෙනි. ඒ නිසා, ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ ළමා අයිතිවාසිකම් පිළිබඳ දැනුමක්ද සමඟය. දෙවන ශ්‍රේණියේදී පමණ ඇමරිකන් දරුවෙකුට මෙවැනි කරුණු ගැන තවත් වැඩිපුර දැනගන්නට ලැබේ.
දරුවෙකු මුලින්ම දැනගත යුත්තේ විශ්වාසනීය වැඩිහිටියෙකු යනු කවුද යන්නයි. එවැන්නන් පස් දෙනෙකු පමණ හඳුනාගන්නට මුලදීම දරුවෙකුට පුහුණු කෙරේ. වෙනත් වැඩිහිටියෙකුගෙන් අසාමාන්‍ය හැසිරීමක් දකින්නට ලැබෙන විට දරුවෙකු මුලින්ම කළ යුත්තේ මේ විශ්වාසනීය වැඩිහිටියන්ගෙන් අයෙක් දැනුවත් කිරීමයි. විශ්වාසනීය වැඩිහිටියා මව, පියා, ගුරුවරයා හෝ වෙනත් සමීප ඥාතියෙකු විය හැකිය.
අප දන්නා පරිදි ලංකාවේ බොහෝ ලිංගික අපචාර ඇතුළු ළමා අපචාර කරන්නේ මේ ආකාරයේ විශ්වාසනීය වැඩිහිටියන් විසින්මය. එසේනම්, මේ පුහුණුව මඟින් එවැනි දේ කෙසේ වැළැක්විය හැකිද?
එක් විශ්වාසනීය වැඩිහිටියෙකුගෙන් අසාමාන්‍ය හැසිරීමක් දකින්නට ලැබෙන විට දරුවකු විසින් කල යුත්තේ වෙනත් විශ්වාසනීය වැඩිහිටියෙකු දැනුවත් කිරීමයි. උදාහරණයක් ලෙස පියාගේ හැසිරීම අසාමාන්‍යනම් කළ යුත්තේ ඒ ගැන වහාම මව සමඟ කතා කිරීමයි. මෙය බොහෝ විට සාර්ථක වන උපක්‍රමයකි. ඇයගෙන්ද සතුටු විය හැකි විසඳුමක් නොලැබේනම් කළ යුත්තේ ගුරුවරයාට දැනුම් දීමයි. එයද සාර්ථක නැත්නම් 911 දුරකථන අංකය අමතා දැනුම් දීමට දරුවන් මුල සිටම පුහුණු කර තිබේ.
ඇමරිකාවේ දරුවන්ගෙන් 40% සම්බන්ධවම කිසියම් අවස්ථාවක බලාධිකාරයකට මැදිහත් වෙන්නට සිදු වී තිබේ. මෙය එකවර විශ්වාස කිරීමට අසීරු තරමේ සංඛ්‍යාලේඛණයකි. එයින් අදහස් වන්නේ ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ ළමා අපචාර සුලභ බව නොවේ. දෙමවුපියන්ගෙන් වරක් හෝ පහරක් කෑ දරුවන් මෙවැනි පැමිණිලි ගොනු කළහොත් ලංකාවේ මේ ප්‍රතිශතය කොපමණ ඉහළ අගයක් ගනු ඇත්දැයි සිතාගන්නට බැරිකමක් නැත.
ඇමරිකාවේ දෙමවුපියන්ගේ හා දරුවන්ගේ කාර්යයන් ඉතා පැහැදිලි ලෙස අර්ථ දක්වා ඇති අතර දෙමවුපියන් විසින් කළ යුතු, කළ හැකි, නොකළ යුතු හා නොකළ හැකි දේවල් ගැන දරුවන්ව කුඩා කාලයේදීම දැනුවත් කෙරේ. ඒ දේවල් ඒ අයුරින් සිදු නොවන්නේනම් ඔවුන්ට පැමිණිලි කළ හැකි තැන් ගණනාවක් තිබේ. මෙවැනි පැමිණිලි විභාග නොවී ඉවත යන්නේ නැත.
ලිංගික අධ්‍යාපනයටත් වඩා ලංකාවට අවශ්‍ය වන්නේ ළමා අයිතිවාසිකම්, ළමා අපචාර ආදිය ගැන කුඩා කාලයේදීම දරුවන් දැනුවත් කිරීම හා එවැනි දේ සිදුවන විට ඒවා කරන අයට ගැලවී යා නොහැකි යාන්ත්‍රණයක් ඇති වීමයි. ඒ දේවල් සිදු නොවී ලිංගික අධ්‍යාපනය පමණක් ලබා දුන් පමණින් සාර්ථක ප්‍රතිඵල නොලැබෙන්නට ඉඩතිබේ. මෙයින් කියන්නේ ලිංගික අධ්‍යාපනය ලබා දීම නොවැදගත් බව නොවේ. එය සිදුවිය යුත්තේ වඩා පුළුල් යාන්ත්‍රණයක කොටසක් ලෙස බවයි.
ලිංගික අධ්‍යාපනය ලබාදීම හේතුවෙන් සිදුවන්නේ කුමක්දැයි නොදැන සිය පියා අතින් අපයෝජනය වන දැරියක් සිදුවන දෙය දැනගනු ඇතත්, තමන්ට ආහාර හා ආරක්ෂාව සපයන පියාට එරෙහිව පැමිණිලි කර කබලෙන් ලිපට වැටෙන්නට ඇයට ඇති ස්වභාවික බිය ඒ හේතුවෙන් තුරන් වන්නේ නැත. ඒ නිසා, එසේ පැමිණිලි කිරීමෙන් පසුව ඇගේ අනාගතය වඩාත් සුරක්ෂිත බව ඇයට ඒත්තු ගැන්වීමට ප්‍රමාණවත් යාන්ත්‍රණයක්ද රටේ තිබිය යුතුය.
ලිංගික අපචාර සිදු නොවුණත් මවුපියන් හා පවුලේ සමීපතම වැඩිහිටි ඥාතීන් විසින් දරුවන්ට අමානුෂික ලෙස පහර දෙන හෝ වධ හිංසා සිදුකරන, එසේ නැත්නම් ඔවුන්ගෙන් වයසට නොගැලපෙන වැඩ කරවා ගන්නා අවස්ථා එතරම් දුලබ නැත. සංඛ්‍යාලේඛණ මඟින් පෙනෙන්නේ ලිංගික අපචාරයකට ලක්වන දරුවෙකු බොහෝ විට කිසියම් හෝ වෙනත් ආකාරයක අපහරණයකට හෝ අපහරණයන්ට මුලින් ලක්වන බවයි. එසේ නැත්නම්, මෙවැන්නෝ අඩු වශයෙන් දෙමවුපියන් විසින් නොසලකා හරිනු ලැබීමට ලක් වූ අය වෙති.
ලිංගික අධ්‍යාපනයක් ලබා නැති දරුවෙකු තමන් ලිංගික අතවරයකට ලක්වන බව දැන නොසිටීමට සැලකිය යුතු ඉඩක් ඇතත් වෙනත් ආකාරයක ළමා අපචාරයකට, උදාහරණයක් ලෙස පහර දීමකට, නොසලකා හරිනු ලැබීමකට හෝ කළ නොහැකි මට්ටමේ වැඩ කරන ලෙස බල කරනු ලැබීමට ලක්වන විට, තමන්ට නරක ලෙස සලකන බව තේරුම් ගන්නට දරුවෙකුට ස්වභාවික හැකියාවක් තිබේ. එහෙත්, එවැනි දැනුමක් තිබූ පමණින් ලංකාවේ දරුවකුට එය වලක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් නැත.
මෙවැනි දේවල් ගැන දුක්ගැනවිලි ඉදිරිපත් කරන්නට දරුවෙකුට සිටින විශ්වාසවන්තම තැනැත්තා ගුරුවරයාය. ඇමරිකාවේ දරුවෙකුට සිය පාසැල් ජීවිතය ආරම්භයේදීම තමන්ට ඇති මෙවැනි ගැටළු ඇත්නම් ගුරුවරයා සමඟ කතා කරන්නට පුහුණු කෙරේ. දරුවකුට නිවසේදී සිදුවන අතවරයක් ගැන ගුරුවරයෙකුට ඉව වැටුණු පසු දරුවා විසින් කිසිවකුට නොකියන ලෙස ගුරුවරයාව පොරොන්දු කරගෙන සිටියේ වුවද ගුරුවරයා විසින් ගත යුතු නිශ්චිත පියවර ගණනාවක් තිබේ. මේ නීතිය වැඩිහිටි සිසුන් ඇසුරු කරන සරසවි ආචාර්යවරුන් විසින්ද පිළිපැදිය යුතු එකකි. ඒ නිසා, දරුවන්ට නොසලකා හරින ඇමරිකන් වැඩිහිටියෙකු ගන්නේ විශාල අවදානමකි. ලංකාවේ මෙවැන්නක් සිදු නොවනවා පමණක් නොව ඇමරිකානු අර්ථයෙන් දරුවන් අපහරණය කිරීම බොහෝ ගුරුවරුන් සාමාන්‍යයෙන් කරන දෙයකි.
සංක්ෂිප්තව කියනවානම් ලිංගික අධ්‍යාපනය කියන්නේ ප්‍රජනන සෞඛ්‍යය හා අදාළ නිවැරදි තොරතුරු දරුවෙකුට කියා දීම පමණක් නොවේ. එවැනි දැනුමක් පමණක් ලබා දුන්නොත්නම් ඇතැම් විට අවසන් ප්‍රතිඵලය ඇතැම් අය කියන "අත්හදා බැලීම් ඉහළ යාම" පමණක් වුවද විය හැකිය. මේ දැනුම ලබා දිය යුත්තේ පුද්ගල අයිතිවාසිකම් ගැන පුළුල් ලෙස දරුවන් කුඩා කළ සිටම දැනුවත් කිරීමේ අංගයක් ලෙසය. එවැනි දැනුවත් කිරීම් ආරම්භ කරන්නේනම් එයට සමාන්තරව ප්‍රශ්න වලට මුහුණ දෙන දරුවන්ට පහසුවෙන් උදවු ලබාගත හැකි විශ්වාසනීය යාන්ත්‍රණයක්ද ස්ථාපිත කළ යුතුය.
වැඩිදුර කරුණු දෙවන ලිපියකින් කතා කරමු.
Labels:
අතීත මතක,
අධ්‍යාපනය,
ඇමරිකාව,
උපත් පාලනය,
ගබ්සාව,
ලිංගික අධ්‍යාපනය,
සෞඛ්‍යය
Friday, September 22, 2017
විරුද්ධ මතධාරීන් විසින් මරා කෑ ගණිතඥයා
පසුගිය ලිපියට ප්‍රතිචාර දමමින් රවී විසින් ඔහු කලකට පෙර කියවා තිබුණු අලික්සන්ද්‍ර දුමාගේ "la tulipe noire" කෘතියේ පරිවර්තනයක් වන "කළු දළ මල" පොත ගැන මතක් කර සිටියේය. මේ පොතේ කතාව ආරම්භ වන්නේ 1672දී සිදුවූ යොහාන් ද විත් හා කොර්නේලිස් ද විත් දෙසොහොයුරන් කැරලිකරුවන් විසින් දෙන් හාහ් (The Hague) නගරයේදී ඝාතනය කිරීමේ සිදුවීමෙනි. අලික්සන්ද්‍ර දුමා විසින් නාට්‍යමය ස්වරූපයකින් විස්තර කර ඇතත්, මේ සිදුවීම සැබෑ ඓතිහාසික සිදුවීමකි.
යොහාන් ද විත් එවකට ජාත්‍යන්තර වෙළඳාම තුළ එංගලන්තයට හා ප්‍රංශයට අභියෝග කළ නෙදර්ලන්තයේ එක්සත් ප්‍රාන්ත වල අගමැති ධුරයට සමාන තනතුරක් සේ සැලකිය හැකි රාද්පෙන්සියනාරස් (raadpensionaris) ලෙස කටයුතු කළ අතර ඔහුගේ වැඩිමල් සොහොයුරු කොර්නේලිස් ද විත් ඔහු ජීවත් වූ ප්‍රදේශයේ මහ ඇමති ධුරය ලෙස සැලකිය හැකි තනතුරක් මෙන්ම නීති, අධිකරණ හා ආරක්ෂක අංශ වල ප්‍රධානියා ලෙස සැලකිය හැකි තනතුරක් ඇතුළු තනතුරු ගණනාවක් දැරුවේය. කොර්නේලිස් යනු නෙදර්ලන්තයේ එක්සත් ප්‍රාන්ත එංගලන්තය හා ප්‍රංශය සමඟ කළ යුද්ධ වලටද නායකත්වය දුන් අයෙකි.
මෙසේ එවක නෙදර්ලන්ත රජයේ ප්‍රබල තනතුරු දැරූ යොහාන් ද විත් හා කොර්නේලිස් ද විත් සොහොයුරෝ මධ්‍යම රජයේ බලතල සීමා කර ගම් වල ප්‍රධානීන් වූ රීජන්ට්ලාට වැඩි බලයක් ලබා දීම වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි ජනරජවාදියෝ වූහ. ඔවුන්ගේ ප්‍රතිවාදී ඔරන්යේ පාක්ෂිකයෝ රාජකීය අධිකාරයේ සංකේතය වූ හෞස් ඔරන්යේ නසෝ (Huis Oranje-Nassau) වෙත වැඩි බලයක් සහිත ශක්තිමත් මධ්‍යම රජයක් වෙනුවෙන් පෙනී සිටි අතර ඒ හේතුවෙන් විත් දෙසොහොයුරෝ ඔවුන්ගේ දැඩි වෛරයට පාත්‍රව සිටියහ. විත් සොහොයුරන්ගේ දැඩි ජනරජවාදී අදහස් නිසා ඔරන්යේ පාක්ෂිකයින් සිටියේ ඔවුන්ව මරාගෙන කන්න තරම් තරහකිනි.
මුල් කාලයේදී ජනරජවාදීන්ට රටේ වැඩි සහයෝගයක් තිබුණත් 1672දී එංගලන්තය හා ප්‍රංශය විසින් එක්ව එල්ල කළ හමුදා ප්‍රහාරයන්ට එක්සත් ප්‍රාන්ත හමුදාවන්ට සාර්ථකව මුහුණ දෙන්නට නොහැකි වීමෙන් පසු තත්ත්වය වෙනස් විය. යොහාන් ද විත්ට රාද්පෙන්සියනාරස් ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදු වූ අතර ජනරජවාදීන් අතින් බලය ගිලිහී ඔරන්යේ-නසෝවාදීන් අතට පත් විය.
නියෝජ්‍ය හමුදා ප්‍රධානියාව සිටි කොර්නේලිස් ද විත් දැඩි ඔරන්යේ-නසෝ විරෝධියෙක්ව සිටි අතර ඒ හේතුව නිසා ඔරන්යේ-නසෝවාදීන්ගේ දැඩි වෛරයට විශේෂයෙන්ම ලක්ව සිටියේය. ඔහුව රාජ්‍යද්‍රෝහී චෝදනා මත අත් අඩංගුවට ගෙන වරද පිළිගැනීමට පෙළඹවීම සඳහා දැඩි වධ දුන්නත් අවසානය වන තුරුම කොර්නේලිස් වරද පිළිගත්තේ නැත. එවකට ක්‍රියාත්මක වූ රෝම ලන්දේසි නීතිය අනුව රාජ්‍යද්‍රෝහී වූ බව පිළි ගත්තේනම් ඔහුට මරණ දඬුවම නියම කළ හැකිව තිබුණත්, ඔහු වරද පිළි නොගත් බැවින් ඔහුට නීත්‍යානුකූල ලෙස මරණ දඬුවම ලබා දීමට ඔරන්යේ පාක්ෂිකයින්ට නොහැකි විය. ඒ නිසා, මරණ දඬුවම වෙනුවට කොර්නේලිස් ද විත්ට රටින් පිටුවහල් වීමට නියෝග කෙරුණේය.
හිතාමතාව ආරක්ෂාව ඉවත් කරනු ලැබ, නිවසත්, නිවසෙන් පයින් යන දුරක තිබුණු අධිකරණ ශාලාවත් අතර ගමන් කරද්දී සැලසුම්සහගත ලෙස සිදු කෙරුණු නිල නොවන හමුදා වෙඩි පහර වලට ලක්වන්නට යොහාන් හා කොර්නේලිස් ද විත් දෙසොහොයුරන්ට සිදු වූ අතර ඉන්පසු වීදි මැරයන්ගේ පහරදීම් හමුවේ මේ දෙදෙනාම දරුණු වද විඳ මිය ගියෝය. ද විත් දෙසොහොයුරන්ව ප්‍රසිද්ධියේ නිරුවත් කර, දරුණු වධ දී, මරා දැමීමෙන් පසු ඔවුන්ගේ ප්‍රතිවාදී නිල නොවන වීදි මැරයන් විසින් අක්මාව ඇතුළු සිරුරු කොටස් එළියට ගෙන පුළුස්සා ප්‍රසිද්ධියේ ආහාරයට ගත් බවත්, ඇස් බෝල උගුල්ලාගත් බවත් විවිධ වාර්තා වල සඳහන්ය.
අලික්සන්ද්‍ර දුමාගේ ප්‍රබන්ධය අනුව විත් දෙසොහොයුරන්ගේ සිරුරු කොටස් තීරු කර සිහිවටන සේ අලෙවි කර තිබේ. මේ ඇතැම් කරුණු සැබෑ නොවන අතිශයෝක්ති විය හැකි වුවත්, මේ දේවල් සිදුවිය නොහැකිව තිබුණු දේවල් නොවේ. ප්‍රතිවාදී අදහස් දරන්නන් මරාගෙන කන්න වුවත් සූදානම්ව සිටින හා ඇතැම් අවස්ථා වල ක්‍රියාවෙන්ම ඒ බව පෙන්වන වෛරී අදහස් ඇති අය තවමත් සමාජ ජාලා වල සිට බාහිර සමාජය දක්වා විවිධ තැන් වල දකින්නට පුළුවන. ඒ නිසා, සියවස් තුනහමාරකට පමණ පෙර එවැන්නන් සිටීම පුදුමයක් නොවේ.
කළු දල මල කතාව ආරම්භ වන්නේ එවක නෙදර්ලන්ත සමාජය ඉමහත් කම්පාවකට ලක් කළ, 1672 අගෝස්තු 20 දින සිදු වූ ඉහත විස්තර කළ දේශපාලනික ඝාතන සිදුවීමෙනි. මේ කාලය වන විට ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කළේද ලන්දේසීන් විසිනි.
සිය දේශපාලන අදහස් හේතුවෙන් දරුණු මරණයකට මුහුණ දුන් යොහාන් ද විත් යනු තවත් එක් දේශපාලනඥයෙක් පමණක් නොවේ. ඔහු ඒ යුගයේ ජීවත් වූ දක්ෂ ගණිතඥයෙක්, නීති විශාරදයෙක්, මූල්‍යකරණය ගැන විශේෂඥයෙක්, චින්තකයෙක් හා විශිෂ්ඨ බුද්ධිමතෙක්ද විය. සිය සොහොයුරු කොර්නේලිස් මෙන්ම යොහාන්ද ලීඩන් සරසවියේ නීතිය හැදෑරු අතර එහිදී ඉතා දක්ෂ සිසුවෙකු ලෙස යොහාන්ව විශේෂයෙන්ම හඳුනා ගැනුණේය.
යොහාන් විසින් සරසවියේදී හැදෑරු ප්‍රධාන විෂය වූයේ නීතියයි. දේශපාලනයට පැමිණෙන විට ඔහු කටයුතු කළේද නීතිඥයෙකු ලෙසයි. 1645 වසරේදී ඔහු නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් (Juris utriusque Doctor) ලබා ගත්තත් ඔහුගේ ප්‍රධාන උපදේශකයා වූයේ එවකට ජීවත් වූ ප්‍රමුඛ ගණිතඥයෙකු වූ ෆ්‍රාන්ස් වැන් ශූටන්ය. ශූටන් යනු බොහෝ දෙනෙක් දන්නා ප්‍රසිද්ධ දාර්ශනිකයෙකු හා ගණිතඥයෙකු වන ඩෙකාට් (René Descartes) විසින් ඉදිරිපත් කළ විශ්ලේෂනාත්මක ජ්‍යාමිතිය පිළිබඳ අදහස් ඉදිරියට ගෙන ගිය අයෙකි.
යොහාන් සරසවි සිසුවෙකුව සිටියදී ඔහුට ටික කාලයක් ශූටන්ගේ නිවසේ නවාතැන්කරුවෙකුව සිටින්නට ඉඩ ලැබුණු අතර ඒ කාලයේදී ඔහුට ඔහුගෙන් මෙන්ම එම නිවසට ආ වෙනත් ප්‍රධාන පෙළේ ගණිතඥයින්ගෙන්ද ගණිතය විෂයයෙහි අලුත්ම දැනුම ලබා ගන්නට අවස්ථාව ලැබුණේය. මේ කාලය වන විට වීජ ගණිතය හා ජ්‍යාමිතිය විෂයයන් එකතු කිරීමේ කටයුත්ත ඇරඹී තිබුණත් අවසන්ව නොතිබුණේය.
මෙය කියවන අය අතර වීජ ගණිතයේ එන වර්ගජ සමීකරණ ගැනත්, එවැනි සමීකරණයකට අදාළව ප්‍රස්ථාර කොළයක ඇඳිය හැකි ජ්‍යාමිතික රූපයක් වන පරාවලය ගැනත් නොදන්නා කෙනෙක් සිටිය නොහැක. වර්ගජ සමීකරණ වල හා පරාවල වල ලක්ෂණ විස්තර කරමින් යොහාන් ද විත් විසින් ලියූ Elementa curvarum linearum ග්‍රන්ථය අදාළ විෂයට සැලකිය යුතු අලුත් දැනුමක් එකතු කළේය. පරාවලයක් සමමිතික ලෙස බෙදන රේඛාවට ලම්බකව පිහිටි රේඛාවක් (නියාමක අක්ෂය) හඳුන්වන directrix යන වචනය යොහාන්ගේ හඳුන්වා දීමක් ලෙස සැලකේ.
දේශපාලනයට පැමිණ රටේ වගකිවයුතු තනතුරු ගණනාවක් එකින් එක භාර ගන්නට වීම නිසා යොහාන්ගේ ශාස්ත්‍රාලයීය කටයුතු අතපසු වුවත් ඔහු තමන්ට ගණිතයට වූ ඇල්ම මුළුමනින්ම අතහැර දැම්මේ නැත. ඒ වෙනුවට ඔහු කළේ රාජ්‍ය මූල්‍යකරණයේදී මුහුණ දුන් ගැටළු හමුවේ විසඳුම් සොයමින් රාජ්‍ය යාන්ත්‍රනය වඩා කාර්යක්ෂම කිරීමට සිය ගණිත දැනුම යොදා ගැනීමයි. බැඳුම්කර විකිණීම නිසා දිගින් දිගටම රජයට ගෙවන්නට සිදුවන පොලී මුදල් හේතුවෙන් රාජ්‍ය අයවැය මත ඇති වන පීඩනය හොඳින් තේරුම් ගත් යොහාන් විසින් මේ බැඳුම්කර හා අදාළ මූල්‍යමය කරුණු විශ්ලේෂණය කරමින් ලියූ "The Worth of Life Annuities Compared to Redemption Bonds" ග්‍රන්ථය ආයුගණක විද්‍යාවේ (actuarial science) ප්‍රාරම්භය ලෙස සැලකේ.
මෙහි විශ්ලේෂණය කෙරෙන ජීව ගෙවීම් (Life Annuities) යනු බැඳුම්කර මෙන්ම ඒ කාලයේදී රාජ්‍ය මූල්‍යනය පිණිස යොදාගත් ක්‍රමයකි. මෙහිදී කිසියම් අයෙකුගේ (උදාහරණයක් ලෙස වැන්දඹුවකගේ) සියලු වත්කම් රජය විසින් පවරා ගත් අතර, ඒ වෙනුවට මිය යන තුරු නිශ්චිත මාසික දීමනාවක් රජය විසින් ආපසු ගෙවුවේය. යොහාන් විසින් පෙන්වා දුන්නේ එවකට ජීව ගෙවීම් සඳහා රජය විසින් ගෙවූ මුදල අනුව ඒවා සමාන කළ හැක්කේ 5% පමණ පොලියක් ගෙවන බැඳුම්කර වලට බවයි. එහෙත්, මේ කාලයේ බැඳුම්කර පොලී අනුපාතිකය 4%ක් පමණක් විය. ඒ නිසා, මේ ජීව ගෙවීම් වලින් රජයට විශාල අලාභයක් සිදු විය. මේ අනුව, ජීව ගෙවීම් සඳහා ගෙවූ මුදල් අඩු කෙරුණු අතර එය යොහාන් ද විත්ගේ ජනප්‍රියත්වය පිරිහීමටද හේතු විය. ඔහුගේ මරණයෙන් පසුව ජීව ගෙවීම් වාරික නැවතත් පෙර මට්ටමට ඉහළ දමනු ලැබුවේය.
රාජ්‍ය පාලනයේදී, සම්පත් නාස්ති කරන යුද්ධය වෙනුවට යොහාන්ගේ තෝරාගැනීම වුණේ සම්මුති මත පදනම් වූ සාමයයි. මේ ප්‍රතිපත්තිය හරහා නෙදර්ලන්තය සෞභාග්‍යය කරා ගෙන යන්නට ඔහුට හැකි වුවත්, එංගලන්තය හා ප්‍රංශය ඒ අයුරින්ම නොසිතූ නිසා ඔහුට යුද්ධය මඟ හැර යා නොහැකි විය. මේ ප්‍රබල රටවල් දෙක තමන්ට එරෙහිව එක් වනු ඇතැයි ඔහු ගණනය කර නොතිබුණේය. විත් සොහොයුරන්ව මරා දැමීමෙන් පසු තෙවන විලියම් රජු පිය උරුමයෙන් නෙදර්ලන්තයේ එක්සත් ප්‍රාන්ත වල (Holland, Zeeland, Utrecht, Gelderland, සහ Overijssel ) රාජ්‍ය නායකයා (Stadtholder) වූ අතර, මවු උරුමයෙන් එංගලන්තයේ, අයර්ලන්තයේ හා ස්කොට්ලන්තයේද රජු බවට පත් විය.
වසර 392කට පෙර සැප්තැම්බර් 24 දිනක උපන් යොහාන් ද විත් කුරිරු මරණයකට ලක්ව මිය යන විට ඔහුගේ වයස අවුරුදු 47ක්වත් වී තිබුණේ නැත.
(Image: https://www.pinterest.com)
Saturday, September 16, 2017
ඇමරිකාවේ ඕලන්දය හා ටියුලිප් උත්සවය
ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ හොලන්ඩ් නමින් හැඳින්වෙන කුඩා නගරය එනමින් හැඳින්වෙන්නේ නෙදර්ලන්තයේ පැරණි නම වූ ඕලන්දය අනුව යමිනි. එහි පදිංචිකරුවන් විශාල ගණනකට ඕලන්ද සම්භවයක් තිබේ. මේ අයුරින්, වෙනත් රටවල් අනුව නම් කළ නගර ගණනාවක් ඇමරිකාවේ තිබේ. නිවුයෝර්ක්හි ග්‍රීස්, ස්වීඩන්, පෝලන්ඩ්, පේරු හා කියුබා, ටෙක්සාස්හි චයිනා, සුඩාන් හා ටර්කි, ඉන්දියානාහි ලෙබනන්, ඇන්ගෝලා, අයර්ලන්ඩ් හා මෙක්සිකෝ, අයෝවාහි ඩෙන්මාර්ක් හා නෝර්වේ, නෝර්ත් කැරොලිනාහි ඊජිප්ට් හා බොලීවියා හා කනෙක්ටිකට්හි ස්කොට්ලන්ඩ් මෙන්ම මිචිගන්හිම පිහිටි නොර්වේ උදාහරණ කිහිපයකි. මෙක්සිකෝ, පේරු, කියුබා වැනි නම් ඇති නගර අඩු වශයෙන් ඇමරිකාවේ ප්‍රාන්ත හත අටකවත් තිබේ.
විවිධ රටවල නම් වලින් මෙන්ම විවිධ රටවල පිහිටි නගර වල නම් වලින් හඳුන්වන නගර ගණනාවක්ද ඇමරිකාවේ තිබේ. මේ නම් මෙවැනි නගර වල දැන් ජීවත් වන ඇමරිකානුවන්ගේ සම්භවය පිළිබඳව ඉතිරි වී තිබෙන එකම හෝඩුවාව නොවේ. ඇමරිකාවට විවිධ රටවලින් පැමිණි සංක්‍රමණිකයින් කලක් යද්දී ඇමරිකානුවන් බවට පත් වී ඇතත්, ඔවුන්ගේ මුල් සංස්කෘතීන්හි ඇතැම් අංගද මේ සංක්‍රමණිකයින්ගේ පසු පරම්පරාවන් විසින් ඉදිරියට ගෙන යයි. ලෝකයේ ඕනෑම රටක ආහාර ඇමරිකාවෙන් හොයා ගන්නට බැරිකමක් නැත්තේ ඇමරිකාවේ විවෘත වෙළඳ ප්‍රතිපත්තිය නිසා මෙන්ම මේ සංස්කෘතික විවිධත්වයද නිසාය. ඇමරිකාව වටේ ලෝකය කැරකීම කෙසේ වුවත් ඇමරිකාව ඇතුළෙන් ලෝකයම වාගේ යම් තරමකින් දකින්නටනම් පුළුවන.
මිචිගන්හි පිහිටි හොලන්ඩ් නගරය ප්‍රසිද්ධව ඇත්තේ එහි වාර්ෂිකව පැවැත්වෙන ටියුලිප් උත්සවය නිසාය. හොලන්ඩ් නගර වැසියන්ගේ මුතුන් මිත්තන් මෙන්ම ටියුලිප් ශාඛයද උතුරු ඇමරිකාවට ඕලන්දයෙන් පැමිණ පැලපදියම් වූ සංක්‍රමණිකයෙකි. ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ විවිධ ප්‍රදේශ වල පිහිටි, හොලන්ඩ් නගරය මෙන් ඕලන්ද උරුමයක් ඇති තවත් නගර ගණනාවක අප්‍රේල් අවසාන සතියේ හෝ මැයි මාසයේ ටියුලිප් මල් පිපෙන කාලයට මේ උත්සවය පැවැත්වේ. ඕලන්ද සංස්කෘතිකාංග වලටද තැනක් ලැබුණත් මේ උත්සවයේ ප්‍රධාන ආකර්ශනය වන්නේ එක යායට අක්කර ගණනක වවා ඇති ටියුලිප් මල්ය. ඒ දසුනේ සුන්දරත්වය වචන වලින් විස්තර කිරීම පහසු දෙයක් නොවේ.
කෙසේ වුවද, ටියුලිප් ගොවීන්ගේ ප්‍රධාන ආදායම ටියුලිප් මල් විකිණීම හෝ ප්‍රදර්ශනය කිරීම නොව ටියුලිප් බල්බ (අල) අලෙවි කිරීමයි. ටියුලිප් බල්බ වලට ඇමරිකාවේ තවමත් තිබෙන්නේ විශාල ඉල්ලුමකි. එහෙත්, මේ ඉල්ලුමට සරිලන ටියුලිප් බල්බ ප්‍රමාණයක් ඇමරිකාවේ නිෂ්පාදනය නොවන අතර ඒ අඩුව පුරවන්නේ ලෝකයේ විශාලතම ටියුලිප් බල්බ නිෂ්පාදකයා හා අපනයනකරු වන නෙදර්ලන්තය හෙවත් පැරණි ඕලන්දයයි. නෙදර්ලන්තයෙන් අපනයනය කරන ටියුලිප් බල්බ වැඩිම ප්‍රමාණයක් ආනයනය කරන්නේ ඇමරිකාවයි.
පහත වීඩියෝවේ ඇත්තේ නෙදර්ලන්තයේ ටියුලිප් ගොවිපොලක එක යායට පිපී ඇති ටියුලිප් මල් යන්ත්‍රයක උපකාරයෙන් කපා දමන ආකාරයයි. මේ අයුරින් මල් ඉවත් කරන්නේ ටියුලිප් ගොවියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ටියුලිප් බල්බ මිස මල් නොවන බැවිනි. හොඳ තත්ත්වයේ බල්බ වැඩි ප්‍රමාණයක් නිපදවා ගත හැක්කේ බල්බ වර්ධනය වීමට අවශ්‍ය පෝෂණය ඉතිරි වන පරිදි මල් කපා ඉවත් කිරීම මඟිනි. ඒ නිසා, මේ වීඩියෝවේ පෙනෙන පරිදි රතුපාට ඉවත්වී කොළපාට මතුවන විට ටියුලිප් ගොවියාගේ ලාබ මෙන්ම නෙදර්ලන්තයේ ගෙවුම් ශේෂයද ඉහළ යයි.
ඕලන්දයට ටියුලිප් සමඟ ඇති සම්බන්ධය සියවස් හතරක් පහක් පැරණි එකකි. ඒ ඉතිහාසය ගැනත්, විශේෂයෙන්ම දාහත්වන සියවසේ මුල් කාලයේ ඕලන්දයේ ඇති වූ ටියුලිප්මේනියාව ගැනත් වෙනත් ලිපියකින් කතා කරමු.
Sunday, September 10, 2017
බබා එපානම් මේ පෙට්ටියට දාන්න!
රෝග පාලන හා නිවාරණ කේන්ද්‍රය (CDC) වෙත වාර්තා කර තිබුණු දත්ත අනුව, 2013 දී ඇමරිකාව තුළ නීත්‍යානුකූල ගබ්සා 664,435ක් සිදු කර තිබුණේය. එම ආයතනය විසින් මෙසේ දත්ත එකතු කරන්නේ ඇමරිකාවේ ගබ්සා සේවා සපයන පුද්ගලයින් හෝ ආයතන වලින් සීමිත ප්‍රමාණයකින් පමණක් නිසා මේ ගණන අවම සීමාවකි.
ඇමරිකාව තුළ සජීව දරු උපත් පහක් සිදුවන විට එක් ගබ්සාවක් සිදු වේ. මේ ගබ්සා වලින් 91.6%ක්ම සිදුකර ඇත්තේ කළලයේ වයස සති 13කට අඩුව තිබියදීය. එමෙන්ම මුළු ගබ්සා ප්‍රමාණයෙන් 22.2%ක්ම සිදු කර තිබුණේ වෛද්‍යමය හේතුවක් පාදක කර ගනිමිනි.
ඇමරිකාව සිදුවන ගබ්සා වලින් විශාල ප්‍රමාණයක් සිදු කරන්නේ එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි. එහෙත්, මේ සංවිධානය වුවද ගබ්සා ප්‍රවර්ධනය කිරීමක් නොකරයි. ප්‍රාන්ත නීතියේ අවශ්‍යතාවය මත හෝ ස්වේච්ඡා පදනමින් ගබ්සාවක් කිරීමට පෙර අදාළ ගර්භණී කාන්තාවට සිය තීරණය ගැන නැවත සිතා බලන්නට සැලකිය යුතු අවස්ථාවක් සැපයීම ඇමරිකාවේ ගබ්සාවක් සිදු කිරීමට පෙර හැම විටම වාගේ සිදු කෙරෙන්නකි. මෙයට පහත කරුණු වලින් එකක්, කිහිපයක් හෝ සියල්ලම ඇතුළත් විය හැකිය.
1. ඉල්ලීම කිරීමෙන් පසු අවම කාලයක් යන තුරු ගබ්සාව නොකිරීම.
2. ඉල්ලීම කළ අවස්ථාවේ සිට ගබ්සාව සිදු කරන තුරු (හා එයින් පසුවත්) උපදේශන සේවා සැපයීම.
3. දරුවා බිහි කිරීමෙන් පසු හදා ගන්නට කැමති පවුලක් සමඟ සම්බන්ධ කිරීම.
4. ගර්භණී සමයේ දරන්නට සිදුවන ආර්ථික හා ආර්ථික නොවන හානි පූරණය කරගත හැකි ආකාර පෙන්වා දීම.
5. දරුවාගේ හෘද ස්පන්දනයට සවන් දෙන්නට සැලැස්වීම.
6. දරුවාගේ ස්කෑන් ඡායාරූපයක් පෙන්වීම.
7. කාන්තාවට ඇගේ සැමියාගෙන්, පවුලේ සාමාජිකයින්ගෙන් හෝ වෙනත් අයෙකුගෙන් බලපෑමක් සිදු නොවන බවත් තීරණය තනිකරම ඇගේ පෞද්ගලික තීරණයක් බවත් තහවුරු කර ගැනීම.
ගබ්සා කිරීම සිදුකරන්නේ මෙවැනි විකල්ප තේරීම් පෙන්වා දීමෙන් පසුවද ගර්භණී කාන්තාවක් සිය තීරණය වෙනස් නොකරන්නේනම් පමණි. එහෙත්, මෙයින් අදහස් කෙරෙන්නේ ගබ්සා කිරීම ප්‍රවර්ධනය නොකෙරෙන බව මිස ගබ්සා කිරීමේ අයිතියට බාධා කෙරෙන බවද නොවේ. අවසාන අරමුණ වන්නේ මෙවැනි ආපසු හැරවිය නොහැකි තීරණයක් ගන්නට පෙර කාන්තාවකට සියලු කරුණු සලකා බලා වඩාත්ම හොඳ තීරණය ගන්නට අවස්ථාව සැපයීමයි.
කෙසේ වුවද, නීත්‍යානුකූල ලෙස ගබ්සා කිරීමේ හැකියාව තිබූ පමණින් වුවද අනවශ්‍ය දරු උපත් සිදුවීම සම්පූර්ණයෙන්ම වැළකෙන්නේ නැත.
මාස ගණනක් සිය ගර්භණී භාවය සඟවාගෙන සිටින ඇතැම් කාන්තාවන් රහසිගත ලෙස දරුවා ප්‍රසූත කර වැසිකිළි වලවල් වැනි තැන්වල දමා යන අවස්ථා ගැන ඇතැම් විට ලංකාවෙන් අහන්නට ලැබේ. මෙවැනි දේ සිදුවන තරමට වාර්තා වන්නේ නැති වන්නට පුළුවන.
විවිධ හේතූන් මත මවුවරුන් විසින් උපන් අලුත බිළිඳුන් පොදු වැසිකිළි හෝ කුණු බක්කි වල දමා යාම ඇමරිකාවේද සිදුවන දෙයකි. සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන පරිදි මෙය වැඩිපුරම සිදුවන්නේ දරු උපතකින් පසු පළමු පැය කිහිපය ඇතුළතය. එසේ නැත්නම් උපතින් සති 6-8 පමණ වයසකදීය. මේ වයස දරුවෙකු මවට වදයක් වන පරිදි නිතර අඬන්නට පටන් ගන්නා වයසයි.
මෙසේ අනාරක්ෂිත ලෙස අත හැර දමන බිළිඳුන්ගෙන් අඩක් පමණම මිය යයි. මෙවැනි ක්‍රියාවකට පෙළඹෙන මවකට අවසානයේදී මිනීමැරුමකට හෝ මිනීමැරීමට තැත් කිරීමට චෝදනා ලබා දඬුවම් විඳින්නට සිදු වේ.
වරදක් කරන අයෙකුට දඬුවම් දෙන බොහෝ අවස්ථා වලදී එවැනි දඬුවමකින් හානියට පත් වූ පාර්ශ්වයට යහපතක් නොසැලසේ. එහෙත්, දඬුවම් විඳින පුද්ගලයාට මෙන්ම අනෙකුත් තෙවන පාර්ශ්වයන්ටද එයින් හානියක් සිදුවේ. ලංකාවේ කිසියම් පුද්ගලයෙකු බන්ධනාගාර ගත වූ විට ලැබෙන 'සැප' ගැන අජිත් පැරකුම් ජයසිංහ විසින් විස්තර කර තිබුණේය. මෙහිදී දඬුවම් විඳින පුද්ගලයාට අමතරව පැත්තක සිටින විශාල පිරිසකටද දඬුවම් විඳින්නට වෙන්නේ බන්ධනාගාර නඩත්තු කිරීමට වැය වන පිරිවැය පැත්තක සිටින බදු ගෙවන්නන්ට දරන්නට සිදුවන වියදමක් බැවිනි. දඬුවම ගෙවෙන්නේ බන්ධනාගාර රෝහලේ වුවද තත්ත්වයේ වෙනසක් නැත.
දඬුවමකින් වින්දිතයාගේ හානිය පූරණය නොවන විටක ඒ දඬුවමේ පිරිවැයට දායක වන පොදු සමාජයට ඒ වෙනුවෙන් ලැබෙන වාසිය වනුයේ තවත් අය අදාළ වරද නොකිරීමට පෙළඹීම පමණි. මේ අනුව, සමාජයට වඩා වැඩදායක වන්නේ වැරදි සිදුවීම වැළැක්වීම පිණිස සම්පත් යෙදවීම මිස දඬුවම් කිරීම වෙනුවෙන් සම්පත් යෙදවීම නොවේ. ඒ නිසා, විශාල පිරිසක් එකම වරද කරන විට දඬුවම් වලින් පමණක් එවැනි වරදක් වැළැක්වීම ඵලදායී නැත. දඬුවම් අවශ්‍ය වන්නේ වැරදි කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුවද තවදුරටත් වැරදි කරන සුළු පිරිස වෙනුවෙනි.
උපන් අලුත බිළිඳෙකු අනාරක්ෂිත තැනක අතහැර දමා යන මවක් තමන්ට විඳින්නට සිදුවිය හැකි දඬුවමේ හානිය ගැන දැන දැනම එසේ කරන්නේ දරුවා හදාගැනීම ඇයට ඊටත් වඩා "දඬුවමක්" වන බැවිනි.
පර්යේෂකයින් විසින් හඳුනාගෙන ඇති පරිදි මවක් විසින් දරුවකු අනාරක්ෂිත තැනක අතහැර දැමීම සඳහා පෙළඹෙන්නේ පහත හේතු එකක් හෝ කිහිපයක් නිසා විය හැකිය.
1. නරක තත්ත්වයන් යටතේ දරුවා හදනවාට වඩා දරුවා මැරෙන්නට හැරීම යහපතක්යැයි සිතීම.
2. භ්‍රාන්ති තත්ත්වයක් (hallucination) යටතේ පොළඹවනු ලැබීම.
3. වෙනත් දෙමවුපියෙකු යටතේ තමන්ගේ දරුවා හැදෙනවාට ඇති අකැමැත්ත.
4. අනවශ්‍ය ගැබ් ගැනීමක් වීම නිසා දරුවා කෙරෙහි ඇති ද්වේශය.
5. සහකරුවා සමඟ ඇති වෛරය දරුවා පිටින් යැවීම.
බිළිඳු දරුවන් ඔවුන්ගේ මවුවරුන් විසින් අනාරක්ෂිත තැන් වල අතහැර දමනු ලැබීමත්, එවැනි දරුවන් බොහෝ දෙනෙකු මරණයට පත් වීමත් සලකමින් ඇමරිකාවේ ප්‍රාන්ත රාජ්‍යයන් විසින් මවකට අලුත උපන් දරුවෙකු ආරක්‍ෂිත ලෙස අතහැර දමනු ලැබිය හැකි ස්ථාන හඳුන්වා දෙමින් (safe-haven laws) නීති සංශෝධනය කිරීම 1999දී ටෙක්සාස් ප්‍රාන්තයෙන් ඇරඹුණු අතර මේ වන විට ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම මේ ආකාරයේ නීති ක්‍රියාත්මක වේ.
මෙසේ පසුගිය දශක දෙක තුළ හඳුන්වා දෙනු ලැබ ඇති අලුත් නීති අනුව තමන්ගේ අලුත උපන් දරුවාගේ බරෙන් නිදහස් වන්නට අවශ්‍ය මවකට එම දරුවා කුණු බක්කියකට හෝ වැසිකිළි වලකට දමනු වෙනුවට රෝහලක්, පොලිස් ස්ථානයක් හෝ ගිණි නිවන හමුදා ඒකකයක් වැනි ආරක්‍ෂිත තැනක අතහැර යන්නට ඉඩ ලැබේ. දරුවාට හිරිහැර කර ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇති අවස්ථාවක හැර එවැනි ආරක්‍ෂිත තැනක දරුවෙකු දමා යන මවකට චෝදනා ඉදිරිපත් කිරීමක් සිදු නොවේ. එමෙන්ම, මවකට සිය අනන්‍යතාවය හෙළිදරවු නොකර එය කිරීමටද නීතියෙන් ඉඩ සැලසේ.
තවමත් විශාල ලෙස ප්‍රචලිතව නැතත්, මෙසේ යම් කාන්තාවකට අනවශ්‍ය දරුවන් දමා යා හැකි පෙට්ටිද මේ වන විට එක් ප්‍රාන්තයක (ඉන්දියානා) හඳුන්වා දී තිබේ. මෙහි ඇති වාසිය වන්නේ දරුවෙකුගෙන් නිදහස් වන්නට අවශ්‍ය මවකට වෙනත් පුද්ගලයෙකු සමඟ කවර ලෙසකින් හෝ සම්බන්ධ නොවී දරුවා පෙට්ටියට දමා වසා යා හැකි වීමයි. දරුවාට අවශ්‍ය වාතාශ්‍රය හා නිසි උෂ්ණත්වය මේ පෙට්ටිය තුළ තිබෙන අතර එහි දරුවෙකු දැමූ පසු වෙනත් තැනක එලාමයක් ක්‍රියාත්මක වී දරුවෙකු එහි සිටින බව අදාළ නිලධාරීන්ට දැනගන්නට සැලැස්වේ. මේ පෙට්ටියේ නිර්මාතෘ මොනිකා කෙල්සිද කුඩා කාලයේදී අතහැර දමනු ලැබූ දැරිවියකි.
මෙසේ බිළිඳෙකු සුරක්ෂිත තැනක අතහැර යාමට ඉඩ සැලසෙන නීති පසුගිය දශක දෙක තුළ ඉතා වේගයෙන් ජනප්‍රිය වූයේ මේ අදහස සමඟ විවිධ දේශපාලන මතවාද දරන අයට පහසුවෙන් එකඟ වන්නට හැකි වූ බැවිනි. මවගේ පැත්තෙන් බැලූ විට ඇයට නීතියෙන් ගැලවී දරුවාගෙන් නිදහස් වන්නට ඉඩක් ලැබේ. දරුවාට සුරක්ෂිත ජීවිතයක් හිමි වේ. මේ අයුරින් දමා යන දරුවකු හමු වූ වහාම අදාළ ස්ථානයේ සිටින පුහුණුවක් ලබා ඇති පුද්ගලයෙකු විසින් දරුවාගේ ජීවිතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය මූලික පියවර ගැනීමෙන් පසුව හදා ගැනීම සඳහා දරුවන් සපයන ආයතනයක් හරහා දරුවාව වෙනත් දෙමවුපියෙකු වෙත ලබා දේ. ඇමරිකාවේ මෙවැනි ආයතන යනු රජයේ පොදු අරමුදල් වලින් නඩත්තු නොවන රාජ්‍ය නොවන ආයතනයි. මේ ක්‍රමය නිසා එවැනි ආයතන වල අරමුණුද ඉටුවන අතර දරුවෙකු සොයන පවුලකට දරුවකුද හිමි වේ.
මේ ක්‍රමය ජනප්‍රිය වීමට තවත් ප්‍රධාන හේතුවක් වූයේ මෙසේ දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා බදු මුදල් කිසිවක් වැය කළ යුතු නොවන බවට වන අදහසයි. කෙසේ වුවද, මේ අදහසනම් අර්ධ සත්‍යයක් පමණි. මේ අදහස ව්‍යාප්ත වී තිබීමේ පදනම වන්නේ දැනට පවතින ආයතනික ව්‍යුහයම මේ කටයුත්ත සඳහා යොදා ගැනීමයි. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාන්ත රජයයන් විසින් අමතර ප්‍රතිපාදන වෙන් කිරීම් නොකරන බවනම් බොහෝ දුරට ඇත්තක් වුවත් මෙසේ ජීවිත බේරාගැනීම සඳහා වක්‍ර ලෙස මහජන මුදල් වැය කරන්නට සිදුවේ.
මේ ගැන පර්යේෂණ කරන ප්‍රමුඛ පර්යේෂිකාවකගේ තවමත් ප්‍රසිද්ධ කර නැති පර්යේෂණයකට අනුව මේ ක්‍රමයට ජීවිතයක් බේරා ගැනීම සඳහා (වක්‍ර ලෙස) වැයවන මුදල උපරිම වශයෙන් ඩොලර් ලක්ෂ හතකට (රුපියල් කෝටියකට) වඩා වැඩි නොවේ. සාමාන්‍යයෙන් මිනිස් ජීවිතයක වටිනාකම ලෙස සෞඛ්‍ය ආර්ථික විද්‍යාවේදී සැලකෙන අගය එමෙන් දහ ගුණයකටත් වඩා වැඩි නිසා මෙය සැලකිය හැක්කේ ඉතා ඵලදායී යාන්ත්‍රණයක් වශයෙනි.
Labels:
ඇමරිකාව,
ගබ්සාව,
තෝරාගැනීම්,
සමානාත්මතාවය,
සෞඛ්‍යය
Subscribe to:
Posts (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...