වෙබ් ලිපිනය:

Thursday, July 13, 2017

නෙවිල් මුදලාලිගේ ලාබ


සයිටම් පිළිබඳ කතිකාවේදී මතු කරන කරුණු අතරින් එක් කරුණක් වන්නේ සයිටම් වෛද්‍ය පීඨය පවත්වාගෙන යන්නේ ලාභ ලැබීමේ අරමුණින් බවයි. ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින්ම ඇති හාර්වඩ්, ස්ටෑන්ෆර්ඩ් හා ජෝන් හොප්කින්ස් වැනි වෛද්‍ය විද්‍යාල පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අයත් පීඨ වුවත් ලාභ ලැබීම අරමුණු කරගෙන පවත්වාගෙන යන වෛද්‍ය පීඨ නොවේ. සයිටම් විරෝධීන් විසින් තර්ක කරන්නේ මේ සරසවි පෞද්ගලික ඒවා වුවත්, ඒවායේ ඉහළ ගුණාත්මක භාවයට හේතුව ලාභ ලැබීමේ අරමුණක් නොමැති වීම බවයි.

අනෙකුත් තත්ත්වයන් සමානව ඇත්නම් ලාබ ලැබීම අරමුණු කරගත් අධ්‍යාපන ආයතනයකට වඩා ලාබ ලැබීම අරමුණු කර නොගත් අධ්‍යාපන ආයතනයක ගුණාත්මක භාවය වැඩි වන්නට ඉඩ ඇති බව ඇත්තකි. හාර්වඩ්, ස්ටෑන්ෆර්ඩ් හා ජෝන් හොප්කින්ස් වැනි මුදල් අය කරන, එහෙත් ලාබ ලැබීම අරමුණු කර නොගත් අධ්‍යාපන ආයතනයකට සාමාන්‍යයෙන් එහි ආදායම් හා වියදම් සමාන වන මට්ටම දක්වා මුදල් වැය කරමින් එහි ගුණාත්මක භාවය ඉහළ නැංවීමට පුළුවන. එහෙත්, ලාබ ලැබීම අරමුණු කරගත් අධ්‍යාපන ආයතනයක් එහි ගුණාත්මක භාවය ඒ මට්ටමටම වැඩි කරන්නට පෙළඹෙන්නේ නැත. එවැනි ආයතනයක් ආයතනයේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට මුදල් යොදවන්නේ ගුණාත්මක භාවය වැඩි වීම නිසා ලාභ ඉහළ යන මට්ටම දක්වා පමණි. කෙසේවුවද, ගුණාත්මක භාවය විශාල ලෙස පහළ වැටීම ලාභ අඩුවීමටද හේතු වන බැවින් එවැනි ආයතනයක ගුණාත්මක භාවය විශාල ලෙස පහත නොවැටේ.

සාමාන්‍යයෙන් වෛද්‍ය පීඨයක හෝ පොදුවේ විශ්ව විද්‍යාලයක ගුණාත්මක භාවය මැනීමේදී ප්‍රධානම නිර්ණායකයක් වන්නේ එහි සේවය කරන අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රවීනතාවයයි. එයට අමතරව සිසුන්ගේ තත්ත්වයද සැලකිල්ලට ගැනේ. වෛද්‍ය විද්‍යාලයක ගුණාත්මක භාවය පහත වැටීම මූලික වශයෙන්ම බලපාන්නේ එහි ඉගෙන ගන්නා සිසුන්ටය. ඉගෙනුම ලබා පිටවන සිසුන්ගේ (වෛද්‍යවරුන්ගේ) ගුණාත්මක භාවය ද්වීතියික ලෙස වෙනත් අයට (රෝගීන් වන පොදු ජනතාවට) බලපායි.

සයිටම් වෛද්‍ය පීඨයද ඇතුළුව මේ වන විට ලංකාවේ MBBS උපාධිය ප්‍රදානය කරන ආයතන දහයක් තිබේ. එයින් අටක් සඳහා ප්‍රධාන වශයෙන්ම සිසුන් තෝරා ගන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් උසස් පෙල විභාගයේ ප්‍රතිඵල හා විභාගයට පෙනී සිටි දිස්ත්‍රික්කය අනුවය. මෙසේ තෝරා ගැනෙන සිසුන් විසින් ටියුෂන් ගාස්තු ලෙස කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.

රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා අයදුම් කිරීමට අවශ්‍ය අවම සුදුසුකම වන්නේ උසස්පෙල විභාගයෙන් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයයන් තුනට සාමාන්‍ය සාමාර්ථ (S) තුනක් ලබා තිබීමයි. එහෙත්, ඉහත කී වෛද්‍ය පීඨ අටේ ඇති ආසන්න වශයෙන් 1250ක් පමණ වන පුරප්පාඩු ගණනට තරඟ කරන ඉහත අවම සුදුසුකම් සපිරූ අයදුම්කරුවන් ගණන 25,000 ඉක්මවයි. ඒ නිසා, ඉහත වෛද්‍ය පීඨ අටෙන් එකකට ඇතුළු වීමේ අවස්ථාව හිමිවන්නේ ආසන්න වශයෙන් අයදුම්කරුවන්ගෙන් 5%කට පමණි.

පවතින පුරප්පාඩු ගණනට වඩා සැලකිය යුතු තරම් වැඩි අයදුම්කරුවන් පිරිසක් සිටින විට ඒ අතරින් පිරිසක් තෝරාගැනීම සඳහා කිසියම් නිර්ණායකයක් යොදාගැනීමට සිදු වේ. නිදහස් වෙළඳපොලක භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ඇති ඉල්ලුම සැපයුමට වඩා වැඩි වූ විට අදාළ භාණ්ඩය හෝ සේවාව හිමි විය යුත්තේ කාටද යන්න තීරණය කරන්නේ මිල සාධකය විසිනි. ඒ මඟින්, භාණ්ඩය හෝ සේවාව වඩාත්ම අගය කරන පුද්ගලයින්ට එය හිමිවේ. එහෙත්, නිදහස් වෙළදපොළ ක්‍රමය වඩාත්ම හොඳින් ක්‍රියාත්මක වන ඇමරිකාව වැනි රටක පවා උසස් අධ්‍යාපන සේවාවන් සැපයීමේදී මිල සාධකය එකම නිර්ණායකය ලෙස සලකන්නේ නැත.

මුදල් අය කර හෝ නොකර සරසවියකට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සලකා බැලෙන ප්‍රධාන කරුණක් වන්නේ අදාළ පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අයදුම්කරුවෙකුට ඇති හැකියාවයි. මෙයට පදනමක් තිබේ.

කිසියම් සරසවියකට ඇතුළු වන සිසුසිසුවියන්ගෙන් විශාල පිරිසක් අදාළ පාඨමාලාව සම්පූර්ණ කිරීමට අසමත් වන්නේනම් පාඨමාලාව සඳහා මුදල් ගෙවූවද නොගෙවූවද අදාළ සිසුවාගේ හෝ සිසුවියගේ අරමුණ ඉටුවන්නේ නැත. මෙය දිගින් දිගටම සිදුවෙනවානම් එය සරසවියේ කීර්තියටද ප්‍රශ්නයක් වෙන අතර දිගුකාලීනව සරසවියට ඉල්ලුමක් නැති වීමටද හේතුවකි. කිසියම් සරසවියකට සිය පාඨමාලාව සම්පූර්ණ කිරීම පහසු කර සිසුසිසුවියන් වැඩි පිරිසක් සමත් කරන්නට හැකි වුවත්, එසේ කිරීමෙන් සිසුන්ට අදාළ විෂයේ නිපුණත්වය නිසිපරිදි නොලැබෙන බැවින් දිගුකාලීනව එයින් සිදුවන්නේද සරසවියට ඉල්ලුමක් නැති වීමයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන ලංකාවේ පළමු කී වෛද්‍ය පීඨ අටේ ඇති සීමිත පුරප්පාඩු ගණන පිරවීම සඳහා සිසුන් තෝරා ගැනීමේදී අදාළ පාඨමාලාව සම්පූර්ණ කිරීමේ හැකියාව ඇති සිසුන් බඳවා ගැනීම කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු වී ඇතත්, ප්‍රායෝගික වශයෙන්  වැඩිපුර අවධානය යෙදී ඇත්තේ මේ සීමිත පුරප්පාඩු ගණන "සාධාරණ ලෙස" බෙදා හැරීම කෙරෙහිය. සිසුන් බඳවා ගැනීමේ පටිපාටියේ ප්‍රධානම නිර්ණායකය ලෙස සැලකිය හැකි උසස් පෙළ විභාගය හරහා සිසුන් බඳවා ගැනීම තුළ දකින්නට ඇත්තේද උසස් පෙළ විභාගය ඉහළින්ම සමත්වෙන "දක්ෂ සිසුන්ට" අවස්ථාවක් ලබා දීම සාධාරණ වන්නේය යන පදනමයි. (දැනට සිදුකර ඇති පර්යේෂණ අධ්‍යයන කිහිපයම පෙන්වා දෙන්නේ උසස්පෙළ ලකුණු වෛද්‍ය විද්‍යාල පාඨමාලාවක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට ඇති හැකියාව පිළිබඳ ඉතා දුර්වල නිර්ණායකයක් බවයි.) උසස් පෙළ මට්ටම දක්වා අධ්‍යපනය ලැබීමේදී දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිසුන්ට හිමිවන පහසුකම් වල විෂමතා සැලකිල්ලට ගනිමින් උසස්පෙළ විභාගයට මුහුණ දීමට පෙර වසර පහක කාලය තුළ වැඩිකලක් ඉගෙනුම ලැබූ පාසැල පිහිටි දිස්ත්‍රික්කයද අනුපූරක නිර්ණායකයක් ලෙස සැලකිල්ලට ගැනේ.

ලංකාවේ මුල් වෛද්‍ය පීඨ අටේ පුරප්පාඩු වලින් 97.5%ක්ම පුරවන්නේ දිස්ත්‍රික්කය සැලකිල්ලට ගනිමින් හෝ නොගනිමින් උසස්පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්වය. මේ සඳහා දැනට භාවිතා වන්නේ z-ස්කෝර් අගයයි. මේ z-ස්කෝර් අගය පදනම් වන්නේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව යන එක් එක් විෂයයන් සඳහා උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් කොපමණ සිසුන් ප්‍රතිශතයකට වඩා ඉදිරියෙන් තමන් සිටියේද යන්නයි.

මේ වන විට ක්‍රියාත්මක වන බඳවා ගැනීමේ පටිපාටිය අනුව, වෛද්‍ය පීඨ වලට ඇතුළු වන සිසුන්ගෙන් 70-80% අතර ප්‍රමාණයක් ඒ සඳහා සුදුසුකම් ලබන්නේ තනිකරම z-ස්කෝර් අගය මත පදනම්වය. ඉතිරි පිරිසට තමන් ඉගෙනුම ලබන දිස්ත්‍රික්කයේ වාසිය (හෝ අවාසිය සමනය වීම) මත, වෙනත් දිස්ත්‍රික්කයකින් විභාගයට මුහුණ දී තමන්ට වඩා වැඩි  z-ස්කෝර් අගයක් ලැබූ ඇතැම් සිසුන් අභිබවවමින් ඉදිරියට යන්නට අවස්ථාවක් හිමි වේ. මා මෙහිදී කතා කරන්නේ කුසලතා 40%, දිස්ත්‍රික් 55% හා දුෂ්කර 5% ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පෙන්වන බෙදාහැරීම ගැන නොව එමඟින් සැබෑවටම සිදුවන දෙය ගැනය. එයට අමතරව, මේ දිස්ත්‍රික් කෝටා ක්‍රමය ගැන හා ඒ නිසා පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ අධ්‍යාපන සේවා සැපයීමේ වෙළඳපොළේ සිදුවී ඇති වෙනස්කම් ගැනත් එමඟින් ප්‍රාදේශීය විෂමතා සමනය වී ඇති ආකාරය ගැනත් විස්තර පසු ලිපියකට තබමු.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන ලංකාවේ පළමු කී වෛද්‍ය පීඨ අට ගුණාත්මක භාවය අතින් සමාන මට්ටමක නොපවතී. ඒ අතරින්, කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය හා රුහුණ යන වෛද්‍ය පීඨ ගුණාත්මක භාවය අතින් ඉදිරියෙන් ඇති ඒවාය. මේ එක් එක් වෛද්‍ය පීඨයේ සහායක මහාචාර්යවරුන්ද ඇතුළුව මහාචාර්යවරුන් අඩු වශයෙන් 20 දෙනෙකුවත් සේවය කරති. ගුණාත්මක භාවය අතින් ඉදිරියෙන්ම ඇති කොළඹ විශ්ව විද්‍යාලයේ  සහායක මහාචාර්ය වරුන් 4 දෙනෙකුද ඇතුළුව මහාචාර්යවරුන් 40 දෙනෙකු සේවය කරති. මේ වෛද්‍ය පීඨ අටෙන් එකක සිසුවෙකු වෙනුවෙන් අධ්‍යයන සේවාවන් සඳහා පමණක් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 30 ඉක්මවයි. අනෙකුත් සියලු වියදම් එකතු කළ විට සීමාවාසික පුහුණුවට පෙර සිසුවෙකු වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 60ක් පමණ වනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

සිදුවිය යුතු පරිදිම, සිසුන්ගේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයටය. කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළුවීමේ අවස්ථාව ලැබෙන්නේ උසස්පෙළ විභාගයෙන් දිවයිනේ ඉහළම ලකුණු ලබන සිසුන්ට පමණි. මේ වන විට වෛද්‍ය පීඨයකට ඇතුළුවීම වඩාත්ම අසීරු දිස්ත්‍රික්ක වන ගාල්ල හෝ මාතර වැනි දිස්ත්‍රික්කයක සිසුන් අතරින් වුවද කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු වීමේ අවස්ථාව ලැබෙන්නේ ඉතා සීමිත පිරිසකටය. 2016/17 අධ්‍යයන වර්ෂය තුළ අවම z-ස්කෝර් අගයක් ලබා කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු වන කොළඹ දිස්ත්‍රික්කයෙන් විභාගයට මුහුණ දුන් සිසුවා හෝ සිසුවියද උසස්පෙළ විභාගයෙන් වැඩිම ලකුණු ගත් සිසුන් 1.29% තුළ සිටින්නෙකි. වෙනත් දිස්ත්‍රික්ක වලින් කොළඹ වෛද්‍ය පීඨයට තේරී ඇති සියලු දෙනා ඔහුට හෝ ඇයට වඩා ඉදිරියෙන් සිටින්නෝය.

අයදුම්කරුවන්ගේ ඉල්ලුම අනුව කොළඹ වෛද්‍ය පීඨයට පසුව ඉදිරියෙන් සිටින්නේ පිළිවෙළින් පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය හා රුහුණ වෛද්‍ය පීඨයි. 2016/17 අධ්‍යයන වර්ෂය තුළ මේ එක් එක් වෛද්‍ය පීඨයට ඇතුළු වීමට අවශ්‍ය වූ අවම z-ස්කෝර් අගයයන් හා අදාළ z-ස්කෝර් අගයයන් ලැබීමට උසස්පෙල විභාගයට මුහුණ දුන් සිසුන් අතරින් කොපමණ පිරිසකට වඩා ඉදිරියෙන් සිටිය යුතුද යන්න පහතින් පෙන්වා තිබේ.

පේරාදෙණිය: 2.0877 (වැඩිම 1.84%)
ශ්‍රී ජයවර්ධනපුර: 2.0327 (වැඩිම 2.10%)
කැලණිය 1.9780: (වැඩිම 2.40%)
රුහුණ 1.9434: (වැඩිම 2.60%)

පසුගිය (2016) අගෝස්තුවේදී ජීව විද්‍යා ධාරාවෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ගණන 46,854කි. මේ ගණනින් 2.60%ක් යනු සිසුන් 1218කි. ලංකාවේ පෙර කී වෛද්‍ය විද්‍යාල අටේ ඇති පුරප්පාඩු ගණන 1260ක් පමණ වේ. ඒ නිසා, මේ වන විට කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය හා රුහුණ යන විශ්ව විද්‍යාලයකට අයත් වෛද්‍ය පීඨයකට ඇතුළු විය හැක්කේ දිස්ත්‍රික් පදනම සලකා නොබැලුනද ඒ සඳහා අවස්ථාවක් හිමි වන අයට පමණි. අදාළ වෛද්‍ය පීඨ වලට එක් එක් දිස්ත්‍රික්කයෙන් අවශ්‍ය වන අවම z-ස්කෝර් අගයයන්ගේ ඇති සමානත්වය මේ කරුණ තහවුරු කරයි. (මා දන්නා තරමින් z-ස්කෝර් අගය ගණනය කිරීමේදී භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයයන් සම්මතකරණයට ලක් කරන්නේ ජීව විද්‍යා ධාරාවේ සිසුන් පමණක් සැලකිල්ලට ගෙන නොවේ. ජීව විද්‍යා හා භෞතික විද්‍යා ධාරාවන් හදාරන සිසුන්ගේ ලකුණු වල ව්‍යාප්තීන්හි තිබිය හැකි වෙනස්කම් නිසා ඇති වන බලපෑම මෙහිදී සැලකිල්ලට ගෙන නැත.)

යාපනය, රජරට හා නැගෙනහිර සරසවි වල වෛද්‍ය පීඨ ගුණාත්මක භාවය අතින් මේ වන විට පවතින්නේ පෙර කී සරසවි පහට වඩා සැලකිය යුතු තරම් පහළිනි. යාපනය වෛද්‍ය පීඨයේ සිටින්නේ මහාචාර්යවරුන් දෙදෙනෙකු හා එක් සහකාර මහාචාර්යවරයෙක් පමණි. රජරට වෛද්‍ය පීඨයේ සිටින්නේ මහාචාර්යවරුන් දෙදෙනෙකු පමණි. නැගෙනහිර වෛද්‍ය (සෞඛ්‍ය විද්‍යා) පීඨයේ මහාචාර්යවරුන් හෝ සහකාර මහාචාර්යවරුන් කිසිවෙකුත් නැත!

පෙර කී සරසවි පහේ එක් වෛද්‍ය සිසුවෙකුගේ අධ්‍යයන සේවා වියදම් වෙනුවෙන් පමණක් ලක්ෂ 30ක පමණ මුදලක් වියදම් කෙරෙන නමුත් පසුකී සරසවි තුනේ සිසුවෙකු වෙනුවෙන් එසේ වැය කෙරෙන්නේ එයින් අඩකටත් වඩා අඩු මුදලකි. යාපනය වෛද්‍ය පීඨයට යම් තරමකින් ඇතත්, රජරට හා නැගෙනහිර වෛද්‍ය පීඨ වලට කාලයත් සමඟ ගොඩනගාගත් කීර්ති කදම්භයක්ද නැත.

මේ පසු කී සරසවි තුනෙන් එකක් අයදුම්කරුවෙකුගේ ප්‍රමුඛ තේරීම වන්නේ ඉතා කලාතුරකිනි. එසේ වන්නේද, ජනවාර්ගිකත්වය වැනි වෙනත් කරුණු මත පදනම්වය.

යාපනය හා නැගෙනහිර වෛද්‍ය පීඨ, තේරුම් ගැනීමට අපහසු නොවන හේතු මත, සිංහල සිසුන් වැඩි දෙනෙකුට ආකර්ශනීය තේරීමක් නොවේ. ඒ නිසා, ගුණාත්මක භාවය විශාල ලෙස සැලකිල්ලට නොගනිමින් බොහෝ සිංහල සිසුහු රජරට වෛද්‍ය පීඨය සිය හයවන තේරීම කරගෙන සිටිති. මේ අයුරින්ම, දෙමළ සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් යාපනය වෛද්‍ය පීඨය තෝරාගෙන ඇත්තේ ගුණාත්මක භාවය යන සාධකයට අඩු තැනක් දෙමිනි.

මුල් සරසවි පහට යන්නට වරම් නොලබන සිංහල සිසුන්ගේ හයවන තේරීම වීම නිසා රජරට විශ්ව විද්‍යාලයට ඇතුළු වීමටද 1.8568ක අවම z-ස්කෝර් අගයක් අවශ්‍ය වන අතර ඒ සඳහා උසස්පෙළ සිසුන් අතරින් වැඩිම z-ස්කෝර් අගයක් ලැබූ සිසුන් 3.17% අතර සිටිය යුතුය. රජයේ වෛද්‍ය පීඨ වල ඇති පුරප්පාඩු සියල්ල දිස්ත්‍රික් පදනම නොසලකමින් z-ස්කෝර් අගය මත පමණක් පදනම්ව පිරවූයේනම් රජයේ කිසියම් වෛද්‍ය පීඨයකට ඇතුළු වීමේ අවස්ථාව හිමි වන්නේ (මගේ ගණනය කිරීම් අනුව) 1.9285ක අවම z-ස්කෝර් අගයක් ලබාගන්නා සිසුන්ට පමණි. මීට වඩා අඩු z-ස්කෝර් අගයක් ලබාගෙන කොළඹට, පේරාදෙණියට, ජයවර්ධනපුරට, කැළණියට හෝ රුහුණට යන්නට නොහැකි වුවත් රජරටට යන්නට බැරිකමක් නැත.

කෙසේ වුවද, රජරටට යන සියලුම වෛද්‍ය සිසුන් මීට වඩා අඩු z-ස්කෝර් අගයක් ලබාගත් අය නොවෙති.මේ සිසුන් අතර දිස්ත්‍රික් පදනම මත "පෝලිම පැන" පැමිණි සිසුන් කිසියම් පිරිසක් සිටින නමුත් රජරට සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක්ද, දිස්ත්‍රික් පදනමක් නොතිබුණත් වෛද්‍ය පීඨයකට ඇතුළු වීමේ ඉඩකඩ හිමි කරගත හැකිව සිටි අයයි. මේ අයුරින්ම යාපනය හා නැගෙනහිර වෛද්‍ය පීඨ වලට ඇතුළු වන සියලුම සිසුන් දිස්ත්‍රික් පදනම හේතුවෙන් ඒ වරප්‍රසාදය ලබන අය නොවූවත්, දිස්ත්‍රික් පදනම මත "පෝලිම පැනීමේ" අවස්ථාව හිමි කරගන්නා සිසුන්ට මේ වන විට ඇතුළු විය හැක්කේ රජයේ වෛද්‍ය පීඨ අතර ගුණාත්මක භාවයෙන් අඩු රජරට, යාපනය හෝ නැගෙනහිර වෛද්‍ය පීඨ තුනෙන් එකකට පමණි. මේ සරසවි තුනට ඇතුළු වන මුළු වෛද්‍ය සිසුන් ගණනද 31.2%ක් නිසා එය දිස්ත්‍රික් ක්‍රමයේ වාසිය ලබන සිසුන් ප්‍රතිශතයේ උපරිම සීමාවයි. සැබෑ ගණන 20-30% අතර ප්‍රමාණයක් විය යුතුය.

පසුගිය (2016) උසස්පෙළ ප්‍රතිඵල හා ඉගෙනුම ලැබූ දිස්ත්‍රික්කය අනුව රජයේ වෛද්‍ය පීඨයකට (නැගෙනහිර වෛද්‍ය පීඨයට) ඇතුළත් කරගැනුණු සිසුන් අතරින් අවම z-ස්කෝර් අගයක් ලබා ඇති මුලතිවු දිස්ත්‍රික්කයේ සිසුවා හෝ සිසුවියගේ z-ස්කෝර් අගය 1.4818කි. මේ අනුව,  z-ස්කෝර් අගය අනුව ඔහුට හෝ ඇයට වඩා ඉදිරියෙන් සිටින මුළු අයදුම්කරුවන්ගේ ප්‍රතිශතය 6.92%ක් වන අතර, සංඛ්‍යාත්මකව 3242ක් පමණ වේ. මේ අනුව, තමන්ට වඩා වැඩි ලකුණු ලබාගත් අයදුම්කරුවන් 2000ක් පමණ පසු කරමින් ඔහු හෝ ඇය වෛද්‍ය පීඨ ප්‍රවේශය ලබාගෙන තිබේ. 2016 වසරේ උසස්පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් සරසවි ප්‍රවේශ මූලික සුදුසුකම් ලැබූ 25,875ක් අතරින්ද මේ සිසුවා සිටින්නේ ඉහළම 12.53% අතරේය. ඒ අනුව, දිස්ත්‍රික් ක්‍රමය යටතේ හෝ රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට සුළු හෝ අවස්ථාවක් ඇත්තේ අයදුම්කරුවන් අතරින් ඉහළින්ම සිටින 12.53%කට පමණි.

කෙසේ වුවත්, උසස්පෙළ ප්‍රතිඵල හා ඉගෙනුම ලැබූ දිස්ත්‍රික්කය යන පදනම් වලට අමතරව රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට තවත් ක්‍රම රාශියක් තිබේ. ක්‍රීඩා හෝ කලා කටයුතු වල සුවිශේෂී දක්ෂතා දැක්වීම, ආබාධිතයෙකු වීම, ආරක්ෂක හමුදා සාමාජිකයෙකු වීම, විදේශ උපාධියක් ලබා තිබීම වැනි කරුණු සලකමින් රජයේ වෛද්‍ය විද්‍යාල වල පුරප්පාඩු වලින් 2.5%ක් පුරවන අතර සංඛ්‍යාත්මකව වසරකට 32කට ආසන්න පිරිසක් මෙවැනි අඩු පාරදෘශ්‍ය ක්‍රම වලින් රජයේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වෙති. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් කුසලතා, දිස්ත්‍රික් හා දුෂ්කර ප්‍රදේශ පදනම් මත බෙදා හරින්නේ ඉතිරි පුරප්පාඩු 97.5%යි. රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට අවශ්‍ය අවම සුදුසුකම උසස්පෙළ සාමාන්‍ය සාමාර්ථ තුනක් පමණක් වුවත් එවැනි සාමාර්ථයක් ලබා රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීම සිදුවීමට ප්‍රායෝගිකව යම් හෝ ඉඩක් ඇත්තේ මේ 2.5% කැටගරිය තුළ පමණි. මගේ අදහස පරිදි මේ කැටගරියෙන් වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය ලබන අය කොළඹ වෛද්‍ය පීඨය වැනි වඩාත්ම තරඟකාරී වෛද්‍ය පීඨ වල පවා සිටින්නට පුළුවන. (මෙය කරුණු ඉදිරිපත් කිරීමක් මිස මේ සම්බන්ධව කෙරෙන විවේචනයක් නොවේ.)

ලංකාවේ ඇති නවවන වෛද්‍ය පීඨය කොතලාවල වෛද්‍ය පීඨයයි. එහි වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ලබා ගත යුතු අවම සුදුසුකම උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ තුනකි. මිලිටරි හා සිවිල් ලෙස මෙහි වෛද්‍ය උපාධි පාඨමාලාවේ කොටස් දෙකකි. මිලිටරි වෛද්‍ය උපාධි පාඨමාලාව හදාරන අය ඒ සඳහා මුදල් ගෙවිය යුතු නැති අතර ඔවුන්ට මාසික වේතනයක්ද හිමි වේ. එහි හිලවුවට ඔවුන් සිය උපාධිය ලබා ගැනීමෙන් පසුව නිශ්චිත කාලයක් ලංකාවේ ආරක්ෂක හමුදාවක සේවය කළ යුතුය. සිවිල් වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා වසර පහක් තුළ ඇමරිකන් ඩොලර් 50,250ක් හෙවත් අද විණිමය අනුපාතිකය අනුව (155.43) රුපියල් ලක්ෂ 81 ඉක්මවන මුදලක් ගෙවිය යුතුය. සාක් රටවල සිසුන්ට, චීන ජාතිකයන්ට හා විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ට ගෙවන්නට වන මුදල මීට වඩා තරමක් අඩුය. ඔවුන් විසින් වසර පහක් තුළ ඇමරිකන් ඩොලර් 45,000ක් හෙවත් අද විණිමය අනුපාතිකය අනුව රුපියල් ලක්ෂ 70ක් පමණ මුදලක් ගෙවිය යුතුය. විදේශගත ශ්‍රී ලාංකිකයකුගේ දරුවකු නොවන ශ්‍රී ලාංකිකයින්ට මේ ලක්ෂ 70ක හෝ ලක්ෂ 81ක මුදල ගෙවා එහි සිවිල් වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීමට ලෝකයේ ඕනෑම රටක පුද්ගලයෙකුට ඇති අවස්ථාව ජාතිකත්වය මත පදනම්ව අහෝසි කර තිබේ. ඒ නිසා, මුදල් ගෙවන්නට කැමති වුවත් චීන ජාතික හෝ ඉන්දියන් ජාතික දරුවෙකුට මෙන් කොතලාවල වෛද්‍ය උපාධිය හැදෑරීමට ශ්‍රී ලාංකික දරුවෙකුට ඉඩක් නැත.

ලංකාවේ දහවන වෛද්‍ය පීඨය සයිටම් වෛද්‍ය පීඨයයි. එහි වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ලබා ගත යුතු අවම සුදුසුකම උසස් පෙළ සම්මාන සාමාර්ථ දෙකක් හා සාමාන්‍ය සාමාර්ථ එකකි. දැනගන්නට ඇති තරමින්, අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ඇති අයෙකුට මුදල් ගෙවා එහි ඉගෙනුම ලැබීමට වෙනත් බාධාවක් නැත. පාඨමාලා ගාස්තු ගෙවන්නට කැමති, මූලික සුදුසුකම් සපුරා ඇති අයෙකුට කොතලාවල වෛද්‍ය පීඨයේදී මෙන් ජාතිකත්වය මත වෙනස් ලෙස සලකුණු නොලැබ අධ්‍යාපනය ලැබීමේ නිදහස එහි තිබේ. මෙහි පාඨමාලා ගාස්තුව රුපියල් ලක්ෂ 90ක් බව පැවසේ. මෙය කොතලාවල වෛද්‍ය පීඨය විසින් අය කරන මුදලට හා රජයේ වෛද්‍ය පීඨයක සිසුවෙකු වෙනුවෙන් වැය කෙරෙන සාමාන්‍ය මුදලට වඩා වැඩි මුදලකි.

මේ වන විට, ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීම සඳහා සලකා බැලෙන තරමේ සුදුසුකම් ඇති, එහෙත් එසේ ඇතුළු වීමට අවස්ථාව නොලැබෙන අයෙකුට ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට ඇති එකම විකල්පය සයිටම් ආයතනයයි. මුදල් ගෙවන්නට කැමති අයෙකුට එයට ඇති එකම බාධාව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ඇති රජයේ වෛද්‍ය පීඨයකට හෝ කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළු වීමේදී සලකා බැලෙන අවම සුදුසුකමට වඩා තරමක් වැඩි අවම සුදුසුකමක් තිබීම පමණි. එසේ නැත්නම්, ඔවුන් වෛද්‍ය උපාධිය සඳහා විදේශගත විය යුතුය. අවම වශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් හා සාමාන්‍ය සාමාර්ථ එකක් හෝ නැති අයෙකුට මුදල් ගෙවා වුවත් වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම පහසු නොවන නිසා එය එතරම්ම සීමාකාරී සාධකයක් ලෙස සැලකිය නොහැකිය.

ඉහත තත්ත්වය මත සයිටම් වෛද්‍ය පීඨය සතුව ඒකාධිකාරයක් තිබේ. ඒකාධිකාරයක් ඇති විට මිල කෙරෙහි බලපෑමක් කර වැඩි ලාභ ලැබීමේ අවස්ථාවක් තිබේ. තරඟයක් ඇති විට මේ ඒකාධිකාරී ලාභ අඩු වී හෝ නැති වී යයි. සයිටම් ආයතනය කොපමණ ප්‍රමාණයක ඒකාධිකාරී ලාභ ලබනවාද? එසේ ලබනවානම්, ඉදිරියේදී වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨ ඇති වී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන මිල අඩු වෙයිද? එවිට සයිටම් ආයතනයේ ගුණාත්මක භාවය කවර අයුරින් වෙනස් වෙයිද?

සයිටම් ආයතනය ආරම්භයේදී එහි පරිපාලකයින් විසින් සිය ආචාර්ය මණ්ඩලයේ ගුණාත්මක භාවය පවත්වාගෙන යාම සඳහා සැලකිය යුතු උත්සාහයක් දරා තිබෙන බව පැහැදිලිය. මේ අතින් සයිටම් වෛද්‍ය පීඨය සිටින්නේ අඩු වශයෙන් යාපනය, රජරට හා නැගෙනහිර විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ වලට වඩා ඉදිරියෙනි. අනෙකුත් භෞතික සම්පත් අතින්ද එහි අඩුවක් නොපෙනේ. එහෙත්, සිසුන්ගේ තත්ත්වය හා අදාළව සයිටම් වෛද්‍ය පීඨය සිටින්නේ රජයේ වෛද්‍ය පීඨ අටට වඩා පිටුපසිනි. මේ අනුව, මෙහි පරිපාලකයන්ගේ ව්‍යාපාරික උපායමාර්ගය වන්නේ ආචාර්ය මණ්ඩලයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම හා භෞතික සම්පත් වෙනුවෙන් මුදල් "ලෝබ නැතුව" වියදම් කරන අතර මේ වියදම් ආවරණය කර ගැනීම සඳහා (හා ලාභ ලැබීම සඳහා) ප්‍රමාණවත් තරම් ආදායමක් ඉපැයීම බව පෙනේ.

ලාභ ලැබීම අරමුණු කරගත් වෛද්‍ය පීඨයකට සිය අරමුණ කරා යා හැකි ක්‍රම දෙකක් තිබේ. පළමුවැන්න මිල ඉහළ මට්ටමක තබා ගනිමින් ලාභ ආන්තික වැඩි කරගැනීමයි. දෙවැන්න, හැකිතාක් වැඩි සිසුන් ගණනක් බඳවා ගැනීමයි. ඕනෑම නිශ්චිත මිලක් අය කරමින් බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කරන විට සිසුන්ගේ සාමාන්‍ය ගුණාත්මක භාවය පහළ යයි. මිල වැඩි කරන විට ඉල්ලුම් කරන සිසුන් ප්‍රමාණය අඩු වෙයි. නියම කරන මිල ඉල්ලුම සැපයුම සමතුලිත වන මිලට වඩා පහළ මිලක්නම්, පවතින පුරප්පාඩු ගණනට වඩා වැඩි අයදුම්කරුවන් ගණනක් අතරින් "වඩා හොඳ" සිසුන් තෝරා ගැනීමට ඉඩක් ලැබෙන නමුත්, ඉල්ලුම සැපයුම සමතුලිත වන මිල අය කරන විට අධ්‍යාපන සේවා සපයන ආයතනයකට ඒ තෝරාගැනීම නැති වේ.

කොතලාවල වෛද්‍ය පීඨය විසින් විදේශ සිසුන් බඳවා ගැනීමේ අරමුණ ලාභ ලැබීමම නොවේ. ශිෂ්‍ය කණ්ඩායමේ ප්‍රමිතිය පවත්වා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාවකි. එහෙත්, ඔවුන් පාඩු ලබමින් විදෙස් සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙනවා විය නොහැකිය. ඒ නිසා, ලක්ෂ 81ක පාඨමාලා ගාස්තුවෙන් පමණක් නොව, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ගෙන් හා සාක් රටවල හා චීන සිසුන්ගෙන් අය කරන රුපියල් ලක්ෂ 70ක පමණ මුදලින්ද අඩු වශයෙන් පිරිවැය ආවරණය වනවා විය යුතුය. එහෙත්, සිසුන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණක් ඇති නිසා මෙහි විශාල ලාභයක් තිබෙන්නටද නුපුළුවන.

රජයේ ප්‍රමුඛ වෛද්‍ය පීඨ පහෙන් එකක සිසුවෙකු වෙනුවෙන්ද රුපියල් ලක්ෂ 60ක පමණ මුදලක් වැය කෙරෙන බව ඇස්තමේන්තු කළ හැකි නිසා පස්වසරක වෛද්‍ය උපාධි පාඨමාලාවක විචල්‍ය පිරිවැය එපමණ වන්නට ඉඩ තිබේ. එයට අමතරව, රජයේ සරසවි වල දශක ගණනක් තිස්සේ සිදුකර ඇති ප්‍රාග්ධන ආයෝජනද සැලකූ විට වෛද්‍ය උපාධි පාඨමාලාවක මුළු පිරිවැය රුපියල් ලක්ෂ 70ක් පමණ විය හැකිය. ඒ නිසා, ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතනයකට වුවද වෛද්‍ය උපාධි පාඨමාලාවක් වෙනුවෙන් අඩු වශයෙන් එපමණ මුදලක්වත් අය කරන්නට සිදු වනු ඇත. ලාභ පිණිස කටයුතු කරන ආයතනයක්, තරඟකාරී තත්ත්වයන් යටතේ අඩු වශයෙන් රුපියල් ලක්ෂ 80ක පමණ මුදලක් අය කරනු ඇතැයි සිතිය හැකිය. කොතලාවල වෛද්‍ය පීඨය විදෙස් සිසුවකුගෙන් අය කරන්නේ මීට ආසන්න මුදලකි.

සයිටම් ආයතනය විසින් අය කරන මුදල ඉහත ඇස්තමේන්තුවට වඩා වැඩි මුදලකි. මෙයට ඉල්ලුම් සාධක මෙන්ම සැපයුම් සාධකද බලපායි.

පළමුව, සයිට්ම් වෛද්‍ය පීඨයේ ඉලක්ක පාරිභෝගිකයන් කණ්ඩායම වන්නේ වෛද්‍ය උපාධියක් හැදෑරීම සඳහා විදේශ සරසවියකට දරුවන් යැවීම ගැන සලකා බලන දෙමවුපියන්ය. ඒ සඳහා වැය වන පිරිවැය රුපියල් ලක්ෂ 90 ඉක්මවයි. ඒ නිසා, මේ මිල යටතේ වෛද්‍ය උපාධි පාඨමාලාවකට ප්‍රමාණවත් තරමේ ඉල්ලුමක් තිබේ. මිල මට්ටම රුපියල් ලක්ෂ 70 වැනි මට්ටමකට අඩු කළද ඉල්ලුම විශාල ලෙස වැඩි වන්නේ නැත. ඒ නිසා, සයිටම් ආයතනයට මිල අඩු කර ඉල්ලුම වැඩි කරගැනීම මඟින් ලාභ වැඩි කර ගත නොහැකිය.

අනෙක් අතට වෛද්‍ය විද්‍යාලයකට ශික්ෂණ රෝහලක් අවශ්‍යය. සයිටම් ආයතනය විසින් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදුකර තිබේ. කොතලාවල වෛද්‍ය පීඨය විසින් මෙවැන්නක් සිදු කර නැති අතර රජයේ අලුත් වෛද්‍ය පීඨ ඇති කරන විටද (මා දන්නා තරමින්) බොහෝ විට සිදුවුනේ එවකට පැවති රෝහලක් ශික්ෂණ රෝහලක් ලෙස ප්‍රයෝජනයට ගැනීම හෝ වැඩිදියුණු කරනු ලැබීමයි.

දිගුකාලීනව පෞද්ගලික ශික්ෂණ රෝහලක වියදම් එහි පැමිණෙන රෝගීන්ගෙන් ආවරණය වන නමුත් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට තවමත් ස්වාධීන මූල්‍ය පැවැත්මක් නැත. ඒ නිසා, මේ අවස්ථාවේදී සයිටම් ආයතනය විසින් ශික්ෂණ රෝහල වෙනුවෙන් සිදු කර ඇති ආයෝජනයෙන් කොටසක්ද සයිටම් වෛද්‍ය සිසුන්ගෙන් අය කර ගැනීමට සයිටම් පරිපාලකයෝ උත්සාහ කරති. රෝහල හදා තිබෙන්නේම වෛද්‍ය පීඨය වෙනුවෙන් නිසා මෙය තේරුම් ගැනීම අපහසු නැත. කිසියම් කාලයකට පසු සයිටම් පාඨමාලා ගාස්තුවේ මේ කොටස පමණක් ඉවත් වනු ඇත. එහෙත්, එසේ වූ පමණින් සයිටම් වෛද්‍ය පීඨයේ පාඨමාලා ගාස්තු විශාල ලෙස පහත වැටෙන්නට ඉඩක් නැත.

කෙසේ වුවද, රුපියල් ලක්ෂ 90ක පාඨමාලා ගාස්තු ගෙවා ඉගෙනීම ලබන්නට කැමති විශාල පිරිසක් දැනට ලංකාවේ නැත. මෙයට මූල්‍යමය නොවන වෙනත් සාධක ගණනාවක්ද බලපායි. ඒ අතරින් පළමුවැන්න සයිටම් උපාධියට ලැබෙන පිළිගැනීම පිළිබඳව ඇති අවිනිශ්චිතතාවයයි.

අඩු වශයෙන් පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයට තේරුණු එක් ශිෂ්‍යයෙක් එම අවස්ථාව අතහැර පූර්ණ ශිෂ්‍යත්වයක් මත සයිටම් වෛද්‍ය පීඨයට බැඳී තිබේ. එහෙත්, එවැනි පදනමක් මත හෝ (නැවතත්- මා දන්නා තරමින්) රජයේ වෛද්‍ය පීඨයකට තේරුණු කිසිදු වෛද්‍ය සිසුවෙකු සයිටම් ආයතනයට පැමිණ නැත. තමන්ට කිසිදු පාඨමාලා ගාස්තුවක් ගෙවන්නට සිදු නොවුවත්, තවමත්, කිසියම් සිසුවෙකු රජයේ වෛද්‍ය විද්‍යාල අතර ගුණාත්මක භාවයෙන් අඩුම වෛද්‍ය පීඨය ලෙස සැලකිය හැකි නැගෙනහිර වෛද්‍ය පීඨය අතහැර සයිටම් වෛද්‍ය පීඨයට පැමිණේද යන්න සැක සහිතය.

මෙය සයිටම්හි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක්ම නොවේ. උපාධිය අවසන් කිරීමෙන් පසු ආදායම් ඉපදවීමට ඇති අවස්ථා පිළිබඳ ප්‍රශ්නයකි. කවර අවදානම් තිබුණත්, දන්ත වෛද්‍ය උපාධියකට වඩා සයිටම් වෛද්‍ය උපාධියේ අපේක්ෂිත වටිනාකම වැඩිය. ඒ නිසා දන්ත වෛද්‍ය පීඨයට තේරුණු අයෙකු පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබ සයිටම් වෙත එන්නට කැමති වූවත් රජයේ වෛද්‍ය පීඨයකට තේරුණු අයෙකුට වැඩි රැකියා අවිනිශ්චිතතාවයකට මුහුණ දෙමින් මේ අවස්ථාවේදී එසේ කරන්නට තාර්කික හේතුවක් නැත.

සයිටම් ආයතනය කාලයක් පැවතුනහොත් එහි වෛද්‍ය උපාධියේ වටිනාකම පිළිබදව අවදානම් පහව යන නිසා මුදල් ගෙවා එහි ඉගෙන ගන්නට එන සිසුන් ප්‍රමාණය තවත් ඉහළ යනු ඇත. එවිට, දැන් මෙන් තමන්ට බඳවා ගත හැකි සියලුම සිසුන් බඳවා නොගෙන සීමිත ශිෂ්‍ය කණ්ඩායමක් බඳවා ගැනීමේ අවස්ථාව සයිටම් ආයතනයට ලැබෙන නමුත් ලාභ ලැබීම අරමුණු කරගත් ආයතනයක් වශයෙන් ඔවුන් විසින් බොහෝ විට කරනු ඇත්තේ පහසුකම් වැඩි කර වැඩි සිසුන් ගණනක් බඳවා ගැනීම මිස අවස්ථා ගණන සීමා කිරීම නොවේ. යම් හෙයකින් සයිටම් ආයතනය විසින් එසේ අවස්ථා ගණන සීමා කළහොත් සිදුවන්නේ තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති වීමට අඩිතාලම වැටීමයි.

සයිටම් ආයතනයට සිය කර්මාන්තයේ පුරෝගාමියා වීමේ වාසිය තිබේ. දැනට පවතින තත්ත්වය අනුව, දෙවන පෞද්ගලික වෛද්‍ය පීඨයක් වසර කිහිපයක් ඇතුළත පිහිටුවීමට තරම් ඉල්ලුමක් ලංකාවේ නැත. සයිටම් ආයතනය විසින් මූලික ස්ථිර ආයෝජන සිදුකර අවසන් නිසා එම ආයතනයට වැඩි සිසු පිරිසකට පහසුකම් සැලසීම සඳහා වැඩි අමතර වියදමක් දරන්නට සිදු නොවේ. එමෙන්ම, ගුණාත්මක භාවය පිළිබඳ විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු නොවුනහොත්, සයිටම් ආයතනයට කාලයත් සමඟ එකතු වන කීර්තියද එම ආයතනයේ වත්කමක් වනු ඇත. පුරෝගාමියාගේ මේ ස්ථාවරත්වය සමඟ තරඟ කිරීම දෙවැන්නෙකුට පහසු නොවන නිසා සයිටම් ආයතනයට තවත් වසර ගණනාවක් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සැපයීමේ ඒකාධිකාරයක් හිමි වන්නට ඉඩ තිබේ.

කෙසේ  වුවද, රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට අවස්ථාව හිමිකරගන්නා සිසුවෙකු සයිටම් වෙත අනාගතයේදී හෝ ආකර්ෂණය වනු ඇත්තේ පූර්ණ ශිෂ්‍යත්වයක් හිමි වන්නේනම් පමණි. රජයේ වෛද්‍ය පීඨ හා බැඳුනු නවක වද, පංති වර්ජන ආදී නිශේධනාත්මක කරුණු සියල්ලේම අපේක්ෂිත හානිය එකතු කළත් එය කිසිදු අයුරකින් රුපියල් ලක්ෂ අනූවකට කිට්ටුවෙන්වත් යන්නේ නැත. ඒ නිසා සයිටම් වෛද්‍ය පීඨය වෙත ආකර්ෂණය වනු ඇත්තේ රජයේ වෛද්‍ය පීඨයකට යාමේ අවස්ථාව අහිමි වන සිසුන් පමණි. මේ ඉලක්ක පාරිභෝගික කණ්ඩායම පෝෂණය කිරීමට දැනට පොදු පාසැල් පද්ධතියෙන් පිටත ජාත්‍යන්තර පාසැල් වල අධ්‍යාපනය හදාරන සිසු පිරිස විසින් විශාල දායකත්වයක් ලබා දෙනු ඇත.

ප්‍රාදේශීය නගර වලට ටියුෂන් ව්‍යාප්ත වීම හේතුවෙන් උසස් පෙළ විභාගයේ තරඟකාරීත්වය මේ වන විටද විශාල ලෙස වැඩි වී තිබේ. මෙහි බලපෑම මේ වන විට ලොකුවට දකින්නට නැත්තේ මුලතිවු, නුවරඑළිය හා පොළොන්නරුව වැනි ජනගහණය අඩු දිස්ත්‍රික්ක කිහිපයක පමණි. මේ හේතුවෙන් සරසවි ප්‍රවේශ ක්‍රියාවලිය තුළ දිස්ත්‍රික් කෝටා ක්‍රමයේ බලපෑම මේ වන විටත් සැලකිය යුතු තරමින් අඩු වී තිබේ. දැන් ගාල්ල, මාතර වැනි දිස්ත්‍රික්කයකින් වෛද්‍ය පීඨයට යාම කොළඹ දිස්ත්‍රික්කයෙන් යනවාට වඩා අසීරුය. දුෂ්කර දිස්ත්‍රික්ක ලෙස සැලකෙන රත්නපුර හා හම්බන්තොට වැනි දිස්ත්‍රික්කයකින් වෛද්‍ය පීඨයකට ඇතුළු වීම, 5% කෝටාව තිබියදී පවා, ගම්පහ, කළුතර වැනි දිස්ත්‍රික්කයකින් වෛද්‍ය පීඨයට ඇතුළු වනවාට වඩා අසීරුය. දිස්ත්‍රික් කෝටා ක්‍රමය අහෝසි නොකළද තවත් වසර හත අටක් යන විට සරසවි ප්‍රවේශයේදී එහි බලපෑමක් නැති වී යන්නට ඉඩ තිබේ.

කිසියම් වෙළදපොළ අසමතුලිතතාවයක් ඇති විට එය ස්වභාවික ලෙසම සමතුලිත වන නමුත් ඒ සඳහා වසර ගණනාවක් ගත විය හැකිය. දශක ගණනකට පෙර එක්තරා නිශ්චිත ප්‍රශ්නයකට විසඳුමක් ලෙස, වෙනත් ප්‍රශ්න ගණනාවකටද මුල පුරමින් හඳුන්වා දෙනු ලැබූ දිස්ත්‍රික් කෝටා ක්‍රමය එදා පැවති තත්ත්වයන් විශාල ලෙස වෙනස් වී ඇති අද දක්වාම නොවෙනස්ව පවත්වා ගැනීම මඟින් පැහැදිලිව පෙන්වා දෙන පරිදි රජය හරහා පාලනය කෙරෙන මධ්‍යගත අධ්‍යාපන සේවා සැලසුම් ක්‍රමයකට බාහිර පරිසරයේ සිදුවන වෙනස්කම් වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් නැත. එහෙත්, එයට විකල්පයක් ලෙස බිහිවී ඇති පෞද්ගලික ටියුෂන් ක්‍රමය විසින්, එහි කවර අඩුපාඩු තිබිය හැකි වුවත්, ලංකාවේ විවිධ ප්‍රදේශ අතර අධ්‍යාපන සේවා සැපයුමේ ඇති ප්‍රාදේශීය විෂමතා වඩා වේගයෙන් සමනය කරමින් සිටී.

එක් අතකින් දිස්ත්‍රික් කෝටා ක්‍රමයේ බලපෑම ක්ෂය වෙමින් ලංකාවේ සරසවි පිවිසුම් වෙළඳපොළ තනි වෙළඳපොළක් බවට පත් වෙද්දී, අධ්‍යාපන සේවා සැපයුම අතින් පසුගාමී දිස්ත්‍රික්ක වල සිසුන්ගේ උසස්පෙළ ප්‍රතිඵලද කොළඹ මට්ටමට අභිසාරී වීමේ ප්‍රතිඵලයක් ලෙස සරසවි ප්‍රවේශ මූලික සුදුසුකම් සපුරන ප්‍රමාණය වසරින් වසර වේගයෙන් වැඩි වේ. එහෙත්, ඒ වේගයෙන් රජයේ වෛද්‍ය විද්‍යාල වල ඇති පුරප්පාඩු ප්‍රමාණය වැඩි නොවේ. මෙහි ප්‍රතිඵලය වන්නේ වසරින් වසර රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීම තවතවත් අසීරු වීමයි. මේ අයුරින් රජයේ වෛද්‍ය පීඨ වලින් බැහැර වන අයදුම්කරුවන් ප්‍රමාණය සීග්‍රයෙන් වැඩිවීමද සයිටම්හි ඉලක්ක පාරිභෝගික සංචිතය පුළුල් කරයි.

කෙසේවුවද, රජයේ වෛද්‍ය පීඨ වලින් බැහැර වන පිරිස් වැඩි වූ පමණින් සයිටම්හි ඉලක්ක පාරිභෝගික සංචිතය විශාල වන්නේ නැත. ඒ සඳහා, ඒ අය අතරින් රුපියල් ලක්ෂ 90ක විශාල පිරිවැය දැරිය හැකි ප්‍රමාණයද ඉහළ යා යුතුය. රටේ ආර්ථික වර්ධනයට සමාන්තරව මෙය සිදුවුවත් එය වේගයෙන් සිදුවන්නක් නොවේ. ඒ නිසා, සයිටම් යනු රටේ සීමිත පිරිසකට පමණක් ඇති අවස්ථාවක්ය යන කරුණ වසර කිහිපයකින් වෙනස් වන්නට නියමිත දෙයක් නොවේ.

සයිටම් ආයතනයේ අරමුණ ලාභ ලැබීම නිසා එම ආයතනය විසින් තමන්ට ආකර්ශනය කරගත හැකි, මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබන්නට කැමති සියලුම සිසුන් ආකර්ශනය කරගන්නට ඉඩ ඇති අතර බාහිර සමාජයෙන් ප්‍රතිරෝධයක් නැත්නම් සිසුන් ඇතුළත් කර ගැනීමේ නිර්ණායක ඉහළ දමන්නට එම ආයතනය ස්වභාවික ලෙස නොපෙළඹෙනු ඇත. අවශ්‍ය අවම සුදුසුකම සම්මාන සාමාර්ථ දෙකක් හා සාමාන්‍ය සාමාර්ථ එකක් ලෙස ඔවුන් ඉහළ නංවා ඇත්තේ බාහිර පීඩනයට ප්‍රතිචාරයක් වශයෙනි. නිදහසේ සිය ව්‍යාපාර කටයුත්ත කරන්නට ඉඩ ලැබේනම් සයිටම් ආයතනය විසින් මේ අවම සුදුසුකම ඇති, ලක්ෂ 90ක මිල ගෙවන්නට කැමති පාරිභෝගික පිරිස මුළුමනින්ම වාගේ ආකර්ශනය කරගනු ඇත.

කෙසේ වුවද, සයිටම් ආයතනය විසින් ලංකාවේ වෛද්‍ය සේවා වෙළදපොල ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මට්ටම දක්වා වෛද්‍යවරුන් බිහි කිරීමේ හැකියාවක් නැත. එයට හේතුව ලංකාවේ පාඨමාලා ගාස්තු නොගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවට අමතරව මුදල් නොගෙවා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ අවස්ථාවද තිබීමයි. නොමිලේ ප්‍රතිකාර ගැනීමේ විකල්පයක් රෝගීන් සතුව ඇති නිසා පෞද්ගලික වෛද්‍ය සේවා සපයන වෛද්‍යවරුන්ට රෝගීන්ගෙන් "නියම මිල" අය කිරීමේ හැකියාවක් නැත. පාඨමාලා ගාස්තු නොගෙවා රජයේ වෛද්‍ය පීඨයක වෛද්‍ය අධ්‍යාපනය ලබා ඇති අයෙකුට මෙය ප්‍රශ්නයක් නොවූවත්, රුපියල් ලක්ෂ 90ක් ආයෝජනය කර වෛද්‍යවරයෙකු වන අයෙකුට මෙය ප්‍රශ්නයකි. ඒ නිසා, ලංකාවට අවශ්‍ය "නියම වෛද්‍යවරුන් ප්‍රමාණය" බිහි වන්නට පෙරම සයිටම් සඳහා ඉල්ලුමක් නැති වනු ඇත.

ඇතැම් අය අදහස් කරන්නේ මුදල් ඇති අය සමාජ තත්ත්වය වෙනුවෙන් වෛද්‍යවරුන් වෙන්නට උත්සාහ දරන බවයි. මේ අදහස සමඟ මා එකඟ වන්නේ නැත. මුදල් සාධකය අමතක කළද, වෛද්‍ය වරයෙකු වීම සඳහා පුහුණු වන අයෙකු විශාල කැපකිරීමක් කළ යුතුය. වෛද්‍ය වෘත්තියට විශාල කැමැත්තක් නැති අයෙකු වසර ගණනක් මෙවැනි කැප කිරීමක් කරන්නට ලොකු ඉඩක් නැත. අනෙක් අතට, ලක්ෂ 90ක් ආයෝජනය කළ හැකි අයෙකු කිසියම් සමාජ තත්ත්වයක් කොහොමටත් ඇති අයෙකි.

ලංකාවේ වෛද්‍ය වෘත්තියේ නියැලෙන ඇතැම් වෛද්‍යවරුන් විශාල ආදායමක් උපයන නමුත් පොදුවේ ගත් කළ බොහෝ වෛද්‍යවරු එවැනි විශාල ආදායම් නොඋපයති. වෛද්‍ය සේවාවන් සඳහා සාමාන්‍ය පාරිභෝගිකයෙකු දැනට ගෙවන ගාස්තු පවතින තත්ත්වයන් යටතේ වෛද්‍යවරයෙකුට අයකළ හැකි ඉහළම ගාස්තුය. මේ අඩු මිල ගණන් යටතේ වෙළඳපොල සමතුලිත වන්නේ පාරිභෝගිකයන්ට විශාල කාලයක් රස්තියාදු වන්නට සිදුවීමත් වෛද්‍යවරයෙකුගේ මිනිත්තුවකට විශාල වටිනාකමක් ලැබීමත් හරහාය.

එහෙත්, රුපියල් ලක්ෂ 90ක් ගෙවා සයිටම් යන්නට හැකි අය ලංකාවේ ඉන්නවාක් මෙන් දැන් වෛද්‍යවරයෙකුට ගෙවන මිල මෙන් දහපහළොස් ගුණයක් වුවත් ගෙවන්නට සූදානම් පාරිභෝගිකයන්ද සැලකිය යුතු පිරිසක් මේ වන විට ලංකාවේ සිටිති. මා දන්නා තරමින් මේ අය ඉලක්ක කරගත් වෛද්‍ය සේවා වෙළඳපොළක් තවමත් බිහි වී නැත.

ඉහළ ආදායම් උපයන ලංකාවේ ඇතැම් අයගේ කාලය විශේෂඥ වෛද්‍යවරයෙකුගේ කාලයට වඩා කිහිප ගුණයක් වටී. ඒ අතරම දැනට විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් අයකරන මුදල මෙවැනි බොහෝ දෙනෙකුට සොච්චමකි. රස්තියාදු නොවී නියමිත වෙලාවට හමුවීමේ අවස්ථාව හිමි වනවානම්, අඩුම වශයෙන් රෝගියා සමඟ විනාඩි 20ක්වත් ගත කරනවානම් සහ රෝගියා පිළිබඳ විස්තර පරිගණකයක ගබඩා කරගෙන ඔහු හෝ ඇය හමුවීමට පෙර හැදෑරීමක් කර පෙර සූදානම් වීමට කැමතිනම්, වෛද්‍යවරයෙකුට රුපියල් 25,000ක් වැනි මුදලක් වුවත් ගෙවන්නට කැමති විශාල පාරිභෝගික පිරිසක් ලංකාවේ සිටින බව මට ස්ථිරවම කිව හැකිය. මේ පාරිභෝගික කණ්ඩායම වසරින් වසර ඉහළ යයි. සයිටම් වෛද්‍යවරුන් නිසා මේ ඉහළ පන්තියේ පාරිභෝගිකයින් වෙනුවෙන් වෙනම වෛද්‍ය සේවා වෙළඳපොළක් ඇති වන්නට ඉඩ තිබේ. එයින් රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට කිසිදු හොඳක් හෝ නරකක් සිදු වන්නේ නැත. ඒ අයුරින්ම සයිටම් වෛද්‍ය පීඨය නිසාද ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජීවිතයට ගිණිය හැකි තරමේ හොඳ හෝ නරක බලපෑමක් ඇති වන්නේ නැත.

සයිටම් යනු ලංකාවේ ඇති සියලු ප්‍රශ්න වලට විසඳුමක් නොවේ. ඒ හේතුවෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට සැලසෙන අමුතු යහපතක් නැත. එහෙත්, සිදුවන අයහපතක්ද නැත. එහෙත්, සීමිත පිරිසකට එයින් යහපතක් සැලසේ. එය වැළැක්වීමේ කිසිදු සාධාරණත්වයක් නැත.

සයිටම් ආයතනය පවත්වාගෙන යාම මඟින් දොස්තර නෙවිල් ප්‍රනාන්දු විසින් විශාල ලාබයක් ලබනවා වන්නට පුළුවන. මීයක් කන්නේ අත ලෙවකන්නට නොවේ. එහෙත්, ඔහු කිසිදු ලාබයක් නොලබා පිරිවැය පමණක් අය කරමින් වෛද්‍ය අධ්‍යාපනය ලබා දුන්නද ලංකාවේ අති මහත් බහුතරයකගේ ජීවිත වලට එයින් සෘජු බලපෑමක් සිදු නොවේ. රුපියල් ලක්ෂ 60ක පමණ මුදලක් වුවද ලංකාවේ බොහෝ දෙනෙකුට දැරිය නොහැකි විශාල මුදලකි.

දොස්තර නෙවිල් ප්‍රනාන්දු විසින් ලබනු ඇතැයි සිතිය හැකි විශාල ලාබයට දායක වන්නේ සයිටම්හි අධ්‍යාපනය ලබන සිසුන් හෝ ඔවුන්ගේ දෙමවුපියන්ය. ඒ හැර වෙනත් අයගෙන් අය කර ගන්නා අරමුදල් එහි නැත. මේ මිල ගෙවන සියලු දෙනා එය කරන්නේ ස්ව කැමැත්තෙනි. රුපියල් ලක්ෂ 90 ගෙවීම ඒ අයට ප්‍රශ්නයක් නොවේනම් එහි වෙනත් අයට ප්‍රශ්නයක් තියෙන්නට නුපුළුවන. සයිටම් ආයතනය විසින් ලබාදෙන වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබේනම් එයද මූලික වශයෙන් මුදල් ගෙවා එහි ඉගෙන ගන්නා අයගේ ප්‍රශ්නයකි.

කෙසේ වුවද, සයිටම් වෛද්‍ය උපාධිධාරීන් විසින් සිය පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කර වෛද්‍ය සේවාවන් සැපයීමේදී ඔවුන්ගේ ගුණාත්මක භාවයේ අඩුවක් පෙනේනම් එය වෙනත් අයගේ ප්‍රශ්නයක්ද වෙයි. එය වලක්වා ගැනීම සඳහා ලංකාව තුළ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය අවම නිර්ණායක වලට යටත් කළ යුතුය. මෙවැනි නිර්ණායක සයිටම් වෛද්‍යවරුන්ට මෙන්ම රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන වෛද්‍යවරුන්ටද එක සේ ක්‍රියාත්මක කළ යුතුය. වෛද්‍ය පීඨයක අයිතිය හා පාලනය රජය යටතේ තිබීම එයින් බිහිකරන වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය පිළිබඳ සහතිකයක් වන්නේ නැත.

සයිටම් වෛද්‍යවරුන් පෞද්ගලිකව ප්‍රතිකාර කරන්නේනම් එතැනින් එහාට ලොකු ප්‍රශ්නයක් නැත. ගුණාත්මක භාවය ප්‍රමාණවත් නැත්නම් ඔවුන්ව  වෙළඳපොලෙන් ප්‍රතික්ෂේප වනු ඇත. එහෙත්, සයිටම් වෛද්‍යවරුන්ව යම් හෙයකින් රාජ්‍ය සේවයට බඳවා ගන්නේනම් අවම නිර්ණායක වලට අමතරව තවත් අවශ්‍යතා නියම කිරීමේ වරදක් නැත. එය සේවකයින් හා සේව්‍යයා අතර සිදුවන ගනුදෙනුවක කොටසකි.

වෛද්‍යවරයෙකුගේ ගුණාත්මක භාවය කියා වෙනස් නොවන නිශ්චිත දෙයක් නැත. දැනට වසර පණහකට වඩා පෙර සිටි හොඳම වෛද්‍යවරයෙකුට වඩා දැන් වෛද්‍ය සේවා සපයන සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ ගුණාත්මක භාවය ඉහළ මට්ටමක තිබෙන්නට පුළුවන. තවත් වසර පණහකට පසුව බිහිවන සාමාන්‍ය වෛද්‍යවරයෙකු ප්‍රමිතිය අතින් අද සිටින හොඳම වෛද්‍යවරයෙකුට වඩා ඉදිරියෙන් සිටින්නට පුළුවන. ගුණාත්මක භාවය යනු සාපේක්ෂ දෙයකි.

කිසියම් වෛද්‍යවරයෙකු වෙළඳපොල තුළ ප්‍රතික්ෂේප නොවේනම් එවැන්නෙකුගේ ප්‍රමිතියේ ප්‍රශ්නයක් තිබෙන්නට විශාල ඉඩක් නැත. රෝගීන් කැමැත්තෙන් මුදල් ගෙවා ප්‍රතිකාර ගන්නේනම් එයින් පෙනෙන්නේ ඔවුන් වෛද්‍යවරයාගේ ප්‍රමිතිය ගැන සෑහීමකට පත් වන බවයි. කෙසේ වුවද ලංකාව වැනි රටක "හොර වෙද්දුන්ටත්" ඉල්ලුමක් තිබේ. ඒ අනුව, රෝගීන් කැමති වුවත් වෛද්‍යවරයාගේ ප්‍රමිතිය ප්‍රමාණවත් නැති බව පොදු සමාජය සිතනවානම් එය වෛද්‍යවරයාගේ ප්‍රශ්නයක් නොව පොදු සමාජයේ ප්‍රශ්නයකි. මේ අර්ථයෙන්, අදාළ වෛද්‍යවරයාගේ ප්‍රමිතිය ඉහළ නැංවීමේ බරපැන දැරිය යුත්තේ පොදු සමාජයයි.

සයිටම් වෙද සිසුවෙකු තමන්ට රජයේ රෝහලක සීමාවාසික පුහුණුව ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවානම් (හා එහි පිරිවැයක් ඇත්නම්) ඒ පිරිවැය දැරිය යුත්තේ ඔහු හෝ ඇය විසිනි. එහෙත්, මෙය පොදු සමාජයේ ඉල්ලීමක්නම්, උදාහරණයක් ලෙස කිසියම් තෙවන පාර්ශ්වයක ඉල්ලීමක් මත රජය විසින් නියම කරන්නක්නම්, එහි පිරිවැය දැරිය යුත්තේ රජය විසිනි.

සයිටම් ආයතනය රජයේ වෛද්‍ය පීඨයක් කළොත් සිදුවන යහපත හෝ අයහපත කුමක්ද?

-දැනට එහි ඉගෙනුම ලබන සිසුන් බහුතරයකට එම අවස්ථාව නැති වනු ඇත. ඔවුන්ගෙන් කොටසක් වැඩි මුදලක් ගෙවා විදෙස් වෛද්‍ය පීඨයකට යනු ඇත.

-දැනට දන්ත වෛද්‍ය පීඨයට හා පශු වෛද්‍ය පීඨයට යන සිසුන් කොටසකට වෛද්‍ය පීඨයට යාමේ වරම් හිමි වනු ඇත. ඊට පහළින් සිටින සිසුන්ට දන්ත වෛද්‍ය හා පශු වෛද්‍ය පීඨයට යාමට ලැබෙනු ඇත.

-අමතර වෛද්‍ය සිසුන් පිරිසකට පාඨමාලා ගාස්තු රහිතව අධ්‍යාපනය ලබා දීම සඳහා මහජන මුදල් වැය කරන්නට සිදු වනු ඇත. මේ මුදල එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 60ක් පමණ දක්වා මුදලක් විය හැකිය.

-සාමාන්‍ය මහජනතාවට උසස්පෙළ අඩු ලකුණු ලැබූ වෛද්‍යවරයෙකු වෙනුවට වැඩි ලකුණු ලැබූ වෛද්‍යවරයෙකු ලැබෙනු ඇත. උදාහරණයක් ලෙස උසස්පෙළ C සාමාර්ථ තුනක් ලබාගත් අයෙකු වෙනුවට B සාමාර්ථ තුනක් ලබාගත් වෛද්‍යවරයෙකු ලැබෙනු ඇත. (සයිටම් සිසුවකුගේ සාමාන්‍ය උසස්පෙළ ප්‍රතිඵලය C සාමාර්ථ තුනකට වඩා ඉහළ මට්ටමේ එකක් විය හැකිය.)

-ඊට අමතරව, උසස් පෙළ ප්‍රතිඵල පදනම මත සැලකුවහොත් දැනට වඩා "නරක" දන්ත වෛද්‍යවරුන් හා පශු වෛද්‍යවරුන් බිහිවනු ඇත.

-උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වෛද්‍යවරයෙකුගේ නිපුණත්වය පිළිබඳ ඉතා දුර්වල නිර්ණායකයක් වුවත්, C සාමාර්ථ තුනක් ලබාගත් අයෙකුට සාපේක්ෂව B සාමාර්ථ තුනක් ලබාගත් අයෙකු දක්ෂ වෛද්‍යවරයෙකු වීමට වැඩි ඉඩක් තිබේ. එහෙත් ආනුභවික දත්ත අනුව ඒ ඉඩකඩ ඉතා විශාල නැත. රජයේ වෛද්‍ය පීඨ වල ඉගෙනුම ලබන සිසුන්ගේ උසස්පෙළ ලකුණු අතර වෙනස්කම් වලින් පැහැදිලි කරන්නේ ඔවුන්ගේ වෛද්‍ය පීඨ විභාග ප්‍රතිඵල අතර ඇති වෙනස්කම් වලින් 5%ක පමණ ප්‍රමාණයක් පමණි.

මේ වෙනස වෙනුවෙන් මහජන මුදල් රුපියල් ලක්ෂ 60ක් පමණ වැය කළ යුතුද?


41 comments:

  1. වයිද්ය පීඨ සිසුන් සයිතම් අහෝසි කරන තෙක් පංති වර්ජනය කරනවා දැන් මාස හයක් තිස්සේ. මෙතනදි රඡයේ මුදල් නාස්ති වීමක් සිදුවසිදුවෙනවා නේද ? අනිත් කාරණය මෙම සිසුන් කවදා හෝ වයිද්ය වරැ ලෙස සමත් කිරීමේදී ඔවුන් ගේ උසාවියේ ගුනාත්මක භාවය අඩුවීමක් වෙන්න පුළුවන් නේද ?

    ReplyDelete
    Replies
    1. 1. ඔව්, වෙනවා. මේ කර්මාන්තයේ ස්වභාවය අනුව දේශන නොපැවැත්වුවත් වියදම එසේම වගේ තිබෙනවා. හරියට සෙනඟ නැතුව බස් එකක් දුවනවා වගේ. ආචාර්ය මණ්ඩලයේ වැටුප් ආදිය කොහොමත් ගෙවිය යුතුයි. උපාධි පාඨමාලාවේ වියදම බොහෝ දුරට තීරණය වන්නේ ඒ සඳහා ගත වන සැබෑ කාලය මතයි. මාස 6ක වර්ජනයක් කියන්නේ වියදම 10%කින් පමණ වැඩිවීමක්.

      2. එසේ වීමට කිසියම් ඉඩක් තිබෙනවා. නමුත්, මෙය නිසි අධ්‍යයනයක් නොකර එක වර කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාට හෝ හදාරන්න හොඳ පර්යේෂණ ගැටලුවක්. යම් හෙයකින් ගුණාත්මක භාවය අඩු නොවන්නේ වුවත්, එකම ප්‍රතිඵලය ලබා ගැනීමට වියදම වැඩි වන නිසා ඵලදායීත්වයේ අඩුවක් වෙනවා.

      Delete
  2. ඉකොනොමැට්ටා ගේ මේ ලිපි මාර දිගයි. මේකේ වචන 5,000 පමණ තියෙනවා නේද?

    ඒත් කියෙව්වා, හොඳ විශ්ලේෂණයක්.

    අවසාන ප්‍රශ්නයට උත්තර ලෙස මෙහෙම ප්‍රශ්නයක් අහන්න හැකියි.

    මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්නට යන බව කියවෙනවා. ඒ සඳහා බඳවා ගන්නට යන සිසුන් සඳහා ද, රුපියක් ලක්‍ෂ හැට බැගින් මහජන මුදලින් වැය නෙවා ඇති.

    එසේ මහජන මුදල් වියදම් කළ යුතු ද?

    ReplyDelete
    Replies
    1. //ඉකොනොමැට්ටා ගේ මේ ලිපි මාර දිගයි. මේකේ වචන 5,000 පමණ තියෙනවා නේද?//
      බ්ලොග් ලිපියකට මේ වචන ප්‍රමාණය දිග වැඩියි තමයි. මේ ලිපි කියවන ඇතැම් අය මේ ප්‍රශ්නය සම්බන්ධව දැඩි මතයක ඉන්න සහ අදාළ කරුණු වලින් හා තර්ක වලින් සන්නද්ධව සිටින අය. කෙටියෙන් ලියන විට එවැනි අය හිතන්නේ නිසි හැදෑරීමක් නොකර හා අදාළ කරුණු සියල්ල නොසලකමින් පක්ෂග්‍රාහීව ලියන බවයි. ඒ නිසා කොටස් කිහිපයකට කැඩීමෙන් හෝ ලිපියේ දිග සීමා කිරීම ගැන හිතුවේ නැහැ.

      //එසේ මහජන මුදල් වියදම් කළ යුතු ද?//
      ඔබ තේරුම් ගෙන ඇතැයි පෙනෙන ආකාරයෙන්ම මෙය වෙනස් ප්‍රශ්නයක්. මෙහි ඔබ අහන්නේ පොදු අරමුදල් වලින් උසස් අධ්‍යාපනය සුබසාධනය කළ යුතුද කියන ප්‍රශ්නයයි. දීර්ඝව කරුණු දක්වමින් පිළිතුරක් දිය යුතු වුවත් කෙටි පිළිතුර එහි ලොකු ප්‍රශ්නයක් නැති බවයි. මෙය ඉදිරියේදී විස්තරාත්මක ලෙස ලියන්න හිතාගෙන ඉන්න දෙයක්. මේ ලිපියේ අගට පෙන්වන අවස්ථාවේ තිබෙන වෙනස පොදු අරමුදල් වියදම් නොකර එය කර ගැනීමට පැහැදිලි විකල්පයක් තිබීමයි.

      Delete
    2. "එසේ මහජන මුදල් වියදම් කළ යුතු ද?"
      ඔව් එය නම් ඇසිය යුතුම ප්‍රශ්නයක්.

      අඩුම ගන්නේ උන් ලංකාවේ ඉඳගෙන ලංකාවට සේවයක් කලොත් ඒ සල්ලිවලින් අපිට ප්‍රතිලාභයක් ලැබේවි.
      අනුවේ දශකයේ ඉංජිනේරු පාඨමාලාව තියන්න නම් සතයක්වත් රටේ සල්ලි වියදම් උනේ නැහැ නේ.

      Delete
    3. //අඩුම ගන්නේ උන් ලංකාවේ ඉඳගෙන ලංකාවට සේවයක් කලොත් ඒ සල්ලිවලින් අපිට ප්‍රතිලාභයක් ලැබේවි.//
      ඇනෝ, ඔතන "උන්" සහ "අපි" කවුද?

      Delete
  3. ලංකාවේ සල්ලිකාර philanthropists ල නැහැල්ලුනේ, ඊටත් පරර්ථකාමින්ට මොන තරම් නම් කරන්න දේ රටේ තියෙද, ඕනමනම් රුවන්වලිසායට වඩා පළල එකක් වුනත් හදතැකිනේ.

    ReplyDelete
    Replies
    1. සමහරවිට මේ කතාව නිවැරදි වෙන්න පුළුවන්.

      Delete
  4. සයිටම් මුදලාලි අධික ලාභයක් ලබනවා කියලා තර්ක කරන අය නම් සයිට්ම් මුදලාලි ආණ්ඩුවට ගෙවන බදු මුදල් ගැන කතා නොකරන්නේ ඇයි.

    අගේ ඇති ලිපියක්.මේ සම්බන්ධ වෙන බොහෝ කරුණු අවරණය කර තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ නැතත් ලාබ ලැබීම වරදක් හෝ අපරාධයක් නෙමෙයි.

      Delete
  5. සයිතම් වැනි පුද්ගලික වයිද්ය පීඨ වලට විරැද්ද අය නගන තර්කයක් තමයි. රඡයේ වයිද්ය පීඨ වල මහාචාර්ය වරැ මෙවැනි පුද්ගලික වයිද්ය විද්‍යාල වලින් ඩැහැ ගැනීම නිසා එම රඡයේ වයිද්ය පීඨ වල අධ්‍යාපනය කඩා වැටෙන බවයි

    ReplyDelete
    Replies
    1. මෙයින් අදහස් වෙන්නේ රජයේ සරසවි වල ඇතැම් ආචාර්යවරුන්ට ඔවුන්ගේ නියම මිල නොලැබෙන බවයි. ඒ කියන්නේ ඔවුන්ගේ නියම මිල ගෙවුවනම් වියදම තවත් වැඩියි. වෙනත් අයුරකින් කියනවනම් රජයේ සරසවි උපාධියක වියදම පෙනෙනවාට වඩා වැඩියි. කෙසේ වුවත්, එසේ පිටට යන්නේ වඩා දක්ෂ (ඒ නිසා වැඩි මිලක් ලැබිය යුතු) අය පමණයි. තමන්ගේ නියම මිලට වඩා වැඩි මිලක් ලබන අයත් රජයේ සරසවි වල ඉන්න පුළුවන්.

      Delete
    2. ඔය තර්කය නගන අයම තමයි කියන්නේ උසස්පෙළ සමත් හැමෝම රජයේ විශ්විද්‍යාල වලට ගන්න කියල.

      ඇකඩමික් සටාෆ් එකක් රඳවාගන්න පඩි ගෙවාගන්න බැරුව උසස්පෙළ සමත් හැමෝම රජයේ විශ්විද්‍යාල වලට ගන්න කියන ඔය තර්කය ගේන අයගේ මොළ ආරක්ෂා කරන්න කැම්පස් වල දැන් තිබෙන ලී බංකු ප්ලාස්ටික් පුටු වගේ ඒවා සම්පූර්ණයෙන්ම අයින්කරලා අලුතින් සැප පහසු කුෂන් පුටු දෙන්න ඕනේ.

      Delete
    3. මෙහි වැරැද්ද තිබෙන්නේ සියලු දෙනාටම එකම වැටුප ලැබෙන ක්‍රමය තුළයි. වෘත්තීය සමිති නිසා සිදුවන්නේ සියලු දෙනාගේ සාමාන්‍ය ඵලදායීතාවයට (average productivity) සමාන වැටුපක් හැම කෙනාටම ලැබීමයි. එසේ නැතුව වැඩි වැටුප් ලැබීමක් නෙමෙයි. මෙය අඩු ඵලදායී අයට වාසි වුවත් (ගොඩක් වෘත්තීය සමිති නායකයෝ එවැනි අය) වැඩි ඵලදායී අයට අවාසියි. ලංකාවේ රජයේ වෛද්‍යවරුන්ගේ අඩු වැටුප් වලටත් මෙය හේතුවක්.

      Delete
  6. විභාග දෙපාර්තමේන්තුව විෂයන් සඳහා අයදුම් කරැවෙක් ලබා ගත් ලකුණු ප්‍රමාණය නිකුත් කරන්නේ නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්. A3තියෙන එක ලමයක්ට හරි නැවත විභාගය කරන්න සිදුවූවොත් විෂයයන් සඳහා තමා ලබාගත් ලකුණු ප්‍රමාණය දැනසිටීම ඉතාම වැදගත් වෙනවා. මෙය තොරතුරැ දැනගැනීමේ පනත යටතේ යමෙකුට ඉල්ලා සිටිය නොහැකිද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පණතේ සීමාවන් ගැන මම හරියටම දන්නේ නැහැ. මෙහෙ තිබෙන නීතිය අනුවනම් මා සම්බන්ධ මොනයම් හෝ තොරතුරක් වෙනත් තැනක තිබෙනවානම් මට එය ලබාගන්න අයිතියක් තිබෙනවා. ඒ පදනම මත මට මගේ ලකුණු දැනගත හැකිවිය යුතුයි.

      Delete
  7. දිස්ත්‍රික් කෝටා එක ආවෙ යාපනේ දෙමළ බහුතරයක් විශ්ව විද්‍යාලෙ එන එක අඩු කරන්න. ඒත් ඒකෙන් අවාසිය වුණේ නගරබද විශේෂයෙන් කොළඹ දිස්තික්කයේ ළමයිට. ශිෂ්‍යත්වෙ සමත් වෙලා කොළඹ ඇවිත් ඉගෙන ගන්න ළමයිව අයත් වෙන්නෙත් කොළඹ ජනගහණයෙ කෝටා එකට. ඒත් ඒ අය ඇත්තටම පදිංචි වෙනත් දිස්ත්‍රික්කයක. දක්ෂ ළමයි ශිෂ්‍යත්වෙ සමත් වෙලා කොළඹ ඒම නිසා ඒ දිස්ත්‍රික්කවලින් ඉවත් වෙනකොට, ඒවල ඉන්න අදක්ෂයො දිස්ත්‍රික් කෝටා එකෙන් විශ්ව විද්‍යාලෙ යනවා. මේක අසාධාරණ ක්‍රමයක්, නමුත් කවුරුත් වෙනස් කරන්න යන්නෙ නෑ, දෙමළ ප්‍රශ්නෙ නිසා.
    ආණ්ඩුවෙ වෛද්‍ය පීඨයකට තේරෙන කෙනෙක් සල්ලි ගෙවලා සයිටම් යන්නෙ ඇයි ? සයිටම් ගැන තියෙන්නෙ දුර්මතයක්, අනික පිටරට ගිහින් වෛද්‍ය උපාධිය අරගෙන එන අයටත් පත්වීම් ලැබෙන්නෙ ලිස්ට් එක පහළම තියෙන දුෂ්කර දිස්ත්‍රික්කවලට. එහෙව් එකේ වහන්න දඟලන සයිටම් එකට යන්නෙ මොන මෝඩයද ?

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ට් එකේ එක් කරුණක් හා අදාළව සලකා බැලිය යුතු තවත් පැති තිබෙනවා. කොළඹ ජනගහණයේ කෝටා එක කියන එක ගැන කතා කළ හැක්කේම දිස්ත්‍රික් කෝටා ක්‍රමයක් තියෙන නිසා. දිස්ත්‍රික් ක්‍රමයක් නැත්නම් කොළඹ දිස්ත්‍රික් කෝටා එකක් කියා එකකුත් නැහැ. පිට පළාත් වලින් කොළඹ එන ගොඩක් සිසුන් ලංකාවේ කොහේ හිටියත් කුසලතා පදනමින් සරසවි ප්‍රවේශය ලැබිය හැකි අයයි. ඒ නිසා, ඒ අයගෙන් වැඩි දෙනෙක් සරසවි ප්‍රවේශය ලබන්නේ කුසලතා පදනමින්. උදාහරණයක් ලෙස දන්ත වෛද්‍ය පීඨයට ඇතුළු කර ගන්නා 80න් 33ක්ම තේරෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එයට හේතුව කුසලතා පදනමින් ලැබෙන ප්‍රමාණය වැඩි වශයෙන්ම ලැබෙන්නේ කොළඹට වීමයි. ඇසිය යුතු නිවැරදි ප්‍රශ්නය වන්නේ දිස්ත්‍රික් ක්‍රමයක් නොතිබුණානම් සරසවි යන්න ලැබෙන කී දෙනෙකුට දිස්ත්‍රික් ක්‍රමය නිසා ඒ අවස්ථාව නැති වෙනවද කියන එකයි. මේ පදනම මත, කොළඹ දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටින අය යම් තරමකින් සීමා වෙනවා. උදාහරණයක් ලෙස තනිකරම කුසලතා පදනමින් ගත්තනම් කොළඹින් දන්ත වෛද්‍ය පීඨයට යන සියල්ලන්ටම කිසියම් රජයේ වෛද්‍ය පීඨයකට යන්න ලැබෙනවා. කොළඹින් පශු වෛද්‍ය පීඨයට තේරෙන අයගෙන් වැඩි ලකුණු ගත් පිරිසටත් ඒ අවස්ථාව ලැබෙනවා. දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා ඔවුන්ට ඒ අවස්ථාව අහිමි වෙනවා. නමුත්, මේ කණ්ඩායමේ ඉන්නෙත් තනිකරම කොළඹ අය නෙමෙයි. මෙසේ අසාධාරණයට ලක් වන අය අතරත් (එය අසාධාරණයක් කියා ගත්තොත්- මම ඒ ගැන එසේම හිතන්නේ නැහැ) පිටපළාත් වලින් කොළඹට පැමිණි විශාල ප්‍රතිශතයක් සිටින බව මගේ අදහසයි. ඒ නිසා මේ ගැන එතරම් පහසුවෙන් නිගමනයකට එන්න බැහැ. හැබැයි දැන් තිබෙන ක්‍රමය හොඳම ක්‍රමය නොවන බවනම් පැහැදිලියි.

      Delete
    2. ශිෂ්‍තත්වය සමත් වෙලා කොලඹට ඵන බහුතරයක් කූසලතා කෝටා එකෙන් යනවා කියලා පිලි ගන්න අමාරුයි. සෑහෙන පිරිසක් දිස්ත්‍රික් ඡන අනුපාත කෝටා එකට තමයි අහුවෙන්නෙ. කොලඹ සහ ගම්පහ Z ලකුණු පරතරයක් බැලුවහම මේක පැහැදිලි වෙනවා.

      Delete
    3. ඔබේ තර්කය පදනම් වන්නේ සරසවි ප්‍රවේශය සිදුවිය යුත්තේ දිස්ත්‍රික්කයේ ජනගහණ අනුපාතය අනුව යන්න මතයි. එසේ නැත්නම් දිස්ත්‍රික් කෝටා කියා දෙයක් අර්ථ දැක්විය නොහැකියි. කොළඹ දිස්ත්‍රික්කයේ ජන අනුපාතය ලංකාවෙන් 11.4%ක්. මේ පදනම මත සැලකුවොත්, වෛද්‍යපීඨ පුරප්පාඩු 144ක් පමණ කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට හිමි විය යුතුයි. කොළඹින් වෛද්‍ය පීඨයකට තේරෙන ප්‍රමාණය 225ක් පමණ. මේ අයගෙන් 81කට වඩා පිටපළාත් වල අයනම් ඔබේ තර්කය නිවැරදියි. එය එසේ වෙන්න ඉඩ තිබෙන නිසා මේ පදනම මත බැලුවත් කොළඹට කිසියම් අවාසියක් වෙනවා. නමුත් අමතර දත්ත නැතිව ගණන නිවැරදිව ඇස්තමේන්තු කරන්න අමාරුයි. කුසලතා පදනම අනුව බැලුවොත් පවතින ක්‍රමය නිසා කොළඹ දිස්ත්‍රික්කයේ 33-50 අතර සිසුන් ප්‍රමාණයකට වෛද්‍ය පීඨයකට යාමේ අවස්ථාව නැති වෙනවා. මේ ගණන බොහෝ විට 40කට ආසන්න විය හැකියි.

      Delete
    4. ඔබ කියන ගම්පහ සමඟ කරන සන්සන්දනයත් නරක එකක් නෙමෙයි. ඒ පදනම මත බැලුවොත් කොළඹ දිස්ත්‍රික්කයේ 50-55 අතර ප්‍රමාණයකට වෛද්‍ය පීඨයකට යාමේ අවස්ථාව අහිමි වන බව කිව හැකියි.

      Delete
    5. ඔබ ඉවත් කළ ප්‍රතිචාරයේ ඇති කරුණ ගැන (එය තිබුණත් වරදක් නැහැ). මම මෙහිදී කතා කළේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ 55% දිස්ත්‍රික් කෝටාව ගැන නෙමෙයි. ඔබ ඉවත් කළ කමෙන්ට් එකේ සඳහන් කර තිබුණු පරිදිම කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඒ කෝටාව පිළිවෙළින් 76ක් හා 75ක්. මේ පවතින ක්‍රමය අහඹු ක්‍රමයක් නිසා, ඒ ක්‍රමය මත තීරණය වන මේ සංඛ්‍යා ගැන කතා කිරීම එතරම්ම තේරුමක් නැහැ. මම උඩින් පළමුව කතා කළේ ලංකාවම 100%ක් කුසලතා ක්‍රමයට යාමට සාපේක්ෂව. දෙවනුව කතා කළේ (ඉගෙන ගන්නා පාසැල අනුව නොව) නියම පදිංචිය මත 100%ක් දිස්ත්‍රික් ක්‍රමයට යාමට සාපේක්ෂව.

      Delete
    6. දිස්ත්‍රක් කෝටා ක්‍රමයේ බලපෑම ගැන වඩා හොඳ කොමෙන්ට් එකක් දන්න තමයි එය ඉවත් කලේ නමුත් මට එයට වෙලාවක් නැතිව ගියා. අපි පදිංචි කොලඹ දිස්ත්‍රක්කයේ මගේ පුතා යන්නේ කොළබ ප්‍රධාන පාසලකට එයාගේ පංතියේ සෑහෙන ළමයි පිරිසක් ඉන්නවා කැළණි පාලමෙන් එහා පැත්තේ(ගම්පහ දිස්ත්‍රක්කය) පදිංචි ඒකට හේතුව ගම්පහට වඩා කොළඹ පාසල් "ජනප්‍රිය" වීම නිසා වෙන්න පුළුවන් . ඉතිං ඒ ළමයි කවදාහරි විශ්ව විද්‍යාලයට තෝරාගන්නා දවසට කොළඹ ළමයෙක් විදියට තමයි සැලකෙන්නේ.
      කොළඹ, ගම්පහ කීවට අපි මතක තියා ගන්න ඕන මීරිගම චහේ අෑත නගර ගම්පහට අයිතිවෙන බවත් , පාදුක්ක , අවිස්සාවේල්ල වගේ සුළු නගර කොළඹට අයිතිවෙන බවත්.

      Delete
    7. මම හිතන්නේ ඔබ කියන පළමු කරුණ ගම්පහ දිස්ත්‍රික්කයේ අවම z-ලකුණ පහත වැටීමට හේතු වෙනවා ඇති. මගේ උඩ දෙවෙනි කමෙන්ට් එකේ ඇති 50-55 අධි තක්සේරුවක් වන්නේ ඒ නිසයි. ඔබ කියන අයුරින් කොළඹට එන ගම්පහ සිසුන් ගම්පහම සිටියානම් ගම්පහ අවම ලකුණ දැනට වඩා වැඩි එකක් වන නිසා කොළඹ ලකුණ ඒ මට්ටමට වැටීම ගැන කතා කිරීම හොඳ සංසන්දනයක් නෙමෙයි. එසේ නොවුනානම් මෙය අතරමැද අගයකයි සෙට්ල් වෙන්නේ. මෙය අනෙක් දිස්ත්‍රික් වලටත් අදාළයි. දිස්ත්‍රික් ක්‍රමය නිසා වෛද්‍ය පීඨයට යන්න නොලැබෙන කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් ගණන පිළිබඳ තක්සේරුවේ අවම හා උපරිම සීමා වන්නේ 33 හා 50. 33 කියන්නේ කොළඹින් යන දන්ත වෛද්‍ය පීඨ සිසුන් ගණන. 50 කියන්නේ එයට පශු වෛද්‍ය සිසුන් (17) එකතු කළ විට ගණන. කොළඹ දන්ත වෛද්‍ය අවම ලකුණ දිස්ත්‍රික් කෝටා නොතිබුණානම් තිබිය හැකිව තිබුණු වෛද්‍ය පීඨ අවම ලකුණට වඩා වැඩියි. ඒත්, පශු වෛද්‍ය අවම ලකුණ ඊට අඩුයි. මෙය ගාල්ල, මාතර, මහනුවර දිස්ත්‍රික්ක වලත් සිදු වෙනවා.

      දෙවන කරුණත් වැදගත් කරුණක්. මෙයත් රට පුරාම සිදුවන දෙයක්. රටේ හැම දිස්ත්‍රික්කයකම වාගේ ප්‍රධාන නගරය හා ප්‍රත්‍යන්ත නගර අතර ඇති වෙනස්කම් දිස්ත්‍රික්ක අතර ඇති වෙනස්කම් වලට වඩා ගොඩක් වැඩියි. විශාලම අසාධාරණය තිබෙන්නේ එතැනයි.

      Delete
    8. //දිස්ත්‍රික් කෝටා එක ආවෙ යාපනේ දෙමළ බහුතරයක් විශ්ව විද්‍යාලෙ එන එක අඩු කරන්න. ඒත් ඒකෙන් අවාසිය වුණේ නගරබද විශේෂයෙන් කොළඹ දිස්තික්කයේ ළමයිට. ශිෂ්‍යත්වෙ සමත් වෙලා කොළඹ ඇවිත් ඉගෙන ගන්න ළමයිව අයත් වෙන්නෙත් කොළඹ ජනගහණයෙ කෝටා එකට. ඒත් ඒ අය ඇත්තටම පදිංචි වෙනත් දිස්ත්‍රික්කයක. දක්ෂ ළමයි ශිෂ්‍යත්වෙ සමත් වෙලා කොළඹ ඒම නිසා ඒ දිස්ත්‍රික්කවලින් ඉවත් වෙනකොට, ඒවල ඉන්න අදක්ෂයො දිස්ත්‍රික් කෝටා එකෙන් විශ්ව විද්‍යාලෙ යනවා. මේක අසාධාරණ ක්‍රමයක්, නමුත් කවුරුත් වෙනස් කරන්න යන්නෙ නෑ, දෙමළ ප්‍රශ්නෙ නිසා. //ශිස්යත්වය සමත්වෙලා එන ළමයින්ට පමණක් නොවේ, ඔය ක්‍රමයකොළඹ ඇති කිඩ පාසල් වල ළමයින්ටත් වුනේ අසාධාරණයක්.

      Delete
  8. ලංකාවේ පාසල් සමාන නැහැ. ශිෂ්‍යත්වය පාස් වෙලා ගියාම ඒ ළමයට උගන්වන්නේ උපාධිධාරි ගුරුවරු. ගමේ ළමයාට එහෙම නැහැ. පාසල් වල පහසුකම් තියෙනවා. ඉගන ගන්න හොඳ වටපිටවක් හැදෙනවා. හරියට පොතක් නැති පාසල් නම් කියක් තියෙනවාද? හරියට නොතෙරෙන වයසක ඉන්න ළමයෙකුට විභාගයක් තියලා අසමත්නම් ඒ ළමයට එතනිනි එහාට ගොඩ එන්න හරි අමරුයි. ලංකාවේ ඔක්කොටම කලින් ළඟම පාසල හොඳම පාසල කල යුතුයි.,

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. නිදහස් අධ්‍යාපනය කියා කිවුවට පාසැල් අධ්‍යාපනය තුළ සියල්ලන්ටම සමාන අවස්ථා ලැබෙන්නේ නැහැ. දිස්ත්‍රික් කෝටා ක්‍රමය දශක ගණනක් තිබීමේ හොඳ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාදේශීය නගර වල ප්‍රධාන පාසැල් කොළඹ ප්‍රධාන පාසැල් වල මට්ටම කිට්ටුවට පැමිණ තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රාදේශීය නගර වල ප්‍රධාන පාසැල් හා අනෙකුත් පාසැල් අතර පරතරය පුළුල් වී තිබෙනවා. මෙය නැති කළ යුතුයි.

      Delete
  9. මගේ බිරිඳ රජයේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුවියක්. අවසන් වසරේ ඉන්නේ දැන්. ඒත් දැන් ඇය මාස 6 ක් තිස්සේ ගෙදර. ඇයගේ මිතුරු මිතුරියන් බොහොමයක් දෙනා මා දන්නා හදුනනවා. ඒ අනුව මා නිරීක්ෂණය කල දෙයක් තියෙනවා. එනම් කොළඹ නගරයේ පාසැල් වල අධ්‍යාපනය ලබා, දැන් රජයේ වෛද්‍ය විද්‍යාල වල අධ්‍යාපනය ලබන සිසුවියන්, සිසුන් අති බහුතරය පුද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනවට විරුද්ධ නෑ. මගේ බිරිය උනත් සයිටම් විරෝධී රැස්වීම් වලට සහභාගී වී නිවසට පැමිණියාම මාත් එක්ක කියන්නේ අපේ ළමයෙක් උනත් මෙව්වට දාගන්න පුළුවන් නේද අනාගතයේ කියායි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ මට පිළිගත හැකියි. සමහර වෙලාවට තමන්ගේ හෘද සාක්ෂියට විරුද්ධව කටයුතු කරන්න සිදුවෙනවා.

      Delete
  10. කොතලාවල වෛද්‍ය උපාධියේ පාඨමාලා ගාස්තු වල මිල සඳහන් කරන්න භාවිත කල මුලාශ්‍ර මොනවද ? ලිඛිත ඉලෙක්ට්‍රොනික මුලාශ්‍ර තිබෙනවද ?

    ReplyDelete
    Replies
    1. http://www.kdu.ac.lk/wp-content/uploads/2016/12/Final.pdf

      හයවන පිටුව බලන්න. (අවසාන පිටුවට පෙර පිටුව)

      ඔබට අවශ්‍ය තොරතුර ඉහත මූලාශ්‍රයේ තිබෙනවා. එහෙත්, මෙය මම දින කිහිපයකට පෙර කියවූ විස්තරාත්මක ලේඛණය නෙමෙයි. එය වෛද්‍ය උපාධිය සඳහා අය කරන ගාස්තු පමණක් තිබුණු හා විදේශ සිසුන් බඳවා ගැනීමට හේතුව විස්තර කෙරුණු වෙනත් ලියවිල්ලක්. දැන් සර්ච් කළාට එය හමුවන්නේ නැහැ.

      Delete
  11. දීර්ඝ ලිපියක්. සයිටම් පිහිටුවීම පිළිබඳව මට තද අදහසක් නැහැ. පිහිටෙව්වොත් එක යම් පිරිසකට හොඳයි. ඒ වගේම එංගලන්තය වගේ රටවලින් පවා ඉගෙන ගන්න එයි තත්වයෙන් උසස් නම්.

    ReplyDelete
  12. ඔයා ලිපි දමන වේගයට පිළිතුරු ලිවීමට විවේකයක් සොයා ගැනීමට ඉතාම අපහසුයි. නමුත් මම පොරොන්දුවූ විදිහටම මේ සම්බන්ධව මගේ මතය ප්‍රකාශ කළ යුතුයි. මුලින් ලියූ ලිපි සහ අනිත් blog එකේ ලිපි සියල්ලටමත් උත්තර දීමට ගියොත් මටත් blog එකක් ලියන්ඩ වෙයි. මේ මගේ අවසාන පිළිතුරු බැඳීමයි.
    ඔබ මෙය සම්පූර්ණ සත්‍යය කරුණු මතම පදනම්වී මධ්‍යස්තව ලිවීමට උත්සාහ කිරීම පිළිබදව මම සතුටු වෙනවා. නමුත් පහත තිබෙන සමහර කරුණු සමග මම එකග වන අතර, සමහරකට විරුද්ධයි. විශේෂයෙන්ම උසස් පෙළ විභාගය පිළිබදව ඔබ ඉදිරිපත් කරන වාර්තා, විවි ශ්‍රේණිගත කිරීම පිළිබදව, දිස්ත්‍රික් කෝටාව පිළිබදව කතා කල යුතුමයි. මොකද විවිධ මිත්‍යා විශ්වාස මේ සම්බන්ධව සමාජයේ තිබෙන නිසා.මෙයින් දිස්ත්‍රික් කෝටාව පිළිබදව ඔබගේ ගණනය ඉතාම විද්‍යානුකූලව පහදා තිබෙනවා. ඉංජිනේරුවරයෙකු ආර්ථික විශේෂඥ වරයෙකු වීමේ වැදගත්කම පේනවා.

    #
    # දැනට සිදුකර ඇති පර්යේෂණ අධ්‍යයන කිහිපයම පෙන්වා දෙන්නේ උසස්පෙළ ලකුණු වෛද්‍ය විද්‍යාල පාඨමාලාවක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට ඇති හැකියාව පිළිබඳ ඉතා දුර්වල නිර්ණායකයක් බවයි.#

    # ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින්ම ඇති#

    # ක්‍රීඩා හෝ කලා කටයුතු වල සුවිශේෂී දක්ෂතා දැක්වීම, ආබාධිතයෙකු වීම, ආරක්ෂක හමුදා සාමාජිකයෙකු වීම, විදේශ උපාධියක් ලබා තිබීම වැනි කරුණු සලකමින් රජයේ වෛද්‍ය විද්‍යාල වල පුරප්පාඩු වලින් 2.5%ක් පුරවන අතර සංඛ්‍යාත්මකව වසරකට 32කට ආසන්න පිරිසක් මෙවැනි අඩු පාරදෘශ්‍ය ක්‍රම වලින් රජයේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වෙති.#

    # මේ වන විට ක්‍රියාත්මක වන බඳවා ගැනීමේ පටිපාටිය අනුව, වෛද්‍ය පීඨ වලට ඇතුළු වන සිසුන්ගෙන් 70-80% අතර ප්‍රමාණයක් ඒ සඳහා සුදුසුකම් ලබන්නේ තනිකරම z-ස්කෝර් අගය මත පදනම්වය.#
    # මේ සරසවි තුනට ඇතුළු වන මුළු වෛද්‍ය සිසුන් ගණනද 31.2%ක් නිසා එය දිස්ත්‍රික් ක්‍රමයේ වාසිය ලබන සිසුන් ප්‍රතිශතයේ උපරිම සීමාවයි. සැබෑ ගණන 20-30% අතර ප්‍රමාණයක් විය යුතුය.#
    # පුරප්පාඩු සියල්ල දිස්ත්‍රික් පදනම නොසලකමින් z-ස්කෝර් අගය මත පමණක් පදනම්ව පිරවූයේනම් රජයේ කිසියම් වෛද්‍ය පීඨයකට ඇතුළු වීමේ අවස්ථාව හිමි වන්නේ (මගේ ගණනය කිරීම් අනුව) 1.9285ක අවම z-ස්කෝර් අගයක් ලබාගන්නා සිසුන්ට පමණි.## දිස්ත්‍රික් කෝටා ක්‍රමය අහෝසි නොකළද තවත් වසර හත අටක් යන විට සරසවි ප්‍රවේශයේදී එහි බලපෑමක් නැති වී යන්නට ඉඩ තිබේ.#
    #

    නමුත් මට දීර්ඝ පිළිතුරක් ලිවීමට නොහැකි නිසා කරුණු දෙකක් ගැන විශේෂයෙන්ම ලිවීමට හිතුවා.

    1. විශ්ව විද්‍යාලයක අධ්‍යාපනයේ ගුණාත්මක භාවය

    2. ආර්ථික විද්‍යා මූල ධර්ම ආධාරයෙන් උසස් අධ්‍යාපනය ගැන ඔබ වැනි අපක්ෂපාති කෙනෙක් කරන විග්‍රහය. මෙය තමයි ඉතාම හානිදායක. මොකද රොහාන් සමරජීව කියනවට වඩා එය වෙනස්.

    ReplyDelete
  13. 1. ගුණාත්මක භව

    ඔයා මෙහෙම කියනවා.

    #විශ්ව විද්‍යාලයක ගුණාත්මක භාවය මැනීමේදී ප්‍රධානම නිර්ණායකයක් වන්නේ එහි සේවය කරන අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රවීනතාවයයි. එයට අමතරව සිසුන්ගේ තත්ත්වයද සැලකිල්ලට ගැනේ. වෛද්‍ය විද්‍යාලයක ගුණාත්මක භාවය පහත වැටීම මූලික වශයෙන්ම බලපාන්නේ එහි ඉගෙන ගන්නා සිසුන්ටය#

    මම විශ්වාස කරන්නේ විවියක ගුණාත්මක භාවය මැනීමට
    1. සිසුන්ගේ සුදුසුකම.
    2. ආයතනයේ ගුණාත්මකභව-අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ප්‍රවීනතාවය හා එහි සියලුම සම්පත්.
    3. විභාගවල පාරදෳශ්‍යය බව හා ගුණාත්මක බව.

    මා දන්නා හා අධ්‍යයන කර ඇති කරුණුවලට අනුව සයිටම්හි මෙම සියලුම අංශ ඉතාම දුර්වලයි. රජයේ විවි තුනක ගුණාත්මක භාවය ඉතාම පහළ අඩියක තිබෙන බව , විශේෂයෙන්ම සයිටම් වලටත් වඩා දුර්වලයි කීම බොහෝ දෙනෙක් කරන්නේ වෛද්‍යය අධ්‍යාපනය ගැන කිසිම දැනුමක් නොමැතිව. සමහරු වෙනත් යටි අරමුණු ඇතිව.
    ගුණාත්මක භාවය පහත වැටීම සිසුන්ට බලපාන්නේ ඔවුන්ගේ අරමුණු අනුවයි. ඔබගේ උපකල්පනය සාමාන්‍යය පසුගාමී සමාජයක වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව නම් සිදුවීමට ඉතාම අඩු සම්බාවිතාවයක් තමයි තියෙන්නේ( ඔයා මෙහෙමත් කියනවා #කෙසේ වුවද ලංකාව වැනි රටක "හොර වෙද්දුන්ටත්" ඉල්ලුමක් තිබේ#). ඒ සම්බන්ධව මම පසුව කතා කරන්නම්.

    #සයිටම් ආයතනය ආරම්භයේදී එහි පරිපාලකයින් විසින් සිය ආචාර්ය මණ්ඩලයේ ගුණාත්මක භාවය පවත්වාගෙන යාම සඳහා සැලකිය යුතු උත්සාහයක් දරා තිබෙන බව පැහැදිලිය. මේ අතින් සයිටම් වෛද්‍ය පීඨය සිටින්නේ අඩු වශයෙන් යාපනය, රජරට හා නැගෙනහිර විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ වලට වඩා ඉදිරියෙනි.#
    මෙය ඔබ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය පිළිබදව කරුණු අධ්‍යයන කිරීමෙන් තොරව දේශපාලකයන් මෙන් සමහර කරුණු පමණක් බලා කරන ප්‍රකාශයක්.සාමාන්‍යයෙන් වෛද්‍ය අධ්‍යාපනයේ අවුරුදු පහෙන් තුනක්ම අපි ලබන්නේ රෝහලක ලෙඩුන් හා වෛද්‍යවරු සමගයි. ඉතින් ඉහත නම්කල විවි තුනේ රෝහල් තුන තුල consultants, acting consultants, senior registrar, registrar, SHO, HO වැනි විවිධ වෛද්‍යවරු විවිධ තලවල සිට සිසුන්ට පුහුණු වීම් කරනවා. මෙම පිරිස ඉතාම විශාලයි ඔබ නම් කල ශික්ෂණ රෝහල් තුනේ. උදාහරණයක් විදිහට අනුරාධපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුම 70 ක් පමණ සිටිනවා. ඔවුන් ඉගැන්වීම ගරු සේවයක් විදිහට කරන්නේ. කිසිම ගෙවීමක් නැහැ. සයිටම් රෝහලේ ලියා පදිංචි වෛද්‍යවරු ඉතාම සුළු ප්‍රමාණයක් තමයි සිටින්නේ. සයිටම්හි මම දන්නා කරුණක් කියන්නම්, මගේ බැචියක් විදේශ පුහුණුවට ගොස් එම රටේ නතර වුනා. නමුත් ඇගේ දියණිය එහි සිටීමට බැහැයි කී නිසා ඇය ලංකාවට පැමිණ සයිටම්වලට සම්බන්ධ වීමට බැලුවා. නමුත් ඔවුන් ප්‍රකාශ කලේ ඇගේ වාට්ටුවේ ඇය පමණක් සිටින බවත් සියලුම රෝගීන් ඇතුළත් කිරීමකදී ඇය මුලින්ම පැමිණ රෝගියා පරීක්ෂා කල යුතු බවත්ය. අපි මෙයට කියනවා first on call කියලා. සාමාන්‍යයෙන් රජයේ රෝහලක මෙය සිදුවෙන්නේ අනිත් පිළිවෙලටයි, HO, SHO, REGISTRAR, SR, ACTING CONSULTANT, CONSULTANT. එයින් පෙනෙන්නේ ඔවුන්ගේ සම්පත් දුර්වලතාවයයි. අනික අපි වෛද්‍යය විද්‍යාලයකදී කරන්නේ ඉතාම කාර්යක්ෂම HO වරයෙකු සැදීමට පුහුණු කිරීමයි. ඒ සදහා HO වරයෙකු වාට්ටුවේ සිටිය යුතුමයි.
    අනිත් කරුණ නම් ආයතනයේ සම්පත් වලින් වෛද්‍යය විදුහලක තිබිය යුතු වැදගත්ම එක වන රෝගීන්. අනික රජරට, උතුර හා නැගෙනහිර රෝහල් අවුරුදු ගණනක් තිස්සේ විකාශණය වී, ලෝකයේ තිබෙන ඉහලම ශික්ෂණ රෝහලක සිටිය යුතු රෝගීන් විවිධත්වයකින් හා ඝනත්වයකින් යුතුව පවතින රොහල් තුනකි.
    ආචාර්ය මණ්ඩලය ගැනත් එසේමයි. ඔවුන්ගේ ආචාර්යවරුන් බහුතරයක් - senior lecturer අපගේ විවි වලින් හෝ රෝහල් වලින් විශ්‍රාම ගිය පුද්ගලයින්. සමහරු ඔවුන්ට විවි දී සිටින විට chair එකට ලැබුණු මහාචාර්ය කියන නාමය භාවිතා කරනවා. සමහරුන්ට විශේෂයෙන්ම අපගේ රෝහල් වලින් විශ්‍රාම ගිය විශේෂඥ වරුනට සයිටම් ආයතනයම මහාචාර්ය තනතුර දීලා තියෙනවා. සමහරු තවම අපගේ රෝහල් වල වැඩ කරන නමුත් ඔවුන්ගේ දරුවන් එහි ඉගෙන ගන්නා වෛද්‍යවරු ඔවුන් එහි උගන්වන අතර ඔවුන්ටත් මහාචාර්ය තනතුරු දීලා තියෙනවා. අපගේ රජයේ විවි වල මහාචාර්ය තනතුරු දෙන ක්‍රියා පිලිවෙලක් තියෙනවා. සයිටම් වලට එහෙම කිසිම සම්ප්‍රදායක් නැහැ. අනිත් කරුණ මෙය විවි ශ්‍රේණිගත කිරීමට , විශේෂයෙන්ම පර්යේෂණ වලට වැදගත් මුත් එයින් ඉගැන්වීමට හා අධ්‍යාපනයේ ගුණාත්මක භව මැන බැලීමට යොදා ගැනෙන්නේ නැහැ.
    ඔවුන්ගේ කණිෂ්ඨ අධ්‍යයන කාර්ය මණ්ඩලය බහුතරයක් ලංකාවේ ලියා පදිංචි වෛද්‍යවරු නෙවෙයි.

    ReplyDelete
  14. සිසුන්ගේ අරමුණු විවිධයි. ඒ අනුව ඔවුන් බලාපොරොත්තු වෙන දේත් විවිධයි. පැහැදිලිවම මුදල් ඔවුන්ට ( සයිටම් සිසුන්ට හා දෙමව්පියන්ට) ගැටලුවක් නෙවෙයි. මොකද මෙයට වඩා අඩුවට ඔවුන්ට සහතිකය වෙන පිටරට විවි වලින් ලබා ගත හැකියි. ඒ වගේම බහුතරයකට ගුණාත්මක භව අවශ්‍යතාවයක් නෙවෙයි. මොකද ඔවුන් දන්නවා මෙහි අඩුපාඩු සහ මෙහි පිලිගැනීමක් නැති බව ඇතුලත් කිරීමට පෙරම.අනික බහුතරයකට ගුණාත්මකභව අවශ්‍යනම් ලෝකයේ ඉදිරියෙන්ම තිබෙන විවි වලට ඔවුන්ට යෑමට අවශ්‍ය මුදල( ඔවුන් කියන විදිහට ඔවුන්ගේ සුදුසුකම් ඉතා හොඳනම්) ඔවුනට ගැටලුවක් නෙවෙයි.
    එමනිසා ගුණාත්මකභාවය පහත වැටීම මම හිතන්නෑ සිසුන් හා දෙමව්පියන් ලොකුවට හිතනවා කියා. ඔවුනට උවමනා සහතිකයක්. නමුත් එහි රටේ පිළිගත්බාවය බලෙන් තමා ලබා ගන්ඩ හදන්නේ.
    සහතිකය උවමනා අරමුණ විවිධයි. එය නිවරැදිවම කිය හැක්කේ එහි සංයුතිය අධ්‍යයන කිරීමෙන්. නමුත් එයින් ඉතාම තීරණාත්මක හා වැදගත් කොටසකට නම් එය උවමනා වෛද්‍යවරයෙකු ලෙස වැඩ කිරීමට නොව එය දේශපාලන ආභරණයක් කර ගැනීමට සහ දේශපාලනයේ උඩට නැගීමට. දැනටමත් එහෙම කොටසක් නීති, වෛද්‍ය සහ අනිකුත් අංශවල සිටින අතර එය තමා රටෙහි අනාගතයට දරුණුවටම බලපාන්නේ. මොකද ඔවුන් තමා එම අංශ පිළිබදව කිසිම අවබෝධයක් නැතිව අනාගතයේ අපේ රටේ එම අංශවල සංවර්ධන ක්‍රියා මාර්ග පිළිබදව නීති සැකසීමට නියමිත.


    ReplyDelete
  15. 2. ඔබගේ න්‍යායාත්මක විග්‍රහය

    මෙයට පිවිසීමට පෙර අධ්‍යාපනය ගැන ලෝක පිළිගත් මතවාදය ගැන විමසමු. ලෝකය පිළිගන්නවා උසස් අධ්‍යාපනය මූලික මිනිස් අයිතිවාසිකමක් විදිහට. මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබද විශ්වීය ප්‍රකාශණයට අනුව අධ්‍යාපනයේ නිදහස කියන්නේ අධ්‍යාපනය හැදෑරීම සෑම අතින්ම නිදහස්ව, කිසිම බාදා කිරීමකින් තොරව, දක්ෂතාවය, හැකියාව, උත්සාහය, කැපවීම සහ සාධාරනත්වය මත පමණක්ම සිදුවිය යුතු බවයි. එය කෙනෙකුගේ ජාතිය, ලිංගිකත්වය, ආගම, භාෂාව කුලය, සමාජ පසුබිම, දෙමව්පියන්ගේ රැකියාව, ආර්ථික හා සංස්කෘතික කරුණු අනුව තීරණය නොවිය යුතුයි.

    ඔබ නම් කරන නව ලිබරල් ආර්ථිකය ක්‍රියාත්මක කරන සියලුම රටවල් මෙය උල්ලංගනය නොකිරීමට අවශ්‍ය පියවර ගන්නවා. අපේ රටෙත් අධ්‍යාපනයේ නිදහස සාධාරණව ක්‍රියාත්මක උවහොත් මම හිතන්නෑ කවුරුවත් විරුද්ධ වේයැයි කියා.

    # සයිටම් යනු ලංකාවේ ඇති සියලු ප්‍රශ්න වලට විසඳුමක් නොවේ. ඒ හේතුවෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට සැලසෙන අමුතු යහපතක් නැත. එහෙත්, සිදුවන අයහපතක්ද නැත. එහෙත්, සීමිත පිරිසකට එයින් යහපතක් සැලසේ. එය වැළැක්වීමේ කිසිදු සාධාරණත්වයක් නැත.#

    මෙය සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්. මෙයින් රටෙහි සීමිත පිරිසකට යහපතක් කිරීමට ගොස් රටෙහි සමස්ත ජනතාවගේම මූලික මිනිස් අයිතිවාසිකමක් උල්ලංගනය කරයි. එයට රටෙහි සියලුම ජනතාව විරුද්ධ විය යුතුයි හා එය වැලැක්වීමට සියලුම සංවිධාන එකට එකතු කල යුතුයි. කවුරු හෝ එය කුහක කමැකයි කියා නම් කලොත් ඔහුගේ හෝ ඇයගේ මානසික තත්වය පරික්ෂා කල යුතුයි.

    දෙවනුව ඔබ සෛද්ධාන්තික කරුණු මත වෛද්‍යය අධ්‍යාපනය පහදන්ට යනවිට මට මතක් වෙන්නේ උසස් පෙලදි ඉගෙන ගත් ස.උ.පී. දි කියන අවස්ථාව. බොහෝ නියමයන් අපි යොදන්නේ එහෙම උපකල්පනයක් කරලා. ඔබේ වෙළද පොල නියමයන් වෛද්‍ය අධ්‍යාපනයට යොදනකොටත් ඒ වගේම දූෂණයෙන්, වංචාවෙන්, හොරකමෙන්, බලපෑම්වලින් හා ඇඟිළි ගැසීම් වලින් තොර පාලනයක් හා ඒවට අනුබල නොදෙන සමාජයක් සිටිය යුතුයි කියා යෙදිය යුතුයි. මම එහෙම ලිච්චවී පාලනයක් සහිත කේතුමති පුරයක් බලාගෙන සිටිමි.
    ඔබ ඉල්ලුමට අනුව සැපයුම තුලනය වෙනවයි කියන ඔබ අදහන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රටවල් අයත් OECD සංවිධානයේ වෛද්‍යය අධ්‍යාපනය පිළිබද දත්තවලට අනුවනම් ඔවුන් අනුගමනය කරන්නේ වෙනත් ක්‍රම වේදයන්. ඔවුන් වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වන සිසුන් ප්‍රමාණය නිරතුරුවම numerus clausus( closed number ) කියන මූලධර්ම මත පාලනය කරනවා. මෙම පාලනයට විවිධ හේතු තියෙනවා.
    1. සිසුන් ප්‍රායෝගිකව පුහුණු කිරීමට ඇති සීමිත රෝහල් හා අනෙකුත් සීමිත පහසුකම්.
    2. වෛද්‍යය අධ්‍යාපනයට අධික ලෙස වියදම් කිරීමට සිදුවීම.
    3. අධික ලෙස වෛද්‍යය වෘත්තියට පුද්ගලයින් පැමිණිම වැලැක්වීමට. රැකියා නොමැති වෘත්තිකයින් සෑදිමට රටෙහි මුදල් අනවශ්‍ය ලෙස යෙදවීමෙන් හා ඉතා දීර්ඝ පාඨමාලාවකට අනවශ්‍ය ලෙස සිසුන් ඇතුළු කිරීමෙන් රටෙහි ආර්ථිකයට නරක ලෙස බලපෑම් කිරීම.

    එම රටවල් වල වෛද්‍ය අධ්‍යාපනයට වසරකට එකතු කරන සිසුන් ගණන හා මුළු සිසුන් ගණන අධ්‍යයනය කලොත් ලංකාව සිටින තැන නරක නැති බව ඕනෑම ආර්ථික විශේෂඥයෙකුට තේරෙනවා ඇති.

    ReplyDelete
  16. # වෛද්‍ය පීඨ අටේ ඇති ආසන්න වශයෙන් 1250ක් පමණ වන පුරප්පාඩු ගණනට තරඟ කරන ඉහත අවම සුදුසුකම් සපිරූ අයදුම්කරුවන් ගණන 25,000 ඉක්මවයි. ඒ නිසා, ඉහත වෛද්‍ය පීඨ අටෙන් එකකට ඇතුළු වීමේ අවස්ථාව හිමිවන්නේ ආසන්න වශයෙන් අයදුම්කරුවන්ගෙන් 5%කට පමණි.#

    අනිත් අතට ලංකාව ආර්ථික අතින් වර්ධනය නොවුනොත් අපි දැන් ඉන්නේ වෛද්‍ය සිසුන් පුහුණු කිරීමට හැකි උපරිමයට ලංවී.


    අනිත් කරුණ ඔබ නිතර කියන නිපුණත්වය ගැනත් හා තරඟය තුලින් සේවාවක ගුණාත්මකභාවය වැඩිවෙනවයි කීමත් විවාදිතයි. මෙයත් වෛද්‍ය පුහුණුවට යෙදෙන විට පසුගාමි සමාජයක ප්‍රායෝගිකව සිදුවෙන්නේ සිද්ධාන්තවල විස්තර කරන ආකාරයට නෙවෙයි. හොඳම උදාහරණය ඉන්දියාව.
    නිපුණත්වය අතවශ්‍යම වන රැකියාත් තිබෙනවා. ජනප්‍රියම උදාහරණය වන ගුවන් යානා නියමු පුහුණුව එවැන්නක්. මොකද ඔහුගේ ජීවිතයත් එම පුහුණුව මතම රඳා පවතින නිසා.
    නමුත් වෛද්‍ය පුහුණුවෙන් පසු බහුතරයක් බලාපොරොත්තු වෙන්නේ රස්සාවක් සඳහා සහතියක්. ලංකාවෙ බහුතරයක් මොන්ටිසෝරි පුහුණුවෙනුත් බලාපොරොත්තු වෙන්නෙත් සහතිකයක්. ඒකයි ඔවුන් එය තැපෑලෙන් ඉගෙන ගන්නේ.
    පුහුණුවෙන් පසු සහතිකයක් බලාපොරොත්තු වෙන පාඨමාලා තරඟයට යොමු කලවිට වෙළදපොල තුල හැසිරෙන විදිහ සාමාන්‍ය සමාජයක සම්පූර්ණයෙන්ම වෙනස්. නමුත් සමහර රැකියා එසැනින්ම නියාමනයට ලක්වෙනවා , විවිධ තලයන් තුල. නමුත් වෛද්‍ය වෘත්තිය හැසිරෙන ආකාරය හා නියාමනය වන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස්. මම හිතන්නේ සියලුම නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති පිලිගන්නා රටවල් මේ පිලිබදව අධ්‍යනය කර තියෙනවා.

    සහතියක් පමණක් උවමනාවූවිට ආයතනයට උවමනා අඩු වියදමකින් හා වැඩි ලාබයකින් සහතිකය දීමට. ශිෂ්‍යයාට හා දෙමව්පියන්ට උවමනා අඩු වියදමිකින්,අඩු කාලයකින්,ඉතාම ලේසියට, රිපීට් වෙන්නැතුව සහතිකය. හා ඔයා apply කරන්ඩ ඔයාගෙ ආර්ථික විද්‍යා දැනුම. ඒකයි විවාහවූ ළමයි පවා ඉතා වෙහෙසකර පාඨමාලාවක් SAITM හි ඉගන ගන්නේ. එතකොට ආයතන දෙකක් අතර තරගය වැඩිවූ විට ගුණාත්මකබව තව අඩු වෙනවා. ඉන්දියාවෙදි සිදුවූයේ සම්පූර්ණයෙන්ම මේ සිදුවීම. පොඩ්ඩක් කල්පනා කරන්ඩ ලංකාව ඉන්නේ දූෂණය හා වංචාව අතරින් ඉන්දියාවටත් වඩා පහල තැනක.

    # සයිටම් ආයතනය රජයේ වෛද්‍ය පීඨයක් කළොත් සිදුවන යහපත හෝ අයහපත කුමක්ද?#

    මේ ගැන නෙවෙයි අපි රටක් විදිහටයි හිතන්න ඕන. අපේ රටෙහි ආර්ථික තත්වය අනුව අපිට දරන්ඩ පුළුවන් වෛද්‍යවරු ගණන කොපමනද කියාය. අපි හිතන්න උවමනා අපේ රට මීට ඉස්සරහට ගැනීමට හැකි ක්‍රියා මාර්ග කුමක්ද කියායි. මම ඇමෙරිකාව බලවත් රාජ්‍යයක් බවට පත් කිරීමට මූලික වූ ප්‍රධාන පීතෘවරු සත් දෙනාගෙන් කනෙක් වන ජෝන් ඇඩම්ස් 1780 දී ලියන ලද ලිපියකින් අවසන් කරන්නම්. ' අද මම දේශපාලනය හා යුද්ධය ඉගෙන ගත යුතුව ඇත. එයින් මගේ පුතුන් ගණිතය හා දර්ශණය ඉගෙනගැනීමට අවශ්‍ය නිදහස ලබාගනු ඇත. මගේ පුතුන් ගණිතය, දර්ශනය, භූගෝල විද්‍යාව, ජීව විද්‍යාව, නාවික ඉංජිනේරු විද්‍යාව, නාවික ශාස්ත්‍රය, වාණිජ්‍ය හා කෘෂිකර්මය ඉගෙන ගත යුත්තේ ඔවුන්ගේ පුතුන්ට චිත්‍ර ශිල්පය, කාව්‍ය ශාස්ත්‍රය, සංගීතය, ගෘහ නිර්මාණ ශිල්පය, ප්‍රතිමා කලාව සහ ගෙත්තම් කලාව ඉගෙනගැනීමේ අයිතිවාසිකම් හිමිකර දෙනු පිනිසය.' මෙයින් ඔහු අවධාරණය කරන්නේ පලමුව දේශපාලන වශයෙන් ස්වාධීන හා ස්ථාවර රාජ්‍යයක් ගොඩනැංවීමයි. දෙවනුව එසේ ගොඩනගන රාජ්‍යය ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමයි. තුන්වෙනුව එම සමාජය සංස්කෘතික වශයෙන් පොහොසත් දියුණු සමාජයක් බවට පත් කිරීමයි.
    අපේ අවාසනාව කියන්නේ අපිට ඒ වගේ දැක්මක් ඇති නායකයන් හා නිලධාරින් නැති කමය.

    ReplyDelete
  17. දිගු පිළිතුරක් ලිවීමට කාලය වැය කිරීම ගැන ඉතාම ස්තුතියි! ඔබේ අවසන් පිළිතුරු බැඳීම කියා කියා තිබෙන නිසාත්, දිගින් දිගටම විශාල කාලයක් යොදවමින් නැවත නැවත මෙහි ප්‍රතිචාර දක්වන්න ඔබව පෙළඹවීම අසාධාරණ නිසාත් පහළින් ලියා ඇති හැම දෙයක් ගැනම කතා කරන්නේ නැහැ. අවශ්‍යයයි හිතුනොත් පසුව කරුණු කිහිපයක් ගැන පමණක් වැඩි පැහැදිලි කිරීමක් කරන්නම්.

    //නමුත් පහත තිබෙන සමහර කරුණු සමග මම එකග වන අතර, සමහරකට විරුද්ධයි.//
    ඔබේ උඩම කමෙන්ටුවේ ඇති ලැයිස්තුවේ # ලකුණු දමා ඇති කරුණු අතරින් ඔබ එකඟ නොවන ඒවා මොනවාද කියන එක පැහැදිලි නැහැ. මේ කරුණු වැඩි ගණනක් facts. ඔබ එකඟ නොවන ඒවා කිවුවොත් අදාළ මූලාශ්‍ර ඉදිරිපත් කළ හැකියි.

    ReplyDelete
  18. //මම විශ්වාස කරන්නේ විවියක ගුණාත්මක භාවය මැනීමට...//
    ඔබ ඉදිරිපත් කරන නිර්ණායක ගැන මගේ පෞද්ගලික විරුද්ධත්වයක් නැත. විවියක ගුණාත්මක භාවය මැනීම අසීරු හා සංකීර්ණ කටයුත්තකි. මගේ ප්‍රකාශය පදනම් වූයේ සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාල/ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී බොහෝ විට භාවිතා වන නිර්ණායක මතය. උදාහරණයක් ලෙස USNews නිර්ණායක පහත දැක්වේ. මේවා හොඳම හෝ එකම නිර්ණායක කියා මා කියන්නේ නැත.

    https://www.usnews.com/education/best-graduate-schools/articles/medical-schools-methodology?int=a6e809

    //මෙය ඔබ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය පිළිබදව කරුණු අධ්‍යයන කිරීමෙන් තොරව දේශපාලකයන් මෙන් සමහර කරුණු පමණක් බලා කරන ප්‍රකාශයක්//
    මෙයද වැරදි ප්‍රකාශයක් නොවේ. ඔබ පහලින් ඉදිරිපත් කර ඇති තොරතුරු නිවැරදි බව මට විශ්වාස කිරීම අපහසු නැත. එහෙත්, එසේ විශ්වාස කළද ඔබ ඔබේ දැනුම මත ඉදිරිපත් කරන කරුණු මත මට සංසන්දනාත්මක විග්‍රහයක් කළ නොහැකිය. කිසියම් ශ්‍රේණිගත කිරීමක් සඳහා තොරතුරු හොයන බාහිර පුද්ගලයෙකු විසින් බොහෝ විට එය කරන්නේ තමන්ට ලබා ගත හැකි සම්මත මූලාශ්‍ර වල ඇති කරුණු මතය. එහි අඩුපාඩු තිබෙන්නට පුළුවන. ඔබ ඉදිරිපත් කරන සංකීර්ණ කරුණු සියල්ල සලකමින් වඩා හොඳ සංසන්දනයක් කිරීම අදාළ සියලු දත්ත ලබා ගැනීමේ හැකියාව ඇති, එය තමන්ගේ වෘත්තීය වූ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්යවරුන් වැනි අය විසින් කළ යුතු කාර්යයකි. (ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව පෞද්ගලිකව මගේද ශාස්ත්‍රාලීය උනන්දුවක් ඇතත් එවැනි දෙයකට යොමු නොවන්නේ අවශ්‍ය දත්ත පහසුවෙන් ලබා ගත නොහැකි බැවිනි.)

    //සමහරු ඔවුන්ට විවි දී සිටින විට chair එකට ලැබුණු මහාචාර්ය කියන නාමය භාවිතා කරනවා.// සමහර අයට (විශේෂයෙන්ම රජයේ වෛද්‍ය පීඨ වල) මහාචාර්ය තනතුරු ලැබීමේ පදනම ගැන මට ගැටළුවක් තිබුණේය. ඔබේ කරුණු දැක්වීම එය පැහැදිලි කරයි. මහාචාර්ය තනතුරු දීමේදී සයිටම් නිර්ණායක රජයේ වෛද්‍ය විද්‍යාල වල නිර්ණායක වලට වඩා වෙනස් බවට ඔබ කරන ප්‍රකාශය පිළිගැනීමට මට අපහසුවක් නැත.

    //බහුතරයකට ගුණාත්මකභව අවශ්‍යනම් ලෝකයේ ඉදිරියෙන්ම තිබෙන විවි වලට ඔවුන්ට යෑමට අවශ්‍ය මුදල( ඔවුන් කියන විදිහට ඔවුන්ගේ සුදුසුකම් ඉතා හොඳනම්) ඔවුනට ගැටලුවක් නෙවෙයි.//
    මුදල් තිබුණා කියා මේ අයට ලෝකයේ ඉදිරියෙන්ම තිබෙන විවි වලට ඇතුළු වීමට නොහැකි බව අප දෙදෙනාම දන්නා පැහැදිලි කරුණකි. (රජයේ වෛද්‍ය පීඨ වලට ඇතුළු වන අයගෙන් විශාල පිරිසකටද මුදල් තිබුණත් එසේ ඇතුළු වීම පහසු නොවනු ඇත.) එහෙත්, ඔවුන්ට ඇතුළු විය හැකි වෙනත් වෛද්‍ය විද්‍යාල නැතැයි මා සිතන්නේ නැත. උදාහරණයක් ලෙස ඉන්දියාවේ හෝ වෙනත් දකුණු ආසියාතික රටක කිසියම් වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට සයිටම් සිසුන් වැඩි ගණනකට හැකියාවක් ඇති බව මගේ අදහසයි. ඔවුන්ගේ තීරණයට බොහෝ කරුණු හේතුවන අතර ගුණාත්මක භාවය ඒ අතරින් එකකි. අනිත් කරුණු සියල්ලම නොවෙනස්ව ඇත්නම් ගුණාත්මක භාවය වැඩි තැනට ඉල්ලුම වැඩි වේ.

    //සහතිකය උවමනා අරමුණ විවිධයි. එය නිවරැදිවම කිය හැක්කේ එහි සංයුතිය අධ්‍යයන කිරීමෙන්. නමුත් එයින් ඉතාම තීරණාත්මක හා වැදගත් කොටසකට නම් එය උවමනා වෛද්‍යවරයෙකු ලෙස වැඩ කිරීමට නොව එය දේශපාලන ආභරණයක් කර ගැනීමට සහ දේශපාලනයේ උඩට නැගීමට.//
    එවැනි කිසියම් පිරිසක්ද සිටින බවට ඔබ පළ කරන අදහසට මගේ විරුධත්වයක් නැත. ඉතා සීමිතව වුවත්, රජයේ වෛද්‍ය පීඨ වලද එවැනි අය සිටි බව අප දෙදෙනාම දන්නා කරුණකි. නීති ක්ෂේත්‍රයේ එවැනි අය විශාල පිරිසක් සිටිති.

    //මොකද ඔවුන් තමා එම අංශ පිළිබදව කිසිම අවබෝධයක් නැතිව අනාගතයේ අපේ රටේ එම අංශවල සංවර්ධන ක්‍රියා මාර්ග පිළිබදව නීති සැකසීමට නියමිත.//
    මෙය කිසියම් දුරකට මෙලෙස සිදුවිය හැකි වුවත් එය නරක දෙයක් කියා මා සිතන්නේ නැත. උදාහරණයක් ලෙස "බාල" වෛද්‍ය උපාධියක් කොහෙන් හෝ ලැබූ කෙනෙක් අටපාස් කෙනෙකුට වඩා සෞඛ්‍ය ඇමති ධුරයට සුදුසු බව මගේ අදහසයි. එවැන්නෙකු තමන්ගේ උපාධිය ගැන අධි තක්සේරුවක සිටිමින් "පණ්ඩිත වැඩ" කරන්නට ඉඩ ඇති බව ඇත්තකි. එහෙත්, එවැන්නෙකුගේ තීරණයක ඇති වැරැද්ද පෙන්වා දීම අටපාස් කෙනෙකුට එය පෙන්වා දෙනවාට වඩා පහසුය. නීති සකසන්නන් හිතුමතේට ක්‍රියා කිරීම ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයකි. සයිටම් තිබීම හෝ නැතිවීම මත ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත.

    ReplyDelete
  19. //අධ්‍යාපනය ගැන ලෝක පිළිගත් මතවාදය//
    ඔබ කියන Article 26 මම දේව වාක්‍යයක් මෙන් සලකන්නේ නැහැ. නමුත්, එය ලෝක පිළිගත් මතවාදය කියන එකේ වැරැද්දක් නැහැ. එහි කියන්නේ පහත කරුණු.
    -මූලික අධ්‍යාපනය අනිවාර්ය හා නොමිලේ විය යුතුයි
    -කුසලතාවය මත පදනම්ව උසස් අධ්‍යාපනය සඳහා සියල්ලන්ට සමාන අවස්ථා ලබා දිය යුතුයි
    -දරුවන්ට ලබා දිය යුතු අධ්‍යාපනය තීරණය කිරීම දෙමවුපියන්ගේ අයිතියක්

    මෙහි පදනම වන්නේ කිසියම් දරුවෙකු ඉපදෙන සමාජ ආර්ථික පදනම එම දරුවාගේ තෝරාගැනීමක් නොවීමයි. ඒ නිසා වැඩිහිටියෙකු නොවූ දරුවෙකුට අවස්ථා සීමා වනවානම් එහි වැරැද්දක් තිබෙනවා. ඒ වගේම දරුවෙකුට තමන්ට හොඳම දෙය තෝරා ගැනීමේ හැකියාවක් නැහැ. දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන් විසින් තීරණ ගැනීමේ පදනම එයයි. විශ්ව ප්‍රඥප්තියේ නැතත් දරුවන්ට ආහාර, සෞඛ්‍ය වැනි දේත් කිසියම් අවම මට්ටමකින්වත් ලැබිය යුතුයි කියා මම හිතනවා. ඒ තමන් ඉපදෙන තැන ඔවුන්ගේ තෝරාගැනීමක් නොවන නිසා. කෙසේ වුවත්, මෙසේ නොමිලේ බෙදා දීම සඳහා සම්පත් නොමිලේ ලැබෙන්නේ නැහැ. මේ පිරිවැය UN එකෙන් දරන්නෙත් නැහැ. පිරිවැය දැරිය යුත්තේ එක් එක් රටවල ආදායම් උපයන මිනිසුන් විසින්. එය ඔවුන් තමන්ගේ කැමැත්තෙන් කළ යුතු දෙයක්.

    ඔබ කියා ඇති පරිදිම, කෙනෙකුගේ "ජාතිය, ලිංගිකත්වය, ආගම, භාෂාව කුලය, සමාජ පසුබිම, දෙමව්පියන්ගේ රැකියාව, ආර්ථික හා සංස්කෘතික කරුණු අනුව" උසස් අධ්‍යාපන අවස්ථා තීරණය නොවිය යුතුයි. ඒ නිසා, කෙසේ හෝ පාඨමාලා ගාස්තුව ගෙවන්නට සූදානමින් සිටින (බැංකු ණය ගැනීමෙන් හෝ දේපොළක් උගස් තැබීමෙන් වැනි අයුරකින් කියමු) කුසලතාවය ඇති අඩු ආදායම් පවුලක සිසුවෙකු වෙනුවට කුසලතාවය අඩු "රෙඩි කෑෂ්" ගෙවන වැඩි ආදායම් සිසුවෙකු සයිටම් එකට තෝරා ගන්නවානම් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකියි. (ලංකාව වැනි රටක එහෙම දේවල් වෙන්න පුළුවන් තමයි) ඒ හැර තමන්ගේ පවුලේ ආර්ථික තත්ත්වය හේතුවෙන් කිසියම් තේරීමක් කරන්න නොහැකි වීම අධ්‍යාපනයේ හැම අදියරකදීම සිදුවන සාමාන්‍ය දෙයක්. අධ්‍යාපනය මුදල් අය නොකර ලබා දුන්නත්, අනිවාර්ය කළත් එය වලක්වන්න බැහැ. මේ ගැන වැඩි පැහැදිලි කිරීම් සහිතව ඉදිරියේදී පෝස්ට් එකක් දමන්න ඉන්නේ.

    //ඔවුන් වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වන සිසුන් ප්‍රමාණය නිරතුරුවම numerus clausus( closed number ) කියන මූලධර්ම මත පාලනය කරනවා. මෙම පාලනයට විවිධ හේතු තියෙනවා.
    1. සිසුන් ප්‍රායෝගිකව පුහුණු කිරීමට ඇති සීමිත රෝහල් හා අනෙකුත් සීමිත පහසුකම්.
    2. වෛද්‍යය අධ්‍යාපනයට අධික ලෙස වියදම් කිරීමට සිදුවීම.
    3. අධික ලෙස වෛද්‍යය වෘත්තියට පුද්ගලයින් පැමිණිම වැලැක්වීමට. රැකියා නොමැති වෘත්තිකයින් සෑදිමට රටෙහි මුදල් අනවශ්‍ය ලෙස යෙදවීමෙන් හා ඉතා දීර්ඝ පාඨමාලාවකට අනවශ්‍ය ලෙස සිසුන් ඇතුළු කිරීමෙන් රටෙහි ආර්ථිකයට නරක ලෙස බලපෑම් කිරීම.//

    ඔබේ ලැයිස්තුවේ ඇති ඉහත කරුණු අතරින් "අධික ලෙස වෛද්‍යය වෘත්තියට පුද්ගලයින් පැමිණිම වැලැක්වීමට" කියන එක හැර ඉතිරි සියල්ල ප්‍රශ්නයක් වෙන්නේ රජයේ වෛද්‍ය පීඨ හා අදාළවයි. සයිටම් එක නිසා ඒ එක දෙයක්වත් වෙන්නේ නැහැ. සයිටම් වලින් රටට ලැබෙන වාසිය ලෙස මම දකින්නේ ඒකයි.

    "අධික ලෙස වෛද්‍යය වෘත්තියට පුද්ගලයින් පැමිණිම" කියන කරුණ ගත්තොත්, මුදල් අය කරන වෛද්‍ය පීඨ නිසා එය සිදුවෙන්න කිසිම හැකියාවක් නැහැ. ලබාගන්නා උපාධිය ගෙවන මිලට නොවටිනා තරමට සැපයුම වැඩි වූ වහාම මුදල් අය කරන වෛද්‍ය පීඨයකට ඇති ඉල්ලුම අඩු වෙනවා. වෛද්‍යවරුන් ඕනෑවට වඩා වැඩි විය හැක්කේ නොමිලේ අධ්‍යපනය ලබා දීමේදී පමණයි. වසර ගණනක සිට ලන්ඩන් AL වැනි විභාග සමත් අයට ඩොලර් 60,000ක පාඨමාලා ගාස්තුවක් ගෙවා ලංකාවේ රජයේ වෛද්‍ය පීඨ වලට ඇතුළු විය හැකි බව ඔබ දන්නවා ඇතිනේ. පුරප්පාඩු ගණනින් 4.5% දක්වා මේ ක්‍රමයට පිරවීමට වෙන් කර ඇතත් සැබෑවටම පිරවී තිබෙන්නේ එයින් අඩක් පමණයි. එයින් පෙනෙන්නේ අවස්ථා තිබූ පමණින්ම මුදල් ගෙවා ඉගෙන ගන්න සිසුන් නොපැමිණෙන බවයි. මෙයට සයිටම් විරෝධීන් කියන නවක වද භීතිකාව වැඩි දේ මෙන්ම, ඔබ කියන සයිටම් වලට සාපේක්ෂව විභාග සමත්වීම අසීරුවීම වැනි දෙවර්ගයේම කරුණු හේතු වෙනවා ඇති.

    පෞද්ගලික වෛද්‍ය පීඨ නිසා ගුණාත්මක භාවය අඩුවෙන්න ඉඩ තිබෙන බව ඇත්ත. නියාමනය මඟින් එය පාලනය කළ හැකියි. ඔබ කියන numerus clausus මඟින් බොහෝ දුරට අපේක්ෂා කරන්නේ ස්වභාවික ඉල්ලුම ඇති ප්‍රමාණයටම වෛද්‍ය සැපයුම වැඩි වෙන්න ඉඩ නොදී, ගුණාත්මකභාවය සමතුලිත මට්ටමට වඩා තරමක් ඉහළින් තබා ගැනීමයි. එසේ කිරීමේ ලොකු ප්‍රශ්නයක් මම දකින්නේ නැහැ. එය කරන්න සයිටම් අහෝසි කළ යුතු නැහැ. කළ යුත්තේ වෛද්‍යවරයෙකුගේ ගුණාත්මක භාවය පිළිබඳ වාස්තවික නිර්ණායක *වෛද්‍යවරුන් විසින් එකතු වී* හැදීමයි.

    ReplyDelete
  20. //සහතියක් පමණක් උවමනාවූවිට ආයතනයට උවමනා අඩු වියදමකින් හා වැඩි ලාබයකින් සහතිකය දීමට. ශිෂ්‍යයාට හා දෙමව්පියන්ට උවමනා අඩු වියදමිකින්,අඩු කාලයකින්,ඉතාම ලේසියට, රිපීට් වෙන්නැතුව සහතිකය.//
    ඔබ කියන දේ සමඟ එකඟයි. නමුත්, සහතිකය සොයන්නේ එහි ආර්ථික වටිනාකමක් ඇති නිසයි. සහතිකයෙන් කළ හැකි දෙයක් නැත්නම් එය කඩදාසියක් පමණක් වෙනවා. බටහිර වෛද්‍යවරුන් තරඟකාරීන් සමඟ (දේශීය වෛද්‍යවරුන් වැනි) තරඟ කරන්නේම නම පසුපසට එකතු කරන අකුරු වලින් නිසා (මෙය කියන්නේ නිශේධනාත්මක අර්ථයකින් නෙමෙයි) ගුණාත්මක භාවයෙන් අඩු වෛද්‍යවරුන්ගේ නම් පසුපසට මේ අකුරු එකතු වීම සියල්ලන්ටම ප්‍රශ්නයක් වෙන එක ඇත්ත. එය නියාමනය මඟින් පාලනය කළ නොහැකි දෙයක් කියා මම හිතන්නේ නැහැ. අනික් අතට සහතිකය ලබාගෙන යමෙක් වෛද්‍යවරයෙකු ලෙස කටයුතු නොකර ඉන්නවනම් (ගෙවා තිබෙන්නේ තමන්ගේ මුදල්නම්) එයින් කාටවත් සිදුවන හානියක් නැහැ.

    //අපේ රටෙහි ආර්ථික තත්වය අනුව අපිට දරන්ඩ පුළුවන් වෛද්‍යවරු ගණන කොපමනද කියාය.//
    මෙය තනි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් කළයුතු දෙයක් නොව වෙළඳපොළ විසින් තීරණය කළ යුතු දෙයක්. කොපමණ මුදලක් ගෙවුවත් අදත් මට ලංකාවේ වෛද්‍යවරයෙකුව appointment එක දෙන වෙලාවට හමු වෙන්න බැහැ. පැය ගණනක් රස්තියාදු වෙන්න ඕනෑ. ඇමරිකාවේ හෝ එංගලන්තයේ එවැනි තත්ත්වයක් නැහැ. වෙන කිසිවක් නැතත් මේ සරල දේ මඟින් පමණක් වුවද පෙන්වන්නේ දැනටනම් ලංකාවට වෛද්‍යවරුන් ප්‍රමාණවත් නොවන බවයි. වෛද්‍ය අධ්‍යාපනය නොමිලේ ලබා දෙන නිසා වෛද්‍යවරුන් ඕනෑවට වඩා වැඩි වෙන්න සෛද්ධාන්තික ඉඩක් තිබෙනවා. කලා පීඨ වලින් රැකියා විරහිත උපාධිධාරීන් විශාල ලෙස බිහි කළා වගේ. අනාගතයේ රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවීමට නියමිත පිරිස හා රජයේ රෝහල් වල ඇති පුරප්පාඩු ගණන් ආදිය ගැන වැඩි හැදෑරීමක් නොකර මේ ගැන බරපතල ප්‍රකාශයක් කරන්න අමාරුයි.

    ReplyDelete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...