ජීවිතය අනියතය. මරණය නියතය. මරණය නියත වුවත් මැරෙන දිනය අනියතය. යමෙකු මැරෙන දිනය නිශ්චිතව කිව හැකි විද්‍යාවක් නැත. යම් හෙයකින් එවැනි හැකියාවක් යම් විද්‍යාවකට තිබේනම් එයින් අදහස් වන්නේ මැරෙන දවස වෙනස් කළ නොහැකි බවයි.
තාර්කික සීමාවන් ඇති බැවින් ඇතැම් දේවල් අපට කෙසේවත් නිශ්චිතව දැනගත නොහැක. එහෙත්, එයින් අදහස් වන්නේ එවැනි දේ ගැන අපට කිසිම දැනුමක් ලබා ගත නොහැකි බව නොවේ. මැරෙන දිනය සම්බන්ධව ඇත්තේනම් එවැනි තාර්කික සීමාවක් නොවේ. ප්‍රායෝගික සීමාවකි. මැරෙන දිනය හරියටම දැනගත නොහැකි වුණත් ඒ ගැන අදහසක් ගන්නට විද්‍යාව උදවු වේ.
මෙය ලියන මා මෙය පළවන විට ජීවත්ව නොසිටින්නට ඉඩකඩක් ඇත. එහෙත්, ඒ ඉඩකඩ විශාල ඉඩකඩක් නොවේ. ඒ නිසා, මා අද තීරණ ගන්නේ මා හෙට මියයනු ඇතැයි යන පදනම මත නොවේ. එමෙන්ම, මා තව වසර පනණක් ජීවත් වීමට ඉඩ ඇතත් ඒ ඉඩකඩ නොගිණිය හැකි තරමේ සුළු ඉඩකඩකි. වෙනත් අයුරකින් කිවහොත් මගේ අපේක්ෂිත ආයු කාලය ගැන මට දළ අදහසක් තිබේ. එහෙත්, අවිනිශ්චිතතාව ඉතා විශාලය.
යම් පුද්ගලයෙකු වසරක්, වසර පහක් හෝ වසර දහයක් වැනි කාලයක් ඇතුළත මිය යාමට ඇති සම්භාවිතාව එවැන්නෙකු ගැන දන්නා දේ ඇසුරින් ගණනය කළ හැකිය. මේ දන්නා දේ වලට මූලික වශයෙන් දැන් වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ ජීවත් වන ප්‍රදේශය ඇතුළත්ය. පුද්ගලයෙකුගේ ශරීර සෞඛ්‍යට අදාළ විවිධ දත්ත භාවිතයෙන් මේ සම්භාවිතාව වඩා නිවැරදිව ගණනය කළ හැකිය.
ශ්‍රී ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයුකාලය වසර 75කි. මෙයින් අදහස් වන්නේ ශ්‍රී ලාංකිකයෙකු වයස 75 වන විට අනිවාර්යයෙන්ම මිය යන බව නොවේ. මිය යාමේ සම්භාවිතාව 50%ක් බවයි. ඔබේ ඔබේ 75වන උපන්දිනය සමරන විට ඔබ උපන්දිනම උපන් මිතුරන්ගෙන් 50%ක්ම ජීවතුන් අතර නොසිටිනු ඇත.
අපේක්ෂිත ආයුකාලය 75ක් යන්නෙන් අදහස් වන්නේ ඔබේ දැන් වයස 40ක්නම් ඔබේ ඉතිරිවී ඇති අපේක්ෂිත ආයු කාලය 35ක් බවද නොවේ. දිවි මාවතේ ඔබ පසු කරන සෑම කඩඉමක් සමගම ඔබේ අපේක්ෂිත ආයු කාලය වැඩි වේ. වෙනත් විදිහකින් කියනවානම් ඔබ උපන් දිනම උපන් අයෙකු වසර 75කට පෙර මියයන විට ඔහුට ලඟා වීමට නොලැබුණු අපේක්ෂිත කාලය ඒ වන විට ජීවත් වන අයගේ කාලයට එකතු වේ.
ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයු කාලයේ සාමාන්‍යය වසර 75ක් වුවත් වෙනත් කරුණු අනුව මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල ලෙස වෙනස් වේ. ගැහැණියකගේ අපේක්ෂිත ආයු කාලය වසර 78.5 ක් වන අතර පිරිමියෙකුගේ අපේක්ෂිත ආයු කාලය ඊට වඩා වසර හතකින් පමණ අඩුය. ලංකාවේ දිස්ත්‍රික්ක අතරින් ආයුකාලය අඩුම කොළඹ වැසියන්ගේය. වැඩිම හම්බන්තොටය. කොළඹ සිට හම්බන්තොටට පදිංචිය වෙනස් කිරීමෙන් අපේක්ෂිත ආයුකාලය වසර දහයහමාරකින් පමණ වැඩි කර ගත හැකිය. එය අපහසුනම්, කොළඹ වැට පැන ගම්පහට පැමිණීමෙන් වුවද අපේක්ෂිත ආයුකාලය වසර නවයකින් පමණ වැඩි කර ගත හැකිය.
පහත වගු වල ඇත්තේ ලංකාවේ පිරිමියෙකු හෝ ගැහැණියක ඔහුගේ හෝ ඇයගේ අද (2016 පෙබරවාරි 10) වයස අනුව මියගොස් සිටීමට 50%ක සම්භාවිතාවකින් ඉඩ ඇති දිනයයි.
ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් 2000-2002 ජීවදත්ත වගු ඇසුරිනි. මේ වන විට වෙනස් වී තිබිය යුතුය.ඊළඟ ලිපිය: මැරෙන විදිහ දැනගන්න ඕනෑද?
(Image: www.indiapost.com)