වෙබ් ලිපිනය:

Showing posts with label සෞඛ්‍යය. Show all posts
Showing posts with label සෞඛ්‍යය. Show all posts

Friday, August 3, 2018

ඥාන දත් ගලවා නිදහස් වීම


පසුගිය දවසක මට දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත යන්න වුණා. ඇමරිකාවේ දන්ත වෛද්‍ය වරයෙක් දතක් ගලවා දමන්න කියන්නේ එය නොගලවා ගොඩ දාන්නම බැරිනම් වුවත්, මේ ප්‍රකාශනය කටේ දත් තිස්දෙකටම එකම අයුරින් බලපාන එකක් නෙමෙයි. ඥාන දත් හා සම්බන්ධව ඇමරිකානු ප්‍රතිපත්තිය වන්නේ එන කොටම ගලවා දමන එකයි.

සාමාන්‍යයෙන් ඇමරිකානු දරුවෙක්ගේ ඥාන දත් ගලවා දමන්නේ ඒවා එන කොටමයි. ඒ කියන්නේ අවුරුදු විස්සේදී වගේ. මම ඇමරිකාවට එනකොට මේ වයස පැනලා. ඒ නිසා, ඇමරිකාවට එනකොටත් මගේ ඥාන දත් පරිස්සම් වෙලා තිබුණා. මුල් දවස් වල දන්ත වෛද්‍ය වරයෙක් වෙත යන හැම වෙලාවෙම මුලින්ම අවධානය යොමුවුණේ මේ ඥාන දත් වලටයි. දන්ත සෞඛ්‍යය පවත්වා ගැනීම හා අදාළ නිර්දේශ වල උඩින්ම තියෙන්නේ ඥාන දත් ගලවා දැමීම.

ඥාන දත් ගලවා දැමීම කියන එක වචනාර්ථයෙන් වගේම සංකල්පීයවත් මට ටිකක් අවුලක් දැනවූ දෙයක්. මේවා ගැලවිය යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට මට ලැබුණු පිළිතුර ඉතාම සරල එකක්. ඒවා ගලවා දැමිය යුත්තේ ඒවා අවශ්‍ය නොවන නිසා. [මෙය අසම්පූර්ණ පිළිතුරක්. වඩා තර්කානුකූල පිළිතුරු පසුව වෙනත් දන්ත වෛද්‍යවරුන්ගෙන් ලැබුණා.]

මට තිබුණු මූලික ප්‍රශ්නය මිනිස්සුන්ගේ ශරීරයේ ස්වභාවික කොටසක් අනවශ්‍ය දෙයක් වෙන්නේ කොහොමද කියන එකයි. එහෙම වෙන අවස්ථා ඕනෑ තරම් තිබුණත් ඒ ව්‍යතිරේඛ ලෙස මිස සාමාන්‍ය තත්ත්වය ලෙස නොවන නිසා මම මගෙන්ම අසාගත් මේ ප්‍රශ්නය නොවැදගත් එකක් නෙමෙයි. කටේ ඥාන දත් තියෙන එක මට ප්‍රශ්නයක් නොවේනම්, වෙනත් අයෙකුට එයින් ඇති කරදරයකුත් නැත්නම් ඒවා ගලවා දැමිය යුත්තේ ඇයි?

ඇමරිකාවේදී වෛද්‍යවරයෙකු හෝ වෙනත් කිසියම් විශේෂඥයෙකුගේ නිර්දේශ අප පිළිගත යුතුම නැහැ. නමුත්, එසේ පිළි නොගන්නවානම් ඒ හේතුව නිසා ඇති විය හැකි ප්‍රශ්න වල අවදානමත් අප විසින්ම ගත යුතුයි. මේ කරුණේදී, මගේ දැනුමට සාපේක්ෂව එවැනි ලොකු අවදානමක් පෙනුණේ නැහැ.

අනෙක් අතට මේ ඥාන දත් ගලවා දැමීමේ ක්‍රියාපටිපාටියේත් අවදානම් තිබුණා. ඒ වගේම එහි බරපැනත් මා විසින්ම දැරිය යුතුයි. මගේම සල්ලි වලින්, අවදානමක් හා අපහසුතාවයක් දරමින් මා විසින් ඥාන දත් ගලවා දැමිය යුත්තේ මට පැහැදිලිව ප්‍රත්‍යක්ෂ නොවන කුමක් හෝ අවදානමක් අඩු කර ගැනීම වෙනුවෙනුයි.

මේ නිර්දේශය ලැබුණු මුල් කාලයේදී ඇමරිකාවේ කොයි තරම් කාලයක් ඉඳීද කියා ස්ථිර අදහසක් තිබුණේ නැහැ. නැවත ලංකාවට හෝ වෙනත් රටකට ගියානම් මේ ඥාන දත් ප්‍රශ්නයක් නොවිය හැකිව තිබුණා. නමුත්, එහෙම වුණේ නැහැ.

කාලයත් එක්ක පදිංචිය මාරු කරමින් ඇමරිකාව වටේ තැනින් තැනට යද්දී දන්ත වෛද්‍ය වරුනුත් මාරු වුණා. නමුත්, දන්ත වෛද්‍යවරුන් මාරු වුණා කියා ඥාන දත් ගලවා දැමිය යුතු බවට වූ නිර්දේශයනම් වෙනස් වුණේ නැහැ.

ගොඩක් අය දිගින් දිගටම එකම දේ කියන කොට එය වදයක් වෙනවා. ඇමරිකාවේ තවත් කලක් ඉන්නවානම්, මේ ඥාන දත් පළහිලවුවට හැමදාමත් දන්ත වෛද්‍යවරු එක්ක වාද විවාද කර කර ඉන්න වෙනවා. ඊට වඩා ලේසියි යන ක්‍රමේට යන එක. එහෙම නැත්නම් වෙන්නේ ඇමරිකාවේ ක්‍රමයට ලංකාවේ වාහන එළවන්න ගියාම වෙන විදියේ අවුලක්.

දන්ත වෛද්‍යවරුන් විසින් ඥාන දත් ගලවා දමන්න නිර්දේශ කරන්න හේතු කිහිපයක් තිබෙනවා. මේ දත් ගලවා දැමූ විට ඉතිරි දත් වලට නිසි පරතරයක් ඇතුව වැඩෙන්න ඉඩකඩ ලැබෙන නිසා ඒවා වඩා සෞඛ්‍ය සම්පන්න ලෙස දිගු කලක් පවතින බවට ඇති අදහස එයින් එකක්. දත් අතර නිසි පරතරයක් ඇති විට දත් පිරිසිදු කිරීම පහසුයි. මේ අදහස පවුල් සංවිධානය ගැන නූතන අදහසට කිට්ටුවෙන් යන එකක්.

දෙවන කරුණ, කටේ මුල්ලට වෙන්න තිබෙන මේ දත් පරීක්ෂා කිරීම, පිරිසිදු කිරීම හෝ පිරවීම වැනි ප්‍රතිකර්මයක් කිරීම වඩා අපහසු වීමයි. එය මූලික වශයෙන්ම දන්ත වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක්. නමුත්, අවසාන වශයෙන් දන්ත වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් කියන්නේත් ඔවුන්ගෙන් ප්‍රතිකාර ගන්නා අයගේම ප්‍රශ්නයක්.

රජයට අයිති පාඩු ලබන ව්‍යවසායයක් ලාබ ලබන එකක් බවට පත් කරන්න මහන්සි වෙනවාට වඩා එහි අයිතිය බැහැර කර නිදහස් වීම පහසුයි. ඒ වගේම, ඔය ඥාන දත් සෞඛ්‍ය සම්පන්න ලෙස පවත්වා ගන්න උදවු කරනවාට වඩා ගලවා දාන්න නිර්දේශ කරන එක පහසුයි.

රජයට අයිති ව්‍යවසායයකින් ලාබ ඉපැයූවා කියා එහි වාසිය එය කළමනාකරණය කරන අයට ලැබෙන්නේ නැහැ. නමුත්, ඒ ව්‍යවසායයම පෞද්ගලික අයිතියට යටත් වුණාම තත්ත්වය වෙනස්. ලැබෙන ලාබය හෝ පාඩුව එහි අයිතිකරුවාටමයි. මේ වෙනස නිසා, ව්‍යවසායයක් හැකි තරම් කාර්යක්ෂම සේ කළමනාකරණය කර ලාබ ලබන එකක් බවට පත් කරන්න පෞද්ගලික ව්‍යවසායයෙකුට තිබෙන උනන්දුව රජයකට නැහැ.

ඔයාකාරයටම ඥාන දත් තිබෙන්නේ ප්‍රතිකාරලාභියාගේ කටේ මිසක් දන්ත වෛද්‍යවරයාගේ කටේ නොවන නිසා දන්ත වෛද්‍යවරයෙකු තමන්ගේ පහසුව ගැන වැඩිපුර හිතන එක සාමාන්‍ය දෙයක්. මේ ගැන යම් අවුලක් තිබෙන කෙනෙකුට අවශ්‍යනම් දන්ත වෛද්‍යවරයාව මාරු කරන්න පුළුවන්. නමුත්, ඒක මැතිවරණයකදී ආණ්ඩුව මාරු කරනවා වගේ වැඩක්.

රජය කියන යාන්ත්‍රනය ඇතුළේ තිබෙන ආකෘතිමය ප්‍රශ්නය ආණ්ඩුව මාරු කලා කියා විසඳෙන්නේ නැහැ. ආණ්ඩුව මාරු කළ අලුත යම් වෙනස්කම් පෙනුණත් මූලික දේවල් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම දන්ත වෛද්‍යවරයා මාරු කර වෙනත් අයෙකු වෙත ගියත් බොහෝ විට ඥාන දත් හා සම්බන්ධ ප්‍රතිපත්තියේ වෙනසක් වෙන්නේ නැහැ.

තනි පුද්ගලයෙකුට කිසියම් රටක හෝ සමාජයක පවතින ක්‍රමයට කිසියම් බලපෑමක් කරන්න පුළුවන්. නමුත්, මෙහි සීමාවන් තිබෙනවා. එක්තරා සීමාවකදී ඒකීය පුද්ගලයෙකුට යන ක්‍රමයට අනුගත වෙන්න සිද්ධ වෙනවා. යන ක්‍රමය වෙනස් කරන්න වුවත්, පළමුව එම ක්‍රමයට අනුගත වී යන ප්‍රවාහයත් එක්කම යම් දුරක් යන්න වෙනවා. මුල ඉඳන්ම උඩු ගං පීනන්න උත්සාහ කළොත් බොහෝ විට වැඩි දුරක් යන්න ලැබෙන්නේ නැහැ.

ඥාන දත් අවශ්‍ය නෑ කියන එක ඇමරිකාවේ දන්ත වෛද්‍ය වරුන් බොහෝ දෙනෙකු පිළිගන්නා සම්මතයක්. මේ සම්මතය අනුව නිරෝගී, සෞඛ්‍ය සම්පන්න වැඩිහිටි පුද්ගලයෙකුගේ මුඛයේ තිබිය යුත්තේ දත් 28ක් පමණයි.

නිරෝගී, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් කියන එකම කිසියම් කාලයකට හා සමාජයකට සාපේක්ෂ සම්මතයක්. රෝග කියන ඒවා අර්ථ දක්වන්නේ මේ සම්මතයට සාපේක්ෂවයි. ඒ නිසා, එක සමාජයක එක කාලයක රෝගයක් සේ සැලකෙන දෙයක් වෙනත් කාලයක වෙනත් සමාජයක රෝගයක් නොවෙන්න පුළුවන්. එහි අනිත් පැත්තත් වෙන්න පුළුවන්. ඇතැම් කාල වල ඇතැම් සමාජ වල සුන්දර නාරි දේහයක ලක්ෂණ වූ නල දත් හා පෙති ගෝමර වෙනත් කාලයක වෙනත් සමාජයක රෝග ලෙස හඳුනා ගැනෙන්නේ ඒ විදිහටයි.

ශාරීරික රෝග වලටත් වඩා මේ කරුණ කැපී පෙනෙන්නේ මානසික රෝග හා අදාළවයි. නිරෝගී, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක්ගේ භෞතික ශරීරය සම්බන්ධව වගේම හැසිරීම හා අදාළවත් සම්මතයක් තිබෙනවා. මේ සම්මතය කාලයට හා දේශයට සාපේක්ෂ එකක්. භෞතික ශරීරයේ වගේම හැසිරීමේත් සුළු වෙනසක් රෝගයක් ලෙස හඳුනා ගැනෙන්නේ නැතත්, එක්තරා සීමාවක් පැන්නට පස්සේ එය රෝගයක් වෙනවා. කෞමාර කාමය හෝ සමලිංගික සේවනය වැනි චර්යාවන් රෝග වන්නේ හෝ නොවන්නේ නිරෝගී, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් පිළිබඳ අදාළ සමාජයේ අදාළ කාලයේ පවතින සම්මතයට සාපේක්ෂවයි. මේ පුද්ගල ප්‍රතිරූපය වෙනස් වෙන කොට රෝගීන් නිරෝගීන් වී නිරෝගීන් රෝගීන් වෙනවා.

රටක් විදිහට ලංකාව අද ඉන්නේ කොතැනද කියන එක ගත්තත් එය තීරණය වන්නේ රටක් තිබිය යුතු කොතැනද කියන එක ගැන එක් එක් පුද්ගලයා සිතන ආකාරය මතයි. සෞඛ්‍ය සම්පන්න, නිරෝගී රටක ප්‍රතිරූපය කුමක්ද? ඇමරිකාවද? සිංගප්පූරුවද? කියුබාවද? එහෙමත් නැත්නම් යුරෝපීයයන් එන්න කලින් තිබුණු ලංකාවද?

Tuesday, July 17, 2018

අන්කල් සෑම්ගේ දත් ගැලවූ අපේ දත් දොස්තර


පසුගිය ලිපියෙහි මා ලියූ පරිදි ඇමරිකාවේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ඉතා මිල අධික වන අතර දන්ත වෛද්‍ය රක්ෂණයක් තිබුණද මේ වියදම් වලින් සෑහෙන ප්‍රමාණයක් අතින් ගෙවන්නට සිදු වේ. කෙසේ වුවත්, අඩු ආදායම්ලාභීන් ඇතුළු ඇතැම් සුවිශේෂී කණ්ඩායම් වලට නොමිලේ ලැබෙන ආහාරපාන, වෛද්‍ය රක්ෂණ ආදී සහනාධාර අතර දන්ත ප්‍රතිකාර රක්ෂණද වේ.

මේ කියන කාලය වන විට අප ඇමරිකාවට පැමිණ වැඩි කලක් ගත වී නැත. එය මගේ සිසු අවදිය වූ බැවින් මගේ මාසික ආදායම අර්ධකාලීන පර්යේෂණ සහකාරවරයෙකු ලෙස ලැබූ දීමනාවට සීමා වී තිබුණේය. මගේ බිරිඳ ගර්භනීව සිටි අතර ඇයද රැකියාවක් නොකළාය. එවකට අප ජීවත් වූ ප්‍රාන්තයේ අඩුආදායම්ලාභී ගර්භණී කාන්තාවකට ලැබෙන සහනාධාර අතර දන්ත ප්‍රතිකාර රක්ෂණයක්ද විය. මේ දන්ත ප්‍රතිකාර රක්ෂණයේ විශේෂත්වය වූයේ අනෙකුත් සාමාන්‍ය දන්ත ප්‍රතිකාර රක්ෂණ මෙන් නොව ගෙවිය යුතු සම්පූර්ණ මුදලම රක්ෂණය මඟින් ආවරණය කිරීමයි.

විශේෂ අවශ්‍යතාවයක් නොතිබුණත් ආරක්ෂාකාරී පියවරක් වශයෙන් මේ රක්ෂණ වරප්‍රසාදය අපි ලබා ගත්තෙමු. රක්ෂණය ලබාගැනීමෙන් පසුව වුවද, දත් වල විශේෂ ප්‍රශ්නයක් නොතිබුණු බැවින් දරු උපත දක්වාම ඇයට එයින් ප්‍රයෝජනයක් ගන්නට අවස්ථාවක් නොලැබුණේය.

කෙසේ වුවද, දරු උපතින් පසුව මේ රක්ෂණ වරප්‍රසාදය අවසන් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී, බිරිඳ අප ජීවත් වූ නගරයේ සිටි දන්ත වෛද්‍යවරයෙකු හමු වූවාය. පසුව ඈ මට කී පරිදි, මේ හමුවේදී මිනිත්තු විස්සක පමණ කාලයක් ගනිමින් දන්ත වෛද්‍යවරයා විසින් ඇගේ දත් පරීක්ෂා කර පිරිසිදු කරනු ලැබ තිබේ. එහෙත්, ඇගේ දත් නිරෝගී වූ බැවින් අමතර යමක් කරන්නට අවශ්‍ය වී නැත.

රක්ෂණය මඟින් වෛද්‍ය ගාස්තුව සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් අප මේ වෙනුවෙන් කිසිදු මුදලක් ගෙවිය යුතුව තිබුණේ නැත. අප කළ යුතු වූයේ රජය මඟින් ලබා දෙන රක්ෂණයෙන් වෛද්‍ය ගාස්තුව අය කර ගැනීම සඳහා වෛද්‍යවරයාට අනුමැතිය දීම පමණි. ඒ නැතත්, මෙවැනි සාමාන්‍ය දන්ත පරීක්ෂාවක් හා දත් පිරිසිදු කිරීමක් වෙනුවෙන් අය කෙරෙන මුදල වෙනත් දන්ත ප්‍රතිකාර වියදම් වලට සාපේක්ෂව සුළු මුදලකි.

මේ රක්ෂණ ආවරණය නොමිලේ ලැබුණත් අපට එයින් වැඩි ප්‍රයෝජනයක් ගන්නට ඉඩක් ලැබුණේ නැත. දරු උපතින් තෙමසකට පසුව රක්ෂණ වරප්‍රසාදය අවසන් විය.

කාලයක් ගත විය. බිරිඳගේ දත් වල ලොකු ප්‍රශ්න නොතිබුණත් මට එවැනි ප්‍රශ්න තිබූ නිසා ලොකු වියදමක් යන වැඩ දෙක තුනක්ම කරන්නට සිදු විය. ඒ වෙනුවෙන් වරින් වර මට මේ වෛද්‍යවරයා වෙත යන්නට සිදු විය. ඇයට ගර්භණී කාලයේ ලැබුණු රක්ෂණයෙන් මෙන් නොව මගේ රක්ෂණයෙන් වෛද්‍ය ගාස්තු මුළුමනින්ම ආවරණය නොවුණු අතර සෑම විටකම වාගේ ගෙවිය යුතු මුදලින් කිසියම් ප්‍රතිශතයක් අතින් ගෙවන්නට සිදු විය.

ඇමරිකාවේ ජීවත් වන විට වෛද්‍ය රක්ෂණයක් (හෝ දන්ත වෛද්‍ය රක්ෂණයක්) තිබීමේ ප්‍රධාන වාසිය ප්‍රතිකාර ගාස්තු වලින් සෑහෙන කොටසක් ආවරණය වීම වුවත් එය එකම වාසිය නොවේ. රක්ෂණ සමාගම් විසින් බොහෝ විට වෛද්‍යවරයා සමඟ හෙට්ටු කර වෛද්‍ය ගාස්තු අඩු කරන නිසා එහි වාසියද රෝගියාට ලැබේ.

සාමාන්‍යයෙන් මා දැන් ප්‍රතිකාර ගන්නා බොහෝ වෛද්‍යවරුන් විසින් කරන්නේ ප්‍රතිකාර ගැනීමෙන් පසු මුලින්ම බිල රක්ෂණ සමාගමට යවා ඔවුන් එය පරීක්ෂා කර ඔවුන්ගේ කොටස ගෙවා රෝගියා විසින් ගෙවිය යුතු කොටස දැනුම් දීමෙන් අනතුරුව ඒ මුදල මගෙන් අය කර ගැනීමයි. එහෙත්, මේ වෛද්‍යවරයා විසින් රෝගියාගේ කොටස කලින්ම අය කර ගත්තේය. රක්ෂණ සමාගම වෙත බිල්පත ඉදිරිපත් කළේ එයින් පසුවය. ඇතැම් විට මෙයට හේතුව ඒ කාලය වන මට ඇමරිකාවේ ක්‍රෙඩිට් හිස්ට්‍රියක්, එනම් ගෙවිය යුතු මුදල් නිසි කලට ගෙවීමේ දිගුකාලීන වාර්තාගත ඉතිහාසයක් නොතිබීම වන්නට පුළුවන. මෙසේ ක්‍රෙඩිට් හිස්ට්‍රියක් නැතිකම ඇමරිකාවට අලුතෙන් පැමිණෙන සංක්‍රමණිකයෙකුට මුහුණ දෙන්නට සිදුවන එක් ප්‍රශ්නයකි.

මෙසේ මගේ රක්ෂණ සමාගම වෙත බිල්පත ඉදිරිපත් කළ සෑම විටකම වාගේ ඔවුන් වෛද්‍ය ගාස්තු පහළට සංශෝධනය කළ නිසා බොහෝ විට සිදුව තිබුණේ මා ඒ වන විටත් වෛද්‍යවරයාට ගෙවා තිබුණු මුදල ඕනෑවට වඩා වැඩි මුදලක් වීමයි. උදාහරණයක් සේ වෛද්‍යවරයා විසින් ඩොලර් දාහක බිලක් දමා එයින් රක්ෂණ සමාගම විසින් ගෙවනු ඇතැයි අපේක්ෂිත 50% අඩු කර ඩොලර් 500ක් මගෙන් අය කර ගත්තේයැයි සිතමු. ඉන්පසුව ඔවුන් ඉතිරි මුදල අය කර ගැනීම සඳහා බිල්පත රක්ෂණ සමාගමට ඉදිරිපත් කළ විට රක්ෂණ සමාගම විසින් මුළු බිල ඩොලර් 800 දක්වා අඩු කර එයින් ඩොලර් 400ක් ගෙවයි. රක්ෂණ සමාගම හා වෛද්‍යවරයා අතර ඇති ගිවිසුම අනුව ඔහුට මගෙන් අය කළ හැක්කේද ඩොලර් 400ක් වුවත් ඔහු ඒ වන විටද මගෙන් ඩොලර් 500ක් අය කර අවසන්ය. ඒ අනුව, මා වෛද්‍යවරයාට වැඩිපුර ඩොලර් 100ක් ගෙවා තිබේ.

ඉහත කී පරිදි ඇමරිකාවේ කිසියම් සේවා සපයන්නෙකුට වැඩිපුර මුදලක් ගෙවා ඇති විටක සාමාන්‍යයෙන් සිදුවන්නේ ඒ වැඩිපුර මුදල වෙනුවෙන් චෙක්පතක් තැපැල් කර එවීමයි. එහෙත්, මේ වෛද්‍යවරයා ඒ වෙනුවට කළේ නැවත ඔහු වෙත ගිය විට ගෙවිය යුතු බිලට හෝ කොටසකට මේ මුදල හිලවු කිරීමයි. ඉන්පසුව ඒ අලුත් බිල රක්ෂණ සමාගම වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව නැවතත් කිසියම් ඉතිරියක් වන නිසා මේ වෛද්‍ය සායනයේ වූ මගේ ගිණුමේ හැම විටම වගේ තිබුණේ ධන ශේෂයකි. මාස කිහිපයකට වරක් කිසියම් ප්‍රතිකාරයක් හෝ පරීක්ෂාවක් සඳහා පවුලේ අයෙකු එහි ගිය බැවින් මට මෙහි ප්‍රශ්නයක් තිබුණේ නැත.

වසර කිහිපයකට පසුව අපට මේ නගරයට මෙන්ම දන්ත වෛද්‍යවරයාටද සමුදෙන්නට අවස්ථාව එළඹුනේය. දන්ත වෛද්‍යවරයා වෙත ගිය අවසන් හමුවේදී ඔහු වෙත ඕනෑවට වඩා මුදලක් ඉතිරි කර එන්නට මට අවශ්‍ය වූයේ නැත. ප්‍රතිකාර ගැනීම, බිල ගෙවීම, වෛද්‍යවරයා විසින් රක්ෂණයට බිල ඉදිරිපත් කිරීම හා ඔවුන් විසින් බිල සංශෝධනය කිරීම යන ක්‍රියාවලියට සාමාන්‍යයෙන් මාස කිහිපයක් ගත වූ අතර ඒ කාලය තුළ බොහෝ විට අපේ පවුලේ යම් කිසිවකු දන්ත වෛද්‍යවරයාව නැවත හමු වූ බැවින් ගිණුමේ නියම ශේෂය දැන ගැනීම ලංකාවේ විදුලි බිලක නියම ශේෂය දැනගන්නවා වැනිම සංකීර්ණ කටයුත්තක් විය. ඒ නිසා, මේ අවසන් වෛද්‍ය හමුවෙන් පසුව, පසුගිය කාලයේ මගේ ගිණුම් පිළිබඳ විස්තර මම විමසා සිටියෙමි. මගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම පහසු නොවූ බැවින් මේ කටයුත්ත කළ කාන්තාව විසින් ඇගේ පහසුවට කළේ මගේ සියලු ගිණුම් විස්තර මුද්‍රණ යන්ත්‍රය වෙත යවා කඩදාසි ගොනුවක් මගේ අතේ තැබීමයි.

ගෙදර යාමෙන් පසුව මම මේ ගිණුම් විස්තර අග සිට මුලට පරීක්ෂා කළෙමි. එසේ කරමින් මුල හරියට යද්දී තරමක කාලයකට පෙර මගේ බිරිඳ විසින් ලබාගත් දන්ත වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ විස්තරද හමු විය. මේ ගිණුම් විස්තර වලින් පෙනෙන පරිදි, ඇගේ මුඛයේ දත් ගණනාවක්ම වෛද්‍යවරයා විසින් පුරවා තිබේ. එහි බිල සෑහෙන මුදලකි. කෙසේ වුවද, ඒ වන විට රජයෙන් නොමිලේ ලැබුණු දන්ත වෛද්‍ය රක්ෂණයෙන් මේ මුළු මුදලම ආවරණය වී තිබේ.

"ඔන්න ඔයා හැමදාම කියනව ඔයාගෙ දත් වල මුකුත් ප්‍රශ්නයක් නෑ කියල. බැලුවහම පිටු ගාණකම තියෙන්නෙ ඔයාගෙ දත් පුරවපුවා..."

"කෝ බලන්න...."

"මගේ දත් සුද්ද කළා විතරයි. මේ මොනවත් කළේ නෑ!"

"සමහර විට චූටි චූටි ෆිලින්ග්ස් දාන්න ඇති...ඔයාට නොදැනුනාට..."

"ඔවු එහෙම වෙන්නත් බැරී නෑනම් තමයි. හැබැයි එහෙම කතාවක් කිවුවෙනම් නැහැ. අනිත් එක වැඩිම වුනොත් මම එතන විනාඩි පහළොවක් විස්සක් ඉන්න ඇති!"

නගරයේ වැදගත් පුද්ගලයෙකු වන, වසර හතළිහකට ආසන්න පළපුරුද්දක් තිබුණු මේ දන්ත වෛද්‍යවරයා වැනි අයෙකු හොරෙකු විය නොහැකි බව අපේ පූර්ව නිගමනය වුවත් ඇස් පනා පිට ඇති සාක්ෂි විසින් පෙන්වන්නේ එය එසේ නොවන බවයි. පෙනෙන ආකාරයට වෛද්‍යවරයා විසින් නොකළ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන්ද රක්ෂණයට බිල් දමා තිබේ. මේ බිල් දැම්මේ සාමාන්‍ය රක්ෂණයකටනම් බිලෙන් ප්‍රතිශතයක් අප විසින්ද ගෙවිය යුතු බැවින් මෙය අපගේ පරීක්ෂාවට අනිවාර්යයෙන්ම ලක් වන නමුත් මෙහිදී එය සිදු වී නැත. (ඇනෝ කෙනෙක් කියා තිබුණු පරිදි අපට වෙන්නේම ඔය වගේ දේවල්ය!)

මෙය සිදුවූයේ අප මේ නගරයෙන් වෙනත් නගරයකට වාසය වෙනස් කරන්නට ඔන්න මෙන්න තිබියදී බැවින් ඉන් පසුව එය අපට අමතක වී ගියේය.

තවත් වසර ගණනාවකට පසුව, දැන ගන්නට ලැබුණේ පළපුරුදු දන්ත වෛද්‍ය වරයෙකු නොකළ ප්‍රතිකාර වලට බිල් දමා අසුවී සිර දඬුවම් ලබා ඇති බවයි. ඒ වන විට අප කිහිප වරක්ම පදිංචිය මෙන්ම ප්‍රාන්තයද මාරු කර තිබුනත් කලක් ප්‍රතිකාර ගන්නට ගිය මේ දන්ත වෛද්‍යවරයාගේ මුහුණ අමතකව ගොස් තිබුණේ නැත. දැන් මෙසේ මාට්ටු වී තිබෙන්නේ මේ මනුස්සයාවය.

අපේ දන්ත වෛද්‍යවරයා ගස් රැසකට කොටමින් ගොස් අන්තිමේදී කෙහෙල් ගහකටත් කොටා තිබේ. කිසියම් රෝගියෙකු විසින් පැමිණිලි කිරීමෙන් අනතුරුව මේ වෛද්‍යවරයා විසින් නොකළ ප්‍රතිකාර වෙනුවෙන් බිල් දැමීම දැඩි විමර්ශනයට ලක් කර තිබේ. විමර්ශනය වෙනුවෙන් වෙනත් දන්ත වෛද්‍යවරයෙකුගේ සහාය ඇතිව අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත් රෝගීන් ගණනාවකගේ මුඛයේ එක්ස්රේ ඡායාරූප පිරික්සීමේදී පෙනී ගොස් තිබෙන්නේ ඒ බොහෝ දෙනෙකුගේ දත් වල කියන ආකාරයේ පිරවීම් නොමැති බවයි.

අවසානයේදී මේ දන්ත වෛද්‍යවරයාට දින 90ක කාලයක් සිරගතව සිටීම හැර ඉතිරිය අත් හිටවනු ලැබූ පස් වසරක සිර දඬුවමක්ද, ඩොලර් ලක්ෂයක දඩ මුදලක්ද, පැය 200ක පොදු වැඩද නියම වූ අතර වෛද්‍ය බලපත්‍රයද අහෝසි විය. දඬුවම නියම කරමින් විනිසුරුවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ නගරයේ වැදගත් පුද්ගලයෙකු වන මොහුට මෙවැනි දඬුවමක් නියම කරන්නට සිදු වූ ඒ දිනය කණගාටුදායක දවසක් බවයි.

නිදහස් රටක් වන ඇමරිකාවේ හොරකමක් හෝ වෙනත් වරදක් හෝ අපරාධයක් කරන්නටද වැඩි නිදහසක් තිබේ. එහෙත්, එසේ වරදක් කර නිදහසේ සිටීම පහසු නැත.

(Image: http://alhsredcoats.weebly.com/unit-7.html)


Monday, July 16, 2018

ඇමරිකාවේ දත් ලෙඩ්ඩු


පසුගිය සටහන ආරම්භයේදී ලියූ පරිදි, ඇමරිකානුවන් ඔවුන්ගේ දත් ගැන බොහෝ සැලකිලිමත්ය. එසේ කිවුවත්, එය ලංකාවට සාපේක්ෂව සිදු කළ ප්‍රකාශයකි. ඇමරිකාවේ වුවද, දත් ගැන එසේ සැලකිලිමත් වන්නේ ආදායම් මට්ටම හා අධ්‍යාපන මට්ටම අනුව ඉහළින් සිටින අයයි. අඩු ආදායම්ලාභීන් හා අඩු ඉගෙනුමක් ලැබූවන් අතරින් බොහෝ දෙනෙකු හදිසි අවශ්‍යතාවයකදී හැර, නිතිපතා දන්ත වෛද්‍ය වරයෙකු බැහැ නොදකිති. වසරක් තුළ වරක් හෝ දන්ත වෛද්‍යවරයෙකු හමු වී ඇති ඇමරිකානුවන් ගණන රටේ වැඩිහිටි ජනගහණයෙන් තුනෙන් දෙකකට වඩා වැඩි නැත.

අඩු ආදායම්ලාභීන් බොහෝ දෙනෙකුට දරාගැනීම අපහසු තරමට ඇමරිකාවේ දන්ත වෛද්‍ය වියදම් ඉතා අධිකය. ඇමරිකාවේදී දතක් ගලවා ගැනීමට ගෙවන මුදලින් ලංකාවේදී දත් ඇන්දම ගලවා ගන්නට පුළුවන. කෙසේ වුවත්, වඩාත්ම වියදම් අධික දන්ත ප්‍රතිකාර වන්නේ ස්නායු පිරවීම්, දත් හිටවීම් හා දත් නිසි පරිදි ස්ථානගත කිරීම් ආදියයි. දතක් ගැලවීම සාපේක්ෂව වියදම් අඩු කටයුත්තකි.

ඇමරිකාවේ සෞඛ්‍ය රක්ෂණ වලින් සාමාන්‍යයෙන් දන්ත ප්‍රතිකාර ආවරණය වන්නේ නැත. ඒ සඳහා වෙනම දන්ත ප්‍රතිකාර රක්ෂණයක් අවශ්‍ය වේ. එවැනි රක්ෂණයක් තිබුණද ඒ රක්ෂණ වලින් වෛද්‍ය රක්ෂණ වලදී මෙන් විශාල වියදමක් ආවරණය කර ගත නොහැකිය. සාමාන්‍ය පුද්ගලයෙකු සතු දන්ත ප්‍රතිකාර රක්ෂණයකින් වාර්ෂිකව ආවරණය කෙරෙන උපරිම මුදල බොහෝ විට එක් වියදම් අධික ප්‍රතිකාරයක් කළ විට අවසන් වේ. එවැන්නක වියදමෙන් වුවද සැලකිය යුතු ප්‍රතිශතයක් අතින් ගෙවන්නට සිදු වේ. මේ හේතුව නිසා ලාංකිකයින් ඇතුළු ඇතැම් සංක්‍රමනිකයෝ නිවාඩුවකට තමන්ගේ මුල් රටට යන අවස්ථා වලදී අවශ්‍ය දන්ත ප්‍රතිකාර සිදුකර ගෙන පැමිණෙනු නිරීක්ෂණය කළ හැකිය.

කෙසේවුවත්, ඇමරිකානුවන් දන්ත වෛද්‍යවරයෙකු වෙත නොයන්නට එකම හේතුව වියදම් අධිකකම නොවේ. සමීක්ෂණ දත්ත අනුව වියදම් අධිකකම නිසා දන්ත වෛද්‍යවරයෙකු වෙත නොයන ප්‍රමාණය 59%කි. 22%ක් බය නිසාද, 19%ක් දන්ත වෛද්‍යවරයෙකු ලඟ පාතක නොසිටීම නිසාද දන්ත වෛද්‍ය ප්‍රතිකාර මඟ හරිති. 2014 සමීක්ෂණ දත්ත අනුව, ඇමරිකානුවන්ගෙන් 52.3%ක් අවම වශයෙන් සමසකට වරක්ද, 15.4%ක් වසරකට වරක්ද දන්ත වෛද්‍ය වරයෙකු හමු වී ඇති නමුත් ඉතිරි ඇමරිකානුවන් එසේ හමු වී වසර තිබෙන්නේ කිහිපයකට වරකි.

මෑතකාලීන පර්යේෂණ අධ්‍යයනයකට අනුව, දන්ත වෛද්‍යවරයෙකු නිතර හමු වීමේ එක් වක්‍ර වාසියක් වන්නේ ස්ථුලතාවය අඩු වීමයි. දන්ත සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස සීනි භාවිතය අඩු කරන්නට නිතර දන්ත වෛද්‍යවරයෙකු හමු වන අය වැඩියෙන් පෙළඹීම ඊට හේතුවයි.

ඇමරිකාවේ දත් දොස්තරලා


ඇමරිකානුවන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ දත් ගැන බොහෝ සැලකිලිමත්ය. ඔවුන් දන්ත වෛද්‍යවරයෙකු වෙත යන්නේ දතක ප්‍රශ්නයක් ඇති වූ විට පමණක් නොවේ. දත් වල විශේෂ ප්‍රශ්න නැති අයෙකුට දන්තාබාධ නිවාරණ පරීක්ෂාවක් සඳහා සමසකට වරක් දන්ත වෛද්‍යවරයෙකු වෙත යාම නිර්දේශ කෙරෙන අතර දත් හෝ විදුරුමස් එතරම් නිරෝගී නොවේනම් මේ නිර්දේශිත කාලාන්තරය තෙමසක් පමණ දක්වා අඩු වන්නට පුළුවන.

ඉහත ඉල්ලුම හා ගැලපෙන දන්ත වෛද්‍ය සැපයුමක් ඇමරිකාවේ තිබේ. 2017 දත්ත අනුව, සේවයෙහි යෙදෙන දන්ත වෛද්‍යවරුන් 198,517 දෙනෙකු ඇමරිකාවේ සිටියේය. මෙය ජනගහණය ලක්ෂයකට දන්ත වෛද්‍යවරුන් 61.0 ක ප්‍රමාණයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015 දත්ත අනුව, ලංකාවේ සිටින්නේ දන්ත වෛද්‍යවරුන් 1340 දෙනෙකු පමණි. මේ ගණන ජනගහණය ලක්ෂයකට දන්ත වෛද්‍යවරුන් 6.3 ක පමණ ප්‍රමාණ ප්‍රමාණයකි.

කෙසේ වුවත්, ඇමරිකාව ලෝකයේ වැඩිම දන්ත වෛද්‍ය ඝනත්වයක් ඇති රට නොවේ. ස්කැන්ඩිනේවියානු රටවල් ප්‍රධානව බටහිර යුරෝපීය රටවල් ගණනාවක දන්ත වෛද්‍ය ඝනත්වය ඇමරිකාවේ එම ඝනත්වයටද වඩා වැඩිය. පහත වගුවේ ඇති දත්ත තරමක් පැරණි වුවත් ඒ හරහා වත්මන් තත්ත්වය ගැන දළ අදහසක් ගත හැකිය.


ඇමරිකාවේ දන්ත වෛද්‍යවරයෙකු විසින් 2017 වසරේදී ඉපැයූ මධ්‍යස්ථ වාර්ෂික වැටුප ඩොලර් 158,120ක් විය. මෙය ඇමරිකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ වැටුප මෙන් දෙතුන් ගුණයක මුදලක් වුවත් දන්ත වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් ලැබීම සඳහා කළ යුතු ආයෝජනය හා ගත කළ යුතු කාලය සැලකූ විට මෙහි විශාල ආකර්ශනීයත්වයක් නැත.

ඇමරිකාවේ දන්ත වෛද්‍යවරුන් බිහි කරන විද්‍යාල 66ක් තිබේ. මේ දන්ත වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම සඳහා අයදුම් කිරීමටනම් අවම වශයෙන් වසර දෙකක් උපාධි මට්ටමේ පාඨමාලා හදාරා තිබිය යුතුය. ඉන් පසුව ප්‍රවේශ විභාගයකට (DAT) මුහුණ දී සමත්වීම හා සම්මුඛ පරීක්ෂණයක් වැනි තවත් කඩඉම් කිහිපයක්ම තිබේ.

මේ තරඟකාරීත්වය හමුවේ දන්ත වෛද්‍ය විදුහලකට ඇතුළු වන බහුතරයක් විද්‍යා විෂයකින් වසර හතරක ප්‍රථම උපාධියක් සම්පූර්ණ කළ අයයි. ඇතැම් අය ඊට අමතරව තවත් පශ්චාත් උපාධියක් හැදෑරු අයයි. අවම සුදුසුකම වන වසර දෙකක උපාධි මට්ටමේ පාඨමාලා පමණක් හදාරා ඇති අයෙකු දන්ත වෛද්‍ය පාඨමාලාවක් සඳහා ඇතුළත් නොකෙරෙන තරම්ය. ඇමරිකාවේ වෛද්‍ය උපාධියක් මෙන්ම දන්ත වෛද්‍ය උපාධියක්ද සැලකෙන්නේ දෙවන උපාධියක් වශයෙනි.

දන්ත වෛද්‍ය සිසුවෙකු දන්ත වෛද්‍ය විද්‍යාලයකදී ලබන පුහුණුවට සායනික පුහුණුවක්ද ඇතුළත්ය. කිසියම් අනු ක්ෂේත්‍රයක දන්ත වෛද්‍ය විශේෂඥයෙකු වීම සඳහා වසර 2-4 අතර කාලයක අමතර නේවාසික පුහුණුවක් ලැබිය යුතු අතර දන්ත වෛද්‍ය පර්යේෂකයෙකු හෝ දේශකයෙකු වීම සඳහා වසර 2-5 අතර කාලයක අමතර පුහුණුවක් අවශ්‍ය වේ.

මෙසේ අවශ්‍ය සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව දන්ත වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා කිසියම් ප්‍රාන්තයකින් බලපත්‍රයක් ලබා ගත යුතුය. ඒ සඳහා ඉහත කී අනුමත උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීමට අමතරව ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ සමත් වීමටද සිදු වේ.

මේ සියල්ල කර දන්ත වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා බලපත්‍රයක් ලබාගත්තද "ආණ්ඩුවෙන් රස්සා දීමක්" නැති නිසා දන්ත වෛද්‍ය සායනයක් ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ ආදිය මිල දී ගැනීමට මූලික ප්‍රාග්ධනයක්ද අවශ්‍ය වේ. එසේ කළද, අලුත් දන්ත වෛද්‍යවරයෙකුට පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීම අභියෝගයකි. ඒ නිසා, බොහෝ අලුත් දන්ත වෛද්‍යවරුන් රැකියාව ආරම්භ කරන්නේ ජ්‍යෙෂ්ඨ දන්ත වෛද්‍යවරයෙකු යටතේය. තමන්ගේම දන්ත සායනයක් ආරම්භ කර ආදායම් ඉපැයීම සඳහා දන්ත වෛද්‍යවරයෙකුට ව්‍යාපාරික කුසලතාද අවශ්‍ය වේ.

සාමාන්‍යයෙන් එක් දන්ත වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ දන්ත වෛද්‍ය සහායකයින් ගණනාවක් සේවය කරන අතර එක්ස්රේ ඡායාරූප ගැනීම හා සාමාන්‍ය දත් පිරිසිදු කිරීම් වැනි මූලික කටයුතු බොහොමයක් සිදුවන්නේ මේ දන්ත වෛද්‍ය සහායකයින් අතිනි. ඇතැම් ප්‍රාන්ත වල දන්ත සහායකයෙකු වීම සඳහාද උපාධියක් අවශ්‍ය වුවත්, දන්ත වෛද්‍යවරයෙකු යට‍තේ පුහුණු වීමෙන්ද දන්ත වෛද්‍ය සහායකයෙකු විය හැකිය. 2017දී දන්ත වෛද්‍ය සහායකයෙකුගේ මධ්‍යස්ථ වාර්ෂික වැටුප ඩොලර් 37,630ක් විය. මෙය සාපේක්ෂව අඩු වැටුපකි.

(Graph: http://www.businessinsider.com/which-countries-have-the-most-dentists-per-capita-2011-2; Image: https://www.unmc.edu/dentistry/)

Tuesday, May 8, 2018

එච්අයිවී වෛරසය සම්ප්‍රේෂණය වන්නේ කොහොමද?


එච්අයිවී ආසාදිතයෙකු සමඟ අනාරක්ෂිත ලෙස ලිංගිකව එක් වීමේදී එච්අයිවී වයිරසය නිරෝගී අයෙකු වෙත සම්ප්‍රේෂණය වන්නට ඉඩ තිබෙන බව කවුරුත් වාගේ දන්නා කරුණකි. ගැහැණියක හා පිරිමියෙකු අතර සාමාන්‍ය ක්‍රමයට සිදුවන ලිංගික එක්වීමකදී පිරිමියාගෙන් ගැහැණියට වෛරසය සම්ප්‍රේෂණය වන්නට 0.008%ක (1250කට 1ක්) පමණ ඉඩක්ද ගැහැණියගෙන් පිරිමියාට සම්ප්‍රේෂණය වන්නට 0.004%ක (2500න් 1ක්) ඉඩක්ද තිබේ. ගුද සංසර්ගයේදී ගැහැණියකට හෝ පිරිමි ප්‍රතිග්‍රාහකයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමට ඇති සම්භාවිතාව 1.4% (71කට 1ක්) තරම් විශාලය.

පුද්ගලයින්ගේ ලිංගික හැසිරීම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීම මෙන්ම ලිංගික සහකරුවකු හෝ සහකාරියක එච්අයිවී ආසාදිතයෙකුදැයි දැන ගැනීමද පහසු කටයුත්තක් නොවන නිසා ඉහත ඇස්තමේන්තු සැලකිය හැක්කේ ඉතා දළ ඇස්තමේන්තු වශයෙන් පමණි. කෙසේ වුවත්, එච්අයිවී ආසාදිතයෙකු සමඟ වරක් පමණක් අනාරක්ෂිත ලෙස ලිංගිකව එක් වීමෙන් පසුව වුවද වෛරසය ශරීරගතව නොතිබෙන්නට ඇති ඉඩකඩ 99%කටත් වඩා වැඩිය. ඒ නිසා, එවැනි අවස්ථා ඕනෑ තරම් තිබිය හැකි අතර එයින් එච්අයිවී වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වන්නේය යන මතය බොරු වන්නේ නැත. මෙවැනි අනාරක්ෂිත ලිංගික හැසිරීම් වැඩිවන තරමට ඉහත අවදානමද ඉහළ යයි.

ලිංගික එක් වීමකදී එච්අයිවී වෛරසය සම්ප්‍රේෂණය වන්නේ කෙසේද? එයින් පසුව සිදුවන්නේ කුමක්ද?

ප්‍රංශ පර්යේෂකයින් පිරිසක් විසින් මෙය සිදුවන ආකාරය වීඩියෝගත කරන්නට සමත්ව තිබේ. මෙහිදී ඔවුන් විසින් මුලින්ම කරන්නේ ලිංගාශ්‍රිත පටක විද්‍යාගාර දීසියක් තුළ නිෂ්පාදනය කිරීමයි. මේ පටක ආකෘතියට ලිංගාශ්‍රිත පටක මතුපිට ඇති අපිච්ඡද සෛලද ඇතුළත්ය. දෙවනුව ඔවුන් එච්අයිවී වෛරසය පහසුවෙන් හඳුනාගත හැකි පරිදි කොළ පැහැ ප්‍රතිදීප්ත එළියක් විහිදුවන ප්‍රෝටීනයක් එයට එකතු කිරීමෙන් පසුව එච්අයිවී ආසාදිත, ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා අදාළ සෛල ලිංගාශ්‍රිත පටක ආකෘතිය වෙත මුදා හරී.

ආසාදිත සෛල වලින් ලිංගාශ්‍රිත පටක මතුපිට ඇති අපිච්ඡද සෛල වෙත එච්අයිවී වෛරසය වෙඩි තබන්නාක් මෙන් වේගයෙන් මුදා හරින ආකාරය වීඩියෝවේ පැහැදිලිව සටහන් වී තිබේ. කෙසේවුවද, මේ වෛරසය අපිච්ඡද සෛල ආසාදනය නොකරන අතර සිය ඉලක්කය වන ප්‍රතිශක්තිකරණ සෛල වෙත ළඟා වී ඒවා ආසාදනය කරයි. මෙහිදී සිදු කර ඇති අනපේක්ෂිත නිරීක්ෂණයක් වන්නේ මේ අයුරින් එච්අයිවී වෛරසය වේගයෙන් මුදාහරින්නේ ප්‍රතිශක්තිකරණ සෛල වලට ආසන්නව මතුපිටින් ඇති අපිච්ඡද සෛල වෙත පමණක් වීමයි.

වෛරසය ශරීරගත වීමෙන් පසුව එය ක්‍රියාකරන ආකාරයද පරීක්ෂණ කණ්ඩායම විසින් නිරීක්ෂණය කර ඇති අතර මේ හා අදාළ තොරතුරු "සෙල් රිපෝර්ට්ස්" ජර්නලයේ අද (මැයි 8) කලාපයේ පළ කර තිබේ. ඔවුන්ගේ නිරීක්ෂණ වෛරසය පාලනය කිරීම හා සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා උදවු වනු ඇති බව පර්යේෂකයින්ගේ අදහසයි.

වීඩියෝව සඳහා සබැඳියක් පහත තිබේ.

https://www.livescience.com/62508-hiv-infect-cells-real-time-video.html?utm_source=notification



(Image: http://ahotoronline.com/assin-north-records-218-hiv-cases/)


Wednesday, December 13, 2017

පිරිමි හෙම්බිරිස්සාව


"කුෂානි, ඇයි අද තනියම? කෝ මහත්තයා?"

"එයාට ටිකක් සනීප මදි, මිසිස් පෙරේරා!"

"හදිස්සියෙම? පන්සලට එන්න බැරි තරම් ලොකු අසනීපයක්ද?"

"අනේ නෑ, මිසිස් පෙරේරා! මේ පොඩි හෙම්බිරිස්සාවක්. ඒ වුණාට මහා ලොකු ලෙඩක් හැදුන වගෙ පොරෝගෙන නිදි!"

"හඃ! හඃ!! ඔහොම තමයි පිරිමින්ගේ හැටි! අපේ එක්කෙනාටත් පොඩි හෙම්බිරිස්සාවක් හැදුනොත් ඉතිං මහා ලොකු ලෙඩක් හැදුන වගෙ තමයි කතා කරන්නේ..."

මේ වගේ දෙබසක් ඔබ කවරදාක හෝ අසා නොතිබෙන්නට ඉඩක් නැත.

ඉංග්‍රීසි භාෂාවේ "පිරිමි හෙම්බිරිස්සාව" යන අරුත ඇති "man flu" නම් වූ වචනයක් තිබේ. මෙයින් අදහස් කරන්නේ ගැහැණියකට සාමාන්‍ය හෙම්බිරිස්සාවක් පමණක් වන දෙය පිරිමින් විසින් තමන්ට පමණක් වැළදුණු මහා භයානක ලෙඩක් ලෙස සලකන බවයි. එයට හේතුව ලෙස සාමාන්‍යයෙන් දක්වන්නේ ලෙඩේ පෙන්වමින් ගැහැණුන්ගෙන් වැඩි සැලකිලි ලබන්නට පිරිමින් විසින් දක්වන කැමැත්තයි. කාලයක් තිස්සේ පිරිමින්ට කෙරෙන මේ ආකාරයේ චෝදනා නිසා පිරිමින් විසින් තමන්ගේ අමාරුකම් අමාරුවෙන් ඉවසා ගනිමින් තමන්ගේ හෙම්බිරිස්සා අමාරුව පිටතට නොපෙන්වා සිටින අවස්ථාද තිබේ.

"දැන් හොඳටම අමාරුයි කිවුව නේද, ප්‍රභාත්? උදේ පාන්දර පිණි බබා මිදුලෙ ඉඳල තව වැඩි කරගන්නෙ නැතුව ගෙට වෙලා ඉන්න. ඔය වැඩේ වෙන දවසක කරන්න බැරියැ..."

"මේ වැඩෙත් කෙරෙන්න එපායැ, කුෂානි. හෙම්බිරිස්සාව කියල ගෙට වෙලා හිටියොත් මේ ටික මෙහෙම්මම තියෙයි!"

ලෙඩක් හෝ තුවාලයක් සිදු වූ විට යමෙකුට ඇතිවන අමාරුකම් හා දැනෙන වේදනාව දන්නේ ඒ පුද්ගලයාම පමණි. වෙනත් කෙනෙකුට එය හරියටම දැන ගන්නට ක්‍රමයක් නැත. මේ නිසා, අපට ඇතැම් විට හිතෙන්නේ වෙනත් ඇතැම් අය පොඩි අමාරුවකටත් ඕනෑවට වඩා කෑගහන බවයි. ඒ වගේම, ඇතැම් විට ඇතැම් අය ඇත්තටම පොඩි අමාරු වලටත් ලොකුවට කෑගහන විට එය බොරුවක් බව වෙනත් අයට තේරුම් ගත හැකි ක්‍රමයක් නැත. 

මෙය රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය හා හෙද වෘත්තිකයින් නිතර මුහුණ දෙන ප්‍රශ්නයකි. ප්‍රශ්නයට පිළියමක් ලෙස ඩොනා වොං හා කොනී බේකර් විසින් හඳුන්වා දුන් "මුහුණු මිනුම" බටහිර රටවල සෞඛ්‍ය සේවකයින් විසින් බහුලව යොදාගත්තත් මෙයද පරිපූර්ණ මිනුමක් නොවේ. එක් අයෙකුගේ වේදනාව වෙනත් අයෙකුට හරියටම ග්‍රහණය කරගත හැකි ක්‍රමයක් නැත.


කිසියම් වේදනාවකින් පෙළෙන අයෙකුගේ වේදනාවට හේතු වන කරුණ අප විසින්ද කිසියම් දිනෙක අත් විඳ ඇත්නම් ඒ අවස්ථාවේදී අප විඳි වේදනාව ඇසුරින් අපට අනෙක් පුද්ගලයාගේ වේදනාව ගැන අදහසක් ගත හැකිය. නිවැරදි නොවූවත්, අප බොහෝ දෙනෙකුට අනෙකාගේ වේදනාව ගැන ඇති දැක්ම මෙවැන්නකි.

හෙම්බිරිස්සාවක් නොහැදුණු කෙනෙක් නැත. බොහෝ ළමුන් කුඩා කාලයේදී හෙම්බිරිස්සාවක් නැතිව ගෙවන දවස් ගණනට වඩා හෙම්බිරිස්සාව සමඟ ගෙවන දින ගණන වැඩිය. අප බොහෝ දෙනෙකු හෙම්බිරිස්සාවක් "හෙම්බිරිස්සාවක්" ලෙස මිස ලෙඩක් ලෙස සලකන්නේ නැත.

හෙම්බිරිස්සාවක් වැනි ඉතා සාමාන්‍ය ලෙඩක් හැදුණු විට හැසිරිය යුතු ආකාරයද අප ඉගෙන ගන්නේ සමාජයෙනි. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු හෙම්බිරිස්සාවක් හැදුණා කියා නිවාඩු දමා ගෙදර ඉන්නේ හෝ එදිනෙදා කළ යුතු වැඩ අතපසු කරන්නේ නැත. හෙම්බිරිස්සා අමාරුව කෙතරම් වුවත් ඒ අමාරුව අමාරුවෙන් ඉවසා සිටින්නේ වෙනත් බොහෝ අයද එසේ කරන බැවිනි. විශේෂයෙන්ම නිවසක කාන්තා පාර්ශ්වය හෙම්බිරිස්සාව තියාගෙනත් ගෙදර සාමාන්‍ය වැඩ සියල්ල කරන විට පිරිමියෙකුට හෙම්බිරිස්සාව කියා ඇඳට වී පොරවාගෙන සිටීම අසීරුය. ලිපියේ උඩින්ම ඇති දෙබසේ ඇති ආකාරයේ චෝදනා අහන්නට ලැබෙන්නේ එහෙම කරන්න ගිය විටය.

කොහොම වුනත් මේ පිරිමි හෙම්බිරිස්සා කතාවේ ඇත්ත නැත්ත කුමක්ද?

මෙතෙක් කාලයක් කිසිවකු විසින් හොයා බලන්නට උනන්දු නොවූ පිරිමි හෙම්බිරිස්සා කතාවේ ඇත්ත නැත්ත සොයා බලන්නට උනන්දු වූ කැනේඩියානු සරසවියක සායනික සහකාර මහාචාර්යවරයෙකු හා වෛද්‍යවරයෙකු වන කයිල් සූ විසින් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල්හි නත්තල් කලාපයේ පළ කර ඇති පර්යේෂණ පත්‍රිකාවකට අනුව, පිරිමින් විසින් වැඩි සැලකිලි ලබා ගන්නට හෙම්බිරිස්සා අමාරුව අතිශයෝක්තියට නඟමින් බොරු කරන්නේ නැත. පිරිමින්ට දැනෙන හෙම්බිරිස්සා අමාරුව ගැහැණුන්ට දැනෙන අමාරුවට වඩා ඇත්තටම වැඩිය.

ඉහත වෙනසට හේතුව පිරිමි හා ගැහැණු හෝමෝන වල වෙනස්කම් නිසා පෙනහළු ආශ්‍රිත වෛරස් රෝග වලට එරෙහිව මේ දෙපාර්ශ්වයේ ප්‍රතිශක්තිකර පද්ධති ක්‍රියාත්මක වෙන වෙනස් ආකාරයන්ය. සැබෑ තත්ත්වය මෙසේ තිබියදී "දේශපාලනික නිවැරදි බව" වෙනුවෙන් "ගැහැණුන්ට මෙන්ම පිරිමින්ටද දැනෙන්නේ එකම වේදනාව" බව සිතීමේ ප්‍රතිඵලය වන්නේ මෙවැනි රෝග වලින් පීඩා විඳින ලෝක ජනගහණයෙන් අඩක් වන පිරිමින්ට හෙම්බිරිස්සාව හැදුණු විට අවශ්‍ය තරමට අවධානය නොලැබී ඔවුන් අසාධාරණයට ලක් වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගැහැණුන්ට වඩා වැඩි පිරිමින් ප්‍රමාණයක් පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳ මිය යති.

බොහෝ පර්යේෂකයින් විසින් සිය පර්යේෂණ අපක්ෂපාතී ලෙස කළත් "දේශපාලනික ලෙස නිවැරදි නොවන" මතයක් ප්‍රවර්ධනය කරන ප්‍රතිඵලයක් ප්‍රසිද්ධ කිරීමට මැලි වන බව රහසක් නොවේ. පසුගිය දෙසියවසක පමණ කාලය තුළ දේශපාලනික ලෙස වඩා නිවැරදි මතය ලෙස සැලකුණේ සියලු මිනිසුන් සමානය යන අදහස හෝ එහි ප්‍රභේදයි. ඒ කාලය තුළ ප්‍රසිද්ධියට පත් කෙරුණු පර්යේෂණ ප්‍රතිඵල වලින්ද මේ අදහස ඉස්මතු විය. එහෙත්, පසුගිය දශකයක පමණ කාලය තුළ මේ තත්ත්වයේ කැපී පෙනෙන වෙනසක් දකින්නට පුළුවන.

Tuesday, December 12, 2017

තට්ටයින්ට කරන අවවාදයයි!

ඔබ අකලට කෙස් හැලී තට්ටය පෑදීම නිසා පීඩා විඳින්නෙක්ද? එසේ නැත්නම්, අකලට හිස කෙස් පැසීම නිසා පීඩා විඳින්නෙක්ද? එසේනම්, මෙන්න ඔබට තවත් නරක ආරංචියක්!

ඔබට හෘදයාබාධයක් හැදෙන්නටද සැලකිය යුතු අවදානමක් තිබේ.

හෘදයාබාධ හැදීමේ අවදානම හඳුනාගැනීම සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නා නිර්ණායක වන්නේ සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය, තරබාරුකම, පවුලේ වෙනත් අයට හෘදයාබාධ හැදී තිබීම, අධික රුධිර පීඩනය, දියවැඩියාව, දුම්බොන්නෙකු වීම ආදී කරුණුය. එහෙත්, මේ කරුණු සියල්ලම මත වුවද හෘදයාබාධ හැදීමේ ඉඩකඩ එතරම්ම නිවැරදිව පුරෝකථනය කළ නොහැකිය. බොහෝ දෙනෙකුට මේ අවදානම් සාධක නොතිබියදී පවා හෘදයාබාධ වැළඳේ.

නවතම පර්යේෂණයකින් පෙනී ගොස් ඇති පරිදි "පිරිමි මෝස්තරයට" තට්ටය පෑදීම හා අකලට කෙස් පැසීමද ඉදිරියේදී  හෘදයාබාධයක් හැදෙන්නට ඇති අවදානම පෙන්වන සාධකයි.

වයස අවුරුදු 40 නොඉක්මවූ ඉන්දියානු පිරිමි අතරින් හෘද රෝගීන් 790කුත්, සංසන්දනය කිරීම සඳහා පාලිත කණ්ඩායමක් ලෙස එම වයස් කාණ්ඩයේම නිරෝගී පිරිමින් 1,270කුත් යොදා ගනිමින් සිදු කළ මේ අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව පෙනී ගොස් ඇත්තේ "පිරිමි මෝස්තරයට" අකලට තට්ටය පෑදීම හෘද රෝග වැළඳීමේ අවදානම 5.6 ගුණයකින් ඉහළ දමන බවයි. අකලට කෙස් පැසීම මේ අවදානම 5.3 ගුණයකින් ඉහළ දමන අතර තරබාරු වීම 4.1 ගුණයකින් හෘද රෝග අවදානම ඉහළ නංවයි. මේ අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව හෘද රෝග පුරෝකථනය කිරීමේ හැකියාව අනුව දියවැඩියාව, දුම්බීම ආදී අනෙක් කරුණු සියල්ල තිබෙන්නේ ඉහත කරුණු තුනට වඩා පිටුපසිනි.

මොකක්ද මේ "පිරිමි මෝස්තරයට" තට්ටය පෑදීම?

වයසත් සමඟ කෙස් යාම ක්‍රම දෙකකට සිදු වේ. මේ ක්‍රම දෙක හැඳින්වෙන්නේ "පිරිමි මෝස්තරයට" කෙස් යාම හා "ගැහැණු මෝස්තරයට" කෙස් යාම ලෙසිනි. පිරිමින්ගේ කෙස් යාම වැඩි වශයෙන්ම පිරිමි මෝස්තරයට සිදු වීමත්, ගැහැණුන්ගේ කෙස් යාම වැඩි වශයෙන්ම ගැහැණු මෝස්තරයට සිදු වීමත් මත මේ නම් කිරීම සිදු කර තිබේ.



ගැහැණු මෝස්තරයට කෙස් යාමේදී හිසේ සෑම තැනකම වාගේ කෙස් ඒකාකාරී ලෙස තුනී වන අතර පිරිමි මෝස්තරයට කෙස් යාම සුවිශේෂී රටාවකට සිදු වේ. මෙහිදී මුලින්ම හිසේ ඉදිරිපස හා හිස් මුදුනේ කෙස් හැලී හිස පිටුපස හා හිස දෙපස කෙස් ඉතිරි වේ. පිරිමි මෝස්තරයට කෙස් යාමට හේතුවන ඇතැම් ජානමය සාධක හා හෝමෝන හඳුනාගෙන ඇතත් ගැහැණු මෝස්තරයට කෙස් යාම ගැන එවැනි දැනුමක් තවමත් නැත.

පර්යේෂණ දත්ත අනුව පෙනී ගොස් ඇත්තේ පිරිමි මෝස්තරයට කෙස් යාම පුද්ගලයකුගේ සැබෑ වයස මත නොව "සනාල වයස (vascular age)" මත තීරණය වන්නක් බවයි. සනාල වයස යනු ඔබේ හෘදය වස්තුව කෙතරම් වයසට ගොස් ඇත්ද යන්නයි. හෘද ස්පන්දන තරංග ප්‍රවේගය හා හෘදයේ ධමනි වල ඝනකම මැනීමෙන් පුද්ගලයෙකුගේ සනාල වයස ඇස්තමේන්තු කළ හැකිය.

මේ ආකාරයේ වෛද්‍ය විද්‍යා පර්යේෂණ පදනම් වන්නේ සංයුක්ත නිරීක්ෂණ මත මිස න්‍යාය මත නොවේ. ඒ නිසා, මේ පර්යේෂණ ප්‍රතිඵලයෙන් කියන්නේ අකලට තට්ටය පෑදීම හා කෙස් පැසීම හෘද රෝග වැළඳීමේ අවදානම හඳුනාගත හැකි නිර්ණායක බව මිස හෘද රෝග වලට හේතු බව නොවේ. ඒ නිසා, තට්ටය පෑදීම වලක්වා ගැනීමෙන් හෘද රෝග අවදානම අඩු වේයැයි හරියටම කිව නොහැකිය.

ඉන්දියානු පිරිමින් යොදාගනිමින් සිදු කර ඇති පර්යේෂණයක් නිසා මේ නිරීක්ෂණ බටහිර රටක පුද්ගලයින් යොදාගනිමින් කරන මෙවැනි පර්යේෂණයකට වඩා ලංකාවට අදාළ විය හැකිය.

Wednesday, November 29, 2017

ඇමරිකානුවන් මිලියන 31කට එකවරම අධි රුධිර පීඩනය!


දෙසතියකට පමණ පෙර ඇමරිකාවේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් ගණන එකවරම මිලියන 31.1කින් ඉහළ ගියේය. ඊට පෙර දින දක්වාද ඇමරිකාවේ වැඩිහිටි ජනගහණයෙන් තුනෙන් එකක් එනම් මිලියන 72.2ක් අධි රුධිර පීඩන රෝගීහු වූහ. පසුගිය නොවැම්බර් 13 සඳුදා මේ ගණන එකවරම විශාල ලෙස ඉහළ යාමෙන් පසු මේ වන විට ඇමරිකානුවන් මිලියන 103.3ක් ප්‍රතිකාර ගත යුතු අධි රුධිර පීඩන රෝගීන්ව සිටිති.

එක දවසකින් එතෙක් නිරෝගීව සිටි ඇමරිකානුවන් මිලියන 31.1ක් ප්‍රතිකාර ගත යුතු මට්ටමේ අධි රුධිර පීඩන රෝගීන් වුනේ කොහොමද? 

මෙසේ අධි රුධිර පීඩන රෝගීන් ගණන එක වර වැඩි වීමට හේතු වුනේ ඇමරිකාවේ වෛද්‍ය සංගම් ගණනාවක් එක්ව ගත් තීරණයකි. මෙම තීරණය අනුව මෙයින් ඉදිරියට 130/80 මට්ටම ඉක්මවන රුධිර පීඩනයක් ඇති රෝගීන්ට ප්‍රතිකාර කළ යුතුය. එහෙත්, මෙතෙක් කල් 140/90 මට්ටම දක්වා රුධිර පීඩන මට්ටම් වලට ප්‍රතිකාර කළ යුතු ලෙස සැලකුණේ නැත.

පසුගිය කාලයේ ඇමරිකාවේ ස්වේච්ඡතාව (autism) රෝගය විශාල ලෙස ඉහළ යාම පසුපස ඇති එක් ප්‍රධාන හේතුවක් වන්නේද එම රෝගයේ අර්ථදැක්වීම පුළුල් කිරීමයි.

රෝග කියන ඒවා නිරපේක්ෂ නොවන අතර කාලයට හා සංස්කෘතියට සාපේක්ෂය. මානසික රෝගයක් ලෙස දැන් සැලකෙන පිඩෝෆීලියාව (Pedophilia) මෑතක වන තුරුම රෝගයක් ලෙස හෝ වරදක් ලෙස සැලකුණේ නැත. දැන් බොහෝ සංස්කෘතීන්හි මෙය වරදක් ලෙස මෙන්ම මානසික රෝගයක් ලෙසද සැලකේ. සමලිංගික සේවනය හා අදාළව සිදුව ඇත්තේ එහි අනිත් පැත්තයි. එහෙත් දැනටත් මේ සම්මත වලට සෑම සංස්කෘතියකම එකම ආකාරයේ පිළිගැනීමක් නැත.

Saturday, November 11, 2017

සයිටම් අරගලයේ ශේෂ පත්‍රය


ආණ්ඩුව විසින් සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කරන බවට වාචික හා ලිඛිත පොරොන්දුවක් දීමෙන් පසුව වසරකට වඩා කාලයක් තිස්සේ ඇදී ගිය සයිටම් විරෝධී සටන අවසන් විය. සයිටම් වෛද්‍ය පීඨය අහෝසි වීම කෙසේ වුවත්, අඩු වශයෙන් ජීවිත හානි නැතිව මේ අරගලය අවසන් වීම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

ජීවිත හානි සිදු නොවූවත් සයිටම් විරෝධී අරගලයේ සමාජයීය හානිය සැලකිය යුතු තරම්ය. මේ හානියෙන් වැඩිම කොටස අනාගත වෛද්‍යවරුන් වන්නට නියමිතව සිටින වෛද්‍ය සිසුන්ටය. සයිටම් අරගලයේ පාර්ශ්වකරුවන්ගේ ශේෂ පත්‍ර ගණනය කළ හැක්කේ මේ හානි ගැනද විමසීමෙන් පසුවය.

සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමට ආණ්ඩුව විසින් ගත් හදිසි හෝ හදිසි ලෙස පෙනෙන්නට සලස්වා ඇති තීරණයත් සමඟ බොහෝ සයිටම් විරෝධීන් මෙන්ම, සයිටම් විරෝධ විරෝධීන්ද කම්පනයට පත්ව ඇති බව පෙනේ. එවැනි බොහෝ දෙනෙකුගේ නිහඬතාවයෙන් පෙනෙන්නේ එයයි. මා මේ කියන්නේ සෘජුවම මේ ප්‍රශ්නයේ පාර්ශ්වකරුවන් වූ, ප්‍රශ්නයේ කේන්ද්‍රයේ සිටි අය ගැන නොව සයිටම් විරෝධී හෝ සයිටම් විරෝධ විරෝධී ස්ථාවරයක සිටිමින් පැත්තකට වී ආතල් එකක් ගත් අය ගැනය. ප්‍රශ්නයේ කේන්ද්‍රයේ සිටි අයට මේ තීරණය එතරම් විශාල කම්පනයක් ඇති නොකළා වන්නටද පුළුවන.

ජවිපෙට, පෙසපෙට මෙන්ම පොදුවේ සරසවි සිසුන්ටද මේ ආකාරයේ අරගල කිරීම පිළිබඳ මනා පළපුරුද්දක් තිබේ. මේ කණ්ඩායම් විසින් කරන අරගල පොදු හෝ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳා ගැනීම වෙනුවෙන් තනි පුද්ගලයෙකු විසින් හෝ කණ්ඩායමක් විසින් අසංවිධානාත්මක ලෙස අරඹන වහලයක් උඩට නැඟ කරන උපවාසයකට හෝ ගව ඝාතනයට එරෙහිව ගිණි තබා ගැනීමක් වැනි හදිසියේ ආරම්භ කරන අසංවිධානාත්මක විරෝධතාවයකට සමාන කළ නොහැකිය.

ජවිපෙ, පෙසපෙ හෝ පොදුවේ සරසවි සිසුන් අසාධාරණයක් වන හැම විටකම විරෝධතා දක්වන්නට යන්නේ නැත. විශේෂයෙන්ම, එවැනි විරෝධතාවකින් සාර්ථක ප්‍රතිඵල නොලැබෙන බව සක්සුදක් සේ පැහැදිලිව ඇති විට මේ කණ්ඩායම් වලට අයත් පිරිස් කළු ගල් වල ඔලුව ගසාගන්නට යන්නේ නැත. ඔවුන් සාමාන්‍යයෙන් මේ ආකාරයේ අරගලයක් ආරම්භ කරන්නේ ඔවුන්ගේ තක්සේරුව අනුව එසේ කිරීමෙන් ප්‍රතිඵලයක් ලබා ගත හැකි බව පෙනෙන්නට ඇති විටය. මෙවැනි තක්සේරුවක් සෑහෙන තරම් නිවැරදිව කරන්නට තරම් පළපුරුද්දක් මේ කණ්ඩායම් තුනටම තිබේ. ඊට අමතරව, ප්‍රසස්ථ අවස්ථාවේදී අරගලයක් නිමා කර එයින් ඉවත් වීමටද ඔවුන් දක්ෂය.

සයිටම් විරෝධීන්ට ඇති එක් විවේචනයක් වන්නේ පසුගිය ආණ්ඩුව කාලයේ ඔවුන් මේ ආකාරයෙන් විරෝධතා නොදැක්වූ බවයි. මෙයට සයිටම් විරෝධීන් අතර සිටි විවිධ අය ලබා දුන් ප්‍රතිචාර සමාන නැතත්, ඔවුන්ගෙන් ඇතැම් අය ලබා දෙන අවංකයයි සැලකිය හැකි ප්‍රතිචාරයක් වන්නේ මෙවැන්නකි.

"ඇත්ත! ඒ වෙලාවේ එහෙම කළා කියල වැඩක් නොවෙන බව අපි දැනගෙන හිටියා. ඒක නිසා තමයි දැන් මේ පුළුවන් වෙලාවෙ වැඩේ කරගන්න බලන්නේ.."

දැඩි ප්‍රතිරෝධයක් දැක්වීමෙන් මේ ආණ්ඩුව ලවා සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කරගත හැකි බව අඩු වශයෙන් මේ අරගලයේ අවසන් අදියර වලදී පෙනෙන්නට තිබුණේය. එහෙත්, පැහැදිලි නොවූයේ ඒ සඳහා කොපමණ ප්‍රතිරෝධයක් අවශ්‍යද යන්නයි.

සයිටම් විරෝධී අරගලය ආකාරයේ විරෝධතා ව්‍යපාරයකට එහි අරමුණු ඉටු කර ගැනීම සඳහා සමාජය කම්පනය කරන්නට සිදු වේ. එහෙත්, මෙය එක් වර කළ නොහැකිය. ඒ නිසා, අවශ්‍ය තරමට සමාජය කම්පනය වන තාක් කල් අරගලය ඇදගෙන යන්නට සිදු වේ. ඒ සඳහා අරගලය දිගින් දිගටම පෝෂණය කරන්නට තරම් කැපවීමක් ඇති පිරිසක් අවශ්‍ය වේ. මෙසේ දිගින් දිගටම පෝෂණය නොවන අරගලයක් ක්‍රමයෙන් දියාරු වී යයි.

ජවිපෙ හෝ සරසවි සිසුන් (අන්තරේ) වැනි මේ ආකාරයේ අරගල ගැන වෘත්තීය පළපුරුද්දක් ඇති කණ්ඩායමක් සාමාන්‍යයෙන් අඛණ්ඩ උපවාස වලට මිස මාරාන්තික උපවාස වලට ලේසියකට යන්නේ නැත. එසේ කිරීම ඉල්ලන් කෑමක් බව ඔවුහු හොඳාකාරවම දනිති. මේ කණ්ඩායම් මාරාන්තික උපවාසයක් ගැන හිතන්නේ තමන්ගේ ඉල්ලීම ඉතා ඉක්මණින් ලැබෙන බවට ලොකු විශ්වාසයක් ඇති වූ විටක තීරණ ගන්නා අයට උපරිම පීඩනයක් එල්ල කිරීම සඳහා පමණි.

මාරාන්තික උපවාසයකදී මෙන් නොව අඛණ්ඩ උපවාසයකදී තනි පුද්ගලයෙක් දිගටම ආහාර වර්ජනය කිරීමක් සිදු වන්නේ නැත. මෙහිදී සිදුවන්නේ හොඳින් බඩ පිරෙන්නට ආහාර ගැනීමෙන් පසු කිසියම් උපවාස කරුවෙකු තමන්ගේ උපවාස මුරයේ පැය ගණන අවසන් වන තුරු අට්ටාලයක් මතට වී ආහාර නොගෙන සිටීම පමණි. එවැන්නකුගේ උපවාස මුරය ඇරඹෙන්නට පෙර හා උපවාස මුරය අවසන් කිරීමෙන් පසු ආහාර ගැනීම සඳහා පහසුකම් බොහෝ විට ඉතා සැලකිල්ලෙන් සංවිධානය කෙරේ. ඒ නිසා, අඛණ්ඩ උපවාසයක් වසර ගණනක් වුවද ඇදගෙන යන්නට බැරිකමක් නැත.

මෙයින් අදහස් කරන්නේ අඛණ්ඩ උපවාසයක් කාලයක් තිස්සේ ඇදගෙන යාම පහසු දෙයක් බව නොවේ. පැය හයේ හෝ අටේ උපවාස මුරයකට වුවත් දිගින් දිගටම වාඩි කරවන්නට පිරිස් සොයා ගැනීම පහසු නැත.

අඛණ්ඩ උපවාසයක් හරහා කිසියම් ප්‍රශ්නයක් කෙරෙහි ජනතා අවධානය යොමු කරවා ගත හැකි වුවත් ඉන් ඉදිරියට එයින් ප්‍රයෝජනයක් ගැනීම අසීරුය. සයිටම් ප්‍රශ්නය කෙරෙහි ප්‍රමාණවත් ජනතා අවධානයක් යොමු වී තිබුණු අතර එය අමුතුවෙන් ඉහළ දමන්නට අවශ්‍යව තිබුණේ නැත. සයිටම් විරෝධීන් හමුවේ වූ අභියෝගය ප්‍රශ්නය කෙරෙහි ප්‍රමාණවත් ජනතා අවධානයක් යොමු නොවීම නොව සයිටම් විරෝධී මතවාදයට ජනතාව ප්‍රමාණවත් තරමින් සංවේදී නොවීමය. ප්‍රශ්නය ජනතාවගේ පොදු ප්‍රශ්නයක් බව ඒත්තු ගන්වන්නට සයිටම් විරෝධීන් කෙතරම් උත්සාහ කළත් ඔවුන්ට එය කළ නොහැකි විය. සයිටම් විරෝධයට කිසි විටකත් පුළුල් ජනතා සහයක් ලැබුණේ නැත.

තත්ත්වය මෙසේ තිබියදීත්, සයිටම් විරෝධී ප්‍රධාන කණ්ඩායම් මාරාන්තික උපවාසයක් ගැන හිතුවේ නැත. ඒ, මස් රාත්තලම ඉල්ලන සටනකදී මාරාන්තික උපවාසයකට යාම අනතුරුදායක බව ඔවුන් පළපුරුද්දෙන්ම දැන සිටි නිසාය.

වෛද්‍ය සිසුන්ගේ දෙමවුපියන් විසින් මාරාන්තික උපවාසයක් ඇරඹුවේ තත්ත්වය මෙසේ තිබියදීය. මෙවැනි සිදුවීම් වලදී තිරය පිටුපස වෙන දේවල් ගැන මනා අවබෝධයක් ඇති නිසා අවසන් නිගමන වලට එන්නට මා හදිස්සි නොවන නමුත් මේ වැඩේට වෛද්‍ය සිසුන්ගේ දෙමවුපියන් අතගැසීම පුළුල් සැලසුමක කොටසක් ලෙස නොව ස්වභාවික ලෙසම සිදු වූවක් වන්නට සෑහෙන ඉඩකඩක් තිබේ. එසේ සිතූ විට, සයිටම් විරෝධී සටනේ සමතුලිතතාව ක්ෂණිකව වෙනස් වූ ආකාරය තේරුම් ගැනීම පහසුය. ඒ පදනම මත බැලූ විට මෙය සයිටම් විරෝධී ව්‍යාපාරයට හදිසියේම ලැබුණු බෝනස් එකකි. යම් හෙයකින් දෙමවුපියන් උපවාසයට එකතු වුනේ හදිසි තීරණයක් මත නොව පුළුල් සැලසුමක කොටසක් ලෙසයැයි සැලකුවත් එයින් සයිටම් විරෝධී ව්‍යාපාරයට විශාල ජවයක් ලැබුණු බව පැහැදිලිය.

පැවති පසුබිම තුළ මාරාන්තික උපවාසයකට වාඩි වීම යනු ආපසු හැරවීමට අසීරු, විශාල අවදානමක් ඇති  ක්‍රියාවකි. කැමැත්තෙන් සිය දිවි නසා ගන්නා වෙනත් පුද්ගලයෙකුට මෙන්ම මාරාන්තික උපවාසයක යෙදෙන්නෙකුටද මිය යන්නට පෙර කිසියම් අවස්ථාවකදී ජීවිත ආශාව ඇති වේ. එහෙත්, උපවාසකරුවෙකුගේ මරණයක් හෝ විරෝධතාවක් මර්දනය කිරීමේදී පත්තු වන තුවක්කුවක් හරහා තමන්ගේ ඉල්ලීම් දිනාගන්නට බලා සිටින පිරිසකගේ සිරකරුවකුව සිටින, නිරාහාරව සිටීමෙන් දුර්වල වී සිටින අයෙකුට තමන්ට උපවාසය අත හරින්නට අවශ්‍ය වන විට ලොක්කෙක්ගේ අතින් තැඹිලි වතුර ටිකක් බී උපවාසය අත්හැරීම පහසු නොවන්නට පුළුවන.

සයිටම් විරෝධය සමඟ එකතු වී සිටි ඇතැම් කණ්ඩායම් ඉලක්ක කළේ මේ හරහා කිසියම් ආකාරයක අරාජිකත්වයක් වර්ධනය කර ගැනීමටය. එහෙත් සයිටම් විරෝධයට එකතු වී සිටි තවත් බොහෝ දෙනෙකුට තිබුණේ එවැනි අවශ්‍යතාවයක් නොවේ. ඔවුන්ට තිබුණේ, පෙර කී පරිදි, සිය වෘත්තිය, අනාගත වෘත්තිය හෝ දරුවන්ගේ අනාගත වෘත්තිය පිළිබඳ ප්‍රශ්නයකි. කෙසේ වුවද, දශක කිහිපයකට පෙර මෙවැනිම තත්ත්වයක් යටතේ රටේ අරාජිකත්වයක් වර්ධනය විය. මේ අරගලයද දිගටම ඇදුනානම් හෝ ආණ්ඩුව එය මර්දනය කිරීමට ඉක්මන් වූවානම් ව්‍යවස්ථා විරෝධය වැනි තවත් දේවල් එයට එකතු විය හැකිව තිබුණේය.

ලංකාවේ ජනමතය මරණ වලට සංවේදීය. යම් හෙයකින් සයිටම් විරෝධතාවයක් මර්දනය කිරීමේ උත්සාහයක් තුළ පොලිස් වෙඩි තැබීමක් වී මරණයක් සිදු වුණේනම් ජනමතය සැලකිය යුතුව වෙනස් විය හැකිව තිබුණේය. සයිටම් අරගලය තුළ සිටි ඇතැම් කොටස් ඒ බව පැහැදිලිව දැන සිටියේය. මේ ආණ්ඩුව එසේ කරනු ඇති බවට ජනමතයක් ඔවුන් කලින්ම හදමින්ද සිටියේය. එහෙත්, ආණ්ඩුව මෙය හඳුනාගෙන තිබුණු බව පෙනෙන්නට තිබුණේය.

මාරාන්තික උපවාසය ආරම්භ වුණේ මස් රාත්තලම ඉල්ලන අසාධාරණ සටනක් හමුවේ පවා ආණ්ඩුව විසින් මරණයක් ලබා දීම පරක්කු කරමින් සිටි පසුබිමකදීය. ඒ නිසා, මේ උපවාසය හරහා හෝ බලාපොරොත්තුවෙන් සිටි මරණය ලබා ගනිමින් සයිටම් අරගලය වඩා පුළුල් තලයකට ව්‍යාප්ත කර ගැනීමේ උත්සාහය ආණ්ඩුව විසින් නොසලකා හැරිය හැකිව තිබුණු කරුණක් නොවේ.

සයිටම් වෛද්‍ය පීඨය වසා දමන බව දැනුම් දෙමින් ආණ්ඩුව විසින් පෙන්නුම් කළේ උපාය මාර්ගික ලෙස ඔවුන් සයිටම් විරෝධී දේශපාලනය තුළ සිටි කොටස් වලට වඩා ඉදිරියෙන් සිටින බවයි. දෙවනු කී කොටස් දශක දෙකකට පෙර යොදාගත් උපක්‍රමය ප්‍රතිචක්‍රීකරණය කරමින් සිටිද්දී, ආණ්ඩුව විසින් පෙන්නුම් කළේ තමන් එතැන් සිට බොහෝ දුර ගොස් ඇති බවයි.

ඇතැම් අය කියන්නේ ආණ්ඩුව විසින් කිසිවක් නුදුන් බව හා එසේ කිසිවක් නොලබාම සයිටම් අහෝසි කිරීමේ සටන අතහරින්නට සයිටම් විරෝධීන්ට සිදුවී ඇති බවයි. එය එසේයැයි මා සිතන්නේ නැත. යමෙක් එසේ හිතන්නේනම් එය සයිටම් විරෝධීන්ව මෙන්ම ආණ්ඩුවද අවතක්සේරු කිරීමකි. ඉතා පැහැදිලිව සයිටම් විරෝධීන්ට පිළිගත හැකි විසඳුමක් ආණ්ඩුව විසින් ලබා දී තිබේ. එය කුමක් වුවද, වැදගත් කරුණ එය සයිටම් විරෝධීන්ට පිළිගත හැකි විසඳුමක් වීමයි. ඔවුන්ව තාවකාලිකව රැවැට්ටීමෙන් ආණ්ඩුවට මේ වෙලාවේ වාසියක් ලැබිය නොහැකිය.

සයිටම් ප්‍රශ්නය විසඳීම නිසා ලොකුම හානිය වුණේ ඒ හරහා වෙනත් අරමුණු ඉටු කරගැනීමට බලා සිටි කොටස් වලටය. ඔවුන්ට අන්තිමේදී ලැබුණු දෙයක් නැත. එවැනි කොටස් ඉදිරියේදීද තමන්ට එල්ලීමට ඉඩක් ඇති මේ ආකාරයේ ප්‍රශ්න හොයනු ඇතත් එය පහසු කරුණක් නොවේ. වෛද්‍ය සංගමය ප්‍රධාන වෛද්‍යවරුන් සයිටම් විරෝධය සමඟ සිටීම නිසා ආණ්ඩුවට එරෙහි මේ අරගලයේ සමතුලිතතාවය වෙනස් වූ ආකාරය, වෙනත් ආණ්ඩු විරෝධී අරගලයකදී ඇති නොවිය හැකි සුවිශේෂී තත්ත්වයකි.

ආණ්ඩුව සයිටම් අහෝසි කිරීමේ අවසන් තීරණයට එන්නත් පෙරම වෛද්‍යවරුන් සමඟ කිසියම් එකඟතාවයකට පැමිණ තිබුණේය. ඇත්තටම කියනවානම් සයිටම් අරගලයට හා හැකි දුර ලකුණු වුණේ ඒ අවස්ථාවේදීමය.

සයිටම් විරෝධයට මුල් වූ වෛද්‍යවරුන්ගේ හා අනාගත වෛද්‍යවරුන්ගේ සැබෑ ප්‍රශ්නය වූයේ ඒ හරහා ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින් සැපයුම විශාල ලෙස ඉඩ යා හැකි වීමේ ප්‍රශ්නයයි. මෙවැන්නක් ඇත්තටම සිදුවීමේ ඉඩක් තිබුණු අතර සයිටම් හෝ වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨ නොතිබුණත් තව වසර ගණනාවකට පසු වෛද්‍ය උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා ගැනීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නට ඉඩ තිබේ. මේ ප්‍රශ්නය ගැන කතා කිරීම සඳහා මේ ලිපියේ ඉඩ වෙන් කරන්නට අදහසක් නැතත්, මෙය දැනට ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින්ව සිටින බොහෝ දෙනෙක් දන්නා කරුණකි. මධ්‍යගත සැලසුම් යටතේ සැපයුම තීරණය වන විටක ඉල්ලුම හා සැපයුම අතර හිඟයක් මෙන්ම අතිරික්තයක්ද ඇති විය හැකිය. සයිටම් වැනි තවත් වෛද්‍ය පීඨ ඉදිවීම නිසා මේ තත්ත්වය වඩා ඉක්මණින් ඇතිවිය හැකිව තිබුණේය.

ඉහත කී ආකාරයේ තත්ත්වයක් ඇති වී අනාගත වෛද්‍ය උපාධිධාරියෙකු රැකියා පෝලිමේ වේලීම දැනට සේවයේ යෙදෙන වෛද්‍යවරයෙකුට විශාල ප්‍රශ්නයක් නොවූවත් එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවන්නේද නැත. වෙළඳපොල තරඟය වැඩිවීම නිසා සිදුවන අවාසිය පැත්තකින් තිබ්බත් එහි වෘත්තීය ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක්ද තිබේ. ලංකාවේ නීතිඥ වෘත්තිය හා අදාළව දැනටමත් මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේ. දැනට සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ට වඩා වැඩියෙන් මේ ප්‍රශ්නය වෛද්‍ය සිසුන්ට දැනේ. ඔවුන්ගේ දෙමවුපියන්ටද දැනේ.

අනෙක් අතට දිගින් දිගටම පංති වර්ජනය කරමින් සිටි වෛද්‍ය සිසුන්ට ඒ හේතුව නිසා ජීවිත කාලීන ආර්ථික අවාසියක් එකතු වෙමින් තිබුණේය. සයිටම් අහෝසි කිරීමත්, ඒ හේතුවෙන් තවත් වසර ගණනකට වෛද්‍ය සැපයුම සීමාවීමත් නිසා ඔවුන්ට ජීවිතකාලීන වාසියක් ලැබුණත් අරගලය ඇදී ගිය කාලය සැලකූ විට ඔවුන්ට ශුද්ධ වාසියක් ලැබුණේද යන්න සැක සහිතය. දෙමවුපිය උපවාසය ඇරඹෙන විට ඔවුන් වැය කර තිබුණු ආවස්ථික පිරිවැය සැලකූ විට සයිටම් අහෝසි නොකළේනම් ඔවුන්ට අවසාන වශයෙන් ලැබිය හැකිව තිබුණේ ශුද්ධ අලාභයකි. සයිටම් හෝ වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨ නැතත්, ලංකාවේ අනාගත වෛද්‍ය සැපයුම හා රැකියා පුරප්පාඩු සැලකූ විට ඔවුන්ගේ දැන් තත්ත්වයේත් ලොකු වෙනසක් නොතිබෙන්නට පුළුවන.

වෛද්‍ය සිසුන්ට සාපේක්ෂව මේ අරගලයේදී වෛද්‍යවරුන් විසින් කළේ අඩු කැපකිරීමකි. එහෙත්, ඔවුන්ට ලැබුණු වාසියද එතරම් විශාල නැත. සයිටම් හේතුවෙන් කිසියම් අවාසියක් හෝ එය අහෝසි කිරීම නිසා වාසියක් ලැබෙන්නේ සාපේක්ෂව තරුණ වෛද්‍ය වරුන්ටය. එහෙත්, එවැනි වාසියක් වුවද, පෙර විස්තර කළ හේතුවම මත දිගුකාලීන හෝ විශාල එකක් නොවනු ඇත.

බිස්නස් කාරයෙක් කියන්නේත් වෛද්‍යවරයෙකු වැනිම ජනතාවට සේවයක් සලසන අයෙකි. එහෙත්, බොහෝ දෙනෙක් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුව "නෙවිල් මුදලාලි" ලෙස හැඳින්වූයේ මේ මුදලාලිගේ සේවය ගැන ගෞරවයක් වශයෙන් නොවේ. ඇත්තටම නෙවිල් ප්‍රනාන්දු හොඳ බිස්නස් කාරයෙක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට අත ගැසීම කිසියම් ව්‍යවසායකයෙකු විසින් ගන්නා අවදානමට සරිලන තරමේ ලාභ නොලැබිය හැකි කටයුත්තකි. සයිටම් අරගලයේ අවසන් ප්‍රතිඵලය විසින්ද ඔප්පු කර ඇත්තේ එයයි.

නෙවිල් ප්‍රනාන්දු සයිටම් වෛද්‍ය පීඨය හා ශික්ෂණ රෝහල වෙනුවෙන් ආයෝජනය කළ මුදල් හෝටල් හෝ ඉදිකිරීම් (තට්ටු නිවාස) වැනි ක්ෂේත්‍රයක යෙදෙවුවානම් ඔහුට මීට වඩා අඩු අවදානමක් ගෙන වැඩි ලාබයක් ලැබිය හැකිව තිබුණේය. ඒ නිසා, තමන්ගේ වෘත්තීය ක්ෂේත්‍රයට යමක් කරන්නට ඔහුට ඇත්තටම අවශ්‍යතාවයක් තිබුණා වන්නට පුළුවන. නෙවිල් ප්‍රනාන්දුගේ අරමුණ වූයේ මුදල් ලාභ වුවත්, පුරෝගාමියෙකු වීමේ කීර්තිය වුවත් අවසාන වශයෙන් ඔහු අපේක්ෂා කළ දෙය ඔහුට ලැබී නැත. මේ අනුව, නෙවිල් ප්‍රනාන්දු අසාර්ථක ව්‍යවසායකයෙකි.

කෙසේ වුවත්, නෙවිල් ප්‍රනාන්දු සයිටම් ආයෝජනය කළේ රාජපක්ෂලා තවත් කලක් බලයේ සිටිනු ඇතැයි යන විශ්වාසයෙන් වන්නට පුළුවන. සයිටම් අරඹන කාලයේ පෙනෙන්නට තිබුණු පරිදි රාජපක්ෂලා ගෙදර යැවීම ළඟක වූ දෙයක් නොවේ. මේ අනුව, නෙවිල් ප්‍රනාන්දුට විශාල අලාභයක් විඳින්නට වුණේ ගණන් වරද්දා ගැනීම නිසායැයි කියන්නටද පුළුවන.

දැනට සිටින සයිටම් වෛද්‍ය පීඨ සිසුන්ට බාධාවක් නැතිව උපාධිය ලබාගැනීමට ඉඩ සැලසෙනු ඇතත් ඔවුන්ටද විශාල අවාසියක් වී ඇති බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

සයිටම් විරෝධීන් අතර විවිධ කණ්ඩායම් සිටියාක් මෙන්ම සයිටම් විරෝධ විරෝධීන් අතරද විවිධ කණ්ඩායම් සිටියේය. මේ අයගෙන් කොටසක් දොස්තරලා සමඟ ඇරියස් තිබුණු අයයි. තවත් කොටසක් සයිටම් අරගලය සමඟ සිටි ජවිපෙ හා පෙසපෙ වැනි පක්ෂ සමඟ ඇරියස් තිබුණු අයයි. සයිටම් අරගලය පවතින ආණ්ඩුවට එරෙහි අරගලයක්ය යන අදහසින් එයට විරුද්ධ වූ අයද සිටියේය. එහෙත්, මේ සියලු කොටස් ඉවත් කළද සයිටම් අරගලය අසාධාරණ බවත්,  පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ඉඩ සැලසිය යුතු බවත් සිතූ විශාල පිරිසක්ද වූහ. සයිටම් නිසා සෘජු වාසි ලබන කොටස් හැර වෙනත් අය සංවිධානාත්මක ලෙස හඬක් නැගුවේ නැතත්, සයිටම් විරෝධී අරගලයට සාපේක්ෂව ලංකාවේ උසස් අධ්‍යාපන ආකෘතිය ගැන විශාල කතිකාවක් ඇති විය. මෙය ඉතා සාධනීය එකකි. මේ කතිකාවේ ප්‍රතිඵල ඉදිරියේදී ලැබෙනු ඇත.

සයිටම් ප්‍රශ්නය කිසිවිටෙකත් ලංකාවේ බහුතර ජනතාවගේ ප්‍රශ්නයක් වුණේ නැත. ඇත්තටම කියනවානම් මේ ප්‍රශ්නයේ අන්ත දෙකේම හිටියේ සෑහෙන තරමකින් අතිපිහිත වන එකම සමාජ ස්ථරයකි. සයිටම් විරෝධීන් මෙන්ම සයිටම් විරෝධ විරෝධීන් වැඩි දෙනෙක්ද සිටියේ මේ එකම සමාජ ස්ථරය ඇතුළේය.

සයිටම් ප්‍රශ්නය හේතුවෙන් ලංකාවේ සමාජය බෙදුණේ තිරස් අතට නොව සිරස් අතටය. පුළුල් අර්ථයෙන් එය දේශපාලනික බෙදීමක් වුවත් මේ බෙදුම් ඉර වැටී තිබුණේ සම්ප්‍රදායික දේශපාලන මතවාද අනුව නොව ඒ මතවාද එක එකක් ඇතුළෙනි. සයිටම් විරෝධ විරෝධීයෙකු වුණේ සයිටම් විරෝධියාගේම අනික් පලුවයි. සයිටම් විරෝධයට සංවිධානාත්මක ප්‍රතිරෝධයක් නොආවේ එබැවිනි.

මේ කරුණ මතුපිටින් පෙනෙනවාට වඩා වැදගත් කරුණකි.

සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය පීඨ වලට ඉල්ලුමක් එන්නේ "සල්ලිකාරයන්ගේ මෝඩ පුත්තුන්ගෙන්" නොවේ. (පුරුෂ ලිංගිකත්වය යොදාගත්තේ සාමාන්‍ය ව්‍යවහාරය අනුව යමිනි.) ලංකාවේ සල්ලිකාරයන්ගේ මෝඩ පුත්තුන්ට වෛද්‍ය පීඨයකට ගොස් කටු නොකෑවාට තවත් කරන්නට වැඩ ඕනෑ තරම් තිබේ. ඒවා මා විස්තර කරන්නට යන්නේ නැත.

ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට පමණක් නොව සමස්තයක් ලෙස පෞද්ගලික අධ්‍යාපනයටම ඉල්ලුම එන්නේ නාගරික හෝ අර්ධ නාගරික, ඉහළ මධ්‍යම පාන්තික ස්ථරය තුළ සිටින සාපේක්ෂව හොඳ අධ්‍යාපනයක් ලබා සිටින දෙමවුපියන්ගේ දරුවන්ගෙනි. ජාත්‍යන්තර පාසැල් වලට දරුවන් යැවීම වැනි දේ සැලකූ විට, මේ ඉල්ලුම ක්‍රමයෙන් පහළ මධ්‍යම පන්තිය වෙතද ව්‍යාප්ත වේ. ලංකාවේ රජයේ වෛද්‍ය පීඨ වල පුරප්පාඩු වලින් විශාල ප්‍රමාණයක් පුරවන්නේද මේ ස්ථරයමය.

ලංකාවේ ඉහළම ආදායම් ලබන, වෘත්තීය රැකියා නොකරන ස්ථරයට රජයේ වෛද්‍ය පීඨ වලින් තබා සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය පීඨ වලින්ද වැඩක් නැත. පහළ ස්ථර වලට සයිටම් පමණක් නොව රජයේ වෛද්‍ය පීඨද ළඟා වීමට අසීරු ඉලක්කයකි. ඒ නිසා, මේ ප්‍රශ්නයම ලංකාවේ සමාජයේ එක ස්ථරයක් ඇතුළේ තිබෙන ප්‍රශ්නයකි. එහෙත් මේ ස්ථරය ලංකාවේ දේශපාලන බලය තිබෙන ස්ථරයයි.

මෙයට සාපේක්ෂව, උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල අරගලය සිදුවන කාලයේදී රජයේ වෛද්‍ය පීඨ වල සිටි (හෝ ඒවාට ඇතුළු විය හැකිව සිටි) සිසුන්ගේ සමාජ ආර්ථික පදනම අද තරම් ඉහළ මට්ටමක තිබුණේ නැත. සංකේතීය වශයෙන් කියනවානම්, ඒ කාලයේදී රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වුණේ කලා උපාධිධාරී ගුරුවරයෙකුගේ හෝ මධ්‍ය මහා විද්‍යාලයකින් උගත් රජයේ සේවකයෙකුගේ දරුවෙකි. අද රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වන්නේ වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු වැනි වෘත්තිකයෙකුගේ දරුවෙකි (මෙය කරුණ පැහැදිලි කිරීම සඳහා ලියන්නක් නිසා කිසියම් අතිශයෝක්තියක් තිබේ). සයිටම් ප්‍රශ්නය "ඇතුළේ" ප්‍රශ්නයක් වූ නිසා එය "ඇතුළේම විසඳාගැනීම" පහසු විය.

සයිටම් වෛද්‍ය පීඨයට හෝ වෙනත් එවැනි වෛද්‍ය පීඨයකට දරුවෙකු යවන්නට සිටි අයෙකුට සයිටම් අහෝසි කිරීම නිසා ලොකු අවාසියක් වන්නේ නැත. කොහොමටත් මේ ස්ථරයේ පළමු ඉලක්කය වන්නේ රජයේ වෛද්‍ය විද්‍යාලයකට දරුවෙකු ඇතුළු කර ගැනීමයි. පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයෙන් උපාධිය ලබා රජයේ දන්ත වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන, ලංකාවේ සරසවි වලින් තමන් ලැබූ සහතික සිය සායනයේ දැන්වීම් පුවරුවක් පුරා ප්‍රදර්ශනය කරන, උසස්පෙළ දරුවෙකුගේ පියෙකු විභාග වංචාවකට උදවු ගැනීම සඳහා රුපියල් මිලියනයක් ටියුෂන් ගුරුවරයෙකුට ගෙවීමම උදාහරණයක් ලෙස සැලකුවත් ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා ආදායම් වෙනසක් නැතිව සැමටම එක සේ ලැබෙන ආකාරය ගැන හිතාගන්නට පුළුවන.

සයිටම් කියන්නේ සල්ලිකාරයින්ගේ මෝඩ පුත්තුන් වෙනුවෙන් හැදුණු තැනක් නොව රජයේ වෛද්‍ය පීඨ වලට දරුවන් යවන සමාජ ස්ථරයටම අලුතින් ලැබුණු තවත් විකල්ප අවස්ථාවක් පමණි. එය නැති වුනා කියා ඔවුන්ට ලොකු අවාසියක් වන්නේ නැත. විදෙස් සරසවියකට දරුවන් යැවීම වැනි විකල්ප සයිටම් වලටද වඩා වාසිදායක නිසා සයිටම් වලින් ඔවුන්ට විශාල වාසියක් ලැබී තිබුණේ නැත. සයිටම් රැකගැනීම වෙනුවෙන් සංවිධානාත්මක ව්‍යුහයක් ගොඩ නොනැඟුනේ එබැවිණි.

වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට විරුද්ධ වුවත්, පොදුවේ උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම නිසා ප්‍රයෝජන ගන්නේ සයිටම් වලට එරෙහි වූ සමාජ ස්ථරයමය. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මඟින් පිරිනමන වෙනත් උපාධි සඳහා පවතින ඉල්ලුම එන්නේ මේ සමාජ ස්ථරයෙනි. ඒ නිසා, මේ අයට පොදුවේ උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම පිළිබඳව ප්‍රශ්නයක් නැතුවා පමණක් නොව එවැනි විරෝධයකදී මේ සයිටම් විරෝධීන් මෙන්ම සයිටම් විරෝධ විරෝධීන්ද හිටගන්නේ එකම පැත්තේය. ඒ නිසා, සයිටම් අහෝසි කිරීම නිසා ලැබුණු කිසියම් පන්නරයක් වේනම් එය පොදුවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහි අරගලයක් දක්වා ව්‍යාප්ත කිරීමට කිසිදු විභවයක් නැත.

මෙහිදී වෛද්‍ය අධ්‍යාපනය පමණක් වෙනස් ලෙස සැලකුණේ එම වෘත්තියේ ඇති සුවිශේෂීතාවක් නිසා නොවේ. වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා සැපයීමේ වෙළඳපොළේ පවතින සුවිශේෂීතාවය නිසාය. වෙනත් වෘත්තීය ක්ෂේත්‍ර වලින් වෙනස්ව එහි ඇත්තේ මධ්‍යගත ලෙස සැලසුම් කෙරෙන රාජ්‍ය ඒකාධිකාරයකි. ලංකාවේ රාජ්‍ය ව්‍යුහය තවදුරටත් පුළුල් කළ නොහැකි නෛසර්ගික සීමාවකට දැනටමත් පැමිණ ඇති බැවින් අනාගත වෛද්‍ය උපාධිධාරීන්ගේ රැකියා සුරක්ෂිතභාවය හා අදාළව පිපිරෙන්නට නියමිත කාල බෝම්බය පිපිරීම සයිටම් අහෝසි වූ පමණින් වැළකෙන්නේ නැත. ඒ ප්‍රශ්නය විසඳාගත හැක්කේ වෙළඳපොළ කෙරෙහි විශ්වාසය තැබීමෙන් පමණි.

Thursday, November 9, 2017

සයිටම් අහෝසි කිරීම ආණ්ඩුවේ පරාජයක්ද?


සයිටම් වෛද්‍ය පීඨය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ. සයිටම් විරෝධී ව්‍යාපාරය ක්‍රමිකව ගොඩ නැඟුණු හා විකාශනය වුනු ආකාරය අනුව මේ අවස්ථාවේදී ආණ්ඩුවට කළ හැකිව තිබුණු හොඳම දෙය මෙන්ම කළ යුතුව තිබුණු දෙයද මෙයයි. මේ තීරණය නිසා දීර්ඝකාලීනව ඇතැම් අහිතකර ප්‍රතිඵල ඇති වෙනු ඇතත්, මේ තීරණය වෙනුවට ගත හැකිව තිබුණු විකල්ප තීරණ නිසා ඇති විය හැකිව තිබුණු ප්‍රතිඵල ඊට වඩා අහිතකරය.

සයිටම් වෛද්‍ය පීඨය ආරම්භ කළේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව නොව පසුගිය ආණ්ඩුව කාලයේදීය. එහෙත්, සයිටම් ගැටලුවට මුහුණ දෙන්නට වූයේ වත්මන් ආණ්ඩුවටය.

මේ ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හා කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටින අතර ඒ අරමුණ වෙනුවෙන් සැලකිය යුතු දෙයක් කරයි. එවැනි ප්‍රතිපත්තියක සිටින ආණ්ඩුවකට පෞද්ගලික ව්‍යවසායකයෙකු විසින් උසස් අධ්‍යාපන සේවාවන් මුදලට විකිණීමට විරුද්ධ වීමේ හැකියාවක් නැත. ඒ නිසා, ආණ්ඩුව මුල සිටම සිටියේ සයිටම් වෛද්‍ය පීඨය වසා නොදමන ස්ථාවරයකය. කෙසේ වුවද, සයිටම් විරෝධය හමුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මුල සිටම කිසියම් නම්‍යශීලී බවක්ද පෙන්නුවේය. සයිටම් විරෝධය වර්ධනය වී මේ අයුරින් සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමෙන් අවසන් වීමට එම නම්‍යශීලී භාවයද හේතුවක් විය. පසුගිය ආණ්ඩුවේ පාලකයින් බලයේ සිටියානම් සයිටම් විරෝධය මේ තරම් දුරදිග යන්නේ නැත.

වත්මන් ආණ්ඩුවේ නම්‍යශීලී භාවය ප්‍රදර්ශනය වුනේ සයිටම් ප්‍රශ්නයේදී පමණක් නොවේ. අයවැය යෝජනා වල සිට එක්ටා දක්වා විවිධ අවස්ථා වලදී තමන්ගේ මුල් ප්‍රතිසංස්කරණ යෝජනා අකුලා ගනිමින්, ආණ්ඩුව විසින් පැහැදිලිව ප්‍රදර්ශනය කළේ තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මහා ලොකු මිලක් ගෙවන්නට තමන් සූදානම් නැති බවයි.

බොහෝ දෙනෙක් මේ තත්ත්වය තේරුම් ගන්නේ ආණ්ඩුවේ කොන්ද පණ නැතිකම ලෙසිනි. එහෙත්, ඇත්තටම එය පවතින දේශපාලන බලතුලනයේ ප්‍රතිඵලයකි.

එක පැත්තකින් ආණ්ඩුව සමඟ රටේ විශාල පිරිසක් නැත. අනෙක් පැත්තෙන් වත්මන් ආණ්ඩුව කියන්නේ සමජාතීය කණ්ඩායමක් නොව එකිනෙකා සමඟද ප්‍රශ්න ඇති කණ්ඩායම් කිහිපයක එකතුවකි. ඒ නිසා, වත්මන් ආණ්ඩුවට තමන් වඩා සුදුසුයැයි හිතන ප්‍රතිපත්ති කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැත. එය නරක තත්ත්වයක්ද නොවේ.

සයිටම් විරෝධීන් අතර කණ්ඩායම් ගණනාවක් සිටි අතර ඒ කණ්ඩායම් වලට සයිටම් වෛද්‍ය පීඨයට විරුද්ධ වීමට ඔවුන්ගේම හේතු තිබුණේය. මේ අතරින් රජයේ වෛද්‍යවරුන්ට වෘත්තීය ප්‍රශ්නයක් තිබුණු අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ට නායකත්වය දුන්නේය. අනාගත වෛද්‍යවරුන් වෙන්නට සිටි වෛද්‍ය පීඨ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමවුපියන්ටද තිබුණු ප්‍රශ්නය මෙහිම දිගුවකි. මේ වෘත්තීය ප්‍රශ්නය විවිධ මාන තිබුණු එකකි. තමන්ගේ වෘත්තීය ප්‍රශ්න හෝ පෞද්ගලික ශුභ සිද්ධිය වෙනුවෙන් කතා කිරීමට හා සාමකාමී ලෙස අරගල කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇති අතර එසේ කිරීම නරක දෙයක් නොවේ.

සයිටම් වෛද්‍ය පීඨය සාර්ථක ව්‍යාපෘතියක් වූවානම් තවත් එවැනි වෛද්‍ය පීඨ ගණනාවක් ලංකාවේ ඇති විය හැකිව තිබුණේය. ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින්ගේ පැත්තෙන් බැලූ විට ඔවුන්ගේ වෘත්තිය හා අදාළව ඉදිරියේදී කොහොමටත් ඇතිවන්නට නියමිත ඇතැම් ගැටළුකාරී තත්ත්වයන් මේ හේතුවෙන් උග්‍ර විය හැකිව තිබුණේය. සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කර දැමීම යනු තවත් කලකට ලංකාවේ එවැනි පෞද්ගලික වෛද්‍ය පීඨ ඇති වීම වලක්වාගැනීමක්ද විය.

අනෙක් අතට, ආණ්ඩුවට හෝ සයිටම් වෛද්‍ය පීඨයට සම්බන්ධයක් නැති, සයිටම් වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙක් එසේ කළේද මේ හේතුව නිසාමය. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමෙන් පසු දශක දෙකකටත් වැඩි කාලයක් යන තුරු ලංකාවේ වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨයක් ආරම්භ වූයේ නැත. සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමෙන් පසු තවත් දිගු කාලයකට ලංකාවේ පෞද්ගලික වෛද්‍ය පීඨයක් ආරම්භ නොවනු ඇත.

සයිටම් විරෝධය සමඟ සිටි ප්‍රධානම දේශපාලන බලවේග දෙක ජවිපෙ හා පෙසපෙයි. මේ පක්ෂ දෙකම මාක්ස්වාදී සමාජවාදී පක්ෂයි. අධ්‍යාපන සේවා සැපයීම රාජ්‍ය ඒකාධිකාරයක් ලෙස තබාගැනීම සමාජවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයකි. ඒ නිසා, ඔවුන්ටද සයිටම් විරෝධී ව්‍යාපාරය සමඟ එකතු වන්නට හේතු තිබුණේය. තමන් විශ්වාස කරන මතවාදයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සක්‍රිය මැදිහත්වීමක් කරන්නට දේශපාලන පක්ෂයකට අයිතියක් තිබේ.

මෙයට අමතරව මේ අරගලය තුළ සිටි ප්‍රධානම බලවේගය සරසවි සිසුන්ය. ඔවුන්ගෙන් වෛද්‍යපීඨ සිසුසිසුවියන් හා පෙසපෙ ජවිපෙ පක්ෂ දෙකේ ක්‍රියාකාරීන් ඉවත් කළහොත් ඉතිරි අයට මේ කටයුත්තෙන් ලැබුණු සෘජු වාසියක් නැත. අඩුම වශයෙන් මේ කොටස, ඔවුන් විශ්වාස කළ පරිදි, නිදහස් අධ්‍යාපනය රැක ගන්නට ඉදිරිපත් වූවෝය. බොහෝ දෙනෙක් සිතන පරිදි සරසවි සිසුන් යනු පෙසපෙට හෝ ජවිපෙට අවශ්‍ය පරිදි නැටවිය හැකි පිරිසක් නොවේ. එම පක්ෂ වලට සරසවි සිසුන්ගේ සහයෝගය ලබාගත හැක්කේ හා ඔවුන්ට නායකත්වය දිය හැක්කේ ඒ සඳහා අවශ්‍ය පසුබිමක් නිර්මාණය වී ඇති විටකදී පමණි.

කවර ආකාරයකින් හෝ සයිටම් විරෝධය තුළ විශාල පිරිසක් එකතු වී සිටියේය. මේ බොහෝ දෙනෙකු ඉතා සක්‍රිය මැදිහත්වීමක්ද කළේය. එයට සාපේක්ෂව සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට මුල සිටම විශාල පිරිසක් සිටියේ නැත. සයිටම් සිසුන් හා දෙමවුපියන් හැරුණු විට එසේ පෙනී සිටි අයද තනි පුද්ගලයින් මිස සංවිධානාත්මක කණ්ඩායමක් නොවූ අතර, ඔවුන් බොහෝ දෙනෙකුට පොදුවේ අධ්‍යාපනයේ නිදහස මිස සයිටම් වෛද්‍ය පීඨය වැදගත් දෙයක් වූයේ නැත.

සයිටම් විරෝධය සංවිධානාත්මක බලයක් ලෙස මතු වී දිගින් දිගටම ඇදෙන විට ආණ්ඩුවට එය නොසලකා සිටිය හැක්කේ සයිටම් වෙනුවෙන් හෝ පොදුවේ අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන්ද එවැනිම සංවිධානාත්මක දේශපාලන බලයක් මතු වේනම් පමණි. එවැන්නකට නායකත්වය දීමේ ශක්‍යතාවයක් තිබුණු කණ්ඩායම් දෙකක් සිටියේය. ඒ එජාපය හා ශ්‍රීලනිපයයි. මේ පක්ෂ දෙකටම සිය ප්‍රතිපත්ති අනුව සයිටම් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් තිබුණේය.

ශ්‍රීලනිපයේ රාජපක්ෂවාදී බලවේග සයිටම් විරෝධය හරහා ආණ්ඩුව අසීරුවට පත්වනු බලා සිටි අතර ඔවුන්ට සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට අවශ්‍ය නොවීය. තමන් පෙනී සිටින ප්‍රතිපත්ති ජනතාව වෙතට ගෙනයාමේ දක්ෂතාවයක් නැති ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙකටද එවැන්නක් කළ නොහැකි විය.

සයිටම් විරෝධීන්ගේ පීඩනය ක්‍රමයෙන් වැඩි වෙද්දී ආණ්ඩුවට ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් තිබුණේය. පළමුවැන්න අනම්‍යව සිටීමයි. දෙවැන්න යම් පමණකින් නම්‍යශීලී වීමයි. මේ දෙකෙන් ආණ්ඩුවේ තේරීම වූයේ දෙවැන්නයි. මේ නම්‍යශීලිත්වයේ ප්‍රතිඵලය වූයේ  "දැන් ටිකක්. පසුව ඉතිරි ටික" ක්‍රමයට සයිටම් විරෝධී සටන දිගටම ඇදී යාමයි. ආණ්ඩුව විසින් සයිටම් අහෝසි කරන බව නිවේදනය කරන විටත් සයිටම් වලින් ඉතිරිව තිබුණේ වලිග කෑල්ලක් පමණි. ඒ කෑල්ල තියා ගැනීම සඳහා ලොකු මිලක් ගෙවන්නට ආණ්ඩුව යොමු නොවන බව පැහැදිලි කරුණක් විය.

ආණ්ඩුව මුල සිට දැඩි ප්‍රතිපත්තියක සිටියේනම් ප්‍රතිඵලය වඩා හොඳ එකක් විය හැකිව තිබිණැයි කිව නොහැකිය. අරගලයේ මුල් අවස්ථාවේදී කිසිවක් නුදුන්නේනම් ආණ්ඩුවට සිදුවන්නේ බලය යොදා අරගලය මර්දනය කිරීමේ විකල්පය තෝරා ගන්නටය. සයිටම් විරෝධය තුළ සිටි කණ්ඩායම් සියල්ලේම නොවූවත් ඇතැම් කණ්ඩායම් වල ඉලක්කය වූයේ එවැනි තත්ත්වයකි. ආණ්ඩුව එය හඳුනා ගත්තේය. නොඉවසිලිමත් පොලිස් නිලධාරියෙකු අතින් තුවක්කුවක් පත්තු වූවානම් තත්ත්වය බොහෝ වෙනස් විය හැකිව තිබුණේය.

සයිටම් විරෝධී අරගලය අවසාන අදියරේදී තිබුණු තැන අනුව සයිටම් අහෝසි කරන තුරු එය අවසන් වන්නට ඉඩක් නොතිබුණේය. ඒ නිසා, ඒ වෙලාවේද ආණ්ඩුවට තෝරා ගත හැකිව තිබුණේ දරුණු මර්දනයකට යාම හා සයිටම් අහෝසි කිරීම යන විකල්ප දෙකෙන් එකකි. සයිටම් අහෝසි කිරීමේ නරක ප්‍රතිඵල තිබුණත්, විරෝධය මර්දනය කරන්නට යාමේ ප්‍රතිඵල ඊට වඩා හානිකර විය හැකි බව ආණ්ඩුව නිවැරදිව තේරුම් ගත්තේය. එවිට ඉතිරි වන්නේ සයිටම් අහෝසි කිරීමේ විකල්පය පමණි. එය හැකි ඉක්මණින් කළ තරමට හානිය අවමය.

ආණ්ඩුවේ තීරණය මේ වෙලාවේ ගත හැකිව තිබුණු හොඳම තීරණයයි. එමෙන්ම, පසුව වලිග කෑලි ඉතිරි කර නොගෙන තීරණය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කර ප්‍රශ්නය අවසන් කිරීමටද ආණ්ඩුව සැලකිලිමත් විය යුතුය. සයිටම් අහෝසි කිරීමෙන් පසුව වෛද්‍යවරුන්ට හා වෛද්‍ය සිසුන්ට ප්‍රශ්නය ඇදගෙන යන්නට අවශ්‍යතාවයක් නැති වේ. ආණ්ඩුවේ පැත්තෙන් සයිටම් විරෝධීන්ට වෙනත් විරෝධතා නිමිති ලබාදීමක්ද කර නැත. කෙසේ වුවත්, ආණ්ඩුව සයිටම් විරෝධය හමුවේ නැමීම තවත් එවැනි විරෝධතා වලට පූර්වාදර්ශ සපයන්නට ඉඩ තිබේ.

මතුපිටින් පෙනෙන පරිදි සයිටම් සටනින් දේශපාලනික වාසියක් ලැබුණේ ජවිපෙට හා පෙසපෙටය. මේ පක්ෂ දෙකෙන් මැතිවරණයදී බලයක්ව සිටින්නේ ජවිපෙයයි. ජවිපෙය එල්ලුණේ පෙසපෙ හා සරසවි සිසුන් විසින් ඇදගෙන ගිය අරගලයක වුවත් අවසන් වශයෙන් මැතිවරණයකදී මෙහි වැඩි වාසිය ලබන්නේ ජවිපෙයි.

පළාත් සභා ඡන්දය නුදුරු දිනක පැවැත්වෙන්නට නියමිතව ඇති අතර මෙය පොදුජන පක්ෂය, එජාපෙ හා ශ්‍රීලනිප අතර තුන් කොන් සටනක් විය හැකිය. ඇතැම් විට එජාපෙ හා ශ්‍රීලනිප එක්ව තරඟ කරන්නටද ඉඩ තිබේ. මේ දෙකෙන් කුමක් වුවත්, ආණ්ඩුවේ පක්ෂ දෙකට පොදුජන පක්ෂයෙන් දැඩි තරඟයක් එල්ල වීමට නියමිත අතර එතරම් හොඳ නැති මැතිවරණ ප්‍රතිඵලයක් ආණ්ඩුව අස්ථාවර කරන්නට වුවද පුළුවන.

ජවිපෙ වඩා ජනප්‍රිය වීම යනු ආණ්ඩු විරෝධී ඡන්ද වැඩි ප්‍රමාණයක් ජවිපෙ විසින් ලබාගැනීමයි. ජවිපෙ විසින් ආණ්ඩු විරෝධී ඡන්ද වැඩියෙන් ආකර්ෂණය කරගන්නා තරමට ආණ්ඩුවේ පක්ෂ දෙකට පොදුජන පක්ෂය අභිබවන්නට ඇති ඉඩකඩ වැඩිවෙයි. ඒ නිසා, මේ වෙලාවේ සයිටම් අහෝසි කිරීමෙන් වක්‍ර ලෙස ආණ්ඩුවටද දේශපාලන වාසියක් ලැබී තිබේ.

Sunday, November 5, 2017

කාගෙත් ලේ රතු පාටද?


කාගෙත් ලේ රතු පාට බව නිතර ඇහෙන කියමනකි. එහෙම කියන අය අතරේ "අපිනම් කැපුවත් කොළ!" කියා කියන අයත් "අපේනම් ලේත් නිල් පාටයි!" කියන අයත් නැත්තේම නැත. කියන කොට එහෙම කිවුවත් කපා බැලුවොත් එහෙම කියන කාගෙත් වාගේ ලේ රතු පාටය.

පන්සල් වල දකින්නට ඇති මුගලන් හාමුදුරුවන්ගේ පිළිමත්, දේවාල වල ඇති විෂ්ණු දෙවියන්ගේ පිළිමත් පාට කර තිබෙන්නේ නිල් පාටිනි. කුඩා කල ලංකාවේ ජීවත් වූ මට මේ මුගලන් පිළිම හා විෂ්ණු පිළිම නිතර දැකීම නිසාම එහි අමුත්තක් නොතිබුණත්, මගේ දරුවන්ට කුඩා කල එවැනි පිළිම දකින්නට ලැබී නොතිබුණේය.

මගේ වැඩිමල් දරුවාගේ වයස වසර හතක් පමණ වූ කාලයේ ලංකාවට ගිය අවස්ථාවක මම දරුවන් හා මගේ සොයුරාද සමඟ මා කලක් ලඟින් ඇසුරු කළ විහාරස්ථානයකට ගියේ වයස්ගතව සිටින විහාරාධිපති හිමියන් හමු වී සතුටු සාමීචියක යෙදෙන්නටය. මා මේ කටයුත්තෙහි යෙදෙන අතර මගේ දරුවෝ මගේ සොයුරාද සමඟ විහාර ගේ බලන්නට ගියෝය.

පණ්ඩිත හාමුදුරුවන් (අප කුඩා කාලයේ මේ හාමුදුරුවන්ව ඇමතූ පරිදි) හා මා කතාබහේ යෙදී සිටියදී දරුවන් සමඟ මගේ සොයුරාද එතැනට ආවේය.

"කොහොමද විහාර ගේ බැලුවද?"

හාමුදුරුවෝ ඉංග්‍රීසි භාෂාවෙන් මගේ දරුවෝ විමසූහ. මේ හාමුදුරුවන්ට ප්‍රාචීන භාෂාත්‍රයෙහි පමණක් නොව ඉංග්‍රීසි භාෂාවේද හසළ දැනුමක් තිබේ. මා කුඩා කාලයේ මේ හිමියන්ගෙන් පාලි හා සකු බස් මෙන්ම ඉංග්‍රීසි බසද උගෙන තිබේ.

කෙසේ වුවත්, ඇමරිකානු උච්ඡාරණයට හුරුවී සිටින මගේ දරුවන්ට ඉංග්‍රීසි බසෙහි කෙතරම් හසළ වුවත්, ලංකාවේ සාමාන්‍ය උච්ඡාරණයෙන් කතා කරන අයෙකු කියන දෙය තේරුම් ගැනීම අපහසුය. එය ඔවුන්ට වෙනත් බසක් මෙනි. එහෙත්, ඔවුන්ට ඊට වඩා පහසුවෙන් සිංහල තේරුම් ගත හැකිය. ඒ ඔවුන් සිංහල කතා කරනු අසා ඇතත් ලංකාවේ උච්ඡාරණයෙන් ඉංග්‍රීසි කතා කරනු එතරම් අසා නැති බැවිනි.

"මොනව හරි ප්‍රශ්නයක් තියෙනවනම් හාමුදුරුවන්ගෙන් අහන්න!"

අවුල තේරුම්ගත් මගේ සොයුරා වැඩිමල් දරුවාගෙන් සිංහලෙන්ම ඉල්ලා සිටියේය.

"හාමුදුරුවනේ මුගලන් හාමුදුරුවෝ නිල් පාට ඇයි?"

දරුවා ක්ෂණිකව සිංහලෙන්ම ප්‍රශ්නය ඇසූ ආකාරයෙන් පෙනී ගියේ මගේ සොයුරාගෙන් මුලින් ඇසූ ප්‍රශ්නයක් ඔහු හාමුදුරුවන් පිට පටවා ඇති බවයි. මට එක වරම කිසියම් අපහසුතාවයක් ඇති වුණේ දරුවා නුසුදුසු ප්‍රශ්නයක් ඇසුවේදැයි යන සැකය නිසාය.



මා කුඩා කාලයේදී සාමාන්‍යයෙන් හිමිනමකගෙන් මේ ආකාරයේ ප්‍රශ්න අසා නැත. එහෙත්, කවුරු හෝ වැඩිහිටියෙකුගෙන් කුඩා කල හරියටම මේ ප්‍රශ්නයම අසා තිබේ.

"මුගලන් හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ හොරුන්ගෙන් හොඳටම ගුටි කාලනේ. ගුටි කාලම ඇඟ නිල් වුණා. පිළිම නිල් පාටින් හදන්නෙ ඒකයි!"

කුඩා කාලයේ මට එසේ කී කවුරු හෝ වැඩිහිටියා ඇත්තටම එසේ හිතා හිටියා වන්නට හෝ මගේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස එවේලේ කටට ආ පිළිතුරක් දුන්නා විය හැකිය.

කෙසේ වුවත්, පණ්ඩිත හාමුදුරුවන්ගේ පිළිතුර වුණේ එය නොවේ. ඔහු පිළිතුර දුන්නේ මගේ සොයුරාගේ මුහුණ බලාගෙන මිස දරුවන්ගේ මුහුණ බලාගෙනද නොවේ. මගේ දරුවෙකු පිට දමා ඇසුවේ සොයුරාගේ ප්‍රශ්නයක් බව හාමුදුරුවෝ තේරුම් ගත්තා විය හැකිය.

"ඔය කළු පාට කියන එක තමයි මිනිස්සු නිල් පාට කියල කියනව ඇත්තෙ නේද? නැත්නම් නිල් පාට මිනිස්සු කොහෙද ඉන්නෙ?"

ඇතැම් විට මගේ සොයුරා වඩා "ආගමික" පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වූවා විය හැකිය.

නිල් පාට මිනිස්සු අප දැක නැත. එහෙත්, නිල් පාටයැයි කිව හැකි තරමටම කළු පැහැ අයනම් මා දැක තිබේ. කෙසේ වුවත්, කිසිවෙකු කවරදාකවත් කළු හංසයින් නිරීක්ෂණය කර නැති වූ පමණින් කළු හංසයින් නැති බව තහවුරු වන්නේ නැත.

සියවස් දෙකකට පමණ පෙර ප්‍රංශයේ සිට ඇමරිකාවට පැමිණි සංක්‍රමණිකයෙකු වූ මාර්ටින් ෆියුගේට් එළිසබෙත් ස්මිත් සමඟ විවාහ වී කෙන්ටකිහි ට්‍රබල්සම් ක්‍රීක් පෙදෙසේ පදිංචි විය. ඔවුන් නොදැන හිටියත් මේ දෙදෙනාගේම සිරුරේ ඉතා දුලබ නිලීන ජාන ප්‍රභේදයක් තිබුණේය. මේ ජානය ඉතාම දුලබ නිසා එය දරන දෙදෙනෙකු විවාහ වීම ගිණිය නොහැකි තරම් දුලබ සිදුවීමක් වුවත් අහම්බෙන් එය සිදුවිය.

මේ විවාහයේ ප්‍රතිඵලය වූයේ තරමක් අමුතු එකකි. මේ දෙදෙනාට ලැබුණු දරුවන් හත් දෙනෙකුගෙන් සිවු දෙනෙකුම නිල් පැහැ අයයි!



මෙසේ සිරුර නිල් පැහැ ගන්වන ජානය යමෙකුට දෙමවුපියන්ගෙන් අයෙකුගෙන් උරුම වූ පමණින් ඔහුගේ හෝ ඇයගේ සිරුර නිල් පැහැ ගන්නේ නැතත්, මවුපිය දෙදෙනාගෙන්ම මේ ජානය උරුම වූ විට සිරුර නිල් පැහැ ගනී. මාර්ටින්ගේ මෙන්ම එලිසබෙත්ගේද සිරුරු වල මේ නිලීන ජානය බැගින් තිබුණත්, ඔවුන්ගේ සිරුරු වල සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුගේ සිරුරු වල තිබෙන සක්‍රිය ජානය බැගින්ද තිබුණු නිසා ඔවුන්ගේ සිරුරු නිල් පැහැ වූයේ නැත. මාර්ටින් හා එලිසබෙත් වැනි කිසියම් ජානයක නිලීන ප්‍රභේදයෙන් (r) හා සක්‍රිය ප්‍රභේදයෙන් (R) එක බැගින් ඇති මවුපිය යුවලකගේ දරුවන්ට ජාන උරුම විය හැකි ආකාර හතරක් තිබේ.

(1) දෙදෙනාගෙන්ම සක්‍රිය ජාන උරුම වීම (RR)
(2) පියාගෙන් සක්‍රිය ජානය හා මවගෙන් නිලීන ජානය උරුම වීම (Rr)
(3) මවගෙන් සක්‍රිය ජානය හා පියාගෙන් නිලීන ජානය උරුම වීම (rR)
(4) දෙදෙනාගෙන්ම නිලීන ජාන උරුම වීම (rr)

ඉහත අවස්ථා හතරෙන් පළමු අවස්ථා තුනේදීම බාහිර වශයෙන් දැකිය හැක්කේ සක්‍රිය ජානයේ ක්‍රියාකාරිත්වයයි. ඒ නිසා, දරුවන් නිල් පැහැ වන්නේ නැත. එහෙත්, සිවුවන අවස්ථාවේදී දරුවන්ට සක්‍රිය ජාන කිසිවක් නැති නිසා නිලීන ජානයේ ලක්ෂණ මතු වී දරුවෝ නිල් පැහැ ගැන්වෙති.

මාර්ටින් හා එලිසබෙත් දෙදෙනාම සිටියේ (2) හෝ (3) අවස්ථාවකය. ඒ නිසා, ඔවුන් දෙදෙනාගෙන් කිසිවකුගේ සිරුරු නිල් පැහැ නොවූවත්, ඔවුන් දෙදෙනාම සිරුරු නිල් පැහැ ගන්වන නිලීන ජානය ඉදිරි පරම්පරා වලට උරුම කළ හැකි වාහකයන්ව සිටියහ. එහෙත්, හමේ බාහිර පෙනුමෙන් ඔවුන්ට සමාන බොහෝ දෙනෙකුට තිබෙන්නේ ඉහත (1) අවස්ථාවෙන් විස්තර කරන සක්‍රිය ජාන කට්ටලයයි.

මාර්ටින් හා එලිසබෙත් මෙන් (2) හෝ (3) අවස්ථාවක සිටින අයෙකුට සාමාන්‍යයෙන් විවාහ වන්නට සිදුවන්නේ (1) අවස්ථාවේ සිටින අයෙකු සමඟය. ඒ, ඉතිරි අවස්ථා තුනේ සිටින අය ඉතා දුර්ලභ බැවිනි. එවැනි අයෙකුට උපදින දරුවන්ට අඩුම වශයෙන් එක් සක්‍රිය ජානයක් හෝ ලැබෙන නිසා ඔවුන්ගේ සිරුරු වල නිලීන ජානයේ ලක්ෂණ මතු වීමට ඉඩක් නැතත්, නිලීන ජානය ඉදිරි පරම්පරාවන්ට සම්ප්‍රේෂණය කරන වාහකයින් එම දරුවන් අතරින් බිහි විය හැකිය.

මාර්ටින් හා එලිසබෙත්ගෙන් බිහි වුනු දෙවන පරම්පරාවේ ෆියුගේට් වරුන් අහඹු ලෙස කා සමඟ හෝ විවාහ වූයේනම්, මේ විවාහ සහකරුවන් බොහෝ විට සක්‍රිය ජාන යුගලයක් තිබුණු RR පුද්ගලයින් විය හැකිව තිබුණු නිසා නිල් පැහැ පුද්ගලයින් නැවත බිහි නොවිය හැකිව තිබුණේය. එහෙත්, ප්‍රවාහන පහසුකම් හා සන්නිවේදන පහසුකම් අද මෙන් පුළුල්ව නොපැවති ඒ කාලයේ ඇමරිකාවේ ගම්බද පෙදෙසක් වූ ට්‍රබල්සම් ක්‍රීක්හි පදිංචිකරුවන් විසින් විවාහය සඳහා බොහෝ විට තෝරාගත්තේ අහල පහළම අයෙකි. මෙසේ අහල පහළ සිටි බොහෝ දෙනෙක් එලිසබෙත්ගේ ඥාතීන් වූ අතර ඒ අය අතර නිල් පැහැ ගන්වන ජානය දැරූ වාහකයෝ තවත් සිටියහ. මෙහි ප්‍රතිඵලය වූයේ නිල් පැහැ ෆියුගේට් වරුන් පරම්පරා කිහිපයක්ම බිහිවීමයි.

සිරුරු නිල් පැහැ වුවත් නිල් පැහැ ෆියුගේට්වරුන්ට වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න නොතිබුණු අතර ඔවුහු සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෝ වූහ. අහල පහළ අයට ඔවුන්ගේ නිල් පැහැය ප්‍රශ්නයක් වුනේද නැත. කොහොමටත් අහල පහළ සිටි බොහෝ දෙනෙක් ඔවුන්ගේම ඥාතීන්ය. දුෂ්කර ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ නිල් පැහැ ෆියුගේට්වරුන් ගැන බාහිර ලෝකය එතරම් දැන සිටියේද නැත.

පසුව සොයාගත් පරිදි ෆියුගේට් වරුන්ගේ නිල් පැහැයට හේතු වුණේ ඔවුන්ගේ රුධිරය නිල් පැහැ වීමයි. රුධිරය රතු පැහැ වීමට හේතුව එහි ඇති හිමොග්ලොබීන්ය. හිමොග්ලොබීන් වලට යකඩ අණු හරහා ඔක්සිජන් අණු සමඟ සම්බන්ධ විය හැකිය. රතු පැහැය ලැබෙන්නේ එවිටය. එහෙත්, එක් හිමොග්ලොබීන් ප්‍රභේදයක් වන මෙට්-හිමොග්ලොබීන් වලට මේ අයුරින් ඔක්සිජන් අණු සමඟ සම්බන්ධ වීමේ හැකියාවක් නැත.

සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිරයේ හිමොග්ලොබීන් අතර මෙට්-හිමොග්ලොබීන් 1-2% ප්‍රමාණයක් තිබේ. මේ ප්‍රතිශතය ඉහළ යන විට එන්සයිමයක් මඟින් මෙට්-හිමොග්ලොබීන් නැවත සාමාන්‍ය හිමොග්ලොබීන් බවට හරවයි. එහෙත්, මේ එන්සයිමය නිපදවීමට උදවුවන සක්‍රිය ජානය අඩු වශයෙන් දෙමවුපියන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන්වත් නොලැබුණු විට ඉහත පරිවර්තනය නිසි පරිදි සිදු නොවීම නිසා මෙට්-හිමොග්ලොබීන් ප්‍රතිශතය විශාල ලෙස ඉහළ යාමෙන් ඔවුන්ගේ රුධිරය නිල්-දුඹුරු පැහැයක් ගනී. ඒ හේතුවෙන් ඔවුන්ගේ හමද නිල් පැහැ වේ.

දැන් මෙට්-හිමොග්ලොබිනීමියා ලෙස හැඳින්වෙන සිරුරේ මෙට්-හිමොග්ලොබීන් ප්‍රතිශතය ඉහළ යාම ජානමය නොවන වෙනත් හේතු මතද ඇති විය හැකි තත්ත්වයක් වන අතර ඒ හේතුවෙන් වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකිය. මෙට්-හිමොග්ලොබිනීමියාව ජාන වලින් උරුම කරගත් නිල් පැහැ ෆියුගේට් වරුන්ට මේ තත්ත්වය නිසා වෙනත් ශාරීරික රෝගී තත්ත්වයන් ඇති නොවුනත්, ඔවුන්ගේ පසු පරම්පරා වල ඇතැම් අයට මෙය මානසික ප්‍රශ්නයක් විය.

ක්‍රිස්තු වර්ෂ 1960 වසරේදී කෙන්ටකි සරසවියේ සේවයට ගිය රුධිරවේදියෙකු වූ මැඩිසන් කැවීන්ට ට්‍රබල්සම් ක්‍රීක්හි නිල් පැහැ මිනිසුන් ගැන අසන්නට ලැබුණේය. මේ ගැන වැඩිදුර තොරතුරු සොයමින් සිටි ඔහුගේ චිකිත්සාගාරයට එක් දිනක් හදිසියේම නිල් පැහැ පිරිමියෙකු හා කාන්තාවක පැමිණියෝය. ඒ සොයුරු සොයුරියන් වූ පැට්‍රික් රිචී හා රේචල් රිචීය. පළමුව, ඔවුන්ගේ හදවත් හා පෙනහළු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ ඔහුට ඒවායේ වැරැද්දක් නොපෙණුනේය. පසුව, ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කළ මැඩිසන් කැවීන්ට ඔවුන්ගේ සිරුරු වල නිල් පැහැයට හේතුවන රුධිරයේ අධික මෙට්-හිමොග්ලොබින් සාන්ද්‍රනයත්, එයට හේතුවන එන්සයිම හීනතාවයත් සොයාගත හැකි විය.

විසෙන් විස නසන්නාක් මෙන් නිල් පැහැ ෆියුගේට්ලාගේ නිල් පැහැය නැති කරන්නට උදවු වුණේද තවත් නිලකි. ඒ මෙතිලීන් බ්ලූය. මෙතිලීන් බ්ලූ සිරුරට එන්නත් කිරීමෙන් පසුව පැට්‍රික් හා රේචර් සොයුරු සොයුරියෝ ක්ෂණිකවම රෝස පැහැති වූහ. එහෙත්, සිරුරෙන් මෙතිලීන් බ්ලූ ඉවත් කරන නිසා ඔවුන්ට දිනපතාම මෙතිලින් බ්ලූ පෙති වශයෙන් ගන්නට විය. මෙතිලීන් බ්ලූ ගන්නා විට ඔවුන්ගේ මුත්‍රාද නිල් පැහැයට හැරුණු අතර ඇතැම් නිල් පැහැ ෆියුගේට්ලා මෙය විස්තර කර ඇත්තේ බෙහෙත් වලින් සිය සිරුරේ නිල් පැහැය දිය කර හැරීමක් වශයෙනි.

නිල් පැහැ ෆියුගේට්ලා ආවාහ විවාහ හරහා මිශ්‍ර වීම නිසා නිලීන ජාන දෙකක් එකතු වීමේ ඉඩකඩ අඩු වී ගිය අතර දැන් නිල් පැහැ ෆියුගේට්ලා ඇමරිකාවේ දකින්නට නැත. එහෙත්, මේ නිලීන ජානය රැගෙන යන වාහකයින් සිටින නිසා එවැනි දෙදෙනෙකු එකතු වූ විටක නැවතත් නිල් පැහැ දරුවෙකු බිහි වන්නට ඉඩ තිබේ.

Monday, September 25, 2017

උපත් පාලනය, ගබ්සාව හා ලිංගික අධ්‍යාපනය


දෙසතියකට පමණ පෙර පළ කළ ලිපියකට ප්‍රතිචාර දැමූ අජිත් ධර්මා, නයනේ සහ ඇනෝලා එක් අයෙකු හෝ කිහිප දෙනෙකු අතර හොඳ සංවාදයක් ඇති වී තිබුණේය. මුලින්ම මේ සංවාදයට සහභාගී වන්නට හිටියත් පසුව, හේතු සහිතව, එසේ නොකර පැත්තකට වී බලා සිටින්නට තීරණය කළෙමි. ඇත්තටම කියනවානම් ඉහළින් වූ ප්‍රතිචාර කියවීමෙන් පසු ප්‍රතිචාරයක් දමා, පසුව පහළින් වූ ප්‍රතිචාර කියවීමෙන් පසු එය අවශ්‍ය නොවන බව පෙනී ගිය නිසා පසුව එය ඉවත් කර ගත්තෙමි.

මේ ගැන මුලින්ම අදහස් පළ කර තිබුණු අජිත් ධර්මාගේ අදහස් බොහෝ දුරට මගේ අදහස් වලට ආසන්න වූ අතර මුලින්ම හිතුනේ ඇනෝගේ අදහස් එයට ප්‍රතිවිරුද්ධ බවයි. එහෙත්, දිගටම සංවාදය නිරීක්ෂණය කරන විට පෙනී ගියේ ඇනෝද මේ කරුණු ගැන හොඳින් දැනුවත් බවත්, ඔහුගේ හෝ ඇයගේ අදහස්ද කිසිසේත්ම (මට සාපේක්ෂව) අන්තවාදී නොවන බවයි. මා මෙය ලියන්නේ ඇනෝ ප්‍රතිචාර ගණනාවක්ම එක් අයෙකුගේයැයි සිතමිනි. එය එසේ නොවන්නට පුළුවන.

ඇනෝ විසින් ඉතා පැහැදිලිවම සටහන් කර තිබුණු පරිදි ඔහු හෝ ඇය මූලධාර්මික ගබ්සා විරෝධියෙක් නොවේ. ඔහුගේ වචන පහත පරිදිය.

"ගබ්සාවට මමත් විරුද්ධ නැති වුනත්, ගබ්සාව යන අන්තිම විසඳුම විය යුත්තේ වෙන කරන්නම දෙයක් නැති විටෙක පමණයි. ඒ අන්තිම තත්වයට යන්නේ නැතුව ගැබ්ගැනීම වලක්වා ගන්න එකයි වඩා හොඳ. මොනහේතුවක් නිසා හරි ගබ්සාවක් කරගත් ගැහැනියක් ඊට පසුව මානසිකව විඳවන ප්‍රමාණය කොතරම්ද කියා අවබෝධයක් තියෙන නිසා මම ඒ මතයේ ඉන්නේ. නැතුව ඔය විකාර රූපී ආගමික කල්ලි ගබ්සාවට විරුද්ධ නිසා නෙවෙයි."

ඇනෝ සිතන්නේ ලිංගික අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීම මඟින් අනවශ්‍ය ගැබ් ගැනීම් අවම කර ගත යුතු බවයි. එසේ කිරීමෙන් පසුවද අනවශ්‍ය ගැබ් ගැනීම් සිදු වන්නේනම් ගබ්සා වලට ඉඩදීමේ ප්‍රශ්නයක් ඇති බව ඔහු හෝ ඇය සිතන බව නොපෙනේ.

අනික් අතට, විශේෂයෙන් සටහන් කර නැතත්, ලිංගික අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධව අජිත් ධර්මාද එකඟ වන බව මගේ අදහසයි. මෙහිදී උපත් පාලනය ප්‍රචලිත කිරීම කියා සරලව කිවුවත් මා එයින් අදහස් කරන්නේ උපත් පාලන ක්‍රම ගැන දැනුම ප්‍රචලිත කිරීම හා ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ස්වකැමැත්තෙන් මිල දී ගැනීමට ඇති පහසුකම් පුළුල් කිරීම මිස යම් අයෙකු විසින් බිහි කළ යුතු දරුවන් ගණන රජය මඟින් තීරණය කිරීම හෝ බලෙන් උපත් පාලනය කරවීම නොවේ.

අජිත් ධර්මා විසින් ඉදිරිපත් කරන මූලික තර්කය වන්නේ අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීම මඟින් පමණක් අනවශ්‍ය ගැබ් ගැනීම් මුළුමනින්ම වැළැක්විය නොහැකි නිසා එසේ අනවශ්‍ය ගැබ් ගැනීම් වලට මුහුණ දෙන කාන්තාවන්ට තමන්ගේ ගැබ ගබ්සා කර ගැනීමට ඉඩ දිය යුතු බවයි. ඔහුගේ තර්කය ඉතා පැහැදිලිවම නිවැරදිය. ඇනෝ විසින්ද එය එසේ නොවේයැයි කියා නැත.

මට පෙනෙන හැටියටනම් මේ සංවාදයේ පාර්ශ්ව දෙක අතර ඇත්තේ ඉතා කුඩා ප්‍රතිවිරෝධතාවයකි. ඒ ප්‍රතිවිරෝධතාව තිබෙන්නේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් හා අදාළවය. ඇනෝ සිතන පරිදි ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කරන තුරු නීත්‍යානුකූල ගබ්සා ප්‍රවර්ධනය නොකළ යුතුය. අජිත් ධර්මා සිතන පරිදි ලිංගික අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න ඇතුළු තවත් සමාජයීය ප්‍රශ්න ගණනාවක් තිබෙන නිසා නීත්‍යානුකූල ලෙස ගබ්සා කර ගැනීමට ඉඩක් සැපයිය යුතුය.

උපත් පාලනය, ගබ්සාව හා ලිංගික අධ්‍යාපනය යනු ඇමරිකාව ඇතුළු බටහිර සමාජයේ පවා මතවාදී බෙදීම් ඇති කරන විෂයයන්ය. මේ බෙදීම් වලට එක් හේතුවක් වන්නේ මේ විෂයයන් හා අදාළව බොහෝ දෙනෙකු සතු දැනුම සීමිත වීමයි. එමෙන්ම, මේ විෂයයන් ගැන කතා කිරීමේදී ඒවායේ ආගමික හා දාර්ශනික, ජීව විද්‍යාත්මක හා වෛද්‍ය විද්‍යාත්මක, ආර්ථික හා සමාජයීය වැනි එකිනෙකින් වෙනස් මාන වෙත අවධානය යොමු කරන්නට සිදුවේ.

මා මේ ගැන තරමක් දුරට කතා කරන්නට යන්නේ අජිත් ධර්මාට හෝ ඇනෝට ප්‍රතිචාරයක් වශයෙන් නොවේ. ඔවුන්ගේ අදහස් සමඟ මට මූලික ප්‍රතිවිරෝධතා නැත. එමෙන්ම, නැවත නැවතත් කියා ඇති පරිදි ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය සිදුවිය ඇති ආකාරය ගැන උපදෙස් දෙන්නටද නොවේ. ඒ නිසා, මා මේ හා අදාළව ලියන ලිපි වල ඇති කරුණු සම්බන්ධව පැහැදිලි කිරීම් කෙරෙනු ඇති නමුත් මගේ අදහස් සමඟ එකඟ නොවන්නන්ට මා මෙහි ප්‍රතිචාර නොදක්වනු ඇත. එහෙත්, කැමති අයෙකුට මෙහි ප්‍රතිචාර පළ කරනු ලැබීමේදී සලකා බලන සීමිත කොන්දේසි වලට යටත්ව තමන්ගේ අදහස් සටහන් කරන්නට කිසිදු බාධාවක් නැත.

මාතෘකාවේ ඇති අනු කොටස් තුනෙන් ලිංගික අධ්‍යාපනය ගැන මුලින්ම කතා කිරීම පහසුය. අනෙක් මාතෘකා දෙක ගැන මා ලියන්නට අපේක්ෂා කරන දේවල් තරමක් දුරට තාක්ෂණික ස්වභාවයකින් යුතු දේවල්ය. ඒ කොටස් අපි දෙවන ලිපියකට ඉතිරි කරමු.

ලංකාව හැරුණු විට මා වැඩිපුරම දන්නා අනෙක් රට වන ඇමරිකාවට සාපේක්ෂව ලංකාවේ ලිංගික අධ්‍යාපනයක් නැතැයි කිව හැකි තරම්ය. මෙය රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වල ප්‍රශ්නයක්ම නොවේ. බොහෝ දුරට මෙහි ඇත්තේ සංස්කෘතික ප්‍රශ්නයකි. ඇතැම් ප්‍රතිපත්ති තීරණ මඟින් තත්ත්වයේ යම් වෙනසක් කරන්නට උත්සාහ දැරිය හැකි වුවත් එවැනි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක කාර්ය සාධනය සංස්කෘතික සාධක හමුවේ සීමාවීම නොවැලැක්විය හැකිය.

ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට එරෙහි වන්නන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ ඒ හේතුවෙන් කුඩා දරුවන් "නොදන්නා දේවල් අත්හදා බලන්නට" යාම නිසා වැඩි විනාශයක් සිදු විය හැකි බවයි. මේ අදහස දරන්නෝ ඇමරිකාවේද සිටිති. කොළඹ ප්‍රධාන සුපිරි වෙළඳසැල් සංකීර්ණයක පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයකට පොලීසියෙන් පැන එහි සිටියවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව පුවත්පතක පළවීමෙන් පසු ගම්බද පෙදෙස්වල කාන්තාවන් ඒ පුවත දැක එහි සේවයට පැමිණි රටක එවැනි දේ නොවේයැයි කිසිවෙකුට සහතික විය නොහැකිය. එහෙත්, ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සමස්තයක් ලෙස යහපත් ප්‍රතිඵල අත් කර දෙනු ඇති බව මගේ අදහසයි.

හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ගැනත්, ඒඩ්ස් වැනි රෝග ගැනත් මා මුලින්ම දැනගත්තේ අදාළ නිවාරණ වැඩ සටහන් මඟින් සිදුකළ ප්‍රචාර නිසාය. ඒ වන විට මත්ද්‍රව්‍ය හෝ ඒඩ්ස් ලංකාවේ විශාල ලෙස ප්‍රචලිතව නොතිබුණු අතර මා ජීවත් වූ ප්‍රදේශයේ තිබුණේම නැති තරම්ය. ඒ නිසා, මේ දේවල් ගැන දැනුවත් නොවුනත් ඒ කාලයේ මා මත්ද්‍රව්‍ය ලෝලියෙකු හෝ ඒඩ්ස් ආසාදිතයෙකු වීමට ගිණිය හැකි ඉඩක් නොතිබුණේය. අනෙක් අතට නිවාරණය අරමුණු කොට සිදු කෙරුණු ප්‍රචාරණය නිසා මේ දේවල් ගැන වැඩිපුර සොයන්නට කිසියම් "කෘතීම" උනන්දුවක්ද ඇති වුණේය.

නිවාරණ වැඩ සටහන් වලින් ප්‍රචලිත කළ තොරතුරු අනුව මා තේරුම් ගත් පරිදි ඒඩ්ස් හදාගැනීම හා මත්ද්‍රව්‍ය භාවිතය යන දෙකම ආපසු හැරවිය නොහැකි දේවල්ය. ඒඩ්ස් වලට බෙහෙත් නැති අතර රෝගය හැදුනොත් වසර පහක් තුළ අනිවාර්යයෙන් මරණයට පත් වේ. හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය යනු අරක්කු වැනි මත්පැන් හෝ දුම්වැටි මෙන් නොව එක් වරක් භාවිතා කළද ඇබ්බැහි කරවන ද්‍රව්‍යයි. ඒ නිසා, වරක් මත්ද්‍රව්‍ය භාවිතා කළ අයෙකුට ජීවිත කාලය පුරාම එයින් ගැලවීමක් නැත. මේ මා හත්වන ශ්‍රේණියේදී පමණ ලබාගත් දැනුමයි. පළමුවැන්න ඒ කාලයේදී ඇත්තක් වුවත් දෙවැන්න ඇත්තක්ම නොවීය. එහෙත්, දෙවැන්නද තරමක් දුරට ආසන්න ඇත්තක් විය.

මත්ද්‍රව්‍ය හෝ ඒඩ්ස් වැනි අතිශය භයානක කිඹුලන් ගැන මෙන්ම එතරම් භයානක නැති කබරගොයින් වූ මත්පැන්, දුම්වැටි ගැන හා සමාජරෝග ගැනද නිවාරණ වැඩසටහන් වලින් ප්‍රචාරය කළ දේ දැනුමට සැලකිය යුතු යමක් එකතු කළත්, ඒ දේවල් ගැන දැනුම ලබාගත හැකි වෙනත් ක්‍රමද තිබුණේය. මත්පැන් හා දුම්වැටි භාවිතා කරන්නන් ඕනෑ තරම් පෙනෙන්නට සිටි අතර මත්පැන් බී අකල් මරණ වලට පත් වෙන්නෝද අපේ ගම් පළාත් වල දුලබ දසුනක් නොවීය. ඒ අතරම, මත්පැන් දුම්වැටි පානය කළත් යහතින් හිටි අයද ඕනෑ තරම් පෙනෙන්නට හිටියේය. එමෙන්ම, සමාජරෝග හදාගත් අය ගැනද කසුකුසු තිබුණේය.

ගැටවර වියේදී ඕනෑම අලුත් දෙයක් අත්හදා බලන්නට උනන්දුවක් ඇති වේ. නිවාරන වැඩසටහන් හේතුවෙන් මත්පැන් හා දුම්වැටි වල ආදීනව දැන සිටීම ඒවා අත්හදා බලන්නට බාධාවක් වුනේ නැත. එහෙත්, ඇබ්බැහි වීමට ඇති ඉඩ ගැන දැන සිටි නිසා මේ අත්හදා බැලීම් කළේ ඉතා ප්‍රවේශමෙනි. එසේ හෝ අත්හදා බලන්නට යොමුවුණේ මේ දේවල් දිගින් දිගටම ගැනීමේදී මිස වරක් හෝ කිහිප වරක් ගත් පමණින් ඇබ්බැහි නොවන බව දැන සිටි බැවිනි. වෙනත් මත්ද්‍රව්‍ය පිළිබඳව මෙවැනි අත්හදාබැලීමක් හෝ නොකරන්නට ප්‍රධාන හේතුව වුණේ අප හැදුනු ගෘහස්ථ වටපිටාව තුළ එවැනි අවස්ථාවක් කිසි විටෙකත් නොලැබීම වුවත්, යම් හෙයකින් එවැනි අවස්ථාවක් නොලැබුණේ වුවද ඇබ්බැහිවීමේ අවදානම ගෙන මත්ද්‍රව්‍ය අත්හදාබැලීමට ඉඩක් නොතිබුණේ නිවාරණ වැඩ සටහන් හරහා, තරමක අතිශයෝක්තිකින්ද යුතුව, ලැබී තිබුණු දැනුම නිසාය.

ඒඩ්ස් හෝ වෙනත් සමාජරෝග වැළඳීමේ අවදානමක් සහිත ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි යොමු නොවීමට ප්‍රධාන හේතුව වුනේද අවස්ථාවන් නොලැබීමයි. එහෙත්, විධිමත් හා අවිධිමත් ක්‍රම හරහා මේ ගැන දැනසිටි දේවල් වලින්ද එය වැලැක්වූයේය.

හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලය වන විට වෙනත් බොහෝ විෂයයන් ගැන වයසට වඩා වැඩි දැනුමක් ලබා සිටියත් ප්‍රජනන සෞඛ්‍යය හා අදාළ මූලික කරුණු හෝ මම දැන නොසිටියෙමි. හයවන ශ්‍රේණියේ අන්තිම වාරයේ දවසකදී කාන්තාවක් ගර්භණී වීම සඳහා පිරිමියෙකු විසින් කළයුතු දෙය මගේ පන්තියේ මිතුරෙක්ගෙන් මුල් වරට අහන්නට ලැබුණේය. මේ කතාව මට කිසිසේත්ම පිළිගත නොහැකි විය. දරුවන් සිටින හැම ගැහැණියක හා පිරිමියෙකුම ඔය කියන 'නරක වැඩේ' කර ඇති බව පිළිගැනීම අපහසු වූ නිසා මම සුපුරුදු පරිදි මේ මිතුරාව තර්කයෙන් පරදවන්නට උත්සාහ කළෙමි.

මේ කාලය වන විට ග්‍රහයින් හා තාරකා අතර වෙනස දැන නොසිටි, පෝය ඇති වන හැටි දැන නොසිටි "මෝඩ" ළමයි ගණනාවක් අපේ පන්තියේ සිටියේය. මෙවැනි කරුණු හා අදාළව වෙනත් සිසුන් සමඟ තර්ක කිරීම ඒ දවස්වල මගේ විනෝදාංශයකි. වාදය නැගලා යන විට තවත් සිසුන් එකතු වේ. අවසානයේදී මෙසේ එකතුවන සිසුන් බහුතරය විසින් මගේ මතය තහවුරු කිරීමෙන් වාදය අවසන් වේ. ඒ දිනවල වෙනත් සිසුන් දෙදෙනෙකු අතර සිදුවන මෙවැනි වාදයකදී වුවද අවසන් තීරණය දෙන්නට බොහෝ විට සිදුවන්නේ මටය.

මේ කියන දවසේනම් බමරය කැරකුණේ මගේ වාසියට නොවේ. එකතුවන සිසුන් සියල්ලන්ම පාහේ ගත්තේ අනෙක් සිසුවාගේ පැත්තයි. දැන් මට ඔවුන් සියල්ලන්ගේම හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්නට සිදු වී ඇත.

"හරි, අපි කියන එක වැරදිනම් උඹ කියපං ළමයි හැදෙන්නෙ කොහොමද කියලා.."

කොස්බි ෂෝ එකේ දැරියට මෙන් මටත් පිළිතුරු තිබුණේය.

"සාමාන්‍ය විදිහට"

"මොකක්ද සාමාන්‍ය විදිහ?"

"ගෑණු ළමයි ලොකු වුණාම බඩේ ළමයි හැදෙනවා. හරියට ගස් වල ගෙඩි හැදෙනව වගේ.."

"හරි එහෙමනම් ගෑණුන්ට ළමයි හම්බවෙන්න කසාද බඳින්න ඕනැ වෙන්නෙ මොකද?"

අපේ විස්තීර්ණ පවුලේ මැදිවිය පසුකළ, අවිවාහක සාමාජිකාවන් කිහිප දෙනෙක්ම මට එක වර මතක් විය. කතාව ඇත්තය. ඒ අය කිසිවෙකුටත් දරුවන් නැත. දරුවන් සිටින අවිවාහක කාන්තාවන් ගැන ඒ වන විට මම දැන නොසිටියෙමි. එහෙත්, දරුවන් නැති විවාහක කාන්තාවන් කිහිප දෙනෙක් ගැනම මට මතක් විය.

"හරි එහෙමනම් සමහර ගැණුන්ට කසාද බැඳලත් ළමයි හම්බ වෙන්නෙ නැත්තේ මොකද?"

ප්‍රශ්නයට ප්‍රශ්නයක් දමා ගසා ප්‍රතිවාදී පාර්ශ්වය ගොළු කළ හැකි වුවත් මෙය ප්‍රමාණවත් පිළිතුරක් නොවන බව මටම තේරුණේය. මෙතෙක් මේ ගැන ගැඹුරට සිතා නැති බව මට අවබෝධ විය.

"ඕක වෙන්නේ මෙහෙමයි. දැන් ඔය දූරියන් ගස් වල ගෙඩි හැදෙන්නනම් ගස් දෙකක් එක ළඟ තියෙන්න ඕනැනේ. ඒ වගේ වෙන්න ඇති!"

ප්‍රතිවාදී පාර්ශ්වයෙන් ප්‍රමාණවත් ලෙස මගේ තර්ක විඛන්ඩනය නොකළත්, වටවී සිටි සිසුන්ගේ මුහුණු දෙස බලන විට ඒ කිසිවෙක් මා කියන දෙය විශ්වාස නොකරන බව පැහැදිලිය. මින් පෙර මෙවැන්නක් වී නැත. මේ අතර, මගේ හිතවත්ම මිතුරෙක් මගේ පිටට තට්ටුවක් දැම්මේය.

"මචං, පොඩ්ඩක් පැත්තකට වරෙන්"

මම ඔහුට කීකරු වුනෙමි.

"මචං, උන් කියන එක හරි. උඹ වැරදියි. ඕක අතෑරල දාපං!"

"වෙන්ඩ බෑනේ මචං. එහෙමනම් ගස් වල ගෙඩි හැදෙන්ඩත් ඕක කරන්න ඕනැ වෙන්න එපායැ. එතකොට සත්තුන්ට පැටවු  හැදෙන්නෙත් ඔහොමද?"

"ගස්නම් මං දන්නෙ නෑ. හැබැයි සත්තු පැටවු දාන්නේනම් ඕක කරල තමයි. උඹ අඩුගානෙ බලුපූට්ටුවක්වත් දැකල නැද්ද?"

"දැකල තියෙනවා!"

"ඒක තමයි ඒ.."

"හරි මං කියන්නේ පැටවු හම්බ වෙන්න ඕක කරන්න ඕනැ නෑ කියලයි. අපේ ගෙදර හරකෙක් නැතුව එළදෙනට පැටවු හම්බවුනේ කොහොමද?"

එළදෙනට පැටියා ලැබෙන්නට පෙර පට්ටි ගස්සන්නට වෙනත් නිවසකට ගෙනගිය එක ගැන මට ඒ වන විට හරි අවබෝධයක් තිබුණේ නැත.

"කොහොම වුනත් කමක් නෑ. මම කියන එක අහල ඕක නවත්තල දාපං. නැත්නම් උඹයි අපරාදේ නෝන්ඩි වෙන්නේ.."

මේ මිතුරා විශ්වාසවන්තම මිතුරෙක් වූ බැවින් ඔහුගේ කීම අහක දාන්නට නොහැකි විය. ඒ නිසා, දෙපැත්තට ඇදෙමින් තිබුණු වාදය ජයපරාජයකින් තොරව අවසන් විය. එයින් පසුව, මේ ගැන වැඩි විස්තර හොයා ළමයින් හැදෙන්නටනම් අහවල් දෙය කළ යුතු බව මම තහවුරු කරගත්තෙමි.


අපේ කාලයේදී ප්‍රජනන සෞඛ්‍යය ගැන විධිමත් ලෙස මුලින්ම දැනගන්නට ලැබෙන්නේ නවවන ශ්‍රේණියේ සෞඛ්‍යය පෙළ පොත අතට ලැබුණු පසුවය. මේ පොතේ වූ ප්‍රාණවත් වූ ශිෂ්නයක රූපයක් හා එහි අභ්‍යන්තර අවයව සහිත විස්තරය තිබුණු පිටු අංකය ගැන කළින්ම කණින් කොණින් අහන්නට ලැබී තිබුණු නිසා පොත් ලැබුණු වහාම බොහෝ සිසුන් කළේ හොරෙන්ම මේ පිටුව පෙරළීමයි. කෙසේවුවත්, පෙළ පොතේ පිටු දෙකක පමණ වූ විස්තරය තනිවම කියවනු හැර අමතර දෙයක් අපට ඉගෙන ගන්නට නොලැබුණේ අදාළ විෂය ඉගැන්වූ ගුරුවරයාට ඒ පාඩම ඉගැන්වීම සඳහා ධෛර්යයක් නොතිබුණු බැවිණි. මහලොකු දෙයක් නොතිබුණත් බොහෝ සිසුන් පාඩම් පොතේ මේ පිටුව දෙස බැලුවේද ලිංගික උත්තේජනයක් සපයන දෙයක් ලෙස සලකමිනි.

කෙසේවුවද, පසුව මා ඉංග්‍රීසි උපගුරුවරයෙකු ලෙස සේවය කළ පාසලේ විද්‍යා හා සෞඛ්‍ය විෂයයන් ඉගැන්වූ තරුණ ගුරුවරයාටනම් අදාළ පාඩම කියා දෙන්නට කිසිදු චකිතයක් තිබුණේ නැත. එම පාසලේ තිබුණේ ගොඩනැගිලි දෙකක් පමණි. එක් ගොඩනැඟිල්ලක ප්‍රාථමික පන්ති පැවැත්වුනේය. අනෙක් ගොඩනැඟිල්ලේ හයවන, හත්වන, අටවන හා දහවන පන්ති පැවැත්වුණු අතර එහිම පැත්තක විදුහල්පති කාමරය හා ගුරු විවේකාගාරය තිබුණේය. අටවන පන්තියේ සිටියේ ළමුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු පමණි. ළමුන් කිසිවකු නොසිටි නිසා නවවන පන්තියක් තිබුණේ නැත. සාමාන්‍යපෙළ සමත් නොවී දිගටම රැඳී සිටීම නිසා දහවන ශ්‍රේණියෙහි වයස් කාණ්ඩ තුනක හෝ හතරකට අයත් එක් සිසුවෙකු හා සිසුවියන් හතර පස් දෙනෙක් සිටියේය.

ප්‍රජනන සෞඛ්‍යය පාඩම අපේ විද්‍යා ගුරුවරයාගේ ජනප්‍රියම පාඩමක් විය. පිටු දෙසීයක පමණ පෙළ පොතේ මේ කොටස පිටු දෙකක් පමණක් වුවත් ඔහු ඒ වෙනුවෙන් කාලපරිච්ඡේද දෙකක් පමණ වෙන් කළේය. ඔහුගේ අරමුණ වූයේ මේ දරු දැරියන්ට ප්‍රජනන සෞඛ්‍යය ගැන හැකිතරම් හොඳින් කියා දීමද, එසේ නැත්නම් අවාරෙට පොල් වැටෙන්නාක් මෙන් පාසැලට එන මේ ළමුන්ට පාසැල් එන්නට උනන්දුවක් ඇති කිරීමද, ඒත් නැත්නම් ඒ දෙකමද කියා මා දන්නේ නැත.

මේ ශාලාවේ පන්ති අතර බාධක තබා වෙන් කර තිබුණේ නැත. අඩු වශයෙන් ගුරු විවේකාගාරය හෝ එසේ වෙන් කර තිබුණේ නැත. ඒ නිසා, මේ දහවන පන්තියේ සෞඛ්‍ය පාඩම කට ඇරගෙන අසා සිටීමේ අවස්ථාව පහළ පන්ති වල සිසුසිසුවියන්ටද ලැබුණේය. ඒ බොහෝ දෙනෙක් අවධානය යොමු කර සිටියේ තමන්ගේ පන්තියේ පාඩමට නොව දහවන පන්තියේ පාඩමටය.

හොඳම කෑල්ල තිබුණේ ගුරු විවේකාගාරයේය. පාසැලේ සිටි අවිවාහක ගුරුවරියන් කිහිප දෙනෙකුමද ගුරු විවේකාගාරයට වී මේ පාඩමට සවන් දුන්නේය. ඔවුන්ගෙන් ඇතැමෙකුගේ මුහුණු රතු වී තිබුණේය. මගේ අදහස අනුව, ප්‍රජනන සෞඛ්‍යය ගැන ඉගැන්විය යුත්තේ මීට වඩා අඩු වයසකදීය. නවවන ශ්‍රේණියට පැමිණෙන විට සිසුසිසුවියන් අවිධිමත් ලෙස ලිංගික අධ්‍යාපනය ලබා අවසන්ය.

ඇමරිකාවේ සිසුවෙකුට ලිංගිකත්වය හා අදාළ මූලික දේ කියා දෙන්නේ පෙර පාසැල් වයසේදීය. දෙවන වසරේදී පමණ ඔවුන්ට සැලකිය යුතු දැනුමක් ලබා දේ. මෙහිදී, ලිංගික අධ්‍යාපනය යනුවෙන් අදහස් කෙරෙන්නේ "ලොකු එක" කරන ආකාරය කියාදීම නොවේ. ඊට වඩා ඉතා සරල දෙයකි. ඇමරිකාවේ ලිංගික අධ්‍යාපනය යනු ඇතැම් අය සිතා සිටින ආකාරයේ "අනවශ්‍ය තොරතුරු" ලාබාල වයසේ සිසුන් මත ඕනෑවට වඩා කලින් පැටවීමක් නොව පුළුල් සන්දර්භයක් තුළ වෙනත් අදාළ දැනුම් සමඟ මුසුකර ක්‍රමානුකූල ලෙස හා වයසට ගැලපෙන ලෙස ලබා දෙන දැනුමකි. වෙනත් බටහිර රටවලද මෙය සිදුවන්නේ මේ අයුරින් බව මගේ අදහසයි.

ඇමරිකාවේ පෙරපාසැල් වයසේ දරුවෙකුට ලබාදෙන ලිංගික අධ්‍යාපනය යනු පෞද්ගලික අයිතිවාසිකම් ගැන ලබා දෙන දැනුමේම කොටසකි. පිරිමි ළමුන් දෙදෙනෙකු හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකු අත් අල්ලාගෙන හෝ කරට අත දමාගෙන යාම ලංකාවේනම් සාමාන්‍ය දෙයකි. එහෙත්, ඇමරිකාවේ එවැනි දෙයක් සාමාන්‍ය දෙයක් නොවේ. ගැටවර වයසේදීනම් එයින් වෙනත් දෙයක් අදහස් වනවා විය හැකිය.

හොඳ යාළුවන් වන පිරිමි ළමුන් දෙදෙනෙකු හෝ ගැහැණු ළමුන් දෙදෙනෙකු මේ අයුරින් සමීපව සිටීම ඉතා අහිංසක දෙයක් හෝ සංස්කෘතියේ කොටසක් බව කෙනෙකුට කියන්නට පුළුවන. ඒ කතාවේ වැරැද්දක්ද නැත. ඇමරිකාවේ මේ ආකාරයේ අත් අල්ලාගැනීම් හෝ කරට අත දමාගෙන යෑම වැනි සමීප සම්බන්ධතා නැත්තේ සිසුන් ඉතා කුඩා වයසකදීම අනෙක් අයගේ පෞද්ගලිකත්වයට ගරු කිරීමට ඔවුන්ට පුරුදු කරන බැවිනි.

මගේ දරුවන්ට පෙර පාසැලේදී මුලින්ම කියාදුන් පාඩමක් වූයේ සෑම අයෙකුටම තමා වටා අදෘශ්‍යමාන බුබුළු අවකාශයක් (bubble space) ඇති බවයි. වෙනත් අයෙකුට ඕනෑවට වඩා සමීප වූ විට මේ බුබුල බිඳෙන්නට පුළුවන. එමෙන්ම, තමන්ගේ බුබුල බිඳෙන තරම් ලඟට එන්නට වෙනත් අයෙකුට ඉඩදිය යුතුද නැත.

මේ බුබුල පෙර පාසැල් වයසේ දරුවෙකුට සිතින් මවාගත හැකි එකකි. වයසින් වැඩෙද්දී එවැනි බුබුලක් සැබෑවටම නැති බව දරුවා තේරුම් ගන්නා නමුත් ඒ වන විට ඔහු හෝ ඇය එහි අදහස උකහාගෙන අවසන්ය.

මේ මඟින් කෙරෙන්නේ දරුවන් අතර ඇතිවන අහිංසක හා සුන්දර සම්බන්ධතා විනාශ කිරීමක්යැයි අයෙකුට සිතෙන්නට පුළුවන. එහෙත්, එහි වැදගත්කම තේරෙන්නේ ඒ හේතුවෙන් පසුකාලීනව වැළකෙන දේ ගැන සිතද්දීය. පිරිමි පාසැල් සිසුවෙකුට තවත් සිසුවෙකුට යාලු කමට පිටට තට්ටුවක් දාගෙන යන්නට ඇති හැකියාවවම ඇතැම් අවස්ථා වලදී කොක්කක් දා ගැනීම සඳහාද උපයෝගී කරගන්නා බව රහසක් නොවේ. මෙවැනි පොඩි තට්ටු දැමීම් හා ඇඟේ හැප්පීගෙන යාම් තවමත් ලංකාවේ පාසැල් වල සාමාන්‍ය දේවල් බව දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ඇති එවැනි ජවනිකා සාක්ෂි දරයි. නවක වදයේදී සිදුවන දේවල් වලට සාපේක්ෂව මේවා ගණන් ගත යුතු දේවල් නොවන බව ඇතැමෙකුට කියන්නට පුළුවන.

පෙර පාසැල් වයසේදීම කියා දෙන දෙවැනි දෙය කිසියම් අයෙකුගේ සිරුරේ පෞද්ගලික ප්‍රදේශ මොනවාද යන්නයි. මේ ප්‍රදේශ අතපතගාන්නට වෙනත් අයට කිසිදු අයිතියක් නැති බව ඇමරිකාවේ දරුවෙකු කුඩා කාලයේදීම දැන ගනී. ඒ සමඟම, එසේ කරන්නට අයිතියක් ඇති අය (මව, පියා, වෛද්‍යවරයා) කවුද යන්නත්, ඔවුන්ට වුවත් එසේ කළ හැක්කේ කුමන අවස්ථාවලදීද යන්නත් දරුවා දැන ගනී.

දරුවන් හා අදාළව සිදුවන ලිංගික අපචාර බොහොමයක්ම සිදුවන්නේ වෙනත් ළමා අපචාර වලම කොටසක් වශයෙනි. ඒ නිසා, ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ ළමා අයිතිවාසිකම් පිළිබඳ දැනුමක්ද සමඟය. දෙවන ශ්‍රේණියේදී පමණ ඇමරිකන් දරුවෙකුට මෙවැනි කරුණු ගැන තවත් වැඩිපුර දැනගන්නට ලැබේ.

දරුවෙකු මුලින්ම දැනගත යුත්තේ විශ්වාසනීය වැඩිහිටියෙකු යනු කවුද යන්නයි. එවැන්නන් පස් දෙනෙකු පමණ හඳුනාගන්නට මුලදීම දරුවෙකුට පුහුණු කෙරේ. වෙනත් වැඩිහිටියෙකුගෙන් අසාමාන්‍ය හැසිරීමක් දකින්නට ලැබෙන විට දරුවෙකු මුලින්ම කළ යුත්තේ මේ විශ්වාසනීය වැඩිහිටියන්ගෙන් අයෙක් දැනුවත් කිරීමයි. විශ්වාසනීය වැඩිහිටියා මව, පියා, ගුරුවරයා හෝ වෙනත් සමීප ඥාතියෙකු විය හැකිය.

අප දන්නා පරිදි ලංකාවේ බොහෝ ලිංගික අපචාර ඇතුළු ළමා අපචාර කරන්නේ මේ ආකාරයේ විශ්වාසනීය වැඩිහිටියන් විසින්මය. එසේනම්, මේ පුහුණුව මඟින් එවැනි දේ කෙසේ වැළැක්විය හැකිද?

එක් විශ්වාසනීය වැඩිහිටියෙකුගෙන් අසාමාන්‍ය හැසිරීමක් දකින්නට ලැබෙන විට දරුවකු විසින් කල යුත්තේ වෙනත් විශ්වාසනීය වැඩිහිටියෙකු දැනුවත් කිරීමයි. උදාහරණයක් ලෙස පියාගේ හැසිරීම අසාමාන්‍යනම් කළ යුත්තේ ඒ ගැන වහාම මව සමඟ කතා කිරීමයි. මෙය බොහෝ විට සාර්ථක වන උපක්‍රමයකි. ඇයගෙන්ද සතුටු විය හැකි විසඳුමක් නොලැබේනම් කළ යුත්තේ ගුරුවරයාට දැනුම් දීමයි. එයද සාර්ථක නැත්නම් 911 දුරකථන අංකය අමතා දැනුම් දීමට දරුවන් මුල සිටම පුහුණු කර තිබේ.

ඇමරිකාවේ දරුවන්ගෙන් 40% සම්බන්ධවම කිසියම් අවස්ථාවක බලාධිකාරයකට මැදිහත් වෙන්නට සිදු වී තිබේ. මෙය එකවර විශ්වාස කිරීමට අසීරු තරමේ සංඛ්‍යාලේඛණයකි. එයින් අදහස් වන්නේ ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ ළමා අපචාර සුලභ බව නොවේ. දෙමවුපියන්ගෙන් වරක් හෝ පහරක් කෑ දරුවන් මෙවැනි පැමිණිලි ගොනු කළහොත් ලංකාවේ මේ ප්‍රතිශතය කොපමණ ඉහළ අගයක් ගනු ඇත්දැයි සිතාගන්නට බැරිකමක් නැත.

ඇමරිකාවේ දෙමවුපියන්ගේ හා දරුවන්ගේ කාර්යයන් ඉතා පැහැදිලි ලෙස අර්ථ දක්වා ඇති අතර දෙමවුපියන් විසින් කළ යුතු, කළ හැකි, නොකළ යුතු හා නොකළ හැකි දේවල් ගැන දරුවන්ව කුඩා කාලයේදීම දැනුවත් කෙරේ. ඒ දේවල් ඒ අයුරින් සිදු නොවන්නේනම් ඔවුන්ට පැමිණිලි කළ හැකි තැන් ගණනාවක් තිබේ. මෙවැනි පැමිණිලි විභාග නොවී ඉවත යන්නේ නැත.

ලිංගික අධ්‍යාපනයටත් වඩා ලංකාවට අවශ්‍ය වන්නේ ළමා අයිතිවාසිකම්, ළමා අපචාර ආදිය ගැන කුඩා කාලයේදීම දරුවන් දැනුවත් කිරීම හා එවැනි දේ සිදුවන විට ඒවා කරන අයට ගැලවී යා නොහැකි යාන්ත්‍රණයක් ඇති වීමයි. ඒ දේවල් සිදු නොවී ලිංගික අධ්‍යාපනය පමණක් ලබා දුන් පමණින් සාර්ථක ප්‍රතිඵල නොලැබෙන්නට ඉඩතිබේ. මෙයින් කියන්නේ ලිංගික අධ්‍යාපනය ලබා දීම නොවැදගත් බව නොවේ. එය සිදුවිය යුත්තේ වඩා පුළුල් යාන්ත්‍රණයක කොටසක් ලෙස බවයි.

ලිංගික අධ්‍යාපනය ලබාදීම හේතුවෙන් සිදුවන්නේ කුමක්දැයි නොදැන සිය පියා අතින් අපයෝජනය වන දැරියක් සිදුවන දෙය දැනගනු ඇතත්, තමන්ට ආහාර හා ආරක්ෂාව සපයන පියාට එරෙහිව පැමිණිලි කර කබලෙන් ලිපට වැටෙන්නට ඇයට ඇති ස්වභාවික බිය ඒ හේතුවෙන් තුරන් වන්නේ නැත. ඒ නිසා, එසේ පැමිණිලි කිරීමෙන් පසුව ඇගේ අනාගතය වඩාත් සුරක්ෂිත බව ඇයට ඒත්තු ගැන්වීමට ප්‍රමාණවත් යාන්ත්‍රණයක්ද රටේ තිබිය යුතුය.

ලිංගික අපචාර සිදු නොවුණත් මවුපියන් හා පවුලේ සමීපතම වැඩිහිටි ඥාතීන් විසින් දරුවන්ට අමානුෂික ලෙස පහර දෙන හෝ වධ හිංසා සිදුකරන, එසේ නැත්නම් ඔවුන්ගෙන් වයසට නොගැලපෙන වැඩ කරවා ගන්නා අවස්ථා එතරම් දුලබ නැත. සංඛ්‍යාලේඛණ මඟින් පෙනෙන්නේ ලිංගික අපචාරයකට ලක්වන දරුවෙකු බොහෝ විට කිසියම් හෝ වෙනත් ආකාරයක අපහරණයකට හෝ අපහරණයන්ට මුලින් ලක්වන බවයි. එසේ නැත්නම්, මෙවැන්නෝ අඩු වශයෙන් දෙමවුපියන් විසින් නොසලකා හරිනු ලැබීමට ලක් වූ අය වෙති.

ලිංගික අධ්‍යාපනයක් ලබා නැති දරුවෙකු තමන් ලිංගික අතවරයකට ලක්වන බව දැන නොසිටීමට සැලකිය යුතු ඉඩක් ඇතත් වෙනත් ආකාරයක ළමා අපචාරයකට, උදාහරණයක් ලෙස පහර දීමකට, නොසලකා හරිනු ලැබීමකට හෝ කළ නොහැකි මට්ටමේ වැඩ කරන ලෙස බල කරනු ලැබීමට ලක්වන විට, තමන්ට නරක ලෙස සලකන බව තේරුම් ගන්නට දරුවෙකුට ස්වභාවික හැකියාවක් තිබේ. එහෙත්, එවැනි දැනුමක් තිබූ පමණින් ලංකාවේ දරුවකුට එය වලක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් නැත.

මෙවැනි දේවල් ගැන දුක්ගැනවිලි ඉදිරිපත් කරන්නට දරුවෙකුට සිටින විශ්වාසවන්තම තැනැත්තා ගුරුවරයාය. ඇමරිකාවේ දරුවෙකුට සිය පාසැල් ජීවිතය ආරම්භයේදීම තමන්ට ඇති මෙවැනි ගැටළු ඇත්නම් ගුරුවරයා සමඟ කතා කරන්නට පුහුණු කෙරේ. දරුවකුට නිවසේදී සිදුවන අතවරයක් ගැන ගුරුවරයෙකුට ඉව වැටුණු පසු දරුවා විසින් කිසිවකුට නොකියන ලෙස ගුරුවරයාව පොරොන්දු කරගෙන සිටියේ වුවද ගුරුවරයා විසින් ගත යුතු නිශ්චිත පියවර ගණනාවක් තිබේ. මේ නීතිය වැඩිහිටි සිසුන් ඇසුරු කරන සරසවි ආචාර්යවරුන් විසින්ද පිළිපැදිය යුතු එකකි. ඒ නිසා, දරුවන්ට නොසලකා හරින ඇමරිකන් වැඩිහිටියෙකු ගන්නේ විශාල අවදානමකි. ලංකාවේ මෙවැන්නක් සිදු නොවනවා පමණක් නොව ඇමරිකානු අර්ථයෙන් දරුවන් අපහරණය කිරීම බොහෝ ගුරුවරුන් සාමාන්‍යයෙන් කරන දෙයකි.

සංක්ෂිප්තව කියනවානම් ලිංගික අධ්‍යාපනය කියන්නේ ප්‍රජනන සෞඛ්‍යය හා අදාළ නිවැරදි තොරතුරු දරුවෙකුට කියා දීම පමණක් නොවේ. එවැනි දැනුමක් පමණක් ලබා දුන්නොත්නම් ඇතැම් විට අවසන් ප්‍රතිඵලය ඇතැම් අය කියන "අත්හදා බැලීම් ඉහළ යාම" පමණක් වුවද විය හැකිය. මේ දැනුම ලබා දිය යුත්තේ පුද්ගල අයිතිවාසිකම් ගැන පුළුල් ලෙස දරුවන් කුඩා කළ සිටම දැනුවත් කිරීමේ අංගයක් ලෙසය. එවැනි දැනුවත් කිරීම් ආරම්භ කරන්නේනම් එයට සමාන්තරව ප්‍රශ්න වලට මුහුණ දෙන දරුවන්ට පහසුවෙන් උදවු ලබාගත හැකි විශ්වාසනීය යාන්ත්‍රණයක්ද ස්ථාපිත කළ යුතුය.

වැඩිදුර කරුණු දෙවන ලිපියකින් කතා කරමු.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...