වෙබ් ලිපිනය:

Monday, July 16, 2018

ඇමරිකාවේ දත් දොස්තරලා


ඇමරිකානුවන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ දත් ගැන බොහෝ සැලකිලිමත්ය. ඔවුන් දන්ත වෛද්‍යවරයෙකු වෙත යන්නේ දතක ප්‍රශ්නයක් ඇති වූ විට පමණක් නොවේ. දත් වල විශේෂ ප්‍රශ්න නැති අයෙකුට දන්තාබාධ නිවාරණ පරීක්ෂාවක් සඳහා සමසකට වරක් දන්ත වෛද්‍යවරයෙකු වෙත යාම නිර්දේශ කෙරෙන අතර දත් හෝ විදුරුමස් එතරම් නිරෝගී නොවේනම් මේ නිර්දේශිත කාලාන්තරය තෙමසක් පමණ දක්වා අඩු වන්නට පුළුවන.

ඉහත ඉල්ලුම හා ගැලපෙන දන්ත වෛද්‍ය සැපයුමක් ඇමරිකාවේ තිබේ. 2017 දත්ත අනුව, සේවයෙහි යෙදෙන දන්ත වෛද්‍යවරුන් 198,517 දෙනෙකු ඇමරිකාවේ සිටියේය. මෙය ජනගහණය ලක්ෂයකට දන්ත වෛද්‍යවරුන් 61.0 ක ප්‍රමාණයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015 දත්ත අනුව, ලංකාවේ සිටින්නේ දන්ත වෛද්‍යවරුන් 1340 දෙනෙකු පමණි. මේ ගණන ජනගහණය ලක්ෂයකට දන්ත වෛද්‍යවරුන් 6.3 ක පමණ ප්‍රමාණ ප්‍රමාණයකි.

කෙසේ වුවත්, ඇමරිකාව ලෝකයේ වැඩිම දන්ත වෛද්‍ය ඝනත්වයක් ඇති රට නොවේ. ස්කැන්ඩිනේවියානු රටවල් ප්‍රධානව බටහිර යුරෝපීය රටවල් ගණනාවක දන්ත වෛද්‍ය ඝනත්වය ඇමරිකාවේ එම ඝනත්වයටද වඩා වැඩිය. පහත වගුවේ ඇති දත්ත තරමක් පැරණි වුවත් ඒ හරහා වත්මන් තත්ත්වය ගැන දළ අදහසක් ගත හැකිය.


ඇමරිකාවේ දන්ත වෛද්‍යවරයෙකු විසින් 2017 වසරේදී ඉපැයූ මධ්‍යස්ථ වාර්ෂික වැටුප ඩොලර් 158,120ක් විය. මෙය ඇමරිකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ වැටුප මෙන් දෙතුන් ගුණයක මුදලක් වුවත් දන්ත වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් ලැබීම සඳහා කළ යුතු ආයෝජනය හා ගත කළ යුතු කාලය සැලකූ විට මෙහි විශාල ආකර්ශනීයත්වයක් නැත.

ඇමරිකාවේ දන්ත වෛද්‍යවරුන් බිහි කරන විද්‍යාල 66ක් තිබේ. මේ දන්ත වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම සඳහා අයදුම් කිරීමටනම් අවම වශයෙන් වසර දෙකක් උපාධි මට්ටමේ පාඨමාලා හදාරා තිබිය යුතුය. ඉන් පසුව ප්‍රවේශ විභාගයකට (DAT) මුහුණ දී සමත්වීම හා සම්මුඛ පරීක්ෂණයක් වැනි තවත් කඩඉම් කිහිපයක්ම තිබේ.

මේ තරඟකාරීත්වය හමුවේ දන්ත වෛද්‍ය විදුහලකට ඇතුළු වන බහුතරයක් විද්‍යා විෂයකින් වසර හතරක ප්‍රථම උපාධියක් සම්පූර්ණ කළ අයයි. ඇතැම් අය ඊට අමතරව තවත් පශ්චාත් උපාධියක් හැදෑරු අයයි. අවම සුදුසුකම වන වසර දෙකක උපාධි මට්ටමේ පාඨමාලා පමණක් හදාරා ඇති අයෙකු දන්ත වෛද්‍ය පාඨමාලාවක් සඳහා ඇතුළත් නොකෙරෙන තරම්ය. ඇමරිකාවේ වෛද්‍ය උපාධියක් මෙන්ම දන්ත වෛද්‍ය උපාධියක්ද සැලකෙන්නේ දෙවන උපාධියක් වශයෙනි.

දන්ත වෛද්‍ය සිසුවෙකු දන්ත වෛද්‍ය විද්‍යාලයකදී ලබන පුහුණුවට සායනික පුහුණුවක්ද ඇතුළත්ය. කිසියම් අනු ක්ෂේත්‍රයක දන්ත වෛද්‍ය විශේෂඥයෙකු වීම සඳහා වසර 2-4 අතර කාලයක අමතර නේවාසික පුහුණුවක් ලැබිය යුතු අතර දන්ත වෛද්‍ය පර්යේෂකයෙකු හෝ දේශකයෙකු වීම සඳහා වසර 2-5 අතර කාලයක අමතර පුහුණුවක් අවශ්‍ය වේ.

මෙසේ අවශ්‍ය සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව දන්ත වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා කිසියම් ප්‍රාන්තයකින් බලපත්‍රයක් ලබා ගත යුතුය. ඒ සඳහා ඉහත කී අනුමත උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීමට අමතරව ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ සමත් වීමටද සිදු වේ.

මේ සියල්ල කර දන්ත වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා බලපත්‍රයක් ලබාගත්තද "ආණ්ඩුවෙන් රස්සා දීමක්" නැති නිසා දන්ත වෛද්‍ය සායනයක් ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ ආදිය මිල දී ගැනීමට මූලික ප්‍රාග්ධනයක්ද අවශ්‍ය වේ. එසේ කළද, අලුත් දන්ත වෛද්‍යවරයෙකුට පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීම අභියෝගයකි. ඒ නිසා, බොහෝ අලුත් දන්ත වෛද්‍යවරුන් රැකියාව ආරම්භ කරන්නේ ජ්‍යෙෂ්ඨ දන්ත වෛද්‍යවරයෙකු යටතේය. තමන්ගේම දන්ත සායනයක් ආරම්භ කර ආදායම් ඉපැයීම සඳහා දන්ත වෛද්‍යවරයෙකුට ව්‍යාපාරික කුසලතාද අවශ්‍ය වේ.

සාමාන්‍යයෙන් එක් දන්ත වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ දන්ත වෛද්‍ය සහායකයින් ගණනාවක් සේවය කරන අතර එක්ස්රේ ඡායාරූප ගැනීම හා සාමාන්‍ය දත් පිරිසිදු කිරීම් වැනි මූලික කටයුතු බොහොමයක් සිදුවන්නේ මේ දන්ත වෛද්‍ය සහායකයින් අතිනි. ඇතැම් ප්‍රාන්ත වල දන්ත සහායකයෙකු වීම සඳහාද උපාධියක් අවශ්‍ය වුවත්, දන්ත වෛද්‍යවරයෙකු යට‍තේ පුහුණු වීමෙන්ද දන්ත වෛද්‍ය සහායකයෙකු විය හැකිය. 2017දී දන්ත වෛද්‍ය සහායකයෙකුගේ මධ්‍යස්ථ වාර්ෂික වැටුප ඩොලර් 37,630ක් විය. මෙය සාපේක්ෂව අඩු වැටුපකි.

(Graph: http://www.businessinsider.com/which-countries-have-the-most-dentists-per-capita-2011-2; Image: https://www.unmc.edu/dentistry/)

21 comments:

  1. ඇමෙරිකා එක්සත් ජනපදයේ දන්ත වෛද්‍ය සහායකුගේ අවම වැටුප් කුමන අගයක් ලෙස නම්කර තිබේද?

    ඇත්තටම ඉකොනොමැට්ටා පොතේ හැටියට නම් ඕස්ට්‍රේලියාවේ නීතිය අනුව ඕනෑම ක්ෂේත්‍රයක අවම වැටුප වන්නේ පැයලට ඩොලර් 18.29ක් එනම් සතියකට ඩොලර් 695ක්. සේවකයා ඊට වඩා අඩු වැටුපකට එකග වුවත් එසේ ගෙවීමට නීතියෙන් ඉඩ නැහැ, සේවකයා රාත්‍රියේ, නිවාඩු දිනවල හා සති අන්තයේ සේවය කරයි නම් සේවකයාට ඊට වඩා වැඩි වැටුප් ලැබිය යුතුයි (Penalty rates on the Fair Work Ombudsman's website - https://www.fairwork.gov.au/pay/penalty-rates-and-allowances)

    Modern Award ක්‍රමය යටතේ සමහර ශේස්ත්‍ර වල වැටුප් තලයන් වෙනස් වේ.

    https://www.fairwork.gov.au/awards-and-agreements

    ඕස්ට්‍රේලියාවේ නීතිය අනුව අනියම් සේවකයෙකු නම් ඔබට සාමාන්‍ය වැටුපට වඩා 25%ක වැඩි අගයක් ලැබිය යුතු වුවත් මේ සියල්ල පොතට පමණක් සීමා වේ.

    UTS (සිඩ්නි තාක්ෂණික විශ්ව විද්‍යාලය - www.uts.edu.au) ඉතාම මෑතදී පැවැත්වූ සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත්තේ බොහෝ අය මෙසේ අවම අගයට වඩා අඩුවැටුප් ලැබන බවයි; හෝටල්, පලතුරු හා එලවලු කරන්නන්, කෘෂි සේවකයින් වැනි රැකියා වල මෙම තත්වය ඉතා බහුල වනාතර ඇමරිකා එක්සත් ජනපදය මෙන් නොව ඔස්ට්‍රේලියා ආර්ථිකය ඉතා අසීරුවෙන් මේදිනවල ඇදගෙන යන නිසා ඉදිරියේ තවත් මෙම අගයන් පහළ යාමට ඉඩ තිබේ.

    ReplyDelete
    Replies
    1. තොරතුරු වලට ස්තුතියි. මම දන්නා තරමට ඕස්ට්‍රේලියාවේ මෙන්ම සියලුම ක්ෂේත්‍ර වලට පොදු අවම වැටුපක් මිස රැකියාව අනුව වෙනස් වන අවම වැටුප් ඇමරිකාවේ නැහැ. මේ දවස්වල ඇමරිකාවේ ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වන නිසා අවම වැටුප එතරම් සීමාකාරී නැහැ. ශ්‍රම වෙළඳපොළේ සමතුලිත වැටුප බොහෝ විට අවම වැටුපට වඩා ඉහළයි. මෙය ප්‍රශ්නයක් වෙන්නේ ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක නොවන විටයි. එවැනි විටක, රැකියා නැතිව සිටීමට සාපේක්ෂව අවම වැටුපට වඩා අඩු වැටුපකට වැඩ කරන්න බොහෝ දෙනෙක් කැමතියි. සමාගම් වල ලාබ අඩු නිසා ඔවුන්ට අවම වැටුපට වඩා වැඩි වැටුපක් ගෙවමින් වැඩි සේවක පිරිසක් නඩත්තු කරන්නත් අමාරුයි. මෙවැනි තත්ත්වයකදී අවම වැටුප් නීතිය දෙපාර්ශ්වයේම නිදහස් කැමැත්තට බාධා කරනවා. ඒ වගේ අවස්ථා වලදී ඇතැම් අය අවදානමක් ගෙන නීතිය නොසලකා හරිමින් අඩු වැටුපකට සේවක පිරිස් බඳවා ගන්නවා. ඔබ කියන පරිදි දැන් ඕස්ට්‍රේලියාවේ තිබෙන්නේ එවැනි තත්ත්වයක් විය හැකියි.

      Delete
    2. Yes I too agree. In Aus, a coconut is Rs 240, Rice Rs 360/kg, Petrol Rs 280/litre, Bus fare first section Rs 280. Kasippu not available even for Rs 5,000 per bottle :D

      Delete
    3. Current petrol prices in and around Sydney:
      https://www.fuelcheck.nsw.gov.au/app

      About A$1.50 = 180 Rs.

      -Rasika

      Delete
    4. සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතිය යනු මා සාමාජිකයෙකු ලෙස කටයුතු කරන නාට්‍ය කණ්ඩායමක් බව කරුණාවෙන් දන්වා සිටිමි.

      අපේ බ්ලොග් අඩවිය:
      https://sydneycolombotheatre.blogspot.com/

      අපේ වෙබ් අඩවිය: http://www.sctp.org.au/

      අපේ ෆේස්බුක් පිටුව: https://www.facebook.com/groups/Sydney.Colombo.Theatre.Project/

      අපේ යූ-ටියුබ් චැනලය: https://www.youtube.com/channel/UCiRzOVsXgFR5ewGapFmMaHg

      ස්තුතියි.

      -රසික සූරියආරච්චි

      Delete
    5. //සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතිය යනු මා සාමාජිකයෙකු ලෙස කටයුතු කරන නාට්‍ය කණ්ඩායමක් බව කරුණාවෙන් දන්වා සිටිමි.//
      පළමුව හිතුවේ රසිකගේ නමින් වෙන කෙනෙක් දැමූ එකක් කියලයි. හොඳ ව්‍යාපෘතියක්. ඩයස්පෝරික ගහණය වැඩි වන තරමට මෙවැනි දේ කරන්න අවකාශ වැඩියි.

      Delete
    6. අපි මේ දිනවල පැට්‍රෝල් ලීටරයකට ආසන්න වශයෙන් රුපියල් 120ක් පමණ ගෙවනවා. එය තැනින් තැනට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකාවේ පාර දෙපැත්තේ ෂෙඩ් දෙකක වුවත් මිල සමාන නැහැ. ඒ වගේම සංයුතියේත් වෙනස්කම් තිබෙනවා (එතනෝල් ප්‍රතිශතය වැනි). මහද්වීපික ඇමරිකාවම ගත්තොත් කැලිෆෝර්නියා පැත්තට යන විට 25% පමණ වැඩියි. තෙල් හදන පැතිවල 15% පමණ අඩුයි. අප සිටින පැත්තේ පොල්කිරිනම් ඕස්ට්‍රේලියාවේ මෙන් දෙගුණයක් පමණවත් මිල අධිකයි.

      Delete
  2. ඉකොනො,

    ඔබ කලින් පෝස්ට් එකේ නිරුවත් සංස්කෘතිය ගැන ඉතා වැදගත් අදහසක් පළ කර තිබුණත් කාර්‍ය්යබහුලත්වය නිසා ඊට කමෙන්ට් කරන්න බැරිවුණා. ෂ්‍රී ලංකාවේ අද පවතින ලිංගික සම්බන්ධතා හා ලිංගිකත්වය පිළිබඳ අදහස් මූලික වශයෙන් එංගලන්තයේ "වික්ටෝරියානු සදාචාරය" යෙන් උකහාගත් ඒවාය. (වික්ටෝරියානු යුගය ලෙස මූලිකව යටත්විජිත සමයේ බ්‍රිතාන්‍ය පාලන යුගය, විශේෂයෙන්ම වික්ටෝරියා රැජිනගේ පාලන කාලය -1837 සිට 1901 දක්වා - ලෙස හඳුන්වාදිය හැකිය - මේ අනුව, වික්ටෝරියානු සදාචාරය යන යෙදුමේ පරිසමාප්ත අදහස නම්, මේ කාලයේ බ්‍රිතාන්‍යයේ ජීවත් වූ ජනතාව පාලනය කිරීම සඳහා ඒ ජනතාව විසින් සාමූහිකව පිළිගෙන තිබූ සදාචාරමය ප්‍රතිපත්ති මාලාවය. මේ තුළ ඉතා දැඩි ලෙස ලිංගිකමය පාලනය, අපරාධ (හොර මැර කම් හා වංචා ආදිය) නොයිවසීම, විධිමත් දැනුම හා ඥානය අගය කිරීම හා දැඩි සමාජීය ආචාරධර්ම පද්ධතියකට ගරු කිරීම වැනි කරුණු අන්තර්ගත විය. 19 වන සියවසේ බ්‍රිතාන්‍යය සතු වූ දේශපාලනික හා සමාජ-සංස්කෘතික බලය නිසා මේ අගයන් බ්‍රිතාන්‍යයෙන් පිට පිහිටි බ්‍රිතාන්‍ය යටත්විජිත හා අන් රටවල් ගණනාවක් වෙත පැතිර ගියේය. වික්ටෝරියානු සදාචාර පද්ධතිය අප වැනි රටවලට පිවිසියේ මේ ආකාරයටය. ලංකාවේ 19 වන සියවසේ හා 20 වන සියවසේ මුල් භාගයේ පැවැති යටත්විජිත අධ්‍යාපනයේ මූලික අරමුණක් වූයේ මේ අගය පද්ධතිය ලාංකේය ජන සමාජය තුළ ස්ථාපිත කිරීමය.)

    කෙසේ නමුත් දැන් නම් ලාංකේය සංස්කෘතිය සාධාරණීකරණය කරන්නේ වික්ටෝරියාඅනු සඹ්‍යත්වය ඉතා ඈත අතීතයේ පටන් අපේ සමාජයේ තිබූ අදහස් හැටියට සලකා ය. අඩුම තරමින් උඩරට යුගය පිළිබඳ ශේෂ වී ඇති ඓතිහාසික වාර්තා/ පැල්කවි /ජනකතා වැනි මූලාශ්‍ර විමසා බැලුවත් අපට පැහැදිලිවන්නේ ඒ යුගයේ ලිංගිකත්වය පිළිබඳව බලපැවැත්වූයේ වඩා නිදහස් අගය පද්ධතියක් බවය. ඒ යුගයේ බහුපුරුෂ විවාහ මෙන්ම දික්කසාද ද දැකගත හැකිවිය. එකල උඩරට ප්‍රචලිත වී තිබූ බින්න විවාහ ක්‍රමය යටතේ ස්ත්‍රියට සෑහෙන සමාජ බලයක් තිබුණු අතර, දික්කසාදය ගැන තීරණ ගැනීමට ඇයට බලාධිකාරයක් තිබුණා. එනමුත් මේ පූර්ව වික්ටෝරියානු අදහස් අපිට අද බොහෝ දුරට අහිමිවී තිබේ.
    අනෙක්

    කෙසේ නමුත් වික්ටෝරියානු සඹ්‍යත්ව පද්ධතිය තුළ හොරමැර කම්, වංචා හා දූෂණ ඉතා තීරණාත්මක ලෙස බැහැර කළේය. එලෙසම, ඒ සදාචාර පද්ධතිය අදටත් අප අතර පවතින විධිමත් දැනුම් පද්ධති හා ඥාන පර්ෂද දැඩි ලෙස අගය කළා පමණක් නොව, ඒවා නඟාසිටුවීමට අනුබල දුන්නේය. අපේ රටේ මේ වන විටත් පවතින බොහෝ විෂයය ක්ෂේත්‍ර මෙන්ම විශ්ව විද්‍යාල වැනි ආයතන පවා අපට හිමි වූයේ මේ තත්ත්වය යටතේය. මේ අගය පද්ධතියම දේශපාලනයේ දී හා මහජන සේවයේ දී ආචාරධර්මානුකූලව හැසිරීමට සමස්ත සමාජයටම බල කළේය. මගේ පරම්පරාවේ උදවියගේ දෙමවුපියන් බොහෝ දෙනා හරි වැරදි මොනවාද කියා ඉගෙනගත්තේත්, අපට කියා දුන්නේත් යම් දුරකට වික්ටෝරියානු සදාචාරවාදයේ අගය පද්ධතීන් ඇසුරු කරමිනි. ඔවුන්ට මේ පිළිබඳ සවිඥානක දැනුමක් තිබුණාද? නැද්ද? යන්න වෙනම කාරණයකි. එසේම මේ සමාජානුයෝජනයට අපේ පවුල්වල උදවියට බෞද්ධ ආචාරධර්මද බලපෑවේය. මේ ආකාරයටම අන්‍ය ආගමිකයන්ටද වික්ටෝරියානු අදහස්වලට අමතරව තමන්ගේ ආගමික පසුබිම පැහැදිලි ලෙසම බලපෑවේය. මේ අනුව බලන කල, මේ හරපද්ධතියෙන් අයින් කළ යුත්තේ මොනවාද? තවදුරටත් අප සරණ යා යුත්තේ මොනවාද? දැනට පවතින සමාජ සංස්කෘතික තත්ත්ව'නුව වෙනස් කරගත යුත්තේ මොනවා ද? මේවා පිළිබඳ ගැඹුරින් සිතා බැලීම වඩාත් යෝග්‍ය වේ. අප එකඟ නොවන සියලු දේ වික්ටෝරියානු සදාචාරයේ ලේබල තුළ බහා ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම එතරම් බුද්ධි ගෝචර ද?

    ReplyDelete
    Replies
    1. ලාංකේය සිංහල බෞද්ධ උරුමය සමස්තයක් ලෙස ගත් කළ වික්ටෝරියානු සදාචාරයට වඩා බෙහෙවින් පැරණි නමුත් මේ උරුමයේ ඇතැම් අගයන්, විද්‍යාව හා කලාව පිළිබඳ දැනුම, වාස්තු විද්‍යාත්මක අවශේෂ, නිර්මාණ සාහිත්‍යය ආදි දේ සුවිශේශී වුවත් මේවා පැහැදිලි ලෙස අපේයැයි පැවසිය හැකි ඓතිහාසික සාධක ද වනමුත් සිංහල බෞද්ධ යන අදහස අපි ජනවාර්ගික අනන්‍යතාවක් ලෙස පමණක් සලකන්නේ නම්, ඒ අනන්‍යතාව 19 වන සියවසින් පසු කාලයේ සිට අද වන තෙක් ගොඩනගන්නට උපකාර කළ ඇතැම් දැනුම් පර්ෂද වික්ටෝරියානු සදාචාරවාදයෙන් උරුම වූ ඒවා බව අමතක නොකළ යුතුය. මේ අතරට ඉතිහාසය හා පුරාවිද්‍යාව වැනි විෂයයන් ඇතුළත් වී තිබේ. උදාහරණයක් ලෙස සිංහල ජන ප‍‍්‍රජාව ගැනත්, ලංකාවේ බුද්ධාගම හා වත්පිළිවෙත් ගැනත් බොහෝ දැනුමක් නිෂ්පාදනය වූයේ යටත්විජිත දැනුම් පද්ධතියේ ප්‍රසාරණයත් සමඟය. බොහෝ දුරට මේ දැනුම අප වෙත පැමිණියේ විජිතවාදි ඉතිහාසකරණයේ අනිවාර්ය කොටසක් ලෙස පළ වූ අප්‍රමාණ ලිපි-ලේඛන මඟිනි. තොරතුරු හා අර්ථකථන පිළිබඳ ඇතැම් අඩු-පාඩු කොතරම් පැවතියද, රාජකීය අසියාතික සංගමයේ නිබන්ධ මීට උදාහරණ සේ පෙන්වාදිය හැකිය. එමෙන්ම අනුරාධපුරය ඇතුළු අපගේ ඉපැරණි නටබුන් වූ නගර නැවත සොයාගැනුණේ මේ දැනුම් ප්‍රසාරණයේ ප්‍රතිඵල හැටියටය. එච්සීපී බෙල් මහතාගේ පර්යේෂණ හා ඒ පිළිබඳ වාර්තා මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවීමද මෙයට තවත් උදාහරණයකි.

      මේ අතින් බලන විට, වික්ටෝරියානු සදාචාරවාදයෙන්ම බිහි වූ පුරාවිද්‍යාව හා ඉතිහාසය වැනි විෂයයන් නොවන්නට ඓතිහාසික සිංහල බෞද්ධ ජන වාර්ගික අනන්‍යතාව වත්මනට ගොඩනැඟීමට අත්‍යවශ්‍ය දැනුම අපට නොලැබී යෑමට ඉඩ තිබිණි. කටුක වුවත් අප විසින් අවබෝධ කළ යුතු යථාර්ථය මෙය වේ. එසේ වුවත් හුදෙක් වික්ටෝරියානු සදාචාරවාදයේ දිගුවක් ලෙස පමණක් සිංහල බෞද්ධ උරුමය දැකීම කෙසේ වත් සාර්ථක විශ්ලේෂණයක් නොවේ. එය දැනුම හා අතීතය පිළිබඳ සංකීර්ණ තත්ත්වයන් අනවශ්‍ය ලෙස ලඝු කිරීමකි. මේ ගැන ඔබ දරන මත කෙබඳුද?

      (කරුණාකර කෙබඳුයි හෝ කෙබඳු නැත කියා කෙටි පිළිතුරු දීමෙන් වැලකී දිගු පිළිතුරක් දෙන්න )

      Delete
    2. ඔබ ඉල්ලා සිටියත් මෙයට දිගු පිළිතුරක් අවශ්‍ය වේයැයි මට හිතෙන්නේ නැත. මට සාපේක්ෂව ඔබ දරන අදහස් බොහෝ සමතුලිතය. ඔබ ලියා ඇති දේ මා හිතන ආකාරය සමඟ බොහෝ දුරට අතිපිහිත වේ.

      Delete
    3. බලාගෙන ගියාම ඒකත් කොපියක්නේ. ස්තුතියි, රසික!

      Delete
  3. හිතවත් ඉකොනොමැට්ටා,

    ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ එහි ආර්ථිකය වේගයෙන් දියුණුවන බවත් ට්‍රම්ප් ගේ මේක් ඇමරිකා ග්‍රේට් අගේයින් සංකල්පය ඇමරිකන් බහුතර පොදු ජනයා කැමති එකක් බවත් ඔහු නැවත වරක් දෙවෙනි වතාවටත් දිනයි කියාත් එහි සිටින මා මිතුරන් කියනවා. නමුත් ඇමරිකා සහ වෙනත් බොහෝ ප්‍රසිද්ධ මාධ්‍ය උග්‍ර ට්‍රම්ප් විරෝධී ස්ථාවරයකින් ට්‍රම්ප් පිස්සෙක් ලෙස පෙන්වීමට තනන්නේ ඇයි?

    ඕස්ට්‍රේලියාවේ නම් දැන් දැන් රැකියා නැහැ. ලංකාවෙන් ගිය බොහෝ අයගේ රැකියා අහිමි වෙලා තියනවා. පෙරට සාපේක්ෂව බොහෝ දීමනා කප්පාදු කරලා. බොහෝ අමතර අදායම් මාර්ග වැහිලා. බදු වැඩිවෙලා. ජොබ් ඒජන්සිවල රැකියා පෝලිම් දිගට. හ්ම්ම්, හරිම දුෂ්කර කාලයක් මේක. ඔබ දන්න කියන කෙනෙක් ඕස්ට්‍රේලියාවට එන්න හිතනවා නම් දෙපාරක් හිතන්න කියන්න. මේ කාලයේ එනවා නම් ඔබව තමන්ගේ ගෙදර තියාගෙන අවුරුදු දෙක තුනක් වත් නඩත්තු කිරීමේ හැකියාවක් ඇති ඥාති හෝ හිතවතෙක් පළමුවෙන්ම සොයා ගන්න. රැකියා තත්වය ඒ තරම් දරුණුයි. ඕස්ට්‍රේලියාවේ ඇත්ත තත්වය කිව්වට ලංකාවේ උදවිය පිළිගන්නේ නැහැ. හිතන්නේ අපි වෙන කවුරුවත් එනවාට ඊර්ෂ්‍යාවේ කියලා. ඔස්ට්‍රේලියාවේ සිටින මගේ ලාංකික මිතුරෙකුට රැකියාව අහිමි වෙලා අවුරුද්දක් . තවම කම්කරු රැකියාවක් වත් හොයා ගන්න බැරි වුනා.

    (කොහෙට ගොඩ බැස්සත් දකුණු ඔස්ට්‍රේලියාවට නම් එන්න එපා. ලඟදි ආපු ලාංකිකයන් ට පෙර පව් පල දීලා කියලා කියන්නේ. හොඳට හොයලා බලලා එන කෙනෙක් එන්න. පවුල් පිටින් ඇවිල්ලනම් අමාරුවේ වැටෙන්න එපා.)

    මගේ සහෝදරයෙකුත් ඕස්ට්‍රේලියාවට ඇවිත් අවුරුද්දකට කිට්ටු වෙන්න එනවා. ඔහු ගේ වෘත්තියට ගැලපෙන රැකියාවක්‌ හොයන්න මාස 4ක් විතර ගියා. මගේ යහළුවෝ ඉන්නවා ජොබ් එක අරගෙනම මෙහෙට ගොඩ බැහැපු අය. තවත් සමහර අය ඉන්නවා රස්සාවල් නැතුව අවුරුදු ගණන් ඉන්න අය. තවත් කොටසක් ඉන්නවා තියෙන රස්සාව අහිමි වෙච්ච අය. ඕස්ට්‍රේලියාවේ නම් රස්සාවල් කියන්නේ "(අ)වාසනාව" මත සහ තමුන්ගේ වෘත්තීය අනුව තීරණය වන දෙයක්. කම්කරු රැකියාවල් හොයා ගන්න අමාරු වෙනත් රටවල් වලින් ඇවිත් අඩු පඩියට වැඩ කරන උදවිය නිසයි. ඒ රටවල් මොනාද කියල කියන එක සදාචාර නැති නිසා නොකියමි. ඒ වගේම තමයි තවත් සමහර වෘත්තීන්. ඔබ වාසනාවන්ත නම් මෙහෙ ඔබට කවදාවත් වරදින්නේ නැත.

    ඕස්ට්‍රේලියා එනවනම් හරි ක්‍රමයට නීත්‍යානුකුලව විසා අරගෙන එන්න. හැබැයි ලංකාවේ කවදාත් පවතින රැකියා පිලිබඳ මහන්තත්ත කම නම් මෙහෙ අරන් එන්න එපා. මෙහෙ කසල ශෝධකයාත් විධායක නිලධාරියාත් දෙන්නා අතර වෙනසක් නැති තරම්. මම ලංකාවේ ශීත කාමරයේ කැරකෙන පුටුවේ ගෝල බාලයන් පිරිවරා හිටියා එම නිසා මට ඕස්ට්‍රේලියාවෙත් එම තැනම ගොඩ බැහැපු සැනින් ලැබේවි කියා නම් හිතන්න එපා. කල්පනාවෙන් ඉවසීමෙන් අවංකව ජීවත් වෙන්න හිතාගෙන අවොත් මේ නරක කාලය ඉවර වුනාම සැනසීමක් ලැබේවි.

    ඕස්ට්‍රේලියාවට ඇවිත් ලැබෙන ඕනෑම ජොබ් එකක් කරන්න ලෑස්ති නම් මෙහෙට නීත්‍යානුකුලව ආවාට කමක් නැහැ. වසර දෙකකින් පසු පී ආර් ලබාගත්තොත් තවත් වසර දෙකකට පසු (රැකියාව නැති වුණොත් ) ඩෝල් එකට හිමිකම ලැබෙනවා. ඒ වගේම මෙහෙ සාමාන්‍ය රැකියාවකට පැයකට ඩොලර් 18-20 (මං හිතන්නේ වැඩිහිටියෙකුගේ අවම වැටුප පැයකට ඩොලර් 15 කට වැඩියි.) ඩෝල් එකත් ළමයි දෙන්නෙක් ඉන්න පවුලකට සති දෙකකට ඩොලර් 750-800 කියලා තමා මට හිතෙන්නේ. මේක ලිව්වේ මෙහෙ ගැන හරි වැටහීමක් දෙන්න මිසක් සෝබනේටවත් ඊරිසියාවටවත් නොවේ.

    ඕස්ට්‍රේලියාවේ ගිය පලියට හැම දෙයක් ම හරි යන්නේ නැහැ. නීත්‍යානුකුල විසා අරගෙන ගිය උදවියටත් රැකියා හොයාගන්න අපහසුයි. බටහිර ඕස්ට්‍රේලියාවේ පතල් කර්මාන්තය අඩපන වේගන යනවා. දකුණු ඕස්ට්‍රේලියාවේ කර්මාන්ත ශාලා එකින් එක වැහීගෙන යනවා. සංක්‍රමිකයන්ට තියා එහෙ ඉපදුන අයටත් දුෂ්කර කාලයක් මේක. මේ ලංකාවේ මෝඩ මිනිස්සු මෙතරම් දැනුවත් කරලත් තේරුම් ගන්නේ නැහැනේ.

    ඉකොනොමෑට්ට අප ඔය විදියට කිව්වාට අපේ සමහරු ඔස්ට්‍රේලියා ගිහින් රජ වෙලා ඉන්නවා කියලා තමයි ලංකාවේ උදවියට අඟවන්නේ. ඒවා අහල මේ අහිංසක මිනිස්සු බෝට්ටු වල නැගලා හරි යන්න හදනවා. කරන්නේ කම්කරු රැකියා, නමුත් කියන්නේ විදායක තනතුරු කියලා. ලංකාවේ කල වැදගත් රැකියා දාලා ගිහිල්ල බොරු සෝබන පෙන්නගෙන ඉන්නවා. හැබැයි හැමෝම නෙවෙයි, පනින්න පෙර සිතා බලනු කියල තමයි මමනම් කියන්නේ.

    ඕස්ට්‍රේලියාවේ විතරක් නෙවෙයි යුරෝපයේත් දැන් රැකියාවක් හොයා ගන්න අමාරුයි. අවුරුදු ගාණක් හිටපු අයටනම් ප්‍රශ්නයක් නෑලු, හැබැයි අළුතින් යන අයට තමයි ප්‍රශ්නෙ.

    ReplyDelete
    Replies
    1. අනෙක් බටහිරට රටවලට මෙන් ඇමරිකාවට එන්න skilled migration කැටගරි එකක් නැහැ. ඒ නිසා, ලංකාව වැනි රටකින් ඇමරිකාවට සංක්‍රමණය විය හැකි ප්‍රධාන ක්‍රම දෙක වන්නේ අධ්‍යාපනය සඳහා පැමිණ දිගටම නැවතීම හා ග්‍රීන්කාර්ඩ් ලොතරැයිය හරහා පැමිණීමයි. ඇමරිකන් අධ්‍යාපන සුදුසුකම් ඇති අයෙකුට රැකියාවක් හොයා ගැනීම එතරම් අපහසු නැහැ. එහෙත්, දෙවන ක්‍රමයට හෝ ඥාති සබඳතා වැනි වෙනත් ක්‍රම වලට එන අයට ගොඩයන්න කලක් යනවා. නියම වීසා එකක් නැතිව එන අයටනම් ගොඩයාම කොහෙත්ම පහසු නැහැ.

      Delete
    2. //ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ එහි ආර්ථිකය වේගයෙන් දියුණුවන බවත් ට්‍රම්ප් ගේ මේක් ඇමරිකා ග්‍රේට් අගේයින් සංකල්පය ඇමරිකන් බහුතර පොදු ජනයා කැමති එකක් බවත් ඔහු නැවත වරක් දෙවෙනි වතාවටත් දිනයි කියාත් එහි සිටින මා මිතුරන් කියනවා. නමුත් ඇමරිකා සහ වෙනත් බොහෝ ප්‍රසිද්ධ මාධ්‍ය උග්‍ර ට්‍රම්ප් විරෝධී ස්ථාවරයකින් ට්‍රම්ප් පිස්සෙක් ලෙස පෙන්වීමට තනන්නේ ඇයි?//

      ට්‍රම්ප් නිල චාරිත්‍ර ගණන් ගන්නේ නැහැ. ඔහු ජාතිකවාදියෙක්.

      ඇමරිකා එක්සත් රාජ්‍ය ගැන අප නොසිතන පැත්තක් තියෙනවා. එංගලන්ත ඉංගිරිසින් ගිහින් පදිංචි වූ රටවල් අතරින් එංගලන්තයට විරුද්ධව සටන් කරලා නිදහස දිනාගත්තෙ ඇමරිකා එක්සත් රාජ්‍ය පමණයි.

      කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය අදී රටවල් තවම එංගලන්ත රැජිනගෙ රටවල්. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ ඇයගේ නියෝජිතයෙකු විසිනි. අප 1972 එංගලන්ත රැජිනගෙන් වෙන් වුණත් අප තවමත් නිදහස් දිනය ලෙස සලකන්නෙ ඩොමීනියන් නිදහස ලැබුණු දවස. ඩොමීනියන් රටවල රැජින එංගලන්ත රැජින. න්‍යායාත්මකව ඇයගේ බලය අති විශාලය. ඇය තම රජයේ අමාත්‍යවරුන් සමඟ විවිධ සම්බන්ධතා මඟින් රටෙහි අභ්‍යන්තර කටයුතු වලට දායක වෙයි. II වන එළිසබෙත් රැජිණ වෙනත් තනතුරු රැසක් ද වෙයි. ජෝන් කොතලාවල එංගලන්තෙ මිනිහෙක් වගේ ජීවත් වුණා. ප්‍රේමදාස ග්ලැඩ්ස්ටන් කියන එංගලන්ත තානාපති ගෙදර යැව්වා. මහින්ද එංගලන්ත විදේශ ඇමතිව ඇඹිලිපිටියට ගෙන්නලා තමන් ඔවුන් කියන දේ පිළිපදින්නෙ නැති බව කිව්වා. මේ හැසිරීම්වලට සමාජ හේතු හොයන්න යන එක ඊනියා ද්‍රව්‍යවාදීන්ට පවරමු. අපි ට්‍රම්ප් වැනි එඩිතර නිර්භය නායකයන් ඇති කර ගැනීමට වෙහෙසෙමු.

      Delete
  4. Ano 12.10

    ලංකාවේ මිනිස්සු ඕස්ත්‍රේලියාවට යන්න බලාගෙන හිටියට, එහේ ගියා කියලා වැඩි වාසියක් නෑ. එහේ වැඩ කරන්න ඕනේ නිකම් කන්න දෙන්නේ නෑ, හරියට මහන්සි වෙන්න ඕනේ, බදු ලංකාවට වඩා වැඩියි, පොඩ්ඩක් වත් නිකම් ඉන්න බෑ, වාසිනම් ටිකක් තියෙනවා. නමුත් මෙහෙම හිතන්න, සාමාන්‍යයෙන් ඕස්ත්‍රේලියාවට යන්න පුලුවන් දැනටම ලංකාවේ හොද ජොබක් කරන එකෙක්ට උන් work experience බලනකොටත් අවුරුදු 2,3 වගේ කපනවා එතකොට අපි මෙහේ අවුරුදු 5,6 වගේ වැඩ කරලා තියෙන්නේ ඕනේ. එහෙම ජොබ් එකක් තියෙන එකෙක්ට ලංකාවේ ලක්ෂේ පැනලා හොයලා සුපිරියට ඉන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. Not only Australia....if you are an educated professional like Chartered Accountant, Engineer, Doctor Architect etc. don't go abroad for a job (for many years). Normally after studies and after qualification we go abroad to earn fast money but we really scarify a lot. We destroy our career too. Health wise also we get negative results. Finally if you compare yourselves with your colleagues who continue to be in SL, they are in better position than where you are right now. Life is difficult in Sri Lanka when you start your career but you have better career path in SL than in abroad. I think if you can earn enough money SL is the best place to live. Regarding Children education also SL is not a bad place.

      Delete
    2. ඔබ කියන කරුණ ඇමරිකාව හා අදාළව වුවත් නිවැරදියි. ලංකාවේ ශ්‍රම වෙළඳපොළට ඇතුළු වන තරුණයෙකුට විශාල අභියෝග රැසකට මුහුණ දෙමින් දුෂ්කර ජීවිතයක් ගෙවන්න වුනත් මැදි වයස පසු වී තමන් සේවය කරන ආයතන වල ඉහළට යාමෙන් පසු ලොකු වැඩක් නොකරමින් ලොකු වේතනයක් හා වෙනත් පහසුකම් ලබා ගනිමින් සුව පහසු දිවියක් ගෙවීමේ හැකියාව තිබෙනවා. එහෙත්, ඇමරිකාවේ එය ඒ අයුරින්ම වෙන්නේ නැහැ. වඩා වයස්ගත අය වෙනුවට වඩා කාර්යක්ෂම තරුණයින් ආදේශ කර ගැනීම නිසා පළපුරුද්දක් තිබෙන වෘත්තිකයින්ට අලුත් දැනුම සමඟ ශ්‍රම වෙළඳපොළට එකතුවන තරුණයින් සමඟ තරඟ කළ හැකි පරිදි නිරන්තරයෙන්ම දැනුම යාවත්කාලීන කරගන්න වෙනවා. එසේ කළ නොහැකි අයට නමට පළපුරුද්ද තිබූ පමණින් ලංකාවේදී මෙන් ශ්‍රම වෙළඳපොළෙහි ලොකු තැනක් නැහැ. මෙහි ශ්‍රම වෙළඳපොළේදී වැදගත් වන්නේ ඵලදායීතාවය මිස අධ්‍යාපන සුදුසුකම් හෝ පළපුරුද්ද නෙමෙයි. අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද වැදගත් වන්නේ ඵලදායීතාවය පිළිබඳව ඉඟි කළ හැකි සංඥා වශයෙන් පමණයි.

      Delete
    3. කොහොම වුනත්, සංක්‍රමණිකයෙකුට ලැබෙන දේවල් මෙන්ම නැති වන දේවල් කොටසකුත් තිබෙනවා. බොහෝ දෙනෙක් ආපසු ලංකාවට නොගොස් සංක්‍රමණය වූ රටේම ඉන්නේ ලැබෙන දේවල් නැති වන දේවල් වලට වඩා වැඩි නිසයි. එය එසේ නොවීම නිසා ආපසු යන අයත් ඉන්නවා. ලංකාවේ යම් ස්ථාවරත්වයක් හදාගෙන සිටින අයෙකුට නැති වෙන්න තිබෙන දේවල් වැඩියි.

      Delete
    4. ඕස්ට්‍රේලියා හිටපු ආගමන අමාත්‍ය පීටර් ඩටන් සරණාගතයන් ගැන දරුණු අවලාද අපහාස උපහාස කථා කීමට පටන් ගෙන ඇත.

      පක්ෂ විපක්ෂ මඩ හා චෝදනා අඩුවක් නැතිව සිදුවන ඕස්ට්‍රේලියා මැතිවරණ සමයේදී ප්‍රධාන පක්ෂ දෙකම වේදිකාවේ සපථ කරන්නේ බලයට පත් වූ වහාම ‘බෝට්ටු සංක්‍රමණික‘ හිසරදය නිමා කර දමන බවයි. පීටර් ඩටන්ගේ පක්ෂයේ ප්‍රධාන අවලාදය හා කනස්සල්ලට හේතුවී ඇත්තේ කම්කරු පක්ෂය, මෙම බෝට්ටු ආගමනිකයින් කෙරෙහි දක්වන ලිහිල් ප්‍රතිපත්තියයි. ඕස්ට්‍රේලියාවට ප්‍රබල දේශ සීමා රැකගැනීමේ වැඩ පිළිවෙලක් අවශ්‍ය බව ඩටන්ගේ පක්ෂයේ මතයයි.

      "ඕස්ට්‍රේලියානුවන්ගේ රැකියා ඩැහැ ගන්නා දේශපාලන රැකවරණ පතා එන විදේශිකයින් නිසා ආගමනික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ‘යකා වැහී ඇති‘ තත්ත්වයකට පත්වී ඇතැයි" පීටර් ඩටන් කළ කථාව අගමැති මැල්කම් ටර්න්බුල් විවේචනය කළේ ය. ඊට ප්‍රතිචාර දැක්වූ විපක්ෂ නායක, බිල් ෂෝර්ට්න් පැවසුවේ ‘වීදුරු ගෙවල්වල සිටින අය ගල් ගසන්නේ ප්‍රවේශමෙන්‘ යනුවෙනි. ඔහුගේ පිළිතුර වූයේ සංක්‍රමණිකයන්ට යකාට අන්දවා ඇත්තේ ඩටන් විසින් බවත් ටර්න්බුල් ඔහුට උඩගෙඩි සපයන බවත් ය.

      ඩටන්ට අනුව බොහෝ සංක්‍රමණික විදේශ ජනතාව අංක හෝ භාෂාව අතින් ඉතා නොදියුණු සාක්ෂරතාව අවම මට්ටමක සිටින අය යි. ඔවුන්ගේ ඉංග්‍රිසි දැනුම පිලිබඳ කතා කර පළක් නැති බහු පවසයි.

      "දැන් ‘ලේබර්‘ පක්ෂය ඇතුළු ගමනින් වාමාංශික පැත්තට ගමන් කරනවා වගෙයි පේන්නේ ‘ග්‍රීන්‘ කණ්ඩායම සතුටු කරන්න. ඔවුන් ඕස්ට්‍රේලියාවේ පුරවැසියන් බවට හරවා ගෙන පදිංචි කිරීම සිදු කරන පිළිවෙත ගැනවත් ඔවුන් සිතා බලා නැහැ." යනුවෙන් ඔහු සිඩ්නි නුවරදී පැවසීය‍.

      "අපි කැමතියි බහු සංස්කෘතික ඕස්ට්‍රේලියාවක් බිහි කරන්න. අපි කොහොමත් සංක්‍රමණික සම්භවයක් ඇති ජාතියක් නේ. හැබැයි ‘ලේබර්‘ පක්ෂයට ඕනෑ වෙලා තියෙන්නේ දේශපාලන වාසියට මේ ගැටලුව හරවා ගන්නයි. පීටර් ඩටන්ව යකා නග්ගලා පලක් නැහැ. ඔවුන් හදන්නේ ඔවුන්ගේ ඇමතිවරුන්ගේ දූෂණ චෝදනා වලින් ජනතා ඇස් වෙනතකට හරවන්නයි" යනුවෙන් ටර්න්බුල් වැඩිදුරටත් පවසා සිටියේ, "ඒක තමයි මං කලින්ම කිව්වේ වීදුරු ගෙවල්වල ඉඳන් අනුන්ට ගල් ගහන්න තරම් මෝඩ වෙන්න එපා කියලා" යනුවෙනි.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...