Wednesday, December 13, 2017
පිරිමි හෙම්බිරිස්සාව
"කුෂානි, ඇයි අද තනියම? කෝ මහත්තයා?"
"එයාට ටිකක් සනීප මදි, මිසිස් පෙරේරා!"
"හදිස්සියෙම? පන්සලට එන්න බැරි තරම් ලොකු අසනීපයක්ද?"
"අනේ නෑ, මිසිස් පෙරේරා! මේ පොඩි හෙම්බිරිස්සාවක්. ඒ වුණාට මහා ලොකු ලෙඩක් හැදුන වගෙ පොරෝගෙන නිදි!"
"හඃ! හඃ!! ඔහොම තමයි පිරිමින්ගේ හැටි! අපේ එක්කෙනාටත් පොඩි හෙම්බිරිස්සාවක් හැදුනොත් ඉතිං මහා ලොකු ලෙඩක් හැදුන වගෙ තමයි කතා කරන්නේ..."
මේ වගේ දෙබසක් ඔබ කවරදාක හෝ අසා නොතිබෙන්නට ඉඩක් නැත.
ඉංග්‍රීසි භාෂාවේ "පිරිමි හෙම්බිරිස්සාව" යන අරුත ඇති "man flu" නම් වූ වචනයක් තිබේ. මෙයින් අදහස් කරන්නේ ගැහැණියකට සාමාන්‍ය හෙම්බිරිස්සාවක් පමණක් වන දෙය පිරිමින් විසින් තමන්ට පමණක් වැළදුණු මහා භයානක ලෙඩක් ලෙස සලකන බවයි. එයට හේතුව ලෙස සාමාන්‍යයෙන් දක්වන්නේ ලෙඩේ පෙන්වමින් ගැහැණුන්ගෙන් වැඩි සැලකිලි ලබන්නට පිරිමින් විසින් දක්වන කැමැත්තයි. කාලයක් තිස්සේ පිරිමින්ට කෙරෙන මේ ආකාරයේ චෝදනා නිසා පිරිමින් විසින් තමන්ගේ අමාරුකම් අමාරුවෙන් ඉවසා ගනිමින් තමන්ගේ හෙම්බිරිස්සා අමාරුව පිටතට නොපෙන්වා සිටින අවස්ථාද තිබේ.
"දැන් හොඳටම අමාරුයි කිවුව නේද, ප්‍රභාත්? උදේ පාන්දර පිණි බබා මිදුලෙ ඉඳල තව වැඩි කරගන්නෙ නැතුව ගෙට වෙලා ඉන්න. ඔය වැඩේ වෙන දවසක කරන්න බැරියැ..."
"මේ වැඩෙත් කෙරෙන්න එපායැ, කුෂානි. හෙම්බිරිස්සාව කියල ගෙට වෙලා හිටියොත් මේ ටික මෙහෙම්මම තියෙයි!"
ලෙඩක් හෝ තුවාලයක් සිදු වූ විට යමෙකුට ඇතිවන අමාරුකම් හා දැනෙන වේදනාව දන්නේ ඒ පුද්ගලයාම පමණි. වෙනත් කෙනෙකුට එය හරියටම දැන ගන්නට ක්‍රමයක් නැත. මේ නිසා, අපට ඇතැම් විට හිතෙන්නේ වෙනත් ඇතැම් අය පොඩි අමාරුවකටත් ඕනෑවට වඩා කෑගහන බවයි. ඒ වගේම, ඇතැම් විට ඇතැම් අය ඇත්තටම පොඩි අමාරු වලටත් ලොකුවට කෑගහන විට එය බොරුවක් බව වෙනත් අයට තේරුම් ගත හැකි ක්‍රමයක් නැත.
මෙය රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය හා හෙද වෘත්තිකයින් නිතර මුහුණ දෙන ප්‍රශ්නයකි. ප්‍රශ්නයට පිළියමක් ලෙස ඩොනා වොං හා කොනී බේකර් විසින් හඳුන්වා දුන් "මුහුණු මිනුම" බටහිර රටවල සෞඛ්‍ය සේවකයින් විසින් බහුලව යොදාගත්තත් මෙයද පරිපූර්ණ මිනුමක් නොවේ. එක් අයෙකුගේ වේදනාව වෙනත් අයෙකුට හරියටම ග්‍රහණය කරගත හැකි ක්‍රමයක් නැත.
කිසියම් වේදනාවකින් පෙළෙන අයෙකුගේ වේදනාවට හේතු වන කරුණ අප විසින්ද කිසියම් දිනෙක අත් විඳ ඇත්නම් ඒ අවස්ථාවේදී අප විඳි වේදනාව ඇසුරින් අපට අනෙක් පුද්ගලයාගේ වේදනාව ගැන අදහසක් ගත හැකිය. නිවැරදි නොවූවත්, අප බොහෝ දෙනෙකුට අනෙකාගේ වේදනාව ගැන ඇති දැක්ම මෙවැන්නකි.
හෙම්බිරිස්සාවක් නොහැදුණු කෙනෙක් නැත. බොහෝ ළමුන් කුඩා කාලයේදී හෙම්බිරිස්සාවක් නැතිව ගෙවන දවස් ගණනට වඩා හෙම්බිරිස්සාව සමඟ ගෙවන දින ගණන වැඩිය. අප බොහෝ දෙනෙකු හෙම්බිරිස්සාවක් "හෙම්බිරිස්සාවක්" ලෙස මිස ලෙඩක් ලෙස සලකන්නේ නැත.
හෙම්බිරිස්සාවක් වැනි ඉතා සාමාන්‍ය ලෙඩක් හැදුණු විට හැසිරිය යුතු ආකාරයද අප ඉගෙන ගන්නේ සමාජයෙනි. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු හෙම්බිරිස්සාවක් හැදුණා කියා නිවාඩු දමා ගෙදර ඉන්නේ හෝ එදිනෙදා කළ යුතු වැඩ අතපසු කරන්නේ නැත. හෙම්බිරිස්සා අමාරුව කෙතරම් වුවත් ඒ අමාරුව අමාරුවෙන් ඉවසා සිටින්නේ වෙනත් බොහෝ අයද එසේ කරන බැවිනි. විශේෂයෙන්ම නිවසක කාන්තා පාර්ශ්වය හෙම්බිරිස්සාව තියාගෙනත් ගෙදර සාමාන්‍ය වැඩ සියල්ල කරන විට පිරිමියෙකුට හෙම්බිරිස්සාව කියා ඇඳට වී පොරවාගෙන සිටීම අසීරුය. ලිපියේ උඩින්ම ඇති දෙබසේ ඇති ආකාරයේ චෝදනා අහන්නට ලැබෙන්නේ එහෙම කරන්න ගිය විටය.
කොහොම වුනත් මේ පිරිමි හෙම්බිරිස්සා කතාවේ ඇත්ත නැත්ත කුමක්ද?
මෙතෙක් කාලයක් කිසිවකු විසින් හොයා බලන්නට උනන්දු නොවූ පිරිමි හෙම්බිරිස්සා කතාවේ ඇත්ත නැත්ත සොයා බලන්නට උනන්දු වූ කැනේඩියානු සරසවියක සායනික සහකාර මහාචාර්යවරයෙකු හා වෛද්‍යවරයෙකු වන කයිල් සූ විසින් බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල්හි නත්තල් කලාපයේ පළ කර ඇති පර්යේෂණ පත්‍රිකාවකට අනුව, පිරිමින් විසින් වැඩි සැලකිලි ලබා ගන්නට හෙම්බිරිස්සා අමාරුව අතිශයෝක්තියට නඟමින් බොරු කරන්නේ නැත. පිරිමින්ට දැනෙන හෙම්බිරිස්සා අමාරුව ගැහැණුන්ට දැනෙන අමාරුවට වඩා ඇත්තටම වැඩිය.
ඉහත වෙනසට හේතුව පිරිමි හා ගැහැණු හෝමෝන වල වෙනස්කම් නිසා පෙනහළු ආශ්‍රිත වෛරස් රෝග වලට එරෙහිව මේ දෙපාර්ශ්වයේ ප්‍රතිශක්තිකරණ පද්ධති ක්‍රියාත්මක වෙන වෙනස් ආකාරයන්ය. සැබෑ තත්ත්වය මෙසේ තිබියදී "දේශපාලනික නිවැරදි බව" වෙනුවෙන් "ගැහැණුන්ට මෙන්ම පිරිමින්ටද දැනෙන්නේ එකම වේදනාව" බව සිතීමේ ප්‍රතිඵලය වන්නේ මෙවැනි රෝග වලින් පීඩා විඳින ලෝක ජනගහණයෙන් අඩක් වන පිරිමින්ට හෙම්බිරිස්සාව හැදුණු විට අවශ්‍ය තරමට අවධානය නොලැබී ඔවුන් අසාධාරණයට ලක් වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගැහැණුන්ට වඩා වැඩි පිරිමින් ප්‍රමාණයක් පෙනහළු ආශ්‍රිත රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳ මිය යති.
බොහෝ පර්යේෂකයින් විසින් සිය පර්යේෂණ අපක්ෂපාතී ලෙස කළත් "දේශපාලනික ලෙස නිවැරදි නොවන" මතයක් ප්‍රවර්ධනය කරන ප්‍රතිඵලයක් ප්‍රසිද්ධ කිරීමට මැලි වන බව රහසක් නොවේ. පසුගිය දෙසියවසක පමණ කාලය තුළ දේශපාලනික ලෙස වඩා නිවැරදි මතය ලෙස සැලකුණේ සියලු මිනිසුන් සමානය යන අදහස හෝ එහි ප්‍රභේදයි. ඒ කාලය තුළ ප්‍රසිද්ධියට පත් කෙරුණු පර්යේෂණ ප්‍රතිඵල වලින්ද මේ අදහස ඉස්මතු විය. එහෙත්, පසුගිය දශකයක පමණ කාලය තුළ මේ තත්ත්වයේ කැපී පෙනෙන වෙනසක් දකින්නට පුළුවන.
Subscribe to:
Post Comments (Atom)
වෙබ් ලිපිනය:
දවස් පහේ නිවාඩුව
මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...
boruwak
ReplyDeleteකලාතුරකින් අසනීප වෙන කෙනෙකුට කාලගුනේ වගේ නිතර වෙනස්වෙනසුලු වේදනාවන් දොස්තර මහත්තුරුන්ට විස්තර කර දෙන එකත් හරිම අමාරු කාරියක් තමා, මට ලැබුණු වැරදී රෝග නිර්ණ දෙකකට පස්සේ, ඊළඟ දොස්තර තැන ලගට යන්න පෙර නිවැරදිව වේදනාව විස්තර කරන හැටි ගැන මුළු දවසක්ම ස්ටඩි කලා, මම හිතන්නේ එය පාසලේ සෞඛ්‍ය විෂයට එක්කල යුතු කොටසක්.
ReplyDeleteගොඩදෙනෙක් පෝලිමේ ඉන්න තැනකට ගියාම එයාලගේ මුණු ස්ටඩි කරලා අපේ මුනු සහ මානසිකත්වය ඒ අනුව ඇජස්ට් කර කරගැත්තකි, එහෙම නොවුනොත් ඒ මුණු වලට කැලිබ්රේට් වෙලා ඉන්න ඩොක්ටර් අපේ මුණු වැරදීයට රීඩ් කරවනවා :).
Deleteයුරින් අප්සෙට් එකකට බෙහෙත් ගන්න ගියා,ටෙස්ට් කරා.විසබීජයක් ගිහින්ලු කියල සෙපලෙක්සින් දුන්නා.අඩු උනේ නෑ.මගේම උවමනාවට යුරින් කල්චර් එකක් කරා...ගිහින් තියන විසබීජයට සෙපලෙක්සින් හරියන්නේ නෑ කියලා රිපෝර්ට් එක ආවා. හී හී
ReplyDeleteබියර් දෙකක් ගැහැව්වා නං හරි යනවා මචං හුජ්ජා අමාරු ඔක්කොම.
Deleteමෙහෙනම් සිදුවිය හැකි ආසාදනය අනුමාන කරලා වහාම කිසියම් ප්‍රතිජීවක මාත්‍රා පංතියක් ලබා දීම ආරම්භ කළත්, මුත්‍රා සාම්පලයක් අනිවාර්යයෙන්ම කල්චර් කරන්න යවනවා. එහි ප්‍රතිඵලය අනුව මුල් ප්‍රතිජීවකය හරියන්නේ නැත්නම් වෛද්‍යවරයා විසින් වහාම ෆාමසියට නිවැරදි බෙහෙතේ ප්‍රිෂ්ක්‍රිප්ෂන් එක යවා බෙහෙත වෙනස් කරගන්න කියා කෝල් කරල කියනවා. අවසන් වරට මම ලංකාවට පැමිණි වෙලාවේ මගේ දරුවෙකුගේ ආසාදනයක් සිදු වූ අවස්ථාවක මෙවැනි තත්ත්වයකට මම මුහුණ දුන්නා. ඔහු මුල් අවස්ථාවේදී අවශ්‍ය මූලික පරීක්ෂාවන්වත් කළේ නැහැ. ඔහු උත්සාහ කළේම කෙසේ හෝ ශල්‍ය කර්මයක් කරන්නයි. අන්තිමට මම අවදානම ගෙන ඔහුව ඇමරිකාවට ගෙනාවා. මෙහි වෛද්‍යවරුන්ට අනුව ඔහුට කිසිදු ප්‍රශ්නයක් නොතිබුණු නිසා කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය වුණේ නැහැ.
Deleteලංකාවේ එහෙම දේවල් වෙනවා තමයි.සමහරක් ශල්‍ය වෛද්‍ය වරු උත්සාහකරන්නෙම මොනවා වෙලා ගියත් ශල්‍ය කර්මයක් කරන්න...දැනුවත් අය නම් කොහොම හරි ඕකෙන් බේරෙනවා.නොදන්නා අයට වෛද්‍ය වරයගේම පිහිට තමයි.
Deleteඔය කයිල් සූ පිරිමි දොස්තර කෙනෙක් ද?
ReplyDeleteඒකත් වැදගත් ප්‍රශ්නයක් තමයි. කයිල් කියන නම අනුව පිරිමියෙක් විය යුතුයි. එහි ගැහැණු ස්වරූපය කයිලා.
Delete