වෙබ් ලිපිනය:

Showing posts with label රාජ්‍ය ණය. Show all posts
Showing posts with label රාජ්‍ය ණය. Show all posts

Friday, February 26, 2021

සල්ලි උඩ පීනා ගොඩයයිද ගිලී මැරෙයිද?


කිසියම් අයෙකු විසින් මෙහි අප ලිවිය යුතු දේවල් ගැන අපට උපදෙස් දෙමින්, එසේ නොකරන්නේනම් කළ හැකි දේ ගැන මෘදු තර්ජනයක්ද කර තිබෙනවා. ඔහු (හෝ ඇය) කියන විදිහට ඔහු අපේ ෆේස්බුක් පිටුව රිපෝර්ට් කර තිබෙන කණ්ඩායමේ කෙනෙක්. අපට දෙන උපදෙස හෝ තර්ජනය වන්නේ ලංකාව ගැන ලිවීමෙන් වැලකී සිටිය යුතු බවයි.

මේ වගේ තර්ජන වලින් පෙනෙන්නේ අප ලියන දේවල් වලින් සිදු වන පොඩි බලපෑම වුවත් මේ අයට දරා ගැනීමට අමාරු මට්ටමට පැමිණ ඇති බවයි. පෙර ලිපිය හා අදාලවනම් මුඛ්‍ය කාරණාව ලංකාව මේ දවස් වල කරන මහා පරිමාණ සල්ලි අච්චු ගැසීමයි. අප ලිවුවත්, නොලිවුවත් සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵල ඇස් පනාපිට පෙනෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ. ලංකාවේ විදේශ ණය අර්බුදය අද තත්ත්වයට පත් වීමට නියමිත බව අප වසර පහකට වැඩි කාලයක සිට කියනවා. ඒ කියූ දේවල් මේ වෙද්දී සැබෑ වී තිබෙනවා. සල්ලි අච්චු ගැහීම ගැනත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි.

අප පෞද්ගලිකව ලංකාව දෙස බලා සිටියත් නැතත් ලෝකය ලංකාව දෙස බලා සිටින එක වලක්වන්න අමාරුයි. කොරෝනා හැදී මිය යන අයගේ මළ සිරුරු වලින් වෛරසය පැතිරීමේ හැකියාව පිළිබඳ ලංකාවේ විද්‍යාත්මක මතය පවා තීරණය වෙන්නේ ලංකාව දෙස ලංකාවට පිටත සිට බලා සිටින අය මතයි. කාලයක් තිස්සේ ලංකාවේ පනවා තිබෙන වාහන ආනයන සීමා කිරීමත් ඒ විදිහටම දිගටම තියෙනවාද නැද්ද කියන එක තව ටික දවසකින් ලංකාවට වාහන එවන ලොකු අයියා තීරණය කරයි.

තොරතුරු හා අදහස් වාරණය කර වර්තමානය හා අතීතය යම් තරමකින් වෙනස් කළ හැකි වුවත් එසේ වෙනස් කළ හැක්කේ සීමිත අවකාශයක් ඇතුළේ පමණයි. ගෙදරට දාන චන්ඩිපාට් ගෙදරින් පිටට ඔට්ටු නැහැ. මාධ්‍ය ප්‍රචාරණ හා මාධ්‍ය වාරණ හරහා තොරතුරු හා අදහස් සැඟවීම හෝ වෙනස් කිරීම රබර් බෝලයක් යට ඔබාගෙන ඉන්නවා වගේ වැඩක්. රබර් බෝලය නොහිතන වෙලාවක නොහිතන තැනකින් උඩ එන්න පුළුවන්. 

අපේ ෆේස්බුක් පිටු අප පටන්ගත්තේ අපට අවශ්‍ය තැනට යාමට අවශ්‍ය පහුරක් ලෙස පමණයි. දැන් අපට මේ ෆේස්බුක් පිටු එතරම්ම වැදගත් නැහැ. අවශ්‍ය වුවහොත්, අවශ්‍ය අවස්ථාවක නැවත ෆේස්බුක් හරහා අපට අවශ්‍ය පිරිස වෙත ලඟා වෙන්න බැරිකමකුත් නැහැ.

මේ වියුණුව ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි. මේ වෙද්දී ඉකොනොමැට්ටා සන්නාමයක් වී අවසන්. වියුණුව දැන්ම අත හැර දමන්නට අපට අදහසක් නැතත්, කිසියම් ආකාරයකින් වියුණුව අහිමි වුවහොත් එය කිසිසේත්ම ලෝක විනාශය වෙන එකක් නැහැ. 

සමහර දේවල් තීරණය කරන්නේ ඇල්ගොරිදම් වලින් නිසා මේ ඇල්ගොරිදම් ගැන අවබෝධයක් තිබෙන කෙනෙකුට හෝ කණ්ඩායමකට ඒවා නොමඟ යවා අපේ වියුණුව වාරණයකට ලක් කිරීම කළ නොහැකි දෙයක් නෙමෙයි. ඒ වගේ තත්ත්වයක් ඇති වුවහොත් ඔබට www.economatta.com හරහා තවදුරටත් ඉකොනොමැට්ටා වියුණුව කියවීමේ අවස්ථාව ඉතිරි වෙයි. දැන් ඔබ මේ ලිපිනය භාවිතා කළ විට ඔබව http://economatta.blogspot.com/ වෙත යොමු කෙරෙන නමුත් බ්ලොගර් භාවිතා කිරීම ප්‍රශ්නයක් වූ අවස්ථාවක අපට ඔබව වෙනත් සත්කාරක පරිගණකයක් වෙත යොමු කරවිය හැකියි.

ලංකාව දිහාම බලා ගෙන ඉන්න, ඇමරිකාවේ කොන් වෙලා ඉන්න අපි වගේ අයට පේන විදිහට ලංකාවේ ණය අර්බුදය මේ මොහොත වෙද්දී ඉතාම උග්‍ර වී තිබෙන්නේ කෝවිඩ් නිසා නෙමෙයි. ආණ්ඩුව මාරු වූ වහාම සිදු කළ තේරුමක් නැති බදු කප්පාදුව අර්බුදයට එක් ප්‍රධාන හේතුවක්. පසුගිය වස‍රේ පළමු මාස 11 තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,128.9ක් පමණයි. මෙය පෙර වසරට සාපේක්ෂව 30% ඉක්මවන අඩු වීමක්. බදු ආදායම රුපියල් බිලියන 484.10කින් පහළ යද්දී පුනරාවර්තන වියදම් රුපියල් 259.50කින් වැඩි වෙලා තිබෙනවා.

ආදායම් අඩු වී වියදම් වැඩි වෙද්දී පරතරය පියවාගන්න වෙන්නේ ණය වලින් කියන එක ඉතාම පැහැදිලියිනේ. මේ කියන්නේ පරණ ණය ගැන නෙමෙයි. පසුගිය වසරේ පළමු මාස එකොළහේ පමණක් ආදායම් වියදම් පරතරය පියවා ගැනීම සඳහා අලුතෙන්ම ගත යුතු වූ ණය ගැන. කාලයක සිටම ලංකාව පරණ ණය හා පොලී කොහොමටත් ගෙවන්නේ අලුත් ණය වලින්නේ. පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ සෑහෙන කාලයකට පසුව ප්‍රාථමික හිඟය ලෙස හඳුන්වන, පරණ ණය හැර අලුත් ආදායම් හා වියදම් අතර පරතරය අතිරික්තයක් වූ බවත් මතක් කළ යුතුයි.

ණය අවශ්‍යතාවය කොයි තරම් වැඩි වුවත් මේ වෙලාවේ විදේශ ණය ගැනීම ලංකාවට සිහිනයක්. ජනවාරි 18 කල් පිරෙන ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කරය ද්වීතියික වෙළඳපොළෙන් මිල දී ගන්නා අයෙක් මේ වෙද්දී එසේ කරන්නේ 44.24%ක පොලියක් (ඩොලර් වලින්) ලැබෙනවානම් පමණයි. මේ වෙලාවේ විදේශ ණය වාණිජ පදනමකින් ගන්නවානම් ගන්න වෙන්නේ ඔය වගේ පොලියකටයි. ඒ නිසා තිබෙන එකම විකල්පය දේශීය වෙළඳපොළෙන් ණය ගන්න එකයි.

දේශීය වෙළඳපොළේ විශාල මුදල් අතිරික්තයක් මේ වෙද්දී තිබුණත් ආණ්ඩුවට අවශ්‍ය තරම් අඩු පොලියකට ණය දෙන්න කවුරුවත් කැමති නැහැ. වාණිජ බැංකු විසින් වැඩිපුර සල්ලි රුපියල් බිලියන 170කට වඩා වැඩි මුදලක් ආණ්ඩුවට ණයට නොදී දවසේ පොලියට ආපහු මහ බැංකුවේම තැන්පත් කරනවා. මහ බැංකුව මේ සල්ලි වලට 4.5%ක පොලියක් ගෙවනවා. අවුරුද්දක ණයකට ආණ්ඩුව ගෙවන්න කැමති උපරිම පොලිය 5%ක් පමණ වුවත් ඒ පොලියට ආණ්ඩුවට දේශීය වෙළඳපොළෙන් ණය ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව කරන්නේ දිගින් දිගටම සල්ලි අච්චු ගහන එකයි. 

නොවැම්බර් අවසානය වෙද්දී රජයේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,424.1ක්. 2019 අවසානයේදී සිට ගතවුණු මාස 11 තුළ 27%ක වැඩි වීමක්. මෙයින් සැලකිය යුතු කොටසක් පියවාගෙන තිබෙන්නේ සල්ලි අච්චු ගහලා. සල්ලි අච්චු ගහනවා කියන එකෙන් අදහස් කරන්නේ රජය විසින් මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණා මුදල් ලබා ගැනීම. අවුරුද්දකට කලින්, 2020 පෙබරවාරි අවසානයේදී මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 78ක් පමණයි. 2021 පෙබරවාරි අවසන් වෙද්දී මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 810ක්. කොහොමද සල්ලි අච්චු ගැහිල්ල?

අර කතාවට කියන්නේ සල්ලි උඩ පීනනවා කියලා. අපි වගේ ඇමරිකාවේ ඉන්න කොන් වෙච්ච අයට ඔය වගේ සල්ලි උඩ පීනිල්ලක් බලා ගන්න ලේසියකට ඉඩක් නොලැබෙන නිසා මේ දවස්වල අපි ලංකාව දිහාම බලාගෙන ඉන්නවා. අපිට ලංකාව ගැන ලියන්න එපා කියන අයනම් සමහර විට සල්ලි එක්ක කොහේට හරි පීනයි. හැබැයි ලංකාවේ පහළ ස්ථර වල ගොඩක් මිනිස්සුන්ටනම් වෙන්නේ ඔය සල්ලි ගංවතුරේ ගිලිලා මැරෙන්නයි.

Tuesday, February 16, 2021

විණිමය හුවමාරු ගිවිසුම් හා ණය


මම හිතන්නේ විණිමය හුවමාරු ගිවිසුම් කියන වචනය පහුගිය දවස් වල ලංකාවේ ගොඩක් අයට ඇහෙන්න ඇති. සමහර මාධ්‍ය වල පළ වී තිබුණු හැටියට ලංකාව ඉන්දියාවෙන් අරගෙන තිබුණු ඩොලර් මිලියන 400ක ණයක් වහාම ගෙවන්න කියලා ඉන්දියාව ඉල්ලලා තිබෙනවා. ඔය ගැන ලංකාවෙන් වගේම ඉන්දියාවෙන්ද පැහැදිලි කිරීම් කෙරුණා. ඊට පස්සේ දැන් චීනයෙන් ඩොලර් මිලියන 1,500ක ණයක් ගන්න යන කතාවකුත් ඇහෙනවා. ඔය කතා දෙකම එක්ක විණිමය හුවමාරු ගිවිසුම් කියන වචනයත් ඇහෙන බව ටිකක් හොයා බැලුවොත් පෙනෙයි.

මේ විණිමය හුවමාරු ගිවිසුම් කියන්නේ මොනවාද? ඒවා ණය නෙමෙයිද? අයිඑෆ්එම් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්න ණය ගැනත් ඔය වගේම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ ගැන මීට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. නමුත්, ගොඩක් අයට මෙය තවමත් පැහැදිලි නැති නිසා, විශේෂයෙන්ම වෙන තැන් වල නැවත පළවීමෙන් පසුව මේ ලිපි කියවන අයත් දැන් ගොඩක් ඉන්න නිසා, අපි මේ ගැන නැවතත් පැහැදිලි කර ගනිමු.

පළමුව රාජ්‍ය ණය හා විදේශ ණය අතර වෙනස නැවත පැහැදිලි කරන්නම්.

රාජ්‍ය ණය කියන්නේ රජය විසින් ලබා ගන්නා ණය. මේ ණය විදේශ ණය හෝ දේශීය ණය විය හැකියි. ඒ වගේම, විදේශ ණය කියන්නේ ලංකාවේ කවුරු හෝ විසින් විදේශයකින් ගන්නා ණය. ණය ගන්නේ රජය, පුද්ගලයෙක් හෝ සමාගමක් වෙන්න පුළුවන්. ලංකාවේ රාජ්‍ය ණය අර්බුදය හා විදේශ ණය අර්බුදය එකිනෙකට සම්බන්ධ වුනත් මේ දෙක දෙකක්. 

රාජ්‍ය ණය ඉහළ යාමේ ප්‍රශ්නය වන්නේ ණය වාරික හා පොලිය ගෙවීම අනාගතයට ඉතිරි වීම, ඒ හරහා අනාගතයේදී රජයේ වියදම් ඉහළ ගොස් අයවැය හිඟය වැඩි වීම හා අයවැය හිගය පියවන්න වැඩි වැඩියෙන් තවතවත් ණය ගන්න සිදු වීම. මේ විදිහට අයවැය හිඟය ඉහළ ගිහින් ඒ අයවැය හිඟය පියවීම සඳහා තවදුරටත් දේශීය හෝ විදේශීය ණය ගන්න අමාරු වුනහම රජය සල්ලි අච්චු ගැහීම කරා යොමු වෙනවා. පහුගිය අවුරුද්දේ කළේම ඔය වැඩේනේ. එහි අහිතකර ප්‍රතිඵල ගැන කතා කරන්න කාලය වැය නොකර සිටිමු. කලින් මේ ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවනේ.

ඇත්තටම රජය විසින් ලබා ගන්න ණය ඵලදායී ලෙස ආයෝජනය කරනවානම් ණය කොයි තරම් ගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කරපු මොනවා හෝ ආයෝජන නිසා රටේ ආදායම් ඉහළ යන නිසා ණය වාරික හා පොලී ගෙවන්න අවශ්‍ය අමතර මුදලට වඩා වැඩියෙන් රජයේ බදු ආදායම් ඉහළ යනවා. ඒ නිසා, ණය ගෙවන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ රාජ්‍ය ණය ඒ විදිහට ඵලදායී විදිහට ආයෝජනය නොවන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ නිසා, වරින් වර ඔය සල්ලි අච්චු ගහන විකල්පයට යන්න වෙනවා.

විදේශ ණය ඉහළ යාමේ ප්‍රශ්නය වෙන එකක්. අපි රජය පැත්තකින්ම තියමුකෝ. ලංකාවේ කවර හෝ සමාගමක් විසින් විශාල (ඩොලර් බිලියන දෙක තුනක වගේ) විදේශ ණයක් ගත්තා කියමු. මේ විදිහට ලබාගත් අරමුදල් ඉතාම ඵලදායී ලෙස ආයෝජනය කරලා ණය ගෙවන්න අවශ්‍ය මුදලටත් වඩා ආදායමක් ඉපැයූවා කියමු. හැබැයි ආදායම උපයා තියෙන්නේ රුපියල් වලින්. ණය ආපසු ගෙවන්න තියෙන්නේ ඩොලර් වලින්. 

දැන් මේ සමාගමට ණය ගෙවන්න රුපියල් ඩොලර් වලට මාරු කරන්න වෙනවා. ඒ සඳහා, ඩොලර් දීලා රුපියල් ගන්න කැමති කෙනෙක් ළඟට යන්න වෙනවා. පොඩි ඩොලර් ගණනක්නම් ඔය විදේශ මුදල් හුවමාරු කරන තැනකින් ගන්න පුළුවන්. ටිකක් ලොකු ගණනක් බැංකුවකින් ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ කිසිම වාණිජ බැංකුවක බිලියන ගණන් ඩොලර් නැහැ. ඒ වගේ ගණනක් ගන්න පුළුවන් තැන මහ බැංකුව. රුපියල් දීලා ඩොලර් ගන්න පුළුවන් වෙන්නේ මහ බැංකුවේ ඩොලර් සංචිත වලින්. 

ඇත්තටම කියනවානම් වෙන කවුරු විසින් ප්‍රතික්ෂේප කළත් මහ බැංකුවට රුපියල් අරගෙන ඩොලර් දෙන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ. මහ බැංකුව විසින් එහෙම කරනවානම් එහි විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඇයි?

මහ බැංකුව විසින් රුපියල් අරගෙන ඩොලර් දෙන්න බැහැ කියා කියනවානම් එය සමාන කළ හැක්කේ වාණිජ බැංකුවක් විසින් ඔබේ තැන්පතු ආපසු දෙන්න බෑ කියන එකටයි. ඔබේ අතේ තිබෙන රුපියල් මුද්‍රණය කරලා සංසරණයට එකතු කරලා තියෙන්නේ මහ බැංකුව විසින්. ඔබ මේ රුපියල් ලබා ගෙන තිබෙන්නේ නිකම් නෙමෙයි. මහන්සියෙන් හදාගත් මොනවා හෝ දෙයක් එක්ක හුවමාරු කරලා. එහෙම නැත්නම් ඔබේ ශ්‍රමය එක්ක හුවමාරු කරලා. ඔබ වටිනා දෙයක් රුපියල් නෝට්ටු එක්ක හුවමාරු කරගන්න කැමති වී තිබෙන්නේ මහ බැංකුව මත තිබෙන විශ්වාසය මත. රුපියල් අතේ තියා ගන්නවා කියන්නේත් හරියට බැංකුවක සල්ලි දමනවා වගේම දෙයක් තමයි.

රුපියල් වලට වටිනාකමක් තිබෙන බව කියන්නේ මහ බැංකුව. මේ වටිනාකම හරියටම ඔබට දැනුම් දෙන්නෙත් මහ බැංකුව. නිශ්චිතවම කියනවානම් රුපියල් දෙසීයක ඇමරිකන් ඩොලරයකට සමාන වටිනාකමක් තිබෙන බව ඔබට කියන්නේ මහ බැංකුව. මහ බැංකුව ඔබට එහෙම කියනවානම් ඔබ රුපියල් දෙසීයක් මහ බැංකුවට දුන්නහම ඔබට ඩොලරයක් දෙන්න මහ බැංකුවට වගකීමක් තියෙනවා. මහා බැංකුව එහෙම දෙන්න බැහැ කියනවානම් ඒ කියන්නේ රුපියලේ වටිනාකම පිළිබඳව මහ බැංකුව කියන්නේ බොරුවක් කියන එකයි.

ඉහත තර්කය අනුව ඔබ රුපියල් දුන්නහම ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් දෙන්න බැරිනම් මහ බැංකුවේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළුවක් මතු වෙනවා. ඒ නිසා, මහ බැංකුවක් මේ තත්ත්වයට වැටෙන්න කැමති නැහැ. එහෙම වැටෙනවානම් වැටෙන්නේ වෙන කරන්න කිසිම දෙයක් නැති වුනහම. එහෙමත් නැත්නම් මහ බැංකුව බංකොලොත් වුනහම. රටක මහ බැංකුවක් බංකොලොත් වෙනවා කියන්න ඒ රටේ මුදල් වලට කිසිම වටිනාකමක් නැති වෙලා නිකම්ම කඩදාසි බවට පත් වෙලා කියන එක. සමහර රටවල් වල ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. කවුරු හෝ ඉල්ලුවොත් ඉල්ලන තරමක් දෙන්න ප්‍රමාණවත් ඩොලර් සංචිතයක් මහ බැංකුවේ පවත්වා ගැනීම ඉතාම වැදගත් වන්නේ මේ නිසා.

මහ බැංකුවේ ඩොලර් සංචිත පහත වැටිලා ඉල්ලුමට සරිලන තරම් ඩොලර් සපයන එක අසීරු වුනහම එය අපි ගෙවුම් ශේෂ අර්බුදයක් කියා හඳුන්වනවා. ලංකාව වසර කිහිපයකට වරක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙනවා. ගොඩක් වෙලාවට ගොඩ දමන්නේ අයිඑම්එෆ් එක. අර්බුදය අවසන් වන විට රුපියල සෑහෙන තරමකින් අවප්‍රමාණය වෙනවා. බොහෝ විට වෙන්නේ සංචිත ඉහළ යන එකට වඩා විණිමය අනුපාතය ඉහළ යාම නිසා ඩොලර් වලට තිබෙන ඉල්ලුම අඩු වෙන එක. 

රුපියල් දෙසීය ගානේ මහා බැංකුවෙන් ඩොලර් ඉල්ලන ගොඩක් අය රුපියල් තුන්සීය ගානේ ඩොලර් ඉල්ලගෙන එන්නේ නැහැ. ඒ නිසා සංචිත වැඩි වුනේ නැතත් අඩු වශයෙන් තාවකාලිකව හෝ ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳෙනවා. කාලයක් ගිහින් අලුත් වටයකින් නැවත ගෙවුම් ශේෂ ප්‍රශ්නය මතු වෙන කොට ආයෙත් ඔය රවුමම යනවා. රුපියල අවප්‍රමාණය වෙනවා. 

දැන් මම ඔය විස්තර කළේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය. මම මෙය විස්තර කළේ රජය ගාවා නොගෙන. ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට හේතුව මහ බැංකුවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය. රාජ්‍ය ණය ප්‍රශ්නයක් නොතිබුණත් මහ බැංකුවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසා ඔය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ උදාහරණයේදී මෙන් විදේශ ණය ලබාගත් පෞද්ගලික සමාගම එම මුදල් ඵලදායී ලෙස ආයෝජනය කරලා ආදායම් ඉපදවූයේ වුවත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. 

මේ ප්‍රශ්න දෙකේ වෙනස පැහැදිලි කරන්න මේ විදිහට පෞද්ගලික අංශය විසින් ලබාගත් විදේශ ණයක් උදාහරණයට ගත්තත් ඇත්තටම ලංකාවේ විදේශ ණය වලින් විශාල කොටසක් අරගෙන තිබෙන්නේ රජය විසින්නේ. රජය විසින් විදේශ ණය ගත්තහම එක පැත්තකින් රාජ්‍ය ණය අර්බුදයක් වගේම අනෙක් පැත්තෙන් ගෙවුම් ශේෂ අර්බුදයක්ද මතු වෙනවා. ඒ නිසා, වෙන වෙනම ප්‍රශ්න දෙකක් වුනත් මේ ප්‍රශ්න දෙක එකට ගැට ගැහිලයි තියෙන්නේ. 

විදේශ ණය ගත්තහම තාවකාලිකව ප්‍රශ්න දෙකම යටපත් වෙනවා. එක පැත්තකින් ගත්ත ඩොලර් ටික රුපියල් වලට මාරු කළාම රටේ බැංකු පද්ධතියට ඩොලර් ඇවිත් ගෙවුම් ශේෂ ප්‍රශ්නය යට යනවා. අනෙක් පැත්තෙන් ඩොලර් මාරු කරලා ගත්ත රුපියල් ටිකෙන් අයවැය හිඟය පියවාගන්න පුළුවන්. ඒ නිසා, සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උද්ධමන ප්‍රශ්නයක් එන්නෙත් නැහැ. ලංකාව කාලයක් තිස්සේම කරන්නේ මේ වැඩේ.

හැබැයි ඉතිං මේ වැඩේ තනිකරම හිඟන්නාගේ තුවාලය කහනවා වගේ වැඩක්. විදේශ ණය අරගෙන තාවකාලිකව ප්‍රශ්න දෙකම යටපත් කර ගත්තත් ගත්ත ණය පොලියත් එක්ක ගෙවන්න වුනහම ප්‍රශ්නය අලුත් වටයකින් එන්නේ තිබුණාටත් වඩා දරුණු වෙලා. එතකොට හැමදාම වැඩි වැඩියෙන් විදේශ ණය ගන්න වෙනවා. නමුත්, ණය ගන්නනම් ණය දෙන්න කැමති අයත් ඉන්න ඕනෑනේ. 

දැන් ලංකාවේ රජය ණය අරන් තිබෙන තරමට හා ඒ ගත්ත ණය මෙතෙක් කාලයක් වියදම් කරලා තිබෙන විදිහට රජයට තවත් ණය දෙන එක විශාල අවදානමක් බව කාට වුනත් තේරෙනවා. මෙච්චර කල් ගත්ත ණය වලින් ආදායම් උපදවා නැතුවා වගේම කවදාවත් ගත්ත ණය ගෙවලත් නැහැනේ. ගත්ත ණය ගෙවලා නැහැ කියා කියන්නේ ණයට පොලු තියලා තියෙනවා කියන එක නෙමෙයි. ලංකාව එහෙම කරලා නැහැ. නමුත්, හැම විටම ගත් ණය ගෙවා තියෙන්නේ අලුත් ණය වලින්. ඔය පිරමිඩ් එක කොයි වෙලේ හෝ කඩා වැටෙන බව කාට වුනත් තේරෙනවනේ.

දැන් ලංකාවේ රජයට විදේශ ණය ලබා ගන්න එක ඉතාම අසීරුයි. අවුරුද්දකින් (2022 ජනවාරි 18) කල් පිරෙන්න නියමිත ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කරයක අද ආයෝජනය කරන කෙනෙකුට (ද්වීතියික වෙළඳපොළෙන් මිල දී ගන්න කෙනෙකුට) 40%කට කිට්ටු පොලියක් ඩොලර් වලින්ම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවට අවුරුද්දකට ඩොලර් 100ක් දෙන කෙනෙක් එසේ කරන්නේ අවුරුද්දකින් ඩොලර් 140ක් ලැබෙනවානම් පමණයි. මෙයින් පෙන්වන්නේ රට ඇතුළේ ඉන්න අයට නොතේරුණත් රුපියලේ සැබෑ වටිනාකම කොයි තරම් අඩු වෙලාද කියන එකයි.

මේ වගේ තත්ත්වයකදී ලංකාවට විදේශ ණය ලබා ගැනීම ඉතාම අසීරුයි. වාණිජ පදනමින් ණය ගන්නවානම් 40%ක පමණ පොලියක් ගෙවන්න වෙනවා. නැත්නම් ඉන්දියාව, චීනය හෝ වෙනත් බටහිර රටක් දේශපාලන අරමුණක් පෙරදැරිව අඩු පොලියකට ණය දෙන්න ඕනෑ.

මේ ආණ්ඩුව බලයට පත් වූ වහාම විශාල ලෙස බදු අඩු කළානේ. එහි දේශපාලනය අපි පැත්තකින් තියමු. මේ වැඩෙන් රජයේ ආදායම් විශාල ලෙස අඩු වෙලා අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගියා. දැන් එක පැත්තකින් අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගිහින්. අනෙක් පැත්තෙන් අයවැය හිඟය පියවාගන්න විදේශ ණය ගන්නත් බැහැ. දේශීය ණය ගන්න පුළුවන් වුනත් දේශීය ආයෝජකයෝ වුනත් ආණ්ඩුවට අවශ්‍ය පොලියට ණය දෙන්න සූදානම් නැහැ. පවතින පොලියට රජයට ණය දීම අවදානම් බව දේශීය ආයෝජකයෝ පවා හිතනවා. මේ තත්ත්වය යටතේ විශාල ලෙස සල්ලි අච්චු ගසමින් අයවැය හිඟය පියවා ගන්න ආණ්ඩුව පෙළඹී තිබෙනවා.

මේ වැඩෙන් යම් කාල පමාවකින් පසුව විශාල ලෙස රටේ බඩු මිල ඉහළ යාම හා ඉන් පසුව ඩොලරයේ මිලද ඉහළ යන එක ඉතාම පැහැදිලියි. ඒ කතාව අපි පැත්තකින් තියමුකෝ. ඒ අනාගත අවදානම් කොහොම වුනත් මේ විදිහට සල්ලි අච්චු ගහන එකෙන් මේ අවස්ථාවේදී තාවකාලිකව රාජ්‍යමූල්‍ය අර්බුදය විසඳෙනවා. අච්චු ගහපු සල්ලි වලින් දේශීය ණය වගේම පොලියත් ආපහු ගෙවන්න පුළුවන්. අනෙක් දේශීය වියදම් වෙනුවෙන් මේ මුදල් වැය කරන්නත් පුළුවන්. ඒ වගේම විදේශ ණය හා පොලිය ගෙවන්න අවශ්‍ය තරමට මුදලක් අච්චු ගහගන්නත් පුළුවන්. 

ප්‍රශ්නය තියෙන්නේ එතැනින් එහාට. ඩොලර් වලින් ලංකාවේ රජයට ණය දුන් කවුරුවත් රුපියල් දෙසීයක් ඩොලරයේ අනුපාතයට රුපියල් වලින් ණය හා වාරික ආපහු ගන්න කැමති නැහැ. මොකද එහෙම ගත්තා කියලා රුපියල් දෙසීයේ අනුපාතයට රුපියල් ඩොලර් වලට මාරු කරලා දෙන්න කෙනෙක් නැහැ. ආණ්ඩුව ඩොලර් වලින් ගත් ණය හා පොලිය ඩොලර් වලින්ම ආපසු ගෙවිය යුතුයි. රුපියල් ඩොලර් වලට මාරු කරගන්න වෙන්නේ මහ බැංකුවෙන්. නමුත් ඒ වැඩේට ප්‍රමාණවත් ඩොලර් මහ බැංකුවේ නැහැ. ඔන්න ඕකයි ප්‍රශ්නය.

"අපේ රුපියල් දීලා ඩොලර් අරන් ණය ගෙවන්න බැරිද? එහෙම ගෙව්වොත් ඩොලර් එක කොච්චරකින් වැඩිවෙයිද? (ඩොලර් බිලිනයක් ගත්තොත් ඩොලරය කීයක් වෙයිද?) ඒ ඔප්ශන් එකට යන්නෙ නැත්තෙ ඇයි?"

ඔය ඔප්ෂන් එකට යන්න පුළුවන්නම් හරිම ලේසියි. කැමති තරමක් රුපියල් මුද්‍රණය කළා. ඩොලර් වලට මාරු කළා. ණය ගෙවුවා. සිම්පල් ප්ලෑන් එකක්!

ඇත්තටම කියනවානම් ඇමරිකාව කරන්නේ ඔය වගේ වැඩක්. ඩොලර් අච්චු ගහලා ණය ගෙවනවා. ඇමරිකාව අච්චු ගහලා දෙන ඩොලර් කියන්නෙත් රුපියල් වගේම නිකම්ම කඩදාසි වුනත් ඒ කඩදාසි බාර ගන්න කැමති අය ඇමරිකාවෙන් පිටත ඕනෑ තරම් ඉන්නවා. නමුත්, ලංකාව ඒ විදිහට සල්ලි අච්චු ගැහුවා කියලා ලංකාවේ පිටත කිසිම කෙනෙක් ඒ කඩදාසි බාර ගන්නේ නැහැ. ඒවා බාර ගන්නේ ලංකාව ඇතුළේ ඉන්න අය පමණයි.

ලිපිය පටන් ගැනීමේදී කතා කළ විණිමය හුවමාරු ගිවිසුමක් කියා කියන්නේ මේ විදිහට රුපියල් අරගෙන ඩොලර් දීමක්. හැබැයි එහෙම දෙන අය රුපියල් අරගෙන ඩොලර් දෙන්නේ කොන්දේසියක් යටතේ. යම් නිශ්චිත කාලයකට පසුව රුපියල් ටික ආපසු අරගෙන ඩොලර් ටික ආපසු දෙන්න ඕනෑ. තාක්ෂනිකව බැලුවොත් මෙය ණය ගැනීමක් නෙමෙයි. මොකද ඩොලර් ගන්නේ රුපියල් දීලා. 

විණිමය හුවමාරු ගිවිසුම් වලට යන්නේ රජයයන් පමණක් නෙමෙයි, උදාහරණයක් විදිහට සමාගමක් හා වාණිජ බැංකුවක් අතර විණිමය හුවමාරු ගිවිසුමක් ඇති වෙන්න පුළුවන්. අපි හිතමු චීනයෙන් මොනවා හරි ගෙන්නලා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරන ලංකාවේ ව්‍යාපාරයක් ගැන. හදිසියේම ඉන්දියාව පැත්තෙන් ඉල්ලුම වැඩි වුනොත් එම ව්‍යාපාරික අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න අමතර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අනෙක් අතට බඩු ටික ඉන්දියාවට ගිය ගමන් ඩොලර් ලැබෙනවා. ඩොලර් අවශ්‍ය වන්නේ ඔය අතර කාලයේදී පමණයි. 

එක විකල්පයක් වන්නේ ඩොලර් ණයට ගන්න එක. එතකොට ණයට පොලියක් ගෙවන්න වෙනවා. නමුත් අතේ රුපියල් වලින් ඕනෑ තරම් සල්ලි තියෙන කෙනෙකුට පොලියට ණය ගන්න අවශ්‍ය නැහැ. උවමනාව අතේ තිබෙන රුපියල් ටික තාවකාලිකව ඩොලර් කර ගන්න එකයි. ඒ වගේම දිගටම ඩොලර් අවශ්‍ය වෙන්නේත් නැහැ. මේ වගේ අවස්ථාවකදී විණිමය හුවමාරු ගිවිසුමකට යන එක හොඳ විකල්පයක්. පසුව දෙන පොරොන්දුවට කාගෙන් හෝ ඩොලර් ගත්තත් අනෙක් පැත්තෙන් රුපියල් ගෙවීමක්ද සිදුවන නිසා මෙය ණයක් නෙමෙයි. ඩොලර් ගන්නේ සදහටම නොවන නිසා සාමාන්‍ය විණිමය ගනුදෙනුවකුත් නෙමෙයි.

පහුගිය දවස් වල කතාබහට ලක් වුනු ඉන්දියාවට ආපසු ගෙවපු ඩොලර් 400ක "ණය" මුදලත් ඔය විදිහට විණිමය හුවමාරු වැඩ සටහනක් යටතේ අරගෙන තිබුණු මුදලක්. දැන් චීනයෙන් ගන්න යනවා කියා කියන්නෙත් මේ වගේ "ණයක්". සාමාන්‍යයෙන් අයිඑම්එෆ් එකෙන් ගන්නා ණයත් මේ වර්ගයේ "ණය". අයිඑම්එෆ් ණය වලට විණිමය හුවමාරු ගිවිසුම් කියා කියන්නේ නැතත් ව්‍යුහමය ලෙස සිදුවන්නේ සමාන දෙයක්. 

ඉහත අවස්ථා තුනේදීම ගනුදෙනුව සිදු වන්නේ මහ බැංකුව එක්ක මිසක් රජය එක්ක නෙමෙයි. මේ වගේ ගනුදෙනුවකින් රජය විදේශ ණය ගනිද්දී මෙන් රාජ්‍ය ණය ඉහළ යන්නේ නැහැ. මොකද රජය ණය ගැනීමක් නොකරන නිසා. රජය කරන්නේ කවර හෝ ක්‍රමයකින් හොයා ගන්නා රුපියල් මහ බැංකුවට දී ඩොලර් කර ගන්න එක. මහ බැංකුව විසින් කරන්නේ සංචිත වල ඩොලර් ප්‍රමාණය පහත වැටෙන එක වලක්වා ගැනීම සඳහා තාවකාලික ක්‍රියාමාර්ගයක් ගන්න එක.

යුරෝපයේ හා ඇමරිකාවේ පිහිටි සමාගම් දෙකක් අතර සිදුවන විණිමය හුවමාරු ගිවිසුමක් වගේ එකක් ගත්තොත් ඇමරිකාවේ සමාගමට තාවකාලිකව යුරෝ අවශ්‍ය වෙනවා. යුරෝපයේ සමාගමට තාවකාලිකව ඩොලර් අවශ්‍ය වෙනවා. නමුත්, ඉන්දියාවට, චීනයට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඔය විදිහට තාවකාලිකව ලංකාවේ රුපියල් අවශ්‍ය වීමක් වෙන්නේ නැහැ. ලංකාවට ඩොලර් අවශ්‍ය වීම පමණයි සිදු වෙන්නේ. ඒ නිසා, ලංකාවට විණිමය හුවමාරු ගිවිසුමකට යන්න වෙන්නේ යම් තාක් දුරකට අනෙක් පාර්ශ්වයේ අනුකම්පාව මත හෝ කොන්දේසි වලට යටත් වෙමින් පමණයි.

තවත් දෙයක් තිබෙනවා. විණිමය හුවමාරු ගිවිසුමකදී සෛද්ධාන්තිකව ණය ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ලංකාවේ මහ බැංකුව විසින් කරන්නේ ඉන්දියාවේ මහ බැංකුව එක්ක තාවකාලිකව රුපියල් හා ඩොලර් මාරු කර ගැනීමක් පමණයි. ලංකාවේ රජය විසින් මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්නවා. ඒ සඳහා රුපියල් හොයා ගැනීම වෙනම කතාවක්. එය රජයේ බදු හෝ වෙනත් ආදායමක් වෙන්න පුළුවන්. නැත්නම් දේශීය වෙළඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් විකුණා හොයා ගන්න මුදලක් වෙන්න පුළුවන්.

හැබැයි දැන් වෙන්නේ කුමක්ද? රජය මහ බැංකුවට රාජ්‍ය සුරැකුම්පත් විකුණනවා. මහ බැංකුව අලුතින් මුද්‍රණය කළ මුදල් ගෙවා ඒ රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නවා. ඉන් පසු රජය රාජ්‍ය සුරැකුම්පත් විකුණා මහා බැංකුවෙන් ලබාගත් මුදල්ම මහ බැංකුවට දී ඩොලර් ලබා ගන්නවා. මහ බැංකුව ඩොලර් ලබා ගන්නේ ඉන්දියාවේ මහ බැංකුවට රුපියල් දීලා. ඒ කියන්නේ වක්‍රව ගත්තහම මෙතැනදී අන්තිමට වෙන්නේ ලංකාවේ රජය විසින් ඉන්දියාවේ මහ බැංකුවෙන් ණයක් ගැනීමක්ම තමයි.

මහ බැංකුව ගිවිසුමේ කාලය අවසානයේදී ඉන්දියාවට ඩොලර් ආපසු දී රුපියල් ටික නැවත ලබාගත යුතුයි. නමුත්, ඩොලර් ටික දැන් රජයට දීලා ඉවරයි. ඒ ඩොලර් නැවත ආපසු ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඉන්දියාව පැත්තෙන් බැලුවහම මහ බැංකුවට දුන් ඩොලර් ටික ආපසු ලබා ගැනීමේ අවදානම ඒ විදිහටම තිබෙනවා. 

මෙහි ඉන්දියාව වෙනුවට අයිඑම්එෆ් එක හිටියත් කතාව ඔය විදිහමයි. දුන්න සල්ලි ආපසු නොලැබීමේ අවදානම අයිඑම්එෆ් එකට තිබෙනවා. ඒ නිසා, අයිඑම්එෆ් එක සල්ලි දෙන්නේ ඒ සල්ලි ආපසු ගෙවිය හැකි තරමේ වෙනසක් සිදුවන ප්‍රතිසංස්කරණ වලට ලංකාව කැමති වුනොත් පමණයි. ණය ගනිද්දී අයිඑම්එෆ් එක කොන්දේසි දමනවා කියා කියන්නේ ඕකටයි. 

විණිමය හුවමාරු ගිවිසුම යටතේ ඉන්දියාව ඩොලර් මිලියන 400ක් දීලා තියෙන්නෙත් ඔය වගේ කොන්දේසියක් දමලා. කොන්දේසිය වන්නේ ලංකාව අයිඑම්එෆ් වැඩසටහනකට යා යුතු බවයි. එසේ කළහොත් ණය ආපසු ලබා ගැනීමේ අවදානම අඩු වන බව ඉන්දියාව දන්නවා. නමුත්, ලංකාව අයිඑම්එෆ් වැඩසටහනකට ගියේ නැහැ. ඒ නිසා, ඉන්දියාව තමන්ගේ අවදානම අඩු කර ගැනීම සඳහා ඩොලර් ටික නැවත ආපසු අරගෙන ගත්ත රුපියල් ටික ආපසු දුන්නා.

දැන් ලංකාව සතුව ඉතිරි වී තිබෙන එක් විකල්පයක් වන්නේ අයිඑම්එෆ් වැඩසටහනකට යන එකයි. දෙවන විකල්පය වන්නේ ඉන්දියාවෙන් හෝ චීනයෙන් ණය ගැනීමයි. තෙවන විකල්පය වන්නේ ඉන්දියාව හෝ චීනය සමඟ විණිමය හුවමාරු ගිවිසුමකට යන එකයි. හතරවන විකල්පය රටේ මූල්‍යමය නොවන වත්කම් වලින් කොටසක් විකුණන (හෝ බදු දෙන) එකයි.

මෙහි මා ඉන්දියාව හා චීනය ගැන සඳහන් කළේ එම දෙරටින් එකක් මේ වැඩේට කැමති වීමේ වැඩි හැකියාවක් තිබෙන නිසයි. ලංකාවේ ඩොලර් සංචිත හිඳෙනවා කියා කියන්නේ දැඩි ලෙස ආනයන සීමා කරන්න වෙනවා කියන එකයි. මෙයින් ප්‍රධාන වශයෙන්ම අවාසියක් වෙන්නේ ඉන්දියාවට හා චීනයටයි. එම රටවල් වලින් ලංකාවට කරන අපනයන අඩු නොකර පවත්වා ගන්නනම් අනෙක් පැත්තෙන් ලංකාවට බඩු ගන්න සල්ලිත් කිසියම් ක්‍රමයකින් දෙන්නම වෙනවා. වෙන විකල්පයක් නැහැ. 

ණය ආපසු නොලැබීමේ අවදානම නොගෙන අපනයනද එලෙසම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය විදේශ විණිමය ලංකාවට පොම්ප කළ හැකි එකම ක්‍රමය ලංකාවේ මොනවා හෝ වත්කම් මිල දී ගැනීමයි. චීනය වගේම ඉන්දියාවත් කරන්න හදන්නේ ඒකයි.

Sunday, February 14, 2021

විදේශ සංචිත අඩුවුණේ කොහොමද?


පසුගිය වසර ආරම්භ වන විට ලංකාවේ නිල විදේශ විණිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,642ක්. වසර අවසාන වෙද්දී මෙම නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,665 දක්වා අඩු වී තිබෙනවා. මෙය ඩොලර් මිලියන 1,977ක අඩුවක්. ජනවාරි මාසය ඇතුළත තවත් ඩොලර් මිලියන 851කින් අඩු වීමෙන් පසුව තවත් ඉතිරිව තිබෙන්නේ ඩොලර් මිලියන 4,815ක් පමණයි. වසරේ ඉදිරි මාස එකොළහ තුළ විදේශ ණය හා වාරික ලෙස ගෙවිය යුතු මුදල මීට වඩා වැඩියි. 

ලංකාව නැවත වරක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටින බව පැහැදිලියි. කොහොම වුනත් ගෙවුම් ශේෂ අර්බුද ලංකාවට අලුත් දෙයක්නම් නෙමෙයි.

පසුගිය වසර ඇතුළත ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,977කින් අඩු වුනේ කොහොමද?

විදේශ සංචිත අඩු වුනේ කෝවිඩ් නිසා කියන එකනම් පිළිගන්න අමාරුයි. ඇතැම් විට කෝවිඩ් වසංගතය නොවන්නට තත්ත්වය වඩාත් දරුණු විය හැකිව තිබුණු බව මගේ අදහසයි. මා එසේ කියන්නේ හේතු ඇතිව.

ලංකාවට විදේශ විණිමය ලැබෙන ප්‍රධාන මාර්ග තුන විදිහට භාණ්ඩ අපනයනය, සේවා අපනයනය හා ශ්‍රමික ප්‍රේෂණ හඳුනා ගත හැකියි. පසුගිය වසර ඇතුළත විදේශ විණිමය ලැබෙන මේ එක් එක් මාර්ගයට සිදු වුනේ කුමක්ද?

වසර තුළදී භාණ්ඩ අපනයන ආදායම පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 1,863කින් අඩු වී තිබෙනවා. මෙයින් ඩොලර් මිලියන 1,266ක්ම අඩු වී තිබෙන්නේ ඇඟලුම් අපනයන ආදායමින්. කොහොමටත් ලංකාවේ අපනයන ආදායමෙන් බාගයකට වඩා ලැබෙන්නේ ඇඟලුම් අපනයන වලින් නිසා මෙහි විශාල අමුත්තකුත් නැහැ. ඉතිරි අඩුව අනෙක් සියළුම අපනයන අතර බෙදී ගොස් තිබෙනවා. 

අපනයන ආදායම අඩු වීමට හේතුව කෝවිඩ් වසංගතය හා එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ හා යුරෝපයේ ඇඟලුම් ඇතුළු අනෙකුත් අපනයන සඳහා වූ ඉල්ලුම අඩු වීම ලෙස හඳුනාගත හැකියි. ඒ අනුව, අවශ්‍යනම් ගෙවුම් ශේෂ හිඟයට හේතුව වසංගතය නිසා අපනයන ආදායම් අඩු වීම කියන සරල නිගමනයට පැමිණිය හැකියි. එහෙත් එවැනි නිගමනයක් නිවැරදි නොවන්නේ වසංගතය නිසා අපනයන ආදායම් අඩු වනවාට වඩා වැඩියෙන් ආනයන වියදම් අඩු වී තිබීම නිසයි.

අපනයන ආදායම් ඩොලර් 1,863කින් අඩු වෙද්දී ආනයන වියදම් ඩොලර් 3,882කින් අඩු වී තිබෙනවා. මේ අනුව, පසුගිය වසරේදී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 2,019කින් පහළ ගොස් තිබෙනවා. වෙනත් විදියකින් කිවුවොත් ආනයන අපනයන පරතරයක් තිබුණත් එය පෙර වසරට වඩා ඩොලර් මිලියන 2,019කින් අඩු පරතරයක්. ඒ නිසා, සංචිත වැඩි වෙන්න මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ. 

ආනයන වියදම් වලින් ඩොලර් 1,349ක්ම අඩු වී තිබෙන්නේ ඉන්ධන ආනයන වියදම් වලින්. කෝවිඩ් නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වීමත්, රට ඇතුළේ ඉන්ධන අවශ්‍යතා යම් තරමකින් අඩු වීමත් මෙයට හේතුව බව පැහැදිලියි. ඒ කියන්නේ මෙය වසංගතය නිසා ලැබුණු වාසිදායක ප්‍රතිඵලයක්. මේ වාසිය පමණක් ගත්තත් ඇඟලුම් අපනයන අඩු වීමේ අවාසියට වඩා වැඩියි. 

ලංකාවේ ප්‍රධානම අපනයන ආදායම ඇඟලුම් වුනත් මේ අපනයන නිෂ්පාදනය සඳහා අවශ්‍ය රෙදිපිළි ඇතුළු බොහෝ අමුද්‍රව්‍ය ආනයනය කරන නිසා කර්මාන්තයෙන් ලැබෙන අපනයන ආදායම ශුද්ධ අපනයන ආදායමක් නෙමෙයි. ආදායමෙන් කොටසක් අමුද්‍රව්‍ය ආනයනය සඳහා නැවත රටෙන් එළියට යනවා. කර්මාන්තය කඩා වැටෙන විට අපනයන ආදායම් අඩු වනවා වගේම ආනයන වියදම් වලින් කොටසක්ද අඩු වෙනවා. පසුගිය වසර තුළ ඇඟලුම් හා රෙදිපිළි ආනයන වියදම් ඩොලර් මිලියන 574කින් අඩු වී තිබෙනවා. ඒ කියන්නේ, අඩු වුනු ඇඟලුම් අපනයන ආදායම් වලින් බාගයකට කිට්ටු මුදලක් ඇත්තටම අඩු වෙලා නැහැ. වෙන පැත්තකින් ඉතුරු වෙලා. 

මේ අනුව, මෙම මුදල අඩුකර, සමස්ත අපනයන ආදායමේ සැබෑ අඩු වීම ඩොලර් මිලියන 1,863 - 574 = 1,289ක් කියා කියන්න පුළුවන්. තෙල් වලින් පමණක් ලැබී තිබෙන වාසිය ඩොලර් 1,349ක්. ඒ වාසිය අපනයන අඩුවීමේ සමස්ත අවාසියට වඩා වැඩියි. වසංගතය නිසා වෙළඳ ශේෂයට වාසියක් මිස අවාසියක් සිදු වී නැති බව ඉතාම පැහැදිලියි.

එහෙමනම්, ශ්‍රමික ප්‍රේෂණ අඩු වෙලාද?

ඒත් නැහැ. වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ විදිහට ඩොලර් මිලියන 7,104ක් ලැබී තිබෙනවා. මෙය පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 387ක වැඩි වීමක්. වසංගතය නිසා ශ්‍රමික ප්‍රේෂණ තවත් වැඩි වී මිස අඩු වී නැහැ. 

පසුගිය අවුරුද්දේ සමස්ත වෙළඳ ශේෂය ඩොලර් මිලියන 5,978 දක්වා අඩු වෙද්දී ශ්‍රමික ප්‍රේෂණ විදිහට පමණක් ඩොලර් මිලියන 7,104ක් ලැබී තිබෙනවා. මෙතැනම ඩොලර් මිලියන 1,126ක් වැඩිපුර තිබෙනවා. පහුගිය කාලය මුළුල්ලේම ලංකාවේ වෙළඳ ශේෂ හිඟයෙන් සැලකිය යුතු කොටසක් ශ්‍රමික ප්‍රේෂණ වලින් ආවරණය වුනත් මේ විදිහට ශ්‍රමික ප්‍රේෂණ වලින් වෙළඳ ශේෂ හිඟය මුළුමනින්ම ආවරණය වුනේ පළමු වතාවට කියලයි මම හිතන්නේ. 

ආනයන පාලනය කිරීමේ බලපෑම නොසලකා හැරිය නොහැකි වුවත්, මෙය බොහෝ දුරට වසංගතය නිසා ලැබුණු වාසියක්. ආනයන පාලනය ගැන අපි වෙනම කතා කරමු.

දැන් අඩු වශයෙන් කරුණු දෙකක් පැහැදිලි විය යුතුයි. පළමුව, කෝවිඩ් නිසා භාණ්ඩ අපනයන වෙළඳපොළේ තත්ත්වය හොඳ අතට මිස නරක අතට හැරී නැහැ. දෙවනුව, ශ්‍රමික ප්‍රේෂණ වැඩි වී මිස අඩු වී නැහැ. 

වසංගතය නිසා සිදු වූ තුන් වන පාඩුව ලෙස සැලකෙන්නේ සංචාරක කර්මාන්තය හරහා ලැබුණු ආදායම් අඩු වීම. පසුගිය වසර තුළදී සංචාරක කර්මාන්තයෙන් උපයා තිබෙන ආදායම ඩොලර් මිලියන 957ක් පමණයි. පෙර වසරේ ආදායම ඩොලර් මිලියන 3,607ක්. මෙය ඩොලර් මිලියන 2,650ක අඩුවක්. 

සංචාරක කර්මාන්තයෙන් ලංකාව විශාල ආදායමක් උපයනවා කියන එක ඇත්ත. හැබැයි අනෙක් පැත්තට ශ්‍රී ලාංකිකයින් විදේශ රටවල සංචාරය කරද්දී වියදමක්ද යනවා. ඒ නිසා මේ මුළු මුදලම කර්මාන්තය හරහා සිදු වූ ශුද්ධ විදේශ විණිමය ලැබීමක් ලෙස සලකන්න බැහැ. පහුගිය අවුරුද්දේ සංචාරක ආදායම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,607ක් වෙද්දී සංචාරක වියදම්ද ඩොලර් මිලියන 1,638ක්ව තිබුණා. ඒ නිසා කර්මාන්තයේ ශුද්ධ විදේශ විණිමය ලැබීම ප්‍රමාණය වුනේ ඩොලර් මිලියන 1,969ක් පමණයි. ඒ වගේම සමස්තයක් ලෙස සියලුම සේවා අංශ වලින් ඩොලර් මිලියන 2,849ක ශුද්ධ විදේශ විණිමය ප්‍රමාණයක් ලැබී තිබුණා.

දැන් මේ අවුරුද්දේ සංචාරක ආදායම් ඩොලර් මිලියන 2,650කින් අඩු වෙද්දී සංචාරක වියදම්ද විශාල ලෙස අඩු වී තිබිය යුතුයි. මාර්තු වලින් පස්සේ ලාංකිකයින් විදේශ සංචාර වල යෙදෙන එක සම්පූර්ණයෙන්ම වගේ නැවතුනානේ. ඒ නිසා, ඉහත කී අවාසියෙන් සෑහෙන ප්‍රමාණයක් අඩු විය යුතුයි. සංඛ්‍යාලේඛණ හරියටම නැතත් වසංගතය නිසා සිදු වූ පාඩුව ඩොලර් බිලියන 1-1.5 ප්‍රමාණයක් කියා හිතන්න පුළුවන්. මේ මට්ටමේ අවාසියක් සිදු වුනත්, සමස්තයක් ලෙස ලංකාවේ සේවා ගිණුමේ අතිරික්තයක් තිබිය යුතුයි. 

වෙළඳ ගිණුමේ හිඟය ශ්‍රමික ප්‍රේෂණ වලින් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලානම්, සේවා ගිණුමේත් හිඟයක් නැත්නම්, පසුගිය වසර තුළදී රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,977කින් අඩු වුනේ කොහොමද?

මෙය වසංගතය නිසා සිදු වී ඇති දෙයක් නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ හෝ ව්‍යාපාරිකයින්ගේ අකාර්යක්ෂමතාවය හෝ වෙනත් වැරැද්දක් නිසා සිදු වී ඇති දෙයක්ද නෙමෙයි. සමස්තයක් විදිහට රටේ පෞද්ගලික අංශය විසින් වියදම් කරනවාට වඩා වැඩියෙන් විදේශ විණිමය උපයා තිබෙනවා. පසුගිය වසර පමණක් තනිව ගත්තොත් රජයේ කාර්යභාරයත් සාධනීයයි.

පහුගිය කාලය මුළුල්ලේම රටේ සමස්ත ගෙවුම් ශේෂය යම් ස්ථාවර තත්ත්වයක පැවතුනා තමයි. උදාහරණයක් විදිහට 2019 වසර තුළ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 377කින් ඉහළ ගියා. නමුත්, එසේ නිල සංචිත ඉහළ ගියේ විදේශ ණය විදිහට රජය විසින් ඩොලර් මිලියන 6,570ක් ලබා ගැනීමෙන් පසුවයි. ණය නොගත්තානම් පසුගිය වසරේදීම විදේශ සංචිත හිඳිලා. ඉහත ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 4,400ක්ම ලබා ගත්තේ ස්වෛරීත්ව බැඳුම්කර විකුණලා. ඉතිරි ඩොලර් මිලියන 2,170 වෙනත් ණය. මේක කාලයක් තිස්සේම ගහපු රෝලක්.

මේ වෙද්දී මේ රෝල තවදුරටත් ගහන්න බැරි තරමට තත්ත්වය නරක අතට හැරිලා. එයට හේතුව වසංගතය නෙමෙයි. වසංගතය නොතිබුණත් මේ වෙද්දී ඔය ටික වෙනවා. දැන් මේ කොහොමටත් සිදු විය හැකිව තිබුණු දෙය වසංගතය පිට දමන්න හැකි වී තිබෙනවා. 

දැන් ලංකාවට තවදුරටත් ස්වෛරීත්ව බැඳුම්කර විකුණා ණය ගන්න බැහැ. එසේ බැරි වුනේ ණය ශ්‍රේණිගත කරන ආයතන ලංකාවේ ශ්‍රේණිගත කිරීම් පහළට දමපු නිසා නෙමෙයි. එය සිදු වී තිබෙන්නේ අනෙක් පැත්තටයි. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතන වලට ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළට දමන්න සිදු වුනේම ලංකාවට ස්වෛරීත්ව බැඳුම්කර හරහා තවදුරටත් ණය අරගෙන ගෙවන්න බැරි මට්ටමට වැටී තිබෙන නිසයි. ශ්‍රේණිගත කිරීම් පහළට නොදමන්නට ලංකාව තවත් ණය අරගෙන මීට වඩා ලොකු අමාරුවක වැටෙනවා.

පහුගිය අවුරුද්ද ඇතුළත ලංකාවේ රජයට ස්වෛරීත්ව බැඳුම්කර විකුණා එක ඩොලරයක් හෝ හොයා ගන්න පුළුවන් වුනේ නැහැ. එහෙත්, වෙනත් ක්‍රම වලින් ඩොලර් මිලියන 2,002ක ණය අරගෙන තිබෙනවා. 2019 වසරේදී ලබාගත් ඩොලර් මිලියන 6,570ක ශුද්ධ විදේශ ණය ප්‍රමාණය එක්ක බැලුවහම මෙය ඩොලර් මිලියන 4,568ක අඩුවක්. 

රජය විසින් ලබාගත් විදේශ ණය ඩොලර් මිලියන 4,568කින් අඩු වෙද්දී විදේශ සංචිත අඩු වී තිබෙන්නේ ඩොලර් මිලියන 1,977කින් පමණයි. මෙය ඉතා හොඳ තත්ත්වයක්. මෙයින් අදහස් වෙන්නේ පෙර වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 2,591කින් ශුද්ධ විණිමය ලැබීම් ඉහළ ගිහින් කියන එකයි. පෙර වසරට සාපේක්ෂව වෙළඳ ශේෂය ඩොලර් මිලියන 2,019කින් අඩු වීමත්, ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 387කින් ඉහළ යාමත් මේ වෙනස බොහෝ දුරට පැහැදිලි කරනවා. ඊට අමතරවද  තවත් ඩොලර් මිලියන 185ක ඉතිරියක් තිබීමෙන් පෙනෙන්නේ සේවා ගිණුම ඇතුළු අනෙක් සියලු ගිණුම් වල ශේෂයන් සමස්තයක් ලෙස ගත් විටද හොඳ අතට මිස නරක අතට හැරී නැති බවයි. 

ආනයන පාලනය වෙනම දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. ආනයන පාලනය කිරීම ඉහත ප්‍රතිඵලය කෙරෙහි බලපා ඇති බවත්, ආර්ථික වර්ධනය අඩාල කිරීමටද හේතු වී ඇති බවත් බොරු නෙමෙයි. එහෙත්, මෙහිදී රජය පැත්තෙන් සිදු වී තිබෙන්නේ අවශ්‍ය පමණ විදේශ ණය ගැනීමේ හැකියාවක් නැති නිසා විකල්පයක් නැති කමින් ආනයන පාලනය කිරීම කෙරෙහි යොමු වීමක් මිස ආනයන පාලනය හේතුවෙන් ණය ගන්න අවශ්‍ය නොවීමක් නෙමෙයි. යම් හෙයකින් පහසුවෙන් තවත් විදේශ ණය ලබා ගත හැකිව තිබුණානම් මේ විදිහේ ආනයන පාලනයක් කරා රජය යොමු නොවිය හැකිව තිබුණා.

මොන විදිහෙන් සිදු වුනත් සිදු වී තිබෙන්නේ සිදු විය යුතුව තිබුණු දෙයක්. විදේශ සංචිත අඩු වී ඇතත්, විදේශ ණය අඩු වූ තරමට විදේශ සංචිත අඩු වී නැහැ. වසංගතය නිමා වීමෙන් පසුවද මේ ක්‍රමයට දිගටම ගියොත් දිගුකාලීනව ගෙවුම් ශේෂය මත තිබෙන පීඩනය අඩු කර ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒ අතරවාරයේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇවිත් ආර්ථිකය කඩා වැටෙන එක වලක්වා ගන්න අවශ්‍ය මට්ටමට ණය ගන්න වෙනවා. 

Friday, November 27, 2020

අනූ නවයෙන් බේරී සිටි කාලය ඉවරද?


මොකක් හරි ලොකු අකරතැබ්බයකින් යාන්තමින් බේරුනාම අපි කියනවා අනූ නවයෙන් බේරුනා කියලා. මේ කාලය අපි කවුරුත් අනූ නවයෙන් බේරී ජීවත් වන කාලයක්. ඒ වෙනුවෙන් ඇල් වතුරත් නිවලා බොන කාලයක්. වසංගතය ඉවර වුන දවසක ඒ ගැන සමාලෝචනයක යෙදෙන්න තරම් වාසනාවක් තිබුණොත් ඒ වන තුරු ජීවත්ව සිටින අපට මේ විදිහට අනූ නවයෙන් බේරුණු යුගය ගැන ගොඩක් දේවල් කතා කරන්න ඉතිරි වෙයි.

රටක් විදිහට ගත්තොත් ලංකාව සෑහෙන කාලයක් කෝවිඩ්-19 වසංගතයෙන් අනූ නවයෙන් බේරී හිටියා. නමුත්, දැන්නම් ඒ කාලය ඉවරයි වගේ.

මේ වෙද්දී ලංකාවෙන් හඳුනා ගැනුණු කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය 22,501ක් දක්වා ඉහළ ගිහින්. ආසාදිතයින් ප්‍රමාණය අනුව කාලයක් තිස්සේම ලංකාව හිටියේ ලෝකයේ රටවල් අතරින් 99 වන තැන හෝ පහළින්. ඊයේ වෙද්දී ලංකාව 99 පහු කරලා 98 වන තැනට ඇවිත්.

ලංකාව කෝවිඩ්-19 ආසාදිතයින් ප්‍රමාණය අනුව අනූ නවයෙන් බේරී සිටි කාලය අවසන් වුනු ඊයේ දිනයේම කෝවිඩ්-19 මරණ ප්‍රමාණයත් 99 මට්ටමේ සිට 107 දක්වා ඉහළ ගිහින්. ඒ අනුව, මරණ ගණන අනුව බැලුවත් අනූ නවයෙන් බේරී සිටි කාලය ඉවර වෙලා.

ඒ විතරක් නෙමෙයි. ජනගහණයේ අනුපාතයක් ලෙස මෙතෙක් ලංකාවේ කෝවිඩ්-19 රෝගීන් හමු වී තිබුණේ ලක්ෂයකට 99 කට වඩා අඩු ප්‍රමාණයක්. මේ වෙද්දී ඒ ගණනත් ජනගහණය ලක්ෂයකට 105 දක්වා ඉහළ ගිහින්. ඒ කියන්නේ ලංකාවේ දාහකින් එකකට වඩා මේ වෙද්දී කෝවිඩ්-19 ආසාදිතයින් වෙලා. 

ඇමරිකාව එක්ක බැලුවහමනම් මේ එකක්වත් ලොකු දේවල් නෙමෙයි. ඇමරිකානු ජනගහණයෙන් 4%ක් මේ වෙද්දී කෝවිඩ්-19 ආසාදිතයින් සේ හඳුනාගෙන අවසන්.

කෝවිඩ් වසංගතය හා අදාළව ලංකාව අනූ නවයෙන් බේරී සිටි කාලය අවසන් වෙද්දී ලංකාවට තවත් අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා. ෆිච් (Fitch) ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ලංකාවේ දිගුකාලීන ණය අවදානම් ශ්‍රේණිය CCC මට්ටම දක්වා පහත දමලා. කෙටිකාලීන ණය අවදානමද C මට්ටම දක්වා පහත හෙළා තිබෙනවා.

දෙමසකට පෙර මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය අවදානම් ශ්‍රේණිය B2 මට්ටමේ සිට Caa1 මට්ටම දක්වා පහත හෙළුවා. මේ අනුව, ෆිච් ආයතනය විසින් කර තිබෙන්නේ ලංකාව සම්බන්ධ මූඩීස් ආයතනයේ දැක්ම තහවුරු කිරීමක්. 

ලෝකයේ ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුන අතරින් මේ වන තුරුත් ලංකාවේ ණය අවදානම B කාණ්ඩයේ (B-) ඇති සේ සලකන්නේ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ආයතනය පමණයි. එයද තව කොපමණ කාලයක් නොවෙනස්ව තිබේදැයි සැක සහිතයි.


Saturday, October 3, 2020

ඩොලර් බිලියනයක් හොයාගත්තේ කොහොමද?


හෙට කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කරයේ මුහුණත අගය හා කූපන් ගෙවීම් මුදල මහ බැංකුව විසින් ඊයේ පියවා තිබෙනවා. ඒ, කල් පිරෙන දිනය ඉරිදා දිනයක් නිසා. 6.25%ක කූපන් පොලියෙන් අඩක්ද ඊයේ පියවූ සේ සැලකුවහොත් මෙය ඩොලර් මිලියන 1031.25ක මුදලක්.

ඉහත මුදල පියවීම සඳහා මහ බැංකුවේ පවත්වා ගෙන යන නිල සංචිත වල ඇති ඩොලර් රජයට විකුණා ඇති බවට සැකයක් නැහැ. ඒ අනුව, මේ වන විට රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියනයකින් පමණ පහළ ගොස් තිබිය යුතුයි.

මෙවැනි විශාල මුදලක් එකවර ගෙවීම සඳහා නිල සංචිත වල ඇති ඩොලර් යොදා ගැනීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. එසේ කිරීම වැරැද්දක් කියා කියන්න බැහැ. නිල සංචිත පවත්වා ගෙන යන්නේම ඔය වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගන්නයි. 

ඇමරිකන් ඩොලරයක විකිණුම් මිල 187.21 සේ සැලකූ විට, රජයට මහ බැංකුවේ ඩොලර් මිලියන 1031.25ක නිල සංචිත (හෝ වෙනත් වාණිජ බැංකුවක තිබෙන ඩොලර්) මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 193ක මුදලක් අවශ්‍ය වෙනවා. වඩා වැදගත් ප්‍රශ්නය රජය ඒ මුදල් හොයා ගත්තේ කොහොමද කියන එකයි.

පෙනෙන ආකාරයට ඉහත මුදලෙන් වැඩි ප්‍රමාණයක් හොයාගෙන තිබෙන්නේ නැවත මහ බැංකුවටම භාණ්ඩාගාර බිල්පත් විකිණීමෙනුයි. පසුගිය සතිය ඇතුළත මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 322 සිට රුපියල් බිලියන  445 දක්වා එකවරම 38%කින් ඉහළ ගොස් තිබෙනවා. 

මේ අනුව පෙනෙන පරිදි ණය ගෙවීම සඳහා අවශ්‍ය වූ ඩොලර් මහ බැංකුවෙන් මිල දී ගැනීමට රජයට අවශ්‍ය වූ රුපියල් බිලියන 193ක මුදලින් රුපියල් බිලියන 123ක්ම නැවත රජයට ලබා දී තිබෙන්නේ මහ බැංකුව විසින්මයි. මහ බැංකුව මේ විදිහට සල්ලි රජයට දෙන්නේ කොහොමද කියන එක රහසක් නෙමෙයි.

Wednesday, September 30, 2020

එලොව පොල් දැකල තියෙනවද?


"මොකද නිකම් එලොව පොල් පෙනිල වගේ?"

කවුරු හරි තේරුමක් නැතිව ඔහේ බලාගත්තු අතේ බලා ඉන්නකොට දකින අය ඔහොම අහනවා. ඔය ප්‍රශ්නය අහන සමහර අය පොඩි කාලේ එලොව පොල් දැකල ඇති. මමනම් දැකල තියෙනවා.

මම පොඩි කාලේ එලොව පොල් දැකල තියෙනවා වගේම වෙන අයට එලොව පොල් පෙන්නලත් තියෙනවා. ඕක අපි පොඩි කාලේ කරපු සෙල්ලමක්. සෙල්ලමක් කිවුවට සෙල්ලමක්මත් නෙමෙයි. ඕක ඇත්තටම බුලි කිරීමක්. 

සාමාන්‍යයෙන් එලොව පොල් පෙන්නන එක අවුරුදු නවයක දහයක වයසේ ළමයි තමන්ට වඩා අවුරුදු දෙක තුනක් බාල ළමයින්ට කරන දෙයක්. අයියා කෙනෙක් මල්ලි කෙනෙක්ට වගේ. 

ඕක පටන් ගන්නේ මෙහෙමයි.

"මල්ලි එලොව පොල් දැකල තියෙනවද?"

"නෑ"

"පෙන්නන්නද?"

"හා" 

"එහෙනම් එන්න"

දැන් මල්ලි ළඟට ආවහම අයියා කරන්නේ මල්ලිගේ පිටිපස්සෙන් ඇවිත් අත් දෙක හැඳි දෙකක් වගේ බොකුටු කරලා මල්ලිගේ කන් වැහෙන විදිහට දෙපැත්තෙන් තියලා තද කරලා මල්ලිව උස්සන එකයි. ඔය විදිහට ඉස්සුවහම මල්ලිට එලොව පොල් පේන්න පටන් ගන්නවා. ආයේ දෙවන පාරකට අයියා කෙනෙකුට ඒ මල්ලිට එලොව පොල් පෙන්නන්න ලැබෙන්නේ නැහැ.

"මල්ලි එලොව පොල් දැකල තියෙනවද?"

"ඔව්. දැකල තියෙනවා!"

කතාව එතැනින් ඉවරයි. අයියලා මල්ලිලාගේ ප්‍රශ්නයක්නේ. දුරදිග යන්නේ නැහැ. හැබැයි මල්ලි බලාගෙන ඉන්නේ අයියා වගේ ලොකු වෙලා එයාටත් එලොව පොල් පෙන්නන්න කවුරු හරි මල්ලි කෙනෙක් හම්බ වෙනකම්. 

එලොව පොල් මොන වගේද? එලොව පොල් වල වට ප්‍රමාණය අඟල් 12-13 අතරද? නැත්නම් අඩුද වැඩිද? එලොව පොල් වල වට මනින්නේ අඟල් වලින් නෙමෙයිද? සෙන්ටි මීටර් වලින්ද? එලොව පොල් ගෙඩියක මිල කියද? 

ඔය ප්‍රශ්න අහන්න වෙන්නේ එලොව පොල් දැකපු කෙනෙක්ගෙන්ම තමයි. 

පෙරේදා මූඩිස් සමාගම විසින් ලංකාවේ ආණ්ඩුවටත් එලොව පොල් පෙන්නලා. මුදල් අමාත්‍යංශයේ නිවේදනය දිහා බැලුවහම පෙනෙන්නේ එම සමාගම විසින් ආණ්ඩුවට ඉතා හොඳින් එලොව පොල් පෙන්වලා බවයි. 

ණය අවදානම් ශ්‍රේණිය C කාණ්ඩයට වැටෙනවා කියා කියන්නේ ඉතාම බරපතල තත්ත්වයක්. මෙතෙක් කල් ලංකාවේ ආණ්ඩු විසින් දිගින් දිගටම කරගෙන ආවේ අලුත් ණය ගනිමින් පරණ ණය පියවන එකයි. ඉදිරි කාලයේදී ඒ වැඩේ කලින් තරම් පහසුවෙන් කරන්න ලැබෙන එකක් නැහැ. තව දවස් හතරකින් කල් පිරෙන ඩොලර් බිලියනයක බැඳුම්කරය වෙනුවෙන් මුදල් ගෙවන්න සිදු වෙනු ඇත්තේ තිබෙන සීමිත සංචිත වලිනුයි. ප්‍රශ්නය බරපතල වෙන්න පටන් ගනු ඇත්තේ ඉන් පසුවයි.

ආණ්ඩුවට සල්ලි අච්චු ගහලා දේශීය ණය ගෙවන්න පුළුවන්. නමුත්, රුපියල් මිසක් ඩොලර් අච්චු ගහන්න බැහැ. ඒ වගේම රුපියල් අච්චු ගහන්න පුළුවන් වුනත්, එසේ කිරීමෙන් එහි ප්‍රතිවිපාක වලටත් මුහුණ දෙන්න වෙනවා.

මහින්ද රාජපක්ෂ මුලින්ම ජනාධිපති වීමෙන් පසුව 2004-2005 කාලයේදී ඔය සල්ලි අච්චු ගැහිල්ල ජයටම කළා. වැඩේ කෙළවර වුනේ රටේ උද්ධමනය 30% පන්නලා. සල්ලි අච්චු ගැහීම වෙනුවට විදේශ ණය ගැනීම විකල්පයක් හැටියට තෝරා ගත්තේ ඒ විදිහට වැඩේ පත්තු වුනාට පසුවයි. දැන් වෙලා තියෙන්නේ සල්ලි අච්චු ගැහීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැති වීමයි.

කෝවිඩ් පිටින් දාලා දැනටමත් මහ බැංකුව විශාල සල්ලි ප්‍රමාණයක් අච්චු ගහලයි තියෙන්නේ. මෙහි ප්‍රතිඵලයක් විදිහට රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යමින් තිබෙනවා. උද්ධමනය කියන්නේ එයටයි. පොල් මිල ඉහළ යාමත්, මුළුමනින්ම නොවුනත්, උද්ධමනයේ ප්‍රතිඵලයක්.

උද්ධමනය කියා කියන්නේ කිසියම් රටක භාණ්ඩ හා සේවා වල මිල සමස්තයක් ලෙස ඉහළ යන එකටයි. භාණ්ඩ වල මිල ගණන් ඉහළ යන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් රටක උද්ධමනය ගැන දැන ගන්න පුළුවන්. නමුත්, රටක විකිණෙන හැම භාණ්ඩයකම හා සේවාවකම මිල වෙනස් වල ආකාරය නිරීක්ෂණය කරන්න ප්‍රායෝගිකව අමාරු නිසා ඒ වෙනුවට කරන්නේ තෝරාගත් භාණ්ඩ හා සේවා සීමිත ප්‍රමාණයක මිල ගණන් අඛණ්ඩව නිරීක්ෂණය කරන එකයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකය කියා කියන්නේ ඒ ආකාරයට උද්ධමනය මනින්න හදාගත් නිර්ණායක දෙකක්.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් කොළඹ වැසියෙකු සාමාන්‍යයෙන් මිල දී ගන්නා භාණ්ඩ හා සේවාවන් වල මිල නිරූපණය කෙරෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකයෙන් මුළු රටේම තත්ත්වය පිළිබිඹු වෙනවා. උද්ධමනය හේතුවෙන් රටේ ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක මිල ඉහළ යා හැකි වුවත්, උද්ධමනය මනින ආකාරය අනුව එය පාරිභෝගික මිල දර්ශකයකින් නිරූපණය වෙන්නේ අදාළ භාණ්ඩය එම පාරිභෝගික මිල දර්ශකය හැදීමට යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසේ කොටසක්නම් පමණයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසට අයිතම 246ක් ඇතුළත්. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසෙහි අයිතම 287ක් තිබෙනවා. ඒ නිසා මේ දර්ශක යොදාගෙන මනින උද්ධමනය වෙනස් වෙන්නේ ඔය අයිතමයන්ගෙන් එකක මිල වෙනස් වුනොත් පමණයි. ඒ අයිතම අතරිනුත් ඇතැම් අයිතම වලින් තිබෙන බලපෑම අනෙක් ඒවායේ බලපෑමට වඩා ගොඩක් වැඩියි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසෙහි වැඩිම බරක් තිබෙන අයිතමය ගෙවල් කුලී වියදමයි. එය 11.55%ක්. මේ අනුව, වසරක් තුළ ගෙවල් කුලී වියදම් 10%කින් වැඩි වුනොත්, ඒ හේතුව නිසා උද්ධමනය 1.16%කින් ඉහළ යනවා. ගෙවල් කුලී වියදම් වලින් පසුව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වැඩිම බරක් තිබෙන්නේ පොල් වලටයි. එය 3.21%ක්. වසරක් තුළ පොල් මිල 10%කින් ඉහළ ගියොත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුසාරයෙන් මනින උද්ධමනය 0.32%කින් ඉහළ යනවා. වසරක් තුළ පොල් මිල 30%කින් ඉහළ ගියොත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුසාරයෙන් මනින උද්ධමනය 1%කින් පමණ ඉහළ යනවා.  

මේ ආකාරයට පොල් වැනි දෙයක මිල අඛණ්ඩව නිරීක්ෂණය කිරීමේදී මතුවන ගැටළුවක් වන්නේ හැම පොල් ගෙඩියක්ම එක සමාන නොවීමයි. මේ මාසයේ ලොකු පොල් ගෙඩියක මිලත්, ඒ ළඟ මාසයේ පොඩි පොල් ගෙඩියක මිලත් යොදා ගත්තොත් මිල වෙනසින් නිරූපණය වෙන්නේ පොල් ගෙඩියේ ප්‍රමාණයේ වෙනස්වීම මිසක් මිල වෙනස් වීම නෙමෙයි. ඒ නිසා, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ලොකු, මධ්‍යම හා කුඩා ලෙස පොල් වර්ග කර කාණ්ඩ තුනක් යටතේ මිල ගණන් එකතු කර ගෙන පසුව ඒ මිල ගණන් යොදා ගෙන පොල් ගෙඩියක සාමාන්‍ය මිල හදා ගන්නවා. මේ වැඩේ කරද්දී වැඩේ හරියට  කෙරෙන්න මිල ගණන් එකතු කරන නිලධාරීන්ට නිශ්චිත නිර්ණායක ලබා දිය යුතුයි. නැත්නම්, එක් එක් පුද්ගලයා තමන්ගේ කැමැත්ත පරිදි ලොකු, මධ්‍යම හා කුඩා ලෙස පොල් වර්ග කරන්න පුළුවන්. එහෙම කරලා හරියන්නේ නැහැනේ.

පහත තිබෙන්නේ පසුගිය අගෝස්තු මාසයේදී එසේ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගත් පොල් මිල ගණන්. 


ලොකු - රුපියල් 83.96

මධ්‍යම - රුපියල් 75.77

කුඩා - රුපියල් 64.20

සාමාන්‍ය අගය - රුපියල් 74.64


වසරකට පෙර 2019 අගෝස්තු මාසයේදී පොල් මිලගණන් මේ විදිහයි.


ලොකු - රුපියල් 54.24

මධ්‍යම - රුපියල් 47.49

කුඩා - රුපියල් 39.17

සාමාන්‍ය අගය - රුපියල් 46.07


මේ අනුව පෙනෙනවා 2019 අගෝස්තු සිට 2020 අගෝස්තු දක්වා වූ වසරක කාලය තුළ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 46.07 සිට රුපියල් 74.64 දක්වා 58.9%කින් ඉහළ ගොස් තිබෙන බව. සැප්තැම්බර් තුන් වන සතිය අවසන් වෙද්දී පොල් මිල ගණන් මෙහෙමයි.


ලොකු - රුපියල් 88.70

මධ්‍යම - රුපියල් 79.80

කුඩා - රුපියල් 70.23

සාමාන්‍ය අගය - රුපියල් 79.57


මෙය පෙර වසරට සාපේක්ෂව 64.0%ක වැඩිවීමක්. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසෙහි පොල් වලට 3.21%ක බරක් තිබෙන බව මම කලින් කිවුවනේ. ඒ කියන්නේ පොල් මිල 64.0%කින් වැඩි වුනහම උද්ධමනය 2.05%කින් ඉහළ යනවා. 

දැන් පොල් සඳහා උපරිම මිලක් නියම කළාම වෙන්නේ මොකක්ද?


ලොකු - රුපියල් 70

මධ්‍යම - රුපියල් 65

කුඩා - රුපියල් 60

සාමාන්‍ය අගය - රුපියල් 65


උද්ධමනය එක පාරටම පහළ යනවා වගේම එතැනින් එහාට වැඩි වෙන්නේත් නැහැ. හැබැයි මතක තියා ගන්න පොල් මිල කියන්නේ උද්ධමන දර්ශකය ඇතුළේ රටේ සමස්ත භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නියෝජනය කරන නියෝජිතයෙක් මිසක් උද්ධමනය නෙමෙයි. ඒ නිසා, මේ ආකාරයට උද්ධමන දර්ශකය ටින්කරින් කළා කියලා ඇත්තටම රටේ උද්ධමනය අඩු වෙන්නේ නැහැ. එය වැහෙනවා පමණයි. 

අර ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබිච්ච ආකාරය ගැන කතාවක් තියෙන්නේ. ඇත්තද බොරුද කියලනම් මම දන්නේ නැහැ. ඩොනමෝර් කොමිසම විසින් ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දෙන එක සුදුසුද කියා තීරණය කරන්න කලින් රටේ ගොවියෝ, ධීවරයෝ ඇතුළු විවිධ කණ්ඩායම් හමුවෙන්න ගියා කියනවා. ඔහොම යනවා කිවුවට ලංකාවේ කවුරු හරි නායකයෙක්නේ එක්ක යන්නේ. කට්ටිය කාර් එකේ ගිහින් කුඹුරක් අයිනේ, වැල්ලක් ළඟ වගේ අහඹු තැනක වාහනය නවත්වනවා. ඉන් පසු කොමිසමේ සාමාජිකයෝ බැහැලා ගිහින් ගොවියන්, ධීවරයින් වගේ සාමාන්‍ය පුද්ගලයින්ගෙන් අදහස් විමසනවා.

ඔය විදිහට කොමිසමේ සාමාජිකයින් එක්ක කතා කරපු ලංකාවේ ගොවීන්ට, ධීවරයින්ට එහෙම ලංකාවේ වගේම ලෝකයේ සමාජ දේශපාලනික තත්ත්වයන් ගැන බොහොම හොඳ අවබෝධයක් තිබුණු බවත්, ආපු සුද්දන් එක්ක කිසිදු අපහසුවක් නැතිව හොඳ ඉංග්‍රීසියෙන් කතා කළා කියලත් කියනවා. කොමිසමේ සාමාජිකයෝ පිටත් වුනාට පස්සේ අර ගොවියෝ හා ධීවරයෝ අමුඩ ගලවලා ටයි කෝට් ඇඳගෙන ආපහු කොළඹ ආවලු.

ඔය කතාව බොරුවක් වෙන්න ඇති. හැබැයි ලංකාවේ එතෙක් මෙතෙක් වෙලා තියෙන දේවල් දිහා බැලුවහම කතාවේ ඇත්තක් තියෙන්නත් පුළුවන්. කුඹුරක් අයිනේ අහම්බෙන් හමුවෙන්න ගොවියෝ විදිහට අන්දලා සරසවි ශිෂ්‍යයෝ තිබ්බා කියලා රටේ සාමාන්‍ය ජනතාවගේ උගත්කම වැඩි වෙන්නේ නැතුවා වගේම පොල් මිල කෘතීම ලෙස සීමා කළා කියලා රටේ සැබෑ උද්ධමනය අඩු වෙන්නෙත් නැහැ. සැබෑ උද්ධමනය බලාගන්න තිබෙන අවස්ථාව නැති වෙන එක පමණයි වෙන්නේ.

පොල් මිල පාලනය කරන්න ගත්ත තීරණයෙන් පෙනෙන්නේ ආණ්ඩුව මූඩිස් ආයතනය විසින් පෙන්වන්න කලින්ම එලොව පොල් දැකලා බවයි. ෆේස්බුක් වාක්‍යයකින් ලිපිය අවසන් කරන්නම්.

යාලුවනේ, ඔයාලා එලොව පොල් දැකල තියෙනවද?

(දැකලා නැත්නම් බය වෙන්න එපා. හිච්චි කාලේ එලොව පොල් බලපු මල්ලිලා දැන් ලොකු වෙලා!)

Tuesday, August 11, 2020

චීන ආදරය

ගූගල් සිතියම් වල දැකිය හැකි හම්බන්තොට වරාය ආශ්‍රිත ගොඩනැගිලි සංකීර්ණයක් ගැන සමාජ ජාලා වල කතා බහක් ඇති වී තිබෙනවා. මේ ගොඩනැගිලි සැලසුම් කර තිබෙන්නේ ගුවනට "CHINA SW" ලෙස පෙනෙන ආකාරයෙන් වීම ඊට හේතුවයි. කතාව බොරුවක් නෙමෙයි. අදාළ අක්ෂර සංකේත ගූගල් සිතියම් වල ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

මේ කතාබහ කෙරෙහි ලංකාවේ චීන තානාපති කාර්යාලයේද අවධානය යොමු වී තිබෙනවා. තානාපති කාර්යාලය විසින් ට්විටර් කර ඇති පරිදි ඔවුන් මේ ගොඩනැගිලි සංකීර්ණය සැලසුම් කර තිබෙන්නේ "CHINA SLK" ලෙස ගුවනට පෙනෙන ආකාරයටයි. පසුව, වරායේ ව්‍යාපාරික කටයුතු ඉහළ යද්දී ගොඩනැගිලි සංකීර්ණයට අලුතෙන් කොටස් එකතු කිරීම නිසා ගුවනට පෙනෙන එහි හැඩය වෙනස් වී තිබෙනවා. තානාපති කාර්යාලයට අනුව මෙහි තිබෙන්නේ "සංවර්ධනය සහ ආදරය පිළිබඳ කතාවක්". 

සමහර විට ඇත්තටම සිදු වුනේ චීන තානාපති කාර්යාලය කියන දෙය වෙන්න ඇති. කෙසේ වුවත්, මේ වන විටනම් ආදරය සංකේතවත් කරන හදවත් ලකුණක් ගුවනට පෙන්වන ගොඩනැගිල්ලක් මෙහි පෙනෙන්නටවත් නැහැ. ඒ වගේම, "K" අකුරක නෂ්ඨාවශේෂද පෙනෙන්නට නැහැ. එහෙත්, "SW" අකුරු වල හැඩය පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. 

සාමාන්‍යයෙන් "SW" අකුරු වලින් අදහස් වෙන්නේ "South West" යන්නයි. එනම් නිරිත දිශාව යන්නයි. ඒ අනුව, "CHINA SW" යන්න නිරිතදිග චීනය ලෙස කියවන්න පුළුවන්. බෙයිජිං නගරයේ සිට නිරිත දිශාවට රේඛාවක් ඇන්දොත් එය හරියටම ලංකාව දක්වා දිගු වෙනවා. මෙය අපූරු අහම්බයක්.

කිසියම් රටක් විසින් වෙනත් රටකට මුදල් ප්‍රදානයක් කරන අවස්ථා වලදී දෙරට අතර මිත්‍රත්වය සංකේතවත් කෙරෙන මෙවැනි සංකේත පිහිටුවීම සාමාන්‍ය දෙයක්. එහෙත්, හම්බන්තොට වරාය එවැනි ප්‍රදානයක් නෙමෙයි. ප්‍රදානයක් කියා කියන්නේ MCC ආධාර මුදල වැනි ආපසු නොගෙවිය යුතු, ඒක පාර්ශ්විකව ලබා දෙන මුදලකටයි. හම්බන්තොට වරාය වෙනුවෙන් වැය කර තිබෙන්නේ ගිණි පොලියට හෝ සාමාන්‍ය පොලියකට ලබාගත් ණයයි. ගිණි පොලියට ණය දීම කිසිසේත්ම ආදරයේ ප්‍රකාශනයක් නෙමෙයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි කාලයේදී ලබාගත් චීන ණය පිළිබඳව දේශපාලන වේදිකා වලදී බොහෝ සේ කතා කරනු ලැබ තිබෙනවා. හම්බන්තොට නගරය ආශ්‍රිත වරාය, ගුවන් තොටුපොළ හා මාර්ග පද්ධතිය සංවර්ධනය කෙරුණේ ප්‍රධාන වශයෙන්ම චීන ණය යොදා ගනිමිනුයි. මේ ව්‍යාපෘති රටට බරක් බව තේරුම් ගැනීමේදී දේශපාලනය සම්බන්ධ කරගත යුතු නැහැ. එය කරුණු මත පදනම්ව නිශ්චිත ලෙස දැකිය හැකි දෙයක්.

ලංකාවේ රජය පොදු අරමුදල් වැය කිරීමේදී පවා එතරම් පාරදෘශ්‍ය ලෙස කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා, අපට මේ ලිපිය ලියන්න වෙන්නේ පොදු අවකාශයෙන් සොයා ගත හැකි කරුණු මත පදනම්වයි. එම තොරතුරු වල කිසියම් වැරැද්දක් ඇත්නම් හා වඩා නිවැරදි නිල තොරතුරු ඇත්නම් අපට මෙහි ලියන දේ නිවැරදි කළ හැකියි.

හම්බන්තොට වරාය ඉදි කිරීම සඳහා පළමු අදියරේදී ශ්‍රී ලංකා රජය විසින් 2007 ඔක්තෝබර් මාසයේදී චීනයේ එක්සිම් බැංකුවෙන් 6.3%ක පොලියට වසර පහළොවක කාලයකින් ආපසු ගෙවීමේ කොන්දේසිය මත ඇමරිකන් ඩොලර් මිලියන 307ක වටිනාකමැති ණය මුදලක් මුලින්ම ලබා ගෙන තිබෙනවා. ණය වාරික හා පොලී මුදල් ආපසු ගෙවීම ආරම්භ වන්නේ වසර 4ක ප්‍රමාද කාලයකින් පසුවයි. මේ අනුව, මේ ණය මුදල 2012 සිට 2027 දක්වා කාලය තුළ ගෙවිය යුතුයැයි මා සිතනවා. 

ණය ලබා ගෙන ඇති ඉතා අධික පොලී අනුපාතය අනුව ලබාගත් මුදලටත් වඩා වැඩි මුදලක් පොලී වශයෙන් ගෙවන්නට සිදුවන බව පැහැදිලියි. ඉන් පසුව පසුව එක්සිම් බැංකුවෙන් 6.3% පොලියටම තවත් ඇමරිකන් ඩොලර් 147ක මුදලක් ලබා ගෙන තිබෙනවා. වසර 5ක ප්‍රමාද කාලයකින් පසුව වසර 20ක් තුළ ආපසු ගෙවිය යුතුයි. මෙම ණය මුදල් වෙනුවෙන් මුලදී 1.3%ක පොලියකට එකඟ වී ඇතත් පසුව පොලී අනුපාතිකය 6.3% දක්වා ඉහළ දැමීමට දෙපාර්ශ්වය එකඟ වී තිබෙන බව මාධ්‍ය වාර්තා වල සඳහන්. ණය ගිවිසුම පිළිබඳ හෙට්ටු කිරීම් වලදී මතු වූ කිසියම් කරුණක් මෙයට හේතු වුනා විය හැකියි.

ඉන් පසුව, 2012 සැප්තැම්බර් මාසයේදී මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 809.35ක ණය මුදලක් කොටස් තුනකට ලබා ගෙන තිබෙනවා. එයින් ඇමරිකන් ඩොලර් මිලියන 158.35ක කොටසක් හා ඩොලර් මිලියන 600ක කොටසක් චීන රජය විසින් සහන පදනමක් යටතේ ලබා දී තිබෙනවා. සහන පදනමක් කියා කිවුවත්, මේ පොලියත් 3%ක පොලියක්. සය වසරක ප්‍රමාද කාලයකින් පසු වසර 19කින් ණය මුදල ආපසු ගෙවිය යුතුයි. මේ අනුව, 2019-2038 කාලය තුළ ලබා ගත් මුදල හා එම මුදලින් 75%ක පමණ පොලී මුදලක් ආපසු ගෙවන්නට සිදු වෙනවා.

තවත් ඩොලර් මිලියන 51ක් ලබා ගෙන තිබෙන්නේ සයමස් ලිබෝර් පොලී අනුපාතිකයට 5.6%ක් එකතු කළ විට ලැබෙන පොලී අනුපාතිකයටයි. දැනට පවතින ලිබෝ පොලී අනුපාතිකය අනුව 6%ක පමණ පොලියක්. වසර 4ක ප්‍රමාද කාලයකින් පසුව වසර 15ක් ඇතුළත ගෙවිය යුතුයි. ඒ කියන්නේ මේ ණය මුදල ආපසු ගෙවන්න වෙන්නේ 2017-2032 කාලය ඇතුළතයි. ගෙවිය යුතු පොලී මුදල ලබා ගත් ණය මුදලට වඩා වැඩි බව පැහැදිලියි.

පළමු හා දෙවන අදියර වලදී ලබාගත් ඉහත ණය මුදල් වල එකතුව අවම වශයෙන් ඇමරිකන් ඩොලර් 1,308ක්. වරායේ ඉන්ධන සැපයීම් පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 77ක, පස් අවුරුදු පමා කාලයකින් පසු වසර 15කින් ගෙවිය යුතු ණය මුදලක් චීන එක්සිම් බැංකුවේ ලබා ගෙන ඇතත් ඒ සඳහා ගෙවීමට එකඟ වී ඇති පොලිය සොයා ගත නොහැකියි. සවුත් චයිනා මෝර්නින් පෝස්ට් අනුව, වරාය ඉදි කිරීම සඳහා ලබාගත් ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලිය මෙන්ම මත්තල ගුවන් තොටුපොළ ඉදි කිරීම සඳහා ලබාගත් ණය සඳහා වන පොලියද හෙට්ටු කිරීම් වලදී 1.3% සිට 6.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

හම්බන්තොට වරාය, ගුවන් තොටුපොළ හා ආශ්‍රිත ව්‍යාපෘති වෙනුවෙන් ලබා ගෙන ඇති ණය මුදල ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 2ක් පමණවත් විය යුතු අතර මේ වෙනුවෙන් ගෙවිය යුතු සාමාන්‍ය පොලී අනුපාතිකය ආසන්න වශයෙන් 4.5%-5% පමණ විය යුතුයි. එනම් වසරකට ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක්. මේ ණය බොහොමයක් ආපසු ගෙවීම ආරම්භ වුනේ පසුගිය වසර වලදී. 2005-2015 රාජපක්ෂ යුගයේදී කළේ ණය අරගෙන වියදම් කර ණය ගෙවීම අනාගතයට ඉතිරි කිරීමයි. එම ණය ගෙවීමේ ප්‍රශ්නයට නැවත රාජපක්ෂ ආණ්ඩුවකටම මුහුණ දෙන්නට සිදු වීම දෛවයේ සරදමක්. 

රටක් ණය ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි. ණය ගැනීම ප්‍රශ්නයක් වන්නේ එම ණය මුදල් වැය කරන ආකාරය අනුවයි. හම්බන්තොට ආශ්‍රිත ව්‍යාපෘති වෙනුවෙන් ලබා ගත් ණය ආපසු ගෙවිය හැකි ආදායමක් එම ව්‍යාපෘති වලින් නොලැබෙන බව ඉතා පැහැදිලියි. එවැනි ශක්‍යතාවයක් මෙම ව්‍යාපෘති ආරම්භ කරන අවස්ථාවේදී හෝ පෙනෙන්නට තිබුනේයැයි මා සිතන්නේ නැහැ. 

කොහොම වුනත් මේ ණය චීනයටනම් ආදායම් උල්පතක්. ඒ නිසා, චීනයට ලංකාව පිළිබඳ ආදරයක් ඇති වීම පහසුවෙන් තේරුම් ගත හැකියි.

References: AidData. 2017. Global Chinese Official Finance Dataset, Version 1.0. Retrieved from http://aiddata.org/data/chinese-global-official-finance-dataset.

Tuesday, July 14, 2020

වත්කම්, බැරකම්, බැරිකම් හා පුළුවන්කම්


ඊයේ පෙරේදා දවසක අහම්බෙන් වගේ හිරු නාලිකාවේ ගිය, අනුර කුමාර දිසානායක සහභාගී වූ දේශපාලන සංවාදයක කොටසක් නරඹන්න ලැබුණා. එහිදී අනුර කුමාර විසින් ලංකාවේ ණය අර්බුදයට ඔවුන්ගේ විසඳුම ගැන අදහස් ප්‍රකාශ කළා. තවත් දේවලුත් කතා කළා. අනුර කුමාරගේ අදහස්, මම හිතන විදිහට මේ මොහොතේ ජවිපෙ නිල මතය, කෙටියෙන් මේ විදිහට පෙළ ගස්වන්න පුළුවන්.

- ණය ගැනීම අපරාධයක් හෝ පවක් නෙමෙයි.
- ප්‍රශ්නය ණය ගැනීම නෙමෙයි. ගත් ණය වලට සරිලන වත්කම් හැදී නැති එකයි.
- ණය අර්බුදයෙන් ගොඩ යන්න වෙන්නෙත් ණය අරගෙනම තමයි.

සති තුනකින් පසුව පැවැත්වෙන්නට නියමිත මහ මැතිවරණය පිළිබඳව තවමත් අවිනිශ්චිතතා තිබෙනවා. මහ මැතිවරණය බාධාවකින් තොරව දින නියම කර ඇති ආකාරයට පවත්වන්නට ඉඩ ලැබෙනු ඇතැයි අපි දැනට හිතමු.

පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙට ඔවුන් අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බව පැහැදිලි කරුණක්. මගේ පෞද්ගලික මතය මෙවර මහ මැතිවරණයේදී ජවිපෙ යම් තරමකින් හෝ ඉදිරියට පැමිණෙනු ඇති බවයි. එහෙත්, ජවිපෙ මේ මැතිවරණය ජයග්‍රහණය නොකරන බව ඉතාම පැහැදිලියි.

මැතිවරණයක් ජයග්‍රහණය නොකරන බව පැහැදිලිව පෙනෙන පසුබිමක දේශපාලන පක්ෂයකට තමන් බලයට ආ පසු කරන දේවල් ගැන ඕනෑ තරම් කතන්දර කියන්න පුළුවන්. නමුත්, ණය අර්බුදය හා අදාළව ජවිපෙ එවැනි මනඃකල්පිත කතන්දරයක් කියන්නේ නැහැ. මම හිතන විදිහට ජවිපෙ විසින් යෝජනා කරන්නේ බලයට පත් වන කවර ආණ්ඩුවකට වුවත් ප්‍රායෝගිකව කළ හැකි දේ.

මොනවා වුනත් ජවිපෙහි මේ ස්ථාවරය අගය කළ යුතුයි. එහි වටිනාකම කැපී පෙනෙන්නේ බලයට පැමිණීමට වැඩි ශක්‍යතාවයක් තිබුණු දේශපාලන පක්ෂ මැතිවරණ වලට පෙර ප්‍රකාශ කර සිටි ස්ථාවරයන් හා සංසන්දනය කළ විටයි.

වසරින් වසර අලුත් වන අර්බුදයක් වුවත් ලංකාවේ ණය අර්බුදය අලුත් එකක් නෙමෙයි. මෑත කාලය ගත්තොත්, යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් ණය අර්බුදය ගැන ලොකුවට කතා කළා. එහෙත්, අර්බුදයෙන් ගොඩ යන ආකාරය පිළිබඳ පැහැදිලි වැඩ පිළිවෙලක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන්ට අනුව ණය අර්බුදයට හේතුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ වූ නිසා ඒ වංචා හා දූෂණ නැවැත්වූ පසු පහසුවෙන්ම අර්බුදයෙන් ගොඩ යා හැකිව තිබුණා. මෙය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී ආකර්ශනීය ප්‍රකාශයක් වුවත් ප්‍රශ්නයට විසඳුමක් නෙමෙයි. බලයට පත් වූ පසු ඔවුන්ට වෙනත් විකල්ප වලට යන්න වුනා.

මෙවර ජනාධිපතිවරණයට කලින් ප්‍රචාරය කෙරුණු යහපාලන ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ කතාවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ වගේම තවත් කතාවක්. ඒ කතාවට අනුව, රනිල්ට බැරි වුනත් රාජපක්ෂලාට පුළුවන්. මේ හැම කතාවක්ම සිල්ලර කතා. ටිකක් බර විදිහට කියනවානම් ඡන්දදායකයින්ගේ බුද්ධියට නිගා කරන කතා. මම මේ කරන්නේ යහපාලන ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ කතාව හෝ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වංචා හා දූෂණ පිළිබඳ කතාව ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. මා අවධානය යොමු කරන්නේ ලංකාවේ ණය අර්බුදය ඒ වගේ දේවල් වලට ලඝු කිරීමේ තිබෙන රැවටිල්ල පිළිබඳවයි.

ඒ අතින් බැලුවහම ජවිපෙ අවංකයි. ණය අර්බුදයෙන් ගොඩ යන්න වෙන්නේත් තවත් ණය ගනිමින්ම තමයි. එහෙම නැතුව මැජික් විසඳුමක් නැහැ. ඉක්මන් විසඳුමකුත් නැහැ. ආණ්ඩු බලය ලබා ගැනීමේ වැඩි ශක්‍යතාවයක් තිබෙන පක්ෂ විසින් නොකියන මේ ඇත්ත ජවිපෙ විසින් කියනවා.

ණය හා වත්කම් පිළිබඳ ජවිපෙ විග්‍රහයත් පදනමක් තිබෙන එකක්. ණය ගැනීම වැරැද්දක් හෝ නොකළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි එය එසේ වෙන්නේ ණය ගැනීමේ අවසන් ප්‍රතිඵලයක් විදිහට ශුද්ධ වත්කමක් හැදෙනවානම් පමණයි.

ණයක් කියන්නේ බැරකමක්. ඒ නිසා, ණයක් ගන්න හැම විටකම ක්ෂණිකව හා අනිවාර්යයයෙන්ම බැරකමක් හැදෙනවා. එහි හානිය වලක්වාගන්නනම් අදාළ ණය මුදල යොදවා කිසියම් වත්කමක් හදාගත යුතුයි. ඒ විදිහට හදා ගන්නා වත්කම නිසා ඇති වන ධනාත්මක බලපෑම ණය නිසා ඇති වූ සෘණාත්මක බලපෑමට වඩා වැඩිනම් මේ දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ශුද්ධ වත්කමක් ලෙස සලකන්න පුළුවන්.

අපි උදාහරණයකින් මෙය පැහැදිලි කර ගනිමු. කවුරු හෝ කෙනෙක් ණයක් අරගෙන ත්‍රිරෝද රථයක් මිල දී ගන්නවා. කල්බදු ක්‍රමයට කියමු. දැන් මේ ණය වෙනුවෙන් මාස්පතා වියදමක් දරන්න වෙනවා. පොලී මුදල් හා ණය වාරික කියමු. තව ආදායම් බලපත්‍ර, රක්ෂණ වාරික වගේ වියදමුත් එකතු වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිරෝද රථය බැරකමක්. නමුත්, ත්‍රිරෝද රථය කුලියට දීලා මාස්පතා යන වියදමට වඩා ආදායමක් හොයා ගන්න පුලුවන්නම් ඒ බැරකම ඉක්මවන වත්කමක් හැදිලා. ඒ නිසා ත්‍රිරෝද රථය ශුද්ධ වත්කමක් කියා කියන්න පුළුවන්. රටකට වුනත් මේ කතාව අදාළයි.

ණය ගන්න එකේ වැරැද්දක් නැහැ. ප්‍රශ්නය ගත් ණය වියදම් කරන්නේ කොහොමද කියන එකයි. ණය මුදල් යොදවා හදාගත් වත්කම් වල ආදායමින් ණය ගෙවාගෙන යන්න පුලුවන්නම් ගත්ත ණය රටට බරක් වෙන්නේ නැහැ. වසරින් වසර ලංකාවේ ණය ඉහළ යන්නේ ඒ විදිහට ලංකාව විසින් ගත් ණයට සරිලන වත්කම් හැදී නැති නිසයි.

ලංකාවේ රජය විසින් මේ වන විට රුපියල් ට්‍රිලියන 14 ඉක්මවන ණය ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන බව අපි දන්නවා. එම ණය ප්‍රමාණය ලංකාවේ රජයේ බැරකමක්. රජයට ණය දුන් අයගේ වත්කමක්. මේ ණය වලින් රුපියල් ට්‍රිලියන 7.2ක් දේශීය ණය. ඒ කියන්නේ රජයේ බැරකම් වලට සරිලන වත්කම් රට ඇතුළේ කවුරු හෝ සතුව තිබෙනවා. එහෙත්, ඉතිරි රුපියල් ට්‍රිලියන 6.8ට සරිලන වත්කම් ඒ අයුරින් රට ඇතුළේ නැහැ. ඒ නිසා, ඒ කොටස ලංකාවේ රජයේ බැරකමක් වනවාට අමතරව රටේ බැරකමක්ද වෙනවා.

ලංකාවේ බැරකම් වෙන්නේ ලංකාවේ රජයේ බැරකම් පමණක් නෙමෙයි. පෞද්ගලික අංශය විසින් විදේශ ණය ලබාගෙන ඇත්නම් ඒවාද ලංකාවේ බැරකම්. වත්කම්ද එසේයි. ඒ වගේම රටේ බැරකම් වෙන්නේ ණය පමණක්ම නෙමෙයි. සෘජු විදේශ ආයෝජන වගේ දේවලුත් රටේ බැරකම්. මොකද කවුරු හෝ විදේශිකයෙක් විසින් ලංකාවේ කරන ආයෝජනයක් වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ දිගින් දිගටම රටෙන් එළියට යනවා. කල්පනාකාරී වුනේ නැත්නම් සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම උගුලක අහුවීමක් වෙන්න පුළුවන්.

සමාගමක ශේෂ පත්‍රය හදනවා වගේ රටක ශේෂ පත්‍රයත් හදන්න පුළුවන්. එහි රටේ වත්කම් හා බැරකම් සටහන් වෙනවා. මේ වත්කම් හා බැරකම් සැසඳීමෙන් රටේ ශුද්ධ වත්කම් හෝ බැරකම් තත්ත්වය පරීක්ෂා කර බලන්න පුළුවන්.

කිසියම් රටක වත්කම් හා බැරකම් පහත පරිදි ලැයිස්තුගත කරන්න පුළුවන්.

1. සෘජු විදේශ ආයෝජන: විදේශිකයින් විසින් ලංකාවේ කර ඇති සෘජු ආයෝජන බැරකම් වන අතර ලාංකිකයින් විසින් විදේශ වල කර තිබෙන ආයෝජන ලංකාවේ වත්කම්.

2. කළඹ ආයෝජන: රාජ්‍ය හෝ පෞද්ගලික සුරැකුම්පත් ආදියෙහි, එසේ නැත්නම් කොටස් වෙළඳපොළෙහි කර ඇති ආයෝජන. ලාංකිකයින් විසින් වෙනත් රටවල කර තිබෙන ආයෝජන වත්කම් වන අතර විදේශිකයින් විසින් ලංකාවේ කර තිබෙන කළඹ ආයෝජන ලංකාවේ බැරකම්.

3. මූල්‍ය ව්‍යුත්පන්න: ලංකාවේ මූල්‍ය ව්‍යුත්පන්න ආයෝජන නැති තරම්.

4. වෙනත් ආයෝජන: රජය හෝ මහ බැංකුව විසින් සෘජුව ලබා ගන්නා ණය, දේශීය ව්‍යවසායකයින් විසින් ලබා ගන්නා හෝ ලබා දෙන වානිජ ණය හෝ අත්තිකාරම් ආදිය මේ යටතට වැටෙනවා. වත්කම් මෙන්ම බැරකම්ද තිබිය හැකියි.

5. නිල සංචිත: රටක නිල සංචිත එම රටේ වත්කම් වලින් කොටසක්. ඉහත අනෙකුත් අයිතමයන් මෙන් මෙයට අනුරූප බැරකමක් නැහැ.

පහත තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී ලංකාවේ ශේෂ පත්‍රයයි.

වත්කම් (ඇමරිකන් ඩොලර් මිලියන) 

සෘජු විදේශ ආයෝජන-  1,504
කළඹ ආයෝජන-                  0.1
මූල්‍ය ව්‍යුත්පන්න-                  -
වෙනත් ආයෝජන-         4,239
නිල සංචිත-                     7,534
එකතුව-                         13,277

බැරකම් (ඇමරිකන් ඩොලර් මිලියන) 

සෘජු විදේශ ආයෝජන-   12,455
කළඹ ආයෝජන-               9,946
මූල්‍ය ව්‍යුත්පන්න-                  -
වෙනත් ආයෝජන-          35,860
එකතුව-                            58,211

මේ අනුව ලංකාවේ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 58,211ක් වුවත්, වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 13,277ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 44,985ක ශුද්ධ බැරකමක්. ඉහත එක් එක් අයිතමය වෙන වෙනම ගත්තත් හැම විටම වත්කම් මෙන් කිහිප ගුණයක බැරකම් ඇති බව පැහැදිලිව පෙනෙනවා. ඉහත ශුද්ධ බැරකම් රටේ ජනගහණයෙන් බෙදුවොත් එක් අයෙකුට ඇමරිකන් ඩොලර් 2,102 ක්.

ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ රටවල් අතරින් ශුද්ධ බැරකම් වැඩිම රටයි. පහතින් තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී ඇමරිකාවේ ශේෂ පත්‍රයයි.

වත්කම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-  6.982.0
කළඹ ආයෝජන-         10,987.4
මූල්‍ය ව්‍යුත්පන්න-           3,000.5
වෙනත් ආයෝජන-        5,259.7
නිල සංචිත-                       537.5
එකතුව-                        26,767.1

බැරකම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-   8,789.8
කළඹ ආයෝජන-          19,778.4
මූල්‍ය ව්‍යුත්පන්න-            2,965.2
වෙනත් ආයෝජන-         7,311.2
එකතුව-                         38,824.6

ඇමරිකාවේ වත්කම් ප්‍රමාණය වන ඩොලර් බිලියන 26,767.1 ට සම්මුඛව ඩොලර් බිලියන 38,824.6 ක බැරකම් තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 12,057.5ක ශුද්ධ බැරකමක්. ඒ කියන්නේ එක් ඇමරිකානුවෙකුට ඩොලර් 36,500ක් පමණ. එක් ලාංකිකයෙකුට ඇමරිකන් ඩොලර් 2,100ක ශුද්ධ බැරකමක් තිබීම ප්‍රශ්නයක්නම් එක් ඇමරිකානුවෙකුට ඩොලර් 36,500ක ශුද්ධ බැරකමක් තිබීම ප්‍රශ්නයක් නොවන්නේ කොහොමද?

ඇමරිකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඩොලර් බිලියන 12,057.5ක් බව ඇත්ත. එහෙත් එය හැදී තිබෙන්නේ ඩොලර් බිලියන 26,767.1ක වත්කම් හා ඩොලර් බිලියන 38,824.6 බැරකම් වල එකතුවක් ලෙසයි. ඇමරිකාවේ ඩොලර් බිලියන 26,767.1ක වත්කම් වලින් ලැබෙන ආදායම ඩොලර් බිලියන 38,824.6 බැරකම් වෙනුවෙන් වැය කළ යුතු වියදමට වඩා වැඩියි. ඒ නිසා, ශුද්ධ වශයෙන් ඇමරිකාවේ බැරකම් වැඩි වුනත් වත්කම් හා බැරකම් වලින් ශුද්ධ ලෙස ඇමරිකාවට ආදායමක් ලැබෙනවා. මෙය ඇමරිකාවට සුවිශේෂී තත්ත්වයක්.

ඇමරිකාවේ වත්කම් හා බැරකම් වල සංයුතිය පරීක්ෂා කළ විට මේ කරුණ පැහැදිලි වෙනවා. වත්කම් හා බැරකම් අතර වෙනසට ප්‍රධානම හේතුව කළඹ ආයෝජන වල වෙනසයි. අනෙක් කොටස් සෑහෙන දුරට සමතුලිතයි. ඇමරිකාවේ බැරකම් වලින් අඩකටත් වඩා කළඹ ආයෝජන. මෙයින් සැලකිය යුතු කොටසක් විදේශිකයින් විසින් ඇමරිකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල කර තිබෙන ආයෝජන. ඒ වෙනුවෙන් ඇමරිකන් රජය විසින් ගෙවන්නේ ඉතා අඩු පොලියක්.

බොහෝ රටවල් හා අදාළව බැරකම් වලින් පිළිබිඹු වෙන්නේ බැරිකම්. බැරකම් ඉහළ ගොස් තිබෙන්නේ බැරිකම් වසා ගැනීමට ණය ඉල්ලාගෙන විදේශිකයින් වෙත යාම නිසයි. එවැනි තත්ත්වයක් යටතේ ණය ලබා ගන්න වෙන්නේ අවදානමට සරිලන විශාල පොලී අනුපාතිකයක් යටතේ.

නමුත්, ඇමරිකාවේ තත්ත්වය වෙනස්. ඇමරිකන් රජය ණය ඉල්ලාගෙන වෙනත් රටවල් වෙත ගොස් නැහැ. ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ වෙනත් රටවල් විසින් සුරක්ෂිත ආයෝජනයක් සේ සලකමින් ඇමරිකන් රජය විසින් නිකුත් කරන ණය සුරැකුම්පත් ඉල්ලාගෙන පැමිණීමයි. ඇමරිකාව එහි වාසිය ලබමින් ඉතා අඩු පොලියකට ප්‍රාග්ධනය ආකර්ශනය කර ගන්නවා. ඒ නිසා, ඇමරිකාව හා අදාළව බැරකම් කියා කියන්නේ බැරිකම් නෙමෙයි. පුළුවන්කම්.

ඇමරිකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් ප්‍රමාණයෙන් 69%ක් පමණයි. එසේ වුවත්, බැරකම් වෙනුවෙන් ඇමරිකාව වැය කරන මුදල වත්කම් වලින් උපයන ආදායමට වඩා අඩු මට්ටමක තිබෙන්නේ මේ පොලී අනුපාතික වෙනස නිසයි.

ලංකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ බැරකම් ප්‍රමාණයෙන් 22.8%ක් පමණයි. එයින් වැඩි කොටසක් නිල සංචිත. නිල සංචිත ආයෝජනය කරන්නේ සුරක්ෂිතතාවට ප්‍රමුඛතාවය දෙමින් නිසා එයින් විශාල පොලී ආදායමක් ලැබෙන්නේ නැහැ. ඉතිරි කොටස වාණිජ බැංකු වල සංචිත හා සමාගම් විසින් ලබා දී ඇති වාණිජ අත්තිකාරම්. ඒවායින්ද සැලකිය යුතු පොලී ආදායමක් ලැබෙන්නේ නැහැ. එහෙත්, බැරකම් වලින් සෑහෙන ප්‍රමාණයක් ස්වෛරීත්ව බැඳුම්කර විකුණා ලබාගෙන තිබෙන ණය. ඒ වෙනුවෙන් සැලකිය යුතු පොලී වියදමක් දරන්න වෙනවා. ලංකාවේ බැරකම් ප්‍රමාණය වත්කම් ප්‍රමාණය මෙන් හතර පස් ගුණයක් වීමට අමතරව බැරකම් වෙනුවෙන් වැඩි පොලී අනුපාතිකයක් ගෙවන්න සිදු වීමේ අවාසියද ලංකාවට තිබෙනවා.

කවුරු ආණ්ඩු කළත් ලංකාව පැටලී සිටින ණය උගුලෙන් අවුරුදු හතර පහකින් ගොඩ යන්න බැහැ. ගොඩ යන තුරු තව තවත් ණය ගන්න වෙනවා. උගුලෙන් ගොඩ යනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ගන්න ණය ආයෝජනය කරන්නේ කොහොමද කියන එක මතයි.

Wednesday, July 8, 2020

මාස හතරට ට්‍රිලියනයකින් ණය වැඩි වෙලා!


මේ වසරේ පළමු මාස හතර තුළ පමණක් ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, 2019 වසර අවසානයේදී රුපියල් බිලියන 13,031.5ක් වූ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය 2020 අප්‍රේල් මාසය අවසන් වෙද්දී රුපියල් බිලියන 14,024.7ක් වෙලා.

රජයේ දේශීය ණය වගේම විදේශීය ණයත් මේ කාලය ඇතුළත ඉහළ ගොස් ඇති බව පෙනෙනවා. දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,217.7 දක්වා 8.9%කින්ද, විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,807.1 දක්වා 6.3%කින්ද ඉහළ ගොස් තිබෙනවා.

ලංකාවේ රාජ්‍ය ණය වසරින් වසර ඉහළ යාම සාමාන්‍ය දෙයක්. එහෙත්, මාස හතරක් ඇතුළත රුපියල් ට්‍රිලියනයකින් රාජ්‍ය ණය ඉහළ යාම වාර්තාගත වෙනසක්. පසුගිය 2019 වසර ආරම්භයේදී රුපියල් බිලියන 12,030.5ක් වූ ලංකාවේ රාජ්‍ය ණය රුපියල් බිලියන 13,031.5 දක්වා රුපියල් ට්‍රිලියනයකින් වැඩි වීමට වසරක් ගත වුනත් එම ණය ප්‍රමාණය තවත් රුපියල් ට්‍රිලියනයකින් ඉහළ යාමට ගත වී තිබෙන්නේ මාස හතරක් පමණයි.

ඉහත ණය මුදල රටේ ජනගහණයෙන් බෙදූ විට පෙනෙන පරිදි ලංකාවේ රජය විසින් එක් වැසියෙකු වෙනුවෙන් රුපියල් 655,000ක් මේ වන විට ණය වී තිබෙනවා.


Wednesday, June 24, 2020

ලෝක බැංකුවෙන් තවත් කෝටි 1600ක ණයක්!


ලෝක බැංකුව විසින් කෝවිඩ්-19 හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති පෙරසූදානම් ව්‍යාපෘතිය යටතේ ලංකාවට තවත් ඇමරිකන් ඩොලර් මිලියන 87.24ක හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 1626.6ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. මේ ණය මුදල ලැබෙන්නේ මීට පෙර අප්‍රේල් 2 වනදා ශ්‍රී ලංකාව විසින් ලෝක බැංකුවෙන් ලබාගත් ඇමරිකන් ඩොලර් මිලියන 128.60ක ණය මුදලට අමතරවයි.

ශ්‍රී ලංකා රජය විසින් මේ අලුත් ණය ලබා ගෙන තිබෙන්නේ කෝවිඩ්-19 වැළඳීමේ වැඩි අවදානමක් ඇති පිරිස් වලට මුදල් සහනාධාර ලබා දීමට හා රටේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහායි. කාන්තා හා ළමා කටයුතු හා සමාජ සංරක්ෂණ අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතියේ එක් කොටසක් ක්‍රියාත්මක කරනු ඇති අතර සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යාංශය විසින් අනෙක් කොටස ක්‍රියාත්මක කරනවා.

ලෝක බැංකුවට ඉදිරිපත් කර තිබෙන ව්‍යාපෘති විස්තරය අනුව කාන්තා හා ළමා කටයුතු හා සමාජ සංරක්ෂණ අමාත්‍යාංශය විසින් මුදල් වැය කරන්නේ පහත කටයුතු සඳහායි.

-  කෝවිඩ්-19 අර්බුදය හමුවේ මෙතෙක් ආධාර මුදල් නොලැබී පොරොත්තු ලේඛනයේ සිටින ආධාර හිමි විය යුතු අඩු ආදායම්ලාභී නිවාස ඒකක වල ජීවත්වන අයදුම්කරුවන්ට හා අලුතින් අයදුම් කරන වයස්ගත පුද්ගලයින්, ආබාධිත පුද්ගලයින්, නිදන්ගත වකුගඩු රෝගය ඇතුළු නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට සහනාධාර මුදල් ලබා දීම.

- ජ්‍යෙෂ්ඨ පුරවැසි සහනාධාර වැඩ සටහන යටතේ දැනටමත් ආධාර ලබන අයගේ ආධාර මුදල් තාවකාලිකව වැඩි කිරීම.

සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‍සේවා අමාත්‍යාංශය විසින් මුදල් වැය කිරීමට බලාපොරොත්තු වන දේ අතර පහත අයිතමයන් ඇතුළු තවත් දේවල් තිබෙනවා.

- කෝවිඩ්-19 සම්බන්ධීකරණ කටයුතු සඳහා ජාතික මට්ටමේ හදිසි මෙහෙයුම් මධස්ථානයක් ස්ථාපිත කිරීම.
- කෝවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම, රෝග නිවාරණ උපදෙස් ලබා දීම හා සබඳතා හඹා යාම පිළිබඳව වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය සේවකයින් හා වින්නඹු මාතාවන් පුහුණු කිරීම.
- සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම හා සනීපාරක්ෂක කටයුතු ක්‍රියාත්මක කිරීම.
- ස්වයං-නිරෝධායනය වී සිටින පිරිස් ඇතුළු අනෙකුත් අයට සනීපාරක්ෂනය සඳහා අවශ්‍ය දේ සැපයීම
- නිරෝධායන පහසුකම් වැඩි කිරීම

මේ ණය මුදල ආපසු ගෙවිය යුත්තේ වසර 30ක කාලයකින් වන අතර පළමු වාරිකය ගෙවිය යුත්තේ වසර 5කට පසුවයි. ඒ නිසා, ණය ආපසු ගෙවීම අනාගත ආණ්ඩු වලට භාර කටයුත්තක්.

(Image: https://yukthiyanews.com/archives/830)

Saturday, December 21, 2019

බදු අඩු කළා කිවුවට එච්චරම නැතිලු!


පෙරේදා (දෙසැම්බර් 18) ෆිච් රේටින් සමාගම විසින් ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර වල ශ්‍රේණිගත කිරීම් ඉදිරි දැක්ම  B ස්ථායී තත්ත්වයේ සිට B සෘණ තත්ත්වය දක්වා පහත දැම්මා. එයින් කියැවෙන්නේ ඉදිරි කාලයේදී මේ බැඳුම්කර වල අවදානම් ශ්‍රේණිය B මට්ටමෙන් පහතට වැටෙන්න ඉඩ තිබෙන බවයි. මෙය ලංකාවට ඉදිරි කාලයේදී ජාත්‍යන්තර වෙළඳපොළෙන් වාණිජ ණය ලබා ගැනීම වඩා අසීරු කරනවා.

ෆිච් රේටින් සමාගම මේ තීරණයට එළැඹ තියෙන්නේ රජය විසින් මෑතකදී ලබා දුන් බදු සහන හේතුවෙන් රාජ්‍ය ආදායම අඩුවී ඉදිරි කාලයේදී අයවැය හිඟය කලින් සැලසුම් කර තිබුණු මට්ටම ඉක්මවා පුළුල් වීමට තිබෙන ඉඩකඩ සලකා බලමිනුයි. මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (දෙසැම්බර් 19) රජය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් මේ තීරණයට එරෙහිව කරුණු දක්වා තිබෙනවා. එම නිවේදනයෙන් පෙන්වා දෙන්න උත්සාහ කර තිබෙන්නේ ලබා දුන් බදු සහන ගණනාවක්ම නැවත වෙනත් අයුරකින් ආපසු ලබා ගන්නා නිසා රාජ්‍ය ආදායම් වලට විශාල බලපෑමක් සිදු නොවන බවයි. එම නිවේදනයෙහි පහත කරුණු වලට අවධානය යොමු කර තිබෙනවා.

- මූල්‍ය සේවා සඳහා වැට් බද්ද අඩු නොකර 15% මට්ටමේම තිබෙනවා

- දුම්වැටි හා මත්පැන් සඳහා වන විශේෂ බද්ද වැඩි කර ඇති නිසා දුම්වැටි හා මත්පැන් සඳහා වැට් බද්ද අඩු වීමේ අවාසිය සමනය වෙනවා

- ආනයන සඳහා වූ ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කළත්, වරාය හා ගුවන් තොටුපොළ බද්ද වැඩි කර ඇති නිසා එම ආදායම වෙනත් ආකාරයකින් ලැබෙනවා

- උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළත් ඉහළ ආදායම් මට්ටමකදී ඒ වෙනුවට ආදායම් බදු ගෙවිය යුතුයි

- රඳවා ගැනීමේ බද්ද ඉවත් කළත් එය ආදායම් බදු සේ ගෙවිය යුතුයි

මේ ආකාර වලින් අහෝසි කළ හා අඩු කළ බදු වල පාඩුව වෙනත් අයුරකින් එකතු වන නිසා 2020 වසරේ රජයේ අයවැය හිඟය ෆිච් රේටින් ආයතනය විසින් ඇස්තමේන්තු කර තිබෙන දදේනියෙන් 6.5% මට්ටමට වැඩි වන්නේ නැති බවත්, එය වැඩි වන්නේ දදේනියෙන් 5.5% මට්ටම දක්වා පමණක් බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ සමඟ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක ළඟා කර ගනු ඇති බවද මුදල් අමාත්‍යාංශය පවසනවා.

කෙසේ වුවත්, ෆිච් රේටින් ආයතනයේ පුවත් නිවේදනය අනුව පෙනී යන්නේ එම ආයතනය විසින් අදාළ තීරණය ගැනීමට පෙර ඉහත සියලු කරුණු සලකා බලා තිබෙන බවයි.

(Image: https://siteselection.com/cc/missouri/2018/tax-reform-and-tax-policy-show-me-the-tax-cuts.cfm)

Thursday, December 19, 2019

බඩු මිල, බදු හා උද්ධමනය


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී දැන් මාසයක් වෙනවා. මේ කාලය ඇතුළත අලුත් ආණ්ඩුව විසින් කළ කී දේ වලින් චම්පික රණවකව අත් අඩංගුවට ගන්නා තුරු වැඩිපුරම කතා බහට ලක් වුනේ බදු අඩු කිරීමයි. බදු අඩු කිරීම නිසා අලුත් ආණ්ඩුව විසින් කෙටිකාලීනව වගේම දිගුකාලීනවත් විශාල පාඩුවක් කර ගෙන අවසන්. නමුත්, ඒ පාඩුවට හරියන වාසියක් ආණ්ඩුවට ලැබී ඇති බවක් පෙනෙන්නේ නැහැ.

රාජපක්ෂ පවුල ඇතුළේ ආර්ථික විශේෂඥයින් නැහැ. රාජපක්ෂලාට බදු අඩු කරන්න උපදෙස් දෙන්න ඇත්තේ ඔවුන් වටා ඉන්න ආර්ථික විශේෂඥයින් විය යුතුයි. පසුගිය ආණ්ඩුව බදු අනුපාතික විශාල ලෙස වැඩි කළා. ඒ හේතුව මත රනිල්ව බොහෝ විට සමච්චලයට ලක් වුනා. එහෙත්, රනිල්ගේ බදු ගැන විවේචන ප්‍රචාරණය කළේ පොදුජන පෙරමුණේ හා ජවිපෙ පාක්ෂිකයින් විසිනුයි. ඒ හැර සාමාන්‍ය ජනතාව අතර ඇත්තටම බදු විරෝධයක් ඇති වී තිබුණේ නැහැ. පැවති ආණ්ඩුවට බොහෝ දෙනෙකුගේ තිබුණු අකැමැත්ත ප්‍රකාශ කිරීමේදී බදු ගැහීම ගැනත් විවේචන කළත්, රනිල්ගේ බදු නිසා ඇත්තටම බඩු මිල මිනිස්සුන්ට දැනෙන තරමට වැඩි වී තිබුණේ නැහැ.

මිනිස්සුන්ට බඩු මිල ප්‍රශ්නයක් වී නොතිබුණු නිසාම බදු කැපිල්ලත් මිනිස්සුන්ට ලොකුවට දැනී නැහැ. ඇත්තටම බදු කැපුවා කියා බඩු මිල අඩු වෙලත් නැහැ. බොහෝ ආහාර ද්‍රව්‍ය වල මිල පසුගිය මාසය තුළ වැඩි වී මිස අඩු වී නැහැ. එසේ මිල වැඩි වීමට ප්‍රධාන හේතුව බදු කැපීම කියා කියන්න පුළුවන්කමක් නැතත්, බදු අඩු කිරීම නිසා බඩු මිල අඩු වී නැති බවනම් පැහැදිලියි. ගෝඨාභය රාජපක්ෂටම හාල් කඩ ගානේ රස්තියාදු වෙන්න වී තිබීමෙන් පේන්නේ වැඩේ හරි නොගිය බව ඔහුටත් තේරී ඇති බවයි.

උද්ධමනය හා ජීවන වියදම කියන්නේ එකම දේ නෙමෙයි. ආර්ථික විද්‍යාඥයින් උද්ධමනය ලෙස හඳුන්වන්නේ භාණ්ඩ හා සේවා වල වටිනාකමට සාපේක්ෂව රටේ මුදල් ඒකකයේ වටිනාකම අඩු වීමටයි. ඒ නිසා, ලංකාවේ උද්ධමනය රුපියල් වලින් ගනුදෙනු කරන කාටත් එක සේ දැනෙනවා. නමුත්, ජීවන වියදම කියන එක එක් එක් පුද්ගලයාගේ ජීවන විලාසිතා මත තීරණය වන දෙයක්. බෝංචි කිලෝවක් රුපියල් දාහට ගියත් බෝංචි නොකන කෙනෙකුගේ ජීවන වියදමට එය බලපාන්නේ නැහැ. එහෙත්, එය ඔහුගේ හෝ ඇයගේ අතේ තිබෙන රුපියල් වල වටිනාකමට බලපානවා.

සැපයුම් සාධක මත තාවකාලිකව බෝංචි මිල හෝ රතු ළූණු මිල ඉහළ ගියා කියා රටේ උද්ධමනය වැඩි වෙන්නේ නැහැ. උද්ධමනය වැඩි වෙන්නේ රටේ මුදල් සැපයුම වැඩි කළ විටයි. රටේ සෑම භාණ්ඩයකම හා සේවාවකම මිල ගණන් පරීක්ෂා කරන එක පහසු දෙයක් නොවන නිසා, උද්ධමනය මැනීම සඳහා යොදා ගන්නා මිල දර්ශකයක තිබෙන්නේ තෝරා ගත් භාණ්ඩ හා සේවා දෙතුන් සීයක් පමණයි. නමුත්, උද්ධමනය කියන සංකල්පයෙන් අදහස් වෙන්නේ මේ භාණ්ඩ දෙතුන් සීයේ මිල නෙමෙයි. රජයකට තෝරාගත් භාණ්ඩ වල මිල ටින්කරින් කරන්න පුළුවන් වුනත්, හොර පාරෙන් උද්ධමනය අඩු කරන්න බැහැ.

බදු අඩු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට රටේ මිනිස්සු අතේ රැඳෙන මුදල් ප්‍රමාණය ඉහළ ගියත්, රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සමානුපාතිකව ඉහළ යන්නේ නැහැ. ඒ නිසා, මිනිස්සුන්ගේ ආදායම් වැඩි වූ විට වැඩි වැඩියෙන් මිල දී ගන්න පෙළඹෙන භාණ්ඩ හා සේවා වල මිල මුලින්ම ඉහළ යනවා. මේ බොහෝ භාණ්ඩ ආනයනික භාණ්ඩ නිසා බදු අඩු කිරීමේ ප්‍රතිඵලය රටේ ගෙවුම් ශේෂයට නරක විදිහට බලපානවා. විණිමය අනුපාතිකය මත පීඩනය වැඩි වෙනවා.

උදාහරණයක් විදිහට උපයන විට ගෙවීමේ බද්ද ගත්තොත් මේ බද්ද අහෝසි කිරීමේ වාසිය ලැබුණේ රටේ මැදි ආදායම් ලබන ස්ථරයකට. මේ අය නොකා නොබී බඩගින්නේ සිටි අය නොවන නිසා හාල් පොල් ඉල්ලුම අමුතුවෙන් වැඩි වෙන්නේ නැහැ. නමුත්, දේශීය නිෂ්පාදන වලින් අළුත් මාළු, කුකුළු මස්, කැරට් බෝංචි වගේ "පොෂ්" එළවළු, බාස්මතී වගේ මිල අධික හාල් ආදියට ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම, චීස්, බටර්, කිරිපිටි වගේ ආනයනික ආහාර ඉල්ලුමත්, පෞද්ගලික වාහන සඳහා ඉන්ධන ඉල්ලුමත්, මත්පැන් ඉල්ලුමත් වැඩි වෙන්න පුළුවන්. මේ උදාහරණ කිහිපයක්. ආනයනික ද්‍රව්‍ය වලට ඉල්ලුම වැඩි වෙද්දී ආනයන වැඩි වැඩියෙන් රටට එන නිසා සැපයුමේ අඩුවක් සිදු නොවුණත් අළුත් මාළු, එළවලු වගේ දේවල් වල සැපයුම වැඩි නොවන නිසා මිල ඉහළ යාම වලක්වන්න අමාරුයි.

අයහපත් කාලගුණ තත්ත්වයක් නිසා මාළු සැපයුම අඩු වූ වහාම මේ කරුණ පැහැදිලිව පෙනෙයි. සැපයුම අඩුවෙන කොට කොහොමටත් මාළු මිල වැඩි වෙනවා තමයි. නමුත්, රටේ මුදල් සංසරණය වැඩි වී තිබෙන වෙලාවක මේ බලපෑම ගොඩක් වැඩියි. මොකද මිල ඉහළ ගියත් මාළු ගන්න අය ඉන්නවා. බෝංචි මිලට වුනත් යම් තරමකින් සිදු වී තියෙන්නේ මේ සන්තෑසියම තමයි.

අවසාන වශයෙන් මුළු පීඩනයම එන්නේ විණිමය අනුපාතිකයට. අයවැය හිඟය පුළුල් වෙමින් තියෙද්දී ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරලා මුදල් එකතු කරන එකත් වඩා අමාරු වෙනවා. පහුගිය ආණ්ඩුවත් මුලදීම රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරලා මේ වගේම අමාරුවක වැටුණා. ඉන් පසුව, බදු වැඩි කරන්න සිදු වුනේ ඒ වැටුණු වලෙන් ගොඩ යන්නයි.

Wednesday, December 18, 2019

බදු අඩු කිරීම හා එළවළු මිල

මේ දවස් වල එළවලු වර්ග ගණනාවක මිල ඉහළ ගිහින්. මහ බැංකුවේ දත්ත අනුව ඊයේ (දෙසැම්බර් 17) පිටකොටුවේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 390ක්. එම දත්තම අනුව, හරියටම වසරකට පෙර (2018 දෙසැම්බර් 17) පිටකොටුවේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 210ක් පමණයි. බෝංචි කිලෝවක් හිටිවනම මේ තරම් ගණන් ගිහින් තියෙන්නේ ඇයි?

බෝංචි මේ තරම් ගණන් ගිහින් තියෙන්නේ තාවකාලික සැපයුම් ප්‍රශ්නයක් නිසා මිසක් ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්ති නිසා නෙමෙයි. අයහපත් කාලගුණය හෝ වෙනත් හේතුවක් නිසා බෝංචි සැපයුම අඩු වී තිබෙන බව පේනවා. ඉල්ලුම නොවෙනස්ව තිබියදී සැපයුම අඩු වුණාම මිල ඉහළ යනවා. ගෝඨාභය රජ වීමෙන් පසුව ස්වයංජාත බෝංචි පහළ වුනානම් සැපයුම ඉහළ ගිහිං මිල අඩු විය හැකිව තිබුණා. නමුත්, එහෙම වුනේ නැහැනේ. කාලගුණය යහපත් වී බෝංචි සැපයුම නැවත මුල් තත්ත්වයට පැමිණි විට මිලත් අඩු වෙයි.

නිදහස් වෙළඳපොළේ බෝංචි මිල තීරණය වන ආකාරය ගැන ලිපියක් මා ඊයේ අනෙක් පැත්තේ ලියා පළ කළා.

බෝංචි ගණන් වැඩිද?

එම ලිපියේ මා ඉදිරිපත් කර තිබෙන උදාහරණයේ බෝංචි ඉල්ලුම හැදෙන්නේ තනි පුද්ගලයින් 15 දෙනෙකු විසින් බෝංචි කිලෝවකට ගෙවන්න කැමති උපරිම මිල මතයි.

අමල් - 1000
බිමල් - 700
චමල් - 550
දයාල් - 500
එමිල් - 450
ෆසල් - 420
ගයාන් - 400
හසන් - 390
ඉයන් - 375
ජෙයන් - 350
කෙවින් - 320
ලොහාන් - 300
මෝහන් - 280
නුවන් - 250
ඔෂාන් - 220

එක් එක් පුද්ගලයා විසින් බෝංචි කිලෝවකට ගෙවන්න කැමති උපරිම මිල සමාන නොවී මේ ආකාරයට වෙනස් වෙන්නේ මිනිසුන්ගේ රුචිකත්වයන් වගේම ආදායම් මට්ටමුත් වෙනස් නිසා. ලොහාන්ට සල්ලි තිබුණත් ඔහු බෝංචි වලට එතරම් කැමති නැති නිසා කිලෝවකට රුපියල් 300කට වඩා ගෙවන්න කැමති නොවනවා විය හැකියි. නුවන් බෝංචි වලට කැමති වුවත්, අතේ තිබෙන මුදලින් හාල් පොල් මිල දී ගැනීම ඔහුගේ ප්‍රමුඛතාවය නිසා බෝංචි කිලෝවකට රුපියල් 250කට වඩා නොගෙවනවා විය හැකියි. අමල්ට උතුරන්න සල්ලි තිබෙන නිසා ඔහු බෝංචි වලට මහා ලොකු කැමැත්තක් නැතත් කිලෝවකට රුපියල් 1000ක් ගෙවන එක ගැන දෙවරක් නොහිතනවා විය හැකියි.

හේතු මොනවා වුවත් වැදගත් කරුණ වන්නේ මෙහි සඳහන් එක් එක් පුද්ගලයා විසින් බෝංචි කිලෝවක් වෙනුවෙන් ගෙවන්න කැමති උපරිම මිල මෙහි තිබෙන මුදල බවයි. බෝංචි වල ඉල්ලුම් වක්‍රය හැදෙන්නේ මේ විදිහට එක් එක් පුද්ගලයා විසින් බෝංචි කිලෝවක් වෙනුවෙන් ගෙවන්න කැමති උපරිම මිල ගණන් වලිනුයි. මිල රුපියල් 1000ක් නම් ඉල්ලුම කිලෝවක් පමණයි. නමුත්, මිල රුපියල් 700 දක්වා අඩු වූ විට ඉල්ලුම කිලෝ 2 දක්වාත්, මිල රුපියල් 550 දක්වා අඩු වූ විට ඉල්ලුම කිලෝ 3 දක්වාත් ආදී වශයෙන් ඉහළ යනවා. මිල අඩු වෙද්දී බෝංචි වැනි බොහෝ පාරිභෝගික භාණ්ඩ වල ඉල්ලුම ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයයි.

         මිල    ඉල්ලුම
1000 1
700 2
550 3
500 4
450 5
420 6
400 7
390 8
375 9
350 10
320 11
300 12
280 13
250 14
220 15

මේ දත්ත අනුව බෝංචි වල ඉල්ලුම් වක්‍රය පහත ආකාරයේ පහළට නැඹුරු වූ එකක්.


බෝංචි කිලෝවක වෙළඳපොළ මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලනය වීම මතයි. කිසියම් නිශ්චිත සතියක බෝංචි සැපයුම තීරණය වන්නේ කාලගුණ සාධක වැනි කරුණු මතයි. මිල වැඩි වුනා කියා සැපයුම ක්ෂණිකව වැඩි වෙන්නේ නැහැ. මිල අඩු වුනා කියා සැපයුම ක්ෂණිකව අඩු වෙන්නේත් නැහැ. මිල කුමක් වුවත් හිටවා ඇති බෝංචි වැල් වල බෝංචි හැදෙනවා. ඒ නිසා, කෙටිකාලීනව බෝංචි වල සැපයුම් වක්‍රය සිරස් රේඛාවකට ආසන්න එකක්.


කිසියම් සතියක බෝංචි සැපයුම කිලෝග්‍රෑම් 12ක්නම් සමතුලිත මිල රුපියල් 300ක් වෙනවා. සැපයුම කිලෝග්‍රෑම් 7ක්නම් සමතුලිත මිල රුපියල් 400ක් වෙනවා. වාසුදේව යෝජනා කර තිබෙන "සමාජවාදී" විසඳුමෙන් මේ සමතුලිතතාවය වෙනස් කරන්න බැහැ. (ප්‍රශ්න තිබේනම් අහන්න. පැහැදිලි කරන්නම්.)

බදු අඩු කිරීම බෝංචි මිලට බලපාන්නේ කොහොමද?

බදු අඩු කිරීම නිසා මිනිස්සුන්ගේ අතේ පෙර තත්ත්වයට සාපේක්ෂව මුදල් ඉතිරි වීමක් සිදු වෙනවා. මිනිස්සුන්ට තමන් කලින්ට වඩා ටිකක් පෝසත් වුනා කියා දැනෙනවා. එවිට කලින්ට වඩා ටිකක් අත දිග හැර වියදම් කරන්න පෙළඹවීමක් ඇති වෙනවා. බෝංචි වලට තිබෙන කැමැත්ත වැඩි වී නැතත් බෝංචි වලට සාපේක්ෂව මුදල් වල වටිනාකම අඩු වී තිබෙන නිසා බෝංචි කිලෝවක් වෙනුවෙන් කලින් ගෙවුවාට වඩා මුදලක් ගෙවන්න කැමැත්තක් ඇති වෙනවා. බදු අඩු කිරීමෙන් පසුව කලින් උදාහරණයේ එක් එක් පුද්ගලයා බෝංචි කිලෝවක් වෙනුවෙන් ගෙවන්න සූදානම්ව සිටි උපරිම මිල පහත ආකාරයට වෙනස් වෙනවා.

අමල් - 1200
බිමල් - 850
චමල් - 650
දයාල් - 550
එමිල් - 500
ෆසල් - 475
ගයාන් - 450
හසන් - 425
ඉයන් - 400
ජෙයන් - 375
කෙවින් - 350
ලොහාන් - 325
මෝහන් - 300
නුවන් - 275
ඔෂාන් - 250

ඒ එක්කම වෙළඳපොළේ බෝංචි වල ඉල්ලුම් වක්‍රයත් වෙනස් වෙනවා. ආර්ථික විද්‍යා භාෂාවෙන් කියනවානම් දකුණට විතැන් වෙනවා. නිල් පාටින් තියෙන්නේ අලුත් ඉල්ලුම් වක්‍රය. දැන් සමතුලිත මිලට වෙන්නේ කුමක්ද? සැපයුම කිලෝග්‍රෑම් කීයක් වුවත් සමතුලිත මිල කලින් මිලට වඩා වැඩියි. කිසියම් සතියක බෝංචි සැපයුම කිලෝග්‍රෑම් 12ක්නම් සමතුලිත මිල රුපියල් 325ක් වෙනවා. සැපයුම කිලෝග්‍රෑම් 7ක්නම් සමතුලිත මිල රුපියල් 450ක් වෙනවා.


බදු අඩු කිරීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම වගේ ක්‍රම වලින් ආර්ථිකය උත්තේජනය කළ විට වෙන්නේ ඔයාකාරයට භාණ්ඩ හා සේවා වලට තිබෙන ඉල්ලුම වැඩි වී මිල ඉහළ යන එකයි. මේ විදිහට මිල ඉහළ ගිය විට නිෂ්පාදකයින්ගේ ලාබ ඉහළ යන නිසා අලුත් නිෂ්පාදකයින් එකතු වී නිෂ්පාදනය ඉහළ ගොස් සැපයුමද වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය එසේ සිදු වුවහොත් නැවතත් මිල පහතට වැටෙනවා. නමුත්, එය එසේ වෙන්නේ නිෂ්පාදන ධාරිතාවක් රටේ තිබියදී ප්‍රමාණවත් ඉල්ලුමක් නැති කමින් නිෂ්පාදනය අඩාල වී තිබේනම් පමණයි. එසේ නොවේනම් අන්තිමේදී වෙන්නේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම පමණයි.

බෝංචි නිෂ්පාදනය හා අදාළව කතා කරනවානම් දැන් බෝංචි මිල වැඩි වී තිබෙන නිසා මෙතෙක් කල් තමන්ගේ ගොවිපොළට නොගොස් ගෙදරට වී සිටි බෝංචි ගොවියෝ රාජ්‍යමූල්‍ය උත්තේජනයෙන් පසුව දැන් නැවතත් බෝංචි නිෂ්පාදනය ආරම්භ කළ යුතුයි. ප්‍රශ්නය තියෙන්නේ එහෙම ගෙදරට වී සිටි බෝංචි ගොවීන් ලංකාවේ හිටියාද? සාමාන්‍යයෙන් බෝංචි වගා කළ වගා බිම් බෝංචි වලට ඉල්ලුමක් නැතිකම නිසා අත් හැර දමනු ලැබ තිබුණාද? එහෙම නැත්නම් වගා නොකරන බෝංචි ගොවීන් කියන්නේත් "කිසිදා ඡන්ද පොළට නොයන එජාප ඡන්දදායකයින්" වගේ පිරිසක්ද?

කිසිදා ඡන්ද පොළට නොයන එජාප ඡන්දදායකයින් ඡන්ද පොළට යවා දිනන්න බලා සිටි සජිත්නම් බර ගාණක් ණය වෙලා කියා ආරංචියි. බදු අඩු කිරීමේ ප්‍රතිඵලය ඊට වඩා වෙනස් එකක් වෙයිද?

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...