වෙබ් ලිපිනය:

Friday, April 2, 2021

වසරක සිර දඬුවම


මාර්තු ඉවර වෙලා අප්‍රේල් ආවා. මාර්තු මාසය මා වසරක සිර දඬුවමකින් නිදහස ලැබූ මාසය. මෙය ස්ව කැමැත්තෙන් ලබාගත් සිර දඬුවමක්. හරියටමනම් නිවාස අඩස්සිගත වීමක්. පසුගිය වසරේ මාර්තු මැද සිට මේ වසරේ මාර්තු මැද දක්වා හරියටම වසරක කාලයක් තුළ මා ගෙදරින් එළියට බැස්සේ ඉතාම සීමිත වාර ගණනක් පමණයි.

මේ වෙද්දී අපේ ප්‍රාන්තයේ වයස අවුරුදු 16ට වැඩි ඕනෑම කෙනෙකුට තමන් කැමති තැනකින් නොමිලේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නතක් ලබා ගත හැකියි. වයස අවුරුදු 18 ඉක්මවූ ඕනෑම කෙනෙකුට පයිසර්-බයෝඑන්ටෙක්, මොඩර්නා හා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් තුනෙන් කැමති එකක් කැමති තැනකින් ලබා ගත හැකියි. එහෙත් කිසිවකු විසින් අනිවාර්යයෙන් එන්නතක්  ලබා ගත යුතු නැහැ. 

ප්‍රාන්ත රජය විසින් ස්ථාන ගණනාවකම එන්නත් ලබා දෙනවා. ඒ වගේම ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාල කිහිපයකම පිහිටි ෆාමසි වලින්ද එන්නත් ලබා දෙනවා. මේ තැන් වල මේ වන විට පරීක්ෂා කර බලන්නේ වයස පමණයි. එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රාන්ත වැසියෙකු වීම, වීසා තත්ත්වය හෝ රක්ෂණ ආවරණයක් තිබීම අවශ්‍ය කරුණක් නෙමෙයි. මෙවැනි තැනක් පයින් යන දුරකින් හොයා ගන්න බැරි කමක් නැහැ. ඊට අමතරව සරසවි හා වෙනත් පෞද්ගලික ආයතන වල එම ආයතන වලට සම්බන්ධ අයට එන්නත් ලබා දෙනවා. කිසිදු තැනක එන්නත් වෙනුවෙන් හෝ එන්නත් ලබා දීම වෙනුවෙන් මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. 

එන්නත් සම්බන්ධව තේරීමක් තිබීම ඉතා හොඳ දෙයක්. එන්නත් තුන අතරින් මගේ වැඩිම මනාපය තිබුණේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නතටයි. මා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගනිද්දී ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත අනුමත වී ගතව තිබුනේ දින කිහිපයක් පමණයි. ඉතිරි එන්නත් දෙක මිලියන ගණනක ඇමරිකානුවන් විසින් ලබා ගෙන තිබුණා. ඒ දෙක අතරින් පයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලෝකය පුරා විශාල පිරිසක් විසින්ද ලබා ගෙන තිබුණා. මොඩර්නා එන්නත පයිසර්-බයෝඑන්ටෙක් එන්නතට සාපේක්ෂව ඇමරිකාවෙන් පිටත විශාල ලෙස භාවිතා වී තිබුණේ නැහැ. මීට අමතරව මොඩර්නා එන්නත ලබා ගත්තානම් දෙවන මාත්‍රාව ලබා ගැනීමට වැඩිපුර සතියක් ඉන්න වෙනවා.

මා මෙසේ සිතුවත් එක් මාත්‍රාවකින් වැඩේ කෙළවරක් වන නිසා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතට වැඩි මනාපයක් දැක්වූ අය වගේම විවිධ හේතු මත මොඩර්නා එන්නතට වැඩි මනාපයක් දැක්වූ අයත් හිටියා. ඒ වගේම බොහෝ දෙනෙක් විසින් මුලින්ම ලබා ගත හැකි එන්නත හොඳම එන්නත ලෙස සැලකුවා. දැන් වුවත් තමන් කැමති එන්නත තමන් කැමති තැනින්ම ලබා ගන්නනම් දවස් හෝ සති ගණනක් බලා ඉන්න සිදු විය හැකි වුවත් තමන් කැමති එන්නත ඉක්මණින් ලබා ගත හැකි තැනක් ප්‍රාන්තයේ කොහෙන් හෝ හොයා ගන්න බැරිකමක් නැහැ. මා එන්නත් ලබා ගත්තේද පයින් යන දුරක තැනකින් නෙමෙයි. මිනිත්තු 15ක් පමණ කාලයක් ගෙවා යා යුතු අල්ලපු ගමේ තැනකින්.

දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව එන්නත ලබා දුන් හෙදිය අදාළ තොරතුරු පරිගණකයට ඇතුළු කරන තුරු මිනිත්තු දෙකක් මාව රස්තියාදු කරන්න සිදු වීම පිළිබඳව සමාව අයැද සිටියා. මා ඇයට කිවුවේ එන්නත ලබා ගන්න අවුරුද්දක් බලා සිටි මට මිනිත්තු දෙකක් රස්තියාදු වෙන්න සිදුවීම දැනෙන දෙයක් නොවන බවයි.

එන්නතක් වැඩි දියුණු කෙරෙන තුරු, අනුමත කෙරෙන තුරු හා ලබා ගැනීමට ඉඩක් ලැබෙන තුරු මා හරියටම වසරක් බලා හිටියා. යම් හෙයකින් තේරීමක් නොතිබුණානම් මේ එන්නත් තුන අතරින් ලැබෙන කවර හෝ එන්නතක් ලබා ගන්න මා පැකිලෙන්නේ නැහැ. මේ වන තුරුද ඇමරිකාවේ අනුමත වී නැති ඇස්ට්‍රසෙනිකා එන්නත අනුමත වී තිබුණානම් මා එය වුවත් පැකිලීමක් නොමැතිව ලබා ගන්නවා. ඒ වගේම එන්නත් නොමිලේ ලබා නොදුන්නානම් එන්නතක මිල ගෙවන්නටද මා දෙවරක් හිතන්නේ නැහැ. එහෙත් මා දන්නා ඇතැම් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයද ඇතුළුව ඇමරිකාවේ ජීවත්වන සැලකිය යුතු පිරිසක් නොමිලේ දුන්නත් එන්නතක් ලබා ගන්න සූදානමක් නැහැ. එය ඒ අයගේ කැමැත්ත.

කෝවිඩ් එන්නත් හා අදාළව දැන් ඇමරිකාවේ තිබෙන්නේ ඉල්ලුම පිළිබඳ ප්‍රශ්නයක් මිසක් සැපයුම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඇස්ට්‍රසෙනිකා එන්නත අනුමත කළත් එය ඇමරිකානුවන්ට අවශ්‍ය වන එකක් නැහැ. සියල්ලන්ම එන්නත් ලබා නොගන්නා නිසා ඇමරිකාව තුළ බොහෝ විට කවදාවත්ම කෝවිඩ් සඳහා සාමූහික ප්‍රතිශක්තිය ඇති නොවෙන්න පුළුවන්. ඒ නිසා සමහර විට වසර අවසාන වෙද්දී නැවතත් එන්නතේ තෙවන මාත්‍රාවක් ලබා ගන්න සිදුවිය හැකියි. එයින් පසු වාර්ෂිකව එන්නතේ මාත්‍රාවක් ලබා ගන්න සිදු වෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් යම් පිරිවැයක් දරන්න වෙන්නත් පුළුවන්.

මේ වෙද්දී ඇමරිකාව තුළ කෝවිඩ් ව්‍යාප්තිය පාලනය වී තිබුණත් එය යම් මට්ටමක ස්ථාවර වී හෝ සමහර විට තාවකාලිකව තරමක් නරක අතට හැරෙමින් තිබෙනවා. එහෙත් දැන් මට කෝවිඩ් ගැන බයක් නැහැ. මා ස්ව කැමැත්තෙන් නිවාස අඩස්සියට පත් වුනේ අපේ ප්‍රාන්තයේ පළමු කෝවිඩ් මරණය වාර්තා වෙද්දී. එසේ කළේ ආකෘති ඇසුරෙන් ඉදිරි අවුරුද්ද මොන වගේද කියා වියුක්තව හිතන්න පුළුවන් වූ නිසා. මේ වන විටත් දවසකට අපේ ප්‍රාන්තයේ හතර පස් දෙනෙක් කෝවිඩ් නිසා මිය යන නමුත් ආකෘති ඇසුරෙන් වියුක්ත ලෙස සුබවාදී නුදුරු අනාගතයක් දකිමින් මා මගේ වසරක සිර දඬුවමින් මේ වන විට නිදහස්ව සිටිනවා.

13 comments:

  1. ඇමරිකාවේ ඇස්ට්‍රා සෙනෙකා එන්නත අනුමත නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව ඩොලර් බිලියන 1.2කට එන්නත් මාත්‍රා මිලියන 300ක් මිල දී ගැනීම සඳහා ඇස්ට්‍රසෙනිකා සමාගම සමඟ ගිවිසුම් අත්සන් කර ඇතත් එම එන්නත තවමත් ඇමරිකාව තුළ අනුමත වී නැහැ. එම සමාගම විසින් අලුතෙන්ම ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ සම්බන්ධවද ගැටළුකාරී තත්ත්වයක් මතු වුනා. එන්නත අනුමත වේයැයි අපේක්ෂාවෙන් ඇමරිකන් රජය විසින් ගබඩා කරගෙන සිටි එන්නත් වලින් කොටසක් මෙක්සිකෝව හා කැනඩාව වෙත ලබා දීමට නියමිතයි.

      Delete
  2. //මේ තැන් වල මේ වන විට පරීක්ෂා කර බලන්නේ වයස පමණයි.//

    කචල් පුරකි මේ රට ඔහෙ මොන වගෙද
    සීයට පහක් බස් driverලා හොරුද
    වසවිස කෑම හැම තැනමත් තියෙනවද
    කසිප්පුවොත් කවුන්සලේ ඉන්නවද?

    ReplyDelete
  3. පයිසර් එන්නතේ දෙවැන්න ගත්තු අපේ පැත්තේ කෙනෙක් මලා.

    ReplyDelete
    Replies
    1. මාර්තු 26 දින වන විට පයිසර්-බයෝඑන්ටෙක් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් ඇමරිකානුවන් 254 දෙනෙකුගේ මරණ වාර්තා වී තිබෙනවා. පළමු මාත්‍රාව ලබාගත් 971 දෙනෙකුගේ මරණ වාර්තා වී තිබෙනවා. මොඩර්නා එන්නත ලබාගත් 1,107 දෙනෙකුගේ මරණ වාර්තා වී තිබෙනවා. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබාගත් 29 දෙනෙකුගේ මරණ වාර්තා වී තිබෙනවා. එහෙත් මේ මරණ සියල්ලට හේතුව අදාළ එන්නත බව එයින් අදහස් වෙන්නේ නැහැ. එන්නත නිසා සිදු වූ මරණ යම් ප්‍රමාණයක් තිබෙන්න පුළුවන්.

      Delete
    2. එක්සත් රාජධානියේ පළමු ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා ගත් මිලි 18 දෙනාගෙන් 30 දෙනෙකු රුධිර කැටි ගැසීමට ගොදුරැවු අතර 7 දෙනෙකු මියගොස් ඇති බව බීබීසී වාර්තා කරා.

      Delete
    3. මේ වන විට ඇමරිකානුවන් මිලියන 100කට වැඩි පිරිසක් කවර හෝ කෝවිඩ් එන්නතක් ලබාගෙන තිබෙනවා. එයින් මිලියන 40කට වැඩි පිරිසක් වයස අවුරුදු 65 ඉක්මවූ අය. මෙවැනි විශාල හා වයස්ගත ගහණයක විවිධ හේතු මත සෑම දිනකම විශාල මරණ ප්‍රමාණයක් සිදු වීම සාමාන්‍ය දෙයක්. ඒ අතරින් මරණ සුළු ප්‍රමාණයකට එන්නත දායක වී තිබෙනවා විය හැකියි.

      Delete
  4. ඔබ එන්නත ලබාගත් බව දැනගැනීමට ලැබීමෙන් මා ඉතා සතුටට පත්වුනෙමි.  

    එන්නත් කරනයත් සමග බොහෝ රට වල කෝවිඩ් දත්ත ඇසුරෙන් සකසන ලද වක්‍ර ශුභදායි ලෙස වෙනස් වන අයුරු දක්නට ලැබීම සැනසිලිදායක බලාපොරොත්තුවක් ඇති කරන්නක්.

    එන්නත් අනුමත කරන අවදියේදී ප්‍රකාෂිත පලදායිතා අගය (Efficacy) සහ එන්නත් කරනයෙන් පසු සැබෑ පලදායිතාවය (Effectiveness) අතර වෙනස්කම් තිබෙනවාද? ඉඩක් ලද විටක ඒ පිලිබදව පලවී ඇති නිරීක්ශණ වාර්තා ඇසුරින් ලිපියක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි. 

    ReplyDelete
  5. ඉකෝන්,

    මේ කියන ආකාරයට දැනට සිර ගත කර සිටින ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට යම් කිසි විදියකට නිදහස ලබා ගැනීමට පුළුවන් වෙයි ද? මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද? ජනතාව විදියට අපට ඔහු වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

    (Poor Ranjan, he has been forgotten by everyone including most of party members ��)

    Pls watch this;

    https://www.facebook.com/A5News.lk/videos/479004783223945/

    ReplyDelete
  6. ඉකොනොමැට්ටා මොකද හිතන්නේ චීන එන්නත් ගැන? ලංකාවේ දූෂිත නන්දසේන ආණ්ඩුව මේ දවස් වල භාරතයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ගැනීම නවතා දමා රුසියානු සහ චීන එන්නත් ලංකාවට ආනයනය කිරීමට කටයුතු කරන බව ඉතාමත් පැහැදිලියි. මේ එන්නත ගැන විස්තර කරලා ලියන්න පුළුවන් නේද? මොකද අපට මේ එන්නත ලබා ගැනීමට බයයි.

    අනෙක චීන ආණ්ඩුව විසින් සයිනොෆාම් එන්නත් මිලියන හයක් පමණ ලංකාවට නොමිලේ තෑගී කර තිබෙන්නේ ඇයි? මෙහි ඉතුරු කොටසත් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන බව පැවසෙනවා.

    කෙසේ නමුත් තවමත් මේ ගැන ලංකාවේ ඇතැම් වෛද්‍යවරුන් අනුමැතිය ලබා දී නෑ.

    මේ ගැන හිටපු සෞඛ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉතා දැඩි ලෙස විවේචනය කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වූ පසු දැන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා එන්නත ලබාගැනීමටත් ජනතාව බය වී ඇති අතර කොළඹ ප්‍රදේශයේ රජයේන් එන්නත් ලබා දෙන තැන් පාළුවට ගියා.

    ඔබට මතක ඇති 1978 දී චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ පටන් ගත්තේ ඉහළින් විතරක් නෙවෙයි. වෙනසක් වෙන්න ඕන බව රටේ පහළ ම මට්ටම්වලින් පවා කියැවෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි. මේ වෙනසට අදාළ සමහර වැඩ ගම් මට්ටමින් පවා සිද්ද වුනා. මේ විදිහට ගමකින් පටන් ගත්ත එක වැඩක් අවුරුදු කීපයක් ඇතුළත ජාතික ප්‍රතිපත්තියක් බවටත් පත් වුනා නේ.

    ඒ වගේම චීන මහජන ජනරජය පිහිටෙව්වාට පස්සේ සමාජවාදී වට්ටෝරුවේ නිෂ්පාදන ක්‍රම රට පුරා ම ක්‍රියාත්මක වුනා. ඒ යටතේ ගම්වල අයව ප්‍රජා නිෂ්පාදන වැඩවලට යොමු කෙරුණා. ඉදිරි මහා පිම්ම කාලයේ දී පොදු ආපන ශාලා ක්‍රමයකුත් හඳුන්වලා දුන්නා. පොදු තැන්වලින් කෑම කද්දි ගෙදර උයාගෙන කනවා වගේ පිරිමහා ගෙන කන්න කවුරුවත් පෙළැඹෙන්නේ නෑ. ඉතින් ඒ තැන්වල විශාල කෑම නාස්තියකුත් සිද්ද වුනා. ඇතිවෙලා තිබුණු දීර්ඝ කාලීන නියඟයට අමතරව මේ වගේ හේතු හින්දාත් කෑම හිඟ වුනා. අන්තිමේ දී චීනයේ මහා පිරිසක් පරලොව ගියේ කන්න බොන්න දෙයක් නැතුව.

    ඒ වගේම අංන් හුයි පළාත තියෙන්නේ චීනයේ නැගෙනහිර පැත්තේ මුහුදට මායිම් වෙලා. ඒ පළාතේ ම්ෆං යං කෝරළයේ තියෙනවා ශ්යාඕ කං කියලා ගමක්. 1958 වෙද්දි මේ ගමේ මිනිස්සු 120 දෙනෙක් හිටිය බව කියනවා. ඒත් ඉදිරි මහා පිම්ම කාලයේ ඇති වෙච්ච සාගතයෙන් මේ ශ්යාඕ කං ගමේ මිනිස්සු 67 දෙනෙක් පරලොව ගියාලු. ඒ කියන්නේ ගමේ ජනගහනයෙන් භාගයකට වඩා පිරිසක්.

    හැබැයි එතරම් මහා විනාශයකට පස්සේ යම් යම් වෙනස්කම් කළත් ප්‍රජා නිෂ්පාදන ක්‍රමයේ වෙනසක් සිද්ද වුනේ නෑ. මිනිස්සු “වැඩ ලකුණු” ක්‍රමයක් යටතේ පොදු නිෂ්පාදන කටයුතුවල යෙදිලා හිටියා. වැඩ කරලා උපයා ගන්න වැඩට ලකුණු වෙනුවෙන් ආහාර ලැබුණා. කුඹුරුවල වැඩ කළා ම ප්‍රතිලාභයක් විදිහට හාල් හරි වී හරි ලැබෙනවා නම් ඒක මිනිස්සුන්ට තේරෙනවා. ඒත් මේ වගේ වැඩට ලකුණු පේන්නේ කාට ද? ඉතින් කවුරුවත් ඒ තරම් උනන්දුවකින් වැඩ කළේ නෑ. ඉතින් 1978 අවුරුද්ද වෙද්දිත් ශ්යාඕ කං කියලා කියන්නේ හරිම දුප්පත් ගමක් කියලා කියන්නේ.

    එතකොට ඒ කාලය වෙද්දි ගමේ වී නිෂ්පාදනය වී කිලෝ 15,000 කට සීමා වෙලා තිබුණලු. ඒ වැඩේ වෙනුවෙන් මිනිස්සුන්ට වැඩට ලකුණු ලැබුණා. ඒත් ඒ වැඩට ලකුණු වෙනුවෙන් ලැබෙන ආහාර ප්‍රමාණය ගමේ අයට මදි. එහෙම වුනාම අඩුව පිරිමහ ගන්න වෙන්නේ ණය වෙලා. ඒත් මේ විදිහට දිගට ම ණය දෙන්න පුළුවන්කමක් ආණ්ඩුවට නෑ. ඉතින් හුඟක් වෙලාවට ගමේ මිනිස්සු බඩ පුරවා ගත්තේ කැලේට වැවෙන අල, කොළ ජාති තම්බලා කාලා බොහොම අමාරුවෙන්.

    එතකොට යැංන් ය්‍යුං ච්ඡං කියන්නේ මේ ගමේ නිෂ්පාදන කණ්ඩායම භාරව පත් කරලා හිටපු නායකයා. මේ වැඩේ ඒ විදිහට ම කරගෙන යන එකේ තේරුමක් නෑ කියලා යැංන් ය්‍යුං ච්ඡං තේරුම් ගත්තා. ඒ වෙනුවට කරන්න පුළුවන් වෙන වැඩක් ගැන ඔහු තමන්ගේ කණ්ඩායමේ උප නායකයාත් ගිණුම් ලිපිකරුවාත් එක්ක කතා කර ගත්තා. ඉතින් 1978 අවුරුද්දේ නොවැම්බර් මාසයේ දවසක ඒ ගමේ ගොවියෝ 18 දෙනෙක් එකතු වෙලා බොහොම රහසිගත විදිහට ගිවිසුමක් අත්සන් කළා.

    ඒ අත්සං කරපු ගිවිසු‍මේ හැටියට ඒ කට්ටිය ගමේ කුඹුරු ඉඩම් ටික බෙදා ගත්තා. මේක ඒ කාලයේ හැටියට තනිකර ම නීති විරෝධි වැඩක්. බෙදාගත්ත කුඹුරු ටික වෙන වෙනම වැඩ කරන්නත්, අස්වැන්න ලැබුණාට පස්සේ නිෂ්පාදන කණ්ඩායමට පැවරිලා තිබුණු ඉලක්කයේ පුමාණය ආණ්ඩුවට දෙන්නත්, ඉතිරි ටික තමන්ගේ ප්‍රයෝජනයට ගන්නත් ඒ ගිවිසුමෙන් කට්ටිය බැඳුණා.

    කොහොම හරි අවාසනාවට මාස දෙක තුනක් ගත වෙද්දි මේ රහස එළියට ආවා. ඒත් ම්ෆ්ං යං කෝරළය භාර කොමියුනිස්ට් පක්ෂ ලේකම්තුමා තව කොන්දේසි කීපයක් පනවලා ඒ වැඩේ කරගෙන යන්න ඉඩ දුන්නා. ඊටත් පස්සේ ඒ වැඩේට අංන් හුයි පළාතේ කො. පක්ෂ ප්‍රධානියාගේ අනුමැතියත් ලැබුණා. අන්තිමේ දී සිදු වුනේ පුදුමාකාර දෙයක්. ගමේ සම්පූර්ණ වී නිෂ්පාදනය කිලෝ 90,000 ක් ටොන් අනූවක් තරම් වැඩි වුනා. ඒ කියන්නේ කලින් අවුරුදුවල නිෂ්පාදනය වගේ හය ගුණයක්!

    ඔන්න ඒ එක්කම ගමේ මිනිස්සුන්ගේ ඒක පුද්ගල ආදායම රෙංමිංබි (යුආන්) 22 ඉඳළා රෙංමිංබි 400 දක්වාත් ඉහළ ගියා හරි පුදුමයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් මෙම පුදුමාකාර සිද්ධිය ගැන ඉහළ මට්ටමේ අයගේ අවධානයටත් යොමු වෙන්න පටන් ගත්තා. ඒ වගේම 1982 අවුරුද්දේ කෘෂි නිෂ්පාදනයේ කුටුම්භ වගකීම් කොන්ත්‍රාත් ක්‍රමය කියන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්න පුළුවන් වුණේ ඒ හින්දා.

      ඒ කොහොම වුනත් මේක ආරම්භයක් විතරයි. ගම් සහ නියම්ගම් ව්‍යාපාර ක්‍රමය සාර්ථක වෙන්නත් මේ වෙනස උදව්වක් වුනා. පොදු ප්‍රජා නිෂ්පාදනයෙන් ඉවත් වෙලා වගකීමකින් බැඳුණු ක්‍රමයටත්, ඊට සමාන්තරව සාමුහික සමාගම් ක්‍රමයටත් නිෂ්පාදන ක්‍රමය වෙනස් වුනා. මේ වෙනස පටන් ගත්තේ ගමකින්. ඉතින් හැම දෙයක් ම ඉහළින් සිද්ද වෙන කල් බලාගෙන ඉන්න ඕන නෑ කියන එක අපි තේරුම් ගන්න ඕන. ලංකාවේ බුද්ධිමත් ජනතාවටත් මේක අදාළයි නේද?

      Delete
  7. "දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව එන්නත ලබා දුන් හෙදිය අදාළ තොරතුරු පරිගණකයට ඇතුළු කරන තුරු මිනිත්තු දෙකක් මාව රස්තියාදු කරන්න සිදු වීම පිළිබඳව සමාව අයැද සිටියා. මා ඇයට කිවුවේ එන්නත ලබා ගන්න අවුරුද්දක් බලා සිටි මට මිනිත්තු දෙකක් රස්තියාදු වෙන්න සිදුවීම දැනෙන දෙයක් නොවන බවයි."

    ඕක එහෙම් පිටින්ම අනිත් අතට සිද්ධ වෙන අවස්ථා මෙහෙ වැඩියි.(එන්නත් කරණයෙදි විතරක් නෙමෙ වෙන බොහොමයක් සිද්ධි වලදි)

    ReplyDelete
    Replies
    1. ඔය කියන කතන්දර වල තාර බර ඇරල බලන්න. මේ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරිඩා වල තරුණ ගැහැණු දෙන්නෙක් පෝලිම් පනින්න නාකි ගැහැණු වගේ වෙස් වලාගෙන ඇවිල්ලා

      https://www.bbc.com/news/av/world-us-canada-56138699


      මේ ඇමරිකා එක්සත් ජනපදය විවිධ ජනපද වල තත්ත්වය

      https://www.bbc.com/news/amp/world-us-canada-56262687

      මේ යුරෝපීය තත්ත්වය;

      https://www.economist.com/europe/2021/01/27/europes-delays-in-covid-19-vaccine-delivery-are-causing-tempers-to-flare

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...