වෙබ් ලිපිනය:

Monday, April 19, 2021

බිට්කොයින් ගැන මහ බැංකුවෙන් අවවාදයක්!


අවුරුද්ද ඔන්න මෙන්න කියලා තියෙද්දී මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමේ අවදානම් පිළිබඳව මහජනයා දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා. මහ බැංකුව විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කරනු මම දැක්කේ මුල් වරටයි. සමහර විට මේ එවැන්නක් කළ මුල් වතාව නොවෙන්න පුළුවන්. කොහොම වුනත් මේ වෙද්දී බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් මහ බැංකුවටත් හිසරදයක් වී තිබෙන බව පැහැදිලියි.

මීට ආසන්න කාලයේ අපේ ඇතැම් පාඨකයින් විසින්ද බිට්කොයින් ගැන ලියන මෙන් ඉල්ලා සිටියා. මේ ඉල්ලීම අලුත් ඉල්ලීමක්ම නෙමෙයි. පාඨකයින් විසින් කාලයක් තිස්සේ කරන ඉල්ලීමක්. 

බිට්කොයින් ගැන මම හොයන්න පටන් අරන් දැන් අවුරුදු දහයකටත් වඩා වැඩියි. ඒ වෙද්දී බිට්කොයින් එකක මිල ඇමරිකන් ඩොලර් සත ගණනක්. මුලින්ම බිට්කොයින් එකක මිල ඇමරිකන් ඩොලරය පහු කරද්දී මේ ගැන සැලකිය යුතු අවධානයක් යොමු වුනා. ඒ 2011 පමණ කාලයේදී. දැන් බිට්කොයින් එකක් ඩොලර් 55,000ක් පමණ වෙනවා. 

මේක ටිකක් තේරෙන විදිහකට පැහැදිලි කළොත්, අවුරුදු දහයකට කලින් කවුරු හරි රුපියල් සීයක් බිට්කොයින් වල ආයෝජනය කළානම් මේ වෙද්දී ඒ තැනැත්තා කෝටිපතියෙක්. මොකද පහුගිය අවුරුදු දහයක කාලය තුළ රුපියල් සීයේ බිට්කොයින් එකක් රුපියල් මිලියන දහයක් හෙවත් රුපියල් කෝටියක් වෙලා.

කොහොම වුනත් බිට්කොයින් සම්බන්ධව පෞද්ගලිකව මට තිබෙන්නේ මිශ්‍ර හැඟීමක්. මේ ගැන ලියන්න කියා ඉල්ලීම් බොහෝ වර ආවත් එසේ කරන්න උනන්දුවක් ඇති නොවුනේ මේ මිශ්‍ර හැඟීම නිසා. එක පැත්තකින් බිට්කොයින් වගේ අතථ්‍ය මුදල් නිසා ලෝකය පුරා මහ බැංකු විසින් කරන "කැත වැඩේ" කරන්න බැරි වෙනවා. අනෙක් පැත්තෙන් එය වෙන්නේ වෙනත් අය විසින්ද ඒ "කැත වැඩේම" කරන එක හරහා.

පෞද්ගලිකව මට මුදල් වලින් සතුටක් ලැබෙන්නේ ඒ මුදල් නිසාම නෙමෙයි. ලැබෙන මුදලක මම කරන මොකක් හෝ දෙයක වටිනාකම පිළිබිඹු වන නිසා. වෙනත් විදිහකින් කිවුවොත් ආතල් එක තියෙන්නේ සල්ලි හොයන්න ගහන ගේම් එක ඇතුළේ මිසක් සල්ලි වල නෙමෙයි. මේ හේතුව නිසා මම කුඩා කාලයේ ඉඳලම ලොතරැයි මිල දී ගන්නේ නැහැ. බිට්කොයින් වල ආයෝජනය කරලා සල්ලි හොයන්න පුළුවන් බව පැහැදිලි වුනත් මට ඒ වැඩේට හිත යන්නේම නැහැ. 

බිට්කොයින් ජනප්‍රිය වෙන්න හේතු දෙකක් තිබෙනවා. පළමුවැන්න එක විදිහක දේශපාලනික හේතුවක්. ලෝකයේ රටවල් වල ජාතික මුදල් ඒකක වල අගය පාලනය කරන රජයයන් හා මහ බැංකු විසින් ඉතා කැත සූරාකෑමක් කරනවා. එය කරන්නේ සල්ලි අච්චු ගැසීම හරහා. ලංකාවේ රුපියල්, ඇමරිකන් ඩොලර් ඇතුළු බොහෝ ව්‍යවහාර මුදල් ඒකක වලට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැහැ. මේ මුදල් වලට අපි කියන්නේ ආඥාප්ති ව්‍යවහාර මුදල් එහෙමත් නැත්නම් ෆියට් මුදල් කියලා. මුදල් වල වටිනාකම තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මත. මේ ඉල්ලුම යම් ආකාරයක කෘතීම ඉල්ලුමක්.

මහ බැංකුව කියන විදිහට බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීම අවදානම් වැඩක්. ඇත්ත. නමුත් ප්‍රශ්නය මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් නෝට්ටු ළඟ තබා ගැනීමේ අවදානමක් නැද්ද කියන එකයි. රුපියල් නෝට්ටු වලත් ඒ වගේම අවදානමක් තිබෙනවා. බිට්කොයින් ප්‍රවර්ධකයින්ගේ ප්‍රධානම තර්කයක් වන්නේ මහ බැංකු විසින් කරනවාක් මෙන් ඔවුන් විසින් සීමාවක් නැතුව බිට්කොයින් සැපයුම වැඩි කරන්නේ නැහැ කියන එකයි.

අලුතින් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. එහෙම අඩු වෙලා ගිහින් 2040 පමණ වෙද්දී බිට්කොයින් "අච්චු ගැසීම" සම්පූර්ණයෙන්ම නවතිනවා. නමුත් වෙනත් ඕනෑම මුදල් ඒකකයක් අලුතෙන් අච්චු ගැසීම එන්න එන්නම වැඩි වෙනවා වගේම එහි කිසිම සීමාවක් නැහැ. ඒ නිසා වෙනත් මුදල් වලට සාපේක්ෂව බිට්කොයින් වලට උද්ධමනයෙන් ආරක්ෂාවක් තිබෙනවා. 

මේ වෙනස හැර බිට්කොයින් වල අනෙක් මුදල් වලට නැති විශේෂ වටිනාකමක් තියෙනවද? එවැන්නක් නැහැ. බිට්කොයින් කියන්නෙත් ෆියට් මුදල් වර්ගයක්. බිට්කොයින් වලත් කිසිම නෛසර්ගික වටිනාකමක් නැහැ. 

ලොව පුරා අරාජිකවාදීන් අතර බිට්කොයින් ජනප්‍රියයි. මම අරාජිකවාදියෙක් නෙමෙයි. ඉතා පැහැදිලිවම රජය කියන්නේ අකාර්යක්ෂම යාන්ත්‍රනයක්. එසේ වුවත් රජයකින් කළ හැකි යම් කාර්යභාරයක්ද තිබෙනවා කියා මම විශ්වාස කරනවා. පෞද්ගලික සමාගමක් කියා කියන්නේ මිනිස්සු එකතු වී සාමූහිකව හදා ගන්නා යාන්ත්‍රණයක්. එවැන්නක් පවතින එක හොඳනම් මිනිස්සු එකතු වී සාමූහිකව හදා ගන්නා තවත් යාන්ත්‍රණයක් වන රජය මුළුමනින්ම අහෝසි වී යා යුතුයි කියා හිතන්න ලොකු හේතුවක් නැහැ. රජය ප්‍රශ්නයක් වන්නේ රජය සතුව ඕනෑවට වඩා වැඩි අධිකාරී බලයක් ගොනු වී එය තවදුරටත් මිනිසුන්ගේ පොදු හා සාමූහික යාන්ත්‍රණයක් නොවූ විටයි.

මේ වගේම තර්කයක් බිට්කොයින් හා අදාළවත් ගේන්න පුළුවන්. මහ බැංකු සල්ලි අච්චු ගහලා මුදල් උපයනවා වගේම බිට්කොයින් නිකුත් කළ මූලික කණ්ඩායම පැත්තක ඉඳලා බිට්කොයින් වලිනුත් සල්ලි හොයනවා. රජයයන් හා මහ බැංකු විසින් සල්ලි අච්චු ගහලා එකතු කර ගන්නා ධනය යන්නේ යම් සීමිත පිරිසක් අතට වුවත් බිට්කොයින් වලින් පෝසත් වෙන්නේ ඊට වඩා ගොඩක් පොඩි, සමහර විට අතේ ඇඟිලි වලින් ගිනිය හැකි, පිරිසක්. 

බිට්කොයින් සැපයුම සීමිතයි කියන එක ආකර්ශනීය "සටන් පාඨයක්". එහෙත් බිට්කොයින් වැනි අතථ්‍ය මුදල් පොදුවේ සැලකුවොත් එවැනි සීමාවක් නැහැ. මේ වැඩේ ඕනෑවට වඩා ව්‍යාප්ත වුනොත් පොදුවේ අතථ්‍ය මුදල් තවත් පිරමිඩ් ක්‍රමයක් වගේ වෙනවා. අනෙක් පැත්තෙන් චීනය මුලිනුත්, ඇමරිකාව ඉන් පසුවත් මේ වැඩේට රජයයන් ලෙසම අත ගහන්න යාමත් එක්ක මේ සමීකරණය වෙනත් පැත්තකට හැරෙන්න පුළුවන්. 

ප්‍රාග්ධනය එක්ක බොහෝ විට බලයත් එකට යනවා. ඉතාම දුරස්ථ කාරණාවක් වුවත් යම් හෙයකින් බිට්කොයින් හෝ වෙනත් යම් නිශ්චිත අතථ්‍ය මුදල් ඒකකයක් ලෝක පරිමාණයෙන් ප්‍රධානම මුදල් ඒකකය බවට පත් වෙනවා කියා අපි හිතමු. සෛද්ධාන්තිකව බිට්කොයින් වලට එවැනි තැනකට එන්න බැරිකමක් නැහැ. එවැන්නක් වෙනවා කියා කියන්නේ බිට්කොයින් හඳුන්වා දුන් මූලික කණ්ඩායම අත ලෝකයේ දේශපාලන බලයද කේන්ද්‍රගත වෙනවා කියන එකයි. 

මතක තියා ගන්න බිට්කොයින් හඳුන්වා දුන්නේ කවුරුවත් නමක් ගමක් නොදන්නා ඇනෝ කෙනෙක්. මුලින්ම "කණිනු ලැබූ" බිට්කොයින් විශාල ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ ඔහු සතුවයි. අලුතෙන් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙද්දී බිට්කොයින් සැපයුම තීරණය කිරීමේ බලය මේ පුද්ගලයා අතේ කේන්ද්‍රගත වෙනවා. 

බිට්කොයින් හෝ වෙනත් අතථ්‍ය මුදල් වල ආයෝජනය කරන අති මහත් බහුතරය සමපේක්ෂකයින්. ඔවුන් එසේ කරන්නේ ඉක්මණින් පෝසත් වෙන්නයි. ඉතා ඉක්මණින් මේ සමපේක්ෂකයින්ගේ සිහින බිඳ වැටෙන එකක්නම් නැහැ. ලෝකය පුරා මහ බැංකු විසින් විශාල ලෙස සල්ලි අච්චු ගසමින් අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමට මිනිසුන් පොළඹවමින් සිටින අතර ඒ නිසාම තවත් කාලයක් යන තුරු මේ වෙළඳපොළ කඩා වැටෙන එකක් නැහැ.

පළමු වරට පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහ ලොවක මිනිසුන් විසින් හෙලිකොප්ටරයක් පියාසර කළ අද දින වන විට ඇමරිකාවේ ඕනෑම ප්‍රාන්තයකින් වයස අවුරුදු 16 ඉක්මවූ අය‍ට කෝවිඩ් එන්නතක් ලබා ගත හැකියි. මේ වෙද්දී ඇමරිකාවේ ජන ජීවිතය වේගයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඒ එක්කම අපටද කාලයක් පැත්තකට දමා සිටි බොහෝ දේවල් ගැන නැවත අවධානය යොමු කරන්න සිදු වෙනවා. බ්ලොග් එක වෙනුවෙන් වැය කළ හැකි කාලය අඩු වෙනවා.

15 comments:

  1. මේ ගැන තවදුරටත් විස්තර සෙවු විට දැනට ලංකා - චීන රටවල් දෙක අතර වාර්ෂික වෙළඳාමේ පරතරය මෙරිකානු ඩොලර් බිලියන තුනක් පමණ වෙන බව පැහැදිලි වුණා.

    ඒ අනුව ලංකාව වසරකට ඩොලර් මිලියන 3,700 ක විවිධ නිෂ්පාදන චීනයෙන් ගෙන්වන නමුත් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව චීනයට අපනයනය කරන්නේ ඩොලර් මිලියන 700 ක පමණ නිෂ්පාදන ටිකක් විතරයි කියලා තමයි මුදල් අමාත්‍යාංශයේ වාර්තා වල තියෙන්නේ. මීට අමතරව මටත් ආරංචි වුණ විදියට දැනට මියන්මාර්, කාම්බෝජය සහ ඉන්දියාව යන රාජ්‍යයන්ගෙන් චීනයට ආනයනය කරන අධික ඉල්ලුමක් ඇති භාණ්ඩ හා සේවා වලින් හැකි පමණ ප්‍රමාණයක් ලංකාවෙන්ද මිලදී ගැනීමට චීන රජය තීරණය කරමින් සිටින බවත් ඒ ආශ්‍රිත අලුත් කර්මාන්ත සඳහා ලංකාවේ තාක්ෂණික දැනුම, යන්ත්‍රෝපකරණ සහ පුහුණු ශ්‍රමිකයින් සඳහා චීන ආයෝජකයන්ට ලංකාවේ දේශීය ආයතන සහ සමාගම් සමග අපනයනය සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහයෙන් යම් වැඩ සටහන් ආරම්භ කරමින් තියෙනවා. මේ ගැන ඔබට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නේද? මේකෙන් ලංකාවේ සම්පත් චීනය විසින් සූරාකෑමට, මංකොල්ලකෑම් සඳහා ඉඩකඩ ඇති බවට ලංකාවේ විපක්ෂ කණ්ඩායම් මගින් පැවසෙන කතා ගැන විස්තර කිරීමට පුළුවන් වේවි ද? මේකෙන් ශුද්ධ වශයෙන් ලංකාවට වෙන්නේ පාඩුවක් නේද?

    ඒ වගේම චීනයට අපනයනය කිරීමට නෙළුම් දඬු සේද රෙදි ආශ්‍රිත නිශ්පාදන (lotus silks) සකස් කිරීමේ කර්මාන්ත ශාලා ලංකාවේ ආරම්භ කිරීමට මමත් මිතුරන් කිහිප දෙනෙක් සමග මේ දවස් වල සැලසුම් කරගෙන යනවා. මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වේවි ද? මේ ගැන ඔබේ අදහස් මොනවා ද? ඇමරිකානු එක්සත් ජනපදයට අපට ලංකාවෙන් අපනයන කල හැකි අලුත් භාණ්ඩ හා සේවා ගැනද ඔබට විස්තර ඉදිරිපත් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

    මීට අමතරව ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවය කරන අය චීන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල වෙබ් අඩවි සඳහා සේවා සැපයීම, ඩිජිටල් මාකටින් සහ ෂොපිෆයි, ෆේස්බුක් මාකටින් විශේෂඥ උපදෙස් ලබා දීමේ කටයුතු වල වර්ධනයක් පවතින බව පේනවා. මාද මගේ තොරතුරු තාක්ෂණ සේවා සපයන මල්ලි කෙනෙක් ගේ සහය ඇතුව එක්තරා කුඩා පරිමාණයේ චීන ව්‍යාපාර සහායකයකුගේ වෙබ් අඩවියක් ඉංග්‍රීසි බසින් නිර්මාණය කර නඩත්තු සේවා කටයුතු කරගෙන යන අතර මේ සඳහා ඔහු මසකට අපට ඩොලර් 500 ක් බැගින් ගෙවනවා. මේ ක්ෂේත්‍රයේ ඉදිරියේ විය හැකි දේවල් සහ අපට මුහුණ දීමට සිදු විය හැකි විපර්යාසයන් පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා මේක දැක්ක ද?

    මේ බලන්න ලංකාවේ ඉතිහාසයේ සඳහන් සැබෑ තත්ත්වය සහ ලංකාවේ වර්තමාන පාලකයන් රට විනාශ කිරීමට හේතුව මේ වීඩියෝ එකේ සැඟවිලා තියෙනවා;

    https://www.facebook.com/watch/?v=766270583991696

    ReplyDelete
  3. ඉකෝන්,

    ඔබ කාලෙකින් කෘෂිකර්ම සංවර්ධන උපායමාර්ග ගැන සාකච්ඡා නොකරපු නිසා මේ වීඩියෝ එකේ තියෙන කරුණු කාරණා තුළින් ඔබට ලංකාවේ පමණක් නොවේ ලෝකයේම කෘෂි කර්මාන්තය ඉහළින්ම දියුණු කිරීමට අවශ්‍ය ඉතා සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට මේ මගින් පුළුවන්;

    https://www.facebook.com/A5News.lk/videos/291538918882429/

    මේකෙන් ඔබටත් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා වගේම මේ ගැන ඔබටත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.

    ඒ වගේම මේක බලන්න;

    මේක ලංකාවේ දැනට පවතින සියලුම ආර්ථික දේශපාලනික ප්‍රශ්න වලට හේතු සාධක සහ ඊට පිළිතුරු ලබා දී තිබෙනවා;

    https://www.facebook.com/A5News.lk/videos/804759427087092/

    ඉතාමත් පැහැදිලියි ලංකාවේ නන්දසේන රජය විසින් සිදු කරන දැඩි විනාශය ගැන. මේ ගැන තව දුරටත් විස්තර සාකච්ඡා කරමු.

    ReplyDelete
  4. එකොනො මොකද හිතන්නෙ මේක ගැන? මේ කතාවේ ඇත්තක් තියෙනවා ද?

    https://www.facebook.com/watch/?v=747478819227042

    ReplyDelete
  5. මේ ලංකාවේ මේ වනවිට විකාශය වන ටෙලි නාට්‍යයක ඉතා සුළු කොටසක් (clip) මේකේ අග හරියේ පාස්වර්ඩ් (පාස් වර්ඩ් මුර පදය) ඉල්ලන එකේදී මේ කියන ඩිජිටල් මුදල් වල තියෙන අවදානම් සහගත බව ගැන අදහසක් ගන්න පුළුවන්.

    https://www.facebook.com/swarnavahini/videos/3284600228309988/

    ReplyDelete
  6. ඉකොනොමැට්ටා,

    බිට්කොයින් කියලා කියන්නේ ආයෝජනයක් නේ? එතකොට ආයෝජකයන් සඳහා ලංකාවේ ඇති තත්ත්වය තවත් නරක අතට හැරිලා වගේ නේද? ඔබ මොකද හිතන්නෙ මේ කියන කරුණු කාරණා ගැන? මේ ක්ලිප් එකේ කෙටියෙන් පවසන කරුණු අසත්‍ය ප්‍රචාර ද?

    https://www.facebook.com/chaturaAalwis/videos/459206338691443/

    ReplyDelete
  7. ඉකොනොමැට්ටෝ මේ පහල තියෙන කතාව උපුටා ගැනිමක් අන්තර් ජාලයෙන්, මේ කියන කතාව ඇත්ත වෙන්න පුළුවන් ද?

    //කාලකන්නි කථාවක්.!!

    අබුඩාබියේ ඩාස් අයිලන්ඩ් හි ඔයිල් ප්‍රඩකෂන් ඉන්ඩස්ට්‍රිහි වැඩකරපු දෙන්නෙක්. ඩොලර් වලින් මාසික පඩිය ගත්ත දෙන්නෙක්.

    එකෙක් ශ්‍රී ලංකියන්,
    අනෙකා චයිනීස්.

    කොයි තරම් වැඩ්ඩෝ උනත් ඔයිල් ෆ්ලැට් ෆෝම් වල වැඩ කරන උන් උපරිම සේවා කාලය ගන්නේ වසර10යි.

    ඉන් පස්සේ රිටායි කරනවා.

    මේ කථාවේ දෙන්නත් වසර 10 සම්පුර්ණ කරලා ඉවත් කරනවා.

    ලංකාවේ එකාට ඕනෑ වෙනවා ලංකාවට ගිහිං ආයෝජනය කරලා අළුත් යමක් කරන්න.

    ලංකාවට ඇවිත් මුලින්ම BOI එකට යනවා ගිහිං තායිලන්තයෙන් පලිගු ගල් ගෙනැත් ගෘහ අලංකරණ භාන්ඩ නිපදවන නිපයුම් අපනයන ප්‍රපෝසල් එකක් භාර දෙනවා. නිළධාරින් ඔහුව වටේ යවනවා වසරක් පමණ උත්සාහයකින් පසු රැපියල් කෝටියක් පමණ අතින් පාඩු කරගත් පසු ඔහු එය අත ඇරලා දානවා.

    ඉන්පස්සේ ඔහු කාර්මික සංවර්ධන මංඩලය යටතේ පැරණි වීදුරැ උණු කොට නැවත සකස් කිරීමේ කර්මාන්තයකට ඉල්ලුම් කරනවා. එයත් නොයෙක් හේතු නිසා පමා කරනවා නොයෙක් අවසර ලබා ගන්න ආයතන වෙත යනවා.

    ඉන් පසුව ඔහුගේ ඉලක්කය වුනේ කෙලින්ම ප්ලාස්ටික් පවුඩර් චීනයෙන් ආනයනය කොට ප්ලාස්ටික් ෆිටින්ස් නිෂ්පාදනය කිරීමයි

    මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යංශය ඔහු කියන පරිදි ජරාව නොදීම නිසාම ලැයිසන් එක ගන්න බැරිවෙනවා.

    වසර තුනකට පසු ඔහු නැවත.ඩුබායි වලට එනවා .දරු පවුලත් එක්කම

    දැන් ලංකාවේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සමග එකතුව කාගො ව්‍යාපාරයකට අත ගහලා.

    මම අර කලිං කීව චයිනීස් පොරත් චීනයට ගිහිං බිස්නස් පටන් අරගෙන.

    එයා අත.ගහලා තියෙන්නේ පුංචි පුංචි ලමා විනෝද භාන්ඩ නිෂ්පාදන කර්මාන්තයකට.

    චීනයට ගිහාම ඔහු ආයෝජනය කරන්න පුළුවන් මුදල කීවහම

    චීන රජය ඔහුට තෝරා ගන්න කර්මාන්ත ලිස්ට් එකක් දීලා

    එහි පලවෙනි අදියරයට අවශ්‍ය පුහුණු ශ්‍රමය සහිත සේවකයන් ප්‍රමාණය එකී සේවකයන් දැනට පදිංචි ස්ථාන දුරකථන අංක වැටුප් ප්‍රමාණය
    සහ රජය විසින් මිලට ගන්න නිෂ්පාදන කෝටා ප්‍රමාණය එය අලවිකර යුතු ස්ථානය සියල්ල සහිත විස්තරයක් ඔහු සතු කරලා.

    වසර තුනකදී තමන්ගේ නිෂ්පාදන අතිරික්තයට තමන්ට හුරැ පුරැදු ඩුබායිහි වෙළද පොල සොයාගෙන ඔහු එනවා.

    මගේ ලංකාවේ මිතුරා මට හමුවන්නේ අපට තියෙන්නේ කාලකන්නි රටක් බං. එදා වේලට රස්සාව කරන නිළධාරි පංතියක් කියාගෙන දුක්වෙන තත්වයක.

    මගේ චීන මිතුරා මට හමුවන්නේ උගේ රට කරවන නිළධාරින් ගැන ආඩම්බරයක් එක්ක අපරාදේ වසර දහයක් චීනයෙන් පිට ගෙව්වේ කියන තත්වයක.

    මම කියන්නේ ලංකාවේ දේශපාලනයේ 225, එපා කියලා ජනතාව ඉවත් කරත්...

    කුසීත තමන් කරන කියන දේ මුල්‍ය රෙගුලාසි ආයතන රෙගුලාසි අස්සේ කොලේ වහලා ගහන නිළධාරී පංතියක් එක්ක රටක් ඉදිරියට යන්න බෑ.

    කවුරැ හරි කියනවනම් අළුත් ටිකකට රට දීපල්ලා කරලා පෙන්නයි කියලා . මලාට බෑ එතකොට ඔය නිළධාරි පංතිය රාජ්‍ය අංශය අඩපන කරනවා ඕනෑම රජයක් දණ ගහන්න.

    මේ ලංකාවේ ආන්ඩු වෙනස් වෙන්න යන්නේ වසර පහක් වුනාට රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම යනකොට එක දිගට වසර 30-40 ඉන්නවා.

    සම්ප්‍රදාය බිදින්නේ නෑ. අළුතෙන් හිතන්නේ නෑ

    මට ආපහු ඇහෙනවා කථාව...

    ලංකාවේ නිෂ්පාදනයට වඩා ඉඩ තියෙන්නේ බයින්ග් ඇන්ඩ් සෙලින්ග් කෝටි එකහමාරක මාකට් එකක්. ඒකේ අළුත් දේකට ඉඩක් නෑ .තිබ්බත් ඒ ඉඩ ජරාවට නැතුව දෙන ගවර්මන්ට් ඔෆීසියල් සේවිස් එකක් අපට නෑ බං.

    ඇත්ත !! අපි ප්‍රඩක්ට් එකක් කරලා ලෝකයට විකුණනවාට වඩා රට වටේට මුහුද තියාගෙන ඉන්දියාවේ හදපු ලුණු ගෙනැත් කන්නේ ඒකයි.

    පැදුරේ හිටිය චීනය ලෝකයේ ලොකුම නිෂ්පාදකයා අපනයන කරැවා වෙන්නේ ඒකයි.

    ලෝකයේ අධිකම ජනගහනය සහිත චීනයේ එකා චීනයේ නිළධාරි පංතිය එක්ක චීන මහපොළවේ යමක් හදලා ලෝකය අල්ලන්න හීන දකිද්දී

    අපේ එකා රටෙන් එලියට නොඑන්නම යන තැනට පත් කරවනවා

    අපේ කාලකන්නි කථාව මම ලියලා ඉවර කරනවා//

    ReplyDelete
  8. ඉකෝන්, ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික ව්‍යවසාය කිහිපයකම වටිනා කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා දේශීය සහ විදේශීය ආයෝජකයින්ට විකිණීමට සැලසුම් කර තිබෙන බවත් එම ව්‍යවසායන්ගෙන් කිහිපයක් ඒ වෙනුවෙන් වන අයදුම්පත් කොළඹ කොටස් වෙළෙඳපොළට මේ වනවිටත් ඉදිරිපත් කර තිබෙන බවත් සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හරහා රටටම අනාවරණය කළ පුවත අන්තර්ජාලය හරහා ඔබ දකින්නට ඇති.

    මේ වගේම පසුගිය කාලයේදී වරින් වර වාර්තා වුණේ ලංකාවේ වර්තමාන නන්දසේන රෙජීමය විසින් ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා පුද්ගලික ආයෝජකයින් කැඳවා විකුණා දමා මුදල් හම්බ කර ගැනීමට සැලසුම් කර තිබෙන බවයි.

    මේ බව වඩාත් පැහැදිලිව සනාථ කරමින් අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක නිළධාරී, රජීව බණ්ඩාරනායක විසින් හෙළිදරව් කර තිබෙන්නේ රාජ්‍ය සහ පුද්ගලික ව්‍යවසායන් කිහිපයක් කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා කොටස් විකිණීමට මේ වනවිටේඅ ඉදිරිපත් වී සිටින බවයි. මේ රාජ්‍යය සතු ජාතික සම්පත් විකුණාගෙන කන නූතන රෙජීමයේ ජඩ ක්‍රියා පිළිවෙත පාලනය කර ගැනීමට විපක්ෂය සහ ජනතාව ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නේද?

    මේ ගැන වැඩි විස්තර මේකෙන් ඔබටත් දැන ගැනීමට පුළුවන් වේවි;

    https://m.youtube.com/watch?v=ydPl3zEXsck&feature=youtu.be

    ReplyDelete
  9. ඉකොනොමැට්ටා ලංකාවේ මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක් වන පෝට් සිටි එක ගැන ඉතා හොඳ පැහැදිලි කිරීමක් සහිතව 'සමගි ජන බලවේගයේ' පොදු මතය එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා මෙසේ සදහන් කරනවා;


    https://www.facebook.com/PataliChampika/videos/3809331042435802/

    මේක ගැන හිතන්නේ මොකද කියලා කියන්න පුළුවන් නේද?

    ReplyDelete
  10. ඉකෝන්,

    මේක ඇමරිකන් සමාගමක්ද?

    https://lk.linkedin.com/jobs/view/technical-lead-ignitetech-remote-%24100-000-year-usd-at-crossover-for-work-2512709214?refId=OnF8boy2KekxsxyqwAwZYA%3D%3D&trackingId=fJ7B8ry9tWq4XuAxVt%2FF%2BA%3D%3D&trk=public_jobs_job-result-card_result-card_full-click

    ReplyDelete
  11. ඉකොනොමැට්ටා මොකද හිතන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ පැවසූ මෑතකදී ලංකාවේ දූෂිත නන්දසේන ආණ්ඩුව විසින් චීනයෙන් ණයට ගත් ඩොලර් මිලියන 500 න් මිලියන 67 ක් විතර වියදම් කරලා රුපියල ශක්තිමත් කිරීම ගැන?

    ඒ වගේම සහල් මාෆියාව තිබෙන්නේ පොහොට්ටු දේශපාලනය සමඟ, හර්ෂ ද සිල්වා ඇතූළු කණ්ඩායම එය සම්පූර්ණයෙන්ම පරාජය කළා ඒ කැසට් වගේ ගැසට් ගහලා නෙවෙයි. ශක්ති සහල් ව්‍යාපෘතිය හරහා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ කුමාරස්වාමි එරාන් ඇතුළු පිරිස උද්ධමනයද යම් තරමකට පාලනය කලා. රාජ්‍ය ආදායම වැඩි කලා.
    ජාත්‍යන්තර දර්ශක අනුව ලංකාව BBB තිබ්බෙ අද c කාණ්ඩයේ ඉතාමත් ඉතාමත් නුදූරේම කඩා වැටීම නියත බව ජවිපෙ ජාතික ජන බලවේගයේ ආර්ථික විචාරකයන් පෙන්වා දී ඇත.

    ඒ වගේම ගම් පෙරලිය ඉතා හොඳින් ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු කණ්ඩායම කළමනාකරණය කළා. ඉන්දියාවේන් ආනයනය කරන ලද ට්‍රක් රථ, බස් සහ ත්‍රී රෝද රථ, ඉන්දියාවේ නිෂ්පාදිත ඇතැම් යන්ත්‍ර සූත්‍ර සහන ණය යටතේ ගම් පෙරළියෙන් ලබා දුන්නා ඉන්දියන් ණය ආධාර වල සහයෙන්. නමුත් මේ ආණ්ඩුව විසින් ඩොලර් බිලියනයක පමණ මුදලක් නැවත ඉන්දියාවට ගෙවලා ඒක නැවැත්තුව. ඒ කාලේ රජයේ සේවකයින්ට මාසයකට රුපියල් දසදහසක හා නීති , විශ්ව විද්‍යාල අංශ සඳහා 4ගුණයක වැටුප් වැඩිකලා. ඔවුන් තාමත් දන්නේ නෑ වැටුප් වැඩිකිරීමට හේතුව (සිංගප්පූරුව මැලේසියාව හොංකොං වැනි රටවල අධිකරණ අංශ වලට වැටුප් වැඩිකල පසු වංචාව දූෂණය ඉතා අඩුවුණා. තව දකුණු කොරියාවේ විශ්ව විද්‍යාල වලට 100%වැටුප් කල පසු පර්යේෂණ වාර්තා දහස් ගණනක් බිහිවුනා. LG සැම්සුන් අද එරට ආර්ථිකයේ වැඩි බර උසුලනවා. වෙන රටක රුපියල් 10,000/_ වැටුප් වැඩිකලා නම් සේවක කාර්යක්ෂමතාව 1000%යි.)

    මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හැදු 6$B ආසන්න තැන්පතූව විශිෂ්ටයි . අද එය 4$B දක්වා අඩු වෙලාලු . මෙම වසරේ 8$B ණය ගෙවන්න තියෙනවා. තෙල් හා වෙනත් වියදම් ඊට අමතරව.

    (මෙම රජයෙත් ආර්ථික කළමනාකරණය ගැන ලොකු අඩුවක් මට නම් නෑ කාර්යක්ෂම නැති රජයේ සේවකයින්ට, විශ්ව විද්‍යාල වලට නීති අංශයට වැටුප් වැඩිකළේ නෑ. එය හොඳ දෙයක්. වාහන හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ආනයනය නැවැත්වූවා. එය ඉතා හොඳ දෙයක් යහපාලන ආණ්ඩුව ඒවායින් බලාපොරොත්තු වුනේ මධ්‍යම පාන්තික ගහණය වැඩිකිරීම වුවත් එය අත්හිටුවීම හොඳයි. ...... ඕව ගත්තම කිසි විනයක් නෑ. මේයන විදිහ හොඳයි නැත්නම් 2025 මේ කට්ටියට 5/6 වෙන්න පුළුවන් නමුත් මේ තියෙන ප්‍රශ්න නිසා ඒක නම් ලැබෙන්නේ නෑ)

    ReplyDelete
  12. ඉකෝන් ලංකාවේ 1980 දශකයේ එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද මේ කියන සංවර්ධන ව්‍යාපෘති වලට මොකද වුණේ?


    https://www.facebook.com/TheRealTPF/videos/260791835475420/

    ReplyDelete
  13. ඉකොනො පෝට් සිටි එක බලන්න යන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා චීන තානාපති කාර්යාලයේ වීසා ලබා ගැනීමට අත්‍යවශ්‍ය වන බව සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් සහ ජවිපෙ ජාතික බලවේගයේ බොහෝ දෙනා පවසන්නේ. නමුත් මේ ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනස් අදහසක් පවසන්නේ මේ බලන්න මේකෙන් කවුද ඇත්ත කියන්නේ? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි.

    https://www.facebook.com/Indika.Liyan/videos/10160907211638242/

    ReplyDelete
  14. ආවාට තිබුණත් නිසසල සඳ මත එය හරි ප්‍රියංකරයි
    බොරු වළවල වැටෙන්න අපි හරි සූරයොයි!

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි නිදි අප ඉපදීමටත් බොහෝ කලින් අසූව දශකයේ මැද භාගයේදී ජනප්‍රිය වූ මේ ගීය හරහා ආසියානු කලාපයේ රටවල් අතරින් ලංකාව වගේ දැඩි සංස්කෘතික මතවාද නමැති බලගතු යදම්වලින් බැඳී රටක මෙවන් සංස්කෘතික උරුමයක් කරපින්නා සිටින අප සමාජය තුළ තිබෙන ඇතැම් සංකල්ප යල් පැන ගිය බවක් පෙන්නුම් කරයි. ඔබ ඔය පැවසූ ගීය හරහාද එවන් වූ අත්දැකීමක් කලාත්මකව ඉදිරිපත් කරල තියෙන්නෙ;

      “ආවාට තිබුණත් නිසසල සඳ මත
      එය හරි ප්‍රියංකරයි
      මා කාට නැතිවත් ඔබට පිදූ පෙම
      සඳ මෙන් අහිංසකයි. . .”

      ආවාට ඇති සඳකට පෙම් බඳින පෙම් වතා තම පෙම සඳ මෙන් අහිංසක බව වුවත් ආවාටවලින් පිරි හඳ ලෙස රචකයා දකින්නේ නිකැළැල් පෙම්වතිය නොව කැළැල් වූ පෙම්වතියක්. ජිවිතයේ යම්කිසි අතපසු වීමකින් ඈ සමාජ සම්මතයන් තුළ ආවාටවලින් පිරී සඳක් බවට පත් වෙයි. එහෙත් ඈ වෙනුවෙන් නිකිළිටි අහිංසක සෙනෙහසක් පුද දීමට පෙම්වතා සූදානම්. ගතානුගතික සංස්කෘතික ආකල්ප ඉදිරියේ ඇය සැලුණද ඔහු හදවතට එකඟව නොසැලී සිටිනුයේ ලොව නියත දහමට මුල් තැන දෙමින්.

      “මංගල පෝරුව වෙතට එදා ඔබ
      දෙපා නැගූ ඒ සුබ මොහොතේ
      සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක
      අනුකම්පාවකි මසිත වෙලා ගත්තේ . . .”

      ලංකාවේ වික්ටෝරියානු සම්ප්‍රදායේ ඇතැම් සමාජ සංස්කෘතික සම්මතයන්හි පවතින භයංකර බව මින් සංකේතවත් වන්නේ පෙරදිග සංස්කෘතියේ පුරුෂාධිපත්‍ය හේතුවෙන් ස්ත්‍රියකගේ පමණක් නොයිඳුල් බව සෙවීමේ සම්ප්‍රදාය තුළ අවාසනාව වන්නේ පිරිමියා පමණක් නොව ගැහැණියද මෙයට දායක වීමයි. ලේලියගේ කන්‍යා පටලය පරික්ෂාවට සැදී පැහැදී සිටින්නේ නැන්දම්මා යන නමින් හඳුන්වන තවත් ගැහැණියක වීම ඛේදවාචකයක්. මෙම සංස්කෘතික දංගෙඩියට හිස තැබීමට තරම් ආත්ම ශක්තියක් නොමැතිව ඇය සිහිසුන්ව ඇද වැටෙයි.

      මේ කියන පෙම්වතාගේ මානුෂීය ගුණය ඉස්මතු වන්නේ එතැන් සිටයි. ඔහු තුළ ඈ කෙරෙහි දැඩි දයාවක් අනුකම්පාවක්;

      “සදාකාලයෙන් සදාකාලයට
      අපට උරුම නැත දුක් කඳුළු
      මැළවුණු මල් පෙති යලි පුබුදන්නට
      අපේ ලොවට හෙට හිරු පායා එනවා. . .”

      මේ වගේ හරිම සරල රසාලිප්ත පද මාලාවක් ඔස්සේ ඇතැම් සමාජ සම්මතයන්ට රචකයා අභියෝග කරන අයුරු ප්‍රශස්ත වන්නේ සමාජ සම්මතයන් ඉදිරියේ සදාතනික දුක් කඳුලක් ඇගේ ඇසට උරුම කර දීමට ඔහු සුදානම් නැති නිසා හෙටදිනට ඔහු දොර කවුළු විවර කරන්නේ අලුත් ඉරක් දැකීමටයි. ඒ අලුත් හිරු එළියෙන් ඇගේ ලෝකයේ මැළවුණු මල් පෙති යළි විකසිත වනු ඇත. උදෑසන ලා හිරු රැස් දවාලක මෙන් පීඩා නොදෙන බැවින් ඒ ළහිරු කැන් දහරාවන් ඇයට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ඇතැම් විට මේ අලුත් හිරු එළිය ඔවුන්ගේ ජීවිතවලට අමුත්තෙකු ලෙස පැමිණෙන කුඩා බිළිඳෙකු වන්නට පුළුවන්.

      මෙහි සඳහන් සමාජ සංස්කෘතිය තුළ ගැහැණුන් දහසක පහස ලැබූ පුරුෂයා මංගල යහනකදී නොයිඳුල් කන්‍යාවක පැතීම මෙන්ම එය නොලැබුණු විට ගැහැණියට ගර්ජනා කිරීම ගෝත්‍රික චාරිත්‍රයක් මිස අන් කවරක්ද? සරල ගීතයක් තුලින් වුවද ගී පද රචකයා බුද්ධිමය සංවාදයකට දොර කවුළු විවර කරනවා නොවේද නිදී? අපේ නූතන සමාජය සාපේක්ෂව සෑහෙන දුරට ඉදිරිගාමී වීමට හේතුව මෙවැනි දර්ශනයක් සහිත මානවවාදීන් අපේ වැඩිහිටි පරම්පරාව තුළ බිහිවූ නිසායි. අප මීටත් වඩා මේ සමාජයේ ඉදිරිගාමී අදහස් ප්‍රචලිත කිරීමට කටයුතු කළයුතු නොවේද නිදී?

      -අචින්ත්‍ය වයාන් දිසාසේකර

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...