වෙබ් ලිපිනය:

Saturday, April 3, 2021

සල්ලි බාල්දු වීමේ කතාව


සීනි සීරිස් එකට දවස් ගාණක් යට වුනානේ. අපි නැවතත් ඊට කලින් කතා කරපු අයිසෙක් නිවුටන්ගේ කාලයට යමු. නිවුටන් විසින් ඉදිරිපත් කරපු, දැනටත් බොහෝ දෙනෙක් ඉගෙන ගන්න, භෞතික විද්‍යා ප්‍රවාද ගොඩක් ප්‍රචලිතයිනේ. නිවුටන් මේ ප්‍රවාද ඉදිරිපත් කළේ පෙනෙන්න තිබෙන දේවල් දිහා වියුක්ත ලෙස බලලා. නිවුටන් කියා කියන්නේ ඒ කාලයේ හැටියට ගොඩක් හොඳින් වියුක්ත ලෙස හිතන්න පුළුවන්කම තිබුණු කෙනෙක්.

අයිසෙක් නිවුටන් 1696 අවුරුද්දේ ඉඳලා අවුරුදු තිස් එකක් එංගලන්තයේ රාජකීය ටන්කනයේ එහෙමත් නැත්නම් රෝයල් මින්ට් එකේ වෝඩන් හා පසුව මාස්ටර් ලෙස සේවය කළ බව මම කිවුවනේ. ඔය කාලයේ එංගලන්තය මුහුණ දුන්න බරපතලම ප්‍රශ්නයක් වුනේ එංගලන්තයේ මුදල් ලෙස භාවිතා කළ රිදී කාසි වක්කඩ කැඩුවා වගේ රටින් පිටතට යන එක. මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන එක නිවුටන් හමුවේ තිබුණු අභියෝගයක්.

මුදල් වල ඉතිහාසය දිහා බැලුවොත්, ආරම්භයේදී මුදල් කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වලට වඩා ලොකු වෙනසක් නොතිබුණු දෙයක්. ආභරණ වැනි දේ හදන්න මිනිස්සු රන් හා රිදී භාවිතා කළා. එම ලෝහ වල මිල තීරණය වුනේ පුද්ගලයින්ට සාපේක්ෂව එක් එක් පුද්ගලයාගේ ප්‍රයෝජ්‍ය වටිනාකම් මත පදනම් වූ ඉල්ලුම හා ලෝහ කැණීම මත තීරණය වූ සැපයුම සමතුලිත වීමෙන්. වෙනත් පාරිභෝගික භාණ්ඩයක මිල තීරණය වන ආකාරයටම තමයි. මෙහිදී මිල කියා කියන්නේ හුවමාරු වටිනාකම. හුවමාරුව සිදුවෙන්නේ කුමක් සමඟ හෝ වෙන්න පුළුවන්.

රන් හා රිදී කාසි ලෙස, ආභරණ ලෙස වගේම වෙනත් විවිධ ස්වරූප වලින් තිබුණා. මොන විදිහට තිබුණත් වටිනාකම තීරණය වුනේ (බොහෝ දුරට) ලෝහ ප්‍රමාණය මත. කාසි උණු කරලා ආභරණත්, ආභරණ උණු කරලා කාසිත් හැදුවා. මිනිස්සු පාරිභෝගික භාණ්ඩ මේ කාසි සමඟත්, වෙනත් පාරිභෝගික භාණ්ඩ සමඟත් හුවමාරු කළා. කාසි හදා තිබුණු ලෝහත් පාරිභෝගික භාණ්ඩම වූ නිසා ඔය දෙකේ ලොකු වෙනසක් තිබුණේ නැහැ. 

පොල් අවාරෙට පොල් ගණන් යනවා වගේ, වාරකන් කාලෙට මාළු ගණන් යනවා වගේ රන් හා රිදී වල මිල ගණනුත් එකිනෙකින් ස්වායත්තව වෙනස් වුනා. හාල් පොල් මිල ගණන් වගේම මේ මිල ගණන් වෙනස් වීම්ද හැම තැනකම එකම අනුපාතයකින් සිදු වුනේ නැහැ. ඒ නිසා, සමහර රටවල රිදී වලට සාපේක්ෂව රන් මිල ඉහළ යද්දී තවත් රටවල එය ඒ විදිහටම වුනේ නැහැ. 

ලංකාවේ සීනි හදනවාට වඩා අඩු මිලකට ඉන්දියාවෙන් සීනි මිල දී ගන්න පුලුවන් නිසා ලංකාව ඉන්දියාවෙන් සීනි ආනයනය කරනවා වගේ එංගලන්තයේ රිදී මිල අඩු වූ නිසා වෙනත් රටවල්, විශේෂයෙන්ම ඉන්දියාව හා චීනය, එංගලන්තයෙන් රිදී ආනයනය කළා. එංගලන්තය රන් වලට හොඳ මිලක් ගෙවපු නිසා රන් එංගලන්තයට අපනයනය කළා. මේ දේවල් සිදු වුනේ ඉල්ලුම හා සැපයුම මත හා මා මගේ ජාත්‍යන්තර වෙළඳාම ගැන ලියද්දී විස්තර කළ සංසන්දනාත්මක වාසිය කියන සංකල්පයෙන් විස්තර කරන ආකාරය අනුවයි. හැබැයි ඔය ප්‍රවාද දෙකෙන් එකකවත් ඔය කාලය වෙද්දී ඉදිරිපත් වී තිබුණේ නැහැ. ඒවා ආවේ පස්සේ.

නිවුටන් වගේම ඊට කලින් හා පසුව සිටි තවත් බොහෝ අය දැනුම සොයනවා කියලා කළේ ලෝකයේ පෙනෙන්නට තිබෙන සිදුවීම් සිදුවන සාධාරණ නීති මොනවාද කියලා එළිදරවු කරගන්න උත්සාහ කරන එකයි. එහෙම කළේ අපි නොදන්නවා වුවත් එවැනි සාධාරණ නීති තිබෙනවා කියන පරම විශ්වාසයෙන්. උදාහරණයක් විදිහට ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ඇසුරෙන් විවිධ වස්තූන් උඩ සිට බිමට වැටෙන එක සාධාරණ ලෙස පැහැදිලි කළ හැකි වුනා. ඒ වෙද්දී භෞතික විද්‍යා විෂය ක්ෂේත්‍රයට අයිති බොහෝ නිරීක්ෂණ මෙවැනි සාධාරණ නීති හෝ ප්‍රවාද ඇසුරෙන් සාර්ථකව පැහැදිලි කළ හැකිව තිබුණා.

නිවුටන් එංගලන්තයේ රිදී කාසි ප්‍රශ්නය විසඳන්න අත ගැහුවේත් මෙවැනි ප්‍රවේශයකින්. ඔහු රන් වලට සාපේක්ෂව රිදී වල නියම වටිනාකම හොයන්න උත්සාහ කළා. ස්ටර්ලින් පවුම් 4.25ක වටිනාකම රන් අවුන්සයක වටිනාකමට සමාන සේ ඔහු නිගමනය කළේ මේ ප්‍රවේශය අනුව අධ්‍යයනයක් කරලා. 

හැබැයි නිවුටන්ට මේ කටයුත්තේදීනම් වියුක්තව හිතලා වියුක්ත ප්‍රවාදයක් හදන්න බැරි වුනා. ඔහු පවුමක නියම වටිනාකම තීරණය කළේ යුරෝපයේ රටවල් දෙස බලා යුරෝපයේ මිල නියම මිල ලෙස සලකලා. ඒ වෙද්දී එංගලන්තය මුහුණ දුන් ආකාරයේ ප්‍රශ්නයකට යුරෝපය මුහුණ දී සිටියේ නැහැ. නිවුටන්ගේ යුරෝ කේන්ද්‍රීය දැක්ම නිසා ඔහුට ඉන්දියාවේ හා චීනයේ වෙළඳපොළ පරිමාවේ බලපෑම මග හැරුණා. අන්තිමේදී නිවුටන් විසින් තීරණය කළ මිල රිදී වල ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල නෙමෙයි. ඒ නිසා, එංගලන්තයේ රිදී කාසි සියල්ලම වගේ රටින් පිටතට ඇදී ගොස් එංගලන්තයට රන් සම්මතයකට යන්න වුනා.

මේ වැඩෙන් එංගලන්තය අමාරුවේ වැටුණේ නැහැ. ඒ වෙනුවට සිදු වුනේ එංගලන්තය විසින් තමන් වැටී සිටි වලෙන්ද දියමන්ති සොයා ගැනීමයි. එංගලන්තයේ වගේම ලෝකයේ අනෙකුත් බොහෝ රටවල මුදල් ලෙස භාවිතා වුනු රිදී රටෙන් පිටතට ඇදී ගිහින් මුදල් ලෙසද සැලකුනත් බොහෝ දුරට පාරිභෝගික භාණ්ඩයක් වූ රන් එංගලන්තයේ ගොඩ ගැහෙද්දී එංගලන්තය විසින් කළේ රිදී සම්මතය අත ඇරලා රන් සම්මතයකට යන එකයි. 

එංගලන්තය මේ වැඩේ සැලසුම් සහගතව නොකළා වෙන්න පුළුවන්. ඒ වන විට එංගලන්තය මුහුණ පා සිටි ගෙවුම් ශේෂ ප්‍රශ්නය හමුවේ ඔවුන්ට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. හිතාමතා කළ දෙයක් වුනත්, අහම්බයක් වුනත්, මේ වැඩෙන් එංගලන්තයට විශාල වාසියක් සිදු වුනා. 

එක පැත්තකින් ලෝකයේම තිබුණු රන් සංචිත එංගලන්තයට එකතු වෙද්දී අනෙක් පැත්තෙන් අළුතෙන් කැනෙන රන් ආකාර බොහොමයක් තිබුණේත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනය යටතේ. ඒ නිසා ලෝකයේ බොහෝ රටවල රන් වලට වඩා රිදී ඉල්ලුමක් තියෙද්දී රන් සැපයුම පාලනය කිරීමේ ඒකාධිකාරය හරහා රන් මිල සැලකිය යුතු ලෙස ඉහළ යවන්න එංගලන්තයට හැකි වුනා. 

ඉතිහාසය පුරාම ලෝකයේ විශාලම ආර්ථිකයන් දෙකෙන් එකක් වූ චීනය දිගින් දිගටම රිදී සම්මතයේ හිටියා. අනෙක් විශාලම ආර්ථිකය වූ, ඒ වන විට බ්‍රිතාන්‍ය පාලනයට නතුව තිබුණු, ඉන්දියාව තුළද රිදී වෙනුවට රන් ආදේශ කළ හැකි වුනේ නැහැ. මේ රටවල් වල ධනය තිබුණේ රිදී ලෙසයි. එංගලන්තය රන් වඩා වටිනා සේ සැලකූ නිසා ඉන්දියාවේ හා චීනයේ තිබුණු රත්තරන්ද එංගලන්තය වෙතම ඇදී ගියා. පසුකාලීනව අලුත් නිධි හමු වී ලෝකයේ රිදී සැපයුම ඉහළ යද්දී ඉන්දියාව හා චීනය රන් සම්මතයේ සිටි රට වලට සාපේක්ෂව දුප්පත් වී එංගලන්තය පෝසත් වුනා. ඇමරිකාවේ රන් සැපයුම ඉහළ ගොස් ඒකාධිකාරය බිඳෙන තුරු එංගලන්තයට පවුමේ වටිනාකම ඉහළින් තියා ගැනීම අසීරු වුනේ නැහැ.

නිවුටන් විසින් 1717දී හදපු එංගලන්තයේ රන් සම්මතය 1930 පමණ වන තුරු අවුරුදු දෙසීයකටත් වඩා කාලයක් පැවතුණා. මේ සම්මතය කැඩුනේ කේන්ස්ගේ අදහස් මත පදනම්වයි.

රන් සම්මතය තියෙද්දී රජයකට හිතූ මනාපෙට සල්ලි අච්චු ගහන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සල්ලි එළියට දමන්නනම් සල්ලි වල වටිනාකමට රත්තරන් තිබිය යුතු වුනා. ඒ නිසා සල්ලි වල සැබෑ වටිනාකමක් තිබුණා. මේ කාලයේදී පෙනෙන්නට තිබුණු ආකාරය අනුව භාණ්ඩයක වටිනාකමේ මූලය වුනේ රත්තරන්. 

පළමුව, වෙළඳපොළේදී කිසියම් භාණ්ඩයක මිල ඩොලර්, පවුම් වගේ මුදල් ඒකකයකින් කියැවුනා. ඒ කියන්නේ පෙනෙන විදිහට භාණ්ඩයේ වටිනාකම එන්නේ මේ මුදල් ඒකක සමඟ හුවමාරුව සිදුවන ආකාරය මතයි. අනෙක් අතට මේ මුදල් ඒකක වල මිල තීරණය වුනේ රත්තරන් වලට සාපේක්ෂවයි. ඒ කියන්නේ ඕනෑම භාණ්ඩයක වටිනාකමේ ප්‍රභවය රත්තරන්. 

භාණ්ඩයක වටිනාකම හැදෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරක් ලෙස සාධාරණ න්‍යායයක් හොයපු අයට වටිනාකම එන්නේ රත්තරන් වලින් කියන එක විකාරයක් වගේ පෙනෙන එක අහන්නත් දෙයක් නෙමෙයි. රත්තරන් වලට අනෙක් කිසිවකට නැති විශේෂ වටිනාකමක් ලැබෙන්න කිසිදු දාර්ශනික හේතුවක් නැහැ. ඒ නිසා රත්තරන් වෙනුවට වඩා යෝග්‍ය ආදේශකයක් ගැන හිතපු ඇඩම් ස්මිත් වගේ අය සියලු වටිනාකම් වල මූලය ඒ මත යොදවන මිනිස් ශ්‍රමය විය යුතුයි කියන අදහස කරා යොමුවුනා. 

කාල් මාක්ස් විසින් පසුව ඉදිරියට ගෙන ගියේ ඔහුගේ කාලය වෙද්දී තව දුරටත් වැඩි දියුණු වී තිබුණු, ශ්‍රමය මත පාදක වූ වටිනාකම් පිළිබඳ අදහසයි, ඔහු මනෝරාජික සමාජවාදීන්ගේ අදහස්, හේගල්ගේ දයලෙක්තිකය හා පරිණාමය පිළිබඳ සමකාලීනව වැඩි දියුණු වෙමින් තිබුණු අදහස් එකතු කරමින් මාක්ස්වාදය ඉදිරිපත් කළා. 

මේ ශ්‍රම න්‍යාය වටිනාකම් පිළිබඳව දැන් පිළිගැනෙන ප්‍රධාන ධාරාවේ අදහස් සමඟ පසුකාලීනව ප්‍රතික්ෂේප වුවත් මාක්ස්වාදී සම්ප්‍රදාය තුළ එය තවමත් ඉතිරිව තිබෙනවා. ශ්‍රම න්‍යාය බිඳ වැටෙද්දී ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළඳපොළ පිළිබඳ අදහස් වලට හානියක් නොවූවත්, එය මාක්ස්වාදයේ පාදම වන බැවින් මාක්ස්වාදීන්ට ශ්‍රම න්‍යාය කෙතරම් අවලංගු එකක් වුවත් එය අත අරින්න පුළුවන්කමක් නැහැ. එහෙම කළොත් තවදුරටත් මාක්ස්වාදයක් කියා එකක් ඉතිරි වන්නේ නැහැ.

වටිනාකම් සාපේක්ෂ වුවත් ඒ සාපේක්ෂ වටිනාකම් ප්‍රයෝජ්‍ය වටිනාකම් මිසක් අහසෙන් කඩාපාත් වෙන දෙයක් නෙමෙයි. කෝවිඩ් එන්නතක වටිනාකම එකිනෙකාට සාපේක්ෂයි. එහෙත් ඒ වටිනාකමේ මූලය එන්නත මගින් කෝවිඩ් වලට එරෙහිව සපයන හෝ සපයනු ඇතැයි අපේක්ෂිත ආරක්ෂාවයි. එය ප්‍රයෝජ්‍ය වටිනාකමක්. එවැනි ප්‍රයෝජ්‍ය අගයක් නැත්නම් කෝවිඩ් එන්නතකින් වැඩක් නැහැ. 

රුපියල් පන්දාහේ නෝට්ටුවක ප්‍රයෝජ්‍ය වටිනාකමක් හෝ නෛසර්ගික වටිනාකමක් නැහැ. ඒ වගේම ඩොලර් සීයේ නෝට්ටුවක වුවත් කිසිදු නෛසර්ගික වටිනාකමක් නැහැ. මේ ආකාරයේ ආඥාප්ති ව්‍යවහාර මුදල් වල වටිනාකම තනිකරම ආරෝපිත වටිනාකමක්. ඒ ආරෝපිත වටිනාකම මුදල් නෝට්ටුවකට ලැබෙන්නේ මුදල් නෝට්ටුව සමඟ හුවමාරු කර ලබා ගත හැකි භාණ්ඩ හෝ සේවා වල ප්‍රයෝජ්‍ය අගය මතයි. 

නිව්ටන්ගේ රන් සම්මතයේ සිට වසර 213කට පසුවත් බ්‍රිතාන්‍ය පවුමක වටිනාකම රන් අවුන්සයකින් 4.25කින් පංගුවක් සේ පැවතුණා. මේ අනුපාතය ඉන්දියාවේ හා ලංකාවේ රුපියල් වල වටිනාකමද තීරණය කළා. එය සම්මත නිශ්චිත වටිනාකමක්. 

පළමු ලෝක යුද්ධයේ වියදම් වල බරට 1929 ආර්ථික අවපාතයේ බර එකතු වීමෙන් පසුව බ්‍රිතාන්‍ය රජයට අයවැය තුලනය කර ගන්න බැරි වුනා. එංගලන්තය විසින් ඇමරිකාවෙන් යුද්ධය වෙනුවෙන් ගත් ණය පියවිය යුතුව තිබුණා. ඒ සල්ලි අය කර ගත යුතුව තිබුණේ ප්‍රංශයෙන්. ප්‍රංශය ණය අය කර ගත යුතුව තිබුණේ ජර්මනියෙන්. නමුත් ජර්මනිය යුද්ධයෙන් පසුව බංකොලොත් වෙලා. 1931 සැප්තැම්බර් 21 වනදා බ්‍රිතාන්‍ය රජය විසින් නිවුටන්ගේ කාලයේ සිට පැවති රන් සම්මතය බිඳිමින් රන් ප්‍රමාණයේ වටිනාකම ඉක්මවා සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගත්තා. 

බ්‍රිතාන්‍යය තමන් සතු වූ රන් ප්‍රමාණයට වඩා පවුම් අච්චු ගසා එළියට දැමීම නිසා රන් වලට සාපේක්ෂව පවුමක වටිනාකම අඩු වුනා. ඒ කියන්නේ පවුම බාල්දු වුනා. කලින් ඩොලර් 4.86ක් වූ පවුම ඩොලර් 3.69ක් වුනා. කලින් පවුම් 4.25ක් වූ රන් අවුන්සය පවුම් 5.60ක් වුනා. ඒ කියන්නේ පවුමක රන් වටිනාකම අවුන්සයකින් 4.25කින් කොටසක සිට අවුන්සයකින් 5.60කින් කොටසක් දක්වා අඩු වුනා. ඇමරිකන් ඩොලර් 4.86ක් වූ පවුම ඩොලර් 3.69ක් දක්වා අඩු වුනා. 

පවුම අවප්‍රමාණය කිරීම නිසා බ්‍රිතාන්‍යය නිපදවන බඩු ඇමරිකන් බඩු වලට වඩා ලාබ වී ඇමරිකාවේ අපනයන තරඟකාරීත්වය අඩු වුනා. මේ නිසා ඇමරිකාවට ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් ඇති වුනා. මා කලින් ලිපියක විස්තර කළ "රත්තරන් මංකොල්ලය" කරන්නට ඇමරිකානු රජයට සිදුවුනේ මේ තත්ත්වයට පිළියමක් ලෙසයි. 

"රන් මංකොල්ලයෙන්" පසුව, කලින් ඇමරිකන් ඩොලර් 20.67කට සමාන වූ රන් අවුන්සය ඇමරිකන් ඩොලර් 35ක් වුනා. එයට අනුරූපව ඇමරිකන් ඩොලරය පිරිහුණා. පවුමක අගය නැවතත් ඇමරිකන් ඩොලර් 5 ඉක්මවා ඉහළ ගියා. ඇමරිකානු තරඟකාරීත්වය නැවතත් ඇති වුනා. ඇමරිකාව විසින් පවත්වාගත් වෙළඳ ශේෂ අතිරික්තය හරහා වසරින් වසර රන් සංචිත ගොඩ ගැහෙද්දී කාලයක් ලෝක ආධිපත්‍යය දැරූ පවුමට තිබුණු තැන ටිකෙන් ටික පිරිහී ඇමරිකන් ඩොලරය ඒ තැනට එන්න පටන් ගත්තා.

දෙවන ලෝක යුද්ධය ආසන්න කාලය වන විට ඇමරිකන් ඩොලරය පවුමකට ඩොලර් 4.03 මට්ටමට එන තුරු  පවුම පිරිහිලා තිබුණා. ලංකාවට නිදහස ලැබෙන කොටත් ඇමරිකන් ඩොලරයක් ස්ටර්ලින් පවුම් 4.03ක්. එහෙත් බ්‍රිතාන්‍යය තවදුරටත් ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණු දෙමින් සිටියා. විශේෂයෙන්ම ඉන්දියාව වගේ ලොකු කෑල්ලක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ගැලවුනාට පස්සේ. 1949 සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රිතාන්‍යයට පවුම 30%කින් පමණ අවප්‍රමාණය කරන්න වුනා. ඉන් පසුව පවුමක් ඇමරිකන් ඩොලර් 2.80 වුනා.

බ්‍රිතාන්‍ය පවුම අවප්‍රමාණය වන වාරයක් පාසා ලංකාවේ රුපියලද අවප්‍රමාණය වුනා. ජාත්‍යන්තර ආදායම් බොහොමයක් බ්‍රිතාන්‍ය පවුම් වලින් ඉපැයූ ලංකාවට එසේ නොකර රටේ අපනයන තරඟකාරිත්වය පවත්වා ගන්න බැරි වුනා. 1949දී පවුම හා රුපියල අවප්‍රමාණය කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවද්දී, ඇමරිකන් ඩොලරයක් රුපියල් 4.76යි.

වසර 18ක් පමණ ඔය තත්ත්වය ඔය විදිහට තිබුණා. බ්‍රිතාන්‍ය පවුම ඔය මට්ටමේ වුවත් දිගටම තියා ගන්න පහසු වුනේ නැහැ. 1967 නොවැම්බර් 18 වනදා බ්‍රිතාන්‍යය විසින් නැවතත් පවුම අවප්‍රමාණය කළා. ඩොලර් 2.80ක් වූ පවුම ඩොලර් 2.40ට බැස්සා. 

බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුවත් රුපියල බ්‍රිතාන්‍ය පවුමෙන් නිදහස් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා පවුමට කිඹුහුමක් යන වාරයක් පාසා රුපියලට හෙම්බිරිස්සාව හැදුනා. පවුම 14%කින් අවප්‍රමාණය කරලා දවස් හතරකට පස්සේ 1967 නොවැම්බර් 22 වෙනිදා රුපියල 20%කින් අවප්‍රමාණය කෙරුණා. මේ අනුව එතෙක් රුපියල් 13.33ක් වූ පවුම රුපියල් 14.28ක් වෙද්දී ඇමරිකන් ඩොලරය රුපියල් 5.95ක් වුනා.

ඇමරිකන් ඩොලරයකට තව දුරටත් රන් අවුන්ස 1/35ක වටිනාකමක් තිබුණා. එහෙත් කලින් බ්‍රිතාන්‍ය පවුම් 12.5කට මිල දී ගත හැකිව තිබුණු රන් අවුන්සයක් මිල දී ගන්න අවශ්‍ය පවුම් ප්‍රමාණය 14.59 දක්වා ඉහළ ගියා. රන් ග්‍රේන්ස් 2.88ක හෙවත් රන් අවුන්ස 0.006ක වටිනාකමක් තිබුණු රුපියල රන් අවුන්ස 0.0048 දක්වා පහත වැටුනා. වෙනත් විදිහකින් කිවුවොත් රන් අවුන්සයක මිල රුපියල් 208 දක්වා ඉහළ ගියා. 

නිදහස ලැබූ තැන් සිට රුපියල රන් වලට, ඩොලරයට වගේම පවුමටද සාපේක්ෂව යම් තරමකින් බාල්දු වී තිබුණත් මේ වන විටද රන් සම්මතයක් තව දුරටත් එසේම තිබුණා. 1971 අගෝස්තු 15 වනදා ඇමරිකාව විසින් රන් සම්මතය අත හරින විටත් ඇමරිකන් ඩොලරයක් රුපියල් 5.95යි. රන් අවුන්සයක් නිල වශයෙන් රුපියල් 208යි. ඉතිරි හැම දෙයක්ම සිදු වී අද තිබෙන තැනට රුපියල වැටුනේ ඉන්පසු ගෙවුණු වසර පණහකට යාන්තමින් අඩු කාලය තුළයි.

12 comments:

  1. Dear Econo,
    I was wondering if you have you written anything on digital currencies such as Bitcoin and impact on them on FIAT currencies (Not sure about impact on SLR). If you have, would you please post the link here?
    BTW, you do an excellent job putting complex subject areas and matters in simple Sinhalese. I have learnt a lot reading your articles. Thank You.

    ReplyDelete
    Replies
    1. I haven't, even though I had several requests from readers. I need to explain what money is and how money evolved throughout the history before moving to digital currencies and two other related recent developments not on spotlight as digital currencies (local currencies and time banking).

      Delete
  2. රන් සම්මත රිදී සම්මත තිබුණ වගේ
    අපෙත් තියෙනවා සම්මත හරිම අගේ
    ගසා දහංගැට රට ගොඩ ගන්න වගේ
    බලය ලබා, කති රට පිස්සුවෙන් වගේ!

    ReplyDelete
  3. ණය වෙලා හරි කමු බොමු සැපේ ඉමු.

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා ඉතිහාසය පුරා ලෝකය එකම තැන තිබුනේ නෑ. ලෝකය කාලයත් සමග වෙනස් උනා.

    උදාහරණයක් විදියට Warren Buffet (වොරන් බුෆේ) කියන ප්‍රසිද්ධ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආයෝජකයා මෙතරම් පොහොසත් වෙන්න හේතු උනේ හරි කාලේ හරි රටේ ඉපදෙන්න වාසනාවන්ත උන නිසා කියලා ඔහු විශ්වාස කරන්නවා. ඒ කතාවේ ඇත්තක් තියෙනවා කියලා මේක ගැන පර්යේෂණ සහ විශ්ලේෂණයන් කල අය පවසන්නේ. ඇත්තටම ඔහු ඉපදෙන්නේ 1930 දී ඇමරිකන් එක්සත් ජනපදයෙදි. ඊට වසර 60 කට පස්සේ 1988 දී සුප්‍රසිද්ධ The Economist සඟරාවේ කරන පරීක්ෂණයකින් කියනවා ලෝකේ ආර්ථික සමෘද්ධිය ඇති කරන එක සඳහා හොඳම තැන ඇමෙරිකා එක්සත් ජනපදයේ කියලා. ඒත් ඒ සමීක්ෂණයම 2012 දී කරන කොට ඇමෙරිකා එක්සත් ජනපදය 16 වෙනියට වැටිලා. කොටින්ම තායිවානෙත් ඊට උඩින්.

    ඔන්න ඔය වගේ කලකදි තෝරු මෝරු හිටපු ඒ ලිස්ට් එකේ දැන් වැඩිපුර හාල්මැස්සෝ පිරිලා. ස්කැන්ඩිනේවියානු රටවල්, ස්විට්සර්ලන්තය, සිංගප්පූරුව, අයර්ලන්තය වගේ පොඩි රටවල් ආර්ථික සංවර්ධන මොඩලය අතින් සෑහෙන උඩට ඇවිත්. ඇමෙරිකා එක්සත් ජනපදය වගේ මිලියන තුන් සිය ගණනක් සිටින අතිවිශාල භූමි ප්‍රමාණයක්, අධික වශයෙන් ස්වභාවික සම්පත් සහිත විශාල රාජ්‍යන් වෙනුවට මිනිස්සු මිලියන 25 ක් වත් නැති ප්‍රමාණයෙන් කුඩා ස්වභාවික සම්පත් හිඟ රජ්‍යයන් ඉදිරියට ගියේ මේ අන්තිමට ගෙවුණු අවුරුදු 30 ඇතුලත. දැන් ලෝකයේ ඒක පුද්ගල ආදායම අතින් ඉහළින්ම ඉන්න රටවල් 15 අතරින් 11 ක්ම ප්‍රමාණයෙන් පොඩි රටවල්. හොඳම මානව සංවර්ධන දර්ශකය ඉහළම තියෙන රටවල් 20 න් 15ක් ම කුඩා රාජ්‍ය යන්. එහෙනම් ලෝකයේ මේ කුඩා රාජ්‍යන් ඉක්මනින් දියුණු කලා නම් ලංකාවේ අපිට බැරි ඇයි? බලමු අපිට බැරි ඇයි කියල.

    සම්ප්‍රදායිකව පරණ ලෝකේ දියුණු වෙන්න නම් ලොකු රටක් වෙන එක, ලොකු ජනගහනයක් ඉන්න එක, ලොකු තාක්ෂණයක් තියෙන එක, ලොකු හමුදාවක් හා නාවික හමුදාවක් ඉන්න එක තමයි බල පෑවේ. එතකොට රට ඇතුලේ එකතු උන දැනුම, තාක්ෂණය, ප්‍රාග්ධනය භාවිතා කරලා අලුත් දේවල් නිර්මාණය කරලා ලෝකෙට අලෙවි කරලා ඒ ලොකු රටවල් දියුණු උනා.

    ඔහොම යනකොට පස්සේ කාලෙක ඒ දියුණුවේ පිහිටෙන්ම ලෝකය පුරා වේගයෙන් ගෝලීය කරණය පැතිරුණා. සන්නිවේදනය, තොරතුරු තාක්ෂණය සහ ප්‍රවහනය කියන ක්ෂේත්‍ර තුනේ දැවැන්ත දියුණුව නිසා ලෝකය එකම ගම්මානයක් බවට පත් වුනා. ලොකු කුඩා රටවල් එවලට වෙන්වෙලා තිබුණු ලෝකය අන්තර්ජාතික වෙළඳ පොළ විසින් ටික ටික කුඩා කලා. එක රටක ප්‍රාග්ධනයෙන්, තව රටක දැනුම හා තාක්ෂණයෙන්, තවත් රටක අමුද්‍රව්‍ය හා ශ්‍රමයෙන් මුළු ලෝකෙටම අලෙවි කරන්න පුළුවන් නිශ්පාදන හැදෙන ජාල බිහිවුනා. ඒ නිසා රටක් පොඩියි කියලා නෑ, මේ ගොඩ නැගෙන අන්තර්ජාතික වෙළඳාමෙන් කොටසක් තමන්ට උරුම කර ගන්න කුඩා රටවල් වලට අවස්ථා හෙවත් Opportunities ලැබුනා. ඒ Opportunities හොඳින් අල්ල ගෙන ඒවාට අනුව රට හැඩ ගස්ස ගත්ත රාජ්‍යයන් ඒ දියුණු වෙන අන්තර්ජාතික දියුණුවෙන් තමන්ට කොටසක් කඩා ගත්තා. ධනය වපුර ගත්තා.

    ඒ කුඩා රටවල් වලට තිබුනේ ඒ අන්තර්ජාතික වෙළඳාමෙන් තමන්ට කොටසක් දිනා ගන්න විතරයි. ඒ වෙනුවෙන් නියමිත වෘත්තීය දක්ෂකම් ඔවුන් ගෙන්වා ගත්තා, ඇති කර ගත්තා. මොකක්ද ඔවුන්ගේ රහස් වට්ටොරුව උනේ? ඒ තමයි අන්තර්ජාතික වෙළඳාමට විවෘතවීම සහ ඒ සමග තරඟ කරන්න හැකි මානව සම්පතක් දියුණු කර ගැනීම.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ බොහෝ දෙනෙක් හිතනවා ලංකාවට තියෙන හොඳම සම්පත ස්වාභාවික සම්පත් කියලා. නෑ, ලංකාවට තියෙන සම්පත මානව සම්පත. ඒක හැබැයි හොඳ අධ්‍යාපන ක්‍රමයකින් දියුණු කලොත්, ඒ ශ්‍රමය අන්තර්ජාතික වෙළඳපොළ තුල යොද වලා රට දිනව ගන්න පුළුවන්.

      ඒත් එක්කම ඒ කුඩා රටවල් වල දකින්නට ලැබුන තව ලක්ෂණයක් තමයි දක්ෂයන්ට තැන දීම. රට ඇතුලේ වගේම, රටට පිටින් ආවත් දක්ෂයන් වැඩේට යෙදවීම තුලින් වැඩේ සාර්ථක කර ගන්න පුළුවන්. දැන් බලන්න දියුණු හැම රටකම වගේ රටට වෙන රට වලින් එන දක්ෂයන්ට එන්න ඉඩ දෙනවා, පුරවැසි කම දෙනවා. දක්ෂතාවය ආනයනය කරනවා. ඒ නිසා රට ඇතුලට මිනිස්සුන්ට පිටින් ආගමනය වෙන්න ඉඩ හදන්න ඕනේ.

      ඒ වගේම දියුණු වෙන රටක් නම් වෙන වෙන වර්ග වල මිනිස්සු ඉඳීවී. ඕනෑම දියුණු රටක පිටින් ආපු මිනිස්සු ඉන්නවා. ලංකාවෙම අයත් කොච්චර පිටරට යනව ද? ඒ වගේ දියුණු රටවල් හොයා ගෙන මිනිස්සු එනවා. එතකොට රට තුල බහු ජනවාර්ගික සමාජයක් බිහි වෙනවා. අපි එය ඉවසන්න පුරුදු වෙන්න ඕනේ වගේම සමානාත්ම තාවයෙන් සළකන්නත් පුරුදු වෙන්න ඕන. ඒ නිසා ආගමන වලට ඉඩ දීම, වෙනත් සංස්කෘතීන් ඉවසීම සහ ඔවුනට සමානාත්මතාවයෙන් සැළකීම කියන කාරණා අනාගත ලෝකයේ දී අපේ රට දියුණු කරනවා නම් අපි ඉගෙන ගන්න, පුරුදු පුහුණු කර ගන්න ඕනේ.

      දැනට ලෝකයේ විවිධ රටවල මිනිස්සු මිශ්‍ර වේගෙන යන වේගෙට, රට රටවල් අතර හුවමාරු වන වේගෙට මිනිස්සුන්ට එක රටක විතරක් පුරවැසියෝ වෙලා ඉන්න බැරි වෙයි. එය ගෝලිය පුරවැසියා කියන තැනට තව දශක කීපයකින් ඒවි. එතකොට ඔය එක රටක පුරවැසිකම කියන එකේ වටිනාකම අඩු වෙයි.

      ඒ වගේම අපේ රට කියාගෙන අපි වෙන් කර ගෙන, අපි වෙනස් කියලා හිටියට ඉස්සරහට අපිට එහෙම ඉන්න බැරි වෙයි. ලෝකය ගෝලියකරණය වෙන වේගෙත් එක්ක අපිටත් ටික ටික ඒ එක්ක අනුගත වෙන්න වෙනවා. නැතුව පවතින්නේ නෑ. දියුණු වෙන්න ඕනේ නම් ඒක අපිට භාර ගන්න වෙනවා. මේ දේවල් ගැන දැනුවත් වෙන්න මුලින්.

      ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයේ දියුණුව ඇතිවෙනකොට ලැබුණු ගෝලීය opportunities වලින් සිංගප්පූරුව, දකුණු කොරියාව වගේ රටවල් දියුණු උනා. ඒ වගේම චීනය දියුණු වෙනකොට ඒ ලැබෙන opportunities වලින් වියට්නාමය, තායිලන්තය , මැලේසියාව වගේ රටවල් දියුණු වෙනවා. අප දැනටමත් එම opportunities අල්ලා ගන්න ප්‍රමාදයි. නමුත් දැනුත් අපට අවස්ථාව තියෙනවා. ඊළඟට ආයේ ඌරෙක් කැකුණ තලන්නේ ඉතිං ඉන්දියාව තමයි. ඉන්දියාව දියුණු වෙනකොට ලැබෙන opportunities අපි හරියට හඳුනා ගෙන ඒවායින් වාසි ගත්තේ නැත්නම්, අපිට ආයේ කොයි කාලේ අවස්ථාවක් ලැබෙයි ද දන්නේ නෑ. ඒ නිසා ලංකාවේ ආර්ථික සංවර්ධනයට ජනපතිට අවශ්‍ය නම් හදන්න පුලුවන්. මේ රට නෙවෙයි අපිට ඕන එකක් හදන්න පුළුවන්. හැබැයි ඒක හරියට කලොත්. එහෙනම් අපි කර ගන්න ඕනේ වෙනස් කම් මොනව ද?

      01. ලෝක වෙළඳාමට විවෘත වෙන්න ඕනේ. ඒකට බයේ හැංගිලා මේක කරන්න බෑ.

      02. අපිට තියෙන ලොකුම සම්පත මානව සම්පත. ඒක දියුණු කරන්න ඕනේ හොඳ අධ්‍යාපන ක්‍රමයකින්. ගෝලියව හිතන, මිනිස්සුන්ට සමානාත්මතාවයෙන් සලකන, බහු සංස්කෘතික සමාජයක ජීවත් වෙන්න දන්න, ඉවසීම දන්න මිනිස් පරම්පරාවක් හදන්න ඕනේ. ජාතිවාදය යට ගහලා , ජාතික සමගිය හදා ගන්න ඕන

      03. මිනිස්සුන්ට මීට වඩා පුද්ගලික නිදහස දෙන්න ඕනේ. ඒ නිදහසෙන් තමයි මිනිස්සු අලුතින් හිතන්න පෙළඹෙන්නේ, නව නිර්මාණ කරන්නේ.

      04. සුදුස්සන්ට සුදුසු තැන දෙන ක්‍රමයක් ඕනේ. Meritocracy කියන්නෙ ඒකනේ. ඒ වගේම රටට වෙන රට වලින් දක්ෂයන්ට එන්න ඉඩ දෙන්න ඕනේ. Immigration ලේසි කරන්න ඕනේ.

      05. ලෝකයේ වෙනස් වන වෙළඳ පොළ දැකලා එයින් කොටසක් කඩා ගෙන මේ රට ඇතුලට ගෙන්න පුළුවන් දැක්මක් තියෙන නායකයෝ ඕනේ. දේශපාලන නායකයෝ වගේම ව්‍යාපාරික නායකයෝ.

      06. රට තුල යහපත් රාජ්‍ය පරිපාලනයක් හා හොඳින් නිතීය ක්‍රියාත්මක වන පරිසරයක් හදන්න ඕන.

      Delete
    2. ඉකොනොමැට්ටා මේවාට කිසිම විදිහකින් එකඟ නොවෙනවා කියලා දන්නවා. හැබැයි ආර්ථික සංවර්ධන සහිත රටක් දිහා බැලුවොත් මේ දෙවල් එහේ තියෙනවා.

      ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වෙනකොට සමහර විට හිතෙනවා අපේ රට අපිට අහිමි වෙනව ද කියලා. එහෙම හිතෙන්නෙ අපිට විතරක් නෙවෙයි. බලන්න ලෝකය පුරා ජාතිකවාදී දේශපාලන රැල්ලක් එන්නෙ ඒ නිසා. ඇමෙරිකාවේ ට්‍රම්ප් දිනන්නේ, බ්‍රිතාන්‍යයේ Brexit එක දිනන්නේ, ලෝකය පුරාම එහෙම රැල්ලක් යන්නේ මේ ගෝලියකරණය කියන බැම්මෙන් ලෝකයම මිශ්‍ර වෙලා බැඳීගෙන යන කොට ඒ ඒ රට වලට තිබුන අනන්‍යතාවය ටික ටික බොඳ වෙන හින්දා. ඒකට කවුරුත් කැමති නෑ. ඒ නිසා තමන්ගේ රට ජාතිය රැක ගන්න කියලා ජාතිකවාදී ප්‍රතිපත්ති අරගෙන එනවා.

      හබැයි එහෙම කරන එක හරියට අර කැරකෙන ලෝකේ අතින් අල්ලලා නවත්වන්න හදනවා වගේ. කරන්න බෑ. ලෝකය කැරකෙන විදියට එයා යනවා. ලෝකයේ ගෝලියකරණය එක්ක මුහු වෙලා යන එක තමයි විසඳුම. නැත්නම් අපිට ලෝකයේ ජනිත වන ධනයෙන් කොටසක් උරුම කර ගන්න ලැබෙන්නේනෑ. අපි හැමදාම දුප්පත්, ණය වෙච්චි, පසුගාමි ජාතියක් විදියට ඉතුරු වෙනවා. එතකොට කාලෙන් කාලෙට එන ලෝක බලවතුන්ගෙන් හිඟා කන, උන් අපෙන් සූරං කන යටත් විජිත බවට මේ රට පත් වෙනවා. එතකොට අපි මේ රට ඇතුලේ ඉන්න එවුන්ම ගහ මරාගෙන බේරන්න හදන රට කොහොමත් අපිට නෑ. අපි කාගෙවත් අතවැසියෝ වෙලා.

      මේ ටික හැමෝටම තේරෙන එකක් නෑ. ඒත් තේරෙන අය ඉන්නවා. ඒ අයට පුළුවන් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට...

      Delete
    3. //ඉකොනොමැට්ටා මේවාට කිසිම විදිහකින් එකඟ නොවෙනවා කියලා දන්නවා. //

      ඉකොනොමැට්ටා එකඟ නොවනවා කියා හිතන කොටස කුමක්ද?

      Delete
    4. @ Anonymous April 4, 2021 at 11:21 AM,

      උඹ ඔය ගහන්නෙ අර 2019 ජනාධිපතිවරණය කාලේ මරාගේ මිනිමෝර මලයා දිනවන්න අමු හෙළුවෙන් කඩේ ගිය විපත් මග (දැන් කියත් මග) සහ (බඩ) එළිය වගේ ඒවයේ හිටපු ගෝතයෝ ගහපු වාද බයිලා නේ.

      ඕවා සම්පූර්ණයෙන්ම වැරදි යල් පැන ගිය අසාර්ථක කතා. අතීතයේ ගෝලීයකරණය ගැන ඔහොම අදහස් දරන්නන් එබඳු මුග්ධ සම්පප්‍රලාප වැල් වටාරම් දොඩවපු නමුත් දැන් කවුරුත් ඒවා පිළිගන්නේ නැහැ.

      අර නාලක (නයි පාලක) ගොඩ හේවා වියට් නාමේ දියුණු වෙන හැටි ගැන, මැලේසියාව, සිංගා, තායිලන්ත, ඉන්දුනීසියා වගේම අයර්ලන්තේ, බෝල්කන් ස්ලෝවේනියාව වගේ රටවල් ගැන දීපු ටෝක්ස් වල විදිහට පුළුවන් නම් ලංකාව දියුණු කරල පෙන්නපියව් කෝ තොපිට ඇට නව ලස්සයක් අම්බරුවො තුනෙන් දෙක දීල තියෙන්නෙ.

      ඔය බයිලා හරියන්නේ නැහැ. ලංකාවට අවශ්‍ය වන්නේ සුබසාධන අරමුණින් යුතුව ජනදුක නිවන ප්‍රබල වැඩපිළිවෙලක්. සැමට නිවාස ලබාදී නිවාස ප්‍රශ්නය විසඳා ආදායම් මාර්ග සලසා බඩු මිල අඩු කරගැනීමට නවීන පන්නයේ තාක්ෂණය භාවිතා කර කෘතිම බුද්ධියෙන් විද්‍යාත්මක ක්‍රමයක් සකස් කරන එක අවශ්‍යයි. මේකට සමගි ජන බලවේගය වැනි තිරසාර සංවර්ධනය උදෙසා කැපවුණු හරිත පක්ෂයක් (ලංකාවේ පළමු සහ එකම හරිත පක්ෂය) සමග ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගය වැනි නවීන සමාජවාදී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම මගින් වෙළඳ පොළ නිර්මාණය කරන එක සඳහා කැප වුණ පක්ෂයක් එකතු වෙලා හදන සංධානයක පුළුල් පෙරමුණක් හරහා මෙය ඉතාමත් සාර්ථකව ස්ථාපනය කිරිම තමයි වඩාත් සුදුසු ප්‍රායෝගික සැලසුම. නන්දසේන රාජපක්ෂ ගේ දූෂිත ෆැසිස්ට්වාදී රාජ ආණ්ඩුව නප්පියටම ෆේල් වෙලා ඉවරයි ආයේ කවදාවත් ගොඩ එන්න බෑ.

      Delete
    5. සිංහල ‍බෞද්ධ මනුෂ්‍යයන් වන අප හැම විටම බලන්න ඕනේ තමන්ගේ ජාතිය ගැන.
      නැතුව රට ගැනවත්, ආර්ථිකය ගැනවත් නෙමෙයි.
      ආර්ථිකය ගැන කියන්න තියෙන එකම දේ බල්ලො මරලා හරි සල්ලි හොයපල්ලා.
      දේශ පාලනයයි ආර්ථිකයයි පටලවගන්න එපා. අඩුම ගනනේ වතු දෙමෙල්ලුවත් ඒ වැරැද්ද කරන්නේ නෑ

      Delete
    6. @ Jagath Pathirana,

      රට ජාතිය රැක ගැනීමට නම් හොඳින් කා බී ආර්ථික වශයෙන් ශක්තිමත් වී සිටිය යුතුයි. ලෝකයේ ඇති සියලුම රටවල් වල පාහේ සියලුම දේශපාලඥයන් අතරේ අතිශය බහුතරයක් අවස්ථාවාදීන් හා කපටියන් වන අතර ඡන්දදායකයන් හැමෝම වගේ අඩු වැඩි වශයෙන් මෝඩයන්ය. මේක ගැන හැරල්ඩ් ජේ. ලැස්කි මෙන්ම නූතනයේ ජෝන් ලොක්, තෝමස් හොබ්ස් සහ ශොංන් ශක්වින් රූසෝ වැනි බහුවිධවාදීන් ද මෙම මතය දරන්නන් අතර වේ. උදාහරණයක් විදියට ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය ප්‍රංශය ප්‍රධාන රටවල් හොඳින් ඇනලයිස් කලෝතීන් මේක නම් අනිවාර්යෙන්ම ඉතා පැහැදිලි ලෙස නිරීක්ෂණය කරන්නට පුළුවන්.

      ලංකාවේ ගෝඨාභයගේ ජනප්‍රියත්වයට හේතුවන කාරණා දෙකකින්පළමුවැන්න යුධ ජයග්‍රහණය සඳහා ඔහුගේ සුවිශේෂී දායකත්වය.

      දෙවැන්න ලංකාවට විනයගරුක නිර්භය තීරණ ගැනීමේ ශක්තියක් ඇති දැඩි පාළකයෙකු අවශ්‍ය බව පුරවැසියන් විශ්වාස කිරීම. ලංකාවේ යුද්ධය ජය ගැනීම සඳහා දුන් ඉහළ දායකත්වය නිසාම ගෝඨාභය රටේ පාළකයා බවට පත් විය යුතු යැයි සිතීම අනුවණ සිතිවිල්ලක්. යුද්ධය යනු තනි ඉලක්කයකට වෙඩි තැබීමක් යැයි සිතුවහොත් රටක් සංවර්ධිත ඉලක්ක කරා රැගෙන යාම ඉගිලෙන කුරුල්ලන් රැසකට වෙඩි තැබිම වැනි ක්ෂේත්‍ර ගණනාවක ජයග්‍රහණයන් වෙත ලඟා වීමයි.

      ලංකාවට යුද්ධය දිනීම අසීරු කරුණක් වුණා වගේම ලංකාව වගේ රටක් සංවර්ධනය කරා රැගෙන යාම ඊටත් වඩා සිය දහස් ගුණයක් අමාරු කාර්යයක්. වැදගත්ම කාරණය වන්නේ ලංකාවේ ඇති බරපතලම ගැටළු මෙම අපේක්ෂකයන් හඳුනාගෙන ඇත්ද සහ එම ගැටළු සඳහා සාර්ථක විසඳුම් ඉදිරිපත් කර ඇත් ද යන්නයි. පාළකයෙකුට දැඩි බව අවශ්‍යයයි. නමුත් දැඩි බව යනු පළමු අවශ්‍යතාව නොව දෙවෙනි අවශ්‍යතාවයයි.

      සැබෑ යථාර්තය නම් පාලකයාගේ පළමු අවශ්‍යතාව වන්නේ ගැටළු හඳුනා ගැනීම වන අතර දැඩි බව අවශ්‍ය වන්නේ ඊට පිළියම යෙදීමේදීයි. එසේ නොවේ නම් උතුරු කොරියාව ලොව සංවර්ධිතම රාජ්‍යයක් විය යුතුය. ලංකාවේ කෝපරේට අංශයේ ධම්මික පෙරේරා හෝ හැරී ජයවර්ධන සාර්ථක ව්‍යපාරිකයින් බවට පත් වන්නේ ඔවුන්ගේ ව්‍යපාරික දැනුම නිසා මිස දැඩි බව නිසා නොවේ. දැඩි බව ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ව්‍යපාරික සැළසුම් ක්‍රියාත්මක කිරීමේදීයි.

      ගෝඨා භය සහ ඔහු වටා සිටි පිරිස් විසින් සමාජ ගත කරපු පණිවිඩය තමයි ලංකාවේ සැබෑ ප්‍රශ්නය වන්නේ ජාතිවාදී සංවිධාන වල තර්ජනයට වඩා ආර්ථිකයේ අපනයන මෙන් දෙගුණයක් ආනයනය නිසා ඇතිවූ වෙළඳ හිඟය සහ රටේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බවයි. මේ මතය ලංකාවේ බහුතරයක් වූ මධ්‍යම පාන්තික ජනයා පිළිගත් අතර ඒ සමගම දේශපාලන ස්ථාවරත්වය සහ ශක්තිමත් මිලිටරිමය සංවිධාන කටයුතු මගින් ජාතික ආරක්ෂාව ගැන සහතික වුණා.

      ගෝඨා භය සහ ඔහුගේ අනුගාමිකයන් පැවසුවේ ලංකාවේ අපනයන විශාල වශයෙන් වර්ධනය කර ගැනීම මගින් ආනයන වියදම් අපනයන ආදායම් බැලන්ස් කරගෙන පස්සෙ ඒක ධන බවට පත්කරන බවයි. මේ ගැන උදාහරණ දෙමින් සිංගප්පූරුව ඩොලර් බිලියන 600 කට අධික අපනයන සහ බිලියන 530 ක් විතර ආනයන මගින් මිලියන හයකට අඩු ඩොලර් බිලියන 350 ක ආර්ථිකයකට හිමිකම් කීම, මැලේසියාව + 250 - 200, GDP 350 B, මිලියන 3ක් ජනගහනය, තායිලන්තය + 230 - 220, GDP 560B, මිලියන 7 ජනගහනය, තව ඊශ්‍රායලය, ස්ලෝවේනියාව, එක්සත් අරාබි එමීර්, සංවර්ධනය වෙමින් පවතින වියට්නාම් ආදී වශයෙන් විවිධ රටවල් වල ආර්ථික සංවර්ධන සැලසුම් ගැන සාකච්ඡා කළා.

      ඒ වගේම 2018 - ඩොලර් 88 බිලියන ආර්ථිකය බලය අත්පත් කරගෙන 2020 - 21 වනවිට ඩොලර් බිලියන 100 දක්වා සහ වසර දහයකින් ඩොලර් බිලියන 200 පන්නවා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ අගය ඩොලර් 10,000 - 12,000 කරන බව කියමින් බලාපොරොත්තු ඇති කළා. තව ජාතික පාසැල් 1000 ක් වගේ දේවල් , වාර්ෂිකව ඩොලර් බිලියන තුනක් හතරක් විතර වටින අලුත් අපනයන ආදායම් වැඩි කර ගැනීමට පුළුවන් බව කියුවා නේද? මේවා ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමයි. ගෝලීය වසංගතය නිසා ආර්ථිකය ඉතා දැඩි ලෙස අසීරු නමුත් කෙසේ හෝ මුදල් සොයාගෙන රට සංවර්ධනය කිරීම ඔවුන්ගේ වගකීම තමයි.

      Delete
    7. ඒ වගේම රටේ ආරක්ෂාව තහවුරු කර සංචාරක ව්‍යාපාරය විශාල වර්ධනය කිරීම, ඉරාජ්, දිලිත් වැනි අයගේ සහයෙන් ලංකාව ලෝකයේ සුප්‍රසිද්ධ රටක් ලෙස මාකට් කරන එක, සංචාරක කර්මාන්තයට අමතරව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා හරහා ආදායම් ඉහළ නැංවීම, තව රටට පේපෑල්, ස්පොටිෆයි, ෂොපිෆයි වගේ දේවල් හරහා ධනය ගෙන්වා ගැනීමේ සැලසුම්, ඊ බේ, ෂොපිෆයි, ඇමසෝන් හා අලිබබා හරහා දේශීය ගෘහ කර්මාන්තයට විශාල වශයෙන් විදේශ වෙළඳ පොල ලබාදීම, තව fiver, direct shipping, digital marketing වගේ විවිධ සේවා සපයා විදේශ විනිමය උපයන සැලසුම්???

      මේවට මොකද්ද උනේ?

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...