"මොකද නිකම් එලොව පොල් පෙනිල වගේ?"
කවුරු හරි තේරුමක් නැතිව ඔහේ බලාගත්තු අතේ බලා ඉන්නකොට දකින අය ඔහොම අහනවා. ඔය ප්‍රශ්නය අහන සමහර අය පොඩි කාලේ එලොව පොල් දැකල ඇති. මමනම් දැකල තියෙනවා.
මම පොඩි කාලේ එලොව පොල් දැකල තියෙනවා වගේම වෙන අයට එලොව පොල් පෙන්නලත් තියෙනවා. ඕක අපි පොඩි කාලේ කරපු සෙල්ලමක්. සෙල්ලමක් කිවුවට සෙල්ලමක්මත් නෙමෙයි. ඕක ඇත්තටම බුලි කිරීමක්.
සාමාන්‍යයෙන් එලොව පොල් පෙන්නන එක අවුරුදු නවයක දහයක වයසේ ළමයි තමන්ට වඩා අවුරුදු දෙක තුනක් බාල ළමයින්ට කරන දෙයක්. අයියා කෙනෙක් මල්ලි කෙනෙක්ට වගේ.
ඕක පටන් ගන්නේ මෙහෙමයි.
"මල්ලි එලොව පොල් දැකල තියෙනවද?"
"නෑ"
"පෙන්නන්නද?"
"හා"
"එහෙනම් එන්න"
දැන් මල්ලි ළඟට ආවහම අයියා කරන්නේ මල්ලිගේ පිටිපස්සෙන් ඇවිත් අත් දෙක හැඳි දෙකක් වගේ බොකුටු කරලා මල්ලිගේ කන් වැහෙන විදිහට දෙපැත්තෙන් තියලා තද කරලා මල්ලිව උස්සන එකයි. ඔය විදිහට ඉස්සුවහම මල්ලිට එලොව පොල් පේන්න පටන් ගන්නවා. ආයේ දෙවන පාරකට අයියා කෙනෙකුට ඒ මල්ලිට එලොව පොල් පෙන්නන්න ලැබෙන්නේ නැහැ.
"මල්ලි එලොව පොල් දැකල තියෙනවද?"
"ඔව්. දැකල තියෙනවා!"
කතාව එතැනින් ඉවරයි. අයියලා මල්ලිලාගේ ප්‍රශ්නයක්නේ. දුරදිග යන්නේ නැහැ. හැබැයි මල්ලි බලාගෙන ඉන්නේ අයියා වගේ ලොකු වෙලා එයාටත් එලොව පොල් පෙන්නන්න කවුරු හරි මල්ලි කෙනෙක් හම්බ වෙනකම්.
එලොව පොල් මොන වගේද? එලොව පොල් වල වට ප්‍රමාණය අඟල් 12-13 අතරද? නැත්නම් අඩුද වැඩිද? එලොව පොල් වල වට මනින්නේ අඟල් වලින් නෙමෙයිද? සෙන්ටි මීටර් වලින්ද? එලොව පොල් ගෙඩියක මිල කියද?
ඔය ප්‍රශ්න අහන්න වෙන්නේ එලොව පොල් දැකපු කෙනෙක්ගෙන්ම තමයි.
පෙරේදා මූඩිස් සමාගම විසින් ලංකාවේ ආණ්ඩුවටත් එලොව පොල් පෙන්නලා. මුදල් අමාත්‍යංශයේ නිවේදනය දිහා බැලුවහම පෙනෙන්නේ එම සමාගම විසින් ආණ්ඩුවට ඉතා හොඳින් එලොව පොල් පෙන්වලා බවයි.
ණය අවදානම් ශ්‍රේණිය C කාණ්ඩයට වැටෙනවා කියා කියන්නේ ඉතාම බරපතල තත්ත්වයක්. මෙතෙක් කල් ලංකාවේ ආණ්ඩු විසින් දිගින් දිගටම කරගෙන ආවේ අලුත් ණය ගනිමින් පරණ ණය පියවන එකයි. ඉදිරි කාලයේදී ඒ වැඩේ කලින් තරම් පහසුවෙන් කරන්න ලැබෙන එකක් නැහැ. තව දවස් හතරකින් කල් පිරෙන ඩොලර් බිලියනයක බැඳුම්කරය වෙනුවෙන් මුදල් ගෙවන්න සිදු වෙනු ඇත්තේ තිබෙන සීමිත සංචිත වලිනුයි. ප්‍රශ්නය බරපතල වෙන්න පටන් ගනු ඇත්තේ ඉන් පසුවයි.
ආණ්ඩුවට සල්ලි අච්චු ගහලා දේශීය ණය ගෙවන්න පුළුවන්. නමුත්, රුපියල් මිසක් ඩොලර් අච්චු ගහන්න බැහැ. ඒ වගේම රුපියල් අච්චු ගහන්න පුළුවන් වුනත්, එසේ කිරීමෙන් එහි ප්‍රතිවිපාක වලටත් මුහුණ දෙන්න වෙනවා.
මහින්ද රාජපක්ෂ මුලින්ම ජනාධිපති වීමෙන් පසුව 2004-2005 කාලයේදී ඔය සල්ලි අච්චු ගැහිල්ල ජයටම කළා. වැඩේ කෙළවර වුනේ රටේ උද්ධමනය 30% පන්නලා. සල්ලි අච්චු ගැහීම වෙනුවට විදේශ ණය ගැනීම විකල්පයක් හැටියට තෝරා ගත්තේ ඒ විදිහට වැඩේ පත්තු වුනාට පසුවයි. දැන් වෙලා තියෙන්නේ සල්ලි අච්චු ගැහීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැති වීමයි.
කෝවිඩ් පිටින් දාලා දැනටමත් මහ බැංකුව විශාල සල්ලි ප්‍රමාණයක් අච්චු ගහලයි තියෙන්නේ. මෙහි ප්‍රතිඵලයක් විදිහට රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යමින් තිබෙනවා. උද්ධමනය කියන්නේ එයටයි. පොල් මිල ඉහළ යාමත්, මුළුමනින්ම නොවුනත්, උද්ධමනයේ ප්‍රතිඵලයක්.
උද්ධමනය කියා කියන්නේ කිසියම් රටක භාණ්ඩ හා සේවා වල මිල සමස්තයක් ලෙස ඉහළ යන එකටයි. භාණ්ඩ වල මිල ගණන් ඉහළ යන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් රටක උද්ධමනය ගැන දැන ගන්න පුළුවන්. නමුත්, රටක විකිණෙන හැම භාණ්ඩයකම හා සේවාවකම මිල වෙනස් වල ආකාරය නිරීක්ෂණය කරන්න ප්‍රායෝගිකව අමාරු නිසා ඒ වෙනුවට කරන්නේ තෝරාගත් භාණ්ඩ හා සේවා සීමිත ප්‍රමාණයක මිල ගණන් අඛණ්ඩව නිරීක්ෂණය කරන එකයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකය කියා කියන්නේ ඒ ආකාරයට උද්ධමනය මනින්න හදාගත් නිර්ණායක දෙකක්.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් කොළඹ වැසියෙකු සාමාන්‍යයෙන් මිල දී ගන්නා භාණ්ඩ හා සේවාවන් වල මිල නිරූපණය කෙරෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකයෙන් මුළු රටේම තත්ත්වය පිළිබිඹු වෙනවා. උද්ධමනය හේතුවෙන් රටේ ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක මිල ඉහළ යා හැකි වුවත්, උද්ධමනය මනින ආකාරය අනුව එය පාරිභෝගික මිල දර්ශකයකින් නිරූපණය වෙන්නේ අදාළ භාණ්ඩය එම පාරිභෝගික මිල දර්ශකය හැදීමට යොදා ගන්නා භාණ්ඩ හා සේවා පැසේ කොටසක්නම් පමණයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසට අයිතම 246ක් ඇතුළත්. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසෙහි අයිතම 287ක් තිබෙනවා. ඒ නිසා මේ දර්ශක යොදාගෙන මනින උද්ධමනය වෙනස් වෙන්නේ ඔය අයිතමයන්ගෙන් එකක මිල වෙනස් වුනොත් පමණයි. ඒ අයිතම අතරිනුත් ඇතැම් අයිතම වලින් තිබෙන බලපෑම අනෙක් ඒවායේ බලපෑමට වඩා ගොඩක් වැඩියි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසෙහි වැඩිම බරක් තිබෙන අයිතමය ගෙවල් කුලී වියදමයි. එය 11.55%ක්. මේ අනුව, වසරක් තුළ ගෙවල් කුලී වියදම් 10%කින් වැඩි වුනොත්, ඒ හේතුව නිසා උද්ධමනය 1.16%කින් ඉහළ යනවා. ගෙවල් කුලී වියදම් වලින් පසුව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වැඩිම බරක් තිබෙන්නේ පොල් වලටයි. එය 3.21%ක්. වසරක් තුළ පොල් මිල 10%කින් ඉහළ ගියොත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුසාරයෙන් මනින උද්ධමනය 0.32%කින් ඉහළ යනවා. වසරක් තුළ පොල් මිල 30%කින් ඉහළ ගියොත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුසාරයෙන් මනින උද්ධමනය 1%කින් පමණ ඉහළ යනවා.
මේ ආකාරයට පොල් වැනි දෙයක මිල අඛණ්ඩව නිරීක්ෂණය කිරීමේදී මතුවන ගැටළුවක් වන්නේ හැම පොල් ගෙඩියක්ම එක සමාන නොවීමයි. මේ මාසයේ ලොකු පොල් ගෙඩියක මිලත්, ඒ ළඟ මාසයේ පොඩි පොල් ගෙඩියක මිලත් යොදා ගත්තොත් මිල වෙනසින් නිරූපණය වෙන්නේ පොල් ගෙඩියේ ප්‍රමාණයේ වෙනස්වීම මිසක් මිල වෙනස් වීම නෙමෙයි. ඒ නිසා, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ලොකු, මධ්‍යම හා කුඩා ලෙස පොල් වර්ග කර කාණ්ඩ තුනක් යටතේ මිල ගණන් එකතු කර ගෙන පසුව ඒ මිල ගණන් යොදා ගෙන පොල් ගෙඩියක සාමාන්‍ය මිල හදා ගන්නවා. මේ වැඩේ කරද්දී වැඩේ හරියට කෙරෙන්න මිල ගණන් එකතු කරන නිලධාරීන්ට නිශ්චිත නිර්ණායක ලබා දිය යුතුයි. නැත්නම්, එක් එක් පුද්ගලයා තමන්ගේ කැමැත්ත පරිදි ලොකු, මධ්‍යම හා කුඩා ලෙස පොල් වර්ග කරන්න පුළුවන්. එහෙම කරලා හරියන්නේ නැහැනේ.
පහත තිබෙන්නේ පසුගිය අගෝස්තු මාසයේදී එසේ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගත් පොල් මිල ගණන්.
ලොකු - රුපියල් 83.96
මධ්‍යම - රුපියල් 75.77
කුඩා - රුපියල් 64.20
සාමාන්‍ය අගය - රුපියල් 74.64
වසරකට පෙර 2019 අගෝස්තු මාසයේදී පොල් මිලගණන් මේ විදිහයි.
ලොකු - රුපියල් 54.24
මධ්‍යම - රුපියල් 47.49
කුඩා - රුපියල් 39.17
සාමාන්‍ය අගය - රුපියල් 46.07
මේ අනුව පෙනෙනවා 2019 අගෝස්තු සිට 2020 අගෝස්තු දක්වා වූ වසරක කාලය තුළ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 46.07 සිට රුපියල් 74.64 දක්වා 58.9%කින් ඉහළ ගොස් තිබෙන බව. සැප්තැම්බර් තුන් වන සතිය අවසන් වෙද්දී පොල් මිල ගණන් මෙහෙමයි.
ලොකු - රුපියල් 88.70
මධ්‍යම - රුපියල් 79.80
කුඩා - රුපියල් 70.23
සාමාන්‍ය අගය - රුපියල් 79.57
මෙය පෙර වසරට සාපේක්ෂව 64.0%ක වැඩිවීමක්. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසෙහි පොල් වලට 3.21%ක බරක් තිබෙන බව මම කලින් කිවුවනේ. ඒ කියන්නේ පොල් මිල 64.0%කින් වැඩි වුනහම උද්ධමනය 2.05%කින් ඉහළ යනවා.
දැන් පොල් සඳහා උපරිම මිලක් නියම කළාම වෙන්නේ මොකක්ද?
ලොකු - රුපියල් 70
මධ්‍යම - රුපියල් 65
කුඩා - රුපියල් 60
සාමාන්‍ය අගය - රුපියල් 65
උද්ධමනය එක පාරටම පහළ යනවා වගේම එතැනින් එහාට වැඩි වෙන්නේත් නැහැ. හැබැයි මතක තියා ගන්න පොල් මිල කියන්නේ උද්ධමන දර්ශකය ඇතුළේ රටේ සමස්ත භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නියෝජනය කරන නියෝජිතයෙක් මිසක් උද්ධමනය නෙමෙයි. ඒ නිසා, මේ ආකාරයට උද්ධමන දර්ශකය ටින්කරින් කළා කියලා ඇත්තටම රටේ උද්ධමනය අඩු වෙන්නේ නැහැ. එය වැහෙනවා පමණයි.
අර ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබිච්ච ආකාරය ගැන කතාවක් තියෙන්නේ. ඇත්තද බොරුද කියලනම් මම දන්නේ නැහැ. ඩොනමෝර් කොමිසම විසින් ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දෙන එක සුදුසුද කියා තීරණය කරන්න කලින් රටේ ගොවියෝ, ධීවරයෝ ඇතුළු විවිධ කණ්ඩායම් හමුවෙන්න ගියා කියනවා. ඔහොම යනවා කිවුවට ලංකාවේ කවුරු හරි නායකයෙක්නේ එක්ක යන්නේ. කට්ටිය කාර් එකේ ගිහින් කුඹුරක් අයිනේ, වැල්ලක් ළඟ වගේ අහඹු තැනක වාහනය නවත්වනවා. ඉන් පසු කොමිසමේ සාමාජිකයෝ බැහැලා ගිහින් ගොවියන්, ධීවරයින් වගේ සාමාන්‍ය පුද්ගලයින්ගෙන් අදහස් විමසනවා.
ඔය විදිහට කොමිසමේ සාමාජිකයින් එක්ක කතා කරපු ලංකාවේ ගොවීන්ට, ධීවරයින්ට එහෙම ලංකාවේ වගේම ලෝකයේ සමාජ දේශපාලනික තත්ත්වයන් ගැන බොහොම හොඳ අවබෝධයක් තිබුණු බවත්, ආපු සුද්දන් එක්ක කිසිදු අපහසුවක් නැතිව හොඳ ඉංග්‍රීසියෙන් කතා කළා කියලත් කියනවා. කොමිසමේ සාමාජිකයෝ පිටත් වුනාට පස්සේ අර ගොවියෝ හා ධීවරයෝ අමුඩ ගලවලා ටයි කෝට් ඇඳගෙන ආපහු කොළඹ ආවලු.
ඔය කතාව බොරුවක් වෙන්න ඇති. හැබැයි ලංකාවේ එතෙක් මෙතෙක් වෙලා තියෙන දේවල් දිහා බැලුවහම කතාවේ ඇත්තක් තියෙන්නත් පුළුවන්. කුඹුරක් අයිනේ අහම්බෙන් හමුවෙන්න ගොවියෝ විදිහට අන්දලා සරසවි ශිෂ්‍යයෝ තිබ්බා කියලා රටේ සාමාන්‍ය ජනතාවගේ උගත්කම වැඩි වෙන්නේ නැතුවා වගේම පොල් මිල කෘතීම ලෙස සීමා කළා කියලා රටේ සැබෑ උද්ධමනය අඩු වෙන්නෙත් නැහැ. සැබෑ උද්ධමනය බලාගන්න තිබෙන අවස්ථාව නැති වෙන එක පමණයි වෙන්නේ.
පොල් මිල පාලනය කරන්න ගත්ත තීරණයෙන් පෙනෙන්නේ ආණ්ඩුව මූඩිස් ආයතනය විසින් පෙන්වන්න කලින්ම එලොව පොල් දැකලා බවයි. ෆේස්බුක් වාක්‍යයකින් ලිපිය අවසන් කරන්නම්.
යාලුවනේ, ඔයාලා එලොව පොල් දැකල තියෙනවද?
(දැකලා නැත්නම් බය වෙන්න එපා. හිච්චි කාලේ එලොව පොල් බලපු මල්ලිලා දැන් ලොකු වෙලා!)