වෙබ් ලිපිනය:

Saturday, July 14, 2018

සුපර් මාර්කට් හොරු


පසුගිය ලිපියකට ප්‍රතිචාරයක් ලෙස ඇනෝ කෙනෙක් විසින් දමා ඇති කමෙන්ටුවකට අනුව හා ඔහු විසින් අපව යොමු කරන පුවත් වාර්තාවකට අනුව වාර්ෂිකව ඕස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳසැල්  තුළ සිදුවන සොරකම් නිසා එම වෙළඳ ආයතන වලට සිදුවන අලාභය ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 9.3ක් හෙවත් එම කර්මාන්තයේ වාර්ෂික පිරිවැටුමෙන් 3%කට සමාන මුදලකි.

ඇමරිකාවේ 2017 සිල්ලර ආරක්ෂාව පිළිබඳ ජාතික සමීක්ෂණය (2017 National Retail Security Survey) අනුව, 2016 වසර තුළ ඇමරිකාවේ සිල්ලර වෙළඳසැල් වල වූ භාණ්ඩ තොග වලින් විකිණීම හැර වෙනත් හේතු නිසා අතුරුදහන් වූ භාණ්ඩ වල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 48.9ක් හෙවත් එම කර්මාන්තයේ වාර්ෂික පිරිවැටුමෙන් 1.44%කි. ඊට පෙර වසරේදී මේ ප්‍රතිශතය පිරිවැටුමෙන් 1.38%ක් විය.

ඉහත සඳහන් අතුරුදහන් වූ භාණ්ඩ වල වටිනාකමින් 36.6%කට හේතුව පාරිභෝගිකයින් විසින් සිදුකළ කළ හොරකම් හා වංචාවන්ය. ඉතිරියට සේවක හොරකම් හා වංචාවන් (30.0%), දත්ත ඇතුළු කිරීමේ වැරදි (21.3%), භාණ්ඩ සැපයුම්කරුවන්ගේ වංචා හෝ වැරදීම් (5.4%) හා වෙනත් නොදන්නා කරුණු (6.8%) හේතු වේ. මේ අනුව, ඇමරිකාවේ පාරිභෝගිකයින් විසින් කරන හොරකම් හා වංචාවන් නිසා සිල්ලර වෙළඳසැල් වලට සිදුවන අලාභය එම සමාගම් වල පිරිවැටුමෙන් 0.53%කි. ඉහත සඳහන් ඕස්ට්‍රේලියානු පුවත් වාර්තාව නිවැරදිනම් ඕස්ට්‍රේලියාවේ සිදුවන මෙවැනි හොරකම් වල අලාභය කිහිප ගුණයකින්ම වැඩිය.

ඇමරිකාවේ සිල්ලර වෙළඳසැලකට යන පාරිභෝගිකයෙකුට ලංකාවේ එවැනි පාරිභෝගිකයකුට නැති විශාල නිදහසක් තිබේ. ඇමරිකාවේ පාරිභෝගිකයෙකු ලංකාවේදී මෙන් වෙළඳසැලකට ඇතුළු වන්නට පෙර තමන්ගේ අතේ තිබෙන සබ්බ සකල මනාවම කවුන්ටරයක තබා යා යුතු නැත. එමෙන්ම, ලංකාවේදී මෙන් සිල්ලර වෙළඳසැලකට ඇතුළු වූ තැන් පටන් පාරිභෝගිකයාගේ පස්සෙන්ම එන වෙළඳ සේවිකාවන් ඇමරිකාවේ නැත. මා දන්නා තරමින් වෙනත් බොහෝ බටහිර රටවල තත්ත්වයද මෙසේමය.

බටහිර රටක සිල්ලර පාරිභෝගිකයෙකුට ලංකාවට සාපේක්ෂව ඉහත ආකාරයේ නිදහසක් ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ නිදහස අපහරණය කරන්නන්ට හොරකම් හෝ වංචා කිරීමටද වැඩි ඉඩක් ලැබී තිබේ. ලංකාවේදී සිල්ලර පරිභෝගිකයින්ව වෙළඳ සේවකයන්ගේ දැඩි අධීක්ෂණයට ලක් වෙද්දී පවා අපමණ හොරකම් සිදුවන සන්දර්භයක එවැනි අධීක්ෂණයක් රහිත වාතාවරනයකදී හොරකම් සිදුවීමේ පුදුම වන්නට දෙයක් නැත.

අපේ පාඨකයා විසින් අපව යොමු කරන පුවත් වාර්තාවෙහිද සඳහන් වන පරිදි, ස්වයං සේවා මිලදී ගැනීම් වැඩි වන තරමට පාරිභෝගිකයින්ගේ හොරකම් හා වංචාවන්ද වැඩි වන බව පෙනේ. ඇතැම් විට ඕස්ට්‍රේලියාවේ පාරිභෝගික වංචා ඇමරිකාවට සාපේක්ෂව වැඩි වන්නට එක් හේතුවක් වන්නේ එරට ස්වයං සේවා විකිණීම් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස වැඩිවීම වන්නට පුළුවන.

පාරිභෝගික හොරකම් හා වංචා නිසා සිදුවන අලාභයෙන් සැලකිය යුතු කොටසක් අවසාන වශයෙන් අය වන්නේ පාරිභෝගිකයින්ගෙන්මය. ඒ, සිල්ලර වෙළඳසැල් විසින් හොරකම් වල අලාභය හෝ එයින් සැලකිය යුතු කොටසක් ආවරණය වන පරිද්දෙන් ලාභ ආන්තික ඉහළ දමා ගැනීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස විකිණුම් මිල ඉහළ යාමත් මඟිනි. එහෙත්, ඔවුන්ට මෙය කරන්නට වෙන්නේ සිල්ලර වෙළඳසැල් අතර තරඟයට මුහුණ දෙමින් හා පාරිභෝගික ඉල්ලුම ගැන සැලකිලිමත් වෙමින් නිසා සමස්ත අලාභයම පාරිභෝගිකයින් මත පැටවෙන්නේද නැත. පාරිභෝගික හොරකම් හා වංචා නිසා සිල්ලර කර්මාන්තයේ නියැලෙන සමාගම් වල ලාභද යම් ප්‍රමාණයකින් පහත වැටේ.

තත්ත්වය එසේනම් බටහිර රටවල් ස්වයං සේවා විකිණීම් වැඩි කරන්නට යොමු වන්නේත්, එහිදී ඕස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටින බව පෙනෙන්නේත් ඇයි?

මේ වන විට ඕස්ට්‍රේලියාවේ අවම වැටුප ඕස්ට්‍රේලියානු ඩොලර් 18.93කි. මෙය ඇමරිකන් ඩොලර් 14 ඉක්මවන මුදලකි. ඇමරිකාවේ ෆෙඩරල් නීතිය අනුව අවම වැටුප ඇමරිකන් ඩොලර් 7.25ක් පමණි. බොහෝ ප්‍රාන්ත වල අවම වැටුප ෆෙඩරල් අවම වැටුපට වඩා වැඩි වුවත් ඇමරිකන් ඩොලර් 14ක් තරම් වැඩි නැත.

ඕස්ට්‍රේලියාවේ අවම වැටුප වෙනත් බොහෝ බටහිර රටවලටද සාපේක්ෂව ඉහළ එකක් බව ප්‍රචලිත කරුණකි.

මේ වන විට ඕස්ට්‍රේලියානු ඩොලරයක මිල රුපියල් 120ක් පමණ වන අතර ඒ අනුව ඕස්ට්‍රේලියාවේ අවම වැටුප රුපියල් 2270 ඉක්මවයි. එනම් පැය අටක දවසකට රුපියල් 18,170ක් පමණ මුදලකි. මේ මුදලට ලංකාවේදී මාසයක කාලයක් වෙළඳ සේවකයෙකුගේ සේවය ලබා ගැනීම අපහසු නැත. ඒ අනුව, ඕස්ට්‍රේලියාවේදී වෙළඳ සේවකයකු බඳවා ගන්නා මුදලින් ලංකාවේදී වෙළඳ සේවකයින් 20ක් පමණ බඳවා ගන්නට පුළුවන. නමුත් ලංකාවේ සුපිරි වෙළඳසැලක විකුණන භාණ්ඩ වල මිලෙහි හා ඒ නිසා හොරකමකින් සිදුවිය හැකි අලාභයේ එතරම් වෙනසක් නැත.

ඕස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳසැලක ලංකාවේ තරම් සේවකයින් නැත්තේ ඇයිද යන්න මෙයින් පැහැදිලි වේ.

අවම වැටුප ඉහළ යන තරමට සිල්ලර කර්මාන්තයේ ලාභ අඩුවේ. එවිට කර්මාන්තයේ රැඳී සිටීමටනම් සේවක සංඛ්‍යාව අඩු කර සේවක වියදම් කපා හරින්නට සිදු වේ. මෙය කළ හැක්කේ ස්වයංකරණය වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීම මඟිනි. ඒ නිසා, අවම වැටුප් ඉහළ යන තරමට සිල්ලර වෙළඳසැලක් ස්වයංකරණය කරන්නට වැඩි වැඩියෙන් පෙළඹේ. මේ අනුව, අවම වැටුප් වැඩිම බටහිර රටක් වන ඕස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳසැල් ස්වයං සේවා විකිණීම් ඉහළ දමන්නට වැඩි වැඩියෙන් පෙළඹීම තේරුම් ගත හැකිය.

සිල්ලර වෙළඳසැල් ස්වයංකරණය කෙරෙහි යොමුවන්නට එකම හේතුව අවම වැටුප් නොවේ. වෙනත් හේතුවක් මත සේවක වැටුප් ඉහළ ගිය විටද සිදුවන්නේ එයමය. පසුගිය දිනක මෙහි (ඇමරිකාවේ) සිල්ලර වෙළඳසැලක සේවකයින් බඳවා ගැනීම සඳහා ප්‍රදර්ශනය කර තිබුණු දැන්වීමකට අනුව ඔවුන් ගෙවන්නට සූදානම්ව සිටින පැයක වැටුප ඇමරිකන් ඩොලර් 12 ඉක්මවයි. මෙය ඇමරිකාවේ අවම වැටුපට වඩා බොහෝ වැඩි මුදලකි.

මේ දින වල ඇමරිකාවේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වන අතර විරැකියා අනුපාතය විශාල ලෙස අඩු වී තිබේ. ඒ නිසා, ශ්‍රම වෙළඳපොළේ දැකිය හැක්කේ ශ්‍රමිකයින්ට වාසිදායක තත්ත්වයකි. අඩු කුසලතා සහිත සංක්‍රමණිකයින්ට ඇමරිකාවට පැමිණ රැකියාවක් කිරීම වඩා අසීරු වී තිබීමද මේ තත්ත්වයට දායක වී තිබේ. මේ හේතුව නිසා, ඇමරිකාවේ සිල්ලර වෙළඳසැල්ද ස්වයංකරණය වේගවත් කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන දෙයකි.

මුලින් සාකච්ඡා කළ ඕස්ට්‍රේලියානු පුවත් වාර්තාවෙන් පෙන්වන පරිදි ස්වයංකරණය ඉහළ යාමට අනුරූපව හොරකම් හා වංචාද ඉහළ යන බව පෙනේ. ඕස්ට්‍රේලියාව හා අදාළ දත්ත නිවැරදිනම්, විකිණීම ස්වයංකරණය කිරීමෙන් ලැබෙන වාසිය පිරිවැටුමෙන් 1%ක් වෙද්දී හොරකම් වල අලාභය පිරිවැටුමෙන් 3%කි. එම වාර්තාවටම අනුව ස්වයංකරණය කළ වෙළඳසැල්වල හොරකම් ප්‍රමාණය 52% සිට 86% දක්වා ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය මෙසේ පැවතීමෙන් පෙනෙන්නේ ස්වයංකරණය නොකළද හොරකම් නිසා අවම වශයෙන් පිරිවැටුමෙන් 2%ක අලාභයක් සිදුවන බවයි. එසේ නැත්නම් මේ සිල්ලර වෙළඳසැල් 1%ක වාසියක් වෙනුවෙන් ස්වයංකරණය හඳුන්වා දෙන්නට හේතුවක් නැත.

මෙයටම අදාළ තවත් කරුණක් වන්නේ එක් පැත්තකින් ශ්‍රම වෙළඳපොළේ මිල ගණන් ස්වභාවිකව හෝ අවම වැටුප් හරහා කෘතිමව ඉහළ යද්දී, තාක්ෂණයේ දියුණුව නිසා ස්වයංකරණය කිරීමේ පිරිවැය පහළ යාමයි. ඒ නිසා, ස්වයංකරණය සමඟ හොරකම් ඉහළ ගියත්, සිල්ලර වෙළඳසැල් ස්වයංකරණය කිරීමේ ප්‍රවනතාවය ආපසු හැරවෙන්නට වැඩි ඉඩක් නැත. ඒ වෙනුවට සිදුවනු ඇත්තේ මිනිස් ශ්‍රමය යොදා නොගනිමින් ස්වයංකරන ක්‍රමවේද හරහාම හොරකම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම වෙනුවෙන් මේ සමාගම් වැඩි වැඩියෙන් ආයෝජනය කරනු ලැබීමයි.

9 comments:

  1. මේ කියන ප්‍රතිචාරය ඊයේ රාත්‍රියේ මම දැක්කාම ඒකට පිළිතුරක් ලිව්වා. මේ තියෙන්නේ ඒ පිළිතුරයි .

    ""samJuly 13, 2018 at 3:21 AM

    මරණ දඬුවම ගැන ලියාපු ලිපියකට, යන්නේ කොහෙද? මල්ලේ පොල්! ආකාරයේ මේ කොමෙන්ට් එක දැක්කාම අද සිකුරාදා හවස දෙකක් දාගෙන, කාලා, කොම්පීතරේ පැත්තේ ආපු මට ඕල්ඩ් රෝයලිස්ට් කෙනෙක් වන මාතලන් වෙනුවෙන් සහ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන පුඟුලෙක් හැටියට පිළිතුරක් දෙන්න හිතුනා.
    වුලීස් හා කෝල්ස් පමණක් නොවේ, අයි ජී ඒ , අල්ඩි ඇතුළු හැම සුපර්මාර්කට් කාරයෙක්ම 200% - 500% අතර (හෝ ඊටත් වැඩි ) මාර්ක්අප් එකක් ඇතුව බඩු විකුනනවා. ඒ මදිවට ඒ සඳහා සේවය සලසා ගැනීමත් කස්ටමර්ටම බාර දුන්නාම, කස්ටමර් තමන්ටම සේවය සලසා ගන්නවා මිසක් වුලීස් ලාට වත් වෙස්ට්ෆාමර්ස් ලාටවත් සේවය සලසා දෙන්නේ #කේ අමාරුවටද ? මේ සෙල්ෆ් සර්ව් කවුන්ටර් වලට පාර්භෝගිකයන් විරුද්ධ කොපමණද?, ඒ හා සමානව සුපර් මාර්කට් සේවක/සේවිකාවනුත් විරුද්ධයි. එක අතකින් ඔවුන්ට තම රැකියාව අහිමි වන අතර අනිත් අතින් ඔවුනට පෙනී පෙනීම කිලෝ එක $20 වන කජු අරගෙන කිලෝ එක $1.50 ට විකිනෙන ක්‍රැකර් වල කෝඩ් එක ගහලා අරගෙන යනවා. කවුන්ටර් ස්ටාෆ් එකේ පඩිය ඉතුරු වෙන නිසා කස්ටමර්ස්ලා බඩු හොරෙන් ගෙනිච්චාට කඩේ ලාබය වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මේක විශාල අර්බුදයක් කියලා ඔබ කිව්වාට ඒ අර්බුදය ඇති කලේ සුපර්මාර්කට් කාරයෝ මිසක් ගනුදෙනුකරුවෝ නොවන බව නොකීම ලොකු අඩුවක්""

    මම ටිකක් පරණ තාලෙට හිතන නාකි ඩයල් එකක් නිසා වර්තමාන තාක්ෂණයට ගැලපෙන්නේ නැතිද කියලත් හිතෙනවා. නමුත් අප මේ තාක්ෂණ යුගය පසු කරමින් ඉදිරියට යනවා වෙනුවට නැවතත් පසු පසට යනවා කියා මට හිතෙනවා. උදාහරණ කීපයක් දිය හැකියි. ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය එකතු කිරීම නවතා ඒවා පරණ ක්‍රමයට කුණු සමගම වැළලීමට කුවීන්ස්ලන්තයේ එප්ස්විච් නගර සභාව තීරණය කලේ පසුගිය මාසේ නැතිනම් ඊට පෙර මාසයේයි . පරිසර දුෂණය යකාට ගියාවේ කියලා නැවතත් ගල් අඟුරු වලින් විදුලි ජනනය ආරම්භ කිරීමේ හැකියාව මේ ඉදිරි කාර්තුවේදී (වසන්ත ඍතුවේ) සොයා බලන්න ඕස්ට්‍රේලියාවේ අගමැති සුදානම් වෙනවා කීවේ ගිය සතියේයි. අපි ඉස්සර (ලංකාවේදී) කඩේ යනකොට මිලදී ගන්න බලාපොරොත්තු වෙන බඩු වලට අවශ්‍ය ඇසුරුම් ද්‍රව්‍ය, ඒ කියන්නේ සීනි, පාන්පිටි වලට ගොටු ගහන්න පත්තර කොලත්, හාල් වැනි දේ වලට මල්ලකුත් රැගෙන ගිය බව මම වගේ නාකින් මිසක් තරුණයෝ දන්නේ නැහැ. දැන් ඔස්ට්‍රේලියාවත් ඒ යුගයට ගිහින්. ජූලි පළවෙනිදා ඉඳලා එහෙම වෙලා කියන එක මගේ හිතට හරියටම වැදුනේ අද මගේ බිරිඳගේ කාර් එකේ අමතර රෝදයේ හුලං බලන්න යනකොට ඩිකිය පුරා තිබුන මළු ගොඩ දැක්කාමයි. ට්‍රෑම් වල කොන්දොස්තරවරුන් හා දුම්රිය ස්ථාන සේවකයින් ඉවත් කර ඒ වෙනුවට (1990 දශකයේ) ඩොලර් බිලියන දෙකක් වැය කර මෙට් කාඩ් අඳුන්වා දීලා ඊට පසුව මගීන් ටිකට් නැතිව යාම වැලක්වීමට පරීක්ෂක වරුන් පත් කිරීම නුවණක්කාර කමක්ද? සුපර් මාර්කට් වලටත් වැඩි කලක් යන්න පෙර common sense පහලවේවි.

    ReplyDelete
    Replies
    1. //වුලීස් හා කෝල්ස් පමණක් නොවේ, අයි ජී ඒ , අල්ඩි ඇතුළු හැම සුපර්මාර්කට් කාරයෙක්ම 200% - 500% අතර (හෝ ඊටත් වැඩි ) මාර්ක්අප් එකක් ඇතුව බඩු විකුනනවා.//
      ඇතැම් බඩු හා අදාළව මෙය එසේ විය හැකි වුවත් මේ සමාගම් වල සාමාන්‍ය මාර්ක්අප් එක 30-35% මට්ටමට වඩා වැඩි නැහැ. එය අනෙකුත් වියදම් ආවරණය කරගෙන ආයතනය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන මට්ටමයි. එහෙත්, සුපිරි වෙළඳසැල් වලින් වංචා කරන ඇතැම් අය ඔබ සිතන පරිද්දෙන් සිතා එසේ කරනවා.

      Delete
  2. මට හිතුන දේ තමයි, ඔය රටවල ඒ අලාභ ආවරණය කරන්න රක්ෂණ තියෙනවා. ඒවා ගන්න ඕනේ නිසා සුපර් මාර්කට් කාරයෝ වැරදි තොරතුරු දෙනවා වෙන්නත් පුළුවන්. හරියට අර බැංකු මංකොල්ල වලදී මැනේජර්ලා නැති වුණ ගානට තව ගානක් අතින් දාලා කියනවා වගේ.

    ReplyDelete
    Replies
    1. භාණ්ඩ සොරකම් හා වංචා අලාභ ආවරණය කර ගැනීම සඳහා සුපිරි වෙළඳසැල් රක්ෂණ ගිවිසුම් වලට යනවා කියා මම හිතන්නේ නැහැ. ඒ වගේම, සුපිරි වෙළඳසැලකට මෙවැනි දෙයක් හා අදාළව දිගුකාලීනව රක්ෂණ සමාගම් රැවටීම බොහෝ අපහසු දෙයක්. යම් හෙයකින් රක්ෂණ ආවරණයක් තිබුණත්, ඔවුන් එසේ වංචා කළොත් වෙන්නේ රක්ෂණ වාරික ඉහළ ගොස් ලැබූ ලාභය අහිමි වීමයි.

      Delete
    2. එංගලන්තේ එවැනි රක්ෂණ ආවරණයක් තිබෙන බව මගේ බාල සහෝදරයා මා හා පවසා තිබෙනවා.

      Delete
    3. වෙන්න පුළුවන්. මම මේ ගැන හරියටම දන්නේ නැහැ.

      Delete
  3. ඔබ දක්වා ඇති ඕස්ට්‍රේලියාවේ අවම වැටුප යනු මා හිතන ආකාරයට තවමත් පාසල් යන වියේ සිටින දරුවන් සේවයට යන විට හෝ පුහුණුව ලබන අයට ගෙවන වැටුපකි.

    ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය වැටුප වසරකට ඩොලර් අසූ දහසක් පමණ වේ සතියට පැය 35ක් වැඩ කරන අයෙකු සදහා ඒ අනුව පැයකට ඩොලර් 42ක් පමණ ගෙවනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. අවම වැටුප කියන්නේ සේවකයෙකුට ගෙවන්නට නීතියෙන් ඉඩ ඇති අඩුම වැටුපයි. ඇමරිකාවේද මධ්‍යස්ථ වැටුප ඇමරිකන් ඩොලර් 45,000ක්, එනම් ඕස්ට්‍රේලියානු ඩොලර් 60,000කට ආසන්න වන අතර මධ්‍යන්‍ය වැටුප ඕස්ට්‍රේලියාවේ ප්‍රමාණයට ආසන්න බව මගේ අදහසයි. එහෙත්, සුපිරි වෙළඳසැලක සේවය කරන්නෙකුට සාමාන්‍යයෙන් ලැබෙන්නේ මධ්‍යන්‍ය වැටුපට වඩා බොහෝ අඩු අවම වැටුපට වඩා ආසන්න වැටුපකි. මා වැරදි විය හැකි වුවත්, මගේ අදහස ඕස්ට්‍රේලියාවේද ඇත්තේ එවැනි තත්ත්වයක් බවයි.

      පහත ලියවිල්ල අනුව 2015 මුලදී වූල්වර්ත්ස් ආයතනයේ වයස 16ට අඩු 1 ශ්‍රේණියේ සේවකයෙකුගේ පැයක වැටුප ඩොලර් 9.06කි. ආධුනිකයෙකුගේ (5 ශ්‍රේණියේ ) පැයක වැටුප ඩොලර් 12.09කි. ඔබ කියන සේම මෙය වයස හා ශ්‍රේණිය අනුව වැඩිවේ. මේ වන විට මේ වැටුප් තල අවම වැටුප් ඉහළ යාමට අනුරූපව ඉහළ ගොස් තිබිය යුතු වුවත් විශාල ලෙස වැඩි නැතැයි සිතමි. ඒ නිසා, "සතියට පැය 35ක් වැඩ කරන අයෙකු සදහා ඒ අනුව පැයකට ඩොලර් 42ක් පමණ ගෙවනු ලැබේ." යන්න සුපිරි වෙළඳසැලක සේවය කරන ආන්තික සේවකයෙකුට අදාළ වන්නේයැයි මා සිතන්නේ නැත.

      https://www.sdansw.org.au/system/files/Woolworths%20Wage%20Sheet%2001Jan15.pdf

      යම් හෙයකින් ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් වල සාමාන්‍ය වැටුප් ඔබ කියන තරමට වැඩිනම් එයින් මා කියන කරුණ, එනම් සුපිරි වෙළඳසැල් ස්වයංකරණය සඳහා ඕස්ට්‍රේලියාවේ ඇති වැඩි නැඹුරුව, වඩාත් සනාථ වේ.

      Delete

ඔබට කිසියම් ප්‍රතිචාරයක් දැමීමට අවශ්‍යනම් කරුණාකර මෙම ලිපියේ වෙබ් ලිපිනයෙහි econometta යන්න economatta ලෙස වෙනස් කර ප්‍රධාන වියුණුව වෙත යන්න. මෙය නිතර යාවත්කාලීන නොකෙරෙන ප්‍රධාන වියුණුවෙහි ඡායා වියුණුවක් පමණයි. ප්‍රධාන වියුණුවෙහි පළ කෙරෙන ප්‍රතිචාර පසුව මෙහිද යාවත්කාලීන කෙරෙනු ඇත.

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...