වෙබ් ලිපිනය:

Monday, May 3, 2021

සබ්බේ භයන්ති මච්චුනෝ!


පසුගිය සති අන්තයේදී ලංකාවේ ඥාතීන් හා හිතවතුන් කිහිප දෙනෙකු සමඟ කතා කළා. මේ අය රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක ජීවත් වන අය. ඔවුන්ගේ ප්‍රතිචාර ගැන කෙටියෙන් කියනවානම් මේ වෙද්දී කෝවිඩ්-19 ලංකාවේ බොහෝ දෙනෙකුගේ එළිපත්තටම ඇවිදින්. බොහෝ දෙනෙකුට මරණ බය දැනිලා.

මේ තත්ත්වය තේරුම් ගන්න එක මට අපහසු දෙයක් නෙමෙයි. ඔය මරණ බයත් එක්ක මමත් සෑහෙන කාලයක් ජීවත් වුනා. දැන්නම් මරණ බයෙන් මිදී ජීවත් වෙනවා. මරණයට බය නැත්තේ කවුද? සබ්බේ භයන්ති මච්චුනෝ!

මරණය මරණය ලෙසම ගත්තොත් මට එය බියක් දනවන්නේ නැහැ. මා ගෙවන නැති ජීවිතය නැති මරණයකින් අවසන් වී මා විසින් මවාගෙන සිටින ලෝකයන් සියල්ලද මුළුමනින්ම අවසන් වී යාම මට විශාල ප්‍රශ්නයක් නොවුනත්, එවැන්නකින් පසුව තව දුරටත් ඉතිරි වන සමීපතමයන්ගේ ලෝක වල මා නොසිටීමෙන් සිදුවන අඩුව ගැන මම සංවේදීයි. ඊට අමතරව කෝවිඩ් හැදී මැරෙන්න වෙනවා කියන්නේ මා කැමති ආකාරයක මරණයක් නෙමෙයි. කෝවිඩ් හැදී අසාධ්‍ය වුවහොත් මරණය දක්වා ජීවත් වෙන්න සිදුවන කාලයේදී ගෙවන්න වෙන ජීවිතය මරණයට වඩා නරක දෙයක්.

පසුගිය වසරේ මාර්තු මැද සිට ගෙවුණු මාස 13ක කාලය මා උපරිම වශයෙන් පරිස්සම් වුනු කාලයක්. එම කාලය තුළ ගෙදරින් හෝ එළියට බැස්සේ කිහිප වරක් පමණයි. මගේ රැකියාව මට නිවසේ සිටම කළ හැකි වීම එයට උපකාරයක් වුනා. අඩු වශයෙන් තවත් මාස තුන හතරක් යන තුරු රැකියාව සඳහා නිවසින් පිටව යාමේ අවශ්‍යතාවයක් නැහැ. මෙම කාලය පුරා මගේ දරුවන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කළේද නිවසේ සිටයි. බිරිඳට වරින් වර ඇගේ රැකියාව හා අදාළ කටයුතු සඳහා නිවසින් පිටව ක්ෂේත්‍රයට යන්න සිදු වුවත්, ඇගේ රැකියාව හා අදාළ සාමාන්‍ය කටයුතු කෙරෙන්නේද නිවස තුළ සිටයි.

අපේ ප්‍රාන්තයෙන් පළමු වරට කෝවිඩ් ආසාදිතයෙකු හමු වුනේ පසුගිය මාර්තු 5 වනදා. ඒ බව තහවුරු වුනේ මාර්තු 6 වනදා. මාර්තු 16 වනදා අපේ ප්‍රාන්තයේ පළමු කෝවිඩ් මරණය වාර්තා වුනා. එයින් දින තුනකට පසුව මාර්තු 19 වනදා සියළු පාසැල් වසා දැමීම ඇතුළු තීරණ රැසක් ගැනුණා. මාර්තු 23 වනදා නිවස තුළ රැඳී සිටීමේ නියෝග නිකුත් කෙරුණා. එක වර 10 දෙනෙකුට වඩා එක්රැස් වීම තහනම් කෙරුණු අතර අත්‍යවශ්‍ය නොවන වෙළඳ ව්‍යාපාර වසා දැමීමට නියෝග කෙරුණා. මේ නියෝග මාර්තු 25 දින සිට බලාත්මක වුනා. 

මමනම් නිවසේ රැඳී සිටින්න පටන් ගත්තේ මාර්තු 12 දින සිටයි. අපේ ප්‍රාන්තයේ වැසියන්ගේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ මා මෙන්ම තවත් බොහෝ ප්‍රාන්ත වැසියන් ප්‍රාන්ත රජයේ නියෝග නිකුත් වන්නට අඩු වශයෙන් සතියකට පමණ පෙර සිට ස්වේච්ඡාවෙන්ම නිවසෙන් නොබැහැරව රැඳී සිටින්න තීරණය කර තිබී ඇති බවයි. ඒ අනුව ප්‍රාන්ත රජයේ නියෝගයෙන් ඇත්තටම සිදු වී තිබෙන්නේ කොහොමටත් බොහෝ දෙනෙකු විසින් කළ දෙයට රබර් මුද්‍රාව තැබීමක් පමණයි.

අපේ ප්‍රාන්තය එවකට මෙන්ම දැන්ද රිපබ්ලිකන් ප්‍රාන්තයක්. ඉහත තීරණ ගන්නා විට අපේ ප්‍රාන්තයෙන් හමු වී තිබුණේ කෝවිඩ් ආසාදිතයින් 259 දෙනෙකු පමණයි. මා මේ ටික ලිවුවේ ඇමරිකාව කිසිවක් නොකර මිනිස්සු මැරෙන්න දී බලා සිටි බවත්, ආර්ථිකය රැක ගැනීම වෙනුවෙන් ජීවිත බිලිදුන් බවත් වැනි කතා ඇහෙන නිසයි. ඩිමොක්‍රටික් ප්‍රාන්ත රිපබ්ලිකන් ප්‍රාන්ත වලටද වඩා දැඩි ක්‍රියාමාර්ග ගත්තා. 

කෝවිඩ් පැතිරෙද්දී ඇමරිකාවේ ජනාධිපති වූයේ ට්‍රම්ප්. වෘත්තීය දේශපාලනඥයෙකු නොවූ ඔහුට හිතට එන දෙයක් කියන්න කලින් දෙවරක් හිතීමේ වෘත්තීය පළපුරුද්ද තිබුණේ නැහැ. ට්‍රම්ප්ගේ බ්රේක් නැති කටින් එළියට පනින වචන වලට ජනමාධ්‍ය විසින් හැමවිටම තටු හයි කළා. කෙසේ වුවත්, කෝවිඩ් සම්බන්ධව රජයක් සේ ගත යුතු ක්‍රියාමාර්ග ඔහු කලට වේලාවට ගත්තා. කෝවිඩ් හා අදාළව, බයිඩන් ජනාධිපති වීමෙන් පසුව කරන්න අමුතු දෙයක් ඉතිරි වී තිබුණේ නැහැ.

මුලින්ම කෝවිඩ් පැතිරෙද්දී එම රෝගය පිළිබඳව මේ වන විට අප දන්නා බොහෝ දේ කිසිවකු දැනගෙන හිටියේ නැහැ. කාට වුනත් සිදු වුනේ අඳුරේ අතපත ගාන්නයි. ඉදිරි වසර තුළ සිදු විය හැකි දේ පිළිබඳව පෞද්ගලිකව මට නිරවුල් අදහසක් තිබුණා. වසංගත රෝග පැතිරෙන ආකාරය පිළිබද ආකෘති ගැන දැනුමක් ඒ වන විටද තිබීම එයට හේතුවයි. එම ආකෘති ගැන මෙන්ම ආකෘති වල සීමාවන් ගැනද මට පැහැදිලි අදහසක් තිබුනා. මේ දැනුම පසුගිය වසරක කාලය තුළ පණ බේරාගෙන ජීවත් වෙන්නත්, හැකි පමණින් වෙනත් අයට පණ බේරාගන්න උදවු කරන්නත් උපකාරී වුනා කියා මම හිතනවා.

මේ ආකෘති බටහිර විද්‍යාවේ ආකෘති. බටහිර විද්‍යාව පිළිබඳව මට විශ්වාසයක් තිබෙනවා. කෝවිඩ් වසංගතය විසින් එම විශ්වාසය ඉතා දැඩි ලෙස තහවුරු කර තිබෙනවා. මා බටහිර විද්‍යාව විශ්වාස කරන්නේ එය ලෝකයේ පවතින හා පැවතිය හැකි එකම දැනුම් පද්ධතිය සේ සලකමින් නෙමෙයි. බටහිර විද්‍යාව පරම සත්‍යයක් සේ සලකමින්ද නෙමෙයි. බටහිර විද්‍යාවට අනුවම වුවත් බටහිර විද්‍යාව පරම සත්‍යයක් නෙමෙයි. වෙනත් දැනුම් පද්ධති කෙරෙහි විවෘත ආකල්පයක් දරන නමුත් වෙනත් කිසිදු දැනුම් පද්ධතියක් පිළිබඳව බටහිර විද්‍යාව පිළිබඳව තිබෙන ආකාරයේ විශ්වාසයක් මට නැහැ. මෙය පෞද්ගලික කාරණාවක් නිසා වෙනත් අයට එවැනි විශ්වාස තිබීම මා ප්‍රශ්නයක් සේ සලකන්නේ නැහැ. අපේ විශ්වාස ගොඩ නැගෙන්නේ එකිනෙකාගේ පෞද්ගලික අත්දැකීම් අනුවයි.

ඇමරිකාව, එක්සත් රාජධානිය, ඊශ්‍රායලය වැනි රටවල් කෝවිඩ් අර්බුදයට මුහුණ දුන්නේ තනිකරම වගේ බටහිර විද්‍යාව මත පදනම්වයි. මේ සඳහා යොදාගත් ආකෘති, ඒවායේ සීමාවන්ට යටත්ව, නිවැරදි බව මේ වන විට තහවුරු වී තිබෙනවා. කෝවිඩ් ඉතා වේගයෙන් පැතිරෙන බවත්, උත්තරාර්ධගෝලයේ ග්‍රීෂ්ම සෘතුව එළැඹෙද්දී ස්වභාවික ලෙසම පාලනය වී ශීත සෘතුව තුළ නැවත දරුණු ලෙස හිස ඔසොවන බවත් මෙම ආකෘති වලින් මාර්තු මාසයේදීම පුරෝකථනය කෙරුණා. බටහිර විද්‍යාත්මක දැනුම මත පදනම්ව කෝවිඩ් වලින් ගැලවීමේ මාර්ගය වැටී තිබුණේ මහා පරිමාණ එන්නත්කරණ වැඩ සටහනක් හරහා. එහෙත් ඒ සඳහා අවම වශයෙන් වසරක සිට වසර එකහමාරක පමණ කාලයක් යන බවද පුරෝකථනය කළ හැකි වුනා. 

බටහිර විද්‍යාවේ දෘෂ්ඨි කෝණයෙන් කෝවිඩ් ආරම්භයේදී දැන සිටි කරුණු මත පදනම්ව විශ්ලේෂණය කළ විට පෙනී ගියේ සාර්ථක එන්නතක් වැඩි දියුණු කර ප්‍රමාණවත් තරමින් නිෂ්පාදනය කිරීම සඳහා ගතවන කාලය අතරතුර විශාල පිරිසකට රෝගය ආසාදනය විය හැකි බවයි. තත්ත්වය එවැන්නක්නම් වසංගතයට "එඩිතරව" මුහුණ දීම හැර වෙනත් කළ යුතු දෙයක් තිබුණේ නැහැ. 

මේ අවදියේදී නිගමන වලට එළැඹෙන්නට සිදු වුනේ චීනයේ දත්ත දෙස බලාගෙනයි. ඒ දත්ත අසම්පූර්ණ දත්ත. විශේෂයෙන්ම රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් ප්‍රමාණය පිළිබඳවත්, ඒ හෙයින්ම කෝවිඩ් මරණ අනුපාතය පිළිබඳවත්, වරක් ආසාදනය වූ අයෙකුට ලැබෙන ස්වභාවික ප්‍රතිශක්තියේ ප්‍රමාණය පිළිබඳවත් තිබුණේ අවිනිශ්චිත අදහසක්. රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතයින් ප්‍රමාණයට සාපේක්ෂව රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් ප්‍රමාණය ඉතා වැඩිනම් (ඇතැම් අය මේ ප්‍රමාණය සිය ගුණයක් පමණ බැව් ඇස්තමේන්තු කර තිබුණා) එයින් අදහස් වන්නේ සැබෑ මරණ අනුපාතය ඉතා අඩු බවයි. තත්ත්වය එවැන්නක්නම් හා වරක් ආසාදනය වූ අයෙකුට සැලකිය යුතු කාලයක් ස්වභාවික ප්‍රතිශක්තිය ලැබෙන්නේනම්, රෝගය බෝවී සාමූහික ප්‍රතිශක්තිය ඇති වීම වුවද නරක දෙයක් නොවන නිසා ඇතැම් රටවල් කෝවිඩ් වලට මුහුණ දීමේ විකල්පයක් ලෙස "කිසිවක් නොකර සිටීම" ගැනද සලකා බැලුවා. එහෙත් මෙය හොඳ විකල්පයක් නොවන බව ඉතා ඉක්මණින්ම පැහැදිලි වුනා.

වසංගතය ආරම්භයේදී ඇමරිකාවේ ප්‍රමුඛ ඉලක්කය වූයේ ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොමැතිකමින් සිදුවිය හැකි මරණ අවම කර ගැනීමයි. ඉතා ඉක්මණින් ප්‍රාන්ත වසා දැමීමට තීරණය කෙරුණේ සෞඛ්‍ය පද්ධතිය අවශ්‍ය පමණ පුළුල් කර ගන්නා තුරු රෝගය පැතිරීම මන්දගාමී කර ගැනීමේ අරමුණින්. ආරම්භයේදී පෙනෙන්නට තිබුණේ ජීවිත බේරා ගැනීම සඳහා ක්ෂණිකව කළ යුත්තේ ප්‍රමාණවත් තරම් වෙන්ටිලේටර නිපදවීම බවයි. එය එසේ නොවන බව පසුව පෙනී ගියත් ඇමරිකන් රජය මුල් වී වෙන්ටිලේටර සැපයුම විශාල ලෙස වැඩි කිරීම සඳහා ක්‍රියාමාර්ග ගත්තා. පසුව මෙසේ නිපදවනු ලැබූ වෙන්ටිලේටර ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ප්‍රදානය කෙරුණා.

කෝවිඩ් පැතිරීම වැළැක්වීමේ අරමුණින් ගැනුණු සෞඛ්‍යමය නොවන ක්‍රියාමාර්ග ප්‍රතිඵලදායක බව ඉතා ඉක්මණින්ම පෙනී ගියා. යුරෝපයේ ඇතැම් රටවල සිදු වුනාක් මෙන් කෝවිඩ් වසංගතය ඇමරිකාවේ සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වූයේ නැහැ. මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, නිතර අත් සේදීම වැනි විවිධ ක්‍රියාමාර්ග හරහා රෝගය පැතිරීම පාලනය කළ හැකි වූ නිසා ග්‍රීෂ්ම සෘතුව එළැඹෙද්දී රට ක්‍රමයෙන් විවෘත කරන්න හැකි වුනා. එහෙත්, පූර්ණ විවෘත කිරීමක් වුනේ නැහැ. ඒ වගේම අවශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය අඩු කෙරුණේද නැහැ. ශීත සෘතුව තුළ කෝවිඩ් වසංගතය වැඩි තීව්‍රතාවයකින් මතුවන බව මුල සිටම පෙනෙන්නට තිබුණු නිසා එම කාලය තුළ නැවතත් සැලසුම්සහගතව යම් සීමා කිරීම් කෙරුණා. 

මේ සියල්ල කිරීමෙන් අනතුරුවද ඇමරිකානුවන්ගෙන් 9.98%ක් මේ වන විට කෝවිඩ් ආසාදිතයින් සේ හඳුනාගෙන තිබෙන අතර ඔවුන්ගෙන් 1.78%ක් මරණයට පත්ව තිබෙනවා. හඳුනා නොගැනුනු ආසාදිතයින් ප්‍රමාණය හඳුනා ගැනුනු ප්‍රමාණය මෙන් තුන් ගුණයක් පමණ විය හැකි බැව් සැලකුවහොත් සැබෑ මරණ අනුපාතය 0.5-1.0% අතර සේ සැලකිය හැකියි.

වසංගතයක් පැතිරෙද්දී එහි හානිය වැළැක්වීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුත්තේ නිවාරණය කෙරෙහියි. ප්‍රජා වෛද්‍ය විද්‍යාවේදී "බෙහෙත් කරන්නේ" රෝගයට මිස රෝගියාට නෙමෙයි. සිදුවිය යුතු පරිදිම ඇමරිකන් රජය එන්නත් වැඩි දියුණු කිරීම වෙනුවෙන් වැඩි බරක් දැම්මා. එහි ප්‍රතිඵලයක් ලෙස හිතුවාටත් වඩා කලින් හිතුවාටත් වඩා සාර්ථක එන්නත් කිහිපයක්ම නිපදවා ගත හැකි වුනා. ප්‍රධාන වශයෙන්ම එන්නත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඇමරිකාවේ මෙන්ම, කෝවිඩ් වසංගතයෙන් දරුණුවටම බැට කෑ එක්සත් රාජධානියේද, ඊශ්‍රායලය වැනි තවත් රටවලද කෝවිඩ් වසංගතය පාලනය වී ජනජීවිතය සාමාන්‍ය අතට හැරෙමින් පවතිනවා.

මෙවැනි වසංගතයක් හමුවේ රෝගය ආසාදනය වීම 50%කින් අඩු කරන එන්නතක් හොඳ එන්නතක් සේ සැලකිය හැකියි. ඇමරිකාවේ භාවිතා වූ පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් වල ඵලදායීතාවය 95% පමණ ඉහළ මට්ටමක තිබුණා. එන්නතක අහිතකර ප්‍රතිඵල කලකට පසුව වුවත් පෙනී යා හැකි නිසා සාමාන්‍යයෙන් ඇමරිකාවේ එන්නතක් භාවිතය සඳහා අනුමත කරන්නේ අවශ්‍ය පමණ කල් අරගෙනයි. එහෙත් දැන් තිබෙන්නේ හදිසි තත්ත්වයක්. ඇමරිකාව තුළ තවමත් කෝවිඩ් සඳහා කිසිදු එන්නතක් අනුමත කර නැතත්, පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් වලටත් ඉන්පසුව ජොන්සන් සහ ජොන්සන් සමාගමේ එන්නතටත් හදිසි අනුමැතිය ලැබී තිබෙනවා. එහෙත් වයස අවුරුදු 16 නොඉක්මවූ අය සඳහා තවමත් කිසිදු එන්නතකට හදිසි අනුමැතිය හෝ හිමි වී නැහැ.

ඇමරිකාව තුළ වයස අවුරුදු 16 ඉක්මවූ අයෙකුට කෝවිඩ් එන්නතක් ලබා ගැනීම සඳහා මේ වන විට කිසිදු බාධාවක් නැහැ. අපේ ප්‍රාන්තයේ මධ්‍යස්ථාන රැසකදී කලින් දැනුම් දීමක් නොකර කෙළින්ම ගොස් එන්නතක් ලබා ගැනීමේ අවස්ථාව මේ වන විට තිබෙනවා. වයස තහවුරු කිරීම හැර පදිංචිය හෝ පුරවැසිභාවය වැනි කරුණු තහවුරු කළ යුතු නැහැ. මුදල් ගෙවීමක් කළ යුතු වන්නේද නැහැ. වැඩිහිටි ඇමරිකානුවන්ගෙන් 56.1%ක් මේ වන විට එක් එන්නතක් හෝ ලබාගෙන තිබෙන අතර 40.3%ක් එන්නත් දෙකම හෝ ජොන්සන් සහ ජොන්සන් එන්නතේ තනි මාත්‍රාව ලබාගෙන තිබෙනවා. රටේ මුළු ජනගහණයම සැලකුවොත් 44.3%ක් එක් එන්නතක් ලබාගෙන තිබෙන අතර 31.6%ක් එන්නත් මාත්‍රා සම්පූර්ණ කර තිබෙනවා.

කෙසේ වුවත්, තවමත් ඇමරිකානුවන්ගෙන් බාගයක්ම කෝවිඩ් එන්නතක් ලබාගෙන නැහැ. තුනෙන් දෙකක්ම එන්නත් මාත්‍රා සම්පූර්ණ කර නැහැ. පූර්ණ ප්‍රතිශක්තියක් ලැබෙන සේ සැලකෙන්නේ එන්නත් මාත්‍රා සම්පූර්ණ කර දින 14කට පසුවයි. මා නිදහසේ ගෙයින් එළියට බැස්සේ පයිසර්-බයෝඑන්ටෙක් දෙවන මාත්‍රාව ලබාගෙන දින 14ක් ගත වීමෙන් පසුවයි. එහෙත්, එයින් අදහස් වන්නේ එන්නත් මාත්‍රා සියල්ල ලබාගෙන දින 14කට පසුව කෝවිඩ් වැළඳීමේ අවදානම නැත්තටම නැති වන බව නෙමෙයි. පසුගිය අප්‍රේල් 26 දක්වා කාලය තුළ කෝවිඩ් එන්නත් සම්පූර්ණ කර දින 14 පසු කළ ඇමරිකානුවන් 9,245 දෙනෙකුටද කෝවිඩ් ආසාදනය වී තිබෙන අතර ඔවුන්ගෙන් 835 (9%) දෙනෙකුට රෝහල් ගත වන්නට සිදු වී තිබෙනවා. එයින් 132 දෙනෙකු මිය ගොස් තිබෙනවා. වාර්තා නොවූ ආසාදිතයින් සිටිය හැකි නිසා මෙය අවම ඇස්තමේන්තුවක්. එහෙත් අප්‍රේල් 26 දින වන විට මිලියන 95 ඉක්මවන ඇමරිකානුවන් පිරිසක් එන්නත් මාත්‍රා සම්පූර්ණ කර තිබීම සැලකූ විට මේ සම්භාවිතාව ඉතා අඩු එකක්.

තවමත් එන්නත් ලබාගෙන තිබෙන්නේ ඇමරිකානුවන්ගෙන් බාගයකට අඩු පිරිසක් වුවත් එහි ප්‍රතිඵල පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මේ වන විට ඇමරිකාවෙන් දිනකට හමු වන කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය 50,000 මට්ටමටත් මරණ ගණන 700 මට්ටමටත් අඩු වී තිබෙනවා. වසර මුලදී මේ සංඛ්‍යා පැවතුණේ පස් ගුණයක් ඉහළින්. කෙසේ වුවත්, මේ අඩු වීමට එකම හේතුව එන්නත්කරණය කියා කියන්න බැහැ. කාලගුණය උණුසුම් වීමේ බලපෑමත් මෙහි තිබෙනවා.

ලංකාව මෙන් 15 ගුණයකට වඩා වැඩි ජනගහණයක් සිටින ඇමරිකාවෙන් ඊයේ හමු වූ කෝවිඩ් ආසාදිතයින් ගණන 30,701ක්. මෙය ජනගහණයට සමානුපාතිකව බැලුවොත් ලංකාවෙන් දිනකට ආසාදිතයින් 1,983 දෙනෙකු හමු වීමට සමානයි. ලංකාවෙන් ඊයේ හමු වුනු ආසාදිතයින් ගණන වූ 1,891 ඊට වඩා අඩු ගණනක්. මෙයින් මා පෙන්නුවේ ඇමරිකාවේ දැන් තිබෙන "හොඳ" තත්ත්වය වුවත් ලංකාවේ දැන් තිබෙන "නරක" තත්ත්වයට වඩා හොඳ බවයි. ඇමරිකාවේ දිනකට හමු වූ ආසාදිතයින් ගණන දැන් ගණන මෙන් 10 ගුණයකට වඩා ඉහළින් තිබුණා. කිසිසේත්ම මගේ ප්‍රාර්ථනාව නොවුනත් ලංකාවේ තත්ත්වය දැන් තිබෙනවාට වඩා ගොඩක් නරක අතට හැරෙන්න පුළුවන් බව අමතක කළ යුතු නැහැ.

ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට තමන්ට අවශ්‍ය වූ පමණින් කෝවිඩ් එන්නතක් ලබා ගැනීමේ හැකියාවක් තවමත් නැති බව මම දන්නවා. ඒ වගේම ඇමරිකාවේ මට්ටමෙන් 10%කටත් වඩා අඩුවෙන් ආසාදිතයින් හමු වී තිබියදීත් ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව මේ වන විටද ඉක්මවා ගොස් ඇති බව පෙනෙනවා. කෝවිඩ් පාලනය කිරීම එක දෙයකින් පමණක් කිරීම අසීරුයි. උඩ ඡායාරූපයේ තිබෙන්නේ අපේ නිවසට හැරෙන පාර අයිනේ ප්‍රදර්ශනය කර තිබෙන බැනරයක්. කෝවිඩ් එන්නතක් ලබා ගන්නා සේ ඉල්ලා තිබෙන එහි කෝවිඩ් මර්දනය සඳහා කළ යුතු අනෙකුත් දේවල්ද ප්‍රදර්ශනය කර තිබෙනවා. ඇමරිකාව මේ තරමින් හෝ ගොඩ ගිහින් තියෙන්නේ ඔය හැම දෙයක්ම කරලා. 

ඔය හැම දෙයක්ම කරන අයටත් කෝවිඩ් හැදෙනවා. එය මේ රෝගයේ ස්වභාවය. පුළුවන් හැම විදිහකටම පරිස්සම් වෙලත් කෝවිඩ් හැදී තිබෙන ලංකාවේම කිහිප දෙනෙක් ගැනත් මට අහන්න ලැබුණා. ඇමරිකාවේ කෝවිඩ් මේ තරම් ව්‍යාප්ත වුනේ ආණ්ඩුවේ වැරැද්දකින්වත්, මිනිස්සුන්ගේ වැරැද්දකින්වත් නෙමෙයි. ඒ වගේ බොරු අදහස් වලින් වෙන්නේ රෝගයේ භයානකකම අවතක්සේරු වෙන එක පමණයි. එය හානිකරයි. තමන්ට පුළුවන් හැම විදිහකින්ම පරිස්සම් වෙන්න.

Saturday, May 1, 2021

සූරාකෑම් නැති කරමු!


අද තවත් මැයි දිනයක්. ලංකාවේ මැයි දින පෙළපාලි හා රැස්වීම් වලදී බොහෝ විට ශ්‍රමය සූරාකෑම ගැන අහන්න ලැබෙනවා. ධනවාදයේ අමානුෂිකත්වය ගැන අහන්න ලැබෙනවා. ධනවාදය පෙරළා හදන නිර්ධන පංති ආඥාදායකත්වයක් ගැන අහන්න ලැබෙනවා. එහෙත් මේ පෙළපාලි හා රැස්වීම් වලට සහභාගී වන අය එසේ කරන්නේ ධනවාදය කියා කියන්නේ කුමක්ද කියාවත් හරියටම නොදැනයි. පෙළපාලි වලට සහභාගී වන අය තියා ඒවා සංවිධානය කිරීමේදී නායකත්වය ගන්න හා රැස්වීම් වල කතා පවත්වන බොහෝ දෙනෙකුත් තමන් නොයෙක් වර අසා කට පාඩමේ තිබෙන දේ ඔහේ වක්කරනවා හැර තමන් කියන දේ ගැන නිදහසේ හිතා බලා තිබෙන අය නෙමෙයි.

ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. ධනවාදය විවේචනය කරන හෝ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් මුලින්ම මේ ප්‍රශ්නයට පිළිතුරක් ඉදිරිපත් කළ යුතුයි. 

පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවානම් පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න. තමන් ධනවාදය විවේචනය කරන්නේත්, මෙතෙක් විවේචනය කළේත් තේරුමක් ඇතිවද කියා නිදහසේ හිතා බලන්න.

ධනවාදය කියා කියන්නේ කෝකටත් තෛලයක් නෙමෙයි. ධනවාදයේ අඩුපාඩු ඕනෑ තරම් තිබෙනවා. ඒවා රහස් නෙමෙයි. එහෙත්, ලෝකයේ, විශේෂයෙන්ම ලංකාවේ, බොහෝ ප්‍රශ්න වලට හේතුව ධනවාදයක් නැතිකම මිස නැති ධනවාදය නෙමෙයි. වැඩවසම් යුගයකට සමාජය ආපසු දක්කන ප්‍රතිගාමී සමාජවාදී දෘෂ්ඨිවාදයෙන් මිදී ධනවාදී ප්‍රතිසංස්කරණ කිරීමෙන් හැම වත්මන් ප්‍රශ්නයක්ම විසඳාගත නොහැකි වුවත් බොහෝ ප්‍රශ්න විසඳාගත හැකියි.

ධනවාදයේ සදාචාරාත්මක පදනම වන්නේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමය සපයන අයටත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනය සපයන අයටත් හිමි විය යුතු බවයි. එසේ ලැබෙන තමන්ගේ කොටස වෙනත් අය සමඟ බෙදා හදා ගැනීම ඒ අයගේ කැමැත්ත පරිදි සිදු විය දෙයක්. මෙයින් වෙනස්ව මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ ප්‍රාග්ධනය වෙනුවෙන් කිසිවක් හිමි වීම වැරැද්දක් බවයි. එහි පදනම වන්නේ පෞද්ගලික ප්‍රාග්ධනය කියන්නේම ඓතිහාසිකව සිදු වූ  වැරැද්දක ප්‍රතිඵලයක් බවයි. ක්‍රිස්තියානි ආගම් වලට අනුව ආදම් හා ඒව විසින් කළ ආරම්භක පාපය නිසා ඕනෑම හොඳ මිනිහෙක් උපතින්ම පවුකාරයෙක්. පෞද්ගලික ප්‍රාග්ධනය පිළිබඳ මාක්ස්වාදී අදහසත් ඒ වගේ එකක්.

ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර සම්පත් බෙදී යා යුතු ආකාරය පිළිබඳව ධනවාදය හා මාක්ස්වාදය විසින් යෝජනා කරන සදාචාරාත්මක රාමු අතර වෙනස පැහැදිලි කිරීම සඳහා මම කොබ්-ඩග්ලස් ආකෘතිය යොදා ගත්තා. කොබ්-ඩග්ලස් ආකෘතිය ධනවාදයට සම්බන්ධ දෙයක් නෙමෙයි. එම ආකෘතියෙන් පෙන්වන්නේ කිසියම් නිෂ්පාදන ක්‍රමවේදයක් තුළ ශ්‍රමය හා ප්‍රාග්ධනය නිෂ්පාදිතයක් බවට පරිවර්තනය වන ආකාරයයි. මේ ආකෘතිය හැම නිෂ්පාදනයකටම ගැලපෙන්නේ නැති වුවත්, බොහෝ නිෂ්පාදන සඳහා ගැලපෙන නිසා පොදුවේ රටක සමස්ත නිෂ්පාදිතය ආකෘතිගත කිරීම සඳහා යොදාගත හැකියි.

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය මෙවැන්නක්.

Y = F(K,L) = AKαLß 

මෙහි A, α හා ß ද පරාමිතීන්. ඒවා කෙටිකාලයක් ඇතුළත වෙනස් වන්නේ නැහැ. විචල්‍යයන් වන්නේ K සහ L පමණයි. K යනු යොදවන ප්‍රාග්ධන ඒකක ප්‍රමාණය. L යනු යොදවන ශ්‍රම ඒකක ප්‍රමාණය.

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය සන්තතික ශ්‍රිතයක් නිසා ඒ අනුසාරයෙන් ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවන් හරියටම පෙන්වා දිය හැක්කේ අවකලනය යොදාගෙනයි. මෙය අප විසින් දැනටමත් කර තිබුණත් එවැනි පැහැදිලි කිරීමක් කියවන බොහෝ අයට බර වැඩි විය හැකි නිසා අද අපි මෙය ඊට වඩා ටිකක් සරල විදිහට හදාරමු. සන්තතික ශ්‍රිතයක් අසන්තතික සේ සලකා කරන පැහැදිලි කිරීමක් නිසා මෙහි ඉදිරිපත් කරන ගණන් නිවැරදි වන්නේ ආසන්නව පමණයි. එහෙත් පැහැදිලි කිරීම සඳහා එවැන්නක් කිරීමේ ප්‍රශ්නයක් ඇතැයි මම හිතන්නේ නැහැ. මෙය කරන්නේ "ඉකෝන්, කොබ්-ඩග්ලස්නම් ආයේ එපා!" කියා කියන පාඨකයින් වෙනුවෙන්.

ඒ එක්කම අපි අපේ කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ පරාමිතීන් සඳහා නිශ්චිත අගයයන් යොදා ගනිමු. අප යොදා ගන්නා ගණන් ඇමරිකාව, එක්සත් රාජධානිය හා චීනය ඇතුළු විශාල හා පුළුල් ආර්ථිකයන් තිබෙන රටවල් ගණනාවක එම පරාමිතීන් සමඟ සැසඳෙනවා. 

Y = F(K,L) = 10K0.4L0.6 

මෙයින් අදහස් වන්නේ කුමක්ද කියන එක පැහැදිලි කිරීම සඳහා මම පහත වගුව ඉදිරිපත් කරන්නම්. 

මේ වගුව කියවිය යුත්තේ කොහොමද? සිරස් තීරුවක් දිගේ ඉහළ සිට පහළට යද්දී පෙනෙන්නේ K නියතව තිබියදී L වැඩි වන විට Y වැඩි වන ආකාරයයි. ඒ වගේම, තිරස් තීරුවක් දිගේ වමේ සිට දකුණට යද්දී පෙනෙන්නේ L නියතව තිබියදී K වැඩි වන විට Y වැඩි වන ආකාරයයි. වම්-ඉහළ කෙළවරේ සිට දකුණු-පහළ කෙළවර දක්වා විකර්ණය දිගේ යද්දී පෙනෙන්නේ K සහ L සමානුපාතිකව වැඩි කර ගෙන යද්දී Y වැඩි වන ආකාරයයි.

කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ විශේෂත්වයක් වන්නේ K සහ L සමානුපාතිකව වැඩි කර ගෙන යද්දී Y ද එම අනුපාතයෙන්ම වැඩි වීමයි. K=L=1 වූ විට Y=10 වන අතර K=L=5 වූ විට Y=50 ද K=L=10 වූ විට Y=100 ද වෙනවා. මෙය තේරුම් ගැනීම සඳහා ඔබට සිතේ මවාගන්න අවශ්‍යනම්, එක් ශ්‍රමිකාවක් හා එක් ඇඳුම් මසන මැෂිමක් ඇති විට නිෂ්පාදිතය ඇඳුම් 10ක්නම්, ශ්‍රමිකාවන් 10ක් හා ඇඳුම් මසන මැෂිම් 10ක් ඇති විට නිෂ්පාදිතය ඇඳුම් 100ක්. මෙය බොහෝ කර්මාන්ත සඳහා නරක උපකල්පනයක් නෙමෙයි. මේ උපකල්පනය නොගැලපෙන කර්මාන්තයකට කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ගැලපෙන්නේ නැහැ. කොබ්-ඩග්ලස් ශ්‍රිතය යොදාගත හැකි සීමාව මේ උපකල්පනයෙන් සීමා වෙනවා.

දැන් මේ වගුවෙන් අපි ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය හොයා ගන්නේ කොහොමද? ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය කියා කියන්නේ අනෙකුත් සියලුම සාධක නොවෙනස්ව තිබියදී ශ්‍රමය වැඩි කිරීමෙන් වැඩි වන නිෂ්පාදිතයයි. මෙය හොයා ගන්න අපිට ප්‍රාග්ධනය නියතව තියන්න වෙනවා. ප්‍රාග්ධනය වැඩි නොකර, ශ්‍රමය පමණක් වැඩි කළ විට නිෂ්පාදිතය වැඩි වේනම් ධනවාදයේ සදාචාරත්මක පදනම අනුව, එසේ වැඩි වූ නිෂ්පාදිතය ශ්‍රමය සැපයූ අයට හිමි විය යුතුයි.

අපි K=5 ලෙස ප්‍රාග්ධනය නියතව තබා L=1 සිට L=2 දක්වා ශ්‍රමය වැඩි කරමු. එවිට Y=19 සිට Y=29 දක්වා ඒකක 10කින් නිෂ්පාදිතය ඉහළ යනවා. මෙය අදාළ අවස්ථාවේදී ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවයයි. එම ඒකක 10 වැඩි වුනේ ලබා දුන් අමතර ශ්‍රම ඒකකය නිසා. දැන් අපි L=3 දක්වා ශ්‍රමය තවත් වැඩි කරමු. එවිට Y=37 දක්වා නිෂ්පාදිතය තවත් ඒකක 8කින් ඉහළ යනවා. නිෂ්පාදිතය ඉහළ ගියත් කලින් අවස්ථාවේ ඉහළ ගිය ප්‍රමාණයට වඩා අඩුවෙන්. ඒ නිසා, ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඒකක 10 සිට 8 දක්වා අඩු වෙනවා. මේ අයුරින්,  K=5 ලෙස නියතව තිබියදී L දිගින් දිගටම වැඩි කළොත් ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඒකක 7, 6 හා 5 දක්වා ටිකෙන් ටික අඩු වෙනවා.

මෙයින් එක දෙයක් පැහැදිලි විය යුතුයි. ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය තීරණය වන්නේ "මහන්සි වී වැඩ කිරීම" හෝ "වැඩ කරන පැය ගණන" මත පමණක් නෙමෙයි. එය තීරණය වන්නේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය මත. ධනවාදය පෙනී සිටින්නේ මේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වෙනුවෙන්. ඒ තුළ, මහන්සි වී වැඩ කරන හෝ වැඩි කාලයක් වැඩ කරන අයට වැඩි ප්‍රතිලාභ හිමි වුනත් වැදගත්ම කරුණ එය නෙමෙයි. ධනවාදය යටතේදී මහන්සි වී වැඩ කරන වගේම එසේ නොකරන අයටත් වඩා අකාර්යක්ෂම ක්‍රමයක් යටතේ ලැබෙනවාට වඩා ප්‍රතිලාභ ලැබෙනවා.

ප්‍රාග්ධනය සම්බන්ධවත් මේ වගේම පැත්තක් තිබෙනවා. අපි L=5 ලෙස ශ්‍රමය නියතව තබා K=1 සිට K=2 දක්වා ප්‍රාග්ධනය වැඩි කරමු. එවිට Y=26 සිට Y=35 දක්වා ඒකක 9කින් නිෂ්පාදිතය ඉහළ යනවා. මෙය අදාළ අවස්ථාවේදී ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවයයි. එම ඒකක 9 වැඩි වුනේ ලබා දුන් අමතර ප්‍රාග්ධන ඒකකය නිසා. එහි අයිතිය මුළුමනින්ම තිබෙන්නේ ප්‍රාග්ධනය ලබා දුන් අයටයි. එම වැඩි වීමට ශ්‍රමයේ ආන්තික දායකත්වයක් නැහැ. ඒ වගේම කලින් අවස්ථාවේදී මෙන් L=5 ලෙස ශ්‍රමය නියතව තබා යොදවන ප්‍රාග්ධනය වැඩි කරගෙන ගියොත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ඒකක 6, 5, 4, 3 ලෙස ක්‍රමයෙන් අඩු වී යනවා. 

මෙයින් අදහස් වන්නේ ධනවාදී පරමාදර්ශයක් තුළ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ප්‍රාග්ධනය වැඩියෙන් යෙදෙවූ විට ලැබෙන අමතර ප්‍රතිලාභ වලින් ශ්‍රමය සපයන අයට වාසියක් නොලැබෙන බව නෙමෙයි. මෙය පැහැදිලි කර ගැනීම සඳහා අපි K=1 ලෙස තිබියදී L=9 සිට L=10 දක්වා වැඩි වූ විට සිදුවන දෙය බලමු. මෙහිදී නිෂ්පාදිතය ඒකක 3කින් ඉහළ යනවා. ශ්‍රමිකයන්ට වැටුප් සේ ලබා ගත හැකි උපරිම මුදල මේ ඒකක තුනේ වෙළඳපොළ වටිනාකමයි. මේ අවස්ථාවේදී ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඒකක 3ක් පමණයි. එහෙත්, K=1 වෙනුවට K=10 ලෙස තිබියදී L=9 සිට L=10 දක්වා වැඩි වූ විට සිදුවන්නේ කුමක්ද? මෙහිදී නිෂ්පාදිතය ඒකක 6කින් ඉහළ යනවා. ඒ කියන්නේ දැන් ශ්‍රමිකයින්ගේ වැටුප් දෙගුණ වෙලා. නමුත් එසේ වුනේ ඔවුන් වඩා මහන්සි වී වැඩ කළ නිසා හෝ වැඩියෙන් වැඩ කළ නිසා නෙමෙයි. යෙදවුණු ප්‍රාග්ධනය ඉහළ ගිය නිසා. ඒ වගේම ශ්‍රමිකයන් විසින් මෙහිදී ප්‍රාග්ධන හිමියන්ගේ කොටසින් කිසිවක් අරගෙනත් නැහැ.

ධනවාදය කාර්යක්ෂම වෙන්නේ එහි සමස්ත ආකෘතිය ඇතුළේ. එයින් කියන්නේ එහි තනි කෑලි අකාර්යක්ෂම බව නෙමෙයි. එහෙත් තනි කෑල්ලක් කාර්යක්ෂම වෙන්නේ යම් සීමාවක් තුළ (sub optimum). කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය හා ගැලපෙන තාක්ෂණයක් තිබෙන යම් සමාගමක් ගත්තොත්, එම සමාගමට ශ්‍රමය යොදවන තරමට වගේම ප්‍රාග්ධනය යොදවන තරමට දිගින් දිගටම නිෂ්පාදනය ඉහළ දැමිය හැකි වුවත්, එසේ වැඩි වැඩියෙන් නිෂ්පාදන සාධක යොදා ගන්නා තරමට වැඩි කළ හැකි ආන්තික නිෂ්පාදිතය (ඒ වන විට නිපදවන ප්‍රමාණයට වඩා වැඩියෙන් නිපදවිය හැකි ප්‍රමාණය) ටිකෙන් ටික අඩු වෙනවා. එහෙම අඩුවෙලා නිෂ්පාදන සාධක යොදා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු මිල හා එම නිෂ්පාදන සාධක යොදාගෙන නිපදවිය හැකි අමතර නිෂ්පාදිතයේ වටිනාකම සමාන වූ පසු තව දුරටත් නිෂ්පාදන සාධක යෙදවීම පාඩු ලබන කටයුත්තක් බවට පත් වෙනවා. මේ මට්ටම ධනවාදයක් යටතේ නිෂ්පාදනයේදී නිෂ්පාදන සාධක යෙදවෙන ප්‍රශස්ත මට්ටමයි.

මෙය උදාහරණයකින් පැහැදිලි කර ගැනීමට ඉහත වගුවට යමු. එහි (L,K)=(5,5) වූ විට Y=50 බව ඔබට පෙනෙනවා. මේ මට්ටමේ සිටියදී K එලෙසම තබා L එක් ඒකකයකින් අඩු කළොත් Y=44 වෙනවා. ඒ කියන්නේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය 6ක් කියන එකයි. ඒ වගේම, L එලෙසම තබා K  එක් ඒකකයකින් අඩු කළොත් Y=46 වෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය 4ක් කියන එකයි. මේ අනුව, ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ බෙදී යා යුතු ආකාරය ලෙස ධනවාදය විසින් යෝජනා කරන්නේ එක් ශ්‍රම ඒකකයක් වෙනුවෙන් 6ක් හා එක් ප්‍රාග්ධන ඒකකයක් වෙනුවෙන් 4ක් ලෙස එම බෙදීම සිදු විය යුතු බවයි. 

නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට පෙර ඓතිහාසිකව ප්‍රාග්ධනය හෝ ශ්‍රමය ගොඩ නැගුනේ මොන විදිහටද කියන එක මෙහිදී වැදගත් කරුණක් නෙමෙයි. එය මොන විදිහට සිදු වී තිබුණත් මේ අවසන් ශ්‍රම ඒකකය නොවන්නට අවසන් නිෂ්පාදන ඒකක 50න් 6ක් හැදෙන්නේ නැහැ. අවසන් ප්‍රාග්ධන ඒකක 4 නොවන්නට අවසන් නිෂ්පාදන ඒකක 50න් 4ක් හැදෙන්නේ නැහැ. ඒ දෙකම නොතිබී (L,K)=(4,4) වුනානම් Y=40 වෙනවා. ඒ කියන්නේ අන්තිම නිෂ්පාදන ඒකක 50න් 10ක්ම හැදෙන්නේ නැහැ. 

ධනවාදයේ මූලධර්මය යමක් අලුතින් බිහි කිරීමට දායක වූ පුද්ගලයාට එහි ප්‍රතිලාභද හිමි විය යුතු බවයි. මෙය ධනවාදයෙන් බැහැර, ධනවාදයට පෙර එන සදාචාරාත්මක කරුණක්. ධනවාදයේ දාර්ශනික පදනම කියා කියන්නත් පුළුවන්. යමෙක් මේ කරුණ සමඟ එකඟ නොවනවානම් මම ඔහු හෝ ඇය සමඟ වාද කරන්නේ නැහැ. සදාචාරාත්මක රාමුවක් නිවැරදි බව ඔප්පු කරන්න බැහැ. ඒ වගේම සදාචාරාත්මක රාමු සංසන්දනය කිරීමත් අසීරු කරුණක්. මා පෙන්වා දෙන්නේ මේ සදාචාරාත්මක රාමුව මත පදනම් වූ සම්මතයක් වෙනත් එවැනි සම්මතයකට වඩා, විශේෂයෙන්ම මාක්ස්වාදය විසින් යෝජනා කරන සම්මතයට වඩා, කාර්යක්ෂම බවයි. මෙය විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ බොහෝ සමාජවාදීන්ගේ අවසන් ඉලක්ක කරා යාම සඳහා වුවද මාක්ස්වාදය විසින් යෝජනා කරන ක්‍රමයට වඩා ධනවාදය කාර්යක්ෂම වීම තුළයි.

පෙර උදාහරණයට නැවත පැමිණියහොත් ශ්‍රම ඒකකයක් වෙනුවෙන් 6 බැගින් ශ්‍රම ඒකක 5 සඳහා නිෂ්පාදිතයෙන් ඒකක 30ක් හා ප්‍රාග්ධන ඒකකයක් වෙනුවෙන් 4 බැගින් ප්‍රාග්ධන ඒකක 5 සඳහා නිෂ්පාදිතයෙන් ඒකක 20ක් වෙන් කිරීමෙන් පසුව සමාගම සතුව කිසිවක් ඉතිරි වන්නේ නැහැ. සමස්ත අතිරික්තයම නිෂ්පාදන සාධක අතර බෙදී ගිහින්. එය සිදුව තිබෙන්නේ ශ්‍රමය වෙනුවෙන් අතිරික්තයෙන් 0.6ක් (60%ක්) හා ප්‍රාග්ධනය වෙනුවෙන් අතිරික්තයෙන් 0.4ක් (40%ක්) ලෙසයි. මේ 0.6 හා  0.4 අගයයන් කොබ්-ඩග්ලස් ශ්‍රිතයේ α හා ß  අගයයන්ට සමානයි. වෙනත් විදිහකින් කිවුවොත් ධනවාදී ක්‍රමයක් යටතේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර අතිරික්තය බෙදී යන ආකාරය තීරණය කරන්නේ යොදා ගන්නා නිෂ්පාදන තාක්ෂනය විසින්. නිෂ්පාදන තාක්ෂනය වෙනස් වෙද්දී මෙම අනුපාතයද වෙනස් වෙනවා.

වගුව අනුව Y=50 වන්නේ (L,K)=(5,5) වූ විට පමණක් නෙමෙයි. (L,K)=(4,7) හා (L,K)=(7,3) වූ විටද Y=50 බව ඔබට පෙනෙනවා. යම් නිෂ්පාදකයෙක් මෙවැනි වෙනත් අනුපාතයකින් ශ්‍රමය හා ප්‍රාග්ධනය යොදවා නිෂ්පාදන ඒකක 50ක් නිපදවූවා කියා අපි හිතමු. (L,K)=(5,5) වූ විට අපට ශ්‍රම ඒකකයක් වෙනුවෙන් 6ක් හා ප්‍රාග්ධන ඒකකයක් වෙනුවෙන් 4ක් ගෙවන්න සිදු වුනා. අපි මෙය වෙළඳපොළ මිල ලෙස සලකමු. දැන් (L,K)=(4,7) ලෙස අඩු ශ්‍රමයක් හා වැඩි ප්‍රාග්ධනයක් යොදවා නිෂ්පාදන ඒකක 50ක් හදන සමාගමකට ඉහත වෙළඳපොළ මිල ගෙවන්න සිදුවෙනවා. ඒ අනුව, නිෂ්පාදන සාධක වෙනුවෙන් (4x6) + (7x4) = 52ක් ගෙවන්න සිදු වෙනවා. නමුත් සමස්ත නිෂ්පාදිතය 50ක් නිසා මෙය කළ නොහැකියි. එක්කෝ ශ්‍රමය වෙනුවෙන් අඩුවෙන් ගෙවන්න වෙනවා. නැත්නම් ප්‍රාග්ධනය වෙනුවෙන් අඩුවෙන් ගෙවන්න වෙනවා. 

ධනවාදී ක්‍රමයකදී මෙසේ අඩුවෙන් ගෙවන්න පුළුවන්කමක් නැහැ. ශ්‍රමය වෙනුවෙන් අඩුවෙන් ගෙවුවොත් ශ්‍රමිකයෝ අස්වෙලා ගිහින් (L,K)=(5,5) ලෙස නිපදවන සමාගමකට බැඳෙනවා. ප්‍රාග්ධනය වෙනුවෙන් අඩුවෙන් ගෙවුවොත් ප්‍රාග්ධන හිමියන් ඔවුන්ගේ ප්‍රාග්ධනය ඉවත් කරගෙන (L,K)=(5,5) ලෙස නිපදනවන සමාගමේ ආයෝජනය කරනවා. කණ්ඩායම් දෙකටම වෙළඳපොළ මිල ගෙවුවොත් සමාගම බංකොලොත් වෙනවා. වැහිලා යනවා.

මේ වගේම (L,K)=(7,3) ලෙස අඩු ප්‍රාග්ධනයක් හා වැඩි ශ්‍රමයක් යොදවා නිෂ්පාදන ඒකක 50ක් හදන සමාගමකට වුවත් මේ ප්‍රශ්නයටම මුහුණ දෙන්න වෙනවා. එවැනි සමාගමකට නිෂ්පාදන සාධක වෙනුවෙන් (7x6) + (3x4) = 54ක් ගෙවන්න සිදු වෙනවා. නමුත් සමස්ත නිෂ්පාදිතය 50ක් නිසා මෙය කළ නොහැකියි. (L,K)=(5,5) ලෙස නිෂ්පාදන සාධක යොදා ගනිමින් නිපදවන සමාගම් වෙළඳපොළේ සිටින තුරු (L,K)=(4,7) හෝ (L,K)=(7,3) ලෙස නිෂ්පාදන සාධක යොදාගන්නා සමාගමකට පවතින්න බැහැ. ධනවාදයේ අදිසි හස්තය විසින් එම සමාගම් වලට දඬුවම් දෙනවා. එම සමාගම් වෙළඳපොළෙන් ඉවත් කර දමනවා. ඒ එම සමාගම් වල ශ්‍රමිකයන් මහන්සි වී වැඩ නොකරන නිසා නෙමෙයි. මහන්සි වී වැඩ කිරීම හා කාර්යක්ෂමතාවය කියන්නේ කරුණු දෙකක්.

ධනවාදය විසින් වෙළඳපොළේ ඉතිරි කරන්නේ වඩාත්ම කාර්යක්ෂම සමාගම් පමණයි. එම වඩාත්ම කාර්යක්ෂම සමාගම් වලටද කිසිදු ආර්ථික ලාබයක් උපයන්න බැහැ. මා මෙහි කතා කරන්නේ ගිණුම්කරණ ලාබය ගැන නොවන බව ඔබට නැවත මතක් කර දිය යුතුයි කියා මම හිතන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ගිණුම්කරණ ලාබ තිබෙනවා. එහෙත්, ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ලබා දීමෙන් පසු ඉතිරි වන ආර්ථික ලාභ කිසිවක් නැහැ. වඩාත්ම කාර්යක්ෂම සමාගමට වඩා අකාර්යක්ෂම සමාගම් වලට ශුන්‍ය ලාබ මට්ටමට හෝ එන්න බැහැ. ඔවුන්ටද ගිණුම්කරණ ලාබ තිබිය හැකි වුවත් ආර්ථික ලාබ නැති නිසා දිගින් දිගටම වෙළඳපොළේ තරඟකරුවෙකුව සිටීමේ හැකියාවක් නැහැ. ධනවාදය නිරන්තරයෙන්ම වඩා කාර්යක්ෂම නිෂ්පාදන මිශ්‍රණයන් පමණක් ඉතිරි කරමින් අකාර්යක්ෂම නිෂ්පාදන මිශ්‍රණයන් වෙළඳපොළෙන් ඉවත් කරනවා.

සමාජවාදී විකල්පයක් යටතේ ඉහත තත්ත්වය ඇති වෙන්නේ නැහැ. පොදු ව්‍යවසායයන් බොහෝ විට පාඩු ලබමින් දිගින් දිගටම කටයුතු කරනවා. මෙහිදී පාඩු ලබනවා කියන එකෙන් අදහස් කරන්නේ ගිණුම්කරණ පාඩු ගැන පමණක් නෙමෙයි. පොදු ව්‍යවසායයන්, ලංකාවේ මෙය සිදු වන්නේද අඩුවෙන් වුවත්, බොහෝ විට ගිණුම්කරණ ලාබ ලබනවා. එහෙත් යොදවා ඇති පොදු ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභ සැලකු විට පොදු ව්‍යවසායයන් ලාබ ලබන්නේ ඉතා අඩුවෙන්. පොදු ව්‍යවසායයන් විසින් අකාර්යක්ෂම නිෂ්පාදන මිශ්‍රණයන් දිගින් දිගටම නඩත්තු කරනවා වගේම එවැනි ව්‍යවසායයන්ගේ පැවැත්ම වෙනුවෙන් ආනයන සීමා, මිල පාලනය ආදී වෙළඳපොළ විකෘති සිදු කිරීම මගින් පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් තුළ පවතින අකාර්යක්ෂමතාවයන් වෙළඳපොළ විසින් ඉවත් කරනු ලැබීමටද බාධා කෙරෙනවා. 

අද මැයි දිනයේදී අගය කරනු ලබන කම්කරු නීති හා අයිතිවාසිකම්, වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ආදිය හරහා අවසාන වශයෙන් වන්නේද මීටම තරමක් සමාන දෙයක්. ඉහත වගුවේ (L,K)=(5,5) කොටුවට නැවත එමු. මෙහි තිබෙන 50ක අතිරික්තයෙන් ශ්‍රමිකයන් වෙත යන්නේ 30ක් පමණයි. ඒ එක් අයෙකුට 6 බැගින්. කිසියම් ශ්‍රමිකයෙක් අස් වී ගියොත් නිෂ්පාදිතය 6කින් අඩු වන නිසා එම මුදල ශ්‍රමිකයෙකුට දෙන්න වෙනවා. එය මදියි කියා 7ක් නොදුන්නොත් අස් වී යන බව කිවුවොත් අස් වී යන්න දෙන එකේ පාඩුවක් නැහැ. පාඩුවක් වෙන්නේ 7ක් දී තියා ගත්තොත්. නමුත් මේ තර්කය හරියන්නේ එක් ශ්‍රමිකයෙක් පමණක් එක වර අස් වී යාමට ඉඩක් තිබෙන තත්ත්වයක් තුළ පමණයි. 

ශ්‍රමිකයන් එකතු වී වෘත්තීය සමිතියක් හදාගෙන වැඩි පඩි ඉල්ලා වර්ජනය කළොත් වෙන්නේ කුමක්ද? දැනට ගෙවන වැටුප වන 6 ගෙවා ක්ෂණිකව අලුතෙන් බඳවා ගත හැක්කේ 3 දෙනෙකු පමණයි කියා හිතමු. එසේ වුවහොත්, සමස්ත නිෂ්පාදිතය Y=37 දක්වා ඒකක 13කින් අඩු වෙනවා. එහෙත් වැටුප් අඩු වන්නේ 6x2=12කින් පමණක් නිසා ප්‍රාග්ධනයේ කොටස ඒකක 20 සිට 19 දක්වා අඩු වෙනවා. එක කොටසක් වෙනුවෙන් ලැබෙන්නේ ඒකක 4.75ක් පමණයි. ඒ නිසා ඔය වගේ වෙලාවක ප්‍රාග්ධන හිමියන් විසින් ශ්‍රමය වෙනුවෙන් වෙන් කරන කොටස ඒකක 30 සිට 31 දක්වා වැඩි කරන්න ඉඩ තිබෙනවා. එහිදී ශ්‍රමිකයන්ට තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ප්‍රතිලාභයට වඩා වැඩි දෙයක් ලැබෙනවා. ප්‍රාග්ධන හිමියන්ට ලැබෙන්නේ තමන්ගේ ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ වලට වඩා අඩු දෙයක්.

මේ වගේ තත්ත්වයක් ඇති වූ විට දිගුකාලීනව ප්‍රාග්ධන හිමියන් විසින් ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ලැබිය හැකි තැනකට තමන්ගේ ප්‍රාග්ධනය විතැන් කරනවා. එක් ප්‍රාග්ධන හිමියෙකු ඉවත් වූ විට නිෂ්පාදිතය (ආදායම්) ඒකක 5කින් අඩු වුවත් ප්‍රාග්ධන හිමියා ඉවත් වීම නිසා සමාගමට ඉතිරි වන්නේ 4.75ක් පමණයි. ඒ නිසා සමාගම පාඩු ලබන තත්ත්වයට පත් වෙනවා. එම පාඩුව විඳින්න වෙන්නේ ප්‍රාග්ධන හිමියන්ටනම් ඔවුන්ද ඉවත්ව යන්න ඉඩ තිබෙනවා. ප්‍රාග්ධන හිමියන් 4 දෙනෙක්ම ඉවත්ව ගියොත් ඉතිරි ප්‍රාග්ධන හිමියාට, කිසිවක්ම නොදුන්නත්, ශ්‍රමිකයන්ට බෙදාගන්න ඉතිරි වෙන්නේ ඒකක 26ක් පමණයි. එය මුලින් ලැබුණු ඒකක 30ට වඩා අඩු ප්‍රමාණයක්. දැන් කිසිම සූරාකෑමක් නැහැ. නමුත්, ශ්‍රමිකයන්ට ලැබුණු වැටුප් 6 සිට 5.2 දක්වා අඩු වෙලා!

Friday, April 30, 2021

මෙන්න තවත් සංඛ්‍යාලේඛණ විජ්ජාවක්!


පසුගිය වසර සඳහා වූ මහ බැංකු වාර්තාව නිකුත් වී තිබෙනවා. ආර්ථිකය හා සම්බන්ධව සැලකූ විට, පසුගිය වසර නිදහසින් පසුව ලංකා ඉතිහාසයේ නරකම වසර වූ බව පැහැදිලි කරුණක්. එයට ප්‍රධානම හේතුවක් වුනේ ලොවටම ප්‍රශ්නයක් වූ කෝවිඩ් වසංගතය වුවත්, ලංකාව හා අදාළව ගත් විට ආර්ථිකය මෙවැනි නරක අඩියකට වැටෙන්න එකම හේතුව කෝවිඩ් වසංගතය නෙමෙයි. නිහඬ මාරයින් වූ නිදන්ගත රෝග කිහිපයක් ලංකාවේ ආර්ථිකය ගොළුබෙලි ගමනින් මරණය කරා දක්කමින් සිටියේ කාලයක සිටයි.

නිදහසින් පසු ලොකුම පසුබෑම වාර්තා කරමින් ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේදී 3.6%කින් හැකිලී තිබෙනවා. රටේ ඒක පුද්ගල ජාතික ආදායම 2014 මට්ටමෙන්ද පහළට වැටී, ඩොලර් 3,582 දක්වා අඩු වී තිබෙනවා. එහෙත් මේ ලිපියෙන් අප ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ ආර්ථික වර්ධනය පිළිබඳව නොව, පසුගිය වසරේ ලංකාවේ රාජ්‍ය මූල්‍යනය වෙතටයි.

පසුගිය වසර තුළ ලංකාවේ රාජ්‍ය ආදායම් රුපියල් බිලියන 1,373 දක්වා අඩු වී තිබෙනවා. පෙර වසරේ රාජ්‍ය ආදායම වූ රුපියල් බිලියන 1,899 හා සැසඳූ විට මෙය 28%ක පමණ දැවැන්ත අඩුවීමක්. රාජ්‍ය ආදායම අඩු වීමට හේතුව කෝවිඩ් වසංගතය නොවන බව කවුරුත් දන්නා දෙයක්. මේ අඩුවීමට ප්‍රධානම හේතුව වත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියයි. බදු අඩු කිරීම නරක දෙයක් නොවුනත්, සල්ලි අච්චු ගැසීම හරහා "උද්ධමන බද්දක්" ලෙස වක්‍ර ලෙස එම බද්ද අය කර ගන්නවානම් එයින් සිදු වන්නේ යහපතක් නෙමෙයි.

ඉහත කී පරිදි රාජ්‍ය ආදායමේ සිදුව ඇති දැවැන්ත කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස, දළ දේශීය නිෂ්පාදිතය 3.6%කින් පහත වැටී තිබෙන තත්ත්වයක් යටතේද, නිල සංඛ්‍යාලේඛණ අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%ක් දක්වා රාජ්‍ය ආදායම පහත වැටී තිබෙනවා. නිදහසින් පසුව මෙම ප්‍රතිශතය තනි ඉලක්කමක මට්ටමට වැටී තිබෙන්නේ ප්‍රථම වතාවටයි.

රාජ්‍ය ආදායම පෙර වසරට සාපේක්ෂව 28%කින් අඩු වෙද්දී රාජ්‍ය වියදම් ඇත්තටම 19%කින් වැඩි වී ඇතත්, බැලූ බැල්මටම අතේ මාට්ටු වන සංඛ්‍යාලේඛණ විජ්ජාවක් කරමින් මහ බැංකුව විසින් මේ වැඩි වීම 9%ක අඩුවීමක් සේ පෙන්වනවා. මහ බැංකුව විසින් එසේ කරන්නේ මුදල් අමාත්‍යාංශය කියන නිසයි (Adjustment for arrears as per the Ministry of Finance). මේ අනුව, 2020 වසර තුළ රජයේ වැය වලින් රුපියල් බිලියන 423ක මුදලක් පෙර වසරේ වියදම් වෙනුවෙන් පසුව ගෙවූ මුදල් සේ සලකමින් 2020 වියදම් වලින් අඩු කර 2019 වසරට එකතු කර තිබෙනවා. එහෙත්, 2021 වසර තුළ ගෙවනු ලැබූ 2020 වියදම් ඒ අයුරින් 2020 වියදම් වලට එකතු කර ඇති බවක් පෙනෙන්නට නැහැ. 

මේ අනුව 2020 වසරේ සැබෑ අයවැය හිඟය රුපියල් බිලියන 2,090ක් වුවත් එය පෙන්වා තිබෙන්නේ රුපියල් බිලියන 1,668ක් ලෙසයි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 14.0% මට්ටමට ඉහළ ගොස් ඇති බව පෙනෙන්නට ඇති අයවැය හිඟය පෙන්වා තිබෙන්නේ 11.1% ලෙසයි.

හොඳ ගණකාධිකාරී වරයෙකුට සංඛ්‍යා එහාට මෙහාට කර ලාබ ලබන සමාගමක් පාඩු ලබන ලෙසත්, පාඩු ලබන සමාගමක් ලාබ ලබන බවත් පෙන්විය හැකියි. එය දක්ෂකමක් ලෙස මිස වැරැද්දක් ලෙස සැලකෙන්නේ නැහැ. එසේ කිරීමෙන් සමාගමකට අඩුවෙන් බදු ගෙවීම වැනි වාසි ලබාගන්න පුලුවන්. එහෙත් ගණන් එහා මෙහා කර විජ්ජා පෙන්වීම ආර්ථික විද්‍යාවේ ක්‍රමය නෙමෙයි. එසේ කරන්න යාමෙන් වෙන්නේ තමන්ම මුලාවේ වැටීම පමණයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුවද මේ අයුරින්ම සංඛ්‍යාලේඛණ විජ්ජා පෙන්වූ අතර ඉකොනොමැට්ටා වෙබ් අඩවිය ඒ බැව් මුලින්ම පෙන්වා දුන්නා. පවතින තත්ත්වය ඉතාම නරක හා සැඟවිය නොහැකි තරම් පැහැදිලි වූ විට අතීතය වෙනස් කර ප්‍රගතියක් පෙන්වීමේ ඉතිහාසය කොයි තරම් පැරණිද කියා මා දන්නේ නැහැ. ජෝජ් ඕර්විල් යන ආරූඪ නාමයෙන් ලියූ ඉංග්‍රීසි ලේඛක එරික් ආතර්  බ්ලෙයාර්ගේ "1984" කෘතියේ මෙවැනි තත්ත්වයක් විස්තර කෙරෙනවා.

පසුගිය වසරේ මහ බැංකු වාර්තාවට අනුව 2019 අයවැය හිඟය වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.8%ක් පමණයි. දැන් එය 9.6%ක් වෙලා. කෝවිඩ් නැතුවත් 9.6%ක අයවැය හිඟයක් තිබුණානම් දැන් 11.1%ක් වීම කොයි තරම් හොඳ තත්ත්වයක්ද?

"තෙමසකට පෙර දිනකට කෝවිඩ් රෝගීන් දස දහසක් පමණ වාර්තා වුනත් රජයේ කෝවිඩ් මර්දන වැඩ සටහනේ සාර්ථකත්වය පිළිබිඹු කරමින් මේ වන විට දිනකට හමු වන රෝගීන් ප්‍රමාණය දෙදහසකටත් වඩා පහළ මට්ටමකට වැටී තිබෙනවා."

ජෝජ් ඕර්විල් දැකපු අනාගතයේ බිහිවන ආණ්ඩු ඔය වගේ කතා කියන්න පුළුවන්. වර්තමානය හංගන්න බැරි වූ විට කළ යුත්තේ අතීතය වෙනස් කරන එකයි. මාස තුනකට කලින් තත්ත්වය කාටද මතක? වෙනත් අතීතයක් මතක තිබුණත් ඔප්පු කරන්නේ කොහොමද? විශේෂයෙන්ම අතීතය පිළිබඳ මූලාශ්‍ර තිබෙන්නේ රජයේ පාලනය යටතේනම්?

Tuesday, April 27, 2021

ණය ගැනීමේ දෘෂ්ඨිවාදය


ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. ධනවාදය විවේචනය කරන හෝ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් මුලින්ම මේ ප්‍රශ්නයට පිළිතුරක් ඉදිරිපත් කළ යුතුයි.

සමාජවාදය නිසා ඇති වූ ප්‍රශ්නනම් ඕනෑ තරම් තිබෙනවා. ලංකාවේ මේ දවස් වල කතා වෙන ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නයේ ඉඳලා ක්ෂුද්‍ර හෝ මහේක්ෂ ආර්ථික ප්‍රශ්න ඕනෑම එකක් අරගෙන විශ්ලේෂණය කළොත් ප්‍රශ්නයේ මුල සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති බව පැහැදිලිව පෙනෙනවා. සමාජවාදය හරහා නැවත වැඩවසම් යුගයකට නොගොස් ඉදිරියට යන්නනම් සමාජවාදී දෘෂ්ඨිවාදයෙන් නිදහස් විය යුතුයි.

බොහෝ සමාජවාදීන් හිතන විදිහට සමාජවාදයේ මූලික ඉලක්කය ආදායම් විෂමතා නැති කිරීම. ධනවාදය ආදායම් විෂමතා නැති කිරීම වෙනුවෙන් (ඒ හේතුව මතම) පෙනී සිටින්නේ නැහැ වගේම ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් සේ හඳුනා ගන්නේ නැහැ. නැති ප්‍රශ්නයකට විසඳුමක් අවශ්‍ය වන්නේ නැහැ. මහ පොළොවේ කඳු පල්ලම් තියෙනවා. කඳු සමතලා කර පල්ලම් සියල්ල පුරවා මහ පොළොව සමතලා කළ යුතුයි කියා හිතන අයෙකුට කඳු පල්ලම් ප්‍රශ්නයක් විය හැකි වුවත් එසේ නොසිතන බොහෝ දෙනෙකුට කඳු පල්ලම් තිබීම ප්‍රශ්නයක් නෙමෙයි.

වෙනිසියුලාව, කියුබාව වැනි රටවල් සමාජවාදය හරහා සාර්ථක ලෙස ආදායම් විෂමතා අඩු කරගෙන තිබෙනවා. රටේ කිසිවෙකුට කන්න බොන්නවත් ආදායමක් නැති වූ විට ආදායම් විෂමතාත් නැති වී යනවා. කෙසේ වුවත් චීනය යන්නේ ඒ මාර්ගයේ නෙමෙයි. 2019දී ඩොලර් බිලියනපතියන් 324ක් සිටි චීනයේ බිලියනපතියන් ප්‍රමාණය 2020 වන විට 389ක් වෙලා. බිලියනපතියන් ප්‍රමාණය අතින් චීනය ඇමරිකාව පරදවන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. රටවල් දියුණු වෙන්නේ ඒ රටවල් වල ඒකීය පුද්ගලයින් දියුණු වන තරමටයි. 

තමන් උපයන ආදායම පරිභෝජනය කර අවසන් නොකර එයින් කොටසක් පෞද්ගලික ප්‍රාග්ධනය ගොඩනගා ගැනීම වෙනුවෙන් ඉතිරි කර ගැනීම අධෛර්යමත් කරමින් පෞද්ගලික ප්‍රාග්ධනයට එරෙහි වීම හරහා සමාජවාදී දෘෂ්ඨිවාදය විසින් පරිභෝජනවාදයක් ප්‍රවර්ධනය කරනවා. අනෙක් පැත්තෙන් ආදායම් විෂමතා නැති කිරීම කියන අදහස හරහා ප්‍රවර්ධනය කරන්නේ රටේ හැමෝම එක මට්ටමෙන් පරිභෝජනය කළ යුතුයි කියන අදහසයි. මේ දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ පුළුවන් තරම් ණය වී පරිභෝජනය කරන්න මිනිස්සු පෙළඹෙන එකයි. එක පැත්තකින් ඔය වැඩේ වෙද්දී සූරාකෑම කියන අදහස හරහා යෝජනා කෙරෙන්නේ පුළුවන් තරම් අඩුවෙන් වැඩ කරන  ශරීර හොරුන් වෙන්නයි. රටේ වැඩි දෙනෙක් ඔය වගේ දෘෂ්ඨිවාදයක සිරකරුවන් වුණාම ඒ රට රටක් විදිහටම ණය බරේ ගිලෙන එක අහන්නත් දෙයක් නැහැ.

ශ්‍රමිකයෙක් මිනිත්තු 25කින් තමන්ගේ දවසේ වැටුපට සමාන ලාබයක් හොයන බවත් ඉතිරි කොටස අදාළ සමාගම විසින් සූරාකන බවත් වැනි අදහකින් යෝජනා කෙරෙන්නේ පුළුවන්කමක් ඇත්නම් මිනිත්තු 25ක් පමණක් මනන්සි වී වැඩ කර ඉතිරි කාලය හැකි පමණ හොර කළ යුතු බවයි. හැමෝම හැම විටම මේ විදිහට හොර කරන්නේ නැතත් ලංකාවේ බොහෝ දෙනෙක් පුළුවන් හැම වෙලාවකම මේ හොර කිරීම කරනවා. එය වැරැද්දක් නොවන බවට කාලයක් තිස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ ඔලු හදා තිබෙනවා.

වැඩ නොකළත්, ආදායමක් නැතත්, අනෙක් අය තරමටම පරිභෝජනය කළ යුතුයි. නැත්නම් සියල්ලන්ම සමාන වෙන්නේ නැහැ. වැඩ නොකරන නිසා පරිභෝජනය කරන්න අවශ්‍ය දේවල් රටේ හැදෙන්නේ නැහැ. වැඩ නොකර ඉන්න කැමති මිනිස්සු යොදා ගෙන අමාරුවෙන් නිෂ්පාදනයක් කරලා ලාබයක් අරගෙන සූරාකන්නෝ විදිහට ලේබල් වෙන්න ලංකාවේ මිනිස්සු බයයි. සමාජවාදී දෘෂ්ඨිවාදය විසින් ප්‍රාග්ධන හිමියන් වෙනත් අයට රැකියා සපයන එක අධෛර්යමත් කරන්නේ ඔය විදිහටයි. වෙනත් අයට රැකියා සැපයීමක් ලොකුවට සිදු නොවන වෘත්තීය ව්‍යාපාරයක් කළොත් පමණක්, ලංකාවේදී අපහාසාත්මක යෙදුමක් වන මුදලාලි ලේබල් එක වැදුනත්, අඩු ගානේ සූරාකන්නෙක් නොවී ඉන්න පුළුවන්.

ලංකාවේ ධනවත් ව්‍යාපාරිකයන්ගේ දරුවන් පිටරට වලට සංක්‍රමණය වන බව ප්‍රතිචාරයක සඳහන් වී තිබුණා. මේ අය තමන් ලංකාවේදී එක්රැස් කරගත් ප්‍රාග්ධනය අරගෙන වෙනත් රටකට සංක්‍රමණය වන්නේ එම රට වලදී ශ්‍රමිකයන් වන්න මිසක් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ වලින් ජීවත් වෙන්න නෙමෙයි. ඔය කියන ලංකාවේ ධනවත් ව්‍යාපාරිකයන් ධනවතුන්ව සිටින්නේ ලංකාව ඇතුළේ. මේ වගේ අයෙකු සතු ප්‍රාග්ධනය තවත් වර්ධනය වන්නේත්, එහි ප්‍රතිලාභ වෙනත් අයට ගලා යන්නේත් වෙනත් අයගේ ශ්‍රමය යොදා ගන්නා රැකියා වැඩි වැඩියෙන් බිහිවන තරමටයි. එහෙත් එහෙම කරන්න යන අයෙකුට සූරාකන්නෙක් විදිහට ලේබල් වෙන්න වෙනවා. ඒ නිසා ලංකාවේදී ප්‍රාග්ධනය තිබෙන කෙනෙකුට සල්ලි හොයන්න හොඳම විකල්පය වෙන රටක හදන දෙයක් ආනයනය කරලා විකුණන එකයි. ශ්‍රමය සූරාකනවා කියා කතාවක් අහන්න වෙන්නේ රටේ මිනිස්සුන්ට රස්සා දෙන්න ගියහමනේ. ආනයන හරහා වක්‍රව චීනෙක්ට හරි ඉන්දියානුවෙක්ට හරි රස්සාවක් දුන්නහම ඔය ප්‍රශ්නේ නැහැ. 

ලංකාවේ සමාජවාදී දෘෂ්ඨිවාදය විසින් එක පැත්තකින් මිනිස්සු පරිභෝජනවාදීන් කරනවා. මිනිස්සු සමානම් ලොකු මිනිස්සු පරිභෝජනය කරන තරමටම පොඩි මිනිස්සුත් පරිභෝජනය නොකර කොහොමද? අනෙක් පැත්තෙන් ශ්‍රමය සූරාකන්න දෙන්නත් බැහැනේ. ඒ නිසා වැඩ කරන්න ඕනෑ  පුළුවන් තරම් අඩුවෙන්. ඔය දෙකම එක පාර කරගන්නනම් ණය ගන්නම  වෙනවා.

ණය ගන්න එකත් ලේසි නැහැ. ලංකාවේ සමාජවාදී දෘෂ්ඨිවාදය විසින් කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරලා තියෙන්නේ සුබසාධන ආර්ථිකයක්. රජයේ ආදායමට වඩා වියදම ගොඩක් වැඩියි. ඒ නිසා රජය පවතින්නේත් ණය මත. රටේ ඉතිරි කිරීම් වලින් විශාල කොටසක් රජය විසින් ණය විදිහට ගන්න නිසා ණය වෙළඳපොළේ තිබෙන්නේ විශාල විකෘතියක්. සැපයුම ඉල්ලුමට කිට්ටුවෙන්වත් යන්නේ නැහැ. ඒ නිසා පොලී අනුපාතික ඉතාම ඉහළයි. දැන්නම් සල්ලි අච්චු ගැසීම හරහා පොලී අනුපාතික තාවකාලිකව පහළින් තියාගෙන ඉන්නවා.

අනෙක් පැත්තෙන් කොමියුනිස්ට් ප්‍රකාශනයේ යෝජනා කරපු විදිහටම බැංකු අංශයේ තිබෙන්නේ රාජ්‍ය ඒකාධිකාරයක්. පුරෝගාමී රාජ්‍ය බැංකු ටික අකාර්යක්ෂම වුනහම පෞද්ගලික බැංකු වලට ඊට වඩා ටිකක් කාර්යක්ෂම වීමෙන් ප්‍රමාණවත් ලාබයක් ලබන්න පුළුවන්. ඕනෑවට වඩා කාර්යක්ෂම වෙන්න අවශ්‍ය නැහැ. ලංකාවේ බැංකුවකින් ණයක් ගන්න එක මුළුමනින්ම ව්‍යාපාරික තීරණයක් නෙමෙයි. තවත් ගොඩක් දේවල් වෙන්න ඕනෑ. පහළම ස්ථර වල ඉන්න අයට බැංකු කියන්නේ මුදල් ඉතිරි කළ හැකි තැන් මිසක් පහසුවෙන් ණය ලබාගත හැකි තැන් නෙමෙයි.

බැංකුවකින් ණය ගන්න බැරි අයට ණය ගන්න වෙන්නේ වෙනත් අවිධිමත් අංශයකින්. එහෙම ණය දෙන කෙනෙක් මුහුණ දෙන අවදානම ඉතාම වැඩියි. එක පැත්තකින් විධිමත් අංශයේ වුවත් පොලී අනුපාතික ඉතාම වැඩියි. රජයට ණය දීලා අවදානමක් නැතුව සැලකිය යුතු පොලියක් ලබාගන්න පුළුවන්කම තියෙද්දී ණය ගෙවාගන්න ආදායමක් නැති බව පැහැදිලිව පෙනෙන්න තිබෙන කෙනෙකුට ණයක් දිය හැක්කේ සැලකිය යුතු විශාල පොලියක් ලැබෙනවානම් පමණයි. එවැනි පොලියක් අය කළත් අවදානම ඊටත් වඩා වැඩියි. ඒ නිසා, අවදානම අඩුකරගන්න ඇපයක් තියා ගන්න වෙනවා. ණය නොගෙවුවොත් ගිවිසුම අනුව ඇපයට තබාගත් භාණ්ඩය ආපසු ගන්න වෙනවා. ඒකේ කිසිම වැරැද්දක් නැහැ.

තමන් ගත්ත ණය ආපහු ගෙවාගන්න බැරි වුනාම වෙන කෙනෙක් ඉදිරිපත් වෙලා ණය ගෙවන්න ඕනෑද? අනපේක්ෂිත අකරතැබ්බයක් නිසා ණය ගෙවන්න බැරි වුනානම් ඒ වගේ සහනයක් දුන්නට කමක් නැහැ. නැත්නම් වෙන්නේ රජයෙන් ඔය ණය පියෙවුවට පස්සේ ඊළඟ පාර ඔයිටත් වඩා ලොකු ණයක් ගන්න එකයි. එක පාරක් දෙපාරක් ඇණගන්න කෙනෙක් හැමෝම සමාන ලෙස පරිභෝජනය කළ යුතු නැති බවත්, තමන්ට පරිභෝජනය කළ හැක්කේ තමන් උපයන දෙය බවත් ඉගෙන ගනියි. ගෙදර ශීතකරණය ණයට හිලවු වුනා කියලා ඒ ගෙදර මිනිස්සු මැරෙන්නේ නැහැ.

Saturday, April 24, 2021

උගතුන් ඇති වීම හා මුදලාලිලා නැති වීම


ලංකාවට වෙලා තියෙන දේ ගැන නලින් ද සිල්වා විසින් තනි වාක්‍යයකින් කියා තිබුණා: "උගතුන් ඇති වීම හා මුදලාලිලා නැති වීම". මෙය කියා තිබෙන ලිපියේම තිබෙන ඇතැම් කරුණු ගැන මට විශාල ප්‍රශ්න තිබෙනවා. එසේ වුවත්, මේ තනි වාක්‍යයට මම කැමතියි. ලංකාවට වෙලා තියෙන දේ ගැන තනි වාක්‍යයකින් කියන්න කියා කවුරු හරි කිවුවොත් මට වුවත් නොපැකිල "උගතුන් ඇති වීම හා මුදලාලිලා නැති වීම." කියා කියන්න පුළුවන්. ඒ වගේම මේ තනි වාක්‍යය ඇසුරෙන් ලංකාවේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් වෙත ප්‍රවේශ වී පැහැදිලි කරන්න පුළුවන්.

හැබැයි මම මේ තනි වාක්‍යය යොදා ගන්නේ නලින් ද සිල්වා එය යොදාගෙන තිබෙන තේරුමෙන්ම නෙමෙයි. ඊට වඩා පටු, ආර්ථික විද්‍යා අර්ථයකින්. මම සරල ලෙස "උගතුන් ඇති වීම හා මුදලාලිලා නැති වීම" කියා කියන්නේ "ප්‍රමාණවත් තරමට වඩා මානව ප්‍රාග්ධනය වැඩි වීම හා ප්‍රමාණවත් තරමට භෞතික ප්‍රාග්ධනය නැති වීම". ඇතැම් අයට වැඩිය දිරවන්නේ නැති කොබ්-ඩග්ලස් ආකෘතියට ගියොත්, L ඕනෑවට වඩා වැඩි වීම හා K අවශ්‍ය තරමට නැති වීම.

ලංකාව මේ තත්ත්වයට වැටීම අහම්බයෙන් සිදු වූ දෙයක් නෙමෙයි. නිදහසින් පසුව ලංකාව පාලනය කළ පාලකයන්ගේ සමාජවාදී ප්‍රතිපත්ති නිසා සිදු වුනු දෙයක්. සමාජවාදීන් විසින් පරම්පරා දෙක තුනක කාලයක් තිස්සේ ලංකාවේ කරලා තිබෙන මොළ ශෝධනය කොයි තරම්ද කියනවානම් තමන් ධනවාදියෙක් ලෙස හඳුන්වාගන්න කැමති අය තවමත් ලංකාවේ නැති තරම්. එය පවක් වගේ. හැබැයි. සමාජවාදය වෙනුවෙන් පෙනී ඉන්න, ධනවාදය විවේචනය කරන්න, ඕනෑ තරම් අය ඉන්නවා. 

ධනවාදය හා සමාජවාදය/ මාක්ස්වාදය අතර වෙනසත් සමාජවාදය සමාජ පරිණාමය ආපසු හරවන පිළිලයක් වන්නේ ඇයි කියන එකත් මම මේ වන විට පැහැදිලි කර තිබෙනවා. 

මූලික ප්‍රශ්නය: නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ජනිත වන අතිරික්තය ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර බෙදී යා යුත්තේ කෙසේද?

ධනවාදී පිළිතුර: ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමය ලබාදුන් අයටත් ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනය ලබාදුන් අයටත් හිමි විය යුතුයි.

මාක්ස්වාදී පිළිතුර: ප්‍රාග්ධනය වෙනුවෙන් කිසිවක් හිමිවිය යුතු නැති අතර ශ්‍රමය ලබා දුන් අයට මුළුමනින්ම හිමි විය යුතුයි.

මාක්ස්වාදී පිළිතුරේ වැරැද්ද: ධනවාදී පිළිතුරෙන් විසඳුම් නොදෙන කිසිම ප්‍රශ්නයකට මාක්ස්වාදී විසඳුම පිළිතුරු නොදෙන අතර මාක්ස්වාදී පිළිතුර නිෂ්පාදනය වර්ධනය වීමේ වේගය අඩාල කිරීම හරහා සමාජ ප්‍රගතියට අකුල් හෙළයි. එහෙයින් මාක්ස්වාදී විසඳුම අනිවාර්යයෙන්ම අකාර්යක්ෂම එකකි.

ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. ධනවාදය විවේචනය කරන හෝ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් මුලින්ම මේ ප්‍රශ්නයට පිළිතුරක් ඉදිරිපත් කළ යුතුයි. එවැනි පිළිතුරක් නැත්නම් අමතර පැහැදිලි කිරීම් වෙනුවෙන් අපේ කාලය නාස්ති කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. 

ධනවාදී ක්‍රමයක් යටතේ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමය ලබාදුන් අයටත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධනය ලබාදුන් අයටත් ලැබෙනවා. ඒ නිසා මේ දෙක අතර හැම විටම සමතුලිතතාවයක් ඇති වෙනවා. ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ඉහළ යන විට මානව ප්‍රාග්ධනය වෙනුවෙන් කරන ඒකීය පුද්ගල ආයෝජන ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට L වැඩි වෙනවා. L වැඩි වෙද්දී ශ්‍රමය සපයන අය අතර තරඟය නිසා ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය අඩු වෙලා එය නියම මට්ටමට එනවා.

මේ විදිහටම ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ඉහළ යන විට භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන් කරන ඒකීය පුද්ගල ආයෝජන ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට K  වැඩි වෙනවා. K වැඩි වෙද්දී ප්‍රාග්ධනය සපයන අය අතර තරඟය නිසා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය අඩු වෙලා එය නියම මට්ටමට එනවා. ඒ නිසා, ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමයේ පංගුව "සූරාකන්න" අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

දෙවන කාරණය ඉටු වෙන්නනම් ප්‍රාග්ධනය සපයන අය අතර ප්‍රමාණවත් තරඟයක් ඇති විය යුතුයි. එය සිදු වන්නේ ඒකීය පුද්ගලයින්ට බාධාවකින් තොරව ප්‍රාග්ධනය එක්රැස් කර ගත හැකි වූ තරමටයි. එහෙත් මාක්ස්වාදය විසින් යෝජනා කරන්නේ එහි අනෙක් පැත්ත වන ප්‍රාග්ධනයේ ඒකාධිකාරයක්. ඒකාධිකාරය තිබෙන්නේ රජය සතුවයි. 

හැම සමාජවාදී රටකම රජය සතු ප්‍රාග්ධනය විසින් කර තිබෙන්නේත්, කරන්නේත් ශ්‍රමයේ පංගුවෙන් කොටසක් සූරාකන එක බව සංඛ්‍යාලේඛන ඇසුරෙන් පෙන්වා දිය හැකි කරුණක්. එහෙත් මාක්ස්වාදී තර්කනය අනුව සෛද්ධාන්තිකව එවැන්නක් සිදු වන්නේ නැහැ. ශ්‍රමයේ පංගුව ප්‍රාග්ධනයේ ඒකාධිකාරය තිබෙන රජය විසින් සූරා නොකන තත්ත්වයක් යටතේ වුවත්, ප්‍රාග්ධන සංචිත පවත්වා ගැනීම හා ක්‍රමිකව වර්ධනය කර ගැනීම සඳහා නිෂ්පාදන අතිරික්තයෙන් ප්‍රමාණවත් කොටසක් රජයට වෙන් කර ගන්න වෙනවා. මේ පංගුව ධනවාදී ක්‍රමයක් යටතේ ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රසස්ථ මට්ටමමනම් හා රජය පෞද්ගලික ව්‍යවසායකයන් තරමටම කාර්යක්ෂමනනම් සමාජවාදී ක්‍රමයක් යටතේ වුවත් ප්‍රාග්ධනයේ යෙදවුම් හා අදාළ අකාර්යක්ෂමතා අවම කර ගන්න පුළුවන්. බොහෝ විට ප්‍රායෝගිකව එසේ සිදු නොවීම වෙනම කරුණක්.

ධනවාදී ක්‍රමයකදී පෞද්ගලික ප්‍රාග්ධන ආයෝජන කිරීමට විකල්පයක් විදිහට, පෞද්ගලික ප්‍රාග්ධනයට ඉඩක් නැති සමාජවාදී ක්‍රමයකදී භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කරන්නේ රජයයි. ඊට අමතරම සමාජවාදී ක්‍රමයකදී ශ්‍රමිකයෙකුට ලැබෙන ප්‍රතිලාභ හා ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය අතර සම්බන්ධය බිඳෙන නිසා මානව ප්‍රාග්ධනය වෙනුවෙන් සිදු කෙරෙන පෞද්ගලික ආයෝජනද නවතිනවා. ඒ නිසා, ඒ වැඩේ භාර ගන්න වෙන්නෙත් රජයටයි. සමාජවාදීන්ට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය වගේ දේවල් ඉතාම වැදගත් ඒ නිසයි. සමාජවාදී පැකේජ් එකට මේ දේවල් නැතුවම බැහැ. ඒ වගේම මානව ප්‍රාග්ධනය වෙනුවෙන් රජය විසින් වෙන් කෙරෙන නිෂ්පාදන අතිරික්තයේ පංගුව ධනවාදී ක්‍රමයක් යටතේ මානව ප්‍රාග්ධනය වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රසස්ථ මට්ටමමනම් සමාජවාදී ක්‍රමයක් යටතේ වුවත් මානව ප්‍රාග්ධනයේ යෙදවුම් හා අදාළ අකාර්යක්ෂමතා අවම කර ගන්න පුළුවන්.

මේ කරුණු දෙකම එක්ව ගත්තොත් හරියටම ක්‍රියාත්මක වන සමාජවාදී ක්‍රමයකට සෛද්ධාන්තිකව ධනවාදී ක්‍රමයකට තරමක් ආසන්න කාර්යක්ෂමතා මට්ටමකට එන්න පුළුවන්. නමුත් ලංකාවේ වගේ අච්චාරු ක්‍රමයකදී වෙන්නේ ඔය දෙපැත්තම නැති වෙන එක. 

සෝවියට් පන්නයේ සමාජවාදයක් ඇතුළේ ප්‍රාග්ධනය තිබෙන්නේ රජය සතුව නිසා මතවාදී තලයේදී පොදුවේ රට ඇතුළේ සමස්තයක් ලෙස ප්‍රාග්ධනයට එරෙහිව යාමක් වෙන්නේ නැහැ. රාජ්‍ය ඒකාධිකාරය යටතේ වුවත් ප්‍රාග්ධනය වර්ධනය වෙනවා. ධනවාදී ක්‍රමයක කොහොමටත් ප්‍රාග්ධනය වර්ධනය වෙනවා. නමුත් ලංකාවේ තියෙන්නේ ඔය දෙකටම නැති තත්ත්වයක්. රාජ්‍ය ඒකාධිකාරය කොයි තරම් විශාල වුවත්, පැත්තකින් පෞද්ගලික ප්‍රාග්ධනයත් තියෙනවා. රටේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ආන්තික ලෙස තීරණය කරන්නේ රජය නිසා පෞද්ගලික අංශය ඇතුළෙත් හැම විටම අකාර්යක්ෂමතාවයට ඉඩක් ඉතුරු වෙනවා. 

ලංකාවේ පෞද්ගලික අංශයට රජයට වඩා යාන්තමින් කාර්යක්ෂම වී ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභ ලබන්න පුළුවන්. රජය විසින් ප්‍රාග්ධනයේ කාර්යක්ෂමතාවයේ උපරිම සීමාව සලකුණු කරන නිසා ප්‍රාග්ධන හිමියන් අතර ඇති වන්නේ සීමිත තරඟයක්. ඒ නිසා අලුතින් "මුදලාලිලා" බිහිවෙන්නේ නැහැ. ඉන්න "මුදලාලිලා" ටික දෙනාට ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ විදිහට ලොකු කුට්ටියක් ලැබෙනවා.

අනෙක් අන්තයේ සිදු වන විකෘතිය ඊට වඩා ගොඩක් වැඩියි. සෝවියට් පන්නයේ සමාජවාදී රටක මානව ප්‍රාග්ධනය වෙනුවෙන් රජය විසින් කරන ආයෝජන වල ප්‍රතිලාභ නැවත ලබාගන්නේත් රජයයි. නමුත් ලංකාවේදී මේවා පෞද්ගලික ප්‍රතිලාභ. උදාහරණයක් විදිහට වෛද්‍ය අධ්‍යාපනය ගන්න පුළුවන්. ලංකාවේ රජය විසින් සූරාගන්නා නිෂ්පාදන අතිරික්තය ආපසු ලබා ගැනීම සඳහා බොහෝ දෙනෙකුට තිබෙන එකම ක්‍රමය නිදහස් අධ්‍යාපනය. ලංකාව ඇතුළේදී මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමේ වියදම අඩුයි. පුද්ගල මට්ටමෙන් සලකා බැලුවොත් ඊට සාපේක්ෂව ප්‍රතිලාභ වැඩියි. ඒ නිසා ලංකාවේ කාලයක් තිස්සේම මානව ප්‍රාග්ධනය අත් පත් කර ගැනීම සඳහා විශාල තරඟයක් තිබෙනවා.

ඇමරිකාව වගේ ධනවාදී රටක ඔය තරඟය ඔය විදිහට ඇති වෙන්නේ නැහැ. මොකද අධ්‍යාපනය වෙනුවෙන් කළ යුතු ආයෝජනය පෞද්ගලික එකක්. ප්‍රතිලාභ වැඩි වුනත් කළ යුතු ආයෝජනය සැලකූ විට ආන්තික ප්‍රතිලාභ සමානයි. ඒ නිසා වෛද්‍යවරයෙක් වෙන්න හිතන්නේ ඇත්තටම ඒ රස්සාවට කැමති කෙනෙක්. 

සෝවියට් පන්නයේ සමාජවාදයක් ඇතුළේත් ඔය තරඟය ඔය විදිහට ඇති වෙන්නේ නැහැ. අධ්‍යපනය වෙනුවෙන් කළ යුතු ආයෝජනය රජයෙන් කරනවා වුවත් එහි ප්‍රතිලාභ ලබා ගන්නේද රජය විසින්ම නිසා අතිරික්ත පෞද්ගලික ප්‍රතිලාභයක් නැහැ. ඒ නිසා එහිදීත් වෛද්‍යවරයෙක් වෙන්න හිතන්නේ ඇත්තටම ඒ රස්සාවට කැමති කෙනෙක්. ලංකාවේදී මානව ප්‍රාග්ධනය වෙනුවෙන් පෞද්ගලික ආයෝජන සිදු නොකර පෞද්ගලික ප්‍රතිලාභ ලැබිය හැකියි. මතුපිටින් පෙනෙන්න තිබෙන්නේ මෙවැනි තත්ත්වයක් වුවත් ඇත්තටම මෙහි වාසිය ලබන්නේ ලංකාවේ ප්‍රාග්ධනය හිමි සීමිත පිරිසයි. 

දෘෂ්ඨිවාදී තලයේදී මාක්ස්වාදය විසින් පෞද්ගලික ප්‍රාග්ධනයට එරෙහිව රාජ්‍ය ප්‍රාග්ධනය ප්‍රවර්ධනය කරනවා. ඒ එක්කම මේ වෙද්දී පෞද්ගලික ප්‍රාග්ධනය මුළුමනින්ම අහෝසි කිරීමේ විකල්පය ප්‍රායෝගිකව ලෝක මට්ටමෙන්ම අසාර්ථක වී තිබෙනවා. චීන සමාජවාදය වගේම ඊට බොහෝ කිට්ටු ලංකාවේ සමාජවාදය කියන්නේ සමාජවාදී ආකෘතිය ඇතුළේම සිටිමින් පෞද්ගලික ප්‍රාග්ධනයට සීමිත ඉඩක් ලබා දෙන ඉතා නරක, එහෙත් ප්‍රායෝගිකව සාර්ථක තෙවන විකල්පයක්. ඇතැම් අය මේ ක්‍රමය රාජ්‍ය ධනවාදය ලෙස හඳුන්වනවා.

චීන සමාජවාදය ඇතුළේ ධනවාදී ක්‍රමයක් ඇතුළේ තිබෙන ප්‍රාග්ධන හිමියන් අතර තරඟය නැහැ. ඒ නිසා ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ඵලදායීතාවයට වඩා වැඩි දෙයක් ලබාගත හැකියි. මෙය කරන්නේ දෘෂ්ඨිවාදී ලෙස පෞද්ගලික ප්‍රාග්ධනයට එරෙහිව පොදු ප්‍රාග්ධනය වෙනුවෙන් පෙනී සිටිමින් රටේ බහුතරයට ප්‍රාග්ධන ප්‍රවේශය ඇහිරීම හරහා. එහෙත්, රජයට කිට්ටුවෙන් ඉන්න සුළු පිරිසකට මේ ප්‍රශ්නය නැහැ. රජය හා සීමිත ප්‍රාග්ධන හිමියන් පිරිසක් අතර තිබෙන්නේ අශුද්ධ සන්ධානයක්. මේ මුදලාලිලා ටික දෙනා හැර වෙනත් මුදලාලිලාට බිහි වෙන්න ඉඩක් නැහැ.

ලංකාවේද ක්‍රියාත්මක චීන සමාජවාදය ඇතුළේ ප්‍රාග්ධනය හිමි රජය හා ඉතුරු මුදලාලිලා ටික දෙනාට එකතු වී ශ්‍රමය සූරාකන්න පුළුවන්. මෙය දිගින් දිගටම කළ හැක්කේ ශ්‍රම සැපයුම ඕනෑවට වඩා වැඩිනම් පමණයි. ශ්‍රම දායකයන් අතර ලොකු තරඟයක් නැත්නම් ප්‍රාග්ධන හිමියන්ට ශ්‍රමය සූරාකන්න අමාරුයි. ලංකාවේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය ආදිය හරහා කරන්නේ මේ තරඟය දිගින් දිගටම පවත්වා ගැනීම. 

තනි පුද්ගලයෙක්ට සාපේක්ෂව බැලුවොත් ඔහුගේ හෝ ඇයගේ මානව ප්‍රාග්ධනය වැඩි කර ගන්න තිබෙන අවස්ථා ඉතාම සාධනීය බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, ඔය අවස්ථාවන් නොතිබුණානම් මේ වෙද්දී ශ්‍රමිකයන්ගේ තත්ත්වය මීට වඩා ගොඩක් නරක තත්ත්වයක් කියා සිතීම මුලාවක්. "උගතුන්" වැඩි වන තරමට වෙන්නේ උගතුන්ගේ තත්ත්වය සමස්තයක් ලෙස පහළ යාමයි. රජයට කිට්ටුවෙන් ඉන්න ඇතැම් ප්‍රාග්ධන හිමියන් රටේ මානව ප්‍රාග්ධනය වැඩි කිරීම ගැන කතා කළත් එහි සැබෑ වාසිය තමන් වැනි ප්‍රාග්ධන හිමියන්ට මිස ශ්‍රමිකයන්ට නොවන බව අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීම අතහැර ව්‍යාපාර ලෝකයට පිවිසි මෙවැනි අය හොඳින්ම දන්නවා. 

ලංකාවේ ප්‍රශ්නය උගතුන් වැඩිවීම හා මුදලාලිලා අඩු වීම. එය එසේ වෙන්න හේතු වී තිබෙන මූලික ප්‍රශ්නය ලංකාවේ පැලපදියම් කර තිබෙන සමාජවාදී දෘෂ්ඨිවාදය. උගතුන් රට හැර යාම, කාන්තාවන්ට රැකියා සොයා මැද පෙරදිග යන්න සිදු වීම, අකාර්යක්ෂම උපාධිධාරීන්ගෙන් රාජ්‍ය සේවය පුරවන්න සිදු වීම, රජය වටා සිටින ටික දෙනෙකුගේ විවිධ මගඩි ආදී බොහෝ අවශේෂ ප්‍රශ්න වලට හේතුව උගතුන් වැඩිවීම හා මුදලාලිලා අඩු වීම. වරාය නගර ව්‍යාපෘතිය සමස්තයක් ලෙස සාධනීය එකක් වන්නේ ඒ හරහා මේ මූලික ප්‍රශ්නයට යම් තරමකින් හෝ විසඳුමක් ලැබෙන නිසයි.

Monday, April 19, 2021

බිට්කොයින් ගැන මහ බැංකුවෙන් අවවාදයක්!


අවුරුද්ද ඔන්න මෙන්න කියලා තියෙද්දී මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමේ අවදානම් පිළිබඳව මහජනයා දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා. මහ බැංකුව විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කරනු මම දැක්කේ මුල් වරටයි. සමහර විට මේ එවැන්නක් කළ මුල් වතාව නොවෙන්න පුළුවන්. කොහොම වුනත් මේ වෙද්දී බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් මහ බැංකුවටත් හිසරදයක් වී තිබෙන බව පැහැදිලියි.

මීට ආසන්න කාලයේ අපේ ඇතැම් පාඨකයින් විසින්ද බිට්කොයින් ගැන ලියන මෙන් ඉල්ලා සිටියා. මේ ඉල්ලීම අලුත් ඉල්ලීමක්ම නෙමෙයි. පාඨකයින් විසින් කාලයක් තිස්සේ කරන ඉල්ලීමක්. 

බිට්කොයින් ගැන මම හොයන්න පටන් අරන් දැන් අවුරුදු දහයකටත් වඩා වැඩියි. ඒ වෙද්දී බිට්කොයින් එකක මිල ඇමරිකන් ඩොලර් සත ගණනක්. මුලින්ම බිට්කොයින් එකක මිල ඇමරිකන් ඩොලරය පහු කරද්දී මේ ගැන සැලකිය යුතු අවධානයක් යොමු වුනා. ඒ 2011 පමණ කාලයේදී. දැන් බිට්කොයින් එකක් ඩොලර් 55,000ක් පමණ වෙනවා. 

මේක ටිකක් තේරෙන විදිහකට පැහැදිලි කළොත්, අවුරුදු දහයකට කලින් කවුරු හරි රුපියල් සීයක් බිට්කොයින් වල ආයෝජනය කළානම් මේ වෙද්දී ඒ තැනැත්තා කෝටිපතියෙක්. මොකද පහුගිය අවුරුදු දහයක කාලය තුළ රුපියල් සීයේ බිට්කොයින් එකක් රුපියල් මිලියන දහයක් හෙවත් රුපියල් කෝටියක් වෙලා.

කොහොම වුනත් බිට්කොයින් සම්බන්ධව පෞද්ගලිකව මට තිබෙන්නේ මිශ්‍ර හැඟීමක්. මේ ගැන ලියන්න කියා ඉල්ලීම් බොහෝ වර ආවත් එසේ කරන්න උනන්දුවක් ඇති නොවුනේ මේ මිශ්‍ර හැඟීම නිසා. එක පැත්තකින් බිට්කොයින් වගේ අතථ්‍ය මුදල් නිසා ලෝකය පුරා මහ බැංකු විසින් කරන "කැත වැඩේ" කරන්න බැරි වෙනවා. අනෙක් පැත්තෙන් එය වෙන්නේ වෙනත් අය විසින්ද ඒ "කැත වැඩේම" කරන එක හරහා.

පෞද්ගලිකව මට මුදල් වලින් සතුටක් ලැබෙන්නේ ඒ මුදල් නිසාම නෙමෙයි. ලැබෙන මුදලක මම කරන මොකක් හෝ දෙයක වටිනාකම පිළිබිඹු වන නිසා. වෙනත් විදිහකින් කිවුවොත් ආතල් එක තියෙන්නේ සල්ලි හොයන්න ගහන ගේම් එක ඇතුළේ මිසක් සල්ලි වල නෙමෙයි. මේ හේතුව නිසා මම කුඩා කාලයේ ඉඳලම ලොතරැයි මිල දී ගන්නේ නැහැ. බිට්කොයින් වල ආයෝජනය කරලා සල්ලි හොයන්න පුළුවන් බව පැහැදිලි වුනත් මට ඒ වැඩේට හිත යන්නේම නැහැ. 

බිට්කොයින් ජනප්‍රිය වෙන්න හේතු දෙකක් තිබෙනවා. පළමුවැන්න එක විදිහක දේශපාලනික හේතුවක්. ලෝකයේ රටවල් වල ජාතික මුදල් ඒකක වල අගය පාලනය කරන රජයයන් හා මහ බැංකු විසින් ඉතා කැත සූරාකෑමක් කරනවා. එය කරන්නේ සල්ලි අච්චු ගැසීම හරහා. ලංකාවේ රුපියල්, ඇමරිකන් ඩොලර් ඇතුළු බොහෝ ව්‍යවහාර මුදල් ඒකක වලට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැහැ. මේ මුදල් වලට අපි කියන්නේ ආඥාප්ති ව්‍යවහාර මුදල් එහෙමත් නැත්නම් ෆියට් මුදල් කියලා. මුදල් වල වටිනාකම තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මත. මේ ඉල්ලුම යම් ආකාරයක කෘතීම ඉල්ලුමක්.

මහ බැංකුව කියන විදිහට බිට්කොයින් ඇතුළු අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීම අවදානම් වැඩක්. ඇත්ත. නමුත් ප්‍රශ්නය මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් නෝට්ටු ළඟ තබා ගැනීමේ අවදානමක් නැද්ද කියන එකයි. රුපියල් නෝට්ටු වලත් ඒ වගේම අවදානමක් තිබෙනවා. බිට්කොයින් ප්‍රවර්ධකයින්ගේ ප්‍රධානම තර්කයක් වන්නේ මහ බැංකු විසින් කරනවාක් මෙන් ඔවුන් විසින් සීමාවක් නැතුව බිට්කොයින් සැපයුම වැඩි කරන්නේ නැහැ කියන එකයි.

අලුතින් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. එහෙම අඩු වෙලා ගිහින් 2040 පමණ වෙද්දී බිට්කොයින් "අච්චු ගැසීම" සම්පූර්ණයෙන්ම නවතිනවා. නමුත් වෙනත් ඕනෑම මුදල් ඒකකයක් අලුතෙන් අච්චු ගැසීම එන්න එන්නම වැඩි වෙනවා වගේම එහි කිසිම සීමාවක් නැහැ. ඒ නිසා වෙනත් මුදල් වලට සාපේක්ෂව බිට්කොයින් වලට උද්ධමනයෙන් ආරක්ෂාවක් තිබෙනවා. 

මේ වෙනස හැර බිට්කොයින් වල අනෙක් මුදල් වලට නැති විශේෂ වටිනාකමක් තියෙනවද? එවැන්නක් නැහැ. බිට්කොයින් කියන්නෙත් ෆියට් මුදල් වර්ගයක්. බිට්කොයින් වලත් කිසිම නෛසර්ගික වටිනාකමක් නැහැ. 

ලොව පුරා අරාජිකවාදීන් අතර බිට්කොයින් ජනප්‍රියයි. මම අරාජිකවාදියෙක් නෙමෙයි. ඉතා පැහැදිලිවම රජය කියන්නේ අකාර්යක්ෂම යාන්ත්‍රනයක්. එසේ වුවත් රජයකින් කළ හැකි යම් කාර්යභාරයක්ද තිබෙනවා කියා මම විශ්වාස කරනවා. පෞද්ගලික සමාගමක් කියා කියන්නේ මිනිස්සු එකතු වී සාමූහිකව හදා ගන්නා යාන්ත්‍රණයක්. එවැන්නක් පවතින එක හොඳනම් මිනිස්සු එකතු වී සාමූහිකව හදා ගන්නා තවත් යාන්ත්‍රණයක් වන රජය මුළුමනින්ම අහෝසි වී යා යුතුයි කියා හිතන්න ලොකු හේතුවක් නැහැ. රජය ප්‍රශ්නයක් වන්නේ රජය සතුව ඕනෑවට වඩා වැඩි අධිකාරී බලයක් ගොනු වී එය තවදුරටත් මිනිසුන්ගේ පොදු හා සාමූහික යාන්ත්‍රණයක් නොවූ විටයි.

මේ වගේම තර්කයක් බිට්කොයින් හා අදාළවත් ගේන්න පුළුවන්. මහ බැංකු සල්ලි අච්චු ගහලා මුදල් උපයනවා වගේම බිට්කොයින් නිකුත් කළ මූලික කණ්ඩායම පැත්තක ඉඳලා බිට්කොයින් වලිනුත් සල්ලි හොයනවා. රජයයන් හා මහ බැංකු විසින් සල්ලි අච්චු ගහලා එකතු කර ගන්නා ධනය යන්නේ යම් සීමිත පිරිසක් අතට වුවත් බිට්කොයින් වලින් පෝසත් වෙන්නේ ඊට වඩා ගොඩක් පොඩි, සමහර විට අතේ ඇඟිලි වලින් ගිනිය හැකි, පිරිසක්. 

බිට්කොයින් සැපයුම සීමිතයි කියන එක ආකර්ශනීය "සටන් පාඨයක්". එහෙත් බිට්කොයින් වැනි අතථ්‍ය මුදල් පොදුවේ සැලකුවොත් එවැනි සීමාවක් නැහැ. මේ වැඩේ ඕනෑවට වඩා ව්‍යාප්ත වුනොත් පොදුවේ අතථ්‍ය මුදල් තවත් පිරමිඩ් ක්‍රමයක් වගේ වෙනවා. අනෙක් පැත්තෙන් චීනය මුලිනුත්, ඇමරිකාව ඉන් පසුවත් මේ වැඩේට රජයයන් ලෙසම අත ගහන්න යාමත් එක්ක මේ සමීකරණය වෙනත් පැත්තකට හැරෙන්න පුළුවන්. 

ප්‍රාග්ධනය එක්ක බොහෝ විට බලයත් එකට යනවා. ඉතාම දුරස්ථ කාරණාවක් වුවත් යම් හෙයකින් බිට්කොයින් හෝ වෙනත් යම් නිශ්චිත අතථ්‍ය මුදල් ඒකකයක් ලෝක පරිමාණයෙන් ප්‍රධානම මුදල් ඒකකය බවට පත් වෙනවා කියා අපි හිතමු. සෛද්ධාන්තිකව බිට්කොයින් වලට එවැනි තැනකට එන්න බැරිකමක් නැහැ. එවැන්නක් වෙනවා කියා කියන්නේ බිට්කොයින් හඳුන්වා දුන් මූලික කණ්ඩායම අත ලෝකයේ දේශපාලන බලයද කේන්ද්‍රගත වෙනවා කියන එකයි. 

මතක තියා ගන්න බිට්කොයින් හඳුන්වා දුන්නේ කවුරුවත් නමක් ගමක් නොදන්නා ඇනෝ කෙනෙක්. මුලින්ම "කණිනු ලැබූ" බිට්කොයින් විශාල ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ ඔහු සතුවයි. අලුතෙන් සංසරණයට එකතු වන බිට්කොයින් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙද්දී බිට්කොයින් සැපයුම තීරණය කිරීමේ බලය මේ පුද්ගලයා අතේ කේන්ද්‍රගත වෙනවා. 

බිට්කොයින් හෝ වෙනත් අතථ්‍ය මුදල් වල ආයෝජනය කරන අති මහත් බහුතරය සමපේක්ෂකයින්. ඔවුන් එසේ කරන්නේ ඉක්මණින් පෝසත් වෙන්නයි. ඉතා ඉක්මණින් මේ සමපේක්ෂකයින්ගේ සිහින බිඳ වැටෙන එකක්නම් නැහැ. ලෝකය පුරා මහ බැංකු විසින් විශාල ලෙස සල්ලි අච්චු ගසමින් අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමට මිනිසුන් පොළඹවමින් සිටින අතර ඒ නිසාම තවත් කාලයක් යන තුරු මේ වෙළඳපොළ කඩා වැටෙන එකක් නැහැ.

පළමු වරට පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහ ලොවක මිනිසුන් විසින් හෙලිකොප්ටරයක් පියාසර කළ අද දින වන විට ඇමරිකාවේ ඕනෑම ප්‍රාන්තයකින් වයස අවුරුදු 16 ඉක්මවූ අය‍ට කෝවිඩ් එන්නතක් ලබා ගත හැකියි. මේ වෙද්දී ඇමරිකාවේ ජන ජීවිතය වේගයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඒ එක්කම අපටද කාලයක් පැත්තකට දමා සිටි බොහෝ දේවල් ගැන නැවත අවධානය යොමු කරන්න සිදු වෙනවා. බ්ලොග් එක වෙනුවෙන් වැය කළ හැකි කාලය අඩු වෙනවා.

Tuesday, April 13, 2021

ඇමරිකාව ජැන්සීන් එන්නත අත් හිටුවයි!


ඇමරිකාවේ ආහාර හා ඖෂධ නියාමන අධිකාරිය හා රෝග පාලන හා නිවාරන මධ්‍යස්ථානය විසින් ජොන්සන් හා ජොන්සන් සමාගමේ ජැන්සීන් එන්නත ඇමරිකානුවන්ට ලබා දීම අද (අප්‍රේල් 13) සිට තාවකාලිකව අත් හිටවා තිබෙනවා. මේ වන විට මෙම එන්නත ලබාගෙන තිබෙන මිලියන 6.8කට වැඩි ඇමරිකානුවන් අතරින් 6 දෙනෙකුට එන්නත ලබාගැනීමෙන් පසුව ලේ කැටි ගැසීමේ තත්ත්වයක් ඇති වීම මේ තීරණයට හේතුවයි.

ඇමරිකාව තුළ කිසිදු කෝවිඩ් එන්නතකට පූර්ණ අනුමැතිය හිමි වී නැතත් පයිසර්-බයෝඑන්ටෙක්, මොඩර්නා හා ජැන්සීන් එන්නත් පවතින වසංගත තත්ත්වය යටතේ හදිසි භාවිතය සඳහා අනුමත කර තිබෙනවා. ප්‍රතිශක්තිකරණය ලබා ගැනීම සඳහා පයිසර්-බයෝඑන්ටෙක් හෝ  මොඩර්නා එන්නතක මාත්‍රා දෙකක් ලබා ගැනීම අවශ්‍ය වුවත් ජැන්සීන් එන්නතෙහි එක් මාත්‍රාවක් ලබා ගැනීම ප්‍රමාණවත්. 

මේ වන විට (අප්‍රේල් 12 පස්වරු 8ට) කෝවිඩ් එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබෙන ඇමරිකානුවන් 120,848,490ක් (වැඩිහිටි ජනගහනයෙන් 46.5%ක්) අතරින් 6,820,188 දෙනෙකු විසින් ලබා ගෙන තිබෙන්නේ ජැන්සීන් එන්නතයි. ඔවුන් අතරින් ලේ කැටි ගැසීමේ තත්ත්වයට මුහුණ දුන් හය දෙනාම වයස අවුරුදු 18-48 අතර කාන්තාවන් වන අතර එන්නත ලබාගෙන දින 6-13 අතර කාලයකදී මෙම තත්ත්වය ඇති වී තිබෙනවා. 

ලේ කැටි ගැසීම සමඟ රුධිර පට්ටිකා ප්‍රමාණයේ පහත වැටීමක්ද සිදු වී තිබෙන අතර මෙය සාමාන්‍ය රුධිර කැටි ගැසීමකින් වෙනස්, වෙනම ආකාරයකින් ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් නිසා සාමාන්‍යයෙන් රුධිර කැටි ගැසීමකදී ලබා දෙන ඖෂධ වලින් තත්ත්වය තවත් නරක අතට හරවනවා. එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටවීමෙන් පසුව ඇමරිකාවේ නියාමකයන් හෙට (අප්‍රේල් 14) දින රැස් වී තත්ත්වය සමාලෝචනය කිරීමට නියමිතයි.

පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් mRNA එන්නත් වන අතර ජැන්සීන් එන්නත හා තවමත් ඇමරිකාව තුළ අනුමැතිය ලබා නැති ඇස්ට්‍රසෙනිකා එන්නත නිපදවා තිබෙන්නේ ඇඩීනෝවයිරසයක් ඇසුරෙන්. මේ වන විට ජැන්සීන් එන්නත ලබාගත් අයට එන්නත ලබා ගැනීමෙන් සති තුනක කාලයක් ඇතුළත දරුණු හිසරදය, බඩ රුදාව, කකුල් කැක්කුම හෝ හුස්ම ගැනීමේ අපහසුව ඇති වුවහොත් තමන්ගේ වෛද්‍යවරයා හමු විය යුතු බව ඖෂධ නියාමන අධිකාරිය හා රෝග පාලන හා නිවාරන මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබෙනවා.

Monday, April 12, 2021

වෙනිසියුලාවෙන් බොලිවාර් මිලියනයේ නෝට්ටුවක්!


වෙනිසියුලාවේ මහ බැංකුව විසින් බොලිවාර් ලක්ෂ දෙකේ, ලක්ෂ පහේ හා මිලියනයේ නෝට්ටු තුනක් අලුතෙන් නිකුත් කර තිබෙනවා. නිකොලොස් මදුරෝගේ එක්සත් සමාජවදී පක්ෂ පාලනය යටතේ වෙනිසියුලාවේ දුප්පත්ම වැසියන් පවා මිලියනපතියන් වී සිටීම එයට හේතුවයි.

ප්‍රධාන වශයෙන්ම තෙල් අපනයනය මත යැපෙන වෙනිසියුලාවට අනූව දශකය අවසානයේදී කාලයක් තිස්සේ එක දිගට ඉහළ ගිය ලෝක තෙල් මිල විශාල වාසියක් වුනා. එවකට වෙනිසියුලාවේ ජනාධිපති වූ හියුගෝ චාවේස් ඉහළ ගිය තෙල් මිලේ වාසිය ප්‍රයෝජනයට ගනිමින් රට තුළ විශාල සුබසාධන ආර්ථිකයක් ඇති කළා. එයින් ඔහුගේ ජනප්‍රියතාවයද විශාල ලෙස ඉහළ ගියා. 

තෙල් මිල පහළ වැටීමත් සමග චාවේස්ගේ සුබසාධන ආර්ථික ප්‍රතිපත්ති අතේ පත්තු වෙන්න පටන් ගත්තා. එහෙත් සුබසාධන වියදම් කපා හැරීමක් සිදු වුනේ නැහැ. සුබසාධක වියදම් ඉහළ යද්දී ලැබෙන ජනප්‍රියත්වය හා විශාල වන රාජ්‍ය යාන්ත්‍රණය තුළ වංචා හා දූෂණ දළු දමා පැල වීමත් සාමාන්‍ය දෙයක්. ඉහළ යන අයවැය හිඟය පියවා ගැනීම සඳහා රජය සතු තෙල් සමාගමෙන් මුදල් ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තෙල් සමාගමේ ආයෝජන ඇන හිටීම නිසා වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය විශාල ලෙස පහත වැටී ආර්ථික අර්බුදය තවත් උග්‍ර වුනා.

චාවේස්ගේ මරණයෙන් පසුව මදුරෝ බලයට පත් වුනත් චාවේස්ගේ දේශපාලන ප්‍රතිපත්ති දිගටම ඉදිරියට ගියා. අසාර්ථක රාජ්‍ය ප්‍රතිපත්ති හමුවේ රාජ්‍ය පාලකයන්ගේ අන්තිම තුරුම්පුව වන සල්ලි අච්චු ගැසීම කරා වෙනිසියුලාව යොමු වුනා. මෙහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය යක්ෂයෙකු සේ හිස ඔසොවද්දී මිල පාලනය ආදී සම්ප්‍රදායික සමාජවාදී උපක්‍රම වලින් තත්ත්වය තවත් දරුණු අතට හැරුණා.

පාන් රාත්තලක, සීනි කිලෝවක මිල බොලිවාර් ලක්ෂ ගණනක් දක්වා ඉහළ යද්දී මදුරෝ රජය ප්‍රශ්නයට සුහුරු දේශීය විසඳුමක් හොයා ගත්තා. ඒ සියලුම මිල ගණන් වලින් බින්දු පහක් කපා දැමීමයි. 2018 අගෝස්තු 20 දින සිට ක්‍රියාත්මක වූ මේ බින්දු කැපිල්ලෙන් පසු ඒ වන විට බොලිවාර් ලක්ෂ දහයකට අලෙවි වුනු පාරිභෝගික භාණ්ඩයක මිල බොලිවාර් දහය දක්වා අඩු වුනා. හැබැයි මේ සුහුරු විසඳුමෙන් පසුවත් වැඩිකලක් බඩුමිල පහළින් තියා ගන්න බැරි වුනා.




මේ වෙද්දී වෙනිසියුලාවේ හාල් කිලෝවක් බොලිවාර් මිලියන 2.5ක්ද, තක්කාලි කිලෝවක් බොලිවාර් මිලියන 5ක්ද, කුකුළෙක් බොලිවාර් මිලියන 14.6ක්ද වෙනවා. දවසකට වේලක් කන වෙනිසියුලානු වැසියෙක් ඇත්නම් ඔහු අනිවාර්යයෙන්ම මිලියනපතියෙක්. බොලීවියාවේ මහ බැංකුවේ දත්ත අනුව මේ වන විට (2021 අප්‍රේල් 13) ඇමරිකානු ඩොලරයක මිල බොලිවාර් 2,290,488.29ක්. 

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් කලකට පෙර ප්‍රකාශ කළේ ලංකාවද වෙනිසියුලාව ආදර්ශයට ගනිමින් ඔවුන් පසුපස පියවර තැබිය යුතු බවයි.

Saturday, April 10, 2021

ටොමී හිල්ෆිගර්- නින්දිත සූරාකන්නා


ලංකාවේ ඇඟලුම් සේවිකාවකගේ මාසික වැටුප රුපියල් 34,000ක්. ඈ විසින් මහන ටොමී හිල්ෆිගර් සන්නාමය සහිත ෂෝටක් ඇමරිකාවේ ඩොලර් 55කට විකිණෙනවා. එය ලංකාවේ මුදලින් රුපියල් 11,000ක්. මේ දවස් වල ඩොලරයක රුපියල් මිල ඉහළ යන වේගයට මෙය කියවන මොහොත වෙද්දී එකොළොස්දාහටත් වැඩි ඇති! ඒ කියන්නේ ලංකාවේ ලංකාවේ ඇඟලුම් සේවිකාවකට තමන්ගේ මාසික වැටුපෙන් මිල දී ගන්න පුළුවන් ඔය ෂෝට් තුනයි.

"මීට අවුරුදු 10 කට විතර කලින් වෘත්තීය සමිතියකින් රිසර්ච් එකක් කරලා තිබුනා. ඒක අනුව ඔක්කොම ගණන් හදලා බැලුවම ඇඟලුම් සේවිකාවක් තමන්ට දිනකට ලැබෙන වැටුපට සමාන ලාභයක් විනාඩි 25 ක් වැඩ කළාම හොයල ඉවරයි. ඉතිරි පැය 7 යි විනාඩි 35 ම සමාගමේ ලාභය.

(ඒ ගාණ හැදුවෙ ඉඩම්, ගොඩනැඟිලි, අමුද්‍රවය ඇතුළු සියලු පිරිවැය සලකලා සහ ඔවුන් වැඩකරන්නෙ දවසට පැය 8 යි ලෙස සලකලා.)

ඔන්න ඕකයි තත්වෙ. නින්දිත සූරා කෑමක්!
ඕක තමයි ධනවාදය!"

ඉහත ප්‍රකාශය ඇත්තනම් ලංකාවේ ඇඟලුම් සේවිකාවක් විනාඩි 25කදී තමන්ගේ දිනක වැටුප හොයනවා. නමුත් දිනකට පැය අටක්, ඒ කියන්නේ විනාඩි 480ක් වැඩ කරනවා. ඒ අනුව තමන් උපයන වැටුප වගේ 480/25 = 19.25 ගුණයක ලාබයක් හොයනවා. ඒ කියන්නේ සූරාකෑමක් නැත්නම් ඇගේ නියම මාසික වැටුප රුපියල් 652,800ක් විය යුතුයි. 

කොහොම වුනත් ධනවාදයේ නින්දිත සූරාකෑම නිසා ලංකාවේ ඇඟලුම් සේවිකාවකට ලැබෙන්නේ ඇගේ නියම වැටුපෙන් 1/19.25ක් පමණයිලු. ලංකාවේ අනෙක් අයගේ වැටුප් හැදෙන්නත් ඔය පදනම යටතේ කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඩොලර් 3,830ක් වන ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 73,700ක් පමණ විය යුතුයි. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායමටත් වඩා වැඩි අගයක්!

මේ සල්ලි සූරාකන සමාගම මොකක්ද කියලා හරියටම කියලා නැහැ. ලංකාවේ සමාගම වෙන්න බැහැනේ. එහෙමනම් ඔය සූරාකාපු සල්ලි ලංකාවේ තියෙන්න ඕනෑනේ. ඔය කියන සමාගම ටොමී හිල්ෆිගර් සන්නාමයට සම්බන්ධ සමාගමක් විය යුතුයි. 

මේ වෙද්දී ටොමී හිල්ෆිගර් සන්නාමය අයිති පීවීඑච් (පිලිප්-වැන් හුසේන්) සමාගමට. කැල්වින් ක්ලේන්, වැන් හුසේන් වගේ සන්නාම අයිතිත් මේ සමාගමට. පීවීඑච් සමාගම ලෝකයේ ලොකුම ඇඟලුම් සමාගමක්. පසුගිය (2021 ජනවාරි 31න් අවසන් වූ) වසර තුළ ඇඳුම් විකුණා ලබා තිබෙන ආදායම ඩොලර් මිලියන 7,133ක්. ලංකාවේ ඇඟලුම්ද ඇතුළු මුළු කාර්මික අපනයන ආදායමට කිට්ටු මුදලක්. ඇඳුම් වල වියදම ලෙස වැය වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 3,356ක් පමණයි. ඒ කියන්නේ ඇඳුම් විකුණලා තියෙන්නේ වියදම වගේ දෙගුණයකටත් වඩා වැඩියෙන්. විකිණුම් මිලෙන් 53%ක්ම ලාබ!

හැබැයි මේ විදිහට විකිණුම් මිල හා පිරිවැය අතර වෙනස සමාගමක ලාබ විදිහට සලකන එක අන්තිම බොළඳ වැඩක්. මේ පිරිවැය විචල්‍ය පිරිවැය. සේවක වැටුප්, ගොඩනැගිලි කුලී, ප්‍රවාහන වියදම්, ප්‍රචාරන වියදම් වගේ තවත් වියදම් අටෝරාසියක් තිබෙනවා. ඒවා ස්ථිර පිරිවැය. ෂෝටක් ඩොලර් 55කට විකුණන්නනම් ඔය පිරිවැය දරන්නම වෙනවා. එහෙම නැතුව පදික වේදිකාවේ දාලා විකුණන්න බැහැ. ඇඳුම් විකිණුවත් නැතත් මේ ස්ථිර පිරිවැය එහෙම්මම තියෙනවා. නියම ලාබය වන්නේ මේ ස්ථිර පිරිවැයත් අඩු කළාට පසු ඉතිරි වන කොටසයි.

පීවීඑච් සමාගම විසින් කාව හරි හූරං කාලා මහා ලොකු ලාබයක් ලබනවානම් ඔය සමාගමේ කොටස් මිල දී ගන්න මිනිස්සු පෝලිමේ එනවා. ඇමරිකාවේ සමාගමක කොටස් මිල දී ගන්න එක මහා ලොකු වැඩක් නෙමෙයිනේ. ටොමී හිල්ෆිගර් ෂෝට් දෙකක් මිල දී ගන්න සල්ලි වලින් සමාගමේ කොටසක් මිල දී ගන්න පුළුවන්. කෝවිඩ් පැතිරෙන්න පටන්ගත් පහුගිය 2020 මාර්තු මාසයේදී ඔය කොටසක් ඩොලර් 30ට පමණ බැස්සා. ඒ දවස් වල ගත්තානම් ලංකාවේ ඇඟලුම් සේවිකාවකගේ සතියක වැටුපෙන් වුනත් කොටසක් මිල දී ගන්න තිබුණා.

පසුගිය අවුරුද්දේ පීවීඑච් සමාගමේ මෙහෙයුම් පිරිවැය ඇතුළු අනෙකුත් වියදම් අඩු කළාට පස්සේ ඇත්තටම ඩොලර් මිලියන 1,193ක පාඩුවකුයි වෙලා තියෙන්නේ. මෙය විශාල පාඩුවක්. පාඩුවට හේතුව කෝවිඩ් නිසා ඇමරිකාවේ ඇඟලුම් වලට තිබෙන ඉල්ලුම විශාල ලෙස පහළ යාමයි. අලෙවිය අඩු වෙද්දී ආදායම් අඩු වන අනුපාතයට වියදම් අඩු නොවන නිසා එකට එකක ලාබ ආන්තිකයක් තියාගත්තත් එයින් ස්ථිර පිරිවැය ආවරණය කර ගන්න බැහැ. මෙය සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යාපාරයක ස්වභාවයයි.

පීවීඑච් වගේ සමාගමක් ව්‍යාපාරය මෙහෙයවන්නේ පාඩු ලබන්න නෙමෙයි. සාමාන්‍යයෙන් මේ වගේ සමාගමක් ලාබ ලබනවා.  එවිට සමාගමේ කොටස් හිමිකරුවන්ට ලාභාංශ ලැබෙනවා. නමුත් ඔවුන්ට පාඩු ලැබීමේ අවදානමද දරන්න වෙනවා. 2020 ජනවාරි 31න් අවසන් වූ පෙර වසරේදී පීවීඑච් සමාගම ඩොලර් මිලියන 444ක් ලාබ සේ උපයා තිබෙනවා. එක් කොටසක් වෙනුවෙන් ඩොලර් 5.60ක ලාභාංශ ලැබී තිබෙනවා. පීවීඑච් කොටසක මිල ඩොලර් 100කට ආසන්න නිසා මෙය 5.6%ක පමණ පොලී අනුපාතිකයකට සමානයි. අවදානම සැලකූ විට මෙය ඉහළ පොලී අනුපාතිකයක් නෙමෙයි. 

පීවීඑච් වගේ සමාගමක අයිතිකාරයෝ කියා කියන්නේ අමුතු මිනිස්සු කොට්ඨාශයක් නෙමෙයි. ඇමරිකාවේ හෝ ඇමරිකාවෙන් පිටත ජීවත් වෙන අපි වගේ සාමාන්‍ය මිනිස්සු. අද දවස අවසන් වෙද්දී පීවීඑච් කොටසක මිල ඩොලර් 110.50ක්. මට අවශ්‍යනම් ඔය මුදල ගෙවා කොටසක් මිල දී ගන්න පුළුවන්. නමුත් මම එහෙම නොකරන්නේ අවුරුද්දකට ඩොලර් 4ක ලාභාංශ කියා කියන්නේ මහා ලොකු ලාබයක් නොවන නිසා. වෙන සමාගමක කොටස් වල ආයෝජනය කළත් ඔය වගේ මට්ටමකින් ලාභාංශ උපයන එක අමාරු දෙයක් නෙමෙයි.

ධනවාදී ක්‍රමයක් යටතේ තරඟකාරී වෙළඳපොළක් තිබේනම් ශ්‍රමය වෙනුවෙන් එහි ආන්තික ඵලදායීතාවයත්, ප්‍රාග්ධනය වෙනුවෙන් එහි ආන්තික ඵලදායීතාවයත් හරියටම ලැබෙනවා මිස අමුතු ලාබයක් කාටවත් ලැබෙන්නේ නැහැ. සූරාකෑම කියන එක මාක්ස්ගේ කතන්දරයක්. හැබැයි ඔය වචනේ සීනියර් අයියලාගේ මුඛ පරම්පරාවෙන් වනපොත් කරලා ගිරවු වගේ වමාරන ගොඩක් අයට සූරාකෑම කියලා මාක්ස් කියන දේ ගැනවත් හරි අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නේ නැහැ.

මාක්ස්වාදයට අනුව නිර්ධන පන්තිකයින් හා ධනපතියන් කියලා මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. නිර්ධන පන්තිකයෝ කියා කියන්නේ තමන්ගේ ශ්‍රමය හැර කිසිදු ප්‍රාග්ධනයක් නැතිව උපදින අය. ඒ අයට විප්ලවයක් නොකර කවදාවත් විමුක්තිය ලබා ගන්න බැහැ. ජීවත් වෙන්න සොච්චමක් පමණක් දීලා ඉතුරු ටික ඔක්කොම ධනපතියෝ සූරා කනවා. ඒ නිසා විප්ලවයක් කරලා නිර්ධන පන්ති ආඥාදායකත්වයක් හදන තුරු ඒ කට්ටියට බලාගෙන ඉන්න වෙනවා. මාක්ස්ගේ අර්ථකථනය අනුව ඇමරිකාවේ වුනත් ධනපතියෝ ඉන්නේ බොහොම ටිකයි. අති මහත් බහුතරයක් ඇමරිකානුවන් උපදින්නේ ප්‍රාග්ධනයක් නැතුවයි. හැබැයි ඇමරිකානුවන් වැඩි දෙනෙක් ඉපදුනු විදිහටම මැරෙන්නේ නැහැ.

තෝමස් ජේකබ් හිල්ෆිගර් හෙවත් ටොමී හිල්ෆිගර් කියා කියන්නෙත් උපතින් උරුම වූ ප්‍රාග්ධනයක් නැතිව සාමාන්‍ය ඇමරිකානු පවුලක ඉපදුනු දරුවෙක්. මාක්ස්වාදී අර්ථකථනය අනුවනම් නිර්ධන පාන්තිකයෙක්. දරුවන් නව දෙනෙකුගෙන් යුත් ඔරලෝසු හදන්නෙකුගේ පවුලක දෙවැනි දරුවා. ගොඩක් ඉහළට ඉගෙන ගත් අයෙකුත් නෙමෙයි. 

ඇමරිකාවේ බොහෝ දරුවන් වගේම කුඩා ටොමීත් පාසැල් කාලයේ සිටම කීයක් හරි හොයා ගන්න පැට්‍රෝල් ෂෙඩ් එකක වැඩ කරනවා. මේවා ඇමරිකාවේ පහළම මට්ටමේ රැකියා. බොහෝ විට ලැබෙන්නේ අවම වැටුප. වැඩ කරන පැය ගණන අනුව. එහෙත් ඇමරිකන් දරුවෙක් තමන්ට මේ විදිහට වැඩක් කරලා කීයක් හෝ හොයා ගන්න තිබෙන අවස්ථාව අගය කරනවා මිස බුදු අම්මෝ මගෙ ශ්‍රමය සූරාකනවෝ කිය කියා මොර දෙන්නේ නැහැ. පෙට්‍රෝල් ෂෙඩ් එකේ රැකියාව කරලා අමාරුවෙන් උපයන සල්ලි එකතු කරන ටොමී හිල්ෆිගර් වයස අවුරුදු 17ක් වෙද්දී ඩොලර් 150ක ප්‍රාග්ධන හිමියෙක් වෙනවා. 

මේ විදිහට ටොමී හිල්ෆිගර් ඩොලර් 150ක මුදලක් ඉතිරි කර ගන්නේ 1968 අවුරුද්දේදී. ඒ මුදලේ දැන් වටිනාකම ඩොලර් 1000ක් පමණ වෙනවා. ලංකාවේ ඇඟලුම් සේවිකාවකගේ මාස හයක පඩිය. ඇමරිකාවේ පහළම මට්ටමේ රැකියාවක් කරන කෙනෙක් සති දෙක තුනකින් පමණ හොයන මුදලක්. තවත් යාලුවෙක් එක්ක එකතු වෙලා මේ මුදලින් බෙල්බොටම් කලිසම් 20ක් මිල දී ගන්න ටොමී ගාණක් තියාගෙන ඒ කලිසම් තමන්ගේ පාසැලේ මිතුරන්ට විකුණනවා. 

අවුරුද්දක පමණ කාලයක් ටොමී සහ ඔහුගේ යාලුවා ලැරී මේ බිස්නස් එක කරනවා වගේම එය තවත් දියුණු කර ගන්නවා. ඔවුන්ගේ මේ පුංචි ව්‍යාපාරය කරගෙන යන්න උදවු වෙන්නේ තමන්ගේ වයසේ අය කැමති මෝස්තර ගැන තිබෙන ටොමීට තිබෙන ඉව. ටොමී සහ ලැරී නිවුයෝර්ක් නගරයේ අහුමුලු පීරලා තමන්ගේ වයසේ අය අතර විකුණන්න පුළුවන් මෝස්තර වල ඇඳුම් හොයා ගන්නවා. 

ඔය කාලය තරුණයන් අතර හිපි ජීවන ක්‍රමය ජනප්‍රිය වී තිබුණු කාලයක්. හිපි මෝස්තරයේ ඇඳුම්, ආභරණ ආදිය අඩුවට හොයා ගන්න ටොමී මේ ඇඳුම් තමන්ගේ කාර් එකේ ඩිකියේ තියාගෙන ලාබයක් තියාගෙන තමන්ගේ යාළුවන්ට, ඔවුන්ගේ යාළුවන්ට හා වෙනත් තරුණ තරුණියන්ට විකුණනවා. වැඩේ නැගලා යනවා.

නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිය 1969 අවුරුද්ද වන විට ටොමී අවුරුදු 18ක තරුණයෙක්. කාර් එකේ ඩිකියේ තියාගෙන ඇඳුම් විකුණලා ඒ වෙද්දී ඔහු පොඩියට නමක් හදාගෙන. ඔය කාලයේ සමහර රටවල තරුණයෝ මාක්ස්ගේ කතන්දර වලට රැවටිලා රාජ්‍ය බලය පැහැරගෙන සූරා කෑම් නැති තමන්ගේ සිහින රාජ්‍යය ගොඩ නැගීමේ අරමුණින් කැලෑ වැදිලා අවි පුහුණුව ලබනවා. තමන් ප්‍රාග්ධනයක් නැතිව ඉපදුනේ තමන්ගේ වැරැද්දකින් නොවුනත්, ප්‍රාග්ධනයක් නැතිව මැරෙන්න වුනොත් එය තමන්ගේ වැරැද්දක් බව දන්න ටොමී තවත් පියවරක් ඉදිරියට තබමින් බේස්මන්ට් එකක තමන්ගේම ඇඳුම් කඩයක් අරිනවා.


ජනතා වෙළඳසැල (පීපල්ස් ප්ලේස්) නම් වූ මේ රෙදි කඩේ පටන් ගන්නේ ඉතාම සුළුවෙන්. අතින් ඇඳපු බෝඩ් එකක් මිසක් හරියකට බෝඩ් එකක්වත් නැහැ. ටොමී සහ ඔහුගේ යහළුවා පූර්ණකාලීනව කඩේ වැඩ කරනවා. වෙනත් යහළුවන් අර්ධකාලීනව වැඩ කරනවා. ඒ වෙනත් යහළුවන්ගේ ශ්‍රමය වෙනුවෙන් ටොමී ඔවුන්ට ඇඳුම් වලින් ගෙවනවා. ඒක සූරාකෑමක් කියලා කවුරුවත් ඔහුට චෝදනා කරන්නේ නැහැ. 

වැඩි කල් යන්න කලින් පීපල්ස් ප්ලේස් නම ජනප්‍රිය වෙනවා. නිවුයෝර්ක් ආසන්න විශ්ව විද්‍යාල ආශ්‍රිතව එහි ශාඛා ගණනාවක් අරින්න පුළුවන් වෙනවා. ඔය විදිහට ශාඛා 10ක් දක්වා මේ ව්‍යාපාරය පුළුල් වුනත් 1975 වෙද්දී මේ ව්‍යාපාරය බංකොළොත් වෙනවා. ව්‍යාපාර කිරීම අවදානම් වැඩක්!

පාසැලෙන් ඉවත් වූ ගමන් ඇඳුම් ව්‍යාපාරයට බහින ටොමීට තරුණ තරුණියන් කැමති විලාසිතා පිළිබඳව හොඳ ඉවක් තිබුණත් ව්‍යාපාරයක් ඉදිරියට ගෙනයන්න අවශ්‍ය ව්‍යාපාරකරණය, ගිණුම්කරණය වගේ දේවල් ගැන හොඳ දැනුමක් තිබුණේ නැහැ. මුලදී ඔහු මේ දේවල් එතරම් වැදගත් සේ සලකන්නේ නැහැ. එහෙත් ව්‍යාපාර බංකොලොත් වුනාට පස්සේ ඔහුට තමන්ගේ අඩුපාඩුව පැහැදිලිව පේන්න ගන්නවා. ඉන්පසුව තමන්ට අවශ්‍ය දැනුම ලබා ගැනීමට කාලය හා මුදල් ආයෝජනය කරනවා.

ඉන්පසුව ටොමීට මෝස්තර සැලසුම්කරුවෙකු ලෙස මුල සිට ජීවිතය පටන් ගන්න වෙනවා. දැන් නැවතත් ඔහු සතු ප්‍රාග්ධනයක් නැහැ. ඒ වන විට ඔහු තමන්ගේ වෙළඳසැලක සේවය කළ සේවිකාවක හා විවාහ වෙලා. ආදායමක් උපයන්න වෙන්නේ මේ දෙන්නා එක්කම මෝස්තර සැලසුම්කරණයේ යෙදෙමින් තමන්ගේ ශ්‍රමය විකුණලා. හැබැයි ඔහුට මේ වැඩේ කරන්න වෙන්නෙත් අවුරුද්දයි. දෙන්නාටම එකපාර රස්සා නැති වෙලා නැවතත් පාරට වැටෙනවා.

අතේ ලොකු මුදලක් නැතත්, මෝස්තර සැලසුම්කරුවෙකු ලෙස හොඳ වැටුපක් ලැබිය හැකිව තිබියදීත්, ටොමී කැමැත්තෙන් ඉන්නේ ගිලෙන්න හරි බලාගෙන නැවතත් වතුරට බහින්නයි. ඇඟලුම් ව්‍යාපාරයේ දැවැන්තයෙකු වූ මෝහන් මුර්ජානි මේ වෙද්දී මෝස්තර සැලසුම්කරුවෙකු හොයමිනුයි ඉන්නේ. මුර්ජානි සමාගම සමඟ එක් වන ටොමී තමන්ගේම සන්නාමයකින් වැඩ පටන් ගන්නවා. ඒ තමයි ටොමී හිල්ෆිගර් සන්නාමය.

ටොමී හිල්ෆිගර් සන්නාමය යටතේ ඇඳුම් නිර්මාණය වන්නේ 1985 වසරේදී. මුලින් මුර්ජානි සමාගම සමඟ වැඩ කරන ටොමී පසුව ඔවුන්ගෙන් අයින් වෙනවා. 1988 වන විට ටොමී හිල්ෆිගර් සන්නාමයේ අලෙවිය ඩොලර් මිලියන 25ක්. 1995 පමණ වන විට ඩොලර් මිලියන 500ක්. 2000 වන විට ඩොලර් බිලියනයක්. 2004 වන විට ටොමී හිල්ෆිගර් සමාගම ඩොලර් බිලියන 1.8ක අලෙවියක් තිබෙන, සේවකයින් 5,400කට රැකියා සපයන දැවැන්ත ව්‍යාපාරයක්. 2005 වසරේදී ටොමී හිල්ෆිගර් විසින් තමන්ගේ සමාගම ඩොලර් බිලියන 1.6ක මුදලකට බ්‍රිතාන්‍ය ආයෝජන සමාගමකට (Apax Partners) විකුණා දමනවා. පීවීඑච් සමාගම විසින් 2010 වසරේදී ඩොලර් බිලියන 3ක් ගෙවා ටොමී හිල්ෆිගර් සන්නාමය මිල දී ගන්නේ එම සමාගමෙන්.

තමන්ගේ ශ්‍රමය හැර වෙනත් ප්‍රාග්ධනයක් නැතිව ඉපදී, ඇමරිකාවේ පවතින ධනවාදී ක්‍රමයේ උදවුවෙන් හා තමන්ගේ මහන්සියෙන් හා උනන්දුවෙන් සැලකිය යුතු ප්‍රාග්ධනයක් උපයාගත් වෙනත් බොහෝ ඇමරිකානුවන් වගේම මේ "නින්දිත හූරාකන්නා" විසින්ද විවිධ ජනහිතකාමී කටයුතු වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය හා ධනය විශාල ලෙස වැය කර තිබෙනවා. 1995 පමණ සිටම තරුණයින් සවිබල ගැන්වීම වෙනුවෙන් හා ඔවුන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍යය නගා සිටවීම වෙනුවෙන් වැඩ කර තිබෙනවා. මේ වෙද්දී ජනහිතකාමී කටයුතු ටොමී හිල්ෆිගර්ගේ ජීවිතයේ ප්‍රමුඛතාවය කියා කියන්න පුළුවන්.

ටොමී හිල්ෆිගර් විසින් ඔහුගේ ජනහිතකාමී කටයුතු සිදු කර තිබෙන්නේ ඇමරිකාව තුළ පමණක් නෙමෙයි. ලෝකය පුරාම ළමුන්, පරිසරය, සෞඛ්‍යය ආදී විවිධ ක්ෂේත්‍ර වල පැතිරී තිබුණු ඔහුගේ ජනහිතකාමී කටයුතු මේ වෙද්දී ටොමීකෙයාර් සංවිධානය හරහා සිදු වෙනවා. 

අද වෙද්දී ලොකු අධ්‍යාපනයක් නොලැබූ ලංකාවේ තරුණියකට මසකට රුපියල් 34,000ක පමණ ආදායමක් ඉපැයිය හැකිව තිබෙන්නේ ටොමී හිල්ෆිගර් වැනි ව්‍යවසායකයන්ගේ පුරෝගාමී මෙහෙවර නිසයි. ලංකාවේ ඇඟලුම් ව්‍යාපාරය නොතිබෙන්නට මේ තරුණියන්ටත් සිදු වන්නේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට බෝඩ් අල්ලාගෙන ඉන්න හෝ බස් වලට නැගී කැට හොල්ලන්නයි. නැත්නම් තමන්ගේ විප්ලවවාදී ජීව ගුණය පෙන්වන්න අශූචි කානු වල ඉන්න මීයන් මරාගෙන කන්නයි. ඔවුන් තමන්ගේ මහන්සියෙන් උපයන මේ මුදලින් කොටසක් රජය විසින් බදු හරහා සූරාකමින් රටට ඵලදායී සේවයක් නොකරන පරපුටුවන් පිරිසක් නඩත්තු කරද්දී විවිධ වෘත්තීය සමිති ආදිය විසින්ද ඔවුන්ගේ වැටුපෙන් තවත් කොටසක් සූරාකනවා.

Thursday, April 8, 2021

වංචාව, දූෂණය නැති කරන ක්‍රමය


දූෂණය, නාස්තිය, හොරකම් වගේ දේවල් ලංකාවේ දේශපාලනයේ ප්‍රමුඛ මාතෘකා. ලංකාව අද තියෙන තැන තියෙන්නේ ඇයි කියලා ඇහුවොත් ගොඩක් අය නොපැකිල දෙන පිළිතුර වන්නේ රට පාලනය කරන හා/හෝ කරපු අයගේ හොරකම් නිසා කියන එක. නිදහස ලබපු දවසේ ඉඳලා රට පාලනය කරපු අය කරලා තියන්නේ හොරකම් කරන එක. ඊට කලින්? ඊට කලින් වුනේ සුද්දා අපේ දේවල් හොරකම් කරගෙන ගිය එක. ආණ්ඩු කරපු උදවිය දිගින් දිගටම හොරකම් නොකළානම් අද ලංකාව ඇමරිකාවත් පහු කරලා!

මහින්දලාගේ හොරකම් ඇති වෙලා යහපාලනේ ගෙනාවා. යහපාලනේ ගෙනාවේ හොරු අල්ලන්න වුනත් හොරු යහපාලනේ ඇල්ලුවා. ඊට පස්සේ යහපාලනේ එලෝලා ලී ක්වාන් යූ කෙනෙක් ගෙනාවා. දැන් සීනි, පොල්තෙල් වල ඉඳන් හොරකම්. ඊළඟට ගේන්නේ කාවද?

ආණ්ඩුව හොරකම් කරනවා කියන කතාව ලංකාවේ හැම දේශපාලන පක්ෂයක් විසින්ම කියන කතාවක්. හැබැයි විපක්ෂයේ ඉන්න කොට. හැමදාම විපක්ෂයේ ඉන්න ජවිපෙ වගේ පක්ෂ ඔය කතාව හැමදාම කියනවා. ආණ්ඩුව හොරකම් කරන එකට විසඳුම මොකක්ද? ආණ්ඩුව මාරු කරලා අලුත් ආණ්ඩුවක් ගේන එක. ඒ අලුත් ආණ්ඩුවත් හොරකම් කළොත්? ආපහු පරණ එක ගේනවා. 

මෙතෙක් බලයේ නොහිටි කට්ටියකට බලය දුන්නොත් ඔය හොරකම් නවතියිද? මිනිස්සුනම් එහෙම හිතන පාටක් නැහැ. මෙතැනදී මිනිස්සු නිවැරදියි. මෙතෙක් බලයේ නොහිටි කට්ටියකට බලය දුන්නා කියලා හොරකම් නවතින්න විදිහක් තියෙනවද? කලින් බලයේ හිටපු අයගෙයි මෙතෙක් බලයේ නොහිටි අයගෙයි වෙනස මොකක්ද?

ප්‍රශ්නය ආණ්ඩුව කරන අය හොරකම් කරන්නේ ඇයි කියන එක නෙමෙයි. ආණ්ඩුව කරන අය හොරකම් නොකරන්න හේතුවක් තියෙනවද කියන එකයි. රජයට ඒකාධිකාරයක් හදලා දෙනවා කියන්නේම රජය කියන ඒකකයට සම්බන්ධ වෙලා ඉන්න පිරිසට හොරකම් කරන්න අවස්ථාවක් හදලා දෙනවා කියන එකම තමයි.

ඓතිහාසික භෞතිකවාදය අනුව සමාජ පරිණාමය අවසන් වෙන්නේ කොමියුනිස්ට් සමාජයක් හැදිලා. ඔය කොමියුනිස්ට් සමාජයේ රජයක් කියා එකක් නැහැ. හැබැයි රජය සම්පූර්ණයෙන් අහෝසි වෙලා කොමියුනිස්ට් සමාජයක් හැදෙන්නනම් ඊට කලින් සමාජවාදයක් හැදෙන්න ඕනෑ.

සමාජවාදය කියා කියන්නේ තනිකරම කොමියුනිස්ට් සමාජයක අනික් පැත්ත. හැම දෙයක්ම පාලනය කරන්නේ රජය විසින්. හැබැයි ඔය විදිහට හැදුනු කිසිම සමාජවාදයක් තවම රජයක් නැති කොමියුනිස්ට් ක්‍රමයකින් අවසන් වෙලා නැහැ. සමාජවාද යටතේ රජයයන් එන්න එන්නම ශක්තිමත් වෙන එක විතරයි වෙලා තියෙන්නේ. 

නිදහස ලබන්නත් කලින් ඉඳලා පුළුවන් තරම් සමාජවාදී මාර්ගයේ ගිය ලංකාව සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ එහි උච්චතම අවස්ථාවට පැමිණුනා. එහි ප්‍රතිඵලයක් විදිහට ජේආර්ට බලය ලැබුණා. ජේආර් නිල වශයෙන්ම, ව්‍යවස්ථාවෙන්ම ලංකාව සමාජවාදී ජනරජයක් බවට කළා. ව්‍යවස්ථාවේ පළමු වගන්තියෙන්ම කියන්නේ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් බවයි. ජේආර්ගේ ව්‍යවස්ථාව සම්මත වූ දවසේ පටන් රටේ නමත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය.

මාක්ස්වාදීන් විශ්වාස කරන රජයක් නැති, කොමියුනිස්ට් සමාජයක් පාලනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව. රජයකින් පාලනය වන සමාජවාදී සමාජයක් අවශ්‍ය වෙන්නේ කොමියුනිස්ට් සමාජයක් හැදෙන්න අවශ්‍ය වන ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නගන්න. චීනය, කියුබාව වගේ රටවල් කාලයක් තිස්සේම කරමින් ඉන්නේ ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නගන වැඩේ. සමාජවාදීන් විශ්වාස කරන ප්‍රජාත්නත්‍රවාදය මොන වගේ එකක්ද කියලා ඔය රටවල් දිහා බලලා තේරුම් ගන්න පුළුවන්නේ. ජේආර්ගේ ව්‍යවස්ථාවේ කියන්නෙත් ඔය විදිහේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන වෙන්න ඇති. නැත්නම් "ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය" කියලා සමාජවාදී කෑල්ලකුත් එකතු කරන්න අවශ්‍ය නැහැනේ.

ලංකාවේ සමාජවාදය ව්‍යවස්ථාවේ විතරක් තියෙන එකක්ද? පැහැදිලිවම නැහැ. සැකයක් තියෙන කෙනෙක් කළ යුත්තේ කොමියුනිස්ට් මූලධර්ම එකින් එක අරගෙන ලංකාව එක්ක සංසන්දනය කරන එකයි. ඔය සමාජවාදී මූලධර්ම ක්‍රියාත්මකව පවතින තුරු හොරකම, දූෂණය, වංචාව ගහට පොත්ත වගේ තමයි. හොරකම් කරන්න තිබෙන අවස්ථා අවම වන පරිදි රජය කුඩා නොකර ඔළුගෙඩි මාරු කළා කියලා කවදාවත් හොරකම් නවතින්නේ නැහැ.

පසුගාමීත්වය වෙනුවෙන් පෙනී සිටින ඊනියා වෑන්ගාඩ් පක්ෂ ළිං පතුල් වල ඉන්න ටික දෙනෙක් ඇර අනෙක් ගොඩක් අය සමාජවාදී මුලාවේ නැහැ. ඒ නිසා, මිනිස්සු ආණ්ඩුවේ හොරකම්, දූෂණ ගැන කතා කළත්, ඒවාට සංවේදී වුනත්, හොරකම්, දූෂණ වගේම මාධ්‍ය මර්දනය, භීෂණය වගේ දේවල් සෘජුවම සංස්ථාපනය කරන ක්‍රමයකට සහයෝගය දෙන්න තරම් මුලාවක නැහැ. ඉඟුරු දීලා මිරිස් අරගෙන කටදැවිලි හදාගත්තත් මිරිස් කඳු වල ගිලිලා සිය දිවි හානි කරගන්නේ නැහැ. 

වෙබ් ලිපිනය:

දවස් පහේ නිවාඩුව

මේ සති අන්තයේ ලංකාවේ බැංකු දවස් පහකට වහනවා කියන එක දැන් අලුත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒ දවස් පහේ විය හැකි දේවල් ගැන කතා කරන එක පැත්තකින් තියලා...